අඹ යාලුවෝ

Showing posts with label cats. Show all posts
Showing posts with label cats. Show all posts

Tuesday, September 18, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය)



අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ලෙසටම නැගලා යද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන දවසේ අපේ පූසො කට්ටිය පුරුපුරුලාගෙ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් බල බලා හිටියේ. එක පාරටම මාකට්ගෙ ෆෝන් එක රිංග් වුණේ අනිත් පූසන්ට අම්බානට ෆ්ලවර් ජම්ප් කරලා. මොකද මේ වෙද්දි කට්ටිය සෙට් වෙලා මොකක් හරි වැඩක් කරද්දි මාකට්ට නිතරම නිසංසලාගෙන් කෝල් එන එක අනිත් පූසන්ට වදයක් වෙලයි තිබුනේ. කොහොමහරි ඉතිං අනිත් පූසන්ගේ ඇනුම්පද මැද්දෙන් කෝල් එක ආන්සර් කරපු මාලුකට්ටාගෙ මූණෙ පෙම් පාට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඉතිං මෑන්ස් මොකක්හරි ජලබරි කේස් එකකට ෆේස් කරලා ඉන්න වග අනිත් පූසෝ තේරුම් ගත්තලු. පස්සෙ බැලින්නං මෑන්ස්ට ඇවිත් තිබුනේ මේ වගේ කෝල් එකක්. හැබැයි ඒ නිසංසලාගෙන්නම් නෙවෙයි.

අමුත්තා :- මේ මිස්ටර් මාලුකට්ටාද කතා කරන්නේ?

මාකට් :- ඔව්! මාලුකට්ටා තමයි. කවුද මේ කතා කරන්නේ?

අමුත්තා :- මම මේ අහවල් දිස්ත්‍රික්කය බාර එස්. එස්. පී කතා කරන්නේ. මට තමාගෙන් වැදගත් තොරතුරු වගයක් දැනගන්න තියෙනවා.

මාකට් :- හික් හික්!! මේ ***, විහිලු නොකර කියපං උඹ කවුද කතා කරන්නේ කියලා. ඇත්ත කියපං, උඹ වේයන්ගොඩයා නේද?

අමුත්තා :- තමුසෙට මේක විහිලුවක් වගේද තේරෙන්නෙ? වැඩිය ආවොත් මම තමාව දානවා කූඩුවෙ!!!

මාකට් :- (අම්බානට බයවී) මොනවද මගෙන් දැනගන්න ඕනෙ?

අමුත්තා :- තමන් නිසංසලා දිසානායක කියන තරුණියව අඳුරනවා නේද?

මාකට් :- (තවත් පුදුම වී) ඔව්! ඇයි නිසංසලාට කරදරයක්ද?

අමුත්තා :- කරදරයක්ද? තමා වහාම නිසංසලාව තියන් ඉන්න තැනකින් පොලිසියට එක්ක එනවා හොඳයි.

මාකට් :- මොකක්? මම දන්නෙ නෑ නිසංසලා ඉන්න තැන. එයා මගෙ යාලුවෙක් විතරයි.

අමුත්තා :- එතකොට ඊයෙ හවස හයයි තිහට නිසංසලා තමාට කෝල් එකක් ගත්තෙ නැද්ද?

මාකට් :- ගත්තා. ඒත් ඊට පස්සෙනං එයා මට කෝල් කළේ නෑ.

අමුත්තා :- හොඳයි අපි ඒකෙ ඇත්ත නැත්ත දැනගන්නං. අද හවස පූස්ගම පොලිසියට ඇවිත් මාව මීට් වෙන්න. මම අද පූස්ගමට එන්නං තමාව මුණගැහෙන්න.

කොහොමහරි ඉතිං කෝල් එක ඉවර වෙද්දි අපේ මාකට්ගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන ගානට වෙව්ලනවා. ඇයි දෙයියනේ මේ කොහෙන් කඩා පාත් වෙච්ච මරාලයක්ද? ඒ  වගේම මේ වෙද්දි අපේ යාලුවො කස්ටියත් නොඉවසිල්ලෙන් උන්නේ මාකට්ගෙන් සිද්ද වෙච්ච දේ ගැන දැනගන්න. ඉතිං මැන්ස්ට සිද්ද වුණාලු වෙච්ච දේ අනිත් පූසන්ටත් එවේලෙම කියන්න. 

මේ වෙද්දි අපේ සෙට් එකේ කාටවත් පුලුවන්කමක් තිබුනේ නෑ සිද්ද වෙලා තියෙන දේ හරියටම පැහැදිලි කරන්න. මාකට් දිගින් දිගටම නිසංසලාගෙ ෆෝන් එකට කෝල් ගන්න හැදුවත් ඒ ෆෝන් එක ඕෆ් කරලයි තිබුනේ. කොහොමහරි අන්තිමට අපේ යාලුවන්ට තේරුම් ගියේ නිසංසලා ගෙදර නැති බවත්, ඒ වගකීම ගිහින් තියෙන්නේ මාලුකට්ටාගෙ පිටින් වගත්. කොහොම වුණත් මාකට් දිගින් දිගටම කිව්වේ නිංසසලා මේ මොහොතේ ඉන්නෙ කොහෙද කියලා මෑන්ස් දන්නෙ නෑ කියලා.

ඔය විදිහට තවත් පැය බාගයක් ඇතුලත මාකට්ට තවත් ෆෝන් කෝල්ස් කීපයක්ම ලැබුනලු. එක කෝල් එකක් ආවෙ සී.අයි.ඩී එකෙන්. තව කෝල් එකක් ආවෙ පූස්ගම ඕ.අයි.සී ගෙන්. කොහොමහරි මේ කෝල් වලින් කියවුණේ මාකට්ට පොලිසියට එන්න අවශ්‍ය නැති බවයි, පහුවදා පොලිසියෙන් ඇවිත් ගම්පහදි මාකට්ව හම්බවෙන බවයිලු. ඒ වගේම මේ ඇමතුම් වලින් පූසන්ට ලැබුනු තොරතුරු වලට අනුව නිසංසලා කොල්ලෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින්. ඒ වගේම එයා පැනලා යන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නෙත් මාකට්ට. ඒක තමයි පොලිසිය අපේ පූසාව මේ ගැන මුලින්ම සැක කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා නිසංසලා පැනලා ගිහින් තියෙන්නේ රයන් එක්ක කියලා.

