අඹ යාලුවෝ

Thursday, July 28, 2011

දේවගම - 4

මේ දේවගම කට්ටිය නෙවෙයි


ඔන්න යාලුවනේ මුලින්ම විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. ඔය දේවගම ගැන ඇත්තටම දන්නෙ අපේ බ්ලොග් කියවන යාලුවන්ගෙන්  කීප දෙනෙක් විතරයි. ඒ අය අතරිනුත් අපේ මාරෙ අයියා තමයි දේවගමට යන එන ඩයල් එකකට ඉන්නෙ. ඔන්න ඉතිං උන්දැ මට තර්ජනේ කොරලා ඊළඟ පාර දේවගම ගියාම මේ සීරීස් එක ගැන දේවගම රට වැසියන්ට කියනවයි කියලා. එහෙම කිව්වාම දේවගම ඉන්න දරුණු මිනිස්සු ඇවිත් පුරුපුරුව අනිවා මරලා දායි. ඔන්න මගෙ ජීවිතේට හානියක් වුණොත් ඒකෙ සම්පූර්ණ වගකීම මාරයා විසින් බාරගන්න ඕනෙ හොඳේ!

හොඳයි අපි දැන් කතාවට බහිමුකෝ. ඉතිං මම කලින් ලිපියෙන් කියපු විදිහට ඔන්න කැනේඩියන් සුද්දො සුද්දියො කට්ටිය දේවගමට සම්ප්‍රාප්ත වුණාලු. මතක විදිහට විසි දෙනෙක් විතර තමයි ඔය සෙට් එකේ හිටියෙ. ඒ මදිවාට සුද්දො එක්ක අදහස් හුවමාරු කරගන්න කියලා ලංකාවෙ එක එක පළාත් වලින් තෝරගත්තු ශ්‍රී ලාංකිකයො ඒ සමානම සෙට් එකකුත් දේවගමට සැපත් වුණාලු. එතකොට පිටින් ආපු සෙට් එක ඔක්කොම හතළිහයි. ඉතිං මේ කට්ටිය මාසයක් දේවගම නවත්තගෙන ඉන්න තමයි ප්ලෑන් වෙලා තිබුනේ. ප්ලෑන් එකේ විදිහට එක ගෙදරක සුද්දයි, ශ්‍රී ලන්කන් කාරයයි ගානෙ ගෙවල් විස්සක මේ කට්ටියව නවත්තගන්න ඕනෙ.

ඉතිං ඔය විදිහට රජ මාළිගාවෙ නැවැත්තුවෙ ලංකාවෙ කොල්ලෙකුයි, ලූකස් පේස්ට් කියලා (ඇත්තම නම) සුද්දෙකුයි. දැන් සුද්දො කට්ටිය හිතාගෙන ඉන්නෙ උන් එක්ක ආපු ලංකාවෙ කස්ටියට දේවගම කියන්නෙ හෝම් කන්ඩිෂන්ස් කියලා. ඒ අතරෙ ලංකාවෙ එවුන් ටික බලනවලු කොහෙටද හත්තිලව්වේ උන්ව ගෙනත් අතෑරලා ගිහින් තියෙන්නෙ කියලා. කොහොමහරි ඉතිං ඔය විදිහට දවස් දෙක තුනක් ගියාට පස්සෙ සුද්දන්ටයි, ලංකාවෙ සෙට් එකටයි පුලුවන් වුණාලු දෙවගම කන්ඩිෂන් වලට අනුවර්තනය වෙන්න.

ඒ අතරෙ තමයි රජවාසල ඇතුලු දේවගම වැසියන්ට තේරුනේ තමන් කරගත්තු මෝඩකමේ තරම. මොකද මේ විදේශිකයො ආපු දවසෙ ඉඳලා දේවගම වැසියො කන්න බොන්න ඕනෙ විදේශිකයන්ට ඕනෙ විදිහටලු. උදාහරණයක් විදිහට රජ මාළිගාව ගත්තොත් ලූක් (රජ පවුලෙ කට්ටිය සුරතලේට ලූකස් පේස්ට්ව හැඳින්නුවෙ මේ විදිහට) මිරිස් දාපු කෑම කන්නෙ නෑ. ඉතිං මාලුකට්ටලාටත් ඒ දවස්වල කන්න වුණේ මිරිස් නැති හොදිලු. ඒ මදිවට මේ ලූක්ට තව විශේෂ කෑම බීම ඕනෙලු. උදාහරණයක් විදිහට පොරට මේපල් සිරප්, ඔලිව් ඔයිල් වගේ දේවල් කෑම වේලට අත්‍යාවශ්‍යයි.

ඒ මදිවට ලූක් ආපු දවසෙ ඉඳලා රජ මාළිගාවෙ ලෑන්ඩ් ෆෝන් එකට විසුමක් නෑ. විනාඩි පහෙන් පහට ඒකට කොල් එනවා. ඒ මදිවාට කතා කරන්නෙම සුද්දියො. ඒ කතා කරන හැම සුද්දිම කියන්නෙත් තමන් ලූක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලලු. මාලුකට්ටාට තවත් ෆ්ලවර් ජම්ප් වුණේ ලූක් මේ කෙල්ලො එක්ක කතා කරන්න වෙනම ටයිම් ටේබල් එකක් දාගෙන හිටපු බව දැනගත්තට පස්සෙ. මෑන්ස් සමහර කෙල්ලො එක්ක කතා කරන්නෙ සඳුදාට විතරයි. සමහරු එක්ක බදාදාට විතරයි. අන්න ඒ වගේ. ඉතිං කවුරු හරි සුද්දියෙක් වැරදි වෙලාවෙ කතා කළාම මාලුකට්ටාට තමයි ටෙලිෆෝන් ඔපරේටර් වැඩේ කරන්න වුණේ.

ඒ ඔක්කොම අස්සෙ සුද්දන්ට දේවගම කන්ඩිෂන් රස්නෙ වැඩියිලු. ලූක් ඇතුලු සුද්දො කට්ටිය අව්වට පිච්චිලා සුදු පාටෙ ඉඳලා රෝස පාටට හැරුනෙ බලාගෙන ඉන්නැද්දිම වගේ. ඉතිං විදේශිකයන්ගෙ මේ කරදර දරාගන්න බැරුව අන්තිමට රටවැසියෝ රම්බෝ රජ්ජුරුවන්ට මේ ගැන පැමිණිලි කළාලු. දේශප්‍රේමී රම්බෝ රජතුමා අන්තිමට තීරණය කළේ සුද්දො කට්ටියත් දේවගම මිනිස්සු වගේම ජීවත් වෙන්න ඕනෙ කියලා. ඉතිං අන්තිමට සුද්දන්ටත් සිද්දවුණේ මිරිස් මාලු කකා මාලුකට්ටලාගෙ ලයිෆ් ස්ටයිල් එකට ජීවත් වෙන්නලු. 

මේ විදේශිකයො ආපු දවස්වලම පුරුපුරුලා දේවගම සංචාරයක් කළා. ඒ අර නීතිය දාන්න කලින්. එතකොටනං සුද්දො කට්ටිය ෆුල් ජෙන්ට්ල්මන් ටයිප් එකේ හිටියලු. අපේ පූසො ඊටපස්සෙ දේවගම ටුවර් එකක් දැම්මෙ තවත් සති කීපෙකට පස්සෙ. ඒ ගිය වෙලේ කට්ටිය රජ මාළිගාවට යද්දිම දැක්කෙ මහා අමුතු දර්ශනයක්. බැලින්නං සරමක් කැහැපොට ගහගත්තු කොකේසියානු ජාතිකයෙක් රජ මාළිගාවෙ ප්‍රධාන අඹගහ උඩ. තවත් හොඳට බැලින්නං ඒ වෙන කවුරුත් නෙවෙයි, කැනඩාවෙන් ආපු ලූකස් පේස්ට්. අපේ පූසන්ට තවත් පිස්සු අබ්ලික් වුණේ ලංකාවෙන් ආපු කොල්ලා කොට කලිසමක් ගහගෙන ඒ ගහේම පල්ලෙහා අත්තක අමාරුවෙන් ඉන්න හැටි දැක්කට පස්සෙ.

පස්සෙ ආරංචි වෙච්ච විදිහට ලූක් ආපහු කැනඩාවට යද්දි සරම් සෙට් එකක්ම අරන් ගියාලු. ඒ වගේම අන්තිම සති කීපෙදි පොර මොනවගේ ලයිෆ් එකක් ගත කළාද කියලා පූසො තවම දන්නෙ නෑ. ඒත් වැඩ සිද්ද වේගෙන ගිය විදිහටනං පූසන්ට හිතුනෙම ලූකස් අන්තිම දවස් වලට ටාසන් වගේ වැල් වල එල්ලිලා යන්නත් පුරුදු වෙලා ඉන්න ඇති කියලා.

-----------------------------------------------------------------------------------

දැන් ඔයාලා බලනවා ඇති සුද්දො ආපු දවස්වල මාලුකට්ටා ගතකළේ මොනවගේ ලයිෆ් එකක්ද කියලා. ඇත්තටම මේ ආපු අමුත්තන්ට දේවගම යුව රජතුමා විදිහට උපරිම ආගන්තුක සත්කාර කරන්න මාලුකට්ටා මුලු හදින්ම කැපවෙලා හිටියා. ඊට අමතරව ඉඩ තියෙන විදිහට මේ කට්ටියව රට තොට පෙන්නන්න එක්කගෙන යන්නත් මෑන්ස් අමතක කළේ නෑලු.

විශේෂයෙන්ම මේ කට්ටිය අතරෙ හිටියා ශ්‍රී ලංකාවෙන් ආපු අක්කා කෙනෙක්. අපේ මාලුකට්ටාට පුදුම උනන්දුවක් තිබුනෙ මේ අක්කාව රට තොට පෙන්නන්න එක්කගෙන යන්න. ඉතිං එක දවසක් මෑන්ස්ගෙ අම්මා බලද්දි මාලුකට්ටා මාළිගාවෙ නෑලු. මාළිගාවෙ චර පුරුෂයො යොදවලා විපරම් කරලා බැලුවත් මෑන්ස් ගැන කිසිම තොරතුරක් හම්බවෙලා නෑ. ඉතිං රජතුමායි, දේවියයි හොඳටම බයවුණාලු ශ්‍රී ලංකාවෙන් ඇවිත් යුව රජ්ජුරුවන්ව පැහැරගෙන ගිහින් කියලා. අන්තිමේදි දේවගම ලංකාවට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අපේ පුරුපුරුට මාළිගාවෙන් කෝල් එකක් ආවෙ.

දේවිය :- පුරුපුරු පුතා, අපේ මාලුකට්ටා එහෙම ඔය පැත්තෙ ආවද?

පුරුපුරු :- ම්...ම්...මේ මේ ඇයි ඇන්ටි? මොකද වෙලා තියෙන්නෙ?

දැන් පුරුපුරු දන්නවා මාලුකට්ටා මොකක්හරි බරපතල විනය කඩ කිරීමක් කරලා ඇති කියලා. මොකද සාමාන්‍යයෙන් මෑන්ස් ලංකාව ඇතුලෙ කොහෙහරි යනවානං ඒ බව අනිත් පූසන්ට කලින් කියලයි යන්නේ. ඒ බව මාලුකට්ටාගෙ අම්මත් දන්නවා.

දේවිය :- හා හා!! ඔයා දැන් මාලුකට්ටා ඔහෙ ආවයි කියලා බොරු කියන්න ඕනෙ නෑ. මම අල්ලගන්නංකෝ මිනිහා ගෙදර එන්න කලින්, කොහෙද ගියෙ කියලා.

පුරුපුරු :- හ්...හා ඇන්ටි...මමත් කෝල් එකක් දීලා බලන්නංකො.

මෙහෙම කියපු පුරුපුරු වහාම කළේ මාලුකට්ටාට කෝල් එකක් දුන්න එක. බැලින්නං ෆෝන් එකත් මාලුකට්ටා ගැන හොඳට දන්නවා. “ඔබ ඇමතූ දුරකථන අංකයේ හිමිකරුට චාරයක් නොමැත“ මෑන්ස්ගෙ ෆෝන් එක පුරුපුරුට ඒ විදිහට උත්තර දුන්නලු. ඊට පස්සෙ පුරුපුරු ආපහු මෑන්ස්ට කෝල් කළේ තවත් පැයකට විතර පස්සෙ. ඔන්න ඒ පාරනං මාලුකට්ටාගේ ෆෝන් එකේ රිංග්ස් යන්න පටන් ගත්තලු.

