අඹ යාලුවෝ

Thursday, September 29, 2011

පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය - 2


කලින් ලිපිය බැලුවෙ නැති අය මෙතනින් බලන්න 

මම කලින් ලිපියෙන් කිව්වේ අපේ පුරුපුරු මෝල්ලන්තයේ දූපතකට ගිය හැටි ගැන නොවැ! මේ පහළින් තියෙන්නෙ ඒ දූපතේ ෆොටෝ කීපයක්.

වැප්නි සාන්ත තුමාට ලෑස්ති කරපු කාමරේ ඉදිරිපස
සුන්දර මෝල් වෙරළ
සුන්දර මෝල් වෙරළ. මුහුද ඉතාම නොගැඹුරුයි
වෙරළේ ඇති ශාක
වැප්නි තුමාට ලෑස්ති කරපු කාමරය. පුරුපුරු නැවතුනෙත් මේකෙම තමයි
කාමරයේ ඇතුල
ඕනෙනං අව්ව තපින්නත් පුලුවන්
රිසෝර්ට් එකේ කෑම බිමනං උපරිම විදිහට තිබුනා. ඒක හින්දා වැප්නි තුමාට ලැබෙන කෑම බීම ගැනනං කිසිම ප්‍රශ්නයක් පුරුපුරුට ඇතිවුණේ නෑ. ඊටපස්සෙ පූසාට නියමිත වෙලා තිබුනෙ දූපත අවට මුහුදේ ආරක්ෂාව තහවුරු කරන වැඩේ. මේ වැඩේට පුරුපුරුට යන්න වුණේ බෝම්බ හොයන පූසා නැතුව. මොකද කකුල් හතරේ පූසෝ වතුරට බයයි නොවැ! ඒත් කලින් සූදානම් කරගත්තු කිමිදුම්කරුවෝ දෙන්නෙක් මේ වැඩේට අරගෙන එන්න පුරුපුරුට පුලුවන් වුණාලු.


මුහුදේ මීටර් දෙසීයක් විතර ඈතට යන්න පුලුවන්
ලස්සන මෝල් වෙරළ
කාමරේ ඉස්සරහා
වැප්නි තුමා එන ආරංචිය අහලා එදාම අලුතින් ස්විමින් පූල් එකක් හදන්න පටන් ගත්තා
අන්තිමට දූපත අවට දිය යට බෝම්බ අටවන්න පුලුවන් තැන් ඔක්කොම නිශ්ක්‍රීය කළාට පස්සෙ තමයි පූසාගෙ ඒ දුපතේ රාජකාරිය අහවර වුණේ. ඒත් ඒ වෙද්දි රෑ බෝවෙලා තිබුන හින්දා පුරුපුරුට සිද්ද වුණාලු එදා රෑ දූපතේ ගත කරන්න.

හඳපානේ...හඳපානේ...හඳපානේ...රෑ යාමේ
ගස් අතරින් සඳ එළිය
දූපතේ හිටපු මැනේජර් බුවා ලංකාවෙ කොල්ලෙක්. මෑන්ස්ගෙනුත් පුරුපුරුට හොඳ සහයෝගයක් ලැබුනා. ඇත්තටම මෝල්ලන්තෙට ආවට පස්සේ පූසාට වැඩි ආගන්තුක බවක් දැනුනෙ නෑ. මොකද මේ රටේ කොහෙගියත් නිතරම සිංහල වචන ඇහෙනවා. ඒ වගේම සිංහල අකුරු නිතරම පේනවා. පුරුපුරුට හිතුනෙ ලංකාවෙ මිනිස්සු ගොඩ දෙනෙක් මෝල්ලන්තෙ ඉන්න නිසා එහෙම වෙලා ඇති කියලා. කොහොමවුණත් මෝල්ලන්තෙ මිනිස්සු පාවිච්චි කරන “දිවෙහි“ කියන භාෂාවෙ පවා සෑහෙන්න සිංහලෙන් බිඳී ආපු වචන තියෙනවා. භාෂාව නොතේරුනත් මිනිස්සු කියන දේවල් වල තේරුම යන්තම් අල්ලගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.


මෝල්ලන්තයට ඉර පායන හැටි
මෝල්ලන්තයට ඉර පායන හැටි
ආපහු යන අතරේ
කුරුස් නැවකුත් පහු කරගෙන ගියා
අගනුවරට ළඟා වීම
පහුවදා උදේම නැගිටපු පුරුපුරු, ස්පීඩ් බෝට්ටුවකට නැගලා ආපහු අගනුවරට ආවලු. ඊට පස්සේ මෑන්ස් කළේ අගනුවර ඇවිදලා ආරක්ෂක තත්ත්වය ගැන හොයලා බලපු එක. ඇත්තටම මාලේ නුවර කියන්නෙ බොහොම පොඩි දූපතක්. මුලු දූපත වටේම ඇවිදින්න පුලුවන් පැය දෙක තුනකින්. ඉතිං අපේ පූසාට පුලුවන් වුණාලු තමන්ගෙ රාජකාරිය බොහොම ඉක්මනට ඉවර කරන්න.
මාලේ නුවර සිරි
සැමදා වසා ඇති මෝල් කෞතුකාගාරය
මාලේ වැසියන්ට විනෝද වෙන්න තනා ඇති කෘත්‍රිම මුහුදු වෙරළ
අගනුවර වෙරළ ඛාදනය වැළැක්වීමට මෝල් වැසියන් කටයුතු කර ඇති ආකාරය
 මේ ගමනෙදි මෝල්ලන්ත ජනපති මැදුර සහ පාර්ලිමේන්තුව බලන්න යන්නත් අපේ පූසා අමතක කළේ නෑ. මෙතනදි තමයි පුරුපුරුට තරු විසිවුණේ. ජනපති මැදුරෙයි, පාර්ලිමේන්තුවෙයි ආරක්ෂාවට බල්ලෙක්වත් නෑ. (ආ...බල්ලො කොහොමත් නෑ නොවැ!) මේ නිකං හුදී ජනයා ඒ ගොඩනැගිලි ගාවින් කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙට මෙහෙට යනවා.