ඉතිං තමන්ව සීන් එකට සැක නෑ කියලා දැනගත්තාට පස්සේ තමයි මාකට්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මේ සිද්දිය ගැන පුරුපුරුටයි, ඤාව්වාටයි, උපාසකටයි තිබුනේ බරපතල සැකයක්. මොකද මේ වගේ චූටි කේස් එකකට පොලිසියේ උසස් තැන් වලින් බැහැපු එකයි, සිද්දිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වල තිබුන කාර්යක්ෂම බවයි සාමාන්‍යයෙන් අපිට ලංකාවෙදි දැකගන්න අමාරු දේවල්. ඉතිං අපේ පූසන්ට කුතුහලයක් ඇතිවුණාලු නිසංසලා කාගෙ කවුද කියලා මාකට්ගෙන් දැනගන්න.

පුරුපුරු :- යකෝ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් පැනලා ගියානං පැය විසිහතරක් විතර ගිහින් තමයි හොයන්න ගන්නේ. ඇත්ත කියපං මාකට්, කවුද මේ නිසංසලා? 

උපාසක :- ඒක තමයි, ඈ බොල උඹ මැණික් මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද ගියෙ, නැත්තං ඇමති කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද?

මාකට් :- මම දන්නෙ නෑ බං. අපි කවදාවත් ඒකිගෙ පවුලෙ විස්තර ගැන කතාබහ කරලා නෑ. මට තරහා මේකිට මට නිකංවත් කියන්න බැරිවුණානෙ පැනලා යන්න ඉන්නෙ කියලා. නැත්තං මම උදව් නොකර ඉන්නෙ නෑනෙ.

මී කතුරා :- පලයං *** යන්න. තෝ එහෙනං පැනලා යන්න උදව් කරන්න ගිහින් මෙලහට පොලිස් කූඩුවෙ.

කොහොමහරි ඉතිං මාකට් පහුවදා ගම්පහ ක්ලාස් ගිහින් එනගමන් පොලිස් නිළධාරියාවත් මුණගැහිලා තිබුනලු. ඒ වගේම නිසංසලාගෙ අයියත් එතනට ඇවිත් තිබුනලු. බලාගෙන යද්දි පොලිස් නිළධාරියා අයියගේ හොඳ යාලුවෙක්. ඉතිං එදා හවස මාකට් එනකං අනිත් පූසො නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ විස්තරේ දැනගන්න.

මාකට් :- මචංලා උඹලා දන්නවද නිශාන් දිසානායක කියලා ක්‍රිකටර් කෙනෙක්ව? එහෙම එකෙක් ගැන මමනං අහලා නෑ.

මේක ඇහිච්ච ගමන් උපාසකගේ කටින් පිටවුණේ අසභ්‍ය වචන මාලාවක්. මොකද නිශාන් දිසානායක කියන්නේ ඒ වෙද්දි සිලෝන් ටීම් ගහපු ප්‍රබල ක්‍රීඩකයෙක්. කොහොම වුණත් අරවින්ද ද සිල්වා කියන්නේ කවුද කියලා නොදැන හිටපු මාකට් නිශාන් දිසානායක ගැන දැන නොහිටිය එක ගැන පුරුපුරුනං පුදුම වුණේ නෑ. බැලින්නං නිශාන් දිසානායක තමයි නිසංසලාගේ අයියා.

මේ වෙද්දිත් නිසංසලාව කාටවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං නිශානුත් ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා තමන්ගෙ නංගිව හොයන්න ෆුල්ම විදිහට ගේමට බැහැලා හිටියේ. ගොඩක් දුරට මේ හෙවිල්ල ෆෝකස් වෙලා තිබුනේ රයන්ගෙ ගෙවල් තියෙන බවට නිසංසලා මාකට්ට කියලා තිබුනු නුගේගොඩ පැත්තෙලු. කොහොමහරි ඉතිං නිසංසලාව හොයන වැඩේට මාකට්ටත් එන්නයි කියලා නිශාන් දිසානායක ආරාධනා කරලා තිබුනලු. මාලුකට්ටාත් ඒ ඉන්විටේෂන් එක බාර අරගෙන තිබුනේ ඉතසිතින්. මේ කතාව අහපු ඤාව්වාටයි, පුරුපුරුටයිත් වැඩේට ජොයින් වෙන්න ඕනෙ වුණත් නිශාන් මාකට්ට කියලා තිබුනේ මේ සිද්දිය ගැන කාටවත් කියන්න එපා කියලා.

කොහොමහරි ඉතිං අන්තිමට දවස් කීපෙකට පස්සේ නිසංසලා ඉන්න තැන නිශාන් හොයාගෙන තිබුනා. මෑන්ස් ඊටපස්සෙ කරලා තිබුනේ පොලිසියත් එක්ක ගිහින් නිසංසලාව ගෙදර එක්කගෙන එන එක. මේ ගමනට සහභාගි වෙන්න අපේ මාලුකට්ටාත් අමතක කළේ නෑ. බලාගෙන යද්දි නිසංසලා රයන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ අනුරාධපුරේටත් එහා තියෙන දුෂ්කර ගමකට. මොකද බැලින්නං රයන්ගේ ගම නුගේගොඩ නෙවෙයි, අනුරාධපුරේ පැත්තෙලු. ඒ වගේම රයන් කියන නමත් බොරු නමක් කියලයි පස්සේ ආරංචි වුණේ.