මාලුකට්ටා :- හෙලෝ! ඇයි මචං?

පුරුපුරු :- ඇයි? යකෝ ගොං ---, තෝ කොහෙද ඉන්නෙ? අන්න මාළිගාවෙ මිනිස්සු කලබල වෙලා රාජ පුරුෂයො දාලා උඹව හොයන්න.

මාලුකට්ටා :- නෑ? මම අර අක්කා එක්ක පොඩ්ඩක් ගම්පහට ආවා බං! ඒ අක්කාට එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න ඕනෙ කිව්වා. තනියම යන්න බයයි කියලා මටත් එන්න කිව්වා.

පුරුපුරු :- ඔව් ඔව්!! මට හිතාගන්න පුලුවන්. උඹ ඔය කතා කියපං උඹේ අම්මට! එයා කොන්ඩෙ බැඳලා ඉන්නෙ.

මාලුකට්ටා :- හරි හරි!! මම උඹට ඇවිත් ෆුල් රිපෝට් එකක් දෙන්නං. එතකං පොඩ්ඩක් අපේ අම්මාව ෂේප් කරපං. අපි මේ එන ගමන්.

පුරුපුරු :- ගොනෝ! උඹ අපේ ගෙදර ඇවිත් ඔය අක්කාව කලින් බස් එකේ යවපං. නැත්තං උඹට දිගටම ඉන්න වෙන්නෙ අපේ ගෙදර තමයි.

මාලුකට්ටා :- ආ...හරි මචං! මම තව විනාඩි දහයෙන් එනවා.

කොහොමහරි මාලුකට්ටා තවත් ටික වෙලාවකින් පුරුපුරුගෙ ගෙදරට ආවලු. ඊටපස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි කළේ උපාසක ලව්වා මාලුකට්ටාගෙ අම්මාට කෝල් එකක් දීලා වැඩේ ෂේප් කරපු එක. මොකද ඒ වගේ බරපතල සිටුවේෂන් එකක් ෂේප් කරන්න උපාසක වගේ කාන්තා පක්ෂය ෂේප් කරගන්න පුලුවන් එක්ස්පර්ට් කෙනෙක්ගෙම සහයෝගය ගන්න වෙනවා. උපාසක රජ බිසවට කියලා තියෙන්නෙ මාලුකට්ටා පාඩම් වගයක් අහගන්න මෑන්ස්ගෙ ගෙදර ආවයි කියලා.

ඉතිං තවත් ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු දේවගමට යන්න පුරුපුරුලාගෙ ගෙදරින් පිටත් වුණාලු. කොහොමහරි මෑන්ස් ආපහු දේවගමට කිට්ටුවෙද්දි පවුරු වළල්ලක් බැඳලා වගේ ආරක්ෂක භටයො හැමතැනමලු. මාලුකට්ටාව දැක්ක රජතුමා මුලින්ම කරලා තියෙන්නෙ මෑන්ස්ට කට්ටිය මැද්දෙම එකක් ගහලා මාළිගාවට පන්නපු එක.

මේ විදිහට, ලොකු කේස් එකක් වෙන්න තිබුන සිද්දියක් අන්තිමේදි මාලුකට්ටාගෙ වාසනාවට ගොඩින් බේරුනාලු. ඒ හින්දා මෑන්ස්ගෙ යුවරජ පට්මත් ගැලවෙන්නැතුව ආරක්ෂා වුණාලු.









සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

Wednesday, July 27, 2011

දේවගම - 3

දේවගම චන්ද්‍රිකා ඡායාරූපයක්. රජ මාළිගාව රතු පාටින් රවුම් කර ඇත. මැදින් ගලන්නේ රන් කල්‍යාණි නදියයි. (ඡායාරූප අනුග්‍රහය - මාලුකට්ටා)


අපි කලින් දවසෙ කතාව නතර කළේ අපේ පූසො වල් ඌරෙක්ට බැස්ටිය දුන්න තැනින් නොවැ! ඉතිං දවල් කෑමෙන් පස්සෙ කට්ටිය කළේ රජ මාළිගාවෙ උද්‍යානයට ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරපු එකලු. මාළිගාවෙ උද්‍යානය බිත්තර හැඩයක් ගත්ත හින්දා අපේ යාලුවො ඒකට කිව්වේ ක්වීන්ස් පාර්ක් ඕවල් කියලා. ඒ වගේම යුව රජතුමා කිරිකැට් සෙල්ලම් කරද්දි ඒජන්ට් ගුරු සැරින් සැරේට ඇවිල්ලා මෑන්ස්ගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් සෝදිසි කරලා යන්න අමතක කළේ නෑ. ඒජන්ට් ගුරු තමයි මාලුකට්ටාගෙ පෞද්ගලික ආරක්ෂකයා විදිහට රම්බෝ රජතුමා විසින් පත්කරලා තිබුනෙ.

ලංකාව ඇරුනහම මේ ලෝකෙ තියෙන එකම සිංහල බෞද්ධ රට තමයි දේවගම. මේ රට කොච්චර පොඩි වුණත් අවුරුදු දාස් ගානක් තිස්සෙ ශ්‍රී ලංකාවට යටත් නොවී ඉන්න පුලුවන් වුණේ රටේ තියෙන ස්වභාවික පිහිටීම නිසයි. කොටින්ම ශ්‍රී ලංකාව නෙවෙයි, ඇමරිකාවෙන් ඇටෑක් කරන්න ආවත් දේවගම යටත් කරගන්න එක බොරුයි කියලා උඩින් තියෙන සැටලයිට් ෆොටෝ එක දැක්කහම ඔයාලටත් තේරෙනවා ඇතිනෙ. බලන්න තද කොළ පාට ගන කැළේ හරි මැද්දෙ, ගඟටත් මායිම් වෙලා මාළිගාව තියෙන අපූරුව! ඒ කැළේ වටේට තියෙන්නෙ අපි කවුරුත් ඉන්න ශ්‍රී ලංකාව.

දේවගම මිනිස්සු බුදු හාමුදුරුවන්ට අමතරව තව දෙවි කෙනෙක් අදහනවලු. ඒ තමයි කල්‍යාණි නදියට අධිපති දෙවියෝ. ඒ දෙවියෝ ඉස්සර දේවගම ජීවත් වෙලා ඉඳලා අභාවප්‍රාප්ත වෙච්ච කෙනෙක්ලු. එතුමා වෙනුවෙන් හදපු ලොකු දේවාලයක් දේවගම පන්සලේ තියෙනවා. දේවගමට ඒ නම වැටිලා තියෙන්නෙත් ඒ දෙවියන්ගෙ නමින්මයි. ඒ වගේම දේවගම කියන්නෙ ගොඩක් අනුහස් තියෙන රටක් කියලා තමයි එහෙ මිනිස්සු විශ්වාස කරන්නෙ. දේවගම විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවෙත් ඔය ගඟ අයිනෙ මිටියාවත් වල ජීවත්වෙන මිනිස්සු අදහන්නෙ ඒ දෙවියන්වම තමයිලු.

------------------------------------------------------------------------------------------

දේවගම ආර්ථිකේ ගැන අපි කලින් ලිපියකත් කිව්වා නොවැ! දැන් කියන්න හදන්නෙ ඒ පැත්තෙ වෙළඳාම ගැන. මුලු දේවගමටම තියෙන්නෙ එකම කඩයයි. ඉතිං ඒ කඩේ ටොපියෙ ඉඳලා ගඩොල් කැටේ වෙනකන් හැම බඩුවම තියෙනවලු. ඊට අමතරව කඩේ මුදලාලි රජවාසලට විතරක් වෙනම ටෙලි ෂොපින් ක්‍රමයක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලයි තියෙන්නේ. රජ බිසවට තියෙන්නේ දුරකථන මාර්ගයෙන් කඩේ මුදලාලිට තමන්ට ඕනෙ බඩු ලිස්ට් එක කියන එක. ඊටපස්සෙ මුදලාලි කරන්නෙ බඩු ටික උස්සගෙන රජ මාලිගාවටම ඇවිත් ඒවා දීලා යන එක. මෑන්ස් ගිය අතරෙ කඩේ මුර කරන්න හයිනා වර්ගයට අයිති සතෙකුත් කඩේ ඉස්සරහා බැඳලා දාලා තමයි මුදලාලි මාළිගාවට යන්නෙ.

දේවගම ජෛව විවිධත්වය අතින් අනූනයි. ලංකාවෙදි කවදාවත් දැකගන්න බැරි සත්තු සහ ශාක වර්ග ගොඩක් දේවගමදි දැකගන්න පුලුවන්. ලංකාවෙ ඉන්න සත්තු පවා දේවගමට යද්දි වෙනස් වෙලා තමයි දැකගන්න පුලුවන් වෙන්නෙ. උදාහරණයක් විදිහට ලංකාවෙ හැකරැල්ලෙක් වැඩිම වුණොත් අඟල් 3-4 විතර තමයි දික්වෙන්නෙ. ඒත් දේවගම හැකරැල්ලො සාමාන්‍යයෙන් අඩි බාගයක් විතර දික් වෙනවලු.

එකපාරක් මාලුකට්ටා දේවගම ගහක පිපිච්ච ලස්සන මලක් බයෝ ක්ලාස් එකට ගෙනාවලු. ඒ මල ක්ලාස් එකේ හිටපු කවුරුවත් මීටකලින් දැකලා තිබුනෙ නෑ. ඉතිං ටික වෙලාවකින් මාලුකට්ටා ගෙනාපු අමුතු මල ගැන නිව්ස් එක ක්ලාස් එක පුරාම පැතිරුණාලු. අන්තිමට කට්ටිය කළේ සර් ක්ලාස් එකේ උගන්නද්දි ඒ මල ගැන විස්තර අහලා මලත් එක්කම චිට් එකක් සර්ට යවපු එක. බයෝ සර් ජීව විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තියෙන මනුස්පයෙක්. ඒත් ඒ අසරණයාට මේ මල දැක්කට පස්සෙ අඩුගානෙ ඒක අයිති වෙන කුලයවත් හිතාගන්න බැරිවුණාලු. අන්න එහෙමයි දේවගම ජෛව විවිධත්වය.

-----------------------------------------------------------------------------------

දේවගම මිනිස්සුන්ගෙ තියෙන හොඳ ගතිගුණයක් තමයි පැත්ත ගියත් ඇත්ත කියන එක. ඒ වගේම ඒ අය ඇත්ත කියන්න මොහොතක්වත් පසුබට වෙන්නෙ නෑලු. මේ සිද්දිය වුණේ අපේ උපාසක චංචලාව මුලින්ම මාලුකට්ටාට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න දවසෙ. මේ වෙද්දි උපාසකගෙයි චංචලාගෙයි ආදරේ උතුර උතුරලු තිබුනේ. ඉතිං චංචලා ගිය වෙලාවෙම උපාසක මාලුකට්ටාගෙන් ඇහුවලු චංචලා ගැන.

උපාසක :- මාලු කොහොමද චංචලා? හොඳයි නේද?

මාලුකට්ටා :- හොඳයි මචං! චංචලාගෙ -- ලස්සන කලුපාට ලපේකුත් ති‍යෙනවා නේද?

බලාපොරොත්තු නැති විදිහට මාලුකට්ටා කියපු දෙයින් උපාසක ෆුල් අඤ්ඤකොරොස් වුණාලු.

උපාසක :- මොකක්?

මාලුකට්ටා :- ඇයි යකෝ, චංචලාගෙ බ්ලවුස් එකේ බොත්තමක් ඇරිලනෙ තිබුනෙ! උඹ බැලුවෙ නැද්ද මෝඩයා?

එතන ඊටපස්සෙ සිද්දවුණයි කියන දේ ගැන මම මේ බ්ලොග් එකේ දාන්නෙ නෑලු හොඳේ!

