අඹ යාලුවෝ

Showing posts with label crush. Show all posts
Showing posts with label crush. Show all posts

Tuesday, September 18, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය)



අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ලෙසටම නැගලා යද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන දවසේ අපේ පූසො කට්ටිය පුරුපුරුලාගෙ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් බල බලා හිටියේ. එක පාරටම මාකට්ගෙ ෆෝන් එක රිංග් වුණේ අනිත් පූසන්ට අම්බානට ෆ්ලවර් ජම්ප් කරලා. මොකද මේ වෙද්දි කට්ටිය සෙට් වෙලා මොකක් හරි වැඩක් කරද්දි මාකට්ට නිතරම නිසංසලාගෙන් කෝල් එන එක අනිත් පූසන්ට වදයක් වෙලයි තිබුනේ. කොහොමහරි ඉතිං අනිත් පූසන්ගේ ඇනුම්පද මැද්දෙන් කෝල් එක ආන්සර් කරපු මාලුකට්ටාගෙ මූණෙ පෙම් පාට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඉතිං මෑන්ස් මොකක්හරි ජලබරි කේස් එකකට ෆේස් කරලා ඉන්න වග අනිත් පූසෝ තේරුම් ගත්තලු. පස්සෙ බැලින්නං මෑන්ස්ට ඇවිත් තිබුනේ මේ වගේ කෝල් එකක්. හැබැයි ඒ නිසංසලාගෙන්නම් නෙවෙයි.

අමුත්තා :- මේ මිස්ටර් මාලුකට්ටාද කතා කරන්නේ?

මාකට් :- ඔව්! මාලුකට්ටා තමයි. කවුද මේ කතා කරන්නේ?

අමුත්තා :- මම මේ අහවල් දිස්ත්‍රික්කය බාර එස්. එස්. පී කතා කරන්නේ. මට තමාගෙන් වැදගත් තොරතුරු වගයක් දැනගන්න තියෙනවා.

මාකට් :- හික් හික්!! මේ ***, විහිලු නොකර කියපං උඹ කවුද කතා කරන්නේ කියලා. ඇත්ත කියපං, උඹ වේයන්ගොඩයා නේද?

අමුත්තා :- තමුසෙට මේක විහිලුවක් වගේද තේරෙන්නෙ? වැඩිය ආවොත් මම තමාව දානවා කූඩුවෙ!!!

මාකට් :- (අම්බානට බයවී) මොනවද මගෙන් දැනගන්න ඕනෙ?

අමුත්තා :- තමන් නිසංසලා දිසානායක කියන තරුණියව අඳුරනවා නේද?

මාකට් :- (තවත් පුදුම වී) ඔව්! ඇයි නිසංසලාට කරදරයක්ද?

අමුත්තා :- කරදරයක්ද? තමා වහාම නිසංසලාව තියන් ඉන්න තැනකින් පොලිසියට එක්ක එනවා හොඳයි.

මාකට් :- මොකක්? මම දන්නෙ නෑ නිසංසලා ඉන්න තැන. එයා මගෙ යාලුවෙක් විතරයි.

අමුත්තා :- එතකොට ඊයෙ හවස හයයි තිහට නිසංසලා තමාට කෝල් එකක් ගත්තෙ නැද්ද?

මාකට් :- ගත්තා. ඒත් ඊට පස්සෙනං එයා මට කෝල් කළේ නෑ.

අමුත්තා :- හොඳයි අපි ඒකෙ ඇත්ත නැත්ත දැනගන්නං. අද හවස පූස්ගම පොලිසියට ඇවිත් මාව මීට් වෙන්න. මම අද පූස්ගමට එන්නං තමාව මුණගැහෙන්න.

කොහොමහරි ඉතිං කෝල් එක ඉවර වෙද්දි අපේ මාකට්ගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන ගානට වෙව්ලනවා. ඇයි දෙයියනේ මේ කොහෙන් කඩා පාත් වෙච්ච මරාලයක්ද? ඒ  වගේම මේ වෙද්දි අපේ යාලුවො කස්ටියත් නොඉවසිල්ලෙන් උන්නේ මාකට්ගෙන් සිද්ද වෙච්ච දේ ගැන දැනගන්න. ඉතිං මැන්ස්ට සිද්ද වුණාලු වෙච්ච දේ අනිත් පූසන්ටත් එවේලෙම කියන්න. 

මේ වෙද්දි අපේ සෙට් එකේ කාටවත් පුලුවන්කමක් තිබුනේ නෑ සිද්ද වෙලා තියෙන දේ හරියටම පැහැදිලි කරන්න. මාකට් දිගින් දිගටම නිසංසලාගෙ ෆෝන් එකට කෝල් ගන්න හැදුවත් ඒ ෆෝන් එක ඕෆ් කරලයි තිබුනේ. කොහොමහරි අන්තිමට අපේ යාලුවන්ට තේරුම් ගියේ නිසංසලා ගෙදර නැති බවත්, ඒ වගකීම ගිහින් තියෙන්නේ මාලුකට්ටාගෙ පිටින් වගත්. කොහොම වුණත් මාකට් දිගින් දිගටම කිව්වේ නිංසසලා මේ මොහොතේ ඉන්නෙ කොහෙද කියලා මෑන්ස් දන්නෙ නෑ කියලා.

