
අපි පහුගිය දවසක පෝස්ට් එකක් දැම්මනෙ කිරි කොකුන් මැද කණ කොකෙක් කියලා.ඒකෙන් කියවුණේ උපාසක මුලින්ම සුදු දිග කලිසමක් ඇදල ඉස්කෝලෙ ගිය දවස ගැනනෙ.
"කොල්ලෙක්ගෙ ස්කූල් ලයිෆ් එකේ,තමන්ගෙ පෙනුම සම්බන්ධයෙන් ගොඩක්ම වැදගත් වෙන දවස් දෙකෙන් එකක් තමයි ඔය මුලින්ම සුදු දිග කලිසමක් ඇදලා ඉස්කෝලෙ යන දවස.අනිත් දවස තමයි රැවුල කපල මුලින්ම ඉස්කෝලෙ යන දවස."
කියල අපි ඒ ලිපියෙන් කිව්වා.අද එහෙනං ලෑස්ති වෙන්නෙ ඒ අනිත් දවස ගැන කියන්න.ඒ කියන්නෙ මුලින්ම රැවුල කපපු දවස.අපේ පූසන්ගෙන් මුලින්ම රැවුල කැපුවෙ පුරුපුරු.ඔය සිද්දිය වුණේ මෙහෙමයි.
මේ 2001 අවුරුද්ද.ඒ කියන්නෙ පුරුපුරුල 9-M පන්තියෙ හිටපු දවස්වල.ඔය කාලෙ මෑන්ස් තමන්ගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා සාපේක්ෂව ටිකක් විතර වැඩියෙන් වර්ධනය වෙලා හිටියෙ.අපේ කතන්දර උන්නැහෙගෙ වගේ නෙවෙයි, පුරුපුරුගෙනං යන්තං යන්තං හතේ අටේ ඉදලා එන්න පටන් ගත්තු දැලි රැවුල නවය වසර වෙද්දි කපන්න ඕනෙ ගානට වැවිල තිබුනෙ.
ඔය කාලෙට ඉතිං දන්නවනෙ කට්ටියගෙ හැටි.හැමදාම උදේ හවස කණ්ණාඩිය ගාවට ගිහින් බලන්නෙ ඊයෙට වඩා අද රැවුල වැවිලද කියල.රැවුල කපනකං නින්ද යන්නෙ නෑ.ඇයි ඉතිං රැවුල කැපුවට පස්සෙ මූව සලකන්නෙ පොඩි-වැඩිහිටියෙක් කියලනෙ.මිනිස්සු වැඩිහිටියෙක් වුණාට පස්සෙ ආපහු ළමයෙක් වෙන්න කොච්චර ආස වුනත් ළමයි සන්දියෙදි හැමෝම කැමති පුලුවන් තරං ඉක්මනට වැඩිහිටියෙක් වෙන්ට නොවැ!පුරුපුරුත් ඉතිං අනිත් කොල්ලො වගේම රැවුල කපන්න මාර ආසාවෙන් හිටියෙ.
9 වසරෙ මැද හරියක් ගියාට පස්සෙ ඉස්කෝලෙ පුරුපුරුලගෙ ශ්‍රේණියෙ කොල්ලො කීප දෙනෙක්ම රැවුල කපල හිටියලු.ඒත් මෑන්ස්ගෙ පන්තියෙනං කවුරුවත් රැවුල කපල හිටියෙ නැහැලු.පන්තියෙ හිටපු කොල්ලන්ගෙන් වැඩියෙන්ම රැවුල තිබුනෙ පුරුපුරුට.ඒ කියන්නෙ පන්තියෙ හිටපු වාසනාවන්තම කොල්ල තමයි පුරුපුරු.ඇයි ඉක්මනටම රැවුල කපන්න හම්බවෙන්නෙ එයාටනෙ.
දැන් පුරුපුරුට හරිම හදිස්සිලු රැවුල කපන්න.ඒ වුණාට තවම ඉස්කෝලෙන් මෑන්ස්ට දැනුම් දුන්නෙ නෑ රැවුල කපන්න කියලා.ඔහොම ඉදලා ඉදලා එක දවසක් පුරුපුරුලගෙ පන්තියට ආපු ප්‍රිෆෙක්ට් කෙනෙකුට වැඩේ මීටර් වුණාලු.මෑන්ස් පුරුපුරුට කිව්වලු පහුවදා එනකොට රැවුල කපාගෙන ආවොත් හොදයි කියලා.මොකද ඉස්කෝලෙ සාමාන්‍යයෙන් කලින් රැවුල කපලා නැති කෙනෙකුට අනිවාර්යයෙන් රැවුල කපාගෙන එන්න කියන සිරිතක් තිබුනෙ නෑ.