--------------------------------------------------------------------------------------

කොහොමහරි ඉතිං කිරිකැට් සෙල්ලං කරලා ඉවර වෙච්ච අපේ යාලුවො සෙට් එක ගඟ පැත්තට යන්න පිටත් වුණාලු. මේ රන් කල්‍යාණි නදිය ගැනත් කියන්න කතා බෝහෝමයි. අපේ යුව රජ්ජුරුවොත් නිතරම විවේක සුවයෙන් කල් ගෙවන්න ආවෙ මේ ගඟ ළඟට. දේවගම ගැමියො කතාවට කියන්නෙ යුව රජ්ජුරුවො කෙල්ලෙක්ට ගඟ පෙන්නන්න එක්කගෙන ආවොත් ආපහු ඒ කෙල්ලට ගැලවිල්ලක් හම්බවෙනවා බොරුයි කියලා. ඔය කතාවල ඉතිං ඇත්ත නැත්ත අහන්න වෙන්නෙ ඉතිං මාලුකට්ටාගෙන්ම තමයි.

එක පාරක් ශ්‍රී ලංකාවෙ කැනඩා තානාපති කාර්යාලෙ කට්ටිය එහෙ ඉන්න කැනඩා සුද්දො කට්ටියක්, ශ්‍රී ලංකාවෙ ජන ජීවිතය ගැන හදාරන්න ලංකාවට ගෙනාවලු. ඒත් මෙහෙ කවුරුහරි රං ගොජෙක් මේ කට්ටියව ලංකාවෙ ජන ජීවිතය ගැන හදාරන්න කියලා එක්කගෙන ඇවිත් තිබුනෙ දේවගමට. ඉතිං ඊටපස්සෙ මොකද වුණේ, ඒ වගේම අපි දැන් කියාගෙන යන ප්‍රධාන කතාවෙ අන්තිමට මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

Tuesday, July 26, 2011

දේවගම - 2

දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක්


මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම පටන් ගන්නංකෝ දෙවෙනි කොටස දාන්න පරක්කු වුණාට. මගෙ ඩොන්ගල් එකේ ප්‍රශ්නයක් නිසා පහුගිය දවස් ටිකේ නෙට් එන්න බැරිවෙච්ච එක තමයි ඒ පරක්කු වීමට හේතුව. ඉතිං අපි එදා කතාව නවත්තපු තැන ඉඳලාම පටන් ගම්මුකො නේද එහෙනං?

කොහොමහරි අපේ  පූසො කට්ටිය මාලුකට්ටාගෙ ගෙදර යනකොට පැයකට කිට්ටු වෙලාවක් ගතවෙලා තිබුනලු. ඇත්තටම බස් එකේ දේවගම යද්දි ගමනාන්තය කිට්ටු වෙද්දි යන මිනිස්සුන්ගෙ ඇඟට සෑහෙන්න අමාරුයි. මොකද ඒ පාරෙ වල ගොඩැලි නැති තැනක් හොයාගන්න බැහැ. සමහර වලවල් තියෙන්නෙ හරියට බිම් බෝම්බ පිපිරුවාම ඇතිවෙන වලවල් වගේ. ඇත්තටම එහෙමද දන්නෙත් නෑ. ඒ ඔක්කොටම වඩා හපන් පාරෙ යද්දි හම්බවෙන කඳු ටික. ඒ කඳු වලින් බස් එක පන්නන්න පුලුවන් ඉතිං අවුරුදු ගානක් දේවගම රූට් එකේ බස් එලවපු ඩ්‍රයිවර් කෙනෙක්ටම තමයි.


සාමාන්‍යෙයන් මොළේ අමාරුකාරයෙක් ඇරෙන්න කවුරුත් දේවගම රූට් එකට අලුත් බස් එකක් දාන්නෙ නෑ. මොකද සතියක් දුවද්දි අයිතිකාරයාටවත් තමන්ගෙ බස් එක අඳුරගන්න බැරි ගානට බස් එක මොඩිෆයි වෙලයි තියෙන්නෙ. ඉතිං සාමාන්‍යයෙන් දේවගම - පූස්ගම දුවන බස් ඔක්කොම පට්ටම අබලන් බස් සෙට් එකක්. ඒක තවත් හේතුවක් තමයිලු මේ ගමනෙදි මිනිස්සුන්ගෙ ඇඟවල් වලට අමාරු ඇතිවෙන්න.


එකපාරක් උදේ බස් එකේ ඩ්‍රයිවර්ට අමතක වීමෙන් මාලුකට්ටාව මගඇරිලා. ඉතිං මාලුකට්ටා පාරට යනකොට බස් එක ඈත යනවලු. මෑන්ස් බැලුවලු යුව රජ්ජුරුවන්ව දාලා යන්න තරම් මූට තියෙන හයිය මොකද්ද කියලා. ඊටපස්සෙ මාලුකට්ටා කරලා තියෙන්නෙ ඩ්‍රයිවර්ට දෙකක් නෙලන්න බස් එක පස්සෙන් හයියෙන් දුවපු එක. ඒත් අපේ යුවරාජ්ගෙ අවාසනාවට මෑන්ස් දුවද්දි පොරව පාරෙ මැද තිබුන වලකට වැටුනලු. ඉතිං අන්තිමට වුණේ මෑන්ස්ගෙ දකුණු කකුලෙ දණිස් පොල්කටුව පැන්න එක.


කොහොමහරි වෛද්‍ය ප්‍රතිකාර දුන්නාට පස්සෙ දේවගමට අල්ලපු ගමේ ඉන්න ප්‍රසිද්ද කැඩුම් බිඳුම් වෙදතුමා තීරණය කළේ යුවරජතුමාව මාසයක් යනකං ශිල්ප හදාරන්න කුරුඳුවත්ත තක්සලාවට යවන්න එපා කියලා. ඉතිං ඒ කාලෙ වෙද්දි උසස්පෙළ විභාගෙටත් ටිකක් කිට්ටුවෙලා තිබුන හින්දා අපේ යුවරජා කළේ ශ්‍රී ලාංකික පැංචියෙක් ලවා තමන්ට අවශ්‍ය කරන නෝට් ටික ගෙදරටම ගෙන්න ගත්ත එක. ඒ සිද්දිය අපි පස්සෙ වෙනම සීරීස් එකකින් අහමුකො නේද?


ඉතිං ඔය විදිහට මාලුකට්ටා ඉස්කෝලෙ එන්නෙ නැතුව ඉන්නකොට කුරුඳුවත්ත ඉස්කෝලෙ කොල්ලො කට්ටිය තීරණය කලාලු මෑන්ස්ව බලන්න දේවගමට යන්න. දේවගමට ගිහිල්ලා එක්ස්පීරියන්ස් තියෙන පුරුපුරුනං ඒ කට්ටියට කිව්වෙ දේවගමට යන්න ඉස්සරවෙලා අඩුගානෙ සිංහරාජෙටවත් ට්‍රිප් එකක් ගිහින් එක්ස්පීරියන්ස් ගත්තොත් හොදයි කියලා. ඒත් ඉතිං අවාසනාවට ක්ලාස් එකේ කොල්ලො ටික හිතුවෙ පුරුපුරු කියන්නෙ බොරුයි කියලලු.


අන්තිමට මාලුකට්ටාව බලන්න කට්ටිය දේවගමට යද්දි ක්ලාස් එකේ කොල්ලො දෙන්නෙකුට කලන්තෙ හැදිලා. තව දෙන්නෙකුට කොන්දෙ අමාරු හැදිලා. ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ මේ වගේ දුෂ්කර රටක ඉඳලා තමන්ගෙ ඉස්කෝලෙට එන මාලුකට්ටාට Most Dedicated Student කියන සම්මානය ප්‍රධානය කරන්න.


-------------------------------------------------------------------


කොහොමහරි ඉතිං පූසො කට්ටිය මාලුකට්ටාගෙ රජ මාළිගාවට ළගා වුණේ බස් ෆ්ලයිට් එකෙන් බැහැලා විනාඩි දහයක් විතර ඇවිදලා. මේ දවස්වල වැස්ස නැතුව ඒ පැත්තම වේලිලා තිබුනේ. ඉතිං අපේ ඤාව්වා කළේ මාළිගාවට ගිය ගමන් යුව රජ්ජුරුවන්ගෙ බයිනොකියුලර් එක අතට ගත්ත එක. ආ...ඔන්න ඉතිං දැන් බයිනො එකේ කතාවත් කියන්න වෙනවා නොවැ!


දේවගම ඉන්න මිනිස්සු, ගෑනු සාමාන්‍යයෙන් නාන්නෙ රන් කළ්‍යාණි නදියෙන්. ඒත් මේ වගේ පායන කාලවල් වල අපේ මාලුකට්ටා සිස්ටම් එකක් හදලලු තියෙන්නෙ ග‍ඟේ වතුර හිඳුනත්, මෑන්ස්ගෙ රාජකීය උද්‍යානෙ කෙළවරක තියෙන ළිඳේ වතුර හිඳෙන්නෙ නැති වෙන්න. ඉතිං ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු වැඩට යන දවල් කාලෙට ඔය ළිඳ ගෙවල් වල ඉන්න ගෑනුන්ගෙන් පිරෙනවලු. ඉතිං අපේ යුවරජාට තියෙන්නෙ ඒ වෙලාවට බයිනොකියුලර් එකත් තියාගෙන, ලෝඩ්ස් පිට්ටනියෙ ටෙස්ට් මැච් එකක් බලනවා වගේ කාමරේ ඇතුලෙ ඉඳගෙන සුන්දර දර්ශන නරඹ නරඹ ඉන්න.


මුලින්ම පූසො ඔය බයිනොකියුලර් එක ගැන ඇහුවාම මාලුකට්ටා කිව්වෙ රෑට තරු බලන්නයි ඒක ගත්තෙ කියලා. පූසොත් ඉතිං දේවගම සංස්කෘතිය ලංකාවට වඩා වෙනස් හින්දා මෑන්ස් කියපු දේ විශ්වාස කළාලු. ඒත් ඉතිං බයිනො එකේ ඇත්තම රහස එළිවෙන්න වැඩි දවසක් ගියෙ නෑ. අන්තිමට සිද්දවුණේ පායන කාලෙට දවල් “තරු“ බලන්න අපේ ඤාව්වායි මාලුකට්ටායි අතරෙ ප්‍රබල තරඟයක් ඇතිවෙච්ච එක. කොටින්ම පායන කාලෙට ඤාව්වා තමන්ගෙ ගෙදරටත් වඩා හිටියෙ දේවගම රජ මාලිගාවෙලු. ඇති යන්තං පස්සෙ කාලෙක දේවගම පොදු නල ළිඳක් නොහදන්න, ඤාව්වා නතර වෙන්නෙ නාසා ආයතනයට ගිහින්.


----------------------------------------------------------------

කොහොමහරි ඉතිං කට්ටිය රජ මාළිගාවට යද්දි ටිකක් දවල් වෙලා නොවැ! දේවගම රජ මාළිගාව තරම් ආගන්තුක සත්කාරයෙන් පිරුණු වෙන තැනකට පූසො කවදාවත් ගිහින් නෑ. ඉතිං ගිය වෙලාවෙ ඉඳලා එක එක කෑම, සොෆ්ට් ඩ්‍රින්ක්ස් එහෙම පූසන්ව හොයාගෙන ආවලු. ඒ අතරෙ රජ වාසල නිල සුනඛයා වෙච්ච බ්‍රේව්ගෙ අඟර දඟර සංදර්ශනයක් බලන්නත් පූසො අමතක කළේ නෑ.


කලින් දවසක අපේ ඤාව්වා රජ මාළිගාවෙ මුලුතැන්ගෙට දැනුම් දීලලු තිබුනෙ මෑන්ස්ට වල් ඌරු මස් කන්න ආසයි කියලා. ඉතිං එදා බැලින්නං ස්පෙෂල් කෑම විදිහට දිවා භෝජනේට තියෙන්නෙ වල් ඌරු මස්. දේවගම කැලේ වල් ඌරො වැහි වැහැලා. ඉතිං හුදී ජනයා මරුවැල් බැඳලා වල් ඌරෙක්ව අල්ලගත්තාම ඌගෙ මස් වලින් කොටසක් රජතුමාට ගෙනත් දෙන්නත් අමතක කරන්නෙ නෑලු.


