අඹ යාලුවෝ

Showing posts with label දුෂ්මන්ත. Show all posts
Showing posts with label දුෂ්මන්ත. Show all posts

Sunday, June 13, 2010

බිල්ලා


අදනං කියන්න යන්නෙ අපේ පූසො පොඩිකාලෙ පොඩිකමට කරපු පොඩි වැරදි වැඩක් ගැන.

දුෂ්මන්ත කියන්නෙ පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේ ගිය ළමයෙක්.පුරුපුරුට වඩා අවුරුදු තුනක් වැඩිමල්.මරදාන පැත්තෙ තියන බෞද්ධ ඉස්කෝලෙකට තමයි ගියෙ.මේ දුෂ්මන්ත බොහොම සයිලන්ට් කොල්ලා.උදේ වෑන් එකට නැග්ග වෙලාවෙ ඉදලා පාඩුවෙ පැත්තකට වෙලා අහක බලාගෙන යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද.මෙයාව කතාවට අල්ලගන්න එක හරිම අමාරු වැඩක්.

පුරුපුරුයි,ඤාව්වයි ඉතිං වෑන් එකේ ගිය හැමෝටම වගේ දුෂ්මන්තටත් හැමදාම විහිලු තහලු කරනවලු.මෑන්ස්ව බයිට් කරනවලු.ඔන්න ඔතනදි තමයි දුෂ්මන්තගෙ ප්‍රධානම දුර්වලකම මතුවෙන්නෙ.අනිත් අය වගේ නෙවෙයි, මෑන්ස් නියම කුකුල් කේන්තිකාරයා.ඉතිං බයිට් වෙච්ච ගමන් මෙයා කරන්නෙ පුරුපුරුටයි, ඤාව්වටයි වෑන් එක මැද්දෙම අම්බානට නෙලන එකලු.දුෂ්මන්තට තරහ යන එකත්, පූසන්ගෙ බයිට් කිරීමේ පුරුද්දත් කවදාවත් නතර වුණේ නෑ.මේ හින්ද වුණේ පුරුපුරුයි,ඤාව්වයි මෑන්ස්ගෙන් හැමදාම ගුටිකාපු එක.ඉතිං අපේ පූසො දෙන්න කාලෙක ඉදල දුෂ්මන්තයත් එක්ක ඇරියස් එකේ තමයි හිටියෙ.

ඔය දවස්වල තමයි ඇමරිකාවට බින් ලාඩන්ගෙන් හොදවයින් ඇටෑක් එකක් හම්බවුණේ.ඉතිං මේ කාලෙ ටීවීවලයි පත්තරවලයි හිටිය ෆේමස්ම පොර ඔසාමා බින් ලාඩන් කිව්වොත් හරි.දවසක් ඔය ඔසාමාගෙ පින්තූරෙ දිහා බලපු පුරුපුරුට ඒකෙ තිබුන මරු ඉන්ටරස්ටින් පොයින්ට් එකක් අහුවුණා.

"හත්තිලව්වයි! බින් ලාඩන්ගෙ රැවුල කැපුවනං දුෂ්මන්තයගෙ මූණම තමයි, ආයි ඇරපු අතක් නෑ!නැත්තං ඇමරිකාවට ගැහුවෙ දුෂ්මන්තයද කියල කවුද දන්නෙ? තරහ ගියාම නයා වගේ ඩයල් එක නොවැ! "

තමන්ගෙ ටිකිරි මොළේට ආපු අයිඩියා එක පුරුපුරු පහුවදාම ගිහිං ඤාව්වට කිව්වලු.ඔය ආරංචිය ඉතිං වෑන් එකේ හැමෝම දැනගන්න ගියෙ නැනෝ තත්පර කීපයයි.කතාව ඇත්ත නේද කියල හැම දෙනාම කතාවෙන්න ගත්තලු.ඒ මදිවට සුපුරුදු පරිදි පුරුපුරුයි,ඤාව්වයි ඕක කියල දුෂ්මන්තව බයිට් කරන්න ගත්තලු.එදානං මෑන්ස්ට මලපැනීම මෙෂර් කරන්න මීටරයක් හැදුවනං ඒකෙ කටුව කැඩෙන ගානට තරහ ගියාලු.එදා අපේ යාලුවන්ට ලැබුනෙ අමතක නොවෙන මට්ටමේ සංග්‍රහයක්!ඉතිං ඕකෙ තරහපිට හිටපු පූසන්ට, හවස දුෂ්මන්තලගෙ ගෙදර ඉස්සරහ මෑන්ස්ට බහින්න වෑන් එක නතර කරපු වෙලාවෙ මරු අදහසක් ආවලු.

