අඹ යාලුවෝ

Showing posts with label සලා. Show all posts
Showing posts with label සලා. Show all posts

Saturday, December 11, 2010

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day) - 2

ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ හොස්ටල් එකේ ගතකරන අන්තිම දවස නිමිත්තෙන් අපේ යාලුවො අනුමත වෙන්න සෙට් වෙච්ච හැටියි, ඊට පස්සෙ මාලුකට්ටා බොන්න ගෙනාපු ෂැන්ඩි ටික ඉවර කරපු හැටියි ගැන.ඔන්න බලපු නැති යාලුවන්ට පුලුවන් මෙතනින් ගිහින් ටක්ගාලා බලලා එන්න.

ඉතිං ඊටපස්සෙ ඉතුරු බීම ටික ඔක්කොම බොන්න වුණේ පුරුපුරු, පොන්ටින් සහ සලා ඇතුලු කීප දෙනෙක්ටලු.දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක එකතු වෙලා ඇති පදමට අනුමත වෙනවා.හැබැයි ඉතිං කට්ටිය තවම පොඩි කොල්ලො නිසා අනුමත වෙලා එච්චර පලපුරුද්දක් නෑ.ඉතිං ඉතුරු බෝතල් දෙකහමාරෙන්, එකහමාරක් විතර ඉවර වෙද්දි එතන හිටපු එක කොල්ලෙක්වත් කෙලින්, හොද සිහියෙන් යන්න පුලුවන් මට්ටමක හිටියෙ නෑලු.

දැන් මාර කේස් එක.බෝතලයක්ම ඉතුරුයි.හැබැයි එතන ඉන්න කොල්ලන්ට බොන්න කෝප්පෙ අල්ලගන්නත් බැරි තරමට වෙරි.ඒ මදිවට බයිට් පැකට් එකත් බිම හැලිලා.ඉතිං අමාරුවෙන් තව උගුරක් දෙකක් බිව්ව අපේ යාලුවො සෙට් එක බොන එක නැවැත්තුවෙ, ඉතුරු මීවිත ටික කුස්සියෙ උයන කට්ටියටවත් දෙන්න ඕනෙයි කියලා.

හැබැයි ඉතිං බීම නැවැත්තුවට මොකද, එක්කෙනෙක්ටවත් ආපහු ඩෝම් එකට යාගන්න බැහැ.හැමෝම යන්න නැගිටිනවා, ආපහු ඉන්න තැනම ඇදගෙන වැටෙනවා.ඉතිං අපේ කට්ටිය වෙරි ටිකක් හිදෙනකං පැයක් විතර හදපානෙ ක්‍රිකට් නෙට්ස් ඇතුලෙ ඇලවෙලා හිටියලු.ඒ තමන් හොස්ටල් ඉන්න දවස්වල කරපු එක එක වීරක්‍රියා ගැන කතා කර කර.ඒ වැඩ ඉතිං ආයි කවදා කරන්නද?

ඔහොම ටිකක් වෙලා යනකොට ඉතිං යන්තං නැගිටගන්න පුලුවන් වෙන තරමට කට්ටියගෙ වෙරි හිදුනලු.දැන් ඉතිං අපේ පොන්ටින්ට ඕනෙ මොකක් හරි පිස්සුවක් නටන්න.මෑන්ස් කළේ මුලු ග්‍රවුන්ඩ් එක පුරාම දුව දුවා පිනුම් ගහන්න පටන් ගත්තු එක.දැන් අනිත් කොල්ලන්ට වෙරි නිසා මෑන්ස් පස්සෙ දුවන්නත් බෑ.හැබැයි පොන්ටින්ව කොහොමහරි නවත්තගන්නත් ඕනෙ.මොකද නැත්තං මෑන්ස් කරන පිස්සු වැඩ වල හැටියට මේ දිවිල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ.

හොද වෙලාවට පොන්ටින් දිව්වේ කොටියා සර්ගෙ ගේ දිහාවට නෙවෙයි, රීඩ් මහත්තයාගෙ පාරට යාබදව තිබුන තාප්පෙ පැත්තට.ඒත් අපේ යාලුවන්ගෙ ඇස් උඩගියේ පොන්ටින් තාප්පෙ දිගේ උඩට බඩගානවා දැක්කාමලු.බැලින්නං මෑන්ස් බැරි බැරි ගාතෙ ට්‍රයි කරන්නෙ තාප්පෙන් එහා පැත්තට පනින්නලු.මේක දැක්ක අපේ යාලුවො සෙට් එක විගහට දුවගෙන ගියාලු පොන්ටින් පනින එක නවත්තන්න.ඒත් කට්ටිය තාප්පෙ ළගට යනකොටත් මෑන්ස් එහා පැත්තට පැනලා ඉවරයි.

මට වෙරි නැතෝ!...මට වෙරි නැතෝ!!..............

පොන්ටින් කෑ ගහනවා.අනිත් කොල්ලො කොච්චර කතා කළත් මෑන්ස් ආපහු ඇතුල් පැත්තට එන්නෙත් නෑලු.ඒ මදිවට මෑන්ස් ඇතුලට ගන්න අනිත් අයට එළියට යන්නත් බෑ, මොකද කට්ටියටම අම්බානට අනුමත වෙලා.ඉතිං අපේ සලා කරපු වැඩේ විදේශ ආධාර ගේන්න ඩෝම් එක පැත්තට දුවගෙන ගිය එක.

මේ අතරෙ පුරුපුරුට තරු පෙනුනෙ පොන්ටින්, රීඩ් මහත්තයගෙ පාර පැනලා සක්වල තක්සලාව පැත්තට දුවනවා දැක්කම.මෑන්ස් අම්බානට අනුමත වෙලා.පොර කළේ සක්වල තක්සලාවෙ කලුපාට යකඩ වැටේ එල්ලිච්ච එක.

මට කැම්පස් යන්න ඕනේ!...මට කැම්පස් යන්න ඕනේ!!.................

පොන්ටින් මරහඩ තලනවා.දැන් මෙහෙම ගියොත්නං සක්වල තක්සලාවෙ සික්කො ටික ඇවිල්ලා පොන්ටින්ව අල්ලගන්නවා ෂුවර්.වෙලාවට පොලෝසියෙන් පේන්නත් නෑ.නැත්තං ඉතිං කට්ටිය ඉස්කෝලෙ ඉදලත් ඉවරයි.පුරුපුරු මෙහෙම බයවෙලා ඉන්නකොට තමයි, සලාගෙ පණිවිඩේ ලැබිච්ච "නිර්වෙරි" කොල්ලො ටික එතනට දුවගෙන ආවෙ.වෙලාව හොද නිසා තවත් විනාඩි දෙක තුනක් ඇතුලත මෑන්ස්ව අල්ලගෙන තාප්පෙන් මෙහා පැත්තට දාගන්න කට්ටියට පුලුවන් වුණාලු.
කොහොමහරි ඉතිං වැඩේ ගොඩින් බේරිච්ච නිසා හැමෝටම සතුටුයි.ඉතිං අපේ යාලුවො කට්ටිය ඩෝම් එක පැත්තට ගියෙ පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතාගෙන.කොහෙද? යනකොට කට්ටිය ටීවී එක දාගෙන ගන බලනවා.බැලින්නං යාලුවො ටික බලන්නේ ඒ දවස්වල තියාගෙන පට්ටගහපු "ටාර්සන් එක්ස්" කියන පරණ ගනේ.ඒ වුණාට ඉතිං "සම්තින් ඉස් බෙටර් දෑන් නතින්" කියලා හිතපු පුරුපුරුත් තීරණය කළා අවසන් ගන බැලිමට සහභාගි වෙන්න.

තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.

දඩාස්..........

මහා සද්දයක් එකක් මෑන්ස් ඇදගෙන බිම වැටුනලු.බැලින්නං පුරුපුරු වාඩි වෙලා තියෙන්නෙ මනඃකල්පිත පුටුවෙ.ඇත්ත පුටුව තිබිලා තියෙන්නෙ එහා පැත්තෙන්.දැන් මොනවා කරන්නද? නැගිටගන්නත් බෑ.ඉතිං අනිත් යාලුවො ටික එකතු වෙලා මෑන්ස්ව උස්සලා ඇදක් උඩට දැම්මලු.විනාඩියක් යන්න කලින් අපේ යාලුවා ගොරව ගොරවා නිදි.

පහුවදා පුරුපුරු නැගිටිද්දි ගොඩක් උදේ වෙලා.මෑන්ස් නැගිටින්න කලින් මාලුකට්ටා ගහපු ෆෝටෝ එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නෙ.කොහොමහරි ඉතිං බොගට ගිහින් කබරයා පාරක් එහෙම දැම්මට පස්සෙ පුරුපුරුගෙ තිබුන වෙරි ගතිය නැතිවෙලා ගියාලු.ඊට පස්සෙ කට්ටිය කළේ ලෑස්ති වෙලා ගිහින් කොටියා සර්ට වැදලා ගෙවල් බලා පිටත් වෙච්ච එක.

ඇත්තටම ඒ මොහොත පුරුපුරුගෙ ජීවිතේ ගොඩාක්ම දුක හිතෙන මොහොතක්.අවුරුදු ගානක් එකට හිටපු, පිස්සු කෙලපු සහෝදරයන්ගේ විසිර යාම කියන්නෙ විශේෂ අත්දැකීමක්.බ්ලොග් පෝස්ට් සීයක් ලියලත් පැහැදිලි කරන්න බැරි අමුතුම අත්දැකීමක්.ඒක හින්දා අපි ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ.කොහොමහරි හොස්ටල් එක තමන්ගෙ ජීවිතේ එක්ක කොච්චර බැදිලාද කියලා කට්ටියම තේරුම් ගත්තෙ එදා තමයි.කොල්ලන්ගෙ ඇස් වල කදුලු පිරිලා.කොටියා සර්ගෙ ඇස්වලත් කදුලු පිරිලා.