කොහොමහරි රජවාසල මුලුතැන්ගෙයින් වල් ඌරු මස් උයලා තිබුනෙ අපේ පූසන්ට වේල් තුනකට කන්නලු. ඒත් ඤාව්වාගෙ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ වල් ඌරාට වගේම රජවාසලටත් ඇපත් නැති වුණාලු. අන්තිමට බලද්දි ඤාව්වා ඇතුලු පූසො කට්ටිය මුලු වල් ඌරාටම එක වේලෙන් ගේම දීලා.

ඊළඟට මොකද වුණේ කියලා එහෙනං ඊළඟ කොටසින් බලමු නේද යාලුවනේ?




සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

ප.ප.ලි :- බ්ලොග්කරුවන් සඳහාම හැදුව අලුත් ගෘෘප් එකට ගිහින් බලන්න.

ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ එකතුව



Wednesday, July 20, 2011

දේවගම

දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක්

පුරුපුරු එදා උදේ පූස්ගම බස්ටෑන්ඩ් එකට එනකොට වෙලාව උදේ අටයි. ඤාව්වයි, උපාසකයි, මී කතුරායි තවමත් පේන්න නෑ. එකත් එකටම මුන් දෙන්නා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකං නිදාගන්න ඇති. පුරුපුරු වුණත් ඉතිං මේ වෙලාවට බස්ටෑන්ඩ් එකට ආවෙ ගෙදර ඉඳන් බස්ටෑන්ඩ් එකට තියෙන්නෙ පයින් යන්න පුලුවන් දුරක් නිසා. නැත්තං අපේ යාලුවො කට්ටිය කලින් දවසෙ කතා වෙලා හිටියෙ හතහමාර වෙද්දි බස්ටෑන්ඩ් එකට සෙට් වෙන්න. ඉතිං කොහෙද මේ අපේ පූසො‍ කට්ටිය තකහනියෙ යන්න හදන්නෙ?

පූසො කට්ටිය මේ යන්න හදන්නෙ වෙන කොහෙවත් නෙවෙයි, මාලුකට්ටාගේ ගෙවල් තියෙන දේවගම ප්‍රදේශයට. ඉතිං කතාව තවදුරටත් කියන්න කලින් කට්ටියට දේවගම ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන එක තමයි මගෙ වගකීම.

ශ්‍රී ලංකාව බෙදා වෙන්කරන්න දෙන්නෙ නෑ කියලා ගොඩක් කට්ටිය කෑ ගහනවා අපිට ඇහිලා තියෙනවා. ඒත් ඒ අය නොදන්න කාරනාව තමයි ලංකාව ඇතුලේ දැනටමත් රාජ්‍ය දෙකක් තියෙන බව. එකක් තමයි අපි ජීවත්වෙන ශ්‍රී ලංකාව. අනික තමයි දැන් අපේ පූසො යන්න හදන දේවගම.

දේවගම කියන්නෙ කුඩා ස්වාධීන රාජ්‍යයක්. මේ රාජ්‍ය‍ය හතර වටෙන්ම ශ්‍රී ලංකාවෙන් වටවෙලයි තියෙන්නෙ. මේ රටේ වැඩි ජනගහනයකුත් නෑ. ඉන්නෙ මිනිස්සු දෙතුන් සීයයි. ඒ වගේම දේවගම පාලනය කරන්නෙ රජ කෙනෙක් විසින්. ඉතිං රටේ මිනිස්සු හැමෝම ජීවත් වෙන්නෙ රජතුමාට ඕන විදිහටලු. නැතුව අපේ රටේ වගේ සිරා ප්‍රජාතන්ත්‍රවාදයක්නං මේ රටේ නෑ.

දේවගම දැන් ඉන්න රජතුමා තමයි තුන්වෙනි රම්බෝ රජතුමා. එතුමා වෙන කවුරුත් නෙවෙයි, අපේ මාලුකට්ටාගේ ආදරණීය පියතුමා. තවත් විදිහකින් කියනවානං මාලුකට්ටා තමයි දේවගම ඊළඟට රජවෙන්න ඉන්න ඔටුන්න හිමි කුමාරයා සහ වර්තමාන යුවරජතුමා. ඉතිං මාලුකට්ටාතුමා පොඩි කාලෙ ඉඳලාම විදේශ අධ්‍යාපනය ලබන්න ලංකාවට ගිහින් හිටපු හින්දා රටවැසියො පොරව එච්චරම අඳුරන්නෙ නෑ. ඉතිං මෑන්ස් පාරෙ යද්දි වුණත්, මේ එන්නෙ අහවලා කියලා දන්න මිනිස්සු විතරයි මාලුකට්ටාට ගරු බුහුමන් දක්වන්නෙ.

මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය කීපයක් තියෙනවා. ටික දෙනෙක් ගොවිතැන් කළත් ගොඩක් මිනිස්සු කරන්නෙ එක්කො වැලි ගොඩදාන එක, නැත්තං මැණික් ගරන එක. මොකද දේවගම එක පැත්තක් සීමාවෙලා තියෙන්නෙ අපි "කැළණි ගඟ" කියලා කියන "රන් කල්‍යාණි නදියෙන්". දැන් ඉතිං කට්ටිය හිතන්න එපා ඒවා නීති විරෝධී වැඩ නේද කියලා. මොකද අපි කලිනුත් කිව්වනේ මෙහෙ නීති රීති ලංකාවෙ ඒවාට වඩා ගොඩක් වෙනස් කියලා.

දේවගම රටේ 90% ක්ම වැහිලා තියෙන්නෙ ගන කැළෑ වලිනුයි, ලඳු කැළෑ වලිනුයි. ගන කැළෑවල ඇවිදින්නනං අපේ පුරුපුරුලාට රජ පවුලෙන් කවදාවත් පර්මිෂන් හම්බවුණේ නෑ. මොකද ඒ කැළෑවල සත්තුන්ට අටවපු මර උගුල්, මරුවැල් එහෙම තියෙනවලු. ඒත් අපේ පූසො සෙට් එක දේවගම ගියාම අනිවාර්යයෙන් පොඩි පොඩි ළඳු කැළෑවලයි, කල්‍යාණි නදිය පැත්තෙයි ඇවිදින්න අමතක කළේ නෑලු.

********************************************************************************

කොහොමහරි උපාසකයි, ඤාව්වායි බස්ටෑන්ඩ් එකට එද්දි වෙලාව අටයි කාලයි. ඒත් තවමත් මී කතුරා පේන්න නෑ. කොටින්ම වෙලාව අටයි විසිපහ විතර වෙද්දිවත් මෑන්ස් ඇවිත් හිටියෙ නෑලු. දැන්නං අපේ පූසො ටිකට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. මොකද පූස්ගම ඉඳලා දේවගමට යන්න බස් තියෙන්නෙ පැයකට පාරයි. උදේ පාන්දරයි, රෑ වෙලයි එහෙමවත් බස් නෑ. ඉතිං දැන් කට්ටියට අටහමාරෙ බස් එකේ යන්න බැරි වුණොත් ආපහු යන්න වෙන්නෙ නවයහමාරෙ බස් එකේ.

මේ වෙද්දිත් බස් එකේ වාඩිවෙලා යන්න සීට් තිබුනෙ නෑ. ඇත්තටම ලංකාවෙ ඉඳන් බස් එකේ යන්න පුලුවන් සහ වීසා නැතුව යන්න පුලුවන් එකම රට තමයි දේවගම. කොහොමහරි බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා අපේ මී කතුරාත් එතනට සැපත් වුණාලු. ඊටපස්සෙ කට්ටිය කළේ ඉක්මනට දුවලා ගිහින් අද්දන බස් එකට නැග්ග එක.

ඇත්තටම දේවගම ප්‍රවාහනයත් හරිම ඉන්ටරස්ටින් ටොපික් එකක්. දේවගම බස්ටෑන්ඩ් එකක් නෑ. ඉතිං බස් එකේ ගමනාන්තය තමයි පාර ගිහින් ඉවරවෙන තැන. ඒ කියන්නෙ ගඟ අයිනෙ. ක්ලාස් තියෙන දවස්වලට වෙලාවට ගම්පහට යන්න අපේ මාලුකට්ටා උදේ පාන්දර ගෙදරින් පිටත්වෙන්න ඕනෙ. ඉතිං මෑන්ස් කරන්නෙ උදේ පාන්දර නැගිටලා, ලෑස්තිවෙලා ගඟ ළඟට ගිහින් බස් එකේ ඩ්‍රයිවර්ට නැගිට්ටවන එක. ඊට පස්සෙ මෑන්ස්ට ලෑස්තිවෙන්න යන පැය කාලක වගේ වෙලාවෙදි මාලුකට්ටා කරන්නෙ බස් එක ඇතුලෙ නිදියගන්න එක. දේවගමින් පිටත්වෙලා කිලෝමීටරයක් විතර යනකං බස් එකට වෙන කවුරුවත් නගින්නෙ නෑ.

එකපාරක් බස් ඩ්‍රයිවර්ට කලින් දවසෙ රාජකීය බූට් එකක් වැදිලලු.

මාලුකට්ටා :- අයියෙ, අයියෙ නැගිටින්න, නැගිටින්න. මට පරක්කු වෙලා තියෙන්නෙ.

ඩ්‍රයිවර් :- අනේ මට නිදාගන්න දෙන්න මල්ලි. මට මේ හැමදේම එපාවෙලා තියෙන්නෙ. මම යාලුවෙලා හිටපු ගෑනු ළමයා මට ඊයෙ බූට් එක තිබ්බා.

මාලුකට්ටා :- මේ පිස්සු කියවන්න එපා අයියේ! මට අද පන්ති යන්නම ඕනෙ.

ඩ්‍රයිවර් :- නෑ නෑ!! මම අද බස් එක දුවන්නෙම නෑ. මල්ලිට ඕනෙනං වෙන වාහනයක් කතා කරගෙන පන්තියට යන්න.

අන්තිමට කොහොමහරි රජතුමා එතනට සැපත් වෙලා ඩ්‍රයිවර් මෑන්ස්ට ෆුල් සද්දයක් දැම්මට පස්සෙ තමයි ඇසිස්ටන්ට් කිංට ක්ලාස් යන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

ඇත්තටම දේවගම මිනිස්සු පිටින් තමන්ගෙ රටට එන අමුත්තො දිහා බලන්නෙ ටිකක් වපර ඇහින්. අපේ පූසො වුණත් නිතරම එහෙ ආවෙ ගියෙ යුව රජතුමා තමන්ගෙ සෙට් එකේ පූසෙක් වෙච්ච හින්දා. මොකද වැදගත් වැඩකට නෙවෙයිනං සාමාන්‍යයෙන් ලංකාවෙ ඉන්න කිසිම මනුස්පයෙක් දේවගම පැත්තෙ ආවෙ නෑ. ගොඩක් ශ්‍රී ලන්කන්ස්ලා දේවගමට ආවනං ආවේ එක්කෝ වෙදකම් කරගන්න, දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න, තෙප්පිලියො අල්ලන්න, නැත්තං ගඟේ නාන්න වගේ වැඩ වලට. මොකද ඔය වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග තරණය කරලා දේවගමට එන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ වුණත් සමහර නිර්භීත පූසොනං මේ බාධක නොතකා මේ ලස්සන රටට ආවලු.

ඉතිං වෙන වෙන කතාවලින් අපි මේ ලිපියෙ කියන්න යන ප්‍රධාන කතාව හරියට කියන්න බැරිවුණා නොවැ! ඇත්තටම මේ දේවගම කතාව සීරීස් එකක් වෙන ලක්ෂණ තමයි පේන්න තියෙන්නෙ. ඉතිං අපි මේ සීරීස් එකේ දෙවෙනි කොටස ඊළග ලිපියෙන් බලමු නේද? (2 කොටස ඉක්මනට දානවා හොඳේ).

