අඹ යාලුවෝ

Wednesday, August 10, 2011

සුදුපූසි 4 - බටලන්ද



අපි කලින් දවසෙ කතාව නතර කළේ සුදුපූසිට රුමේෂ් කියන කොල්ලා ට්‍රයි කරන බව අපේ පුරුපුරුට ආරංචි වෙච්ච තැනින් නොවැ! ඉතිං අපේ පූසා දිගට හරහට කල්පනා කළාලු දැන් මේ වැඩේ සම්බන්දයෙන් තමන් ගන්න ඕනෙ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියලා. මම කලිනුත් කිව්වා වගේ රුමේෂ් කියන්නෙ හොඳ හයේ හතරෙ ඩයල් එකක්. මෑන්ස් එක්ක ගහගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ නැතත් පුරුපුරු දරපු තනතුරේ හැටියට ඔය වගේ නොහොබිනා වැඩ වලට යන එකත් එච්චර සුදුසු වැඩක් නෙවෙයි.

ඒ වගේම පුරුපුරුට ආරංචි වෙච්ච හැටියට රුමේෂ් සුදුපූසි වෙනුවෙන් මිලට ගත්තු චොක්ලට් එක ඉස්කෝලෙට ගෙනත් බෑග් එකේ දාගෙන තමයි ඉන්නේ. ඒ සුදුසු වෙලාවක් එනකං බලාගෙන ඉඳලා ඒක සුදුපූසිට දෙන්න. ඒත් ඉස්කෝලෙට චොක්ලට් ගේන එක වැරදි වැඩක් නෙවෙයි. කොටින්ම ඒ දවස්වල ඉස්කෝලෙ හැම කොල්ලාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ස්ටිකර් එකතු කරන්න හිතාගෙන එඩ්නා චොක්ලට් සල්ලි වලට ගන්න පුරුදු වෙලාලු හිටියේ. ඉතිං රුමේෂ් චොක්ලට් එකක් ගෙනාපු එක සම්බන්දයෙන් කිසිම පියවරක් ගන්න පුරුපුරුට පුලුවන්කමක් තිබුනේ නෑලු.

හැබැයි කෙල්ලෙක්ට කොල්ලෙක් විසින් චොක්ලට් එකක් දීමනං අතිශය භයානක වැරැද්දක්. ඒ කියන්නෙ පුරුපුරුට රුමේෂ්ගෙ චොක්ලට් එකට විරුද්ධව පියවරක් ගන්න පුලුවන් මෑන්ස් ඒක සුදුපූසිට දුන්නොත් විතරයි. ඒත් ඒ වැඩේ ගැනනං අපේ පූසාගෙ හිතේ කිසිම මනාපයක් තිබුනෙ නෑ. මොකද චොක්ලට් එක දුන්නාට පස්සෙ සුදුපූසිගෙ හිතේ රුමේෂ් ගැන “මෙව්වා“ එකක් ඇතිවුණොත් එහෙම අපේ පූසාගේ සිහින මාළිගා ඔක්කොම කෙලින්ම බුල්ඩෝසර් වෙලා යනවා.

ඉතිං මේ විදිහට කල්පනා කර කර හිටපු පුරුපුරු අන්තිමේදි තීරණයක් ගත්තලු. ඒ මොන දේ වුණත් කමක් නෑ කියලා රුමේෂ් එක්ක මේ ගැන කතා කරන්න. හැබැයි ඒ කතාබහේදි තමන් රුමේෂ්ට කියන්න ඕනෙ මොනවද කියලාවත් ප්ලෑන් කරගන්න තරම් මොළයක් පූසාට ඒ සන්දියෙදි තිබුනෙ නෑ. ඉතිං එක දවසක් උදේ වරුවේ පුරුපුරු ගියාලු රුමේෂ්ව මුණගැහෙන්න. පුරුපුරු යද්දි රුමේෂ් හිටියේ ඩෙස්ක් එකක චිත්‍රයක් ඇඳ ඇඳ. හොඳට බැලින්නං ඒ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දැක්වෙන කෝටුකිතයි චිත්‍රයක්. අම්මපා වයසෙ හැටියටද මුගෙ වැඩ?

පුරුපුරු :- ආ රුමේෂ්. ඇත්තද ඔයා මේ සුදුපූසිට දෙන්න චොක්ලට් එකක් ගෙනත් කියන්නෙ ?

රුමේෂ් :- ඔව්! ඇයි ඔයා මොනවා කරන්නද?

