කලින් කොටස බලන්න මෙතනින් යන්න.
ඒ වගේම මේ කාලෙදි කැම්පස් ළමයින්ට ඇති කරන මූලිකම සිතුවිල්ලක් තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොන දේ කළත්, මොන දේ වුණත් මුලු බැච් එකම එකට ඉන්න ඕනෙ කියන එක. ඇත්තටම කැම්පස් එක ඇතුලෙ එක එක වැඩ කරද්දි බැච් ෆිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තිබුනත්, මේ වැඩෙන් කොල්ලන්ගේ අධ්‍යාපනයට වෙන හානිය සුලුපටු නෙවෙයි. උදාහරණයක් විදිහට බැච් ෆිට් එක උපරිමයෙන් තියෙන පළවෙනි අවුරුද්දෙදි සහ දෙවෙනි අවුරුද්ද මුලදි කොල්ලො මළ ගෙවල්, දානෙ ගෙවල් වලට යන්නෙ හොය හොයා. මේ වැඩෙන් නොදැනුවත්වම ලෙක්චර්ස් ගොඩක් කට් වෙනවා වගේම එග්සෑම් කාලෙටනං පාඩම් කරන වැඩෙත් පාඩු වෙනවා.
ඇත්තටම මෙතනදි ගොඩක් වෙලාවට වෙන්නෙ ළඟ යාලුවෙක්ගෙ ළඟ ඥාතියෙක්ගෙ මළ ගෙදරකට යැවෙන එක නෙවෙයි. ජීවිතේට කැම්පස් එකේදි කතාබහවත් නොකරන කෙනෙක්ගෙ දුර නෑදෑයෙක්ගෙ මළ ගෙදරක යැවෙන එක. අනික මේක මළ ගෙයක්, දානෙ ගෙයක් කිව්වාට කැම්පස් එකේ කොල්ලන්ට මේ ගමන ට්‍රිප් එකක් හා සමානයි. දැන් ඔන්න කට්ටිය වැරදියට තේරුම් ගන්න එපා මම මේ යාලුවෙක්ගෙ දුකක් කරදරයකදී ළඟින් ඉන්න එපා කියනවයි කියලා. මම කියන්නේ ඕනෙම දෙයක් ඕනෑවට වඩා කරද්දි ඒක විකාරයක් වෙන බව.
බැච් ෆිට් එක ගැන කියද්දි පුරුපුරුලාට වෙච්ච තවත් හොඳ වැඩක් මට මතක් වුණා. මේ සිද්දිය වෙද්දි අපේ පූසා ෆස්ට් ඉයර් එකට ගිහින් මාස දෙක තුනයි ගිහින් තිබුනේ. මේ වෙද්දි ඉතිං බැච් ෆිට් එක කට්ටියගෙ කන් දෙකෙන් බේරෙන කාලෙ. ඔය දවස්වල මහරගම තරුණ සේවා සභාවෙ තිබුනා අන්තර් විශ්ව විද්‍යාලයීය වොලිබෝල් තරඟාවලියක්. මේ කියන දවසෙ පුරුපුරුලාට වැදගත් ජෛවරසායන විද්‍යා ප්‍රැක්ටිකල් එකක් තියෙන්න නියමිත වෙලා තිබුන හින්දා මෑන්ස්ලාට මේ ටූනමන්ට් එක බලන්න යන්න විදිහක් තිබුනෙ නෑ. ඔන්න ඉතිං කට්ටිය ප්‍රැක්ටිකල් එකට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි පුරුපුරුගෙ යාලුවෙක් වෙච්ච ආකාස්ට කෝල් එකක් එනවලු මහරගම ගිය කට්ටියගෙන්.
“මචං ආකාස්, අපිට වලියක් සෙට් වෙලා තියෙන්නෙ මහරගමදි. කොයි වෙලාවෙ වලිය යයිද දන්නෙ නෑ. කට්ටියටම එන්න කියපං ඉක්මනට“
පස්සෙ බැලින්නං තුම්මුල්ලයි, සැළලිහිණියා ආපු සක්වල තක්සලාවයි අතරෙ වොලිබෝල් මැච් එක යද්දි ප්‍රේක්ෂකයො අතරෙ දුම් දාන සයිස් එකේ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා. එදා කැම්පස් දෙකේම කට්ටිය ඉඳලා තියෙන්නෙ සමාන ප්‍රමාණවලින්. ඉතිං දෙගොල්ලන්ටම ෂුවර් නෑ වලිය ඇදුනොත් කාට කන්න වෙයිද කියලා. ඒ හින්දා තුම්මුල්ලෙ කට්ටිය කරලා තියෙන්නෙ කැම්පස් එකට කෝල් කරලා අනිත් කොල්ලන්ටත් එන්න කියපු එක.
දැන් අපේ යාලුවන්ට තියෙන පුරස්නෙ තමයි මේ වලියට ගියොත් ප්‍රැක්ටිකල් එක කට් වෙනවා. බයෝකෙමිස්ට්‍රි කියන්නෙ ස්පෙෂල් ඩිග්‍රියට යන්න අනිවාර්යයෙන්ම ගොඩදාන්න ඕනෙ සබ්ජෙක්ට් එකක් වගේම ලකුණු ගන්න ගොඩක්ම අමාරු සබ්ජෙක්ට් එකක්. ඒ මදිවට එදා ප්‍රැක්ටිකල් එකේදි දෙන්න නියමිත වෙලා තිබුන ක්විස් එකෙන් අන්තිම පේපර් එකට ලකුණු පහක් ලැබෙනවා. ඔක්කොටම වඩා අදාල ලෙක්චරර්ට වැඩේ නෝට් වුණාම ඉතිං ආපහු බයෝකෙමිස්ට්‍රි කළත් නොකළා වගේ තමයි. ඒත් අනිත් පැත්තෙන් බැච් එකේ කොල්ලො කතා කළාට පස්සෙ නොගිහින් ඉන්න එක හොඳ නෑ. ඒකෙන් බැච් ෆිට් එකට හානි වෙනවා. ඒ මොනවා නැතත් එකට රැග් වෙච්ච එවුන්ට ගුටිකන්න දෙන්නෙ කොහොමද?
ඉතිං අන්තිමට පුරුපුරුලාගෙ සෙට් එක අමාරුවෙන් වුණත් තීරණය කළාලු ප්‍රැක්ටිකල් එක කට් කරලා මහරගම වලියට යන්න. මේ වෙද්දි පණිවිඩේ හම්බවෙලා කැම්පස් එක ඇතුලෙ හිටපු ඔක්කොමලා වගේ කොල්ලො කුරුඳුවත්ත ඉස්කෝලෙ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකට සෙට් වෙලයි හිටියේ. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ 138 බස් කීපෙක නැගලා මහරගමට ගිය එක. පුරුපුරුලා යද්දිත් වොලිබෝල් ටූනමන්ට් එක ඉවර වෙලා තිබුනෙ නෑ. ඒ වගේම සැළලිහිණියා ආපු කැම්පස් එකෙන් ගෙන්නපු සෙට් එකකුත් ඇවිත් හිටියා. ඒත් තුම්මුල්ලෙන් ආපු සීයකට වඩා සෙට් එක හමුවේ සැළලිහිණියන්ට හොඳ කෑමක් තමයි සෙට් වෙලා තිබුනේ.
කොහොමහරි ඉතිං ටික වෙලාවකින් ටූනමන්ට් එක ඉවර වුණාලු. එකිනෙකාට ඔරවාගත්තු කැම්පස් දෙකේ ළමයිනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගන්නෙ නැතුව ආපහු යන්න ගියාලු. ඇත්තටම වලියක් ගියෙ නැති එක ගැනනං පුරුපුරුට තිබුනේ ලොකු සතුටක්. කොහොමහරි කට්ටිය ආපහු කැම්පස් එද්දි ප්‍රැක්ටිකල් එක ඉවර වෙන්නත් ළඟයි.
