අඹ යාලුවෝ

Showing posts with label රෝහිත. Show all posts
Showing posts with label රෝහිත. Show all posts

Thursday, August 5, 2010

මී හරක් කතා 2 - මී හරක් කූඩැල්ලා


ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ උණ බට කපන්න ගිහිං පුරුපුරුලට වෙච්ච ඇබැද්දිය ගැන.ඔන්න අද අපි කියන්න යන්නෙ අපේ මී හරක් සීරීස් එකේ දෙවෙනි කතාව.මේ කතාවටත් සම්බන්ධ පුරුපුරුයි, රෝහිතයි, අමනයයි.වැඩේ සිද්දවුණේ අපේ යාලුවො ටික ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල.

ඕ ලෙවල් ඉවර වෙලා ඉස්කෝලෙ ඒ ලෙවල් පටන් ගන්නකං තියෙන ටික කාලෙ ගැන ආයි ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.කට්ටිය ඉතිං කරන තරමක් කරන්නෙ රස්තියාදු ගහන එක.හැබැයි ඉතිං ඒ ලෙවල් ක්ලාස් නැති දවස්වලට විතරයි රස්තියාදුවෙ යන්න වෙන්නෙ.හැබැයි ආර්ට් හරි කොමර්ස් හරි කරන ළමයින්ටනං ක්ලාස් ප්‍රශ්න නෑ.මොකද ආර්ට්, කොමර්ස් පන්ති ගොඩක් පරක්කු වෙලානෙ පටන් ගන්නෙ.

ඉතිං අපේ පූසො සෙට් එකත් ඔය දවස්වල ෆුල් ෆන් එකේ හිටියෙ.හැම තැනම ඇවිදින්න ගියා.ඉතිං පූසො එක්ක සෙට් වෙන්න බැරිවුණ දවස්වලට පුරුපුරු කරන්නෙ ගමේ කොල්ලො කට්ටියත් එක්ක සෙට් වෙන එක.ගමේ කොල්ලන්ගෙ ප්‍රධාන විනෝදාංශෙ තමයි ඇළ පාරවල් වල නාන්න යන එක.ඉතිං පුරුපුරුටත් ඔය දවස්වල නිතරම ඇළ පාරවල් වල නාන්න යන්න චාන්ස් එක හම්බවෙනවලු.

ගොඩක් වෙලාවට කට්ටිය නාන්න ගියෙ අර කලින් කතාවෙ කිව්ව ඇළවල් දෙකෙන් එක ඇළකට.මේ ඇළ පුරුපුරු උණ පදුරෙ අයිතිකාරයගෙන් බේරෙන්න පැනපු ඇළ නෙවෙයි අනිත් එක.ඇළ එච්චරම ගැඹුරත් නැහැ.වැඩිම වු‍ණොත් කර වටක් වතුර ඇති.වතුරත් සාමාන්‍යයෙන් පිරිසිදුයි.ඉතිං පුරුපුරුගෙ ෆේවරිට් චොයිස් එක වුණේ මේ කියන ඇළ තමයි.

මේ කියන දවසෙ නාන්න සෙට් වුණේ කලින් කියපු විදිහට පුරුපුරුයි, රෝහිතයි, අමනයයි.ඉතිං තුන්දෙනා නාන්න ඇදුම් එහෙමත් අරගෙන ඇළ ළගට ගියාලු.

අපිට ඉතිං අපේ දේ කොහොමත් වැඩිය අගයක් නෑ නොවැ!රෝහිතටයි අමනයටයිත් එහෙමයි.මුං දෙන්නට කවදත් ගමේ තියෙන ඇළ "පොෂ්" මදි.ඉතිං අමනයා යෝජනා කළා එදා ගමේ ඇළෙන් නාන්නෙ නැතුව පූස්ගම සෙන්ට්‍රල් එක එහාපැත්තෙ තියෙන වෙන ඇළකින් නාමු කියලා.රෝහිතත් ඒ යෝජනාවට උඩින්ම කැමති වුණාලු.මොනව කරන්නද ඉතිං?ප්‍රජාතන්ත්‍රවාදී රටේ බහුතර කැමැත්තනෙ.පුරුපුරුටත් සිද්ද වුණාලු මේ දෙන්නගෙ දෑත් ශක්තිමත් කරන්න මේ තීරණේට එකග වෙන්න.