ඔය විදිහට තවත් පැය බාගයක් ඇතුලත මාකට්ට තවත් ෆෝන් කෝල්ස් කීපයක්ම ලැබුනලු. එක කෝල් එකක් ආවෙ සී.අයි.ඩී එකෙන්. තව කෝල් එකක් ආවෙ පූස්ගම ඕ.අයි.සී ගෙන්. කොහොමහරි මේ කෝල් වලින් කියවුණේ මාකට්ට පොලිසියට එන්න අවශ්‍ය නැති බවයි, පහුවදා පොලිසියෙන් ඇවිත් ගම්පහදි මාකට්ව හම්බවෙන බවයිලු. ඒ වගේම මේ ඇමතුම් වලින් පූසන්ට ලැබුනු තොරතුරු වලට අනුව නිසංසලා කොල්ලෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින්. ඒ වගේම එයා පැනලා යන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නෙත් මාකට්ට. ඒක තමයි පොලිසිය අපේ පූසාව මේ ගැන මුලින්ම සැක කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා නිසංසලා පැනලා ගිහින් තියෙන්නේ රයන් එක්ක කියලා.

ඉතිං තමන්ව සීන් එකට සැක නෑ කියලා දැනගත්තාට පස්සේ තමයි මාකට්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මේ සිද්දිය ගැන පුරුපුරුටයි, ඤාව්වාටයි, උපාසකටයි තිබුනේ බරපතල සැකයක්. මොකද මේ වගේ චූටි කේස් එකකට පොලිසියේ උසස් තැන් වලින් බැහැපු එකයි, සිද්දිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වල තිබුන කාර්යක්ෂම බවයි සාමාන්‍යයෙන් අපිට ලංකාවෙදි දැකගන්න අමාරු දේවල්. ඉතිං අපේ පූසන්ට කුතුහලයක් ඇතිවුණාලු නිසංසලා කාගෙ කවුද කියලා මාකට්ගෙන් දැනගන්න.

පුරුපුරු :- යකෝ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් පැනලා ගියානං පැය විසිහතරක් විතර ගිහින් තමයි හොයන්න ගන්නේ. ඇත්ත කියපං මාකට්, කවුද මේ නිසංසලා? 

උපාසක :- ඒක තමයි, ඈ බොල උඹ මැණික් මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද ගියෙ, නැත්තං ඇමති කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද?

මාකට් :- මම දන්නෙ නෑ බං. අපි කවදාවත් ඒකිගෙ පවුලෙ විස්තර ගැන කතාබහ කරලා නෑ. මට තරහා මේකිට මට නිකංවත් කියන්න බැරිවුණානෙ පැනලා යන්න ඉන්නෙ කියලා. නැත්තං මම උදව් නොකර ඉන්නෙ නෑනෙ.

මී කතුරා :- පලයං *** යන්න. තෝ එහෙනං පැනලා යන්න උදව් කරන්න ගිහින් මෙලහට පොලිස් කූඩුවෙ.

කොහොමහරි ඉතිං මාකට් පහුවදා ගම්පහ ක්ලාස් ගිහින් එනගමන් පොලිස් නිළධාරියාවත් මුණගැහිලා තිබුනලු. ඒ වගේම නිසංසලාගෙ අයියත් එතනට ඇවිත් තිබුනලු. බලාගෙන යද්දි පොලිස් නිළධාරියා අයියගේ හොඳ යාලුවෙක්. ඉතිං එදා හවස මාකට් එනකං අනිත් පූසො නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ විස්තරේ දැනගන්න.

මාකට් :- මචංලා උඹලා දන්නවද නිශාන් දිසානායක කියලා ක්‍රිකටර් කෙනෙක්ව? එහෙම එකෙක් ගැන මමනං අහලා නෑ.

මේක ඇහිච්ච ගමන් උපාසකගේ කටින් පිටවුණේ අසභ්‍ය වචන මාලාවක්. මොකද නිශාන් දිසානායක කියන්නේ ඒ වෙද්දි සිලෝන් ටීම් ගහපු ප්‍රබල ක්‍රීඩකයෙක්. කොහොම වුණත් අරවින්ද ද සිල්වා කියන්නේ කවුද කියලා නොදැන හිටපු මාකට් නිශාන් දිසානායක ගැන දැන නොහිටිය එක ගැන පුරුපුරුනං පුදුම වුණේ නෑ. බැලින්නං නිශාන් දිසානායක තමයි නිසංසලාගේ අයියා.