මේ විදිහට අපේ මාලුකට්ටාගෙ හොස්ටල් ජීවිතේ එදා අවසාන වුණා.එතකොට පුරුපුරුගෙ? හොදයි යාලුවනේ, පුරුපුරුගෙ හොස්ටල් ලයිෆ් එකට මොකද වෙන්නෙ කියලා අපිට අනාගතේදි වෙනම සීරීස් එකකින් කියවන්න පුලුවන්.
කොහොමහරි එදා බස්එකේ ගෙදර යද්දි පුරුපුරුටයි, මාලුකට්ටාටයි දැනුනෙ වස පාලුවක්.හැබැයි ඉතිං එහෙම ඉදලා හරියන්නෙ නෑ නොවැ! නිවාඩු කාලෙ කරන්න හොද පිස්සු වැඩ ටිකක් ප්ලෑන් කරන්නත් එපායැ...එහෙනං ආෆ්ටර් ඕ ලෙවල් පූස් ලයිෆ් එක ගැන ඔයාලට මීට පස්සෙ අපි කියන්නංකෝ...

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day)

ඔන්න යාලුවනේ අපි මාස ගානක් තිස්සේ ඔයාලා වෙනුවෙන් ලියපු, ඒ වගේම කියවන යාලුවො ආසාවෙන් වැලද ගත්තු හොස්ටල් ලයිෆ් සීරීස් එක දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ.ඉතිං අද අපි කියන්න යන්නේ හොස්ටල් එකේ අපේ යාලුවො සෙට් එක ගතකරපු අන්තිම දවස ගැන.

මේ වෙද්දි කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියලා ඉවර වෙලයි තිබුනෙ.ඒ කියන්නෙ දෙසැම්බර් අන්තිම දවස් ටික තමයි දැන් ගතවෙන්නෙ.පුරුපුරුටනං විභාගෙ එච්චරම ප්‍රශ්නයක් වුණේ නෑ.ඉංග්‍රීසි සාහිත්‍ය ඇරෙන්න අනිත් ඔක්කොම සබ්ජෙක්ට්ස් හිතේ හැටියට ලියලා ආවා.මාලුකට්ටාටනං ගණං වලත් මොකද්ද අවුලක් ගිහින් තිබුනා.කොහොමහරි ඉතිං හැමදෙනාම මේ දවස්වල බොහොම සැහැල්ලුවෙන් තමයි කාලෙ ගතකළේ.

හොස්ටල් එකේ සාමාන්‍ය ට්‍රැඩිෂන් එක තමයි ඕ ලෙවල් ඉවරවෙලා සතියක් විතර යනකං ගෙවල් වලට නොගිහිං හොස්ටල් එකේම නැවතිලා ඉන්න එක.මේ වැඩේට කොටියා සර්රුත් කිසිම අවුලක් දැම්මෙ නෑ.දැන් ඉතිං කට්ටිය නිල වශයෙන් හොස්ටල් එකෙන් අස්වෙලා නිසා සර්රුත් ඉස්සර වගේ සැරෙන් නැතුව, හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් තමයි අපේ යාලුවොත් එක්ක කතාබහ කළේ.

ඉතිං තමන් හොස්ටල් එකේ ගතකරන අන්තිම සතිය මැක්සා ෆන් එකේ ගතකරන්න කිසිම කොල්ලෙක් අමතක කළේ නෑ.කට්ටියගෙ වැඩේ වුණේම දවස තිස්සෙම සෙල්ලං කරන එකයි, හවස් වෙද්දි රහීමා එක හරි, බම්බා පැත්තෙ හරි යන එකලු.ඒ වගේම රෑට ෆිල්ම් බැලීම, ගන බැලීම, සින්දු කීම, ඒ වගේම ඩෝම් එක ඇතුලෙ සෙල්ලං කිරීම වගේ දේවලුත් සැරට නැගලා ගියාලු.කොහොමහරි අපේ යාලුවො සෙට් එක ඒ දවස් ටිකේ ගත කළේ තමන්ගෙ ජීවිතේ ෆන්ම සතිය කිව්වොත් ඒක වැරදි නෑ.

ඉතිං ඔහොම දවස් ගෙවිලා ගිහින් හොස්ටල් එකේ ඉන්න පුලුවන් අන්තිම දවසත් උදාවුණාලු.සතිය පුරාම කොච්චර ෆන් එකේ හිටියත් අන්තිම දවස උදා වෙද්දිනං කට්ටියම ෆුල් අප්සට් එකේ හිටියෙ.මොකද අවුරුදු ගානක් හිටපු, තමන්ගෙ ජීවිතවල හොදම මතක සටහන් තියෙන, තමන් හැමදාම ආදරය කරපු හොස්ටල් එක දාලා යන්න වෙනකොට කාටද දුක හිතෙන්නෙ නැති වෙන්නෙ?

ඉතිං අන්තිම දවසෙ කට්ටිය උදේම කළේ අන්තිම ක්‍රිකට් මැච් එක ගහලා හොස්ටල් ක්‍රීඩා ජීවිතේට සමු දුන්න එක.ඊට පස්සෙ හොස්ටල් එකේ අන්තිම ලන්ච් එක අපේ යාලුවන්ට ලැබුනලු.වෙනදා ලන්ච් එකට නෑවිත් කැන්ටිමෙන් කන කට්ටිය පවා එදා ලන්ච් එකට ගිහින් කෑම කෑවේ බොහොම ආසාවෙන්.ඊට පස්සෙ අපේ යාලුවො කට්ටියම එකතු වෙලා සින්දු කිව්වලු.වෙනදා හිතේ තරහ මරහ තියාගෙන හිටපු මෑන්ස්ලා පවා එදා කරට අතදාගෙන තමයි සින්දු කිව්වේ.

අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් තමන්ගෙ අන්තිම ප්‍රහාරය විදිහට ලෝඩ් කොක්ට මහා වෝටර් ඇටෑක් එකක් දුන්නලු.ඇටෑක් එකට ලක්වෙච්ච ලෝඩ් කොක්, බලකායෙන් බේරෙන්න දුවන හැටි තමයි ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ.

දැන් ඉතිං හවස් වෙලා.කට්ටියටම ගොඩක් දුකයි.ඉතිං මේ දුක තුනී කරගන්න පොඩ්ඩක් අනුමත වුණොත් නරකද කියලා සකයාගෙන් යෝජනාවක් ආවා.හික්ස්...හොස්ටල් ට්‍රිප් එකෙන් පස්සෙවත් මෑන්ස් හැදිලා හිටියෙ නෑ.ඉතිං මේ යෝජනාව ඒකමතිකව සම්මත වුණේ, වෙනදට බොන්නෙ නැති සෙන්සි වගේ චරිත පවා අනුමත වෙන්න සෙට් වෙලා.ඉතිං කට්ටියගෙන් සල්ලි එකතු කරපු සකයායි, සංජුයි මීවිත අරගෙන එන්න කියලා පිටත් වුණාලු.

හැබැයි නුවරඑළියෙදි වගේ නෙවෙයි, එදානං සකයා මීවිත හොයාගෙන ඉක්මනටම ආපහු ඇවිත් තිබුනා.ප්‍රතිපාදන එහෙමත් යහමින් තිබුන නිසා මේ පාර කාල නාමපත්‍ර දෙකකුයි, රජත නාමපත්‍රයකුයි තමයි අපේ යාලුවො දෙන්නා ගෙනත් තිබුනෙ.ඒ විතරක් නෙවෙයි, බයිට් එකට ලොකු රටකජු පැකට් එකකුයි, ෂැන්ඩි වලට කෝක් මෙගා බෝතලයකුයිත් ගේන්නත් මෑන්ස්ලා අමතක කරලා තිබුනෙ නෑලු.මේ වෙද්දි ඉතිං රෑ වෙලා.දැන් නියමිත වෙලා තිබුනෙ කට්ටියගෙ අවසන් හොස්ටල් අනුමත වීම.

හැබැයි ඉතිං ගොඩක් කට්ටිය මීවිත ගේන්න ප්‍රතිපාදන සැපයුවාට මේ වෙද්දි වැඩේට ටිකක් පස්ස ගහ ගහා තමයි හිටියෙ.ඒ හින්දා අන්තිමට අනුමත වෙන්න ඉතුරු වුණේ කොල්ලො නව දෙනයි.ඒ තමයි පුරුපුරු, මාලුකට්ටා, ජුවාන්, සකයා, සංජු, සලා, පොල්පොට්, පොන්ටින් සහ හොං කොං.අනුමත වෙන තැන විදිහට තෝරගත්තෙ 11 වසර ඩෝම් එක පිටිපස්සෙ තියෙන ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට්ස් ටිකලු.මොකද මෙච්චර කල් ඉදලා අන්තිම දවසෙ කොටියා සර්ට චාටර් වෙන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ යාලුවො කට්ටියත් සුභ මොහොතින් වැඩේ පටන් ගත්තලු.එදා තමයි අපේ මාලුකට්ටාගෙ මංගල අනුමත වීම.

ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ මාලුකට්ටා අම්බානට බොනවා.මෑන්ස් නිකං වතුර බොනවා වගේ තමයි අනුමත වුණේ.ඉතිං අනිත් කොල්ලො කට්ටිය ෆුල් හොල්මන් මාලුකට්ටා කොහොමද මෙච්චර හොද බෙබා ඩයල් එකක් වුණේ කියලා.කියන්න බෑනෙ, මෑන්ස් වැඩේට බෝර්න් ටැලෙන්ටඩ් පොරක්ද දන්නෙ නෑනෙ.ඔහොම ඉන්නකොට තමයි කට්ටියට තේරුණේ පළවෙනියට ගත්තු රජත නාමපත්‍රෙ බාගයක් ඉවර වෙන්නත් කලින් කෝක් බෝතලේ ඉවර වීගෙන එන බව.

මේක දැකපු අපේ යාලුවන්ට තරු පෙනුනලු.පස්සෙ ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බැලින්නං මාලුකට්ටා තමයි කෝක් බෝතලේට ගේම දීලා තියෙන්නෙ.පොර කරලා තියෙන්නෙ කෝකුයි, අරක්කුයි 20:1 අනුපාතෙට විතර දාගෙන අනුමත වෙන එක.ඉතිං එතන කෝක් රස මිසක් අරක්කු රසක් එන්නෙම නෑ නොවැ.ඒ හින්දා තමයි මාලුකට්ටාට පුලුවන් වුණේ වතුර බොනවා වගේ අනුමත වෙන්න.

මේක දැනගත්තු අනිත් කොල්ලන්ට ෆ්ලවර් ජම්ප් වුණත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.කට්ටියට වැඩේ මීටර් වෙනකොට වෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි.ඉතිං අන්තිමට එතන හිටපු කට්ටියගෙන් තුන් හතර දෙනෙක් (මාලුකට්ටාත් ඇතුලුව) ෂැන්ඩි නැතුව බොන්න බැහැයි කියලා නැගිටලා ගියාලු.ඒත් ඉතිං ෂැන්ඩි නැහැයි කියලා මේවා විසිකරන්නයැ‍! අන්තිමට පුරුපුරු, පොන්ටින් ඇතුලු කීප දෙනෙක්ට තමයි ඉතුරු වෙච්ච මීවිත වලට වග කියන්න සිද්ද වුණේ.මොකද දැන් අමද්‍යප වුණාට ඒ දවස්වල අපේ පුරුපුරුත් හොද ඇල්කොහොලික් ඩයල් එකක්.

ඉතිං බීලා වැඩිවෙච්ච කොල්ලන්ට මොකද වුණේ, ඒ ව‍ගේම අනිත් කො‍ල්ලන්ට මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු.(ඊළග කොටසින් කතාවයි සීරීස් එකයි දෙකම ඉවරයි)

Sunday, November 21, 2010

හොස්ටල් ට්‍රිප් - නුවරඑළියට පිස්සු හැදුන දවස


හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක? යන ලිපිය හා සම්බන්ධයි.

ඉතිං අපි කලින් ලිපියෙ කිව්ව විදිහටම ටික වෙලාවක් යද්දි අපේ පුරුපුරුටයි, ජුවාන්ටයි අම්බානට නින්ද ගිහින්.ඉතිං පැය ගානක් ගියාට පස්සෙ පොල්පොටු සහ සකයායි බොහොම මහන්සි පිට රූම් එකට ආවලු.බැලින්නං දෙන්නා ආපහු එන්න පාර හොයාගන්න බැරුව අතරමං වෙලා.ඊට පස්සෙ බොහොම අමාරුවෙන් තමයි ෆාම් එකට එන පාර හොයාගෙන තියෙන්නෙ.හැබැයි අපේ යාලුවො දෙන්නා ජයග්‍රාහී විදිහට කාල නාමපත්‍රයකුයි (black label), ධවල නාමපත්‍රයකුයි (white label) ගේන්න අමතක කරලා තිබුනෙ නෑ.

කට්ටිය ඉතිං පුරුපුරුවයි ජුවාන්වයි නැගිට්ටවන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් වැඩේ සාර්ථක වෙලා නෑ.දෙන්නම ගොරව ගොරවා නිදිලු.බෝතලේ වගේද නින්ද?ඊටපස්සෙ ඉතිං සකයයි, පොල්පොටුයි, සලායි, සංජුයි තීරණය කළාලු කට්ටිය එකතු වෙලා ඉක්මනට මතට තිත තියමු නේද කියලා.මොකද ඒ වෙද්දි එළිය වැටෙන්නත් ළගයි.ඉතිං කට්ටිය ෆාම් එකේ ඈත කෙළවරකට ගිහින් වැඩේට සෙට් වුණාලු.

කට්ටිය එකතුවෙලා මුලින්ම කාල නාමපත්‍රය ඉවර කළාලු.ඒ එක්කම ෂැන්ඩි ටිකත් ඉවර වුණාලු.දැන් ඉතිං කට්ටියට හොද ගනං.ඒ මදිවට ෂැන්ඩි නැතුව අනුමත වෙන්න සංජුයි, සලායි කැමති නෑ.ඉතිං ඒ දෙන්නා කළේ ආපහු රූම් එකට එන එක.ඒත් ධවල නාමපත්‍රයත් ඉවර නොකර ආපහු එන්න සකයායි පොල්පොටුයි කීයටවත් කැමති වුණේ නෑ.මොකද අතරමං වෙවී අමාරුවෙන් ගෙනාපු බෝතලේ නොවැ! කාටවුණත් ඕනෙම දෙයක් වටින්නෙ අමාරුවෙන් ලබාගත්තාම තමයි.

කොහොමහරි ඉතිං කට්ටිය එදා රෑ නිදාගෙන පහුවදා නැගිටලා බලද්දිත් සකයායි පොල්පොටුයි පේන්න හිටියෙ නෑ.ඊට පස්සෙ කලින් දවසෙ රෑ වෙච්ච දේවල් සංජු ඉදගෙන ජුවාන්ටයි පුරුපුරුටයි කිව්වා.ඉතිං මොකක්හරි අබ්ලික් කේස් එකක් වෙලා තමයි කියලා තේරෙන්න අපේ යාලුවන්ට වැඩි වෙලාවක් ගියෙ නැහැලු.කට්ටිය මේ දෙන්නාව හොයන්න යන්න හදද්දිම තමයි ප්‍රිෆෙක්ට් අයියලා දෙන්නෙක් සකයාවයි, පොල්පොට්වයි කනෙන් ඇදගෙන රූම් එකට අරගෙන ආවෙ.ඒ මදිවාට සකයාට ටවල් එකකුත් අන්දලා හිටියෙ.දැන් කට්ටිය ෆුල් හොල්මන්.

දෙන්නාව රූම් එක ඇතුලට දාලා අයියලා යන්න හදද්දි සකයා ඒ දෙන්නාට කුණුහරුපෙන් බැන්නා.ටිකක්වෙලා මෑන්ස් දිහා බලාගෙන හිටපු අයියලා, "වෙරි හිදුනාම තොට දෙන්නංකෝ" වගේ බැල්මක් දාලා ආපහු යන්න ගියා.ඉතිං පැයක් දෙකක් ගිහිල්ලා අපේ යාලුවො දෙන්නා පොඩ්ඩක් යථා තත්ත්වෙට ආවට පස්සෙ තමයි කට්ටියට සිද්ද වෙච්ච දේ දැනගන්න පුලුවන්කමක් ලැබුනෙ.බැලින්නං සිද්ද වෙලා තියෙන්න මෙන්න මේකයි.

දෙන්නා ධවල නාමපත්‍රයට තිත තිය තියා ඉන්නකොට දෙන්නාටම අම්බානට වැඩිවෙලා.ඊට පස්සෙ පොල්පොට් කරලා තියෙන්නෙ බයිට් එකට තිබුන කඩල ටික, ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කියලා එහාපැත්තෙ තිබුන කුණු කානුවට දාපු එක.මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච සකයා පොල්පොට් එක්ක රණ්ඩු වෙලා.දෙන්නටම මහන්සි වුණාට පස්සෙ පොල්පොට් එතනම නිදාගෙන.ඊටපස්සෙ සකයා දැක්කලු එතන එහාපැත්තෙ ලස්සන කලු කෙල්ලෙක් ඉන්නවා.

අපේ කට්ටියට ඉතිං කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතකයි නොවැ! ඉතිං අපේ සකයාත් ගිහිං ඒ කෙල්ලත් එක්ක ඩාන්ස් කරන්න.හැබැයි ඉතිං කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරද්දි ජෙන්ට්ල්මන් වගේ ඉන්න එපායැ! ඉතිං සකයාත් කරලා තියෙන්නෙ ඇදගෙන හිටපු මඩ ගෑවුණු කලිසම ගලවලා විසිකරලා කෙල්ලත් එක්ක නටන්න ගිය එක.හැබැයි මෑන්ස්ට අමතක වෙලා ඒ වෙලාවෙ යටට මොකුත් ඇදගෙන හිටියෙ නෑ කියලා.ඉතිං අවාසනාවන්ත විදිහට ඒ වෙලාවෙ එතනට ආපු ෆාම් එකේ මුරකාරයෙක්, සකයාව අල්ලගෙන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට බාර දීලා.

සකයා කියපු විදිහටනං කෙල්ල ලස්සන වුණාට කට ටිකක් ගදයිලු.දැන් ඉතිං මෑන්ස් කියන විස්තර අහලා අපේ යාලුවො සෙට් එකට සදමෝල් වගේලු.කට්ටියම දන්නවා ඔලුව හොද කෙල්ලෙක්නං කීයටවත් සකයාත් එක්ක ඩාන්ස් කරන්න එන්නෙ නෑයි කියලා.ඉතිං අපේ යාලුවො සෙට් එක ගියාලු කලින් දවසෙ රෑ කට්ටිය මතට තිත තිබ්බ තැනට.මෙන්න බොලේ කඩල ටික එහෙමම තියනවා කුණු කානුව ඇතුලේ.ටිකක් එහායින් තඩි කලු බල්ලෙක් බැදලා ඉන්නවා ගොරව ගොරව.ඌ දිහා දැක්කමත් බය හිතෙනවා.