දැන් ඉතිං පුරුපුරුට රජ මගුල් වගේලු.අද හවසනං රැවුල කපනවාමයි කියල හිතාගෙන මෑන්ස් ගෙදර ගියාලු.ගෙදර කට්ටියට වෙච්ච සිද්දියත් කිව්වලු.ඒ වුණාට අවාසනාවක මහත!පුරුපුරුගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා.මොකද පුරුපුරුගෙ තාත්ත කැමති වුණේ නෑ අපේ පූසා දැන්මම රැවුල කපනවට.
"ඔය ළමයෙක් කපන්න කිව්වට දැන්ම රැවුල කපන්ඩ ඕනෙ නෑ"
පුරුපුරුගෙ තාත්ත කිව්වලු.බලාපොරොත්තු කඩවෙච්ච පුරුපුරු සුපුරුදු විදිහට පහුවදා ඉදලා දැලි රැවුලත් අරගෙනම ඉස්කෝලෙ යන්න පටන් ගත්තලු.ඊටපස්සෙත් ප්‍රිෆෙක්ට්ලා කීපදෙනෙක්ම පුරුපුරුට අවවාද කළත් තාත්තගෙ විරෝධය හින්ද මෑන්ස්ට රැවුල කපන්න වුණේ නෑලු.ඔහොම ඉන්නකොට තමයි එක දවසක් පුරුපුරු ගෙදරවැඩ කරගෙන ආවෙ නැතුව සෞඛ්‍ය උගන්නපු කොඩි සර්ට මාට්ටු වුණේ.
කොඩි සර් :- පුරුපුරු, තමුසෙ මොකද ගෙදරවැඩ කරගෙන ආවෙ නැත්තෙ?
පුරුපුරු :- ....................................(සයිලන්ට් එකේ)
කොඩි සර් :- තමුසෙට ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බෑ, තොත්ත බබා වගේ ඉන්න හැටි? ඒ උනාට මොකෝ තඩි රැවුලකුත් වවාගෙන ඉන්නෙ!
මේ කතාව අහපු පන්තියෙ කොල්ලො ටික බඩවල් අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තලු.ඒ වුණාට පුරුපුරුටනං කිසිම දුකක් නෑලු.මෑන්ස්ට ගිහිං කොඩි සර්ව බදාගන්න තරං හැපියක් ආවලු.රැවුල කපන්න මේ තරං හොද හේතුවක් වෙන කිසිම ගුරුවරයෙක් ලබල දුන්න එකක්යැ!පුරුපුරුත් ඉතිං මේ කතාව ගෙදර ගිහිං කිව්වෙ එක දෙක කරල.මේ පාරනං පුරුපුරුගෙ අම්මවත් තාත්තවත් රැවුල කැපීම සම්බන්දෙන් කිසිම විරුද්ධත්වයක් පළ කළේ නෑ.ඉස්කෝලෙ සර් කෙනෙක්නෙ කියල තියෙන්නෙ.
සාමාන්‍යයෙන් ඔය මුලින්ම රැවුල කපන වැඩේ, නැකතක් කාරිය එහෙම බලලා කිරිබත් කාලා එහෙම චාරිත්‍රානුකූලව තමයි කරන්නෙ.අපේ රටේ ඉතිං ඕනෙම සතුටු අවස්ථාවක් සමරන්නෙ කිරිබත් කාලනෙ!ඒ වුණාට පුරුපුරුට තිබුන හදිස්සියට ගෙදර කට්ටියට කිරිබත් උය උයා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.තාත්තගෙ රේසරේකුත් අරගෙන පහුවදා උදේම රැවුල කපපු පුරුපුරු ස්කූල් වෑන් එකෙන් ගිහිං වාඩිවුණාලු.ටිකක් එලිය වැටෙද්දි මෑන්ස්ව දැක්ක ඤාව්ව, ලකී ඇතුලු හැමෝටම හරි පුදුමයි.පුරුපුරු රැවුල කැපුවට පසසෙ අදුරගන්න බැරි තරම් වෙනස් වෙලාලු.ඉස්කෝලෙට ගියාම ඉස්කෝලෙ යාලුවො කිව්වෙත් ඒ ටිකමලු.
කොහොම හරි රැවුල කැපුවට ඉතිං "අපරාදෙ දැලි රැවුල" කියලත් පුරුපුරුට හිතිච්ච අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ දවස්වල ආසාව තිබුනට පස්සෙ තමයි මෑන්ස්ට තේරුණේ මේක මහ කරදරකාර එපාවෙන ජාතියෙ වැඩක් කියලා.දැන්නං පුරුපුරුට තමන්ගෙ දින චරියාවෙ පෙන්නන්නම බැරි වැඩේ තමයි රැවුල කපන එක!
ප.ලි - අපි පොඩි මත විමසුමක් කොරන්ට තීරණය කළා. ඔබේ ජීවිතයේ වැඩියෙන්ම ෆන් ගත්තේ මොන කාලෙද? පුලුවන්නං ඔය එහා පැත්තෙ තියෙන කොටුවෙ ඡන්දෙ දාල අපේ මත විමසුමට එකතු වෙන්නකො.