ඉතිං කට්ටිය ආපහු ගිහිං ටිකක් දුර ඇවිදල අමනයා කියපු ඇළ ආවා.බැලින්නං පොර ඇළක් කිව්වට ගගකට වඩා පොඩ්ඩයි මේක පොඩි.වතුර මඩම මඩ පාටයි.මේ ගග වගේ ඇළ යන්නෙත් වෙලක් මැදින්.ඉතිං ඇළ දෙපැත්තෙ මහා මී හරක් රංචු රංචු ඉන්නවා.(පුරුපුරුලගෙ ගමේ වෙලේ හිටියෙ අර නසරානි මී හරකා ඇතුලු දෙතුන් දෙනයි) ඉතිං පුරුපුරුටනං මේ ඇළ එච්චරම හිතට අල්ලල ගියෙ නෑ.ඒ වුණාට ඉතිං මෙච්චර ඇවිදපු එකේ ආපහු යන එක අපරාදෙ නොවැ! පුරුපුරුයි රෝහිතයි අමනයගෙ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කර කර ඇළට බැස්සලු.

දැන් ඉතිං තුන්දෙනා නානවා. පුරුපුරුට පීනන්න බැරි නිසා වැඩිය ඇළේ මැද හරියට ගියෙ නෑ.ගමේ ඇළ වගේ ෂුවර් එකක් නෑනෙ.ඉතිං ඔහොම පැයක් විතර නාල කට්ටිය ගොඩට ආවලු.එදා කරුමෙට වගේ එක්කෙනෙක්ටවත් බැරිවෙලා සබන් කෑල්ලක් ගේන්න.ඉතිං කට්ටිය සබන් රහිත ස්නානයෙන් පස්සෙ ඇදුම් ඇදගෙන දැන් ගෙවල් වලට යන්න ලෑස්තිය.ඔහොම ඇදුම්අදිනකොට තමයි එක පාරටම රෝහිත මහ හයියෙන් කෑ ගහන්න ගත්තෙ.

"බුදු අම්මෝ! මං නැතෝ"

මෑන්ස්ගෙ කෑ ගැහිල්ලට පුරුපුරුයි අමනයයි අම්බානට බය වුණාලු.සිද්ද වුණේ මොකද කියල වහාම හොයල බලද්දි තමයි කට්ටියට වැඩේ මීටර් වුණේ.රෝහිත ඇදුම් අදිනකොට තමයි දැකල තියෙන්නෙ, ශරීරයෙ එකක් විතරක් තියෙන්න ඕනෙ අවයවයක් ඩබල් වෙලා කියලා.පස්සෙ හොදට බැලින්නං මෑන්ස්ගෙ සංවේදී පළපුරුදු අවයවයක මී හරක් කූඩැල්ලෙක් එල්ලිලා.හරියට ඔය උඩ පින්තූරෙ ඉන්න එකා වගේ.දැන් රෝහිත බයවෙච්ච පාර විලාප දෙනවා.වෙන තැනක ඌ එල්ලිලා හිටියනං පුරුපුරුට හරි අමනයට හරි ගලවන්න ට්‍රයි එකක් දෙන්න තිබුනා.ඒත් ඉතිං මූව ගලවන්න හිත හදාගන්නෙ කොහොමද?

ඉතිං රෝහිත විලාප දිදී ඉන්න අතරෙ අමනයව එතන තියලා පුරුපුරු ගියාලු කොහෙන් හරි සබන් කැටයක් හොයාගෙන එන්න.මොකද සබන් ගෑවම කූඩැල්ලො ස්වභාවිකවම ගැලවිලා වැටෙනවා.නැත්තං ඇදල ඌව ගලවන්න ගියොත් එල්ලිච්ච තැන තුවාල වෙලා නන්ස්ටොප් ලේ ගලන්න ගන්නවා.ඉතිං සංවේදී පළපුරුදු අවයවයක් ගැන පොඩි රිස්ක් එකක්වත් ගන්න බෑ නොවැ!

ඔහොම යද්දි තමයි පුරුපුරු දැක්කෙ කෙල්ලො කට්ටියක් ඇළේ වෙන තැනක නනා ඉන්න බව.දැන් මෑන්ස්ට ඔතෙන්ට යන්නත් මොකද්ද වගේ.පළවෙනි කාරනාව තමයි එහෙම යන එක හොද වැඩක්ද නරක වැඩක්ද කියලා මෑන්ස්‍ට හරි අවබෝධයක් නෑ.මොකද ගම්වල ඉතිං සමහර දේවල් ගැන තියෙන්නෙ බොහොම හණමිටි ටයිප් අයිඩියාස් නෙ.

