ඉතිං යාලුවනේ තවත් සති දෙක
තුනක් යද්දි ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙච්ච ළමයින්ට, තමන්ට හිමිවෙච්ච
ඉස්කෝල දැනගන්න ලැබුනලු. ඒ අවුරුද්දෙ කුරුඳුවත්ත ඉස්කෝලෙට ගත්තෙ ලකුණු
155න්. මරියකඩේට ගත්තෙ 146න්. ඉතිං පුරුපුරු බලාපොරොත්තු වෙච්ච විදිහටම
කුරුඳුවත්ත ඉස්කෝලෙට තේරුණු එක ගැන මෑන්ස්ගෙ පවුලෙ කට්ටිය හිටියෙ ගොඩක්
සතුටින්.
විභාගෙ ඉහළින්ම
පාස් වෙච්ච රසිකා ගියෙ අග්‍ර උපාසිකාවගෙ ඉස්කෝලෙට. ඉස්සා ගියෙ ගම්පහ
පිරිමි ඉස්කෝලෙට. ඔය ඔක්කොම අස්සෙ සුදුපූසිගෙ ගෙදර කට්ටිය තීරණය කරලා
තිබුනලු එයාව ඔය සබරගමුව පළාතෙ පිහිටපු ට්‍රැක්ටරේක නමක් තියෙන ඉස්කෝලෙකට
දාන්න.
කොහොමහරි මේ
වෙද්දි පුරුපුරුට ඉස්කෝලෙන් අස්වෙන්න වෙච්ච දවසත් උදාවෙලා තිබුනා. එදා තමයි
මෑන්ස් දැනගත්තෙ සුදුපූසිව ට්‍රැක්ටර් බාලිකාවට ඇතුලත් කරන්න යනවයි කියලා.
ඉතිං මේ ආරංචිය ලැබිච්ච අපේ පූසාට ඇතිවුණේ හෙනගහපු පැණිවරකා ගහකට ආපහු
හෙනයක් ගැහුවා වගේ හැඟීමක්. දෙයියනේ! දැන් ඉතිං සුදුපූසිව ආපහු දැකලා
ඉවරයි. අඩුගානෙ ගම්පහ රත්තිවල්ලි බාලිකාවටවත් දැම්මනං කලාතුරකින් හරි
සුදුපූසිව දැකගන්න තිබුනා. ඒත් දැන් ඒ හීන ඔක්කොම පුරුපුරුගෙන් ඈතට යමින්
තිබුනේ.
ඉතිං ඉස්කෝලෙ
ගුරුවරු කට්ටියට වැඳලා එහෙම අපේ පූසා ලෑස්ති වුණේ ඉස්කෝලෙන් සමුගන්න. ඒත්
එහෙම සමුගන්නෙ කොහොමද? පුරුපුරුට ඕනෙ වුණා යන්න කලින් කොහොමහරි සුදුපූසිත්
එක්ක කතා කරන්න. මෙච්චර අවුරුදු ගානක් කැමැත්තෙන් ඉඳලා නොකියාම යන්නෙ
කොහොමද නේද? පුරුපුරු ඉතිං ගියාලු තමන්ගෙ පන්තිය පැත්තට.
ඒ වෙද්දිත් අපේ
පූසා පන්තියෙ යාලුවන්ගෙන් සමු අරගෙන තිබුනේ. ඒත් සුදුපූසිගෙන් වෙනම
සමුගන්න තරම් චාන්ස් එකක් පුරුපුරුට ඒ වෙලාවෙ ආවෙ නෑ. මෑන්ස්ගෙ වෙලාවට
හැබැයි මේ පාරනං සුදුපූසිත් එක්ක කතා කරන වැඩේට කිසිම බාධාවක් ඇතිවුණේ නෑ.
මොකද පන්තියෙ ටීචර් කෙනෙක් හිටියෙත් නෑ, ඒ වගේම ළමයිනුත් තම තමන්ගෙ ලෝකවල
තනිවෙලා හිටියෙ. ඉතිං අපේ පූසා ගියාලු සුදුපූසි ළඟට. ඒ වෙලාවෙ සුදුපූසිගෙ
මූණෙ ඇතිවුණේ වෙනදා ඇතිවෙන ලස්සන හිනාවමයි.
පුරුපුරු :- සුදුපූසි, මම අදින් පස්සෙ ඉස්කෝලෙ එන්නෙ නෑ.
සුදුපූසි :- හ්ම්ම්...මමත් මේ ඉස්කෝලෙට එන්නෙ තව දවස් කීපයයි පුරුපුරු.
පුරුපුරු :- ඒ කියන්නෙ අපි මීට පස්සෙ හම්බවෙන්නෙ නෑ...!
සුදුපූසි :- මම
දන්නෙ නෑ...ඒත් සමහරවිට අපි ආපහු හම්බවෙයි. ඔයා කුරුඳුවත්තට ගිහින් හොඳට
ඉගෙනගන්න ඕනෙ පුරුපුරු හරිද? ඔයා කවදාහරි හොඳ දොස්තර කෙනෙක් වෙන්න.