මේ වෙද්දිත් නිසංසලාව කාටවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං නිශානුත් ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා තමන්ගෙ නංගිව හොයන්න ෆුල්ම විදිහට ගේමට බැහැලා හිටියේ. ගොඩක් දුරට මේ හෙවිල්ල ෆෝකස් වෙලා තිබුනේ රයන්ගෙ ගෙවල් තියෙන බවට නිසංසලා මාකට්ට කියලා තිබුනු නුගේගොඩ පැත්තෙලු. කොහොමහරි ඉතිං නිසංසලාව හොයන වැඩේට මාකට්ටත් එන්නයි කියලා නිශාන් දිසානායක ආරාධනා කරලා තිබුනලු. මාලුකට්ටාත් ඒ ඉන්විටේෂන් එක බාර අරගෙන තිබුනේ ඉතසිතින්. මේ කතාව අහපු ඤාව්වාටයි, පුරුපුරුටයිත් වැඩේට ජොයින් වෙන්න ඕනෙ වුණත් නිශාන් මාකට්ට කියලා තිබුනේ මේ සිද්දිය ගැන කාටවත් කියන්න එපා කියලා.

කොහොමහරි ඉතිං අන්තිමට දවස් කීපෙකට පස්සේ නිසංසලා ඉන්න තැන නිශාන් හොයාගෙන තිබුනා. මෑන්ස් ඊටපස්සෙ කරලා තිබුනේ පොලිසියත් එක්ක ගිහින් නිසංසලාව ගෙදර එක්කගෙන එන එක. මේ ගමනට සහභාගි වෙන්න අපේ මාලුකට්ටාත් අමතක කළේ නෑ. බලාගෙන යද්දි නිසංසලා රයන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ අනුරාධපුරේටත් එහා තියෙන දුෂ්කර ගමකට. මොකද බැලින්නං රයන්ගේ ගම නුගේගොඩ නෙවෙයි, අනුරාධපුරේ පැත්තෙලු. ඒ වගේම රයන් කියන නමත් බොරු නමක් කියලයි පස්සේ ආරංචි වුණේ.

කොහොමහරි ඉතිං මේ සිද්දියෙදි මාකට් දක්වපු සහය වෙනුවෙන් නිශාන් දිසානායක මාකට්ට සෑහෙන්න ස්තුති කරලා තිබුනා. මාකට්නං කිව්වේ නිශාන්ගෙ සැප වාහනේ යන්න ලැබිච්ච එකම මෑන්ස්ට සැහෙන දෙයක් කියලා. නිශාන් මාකට්ට කියපු අන්තිම වාක්‍යය මතක් කර කර අපේ පූසො සෙට් එක සෑහෙන කල් හිනා වුණා.

“මේකිට පිස්සුද කොහෙද මල්ලි! අනුරාධපුරේ කොහෙද රයන්ලා?“

කොහොමහරි ඊටපස්සෙ මාලුකට්ටාගෙයි නිසංසලාගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් එහෙමම නතරවුණා. ඒ වගේම මාකට් අලුත් පුරුද්දකට ඇබ්බැහි වුණා. ඒ තමයි රී ලෝඩ් පොත්වල ෆොටෝ ගහගෙන ඇවිත් ඒවයෙ තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරන එක. මේ ගොඩක් කෝල් අසාර්ථක වුණත් මෑන්ස්ට වැඩේ වැඩකරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි. ඉතිං ඔය විදිහට තමයි අපේ මාකට් මෑන්ස් වැටෙන්න ගිය ලෝක අමාරුවකින් නූලෙන් බේරුනේ.

ප.ලි - නිශාන් දිසානායක යනු බොරු නමකි.
ප.ප.ලි - නෝ ඔෆෙන්ස් ටු අනුරාධපුර කස්ටියට

Saturday, September 15, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය


ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.

මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට අමතරව ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ, එක පාරක් කෙල්ලෙක් හින්දා ඒ ලෙවල් ඇනගත්තු මාලුකට්ටා තමන්ටම පොරොන්දු වෙලයි හිටියේ දෙවෙනි පාර ඒ ලෙවල් කරද්දිනං අඩුගානෙ ගවුමක් දිහාවත් බලන්නෙ නෑ කියලා.

ඉතිං මේ දවස්වල රිවිෂන් ක්ලාස් ඉවර වුණාට පස්සේ උපාසක, ඤාව්වා සහ මාලුකට්ටා බස් එකේ ගෙදර ආවෙ එකටමයි. ඒ වගේම සමහර දවස්වලට එක එක වැඩ වලට ගම්පහට ආපු පුරුපුරුත් මේ කට්ටියට එකතු වෙනවා. ඉතිං ඔය දවස්වල තමයි මේ කියන සිද්දියත් වුණේ.