මෝල්ලන්ත ජනපති මැදුර
මෝල් පාර්ලිමේන්තුව
මේක දැකලානං අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණා. තමන්ගෙ ජනාධිපති මන්දිරයටයි, පාර්ලිමේන්තුවටයි ආරක්ෂාව හරියට දෙන්න බැරි මිනිස්සු කොහොමද වැප්නි සාන්ත තුමාගෙ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්නෙ? ඉතිං පුරුපුරු කළේ වහාම දුරකතනයෙන් වැප්නි මහතාව අමතලා මේ සංචාරය කැන්සල් කරන්න කියලා උපදෙස් දුන්න එක. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වැප්නි තුමා තීරණය කළාලු මේ සංචාරය දින නියමයක් නැතුව කල් දාන්න.

ඊටපස්සෙ ඉතිං තව දවස් දෙකකට වීසා තිබුන හින්දා පුරුපුරු ගියාලු තව ටිකක් රට තොට බලාගන්න. මෑන්ස් ඊටපස්සෙ ගියේ මාලේ නුවරට කිට්ටුවෙන් තිබුන විලින්ගිලි කියන දූපතට. මේ දූපතේනම් හැබැයි අගනුවර වගේ සාඩින් පැක් කරලා වගේ බිල්ඩින් ගහලා තිබුනෙ නෑ. කලබලකාරී ගතිය වුණත් සෑහෙන්න අඩුවෙන් තිබුනේ. ඒ වගේම විලින්ගිලි දූපත ප්‍රමානයෙනුත් මාලේට වඩා ලොකුයි. ඉතිං අපේ පූසා කළේ මේ දූපතේ මුහුදෙනුත් හිතේ හැටියට නාගත්ත එක.


විලින්ගිලි දූපත
විලින්ගිලි දූපත. ඈතින් පේන්නේ මාලේ අගනුවරයි.

විලින්ගිලි දූපත
මෝල්ලන්තෙ ඉන්න පිරිමි පාර්ශවයේ කට්ටිය කුඩ්ඩො වගේ වුණත් කාන්තා පාර්ශවයේ කට්ටියනං බොහොම සුන්දර විදිහට ඉන්නවා. අර “ඉඟ සුඟ ගත හැක මිටින“ ටයිප් කස්ටිය තමයි ගොඩක් ඉන්නේ. මේ ගැන පුරුපුරු වැඩිය කියන්න යන්නෙ නෑ. මොකද බ්ලොග් එකේ මේවා කියන්න ගිහින් පූසා මල්ටි බැරල් ප්‍රහාරයකට ලක් වෙන්න පවා ඉඩ තියෙනවා. කොහොමවුණත් ලංකාවෙ ඉඳගෙන කරවෙන අපේ කොල්ලො කස්ටිය මෝල්ලන්තෙ පැත්තෙ ගියොත් පාඩුවක් වෙන එකක්නං නෑ.

ඔය විදිහට අන්තිමට පූසා ගියෙ මෝල්ලන්තෙ වෙළඳ කටයුතු ගැන අවබෝධයක් ලබා ගන්න. එහේ බඩු මුට්ටුනං සෑහෙන ගනං. ඒත් රටේ ඉන්න මිනිස්සු ගොඩක් පොහොසත් නිසා ඒ අයට ඒවා ගානක් නෑ. පුරුපුරුත් ඉතිං අතේ මිටේ තිබුන හැටියට සුදුපූසිටයි, යාලුවන්ටයි අයිටම්ස් කීපයක් මිලදී ගත්තලු. ඊටපස්සෙ මෑන්ස් කළේ මාලු මාකට් එක පැත්තෙ සංචාරයක් දාපු එක.

මාලුවෙක් කපන එක මහ වැඩක් නෙවෙයි
බලයොයි, කෙළවල්ලොයි තමයි වැඩිපුර ඉන්නෙ
මහා පරිමාණයෙන් මාලු කැපීම


මෝල්ලන්තෙ මාලු ගැනනං ඉතිං කතා කරලා වැඩක් නෑ. ඉන්න ඔක්කොම මාලු ෆුල් ෆ්‍රෙෂ් පිට තමයි ඉන්නේ. මුහුදෙන් අරගෙන එන මාලු කෙලින්ම යන්නේ මාකට් එකට. අතරමැදියෝ නැහැ. හාල්මැස්සෝ එහෙමනං පණපිටින් විකුණන්නේ. ඒ වගේම ලංකාවේ වගේ මාලුන්ගෙ අස් කොන් කන සිරිතක් එහේ නැහැ. මෝල් වැසියෝ කන්නෙ මාලුන්ගෙ හොඳ මස් තියන හරිය විතරයි.

හාල්මැස්සන්ට තවමත් පණ තියෙනවා
මාලු මාකට් එකට එහා පැත්තෙන් තියෙන්නෙ කරවල මාකට් එක. කරවල මාකට් එකට ගිය පුරුපුරුට දැනුනෙ ගෙදර ගියා වගේ. මොකද කරවල මාකට් එකේ ලංකාවේ වෙළෙන්දෝ නැති වුණත් ඔක්කොම බිස්නස් කෙරෙන්නේ සිංහල මීඩියම් එකෙන්.  පස්සේ හොයලා බැලින්නං ආරංචි වුණේ මුලු ලෝකෙන්ම කරවල කන්නේ ලංකාවෙ මිනිස්සු විතරයි කියලා. මේ කතාවෙ ඇත්ත නැත්තනං හැබැයි පුරුපුරු දන්නෙ නැහැ.

සිංහල තමයි කරවල මාකට් එකේ පාවිච්චි වෙන භාෂාව
ඉස්තරම් කරවල
සිංහලෙන් කරවල විකුණන බංග්ලාදේශ ජාතිකයෙක්
අව්වේ වෙළපු තෝර කරවල
කොහොමහරි ඉතිං තමන්ගෙ රාජකාරි ඉවර වෙච්ච හින්දා පූසා පහුවදාම ආපහු ලංකාවට ආවලු. මෑන්ස්ගෙ යාලුවොනං කිව්වේ පුරුපුරු හිටියට වඩා දෙගුණයක් විතර කලු වෙලයි කියලා. ඒ කතාවනං ඇත්ත තමයි. මොකද මෝල්ලන්තය ලංකාවටත් වඩා සමකයට කිට්ටු හින්දා එහෙට වැටෙන අව්ව ගොඩක් සැරයි.

අන්තිමේදි ඉතිං පුරුපුරුට පුලුවන් වුණාලු තමන්ට පැවරිච්ච රාජකාරිය හරියට ඉෂ්ට කරන්න. දැන් ඉතිං වැප්නි සාන්ත තුමා තමයි තීරණය කරන්න ඕනෙ මෝල්ලන්තෙට යනවද නැද්ද කියලා.