පුරුපුරු :- මට දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ නෑ සුදුපූසි.
සුදුපූසි :- (හිනාවෙමින්) හා හා...එහෙනං කොන්දොස්තර කෙනෙක් වෙන්නකෝ...
සුදුපූසි කතා
කළේ බොහොම සැහැල්ලුවෙන්. ඒත් පුරුපුරුගෙ හිතේනං කිසිම සැහැල්ලුවක් තිබුනෙ
නෑ. ඇත්තටම සුදුපූසිට තමන් නැතිව පාලු දැනෙන එකක් නැද්ද? අපේ පූසාට එහෙම
හිතුනලු. ඒත් පන්තියෙ අනිත් ළමයිනුත් ඉන්නකොට ඔය වගේ දේවල් අහන්නෙ කොහොමද?
අන්තිමට ඉතිං අපේ පුරපුරු සුදුපූසිගෙන් වගේම රෙදිගොඩ ඉස්කෝලෙනුත් සමුගත්තලු.
ඊළඟ සතියෙ
පුරුපුරු ඇතුලත් වුණේ කුරුඳුවත්ත ඉස්කෝලෙට. ඒ ඉස්කෝලෙ රෙදිගොඩ පොඩි ඉස්කෝලෙ
වගේ නෙවෙයි. හරිම ලොකුයි. හරිම අමුතුයි. ඒ මදිවාට ළමයි පිරිලා. ඉස්කෝලෙ
බෙල් එක පවා බිත්තියට හයි කරපු ඉලෙක්ට්‍රික් බෙල් එකක්. පළවෙනි දවසෙ බෙල්
එක වදිද්දි පුරුපුරු පණ දාගෙන හෙව්වේ කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියලා. තව,
ඉස්කෝලෙ පටන් ගනිද්දි කියන්න තියෙන්නෙ ඉංග්‍රීසි පාසල් ගීයක්. ඒකත්
ඉංග්‍රීසි කිව්වට එක්දහස් බර ගනංවල ඉංග්‍රීසි. ඉස්කෝලෙ ඉවරවෙද්දි කියන්නෙ
සිංහල පාසල් ගීයක්. ඉතිං මුල් දවස් දෙක තුනේ අපේ පූසා හිටියෙ ෆුල්
අන්දුන්කුන්දුන් වෙලා.
හැබැයි හිටපු
ළමයිනං ෆුල් ෆ්‍රෙන්ඩ්ලි ඩයල් හිටියේ. පරණ ළමයි කවුරුවත් ශිෂ්‍යත්වෙන් ආපු
ළමයින්ට ලොකු එක දුන්නෙ නෑ. ඉතිං ඔය විදිහට කාලය ගතවුණේ බොහොම වේගෙන්. ඒත්
අපේ පුරුපුරුට කුරුඳුවත්ත ඉස්කෝලෙ එක එක අමුතු දේවල් අස්සෙත් නිතරම මතක්
වුණේ සුදුපූසිව. අවාසනාවට සුදුපූසිව ට්‍රැක්ටර් බාලිකාවෙ හොස්ටල් එකේ
නැවැත්තුවයි කියන ආරංචියෙන් පස්සේ එයා ගැන කිසිම ආරංචියක් පූසාට ඇවිත්
තිබුනෙ නෑ.
පූසා ඒ දවස්වල
ඉස්කෝලෙ ගියෙ රෙදිගොඩ ඉඳලා ගිය ස්කූල් වෑන් එකක. මේ අර අපි ඉස්සර කියපු වෑන් එක නෙවෙයි, පුරුපුරු ඊට කලින් ගිය වෑන් එක. කොහොමහරි ඉතිං ඔය වෑන් එක
උදේ හවස ගියෙ සුදුපූසිගෙ ගේ ඉස්සරහින්. ඉතිං පුරුපුරු කරන්නෙ උදේටයි හවසටයි
වෑන් එක සුදුපූසිගෙ ගෙදර ඉස්සරහින් යද්දි ඉස්සි ඉස්සි සුදුපූසි ඉන්නවාද
කියලා බලන එක. පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසිව හොස්ටල් එකේ නැවැත්තුවානං
ගෙදර ඉන්න විදිහක් නෑ කියලා. ඒත් තමන් තමන්වම රවට්ටගත්තු පුරුපුරු කවදාවත්
මේ බැලිල්ල අතඇරියේ නෑ. මෑන්ස් හිතුවේ තමන් කවදාහරි සුදුපූසිව දකින්න
වාසනාවන්ත වෙයි කියලා.
