අඹ යාලුවෝ

Friday, August 19, 2011

සුදුපූසි 8 - සමුගැනීම



ඉතිං යාලුවනේ තවත් සති දෙක තුනක් යද්දි ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙච්ච ළමයින්ට, තමන්ට හිමිවෙච්ච ඉස්කෝල දැනගන්න ලැබුනලු. ඒ අවුරුද්දෙ කුරුඳුවත්ත ඉස්කෝලෙට ගත්තෙ ලකුණු 155න්. මරියකඩේට ගත්තෙ 146න්. ඉතිං පුරුපුරු බලාපොරොත්තු වෙච්ච විදිහටම කුරුඳුවත්ත ඉස්කෝලෙට තේරුණු එක ගැන මෑන්ස්ගෙ පවුලෙ කට්ටිය හිටියෙ ගොඩක් සතුටින්.

විභාගෙ ඉහළින්ම පාස් වෙච්ච රසිකා ගියෙ අග්‍ර උපාසිකාවගෙ ඉස්කෝලෙට. ඉස්සා ගියෙ ගම්පහ පිරිමි ඉස්කෝලෙට. ඔය ඔක්කොම අස්සෙ සුදුපූසිගෙ ගෙදර කට්ටිය තීරණය කරලා තිබුනලු එයාව ඔය සබරගමුව පළාතෙ පිහිටපු ට්‍රැක්ටරේක නමක් තියෙන ඉස්කෝලෙකට දාන්න.

කොහොමහරි මේ වෙද්දි පුරුපුරුට ඉස්කෝලෙන් අස්වෙන්න වෙච්ච දවසත් උදාවෙලා තිබුනා. එදා තමයි මෑන්ස් දැනගත්තෙ සුදුපූසිව ට්‍රැක්ටර් බාලිකාවට ඇතුලත් කරන්න යනවයි කියලා. ඉතිං මේ ආරංචිය ලැබිච්ච අපේ පූසාට ඇතිවුණේ හෙනගහපු පැණිවරකා ගහකට ආපහු හෙනයක් ගැහුවා වගේ හැඟීමක්. දෙයියනේ! දැන් ඉතිං සුදුපූසිව ආපහු දැකලා ඉවරයි. අඩුගානෙ ගම්පහ රත්තිවල්ලි බාලිකාවටවත් දැම්මනං කලාතුරකින් හරි සුදුපූසිව දැකගන්න තිබුනා. ඒත් දැන් ඒ හීන ඔක්කොම පුරුපුරුගෙන් ඈතට යමින් තිබුනේ.

ඉතිං ඉස්කෝලෙ ගුරුවරු කට්ටියට වැඳලා එහෙම අපේ පූසා ලෑස්ති වුණේ ඉස්කෝලෙන් සමුගන්න. ඒත් එහෙම සමුගන්නෙ කොහොමද? පුරුපුරුට ඕනෙ වුණා යන්න කලින් කොහොමහරි සුදුපූසිත් එක්ක කතා කරන්න. මෙච්චර අවුරුදු ගානක් කැමැත්තෙන් ඉඳලා නොකියාම යන්නෙ කොහොමද නේද? පුරුපුරු ඉතිං ගියාලු තමන්ගෙ පන්තිය පැත්තට.

ඒ වෙද්දිත් අපේ පූසා පන්තියෙ යාලුවන්ගෙන් සමු අරගෙන තිබුනේ. ඒත් සුදුපූසිගෙන් වෙනම සමුගන්න තරම් චාන්ස් එකක් පුරුපුරුට ඒ වෙලාවෙ ආවෙ නෑ. මෑන්ස්ගෙ වෙලාවට හැබැයි මේ පාරනං සුදුපූසිත් එක්ක කතා කරන වැඩේට කිසිම බාධාවක් ඇතිවුණේ නෑ. මොකද පන්තියෙ ටීචර් කෙනෙක් හිටියෙත් නෑ, ඒ වගේම ළමයිනුත් තම තමන්ගෙ ලෝකවල තනිවෙලා හිටියෙ. ඉතිං අපේ පූසා ගියාලු සුදුපූසි ළඟට. ඒ වෙලාවෙ සුදුපූසිගෙ මූණෙ ඇතිවුණේ වෙනදා ඇතිවෙන ලස්සන හිනාවමයි.

පුරුපුරු :- සුදුපූසි, මම අදින් පස්සෙ ඉස්කෝලෙ එන්නෙ නෑ.

සුදුපූසි :- හ්ම්ම්...මමත් මේ ඉස්කෝලෙට එන්නෙ තව දවස් කීපයයි පුරුපුරු.

පුරුපුරු :- ඒ කියන්නෙ අපි මීට පස්සෙ හම්බවෙන්නෙ නෑ...!

සුදුපූසි :- මම දන්නෙ නෑ...ඒත් සමහරවිට අපි ආපහු හම්බවෙයි. ඔයා කුරුඳුවත්තට ගිහින් හොඳට ඉගෙනගන්න ඕනෙ පුරුපුරු හරිද? ඔයා කවදාහරි හොඳ දොස්තර කෙනෙක් වෙන්න.

පුරුපුරු :- මට දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ නෑ සුදුපූසි.

සුදුපූසි :- (හිනාවෙමින්) හා හා...එහෙනං කොන්දොස්තර කෙනෙක් වෙන්නකෝ...

සුදුපූසි කතා කළේ බොහොම සැහැල්ලුවෙන්. ඒත් පුරුපුරුගෙ හිතේනං කිසිම සැහැල්ලුවක් තිබුනෙ නෑ. ඇත්තටම සුදුපූසිට තමන් නැතිව පාලු දැනෙන එකක් නැද්ද? අපේ පූසාට එහෙම හිතුනලු. ඒත් පන්තියෙ අනිත් ළමයිනුත් ඉන්නකොට ඔය වගේ දේවල් අහන්නෙ කොහොමද?
අන්තිමට ඉතිං අපේ පුරපුරු සුදුපූසිගෙන් වගේම රෙදිගොඩ ඉස්කෝලෙනුත් සමුගත්තලු.

ඊළඟ සතියෙ පුරුපුරු ඇතුලත් වුණේ කුරුඳුවත්ත ඉස්කෝලෙට. ඒ ඉස්කෝලෙ රෙදිගොඩ පොඩි ඉස්කෝලෙ වගේ නෙවෙයි. හරිම ලොකුයි. හරිම අමුතුයි. ඒ මදිවාට ළමයි පිරිලා. ඉස්කෝලෙ බෙල් එක පවා බිත්තියට හයි කරපු ඉලෙක්ට්‍රික් බෙල් එකක්. පළවෙනි දවසෙ බෙල් එක වදිද්දි පුරුපුරු පණ දාගෙන හෙව්වේ කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියලා. තව, ඉස්කෝලෙ පටන් ගනිද්දි කියන්න තියෙන්නෙ ඉංග්‍රීසි පාසල් ගීයක්. ඒකත් ඉංග්‍රීසි කිව්වට එක්දහස් බර ගනංවල ඉංග්‍රීසි. ඉස්කෝලෙ ඉවරවෙද්දි කියන්නෙ සිංහල පාසල් ගීයක්. ඉතිං මුල් දවස් දෙක තුනේ අපේ පූසා හිටියෙ ෆුල් අන්දුන්කුන්දුන් වෙලා.

හැබැයි හිටපු ළමයිනං ෆුල් ෆ්‍රෙන්ඩ්ලි ඩයල් හිටියේ. පරණ ළමයි කවුරුවත් ශිෂ්‍යත්වෙන් ආපු ළමයින්ට ලොකු එක දුන්නෙ නෑ. ඉතිං ඔය විදිහට කාලය ගතවුණේ බොහොම වේගෙන්. ඒත් අපේ පුරුපුරුට කුරුඳුවත්ත ඉස්කෝලෙ එක එක අමුතු දේවල් අස්සෙත් නිතරම මතක් වුණේ සුදුපූසිව. අවාසනාවට සුදුපූසිව ට්‍රැක්ටර් බාලිකාවෙ හොස්ටල් එකේ නැවැත්තුවයි කියන ආරංචියෙන් පස්සේ එයා ගැන කිසිම ආරංචියක් පූසාට ඇවිත් තිබුනෙ නෑ.

පූසා ඒ දවස්වල ඉස්කෝලෙ ගියෙ රෙදිගොඩ ඉඳලා ගිය ස්කූල් වෑන් එකක. මේ අර අපි ඉස්සර කියපු වෑන් එක නෙවෙයි, පුරුපුරු ඊට කලින් ගිය වෑන් එක. කොහොමහරි ඉතිං ඔය වෑන් එක උදේ හවස ගියෙ සුදුපූසිගෙ ගේ ඉස්සරහින්. ඉතිං පුරුපුරු කරන්නෙ උදේටයි හවසටයි වෑන් එක සුදුපූසිගෙ ගෙදර ඉස්සරහින් යද්දි ඉස්සි ඉස්සි සුදුපූසි ඉන්නවාද කියලා බලන එක. පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසිව හොස්ටල් එකේ නැවැත්තුවානං ගෙදර ඉන්න විදිහක් නෑ කියලා. ඒත් තමන් තමන්වම රවට්ටගත්තු පුරුපුරු කවදාවත් මේ බැලිල්ල අතඇරියේ නෑ. මෑන්ස් හිතුවේ තමන් කවදාහරි සුදුපූසිව දකින්න වාසනාවන්ත වෙයි කියලා.

මේ අතරෙ තමයි පුරුපුරුට මීටර් වුණේ හැමදාම එතනින් යනකොට සුදුපූසිගෙ ගෙදර දිහා අවධානෙන් බලන්නෙ තමන් විතරක් නෙවෙයි කියලා. බැලින්නං වෑන් එකේ ගිය ලොකු අයියලා කට්ටියත් බොහොම අවදානෙන් සුදුපූසිලෑ ගේ දිහා බලනවා. හැබැයි ඒ සුදුපූසි ඉන්නවාද කියලා නෙවෙයි, සුදුපූසිගෙ අක්කා ගයාත්‍රි ඉන්නවාද කියලා. ඉතිං අපේ පූසාත් ඉස්සි ඉස්සි සුදුපූසිලෑ ගෙදර දිහා බලද්දි ඒ අයියලා පුරුපුරුට විහිළු කරනවලු.

“යකෝ දැන් මූත් ගයාත්‍රිට පැණි හලන්න ගත්තද? උඹ අපේ වයසට එද්දි කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරිවෙයි“

පුරුපුරුත් ඉතිං ඒ කට්ටියට විහිලුවෙන්ම උත්තර දෙනවලු.

“ඔන්න බලනවා තමුසෙලාගෙන් කවුරුවත් යාලුවෙන්න කලින් මම ගයාත්‍රිත් එක්ක යාලු වෙන හැටි“

ඊටපස්සෙ ඉතිං ෆ්ලවර් ජම්ප් වෙන අයියලා කට්ටිය පුරුපුරුව සීට් එක අස්සෙ ඔබාගෙන හොඳ ගුටි සංග්‍රහයක් දෙනවලු.

කොහොමහරි ඉතිං ඔය විදිහට ගෙවිච්ච අපේ පූසාගේ ජීවිතේ, මෑන්ස්ට සුදුපූසිව දැකගන්න තිබුනු බලාපොරොත්තු තවදුරටත් බොඳවෙලා ගියෙ පුරුපුරුලා පදිංචිය වෙනස් කරපු හින්දා. තාත්තා වැඩකරපු රෙදි කම්හල සේවකයන්ගෙ ස්ට්‍රයික් එකක් හින්දා වැහුවාට පස්සෙ පුරුපුරුලාට සිද්ද වුණාලු තමන්ගෙ ගෙවල් තිබුන පූස්ගමට පදිංචියට එන්න. ඉතිං පූස්ගමට ආවට පස්සෙ රෙදිගොඩ ඉන්නකොට සුදුපූසි ගැන කලාතුරකින්හරි ලැබුනු, පොඩිහරි ආරංචියක්වත් පුරුපුරුට ලැබුනෙ නෑලු.

ඔය විදිහට හත වසර, අට වසර සහ නවය වසර ගෙවිලා ගියෙ පුරුපුරු අපේ පූසො සෙට් එකට සෙට් වෙලා කරපු අප්සෙට් වැඩ ගොඩකින්. ඒ අප්සට් වැඩ ගැන මේ වෙනකොටනං ඔයාලා කියවලා ඇතිනේ. හැබැයි ඉතිං මේ කාලෙ වෙද්දිත් පුරුපුරු සුදුපූසි ගැන හොයන එක නතර කරලා තිබුනෙ නෑ. මෑන්ස් ඉස්සාට බාර දීලා තිබුනෙ සුදුපූසි ගැන තොරතුරු රැස් කරන ෆුල් සීක්‍රට් මිෂන් එකක්. ඒත් ඉතිං රීකොන් වැඩ ගැන ඉස්සාට තිබුන අඩු පළපුරුද්ද නිසා අපේ පූසාට හැමදාමත් ඉන්න වුණේ සුදුපූසි ගැන තොරතුරක් නැතිව.

ඉතිං ඔය විදිහට ගෙවිච්ච පුරුපුරුගෙ ජීවිතේ විශේෂ දෙයක් සිද්ද වුණේ නවය වසරෙ අග හරියෙ ඉන්නකොට.

එක දවසක් අපේ පුරුපුරු ගම්පහ පන්තියකට යන ගමන් බස් එකක හිටියේ. ඉතිං ටික වෙලාවකින් පූසාට මීටර් වුණාලු තමන්ට ඉස්සරහින් ඉන්න ගෑනු ළමයා මෑන්ස්ට හොඳට දැකලා පුරුදුයි කියලා. ඉතිං තවත් හොඳට ඇන්ටනාව ටියුන් කරලා බැලින්නං මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අර උපාසිකා බාලිකාවට පාස් වෙච්ච රසිකා. වෙන විදිහකින් කියනවානං ඉස්සර සුදුපූසිගෙ හොඳම යෙහෙළිය.

ඉතිං සුදුපූසි ගැන කිසිම නිව්ස් එකක් නැතුව හිටපු පුරුපුරුට, රසිකාව දැක්ක එක නිකං පිපාසාවෙ දිව ගිලෙන්න හිටපු මෑන්ස් කෙනෙක්ට හොඳ කූල් සන්ක්වික් එකක් හම්බුනා වගේ අමෘතයක් වුණාලු. ඉතිං රසිකා එක්ක කතා කරන වැඩේ අපේ මෑන්ස් තව තත්පරයක්වත් පරක්කු කළේ නෑ.

ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?

Monday, August 15, 2011

සුදුපූසි 7 - කලු සුදු සිකුරාදා





ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්න වැඩි දවසක් ගතවුණේ නෑ. පුරුපුරුට ඒ දවස හොඳට මතකයි. එදා සිකුරාදා දවසක්. ඒ වගේම එදා තමයි රෙදිගොඩ ලොකු ඉස්කෝලෙ ස්පෝර්ට්ස් මීට් එක තිබුන දවස. ඉතිං අපේ ඉස්සාත් ස්පෝර්ට්ස් මීට් එකේ එකොළහෙන් පහළ මීටර් සීය දුවන්න ගිහින් වැටිලා, ඒ වෙද්දි මෑන්ස්ගෙ අතක් හොඳටම තුවාල කරගෙනයි හිටියේ. ඉතිං පුරුපුරු හිටියේ ඉස්සාට සාත්තු සප්පායම් කර කර.

එතකොට තමයි කවුරුහරි ඇවිත් කිව්වේ පොඩි ඉස්කෝලෙට ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල ඇවිල්ලයි කියලා. ඉතිං එතන හිටපු ළමයි කට්ටිය කළේ ඉස්සාවත් අමතක කරලා පොඩි ඉස්කෝලෙ දිහාවට ගිය එක. දැන් ඉතිං අපේ පූසාගෙ පූස් හාර්ට් එක ඩග් ඩග් ගාලා ගැහෙනවා. කොටින්ම ඒ වෙලාවෙ මෑන්ස්ගෙ පපුව උඩට බිත්තරයක් කඩලා දැම්මනං ගේමක් නැතුව ඔම්ලට් එකක් හදාගන්න තිබුනා. කොහොමවුණත් පුරුපුරුට ලොකු ෂුවර් එකක් තිබුනා තමන් ෆේල් වෙලානං නැතුව ඇති කියලා.

ඔය විදිහට පොඩි ඉස්කෝලෙට කිට්ටු වෙද්දි තමයි තව මැසේජ් එකක් පුරුපුරුගෙ කන වැකුනේ. ඒකෙන් කියවෙච්ච හැටියට වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ ගෑනු ළමයෙක්ලු. ඒ කියන්නේ සුදුපූසි තමයි එහෙනං වැඩිම ලකුණු අරගෙන ඇත්තේ. අපේ පූසාගේ නිගමනය වුණේ ඒකයි. ඒ කියන්නෙ තමන් සුදුපූසිට සෙකන්ඩ් වෙලා. ඒත් ඒ ගැන පුරුපුරුට කිසිම අසතුටුදායක හැඟීමක් ආවෙ නෑ.

