අපි හිතාගෙන හිටියෙ අපේ මී හරක් කතා සීරීස් එක කොටස් තුනකින් පළ කරන්න.ඒත් පස්සෙ හිතුනා තුන් වෙනියට දාන්න හිටපු කතාව පස්සෙ කාලෙක වෙනම සීරීස් එකක් යටතෙ දැම්මොත් හොදයි කියලා.ඉතිං අපි මී හරක් කතා සීරීස් එක කොටස් දෙකකින් ඉවර කළා.ඒවා බලන්න බැරි වුණ යාලුවන්ට මේ ලින්ක් වලට ගිහින් බලන්න පුලුවන්
මී හරක් කතා - 1
මී හරක් කතා - 2
අද උදේ පොඩි එකෙක් සරුංගලයක් උඩ අරින්න පට්ටම ගේමක් දෙන හැටි බලාගෙන හිටපු පුරුපුරුට තමන්ගෙ අතීතෙත් මතක් වුණා.ඉතිං යාලුවනේ අද අපි කියන්න යන්නෙ සරුංගල් කාලෙ ගැන.
මුලින්ම ඔය සරංගල් කියන ජාතියෙ ඉතිහාසය සහ වැඩිදුර විස්තර දැනගන්න ඕනෙ අයට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්
http://en.wikipedia.org/wiki/Kite
ඉතිං අපි කවුරුත් දන්නවනෙ, සරුංගල් කියපුවාම නොදන්න මනුස්පයෙක් මේ සිරිලංකාවෙ නැතෙයි කියලා.හැබැයි ඉතිං සරුංගල් යැවිල්ල ලංකාවෙ හැම පැත්තෙම කෙරෙන වැඩක් නෙවෙයි කියල තමයි අපිටනං හිතෙන්නෙ.මොකද ඔය මධ්‍යම කදුකරේ වගේ හුළග ගොඩක්ම වැඩි, ඒ වගේම නිතර වහින පැතිවල සරුංගල්යැවීම එච්චර ප්‍රායෝගික වැඩක් නෙවෙයිනෙ නේද?මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං අපිවත් දැනුවත් කරන්න මේක අවස්ථාවක් කර ගන්නකො.
කොහොම වුණත් පහතරට, සාමාන්‍ය හුළගක් තියෙන පැතිවල සරුංගල් ඇරිල්ල ගජරාමෙට සිද්ද වෙනවා.හැබැයි හැම කාලෙම මේ වැඩේ කරන්නත් බෑ.ඒකට වැඩියෙන් හුළං තියෙන කාලයක් එන්නත් ඕනෙ.ඉතිං අගෝස්තු සහ දෙසැම්බර් කියන හුළං වැඩි මාස වල තමයි කොල්ලො වැඩියෙන් සරුංගල් යවන්නෙ.මේ අගෝස්තු සහ දෙසැම්බර් මාස සරුංගල් කාලෙ කියල හදුන්වන්නෙ ඒකයි.
ඒ වගේම මේ මාස වල ඉස්කෝල නිවාඩු දීමත් ළමයින්ට සරුංගල් යවන්න ඕනෙ කරන නිදහස ලබල දෙනවා.ඒ දවස්වල අගෝස්තු, දෙසැම්බර් මාස කිට්ටු වෙද්දි පුරුපුරුල අතේ ඇගිලි ගැන ගැන ඉන්නෙ ඉස්කෝල නිවාඩු දෙනකං.
ඉතිං සරුංගල් යවන්න කලින් සරුංගලයක් හදාගෙන ඉන්න ඕනෙ නොවැ!මේ සරුංගල් හදන ක්‍රමත් ප්‍රදේශීය වශයෙන් ටික ටික වෙනස් වෙනවා.පූස්ගම පැත්තෙනං මේකට ගොඩක්ම යොදාගන්නෙ පොල් ඉරටුයි, කිතුල් කෝටුයි.සමහර වෙලාවට විතරක් උණ පතුරුත් ගන්නවා.
ගොඩක් පොඩි කාලෙනං පුරුපුරුලා සරුංගල් හැදුවෙ තනිකරම පොල් ඉරටු වලින්.පොල් ඉරටු එකට තියලා නූල් වලින් ඔතලා මහත ඉරටු මිටි හදා ගන්නවා.ඊට පස්සෙ දිග ඉරටු මිටිය හරහට කොට ඉරටු මිටි දෙකක් බැදලා සරුංගලේ හදා ගන්නවා.මේ ක්‍රමේ අවාසි ගොඩයි.පළවෙනි එන තමයි මේ ක්‍රමෙන් හැදෙන පට්ටම ශක්තිමත් නැති නිසා ලොකු සරුංගල් හදන්න බැහැ.ඒ වගේම සරුංගලේ කල් පැවැත්මත් අඩුයි.ඉතිං සරුංගල් ෆීල්ඩ් එකේ ආධුනිකයෙක්ට ප්‍රැක්ටිස් වෙන්නනං මේ ක්‍රමය හොදයි.