කොහොමහරි ඉතිං මේ සිද්දියෙදි මාකට් දක්වපු සහය වෙනුවෙන් නිශාන් දිසානායක මාකට්ට සෑහෙන්න ස්තුති කරලා තිබුනා. මාකට්නං කිව්වේ නිශාන්ගෙ සැප වාහනේ යන්න ලැබිච්ච එකම මෑන්ස්ට සැහෙන දෙයක් කියලා. නිශාන් මාකට්ට කියපු අන්තිම වාක්‍යය මතක් කර කර අපේ පූසො සෙට් එක සෑහෙන කල් හිනා වුණා.

“මේකිට පිස්සුද කොහෙද මල්ලි! අනුරාධපුරේ කොහෙද රයන්ලා?“

කොහොමහරි ඊටපස්සෙ මාලුකට්ටාගෙයි නිසංසලාගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් එහෙමම නතරවුණා. ඒ වගේම මාකට් අලුත් පුරුද්දකට ඇබ්බැහි වුණා. ඒ තමයි රී ලෝඩ් පොත්වල ෆොටෝ ගහගෙන ඇවිත් ඒවයෙ තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරන එක. මේ ගොඩක් කෝල් අසාර්ථක වුණත් මෑන්ස්ට වැඩේ වැඩකරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි. ඉතිං ඔය විදිහට තමයි අපේ මාකට් මෑන්ස් වැටෙන්න ගිය ලෝක අමාරුවකින් නූලෙන් බේරුනේ.

ප.ලි - නිශාන් දිසානායක යනු බොරු නමකි.
ප.ප.ලි - නෝ ඔෆෙන්ස් ටු අනුරාධපුර කස්ටියට

Saturday, September 15, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය


ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.

මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට අමතරව ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ, එක පාරක් කෙල්ලෙක් හින්දා ඒ ලෙවල් ඇනගත්තු මාලුකට්ටා තමන්ටම පොරොන්දු වෙලයි හිටියේ දෙවෙනි පාර ඒ ලෙවල් කරද්දිනං අඩුගානෙ ගවුමක් දිහාවත් බලන්නෙ නෑ කියලා.

ඉතිං මේ දවස්වල රිවිෂන් ක්ලාස් ඉවර වුණාට පස්සේ උපාසක, ඤාව්වා සහ මාලුකට්ටා බස් එකේ ගෙදර ආවෙ එකටමයි. ඒ වගේම සමහර දවස්වලට එක එක වැඩ වලට ගම්පහට ආපු පුරුපුරුත් මේ කට්ටියට එකතු වෙනවා. ඉතිං ඔය දවස්වල තමයි මේ කියන සිද්දියත් වුණේ.

එක දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මාකට් දැක්කලු බොහොම ලස්සන, හුරුබුහුටි ගෑනු දැරිවියෙක්. එහෙමත් නැත්තං පැංචාවියක්. අර කතාවක් තියෙනවා නොවැ හැට පැන්නත් වඳුරා බිමින් යන්නෙ නැතෙයි කියලා. ඉතිං අපේ මාලුකට්ටාත් චාටර්මාලිගෙ කේස් එකෙන් කොච්චර බැට කෑවත් මේ ගෑනු ළමයාව දැක්කාට පස්සේ ඒ ඔක්කොම අමතක වුණාලු. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ අපේ යාලුවන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

දැන් ඉතිං මාලුකට්ටා අපේ පූසො සෙට් එකත් එකට එකතු කරගෙන මේ ගෑනු ළමයා ගැන බැක්ග්‍රවුන්ඩ් සර්ච් කරනවලු. ඒත් ඉතිං කොච්චර රහස් මෙහෙයුම් කළත් අපේ යාලුවන්ට නෙවෙයි මේ ළමයා ගැන දන්න එක්කෙනෙක්වත් හොයාගන්න පුලුවන් වුණේ. ඒ මදිවාට මෙයා ක්ලාස් එකේ හිටියෙත් තනියෙන්මයි. ඉතිං අන්තිමට පූස් බුද්ධි බලකාය තීරනය කළාලු මේ ළමයා කොහේ හරි පිට පළාතකින් ගම්පහ ක්ලාස් යන්න ආපු කෙනෙක් කියලා. ඒත් ඉතිං පූසො කියන්නේ ගේමක් ලේසියෙන් අතාරින ජාතියෙ ඩයල් නෙවෙයි නොවැ! ඉතිං ඊටපස්සෙ මාලුකට්ටා ඇතුලු පූසො පුරුදු වුණාලු ක්ලාස් ඉවරවෙලා මේ ගෑනු ළමයාව ෆලෝ කරන්න.

දවසක් දෙකක් ඔහොම ෆලෝ කරද්දි මාලුකට්ටාට දැනගන්න ලැබුනලු මේ ගෑනු ළමයා ක්ලාස් ඉවරවෙලා යන්නේ ගම්පහ-කොළඹ බස් එකේ කියලා. ඒත් ඉතිං විශේෂම සිද්දිය වුණේ තුන්වෙනි දවසෙලු. මේ කියන දවසෙ ක්ලාස් ඉවරවෙලා මාලුකට්ටායි, උපාසකයි තමන්ගේ සීක්‍රට් මිෂන් එකේ නිරත වුණාලු. ඔය අතරෙ තමයි උපාසක දැක්කේ මේ ළමයා කොමියුනිකේෂන් එකකට ගොඩ වදිනවා. ඕක දැකපු උපාසකට පූස් නුවණ පහළ වුණාලු.

සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො කොමියුනිකේෂන් වලට ගොඩ වදින්නේ රී ලෝඩ් දාන්න. එතකොට තමන්ගෙ නම්බර් එක පොතක ලියන්න වෙනවා. ඉතිං පූසන්ටත් ඒ වෙලාවට එතනට කිට්ටු කරන්න පුලුවන්නං ඔය නම්බර් එක බලාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඉතිං ඔය අයිඩියා එක උපාසක මාලුකට්ටාට කිව්වාම මෑන්සුත් වැඩේට කැමති වුණේ වන් ෆුට් ස්ටයිල් එකෙන්. කොහොමහරි පූසො කඩේ ඇතුලට ගිහින් බැලින්නම් හිතපු වැඩේ හරි. අර දැරිවි පොතක් දිග ඇරගෙන තමන්ගෙ නම්බර් එක ඒකෙ කුරුටු ගානවා. ඉතිං එයා යනකං හිටපු පූසො දෙන්නත් වැඩේට එන්ටර් වුණාලු.

මාලුකට්ටා තමන්ගෙ පර්ස් එක හූරලා හොයාගත්ත රුපියල් පනහක් අරගෙන කළේ තමනුත් රී ලෝඩ් එකක් දාපු එක. මෑන්ස් නම්බර් එක ලියද්දි උපාසක කළේ කලින් ලියපු අර ගෑනු ළමයාගෙ නම්බර් එක හිතේ ලියාගන්න එක. කොහොමහරි ඉතිං ඔය විදිහට තමයි ගෑනු ළමයාගේ ෆෝන් නම්බර් එක මාලුකට්ටා අතට ආවේ. ඒත් ඉතිං ඊටපස්සේ මොකද කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් මෑන්ස්ට තිබුනේ නෑ. ඉතිං එදා හවස පූසො සෙට් එකම එකතු වෙලා කතා කළාලු මේ සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකද්ද කියලා.

මේ වෙද්දි මාලුකට්ටා ගෑනු ළමයාට බැල්මට් එක දාගෙන හිටියත් ඒ ඇත්තිට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ මාකට් එයාට ට්‍රයි කියලා. ඉතිං එයාට යාලුවෙක් විදිහටවත්, අඳුරන කෙනෙක් විදිහටවත් කෝල් කරන්න අපේ පූසාට පුලුවන්කමක් තිබුනේ නෑ. අන්තිමට ඉතිං මාලුකට්ටාගෙ තීරණය වුණේ රෝන්ග් නම්බර් එකක් වගේ බොරුවට මේ ගෑනු ළමයාට කෝල් එකක් දීලා බලන්න. ඇත්තටම ඔය ඇප්‍රෝච් එක වැදගත් ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් එච්චර සුදුසු එකක් නෙවෙයි කියලා අනිත් පූසො යෝජනා කළත් මාකට් නෙවෙයි මෑන්ස්ගෙ තීරණේ වෙනස් කළේ. පුරුපුරුයි, ඤාව්වායි හිතුවේ හොඳම වැඩේ කෙළින්ම ගිහින් මේ ළමයාත් එක්ක කතා කරන එක කියලා. ඒත් මාලුකට්ටාට ඕනෙ වුණේ එදාම ඒ කෝල් එක ගන්න.

ඉතිං එදා හවස පූසො කට්ටිය විසිරිලා ගියේ මාලුකට්ටා කරන්න හදන වැඩේ සාර්ථක නොවෙන වගට සෑහෙන දුරට හිතේ ෂුවර් එකක් තියාගෙන. ඒත් පහුවදා උදේ අපේ පුරුපුරුගෙ කන වැකුනේ කොහෙත්ම බලාපොරොත්තු නොවුනු ආරංචියක්. ඒ මෑන්ස්ට ඤාව්වා ගත්ත කෝල් එකකින්.

ඤාව්වා - අඩේ පුරු, උඹට ආරංචිද සීන් එක?

පුරුපුරු - මොකද්ද බං? අරකි මාකට්ට බැනලද?

ඤාව්වා - නෑ යකෝ! ඒකිගෙ හොඳම යාලුවා දැන් මාකට්ලු. හික් හික්!!

පුරුපුරු - නෑ!!! 

ඤාව්වා - නෑ නෙවෙයි බං ඔව්...ඒකිගෙ නම නිසංසලාලු.

කොහොමහරි අන්තිමට බැලින්නං සිද්දවෙලා තියෙන්නෙ මේකයි. මාලුකට්ටා නිසංසලාට කියපු විදියටම කෝල් එකක් අරගෙන තියෙනවා. ඒ වැරදීමකින් ගිය කෝල් එකක් වගේ. කොහොමහරි මෑන්ස් ඊටපස්සේ නිසංසලා එක්ක කතා කරලා සෑහෙන්න ෆිට් වෙලා තියෙනවා. තමනුත් නිසංසලාගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කිව්වාම ඒ ෆිට් එක තවත් වැඩි වුණා කියලයි මාලුකට්ටානං කිව්වේ. කොහොමහරි ඉතිං තමන්ගෙ ක්ලාස් එකේම ඉන්න කොල්ලෙක් තමන්ට වැරදීමකින් කෝල් එකක් ගත්තා කියලා විශ්වාස කරන්න තරම් නිසංසලාට සුපිරි බුද්ධියක් තිබුනාලු.

ඉතිං ඊටපස්සේ මේ දෙන්නා කළේ අනිත් දවසේ ක්ලාස් එක ඉවරවෙලා හම්බවෙච්ච එක. ඔය විදියට සති කීපයක් යද්දි සුපුරුදු පරිදි නිසංසලා මාලුකට්ටාගේ, මාලුකට්ටා නිසංසලාගේත් හොඳම යාලුවො වෙලා තිබුනා. අනිත් පූසන්ට මාලුකට්ටා ගැන ආරංචි හොයාගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුණා. ඒ වගේම නිසංසලා අපේ පූසො හිතපු විදිහටම ගම්පහ ප්‍රදේශයෙ කෙනෙක් නෙවෙයි. 