ප.ලි :- ස්ටීවන් ස්පිල්බර්ග් ලොක්කා තමන්ගෙ ජීවිතේ වැරදිච්ච අවස්ථාවක් විදිහට "ජුරාසික් පාර්ක්" ෆිල්ම් සීරීස් එක දේවගමදි ෂූට් කරන්න බැරිවෙච්ච එක දකිනවා කියලා අපිට ළඟදි ආරංචි වුණා. ඒත් අපේ ලෝකල් ස්පිල්බර්ග් කෙනෙක් ඒකටත් හරියන්න දේවගමදි ජුරාසික් පාක් සීරීස් එකේ ෆිල්ම් එකක් ගහනවලු.

සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

Thursday, July 14, 2011

පූසා හිඟාකාපු හැටි


දැන් ඉතිං අපේ ගොඩක් යාලුවො බ්ලොග් ගඩොල් කියවලාම පුරුපුරුලගෙ හොස්ටල් එක ගැන ගොඩක් දේවල් දන්නවා නොවැ! ඉතිං අද අපි කියන්න යන්නේ පුරුපුරුට හොස්ටල් එකෙන් එළියෙදි සිද්ද වෙච්ච වැඩක් ගැන.

අපේ පූසා හොස්ටල් එකේ නැවතිලා හිටියට මොකද, ගොඩක් සබ්ජෙක්ට්ස් වලට පන්ති ගියෙ ගම්පහ. ඉතිං මෑන්ස් වීක් එන්ඩ් එකේ ක්ලාස් යන්න ඕනෙ නිසා හැමදාම සිකුරාදාට ගෙදර යන එක පුරුද්දක් කරගෙනයි හිටියෙ. පුරුපුරු ගොඩක් වෙලාවට කළේ ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමන් එහෙමම බස් එකේ හරි පරණ ස්කූල් වෑන් එකේ හරි ගෙදර ගිය එක. එහෙම යනකොට ඉතිං මෑන්ස්ට සතියක් තිස්සෙ ඇඳපු සුවඳ හමන ඇඳුම් ටික ලොකු ට්‍රැවලින් බෑග් එකක දාගෙන අරන් යන්නත් වුණාලු.

කොහොමහරි සිකුරාදාට නිවාඩු දැම්ම දවස්වලටනං පුරුපුරුට ටිකක් හැඩ වැඩ වෙලා, කලර්ඩ් කිට් එකක් එහෙම ඇඳගෙන ගෙදර යන්න චාන්ස් එක තිබුනා. ඉතිං මෑන්ස් කළේ පුලුවන් හැම වෙලාවෙම සිකුරාදාට පුංචි පහේ නිවාඩුවක් දාන එක. මේ සිද්දිය වුණෙත් අන්න ඒ වගේ සිකුරාදා දවසකලු.

ඉතිං මේ කියන දවසෙ උදේ ඉස්කෝලෙ කට් කරපු අපේ පූසා හොස්ටල් රූම් එකට වෙලා, තමන්ට මගඇරුණු බයෝ පාඩම් ටිකක් පාඩම් කරන්න ගත්තලු. ඒ ලෙවල් වලට බයෝ කරපු අපේ යාලුවො දන්නවා ඇතිනෙ ග්‍රීන් මහත්තයාගෙ රතු පොත ගැන. පුරුපුරුටනං මේක කොච්චර කියවන්න හිතාගෙන අතට ගත්තත් අන්තිමට බැලෙන්නෙ පින්තූර ටික විතරයි. ඊටත් ටික වෙලාවකට පස්සෙ හොඳට නින්ද යනවා.

ඉතිං මේ දවසෙත් ටිකක් වෙලා ග්‍රීන් පොත කියවපු අපේ පූසාට ටික වෙලාවකින් ෆුල් දොයිමතක් ආවලු. ඊට පස්සෙ මෑන්ස්ට මතක ලස්සන හීන දෙක තුනක් දැකපු එක විතරයි. අන්තිමට හදිස්සියෙ පුරුපුරුට නැගිට්ටෙනකොටත් දන්නෙම නැතුව මෑන්ස් පැය ගානක් නිදි කුමරියගෙ තුරුලේ සැතපිලා. වෙලාව හරියටම දවල් එකහමාරයි.

පුරුපුරු හිතාගෙන හිටියෙ දවල් එකහමාරට ඉස්කෝලෙ ඉවරවෙන බෙල් එක ගහනකොට ඉස්කෝලෙන් ‍යන්න. එතකොට ෆ්‍රී ඔෆ් චාර්ජ් ස්කූල් වෑන් එකේ ගෙදර යන්න පුලුවන්. ඒත් ඉතිං දැනටමත් වෙලාව එකහමාරයි. තව විනාඩි පහෙන් දහයෙන් වෑන් එක යනවා. ඉතිං කලබල වෙච්ච අපේ පූසා කළේ ටක් ටක් ගාලා අහුවෙච්ච ඇඳුම් දෙකතුනක් ඇදගෙන, ඇඳුම් බෑග් එකත් අරන් හොස්ටල් එකෙන් එළියට බැස්ස එක. එතකොටම තමයි මෑන්ස්ට මතක් වුණේ තමන් අද උදේට දත් මැද්දෙ නෑ නේද කියලා. දැන් ඉතිං පොරට නහුතෙට අප්සෙට්. ස්කූල් වෑන් එකේ එවුන්ට මේ බව දැනුනොත් පට්ට චාටර්.

ඊට පස්සේ "ඔන්න ඔහේ අද වැඩිය කතා නොකර නිදාගෙන යනවා" කියලා හිතපු පුරුපුරු, අධෛර්යමත් නොවී වීර පුරුෂයෙක් වගේ ස්කූල් වෑන් එක නවත්තන තැනට ගියාලු. ඒත් තමන් පරක්කු වැඩියි කියලා මෑන්ස්ට තේරුනේ වෙනදා එතන ඉන්න ඤාව්වයි, අලයයි, පොඩි එවුන් සෙට් එකයි එදා පේන්න නොහිටිය හින්දා. බැලින්නං ස්කූල් වෑන් එක අපේ පුරුපුරු එන්න කලින් එතනින් යන්න ගිහින්. දැන් ඉතිං කාට කියන්නද? අන්තිමට අපේ යාලුවාට ඉතුරුවෙලා තිබුන එකම ඔප්ෂන් එක තමයි බස් එකේ ගෙදර යන එක.

ඉතිං පුරුපුරුත් බොහොම දුකසේ ග්ලාස් හවුස් එක ගාවට ගියාලු කඩුවෙල බස් එකක් අල්ලගන්න. එතකොටම තමයි එතෙන්ට කඩුවෙල ඒසී බස් එකක් ආවෙ. පූසො වුණත් ඉතිං ටිකක් සැපට බස්වල යන්න කැමතියි නොවැ! ඉතිං දෙපාරක් නොහිතපු අපේ පුරුපුරුත් බස් එකට නැගලා පිටිපස්සෙන් වාඩි වුණාලු. කොන්දා අයියත් දැන්ම ටිකට් දෙන පාටක් පේන්න නෑ. අන්තිමට මෑන්ස් ටිකට් දෙන්න බස් එකේ පිටිපස්සට එන්න ගත්තෙ බස් එක බත්තරමුල්ල හරියට යද්දි.

පුරුපුරුත් ඉතිං ටිකට් ගන්න තමන්ගෙ පර්ස් එක එළියට ඇදලා ගත්තලු.

"දෙයියෝ සාක්කි"

බැලින්නං පුරුපුරුගෙ මුලු පර්ස් එකටම තිබුනෙ රුපියල් විස්සක් විතරයි. ඒක ඒ දවස්වල ගණන් අනුව වුණත් කඩුවෙලටවත් යන්න බැරි තරම් සොච්චම් මුදලක්. මේ රුපියල් විස්ස දැක්කට පස්සෙ තමයි මෑන්ස්ට මීටර් වුණේ තමන් කලින් දවසෙ සෙට් එකත් එක්ක රහීමා එකට ගිහිං හොඳ චිකන් කොත්තුවකට ගේම දුන්නා නේද කියලා. ඊටපස්සෙ තමයි පර්ස් එකේ තිබුන රුපියල් දෙසීය රුපියල් විස්සක් වුණේ.

දැන් ඉතිං මොකද කරන්නේ? අපේ පූසාට දැන් මොනවත් හිතාගන්න බෑ. ටිකිරි මොළේට කිසිම අයිඩියා එකක් එන්නෙත් නෑ. මෑන්ස් කළේ තිබ්බ රුපියල් විස්ස කොන්දයියාට දීලා බස් එකෙන් බැස්ස එක.

දැන් පුරුපුරු බත්තරමුල්ලෙ ටවුන් එක මැද්දෙ තනිවෙලා. අතේ සතයක්වත් නෑ. ඒ මදිවට දන්න අඳුරන කවුරුවත් ළඟපාතක ඇත්තෙත් නෑ කීයක්වත් අතමාරුවට ඉල්ලගන්න. කොටින්ම අපේ පූසා ෆුල් නස්තාර් සිටුවේෂන් එකක තමයි ඉන්නේ. බත්තරමුල්ලෙ ඉඳන් හොස්ටල් එකට පයින් යන්නත් බෑ. ඒ මදිවාට පහුවදා කෙමිස්ට්‍රි ක්ලාස් එකේ විභාගයක් තියෙන්නත් නියමිත වෙලා තිබුනා. ඒ හින්දා කොහොමහරි ගෙදරම යන්න තමයි අපේ පුරුපුරුට ඕනෙ වුණේ. මේ ඔක්කොටමත් වඩා මෑන්ස් උදේට දත් මැදලවත් නෙවෙයි හිටියේ. ඉතිං මනුස්සයෙක් එක්ක කතා කරන්නෙවත් කොහොමද?

මේ අතරෙ තමයි පුරුපුරු දැක්කෙ ලස්සන අක්කා කෙනෙක් බස් හෝල්ට් එකේ කොනක තනියම ඉන්න දර්ශනේ. වෙනදානං මේ වගේ දර්ශනයක් දැක්කාම මෑන්ස් ඒ දිහා බලන්නෙ වෙනම දෘෂ්ටි කෝණයකින්. ඒත් එදා පත්වෙලා හිටපු තත්ත්වෙ උඩ මේ අක්කාව අපේ පූසාට පෙනුනෙ ගෙදර යන්න කීයක් හරි හොයාගන්න පුලුවන් ආදායම් මාර්ගයක් විදිහටලු. අන්තිමට පුරුපුරු තීරණය කළාලු ලැජ්ජාව පැත්තකින් තියලා අක්කත් එක්ක පොඩි ‍ටෝකක් දාන්න. හැබැයි ඒ මෑන්ස් උදේ දත් මැද්ද නැති එක ඒ අක්කාට නොතේරේවා කියන උතුම් ප්‍රාර්ථනයත් එක්ක.

ඉතිං ඔය විදිහට ඒ අක්කාගෙන් සල්ලි ඉල්ලන්න හිතාගත්තත් පුරුපුරුට හිතාගන්න බැරිවුණේ මේ වැඩේට ඇප්රෝච් වෙන ආකාරය ගැන. චිකන් කොත්තු කන්න ගිහින් සල්ලි ඉවරවුණා කිව්වොත් අපේ පූසාට නතරවෙන්න වෙන්නෙ අක්කාගනේ ගුටිත් කාලයි. ඉතිං අන්තිමට පුරුපුරු තීරණය කළේ තමන්ගෙ පර්ස් එක නැතිවෙච්ච බවට පොඩි බොරුවක් කියලා අක්කාගෙන් ගෙදර යන්න සල්ලි ඉල්ලගන්න. ඒ හින්දා මෑන්ස් ඊටපස්සෙ කළේ තමන්ගෙ සාක්කුවෙ තිබුන පර්ස් එක ට්‍රැවලින් බෑග් එකේ අඩියටම දාලා හංගලා, අක්කත් එක්ක කතා කරන්න ගිය එක.

පුරුපුරු :- අ..අක්කෙ මේ...මේ......

අක්කා :- ඇයි මල්ලි?

පුරුපුරු :- මේ..අක්කෙ..මගෙ මේ...පර්ස් එක නැතිවෙලා බස් එකේ එනකොට.

අක්කා :- ආනේ!

