අඹ යාලුවෝ
Showing posts with label ශානි. Show all posts
Showing posts with label ශානි. Show all posts
Tuesday, August 17, 2010
හා ද? බෑ ද?
ඉතිං යාලුවනේ අද ඉදන් අපි අපේ පූසො 11 වසරෙදි ෆේස් කරපු සිද්දි කියන්න පටන් ගන්නවා.අපි මුලින්ම කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්ච සිද්දියක්.මේකට සම්බන්ධ පූසන්ගෙම වයසෙ ගෑනු ළමයෙක්.මේ ගෑනු ළමයා ඉගෙන ගත්තෙ කොළඹ දෙලොවක් අතර බාලිකාවෙලු.
අපි කවුරුත් ඕ ලෙවල් කරද්දි සෞන්දර්ය විෂයක් තෝරගන්න එපැයි.ඉතිං සංගීතෙ කරලා හොදටම නසරාණි වෙලා හිටපු පුරුපුරු සහ උපාසක මේ සෞන්දර්ය විෂය විදිහට තෝරගත්තෙ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය.සිංහලෙන්ම කියනවනං "ලිට්".ඒ වගේම නැටුම් කර කර හිටපු මාලුකට්ටත් නිකං ඇගපත තලාගන්නෙ මොකටද කියල හිතලා ලිට් වලට එකතු වුණාලු.හැබැයි ඤාව්වානං කර කර හිටපු චිත්‍ර විෂය දිගටම කරගෙන ගියාලු.ඒ වුණාට මෑන්සුත් ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් විදිහට තෝරගත්තෙ ලිට් කරන එක.ඉතිං පූසො සෙට් එක ලිට් වලට ක්ලාස් ගියෙ අර බියර් බීපු පන්තියට.
හැබැයි 11 වසරට එනකොට ඉංග්‍රීසි සාහිත්‍ය ගැන තිබුන නොලේජ් එකේ හැටියට තවත් පන්තියකට යන්න වෙන බව උපාසක තේරුම් ගත්තලු.ඉතිං මෑන්ස් කළේ ගම්පහ ජයවඩන සර්ගෙ ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියටත් ගිය එක.මේ පන්තිය තිබුනෙ සෙනසුරාදා හවස, ගල් වලින් හදපු පල්ලියක් තියෙන පාරකලු.
උපාසකත් ඉතිං පළවෙනි දවසෙම සුපුරුදු විදිහට අන්තිම පේළිය හොයලා ඒකෙන් ඉදගත්තා.ටික වෙලාවකට පස්සෙ එහා පැත්තෙන් හිටපු ළමයත් එක්ක ෆිට් වෙන්නත් මෑන්ස්ට පුලුවන් වුණා.පොරගෙ නම දසුන්.ඔය සමහර කොල්ලො ඉන්නවනෙ තමන්ගෙ යාලුවට මොකක් හරි උදව්වක් කරන්න ඕනෙ කියලා හිතුනොත් යාලුවා කැමති වුණත් අකමැති වුනත් කොහොම හරි ඒ උදව්ව කරන.ඉතිං දසුන් කියන්නෙත් ඒ වගේ කොල්ලෙක්.අපි එහෙම කියන්නෙ ඇයි කියලා අපේ කියවන යාලුවන්ට තව පොඩ්ඩකින් තේරෙයි.
ඔය දසුන් ඉස්කෝලෙ ගියෙ ලොකුනමට.ඉතිං අපේ ඤාව්වත් ඔය ඉස්කෝලෙ හින්දා උපාසක දසුන්ගෙන් අහල බැලුවලු ඤාව්වාව දන්නවද කියලා.බැලින්නං දසුනුයි ඤාව්වයි ඉස්කෝලෙ එකම පන්තියෙ හිටපු හොද යාලුවො.ඉතිං එදා දවස ඉවර වෙද්දි දසුන් එක්ක විතරක් නෙවෙයි, ඒ පේළියෙ හිටපු ඔක්කොම කොල්ලො එක්ක ෆිට් වෙන්න උපාසකට පුලුවන් වුණාලු.ඊට පස්සෙ සතියෙත් උපාසක ඇවිත් වාඩිවුණේ දසුන්ලගෙ සෙට් එකත් එක්කමයි.
දැන් පන්තියෙ සර් උගන්නනවා.අපේ යාලුවො පිටිපස්සෙ පේලියට වෙලා කතාව
දසුන් :- මචං උපාසක, උඹට කෙල්ලෙක් ඉන්නවද?
අපේ උපාසකත් ඉතිං හොදටම පිස්සු පූසෙක්.ඒ දවස්වල පිස්සු වැඩ කර කර ඉන්නවා මිසක් කෙල්ලො වෙනුවෙන් වැය කරන්න මෑන්ස්ට එච්චර වෙලාවක් තිබුනෙ නෑ.ඉතිං උපාසකත් මෑන්ස්ට කෙල්ලෙක් නෑ කියලා උත්තර දුන්නලු.