එක දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මාකට් දැක්කලු බොහොම ලස්සන, හුරුබුහුටි ගෑනු දැරිවියෙක්. එහෙමත් නැත්තං පැංචාවියක්. අර කතාවක් තියෙනවා නොවැ හැට පැන්නත් වඳුරා බිමින් යන්නෙ නැතෙයි කියලා. ඉතිං අපේ මාලුකට්ටාත් චාටර්මාලිගෙ කේස් එකෙන් කොච්චර බැට කෑවත් මේ ගෑනු ළමයාව දැක්කාට පස්සේ ඒ ඔක්කොම අමතක වුණාලු. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ අපේ යාලුවන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

දැන් ඉතිං මාලුකට්ටා අපේ පූසො සෙට් එකත් එකට එකතු කරගෙන මේ ගෑනු ළමයා ගැන බැක්ග්‍රවුන්ඩ් සර්ච් කරනවලු. ඒත් ඉතිං කොච්චර රහස් මෙහෙයුම් කළත් අපේ යාලුවන්ට නෙවෙයි මේ ළමයා ගැන දන්න එක්කෙනෙක්වත් හොයාගන්න පුලුවන් වුණේ. ඒ මදිවාට මෙයා ක්ලාස් එකේ හිටියෙත් තනියෙන්මයි. ඉතිං අන්තිමට පූස් බුද්ධි බලකාය තීරනය කළාලු මේ ළමයා කොහේ හරි පිට පළාතකින් ගම්පහ ක්ලාස් යන්න ආපු කෙනෙක් කියලා. ඒත් ඉතිං පූසො කියන්නේ ගේමක් ලේසියෙන් අතාරින ජාතියෙ ඩයල් නෙවෙයි නොවැ! ඉතිං ඊටපස්සෙ මාලුකට්ටා ඇතුලු පූසො පුරුදු වුණාලු ක්ලාස් ඉවරවෙලා මේ ගෑනු ළමයාව ෆලෝ කරන්න.

දවසක් දෙකක් ඔහොම ෆලෝ කරද්දි මාලුකට්ටාට දැනගන්න ලැබුනලු මේ ගෑනු ළමයා ක්ලාස් ඉවරවෙලා යන්නේ ගම්පහ-කොළඹ බස් එකේ කියලා. ඒත් ඉතිං විශේෂම සිද්දිය වුණේ තුන්වෙනි දවසෙලු. මේ කියන දවසෙ ක්ලාස් ඉවරවෙලා මාලුකට්ටායි, උපාසකයි තමන්ගේ සීක්‍රට් මිෂන් එකේ නිරත වුණාලු. ඔය අතරෙ තමයි උපාසක දැක්කේ මේ ළමයා කොමියුනිකේෂන් එකකට ගොඩ වදිනවා. ඕක දැකපු උපාසකට පූස් නුවණ පහළ වුණාලු.

සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො කොමියුනිකේෂන් වලට ගොඩ වදින්නේ රී ලෝඩ් දාන්න. එතකොට තමන්ගෙ නම්බර් එක පොතක ලියන්න වෙනවා. ඉතිං පූසන්ටත් ඒ වෙලාවට එතනට කිට්ටු කරන්න පුලුවන්නං ඔය නම්බර් එක බලාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඉතිං ඔය අයිඩියා එක උපාසක මාලුකට්ටාට කිව්වාම මෑන්සුත් වැඩේට කැමති වුණේ වන් ෆුට් ස්ටයිල් එකෙන්. කොහොමහරි පූසො කඩේ ඇතුලට ගිහින් බැලින්නම් හිතපු වැඩේ හරි. අර දැරිවි පොතක් දිග ඇරගෙන තමන්ගෙ නම්බර් එක ඒකෙ කුරුටු ගානවා. ඉතිං එයා යනකං හිටපු පූසො දෙන්නත් වැඩේට එන්ටර් වුණාලු.

මාලුකට්ටා තමන්ගෙ පර්ස් එක හූරලා හොයාගත්ත රුපියල් පනහක් අරගෙන කළේ තමනුත් රී ලෝඩ් එකක් දාපු එක. මෑන්ස් නම්බර් එක ලියද්දි උපාසක කළේ කලින් ලියපු අර ගෑනු ළමයාගෙ නම්බර් එක හිතේ ලියාගන්න එක. කොහොමහරි ඉතිං ඔය විදිහට තමයි ගෑනු ළමයාගේ ෆෝන් නම්බර් එක මාලුකට්ටා අතට ආවේ. ඒත් ඉතිං ඊටපස්සේ මොකද කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් මෑන්ස්ට තිබුනේ නෑ. ඉතිං එදා හවස පූසො සෙට් එකම එකතු වෙලා කතා කළාලු මේ සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකද්ද කියලා.