පුරුපුරු :- මට දැන් ගෙදර යන්න විදිහක් නෑ අක්කෙ. මට රුපියල් හතලිහක් විතර ගන්න නැද්ද? මේ...රුපියල් විස්සක් විතර වුණත් කමක් නෑ.

අක්කා :- කමක් නෑ මල්ලි, මම රුපියල් හතළිහක්ම දෙන්නං. ඔයා ගිහින් පොලිසියෙ පැමිනිල්ලක් දාන්න පර්ස් එක නැතිවෙලයි කියලා.

ඉතිං මෙහෙම කියපු අක්කා තමන්ගෙ ළග තිබුන රුපියල් හතළිහක්ම පුරුපුරුගෙ අතට දුන්නලු. දත් මදින්න බැරිවෙච්ච කේස් එක එච්චරම ප්‍රශ්නයක් වෙච්ච බව පේන්න තිබුනෙත් නෑ. අන්තිමට කොහොමහරි ඉතිං අපේ පූසත් අක්කාට පින් සිද්ද වෙන්න තමන් වැටිලා හිටපු ආර්ථික අර්බුධයෙන් ගොඩ ආවලු. ඇති යන්තං මේක මෙතනිං ඉවර වුණේ. හොඳ වෙලාවට බත්තරමුල්ලෙ කවුරුත් අපේ පූසාව දන්නෙත් නෑ. පූස්ගම කවුරුත් ළඟපාත හිටියෙත් නෑ. මෙහෙම හිතලා සැනසුන පුරුපුරු අක්කාට නොසෑහෙන්න ස්තුති කරලා, ඊළග කඩුවෙල බස් එකට නැග්ගලු ගෙදර යන්න.

බස් එක කඩුවෙලට ළගාවුණේ තවත් පැය බාගෙකට විතර පස්සෙ. මේ වෙද්දිත් ටිකක් පරක්කු වෙලා තිබුන නිසා, ඉක්මනට ගිහිං අනිත් බස් එක අල්ලගන්න බලාගෙන අපේ පූසා කඩුවෙල බස් එකෙන් බැස්සලු. එතකොටම තමයි මෑන්ස් හුරුපුරුදු මූණක් එහා දොරෙන් බස් එකෙන් බහිනවා දැක්කෙ. හොදට රබර් ඇහැ දාලා බැලින්නං ඒ තමයි පුරුපුරුට රුපියල් හතළිහක් පූජා කරපු අක්කා. බැලින්නං අපේ පූසා ඉස්සරහ දොරෙන් බස් එකට නගිද්දි ඒ අක්කා පිටිපස්ස දොරෙන් ඒ බස් එකටම නැගලා.

මොනවා වුණත් කවදාවත් හිඟාකාලා නැති එකේ පුරුපුරුට තමන් කරපු වැඩේ ගැන අම්බානට අප්සෙට්. ඉතිං මෑන්ස් ට්‍රයි කළේ අර අක්කාට නොපෙනෙන්න එතනින් ඌර්ධවපාතනය වෙලා යන්න. ඒත් කොහෙද? පුරුපුරු අනිත් පැත්ත හැරෙද්දිම අර අක්කා ඇවිත් මෑන්ස්ට ටෝක් කළාලු.

අක්කා :- ආ මල්ලි!

පුරුපුරු :- ආ...අක්කා. ඔයත් මේ බස් එකේද ආවෙ? බලන්නකො මම ඔයාව දැක්කෙත් නෑනෙ. මම එහෙනං යන්නං අක්කෙ. තෑන්ක්ස් අ ලොට්!

අක්කා :- අයියෝ ඕක මොකද්ද මල්ලි.

පුරුපුරු කළේ පොඩි ආඳා පාර්ට් එකක් දාලා එතනින් ලිස්සලා ගිහින් ගම්පහ-කඩුවෙල බස් එකක නැග්ග එක. ඊටපස්සෙ මෑන්ස් ප්‍රාර්ථනා කළාලු අර අක්කා මේ බස් එකටනං නගින්න එපා කියලා. ඒත් එදා දවස පුරාම අපේ පුරුපුරුට කිසිම ලක් එකක් තිබුනෙ නෑ. විනාඩි දෙකක් යන්න කලින් අක්කත් ඇවිත් ඒ බස් එකටම නැග්ගලු. දැන්නං අපේ පූසාට සෑහෙන්න අප්සෙට්. හැබැයි ඉතිං මේ පාරනං අක්කා පුරුපුරු බස් එක ඇතුලෙ ඉන්නවා දැක්කෙ නෑලු.

පුරුපුරුගෙ ගමන් මාර්ගය වුණේ ගම්පහ-කඩුවෙල පාරෙ අතරමග හන්දියකින් බැහැලා, ඊටපස්සෙ ගම්පහ-පූස්ගම බස් එකක නැගලා පූස්ගමට යන එක. ඉතිං දැන් අපේ පූසා දෙයියන්ට කන්නලව් කර කර ඉන්නෙ අර අක්කත් එතනින්ම බැහින්නෙ නැතුව දිගටම ගම්පහටම යන්න කියලා. ඒත් ඉතිං සුපුරුදු විදිහට මෑන්ස්ගෙ බෑඩ් ලක් එක හින්දා පුරුපුරු බස් එකෙන් බැස්ස හන්දියෙන්ම අක්කත් බැස්සලු.

දැන්නං අපේ පූසාට ෆුල් අබ්ලික් වෙලයි ඉන්නේ. බැරිවෙලා හරි  මේ අක්කා පූස්ගමනං එහෙම පුරුපුරුට කලිසමක් ඇඳ‍ගෙන පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතිං පුරුපුරු කළේ අක්කාට නොපෙනෙන්න ශේප් එකේ පොඩි ෆලෝ පාරක් දීලා බලපු එක. බැලින්නං අපේ පූසා හිතපු දේ හරියටම හරි. අක්කා කෙලින්ම ගිහින් නැවතුනේ ගම්පහ-පූස්ගම බස් නවත්තන හෝල්ට් එකේ. දැන් ඉතිං මෑන්ස්ට ෂුවර් මේ අක්කා පූස්ගම පැත්තෙ කෙනෙක් බව.

පුරුපුරුටත් දැන් මේ බස් එකේ නගින්න මේ හෝල්ට් එකට යන්න ඕනෙලු. ඒත් අක්කාට පේන නිසා එතනට යන්න විදිහක් නෑ. මෑන්ස්ගෙ කරුමෙට මෙච්චර කෙල්ලො හිටපු බත්තරමුල්ලෙදි සල්ලි ඉල්ලගන්න සෙට් වුණේ පූස්ගම කෙල්ලෙක්ම නොවැ! කොහොමහරි ඉතිං පූසා කළේ පූස්ගම බස් දෙකක් විතර එතනින් යනකං ඒ කිට්ටුව තිබුන කඩේකට වෙලා හෝල්ට් එකට නොපෙනෙන්න හිටපු එක.

ටික වෙලාවකින් පුරුපුරු පොඩ්ඩක් ඔලුව දාලා බැලින්නං අර අක්කා හෝල්ට් එකේ පේන්න හිටියෙ නෑලු. ඇති යන්තං එයා කලින් බස් එකේ ගිහින්. ඉතිං අපේ පුරුපුරුගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවෙ තමයි. මෑන්ස් කළේ කෙලින්ම කුරුල්ලා වගේ බස් හෝල්ට් එකට ගිහින් ඊළඟ පූස්ගම බස් එකට නැග්ග එක. ඇත්තටම එදා උදේ ඉඳලා පුරුපුරුට තිබුන බෑඩ් ලක් එක මේ වෙද්දි නැතිවෙලා ගිහින් තිබුනලු. එයාට ඒක තේරුණේ සාඩින් පැක් කරලා වගේ තිබුන බස් එකට නැගලා වැඩි දුරක් යන්න කලින්ම වාඩිවෙන්න සීට් එකක් ලැබුන හින්දා. කොහොමහරි තවත් පැය බාගෙකින් පස්සෙ පුරුපුරු හිටපු බස් එක පූස්ගම බස්ටෑන්ඩ් එකට ඇවිත් නැවැත්තුවලු.

ඊටපස්සෙ පුරුපුරු කළේ බස් එකෙන් බැහැලා ගෙදර යන්න පිටත් වෙච්ච එක. ඒත් අපේ අසරණ පූසාට වැඩි දුරක් යන්න හම්බවුණේ නෑලු. එකපාරටම බස්ටෑන්ඩ් එකෙන් ඇහුනෙ මෙන්න මේ වගේ ගෑනු කටහඬක්.

"මල්ලි...මල්ලි...."

කටහඬ ඇහෙද්දිම අපේ මෑන්ස්ට තේරුණාලු බඩු බනිස් තමයි කියලා. ඒත් ඉතිං මොනවා කරන්නද? මෑන්ස්ට තිබුනු එකම ඔප්ෂන් එක වුණේ ආපහු හැරිලා අමාරුවෙන් මවාගත්තු හිනා මූනකින් ඒ කටහඬට උත්තර දෙන එක.

අක්කා :- මල්ලි, ඔයා පූස්ගමද? කලින් කියන්න එපැයි.

බැලින්නං කලින් බස් එකේ ආපු අක්කා ඒ වෙනකොටත් පූස්ගම බස්ටෑන්ඩ් එකේ ඉඳලා.

පුරුපුරු :- (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) ආ...ඔව් අක්කා. මමත් දැනගෙන හිටියෙ නෑනෙ අක්කා පූස්ගම කියලා.

අක්කා :- අයියෝ ලැජ්ජ වෙන්න එපා මල්ලි. පර්ස් එක නැතිවෙන එක සාමාන්‍ය දෙයක්නෙ.

"ඒ වුණාට හිඟාකන්න වෙච්ච එක අසාමාන්‍ය දෙයක්නෙ අක්කෙ" කියලා කටින් පිටවෙන්න හැදුවත්, පුරුපුරු ඒ වචන කටින් පිටකළේ නෑ. හැබැයි ඒ දත් මැදලා නොහිටිය හින්දාටත් වඩා අපේ පූසා පත්වෙලා හිටපු අපහසුතාවය හින්දා. මෑන්ස් ඊටපස්සෙ කළේ අක්කාට ආපහු පාරක් ස්තුති කරලා, පුලුවන් තරම් පූස් ධෛර්ය අරගෙන ඉක්මනින් ගෙදරට වාෂ්ප වෙච්ච එක.

කොහොමහරි එදා ඉඳන් සති ගානක් යනකං අපේ පූසා පූස්ගම බස්ටෑන්ඩ් එකේදි ඒකාකාරී ත්වරණයකට ලක්වෙන දර්ශනේ උපාසකටයි, මාලුකට්ටාටයි, ඤාව්වාටයි දකින්න පුලුවන් වුණාලු. ඒ වගේම එදායින් පස්සෙ අද වෙනකං අපේ පුරුපුරු ගමනක් යන්න කලින්, සල්ලි කොච්චර තියනවාද කියලා පර්ස් එක චෙක් කරලා බලන්න අමතක කරන්නෙ නෑලු.

Friday, July 8, 2011

සුද්දියෝ - 2 (White Chicks - 2)

 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ අපේ පුරුපුරු කොහොමද හොස්ටල් එකට ආපු සුදු ගෑනු ළමයි දෙන්නත් එක්ක ෆිට් වුණේ කියලා. දැන් ඉතිං ඔය විදිහට ෆිට් එකේ තවත් දවස් දෙක තුනක් ගතවුණාලු. මේ වෙද්දි ලින්ඩායි, සේරායි පුරුපුරුව කොහේදි දැක්කත් "හායි", එහෙමත් නැත්තං "බායි" කියලා යන්න මට්ටමට ෆිට් වෙලා තමයි හිටයේ.


ඔය අතරෙ තමයි එක දවසක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරෙ වන් ඩේ මැච් එකක් තිබුනේ. ඉතිං හොස්ටල් එකේ කොල්ලො කුරුට්ටොත් කලින්ම ඩයිනිං හෝල් එකට ගිහින් ටීවී බලන්න සෙට් වුණාලු. මොකද ටීවී බලන තැන තිබුන සීමිත ඉඩ පහසුකම් අනුව පරක්කු වෙලා ගියොත් වාඩිවෙන්න හරිහමං ප්ලේස් එකක් හම්බවෙන්නෙ නෑ. හැබැයි ඉතිං 11 වසරෙ ළමයින්ටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි මේ ප්‍රශ්නෙ නෑ. මොකද ඒ අය ආපුවාම පොඩි කට්ටිය නැගිටලා වාඩිවෙන්න ඉඩ දෙන්න ඕනෙ.