ප.ලි - මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය

අපේ බ්ලොග් ලියන කට්ටිය සෑහෙන දෙනෙක් නිතර ගැවසෙන තැනක් තමයි ගූගල් බස් එක කියන්නේ. ඔය බස් පදින කට්ටිය එකතු වෙලා ගූගල් බස් සංගමය කියලා සංගමයක් පවා පිහිටුවාගෙන ඉන්න බව ගොඩ දෙනෙක් දන්නවානේ. ඉතිං ඔය සංගමයේ සභාපති තනතුර දරන්නේ අපේ වැප්නි සාන්ත තුමා කියන එකත් බ්ලොග්කරුවන්ට රහසක් නෙවෙයි. (මම මේ දේවල් කියන්නේ ගූගල් බස් එක ආගන්තුක කට්ටියට හොඳේ!).

ඉතිං ඇමරිකාවෙ ජනාධිපති ලෝකෙ බලවත්ම පුද්ගලයා වගේ ලංකාවෙ අන්තර්ජාලයේ බලවත්ම පුදගලයා තමයි වැප්නි සාන්ත. කොටින්ම සිංහල සයිබර් අවකාශය යන්න ඕනෙ මොන දිශාවටද කියලා තීරණය කරන්නෙ පවා වැප්නි තුමා බව සමහරවිට ඔය කස්ටිය නොදන්නවා ඇති. ඉතිං ඒකෙන්ම හිතාගන්න පුලුවන් නොවැ එතුමාගේ බල පරාක්‍රමය. කොහොමහරි ඉතිං බලවත් පුද්ගලයො ඔක්කොටම තියෙනවා වගේ වැප්නි තුමාටත් තමන්ගෙ ආරක්ෂාව පිළිබඳ බරපතල තර්ජන තියෙනවා.

සිංහල සයිබර් අවකාශයේ විශේෂ රහස් ඔත්තු සේවය වෙන මාෆිලා දෙපාර්තමේන්තුව තමයි මේ වගේ වැදගත් පුද්ගලයන්ගෙ ආරක්ෂාව භාරව ඉන්නේ. ඒ ගැන දන්නෙ නැති අයට මෙතනින් දෙපාර්තමේන්තුවෙ නිල බ්ලොග් අඩවියට යන්න පුලුවනි. ඔයාලා ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට අපේ පුරුපුරුත් මේ දෙපාර්තමේන්තුවේ බොහොම ඉහළ නිළයක් දරන පූසෙක්. ඔන්න මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නේ.

පහුගිය දවසක වැප්නි සාන්ත තුමාට මෝල්ලන්ත රජයෙන් විශේෂ ආරාධනාවක් ලැබුනා මෝල්ලන්තයේ නිල සංචාරයකට එක් වෙන්න කියලා. ඒ වෙන මොකටවත් නෙවෙයි, මෝල්ලන්තයේ බ්ලොග්කරණය සහ බස්කරණය නගාසිටුවීමේ විශේෂ වැඩපිළිවෙලකට උපදෙස් ගන්න. ඇත්තටම ඉතිං මෝල්ලන්තෙ වගේ ජනගහනය ලක්ෂ තුනහමාරක් වෙන රටක මේ වගේ වැඩක් කරන එක හරිම අමාරු දෙයක්. ඒත් අන්තිමේදි වැප්නි තුමා තීරණය කළාලු නොසැලී වැඩේ බාරගන්න.

ඒත් ඉතිං මේ වගේ වැදගත් පුද්ගලයෙක් නිල සංචාරයකට යන්න කලින් ඒ රටේ ආරක්ෂාව පිළිබඳව හොඳ වැටහීමක් සහ වගකීම් සහතිකයක් ලබාගන්න ඕනේ. මෝල්ලන්තය ඇතුලෙ මාෆිලා දෙපාර්තමේන්තුවෙ විශේෂ නියෝජිතයො හිටියත්, වැප්නි තුමාගෙ ආරක්ෂාව කියන්නෙ බොහොම බරපතල කාරණාවක් හින්දා අන්තිමේදි පුරුපුරු තීරණය කළාලු පෞද්ගලිකවම මෝල්ලන්තයට ගිහින්, එහෙ ආරක්ෂක තත්ත්වය ගැන හොයලා බලන්න. සියලු වියදම් දෙපාර්තමේන්තුව ගානෙ හින්දා පුරුපුරුට තිබුනෙ ගිහින් ආරක්ෂාව ගැන හොයලා බලන වැඩේ විතරයි. ඇත්තටම පහුගිය දවස් ටිකේ පුරුපුරු වැඩිය පේන්න හිටියෙ නැත්තෙත් මේ වැඩේ හින්දා. 

ඉතිං නියමිත දවසේ ප්ලේන් එකට නැග්ග අපේ පූසා කෙලින්ම ගිහින් ගොඩ බැස්සේ මෝල්ලන්ත ගුවන් තොටුපොළේ. ඇත්තටම මේ එයාර්පෝට් එක තිබුනෙ වෙනම පොඩි දූපතක. මුලු දූපතටම තිබුනෙත් එයාර්පෝට් එක විතරයි. කොටින්ම ඒ දූපතට කියන්නෙත් එයාර්පෝට් අයිලන්ඩ් කියලා. ඉතිං පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් ප්ලේන් එක බාන්න වෙන්නේ කෙලින්ම මුහුදේ. මේක වැප්නි තුමාගෙ ආක්ෂාවට තර්ජනයක් හින්දා එතනින්ම මෝල්ලන්තයට ඍණ ලකුණක් වැටුනා.

එයාර්පෝට් දූපත

පුරුපුරු එදා නැවතුනේ මෝල්ලන්ත අගනගරය වෙච්ච මාලේ නුවර. ඒ දූපතට යන්න එයාර්පෝට් දූපතේ ඉඳලා බෝට්ටුවක යන්න ඕනේ. ලංකාවේ ප්‍රයිවට් බස් වගේ මෝල්ලන්තයේ තියෙන්නෙ ප්‍රයිවට් බෝට්ටු. ලංකාවෙ බස්පලුවො වගේ මෝල්ලන්තෙ ඉන්නෙ බෝට්ටුපලුවො. දෙගොල්ලොම හැබැයි පෙනුමෙන්නං එකම වගේ. ඇත්තටම ලංකාවෙ මිනිස්සුයි, මෝල්ලන්තෙ මිනිස්සුයි පෙනුමෙන් වෙන් කරලා අඳුරගන්න එක බොහොම අමාරු වැඩක්.