කොහොමහරි පස්සෙ ආරංචි වෙච්ච විදිහට ඒ වෙද්දි නිසංසලාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. මෑන්ස්ගෙ නම රයන්. ඒ හින්දා තමයි මාලුකට්ටාට දිගටම නිසංසලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් රෝල් එක රඟපාන්න වුණේ. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් මාලුකට්ටාට කවදාවත් නොහිතපු විදිහේ කෝල් එකක් ආවේ. ඊටපස්සේ වෙච්ච සිද්දිය වෙනම පෝස්ට් එකකින් කියන්න තරම් වටින එකක්. ඉතිං යාලුවනේ ඊළඟ ලිපියෙන් බලමු මාලුකට්ටායි, නිසංසලාගෙයි අතරෙ තිබුන යාලුකමට මොකද වුණේ කියලා...!!!

ප.ලි :- සිංහල බ්ලොග් කියවන අයට මීවනපලානේ ජයරත්න කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒත් ඉතිං බ්ලොග් ගඩොල් කියවන අය අතරේ සාමාන්‍යයෙන් බ්ලොග් කියවන්න පුරුදු නොවුනු ගොඩක් කස්ටිය නිසා මෑන්ස්ගේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න හිතුනා. ඇත්තටම වර්ගපූර්ණිකාව කියන්නේ කියවලා පට්ට ෆන් එකක් ගන්න පුලුවන් බ්ලොග් එකක්. ටැබූ සබ්ජෙක්ට්ස් වලට පස්සේ (හෙළුවෙක් විදිහට) මගේ හිතට තදින්ම කා වැදිච්ච බ්ලොග් එක කිව්වොත් නිවැරදියි. ඔයාලත් තාම වර්ගපූර්ණිකාවට ගොඩ වැදිලා නැත්තං මෙතනින් ගිහින් එන්න. හැබැයි ෆුල් සීරියස් ඩයල් වලටනං මේක එච්චරම අල්ලලා යන එකක් නෑ.

ප.ප.ලි - පුරුපුරු දැන් පදිංචි වෙලා ඉන්නේ පිටරටක. කකාගෙ බාසාවෙන් කියනවානං පස්තාච්චි කුපාඩියක් කරන්න ලංකාවෙන් යන්න වුණා. මේ රටට ආපු හැටි වෙනම ලිපියකින් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

Sunday, May 9, 2010

ස්කූල් වෑන් එක 2 - අප්සට් මිතුදමක ඇරඹුම

මේ දවස්වල තියන අර ජරා වෛරස් උණ මටත් හැදුන නොවැ. ඉතින් ඉක්මනට ‍පල කරනව කියල හිතාගෙන උන්නු මේ කතා‍වෙ දෙවෙනි කොටස පල කරන එක දවස් දෙකකින් පරක්කු වුණා. ඉතින් යාළුවනේ මට ඒකට සමාවෙන්න හොදේ!!


පස්සෙ තමයිලු දැනගත්තෙ ඔය සීට් එකේ යන එක පුරුද්දක් කරගත්තු කොල්ලෙක් හිටිය වග. එදා මෑන්ස් ඉස්කෝලෙ ගිහින් නෑ. නම ඤාව්වලු. දැන් හෙට ඤාව්ව ආවම පුරුපුරු කොහෙද වාඩි වෙන්නෙ?? ඤාව්ව කියන්නෙ මොනවගේ ඩයල් එකක්ද?? මොකද උනේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද!
ඔන්න ඉතිං සුපුරුදු විදිහට ඤාව්ව පහුවදා උදේම ස්කූල් වෑන් එකට නැග්ගලු. පුරුපුරු නගින්නෙ ඊට පස්සෙ. දැන් ඤාව්ව වෙනද විදිහටම ලකී අක්ක ළග ඉදගන්න ලෑස්තිය.
ලකී - ඤාව්ව මල්ලි අද පිටිපස්සෙ සීට් එකට යන්න.

ඤාව්ව - ඒ මොකද අක්කෙ?? මගෙ සීට් එක මේකනෙ?

ලකී - ඊයෙ පුරුපුරු කියල අලුත් මල්ලි කෙනෙක් වෑන් එකට ආවනෙ! දැන් එයා තමයි මෙතන වාඩි වෙන්නෙ.

බලාගෙන ගියාම වෑන් එකේ අක්කල සෙට් එකට පුරුපුරුව හොදට හිතට අල්ලලලු. කට්ටිය ඒකමතිකව තීරණය කරල තියනව
ඤාව්වට ස්ථාන මාරුවක් ලබාදීල පුරුපුරුව දිගටම ගෑනු සීට් එකේ තියාගන්න. ටික වෙලාවකින් ඉතිං පුරුපුරුත් වෑන් එකට නැග්ගලු. අක්කල සෙට් එක පුරුපුරුව තමන්ගෙ සීට් එකට ගත්තලු.

දැන් ඉතිං
ඤාව්වට මාරම අප්සට් එකලු. මෙච්චර කල් ගත කරපු සුන්දර ස්කූල් වෑන් ලයිෆ් එක චාටර් කරල දාන්න පුරුපුරු කියල මරාලයක් සෙට් උනානෙ ඉතිං! ඒ මදිවට පිටිපස්සෙ උන්නු මරියකඩේ කොල්ලො ටික ඤාව්වව තවත් අවුස්සනවලු

"ආපෝ! ලැජ්ජ නැද්ද බං? උඹ කෙල්ලො ඉස්සරහ චාටර් උනා නේද?"


"උඹ ලොකුනාමේ නේද ඉස්කෝලෙ යන්නෙ? කුරුදුවත්තෙ එව්වොන්ට උඹ සෙකන්ඩ් වෙනවද??"

දැන්නං
ඤාව්වගෙ හොද ගානට මොරාල් අප් වෙලාලු තියෙන්නෙ. ඉතිං මේ අනවසර සංක්‍රමණිකයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ඕනෙ කියල ඤාව්වට හිතුනලු.
ඤාව්වා - අඩෝ! අලුත් කොල්ලා, මොකද්ද උඹේ නම??

පුරුපුරු - මගෙ නම පුරුපුරු. උඹ
ඤාව්ව නේද?

ඤාව්වා - ඔව් ඔව්!! උඹ මං ගැන අහල ඇතිනෙ! මට තමයි පූස්ගම ඤාව්ව කියන්නෙ.
(දැන් ඤාව්වා ෆුල් මැර ටෝක්ස් දෙනවලු)

පුරුපුරු - ඇත්තද?


ඤාව්වා - උඹ දන්නවද උඹ ඔය වාඩිවෙලා ඉන්නෙ මගෙ සීට් එකේ කියල?

පුරුපුරු - ඇයි මේ සීට් එක උඹට ලියල දීලද තියෙන්නෙ??
ඒ කතාවටනං ඤාව්වාට අසූහාරදාහට නැග්ගලු. අලුතින් වෑන් එකට ඇවිල්ල, ප්ලේස් එකත් ආක්‍රමණය කරල, ඒ මදිවට දැන් පොර ටෝක්සුත් දෙන්ඩ????? එව්වනං කොහෙද ඤාව්වත් එක්ක.
ඤාව්වා - අඩෝ උඹව ගෙම්බ ගහනව වගේ පොළොවෙ ගහනව...%$%*(&(*$$$%$@$$%
අද හවස වෑන් එක ඇතුලෙ..මොකද කියන්නෙ??

පුරුපුරු - හරි, මමත් ලෑස්තියි.

දැන් කට්ටියම ෆුල් හොල්මන්ලු. අක්කල
කට්ටියත් බය වෙලාලු. පුරුපුරුත් ටිකක් විතර සැලිල ගිහින්. ඔය කාලෙ පුරුපුරු 8 වසරෙ වුණාට 10-11 වසරෙ ඇගක්ලු තිබුණෙ. ඉතිං පොඩි සයිස් එකෙක් ලොකු සයිස් එකෙක් ඉස්සරහට ඇවිත් බය නැතුව සද්ද දාද්දි ලොකු සයිස් එකාටත් බය හිතෙනවනෙ. (පොඩි වුණාට වැඩ කොහොමද දන්නෙ නෑනෙ)

කොහොමෙන් කොහොම හරි ඔන්න
ඉස්කෝලෙත් ඉවර වුණාලු. කුරුදුවත්තෙ, තුම්මුල්ලෙ සහ ලොකුනාමේ කොල්ලො ටික ඔක්කොම වෑන් එකට නගින්න එන්නෙ තුම්මුල්ලෙ විජිතයාපා පොත් කඩේ ළගට. ඔන්න පුරුපුරුයි ඤාව්වයි දෙන්නත් දැන් ඔතන ඉන්නවලු. දෙන්න දැන් හොර පූසො වගේ හොරෙන් හොරෙන් බලනවලු.

ඉස්සෙල්ල
මොරාල් අප් වෙලා කෑ ගැහුවට මොකද, දැන්නං ඤාව්වගෙ මොරාල් එක බිංදුවටම බැහැලලු. චැලේන්ජ් කළා වගේද මේ යෝදයගෙන් ගුටිකන්න ගියහම. ඤාව්ව ටික ටික පුරුපුරුට කිට්ටු කළාලු.
ඤාව්වා - මචං, මම උදේ කියපුව එච්චර ගණන් ගන්න එපා.

පුරුපුරු - අවුලක් නෑ බං! ඒ වුණාට උඹ
උදේ චැලේන්ජ් කරපු විදිහට මට උඹට එකක් දෙකක් ගහන්නම වෙනව. නැත්තං මමනෙ චාටර් වෙන්නෙ.

ඤාව්වා - උඹ මචං එහෙනං ගහනව වගේ බොරුවට රගපාපං.

පුරුපුරු - බලමුකො.

ඔය අතරෙ ස්කූල් වෑන් එකත් ආවලු. ටික වෙලාවකින් කවුරුත් පුල පුලා බලා සිටි මහා තරගය -
පුරුපුරුගේ සහ
ඤාව්වගේ ගහගැනීම පටන් ගත්තා. දැන් අපේ යාළුවො දෙන්නත් කලින් කතා කරගත්ත විදිහට රංගනයෙ යෙදෙනවලු. (ඇත්තම රෙස්ලින් මැච් වලත් කෙරෙන්නෙ ඔය ටිකමනෙ!) ඤාව්වටනං ටිකක් රිදෙන්න වැදුන තමයි. ඒත් වෙන්න තිබුණු තරං තත්වෙ දරුණු වුනේ නෑ.

කොහොම හරි ඔය සිද්දියෙන් පස්සෙ අපේ යාළුවො දෙන්න ගොඩක් ෆිට් වුණාලු. අප්සට් මිතුදමක ඇරඹුම සිද්දවුණේ ඔන්න ඔහොමයි.

Friday, April 30, 2010

පූසො බියර් බීපු හැටි - 2 !!


අද බලමුකො අපේ යාළුවො ටික බියර් බීපු හැටි! දැන් කට්ටිය වට පිට බල බලා හොර පූසො ටික වගේ බෝතලේට කිට්ටු වෙනවා. ඒත් එක්කෙනෙක්වත් වැඩේ පටන් ගන්න පාටක් පේන්න නැහැලු. බැරිම තැන බෝතලේ අතේ තියාගෙන හිටපු රෙජීට සුබ මොහොතින් මේ මහා සද්කාර්යය කරන්ඩ කියල පුරුපුරුගෙන් ආරාධනා ලැබුනා. එතන ඇති වුණේ මේ වගේ කතාබහක්!!

රෙජී - මචං, මට අද හවස ගණන් පංති තියනවා. පරක්කුත් වෙනව බං! උඹල බීපං, එළකිරි ආ.. අවුලක් නෑනෙ? මම යනව මචං.......

මෙහෙම කියපු රෙජී පටස් ගාල එතනින් ඌර්ධවපාතනය වුණා. දැන් ඉතුරු හතර දෙනයි! ඒ තමයි ඤාව්වා, මාළු කට්ටා, පුරු පුරු සහ වේයන්ගොඩයා.