කොහොමහරි ඊට ටික වෙලාවකට පස්සෙ තමයි පූසා රිසාල්ට්ස් දාලා තිබුන තැනට ආවෙ. හැබැයි එතනදි පුරුපුරු දැක්කෙ තමන් හිතාගෙන හිටපු ප්‍රතිඵලයනං නෙවෙයි. බැලින්නං හැමදාම පන්තියෙ තුන් වෙනියා වෙච්ච රසිකා ලකුණු 168ක් අරගෙන ඉස්කෝලෙන් වැඩිම ප්‍රතිඵල අරගෙන. ඒ වගේම රසිකා ගම්පහ දිස්ත්‍රික්කෙන් දහවෙනියාගෙන් උඩ රෑන්ක් එකක හිටියාලු. ඉතිං මේ වෙද්දි රසිකාගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වෙච්ච ටීචර්ලාගෙන් රිසාල්ට්ස් දාලා තිබුන තැන පිරී ඉතිරී ගිහින් තිබුනේ. කොටින්ම පුරුපුරුලාට තමන්ගෙ ප්‍රතිපල බලාගන්නත් අමාරු තත්ත්වයක් තිබුනේ.

කොහොමවුණත් රසිකා කියන්නෙ සුදුපූසි ඇරුනුකොට, පුරුපුරුට ඒ ඉස්කෝලෙ හිටපු හොඳම යාලුවො දෙන්නාගෙන් එක්කෙනෙක්. ඉතිං රසිකාගේ ඇචීව්මන්ට් එක ගැන අපේ පුරුපුරුට දැනුනෙ බොහොම අවංක සතුටක්. ඊටපස්සෙ මෑන්ස් කළේ ටීචර්ලා අතරින් පීරගෙන ගිහින් අනිත් කට්ටියගේ රිසාල්ට්සුත් බලපු එක.

බැලින්නං ඉස්කෝලෙන් දෙවෙනියට හොඳම රිසාල්ට් තියෙන්නෙ අපේ පුරුපුරුට. ලකුණු 161යි. දිස්ත්‍රික්කෙන් හතළිස් ගානක් රෑන්ක් එක. බලාගෙන යද්දි හිතුවට වඩා ටිකක් හොඳයි ඇවිත් තියෙන ප්‍රතිඵලේ. ඊටපස්සෙ ළමයි දෙන්නෙක් ඉන්නවා ලකුණු 152ක් සහ 146ක් ගානෙ ගත්තු. (මේ ළමයි දෙන්නා පස්සෙ කාලෙක දෙලොවක් අතර බාලිකාවටයි, මරියකඩේ ඉස්කෝලෙටයි ගියා)

ඒත් කෝ සුදුපූසිගෙ රිසාල්ට් එක? පුරුපුරු තවදුරටත් ලිස්ට් එක පුරා හොයා බැලුවලු. බැලින්නං සුදුපූසිගෙ ප්‍රතිඵල හැම දෙනාම බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් අඩුයි. එයාට තිබුනෙ ලකුණු 137යි. සුදුපූසිගෙ හැකියාව ගැන හොඳට දන්න පුරුපුරුට මේ ප්‍රතිඵලය අදහාගන්න බැරිවුණාලු. ඒ වගේම ඉස්සාටත් තිබුනෙ බලාපොරොත්තු වුණාට වඩා අඩු ප්‍රතිඵලයක්. මෑන්ස්ට ලකුණු 133යි.

මම හිතන්නෙ පුරුපුරුලා ශිෂ්‍යත්ව විභාගෙ කරපු අවුරුද්දෙ තමයි මෙච්චර කාලෙකට දුන්න අමාරුම පේපර් එක දුන්නෙ. ඒ අවුරුද්දෙ ලංකාවෙ පළවෙනියාට තිබුනෙත් ලකුණු 182ක් විතරයි. ගම්පහ දිස්ත්‍රික්කෙ පළවෙනියාට තිබුනෙ ලකුණු 175යි. (පස්සෙ කාලෙක හම්බවෙච්ච ආදරණීය මිත්‍රයා “පිටසක්වලයා“). ඉතිං සමස්තයක් විදිහට ගත්තහම හැම ළමයාටම වගේ ගොඩක් අඩුවෙන් තමයි ලකුණු තිබුනේ. ගම්පහ දිස්ත්‍රික්කෙ විභාගෙ පාස් කළේ ලකුණු 121න්. ඉතිං ඒකෙන්ම හිතාගත්තහැකිනෙ විභාගෙ තරම.

කොහොමහරි රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙට එදා ඓතිහාසික දිනයක්. ඉස්කෝලෙන් එච්චර කාලෙකට වාර්තාවෙච්ච හොඳම රෑන්ක් එක විතරක් නෙවෙයි, එච්චර කාලෙකට පාස් වෙච්ච වැඩිම ළමයි ගණනත් වාර්තා වුණේ ඒ අවුරුද්දෙ. ඔව්! මුලු ඉස්කෝලෙන්ම ළමයි දාහත් දෙනෙක් විභාගෙ පාස් වෙලා තිබුනා. ඒක රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙ වගේ දුප්පත් ඉස්කෝලෙකට වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ ලොකු ඉලක්කමක්.

එක පැත්තක පාස් වෙච්ච ළමයි සහ අම්මලා සතුටින් කතා කර කර ඉන්නවා. අනිත් පැත්ත විසාලා මහනුවර වගේ. ඒ පැත්ත විභාගෙ ෆේල් වෙච්ච ළමයින්ගෙ අම්මලාගෙ කඳුලු වලින්, ඇනුම් බැනුම් වලින් පිරිලා. එක අම්මා කෙනෙක් විලාප දිදී අඬනවා. බැලින්නං ඒ අම්මාගෙ දුව එක ලකුනෙන් විභාගෙ අසමත් වෙලා. ඉතිං ඔය නානාප්‍රකාර සිද්දි අස්සෙ පුරුපුරු හැමතැනම හෙව්වෙ සුදුපූසිව. අන්තිමේදි මෑන්ස්ට සුදුපූසිව හම්බවුණේ තනියම ඉස්කෝලෙ බිල්ඩින් එකක් ළඟ ඉන්නකොට.

සුදුපූසිගෙ මූණෙ දුකක්වත් සතුටක්වත් තිබුනෙ නෑ. තිබුනෙ මහා හිස් බැල්මක් විතරයි. කොහොමත් සුදුපූසිට අප්සට් ගියාම එහෙම තමයි. වෙනදා පුරුපුරුව දැක්කාම දාන ලස්සන ස්වභාවික හිනාව එදා සුදුපූසිගෙ මූණෙ ඇතිවුණේ නෑ. ඒ වෙනුවට සුදුපූසිගෙ මූණෙ අන්තිමේදි ඇතිවුණේ ආයාසයෙන් මවාගත්ත හිනාවක්.

සුදුපූසි :- පුරුපුරු, ඔයා මොකද මෙතන කරන්නෙ?

පුරුපුරු :- මම මේ ඔයාව හොයන්න තමයි ආවෙ.

සුදුපූසි :- මගෙ සුභපැතුම් පුරුපුරු. දැන්නං ඔයාට කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුලුවන්. කොච්චර දෙයක්ද?

ඇත්තටම ඒ වෙලාවෙ සුදුපූසිට කියන්න ඕනෙ මොකද්ද කියලා පුරුපුරුට හිතාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.

“නෑ නෑ!! ඔයාටත් කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුලුවන්“

පුරුපුරුට මෙහෙම කියන්න හිතුනත්, සුදුපූසි ඔය වගේ බොරුවලට අහුවෙන්නෙ නෑ කියලා දන්න නිසා මෑන්ස් කට පියාගෙන හිටියලු. අපේ පූසා ජීවිතේ කවදාවත් ඒ වගේ උත්තර දෙන්න වචන නැතුව අසරණ වෙලා නෑ.

“මම යනවා පුරුපුරු. සඳුදා ඉස්කෝලෙදි හම්බවෙමු“

මෙහෙම කියපු සුදුපූසි එතනින් යන්න ගියෙ මූණ බිමට නවාගෙන, තමන්ගෙ මූණෙ හැඟීම් පුරුපුරුගෙන් හංගන්න උත්සාහ කරමින්. ඒත් සුදුපූසිගෙ ඇස්වල කොනේ මතුවෙමින් තිබුන කඳුලු බිංදු පුරුපුරුගෙන් හංගන්න ඒ උත්සාහය ප්‍රමාණවත් වුණේ නෑ. 

සුදුපූසි එතනින් ගියාට පස්සෙ පුරුපුරු තවත් විනාඩියක් දෙකක් විතර එතන හිටියලු. අපේ පූසා මේ වෙද්දි හිටියෙ කියන්න බැරිතරම් ලොකු අප්සෙට් එකකින්. ඒ අප්සෙට් එකට එක හේතුවක් තමයි සුදුපූසිට තිබුනු හිතේ වේදනාව. අනිත් හේතුව තමයි පුරුපුරුට සුදුපූසි එක්ක ඒ දුක බෙදාගන්න විදිහක් තිබුනෙ නැති එක.

එදා හවස ගෙදර ගියාමත් පුරුපුරුට හිතේ නිදහසක් තිබුනෙ නෑ. පවුලෙ කට්ටිය, අසල්වැසියො, නෑදෑයො එහෙම පූසාට සුභපැතුවත් මෑන්ස්ගෙ හිත පුරාම හොල්මන් කළේ සුදුපූසි එක්ක දවල් ඇතිවුණ කතාබහ. කොටින්ම සඳුදා ඉස්කෝලෙ ගිහින් සුදුපූසිගෙ හිත සනසනකං පුරුපුරුගෙ හිතට කිසිම ඉස්පාසුවක් තිබුනෙ නෑ.
  
කොහොමහරි කාලය ගෙවිලා ගිහින් සඳුදා දවසත් උදාවුණාලු. එදා පුරුපුරු සුදුපූසිට දෙන්න පට්ට ටෝකක් හිතින් පාඩම් කරගෙන ගියත්, එදා සුදුපූසි හිටියෙ වෙනදා වගේම සැහැල්ලු සිතින් කිසිම වෙනසක් පෙන්නන්නැතුව. ඉතිං අපේ පූසාත් සුදුපූසිව අප්සෙට් කරවන්නෙ නැතුව මොනවත් නොකියා හිටියලු.

ඊටපස්සෙ උදාවුණේ ඉස්කෝල වලට ඇප්ලිකේෂන් දාන වැඩේ. මේ වෙද්දි පුරුපුරුට කිසිම සැකයක් තිබුනෙ නෑ මෑන්ස්ට කුරුඳුවත්තට හරි මරියකඩේට හරි යන්න පුලුවන් වෙන එක ගැන. ඉතිං පූසා ලිස්ට් එකේ එකට දැම්මේ කුරුඳුවත්ත. දෙක මරියකඩේ. තුන ලා නන්ද. හතර ජාතියේ පියා. අන්තිමට ඉතිං නෙගටිව් කොන්ට්‍රෝල් එකක් විදිහට ගම්පහ පිරිමි ඉස්කෝලෙ නමත් දැම්මලු.

ඉතිං ඔය විදිහට කල් ගතවුණේ අපේ යාලුවන්ට එකිනෙකාගෙන් වෙන් වෙන්න සිද්ද වෙන දවස, දවසින් දවස ලං කරමින්. ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?


ප.ලි - ඒ අවුරුද්දෙ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පස්සෙ පුරුපුරුලාගෙ ඉස්කෝලෙට ඇතිවුණේ සෑහෙන ඉල්ලුමක්. දැන් ඒ ඉක්කෝලෙට ළමයි දාගන්න දෙමව්පියො මාර ගේමක්ලු දෙන්නෙ. ආරංචි විදිහට දැන් ඉස්කෝලෙ පහසුකම් අතින් පවා සෑහෙන හොඳ මට්ටමක තියෙන්නෙ.

ඒ වගේම විභාගය නිසා ඊළඟ ලිපිය අගෝස්තු 18 වෙනිදා වෙනකං පරක්කු කරන්න සිදුවීම ගැන මගේ බලවත් කණගාටුව.

Friday, August 12, 2011

සුදුපූසි 6 - සිස්සත්තේ



ඉතිං යාලුවනේ අර බටලන්ද සිද්දියෙන් පස්සෙ තවත් දවස් කීපයක් ගතවුණාලු. සුදුපූසි කියපු විදිහටම පුරුපුරුයි රොටියායි කරපු විනාසෙ මහ ලොකු ඉෂූ එකක් වුණේ නෑ. සිද්දියෙන් පස්සෙ දවස් දෙක තුනක් යද්දි පුරුපුරුටයි රොටියාටයි ආපහු ප්‍රිෆෙක්ට් බැජ් හම්බ වුණාලු. හැබැයි ඒ දැඩි අවවාද කිරීම්, දේශන, තර්ජන, ගර්ජන ගොඩකට මේ දෙන්නාට ෆේස් කරන්න වුණාට පස්සෙ. කොහොමහරි ඉතිං අන්තිමට අප්සෙට් එක්ක නැතුව හැමදේම විසඳුනාලු.


මේ වෙද්දි අපේ පුරුපුරුයි සුදුපූසියි වෙනදාටත් වඩා ෆිට් වෙලා. විශේෂයෙන්ම පුරුපුරු කවදාවත් හිතුවෙ නෑ තමන්ට කරදරයක් වෙච්ච වෙලාවෙ සුදුපූසි මේ වගේ තමන්ව සනසවන්න ඉදිරිපත් වෙයි කියලා. ඒත් මේ වෙද්දි උදාවෙලා තිබුනෙ මේ වගේ දේවල් හිත හිතා කාලෙ නාස්ති කරන්න පුලුවන් ටයිම් එකක් නෙවෙයි. මොකද මේ කාලෙ වෙද්දි ශිෂ්‍යත්ව විභාගෙට තව දවස් කීපයයි ඉතුරු වෙලා තිබුනේ. ඉතිං පුරුපුරු, සුදුපූසි, ඉස්සා, රසිකා, රොටියා විතරක් නෙවෙයි, ඉස්කෝලෙ හැම ළමයාම හිටියේ විභාග මානසිකත්වයෙන් අඤ්ඤකොරොස් වෙලාලු.


පහ වසරෙ ඉන්න ළමයි දන්න එකම ලොකු විභාගෙ තමයි ශිෂ්‍යත්ව විභාගෙ කියන්නෙ. ඒ මදිවාට මේ විභාගෙට ළමයින්ට වඩා මහන්සි වුණේ ඒ අයගෙ අම්මලා තාත්තලා. ඉතිං මේ හේතු නිසා ඉස්කෝලෙ ළමයි අතර ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙන්න තිබුනෙ ලොකු තරඟයක්. වාසනාවකට වගේ පුරුපුරුලාගෙ ගෙදරින්නං මෑන්ස්ට විභාගෙ සම්බන්දෙන් එච්චර බලපෑමක් එල්ල කළේ නෑ. ඒත් ශිෂ්‍යත්ව විභාගෙ ඉහළින් පාස් වෙන්න පුරුපුරුගෙ හිතේනං ලොකු ඕනෑකමක් තිබුනලු.


පුරුපුරුගෙ එක නෑදෑ අයියා කෙනෙක් ගියේ කුරුඳුවත්ත ඉස්කෝලෙට. ඉතිං ඔය අවුරුදු දවස්වලට එහෙම නෑදෑයො සෙට් වෙනකොට මෑන්ස්ට පුදුම පිළිගැනීමක් තිබුනෙ. මෑන්ස් ගැන කියවෙන හැම වෙලාවෙම ඒ එක්කම කියවුණේ කුරුඳුවත්ත ඉස්කෝලෙ නම. පුරුපුරුලාව සත පහකට ගනන් ගන්නෙ නැති වැඩිහිටියො පවා අර අයියා එක්ක බලෙන්ම කතා බහට ගියෙ. ඉතිං පොඩි කාලෙ ඉඳලාම අපේ පූසාට ඕනෙ වෙච්ච දෙයක් තමයි ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා කුරුඳුවත්තට හරි මරියකඩේ ඉස්කෝලෙට හරි යන්න.