 

බෝටුටව ඇතුලේ ඉදිරිපස පෙනුම
ඈතින් පෙනෙන මෝල්ලන්ත අගනුවර

කොහොමහරි ඉතිං අපේ පූසා එදා රෑ මෝලලන්ත අගනුවර ගත කළාලු. මෝල්ලන්තයට ආපු වෙලාවෙ ඉඳලා අපේ පූසාගෙ කනට වැටුනෙ ඇහුවාම මෝල්වෙන ජාතියෙ නීති රීති ගැන. මෝල්ලන්තෙ ඉන්න මිනිස්සුන්ට ඇල්කොහොල් බොන්න තහනම්. බැරිවෙලාහරි අපේ රටේ ඔය නීතිය දැම්මනං හැබැයි කස්ටිය දවසක් ඇතුලත ආණ්ඩුව පෙරලනවා. ඒත් ඉතිං මෝල්ලන්තෙ මුස්ලිම් රටක් හින්දා මොන ආණ්ඩුව ආවත් ඔය නීතිය වෙනස් වෙන්නෙ නෑ. ඒ වගේම මෝල්ලන්තෙ මිනිස්සුන්ට බල්ලො ඇති කරන්න තහනම්. ඒකත් ඉස්ලාම් ආගමේ නීති රීති අනුව වෙච්ච දෙයක් කියලා තමයි ආරංචි වුණේ.

ඉතිං පුරුපුරු හිතුවේ මේ රටේ ඉන්නේ බොහොම හැදිච්ච ගුණයහපත් මිනිස්සු කියලා. ඒත් අගනුවරට ගියාට පස්සෙ තමයි තේරුනේ මෝල්ලන්තෙ ඉන්න මිනිස්සුන්ට ඇත්තටම මෝල් කියලා. ඇල්කොහොල් තහනම් වෙච්ච රටේ හැම එකාගෙම වගේ කටේ සිගරට් එකක්. ඒ වගේම ඉන්න කොල්ලන්ගෙන් සියේට හැත්තැපහකටත් වඩා කුඩ්ඩො ඉන්නේ. ඉතිං වැප්නි සාන්ත වගේ වැදගත් මහත්මයෙකුට එන්න මේ රට සුදුසුද කියන ප්‍රශ්නාර්ථය පුරුපුරුගෙ හිතට නැගුනා.

හොඳින් පැක් කළ සාඩින් ටින් ගොඩක් වැනි මාලේ නගරය
නගරයේ ඇතුලත දර්ශනයක්
පහුවදා තමයි පුරුපුරුට තමන්ගෙ රාජකාරි පටන් ගන්න තිබුනේ. මේ වගේ අන්ඩර්කවර් වැඩක් හැමෝටම පේන්න කරන්න බැරි නිසා පූසා මුලින්ම කළේ කාටත් අඳුරගන්න බැරි විදිහට වෙස් මාරු කරගත්තු එක. 


ඊටපස්සෙ මෑන්ස්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි බෝම්බ හොයන්න බල්ලෙක්ව ලබා ගැනීමේ කේස් එක. මොකද මෝල්ලන්තෙ බල්ලො ඉන්න තහනම් හින්දා ඉව අල්ලලා බෝම්බ හොයන්න පුලුවන් බල්ලෙක්ව එහෙට ගේන්න පුලුවන්කමක් තිබුනේ නෑ. ඒත් පුරුපුරුලාව දෙපාර්තමේන්තුවෙන් පුහුණු කරලා තියෙන්නෙ අවට තියෙන සම්පත් යොදාගෙන තමන්ගෙ රාජකාරිය කරන්න හින්දා මේ ප්‍රශ්නෙ ගැන පූසා කලබල වුණේ නෑ. ටිකක් සෝදිසි කළාම පුරුපුරුට පුලුවන් වුණා බෝම්බ හොයන්න පුලුවන් පූසෙක්ව හොයාගන්න. 

බෝම්බ හොයන පූසා

තමන්ගෙම ජාතියෙ කෙනෙක් හින්දා පුරුපුරුට සහයෝගය දෙන්න ඒ පූසාත් කැමති වුණාලු. ඉතිං ඒ පූසාව කූඩුවක දාගෙන තමන් යන යන තැන අරන් යන්න පුරුපුරුට සිද්ද වුණාලු.


මුලින්ම පුරුපුරු ගියේ වැප්නි සාන්ත තුමාට නවතින්න තැනක් බලන්න. දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබුනේ ඒ වෙනුවෙන් වෙනම දූපතක් වෙන් කරන්න. මොකද එතකොට වැප්නි තුමාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නෙත් නෑ නොවැ! ඉතිං අපේ පූසා අර බෝම්බ හොයන පූසාවත් අරගෙන ගියාලු වැප්නි තුමාට නවතින්න දූපතක් හොයන්න. මේ වැඩේට බලපු දූපත් අතරින් පුරුපුරුගෙ හිත ගත්තෙ අගනුවර ඉඳලා පැයක ගමනක් තිබුන “එරියාදු“ කියන දූපත. පැයක ගමනක් කිව්වාට ඒක අගනුවර ඉඳලා සෑහෙන දුරක්. මොකද මේ ගමන යන්න පුරුපුරු තෝරගත්තෙ පැයට කිලෝමීටර් හැත්තෑවක අසූවක වේගෙන් යන ස්පීඩ් බෝට් එකක්.

ජැටියෙන් පිටවෙන ස්පීඩ් බෝට්ටුවක්
පුරුපුරු රැගත් බෝට්ටුව අගනුවරින් නික්මෙද්දී
මුහුද දෙබෑ කරගෙන යන ස්පීඩ් බෝට්ටුව. ඈතින් පේන්නේ මාලේ නුවරයි
අතරමගදී කලබල වූ බෝම්බ පූසා
අතරමගදී හමුවූ වෙනත් දූපතක්. ඒ දූපතේ මුහුද දිහාට වෙන්න හදපු කුටි ඇත

කොහොමහරි ඉතිං අන්තිමට පැයක ගමනකින් පස්සේ පූසාට පුලුවන් වුණාලු ඔය දූපතට ළඟා වෙන්න.