දෙවෙනි කාරනාව ඉතිං ජීව විද්‍යාත්මක එකක්.පුරුපුරු ඒ වෙලාවෙ සිවිල් පිට හිටියෙ.(තේරුම දන්නවනෙ) ඉතිං ඔය කාන්තා පාර්ශ්වයේ කට්ටිය නනා ඉන්නව වගේ ශෘංගාරාත්මක දර්ශනයක් දැක්කම වයසෙ වැරැද්දත් එක්ක සමහර දේවල් කොන්ට්‍රෝල් නැතිව යන්න පුලුවන්නෙ.ඔන්න තේරෙන්නෙ නැති කට්ටිය මේක තේරුම්ගන්න මහන්සි වෙන්නෙ නැතුව ඊළග පාර්ට් එකට යන්නකො.

ඉතිං මේ මොන කාරනාව තිබුනත් අර යකා අරහෙ මර හඩ තලද්දි නිකං බලාගෙන ඉන්න පුලුවනෑ.ඉතිං පුරුපුරුත් හිතට වෙර වීරිය අරගෙන ගියාලු කෙල්ලො සෙට් එක ළගට

පුරුපුරු :- එක්ස්කියුස් මී....මට මේ....සබන් කෑල්ල........ පොඩ්ඩක් ගන්න පුලුවන්ද?

දැන් කෙල්ලො ටික පුරුපුරු දිහා කන්න වගේ බලනවලු.පස්සෙ තමයි මෑන්ස්ට තේරුනේ ගමේ අයට වැරදි වචනෙකින් සංග්‍රහ කළා නේද කියල."එක්ස්කියුස් මී" කියල කිව්වට පස්සෙ කෙල්ලො ටික හිතන්න ඇති මූ නම් මේ ගමේ එකෙක් නෙවෙයි කියලා.මෑන්ස්ට කියන්න තිබුනෙ "මේ අක්කෙ!සබන් කෑල්ල දෙන්නකො" වගේ දෙයක්.කොහොම හරි ඉතිං ටික වෙලාවකින් පුරුපුරුට සන්ලයිට් සබන් කෑල්ලක් ලැබුනලු.

පුරුපුරු වහාම දුවගෙන ගිහිං රෝහිතට සබන් කෑල්ල දුන්නලු.ඊට පස්සෙ ඉතිං කූඩැල්ලව අයින් කරගන්න මෑන්ස්ට ගියෙ විනාඩි දහයක වගේ කාලයක්.අන්තිමට සිද්දියෙ වගකීම බාරගන්න වුණේ අහිංසක අමනයට.ඇයි පොරනෙ අනිත් දෙන්නව මේ ඇළට එක්කගෙන ආවෙ.ඊට පස්සෙ ඉතිං කට්ටිය ගෙවල් බලා පිටත් වුණාලු.ඒක තමයි පුරුපුරු ඒ ඇළෙන් නාපු එකම සහ අන්තිම වතාව...

ප.ලි - ඔය මී හරක් කූඩැල්ලා සාමාන්‍ය කූඩැල්ලමද, නැත්තං වෙනම ජීවී විශේෂයක්ද කියලනං පුරුපුරු දන්නෙ නෑ.බයෝ කළාටත් ලැජ්ජයි නේද?

අර "එක්ස්කියුස් මී" කතාවෙන් හිතන්න එපා ගමේ කෙල්ලන්ට අපහාස කළා කියලා.දැන්නං පූස්ගම එදාට වැඩිය ගොඩක් දියුණු වෙලා.දැන් ඉන්න කෙල්ලෙක්ගෙන් "එක්ස්කියුස් මී" කියල ඇහුවෙ නැත්තං හිතයි මූ නම් මේ ගමේ එකෙක් නෙවෙයි කියලා...

Wednesday, August 4, 2010

මී හරක් කතා - උණ බට කැපිල්ල


ඉතිං යාලුවනේ අපේ හොස්ටල් කතා කියවල කියවල දැන් කට්ටියට එපා........ වෙලාද දන්නෑනෙ ඉන්නෙ.ඔන්න අපි පොඩි බ්‍රේක් එකකටත් එක්ක තීරණ
ය කළා නොම්මර එකේ මී හරක් වැඩක් කරන්න.ඒ තමයි මෙතන ඉදලා විකාශනේ වෙන අපේ මී හරක් කතා සීරීස් එක.කොටස් තුන හතරකින් ඉවර කරන්න තමයි දැනට ප්ලෑන් එකනං.එහෙනං ඉතිං නමෝ විත්තියෙන් පටන් ගමුකො මී හරක් වැඩේ.

පුරුපුරු ඒ දවස්වල පදිංචි වෙලා හිටියෙ පූස්ගමම කොනක තිබුන පොඩි ලස්සන ගමක.ගෙදරට පල්ලෙහා තියෙන්නෙ වෙල.වෙල මැදින් ඇල පාරව
ල් දෙකක් ගලාගෙන යනවා.ඔය ඇලවල් වල කොල්ලො කට්ටිය ගිහිං නානවා.වෙලේ සරුංගල් අරිනවා.ගොයම් කපපු කාලෙට වෙල් ඉපනැල්ලෙ එල්ලෙ ගහනවා.අනිත් කාලෙට ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි තමයි ගහන්නෙ.ඔය වගේ සුන්දර ළමා කාලයක් තමයි මෑන්ස්ට තිබුනෙ.

හැබැයි ඉතිං ගමේ අනිත් කොල්ලො කුරුට්ටො වගේ
මේ සුන්දරත්වය උපරිමයෙන් විදගන්න මෑන්ස්ට චාන්ස් එකක් තිබුනෙ නෑලු.මොකද පුරුපුරු ඉස්කෝලෙ ගියෙ කොළඹ.ඉතිං ඉස්කෝලෙ ජීවිතෙන් බාගයක් ස්කූල් වෑන් එකටයි, ඉතුරු බාගෙ හොස්ටල් එකටයි වැය කළාට පස්සෙ මෑන්ස්ට ගමේ "බැහැල" ඉන්න තරම් වෙලාවක් හම්බවුණේ නෑ.ඉතිං අනිත් ගමේ කොල්ලො වගේ ගොයම් කපන්න, වෙල්වල වැඩ කරන්න අපේ පූසො සෙට් එකේ කාටවත් බැහැලු.කොටින්ම පූසො අයිති වෙන්නෙ ගමට නාගරික - නගරයට ගැමි ටයිප් එකේ පරම්පරාවට.

ඉතිං මේ සිද්දිය වුණේ 2002 අවුරුද්දෙ වෙසක් කාලෙ.හැමෝම වගේ පූසොත් වෙසක්, පොසොන් කාලවලට කූඩු හදන එක සාමාන්‍ය දෙයක්.ඉතිං වෙසක් කිට්ටු වෙද්දි පුරුපුරු, ගමේ හිටපු මෑන්ස්ගෙ යාලුවො වෙච්ච රෝහිත සහ අමනයා එක්ක එකතු වෙලා උණ බට කපන්න යන්න තීරණය කළාලු.ගමේ තිබුන සරුසාරම උණ පදුර තිබුනෙ වෙල මැද්දෙ.උණ පදුරෙ අයිතිකාරයා හිටියෙ වෙලෙන් එහා පැත්තෙ තිබුන ගමේ.ඔයිට කලිනුත් එක පාරක් මේ උණ පදුරෙන් බටයක් කපාගන්න අපේ යාලුවන්ට පුලුවන් වුණා.


වැඩේ අප්සට් පාර්ට් එක මෙන්න මේකයි.උණ පදුරෙ අයිතිකාරයා මහා ලෝබයෙක්ලු.ඉතිං මෑන්ස්ගෙන් පර්මිෂන් අරගෙන උණ බට කපන්න යන එක කිසිම තේරුමක් නැති වැඩක්.හොරෙන් කැපීම තමයි තිබුන එකම විසදුම.එක අතකට ඉතිං උණ ලී කියන්නෙත් බොහොම ලාබදායක වස්තුවක් නෙවෙයි නොවැ!ඔය වෙසක් කාලෙ වගේ උණ බට වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන කාලෙට මෑන්ස් උණ පදුර බොහොම සැලකිල්ලෙන් ආරක්ෂා කරනවලු.ඉතිං එහෙමයි කියල පොරට හැමතිස්සෙම උණ පදුර මුර කර කර ඉන්නත් බෑනෙ.ඔය ප්‍රශ්නෙ විසදන්න මෑන්ස් කරන්නෙ උණ පදුරෙ තඩි මී හරකෙක් බැදලා තියන එක.

ඉතිං ඔය මී හරකත් ලේසි පාසු සතෙක් නෙවෙයිලු.මහා නසරානියෙක්.කොයි වෙලෙත් කුලප්පු වෙච්ච ගමන් අනින්ඩ බලාගෙන තමයි ඉන්නෙ.ඒ මදිවට අයිතිකාරයට විතරයිලු කන්ට්‍රෝල්.ඉතිං කවුරුවත් ඌ ඉන්නකොට උණ බට කපන්න පදුර ළගට යන්නෙ නෑලු.ඒ වුණාට පුරුපුරුගෙ යාලුවො දෙන්න හොද වැඩකාරයො දෙන්නෙක්.මුන් දෙන්න දන්නවා මී හරකවත් ෂේප් කරගෙන උණ බට කපන හැටි.

ඉතිං කලින් තීරණය කරගත්ත දවසෙ දවල් රෝහිතයි සහ අමනයයි පුරුපුරුලගෙ ගේට්ටුව ළගට ඇවිත් මෑන්ස්ට කතා කළාලු.පුරුපුරුත් ගෙදර තිබුන අඩි දෙකක් විතර දිග පත මන්නයක් එහෙම අරගෙන යාලුවො දෙන්නට සෙට් වුණාලු.දැන් ඉතිං තුන් දෙනා ඇවිදල ඇවිදල වෙල අද්දරටම ඇවිත්.ඔය වෙල අයිනෙන්ම ගලාගෙන ගිය ඇළක් තිබුනා.ඇළේ වතුර තිබුනෙ ඉණ ගාවට විතරයි.ඉතිං අපේ යාලුවො තුන්දෙනත් ටිකක් ඈතින් තිබුන ඒ දණ්ඩෙන් වෙලට බහින්නෙ නැතුව කෙලින්ම ඇළ හරහා වෙලට ගොඩවුණා.

දැන් ඉතිං කට්ටිය හොර පූසො ටික වගේ හොරෙන් හොරෙන් නියර දිගේ උණ පදුර දිහාට ඇදෙනවා.මෙන්න බොලේ බැලින්නං මී හරකත් සුපුරුදු පරිදි උණ පදුර මුර කරනවා.ඉතිං අපේ යාලුවො තුන්දෙනත් මී හරකව කලබල නොකර හිමීට උණ පදුරට කිට්ටු කළාලු.දැන් අයිතිකාරයත් පේන තෙක් මානෙක නෑ.මී හරකත් සන්සුන් වෙලා පොඩි සැකමුසු ලුක් එකක් දාගෙන ඉන්නවා.(ඇත්තටම පුරුපුරුට තාම තේරෙන්නෙ නෑ මුන් දෙන්නා කොහොමද මේ සතා කුලප්පු වෙන එක වලක්වන්නෙ කියලා).ඉතිං මේක තමයි උණ බටයක් කපාගන්න කියාපු වෙලාව.

ඉතිං අපේ යාලුවො තුන්දෙනා මී හරකා කුලප්පු වුණොත් දුවන්න බලාගෙන, සූදානම් සරීරෙන් වැඩේ පටන් ගත්තලු.අමනයව තමයි ඔත්තු බලන්න දැම්මෙ.දැන් පුරුපුරුයි රෝහිතයි අර අඩි දෙකේ මන්නෙන් උණ බටයක් කපනවා.ඔහොම කපල කපල ඉතිං අන්තිමට උණ බ‍ටේ කපලත් ඉවර වුණාලු.එතකොටම තමයි අමනයා කෑ ගහගෙන දුවන්න ගත්තෙ.

පුරුපුරුත් වටපිට බැලින්නං මෙන්න උණ පදුරෙ අයිතිකාරයා පිහියක් අරගෙන කට්ටිය ඉන්න දිහාවට දුවගෙන එනවා.හරියට රා කළ සොළසක් බීල මත්වෙච්ච උසේන් බෝල්ට් වගේ.ඒ මදිවට ජංගම සුද්ද සිංහල ඩික්ෂනරියක් වගේ.එක එක වචන මෑන්ස්ගෙ කටින් පිටවෙනවා.පුරුපුරු පිටිපස්ස බැලින්නං මෙන්න යාලුවො දෙන්න පේන්න නෑ.ඈත බලද්දි තමයි දැක්කෙ මුන් දෙන්නා පණ බේරගන්න දුවන වග.ඔය අතරෙ මේ කලබල නිසා අගේට හිටපු මී හරක් නයිදෙත් කලබල වුණා.

ඉතිං කරන්න ඕනෙ මොකද්ද කියල තීරණය කරන්න පුරුපුරුට දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.කකුල් දෙකට පිං දීපු පූසා පණ එපා කියලා දුවන්න ගත්තා.ඔහොම මීටර් කීපයක් දුවලා මී හරකගෙන්නං බේරෙන්න මෑන්ස්ට පුලුවන් වුණා.මොකද මී හරකා කඹේකින් බැදලා හිටපු හින්ද ඌට වැඩි දුර පන්නන්න බෑ.ඒ වුණාට ඊට වඩා භයානක පුද්ගලයෙක් දැන් පුරුපුරු පස්සෙන් එළවනවා.ඒ තමයි "බැම්බූ ඕනර්".

අමනයයි රෝහිතයිනං නියර දිගේ අඩියට දෙකට දුවල ගිහිං ඇළ හරහා ගොඩට ගියාලු.ඒත් ඉතිං පුරුපුරුට කවදා කාපු ටකරංද?මෑන්ස් ජීවිතේටම දෙතුන් පාරකට වඩා නියරක් උඩ වේගෙන් දුවල නෑ.ඉතිං ගමන් ආරම්භ කරපු ගමං ප්‍රයිවට් බස් එකක් වගේ තමයි මෑන්ස්ගෙ දිවිල්ල.උපරිම ස්ලෝ.දැන් බැම්බූ ඕනර් තමන්ගෙ අතේ පොඩි එළවළු කපන පිහියක් තියාගෙන අපේ පූසා පස්සෙන් එළවනවා.පුරුපුරුත් අඩි දෙකක් දිග ලොකු මන්නයක් අතේ තියාගෙන පණ එපා කියලා දුවනවා.


"ජබෝස්"

ඔහොම දුවද්දි තමයි පුරුපුරුව ලිස්සල ගිහිං මී හරක් නාන ලොකු මඩ වලකට වැටුනෙ.දැන් ඉතිං මෑන්සුත් මී හරකෙක් වගේම තමයි.ඇග පුරාම මඩ.මූණෙත් මඩ.බැම්බූ ඕනර්කාරයත් වේගෙන් මඩ වලට කිට්ටු කරනවා.යාලුවො දෙන්න එගොඩ ඉදලා ඉක්මනට දුවලා එන්න කියල පුරුපුරුට කෑ ගහනවා.වැඩේ ජෝන් බාස්ට යන්න හදන්නෙ කියල තේරුණ පූසා වහාම නැගිටල ඇළ පැත්තට දුවන්න ගත්තලු.කොහොම හරි අයිතිකාරයයි මෑන්සුයි අතර මීටර් දහයක විතර ගැප් එකක් තියෙද්දි පුරුපුරුට පුලුවන් වුණාලු ඇළට පැනගන්න.

ඊට පස්සෙ යාලුවො දෙන්නගෙ හෙල්ප් එකත් අරගෙන පුරුපුරුට පුලුවන් වුණාලු එහා පැත්තට ගොඩවෙන්න.දැන් බැම්බූ ඕනර් ඇළේ එහාපැත්තෙ ඉදගෙන සුද්ද සිංහල දේසනා කරනවා.අපේ යාලුවො තුන්දෙනා ඇළේ මෙහාපැත්තෙ ඉදගෙන පොරට පේන්න පස්සවල් කරකව කරකව වදුරු ඩාන්ස් දානවා.අන්තිමට ෆ්ලවර් ජම්ප් වෙච්ච බැම්බූ ඕනර් ආපහු යන්න ගියාලු.

දැන් පුරුපුරුට හිතාගන්න බෑ ඇයි මේ මනුස්සයට එක උණ බටයක් වෙනුවෙන් මෙච්චර ෆ්ලවර් ජම්ප් වුණේ කියලා.තව පොඩ්ඩෙන් පූස්ගම පූසෙක්ගෙ ජීවිතේ අහවර වෙන්නත් ඉඩ තිබුන නොවැ!පස්සෙ තමයි සිද්දිය මොකද්ද කියල දැනගත්තෙ.