දසුන් :- අවුලක් නෑ බං! අපි පස් දෙනා මේ ක්ලාස් එකේ ඉන්න කෙල්ලො පස් දෙනෙක්ට ට්‍රයි.උඹත් හොද කෙල්ලෙක් බලලා තෝරගනිං.අපි ෆුල් සප් එක දෙන්නං.
මෙහෙම කියපු දසුන්, සෙට් එකේ කොල්ලො පස් දෙනා ට්‍රයි කරන කෙල්ලන්ව උපාසකට පෙන්නලා ඒ ඇරෙන්න ඕනෙ කෙල්ලෙක්ව පෙන්නන්න කිව්වලු.ඉතිං උපාසක මුලු ක්ලාස් එකම දෙතුන් පාරක් ස්කෑන් කරල බැලුවත් හිතට අල්ලලා යන තැනක මීටරේ නැවතුනේ නැති නිසා වැඩේ අතඇරලා දාන්න තීරනය කළාලු.උපාසක වැඩේ අතෑරියත් දසුන් කීයටවත් වැඩේ අතඅරින්න සූදානම් වුණේ නෑ.ඉතිං මෑන්සුත් පටන් ගත්තලු ක්ලාස් එක ස්කෑන් කරන වැඩේ.
දසුන් :- මචං අර බලපං මගෙ එක්කෙනාට එහා පැත්තෙන් ඉන්න කෙල්ල.එයාගෙ නම ශානි.දෙලොවක් අතර බාලිකාවට යන්නෙ.එයා ලස්සන නැද්ද? පොඩ්ඩක් ලයින් පාරක් දාල බලපං...
බැලින්නං උපාසකගෙ ස්කෑනරේට අහු නොවිච්ච කෙල්ලෙක් ක්ලාස් එකේ අයිනක යාලුවොත් එක්ක හිනාවෙවී ඉන්නවලු.මේ ගෑනු ළමයව දැක්ක පාර උපාසකටත් හිතුනලු පොඩි ට්‍රයි එකක් දාල බැලුවොත් හොදයි කියලා.හැබැයි ඉතිං මෑන්ස්ට මේ සම්බන්ධයෙන් එච්චරම උනන්දුවක් තිබුනෙ නෑ.අනිත් සතියෙ ක්ලාස් එකට එද්දි පොරට ශානි ගැන මතක නැහැලු.පිස්සු නට නටා ඉන්න එකමලු වැඩේ.මේක දැකපු දසුන්ට ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලා.
දසුන් :- බලපං බං! ඔහොම පුලුවන්ද කෙල්ලෙක් දාගන්න?උඹ කාඩ් එක කුඩු කරගන්නවනෙ. උඹට බැරිනං පැත්තකට වෙලා හිටපං.අපි උඹට විස්තර හොයල දෙන්නං.
දැන් උපාසක කොච්චර ඕනෙ නෑ කිව්වත් දසුන් කියන දේ අහන්නෙ නෑ.පොරගෙ ඒකායන අරමුණ උපාසකට ශානිව යාලු කරල දෙන එක.ඉතිං දසුන්ගෙ සෙට් එකම දැන් උපාසක වෙනුවෙන් බැහැල වැඩලු.කට්ටියම ශානිගෙ අවධානෙ ගන්න මහන්සි වෙනවා.හැබැයි උපාසක ඇරෙන්න.
ක්ලාස් පටන් ගන්න කලින් කට්ටිය මගට වෙලා උපාසකවත් තියාගෙන ශානි එනකං බලාගෙන ඉන්නවලු.ඒ වගේම ක්ලාස් ඉවරවෙලා ශානි ගම්පහ බස්ටෑන්ඩ් එකට යද්දි කොල්ලො සෙට් එක උපාසකවත් ඇදගෙන පස්සෙන් යනවලු.ඉතිං මේ විදිහට මාසයක් දෙකක් ගියාට පස්සෙ දසුන්ගෙ සෙට් එකටත් මේ වැඩේ අම්බානට බෝරිං වෙලා.ඇයි ඉතිං ඒ අයට උනන්දුව තිබුනට අපේ උපාසකට මේ ගැන තඹ දොයිතුවක උනන්දුවක් නෑ නොවැ!
ඔහොම කාලෙ ගිහිල්ලා එක දවසක් පන්ති ඉවරවෙලා කට්ටිය බස්ටෑන්ඩ් එකට යද්දි, ශානි ඉන්නවලු බස්ටෑන්ඩ් එක ගාව තියන නිමාකා ෆුඩ් ෂොප් එක ඉස්සරහට වෙලා.මේක දැකපු ගමන් දසුන්ගෙ ඇල්මැරිලා තිබුන උනන්දුව එකපාරටම ආයෙත් මතුවෙලා ආවලු.