ඇත්තටම මෝල්ලන්තෙ මිනිස්සුන්ට මෝල් වුණත් මේ දූපතනං හරිම ලස්සනයි. ඒ වගේම බොහොම පොඩියි. මේ දූපත මීටර් තුන්සීයක් විතර දිග, මීටර් සීයක් විතර පළල බොහොම පොඩි දූපතක්. මෝල්ලන්තෙ තියෙන දූපත් දෙදාස් ගානෙන් බහුතරයක් තියෙන්නෙ ඒ වගේ රිසෝර්ට් විදිහටලු.

මේ දූපත සංචාරක පාරාදීසයක්
දූපත වටේටම තියෙන්නෙ නොගැඹුරු මුහුද
සුදු වැලි සහිත දූපත් වෙරළ

ඊට පස්සෙ වෙච්ච දේ බලන්න මේ ලිපියට යන්න.

ප.ලි - මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

Saturday, September 17, 2011

ඔබත් නවක බ්ලොග්කරුවෙක්ද?


මේ දවස්වල බ්ලොග් අවකාශෙ උණුසුම්ම මාතෘකා තමයි නවක බ්ලොග්කරුවෝ, හිට්ස්, කොමෙන්ට්ස් සහ බ්ලොග්කරුවන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා. ඉතිං මටත් හිතුනා මේ ගැන ලිපියක් දාන්න ඕනෙ කියලා. ඇත්තටම මේ ගැන ගොඩක් දවස් ඉඳලා ලියන්න හිතාගෙන හිටියත්, පහුගිය දවස්වල තිබුන විභාග වැඩත් එක්ක මේ වැඩේ දවසින් දවස කල් ගියා. ඉතිං මේ සූදානම කලින් කියපු මාතෘකා ගැන මගේ දැනුම සහ අත්දැකීම් ඔයාලාත් එක්ක බෙදාගන්න.

එතකොට දැන් ඔයා මේ වගේ බරපතල මාතෘකාවක් ගැන කතා කරන්න තරම් “හෙන ඩයල්“ එකක්ද?

අපොයි නැහැ. මම බ්ලොග් අවකාශෙ ඉන්න දැවැන්ත චරිතයක් නෙවෙයි. ඒත් ඉතිං අවුරුදු එකහමාරක් තිස්සේ ලියලා ලියලා ලබාගත්ත අත්දැකීම් ටිකක් මට තියෙනවා. ඒ අත්දැකීම් අපේ නවක බ්ලොග්කරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් නිසා තමයි මේ ලිපිය ලියන්න ගත්තෙ.

අනික මේ තියෙන්නෙ බ්ලොග් ගඩොල්ගෙ පෞද්ගලික අදහස් විතරයි. මේ අදහස් පිළිගන්න එක නොපිළිගන්න එක කියවන ඔයාලාගේ වැඩක්.

හරි. එතකොට කවදාවත් නැතුව නවක බ්ලොග්කරුවො ගැන කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ ඇයි?

පහුගිය කාලෙ අලුත් බ්ලොග් ගොඩක් කෙටි කාලයක් ඇතුලත බිහිවුණා. ඒක තමයි හේතුව.

නවක ප්‍රවීණ විදිහට බ්ලොග්කරුවන් වෙන් කරන්නෙ කොහොමද? 

එහෙම සම්මත නිර්ණායකයක් නෑ. මෑත වකවාණුවෙ බ්ලොග්කරණයට ආපු බ්ලොග්කරුවන්ව තමයි මම නවක කියලා හැඳින්වුවේ.

බ්ලොග්කරුවෙක් බ්ලොග් එකක් පටන් ගන්නෙ ඇයි?

මම දකින විදිහට ඕනෙම බ්ලොග්කරුවෙක් බ්ලොග් එකක් පටන් ගන්නෙ ප්‍රධාන වශයෙන් පහත හේතු දෙකෙන් එකක් හින්දා

1. තමන්ගෙ හිතේ තියෙන අදහස් ලියලා හිත සැහැල්ලු කරගන්න.
2. තමන්ගෙ නිර්මාණශීලී හැකියාව අනිත් අය වෙත ගෙනියන්න මාධ්‍යයක් විදිහට.

ඔය මුලින් කියපු පිරිස කොහොමත් ජනප්‍රියත්වය ගැන එච්චරම තැකීමක් නෑ නොවැ! ඒත් දෙවෙනියට කියපු කට්ටියනං කැමතියි තමන්ගෙ බ්ලොග් එක අනිත් අය අතරෙ ජනප්‍රිය වෙනවාට. ඉතිං මෙතන ඉඳන් මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්නෙ මම දෙවෙනියට කියපු බ්ලොග්කරුවන්ට.

එතකොට බ්ලොග් එකක් පටන් ගන්න කලින් මොකද්ද කරන්න ඕනෙ?

මුලින්ම තමන් පටන් ගන්න යන්නේ මොන වගේ බ්ලොග් එකක්ද කියලා පැහැදිලි අදහසක් හිතේ තියාගන්න. සමහරවිට ඒ වින්දනාත්මක බ්ලොග් එකක් වෙන්න පුලුවන්. නැත්තං දේශපාලනික, අධ්‍යාපනික හෝ සමාජීය බ්ලොග් එකක් වෙන්න පුලුවන්. ඒත් එකම බ්ලොග් එකේ වින්දනාත්මක සහ දේශපාලනික ලිපි සාර්ථකව ලියවෙන අවස්ථාත් තියෙනවා.

හැබැයි වින්දනාත්මක බ්ලොග් එකක් පටන් ගත්තොත් නේද ගොඩක් කට්ටිය බලන්න එන්නෙ?

මමනං මේ කතාවට බොහෝදුරට එකඟ නෑ. වින්දනාත්මක බ්ලොග් එකකට අධ්‍යාපනික බ්ලොග් එකකට වඩා පාඨකයන් ඉන්න බව ඇත්ත. මොකද ගොඩක් කට්ටිය සයිබර් අවකාශෙට එන්නෙ අධ්‍යාපනයට වඩා වින්දනය ටාගට් කරගෙන. ඒත් සමාජීය හෝ දේශපාලනික බ්ලොග් එකක් හරියට කරනවානං වින්දනාත්මක බ්ලොග් එකකටත් වඩා පාඨකයො අතරට යන්න පුලුවන්. 

උදාහරණයක් විදිහට දැනට බිහිවෙච්ච හොඳම බ්ලොග් එක කියලා ගොඩදෙනෙක් සලකන ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් එක වින්දනාත්මක බ්ලොග් එකක් නෙවෙයි. (ලිපි කීපයක් ඇරුනාම)

බ්ලොග් එක පටන් ගත්තාට පස්සෙ මොකද කරන්න ඕනෙ?

මුලින්ම බ්ලොග් එකේ පෙනුම ගැන බලන්න. පහසුවෙන් ලෝඩ් වෙන ටෙම්ප්ලේට් එකක් දාන්න. අනික වැඩිපුර ගැජට් දාන එකත් පාඨකයන්ට ලොකු කරදරයක්. ඒ නිසා පුලුවන් තරම් අඩුවෙන්, අත්‍යාවශ්‍ය ගැජට් විතරක් දාන්න. බ්ලොග් එක තොරණක් වගේ හදාගන්න එක ගොඩක් නවක බ්ලොගේකරුවන්ගේ පුරුද්දක්. ඒත් ඒකෙන් බ්ලොග් එක කැත වෙනවා මිසක් ලස්සන වෙන්නේ නෑ. (මමත් ඉස්සර එහෙමයි)

එතකොට මොනවද ඔය කියන අවශ්‍ය ගැජට්?

1. පහුගිය ලිපි පෙන්වන ගැජට් එක

මේක නිසා අලුතින් බ්ලොග් එකට එන ඕන කෙනෙක්ට ඔයාලාගේ පරණ ලිපි කියවන්න යන්න පුලුවන්.

2. ඔයාලාගේ ප්‍රොෆයිල් එක.

මේකත් වැදගත්. බ්ලොග් එක ලියන්නෙ කවුද කියලා දැනගන්න පාඨකයො කැමතිනෙ. ඇත්ත නමින් නොවුණත් වෙනත් නමකින් හරි තමන්ගෙ ප්‍රොෆයිල් එක පාඨකයන්ට පේන්න තියෙන එක හොඳයි. මම මෙහෙම කියන්නෙ බ්ලොග් එක ලියන මනුස්පයා කවුද කියලා පෙන්නන්නෙත් නැති බ්ලොග් දැකලා තියෙන හින්දා. 

3. ෆලෝවර්ස්

ගූගල් රීඩර් එක පාවිච්චි කරන පාඨකයන්ට මේ ගැජට් එක ලොකු පහසුවක් වේවි.

4. හිට් කවුන්ටර් එකක්

මේකත් දාන එක හොඳයි. තමන්ගෙ බ්ලොග් එක කොච්චර පාඨකයො අතරට ගිහින්ද නැද්ද කියලා හැමෝටම දැනගන්න පුලුවන් මෙවලමක් නෙව.

5. බ්ලොග් ලිස්ට් එකක්

තමන්ගෙ බ්ලොග් අඩවිය හරහා අනිත් සහෘද බ්ලොග්කරුවන්ට යම්කිසි ප්‍රචාරයක් ලබාදෙන එක හොඳ වැඩක්. එතකොට ඒ අයත් ඔයාලාගෙ බ්ලොග් එක ප්‍රචාරය කරන්න උදව් වෙයි.

දැන් ඔයාලා බ්ලොග් එක හදලා ඉවරයි. ඊටපස්සෙ තියෙන්නෙ බ්ලොගේ සින්ඩිකේටර් වලට ඇතුල් කරන එක. කවුරු මොනවා කිව්වත් තවමත් ඕනෙම බ්ලොග් එකකට වැඩිපුරම පාඨක පිරිසක් එන්නේ සින්ඩිකේටර් හරහා.

එතකොට වැඩිපුර පාඨක පිරිසක් අතරට යන්න ලිපි ලියන්න ඕනෙ කොහොමද?

ඔයාලා ලියන ලිපිය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න. ලිපියක් ලිව්වාට පස්සෙ පළ කරන්න කලින් තව පාරක් ඒක කියවලා බලන්න. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස අප්සෙට් තියේනං ඒවා හදන්න.

ඒ වගේම ලියන දේට අවංක වෙන්න. තමන්ට මෙලෝ රහක් නැති ලිපියක් අනිත් මිනිස්සුන්ටත් එහෙමම තමයි. ඒ හින්දා මුලින්ම තමන්ට රසවත් වෙන විදිහට ලිපිය ලියන්න. කැමති කට්ටිය කියවන්නෙ නැතෑ.

මම ඔය විදිහට තමයි කරන්නේ. ඒත් මගෙ ලිපි වලට කොමෙන්ට් නැහැනේ.

අලුත් බ්ලොග්කරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. කොමෙන්ට් කියන දේ අපිට බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. බ්ලොග් එකක මුල් කාලෙ කොහොමත් කොමෙන්ට් එන්නෙ අඩුවෙන්. ඒ නිසා කොමෙන්ට් ගැන වද නොවී තමන්ගෙ ගමන යන්න. කාලයත් එක්ක අනිවාර්යයෙන්ම තමන්ගෙ බ්ලොග් එකට ලැබෙන කොමෙන්ට් ගාන වැඩි වෙයි. ඒ එක්කම වෙන බ්ලොග් වලට ගිහින් ඒ අයගේ ලිපි වලට කොමෙන්ට් කරන එකත් තමන්ගෙ කොමෙන්ට් වැඩි වෙන්න හේතුවක් වෙයි.

කවදාවත් විශේෂම හේතුවක් නෙවෙයිනං කාටවත් බල කරන්න එපා තමන්ගෙ බ්ලොග් එකට කොමෙන්ට් දාන්න කියලා.

එතකොට හිට්ස්, ෆලෝවර්ස්ලා?

ඒ ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි. හැබැයි මම කලින් කිව්වා වගේ හොර බොරු කරන්නෙ නැතුව බ්ලොග් ලියන්න ඕනෙ.

එතකොට ගඩොල් කියන්නෙ හිට්ස් කොමෙන්ට්ස් බලාගෙන බ්ලොග් ලියන්න එපා කියලාද?

හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්...

මේ දේවල් බ්ලොග්කරුවෙක්ට ඉතාම වටිනවා. මම වුණත් බ්ලොග් එකට ලැබෙන හිට්ස්, කොමෙන්ට්ස් ගැන ගොඩක් සැලකිලිමත්. ඒත් මේවා අඩුවුණයි කියලා මම බ්ලොග් ලියන එක නතර කරන්නෙ නෑ.

හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා බලාපොරොත්තු නොවී ලියන්න කියන්නෙ හරියට පඩි නැතුව රස්සාවක් කරන්න කියනවා වගේ වැඩක්. පෘතග්ජන මිනිස්සු හැටියට අපි කවුරුත් මේ දේවල් වලට කැමතියි. තමන් පාඨකයන්ට රස විඳින්න යමක් ලියනතාක් හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා බලාපොරොත්තු වීම වැරැද්දක් විදිහට මම දකින්නෙ නෑ. මොකද බ්ලොග්කරුවෙක් බ්ලොග් එකක් ලියන්නෙ තමන්ගෙ ශ්‍රමය, කාලය, මුදල් ඔක්කොම වැය කරලා. ඉතිං එහෙම එකේ මේ දේවල් දැකලා අහිංසක සතුටක් ලැබුවාම තියෙන වැරැද්ද මොකද්ද?

හැබැයි හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා බලාපොරොත්තුවෙන් විතරක්ම බ්ලොග් ලියන එකනං අන්තිම නරක වැඩක්.

ඒ මොකද්ද ඒ හරුපේ?

ඒ කියන්නෙ පාඨකයන්ව රවට්ටලා හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි කරගන්න එකට. මෙතනදි බ්ලොග්කරුවා උත්සාහ කරන්නෙ වැදගත් කිසිම දෙයක් පාඨකයාට නොදී, තමන්ගෙ බ්ලොග් එකේ ජනප්‍රියත්වය වැඩි කරගන්න. ඒත් මේ දේවල් තාවකාලිකයි.

උදාහරණ කිව්වොත්?

සමහර බ්ලොග් ලිපි වල මාතෘකාව ඉතාම ආකර්ෂණීයයි. ඒත් කියවන්න ගියාම ලියලා තියෙන්නෙ වෙන මොකක්හරි දෙයක් ගැන. සමහරුන්ගෙ ලිපි වල තියෙන මාතෘකාවමයි අන්තර්ගතයටත් තියෙන්නෙ. තව සමහර බ්ලොග්කරුවො අනිත් අයගෙ ලිපි ගෙඩි පිටින් උස්සලා තමන්ගෙ බ්ලොග් එකේ දාගන්නවා. තවත් සමහරු කරන්නෙ අනිත් බ්ලොග්වල කුණුහරුප කොමෙන්ට් දදා යන එක. ඒත් ඒ අයගෙ බ්ලොග් වලට ගිහින් බැලුවාම තියෙන්නෙ බොහොම හර බර ලිපි. තව සමහරු විරුද්ධ ලිංගිකයන්ව කඩේ යවනවා.

මේ වගේ ලාබ ජනප්‍රියත්වය බලාගෙනම කරන පහත් වැඩ තමයි නවක බ්ලොග්කරුවො වශයෙන් ඔයාලා නොකර ඉන්න ඕනේ. මොකද තමන් වංචාකාරයෙක් කියලා පාඨකයන්ට තේරුනාට පස්සේ ආපහු කවදාවත් ඒ අය ඔයාලාගේ බ්ලොග් එක පැත්තෙ එන්නෙ නෑ.

එතකොට හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා ගානෙන් කියන්න පුලුවන්ද මගෙ දක්ෂතාවය ගැන?

කොහෙත්ම බෑ. සමහර දක්ෂ බ්ලොග්කරුවන් ඉන්නවා අවාසනාවට මේ දේවල් ලැබුනෙ නැති.

හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා ගානෙන් කියන්න පුලුවන්ද මගෙ ජනප්‍රියත්වය ගැන?

යම් දුරකට. එතනදි හිට්ස් කියන එක නැතුව හිට්ස් සාමාන්‍යය, කොමෙන්ට් කියන එක නැතුව එක ලිපියකට කොමෙන්ට් කරපු බාහිර පුද්ගලයන් ගනන වගේ මිනුම් දඬු යොදා ගත්තොත් වැඩි නිවැරදිතාවයකින් යුතු අදහසකට එන්න පුලුවන්. ඒත් ඒකත් හරියටම හරි නෑ. ඉතිං මගෙ මතය මේ දේවල් ගැන වැඩිය වද වෙන්නෙ නැතිව, ඒ කාලයත් බ්ලොග් ලියන්න වැය කරනවානං වටිනවයි කියන එක.

එතකොට දැන් ඉන්න නවක බ්ලොග්කරුවන්ට ජනප්‍රිය වෙන්න අමාරුද?

අපි බ්ලොග් ලියන්න ආපු කාලෙට වඩා දැන් ගොඩක් බ්ලොග් තියෙනවා. ඒක හින්දා දැන් ජනප්‍රිය වෙන්න, ඉස්සරට සාපේක්ෂව ටිකක් අමාරු වෙන්න පුලුවන්. කතාව යම් දුරකට ඇත්ත.

නවක බ්ලොග්කරුවන්ට ජනප්‍රිය වෙන්න ප්‍රවීන බ්ලොග්කරුවන්ගෙ සහයෝගය අත්‍යාවශ්‍යද?

නැහැ. තමන් හොඳ දෙයක් ලියනවානං පාඨකයො අනිවාර්යයෙන්ම තමන්ගෙ බ්ලොග් එකට ඇදිලා එයි. 

ප්‍රවීන බ්ලොග්කරුවෙක් ඇවිත් මගෙ බ්ලොග් එකේ කොමෙන්ට් කරන එක කොච්චර දෙයක්ද නේද?

වෙන්න පුලුවන්. ඒත් තමන්ගෙ බ්ලොග් එකට එන හැම පාඨකයාටම එක විදිහට සලකන්න උත්සාහ ගන්න.

මගෙ බ්ලොග් එකේ මම ලියන්නෙ මට ඕනෙ දේවල්. ඒ ගැන උපදෙස් දෙන්න කාටවත් අයිතියක් නෑ

අනේ සමාවෙන්න. තමන්ගෙ බ්ලොග් එක වැඩි පිරිසක් අතරට යනවා දකින්න කැමති කට්ටිය වෙනුවෙන් විතරයි මේ උපදෙස් ටික ලබාදුන්නේ. එහෙම අදහසක් නැත්තං ඔය කතාව හරියටම හරි.

හරි, දැන් ඔය ඔක්කොම කළයි කියමුකෝ! මගෙ බ්ලොග් එක පාඨකයො අතරට යයි කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද?