පුරුපුරුට කතා කරන්න කලින් අමනයයි රෝහිතයි උදේ පාන්දර වෙලට ගිහිං උණ බටවල කොලිටි ඇසෙස්මන්ට් එකක් කරන්න.ඉතිං මුං දෙන්නා උණගස් ළග හොරගල් අහුල අහුල ඉන්නකොට අයිතිකාරයා ඇවිත් දෙන්නට සද්දයක් දාල.මේ දෙන්නගෙත් තියෙන්නෙ හොද බෝක්කු කටවල් දෙකක් තමයි.ඉතිං අමනයයි රෝහිතයිත් අයිතිකාරයට රිටර්න් සද්දයක් දාල අද කොහොමහරි උණ බටයක් කපාගෙනම තමයි ගෙදර යන්නෙ කියලා.

ඉතිං ඊටත් පස්සෙ වෙන්න ඇත්තෙ මේ වගේ සිද්දියක්.පොර දවල් වෙලා වෙල පැත්තෙ එනකොට මෙන්න මුං දෙන්නා උණ බට කප කපා ඉන්නවා තව ලොකු ඩයල් එකක් එක්ක.ලොකු ඩයල් එක කිව්වෙ පුරුපුරුට.මොකද ඒ දවස්වල මෑන්ස් තමන්ගෙ වයසෙ අනිත් කොල්ලන්ට සාපේක්ෂව ඇගපතින් ලොකුයි කියල අපි කලින් ලිපියකත් කිව්වනෙ.ඉතිං කොල්ලො දෙන්න උදේ දුන්න පොරොන්දුවත් මතක් වෙලා මෑන්ස්ට හිතෙන්න ඇති කවුරු හරි මැර ඩයල් එකක් එක්කගෙන ඇවිත් කියල උණ බට කපන්න.ඒක තමයි පොරගෙ ජම්ප් වෙච්ච ෆ්ලවර් එක ඇම්ප්ලිෆයි වෙන්න ඇත්තෙ.

කොහොම හරි ඉතිං පුරුපුරු නූලෙන් බේරුනා.‍මඩ හෝදගෙන රජ පූසෙක් වගේ ගිහිං නිදා ගත්තා.අන්තිමට ගෙනාපු උණ බටේකුත් නෑ.පහුවදා එහා ගෙදර ලස්සනට වවපු බට පදුරෙන්වත් බට ටිකක් කපාගන්න තමයි මෑන්ස් ප්ලෑන් කළේ.

ඔහොම නිදාගෙන ඉන්නකොට ගොම්මන් වෙලාවෙ කවුද ගෙදර බෙල් එක ගහන සද්දයක් ඇහිල පුරුපුරු ගිහිං බැලුවා.දොර ඇරල බලද්දි අමනයයි රෝහිතයි ඇවිත්.නිකං නෙවෙයි, තඩි උණ කොටේකුත් අරගෙන.බැලින්නං අපේ යාලුවො දෙන්න ලැජ්ජාව පැත්තක තියල තව පාරක් ගිහිං වෙලට.ගිහිල්ලා අර කපල තිබුන උණ බටේ අරගෙන ඇවිල්ලා.පුරුපුරුගෙ ශෙයාර් එක දෙන්න තමයි ඒකෙන් කෑල්ලක් අරගෙන ඇවිල්ල තියෙන්නෙ.ඒ වෙලාවෙ මී හරකා ඉදලත් නෑ.කවුද හිතන්නෙ මෙච්චර කේස් එකක් වුණාට පස්සෙත් ආපහු ලැජ්ජ නැතුව ඔතෙන්ට එයි කියලා?

ඉතිං පහුවදා උණ බටේ අතුරුදහන් බව දැක්ක අයිතිකාරයට තරු පේන්න ඇති.හැබැයි පුරුපුරුලනං ඒ අවුරුද්දෙ ලස්සන වෙසක් කූඩු කීපයක්ම හැදුවා.....

ප.ලි - දැන් පුරුපුරුට එල්ල වෙන්න පුලුවන් චෝදනා මෙන්න

1.වෙසක් සමයේ අදින්නාදානය
2.නියම බෞද්ධයෙක් නොවීම
3.මිනිසුන් ප්‍රකෝප කිරීම

තව මතක් වෙච්ච නැති ඒවත් ඇති.පුලුවන්නං ඉතිං මේක "තරුණ කාලෙ" කරපු දග වැඩක් කියලා හිතන්න.මී හරක් කතා 2 එක්ක ඊළග ලිපියෙන් හම්බවෙමුකො....