ඒ හින්දා පුරුපුරු මේ දවස්වල කඩියා වගේ වැඩ කරන්න පටන් ගත්තලු. සුදුපූසිගෙ අක්කාත් මේ වෙද්දි ගියෙ අග්‍ර උපාසිකාවගෙ ඉස්කෝලෙට. ඉතිං ඒකට යන්න බලාගෙන සුදුපූසිත් මහන්සියෙන් වැඩ කරන්න පටන් ගත්තලු. ඔහොම කල් ගතවෙලා නොදැනීම ශිෂ්‍යත්ව විභාගෙ දවසත් උදාවුණේ ඇහිපිය ගහන පරක්කුවෙන්.


මේ වෙද්දි ඉස්කෝලෙ ටීචර්ලා හැම දෙනාම පුරුපුරුයි, සුදුපූසියි, ඉස්සායි, රසිකායි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතිං අපේ යාලුවො කට්ටියම හිතා ගත්තලු ශිෂ්‍යත්වෙන් තමන්ට පුලුවන් උපරිම රිසාල්ට්ස් අරගෙන ඉස්කෝලෙට ගෞරවයක් ගේනවයි කියලා. ඇත්තටම ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙන එකේ වැඩි විශේෂත්වයක් නෑ වගේ ඔයාලාට පේන්න පුලුවන්. ඒත් පුරුපුරුලාගෙ වගේ දුප්පත්, කිසිම පහසුකමක් නැති පොඩි ඉස්කෝලෙක ගුරුවරුන්ට එක ළමයෙක් හරි විභාගෙන් පාස් වෙනවා දකින එක සෑහෙන්න ලොකු ඇචීව්මන්ට් එකක්.


කොහොමහරි ඉතිං ඔය විදිහට ශිෂ්‍යත්ව විභාගෙ දවසෙ, අපේ පුරුපුරුත් කිරි කොකා වගේ සුදට සුදේ සැරසිලා ගියාලු විභාග ශාලාවට. යන ගමන් දේවගම දෙවියන්ට පඬුරක් එහෙම ගැටගහලා යන්නත් මෑන්ස්ගෙ තාත්තා අමතක කළේ නෑ. අන්තිමේදි ඉතිං අවුරුදු දෙකක් පණ බයේ බලාගෙන හිටපු ශිෂ්‍යත්ව විභාගෙ පටන් ගත්තලු.


මුලින්ම තිබුනෙ පළවෙනි පේපර් එක. අපේ පූසා ඒකටනං බොහොම හොඳට උත්තර ලිව්වලු. ඒත් මෑන්ස්ට කෙළවුණේ දෙවෙනි පේපර් එකට ලියද්දි. දෙවෙනි පේපර් එකේ බාගයක් ලියද්දි පුරුපුරුට එකපාරටම දැනුනලු මෑන්ස්ගෙ ඔලුව කැරකෙනවා වගේ. ඒ එක්කම මෑන්ස්ට දැනුනෙ තමන්ට කලන්තෙ දාගෙන එනවා වගේ. මේ වෙද්දි තව ප්‍රශ්න කීපයක් ලියන්න ඉතුරු වෙලාත් තිබුනා. ඉතිං පුරුපුරු කළේ විනාඩි දහයක් විතර ඔලුව ඩෙස්ක් එකේ තියාගෙන හිටපු එක. අන්තිමේදි පූසා ආපහු නෝමල් කන්ඩිෂන් එකට එද්දි විහාගෙ ඉවරවෙන්න ඉතුරු වෙලා තිබුනේ බොහොම ටික වෙලාවයි. 


අපේ පුරුපුරු ඊටපස්සෙ කළේ පුලුවන් ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ලියාගෙන ගිය එක. දෙයියන්ගෙ පිහිටෙන් අන්තිමේදි ප්‍රශ්න දෙකක් ඇරෙන්න ඉතුරු ඒවාට උත්තර ලියන්න පූසාට පුලුවන් වුණාලු. ඒත් තමන් හිතාගෙන හිටපු විදිහට විභාගෙට ලියන්න බැරිවෙච්ච බව මෑන්ස්ට අමුතුවෙන් කියාදෙන්න ඕනෙ වුණේ නෑ. ඉතිං එදා විභාගෙ ඉවරවෙලා පුරුපුරු ගෙදර ගියේ ෆුල්ම ෆුල් අප්සෙට් එකේ.


ඊටපස්සෙ ගතවුණේ පූසාගෙ ජීවිතේ බොහොම නිහඬ මාස කීපයක්. ශිෂ්‍යත්ව විභාගෙ ඉවර නිසා ඉස්කෝලෙ වැඩවලදිත් ළමයි අතරෙ එච්චර තරඟකාරී ගතියක් තිබුනෙ නෑ. සුදුපූසි එක්කත් වෙනදා වගේම හොඳ යාලුවො විදිහට හිටියා මිසක් කිසිම විශේෂ දෙයක් වුණේ නෑ. අන්තිමේදි ඉතිං 97 අවුරුද්දෙ අවසානයත් එක්කම අපේ පූසා තමන් ඉගෙනගත්තු රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලයට බොහොම දුකෙන් සමුදුන්නලු.


ඒ කාලෙ දැන් වගේ බොහොම ඉක්මනට ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්නෙ නෑ. එක අවුරුද්දක අගෝස්තු මාසෙ විභාගෙ ලිව්වාම ඊළඟ අවුරුද්දෙ මාර්තු-අප්‍රේල් වගේ කාලෙක තමයි ප්‍රතිඵල එන්නේ. ඉතිං ජනවාරි ඉඳන් මාර්තුවල රිසාල්ට්ස් එනකං කණිෂ්ට විද්‍යාලෙ හිටපු හැම ළමයාම ගියෙ රෙදිගොඩ මහා විද්‍යාලෙට. ඒ කියන්නෙ පුරුපුරුගෙ අම්මා උගන්නපු ඉස්කෝලෙට. ඉතිං අපේ පුරුපුරු, සුදුපූසි ඇතුලු යාලුවො කට්ටිය නියමිත විදිහට හය වසරෙදි ඇතුල් වුණාලු මේ ඉස්කෝලෙට.


අපේ පූසාගෙ පූරුවෙ පිනට අලුත් පන්තියෙදි මෑන්ස්ට චාන්ස් එක ලැබුනලු ආපහු සුදුපූසි එක්ක ක්ලාස් මේට් කෙනෙක් වෙන්න. ඉතිං තව දුරටත් පහ වසරෙදි වගේ සුදුපූසි හිටපු පන්තිය දිහා හොරෙන් බල බලා මහන්සි වෙන්න මෑන්ස්ට ඕනෙ නුණේ නෑ. දැන් ආපහු ඉස්සර වගේම සුදුපූසි එක්ක හිතේ හැටියට කතා කරන්න, ආශ්‍රය කරන්න පුලුවන්. අපේ පුරුපුරුගෙ හිතට දැනුනෙ කියන්න බැරි තරමේ සතුටක්. ඒත් ඒ සතුට ඇතිවෙච්ච වේගෙන්ම නැතිවුණේ තවත් මාස කීපයකින් පස්සෙ තමන්ට සුදුපූසිගෙන් වෙන් වෙන්න වෙන බව පූසාට මතක් වෙච්ච හින්දා.


තව මාස දෙක තුනකින් ශිෂ්‍යත්ව විභාගෙ රිසාල්ට්ස් ආවම සුදුපූසි එක ඉස්කෝලෙකට යයි. පුරුපුරු තවත් ඉස්කෝලෙකට යයි. ඉස්සා, රසිකා වගේ යාලුවො තවත් ඉස්කෝල වලට යයි. මේ බව මතක් වෙද්දි පුරුපුරුගෙ පොඩි හිතට ඇතිවුණේ වචනෙන් කියන්න බැරි තරමේ වේදනාවක්. තමන්ට පොඩි කාලෙ ඉඳලා හිටපු යාලුවො ඔක්කොම මේ ශිෂ්‍යත්ව විභාගෙ හින්දා මෑන්ස්ට නැති වෙන්නයි යන්නේ.


ඉස්කෝලෙ කම්බි වැට අයිනෙ හිටපු වට්ටි අම්මාගෙන් මුරුක්කු, වෙරළු අච්චාරු කාපු හැටි, ඉස්කෝලෙ ලිස්සන බෝට්ටුව එහා පැත්තෙ ගහට නැගලා ලාවුළු ගෙඩි කඩපු හැටි, රුපියලේ අයිස් පලම්, සත පනහේ බොම්බයි මොටයි කාපු හැටි...


එළුවන් කාපු හැටි, බා බා කුකුළෝ, සම්බෝල කඩපු ඒවා, ගහගත්තු ඒවා, රිලේ දුවපු ඒවා...


තමන්ගෙ යාලුවොත් එක්ක පොඩි කලෙ ඉඳලා ගතකරපු සුන්දර අතීතයෙ මතක එකින් එක පුරුපුරුගෙ හිතට ආවෙ මෑන්ස්ටත් නොදැනීම වගේ. තවත් ටික දවසකින් ඒ අතීතෙට සම්පූර්ණයෙන්ම සමුදෙන්න අපේ පූසාට සිද්ද වෙනවා. පුරුපුරුට අන්තිමේදි ඉතුරු වෙන්නේ සුන්දර මතකයන් ටිකක් විතරයි. 


ඒත් සුදුපූසි? පුරුපුරුට ඕනෙ වුණේ සුදුපූසිව සුන්දර මතකයක් විදිහට තියාගන්න නෙවෙයි. එයාව හැමදාටම තමන් ළඟින් තියාගන්න. ඒත් තව ටික දවසකින් පුරුපුරුයි සුදුපූසියි වෙන් වුණාම කොහොමද තමන් සුදුපූසිව ළඟින් තියාගන්නේ? පුරුපුරුට තේරුණාලු තමන්ගෙ හීන මාළිගා ඔක්කොම කුඩුපට්ටම් වෙලා යන්න තව වැඩි කාලයක් නෑ කියලා.

ඉතිං මේ කරුම විභාගෙ ගැන අපේ  පුරුපුරුට ජම්ප් වුණේ එසේ මෙසේ ෆ්ලවර් එකක් නෙවෙයි.


ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින්...

Thursday, August 11, 2011

සුදුපූසි 5 - දුකයි සතුටයි



ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම අපේ පුරුපුරුයි, රොටියායි එකතු වෙලා පන්තිය මැද්දෙ හැදුවලු පොඩි බටලන්දක්. මේ වෙද්දි ඉස්කෝලෙ ටීචර්ලා ඔක්කොම ගුරු රැස්වීමට ගිහින්. ඒ කියන්නෙ ඉස්කෝලෙ පාලනය දැන් බාරවෙලා තියෙන්නෙ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායකයන්ට. ඉතිං අපේ පූසා කළේ පහළ ශ්‍රේණි බලාගන්න ප්‍රිෆෙක්ට් සෙට් එකක් යවලා, වැඩියෙන්ම කරදරකාර පහ වසර බලාගන්න වැඩේ තමන් ඇතුලු ඉතුරු ප්‍රිෆෙක්ට් සෙට් එකට පවරගත්ත එක.

කොහොමහරි ඉතිං වැඩි වෙලාවක් යන්න කලින් ටීචර්ලා නැති ඉස්කෝලෙ පහ වසරෙ කොල්ලො කට්ටිය යකා නටන්න ගත්තලු. සමහරු පන්තිවලින් එළියට පැනලා පිට්ටනියෙ සෙල්ලම් කරනවා. තවත් සමහරු අනිත් ළමයි එක්ක ගහගන්නවා. ගෑනු ළමයින්ගෙ පොත්වල චිත්‍ර අඳිනවා. විකාර වැඩ කෝටියයි.

ඉතිං මේ වෙලාවෙ තමයි පුරුපුරු ඇතුලු පපට් සෙට් එක ක්‍රියාත්මක වුණේ. කට්ටිය කළේ පන්තිවල තිබ්බ වේවැල් ටික අරගෙන කලින් කිව්ව වැඩවල නිරතවෙලා හිටපු මෑන්ස්ලාට දිගට හරහට සබ්බුව දීපු එක. තවම පහ වසරෙ හින්දා කොල්ලො කවුරුවත් ප්‍රිෆෙක්ට්ලාට විරුද්දව නැගී හිටියෙත් නෑ. ඊටපස්සෙ පුරුපුරුලා කළේ වේවැලෙන්වත් මට්ටු කරන්න බැරි කොල්ලන්ව බටලන්දට යවපු එක.

බටලන්ද බාරව හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි, වධකාගාරයක් හදන්න පුරුපුරුට අයිඩියා එක දාපු රොටියාමයි. ඉතිං රොටියා කළේ බටලන්දට ආපු හිරකාරයන්ට දිගට හරහට අතින් පයින් සංග්‍රහ කරපු එක. සුදුපූසි ඇතුලු ප්‍රිෆෙටියො කට්ටිය මේ සිද්දවෙන වැඩේ දිහා කට ඇරගෙන බලාගෙන හිටියලු. ඉතිං මේ මර්ධනකාරී පාලනය හමුවේ ටික වෙලාවක් යද්දි දකින්න ලැබුනේ කොල්ලො ටික කිසිම සද්දයක් නැතුව පිළිවෙලට පන්තිවල වාඩිවෙලා ඉන්න දර්ශනේලු.

දැන් ඉතිං වැඩේ හරි. දැන් ප්‍රින්සිපල් සර්ට කියන්න බෑ ඉස්කෝලෙ විනය හොඳ නෑයි කියලා. අපේ පුරුපුරුට මෙහෙම හිතුනලු. ඒත් මේ වෙද්දි අපේ රොටියා හිටියෙ ෆුල් වයලන්ට් වෙලා. මෑන්ස් කළේ බටලන්ද වට කරලා තිබුන ඩෙස්ක් වලින් එකක ලාච්චුවකට පොතක කොළ කඩලා පුරවපු එක. ඊටපස්සෙ රොටියා කළේ පන්තියෙ බුදුපහන පත්තු කරන ගිනි පෙට්ටිය අරගෙන අර ලාච්චුවට ගිනි තිබ්බ එක. මොහොතක් ගතවෙද්දි ඩෙස් එකේ තිබ්බ හිල් වලින් ලස්සනට දුම්රොටු මතුවෙන්න ගත්තෙ පන්තිය පුරා ලස්සන රටාවක් මවමින්.

ඇත්තටම පුරුපුරුටත් කිසිම උවමනාවක් තිබුනෙ නෑ මේ වැඩේ නවත්තන්න. පුරුපුරුට තිබ්බ එකම අප්සෙට් එක තමයි රොටියාට කලින් මෑන්ස්ට මේ අයිඩියා එක ආපු නැති එක. ඒත් ටික වෙලාවකින් අපේ පූසාට තරු පෙනුනෙ ලාච්චුව ඇතුලෙ තිබ්බ කඩදාසි වලට අමතරව ඩෙස්ක් එකටත් ගිනි ඇවිලිලා තියෙනවා දැක්කාම. 

ඩෙස්ක් එකට ගිනි ඇවිලිච්ච බව දැක්ක බටලන්දෙ හිරකාරයො ටික බයවෙච්ච පාර, කට්ටිය කළේ කෑ ගහගෙන බටලන්දත් කඩාගෙන දුවපු එක. පුරුපුරුත් බයවෙච්ච පාර මෑන්ස්ගෙ වතුර බෝතලේ අරගෙන අර ඩෙස්ක් එකට හැලුවලු. එතකොට මුලු පන්තියම දුමෙන් පුරවලා ගින්නනං නිමුනලු. ඒත් අපේ පූසාගෙ හිතේ අලුත් ගින්දරක් ඇවිලුනේ පන්තියෙ ටීචර් ගුරු රැස්වීම ඉවරවෙලා ඈත ආපහු එනවා දැක්කාම.

ඉතිං ඉස්කෝලෙ විනය හදන්න පුරුපුරු පටන් ගත්තු මේ සද්ක්‍රියාව ජෝන් බාස්ට යන්න ගතවුණේ බොහොම පොඩි වෙලාවක්. පන්තියෙ දුම දැක්ක ටීචර් දුවගෙන පන්තියට ආවෙ හොඳටම බයවෙලා. ඊටපස්සෙ පන්තියෙ ඉන්න කේලම්කාර කෙල්ලන්ගෙන් වෙච්ච සිද්දිය හොඳට ලුණු ඇඹුල් ඇතුව අහගන්න ටීචර්ට කිසිම අමාරුවක් වුණේ නෑ. ඊටපස්සෙ නඩුව විභාග කරපු ටීචර් ඩෙස්ක් එකක් ගිනිතිබ්බ එකටයි, පන්තියෙ වධකාගාරයක් හදපු එකටයි අපේ පුරුපුරුවයි රොටියාවයි සම්පූර්ණ වැරදිකරුවන් කළාලු. මේ වෙද්දි අහල පහළ පන්තිවල ටීචර්ලාත් මේ සිද්දිය රස විඳින්න එතනට සෙට් වෙලා.