දුෂ්මන්තගෙ ගෙදර තිබුනෙ පූස්ගමම ටිකක් ජනාකීර්ණ පැත්තක.තමං අලු‍තින් හොයාගත්ත දැනුම දුෂ්මන්තයගෙ අසල්වැසි මිනිස්සුන්ටත් ලබල දෙන්න ඕනෙ කියල තිරණය කරපු පූසො,වෑන් එක අද්දද්දි මහ හයියෙන් මෙහෙම කෑ ගැහුවලු

"ඕ.........සා.........මා......බි.......න්....ලා............ඩ....න්......................"

දුෂ්මන්තට ඉතිං මාර ලැජ්ජයිලු.ගමේ මිනිස්සුත් මෑන්ස්ගෙන් අහල මොකද්ද සීන් එක කියලා.එදා ඉදලා හැමදාම හවසට ඔය වැඩේ ක්‍රියාත්මක වුනා.ටික දවසක් යද්දි ඔසාමා බින් ලාඩන්, නික්ම්ම බින් ලාඩන් වුණා.තවත් ටික දවසක් යද්දි බින් ලාඩන් කියන නම පහසුව තකා "බිල්ලා" කියල වෙනස් වුණා.ඔය කෑගහන වැඩේට එකතු වෙච්ච කට්ටියත් එන්න එන්න වැඩිවුණා.දැන් හැමදාම හවසට දුෂ්මන්ත වැන් එකෙන් බහිනකං ඉදලා කට්ටිය කෑ ගහනවලු

"බි.....ල්.....ලෝ..............................."

දැන් ඉතිං දුෂ්මන්තටයි ගෙදර කට්ටියටයි අම්බානට මළලු.වැඩේ පත්තුවුණේ දුර පළාතක හිටපු නෑයො වගයක් මෑන්ස්ගෙ ගෙදර ආපු වෙලාවෙ.ගෙදර හොයාගන්න අමාරු වෙච්ච කට්ටිය ගමේ කොල්ලෙක්ගෙන් දුෂ්මන්තලෑ ගෙදරට යන පාර අහල තියනව

නෑයා :- පුතා, අර පොඩි රාළහාමිලගෙ ගෙදර තියෙන්නෙ කොයි හරියෙද?

කොල්ලා :- ම්....මට හරියට නිච්චි නෑනෙ ඒ කවුද කියල!

නෑයා :- ඇයි අර මරදානෙ ඉස්කෝලෙ යන පුතෙක් එහෙම ඉන්නෙ?

කොල්ලා :- ආ..කලිං කියන්න එපෑ! මේ ඔසාමා බින් ලාඩන්ලගෙ ගෙදරනෙ!!අර වංගුවෙන් එහා තියෙන්නෙ.

ඉතිං මේක අහපු නෑදෑයන්ට ෆුල් අබ්ලික්ලු.ගෙදර ගිහිල්ල සිද්දිය කියන්න නැතෑ.පහුවදා උදේ දුෂ්මන්ත වෑන් එකට නගින තැන තුන්දෙනයි.මෑන්සුයි,අම්මයි,තාත්තයි.වෑන් එක එතන නැවැත්තුවට පස්සෙ දුෂ්මන්තගෙ අම්මගෙ මේඝ ගර්ජනාව පටන් ගත්තලු

"කවුද පුරුපුරු කියන්නෙ? කවුද ඤාව්ව කියන්නෙ?තමුසෙලට කට පරිස්සං කරගෙන ඉන්න බැරිද?..."

මෙහෙම පටන් ගත්තු දේසනාව විනාඩි පහක් විතර ක්‍රියාත්මක වුණාලු.පුරුපුරුයි,ඤාව්වයි ෆුල් හොලුමන්ලු!ඉතිං එදා හවස දුෂ්මන්ත බොහොම නිවිහැනහිල්ලෙ වෑන් එකෙන් බැස්සලු.පුරුපුරුලගෙන් තිබුන තර්ජනේ ඉවරයි නොවැ!අඩියක් දෙකක් තිබ්බලු.ඒත් කිසි සද්දයක් නෑ.සතුටින් පිනාගිය දුෂ්මන්ත ඊළග අඩිය තිබ්බ විතරයි

"බි...............ල්..............ලෝ................................"


මහා හඩක් ආවලු.බලාගෙන ගියාම පුරුපුරුයි,ඤාව්වයි විතරක් නෙවෙයි, වෙනද කෑගහන්ඩ එන්නෙ නැති අලයා වගේ කොල්ලොයි,අර ඇන්ටිගෙ ස්පීච් එක ඇලජික් වෙච්ච ලකී වගේ කෙල්ලොයි පවා එදා කෑගැහිමට සහභාගි වෙලා!!