ඒක රඳා පවතින්නෙ තමන් ලියන දේ ටාර්ගට් කරන පිරිස අනුව. ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නෙ බ්ලොග් අවකාශය කියන්නෙ බ්ලොග්කරුවන්ට කියලා. ඒත් ඇත්තටම බ්ලොග්අවකාශය කියලා කියන්නෙ බ්ලොග්කරුවන් සහ බ්ලොග් පාඨකයන්ගේ එකතුවට. විශේෂයෙන්ම බ්ලොග් පාඨකයන්ගෙන් අති බහුතරය ඉන්නෙත් නිහඬ පාඨකයො විදිහට.

මම හිතන්නේ කිසිම කෙනෙක් මේ ගණන හරියටම දන්නෙ නැහැ. බ්ලොග්කරුවන් සහ නිතර කොමෙන්ට් කරන පාඨකයන් මම හිතන්නෙ 500ක් විතර තමයි ඉන්නේ. ඒත් මගෙ අත්දැකීම් අනුව බ්ලොග් කියවීම විතරක් කරන පිරිස මේ වගේ දහ ගුණයක්වත් අඩුම ගානෙ ඉන්නවා. ඉතිං තමන්ගෙ ලිපිවලින් ආමන්ත්‍රණය වෙන පිරිස අනුව තමන්ගෙ බ්ලොග් එක පාඨකයා අතරට යයි.

ඉතිං බ්ලොග්කරුවන්ට වගේම බ්ලොග් පාඨකයන්ටත් රස විඳින්න පුලුවන් විදිහට ලියන්න පුලුවන්නම් තමයි වැඩිය හොඳ.

මමත් කැමතියි බ්ලොග් එකක් පටන් ගන්න. ඒත් මට එච්චර හොඳ ලේඛන හැකියාවක් නෑ නොවැ!

ලේඛන හැකියාවයි, බ්ලොග්කරණයයි අතර ඍජු සම්බන්ධයක් නෑ. ලේඛන හැකියාව නැතුව ජනප්‍රිය වෙච්ච බ්ලොග්කරුවො වගේම ලේඛන හැකියාව ඇතුව ජනප්‍රිය නොවුන බ්ලොග්කරුවොත් ඕනෙතරම් ඉන්නවා. මෙතනට ආවට පස්සෙ තමයි ඔයාලාගේ ගමන තීරණය වෙන්නේ. ඒ හින්දා බ්ලොග් එකක් පටන් අරගෙන බලන්න. සමහරවිට ඔයාලා හීනෙන්වත් නොහිතුව මට්ටමේ ජනප්‍රිය බ්ලොග්කරුවෙක් වෙන්න ඔයාලාට පුලුවන් වෙයි.

මම තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය වගේ දේවල් ගැන දන්නෙ නැහැ. මේක මගෙ බ්ලොග්කරණයට ප්‍රශ්නයක් වෙයිද?

අපොයි නැහැ. එහෙම වුණානං මට කවදාවත් බ්ලොග්කරුවෙක් වෙන්න ලැබෙන්නෙ නැහැ.

එතකොට කොච්චර වේගෙන් බ්ලොග් එකේ ලිපි පළකරන්න ඕනෙද?
තනිකරම ලිපිවල ගුණාත්මකභාවය නිසා සාර්ථක වුණ  බ්ලොග්කරුවන් හිටියත්, මගේ පුද්ගලික මතයනං බ්ලොග් එකේ ලිපි පළකරන වේගයත් බ්ලොග් එකේ සාර්ථකත්වයට සෑහෙන දුරකට හේතු වෙනවයි කියලා.

ඇයි බ්ලොග් ගඩොල් මෙච්චර මහන්සි වෙලා නවක බ්ලොග්කරුවො වෙනුවෙන් ලිපියක් ලිව්වෙ? කතන්දරයක් දෙකක් ලියාගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න තිබුනානෙ?

ඇත්තටම මට ගොඩක් සතුටුයි නවක බ්ලොග්කරුවො ගොඩක් දෙනෙක් බ්ලොග්කරණයට ඇවිත් ඉන්න එක ගැන. පහුගිය කාලෙ සිංහල බ්ලොග්අවකාශය වල පල්ලට යමින් තිබුනෙ. ඒත් දැන් නවක ඔයාලාට පින් සිද්ද වෙන්න ආපහු බ්ලොග්අවකාශෙ හොඳ දිශාවකට හැරෙමින් තියෙනවා. ඉතිං බ්ලොග්කරණය හින්දා ජීවිතයට සෑහෙන යමක් එකතු කරගත්තු මනුස්සයෙක් විදිහට මට ඒ ගැන ගොඩක් සතුටුයි.

අනික බ්ලොග් ගඩොල්  කියවලා බ්ලොග්කරණයට ආපු නවක බ්ලොග්කරුවො සෙට් එකකුත් ඉන්න නිසා මේ වැඩෙන් අඩුගානෙ ඒ අයට හරි යහපතක් වෙයි කියලා හිතුනා.

මූ හරියට ටෝක්ස් දෙන්නෙ හෙන ජනප්‍රිය බ්ලොග්කරුවෙක් වගේනේ

අපොයි නෑ. මම මේ බ්ලොග්අවකාශෙ ඉන්න ජනප්‍රිය තරු වලින් එකක් නෙවෙයි. මම සාමාන්‍ය බ්ලොග්කරුවෙක් විතරයි.

ප්‍රවීණ බ්ලොග්කරුවන්ට යමක් කියන්න තියෙනවාද?
මගෙ අදහස් වල වැරදි තියේනං නාමිකව හරි ඇනෝ ඇවිත් හරි ඒවා පෙන්නලා දෙන්න ඔයාලාට පුලුවන්. 

මගේ කතාව මින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

ප.ලි - බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්න කට්ටියට මේ ලින්ක් එකෙන් ගිහින් වැදගත් කරුණු ගොඩක් දැනගන්න පුලුවන් වෙයි.

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

ලින්ක් එක ගැන මට දන්වපු සහ ඒක මට ඊමේල් කරන්න තරම් කාරුණික වෙච්ච හා පැටික්කිට බොහොම ස්තුතියි.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක බලන්න ක්‍රමයක් හොයලා දුන්න අපේ මකර අධිරාජයාටත් ගොඩක් ස්තුතියි.