පුරුපුරු :- නෑ නෑ!! ඔයා එහෙම කෙල්ලන්ට චොක්ලට් දෙන එක වැරදි වැඩක්.

රුමේෂ් :- ඇයි ඔයත් සුදුපූසිට චොක්ලට් දෙන්නද ඉන්නෙ?

පුරුපුරු කවදාවත් රුමේෂ්ගෙන් මේ වගේ ඩිරෙක්ට් ප්‍රශ්නයක් බලාපොරොත්තු වුණේ නෑ. දැන් ඉතිං දීපල්ලකෝ මූ අහන ඒවට උත්තර! පුරුපුරු ඇත්තටම ඒ වෙද්දි සුදුපූසිට ෆුල් ලව් එකෙන් තමයි හිටියේ. ඒත් ඒ බව ප්‍රසිද්ද සමාජයේ පිළිගන්න මෑන්ස්ට ලොකු ලැජ්ජාවක් ඇතිවුණාලු. මොකද ඉතිං පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක්ට ට්‍රයි කරන එක ලොකු වැරැද්දක් නොවැ!

පුරුපුරු :- ඔයාට ඒවා වැඩක් නෑනෙ. ඔයා සුදුපූසිට චොක්ලට් එක දුන්නොත් මම හොඳ වැඩක් කරනවා.

රුමේෂ් :- තමුසෙ කවුද එහෙම කරන්න. පලයං යන්න.

පලයං? බුදු අම්මෝ මූ කියන කුණුහරුප! අපේ පුරුපුරුට එහෙම හිතුනලු. ජීවිතේ කවදාවත් කවුරුවත් පුරුපුරුට කුණුහරුපෙන් බැනලා නෑ. ඉතිං රුමේෂ් කියපු ඒ වචනෙන් වුණේ අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙච්ච එක. ඊළඟ තත්ත්පරේදි පුරුපුරු කළේ ඉස්සරහට පැනලා රුමේෂ්ගෙ බෙල්ලෙන් අල්ලපු එක. ඒත් ඒ වැඩෙන් වුණේ යෝධයෙක් වගේ හිටපු රුමේෂ්ටත් ෆුල් නප්පියටම නැග්ග එක.

තවත් තත්පර ගානක් යද්දි වටේ හිටපු ළමයින්ට දකින්න ලැබුනෙ පුරුපුරුව බිම දාගෙන නෙලන රුමේෂ්ගෙ දර්ශනේලු. අන්තිමට රුමේෂ්ලාගෙ පන්තියෙ ටීචර් තමයි ඇවිත් රණ්ඩුව බේරුවෙ. ඒත් ඒ වෙද්දිත් අපේ පුරුපුරුගෙ ලස්සන සුදු ඇඳුම් ටිකේ කුණු ගෑවිලා, තැලිලා සවුත්තු වෙලයි තිබුනේ. ඒ පුරුපුරුගෙ ජීවිතේ පළවෙනිම රණ්ඩුවනං නෙවෙයි, ඒත් ඒ තමයි අපේ පුරුපුරුගෙ පළවෙනි ගුටිකෑම.

අන්තිමේදි සිද්දවුණේ රණ්ඩුවීමේ චෝදනා යටතේ පුරුපුරුටයි රුමේෂ්ටයි දෙන්නාටම ටීචර්ගෙ වේවැල් කසාය හම්බවෙච්ච එක. ඒක හැමදාම ගුටිකන රුමේෂ්ටනං එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් ඉස්කෝලෙ හෙඩ් පපට් වෙච්ච පුරුපුරුටනං ඒකෙන් වුණේ සෑහෙන ලැජ්ජාවක්. විශේෂයෙන්ම මේ ගැන සුදුපූසිට ආරංචි වුණාම තමන් එයාට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක තමයි පුසාට තිබුන ප්‍රධානම ප්‍රශ්නෙ වුණේ. කොහොමහරි අන්තිමට පුරුපුරුට ආරංචි වුණේ රුමේෂ් සුදුපූසිට චොක්ලට් එක දීලා නැහැයි කියලා. ඉතිං තමන් ගුටිකාපු එක අපතේ ගියෙ නෑ කියලා පුරුපුරුට හිත හදාගන්න පුලුවන් වුණාලු.