ඊටපස්සෙ ටීචර් කළේ මුලු පහ වසරම ඉස්සරහා පුරුපුරුටයි, රොටියාටයි බරපතල වේවැල් සංග්‍රහයක් දුන්න එක. අපේ පූසාට විලි ලැජ්ජාවෙ සංතෝසේ බැරුවා! ඔක්කොම ළමයි මේ සිද්දිය බලාගෙන. ඒ ඔක්කොටම වඩා හපන්, සුදුපූසිත් මේ සිද්දිය දිහා බලාගෙන ඉන්නවා කන්න වගේ. ඒ මදිවාට රුමේෂුත් බලාගෙන ඉන්නවා හිනා වෙවී. පුරුපුරුට තමන් කරගත්තු බරපතල ගොංකම තේරුනේ මේ වෙලාවෙ තමයි.

පන්තියෙ ටීචර් පුරුපුරුලාට ගහලා නැවතුනේ නෑ. වහාම ක්‍රියාත්මක වෙන පරිදි පූසාගෙයි රොටියාගෙයි පපට් බැජ් දෙකත් ගලවා ගත්තලු. බැජ් එක ගැලෙව්වට පස්සෙනං අසරණ පුරුපුරුට දැනුනෙ පිහාටු ගලවපු බ්‍රොයිලර් කුකුළෙකුට ඇතිවෙන හැඟීමක්. බැජ් එකත් නෑ, කාඩ් එකත් කුඩු, ඒ මදිවාට සුදුපූසි තමන්ට කැමති වෙන්නෙත් නෑ දැන්නං ෂුවර් එකට.

ඒත් ඉතිං ගිය නුවණ ඇතුන් ලව්වාවත් අද්දවන්න බැරිලුනෙ. ඉතිං ඉස්කෝලෙ ඉවරවුණාම තමන්ගෙ ලට්ට ලොට්ට ටික බෑග් එකට පටවගත්තු පුරුපුරු හිමින් හිමින් ඇදුනලු ගේට්ටුව දිහාට. අපේ පූසාගෙ හීන ලෝකෙ සුදුපූසි ගැන දැකපු හීන දැන්නං ඔක්කොම චකබ්ලාස්. සුදුපූසි ආපහු කවදාවත් පුරුපුරු එක්ක කතා කරන එකක් නෑ. ඔහොම හිත හිතා ඇවිද්ද පුරුපුරු එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවෙ කවුද තමන්ට කතා කරනවා ඇහිලා.

පුරුපුරු.....පුරුපුරු.....

දෙයියනේ! බැලින්නං ඒ තමන්ට කතා කරන්නෙ සුදුපූසි. පුරුපුරුගෙ හිතට එකපාරටම දැනුනෙ ලොකු සතුටක්. ඒත් සුදුපූසි තමන්ට කතා කරන්නෙ සමහර විට බනින්න වෙන්න ඇති, එහෙමත් නැත්තං වෙච්ච සිද්දිය ගැන තමන්ව බයිට් කරන්නද දන්නෙත් නෑ. මෙහෙම හිතපු පුරුපුරුගෙ හිතෙන් අර සතුට පලායන්න ගතවුණේ එක නිමේශයක් විතරයි. පුරුපුරු කළේ හිටපු තැනම නැවතිච්ච එක. ඊටපස්සෙ සුදුපූසි පුරුපුරු ළඟට ආවලු. දැන් අපේ පූසාගෙ හාර්ට් එක හොඳටම ගැහෙනවා.

සුදුපූසි :- පුරුපුරු, ඔයාට වෙච්ච දේ මම දැක්කා.

පුරුපුරු :- හ්ම්...දැන් ඉතිං මම ඉස්කෝලේ නිකම්ම නිකං ළමයෙක් විතරයි.

සුදුපූසි :- එහෙම කියන්න එපා. ඔයාට ආපහු බැජ් එක දෙයි. ඉඳලා හිටලා ඔය වගේ වැඩ කළාට මම දන්නවා ඔයා හොඳ ළමයෙක් කියලා.

සුදුපූසිගෙ මේ වචන අහපු පුරුපුරුට එකපාරටම කරන්ට් එක වැදුනා වගේ වුණාලු. මෑන්ස්ගෙ හිතේ මේච්චර වෙලා තිබුන එක්කොම දුක් දොම්නස් ටික හිරු දුටු පිණිබිඳු වගේ වැනිෂ් වෙන්න ගියේ තත්පරෙන් අරික්කාලයි. අපේ පූසාගේ හිතට ඇතිවුණේ ලොකු ෆිට් එකක්. මෙච්චරකල් ආශ්‍රය කරලත් සුදුපූසිගෙ කටින් පුරුපුරු ගැන ඔහොම අයිඩියා එකක් පිටවුණේ පළවෙනි වතාවට. කොටින්ම දුවලා ගිහින් පන්තියෙ ටීචර්ගෙ කකුල් දෙක අල්ලලා වඳින්න තරම් ආදරයක් ඇතිවුණාලු පුරුපුරුට.

කොහොමහරි ටිකක් වෙලා කතා කරපු පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ අලුත්ම පූසෙක් වගේ. සුදුපූසි කිව්වනං එච්චරයි. එයා බොරු කියන්නෙ නෑ. හැමදේම හරියයි. මෙහෙම හිතපු පුරුපුරු ගෙදර යන්න පිටත් වුණාලු. ඒ තමන් එදා උදේ ඉස්කෝලෙ ආවටත් වඩා සතුටින්. ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?

Wednesday, August 10, 2011

සුදුපූසි 4 - බටලන්ද



අපි කලින් දවසෙ කතාව නතර කළේ සුදුපූසිට රුමේෂ් කියන කොල්ලා ට්‍රයි කරන බව අපේ පුරුපුරුට ආරංචි වෙච්ච තැනින් නොවැ! ඉතිං අපේ පූසා දිගට හරහට කල්පනා කළාලු දැන් මේ වැඩේ සම්බන්දයෙන් තමන් ගන්න ඕනෙ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියලා. මම කලිනුත් කිව්වා වගේ රුමේෂ් කියන්නෙ හොඳ හයේ හතරෙ ඩයල් එකක්. මෑන්ස් එක්ක ගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ නැතත් පුරුපුරු දරපු තනතුරේ හැටියට ඔය වගේ නොහොබිනා වැඩ වලට යන එකත් එච්චර සුදුසු වැඩක් නෙවෙයි.

ඒ වගේම පුරුපුරුට ආරංචි වෙච්ච හැටියට රුමේෂ් සුදුපූසි වෙනුවෙන් මිලට ගත්තු චොක්ලට් එක ඉස්කෝලෙට ගෙනත් බෑග් එකේ දාගෙන තමයි ඉන්නේ. ඒ සුදුසු වෙලාවක් එනකං බලාගෙන ඉඳලා ඒක සුදුපූසිට දෙන්න. ඒත් ඉස්කෝලෙට චොක්ලට් ගේන එක වැරදි වැඩක් නෙවෙයි. කොටින්ම ඒ දවස්වල ඉස්කෝලෙ හැම කොල්ලාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ස්ටිකර් එකතු කරන්න හිතාගෙන එඩ්නා චොක්ලට් සල්ලි වලට ගන්න පුරුදු වෙලාලු හිටියේ. ඉතිං රුමේෂ් චොක්ලට් එකක් ගෙනාපු එක සම්බන්දයෙන් කිසිම පියවරක් ගන්න පුරුපුරුට පුලුවන්කමක් තිබුනේ නෑලු.

හැබැයි කෙල්ලෙක්ට කොල්ලෙක් විසින් චොක්ලට් එකක් දීමනං අතිශය භයානක වැරැද්දක්. ඒ කියන්නෙ පුරුපුරුට රුමේෂ්ගෙ චොක්ලට් එකට විරුද්ධව පියවරක් ගන්න පුලුවන් මෑන්ස් ඒක සුදුපූසිට දුන්නොත් විතරයි. ඒත් ඒ වැඩේ ගැනනං අපේ පූසාගෙ හිතේ කිසිම මනාපයක් තිබුනෙ නෑ. මොකද චොක්ලට් එක දුන්නාට පස්සෙ සුදුපූසිගෙ හිතේ රුමේෂ් ගැන “මෙව්වා“ එකක් ඇතිවුණොත් එහෙම අපේ පූසාගේ සිහින මාළිගා ඔක්කොම කෙලින්ම බුල්ඩෝසර් වෙලා යනවා.

ඉතිං මේ විදිහට කල්පනා කර කර හිටපු පුරුපුරු අන්තිමේදි තීරණයක් ගත්තලු. ඒ මොන දේ වුණත් කමක් නෑ කියලා රුමේෂ් එක්ක මේ ගැන කතා කරන්න. හැබැයි ඒ කතාබහේදි තමන් රුමේෂ්ට කියන්න ඕනෙ මොනවද කියලාවත් ප්ලෑන් කරගන්න තරම් මොළයක් පූසාට ඒ සන්දියෙදි තිබුනෙ නෑ. ඉතිං එක දවසක් උදේ වරුවේ පුරුපුරු ගියාලු රුමේෂ්ව මුණගැහෙන්න. පුරුපුරු යද්දි රුමේෂ් හිටියේ ඩෙස්ක් එකක චිත්‍රයක් ඇඳ ඇඳ. හොඳට බැලින්නං ඒ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දැක්වෙන කෝටුකිතයි චිත්‍රයක්. අම්මපා වයසෙ හැටියටද මුගෙ වැඩ?

පුරුපුරු :- ආ රුමේෂ්. ඇත්තද ඔයා මේ සුදුපූසිට දෙන්න චොක්ලට් එකක් ගෙනත් කියන්නෙ ?

රුමේෂ් :- ඔව්! ඇයි ඔයා මොනවා කරන්නද?

පුරුපුරු :- නෑ නෑ!! ඔයා එහෙම කෙල්ලන්ට චොක්ලට් දෙන එක වැරදි වැඩක්.

රුමේෂ් :- ඇයි ඔයත් සුදුපූසිට චොක්ලට් දෙන්නද ඉන්නෙ?

පුරුපුරු කවදාවත් රුමේෂ්ගෙන් මේ වගේ ඩිරෙක්ට් ප්‍රශ්නයක් බලාපොරොත්තු වුණේ නෑ. දැන් ඉතිං දීපල්ලකෝ මූ අහන ඒවට උත්තර! පුරුපුරු ඇත්තටම ඒ වෙද්දි සුදුපූසිට ෆුල් ලව් එකෙන් තමයි හිටියේ. ඒත් ඒ බව ප්‍රසිද්ද සමාජයේ පිළිගන්න මෑන්ස්ට ලොකු ලැජ්ජාවක් ඇතිවුණාලු. මොකද ඉතිං පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක්ට ට්‍රයි කරන එක ලොකු වැරැද්දක් නොවැ!

පුරුපුරු :- ඔයාට ඒවා වැඩක් නෑනෙ. ඔයා සුදුපූසිට චොක්ලට් එක දුන්නොත් මම හොඳ වැඩක් කරනවා.

රුමේෂ් :- තමුසෙ කවුද එහෙම කරන්න. පලයං යන්න.

පලයං? බුදු අම්මෝ මූ කියන කුණුහරුප! අපේ පුරුපුරුට එහෙම හිතුනලු. ජීවිතේ කවදාවත් කවුරුවත් පුරුපුරුට කුණුහරුපෙන් බැනලා නෑ. ඉතිං රුමේෂ් කියපු ඒ වචනෙන් වුණේ අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙච්ච එක. ඊළඟ තත්ත්පරේදි පුරුපුරු කළේ ඉස්සරහට පැනලා රුමේෂ්ගෙ බෙල්ලෙන් අල්ලපු එක. ඒත් ඒ වැඩෙන් වුණේ යෝධයෙක් වගේ හිටපු රුමේෂ්ටත් ෆුල් නප්පියටම නැග්ග එක.

තවත් තත්පර ගානක් යද්දි වටේ හිටපු ළමයින්ට දකින්න ලැබුනෙ පුරුපුරුව බිම දාගෙන නෙලන රුමේෂ්ගෙ දර්ශනේලු. අන්තිමට රුමේෂ්ලාගෙ පන්තියෙ ටීචර් තමයි ඇවිත් රණ්ඩුව බේරුවෙ. ඒත් ඒ වෙද්දිත් අපේ පුරුපුරුගෙ ලස්සන සුදු ඇඳුම් ටිකේ කුණු ගෑවිලා, තැලිලා සවුත්තු වෙලයි තිබුනේ. ඒ පුරුපුරුගෙ ජීවිතේ පළවෙනිම රණ්ඩුවනං නෙවෙයි, ඒත් ඒ තමයි අපේ පුරුපුරුගෙ පළවෙනි ගුටිකෑම.

අන්තිමේදි සිද්දවුණේ රණ්ඩුවීමේ චෝදනා යටතේ පුරුපුරුටයි රුමේෂ්ටයි දෙන්නාටම ටීචර්ගෙ වේවැල් කසාය හම්බවෙච්ච එක. ඒක හැමදාම ගුටිකන රුමේෂ්ටනං එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් ඉස්කෝලෙ හෙඩ් පපට් වෙච්ච පුරුපුරුටනං ඒකෙන් වුණේ සෑහෙන ලැජ්ජාවක්. විශේෂයෙන්ම මේ ගැන සුදුපූසිට ආරංචි වුණාම තමන් එයාට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක තමයි පුසාට තිබුන ප්‍රධානම ප්‍රශ්නෙ වුණේ. කොහොමහරි අන්තිමට පුරුපුරුට ආරංචි වුණේ රුමේෂ් සුදුපූසිට චොක්ලට් එක දීලා නැහැයි කියලා. ඉතිං තමන් ගුටිකාපු එක අපතේ ගියෙ නෑ කියලා පුරුපුරුට හිත හදාගන්න පුලුවන් වුණාලු.

මේ වෙද්දි පහ වසරේ ශිෂ්‍යත්ව විභාගෙත් කිට්ටු වෙලා තිබුනේ. ඒ අස්සේ පුරුපුරුට ඉස්කෝලෙ බාහිර වැඩත් සෑහෙන තොගයක් පැටවිලා තිබුනලු. පපට් පට්ටමට අමතරව සිංහල සාහිත්‍ය සමිතියෙ, බෞද්ධ සමිතියෙ, පෝතක බාලදක්ෂ වගේ වැඩවලටත් පුරුපුරු සෙට් වෙලා හිටියලු. මේ ඔක්කොම අස්සෙ තමයි ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් ශිෂ්‍ය නායක රැස්වීමකදි කිව්වෙ, ඉස්කෝල විනය සම්බන්ධයෙන් ප්‍රිෆෙක්ට්ලා සෙට් එක ක්‍රියා කරනවා මදියි කියලා. ඒ කියන්නෙ ඒ සිද්දියෙ වගකීම ප්‍රධාන වශයෙන් බාරගන්න වෙන්නෙ පුරුපුරුට.

ඇත්තටම පුරුපුරුලාගෙ ඉස්කෝලෙ හිටියෙ වසවර්ති මාරයො වගේ කොල්ලො සෙට් එකක්. කෙල්ලොත් ඊට දෙවෙනි නෑ. ඉතිං ඒ කට්ටියව ආම්බාං කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ මදිවට ඉස්කෝලෙ ටීචර්ලාටත් හැම තිස්සෙම ගුරු රැස්වීම්. එතකොට මුලු ඉස්කෝලෙම බලාගන්න වෙන්නෙ ශිෂ්‍ය නායකයන්ට. ඉතිං මේ වගේ තත්ත්වයක් යටතේ ප්‍රින්සිපල් සර් කරපු චෝදනාව ගැන අපේ පුරුපුරුට ජම්ප් වුණේ එසේ මෙසේ ෆ්ලවර් එකක් නෙවෙයි. මෑන්ස් හිතාගත්තලු මීටපස්සෙනං විනය කඩ කරන ළමයින්ට හොඳ ගේමක් දෙනවයි කියලා.

මේ ගැන කතා කර කර ඉන්නකොට උප ප්‍රධාන ශිෂ්‍ය නායක රොටියා තමයි පුරුපුරුට වන්ඩර්ෆුල් යෝජනාවක් කළේ. මෑන්ස් හිටියෙත් පුරුපුරුගෙ පන්තියෙමයි. ඉතිං රොටියාගෙ අදහස වුණේ පන්තිය ඇතුලෙ වධකාගාරයක් දාන එක.