පස්සෙ කාලෙක වැඩේ පුරුදු වුණාම පොල් ඉරටු වෙනුවට වෙන වෙන ආදේශක ගන්නවා. පුරුපුරුනං කළේ අර දිග පොල් ඉරටු මිටිය වෙනුවට දිග කිතුල් කෝටුවක් ආදේශ කරපු එක.ඒ ක්‍රමේ ගොඩක් සාර්ථකයි.ලොකු, කල් පවතින සරුංගල් හදන්න පුලුවන්.හැබැයි ඉතිං පොඩි කට්ටක් කන්නත් වෙනවා.
මුලින්ම කිතුල් පැළයක් හොයාගෙන ඇද නැති කිතුල් කෝටුවක් කපාගන්න ඕනෙ.ඊට පස්සෙ ඒකෙ පොත්ත සුද්ද කරලා දවස් දෙක තුනක් වේලන්නත් ඕනෙ.වේලන්නෙ කෝටුවෙ බර අඩු වෙන්න.අනිත් එක අමු කෝටු වලින් සරුංගල් හැදුවම සරුංගලේ වේලෙද්දි පට්ටම ඇද ගහනවා.ඉතිං මෙහෙම වේලපු කිතුල් කෝටුව හරහට පොල් ඉරටු බැදලා සරුංගල් හැදිම තමයි පුරුපුරුගෙ ෆේවරිට් මෙතඩ් එක වුණේ.තනිකරම කිතුල් ඉරටු වලින් සරුංගල් හදපු එක්ස්පර්ට් ඩයලුත් ඔය අතරෙ හිටියා.ඉතිං සරුංගල් කාලෙට කට්ටිය කරන්නෙ කිතුල් කෝටු කපන්න ලදු කැලේට ගිහිං ඒ ගමන්ම දං ගෙඩිත් කඩාගෙන, ටැංකියට දාන්න මාලුත් අල්ලගෙන එන එක.
ඉතිං සරුංගල් පට්ටම හදන එකටත් වෙනම තාක්ෂණයක් තියෙනවා.තමන් හදන සරුංගල් වර්ගය අනුව තමයි සරුංගල් පට්ටමේ හැඩය තීරණය වෙන්නෙ.උදාහරණයක් විදිහට වවුලෙක් හදනකොට වඩා වැඩි "බොක්කක්" කොම්බුවෙක් හදනකොට දෙන්න ඕනෙ.
ඊට පස්සෙ තියෙන්නෙ ලස්සනට කොළ ඇලවීම.ගොඩක් වෙලාවට සරුංගල් අලවන්න ගන්නෙ සව්කොළ, එහෙමත් නැත්තං තෙල් කඩදාසි.ඒ වුණාට පුරුපුරුලනං මීට අමතරව පත්තර කොළ, බත් ඔතන සිලි සිලි කොළ, ඉටි කොළ වගේ දේවලුත් මේකට පාවිච්චි කරල තියෙනවා.
ඉතිං ඒ දවස්වල හදපු සරුංගල් වර්ග කීපයක් අපි කටුවට ඇන්දා.
| වවුලා |
| කොම්බුවා |
| මාලුවා |
| මොණරා |
| නයා |
ඉතිං මේ වගේ හදාගත්ත සරුංගලේට සේරුව, එහෙමත් නැත්තං සේරියා දාන එක තමයි ඊලගට තියෙන අමාරු වැඩේ.මේකටනං හොද එක්ස්පීරියන්ස් තියෙන ඩයල් එකක් අල්ලගත්තනං හොදයි.ඊට පස්සෙ තියෙන්නෙ නයිලෝන් නූල් වලින් සරුංගලේ උඩ යවන එක.
නූල පොටවල් තුනක් තියෙන එකක්නං සරුංගලේ කඩාගෙන යාමේ සම්භාවිතාව අඩු වෙනවා.ඒ වගේම සරුංගලේ ලොකුයිනං යවන නූලත් ඝනකම් වැඩි වෙන තරමට හොදයි.හැබැයි නූල වැඩියෙන් ඝනකම් වුණොත් නූල බිමට බර වෙලා ගස්වල පැටලෙන්න පුලුවන්.ඉතිං පුලුවන් තරම් එළිමහන් තැනක් තෝරගන්න ඕනෙ සරුංගලේ යවන්න.