මේ වෙද්දි පහ වසරේ ශිෂ්‍යත්ව විභාගෙත් කිට්ටු වෙලා තිබුනේ. ඒ අස්සේ පුරුපුරුට ඉස්කෝලෙ බාහිර වැඩත් සෑහෙන තොගයක් පැටවිලා තිබුනලු. පපට් පට්ටමට අමතරව සිංහල සාහිත්‍ය සමිතියෙ, බෞද්ධ සමිතියෙ, පෝතක බාලදක්ෂ වගේ වැඩවලටත් පුරුපුරු සෙට් වෙලා හිටියලු. මේ ඔක්කොම අස්සෙ තමයි ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් ශිෂ්‍ය නායක රැස්වීමකදි කිව්වෙ, ඉස්කෝල විනය සම්බන්ධයෙන් ප්‍රිෆෙක්ට්ලා සෙට් එක ක්‍රියා කරනවා මදියි කියලා. ඒ කියන්නෙ ඒ සිද්දියෙ වගකීම ප්‍රධාන වශයෙන් බාරගන්න වෙන්නෙ පුරුපුරුට.

ඇත්තටම පුරුපුරුලාගෙ ඉස්කෝලෙ හිටියෙ වසවර්ති මාරයො වගේ කොල්ලො සෙට් එකක්. කෙල්ලොත් ඊට දෙවෙනි නෑ. ඉතිං ඒ කට්ටියව ආම්බාං කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ මදිවට ඉස්කෝලෙ ටීචර්ලාටත් හැම තිස්සෙම ගුරු රැස්වීම්. එතකොට මුලු ඉස්කෝලෙම බලාගන්න වෙන්නෙ ශිෂ්‍ය නායකයන්ට. ඉතිං මේ වගේ තත්ත්වයක් යටතේ ප්‍රින්සිපල් සර් කරපු චෝදනාව ගැන අපේ පුරුපුරුට ජම්ප් වුණේ එසේ මෙසේ ෆ්ලවර් එකක් නෙවෙයි. මෑන්ස් හිතාගත්තලු මීටපස්සෙනං විනය කඩ කරන ළමයින්ට හොඳ ගේමක් දෙනවයි කියලා.

මේ ගැන කතා කර කර ඉන්නකොට උප ප්‍රධාන ශිෂ්‍ය නායක රොටියා තමයි පුරුපුරුට වන්ඩර්ෆුල් යෝජනාවක් කළේ. මෑන්ස් හිටියෙත් පුරුපුරුගෙ පන්තියෙමයි. ඉතිං රොටියාගෙ අදහස වුණේ පන්තිය ඇතුලෙ වධකාගාරයක් දාන එක.

ඒ දවස්වල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වෙලා තිබුනේ බටලන්ද වධකාගාරය සහ ඒ ගැන හොයන්න පත්කරපු කොමිසම. ඉතිං මේ බටලන්ද කියන්නෙ මොකද්ද කියලා පොඩි ළමයින්ගෙ හිත්වල පවා තිබුනෙ නොසෑහෙන කුතුහලයක්. අන්තිමේදි පුරුපුරුයි රොටියයි තීරණය කළාලු තමන්ගෙ පන්තියෙත් පුංචි වධකාගාරයක් දාන්න. ඉතිං මේ දෙන්නා බලාගෙන හිටපු ඒ සුභ දවස උදාවෙන්න වැඩි කල් ගතවුණේ නෑ. මොකද සුපුරුදු විදිහට ඊළඟ සතියෙ දවසකත් ගුරු රැස්වීමක් නිසා ඉස්කෝලෙ ගුරුවරු ඔක්කොම ඒකට සහභාගි වෙලයි හිටියේ.

ඉතිං පුරුපුරුයි රොටියායි තමන්ගෙ පන්තියෙ ඩෙස්ක් කීපයක් වළල්ලක් වගේ වෙන්න හදලා, එක ඩෙස්ක් එකක පොඩි බෝඩ් එකක් ගැහුවලු “බටලන්ද“ කියලා. ඒ විනය කඩකරන පහ වසරෙ කොල්ලන්ව ගෙනත් හිරකරලා තියන්න. ඉතිං ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?

19 comments:

  1. මමනම් හිතන විදිහට නායකයෝ කට්ටියම තනතුරු අහිමි කරගන්න වගේ මේ සූදානම් වෙන්නේ . ආ මට අමතක වුණා මේ පහ වසර කාලෙනේ .

    අපේ ඉස්කෝල ගැනත් මතක් වුණා බං .. මමත් ඔය නායකයෙක් වෙලා හිටියනේ දවසකට .. අපේ ඉස්කෝලේ නායක කම දෙන්නේ එකෙකුට එක දවසකට විතරයි . ඉතින් ළමයි හැමෝම නායකෝ . බලහං හරිම සිම්පල් ප්ලෑන් එකක් !