මේ අතරෙ තමයි
පුරුපුරුට මීටර් වුණේ හැමදාම එතනින් යනකොට සුදුපූසිගෙ ගෙදර දිහා අවධානෙන්
බලන්නෙ තමන් විතරක් නෙවෙයි කියලා. බැලින්නං වෑන් එකේ ගිය ලොකු අයියලා
කට්ටියත් බොහොම අවදානෙන් සුදුපූසිලෑ ගේ දිහා බලනවා. හැබැයි ඒ සුදුපූසි
ඉන්නවාද කියලා නෙවෙයි, සුදුපූසිගෙ අක්කා ගයාත්‍රි ඉන්නවාද කියලා. ඉතිං අපේ
පූසාත් ඉස්සි ඉස්සි සුදුපූසිලෑ ගෙදර දිහා බලද්දි ඒ අයියලා පුරුපුරුට විහිළු
කරනවලු.
“යකෝ දැන් මූත් ගයාත්‍රිට පැණි හලන්න ගත්තද? උඹ අපේ වයසට එද්දි කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බැරිවෙයි“
පුරුපුරුත් ඉතිං ඒ කට්ටියට විහිලුවෙන්ම උත්තර දෙනවලු.
“ඔන්න බලනවා තමුසෙලාගෙන් කවුරුවත් යාලුවෙන්න කලින් මම ගයාත්‍රිත් එක්ක යාලු වෙන හැටි“
ඊටපස්සෙ ඉතිං ෆ්ලවර් ජම්ප් වෙන අයියලා කට්ටිය පුරුපුරුව සීට් එක අස්සෙ ඔබාගෙන හොඳ ගුටි සංග්‍රහයක් දෙනවලු.
කොහොමහරි ඉතිං
ඔය විදිහට ගෙවිච්ච අපේ පූසාගේ ජීවිතේ, මෑන්ස්ට සුදුපූසිව දැකගන්න තිබුනු
බලාපොරොත්තු තවදුරටත් බොඳවෙලා ගියෙ පුරුපුරුලා පදිංචිය වෙනස් කරපු හින්දා.
තාත්තා වැඩකරපු රෙදි කම්හල සේවකයන්ගෙ ස්ට්‍රයික් එකක් හින්දා වැහුවාට පස්සෙ
පුරුපුරුලාට සිද්ද වුණාලු තමන්ගෙ ගෙවල් තිබුන පූස්ගමට පදිංචියට එන්න. ඉතිං
පූස්ගමට ආවට පස්සෙ රෙදිගොඩ ඉන්නකොට සුදුපූසි ගැන කලාතුරකින්හරි ලැබුනු,
පොඩිහරි ආරංචියක්වත් පුරුපුරුට ලැබුනෙ නෑලු.
ඔය විදිහට හත
වසර, අට වසර සහ නවය වසර ගෙවිලා ගියෙ පුරුපුරු අපේ පූසො සෙට් එකට සෙට් වෙලා
කරපු අප්සෙට් වැඩ ගොඩකින්. ඒ අප්සට් වැඩ ගැන මේ වෙනකොටනං ඔයාලා කියවලා
ඇතිනේ. හැබැයි ඉතිං මේ කාලෙ වෙද්දිත් පුරුපුරු සුදුපූසි ගැන හොයන එක නතර
කරලා තිබුනෙ නෑ. මෑන්ස් ඉස්සාට බාර දීලා තිබුනෙ සුදුපූසි ගැන තොරතුරු රැස්
කරන ෆුල් සීක්‍රට් මිෂන් එකක්. ඒත් ඉතිං රීකොන් වැඩ ගැන ඉස්සාට තිබුන අඩු
පළපුරුද්ද නිසා අපේ පූසාට හැමදාමත් ඉන්න වුණේ සුදුපූසි ගැන තොරතුරක් නැතිව.
ඉතිං ඔය විදිහට ගෙවිච්ච පුරුපුරුගෙ ජීවිතේ විශේෂ දෙයක් සිද්ද වුණේ නවය වසරෙ අග හරියෙ ඉන්නකොට.
එක දවසක් අපේ
පුරුපුරු ගම්පහ පන්තියකට යන ගමන් බස් එකක හිටියේ. ඉතිං ටික වෙලාවකින් පූසාට
මීටර් වුණාලු තමන්ට ඉස්සරහින් ඉන්න ගෑනු ළමයා මෑන්ස්ට හොඳට දැකලා පුරුදුයි
කියලා. ඉතිං තවත් හොඳට ඇන්ටනාව ටියුන් කරලා බැලින්නං මේ ඉන්නේ වෙන
කවුරුවත් නෙවෙයි, අර උපාසිකා බාලිකාවට පාස් වෙච්ච රසිකා. වෙන විදිහකින්
කියනවානං ඉස්සර සුදුපූසිගෙ හොඳම යෙහෙළිය.
ඉතිං සුදුපූසි
ගැන කිසිම නිව්ස් එකක් නැතුව හිටපු පුරුපුරුට, රසිකාව දැක්ක එක නිකං
පිපාසාවෙ දිව ගිලෙන්න හිටපු මෑන්ස් කෙනෙක්ට හොඳ කූල් සන්ක්වික් එකක්
හම්බුනා වගේ අමෘතයක් වුණාලු. ඉතිං රසිකා එක්ක කතා කරන වැඩේ අපේ මෑන්ස් තව තත්පරයක්වත් පරක්කු කළේ නෑ.