මේ වෙද්දි මාලුකට්ටා ගෑනු ළමයාට බැල්මට් එක දාගෙන හිටියත් ඒ ඇත්තිට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ මාකට් එයාට ට්‍රයි කියලා. ඉතිං එයාට යාලුවෙක් විදිහටවත්, අඳුරන කෙනෙක් විදිහටවත් කෝල් කරන්න අපේ පූසාට පුලුවන්කමක් තිබුනේ නෑ. අන්තිමට ඉතිං මාලුකට්ටාගෙ තීරණය වුණේ රෝන්ග් නම්බර් එකක් වගේ බොරුවට මේ ගෑනු ළමයාට කෝල් එකක් දීලා බලන්න. ඇත්තටම ඔය ඇප්‍රෝච් එක වැදගත් ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් එච්චර සුදුසු එකක් නෙවෙයි කියලා අනිත් පූසො යෝජනා කළත් මාකට් නෙවෙයි මෑන්ස්ගෙ තීරණේ වෙනස් කළේ. පුරුපුරුයි, ඤාව්වායි හිතුවේ හොඳම වැඩේ කෙළින්ම ගිහින් මේ ළමයාත් එක්ක කතා කරන එක කියලා. ඒත් මාලුකට්ටාට ඕනෙ වුණේ එදාම ඒ කෝල් එක ගන්න.

ඉතිං එදා හවස පූසො කට්ටිය විසිරිලා ගියේ මාලුකට්ටා කරන්න හදන වැඩේ සාර්ථක නොවෙන වගට සෑහෙන දුරට හිතේ ෂුවර් එකක් තියාගෙන. ඒත් පහුවදා උදේ අපේ පුරුපුරුගෙ කන වැකුනේ කොහෙත්ම බලාපොරොත්තු නොවුනු ආරංචියක්. ඒ මෑන්ස්ට ඤාව්වා ගත්ත කෝල් එකකින්.

ඤාව්වා - අඩේ පුරු, උඹට ආරංචිද සීන් එක?

පුරුපුරු - මොකද්ද බං? අරකි මාකට්ට බැනලද?

ඤාව්වා - නෑ යකෝ! ඒකිගෙ හොඳම යාලුවා දැන් මාකට්ලු. හික් හික්!!

පුරුපුරු - නෑ!!! 

ඤාව්වා - නෑ නෙවෙයි බං ඔව්...ඒකිගෙ නම නිසංසලාලු.

කොහොමහරි අන්තිමට බැලින්නං සිද්දවෙලා තියෙන්නෙ මේකයි. මාලුකට්ටා නිසංසලාට කියපු විදියටම කෝල් එකක් අරගෙන තියෙනවා. ඒ වැරදීමකින් ගිය කෝල් එකක් වගේ. කොහොමහරි මෑන්ස් ඊටපස්සේ නිසංසලා එක්ක කතා කරලා සෑහෙන්න ෆිට් වෙලා තියෙනවා. තමනුත් නිසංසලාගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කිව්වාම ඒ ෆිට් එක තවත් වැඩි වුණා කියලයි මාලුකට්ටානං කිව්වේ. කොහොමහරි ඉතිං තමන්ගෙ ක්ලාස් එකේම ඉන්න කොල්ලෙක් තමන්ට වැරදීමකින් කෝල් එකක් ගත්තා කියලා විශ්වාස කරන්න තරම් නිසංසලාට සුපිරි බුද්ධියක් තිබුනාලු.

ඉතිං ඊටපස්සේ මේ දෙන්නා කළේ අනිත් දවසේ ක්ලාස් එක ඉවරවෙලා හම්බවෙච්ච එක. ඔය විදියට සති කීපයක් යද්දි සුපුරුදු පරිදි නිසංසලා මාලුකට්ටාගේ, මාලුකට්ටා නිසංසලාගේත් හොඳම යාලුවො වෙලා තිබුනා. අනිත් පූසන්ට මාලුකට්ටා ගැන ආරංචි හොයාගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුණා. ඒ වගේම නිසංසලා අපේ පූසො හිතපු විදිහටම ගම්පහ ප්‍රදේශයෙ කෙනෙක් නෙවෙයි. 

කොහොමහරි පස්සෙ ආරංචි වෙච්ච විදිහට ඒ වෙද්දි නිසංසලාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. මෑන්ස්ගෙ නම රයන්. ඒ හින්දා තමයි මාලුකට්ටාට දිගටම නිසංසලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් රෝල් එක රඟපාන්න වුණේ. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් මාලුකට්ටාට කවදාවත් නොහිතපු විදිහේ කෝල් එකක් ආවේ. ඊටපස්සේ වෙච්ච සිද්දිය වෙනම පෝස්ට් එකකින් කියන්න තරම් වටින එකක්. ඉතිං යාලුවනේ ඊළඟ ලිපියෙන් බලමු මාලුකට්ටායි, නිසංසලාගෙයි අතරෙ තිබුන යාලුකමට මොකද වුණේ කියලා...!!!

ප.ලි :- සිංහල බ්ලොග් කියවන අයට මීවනපලානේ ජයරත්න කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒත් ඉතිං බ්ලොග් ගඩොල් කියවන අය අතරේ සාමාන්‍යයෙන් බ්ලොග් කියවන්න පුරුදු නොවුනු ගොඩක් කස්ටිය නිසා මෑන්ස්ගේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න හිතුනා. ඇත්තටම වර්ගපූර්ණිකාව කියන්නේ කියවලා පට්ට ෆන් එකක් ගන්න පුලුවන් බ්ලොග් එකක්. ටැබූ සබ්ජෙක්ට්ස් වලට පස්සේ (හෙළුවෙක් විදිහට) මගේ හිතට තදින්ම කා වැදිච්ච බ්ලොග් එක කිව්වොත් නිවැරදියි. ඔයාලත් තාම වර්ගපූර්ණිකාවට ගොඩ වැදිලා නැත්තං මෙතනින් ගිහින් එන්න. හැබැයි ෆුල් සීරියස් ඩයල් වලටනං මේක එච්චරම අල්ලලා යන එකක් නෑ.