    ඉතිරියත් එනතුරු ..

    ReplyDelete
  2. බොලා නං පූසො නෙවෙයි, වසවර්ති මාරයො ටිකක් ! ;)

    ReplyDelete
  3. හුටා ඒ කාලේ ගියෙත් බටලන්දේ පූසා කියලා නේද....හික්ස්,,මුනුත් බටලන්දේ සුසා වෙලා

    ReplyDelete
  4. හිකිස් බටලන්දේ පූසා....

    ReplyDelete
  5. බොලාට හොදටම ෂුවර්ද හිටියෙ 5 වසරෙ කියලා.. :)

    ReplyDelete
  6. පුරු පුරුගේ හෙඩ් පපට් කම නැති උනාලු.
    අම්මෝ මේක මාර මෙගාවක් නේ. අර චංචලා මෙගාව වගේ. හික්ස් :)
    අර එඩ්නා ස්ටිකර් වලින් එක එක තෑගි දෙන නිසා මාත් ඉස්සර ස්ටිකර් එකතු කලා. ඒත් හරි ගියේ නෑ.

    ReplyDelete
  7. අම්බෝ මෙයාලා 5හේදි කරලා තියෙන දේවල්.අපිනම් ඔන්න හරිම අහිංසක විදියට තමා 5හේදි හිටියේ.ඉතුරු ටිකත් දාමු නේ?

    ReplyDelete
  8. " බටලන්ද.." නියමයි...මෙන්න පුස් වදකාගාරය....

    ReplyDelete
  9. සුදු පූසිද බටලන්දට දාගත්තෙ.... :D

    ReplyDelete
  10. පොඩි කමටද මුන්ගෙ වැඩ.

    ReplyDelete
  11. අන්න ළමයි..............! මට හිතාගන්න බැරි බටලන්දයි, රුමේෂයයි, සුදුපූසියි ආපහු කතාවට එන්ටර් වෙන හැටි...... ඒ මදිවට රොටියෙතුක් ආවනේ.

    මම නං කියන්නෙ පරාක්‍රම නිරිඇල්ල මහත්තයගේ නාට්‍යක් බලන එක මීට ලේසියි. මොකද එතුමා මෙච්චර කුතුහලය අවුස්සලා නෙමේ කතාව ඉවර කරන්නෙ....

    ReplyDelete
  12. කතාව දැන්නම් බටලන්ද නෙවෙයි,සූරියකන්ද වගේ වෙන්නයි යන්නේ. බලමුකෝ ඊළඟ එකෙන් නේද?

    ReplyDelete
  13. පිස්සුවේ උපරිම!!! මටත් ඔය 5 වසර මතක් වුනා....

    ReplyDelete
  14. මෙයාලා පුසොද වදකයෝද? හෆොයි බටලන්ද... හික් හික්

    ReplyDelete
  15. හප්පටසිරි... එහෙනං භයානක කොටසක් වෙයි ඊලඟට... ධර්මචක්‍ර, මිරිස් ගෝනි, ක‍ටුකම්බි රිංගවපු එස්ලෝන් බට එහෙමත් නැතෑ එහෙනං.....

    ReplyDelete
  16. මොනවා නැතත් ප්ලෑන් එක නම් මරු.පූස් තඩියගෙ විකාර වැඩ හන්දා ඊලග පාර්ට් එකේදී පූසයි පූසියි දෙන්නම හොද වේවැල් කසායකට මාට්ටු වෙන එක නම් ෂුවර්

    ReplyDelete
  17. හෙහ් හෙහ්. අපිත් ඔය ඩෙස් වටකරල රෙස්ලින් ගැහුව මතකයි.. කට්ටියක් වෙනම සල්ලි ඔට්ටු දැම්මා දිනන්නෙ අහවලාය කියල. හෙහ්

    ජය..

    ReplyDelete
  18. සඳරු
    මුහුදු
    ඩිලාන්
    චතුර
    බුරා
    මධුරංග
    ආර් එම්
    රාජ්
    ප්‍රසංග
    ප්‍රසන්න
    චූටි මහත්තයා
    සිතුවිලිමණ්ඩිය
    දක්ෂිණ
    හසී
    නවම්
    කතා මාමා
    සිංහයා

    බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට.

    ReplyDelete
  19. හික් හික්!! ගොඩක් කට්ටියට පේන කියන්න පුලුවන් වගේ. ඉතුරු කොටස දාන්න කලින්ම කියලා මොකද වෙන්නෙ කියලා.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???