ඔන්න ඉතිං හතර දෙනාම සූරයෝ කියල ආපහු වැඩේ පටන් ගත්තලු. දැන් බෝතලේ තියෙන්නෙ මාළු කට්ට ළඟ!

මාළු කට්ටා - මමනං මචං හැමදාම බොනවනෙ! අද උඹල බීපං
(එහෙම කිව්වට අපේ යාළුව එතිල් ඇල්කොහොල් තියන බෝතලයක් ඇල්ලුවෙත් එදාම කියලා තමයි ආරංචිය)

ඔන්න ඔහොමයි මාළු කට්ට වැඩෙන් ශේප් උනේ. දැන් ඉතුරු තුන් දෙනයි! ඒ තමයි ඤාව්වා, පුරු පුරු සහ වේයන්ගොඩයා. ඒත් බලනකොට පේන්න හිටියෙ දෙන්නයිලු! බැලින්නං වේයන්ගොඩයත් හොරෙන්ම පැනල ගිහිං සළකුණක්වත් නැතුව! ආයි ඉතිං ෂර්ලොක් හෝම්ස් ආවත් හොයන්න බෑ. ඊටපස්සෙ ඉතිං ඤාව්වයි පුරු පුරුයි වැඩේට සෙට් වුණාලු. ඤාව්වත් උගුරු දෙකක් බීල ශේප් වුණාලු. අන්තිමට පුරු පුරුට බෝතලෙන් 90%ක් විතර තනියම බොන්න වුණාලු.

ප.ලි. - මේ කතාව සිද්ද වුනේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොට බව කරුණාවෙන් සලකන්න. දැන්නං සමහරු වර්ල්ඩ් ක්ලාස් බෙබාලා වී සිටිති!!!!


නමුත් පුරු පුරු නම් අමද්‍යපයි. එයා යාළු වුනෙත් ඉස්කෝලෙ අමද්‍යප සංගමයෙ සභාපති තනතුර දරපු ගෑනු ළමයෙක් එක්ක නොවැ! ඒ කතා පස්සෙ දවසක.........

Wednesday, April 28, 2010

පූසො බියර් බීපු හැටි!!


පොඩි පොඩි අකරතැබ්බ කීපයක් නිසා පළවෙනි ලිපිය ලියන්න පරක්කු වුණා. ඒ වගේම පළවෙනි ලිපිය ලියන්නෙ ඇල්කොහොල් ගැන. ඒ හින්ද මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලා ඉන්නංකො.

මේ කතාව සිද්ද වුනේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොට. පුරුපුරුයි, ඤාව්වයි මේ දවස් වල ගියා ඉංග්‍රීසි සාහිත්‍ය පංතියකට. පාට පාට ලස්සන පූස් නංගිල 20ක් විතර හිටියා මේ පංතියෙ. හැබැයි අද කියන්න යන්නෙ එයාල ගැනනම් නෙවෙයි, පංතියෙ හිටපු කොල්ලො කීප දෙනා එකතු වෙලා කරපු පිස්සු වැඩක් ගැන. දන්නවනෙ ඉතිං, ඔය කාලෙ පූසන්ට බියර් බෝතලයක් කියන්නෙත් මැජික් වගේනෙ. ඉතිං දවසක් මෙහෙම වැඩක් වුණා.

එක දවසක් ඤාව්වයි, මාළු කට්ටයි තවත් යාළුවෙකුයි විද්‍යාව පංති ඉවර වෙලා ඒ යාළුවගෙ ගෙදර ගිහින් තිබුණා. (මේ යාළුව වේයන්ගොඩ පැත්තෙ ඉස්කෝලෙකට ගිය හින්ද මෙයාට වේයන්ගොඩයා කියමුකො). මේ අපේ වේයන්ගොඩයගෙ ගෙදර උත්සවශ්‍රීයෙන් බැබලෙමින් තිබ්බ කාලයක්. ඉතිං උත්සවයක් වුණාම එක එක ජාතියෙ බඩු ම්ට්ටු ගෙදරට ගේනවනෙ නේද? මෙහෙම ගෙනාපු එක දෙයක් අපේ යාළුවන්ගෙ තියුණු ඇස් වලට පෙණුනා. සිංහ බැජ් ගහපු දුඹුරු පාට බෝතල් වගයක්. අපේ යාළුවන්ට ඉතිං රජ මගුල්ලු.

ඒ වුණාට ඔතන ඉදගෙන හොරෙන් බිව්වොත් කිසි ගතියක් නෑලුනෙ. (අපේ යාළුවන්ට බියර් බොන්ඩත් වඩා ඕනෙ වුණේ ඉතිං ලොකු එක දෙන්ඩ). ඉතිං ඤාව්වගෙ ටිකිරි මොළේට මරු අයිඩියා එකක් ආවා. ඤාව්වා යෝජනා කළා පහුවදා තිබුණු ඉංග්‍රීසි සාහිත්‍ය පංතියට බෝතලයක් අරන් ගිහිල්ලා කොල්ලො කට්ටිය බොමු කියල. ඒ වුණාට ප්‍රශ්නයක්! අපේ කට්ටිය ඉතිං ඔය ක්ෂේත්‍රයෙ පළපුරුදු ක්‍රීඩකයො නෙවෙයිනෙ. මෙයාලට බය හිතුන බැරි වෙලා හරි වැඩේ චාටර් උනොත් මොකද කරන්නෙ කියල. බියර් කියල කවුරු හරි දැනගන්නෙ බියර් බෝතලේ දැක්කොත්නෙ. ඉතිං වේයන්ගොඩයට උපදෙස් ලැබුණලු පහුවදාට බියර් ටික වෙන බෝතලේකට දාගෙන එන්න කියලා.