ඔය සරුංගල් යවනකොට ෆේස් කරන්න වෙන අනිවාර්ය අත්දැකීමක් තමයි සරුංගලේ කඩාගෙන යන එක.ඉතිං එතකොට සරුංගලේ පස්සෙන් දුවල ගිහිං ඒක අල්ලගන්න වෙනවා.වෙන සෙට් එකක් තමන්ට කලින් ගිහිං සරුංගලේ ගත්තොත් ඉතිං ද්වීපාර්ශ්වික සාකච්ඡා මගින් තමයි ගැටලුව නිරාකරණය කරගෙන සරුංගලේ ආපහු ගේන්න වෙන්නෙ.පුරුපුරුනං ඒ දවස්වල ඔය වගේ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වලා සරුංගල් ගොඩක් ආපහු අරගෙන ඇවිත් තියනවා.සමහර වෙලාවටනං හැබැයි අයිතිකාරයා යද්දි සරුංගලේ අන්තරස්දාන වෙලා ඉවරයිලු.
එක පාරක් ඔය වගේ සරුංගලයක් පස්සෙ දුවන්න ගිහිං කණුවක ඔලුව හැප්පිලා පුරුපුරු කලන්තෙ දාලා වැටුනා.යාලුවො කට්ටිය තමයි මෑන්ස්ව උස්සගෙන ආපහු ගෙදර ගෙනත් තියෙන්නෙ.
ඒ දවස්වල කට්ටියගෙ තව විනෝදාංශයක් තමයි සරුංගල් වලට ගල් මාට්ටු දාල සරුංගල් මංකොල්ල කන එක.ඒ කියන්නෙ ටිකක් පාතින් තියෙන සරුංගලේක නූලකට, ගලක් ගැටගහපු තව නූලක් විසිකරලා සරුංගලේ නූල බිමට ගේන එක.ඊට පස්සෙ ඉතිං සරුංගලෙත් බිමට බාගන්නවා.පුරුපුරුනං ඉතිං අයිතිකාරයා එතනට දුවගෙන එනකං ඉදල සරුංගලේ ආපහු දීලම තමයි යවන්නෙ.ගොඩක් වෙලාවට අයිතිකාරයා එහා ගමේ ඉන්න මෑන්ස්ගෙ යාලුවෙක්.
පුරුපුරු මෙච්චරකල් යවපු හොදම සරුංගලේ මෑන්ස් හදපු එකක්නං නෙවෙයි.කැලේ ඇවිදින්න ගිය අතරෙ මෑන්ස්ට ගහක රැදිල තිබිල හම්බවෙච්ච ලස්සන මොණරෙක්.නියම සරුංගල් මාස්ටර්පීස් එකක්.සරුංගල් සීසන් දෙක තුනක්ම යැව්වා ඒ සරුංගලේ.හැබැයි 2002න් පස්සෙ 2009 වෙනකං පුරුපුරුට කිසිම සරුංගලයක් හදන්න වුණේ නැහැ.ඒ දවස්වල ඉතිං ඉස්කෝලෙ වැඩයි, ටියුෂන් ක්ලාස් වැඩයි බරටම තිබුන කාලයක් නොවැ.අනිත් කාරනේ මෑන්ස් හොස්ටල් එකට ගිය එක.ඇයි ඊටත් පස්සෙ කැම්පස් එකට ගියාලුනෙ.
ඉතිං කාලෙකට පස්සෙ ගිය අවුරුද්දෙ සරුංගලයක් හැදුවෙ පුරුපුරුගෙ "වෙන්ඩ" මස්සිනා වෙන හරිදු මල්ලිගෙ ඉල්ලීමකට අනුව.හැදුවෙ ඉතිං කවදත් ෆේවරිට් නයෙක්ව.සුදුපූසිගෙ ගෙදර සාලෙ එක කොනක ඉදලා අනිත් කොනට යනකං දිග වලිගෙකුත් මූට දැම්මා.බයේ ගැහි ගැහි තමයි හැදුවෙ.කාලෙකට පස්සෙ හදපු සරුංගලේ උඩ ගියෙ නැත්තං එහෙම චාටර් ලෝකයක් නොවැ!කොහොම හරි දෙයියන්ගෙ පිහිටෙන් නාග රාජයා ඩොට් වෙන්න උඩ ගියා.පුරුපුරුගෙ සායමත් හේදිලා යන්නෙ නැතිව ඉතුරු වුණා.
මේ පාරත් සලකල බලන්න ඕනෙ සරුංගලයක් හැදිල්ල ගැන.......
ප.ලි - දැන්නං එක එක ජාතියෙ ලස්සන සරුංගල් කඩවල්වල විකුණන්න තියෙනවා.දැන් ළමයි ඉතිං අපිට වඩා බිසී නොවැ!එහෙම සල්ලිවලට අරගෙන හරි සරුංගලයක් යවන එක හරිම විනෝදජනක අත්දැකීමක්.
ඒ වුණාට ඉතිං තමන්ගෙ අතින්ම හදලා සරුංගලයක් උඩ යවද්දි තියෙන සතුට එතකොට තියෙයි කියලා අපිටනං හිතෙන්නෙ නෑ.......