ඒ දවස්වල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වෙලා තිබුනේ බටලන්ද වධකාගාරය සහ ඒ ගැන හොයන්න පත්කරපු කොමිසම. ඉතිං මේ බටලන්ද කියන්නෙ මොකද්ද කියලා පොඩි ළමයින්ගෙ හිත්වල පවා තිබුනෙ නොසෑහෙන කුතුහලයක්. අන්තිමේදි පුරුපුරුයි රොටියයි තීරණය කළාලු තමන්ගෙ පන්තියෙත් පුංචි වධකාගාරයක් දාන්න. ඉතිං මේ දෙන්නා බලාගෙන හිටපු ඒ සුභ දවස උදාවෙන්න වැඩි කල් ගතවුණේ නෑ. මොකද සුපුරුදු විදිහට ඊළඟ සතියෙ දවසකත් ගුරු රැස්වීමක් නිසා ඉස්කෝලෙ ගුරුවරු ඔක්කොම ඒකට සහභාගි වෙලයි හිටියේ.

ඉතිං පුරුපුරුයි රොටියායි තමන්ගෙ පන්තියෙ ඩෙස්ක් කීපයක් වළල්ලක් වගේ වෙන්න හදලා, එක ඩෙස්ක් එකක පොඩි බෝඩ් එකක් ගැහුවලු “බටලන්ද“ කියලා. ඒ විනය කඩකරන පහ වසරෙ කොල්ලන්ව ගෙනත් හිරකරලා තියන්න. ඉතිං ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?

Tuesday, August 9, 2011

සුදුපූසි 3 - පුරුපුරුට දුෂ්ටයෙක්


සුදුපූසි 1
සුදුපූසි 2

අපි කලින් ලිපිවලින් කිව්වේ අපේ පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං එතනින් පස්සෙ මේ දෙන්නා හිටියේ හොඳම යාලුවො විදිහටලු. හැබැයි ඉතිං කොච්චර හොඳ යාලුවො වුණත් අපේ පූසායි සුදුපූසියි අතරෙ පොඩි කෝල්ඩ් වෝර් එකකුත් නොතිබුනාම නෙවෙයි. මොකද පන්තියෙයි, ඉස්කෝලෙයි එක එක වැඩ වලදි දෙන්නාගෙන් කාටවත් ඕනෙ වුණේ නෑ අනිත් එක්කෙනාට සෙකන්ඩ් වෙන්න.

විශේෂයෙන්ම වාර විභාග වලදි පන්තියෙ පළවෙනියා වෙන්න තමයි දෙන්නාගෙම ෆයිට් එක තිබුනේ. හැබැයි ඉතිං සුදුපූසිගෙ අවාසනාවට පුරුපුරු පන්තියට ආවට පස්සෙ කවදාවත් එයාට පන්තියෙ පළවෙනි තැන ගන්න බැරිවුණාලු. ඒත් එහෙමයි කියලා පළවෙනි තැන ගන්න දියත් කරපු සුදුපූසිගෙ සටන නැවතුනෙත් නෑ. කොහොමහරි ඉතිං ඔය විදිහට හැමදාමත් පන්තියෙ පළවෙනි දෙවෙනි තැන් වෙන්වුණේ පුරුපුරුටයි සුදුපූසිටයි.

දැන් අපේ යාලුවො හිතනවා ඇති පුරුපුරු පොර ටෝක්ස් දෙනවයි කියලා. නෑ එහෙම නෙවෙයි, පුරුපුරුලා ගිය ඉස්කෝලෙ බොහොම පොඩි දුප්පත් ඉස්කෝලයක්. ඉතිං එක එක හේතු හින්දා ඉස්කෝලෙ හිටපු ගොඩක් ළමයින්ට ඉගෙනගන්න එච්චර ආසාවක්වත් උනන්දුවක්වත් තිබුනෙ නෑ. ඒ හින්දා ඉස්කෝලෙන් ඉගෙනගත්ත ගොඩක් ළමයි අන්තිමේදි නැවතුනේ එක්කො ත්‍රී වීල් පාක් එකේ, එහෙමත් නැත්තං බස් කොන්දොස්තර ජොබ් එකේ. ගෑනු ළමයෙක්නං එක්කො අඩු වයසින් කසාද බඳිනවා, එහෙමත් නැත්තං ගාමන්ට් එකක ජොබ් එකට යනවා.

හැබැයි ඉතිං ඒ පැත්තෙ තිබුන අනිත් ඉස්කෝල වලට සාපේක්ෂව හැම අවුරුද්දෙම වැඩිපුර ළමයි ගානක් ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා, පුරුපුරුලාගෙ ඉස්කෝලෙ ඉඳලා හොඳ ඉස්කෝල වලට ගියාලු. ඉතිං මේ කියපු කාරනා හින්දා පුරුපුරුලාගෙ ඉස්කෝලෙ වැඩර් කෙනෙක් වෙන්න එක්සෙප්ෂනල් බ්‍රයිටෙක් වෙන්න ඕනෙකමක් තිබුනෙ නෑ.

දෙකවසරෙ වෙච්ච දේවල් හැමදේම දැන් පුරුපුරුට මතක නෑ. මෑන්ස්ට මතක මොනතරම් සිතල යුද්ද තිබුනත් හැමදාම පුරුපුරුයි සුදුපූසියි හොඳම යාලුවො වගේ හිටියා කියලා තමයි. කොහොමහරි තුන වසරෙදිත් මේ යාලුවො දෙන්නා වැටුනෙ එකම පන්තියකට. සුපුරුදු විදිහට පන්ති නායිකා තනතුර හම්බවුණේ සුදුපූසිට. ඒ වගේම පන්ති නායක තනතුර පුරුපුරුට දෙන්න පන්ති බාර ටීචර් කටයුතු කළාලු. තුන වසරෙදිත් ඉතිං පන්තියෙ පළවෙනි ස්ථාන දෙක වෙන්වුණේ අපේ පූසාටයි සුදුපූසියිටයි. ඉතිං ඒ ඇරෙන්න වෙන කියන්න තරම් විශේෂ දෙයක් ඒ අවුරුද්දෙ සිද්දවුණේ නෑලු.

හතර වසරෙදිත් ඔය කලින් කියපු තත්ත්වය වෙනස් වුණේ නෑ. ඒත් මේ අවුරුද්දෙ සුදුපූසිට පුලුවන් වුණාලු පුරුපුරුව පළවෙනි පාරට පරද්දන්න. ඒක සිද්දවුණේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ළමයින්ට පෑනෙන් ලියන්න දෙන්නේ පහ වසරට ගියාට පස්සෙ. එතකං ඒ අය පොත්වල ලියන්න ඕනෙ පැන්සලෙන්. ඒත් හැම පන්තියෙන්ම ලස්සනට අකුරු ලියන ළමයි දෙතුන් දෙනෙක්ට හතර වසරෙ ඉඳලාම පෑනෙන් ලියන්න දෙනවා. ඉතිං පුරුපුරුලා හිටපු 4-E පන්තියෙ ටීචරුත් තීරණය කළාලු ක්ලාස් එකේ ලස්සනම අත් අකුරු තියෙන ළමයි දෙන්නාට පෑනෙන් ලියන්න චාන්ස් එක දෙන්න.

අපේ පුරුපුරු හිතුවේ මෑන්ස් පන්තියෙ පළවෙනියා හින්දා ටිචර් මෑන්ස්ට පෑනෙන් ලියන්න උඩින්ම චාන්ස් එක දෙයි කියලා. ඒත් හිතපු නැති විදිහට අන්තිමට තීරණය වුණේ සුදුපූසිටයි රසිකාටයි පෑනෙන් ලියන්න චාන්ස් එක දෙන්නලු. ඒ දවස්වල පෑනෙන් ලියන්න ලැබෙනවා කියන්නෙ හරියට ආචාර්ය උපාධියක් හම්බවෙනවා වගේ ලොකු දෙයක්. ඉතිං සුදුපූසිට තමන්ට පේන්න ලස්සනට පෑනෙන් ලියද්දි අපේ පුරුපුරු මූණ රතු කරගෙන පැන්සලෙන් අකුරු ලිව්වලු.

පුරුපුරුට මුලින්ම සුදුපූසි නැති අඩුව දැනුනේ පහ වසරෙදි. මොකද ඒ අවුරුද්දෙ පුරුපුරුව වැටුනේ සුදුපූසි වැටුන පන්තියට නෙවෙයි. පුරුපුරු හිටියේ 5-A පන්තියේ. සුදුපූසි හිටියේ 5-D පන්තියේ. පහ වසර ග්‍රේඩ් එකේ A,B,C සහ D කියන පන්ති හතරම තිබුනේ එකම ගොඩනැගිල්ලක. අනිත් පන්තිය තිබුනේ වෙන බිල්ඩින් එකක. ඉතිං පුරුපුරුයි සුදුපූසියි හිටියෙ අර කලින් කියපු බිල්ඩින් එකේ කොන් දෙකේ තිබුන පන්තිවලලු.

හැබැයි ඉතිං ඉස්කෝලෙ දුප්පත් නිසා පන්ති අතරෙ පාටිෂන් කරන්න තරම් ආර්ථික ශක්තියක් ඉස්කෝලෙට තිබුනෙ නෑ. ඒ හින්දා හැම පන්තියකම හිටපු ළමයින්ට ඒ බිල්ඩින් එකේ අනිත් හැම පන්තියමත් පේනවලු. පුරුපුරුනං ඉතිං මේ ගැන සෑහෙන සතුටින් හිටියෙ. මොකද මෑන්ස්ට යන්තම් හරි සුදුපූසිව පෙනුනෙ මේ හේතුව හින්දා. 
 
කොහොමහරි මේ අවුරුද්ද අපේ පුරුපුරුට බොහොම වැදගත් අවුරුද්දක් වුණාලු. මෑන්ස් ගිය ඉස්කෝලෙ ඔය ප්‍රධාන ශිෂ්‍ය නායක, එහෙමත් නැත්තං හෙඩ් පපට් තනතුරු දෙකක් තිබුනලු. ඒ තමයි පිරිමි සහ ගැහැනු හෙඩ් පපට් තනතුරු දෙක. ඉතිං මේ තනතුරු වලට පත්වෙන්නේ ඉස්කෝලෙ ඉන්න සීනියර්ම අවුරුද්දෙ ළමයි වෙන පහ වසරේ කට්ටිය. 1997 අවුරුද්දෙදි ඔය පිරිමි ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හම්බවුණේ අපේ පුරුපුරුට. ඒ වගේම ගෑනු ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හම්බවුණේ සුදුපූසිට. ඉතිං මේ තනතුර ලැබිච්ච එක අපේ පූසාගේ හිතට සෑහෙන සතුටක් ඇති කළාලු. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, සුදුපූසිත් එක්ක වැඩිපුර කතාබහ කරන්න, වැඩිපුර කල් ගතකරන්න ඒ තනතුර හින්දා මෑන්ස්ට පුලුවන් වෙන නිසා.

ඇත්තටම හෙඩ් ප්‍රිෆෙක්ට් තනතුර වෙනුවෙන් වැඩි වැඩක් කරන්න පුරුපුරුට තිබුනේ නෑ. තිබුන ප්‍රධානම වැඩේ වුණේ උදේ ඉස්කෝලෙ පටන් ගන්නකොටයි, පීරියඩ් අතරෙයි, හවස ඉස්කෝලෙ ඉවර වෙනකොටයි සීනුව ගහන එක. ඒ ඇරෙන්න අවේලාවෙ පිට්ටනියෙ සෙල්ලං කරන ළමයින්ව අල්ලන්නයි, අනිත් ප්‍රිෆෙක්ට්ලාගෙ වැඩ හොයලා බලන්නයි තමයි මෑන්ස්ට ප්‍රධාන වශයෙන් නියමිත වෙලා තිබුනෙ. සුදුපූසිට තිබුනෙ ගෑනු ළමයින්ගෙ වැඩ කටයුතු බලාගන්න. ඒ ඇරෙන්න අනිත් ශිෂ්‍ය නායකයන්ටයි, නායිකාවන්ටයි තමයි අමාරුම වැඩේ පැවරුණේ. ඒ තමයි තමන්ට බාරදෙන පන්තියක්, පන්තියෙ ටීචර් නැති දවස්වලට බලාගන්න එක.

ඉතිං මේ ශිෂ්‍ය නායක වැඩ කරද්දි තමයි පුරුපුරුට සුදුපූසිත් එක්ක කතා කරන්න ගොඩක්ම චාන්ස් එක හම්බවුණේ. ඊට අමතරව මේ දෙන්නා ඉස්කෝලෙ සිංහල සාහිත්‍ය සමිතියෙ, බොද්ධ සමිතියෙ එහෙමත් බැහැලා වැඩ කළාලු. ඉතිං මේ වෙද්දිනං අපේ පූසාගෙ හිතේ සුදුපූසි ගැන තිබුන අර මොකද්ද අමුතුම හැඟීම ෆුල් ලව් එකක් බවට පත්වෙලාලු තිබුනේ. ඒත් සුදුපූසිගෙ හිතේනං පූසා ගැන යාලුකමට එහා ගිය වෙන හැඟීමක් තිබුනේ නෑලු. ඉතිං පුරුපුරු ෆුල් අප්සෙට් එකේලු හිටියේ තමන්ගෙ හිතේ තියෙන දේ සුදුපූසිට ඒත්තු ගන්නන්න බැරුව.

ඔය අතරෙ තමයි සුදුපූසිගෙ පන්තියෙම හිටපු රුමේෂ් කියන වසවර්ති කොල්ලා සුදුපූසිට පැනිය දානවා කියලා කතාවක් පුරුපුරුට ආරංචි වුණේ. ඒ ආරංචිය අහපු වෙලාවේ ඉඳන් අපේ පූසගෙ පපුව ඔම්ලට් දාන්න පුලුවන් ගානට රත්වෙලාලු තිබුනේ. ඒ අතරෙ සිද්දිය තවත් දුරදිග ගියෙ රුමේෂ් සුදුපූසිට දෙන්න චොක්ලට් එකක් ඉස්කෝලෙට ගෙනත් කියන ආරංචිය පුරුපුරුට ආවාමයි.

රුමේෂ් කියන්නෙ ඉස්සර ඉඳන්ම පුරුපුරු එක්ක ඇරියස් පිට හිටපු කොල්ලෙක්. මෑන්ස් නොම්මර එකේ වසවර්තියෙක්. ඇඟෙනුත් හතේ අටේ ළමයෙක් විතර ලොකුයි. ගුරුවරු කියන දේ සත පහකට ගනන් ගන්නෙත් නෑ. කොටින්ම ඉස්කෝලෙ මොකක්හරි අණ්ඩපාල වැඩක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ සම්බන්දෙන් කියවෙන නමක් තමයි රුමේෂ්. ඒ වගේම රුමේෂ් එක්ක තවත් ඒ වගේම නොටෝරියස් ඩයල් ටිකක් නිතරම ගැවසුනා. ඉතිං ඉස්කෝලෙ විනය සම්බන්ද ප්‍රශ්න වලදි පුරුපුරුට නිතරම රුමේෂ් එක්ක ගැටලු ඇතිකරගන්න සිද්ද වුණාලු.

රුමේෂුත් ඉතිං හිටියෙ කොයි වෙලාවෙ හරි පුරුපුරුට හොඳ ගේමක් දෙන්න හිතාගෙන. ඒත් ඉස්කෝලෙ හෙඩ් පපට්ට ගහන එක එච්චරම නුවණට හුරු දෙයක් නෙවෙයි කියලා රුමේෂ් තේරුම් අරගෙන හිටපු හින්දා පුරුපුරුට මෑන්ස්ගෙන් බේරිලා ඉන්න පුලුවන් වුණාලු. ඒත් දැන් ඇතිවෙලා තියෙන්නෙ තනතුර පැත්තකට දාලා මෑන් ටු මෑන් ප්‍රශ්න විසඳන්න වෙන අවස්ථාවක්. ඉතිං අන්තිමේදි පුරුපුරු තීරණය කළාලු කෙලින්ම ගිහින් ෆේස් ටු ෆේස් රුමේෂ් එක්ක ටෝකක් දාන්න.

ඉතිං ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් කියවමු නේද?

Friday, August 5, 2011

සුදුපූසි 2 - බා බා කුකුළෝ



අපි කලින් ලිපියෙන් කිව්වෙ පුරුපුරුට පන්ති නායිකාවගෙ විරෝධය හමුවේ ක්ලාස් එකෙන් එළියට යන්න වෙච්ච හැටි නොවැ!

කොහොමහරි ඉතිං පන්තිබාර ගුරුතුමී කොහෙහරි ඇවිදින්න ගිහින් ආපහු එනකොට හොඳටම පරක්කු වෙලා. පුරුපුරු තාමත් එළියට වෙලා හිටගෙන ඉන්නවලු. ඉතිං පුරුපුරුව දැකපු ටීචර් ඉක්මනට පන්තියට ආවෙ මොකද්ද සීන් එක කියලා බලන්න. පුරුපුරුගෙ අම්මා මේ ඉස්කෝලෙම මහා විද්‍යාලෙ උගන්නපු හින්දා පොඩි ඉස්කෝලෙ ටීචර්ලාත් මෑන්ස්ව හොඳට අඳුරනවා. ඉතිං ටීචර් පන්තියට ඇවිත් ඉස්සෙල්ලාම කළේ අපේ පූසාව ක්ලාස් එක ඇතුලට ගත්තු එකලු. පුරුපුරු හිතුවෙ දැන් තමන්ව එළියට දාපු එකට අර ගෑනු ළමයාට ටීචර් දඬුවම් කරයි කියලා.

ඒත් ඊටපස්සෙ පුරුපුරු එළියෙ ඉන්න හේතුව අහපු ටීචර්ට තේරුම් ගියාලු පන්ති නායිකාව තමන්ගෙ උපදෙස් අකුරටම පිළිපදිනවයි කියලා. ඉතිං පුරුපුරු හිතාගෙන උන්න විදිහට නායිකාවට කිසිම දඬුවමක් ලැබුනේ නෑ. ඒ වෙනුවට දඬුවම් ලැබුනෙ අපේ අහිංසක පූසාට. මොකද ටීචර් මෑන්ස්ට නියම කළාලු පන්ති නායිකාව ඉන්න කණ්ඩායමටම ගිහින් වාඩිවෙන්න කියලා. පුරුපුරු මේ තීරණේට කැමති වුණේ නැති වුණත් ඒ ගැන කිසිම විරුද්ධත්වයක් දක්වන්න මෑන්ස්ට පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ පන්තියෙ ටීචර් තමයි ඉස්කෝලෙ හිටපු සැරම ටීචර් විදිහට ප්‍රසිද්ද වෙලා හිටියෙ. ඉතිං අපේ පූසා මීයෙක් වගේ ගිහින් අර කිව්ව කණ්ඩායමේ වාඩි වුණාලු.

මේ කණ්ඩායමේ ළමයි හත් දෙනෙක් හරි අට දෙනෙක් හරි හිටියලු. ඒ අය අතරින් අපේ පූසාට හරියට මතක තුන් දෙනාවයි. ඒ තමයි සුදුපූසි කියලා පස්සෙ වෙලාවක නම දැනගත්ත පන්ති නායිකාව, කලින් ඇවිත් පුරුපුරු එක්ක කතා කරපු ඉස්සා සහ පුල්ලියා කියලා කාඩ් එකක් තිබුන රසිකා කියන ළමයි. කලින් පුරුපුරුට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කළාට, මෑන්ස් පන්තියට ආවට පස්සෙනං සුදුපූසිගෙන් කිසිම ප්‍රහාරයක් එල්ලවුණේ නෑලු. හැබැයි එහෙම කියලා සුදුපූසි පුරුපුරුත් එක්ක විශේෂ යාලුකමක් තිබුනෙත් නෑ.

සුදුපූසිගෙ හොඳම යෙහෙළිය තමයි පුල්ලියා. පුරුපුරුයි ඉස්සායි තමයි හොඳම යාලුවො. ඒ වගේම පුරුපුරුයි ඉස්සායි දෙන්නාම පුල්ලියා එක්ක අම්බානට ෆිට්. ඔන්න ඔහොම තමයි මේ හතරදෙනාගෙ කනෙක්ෂන් එක මේ කාලෙ තිබුනෙ. කොහොමහරි පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො වුණේ එක්තරා සිද්දියකින් පස්සෙලු.

ඇත්තටම දෙක වසරෙදි ඉගෙනගත්තු ඒවානම් පුරුපුරුට එච්චරම මතකයක් නෑ. ඒත් මෑන්ස්ට හොඳට මතකයි කොයි පාඩමටත් වඩා මෑන්ස් සෙල්ලම් කරන ටයිම් එකට කැමැත්තක් දැක්වුවායි කියලා. ඔය සෙල්ලම් කරන ටයිම් එකේදි සිද්දවුණේ පන්තියෙ ළමයි ඔක්කොම ටීචර්ගෙ මෙහෙයවීමෙන් මොකක්හරි සෙල්ලමක් කරන එක. පුරුපුරුලාගෙ පන්තියෙනම් සෙල්ලම් විදිහට නිතරම කළේ එක්කො එළුවන් කෑම, එහෙමත් නැත්තං බාබා කුකුළෝ කියන සෙල්ලම.

එළුවන් කෑම ගැනනං ඉතිං හැමෝම දන්න එකනේ. ඉතිං මම බාබා කුකුළෝ කියන්නෙ මොකද්ද කියලා කියන්නං. මේ සෙල්ලමේදි ගෑනු ළමයි තමයි කුකුල්ලු. පිරිමි ළමයි තමයි නරියො. ඉතිං ගෑනු ළමයි කට්ටිය බිම ඇඳපු සීමාවකින් එහා ඉන්නවාලු. පිරිමි ළමයි ඉන්නේ සීමාවෙන් එහාපැත්තේ. ඊටපස්සෙ වෙන්නෙ කුකුල්ලුයි නරියොයි අතර ටෝක් එකක්ලු.

පිරිමි :- බා බා කුකුළෝ

ගෑනු :- බෑ බෑ නරියෝ

මේ විදිහට තුන් හතර පාරක් කුකුල්ලු නරින්ගෙ ඉන්විටේෂන් එක රිජෙක්ට් කළාට පස්සෙ ටීචර් කරන්නෙ සිග්නල් එකක් දෙන එක. ඊට පස්සෙ ඉතිං නරියන්ට සීමා බලපාන්නෙ නෑ. ඉතිං කුකුල්ලු කරන්නෙ පණ කඩාගෙන දුවන එක. නරි ටික දුවලා ගිහිං කුකුල්ලුන්ව අල්ලන්න ඕනෙ. බැරිවෙලාහරි කවුරුහරි කුකුලෙක්ට මීටර් පනහක් විතර එහායින් ඇඳලා තියෙන දෙවෙනි ලයින් එක පහුකරලා යන්න පුලුවන් වුණොත් ඒ කුකුළා දිනුම්. ඒ වගේම කවුරුහරි කුකුලෙක්ව අල්ලගත්ත නරිත් දිනුම්. නරින්ට අහුවෙච්ච කුකුළොයි, කුකුල්ලු අල්ලන්න බැරිවෙච්ච නරියොයි පරාදයි. ඔන්න ඔහොම තමයිලු ඉතිං මේ සෙල්ලම සිද්ද වුණේ. 

සුදුපූසි කියන්නෙ සාමාන්‍යෙයන් හැමදාම වගේ දිනන කුකුළෙක්. ඒ කියන්නෙ එයා නරියන්ට අහු නොවී ගොඩක් වෙලාවට දිනුම් කණුව පහුකරනවා. ඒත් සුදුපූසිගෙ විනිං ස්ට්‍රීක් එකට කණකොකා හැඬුවෙ පුරුපුරු ක්ලාස් එකට ආවට පස්සෙලු. මෑන්ස් කරන්නෙ හැමදාම ප්ලෑන් කරලා ටීචර් සිග්නල් එක දුන්න ගමන්ම සුදුපූසිව අල්ලගන්න එක. ඉතිං මේ ගැන සුදුපූසි හිටියෙ එච්චර පැහැදීමකින් නෙවෙයි.

ඉතිං ඔය කියන දවසෙත් සුපුරුදු විදිහටම ටීචර් සිග්නල් එක දුන්න ගමන් පුරුපුරු ඉස්සරහට පැන්නලු සුදුපූසිව අල්ලගන්න. මේ වෙද්දි දවස් ගානක එක්ස්පීරියන්ස් එකෙන් සුදුපූසිත් දන්නවා තමන්ට පුරුපුරුගෙන් දුවලා බේරෙන්න බෑ කියලා. ඉතිං එයා කළේ දුවන්නෙ නැතුව නැවතිච්ච එක. 

පුරුපුරු කවදාවත් සුදුපූසිගෙන් මෙහෙම රියැක්ෂන් එකක් බලාපොරොත්තු වුණේ නෑ. මොකද මෙච්චර දවස් පන්තියෙදි දෙන්නා හැමදේම කළේ තරඟෙට වගේ. පුරුපුරු මොකක්හරි අත්වැඩක් හොඳට කළොත් සුදුපූසිට ඕනෙ ඒ වැඩේ ඊටත් වඩා හොඳට කරන්න. පුරුපුරු සම්බන්දෙනුත් ඒ කතාව එහෙමමයි. කොහොමහරි ඉතිං බලාපොරොත්තු නැතුව සිද්දවෙච්ච මේ වැඩෙන් පුරුපුරුටත් සිද්දවුණාලු තමන් සුදුපූසිව අල්ලනවාද නැද්ද කියලා දෙපාරක් හිතලා බලන්න.

දැන් සුදුපූසිව ඇල්ලුවොත් පුරුපුරු ජයග්‍රාහී නරියෙක් වෙනවා. ඇල්ලුවෙ නැත්තං ගේම් එක පරදිනවා. ඒත් ඒක ලෝන්ග් ටර්ම් රිලේෂන්ශිප් එකක් පැත්තෙන් බැලුවොත් හොඳයි. ඉතිං අන්තිමේදි පූසා තීරණය කළාලු සුදුපූසිව අල්ලන්නෙ නැතුව ඉන්න.

පුරුපුරු :- සුදුපූසි, ඔයා දුවන්න මම ඔයාව අල්ලන්නෙ නෑ.

සුදුපූසි :- (පුදුමයෙන්) ඒ මොකද?

පුරුපුරු :- නෑ නිකං! ඔයා දුවන්න.

කොහොමහරි පුරුපුරුගෙ හදිසි වෙනස්වීම ගැන හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නැති හින්දා සුදුපූසි ආපහු හැරිලා දිනුම් ලයින් එක දිහාට දිවවලු. ඒත් අවාසනාවකට සුදුපූසිට සිද්දවුණේ කුකුලෙක් අල්ලගන්න බැරුව හිටපු වෙන නරියෙක්ගෙ ගොදුරක් බවට පත්වෙන්න. මීටපස්සෙ සුදුපූසිව අල්ලන්නෙ නෑයි කියලා පුරුපුරු හිතාගත්තත්, එදායින් පස්සෙ ආපහු කවදාවත් ඒ සෙල්ලම ක්‍රියාත්මක වුණේ නෑ. මොකද ඒ වෙනකොට රිලේ දුවන එක හැම පන්තියෙම ෆේවරිට් සෙල්ලම වෙලයි තිබුනේ.

කොහොමහරි එදායින් පස්සෙ පුරුපුරුගෙයි, සුදුපූසිගෙයි අතර තිබුන නොහොඳ නෝක්කාඩුව ඉවරවෙලා මේ දෙන්නා බොහොම හොඳ යාලුවො බවට පත්වුණාලු.

ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් කියවමු නේද?

Wednesday, August 3, 2011

සුදු පූසි

ඔන්න යාලුවනේ ආපහු ටික දවසකට පස්සෙ මම ගඩොල් අදින්න සෙට් වුණා. අර දේවගම සීරීස් එකේ ලියන්න හිටපු අන්තිම කොටස වෙනම කතාවක් විදිහට පස්සෙ දවසක ලියන්න තමයි මගෙ කල්පනාව. මොකද ඒ කොටස අනිත් කොටස් හතරට එච්චරම සම්බන්ධයක් නෑ.

මෙච්චර දවස් අපි බ්ලොග් ගඩොල් වලින් ඔයාලාට ප්‍රධාන ලව් ස්ටෝරීස් (සහ බූට් ස්ටෝරීස්) කීපයක්ම කියලා තියෙනවා.


මේ හැම සීරීස් එකටම ඔයාලා ගොඩක් ආස වුණා නොවැ! ඉතිං අද ඉඳන් මම ලෑස්ති වෙන්නේ අපේ පස්වෙනි සීරීස් එකත් පටන් ගන්න. වැඩි කතා ඕනෙ නෑ! කෙලින්ම කතාවට බහිමුකො නේද?


අපි දැන් කෙලින්ම යන්නෙ 1994 අවුරුද්දට. මේ වෙද්දි අපේ පුරුපුරුට වයස යන්තං අවුරුදු හතක් විතරයි. ඒ කියන්නෙ මෑන්ස් හරිනං ඉන්න ඕනෙ 2 වසරෙ. ඒත් පුරුපුරු මේ වෙද්දි හිටියෙ ඉස්කෝලෙ තුනේ පන්තියෙලු. මොකද, පුරුපුරුගෙ දෙමව්පියො මෑන්ස්ව ඉස්කෝලෙට ඇතුල් කරලා තියෙන්නෙ අවුරුදු පහේදි. ඉතිං සම්පූර්ණ අවුරුදු දෙකක් තිස්සෙම අපේ පූසාට ඉන්න වුණේ මෑන්ස්ට වඩා අවුරුද්දක් වැඩිමල් ළමයි සෙට් එකක් එක්ක.

තමන්ට වඩා අවුරුද්දක් වැඩිමල් වුණත් පුරුපුරු මේ ළමයි එක්ක හිටියෙ හරිම විනෝදෙන් සහ සතුටින්. ඒ ළමයිනුත් අපේ පූසාට සැලකුවෙ තමන්ගෙම වයසෙ ළමයෙකුට වගේ. ඒත් අන්තිමට පුරුපුරුගෙ මේ සතුටට කණකොකා හඬන ආරංචියක් ආවෙ අපේ යාලුවො කට්ටිය 3 වසරට ගිහින් දවස් දෙක තුනක් යද්දිලු. ආරංචියෙ හැටියට පුරුපුරුව අවුරුද්දක් පහළ පන්තියට දාන්න ඉස්කෝලෙන් තීරණය කරලා.

ඇත්තටම වැඩිමල් පන්තියක හිටියා කියලා පුරුපුරුට ඉස්කෝලෙ උගන්නපු දේවල් නොතේරුනා නෙවෙයි. ඒත් වැඩිහිටියො කිව්වෙනං අඩු වයසින් ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න දෙන්නෙ නැති හින්දා අපේ පූසා තමන්ට නියමිත වසරට යන එක හොඳයි කියලා. කොහොමහරි ඉතිං අන්තිමට පුරුපුරුට සිද්දවුණාලු තමන්ගෙ යහලු යෙහෙළියන්ට ගුඩ් බායි කියලා, තමන්ගෙම වයසෙ තමන් නොදන්න ළමයි ටිකක් ඉන්න පන්තියකට යන්න.

පුරුපුරුලාගෙ ගෙවල් පූස්ගම තිබුනට ඒගොල්ලො මේ කාලෙ පදිංචි වෙලා හිටියෙ රෙදිගොඩ කියන ගමේලු. රෙදිගොඩ කියන්නෙ දේවගම ඉඳලා කොළඹ පැත්තට කැළණි ගඟ දිගේම එද්දි හම්බවෙන ලස්සන ගමක්. පුරුපුරුලාට රෙදිගොඩට එන්න සිද්දවුණේ  මෑන්ස්ගෙ තාත්තා රෙදිගොඩ තිබුන රෙදි කම්හලේ වැඩ කරපු හින්දා. ඉතිං පූස් ෆැමිලි එකට පදිංචියට කම්හලේම නිල නිවාස හම්බවෙලා තිබුනලු. රෙදිගොඩ හිටපු හින්දා අපේ පූසා ඉස්කෝලෙ ගියෙ රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙටලු. පුරුපුරුගෙ අම්මා ඉගැන්නුවෙ ඊට ටිකක් එහායින් තියෙන රෙදිගොඩ මහා විද්‍යාලෙලු.

කොහොමහරි ඉතිං අපේ පූසා තුන වසරෙ හිටපු තමන්ගෙ යාලුවන්ගෙන් බොහොම දුකින් සමු අරගෙන දෙක වසරෙ පන්තියට යන්න පිටත් වුණාලු. තඩි බෑග් එකකුත් උස්සගෙන පුරුපුරු මේ යන්නෙ තමන්ට යන්න නියමිත වෙච්ච 2-A පන්තියට. අන්තිමට පූසා මේ 2-A පන්තියට ආවත් කිසිම ගුරුවරයෙක් පන්තිය ඇතුලෙ පේන්න හිටියෙ නෑ. හිටියෙ කෑ ගගහා දඟල දඟල හිටපු කොල්ලො කෙල්ලො සෙට් එකක් විතරයි. ඉතිං පුරුපුරු තීරණය කළාලු පන්තිය ඇතුලට ගිහින් වාඩිවෙන්න.

පන්තියෙ ළමයින්ට වාඩිවෙන්න ඉඩ හදලා තිබුනෙ කණ්ඩායම් විදිහට. ඩෙස් කීපයක් එකතු කරලා, ඒවා වටේ පුටු තියලා තමයි මේ හැම ගෘෘප් එකක්ම හදලා තිබුනේ. ඉතිං අපේ පූසාගේ ඇස්වලට අහුවුණාලු මේ එක ගෘෘප් එකක බෑග් එකක් නොඑල්ලපු හිස් පුටුවක් තියෙනවයි කියලා. ඊටපස්සෙ මෑන්ස් කළේ තමන්ගෙ බෑග් එක ඒ හිස් පුටුවෙ එල්ලලා ඒකෙ වාඩිවෙච්ච එක.

ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ක්ලාස් එකේ ළමයි සෙට් එකට මීටර් වුණේ තමන්ගෙ පන්තියට අමුත්තෙක් ඇවිත් ඉන්න බව. ඉතිං පන්තියෙ කොල්ලො කෙල්ලො බොහොම සෝදිසියෙන් බැලුවලු කවුද මේ ඇවිත් ඉන්න අලුත් ඩයල් එක කියලා. කොටින්ම ටික වෙලාවක් යද්දි මුලු ක්ලාස් එකම සද්ද බද්ද නවත්තලා පුරුපුරු දිහා කන්න වගේ බලාගෙනයි හිටියේ. ඒත් මෑන්ස් එක්ක ඇවිත් ටෝකක් දාන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑලු.

පුරුපුරුත් ඉතිං මේ ළමයින්ගෙ විකාර එච්චර ගණන් ගත්තෙ නෑලු. ඇරත් ඉතිං මෑන්ස් මෙච්චර දවසක් මේ කට්ටියගෙ සීනියර් කෙනෙක් විදිහට නොවැ හිටියෙ! අන්තිමට මේ නිහඬතාවය බින්දෙ පුරුපුරු ළඟට ආපු එක කොල්ලෙක්.

කොල්ලා :- ඔයා අලුතින්ද අපේ පන්තියට ආවෙ? මොකද්ද ඔයාගෙ නම?

පුරුපුරු :- මගෙ නම පුරුපුරු. ඔයාගෙ නම මොකද්ද?

කොල්ලා :- මගෙ නම ඉස්සා.

ඔය විදිහට තමයිලු අදටත් නොබිඳී තියෙන යාලුකමක් පටන් ගත්තේ. ඉතිං ඔය විදිහට පුරුපුරුයි ඉස්සායි කතා කර කර ඉන්නකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තවත් කවුරුහරි තමන් ළඟට ඇවිත් ඉන්නවයි කියලා. ඉතිං ඒ කවුද කියලා දැනගන්න අපේ පූසා කළේ ආපහු හැරිලා පිටිපස්ස බලපු එක. එතකොට තමයි පුරුපුරු, තමන්ගෙ ජීවිතේටම අමතක කරන්න බැරි ලස්සනම ලස්සන දර්ශනයක් දැක්කෙ.

පුරුපුරු ගාව හිටියෙ හරිම ලස්සන ගෑනු ළමයෙක්. මුලු ඉස්කෝලෙ තියා තමන්ගෙ මුලු ජීවිතේටමවත් අපේ පූසා එච්චර ලස්සන ගෑනු ළමයෙක් දැකලා තිබුනෙ නෑ. මේ ළමයාගෙ ලස්සන විතරක් නෙවෙයි, තව විස්තර කරන්න අමාරු අමුතුම විශේෂත්වයක් තිබුනා. සාමාන්‍යෙයන් කියන විදිහට ඒ වයසෙදි තමන්ගෙ විරුද්ධ ලිංගිකයන්ව ළමයින්ට පෙන්නන්න බෑලු. දෙයියන්ගෙ පිහිටෙන් පුරුපුරුටනං එහෙම අප්සෙට් කේස් එකක් තිබුනෙ නෑ. ඒත් මේ ගෑනු ළමයා දැක්කාමනං අපේ පුරුපුරුගෙ පූස් මොළේ මැදින් වෝල්ට් තිස්තුන්දාහක කරන්ට් එකක් ගියාලු.

ඇත්තටම ඒ ආපු හැඟීම විස්තර කරන්න පුරුපුරුට අදටත් හරියටම තේරෙන්නෙ නෑ. ඒත් ඒ හැඟීම තමන්ට මෙච්චර කාලෙකට කවදාවත් ඇති නොවිච්ච, දරාගන්න අමාරු, ලේසියෙන් ඇති නොවෙන හැඟීමක් කියලා තේරුම් ගන්නනං මෑන්ස්ගෙ අවුරුදු හතක මොළේට වුණත් කිසිම අමාරුවක් තිබුනෙ නෑලු.

අපේ පූසා ඒ ගෑනු ළමයා දිහා බයවෙලා වගේ බලාගෙන හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ඒත් මෑන්ස්ගෙ හීන ලෝකෙ එක පාරටම බිඳිලා ගියේ ගෑනු ළමයා කතා කරන්න ගත්තාට පස්සෙ.

ගෑනු ළමයා :- ඔයා කවුද?

පුරුපුරු :- මම පුරුපුරු. ඔයා කවුද?

ගෑනු ළමයා :- මම තමයි මේ පන්තියෙ පන්ති නායිකාව. ඔයා කාගෙන් අවසර අරගෙනද මේ පන්තියට ආවෙ?

පුරුපුරු :- මට එන්න කියලා තිබුනෙ මේ පන්තියට තමයි. ටීචර් කෙනෙක් පන්තියෙ හිටපු නැති හින්දා තමයි මම ඇතුලට ආවෙ.

ගෑනු ළමයා :- නෑ නෑ!! මට ටීචර් කියලා තියෙන්නෙ පිට ළමයින්ව පන්තියට ගන්න එපා කියලා. ඔයා දැන්ම එළියට යන්න.

දැන් මේ ගෑනු ළමයා අපේ පූසාට මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකක් වගේ වාග් ප්‍රහාර දීගෙන දීගෙන යනවා. පුරුපුරු දැන් කෙලින්ම චකබ්ලාස් වෙලයි ඉන්නේ.

පුරුපුරු :- මම මොකටද එළියට යන්නේ? ඔයාට ඕනෙනං යන්න.

ගෑනු ළමයා :- මොනවා? ඔයා අලුතින් ඇවිත් පන්ති නායිකාව එළියට දාන්න? ඔයා හිතුවා මදි. ඔයා දැන්ම ගියෙ නැත්තං මම ප්‍රින්සිපල් සර්ව එක්කගෙන එනවා.

ඉස්කෝලෙ මොන තදයා වුණත් ප්‍රින්සිපල් සර්ගෙ නම කිව්වට පස්සෙ පණ බයයි. ඉතිං පුරුපුරු අන්තිමට පත්වුණේ සෑහෙන්න අසරණ තත්ත්වයකට. මෑන්ස් සම්පූර්ණයෙන් තනිවෙලා. මේ පන්තියෙ ඉන්න ළමයින්ව පුරුපුරු දන්නෙත් නෑ. ඒ මදිවාට හිටු කියලා අර කෙල්ලගෙ මල්ටි බැරල් ප්‍රහාර එල්ලවෙනවා. අන්තිමට ඉතිං බෑග් එකත් අරගෙන එලියට යෑම ඇරෙන්න අපේ පූසාට වෙන කිසිම විකල්පයක් තිබුනෙ නෑලු. 

ටික වෙලාවකින් පන්තියෙ ළමයින්ට දකින්න ලැබුනෙ ඇස්වල කඳුලු පුරෝගෙන, තඩි බෑග් එකත් උස්සගෙන, පන්තියෙ දොර ළඟ හිටගෙන හිටපු පුරුපුරුව. ඉතිං ඊට පස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් කියවමු නේද?

Thursday, July 28, 2011

දේවගම - 4

මේ දේවගම කට්ටිය නෙවෙයි


ඔන්න යාලුවනේ මුලින්ම විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. ඔය දේවගම ගැන ඇත්තටම දන්නෙ අපේ බ්ලොග් කියවන යාලුවන්ගෙන්  කීප දෙනෙක් විතරයි. ඒ අය අතරිනුත් අපේ මාරෙ අයියා තමයි දේවගමට යන එන ඩයල් එකකට ඉන්නෙ. ඔන්න ඉතිං උන්දැ මට තර්ජනේ කොරලා ඊළඟ පාර දේවගම ගියාම මේ සීරීස් එක ගැන දේවගම රට වැසියන්ට කියනවයි කියලා. එහෙම කිව්වාම දේවගම ඉන්න දරුණු මිනිස්සු ඇවිත් පුරුපුරුව අනිවා මරලා දායි. ඔන්න මගෙ ජීවිතේට හානියක් වුණොත් ඒකෙ සම්පූර්ණ වගකීම මාරයා විසින් බාරගන්න ඕනෙ හොඳේ!

හොඳයි අපි දැන් කතාවට බහිමුකෝ. ඉතිං මම කලින් ලිපියෙන් කියපු විදිහට ඔන්න කැනේඩියන් සුද්දො සුද්දියො කට්ටිය දේවගමට සම්ප්‍රාප්ත වුණාලු. මතක විදිහට විසි දෙනෙක් විතර තමයි ඔය සෙට් එකේ හිටියෙ. ඒ මදිවාට සුද්දො එක්ක අදහස් හුවමාරු කරගන්න කියලා ලංකාවෙ එක එක පළාත් වලින් තෝරගත්තු ශ්‍රී ලාංකිකයො ඒ සමානම සෙට් එකකුත් දේවගමට සැපත් වුණාලු. එතකොට පිටින් ආපු සෙට් එක ඔක්කොම හතළිහයි. ඉතිං මේ කට්ටිය මාසයක් දේවගම නවත්තගෙන ඉන්න තමයි ප්ලෑන් වෙලා තිබුනේ. ප්ලෑන් එකේ විදිහට එක ගෙදරක සුද්දයි, ශ්‍රී ලන්කන් කාරයයි ගානෙ ගෙවල් විස්සක මේ කට්ටියව නවත්තගන්න ඕනෙ.

ඉතිං ඔය විදිහට රජ මාළිගාවෙ නැවැත්තුවෙ ලංකාවෙ කොල්ලෙකුයි, ලූකස් පේස්ට් කියලා (ඇත්තම නම) සුද්දෙකුයි. දැන් සුද්දො කට්ටිය හිතාගෙන ඉන්නෙ උන් එක්ක ආපු ලංකාවෙ කස්ටියට දේවගම කියන්නෙ හෝම් කන්ඩිෂන්ස් කියලා. ඒ අතරෙ ලංකාවෙ එවුන් ටික බලනවලු කොහෙටද හත්තිලව්වේ උන්ව ගෙනත් අතෑරලා ගිහින් තියෙන්නෙ කියලා. කොහොමහරි ඉතිං ඔය විදිහට දවස් දෙක තුනක් ගියාට පස්සෙ සුද්දන්ටයි, ලංකාවෙ සෙට් එකටයි පුලුවන් වුණාලු දෙවගම කන්ඩිෂන් වලට අනුවර්තනය වෙන්න.

ඒ අතරෙ තමයි රජවාසල ඇතුලු දේවගම වැසියන්ට තේරුනේ තමන් කරගත්තු මෝඩකමේ තරම. මොකද මේ විදේශිකයො ආපු දවසෙ ඉඳලා දේවගම වැසියො කන්න බොන්න ඕනෙ විදේශිකයන්ට ඕනෙ විදිහටලු. උදාහරණයක් විදිහට රජ මාළිගාව ගත්තොත් ලූක් (රජ පවුලෙ කට්ටිය සුරතලේට ලූකස් පේස්ට්ව හැඳින්නුවෙ මේ විදිහට) මිරිස් දාපු කෑම කන්නෙ නෑ. ඉතිං මාලුකට්ටලාටත් ඒ දවස්වල කන්න වුණේ මිරිස් නැති හොදිලු. ඒ මදිවට මේ ලූක්ට තව විශේෂ කෑම බීම ඕනෙලු. උදාහරණයක් විදිහට පොරට මේපල් සිරප්, ඔලිව් ඔයිල් වගේ දේවල් කෑම වේලට අත්‍යාවශ්‍යයි.

ඒ මදිවට ලූක් ආපු දවසෙ ඉඳලා රජ මාළිගාවෙ ලෑන්ඩ් ෆෝන් එකට විසුමක් නෑ. විනාඩි පහෙන් පහට ඒකට කොල් එනවා. ඒ මදිවාට කතා කරන්නෙම සුද්දියො. ඒ කතා කරන හැම සුද්දිම කියන්නෙත් තමන් ලූක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලලු. මාලුකට්ටාට තවත් ෆ්ලවර් ජම්ප් වුණේ ලූක් මේ කෙල්ලො එක්ක කතා කරන්න වෙනම ටයිම් ටේබල් එකක් දාගෙන හිටපු බව දැනගත්තට පස්සෙ. මෑන්ස් සමහර කෙල්ලො එක්ක කතා කරන්නෙ සඳුදාට විතරයි. සමහරු එක්ක බදාදාට විතරයි. අන්න ඒ වගේ. ඉතිං කවුරු හරි සුද්දියෙක් වැරදි වෙලාවෙ කතා කළාම මාලුකට්ටාට තමයි ටෙලිෆෝන් ඔපරේටර් වැඩේ කරන්න වුණේ.

ඒ ඔක්කොම අස්සෙ සුද්දන්ට දේවගම කන්ඩිෂන් රස්නෙ වැඩියිලු. ලූක් ඇතුලු සුද්දො කට්ටිය අව්වට පිච්චිලා සුදු පාටෙ ඉඳලා රෝස පාටට හැරුනෙ බලාගෙන ඉන්නැද්දිම වගේ. ඉතිං විදේශිකයන්ගෙ මේ කරදර දරාගන්න බැරුව අන්තිමට රටවැසියෝ රම්බෝ රජ්ජුරුවන්ට මේ ගැන පැමිණිලි කළාලු. දේශප්‍රේමී රම්බෝ රජතුමා අන්තිමට තීරණය කළේ සුද්දො කට්ටියත් දේවගම මිනිස්සු වගේම ජීවත් වෙන්න ඕනෙ කියලා. ඉතිං අන්තිමට සුද්දන්ටත් සිද්දවුණේ මිරිස් මාලු කකා මාලුකට්ටලාගෙ ලයිෆ් ස්ටයිල් එකට ජීවත් වෙන්නලු. 

මේ විදේශිකයො ආපු දවස්වලම පුරුපුරුලා දේවගම සංචාරයක් කළා. ඒ අර නීතිය දාන්න කලින්. එතකොටනං සුද්දො කට්ටිය ෆුල් ජෙන්ට්ල්මන් ටයිප් එකේ හිටියලු. අපේ පූසො ඊටපස්සෙ දේවගම ටුවර් එකක් දැම්මෙ තවත් සති කීපෙකට පස්සෙ. ඒ ගිය වෙලේ කට්ටිය රජ මාළිගාවට යද්දිම දැක්කෙ මහා අමුතු දර්ශනයක්. බැලින්නං සරමක් කැහැපොට ගහගත්තු කොකේසියානු ජාතිකයෙක් රජ මාළිගාවෙ ප්‍රධාන අඹගහ උඩ. තවත් හොඳට බැලින්නං ඒ වෙන කවුරුත් නෙවෙයි, කැනඩාවෙන් ආපු ලූකස් පේස්ට්. අපේ පූසන්ට තවත් පිස්සු අබ්ලික් වුණේ ලංකාවෙන් ආපු කොල්ලා කොට කලිසමක් ගහගෙන ඒ ගහේම පල්ලෙහා අත්තක අමාරුවෙන් ඉන්න හැටි දැක්කට පස්සෙ.

පස්සෙ ආරංචි වෙච්ච විදිහට ලූක් ආපහු කැනඩාවට යද්දි සරම් සෙට් එකක්ම අරන් ගියාලු. ඒ වගේම අන්තිම සති කීපෙදි පොර මොනවගේ ලයිෆ් එකක් ගත කළාද කියලා පූසො තවම දන්නෙ නෑ. ඒත් වැඩ සිද්ද වේගෙන ගිය විදිහටනං පූසන්ට හිතුනෙම ලූකස් අන්තිම දවස් වලට ටාසන් වගේ වැල් වල එල්ලිලා යන්නත් පුරුදු වෙලා ඉන්න ඇති කියලා.

-----------------------------------------------------------------------------------

දැන් ඔයාලා බලනවා ඇති සුද්දො ආපු දවස්වල මාලුකට්ටා ගතකළේ මොනවගේ ලයිෆ් එකක්ද කියලා. ඇත්තටම මේ ආපු අමුත්තන්ට දේවගම යුව රජතුමා විදිහට උපරිම ආගන්තුක සත්කාර කරන්න මාලුකට්ටා මුලු හදින්ම කැපවෙලා හිටියා. ඊට අමතරව ඉඩ තියෙන විදිහට මේ කට්ටියව රට තොට පෙන්නන්න එක්කගෙන යන්නත් මෑන්ස් අමතක කළේ නෑලු.

විශේෂයෙන්ම මේ කට්ටිය අතරෙ හිටියා ශ්‍රී ලංකාවෙන් ආපු අක්කා කෙනෙක්. අපේ මාලුකට්ටාට පුදුම උනන්දුවක් තිබුනෙ මේ අක්කාව රට තොට පෙන්නන්න එක්කගෙන යන්න. ඉතිං එක දවසක් මෑන්ස්ගෙ අම්මා බලද්දි මාලුකට්ටා මාළිගාවෙ නෑලු. මාළිගාවෙ චර පුරුෂයො යොදවලා විපරම් කරලා බැලුවත් මෑන්ස් ගැන කිසිම තොරතුරක් හම්බවෙලා නෑ. ඉතිං රජතුමායි, දේවියයි හොඳටම බයවුණාලු ශ්‍රී ලංකාවෙන් ඇවිත් යුව රජ්ජුරුවන්ව පැහැරගෙන ගිහින් කියලා. අන්තිමේදි දේවගම ලංකාවට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අපේ පුරුපුරුට මාළිගාවෙන් කෝල් එකක් ආවෙ.

දේවිය :- පුරුපුරු පුතා, අපේ මාලුකට්ටා එහෙම ඔය පැත්තෙ ආවද?

පුරුපුරු :- ම්...ම්...මේ මේ ඇයි ඇන්ටි? මොකද වෙලා තියෙන්නෙ?

දැන් පුරුපුරු දන්නවා මාලුකට්ටා මොකක්හරි බරපතල විනය කඩ කිරීමක් කරලා ඇති කියලා. මොකද සාමාන්‍යයෙන් මෑන්ස් ලංකාව ඇතුලෙ කොහෙහරි යනවානං ඒ බව අනිත් පූසන්ට කලින් කියලයි යන්නේ. ඒ බව මාලුකට්ටාගෙ අම්මත් දන්නවා.

දේවිය :- හා හා!! ඔයා දැන් මාලුකට්ටා ඔහෙ ආවයි කියලා බොරු කියන්න ඕනෙ නෑ. මම අල්ලගන්නංකෝ මිනිහා ගෙදර එන්න කලින්, කොහෙද ගියෙ කියලා.

පුරුපුරු :- හ්...හා ඇන්ටි...මමත් කෝල් එකක් දීලා බලන්නංකො.

මෙහෙම කියපු පුරුපුරු වහාම කළේ මාලුකට්ටාට කෝල් එකක් දුන්න එක. බැලින්නං ෆෝන් එකත් මාලුකට්ටා ගැන හොඳට දන්නවා. “ඔබ ඇමතූ දුරකථන අංකයේ හිමිකරුට චාරයක් නොමැත“ මෑන්ස්ගෙ ෆෝන් එක පුරුපුරුට ඒ විදිහට උත්තර දුන්නලු. ඊට පස්සෙ පුරුපුරු ආපහු මෑන්ස්ට කෝල් කළේ තවත් පැයකට විතර පස්සෙ. ඔන්න ඒ පාරනං මාලුකට්ටාගේ ෆෝන් එකේ රිංග්ස් යන්න පටන් ගත්තලු.

මාලුකට්ටා :- හෙලෝ! ඇයි මචං?

පුරුපුරු :- ඇයි? යකෝ ගොං ---, තෝ කොහෙද ඉන්නෙ? අන්න මාළිගාවෙ මිනිස්සු කලබල වෙලා රාජ පුරුෂයො දාලා උඹව හොයන්න.

මාලුකට්ටා :- නෑ? මම අර අක්කා එක්ක පොඩ්ඩක් ගම්පහට ආවා බං! ඒ අක්කාට එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න ඕනෙ කිව්වා. තනියම යන්න බයයි කියලා මටත් එන්න කිව්වා.

පුරුපුරු :- ඔව් ඔව්!! මට හිතාගන්න පුලුවන්. උඹ ඔය කතා කියපං උඹේ අම්මට! එයා කොන්ඩෙ බැඳලා ඉන්නෙ.

මාලුකට්ටා :- හරි හරි!! මම උඹට ඇවිත් ෆුල් රිපෝට් එකක් දෙන්නං. එතකං පොඩ්ඩක් අපේ අම්මාව ෂේප් කරපං. අපි මේ එන ගමන්.

පුරුපුරු :- ගොනෝ! උඹ අපේ ගෙදර ඇවිත් ඔය අක්කාව කලින් බස් එකේ යවපං. නැත්තං උඹට දිගටම ඉන්න වෙන්නෙ අපේ ගෙදර තමයි.

මාලුකට්ටා :- ආ...හරි මචං! මම තව විනාඩි දහයෙන් එනවා.

කොහොමහරි මාලුකට්ටා තවත් ටික වෙලාවකින් පුරුපුරුගෙ ගෙදරට ආවලු. ඊටපස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි කළේ උපාසක ලව්වා මාලුකට්ටාගෙ අම්මාට කෝල් එකක් දීලා වැඩේ ෂේප් කරපු එක. මොකද ඒ වගේ බරපතල සිටුවේෂන් එකක් ෂේප් කරන්න උපාසක වගේ කාන්තා පක්ෂය ෂේප් කරගන්න පුලුවන් එක්ස්පර්ට් කෙනෙක්ගෙම සහයෝගය ගන්න වෙනවා. උපාසක රජ බිසවට කියලා තියෙන්නෙ මාලුකට්ටා පාඩම් වගයක් අහගන්න මෑන්ස්ගෙ ගෙදර ආවයි කියලා.

ඉතිං තවත් ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු දේවගමට යන්න පුරුපුරුලාගෙ ගෙදරින් පිටත් වුණාලු. කොහොමහරි මෑන්ස් ආපහු දේවගමට කිට්ටුවෙද්දි පවුරු වළල්ලක් බැඳලා වගේ ආරක්ෂක භටයො හැමතැනමලු. මාලුකට්ටාව දැක්ක රජතුමා මුලින්ම කරලා තියෙන්නෙ මෑන්ස්ට කට්ටිය මැද්දෙම එකක් ගහලා මාළිගාවට පන්නපු එක.

මේ විදිහට, ලොකු කේස් එකක් වෙන්න තිබුන සිද්දියක් අන්තිමේදි මාලුකට්ටාගෙ වාසනාවට ගොඩින් බේරුනාලු. ඒ හින්දා මෑන්ස්ගෙ යුවරජ පට්මත් ගැලවෙන්නැතුව ආරක්ෂා වුණාලු.









සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

Wednesday, July 27, 2011

දේවගම - 3

දේවගම චන්ද්‍රිකා ඡායාරූපයක්. රජ මාළිගාව රතු පාටින් රවුම් කර ඇත. මැදින් ගලන්නේ රන් කල්‍යාණි නදියයි. (ඡායාරූප අනුග්‍රහය - මාලුකට්ටා)


අපි කලින් දවසෙ කතාව නතර කළේ අපේ පූසො වල් ඌරෙක්ට බැස්ටිය දුන්න තැනින් නොවැ! ඉතිං දවල් කෑමෙන් පස්සෙ කට්ටිය කළේ රජ මාළිගාවෙ උද්‍යානයට ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරපු එකලු. මාළිගාවෙ උද්‍යානය බිත්තර හැඩයක් ගත්ත හින්දා අපේ යාලුවො ඒකට කිව්වේ ක්වීන්ස් පාර්ක් ඕවල් කියලා. ඒ වගේම යුව රජතුමා කිරිකැට් සෙල්ලම් කරද්දි ඒජන්ට් ගුරු සැරින් සැරේට ඇවිල්ලා මෑන්ස්ගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් සෝදිසි කරලා යන්න අමතක කළේ නෑ. ඒජන්ට් ගුරු තමයි මාලුකට්ටාගෙ පෞද්ගලික ආරක්ෂකයා විදිහට රම්බෝ රජතුමා විසින් පත්කරලා තිබුනෙ.

ලංකාව ඇරුනහම මේ ලෝකෙ තියෙන එකම සිංහල බෞද්ධ රට තමයි දේවගම. මේ රට කොච්චර පොඩි වුණත් අවුරුදු දාස් ගානක් තිස්සෙ ශ්‍රී ලංකාවට යටත් නොවී ඉන්න පුලුවන් වුණේ රටේ තියෙන ස්වභාවික පිහිටීම නිසයි. කොටින්ම ශ්‍රී ලංකාව නෙවෙයි, ඇමරිකාවෙන් ඇටෑක් කරන්න ආවත් දේවගම යටත් කරගන්න එක බොරුයි කියලා උඩින් තියෙන සැටලයිට් ෆොටෝ එක දැක්කහම ඔයාලටත් තේරෙනවා ඇතිනෙ. බලන්න තද කොළ පාට ගන කැළේ හරි මැද්දෙ, ගඟටත් මායිම් වෙලා මාළිගාව තියෙන අපූරුව! ඒ කැළේ වටේට තියෙන්නෙ අපි කවුරුත් ඉන්න ශ්‍රී ලංකාව.

දේවගම මිනිස්සු බුදු හාමුදුරුවන්ට අමතරව තව දෙවි කෙනෙක් අදහනවලු. ඒ තමයි කල්‍යාණි නදියට අධිපති දෙවියෝ. ඒ දෙවියෝ ඉස්සර දේවගම ජීවත් වෙලා ඉඳලා අභාවප්‍රාප්ත වෙච්ච කෙනෙක්ලු. එතුමා වෙනුවෙන් හදපු ලොකු දේවාලයක් දේවගම පන්සලේ තියෙනවා. දේවගමට ඒ නම වැටිලා තියෙන්නෙත් ඒ දෙවියන්ගෙ නමින්මයි. ඒ වගේම දේවගම කියන්නෙ ගොඩක් අනුහස් තියෙන රටක් කියලා තමයි එහෙ මිනිස්සු විශ්වාස කරන්නෙ. දේවගම විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවෙත් ඔය ගඟ අයිනෙ මිටියාවත් වල ජීවත්වෙන මිනිස්සු අදහන්නෙ ඒ දෙවියන්වම තමයිලු.

------------------------------------------------------------------------------------------

දේවගම ආර්ථිකේ ගැන අපි කලින් ලිපියකත් කිව්වා නොවැ! දැන් කියන්න හදන්නෙ ඒ පැත්තෙ වෙළඳාම ගැන. මුලු දේවගමටම තියෙන්නෙ එකම කඩයයි. ඉතිං ඒ කඩේ ටොපියෙ ඉඳලා ගඩොල් කැටේ වෙනකන් හැම බඩුවම තියෙනවලු. ඊට අමතරව කඩේ මුදලාලි රජවාසලට විතරක් වෙනම ටෙලි ෂොපින් ක්‍රමයක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලයි තියෙන්නේ. රජ බිසවට තියෙන්නේ දුරකථන මාර්ගයෙන් කඩේ මුදලාලිට තමන්ට ඕනෙ බඩු ලිස්ට් එක කියන එක. ඊටපස්සෙ මුදලාලි කරන්නෙ බඩු ටික උස්සගෙන රජ මාලිගාවටම ඇවිත් ඒවා දීලා යන එක. මෑන්ස් ගිය අතරෙ කඩේ මුර කරන්න හයිනා වර්ගයට අයිති සතෙකුත් කඩේ ඉස්සරහා බැඳලා දාලා තමයි මුදලාලි මාළිගාවට යන්නෙ.

දේවගම ජෛව විවිධත්වය අතින් අනූනයි. ලංකාවෙදි කවදාවත් දැකගන්න බැරි සත්තු සහ ශාක වර්ග ගොඩක් දේවගමදි දැකගන්න පුලුවන්. ලංකාවෙ ඉන්න සත්තු පවා දේවගමට යද්දි වෙනස් වෙලා තමයි දැකගන්න පුලුවන් වෙන්නෙ. උදාහරණයක් විදිහට ලංකාවෙ හැකරැල්ලෙක් වැඩිම වුණොත් අඟල් 3-4 විතර තමයි දික්වෙන්නෙ. ඒත් දේවගම හැකරැල්ලො සාමාන්‍යයෙන් අඩි බාගයක් විතර දික් වෙනවලු.

එකපාරක් මාලුකට්ටා දේවගම ගහක පිපිච්ච ලස්සන මලක් බයෝ ක්ලාස් එකට ගෙනාවලු. ඒ මල ක්ලාස් එකේ හිටපු කවුරුවත් මීටකලින් දැකලා තිබුනෙ නෑ. ඉතිං ටික වෙලාවකින් මාලුකට්ටා ගෙනාපු අමුතු මල ගැන නිව්ස් එක ක්ලාස් එක පුරාම පැතිරුණාලු. අන්තිමට කට්ටිය කළේ සර් ක්ලාස් එකේ උගන්නද්දි ඒ මල ගැන විස්තර අහලා මලත් එක්කම චිට් එකක් සර්ට යවපු එක. බයෝ සර් ජීව විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තියෙන මනුස්පයෙක්. ඒත් ඒ අසරණයාට මේ මල දැක්කට පස්සෙ අඩුගානෙ ඒක අයිති වෙන කුලයවත් හිතාගන්න බැරිවුණාලු. අන්න එහෙමයි දේවගම ජෛව විවිධත්වය.

-----------------------------------------------------------------------------------

දේවගම මිනිස්සුන්ගෙ තියෙන හොඳ ගතිගුණයක් තමයි පැත්ත ගියත් ඇත්ත කියන එක. ඒ වගේම ඒ අය ඇත්ත කියන්න මොහොතක්වත් පසුබට වෙන්නෙ නෑලු. මේ සිද්දිය වුණේ අපේ උපාසක චංචලාව මුලින්ම මාලුකට්ටාට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න දවසෙ. මේ වෙද්දි උපාසකගෙයි චංචලාගෙයි ආදරේ උතුර උතුරලු තිබුනේ. ඉතිං චංචලා ගිය වෙලාවෙම උපාසක මාලුකට්ටාගෙන් ඇහුවලු චංචලා ගැන.

උපාසක :- මාලු කොහොමද චංචලා? හොඳයි නේද?

මාලුකට්ටා :- හොඳයි මචං! චංචලාගෙ -- ලස්සන කලුපාට ලපේකුත් ති‍යෙනවා නේද?

බලාපොරොත්තු නැති විදිහට මාලුකට්ටා කියපු දෙයින් උපාසක ෆුල් අඤ්ඤකොරොස් වුණාලු.

උපාසක :- මොකක්?

මාලුකට්ටා :- ඇයි යකෝ, චංචලාගෙ බ්ලවුස් එකේ බොත්තමක් ඇරිලනෙ තිබුනෙ! උඹ බැලුවෙ නැද්ද මෝඩයා?

එතන ඊටපස්සෙ සිද්දවුණයි කියන දේ ගැන මම මේ බ්ලොග් එකේ දාන්නෙ නෑලු හොඳේ!

--------------------------------------------------------------------------------------

කොහොමහරි ඉතිං කිරිකැට් සෙල්ලං කරලා ඉවර වෙච්ච අපේ යාලුවො සෙට් එක ගඟ පැත්තට යන්න පිටත් වුණාලු. මේ රන් කල්‍යාණි නදිය ගැනත් කියන්න කතා බෝහෝමයි. අපේ යුව රජ්ජුරුවොත් නිතරම විවේක සුවයෙන් කල් ගෙවන්න ආවෙ මේ ගඟ ළඟට. දේවගම ගැමියො කතාවට කියන්නෙ යුව රජ්ජුරුවො කෙල්ලෙක්ට ගඟ පෙන්නන්න එක්කගෙන ආවොත් ආපහු ඒ කෙල්ලට ගැලවිල්ලක් හම්බවෙනවා බොරුයි කියලා. ඔය කතාවල ඉතිං ඇත්ත නැත්ත අහන්න වෙන්නෙ ඉතිං මාලුකට්ටාගෙන්ම තමයි.

එක පාරක් ශ්‍රී ලංකාවෙ කැනඩා තානාපති කාර්යාලෙ කට්ටිය එහෙ ඉන්න කැනඩා සුද්දො කට්ටියක්, ශ්‍රී ලංකාවෙ ජන ජීවිතය ගැන හදාරන්න ලංකාවට ගෙනාවලු. ඒත් මෙහෙ කවුරුහරි රං ගොජෙක් මේ කට්ටියව ලංකාවෙ ජන ජීවිතය ගැන හදාරන්න කියලා එක්කගෙන ඇවිත් තිබුනෙ දේවගමට. ඉතිං ඊටපස්සෙ මොකද වුණේ, ඒ වගේම අපි දැන් කියාගෙන යන ප්‍රධාන කතාවෙ අන්තිමට මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.