පහුවදා ඉතිං කට්ටිය පංති ආවා. ඔයවෙනකොට උදේම පංති ආපු මාළු කට්ටා කට්ටියටම සුබ ආරංචිය කියලා. කොහොම වුණත් ඔය වැඩේට රෙඩි වෙලා වෙඩි වගේ ඉදිරිපත් වුණේ කොල්ලො පස් දෙනයි. ඒ තමයි ඤාව්වා, මාළු කට්ටා, පුරු පුරු, වේයන්ගොඩයා සහ ගම්පහ පිරිමි ඉස්කෝලෙ රෙජී. ඉතිං නියමිත වෙලාවට තාත්තට හොරෙන් පන්නපු බෝතලේ බෑග් එකේ දාගෙන වේයන්ගොඩයා ආවලු. පංති පටන් ගත්තා. දැන් මැඩම් උගන්නන අතරෙ කට්ටිය නොඉවසිල්ලෙන් ඉන්නවලු පංතිය ඉවර වෙනකං.

ඔය අතරෙ වේයන්ගොඩයගෙ බෑග් එක ඩෙස් එක උඩ ඉඳං බිමට වැටුනා. බෝතලේ බිම වදින සද්දෙත් ඇහුනා. මැඩම් මොකද උනේ කියල සෝදිසි කළත් වාසනාවට අපේ යාළුවන්ව අහු වුණේ නෑලු. බෝතලේ බිදුනෙත් නෑලු. කොහොම කොහොම හරි ඉතිං පංතිය ඉවර වුණා. වෙනදට අන්තිමට පංතියෙන් යන සෙට් එක එදා මුලින්ම පංතියෙන් ගියාලු. ඊටපස්සෙ ටිකක් එහායින් තියන පාළු හරියක කට්ටිය සෙට් වුණාලු.

ඔන්න ඉතිං වේයන්ගොඩයා බෝතලේ එළියට ගත්තලු. මළ සේකරයි. කට්ටියම අඤ්ඤකොරොස් වෙලා ගියාලු. බැලින්නං අපේ මිත්‍රයා ගෙනත් තියෙන්නෙ ගල් අරක්කු බෝතලයක්!!!

ඤාව්වා - උඹට ගේන්න කිව්වෙ බියර් නේද??

වේයන්ගොඩයා - බියර් තමයි මචං ගෙනාවෙ!

ඤාව්වා - යකෝ! $%@$^$@!$%&^* උඹ ඔය අරක්කු බෝතලයක්නෙ ගෙනත් තියෙන්නෙ !$@$%*^&$. වෙරි උනොත් ගෙදර යන්නෙ කොහොමද??

වේයන්ගොඩයා - මේ බියර් තමයි තියෙන්නෙ බං. උඹල මට ඊයෙ කිව්වෙ වෙන බෝතලේකට දාගෙන එන්න කියලනෙ. මම ඉතිං වෙන බෝතලේකට දාගෙන ආව.


තව පොඩ්ඩෙන් වේයන්ගොඩයගෙ රත්තරං මොළේ හින්ද අපේ යාළුවො මැඩම්ට මාට්ටු වෙන්නෙ පංතියට බියර් ගෙනාව කියල නෙවෙයි, ගල් අරක්කු ගෙනාව කියල!

බියර් බීපු හැටි ඊළග ලිපියෙන් බලමුකො.......................

Saturday, April 10, 2010

BLOG ගඩොල් හැදුන හැටි

ඔන්න ඉතිං එකෝමත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා යාළුවො කට්ටියක්. ඒ තමයි අපි. අපේ ජීවිත කාලෙ ඇතුලෙ වෙච්ච සිරා සිද්දි ටිකක් (ටිකක් කිව්වට ගොඩක්) ඔයාලට කියන්න තමයි මේ බ්ලොග් එක හැදුවෙ. BLOG ගඩොල් කිව්වට කාටවත් ගඩොල් පාරවත් දෙන්නනං අපේ idea 1ක් නෑ. මුලින්ම ඉතිං යාළුවො කට්ටිය අදුරගමුකො නේද? ඇත්ත නම් නං කියන්න බෑ ඉතිං, ඔයාලටත් තේරෙනවනෙ ඒක.

අපේ set එකේ මුලින්ම අදුන්නලා දෙන්නෙ 'උපාසක'. මෙයා තොරතුරු තාක්ෂණය පැත්තෙන් උසස් අධ්‍යාපනය හදාරනව. ගෑනු ළමයිගෙන් තමයි ටිකක් කරදරේ (එහෙම තමා හිතාගෙන ඉන්නෙ). බාහිර පෙනුම ගැන කියනවනම් උපාසක කියන්නෙ සුදු කෙට්ටු කොල්ලෙක්. මේ හැමෝම ගැන තව විස්තර ටිකෙන් ටික එළිය‍ට එයි.

ඊට පස්සෙ ඉන්නෙ 'ඤාව්වා'. මෙයානං ටිකක් විතර කලුයි. ඤාව්වා එක්ක දවසක් හිටියොත් අප්සට් කතා සීයක් විතර ඉබේම මතු වෙනව. මෙයත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් උසස් අධ්‍යාපනය හදාරනව. ලොකු ලොකු plan තමා ඤාව්වගෙ තියෙන්නෙ.

අන්තිමට ඉන්නෙ 'පුරුපුරු'. මෙයා ටිකක් විතර සුදු මහත කොල්ලෙක්. ජීව විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නෙ කොළඹ පැත්තෙ campus එකක. කාලයක් මෙයා හිතාගෙන හිටියෙ ආනෝල්ඩ් සුබසිංහ කියල. ඒ උනාට දැන්නං එහෙම නෑලු. කලින් කිව්ව වගේ තව විස්තර ටිකෙන් ටික එළිය‍ට එයි කාලයත් එක්ක.
උපාසකයි පුරුපුරුයි එකම ඉස්කෝලෙකට ගියෙ. ඤාව්වා ගියෙ ඊට එහා පැත්තෙ තිබුණ මහා නමක් තිබ්බ ඉස්කෝලෙකට. දැනට ඔය ඇති නේද? ඔයාලටත් boring වගේ. අප්සට් කතා ටික ඊළග ලිපියෙ ඉදන් පටන් ගමු.