“යකෝ අරුන්ට ඔරවලා එන්නද බයෝකෙම් ප්‍රැක්ටිකල් එක කට් කරගෙන අපි ගියේ?“
පුරුපුරුගෙ යාලුවෙක් වෙච්ච වඩියා එහෙම ඇහුවලු. අන්තිමේදි බලද්දි බැච් එකේ කෙල්ලො කට්ටිය ප්‍රැක්ටිකල් එකට ගිහින් ක්විස් එකත් කරලා තිබුනලු. කොල්ලන්ට වුණේ දවස් කීපයක් අදාල ලෙක්චරර්ගෙන් ලෙක්චර්ස් වලදි හොඳට අහගන්න. අන්තිමට රිසාල්ට් එනකොට බහුතරයක් ගෑනු ළමයින්ට “ඒ“ හරි “ඒ මයිනස්“ හරි තිබුනලු. ඒත් බහුතරයක් කොල්ලන්ගෙ රිසාල්ට්ස් අම්බානට අඩුයි. පුරුපුරුටනං යන්තං “බී ප්ලස්“ එකක් ඇවිත් තිබුනා. ඊටපස්සේ තමයි අපේ යාලුවො කට්ටිය තීරණය කළේ ආපහු කැම්පස් වලි වලට නොයන්න. හැබැයි හොඳවෙලාවට ඊටපස්සෙ කිසිම වලියක් සෙට් වුණෙත් නෑ.
බැච් ෆිට් එක කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙන දෙයක්. විශේෂයෙන්ම හතරවෙනි අවුරුද්දට විතර ආවාම තියෙන්නේ පෞද්ගලික හිතවත්කම් විතරක් මිසක් බැච් එකක් වශයෙන් ඇතිවෙන සුහදතාවයක් නෙවෙයි. පළවෙනි අවුරුද්දෙ දෙකේ අම්බානට ෆිට් එකේ හිටපු සමහර බැච් මේට්ලා දැන්නං මගදි දැක්කත් හිනා නොවී යන අවස්ථා තියෙනවා.
ඉතිං මේ හේතු හැම එකෙන්ම සිද්ද වෙන්නේ කොල්ලන්ගේ අධ්‍යාපනය දිනෙන් දින වල පල්ලට යන එක. සමහරවිට ගෑනු ළමයින්ටත් තමන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හේතු කාරනා ඇති. මම ඒ ගැනනං වැඩිපුර දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවානං ඒ හේතු තමන්ගෙ අදහසක් විදිහට මේ ලිපිය යටින් පළ කරන්න පුලුවන්.
කොහොම වුණත් කැම්පස් එක කියන්නේ ආපු දවසේ ඉඳලා අස්වෙන දවස දක්වාම මනුස්සයෙකුට සමාජය ගැන ඉගෙන ගන්න පුලුවන් තැනක්. විශ්ව විද්‍යාලය ඒ ලෙවල් ළමයි හිතාගෙන ඉන්න ජාතියෙ සුන්දර සිහින ලෝකයක්වත්, සමහරු හිතාගෙන ඉන්න ජාතියෙ අමු අපායක්වත් නෙවෙයි. කැම්පස් එකට එන්නේ මේ සමාජයෙන්ම බිහි කරලා ඇති දැඩි කරපු ළමයි. ඒ හින්දා විශ්ව විද්‍යාලය කියන්නේ මේ සමාජයේම තවත් එක පැතිකඩක් විතරයි. ඇත්තටම වෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාලයෙන් සමාජය හැදීමට වඩා සමාජයෙන් විශ්ව විද්‍යාලය හැදීමයි.