දසුන් :- අන්න මචං ශානි ඉන්නවා!අදනං උඹ ගිහිං ඒකිගෙන් අහන්නම ඕනෙ.
උපාසක :- අදනං බෑ මචං! ඕනෙනං වෙන දවසක අහමුකො.
දසුන් :- ඇයි උඹ මේකිගෙන් අහන්න නැකැත් බලනවද? මගෙන් හොදවයින් දෙකක් අහගන්නෙ නැතුව ගිහිං අහල දාපං!
උපාසක :- ඕනෙ නෑ බං, අතඇරලා දාමු. මට බෑ මුංගෙ ගණන් බලන්න.
දසුන් :- අනේ පලයං බං යන්න.උඹ ඒකිගෙන් අහන්න බයයිනෙ.
උපාසක :- බය නෑ බං.ඇහුවම මුංගෙ බොරු ගනන් බලන්න වෙනවනෙ.
ඇත්තටම මේ වෙද්දි උපාසක කිසිම ගෑනු ළමයෙකුගෙන් යාලු වෙන්න අහල තිබුනෙ නෑ.
දසුන් :- බොරු නොකියා හිටපං.උඹ අහන්න බයයි.මම ඕන ඔට්ටුවක් දානවා උඹට ඒකිගෙන් අහන්න බෑ.
උපාසක :- ඔට්ටුවක් ? මොකද්ද උඹේ ඔට්ටුව ??
දසුන් :- උඹ දැන් ඒකිගෙන් ඇහුවොත් මම උඹට නිමාකා එකෙන් කන්න අරන් දෙනවා.හැබැයි උඹ එතනට ගිහිල්ලා ශානිගෙන් අහන්නෙ නැතුව ආපහු ආවොත් උඹ අපි හැමෝටම කෑම අරන් දෙන්න ඕනෙ.
උපාසක ටිකක් කල්පනා කළාලු.දැන් මෑන්ස් ශානිගෙන් ඇහුවොත් එයා හා කිව්වත් බෑ කිව්වත් අනිවා කෑම එකක් හම්බවෙනවා.ඉතිං කෙල්ල වගේද කෑම එක කියලා හිතපු පූසා තීරණය කළාලු චැලේන්ජ් එක බාරගන්න.
දැන් උපාසක ශානි ඉන්න පැත්තට කිට්ටු වෙනවා.කලින් පොර ටෝක්ස් දුන්නට දැන්නං මෑන්ස්ට නිකං මොකද්ද වගේ.ආපහු හැරිලා යන්නමයි හිතදෙන්නෙ.ඒත් අපහු යන්නත් බෑ නොවැ! අරුන් ටිකට කෑම අරන් දෙන්න ගියොත් ඊළග මාසෙ පන්ති කාඩ් එක ගන්නවා බොරු.ඇයි ඉතිං වැඩිය කන්න දන්නෙම නැති මිනිස්සුනෙ.ඉතිං කොහොමහරි වැඩේ කරනවා කියල හිතාගත්තු උපාසක හිතට පූස් ධෛර්ය අරගෙන කෙලින්ම ගියාලු ශානි ළගට.
උපාසක :- ශානි, මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා...
ශානි :- (එකපාරටම උපාසක දිහාට හැරිලා) ඇයි මොකද්ද?
උපාසක :- මම ඔයාට කැමතියි.ඔයා මොකද කියන්නෙ?
ශානි :- ඔයාට විකාරද ????
උපාසක :- විකාර නෑ.ඔයා මට හා හරි බෑ හරි කියන්නකෝ.
ශානි :- මම ඔයාව හරියට දන්නෙත් නෑ.මම කොහොමද එහෙම එක පාර උත්තරයක් දෙන්නෙ?
උපාසක :- නෑ නෑ, ඔයා එක පාර කියන්නම ඕනෙ. මම උත්තරේ "හා" කියල හිතාගන්නද?
ශානි :- මම හිතලා බලල ඔයාට කියන්නං
උපාසක :- බෑ බෑ, ඔයාට බැරිනං කෙලින්ම බෑ කියන්න.
ශානි :- හරි, එහෙනං බෑ තමයි
උපාසක :- එළකිරි! එහෙනං මං ගියා...
මෙහෙම කියපු උපාසක හිනා වෙවී යාලුවො ළගට ඇවිල්ලා කට්ටියවත් ඇදගෙන නිමාකා එකට රිංගුවලු.දසුන්ගෙ මූණ හතරැස් වෙලා ගියාලු.එදායින් පස්සෙ කවදාවත් දසුන් උපාසකට කෙල්ලො සෙට් කරන්න හැදුවෙත් නැහැලු.ශානිත් කවදාවත් උපාසකගෙ මූණ බැලුවෙවත් නැහැලු...
Subscribe to:
Posts (Atom)