ප.ප.ලි - පුරුපුරු දැන් පදිංචි වෙලා ඉන්නේ පිටරටක. කකාගෙ බාසාවෙන් කියනවානං පස්තාච්චි කුපාඩියක් කරන්න ලංකාවෙන් යන්න වුණා. මේ රටට ආපු හැටි වෙනම ලිපියකින් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

Sunday, May 9, 2010

ස්කූල් වෑන් එක 2 - අප්සට් මිතුදමක ඇරඹුම

මේ දවස්වල තියන අර ජරා වෛරස් උණ මටත් හැදුන නොවැ. ඉතින් ඉක්මනට ‍පල කරනව කියල හිතාගෙන උන්නු මේ කතා‍වෙ දෙවෙනි කොටස පල කරන එක දවස් දෙකකින් පරක්කු වුණා. ඉතින් යාළුවනේ මට ඒකට සමාවෙන්න හොදේ!!


පස්සෙ තමයිලු දැනගත්තෙ ඔය සීට් එකේ යන එක පුරුද්දක් කරගත්තු කොල්ලෙක් හිටිය වග. එදා මෑන්ස් ඉස්කෝලෙ ගිහින් නෑ. නම ඤාව්වලු. දැන් හෙට ඤාව්ව ආවම පුරුපුරු කොහෙද වාඩි වෙන්නෙ?? ඤාව්ව කියන්නෙ මොනවගේ ඩයල් එකක්ද?? මොකද උනේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද!
ඔන්න ඉතිං සුපුරුදු විදිහට ඤාව්ව පහුවදා උදේම ස්කූල් වෑන් එකට නැග්ගලු. පුරුපුරු නගින්නෙ ඊට පස්සෙ. දැන් ඤාව්ව වෙනද විදිහටම ලකී අක්ක ළග ඉදගන්න ලෑස්තිය.
ලකී - ඤාව්ව මල්ලි අද පිටිපස්සෙ සීට් එකට යන්න.

ඤාව්ව - ඒ මොකද අක්කෙ?? මගෙ සීට් එක මේකනෙ?

ලකී - ඊයෙ පුරුපුරු කියල අලුත් මල්ලි කෙනෙක් වෑන් එකට ආවනෙ! දැන් එයා තමයි මෙතන වාඩි වෙන්නෙ.

බලාගෙන ගියාම වෑන් එකේ අක්කල සෙට් එකට පුරුපුරුව හොදට හිතට අල්ලලලු. කට්ටිය ඒකමතිකව තීරණය කරල තියනව
ඤාව්වට ස්ථාන මාරුවක් ලබාදීල පුරුපුරුව දිගටම ගෑනු සීට් එකේ තියාගන්න. ටික වෙලාවකින් ඉතිං පුරුපුරුත් වෑන් එකට නැග්ගලු. අක්කල සෙට් එක පුරුපුරුව තමන්ගෙ සීට් එකට ගත්තලු.

දැන් ඉතිං
ඤාව්වට මාරම අප්සට් එකලු. මෙච්චර කල් ගත කරපු සුන්දර ස්කූල් වෑන් ලයිෆ් එක චාටර් කරල දාන්න පුරුපුරු කියල මරාලයක් සෙට් උනානෙ ඉතිං! ඒ මදිවට පිටිපස්සෙ උන්නු මරියකඩේ කොල්ලො ටික ඤාව්වව තවත් අවුස්සනවලු

"ආපෝ! ලැජ්ජ නැද්ද බං? උඹ කෙල්ලො ඉස්සරහ චාටර් උනා නේද?"


"උඹ ලොකුනාමේ නේද ඉස්කෝලෙ යන්නෙ? කුරුදුවත්තෙ එව්වොන්ට උඹ සෙකන්ඩ් වෙනවද??"

දැන්නං
ඤාව්වගෙ හොද ගානට මොරාල් අප් වෙලාලු තියෙන්නෙ. ඉතිං මේ අනවසර සංක්‍රමණිකයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ඕනෙ කියල ඤාව්වට හිතුනලු.
ඤාව්වා - අඩෝ! අලුත් කොල්ලා, මොකද්ද උඹේ නම??

පුරුපුරු - මගෙ නම පුරුපුරු. උඹ
ඤාව්ව නේද?

ඤාව්වා - ඔව් ඔව්!! උඹ මං ගැන අහල ඇතිනෙ! මට තමයි පූස්ගම ඤාව්ව කියන්නෙ.
(දැන් ඤාව්වා ෆුල් මැර ටෝක්ස් දෙනවලු)

පුරුපුරු - ඇත්තද?