ඉතිං අපේ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායක ඩයල්ස් ටිකත් මැච් එක පටන් ගන්නකොටම එතනට පාත් වුණාලු. දැන් ඉතිං මැච් එක බොහොම උණුසුම් විදිහට නැගලා යනවා. ඔය අතරෙ තමයි ලින්ඩාටයි, සේරාටයිත් මැච් එක බලන්න හිතිලා ඩයිනිං හෝල් එකට කඩා පාත් වුණේ.


එදා කොහොමහරි පුරුපුරු ඇඳගෙන හිටියෙ හාරිස්ගෙ කමිසයක්. මොකද එදා මෑන්ස්ගෙ ෂර්ට් ඔක්කොම හෝදලා, අඳින්න එකක් තිබුනෙ නෑ. කොහොමහරි ඉතිං මැච් එක බලන්න ඇවිත්, පුරුපුරුලාට පිටිපස්සෙන් වාඩිවෙලා හිටපු ලින්ඩාටත් මීටර් වුණාලු මෑන්ස් ඇඳගෙන හිටපු ෂර්ට් එක. ලින්ඩා කළේ පුරුපුරුගෙ උරහිසට අත තියලා මහ හයියෙන් කට්ටියටම ඇහෙන්න මෙහෙම කියපු එක.


ලින්ඩා :- පුරු...පුරු...වට් අ නයිස් ෂර්ට්. වෙරි බියුටිෆුල්


ඇත්තටම ලින්ඩා එහෙම කියපු එක ස්කොට්ලන්තෙ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වුණාට ලංකාවෙ කට්ටියට ටිකක් විතර අසාමාන්‍යයි නොවැ! ඉතිං හොස්ටල් එකේ කොල්ලො ටික කළේ මැච් එක බැලිල්ල පැත්තකින් තියලා පුරුපුරුයි ලින්ඩායි දිහා බලන්න ගත්තු එක. දැන් ඉතිං අපේ පූසාට මේ කේස් එක හින්දා ෆුල් අබ්ලික්. මොකද ඉතිං අපේ පුරුපුරු ලැජ්ජා බය ඇතුව හැදිච්ච බොහොම ගුණගරුක, ශීලාචාර පූසෙක්නෙ. ඉතිං මෑන්ස් කළේ ලින්ඩාට තැන්ක්යූ පාරක් දාලා මොනවත් නොවිච්ච ගානට ආපහු මැච් එක බලන්න ගත්ත එක. පස්සෙ තමයි මෑන්ස් දැක්කේ තරහින් පුපුර පුපුර හිටපු හාරිස්ව. මොකද ඉතිං මෑන්ස් හැමදාම මේ ෂර්ට් එක ඇඳලත් මෙච්චර කාලෙකට කවුරුත් ඕක ලස්සනයි කිව්වෙ නෑ නොවැ!


කොහොමහරි ඉතිං මේ සිද්දියෙන් පස්සෙත් නෝමල් එකේ දවස් දෙක තුනක් ගෙවිලා ගියාලු. ඒත් ඊට පස්සෙ තමයි ඒ අසුභ දවස උදා වුණේ.


හොස්ටල් එකේ ටීවී එක ඩයිනිං හෝල් එකේ සමහර වෙලාවට තිබුනත්, ගොඩක් වෙලාවට ඕක තියෙන්නෙ සීනියර් ප්‍රිෆෙක්ට් රූම් එකක් ඇතුලෙ. ඒ කියන්නෙ ප්‍රිෆෙක්ට්ලාට පුලුවන් දවසෙ පැය 24ම ටීවි බලබලා ඉන්න. ටීවී එක විතරක්නං මදෑ, හොස්ටල් එකේ වීසීඩී ප්ලේයර් එකයි, රේඩියෝ ක්ලබ් එකේ ඩීවීඩී ප්ලේයර් එකයි තිබුනෙත් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයෙ තමයි. ඉතිං ඒ දවස්වල ඔය ටීවී එක තිබුන ප්‍රිෆෙක්ට් රූම් එකේ සීඩී කඳු තුනයි. එක කන්දක් තමයි සාමාන්‍ය සීඩී කන්ද. තවත් කන්දක් තමයි ගන කන්ද. අනිත් කන්ද තමයි රෙස්ලින් සීඩී කන්ද.


ඉතිං ටීවී එක තිබුන කාමරේ තිබුන රසාස්වාදන සම්පත් ප්‍රමාණය හින්දා අපේ පුරුපුරුත් දවසෙන් වැඩි හරියක් ගතකළේ ඔය කාමරේ තමයි. කොටින්ම සමහර දවස්වලට ගොඩක් රෑ වෙනකං ෆිල්ම් බලලා,  පිට්ටනිය එහාපැත්තෙ තිබුන තමන්ගෙ රූම් එකට ඇවිදින්න කම්මැලි කමට මෑන්ස් ටීවී රූම් එකේම නිදාගන්න වෙලාවලුත් තිබුනා. ඉතිං මේ සිද්දිය වුණෙත් එහෙම දවසක.

පුරුපුරුලා නිදාගත්තු ටීවී එක තිබුනු ප්‍රිෆෙක්ට් රූම් එකට එහාපැත්තෙ තිබුනේ 10 වසර ඩෝම් එක. මෙහාපැත්තෙ තිබුනෙ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එක.



එදා ඉතිං අපේ කට්ටිය එක්ස් ෆයිල්ස් බලලා වෙනදාට වඩා පොඩ්ඩක් කලින් නිදා ගත්තලු. කට්ටිය කිව්වෙ ඒ රූම් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන්, තාරබාසු සහ අපේ පුරුපුරු. නිදාගෙන ටික වෙලාවකට පස්සෙ තමයි අපේ පූසාට ඇහුනෙ සිවිලිම උඩින් ආපු අමුතු සද්දයක්.


"ජරස්....බරාස්....."

ඇත්තටම එදා බලපු එක්ස් ෆයිල්ස් එපිසෝඩ් එක ටිකක් බය හිතෙන එකක්. ඕකෙ සිහියෙන් හිටපු අපේ පුරුපුරු සිවිලිම උඩින් එන මේ සද්දෙ ඇහිලා තවත් ටිකක් බය වුණාලු.

පුරුපුරු :- ජුවාන්! ජුවාන්!! උඹට ඇහුනද උඩින් ආපු සද්දෙ?

ජුවාන් :- (ඈනුම් අරිමින්) උඹට පිස්සුද යකෝ! මොන සද්දයක්ද? මොකෙක් හරි සතෙක් වෙන්නැති.

කොහොමහරි ඉතිං මේ සද්දෙ කෙළෙහිගුණ නොදන්න කළවැද්දෙක් දාපු එකක් වෙන්න ඇති කියලා හිතාගත්තු අපේ පූසා ඊට පස්සෙ නිදාගත්තලු.

එදා රෑ අපේ පුරුපුරුට හීනෙන් පෙනුනෙත් ස්කලී, ජෝන් ඩොගෙට් වගේ එක්ස් ෆයිල්ස් චරිත. ඉතිං ඔහොම හිනයක් දැක දැක ඉන්න අතරෙ තමයි එක පාරටම මහා සද්දයකින් මෑන්ස්ව ඇහැරුනේ.

"දඩාස්......"

දෙයියනේ! පෘථිවියට පහර දෙන්න පිටසක්වලයො ඇවිල්ලාවත්ද? අපේ පූසා වහාම නැගිට්ටලු. ඇත්තටම සද්දෙ ඇවිත් තිබුනෙ අපේ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එකෙන්. ඉතිං අපේ පුරුපුරු, ජුවාන් සහ තාරබාසු වහාම ගියාලු මොකද වෙලා තියෙන්නෙ බලන්න.

බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි. 10 වසරෙ හිටපු කොල්ලො කීපදෙනෙක්ට ආසාවක් ඇවිල්ලා තියෙනවා ලින්ඩායි, සේරායි හොඳ සැප සනීපෙන් ඉන්නවාද කියලා විසිට් එකක් දාලා බලන්න. ඒ වගේම දොරෙන් ගිහින් ඒ දෙන්නාට කරදර කරන්නෙ නැතුව, සීලිම උඩින් ගිහින් විසිට් එක දාන්න තමයි කට්ටිය තීරණය කරලා තියෙන්නෙ. බලන්න කොච්චර හොඳ ළමයිද කියලා! ඉතිං මේ කට්ටිය 10 වසර ඩෝම් එකේ ඉඳලා සුද්දියන්ගෙ රූම් එක තියන තැනට යද්දි අපේ පුරුපුරුලා නිදාගෙන හිටපු ප්‍රිෆෙක්ට් රූම් එක හරහාත් යන්න ඕනෙනෙ. ඒ යනකොට තමයි පුරුපුරුට අර ඉස්සරවෙලා ඇහුන අමුතු සද්දෙ ඇහිලා තියෙන්නෙ.

ඉතිං හොඳම සීන් එක වෙලා තියෙන්නෙ ඊට පස්සෙ. කට්ටිය සුද්දියන්ගෙ රූම් එක උඩ ඉඳගෙන අවට සිරි නරඹ නරඹ ඉන්නකොට, සීලිම බරට කඩාගෙන වැටිලා එක කොල්ලෙකුත් එක්කම. එතකොට තමයි අර පිටසක්වල ඇටෑක් එකක් කියලා පුරුපුරු රැවටුන ලොකු සද්දෙ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතිං බඩු අතේ මාට්ටුලු. අනිත් කොල්ලො කට්ටිය සීලිම හරහා ආපහු පැනලා ගියත්, සුද්දියො දෙන්නගෙ රූම් එක ඇතුලට වැටුනට පස්සෙ ඒ කොල්ලා කොහේ පැනලා යන්නද?

කොහොමහරි අපේ කට්ටිය යනකොට ලින්ඩායි, සේරායි අම්බානට බයවෙලා ඉන්නවලු රූම් එක ඇතුලට වෙලා. ඒත් ඉතිං ඕක එච්චර බයවෙන්න දෙයක් වුණේ කොහොමද කියලා පුරුපුරුට තවම අවබෝධයක් නෑ. මොකද ඉතිං දෙන දෙයියෝ හොඳ කොල්ලෙක්ව අහසින් වඩම්මලා ගෙටම ගෙනත් දුන්නා නොවැ! ඒ මදිවාට වැටිච්ච මෑන්ස් ඊටත් වඩා බයවෙලා.
 
හොඳ වෙලාවට මේ සිද්දියෙන් කාටවත් අනතුරක් වෙලා තිබුනෙ නෑ. ඒත් ඉතිං සිද්දියෙන් ඇතිවෙච්ච මහා සද්දෙ හින්දා හොස්ටල් එකේ වගකිවයුත්තො මෙතනට එන්න මහා වෙලාවක් ගතවුණෙත් නෑ. අන්තිමට ඉතිං සිද්දවුණේ අහිංසක කොල්ලෙක්ට හොස්ටල් ලයිෆ් එකට ගුඩ් බායි කියන්න වෙච්ච එකයි, සුද්දියො දෙන්නා දවස් කීපයක් ඇතුලත ආපහු යන්න ගිය එකයි විතරයි.

ඒත් අපේ පුරුපුරුටනං හිතෙන්නෙ මේකට වග කියන්න ඕනෙ ඒ කොල්ලාටත් වඩා සුද්දියන්ව හොස්ටල් එකේ නවත්තගත්තු කට්ටිය තමයි කියලා.

Tuesday, July 5, 2011

සුද්දියෝ (White Chicks)



අපි මේ දවස්වල දිගටම කිය කියා හිටියේ හොස්ටල් කතා නොවැ! ඔන්න ඉතිං අදත් සුපුරුදු විදිහටම අපි කියන්න යන්නේ හොස්ටල් කතාවක්ම තමයි යාලුවනේ.