එතකොට එතෙන්ට ආපු මුරකාරයෙක් අපේ යාලුවන්ට මෙහෙම කිව්වලු

මුරකාරයා :- බලන්න මහත්තයෝ, ඊයෙ රෑ කවුද පිස්සෙක් කලිසමත් ගලවගෙන මේ බල්ලත් එක්ක නට නටා හිටියනෙ.මහත්තයලට කියන්න, මූ වගේ සැර බල්ලෙක් ඒ යකාට හැපුවෙ නැත්තෙ ඇයි කියලා තමයි මම මේ දවසම කල්පනා කර කර හිටියෙ

බැලින්නං සකයාගේ පිස්සු හැසිරීම දැකපු බල්ලටත් මොංගල් ගහලා.

ප.ලි - සකයාගේ සහ පොල්පොට්ගේ වාසනාවට මේ සිද්දිය කොටියා සර්ගෙ කනට ගියෙ නෑ.හැබැයි ආපහු හොස්ටල් එකට ආවට පස්සෙ දෙන්නාටම ප්‍රිෆෙක්ට් අයියලාගෙන් අම්බානට කන්න වුණා.ආපහු මේ වගේ වැඩ කරන්නෙ නෑ කියලා, මාගලක් වගේ දිග ලියුමක් ලියන්නත් වුණා.

හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක?


ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නේ කුරුදුවත්ත හොස්ටල් එකේ නුවරඑළිය ට්‍රිප් එක ගැන.සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ළමයි අවුරුද්දකට ට්‍රිප් දෙකක් යනවා.එකක් තමයි "බ්‍රැබරි පළිහ" කියන වාර්ෂික රගර් මැච් එක බලන්න නුවර යන වන්ඩේ ට්‍රිප් එක.අනික තමයි ඊට පස්සෙ යන ටූ ඩේ ට්‍රිප් එක.සාමාන්‍යයෙන් මේ ටූ ඩේ ට්‍රිප් එක යන්නෙ එක්කො කතරගමට, අනුරාධපුරේට, නැත්තං නුවරඑළියට, අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙවී.ඉතිං එක තැනකට ගියාට පස්සෙ ආපහු ඒ තැනට යැවෙන්නෙ තවත් අවුරුදු තුනකින්.කොහොමහරි ඉතිං 2003 අවුරුද්දෙ, ඒ කියන්නෙ අපේ පූසො 11 වසරෙ ඉන්දැද්දි මේ ට්‍රිප් එක යන්න නියමිත වුණේ නුවරඑළියටලු.

හොස්ටල් එකේ ළමයි කොහොමත් කතරගමට, අනුරාධපුරේට වඩා නුවරඑළියට යන්න කොහොමත් කැමතියි.නුවරඑළිය ඉතිං සීතල පැත්ත නොවැ!ඒ හින්දා ට්‍රිප් එක එනවුන්ස් කරපු දවසෙ ඉදලා කට්ටියටම මේ ගැන තිබුනෙ පුදුම උනන්දුවක්.අනිත් කාරනේ ඒ අවුරුද්දෙ පුරුපුරුලා ට්‍රිප් එක යන්නෙ හොස්ටල් එකේ සීනියර් බැච් එක විදිහට.ඉතිං ඒ හින්දා ට්‍රිප් එකේ ෆුල් ෆන් එකක් ගන්නත් පුලුවන්.

සාමාන්‍යයෙන් 10 සහ 11 වසරවල් හොස්ටල් ට්‍රිප් එකට සහභාගි වෙන්නේ වෙනම ටී ෂර්ට් ඇදගෙනලු.ඒ කියන්නේ 10 වසර එක ටී ෂර්ට් එකකුත්, 11 වසර එක ටී ෂර්ට් එකකුත් ඇදගෙන.ඉතිං අපේ යාලුවො කට්ටිය මුලින්ම කළේ හොද ටී ෂර්ට් එකක් ඩිසයින් කරලා, ඒක ගහගත්ත එක.මොකද 11 වසරෙ අයියලා හැටියට 10 වසරෙ මල්ලිලාට සෙකන්ඩ් වෙන්න බැහැ නොවැ!කොහොමහරි ඉතිං ටී ෂර්ට් එක ඇත්තටම හොදට හැදිලා ඇවිත් තිබුනා.ටී ෂර්ට් එකේ පිටිපස්සෙ ලියලා තිබුන වාක්‍යය තමයි

Nothing more than Unity & Liberty

කියන එක.ඒ වාක්‍යය පුරුපුරු යෝජනා කළේ එකමුතුකමයි, ස්වාධීනත්වයයි ඇරුණුකොට ඊට වඩා වෙන යමක් නෑ කියන පිරිසිදු චේතනාවෙන්.ඒත් ටී ෂර්ට් එක හදලා අරගෙන ආවටත් පස්සෙ අසමජ්ජාති මාලුකට්ටා අහපි

"එතකොට මචං MC එක ???"

කියලා.එතකොට තමයි කට්ටියට මීටර් වුණේ Unity එකයි Liberty එකයි දෙකම කොළඹ තියන සාප්පු සංකීර්ණ නේද කියලා.අන්තිමට ඉතිං කොල්ලො කට්ටිය පුරුපුරුගෙ ගෙදර ඈයින්ට හචිං යවලා, 10 වසරෙ කොල්ලන්ට මේක මීටර් වෙන එකක් නෑ කියලා හිත හදාගත්තලු.

කොහොමහරි ඉතිං දවසින් දවස ගතවෙලා ට්‍රිප් එක යන දවසත් උදාවුණාලු.හොස්ටල් එකේ ළමයින්ගෙන් බහුතරයක් ට්‍රිප් එකට සහභාගි වෙන්න අමතක කරලා තිබුනෙත් නැහැ.ඒ වගේම කොටියා සර් ඇතුලු සර්ලාත් සුපුරුදු විදිහට ට්‍රිප් එකට සහභාගි වුණාලු.ඒ හින්දා මතක විදිහට බස් හතරක්ම ගෙන්නන්න සිද්ද වෙලා තිබුනා.මේ ඔක්කොම වැඩ ඕගනයිස් කෙරුවේ හොස්ටල් ප්‍රිෆෙක්ට් අයියලා.11 වසරෙ ළමයිනුත් ඉතිං ට්‍රිප් එක යන දවසෙ උදේම ලන්ච් පැකට් බදින්න එහෙම උදව් වුණාලු.අන්තිමට ඉතිං සුභ මොහොතින් කට්ටිය සාදුකාරයක් එහෙම දීලා නුවරඑළිය බලා පිටත් වුණාලු.

දැන් ඉතිං මග දිගට විස්තර කියන්න ගියොත් මේක ටුවරිසම් බ්ලොග් එකක් වෙනවා නොවැ! ඒක හින්දා ඒ වැඩේ අපේ අභීත ලොක්කාට බාර දීලා අපි කතාව ටිකක් ස්කිප් කරන්නම් නේද?

කොහොමහරි ඉතිං එදා හවස්වෙද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණා නුවරඑළියට එන්න.ඉතිං ඊට පස්සෙ තිබුනෙ නවාතැනට යන එක.ළමයි දෙසිය පනහකට විතර නවතින්න පුලුවන් තැන් නුවරඑළියෙ අඩු නිසා සාමාන්‍යයෙන් හොස්ටල් ට්‍රිප් වලදි නවතින්න තෝරගත්තෙ නස්රත් ෆාම් කියලා ප්ලේස් එකක්.මේ ෆාම් එක මැද්දෙ තියෙන ලොකු බිල්ඩින් එකේ ගොඩක් කට්ටියට නවතින්න පුලුවන්.

ප්‍රිෆකේට්ලා ඇවිත් ළමයින්ව කාමර වගට දැම්මට පස්සෙ 11 වසරෙ ළමයින්ටත් වෙනම රූම් එකක් හම්බවුණා.හැබැයි ඉතිං රූම් එකේ ටිකක් ඉඩ මදි.ඒක හින්දා පුරුපුරු ඇතුලු සෙට් එකක් පොඩි සංචාරයක් දාන්න එළියට ගියාලු.රෑ වෙලා තිබුන හින්දා එළියෙ හොදටම සීතලයි.කට කට ගාලා කට්ටියම ගැහෙනවා.ඉතිං ඔය වෙලාවෙ තමයි ඔතන හිටපු සලාට මරු අයිඩියා එකක් ආවෙ.

සලා :- මචං, අම්බානට සීතලයි.නරකද පොඩ්ඩක් අරවා ටිකක් ගෙනාවොත් එහෙම?

දැන් සලා මේ යෝජනා කරන්නෙ මතට තිත තියන්න.වෙලාවෙ හැටියට නරකම අයිඩියා එකකුත් නෙවෙයි.සකයාත් එක පයින්ම මේ යෝජනාවට කැමති වුණා.ඉතිං කට්ටිය ආපහු ගිහින් අනුමත වෙන්න කැමති කට්ටියගෙන් සල්ලි එකතු කරන්න ගත්තලු.මොනවා වුණත් ට්‍රිප් එකේදි බොන එක සෑහෙන ඩේන්ජරස් වැඩක්.හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ට මාට්ටු වුණොත් අම්බානට කන්න වෙනවා.කොටියා සර්ට මාට්ටු වුණොත් හොස්ටල් එකෙන් අස්වෙන්න පවා සිද්ද වෙන්න පුලුවන්.ඒත් ඉතිං "ඩේන්ජර් ඉස් මයි බිස්නස්" කියලා මතට තිත තියන්න කොල්ලො කීප දෙනෙක් සලාටයි, සකයාටයි එකතු වුණාලු.

අන්තිමට මතට තිත තියන්න එකතු වුණේ සලා, සකයා, පුරුපුරු, ජුවාන්, සංජු සහ පොල්පොට් කියන කට්ටිය.දැන් ඉතිං ප්‍රශ්නෙ බොන්නෙ මොන ජාතියද? කියන එකට වඩා, බෝතල් ගේන්නෙ කොහෙන්ද? කියන එක.දැන් අපේ කට්ටියට ෆාම් එකට ආපු පාර මතකත් නෑ.ඒ මදිවට බෝතල් ගේන්න නුවරඑළිය ටවුන් එක පැත්තට යන්න වෙනවා.ඉතිං මේ වෙලාවෙ වීර පුරුෂයො වගේ මේ වැඩේට ඉදිරිපත් වුණේ පොල්පොට් සහ සකයා.ඒ දෙන්නා "අරවා" ගේනකං පොඩි රෙස්ට් එකක් ගන්න කියලා අනිත් හතරදෙනා ආපහු රූම් එකට ගියාලු.

හැබැයි ඉතිං ඔහොම තත්පර, විනාඩි ගෙවිලා ගිහිං පැය දෙක තුනක් ගෙවිලා ගියත් පොල්පොටුයි සකයායි ආපහු ආවෙ නෑ.පුරුපුරුටයි ජුවාන්ටයි මහන්සි නිසා එහෙම්ම නින්ද ගියාලු.ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි වෙනම පෝස්ට් එකකින් කියන්නම්.මොකද නැත්තං මේ ලිපිය දිග වැඩි වෙනවා.මොකද වුණේ කියලා බලන්න පහළ ලින්ක් එකෙන් යන්නකෝ!

හොස්ටල් ලයිෆ් - නුවරඑළියට පිස්සු හැදුන දවස

Monday, August 16, 2010

හොස්ටල් ලයිෆ් - තණකොළ ගලවපු හැටි


ඉතිං යාලුවනේ අද අපි කාලෙකට පස්සෙ හොස්ටල් කතාවක් කියන්නයි යන්නෙ.ඒ වගේම මේක තමයි පූසන්ගෙ 10 වසරෙ සිද්දි වලින් අපි කියන්න බලාපොරොත්තු වෙන අන්තිම කතාව.මේ වෙද්දි පුරුපුරුලගෙ 10 වසරෙ බැච් එක තමයි හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙලා තිබුනෙ.මොකද මැර සතියෙදි කංජිනාත් ගුටි කෑවට පස්සෙ මුලු 11 වසරම හොස්ටල් එකෙන් අස් කළා නොවැ!

මේ වෙද්දි 2002 අවුරුද්ද ඉවර වෙන්නත් ළගයිලු.ඉතිං හැම ඉස්කෝලෙම වගේම කුරුදුවත්ත ඉස්කෝලෙත් දැන් එන්ඩ් ටර්ම් ටෙස්ට් එක ළං වෙලා.ඉතිං හොස්ටල් එකේ හිටපු ළමයි හැමෝම වගේ දැන් ගජරාමෙට පාඩම් කරනවලු.ඔය අධ්‍යාපන පැත්ත සැලකුවොත් හොස්ටල් එකේ හිටපු ළමයි කොටස් තුනකට බෙදන්න පුලුවන්.

පළවෙනි කොටස තමයි හැමදාම මහන්සිවෙලා පුරුද්දක් වශයෙන් පාඩම් කරන ළමයි.මෙහෙම අයනම් මුලු හොස්ටල් එකටම හිටියෙ කීප දෙනයි.ඊළග කොටස තමයි විභාගෙ කාලෙට විතරක් පාඩම් කරන ළමයි.හොස්ටල් එකේ ගොඩක් හිටියෙ මේ ජාතියෙ මෑන්ස්ලා.පුරුපුරුයි මාලුකට්ටයි අයිතිවුණෙත් මේ ගොඩටමයි.තුන්වෙනි කොටස තමයි ජීවිතේට පොතක් අතින් අල්ලන්න කැමති නැති ළමයි.කොටියා සර්ගෙ උවමනාවට ස්ටඩි ටයිම් එකේ පොතක් පෙරලගෙන හිටියට මේ අය කවදාවත් උනන්දුවෙන් ඉගෙනගත්තෙ නෑ‍.පොන්ටින්, සකයා වගේ අය අයිති වුණේ මේ ගොඩ‍ට.

ඉතිං ටර්ම් ටෙස්ට් එක කිට්ටු වෙද්දි අර කලින් කිව්ව පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අයිති ළමයි ඩයිනින් හෝල් එකට ගිහිං පාඩම් කරනවලු.තුන්වෙනි කොටසෙ ළමයි ඩෝම් එකට වෙලා මොකක් හරි පිස්සුවක් නට නටා ඉන්නවලු.

පුරුපුරුට තිබුන අප්සෙට් එක තමයි ඩයිනින් හෝල් එකේ පාඩම් කරන්න බැරි එක.මොකද මෑන්ස්ට පාඩම් කරන්න පුලුවන් නිදාගෙන විතරයි.ඉතිං ඇදේ පෙරළිලා නිදාගෙන පාඩම් කරන්න පුලුවන් ඩෝම් එක ඇතුලෙ විතරයි නිසා, පුරුපුරු ස්ටඩි ටයිම් එකේ ඇර අනිත් වෙලාවට පාඩම් කළේ ඩෝම් එක ඇතුලෙ.මොකද ස්ටඩි ටයිම් එකේදි ඩයිනින් හෝල් එක ඇතුලෙ පාඩම් කරන එක අනිවාර්ය කටයුත්තක්.

ඉතිං එක දවසක් පුරුපුරු හවස් වරුවක මෙහෙම ඇදේ පෙරලිලා පාඩම් කර කර ඉන්නවලු.බැච් එකේ පාඩම් කරන අනිත් ඔක්කොම කට්ටිය ඒ වෙලාවෙ ඩයිනින් හෝල් ගිහිල්ලයි හිටියෙ.ඩෝම් එකේ ඉතුරු වෙලා හිටියෙ පොන්ටින්, සකයා, පොල්පොට්, ජුවාන් වගේ කීප දෙනෙක් විතරයි.පහුවදා විභාගෙ විදිහට තියන්න නියමිත වෙලා තිබුන විද්‍යාව විෂය තමයි පුරුපුරු පාඩම් කර කර හිටියෙ.

ඉතිං මෑන්ස් පාඩම් කර කර හිටපු දර්ශනය පොන්ටින්ට පෙනුනලු.පොන්ටින් කියන්නෙ කොහොමත් එක විදිහකට ඉන්න පුලුවන් කොල්ලෙක් නෙවෙයි.ඒකනෙ අර පූසන්ගෙ රැවුල කපලා කොටියා සර්ගෙන් ගුටි කෑවෙ.ඉතිං පොන්ටින්ට අයිඩියා එකක් ආවලු පුරුපුරුට මොකක් හරි අරියාදුවක් කරන්න ඕනෙ කියලා.මෑන්ස් කළේ එලියට ගිහිං පොඩි ගල් කැට ටිකක් අරගෙන ඇවිත් ඈත ඉදන් පුරුපුරුට ගහන එක.පුරුපුරුටත් මොන දේ ඉවසන්න පුලුවන් වුණත් පාඩම් කරන වෙලාවෙ කරදර කරන එක ඉවසන්න බෑ.මේ බව පොන්ටිනුත් හොදට දැනගෙන හිටියලු.

ඉතිං පුරුපුරු කළේ ගල් ගහන වාරයක් ගානෙ නැගිටලා පොන්ටින්ගෙ ඥාති සමූහයාට පුන්‍යානුමෝදනා කරපු එක.ඇයි දෙයියනේ විද්‍යාව කියන්නෙ ඒ දවස්වල ඉදන්ම බලාපොරොත්තු තියාගෙන හිටපු සබ්ජෙක්ට් එක නොවැ!කොහොම හරි පොන්ටිනුත් වැඩේ අතඇරියෙම නැහැලු.දැන් පුරුපුරුට නස්තාර් වෙන්න ෆ්ලවර් ජම්ප් වෙලා තියෙන්නෙ.මේ අතරෙ තමයි පොන්ටින්ගෙ තියුණු ඇස් වලට ඩෝම් එකේ කෙළවරක තිබුන හොකී බෝලයක් පෙනුනෙ.ඒ දවස්වල ඉතිං බැච් එකේ එක එක ක්‍රීඩා කරපු ඈයො හිටපු නිසා ඩෝම් එක ඇතුලෙ හොකී බෝල, බේස් බෝල, ක්‍රිකට් බෝල, ටෙනිස් බෝල වගේ දේවල් ඕන තරම් තිබුනා.

දැන් ඉතිං අපේ කියවන යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ පොන්ටින්ගෙ ටිකිරි මොළේට‍ ආපු අයිඩියා එක ගැන.ඉතිං පොන්ටිනුත් කෙරුවෙ අර හොකී බෝලෙ අරගෙන පාඩම් කර කර හිටපු පුරුපුරුගෙ ඔලුවට දමලා ගැහුව එක.හොකී බෝලයක් තියන්නෙත් ලේසි පාසු බෝලයක් නෙවෙයිනෙ.හරියට නිකං ගල් ගෙඩියක් වගේ.


ඉතිං මේක වැදුන පාරටනං පුරුපුරුට අම්බානට රිදුනා.ඒ වගේම හිරකරගෙන හිටපු කේන්තිය එළියට පැන්නා.එදා තමයි මෑන්ස්ගෙ ජීවිතේ වැඩියෙන්ම ෆ්ලවර් ජම්ප් වෙච්ච දවස.

"පොන්ටි.......න්............"
වහාම පොත පැත්තකට විසි කරලා දැම්ම පුරුපුරු කෑ ගහගෙන නැගිට්ටා.හික්...දන්නවනෙ ඉතිං පූසන්ට තරහ ගියාම.පුරුපුරුගෙ මූණෙ තිබුන ලුක් එක දැක්කට පස්සෙ තමයි පොන්ටින්ට තේරුනේ වැඩේ ජෝන් බාස්ට ගියයි කියලා.ඉතිං මෑන්ස් කළේ වහාම ඩෝම් එකෙන් එළියට පැනලා දුවපු එක.දැන් පුරුපුරුගෙ එකම බලාපොරොත්තුව තමයි පොන්ටින්ව අල්ල ගන්න එක.

මේ වෙලාවෙ පුරුපුරු උඩට කිසිම ඇදුමක් ඇදලා තිබුනෙ නෑ.‍හොස්ටල් එකේ නීතියට අනුව උඩට ඇදුමක් නැතුව ඩෝම් එකෙන් එළියට බැසීම දඩුවම් ලැබිය හැකි වැරැද්දක්.ඒ වුණාට පුරුපුරුට ජම්ප් වුණ ෆ්ලවර් එකේ හැටියට මොන නීතිද?ඉතිං මෑන්ස් කළේ ඇදගෙන හිටපු කොට කලිසම පිටින්ම ඩෝම් එකෙන් එළියට පැනලා පොන්ටින් පස්සෙන් පන්නපු එක.ඩෝම් එකෙන් එළියට යන්න හදද්දිම සකයයි, සලයි පැනලා පුරුපුරුව නවත්තන්න ට්‍රයි එකක් දුන්නා.ඒත් පුරුපුරු කළේ ඒ දෙන්නවත් තල්ලු කරගෙන එළියට පැනපු එක.

දැන් පොන්ටින් පණ කඩාගෙන දුවනවා.පුරුපුරු අඩ නිරුවතින් මෑන්ස් පස්සෙ පන්නනවා.ඔහොම දුවද්දි එක පාරටම බිල්ඩින් එකක් ගාව වංගුවකින් හැරුන පොන්ටින් අතුරුදහන් වුණාලු.දැන් පුරුපුරුට පොන්ටින්ව හොයාගන්න බැහැ.මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුනේ ටී ෂර්ට් එකක් නැතුව ඇවිල්ලා කරගත්තු මෝඩකම ගැන.ඉක්මනට ගිහිං ටී ෂර්ට් එකක් දාගෙන ඇවිත් පොන්ටින්ව හොයන්න ඕනෙ කියලා හිතාගෙන ආපහු හැරෙද්දිම තමයි පුරුපුරු අතිශය භයංකාර දර්ශනයක් දැක්කෙ.

හත්වලාමයි.....වේවැලක් අතේ තියාගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි, කොටියා සර්...

උඩට ඇදුමක් නැතුව එළියට බැහැල හිටපු පුරුපුරුව දැකපු කොටියා සර්ගෙ ඇස් උඩ ඉන්දවුණා.බරපතල වැරැද්දක් නොවැ!ඉතිං අපේ පූසාට නිදහසට කාරනා කියන්නත් කලින් සිද්දවුණේ සර්ගෙන් වේවැල් පාරක් කාල ඉන්න.

"පුරුපුරු, මොකද මේ ඔය ළමයා උඩට ඇදුමක් නැතුව එළියට බැහැලා?"

කොටියා සර් එහෙම ඇහුවලු.දැන් ඉතිං බේරෙන්න තියෙන එකම ක්‍රමේ ඇත්ත කියන එක කියලා හිතාගත්තු පුරපුරු සර්ට වෙච්ච සිද්දිය කිව්වලු.

"ආ..දැන් ඔය ළමයා ගිහිල්ලා උඩට ඇදුමක් දාගෙන එනවා.එද්දි පොන්ටින්වත් එක්කගෙනම එන්න"

එහෙම කියපු සර් යන්න ගියාලු.ඔය තරමින්වත් බේරෙන්න ලැබීම ගැන පුරුපුරුට හරි සතුටුයි.ආපහු ඩෝම් එකට ගිය පුරුපුරු ටී ෂර්ට් එකකුත් ඇදගෙන වෙච්ච සිද්දිය සගයන්ට කිව්වලු.ඉතිං කට්ටියම තීරණය කළාලු පොන්ටින්ව හොයන්න යන්න.හැබැයි ගිහිං ගොඩ වෙලාවක් හෙව්වත් මෑන්ස් ගැන කිසිම නිව්ස් එකක් හොයාගන්න කට්ටියට බැරි වුණාලු.හවස් වෙද්දි තමයි පොන්ටින් ආපහු ඩෝම් එකට ආවෙ.බැලින්නං මෑන්ස් හැංගිලා ඉදලා තියෙන්නෙ 11 වසර ඩෝම් එකේ.ඇයි 11 වසරෙ ළමයින්ව හොස්ටල් එකෙන් අස් කළාට පස්සෙ ඩෝම් එක හිස් වෙලානෙ තිබුනෙ.මේ වෙද්දි පුරුපුරුගෙ කේන්තියත් නැති වෙලා තිබුනෙ.

ඉතිං ඊට පස්සෙ පුරුපුරුයි පොන්ටිනුයි ගියාලු කොටියා සර්ව හම්බවෙන්න.නඩුව අහපු සර් කළේ පොන්ටින්ට වේවැල් පාර කීපයක් දෙන එක.ඊට අමතරව පහුවදා විභාගෙ ඉවරවෙලා ඇවිත් පැය බාගයක් 10 වසර ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් මෑන්ස්ට නියම වුණාලු.ඇදුම් නැතුව ආකිමිඩීස් වගේ දුවපු වැරැද්දට පුරුපුරුට ලැබිච්ච පනිෂ්මන්ට් එක තමයි තණකොළ ගලවන වැඩේට පොන්ටින්ට සපෝට් කරන්න වෙච්ච එක.ඉතිං පහුවදා යාලුවො දෙන්නා එකතු වෙලා ඩෝම් එක ඉස්සරහා තිබුන තණකොළ ටික ඔක්කොම ගලවලා දැම්මලු.

ප.ලි - අපේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් වල ෆොන්ට් සයිස් එක වැඩි කරන්න මග පෙන්නපු නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට බ්ලොග් ගඩොල් උත්තමාචාර!!!

Monday, August 2, 2010

හොස්ටල් ලයිෆ් - මැර සතිය - The Week of Evil

පහුගිය දවස්වල අපි හොස්ටල් කතා කීපයක්ම ඔයාලට කිව්වනෙ.ඉතිං යාලුවනේ අදත් අපි හොස්ටල් කතාවක්ම තමයි ඔ‍යාලට අරගෙන ආවෙ.කවුරුත් දන්නවනෙ මොළේ තියෙද්දි බලේ නෑ, බලේ තියෙද්දි මොළේ නෑ කියන කතාව.මේ සිද්දිය ඒ කතාව ප්‍රායෝගිකව ඔප්පු වෙච්ච අවස්ථාවක්.


දැන් ඔන්න පුරුපුරුලා 10 වසරෙ අන්තිම හරියට ඇවිල්ලලු ඉන්නෙ.තව සති කීපෙකින් 11 වසරෙ.ඒ කියන්නෙ කට්ටිය හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙන්නලු යන්නෙ.ඉතිං ඊට පස්සෙ අර පුරුපුරුලට ගහපු අයියලට ආපහු පුරුපුරුලට තග දාන්න චාන්ස් එකක් එන්නෙ නෑ.දැන් ඉතිං 11 වසරෙ අයියල කට්ටියට මාර දුකයිලු.ඔය හැම බැච් එකේම වගේ මේ අයියලගෙ බැච් එකෙත් හිටිය අනුන්ට පීඩා කිරීමේ මානසිකත්වය තිබුන කීප දෙනෙක්.ඉතිං ඒ කට්ටිය තීරණය කළාලු හොස්ටල් එකේ සියලුම ජූනියර් බැච් වලට බල පැවැත්වෙන පරිදි "මැර සතියක්" ක්‍රියාත්මක කරන්න.(නම දැම්මෙත් ඒ අයම තමයි)


ඉතිං අයියල පොඩි එවුන්ට දැනුම් දුන්න විදිහට මේ මැර සතියෙදි කෙරෙන්නෙ වැරදි වලට උපරිම විදිහට දඩුවම් දෙන එකලු.ඉතිං ඒක හින්ද පුලුවන් තරම් වැරදි කිරීමෙන් වැලකිලා ඉන්න කියලත් කට්ටියට උපදෙස් ලැබුනා.ඒ වුණාට ඉතිං අපේ යාලුවො කට්ටියනං දැනගෙන හිටියා මොනතරං වැරදි නොකර හිටියත් අයියලා කට්ටිය බොරු වැරැද්දක් හරි දාල පොඩි එවුන්ට ටොපිය සෙට් කරන බව.


ඉතිං කට්ටිය අමාරුවෙන්, කිසිම වැරැද්දක් නොකර මැර සතියෙ පළවෙනි දවස ගත කළා කියමුකො.ඊළගට ආපු දෙවෙනි දවසෙදි තමයි 10 වසරෙ ළමයි අතින් "බරපතල" වැරැද්දක් වුණේ.ඒ තමයි දවල් කෑම පෝළිමට එන්න විනාඩියක් විතර පරක්කු වෙච්ච එක.ඉතිං අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් තමයි එතන සිද්ද වුණේ.වහාම ක්‍රියාත්මක වෙච්ච 11 වසරෙ අයියලා 10 වසරෙ මල්ලිලට දැනුම් දුන්නලු ආෆ්ටර් ඩිනර් එයාලව මීට් වෙන්න කියලා.


ඔන්න හවස් වීගෙන එද්දි 10 වසරෙ ඩෝම් එකට තව පණිවිඩයක් එනවලු අයියලව මීට් වෙන්න ඕනෙ කුප්‍රකට දෙල් ගහ යටදි කියල.අපි අර කලින් කතාවකදි කිව්ව වගේ "දෙල් ගහ යටදි මීට් වෙන්න" කියන්නෙ හොස්ටල් එකේ ළමයෙක්ට අහන්න ලැබෙන වැඩියෙන්ම බය හිතෙන පණිවිඩයක්.ඉතිං හොද සංග්‍රහයක් අත ළග කියල පුරුපුරුට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියෙ නෑ.

වැඩේ අම්බානට බරපතලයි කියල කට්ටියට තේරුණේ 10 වසරෙ බැච් එකේ හිටපු පොඩි පොඩි බට්ටො ටිකට එදා අයියලව මීට් වෙන්න ඕනෙ නෑ කියල ආපු තවත් පණිවිඩේකින් පස්සෙ.ඒ කියන්නෙ ඇග ලොකු, හොදට ගුටි කන්න පුලුවන් ඩයල් ටික විතරයි එදා රෑ දෙල් ගහ යටට යන්න ඕනෙ.මේ පණිවිඩේ ඇහුවට පස්සෙනං අපේ පුරුපුරු ලොක්කට හීන් දාඩියත් දැම්මලු.

කොහොම හරි ඉතිං සුබ නැකතත් උදාවුණාලු.ඩිනර් එකෙන් පස්සෙ බැච් එකේ හිටපු 25 දෙනාගෙන් ගුටිකන්න පුලුවන් 15 දෙනෙක් දෙල් ගහ යටට පිටත් වුණාලු.ගහ යටට ගියාට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ පහලොස් දෙනාට ගහන්න අයියල 30ක් විතර ඇවිත් ඉන්න වග.පුරුපුරුත් දැන් ඉතිං බලාගෙන ඉන්නවලු ගන දෙයියොවත් ඇවිල්ල යාලුවො ටික බේරගනී කියල.ඒත් ඉතිං දෙයියන්ටත් ඔයිට වඩා වැදගත් වැඩ නැතෑ කරන්න.

කොහොම හරි ඉතිං ඊට පස්සෙ කට්ටියව පෝලිමට හිටවල අයිය කෙනෙක් "හොස්ටල් විනය","සීනියෝරිටි" වගේ මාතෘකා ගැන ලෙක්චර් එකක් දුන්නලු.ඊට පස්සෙ උදා වුණේ වරදට දඩුවම් දීමේ වෙලාව.

"චට පට චට පට"

ගාල සද්දෙ එක්කම කම්මුල් වලට සැරට පාරවල් වදිනවා කට්ටියට තේරුණාලු.පුරුපුරුටනං පාරවල් විසිපහක් තිහක් විතර වැදුන බව මතකයි.කොට අයියලා උඩ පැන පැන තමයි 10 වසරෙ මල්ලිලට ගැහුවෙ.කොහොම හරි ඉතිං ගුටිකාල ඉවර වුණාට පස්සෙ පස් දෙනෙක් ඇරෙන්න ඉතුරු කට්ටියට ආපහු ඩෝම්ගත වෙන්න පර්මිෂන් ලැබුනලු.


ඉතුරු වෙච්ච පස්දෙනා තමයි පුරුපුරු, පොන්ටින්, සකයා, සලා සහ පොල්පොට්.ඒ අයට විරුද්දව එල්ල වෙච්ච චෝදනාව තමයි ගුටි කනකොට අයියලට රැව්වයි කියන එක.කොහොමත් පොන්ටිනුයි සකයයි එක්ක අයියලගෙ බැච් එකේ ලොකු තරහක් තිබුනා.මොකද ඒ දෙන්නම නාහෙට අහන්නෙ නැති දෙන්නෙක් කියල හොස්ටල් එක පුරාම ප්‍රසිද්ධයි.ඉතිං ඉතුරු වෙච්ච පස් දෙනාටත් තව ටිකක් ගුටිකෑවට පස්සෙ ආපහු යන්න පර්මිෂන් හම්බ වුණා.


පුරුපුරුට දැන් ඉතිං බ්‍රහස්පතියි සිකුරුයි ඇස් දෙක ඉස්සරහ පායල වගේ.වෙනද නොපෙනිච්ච තරු මූණ ඉස්සරහ බල්ටි ගහනවලු.ඒ මදිවට ගුටිකාල වැඩිවෙලා මූණත් හිරිවැටිලා.මොනවත් දැනෙන්නෙ නෑ.ආපහු ඩෝම් එකට යන ගමන් බොගට ගිහිං කණ්ණාඩියන් බැලුවට පස්සෙ තමයි මෑන්ස් දැක්කෙ කටින් ලේ එනවයි කියලා.


ඉතිං කටත් හෝදලා අයියලගෙ මෑණිවරුන්ගෙ ගුණ මෙනෙහි කර කර අපේ පූසා ඩෝම් එකට ඇවිල්ල නිදාගත්තලු.පහුවදා උදේ තමයි දැනගත්තෙ 9 වසරෙ සෙට් එකටත් ඒ වගේම සංග්‍රහයක් ලැබිලයි කියලා.ඉතිං පුරුපුරුලගෙ කට්ටිය සාකච්ඡා කළාලු මැර සතියට විරුද්ධව මොකද කරන්නෙ කියලා.සමහරු කිව්වලු කොටියා සර්ට ගිහිං කම්ප්ලේන් කරමුයි කියලා.තවත් සමහරු ඒකට කැමති වුණේ නෑලු.ඉතිං ඔය විදිහට තර්ක කර කර කට්ටිය මැර සතියෙ තුන් වෙනි දවසත් ගත කළාලු.


ඊට පස්සෙ තමයි යාලුවනේ තීරණාත්මක හතර වෙනි දවස උදා වුණේ.හතර වෙනි දවසෙදි මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?

ප.ලි - ඔය පහරදීම කොච්චර ටෙක්නිකලි කරනවද කියනවනං, පහුවදා උදේ වෙද්දි කාටවත් බැලූ බැල්මට හොයන්න බෑ අහවලාට තියෙන්නෙ කලින් දවසෙ ගුටි කාපු මූණක් කියලා.

Friday, July 9, 2010

හොස්ටල් ලයිෆ් 2 - ආෆ්ටර් ඩිනර්


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සෙ බ්ලොග් ගඩොල් ආපහු අවකාශෙට ආවා.එදා අපි කිව්වනෙ පුරුපුරු හොස්ටල් එකට ගිය හැටි.අද කියන්න යන්නෙ මෑන්ස්ට ඒ දවස්වලම සිද්ද වෙච්ච වැඩක්.

මුලින්ම කියන්න ඕනෙ කුරුදුවත්ත හොස්ටල් එකේ නීති රීති ගැන.කොයි හොස්ටල් එක වගේම කුරුදුවත්ත හොස්ටල් එකත් නීති රීති වලින් බහුල තැනක්.මොනව කරන්න ගියත් එතන මොකක් හරි නීතියක්.සමහර නීති පාලනාධිකාරියෙන් දාපුවා.සමහර නීති ජ්‍යේෂ්ටයො දාපුවා.උදේ නැගිට්ට වෙලාවෙ ඉදලා රෑ වෙනකං නීති පිලිපදින්න තමයි වෙන්නෙ.හැබැයි කොච්චර නීති තිබුනත් කියාගන්න බැරි අමුතුම සිරා ගතියක් හොස්ටල් ලයිෆ් එකේ තිබුනෙ.

දැන් ඉතින් හොස්ටල් එකේ නීති රීති ඔක්කොම කියන්න ගියොතින් මේ කතාව නීරස වෙනවා.ඒක හින්දා දැනට ඩයිනින් හෝල් එකේ නීති ගැන විතරක් කියන්නංකො.ඔන්න හොස්ටල් එකේදි දවසට කෑම වේල් හතරක් ලැබෙනවා.ඒ උදේ, දවල්, රෑ කෑමයි හවස තේ වේලයි.(මේවා ගැන වෙනම ලිපියක් දාන නිසා දැනට වැඩිපුර නොකියා ඉන්නංකො) ඉතිං ‍මුලු හොස්ටල් එකම කෑම කෑවෙ ඩයිනින් හෝල් එකේදි.කෑම නොකන වෙලාවට පාඩම් වැඩ වලට තමයි මේක යොදාගත්තෙ.

හැම කෑම වේලටම කලින් වසරෙන් වසර ඇවිල්ලා ඩයිනින් හෝල් එක ඉස්සරහ පේළියට ඉන්න ඕනෙ.මුලින්ම එන්නෙ පොඩි ඩයල්.ඒ කියන්නෙ 6 ඉදලා 9 වසරට යනකං කොල්ලො.ඊට පස්සෙ 10 වසර.ඊටත් පස්සෙ තමයි "ඩයල්" එන්නෙ.ඒ කියන්නෙ 11 වසරෙ කට්ටිය.

ඔහොම ළමයි හැමෝම ඇවිල්ලා ඉවරවුණාට පස්සෙ තමයි ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා ඇවිත් ළමයි පේලි ඉස්සරහින් හිටගන්නෙ.සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා මේ වැඩේට සහභාගි වෙන්නෙ නෑ.ඊට පස්සෙ තියෙන්නෙ 6 ඉදලා 11 වසර වෙනකං පේළි පිලිවෙලට ඩයිනින් හෝල් එක ඇතුලට දාන එක.

ඩයිනින් හෝල් එක ඇතුලට යන එකත් ලේසි පාසු වැඩක් එහෙම නෙවෙයි.පිලිවෙලට කොන්ඩෙ පීරල තියෙන්න ඕනෙ.ෂර්ට් එකක් ඇදලා ඒක යට කරල තියෙන්නත් ඕනෙ.බැගී දාන්නත් බැහැලු.ඒ මදිවට ඩිනර් එකටනං දිග කලිසමක් අදින එකත් අනිවාර්යයි.ඒ වගේම කෑම වේලෙන් වේලට වෙනස් වෙච්ච මෙතන කියන්න බැරිවුණ නීතිත් තියෙනවා.ඒවා පස්සෙ කියමුකො නේද?

ඉතිං වැදගත් හරිය පටන් ගන්නෙ ඩයිනින් හෝල් එක ඇතුලට ගියාට පස්සෙ.ඒක ඇතුලෙ මේස ගොඩක් තියනවා.එකක 8 දෙනෙක්ට ඉන්න පුලුවන්.මේ හැම මේසෙටම ඉන්චාර්ජ් වෙච්ච 11 වසරෙ ළමයෙක් ගානෙ ඉන්නවා.මේ අයට කියන්නෙ ටේබල් මොනිටර්ස්ලා කියල.ඉතිං අනිත් ළමයි මේසෙට එන්න, කෑම බෙදාගන්න, කෑම කන්න, ඒ වගේම මේසෙන් නැගිටල යන්නත් කලින් මේ ටේබල් මොනිටර්ස්ලගෙන් අවසර අරගෙන ඉන්න ඕනෙ.

අපේ පුරුපුරුත් ඉතිං හොස්ටල් ගිය අලුත දවසක ඔය නීති රීති ඔක්කොම පිලිපැදල ලන්ච් එකට ගියාලු.ඔය කාලෙ මෑන්ස් අලුත් හින්ද නීති රීති ගැන මහලොකු අවබෝධයක් තිබුනෙ නෑලු.ඔහොම ගිහින් ඉතිං මේසෙනුත් වාඩි වුණා කියමුකො.ටේබල් එකේ හිටියෙ ටේබල් මොනිටරුයි, 10 වසරෙ පුරුපුරුයි, තව පොඩි එවුන් හය දෙනෙකුයිලු.දැන් තියෙන්නෙ කෑම බෙදාගන්න.

මුලින්ම කෑම බෙදාගන්න ඕනෙ ටේබල් මොනිටර්.ඊට පස්සෙ සීනියොරිටි පිලිවෙලට තමයි බෙදාගන්න ඕනෙ.ඒ කියන්නෙ මුලින් ටේබල් මොනිටර්, ඊට පස්සෙ පුරුපුරු, ඊටත් පස්සෙ පොඩි එවුන් ටික. පුරුපුරුත් ඉතිං මේ ලෝකෙ සිහියෙන් ජීවත් වෙන මනුස්පයෙක් නෙවෙයි නොවැ.මෑන්ස් ඉතිං පැනපු ගමන් බත් පීරිසියක්ම බෙදා ගත්තලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මොකක් හරි වැරැද්දක් වුණා නේද කියල.

බැලින්නං අපේ ටේබල් මොනිටර් තවම කෑම බෙදාගෙන නෑ.මෑන්ස් බත් එක පැත්තකින් තියෙද්දි පූසා දිහෑ කන්න වගේ බලාගෙන ඉන්නවලු.පොඩි එවුන් සෙට් එකත් මහා අනුකම්පාවකින් පුරුපුරු දිහා බලාගෙන ඉන්නවලු, හරියට මරණෙට නියම වෙච්ච හරකෙක් දිහා බලාගෙන ඉන්නව වගේ.එතකොට තමයි පුරුපුරුට වැඩේ හරියටම මීටර් වුණේ.මෑන්ස් අතින් බරපතල වැරදි දෙකක් සිද්ද වෙලා.

1. ටේබල් මොනිටර්ට කලින් කෑම බෙදා ගැනීම
2. අවසරයකින් තොරව කෑම බෙදා ගැනීම

දැන් ඉතිං පුරුපුරු ගැහි ගැහී බලාගෙන ඉන්නවලු.මෑන්ස්ට තිබුන එකම එක්ස්කියුස් එක හොස්ටල් එකට අලුත් වෙච්ච එක විතරයි.ඔහොම ඉන්නකොට තමයි ටේබල් මොනිටර්ගෙ කටින් තීරණාත්මක වාක්‍යය පිටවුණේ

"මල්ලි, ආෆ්ටර් ඩිනර් මාව හම්බවෙනවා!"

හොස්ටල් එකේදි ආෆ්ටර් ඩිනර් කියල කියන්නෙ මරණිය දණ්ඩනයට කියන තවත් නමක් වගේ.මොකද ආෆ්ටර් ඩිනර් හම්බවෙන්න කියල කියන්නෙ ආදරේට නෙවෙයි.විශේෂයෙන්, දෙල්ගහ යටදි හම්බවෙන්න කිව්වොත් ඉතිං බඩුම තමයි.පුරුපුරු හොස්ටල් හිටපු ටික කාලෙට ඒ ටික දැනගෙන තිබුනා.ඉතිං කෑම කාල ඉවරවෙලා මෑන්ස් තමන්ගෙ ඩෝම් එකට ගියා.අපේ වීරයා එදා රෑ වෙන්න එපා කියල කොච්චර ප්‍රාර්ථනා කළාද කියල මෑන්ස් විතරමයි දන්නෙ.

කටුවා, ජුවාන් වගේ සගයන්ගෙ අදහස වුණේ පුරුපුරු අලුත් නිසා එච්චර ලොකු දඩුවමක් ලැබෙන එකක් නෑ කියල.කොහොම හරි ඉතිං එදා රෑ පුරුපුරු ආෆ්ටර් ඩිනර් 11 වසරෙ අයියව හම්බවෙන්න ගියාලු.

දැන් තියෙන්නෙ නඩු ඇසීම.මේ වගේ වෙලාවට සීනියර් බැච් එකේ අනිත් කට්ටියත් එනවලු ඔතෙන්ට.ඉතින් පුරුපුරුගෙ නඩුව අහන්නත් අයියල තුන් දෙනෙක් සෙට් වුණාලු.ඇත්තටම පුරුපුරු අතින් වෙලා තියෙන්නෙ පරණ ළමයෙක් අතින් වුණානං කොහෙත්ම සමාව දෙන්න බැරි වැරැද්දක්.ඒත් පුරුපුරු අලුත් නිසා මෑන්ස්ට පොඩි චාන්ස් එකක් දෙන්න අයියල තීරණය කළාලු.ඒ අනුව මෑන්ස්ට ඔප්ෂන් දෙකක් දුන්නලු

1. අයියලාට චිකන් ෆ්‍රයිඩ් රයිස් අරන් දීම
2. ගුටි කෑම

ඔය දෙකෙන් පුරුපුරු තෝරගත්තෙ ඉතිං අඩු වියදමකින් ෂේප් වෙන්න පුලුවන් වැඩේලු.ඒ කියන්නෙ ගුටි කෑම.ගුටි කෑමටත් සම්මත ප්‍රොටොකෝල් එකක් තියනවා.ප්‍රධාන දේ තමයි ගහන්නෙ කම්මුලට.ඒ මදිවට ගුටි කද්දි කන මනුස්සයා කෙලින් හිටගෙන අත් දෙක පිටිපස්සට දාගෙන ඉන්නත් ඕනෙලු.ඉතිං ටික වෙලාවකින්

චට...පට...
චට...පට...චට...පට...

සද්දෙකින් රෑ ආකාසෙ නිහඩ ගතිය නැතිවෙලා ගියාලු.
පුරුපුරුත් තුන්දෙනාගෙන්ම හොදට ගුටි කාල වැනි වැනී ඩෝම් එකට ගියාලු.

ටික වෙලාවකින් ජුවාන්, සලා, අමන්දානන්ද, පොන්ටින් ඇතුලු සෙට් එකකට 11 වසරෙ ඩෝම් එක ළගට එන්න කියල පණිවිඩයක් ආවලු.ටික වෙලාවකින් උන් සෙට් එකත් එනවලු කම්මුල් ටික රතු කරගෙන.බැලින්නං පුරුපුරුට ටේබල් මැනර්ස් ඉගැන්නුවෙ නෑ කියල ඒ සෙට් එකටත් අම්බානට බැස්ටිය දිල...

ප.ලි - ඔය කම්මුලට ගහන සිද්දි හොස්ටල් එකේ කොටිය සර්ට හොරෙන් සිද්ද කරපුවා.කවුරු හරි ළමයෙක්ට ගැහුව කියල කොටිය සර් දැනගත්තොත් ගහපු එකා එදාට ඉවරයි.ඒත් සීනියර්ස්ලට තිබුන බය හින්ද ඔය සිද්දි ගුටිකන මනුස්පයො අතින් එච්චර ලීක් වුණේ නෑලු.කොහොම හරි ගහන-ගුටිකන සංස්කෘතිය දැන්නං හොස්ටල් එකෙන් නැති වෙලා කියල තමයි ආරංචිය.