ඤාව්වා - උඹ දන්නවද උඹ ඔය වාඩිවෙලා ඉන්නෙ මගෙ සීට් එකේ කියල?

පුරුපුරු - ඇයි මේ සීට් එක උඹට ලියල දීලද තියෙන්නෙ??
ඒ කතාවටනං ඤාව්වාට අසූහාරදාහට නැග්ගලු. අලුතින් වෑන් එකට ඇවිල්ල, ප්ලේස් එකත් ආක්‍රමණය කරල, ඒ මදිවට දැන් පොර ටෝක්සුත් දෙන්ඩ????? එව්වනං කොහෙද ඤාව්වත් එක්ක.
ඤාව්වා - අඩෝ උඹව ගෙම්බ ගහනව වගේ පොළොවෙ ගහනව...%$%*(&(*$$$%$@$$%
අද හවස වෑන් එක ඇතුලෙ..මොකද කියන්නෙ??

පුරුපුරු - හරි, මමත් ලෑස්තියි.

දැන් කට්ටියම ෆුල් හොල්මන්ලු. අක්කල
කට්ටියත් බය වෙලාලු. පුරුපුරුත් ටිකක් විතර සැලිල ගිහින්. ඔය කාලෙ පුරුපුරු 8 වසරෙ වුණාට 10-11 වසරෙ ඇගක්ලු තිබුණෙ. ඉතිං පොඩි සයිස් එකෙක් ලොකු සයිස් එකෙක් ඉස්සරහට ඇවිත් බය නැතුව සද්ද දාද්දි ලොකු සයිස් එකාටත් බය හිතෙනවනෙ. (පොඩි වුණාට වැඩ කොහොමද දන්නෙ නෑනෙ)

කොහොමෙන් කොහොම හරි ඔන්න
ඉස්කෝලෙත් ඉවර වුණාලු. කුරුදුවත්තෙ, තුම්මුල්ලෙ සහ ලොකුනාමේ කොල්ලො ටික ඔක්කොම වෑන් එකට නගින්න එන්නෙ තුම්මුල්ලෙ විජිතයාපා පොත් කඩේ ළගට. ඔන්න පුරුපුරුයි ඤාව්වයි දෙන්නත් දැන් ඔතන ඉන්නවලු. දෙන්න දැන් හොර පූසො වගේ හොරෙන් හොරෙන් බලනවලු.

ඉස්සෙල්ල
මොරාල් අප් වෙලා කෑ ගැහුවට මොකද, දැන්නං ඤාව්වගෙ මොරාල් එක බිංදුවටම බැහැලලු. චැලේන්ජ් කළා වගේද මේ යෝදයගෙන් ගුටිකන්න ගියහම. ඤාව්ව ටික ටික පුරුපුරුට කිට්ටු කළාලු.
ඤාව්වා - මචං, මම උදේ කියපුව එච්චර ගණන් ගන්න එපා.

පුරුපුරු - අවුලක් නෑ බං! ඒ වුණාට උඹ
උදේ චැලේන්ජ් කරපු විදිහට මට උඹට එකක් දෙකක් ගහන්නම වෙනව. නැත්තං මමනෙ චාටර් වෙන්නෙ.

ඤාව්වා - උඹ මචං එහෙනං ගහනව වගේ බොරුවට රගපාපං.

පුරුපුරු - බලමුකො.

ඔය අතරෙ ස්කූල් වෑන් එකත් ආවලු. ටික වෙලාවකින් කවුරුත් පුල පුලා බලා සිටි මහා තරගය -
පුරුපුරුගේ සහ
ඤාව්වගේ ගහගැනීම පටන් ගත්තා. දැන් අපේ යාළුවො දෙන්නත් කලින් කතා කරගත්ත විදිහට රංගනයෙ යෙදෙනවලු. (ඇත්තම රෙස්ලින් මැච් වලත් කෙරෙන්නෙ ඔය ටිකමනෙ!) ඤාව්වටනං ටිකක් රිදෙන්න වැදුන තමයි. ඒත් වෙන්න තිබුණු තරං තත්වෙ දරුණු වුනේ නෑ.

කොහොම හරි ඔය සිද්දියෙන් පස්සෙ අපේ යාළුවො දෙන්න ගොඩක් ෆිට් වුණාලු. අප්සට් මිතුදමක ඇරඹුම සිද්දවුණේ ඔන්න ඔහොමයි.

Wednesday, May 5, 2010

ස්කූල් වෑන් එක


අද අපි කියන්න යන්නෙ ඤාව්වයි පුරුපුරුයි කොහොමද මුලින්ම හම්බවුණේ කියල.