දැන් ඉතිං අපේ පුරුපුරු ඇතුලු යාලුවො කට්ටිය හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩ බාර අරගෙන ටික කලක් වෙනවා. මේ කාලෙ ඇතුලත ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නෑ. ඒත් ඔහොම ටික දවසක් යද්දි තමයි අද අපි කියන්න යන විශේෂ දේ උදාවුණේ.


අපේ පුරුපුරු ඉතිං ගම්පහ ටියුෂන් පන්ති යන නිසා හැම වීක් එන්ඩ් එකේම ගෙදර යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද. ගෙදර ඉඳන් ගොඩක් වෙලාවට ආපහු හොස්ටල් එකට එන්නෙ සඳුදා උදේට. ඔය විදිහට එක දවසක් ගෙදර ඉඳන් එද්දි තමයි අපේ පූසා කවදාවත් හොස්ටල් එක ඇතුලෙදි දකින්න බලාපොරොත්තු නොවිච්ච දර්ශනයක් දැක්කේ.

මේවා දැකලා පන පලයං පෙරේදා කිව්වලු. මළ කෙලියයි ජූලි හතයි!!! මෙන්න බොලේ හොස්ටල් එකේ ඩයිනින් හෝල් එක ගාව සුද්දියෙක් ඉන්නවා. හැබැයි නිකම්ම සුද්දියෙක් නෙවෙයි, හොඳ ඇහැට කනට නහයට පේන, අවුරුදු 19-20 විතර ළමිස්සියෙක්.



දැන් අපේ පූසා තමන් දැකපු දර්ශනයෙන් ෆුල් තක්බීරිෆයිඩ් වෙලා. කොටියා සර් විශ්‍රාම අරන් ටොයියා සර් හොස්ටල් වෝර්ඩ්න් විදිහට පත්වෙලයි තිබුනෙ. මෑන්ස් අපේ යාලුවො කට්ටියට ට්‍රීට් එකක් දෙන අදහසින්වත්ද මේ සුද්දියෙක් ගෙනත් හොස්ටල් එක ඇතුලෙ දාගෙන ඉන්නෙ? ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මේ සුද්දි පුරුපුරුත් එක්ක හිනාවෙලා "හායි" කියලා කිව්වෙ. බලාපොරොත්තු නොවිච්ච මේ කඩු ප්‍රහාරයෙන් අන්දමන්ද වුණ අපේ පූසා ඩයිනින් හෝල් එක ගාව තිබුන කානුවට නොවැටි බේරුනේ අනූ නමයෙන්.

කොහොමහරි ඉතිං සුද්දිට පොඩි කිණිසි පාරකින් සංග්‍රහ කරපු පුරුපුරු කෙලින්ම නතරවුණේ ඩිපියුටි එච්.පී වෙච්ච හාරිස් හිටපු කාමරේට ගිහින්. සාමාන්‍යයෙන් ගෙදර ගිහින් එන පුරුපුරුට අදාල වීක් එන්ඩ් එකේ වෙච්ච ඔක්කොම ඔපාදූප, විශේෂ සිද්දි ගැන සවිස්තරාත්මක වාර්තාවක් දෙන්නෙ හාරිස් හරි සෝමෙ අයියා හරි තමයි.



පුරුපුරු :- මේ හාරිස්, කවුද බං අර සුද්දියෙක් ඉන්නෙ එහා පැත්තෙ?


හාරිස් :- ආ...ලස්සන එකද අනිත් එකද?


පුරුපුරු :- හත්තිලව්වයි! ඒ කියන්නෙ දෙන්නෙක් ඉන්නවද?


හාරිස් :- ඔව් ඔව්!! ඒ දෙන්නා සෙනසුරාදා ආවෙ. ටික දවසක් මෙහෙ නතරවෙලා ඉන්නවලු.


පුරුපුරු :- ඈ???????


හාරිස් :- ඇයි උඹට ප්‍රශ්නයක්ද? ලස්සන එක්කෙනාගෙ නම ලින්ඩා. අනිත් එක්කෙනා සේරා.


පුරුපුරු :- (යකෝ මූ දන්න තරම්!)


පස්සෙ බැලින්නං මේ සුද්දියො දෙන්නා ඇවිත් ඉන්නෙ තාවකාලික පදනමක් යටතේ කුරුඳුවත්ත ඉස්කෝලෙ ටික දවසක් උගන්නන්නලු. ඕනෙනං අපේ කට්ටියට වඩා අවුරුදු 2-3 ක් විතර වැඩිමල් ඇති. දෙන්නම ස්කොට්ලන්ත ජාතික සුද්දියො දෙන්නෙක්. අර කිව්වත් වගේ දෙන්නාගෙන් ලින්ඩා තමයි ගොඩක් ලස්සන. සේරාත් හැබැයි ඉතිං නරකම නෑ.


හැබැයි ප්‍රශ්නෙ වුණේ මේ දෙන්නාට හොස්ටල් එකේ නවාතැන් පහසුකම් දුන්න එක. නරි ටිකක් ඉන්න ප්ලේස් එකකට කුකුලො දෙන්නෙක් ගෙනාවම කොහොමද ඇතිවෙන සිටුවේෂන් එක? ඉතිං අපේ පූසා හිතුවා වගේම හොස්ටල් එකේ ඉන්න නසරාණි කොලු කැල මේ සුද්දියො දෙන්නාට පැණි පාර දාන්න පටන් ගන්න වැඩි දවසක් ගියෙ නෑලු. ඇත්තටම ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා වුණත් අපේ පුරුපුරුලාට පවා පොඩ්ඩක් මේ දෙන්නා දිහා වැඩිපුර බැලෙන වෙලාවල් නොතිබුනාම නෙවෙයි.


හැබැයි කොච්චර පැණිපාර දැම්මත් කිසිම කොල්ලෙක් මේ දෙන්නා එක්ක කතාවට ගියෙ නෑ. මොකද ඉතිං මේ සුද්දියන්ගෙ කඩු ප්‍රහාර හමුවේ තමන්ගෙ බෙල්ල කපාගන්න කවුද කැමති?


හැබැයි ඉතිං ටික දවසක් ගියාට පස්සේ අපේ පූසාට පොඩි ආසාවක් ඇතිවුණාලු ලින්ඩා එක්ක පොඩි චැට් එකක් දාන්න. ඔන්න ඉතිං කට්ටිය වැරදියට හිතනවා එහෙම නෙවෙයි හරි? වෙන මොකටවත් නෙවෙයි, තනිකරම සහෝදර ප්‍රේමය හින්දා. ඉතිං අපේ පුරුපුරු මේ අයිඩියා එක හාරිස්ට කිව්වලු.


පුරුපුරු :- මේ හාරිස්, අපි මචං ලින්ඩා එක්ක පොඩි ටෝකක් දාමුද?


හාරිස් :- ඒ මොකටද?


පුරුපුරු :- නිකම් බං! බලපං දැන් ඒ දෙන්නා ඇවිල්ලත් ටික දවසක් වෙනවනේ. ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට අපි මේ හොස්ටල් එකේ ජීවත් වෙන කට්ටිය ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඒක අපේ වගකීමක්


හාරිස් :- ඇයි උඹට ලින්ඩා එක්ක කතා කරන්න විතරක් ඔච්චර උණ? සේරා එක්ක කතා කරපන්කො.


පුරුපුරු :- (කාගෙන් බේරුනත් බැරිය හාරිස්ගෙන් මාරුවෙන්න කිව්වලු) හරි හරි!! ඕන කෙනෙක් එක්ක කතා කරමුකො.


හාරිස් :- අනික මටනං එන්න බෑ ඔය වැඩේට. උඹ සෝමෙ අයියා හරි තාරබාසු හරි එක්ක පලයං.


ඇත්තටම හාරිස්ගෙ ඒ වචන පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච ඒවාම නෙවෙයි. මොකද මේ දවස්වල මෑන්ස් ෆුල් අධ්‍යාත්මික විමුක්ති මාර්ගයකට බැහැලයි හිටියේ. කොටින්ම පොර තමන්ගෙ නිවාඩු කාලය ගතකළේ පාඩම් කරන්නවත්, සෙල්ලම් කරන්නවත් නෙවෙයි, ලංකාවෙ ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් නැවතිලා භාවනා කරන්න. මෑන්ස්ට හාරිස් කියන නම වැටුනෙත් ඔය හින්දා තමයි. ඉතිං ගෑනුත් එක්ක කතාවට ගිහින් කෙළෙස් රැස්කරගන්න කියලා මෑන්ස්ට බල කරන්නත් බෑ නොවැ! ඒ හින්දා අපේ පුරුපුරු තීරණය කළාලු තනියම ගිහින් ලින්ඩා එක්ක කතා කරනවයි කියලා.


කොහොමහරි අපේ පූසාගෙ වෙලාවට පහුවදාම ඔය අවස්ථාව මෑන්ස්ට උදාවුණාලු. පහුවදා ඉස්කෝලෙ ඉවරවෙලා ලන්ච් එකට ප්‍රිෆෙක්ට් කෙනෙක්ට හිටියෙ අපේ පුරුපුරු විතරයි. මේ වෙද්දි කෑම කාලා ඉවරවෙලා පොඩි ළමයි ටික නැගිටලා ගිහින්. ඉතිං අපේ පූසාත් හැදුවෙ කාලා ඉවරවෙලා නැගිටලා යන්න. එතකොටම තමයි ලින්ඩායි, සේරායි ඩයිනින් හෝල් එකේ දොරෙන් කෑම කන්න මතුවුණේ. දැන් අපේ යාලුවාට හිතාගන්න බෑ මේ දෙන්නත් එක්ක කතා කරනවාද නැද්ද කියලා. මෑන්ස් කළේ ඉතිං මේ සුද්දියො දෙන්නාට හොඳ මිත්‍රශීලී ශ්‍රී ලාංකීය අභිමානය කැටිවුණ සුන්දර සිනාවකින් සංග්‍රහ කරපු එක. හිනාවෙ පවර් එක කොච්චරද කියනවනං ඊටපස්සෙ සුද්දියො දෙන්නාම අපේ පුරුපුරු කෑම කකා හිටපු තැනට නිකම්ම ඇදිලා ආවලු.


ලින්ඩා :- ‍හෙලෝ! හව් ඩූ යූ ඩූ? අයිම් ලින්ඩා. දිස් ඉස් මයි ෆ්‍රෙන්ඩ් සේරා.


දැන් පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒත් ඉතිං සුද්දියන්ට චාටර් වෙන්නත් බෑ නොවැ!


පුරුපුරු :- හව් ඩූ යූ ඩූ? අයි ඈම් පුරුපුරු. 


ලින්ඩා :- "පු..රු..පු..රු" ස්වීට් නේම්.


පුරුපුරු :- තෑන්ක් යූ.


දැන් ඉතිං මේ දෙන්නා බලනවා එදා කන්න තිබුනෙ මොනවද කියලා. එදා කන්න තිබුනෙ මාලුයි, වට්ටක්කායි, බීටුයි පපඩමුයි. දැන් මේ දෙන්නාට මාලු දීසියෙ තියෙන්නෙ මොනවාද කියලා අඳුරගන්න බෑ


ලින්ඩා :- වට් ඉස් ඉන් දිස් ඩිෂ්?


පුරුපුරු :- ඉට් ඉස් අ ෆිෂ් කරි.


ලින්ඩා :- වයි ආර් යූ හැවින් ලන්ච් ඇට් දිස් බිග් ටේබල්?


පුරුපුරු :- දිස් ඉස් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස් ටේබල්. දැට්ස් වයි


ලින්ඩා :- ඕ! යූ ආර් අ ප්‍රිෆෙක්ට්? වෙරි ගුඩ්.


දැන් ඉතිං අපේ පුරුපුරුට ප්‍රශ්න කෝටියයි. හරියට ඉන්ටර්වීව් එකකට ගියා වගේ. කොහොමහරි ඉතිං ඉන්ටර්වීව් එක සාර්ථකව නිමා වෙලා, අපේ පූසාත් සුද්දියො දෙන්නාව  හොදට ඉන්ටර්වීව් කරලා ඉවර වෙද්දි කට්ටිය සෑහෙන දුරට ෆිට් වෙලා තිබුනලු. ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!