ඔන්න එකෝමත් එක කාලෙක, බොහොම ඉස්සර පුරුපුරුල පදිංචි වෙලා හිටියෙ පූගොඩ පැත්තෙ. එහෙ ඉදලා ඉස්කෝලෙ ගියෙ කොළඹට ගිය පාසැල් වෑන් රථයක. කවුරුත් දන්න බාසාවෙන් කියනවනම් ස්කූල් වෑන් එකක. ඔය දවස්වල පුරුපුරුගෙ තාත්ත වැඩ කරපු තැන සේවක පිරිස ස්ට්‍රයික් කරල මාර ට්‍රයි එකක් දීල සේවා ස්ථානය වහගත්තලු. ඉතින් තවත් පූගොඩ ඉදලා වැඩක් නැති නිසා පුරුපුරුල තීරණය කළාලු පදිංචිය වෙනස් කරල පූස්ගමට පදිංචියට යන්න.

ඔය තීරණයට පුරුපුරුනම් කැමති වුණේම නෑ. මොකද එයාගෙ මුළු ළමා කාලයම අවුරුදු 11ක් ගතකළේ පූගොඩ. ඒත් ඉතිං මොනව කරන්නද? කොහොමහරි ඉතිං තීරණය ක්‍රියාත්මක කළා කියමුකො.

ඔන්න ඉතිං ඒ එක්කම නව සහශ්‍රයත් ලැබුවලු. අලුත් සහශ්‍රයක්, අලුත් ගමක්, අලුත් ගෙදරක් සහ අලුත් ස්කූල් වෑන් එකක්! කොහොමද වැඩේ??

දැන් පුරුපුරුට තියන ලොකුම ගැටලුව අලුත් යාළුවො හොයාගන්න එකලු. උදේ පහමාරට ඉස්කෝලෙට ගෙදරින් ගිහින් ආපහු හවස ගෙදර එන පුරුපුරුට ගමේ කොල්ලො එක්ක සෙට් වෙන එක ටිකක් අමාරු වැඩක් වුණා. ඉතින් ඉස්කෝලෙ යාළුවන්ට අමතරව අලුත් යාළුවො හොයාගන්න ස්කූල් වෑන් එක මරු ස්ථානයක් වෙයි කියල පුරුපුරු හිතුවලු. ඔය හිතුවිල්ලත් එක්කම ඔන්න පළවෙනි දවසෙ වෑන් එකට ගියාලු.

බලන් ගියහම මොන මරුද? මේක නිකං නිදිකුම්බරයන්ගෙ දේවාලයක් වගේනෙ!!

ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව හැමෝම නිකං මැරිල වගේ නිදිලු. මෙලෝ රහක් නෑ. වෑන් එක ටිකක් ප්‍රාණවත් වෙලා ආවෙ හවස් වරුවෙ තමයි.

වෑන් එකේ පුරුපුරුගෙ වයසෙ, ඒ කියන්නෙ 8 වසරෙ කවුරුත් හිටියෙ නෑ. කොල්ලො තමයි ගොඩක් හිටියෙ. මරියකඩේ, තුම්මුල්ලෙ, හැම ඉස්කෝලෙකම කට්ටිය හිටියලු. ගෑනු ළමයි නං ටිකයි හිටියෙ. ඒ අතරින් බහුතරයක් ටෙස්ටියුබ් බාලිකාවෙ. (තරහ වෙන්න එපා එහෙම කිව්වට හොදේ! ඊට වඩා හොද නමක් තියනවනම් කියන්න) ලස්සන ගෑනු ළමයි ගොඩාරියයි. පුරුපුරුට එයාලව දැකල ඉහේ මලක් පිපුන වගේලු!! තරුණ කාලෙ නොවැ...

අනේ! බැලින්නං ඔක්කොම ගෑනු ළමයි අක්කලලු. පුරුපුරුගෙ වයසෙ හරි, ඊට වඩා බාල හරි ගෑනු ළමයි කවුරුත් හිටියෙ නෑලු. ඉතිං පුරුපුරුගෙ සියලුම අහස් මාලිගා පට පට ගාල බිද වැටෙන්න පටන් ගත්තා.

ස්කූල් වෑන් එකේ ගොඩක් හිටියෙ පිරිමි ළමයි නිසා එක පිරිමි ළමයෙක්ට ගෑනු ළමයි එක්ක සීට් එකේ වාඩි වෙන්න වෙනවලු. ඉතින් පුරුපුරු අලුත් නිසා කොල්ලො ටික එකතු වෙලා රැග් එකක් විදිහට එයාව ගෑනු ළමයි එක්ක වාඩි කෙරෙව්වලු. පුරුපුරුත් කියයි එපා කියල!!

පස්සෙ තමයිලු දැනගත්තෙ ඔය සීට් එකේ යන එක පුරුද්දක් කරගත්තු කොල්ලෙක් හිටිය වග. එදා මෑන්ස් ඉස්කෝලෙ ගිහින් නෑ. නම ඤාව්වලු. දැන් හෙට ඤාව්වා ආවම පුරුපුරු කොහෙද වාඩි වෙන්නෙ?? ඤාව්ව කියන්නෙ මොනවගේ ඩයල් එකක්ද?? මොකද උනේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද!