අඹ යාලුවෝ

Showing posts with label උපාසක. Show all posts
Showing posts with label උපාසක. Show all posts

Friday, December 28, 2012

සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ


අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.

පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ හින්දා තමන්ගෙ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න අවශ්‍ය පූස් ගට පුරුපුරුට තිබුනෙ නෑ. කටේ කිරි සුවඳ නොගිය තමන්ගෙ පූස් පුතා ආදර සම්බන්දයක් පටන් අරගෙන කියලා ආරංචි වුණොත් දෙමව්පියො මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැනත් පුරුපුරුට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ. ඉතිං ඒ හින්දා දැනට මේ සම්බන්දෙ ගැන ගෙදරට නොකියා ඉන්න පූසා තීරණය කළාලු.

මේ වෙද්දි එෆෙයාර් එකට පෙම්වතියගෙ පැත්තෙන් කැමැත්ත තිබුන හින්දා සමහර වීක් එන්ඩ් වලදි සුදුපූසිගෙ ගෙදර ගිහිං එයාව බලන්න පුරුපුරුට පර්මිෂන් තිබුනලු. සුදුපූසි කැම්පස් එකේම නැවතිච්ච දවස්වලට පුරුපුරු කරන්නේ නුවර ගිහිං එයාව මුණගැහෙන එක. එහෙමත් නැත්තං උපාසකයි ඤාව්වයි එක්ක පිස්සු කෙලින එක. කොහොම වුණත් පුරුපුරු මේ සම්බන්දෙ ගැන ගෙදරට කියපු නැති එක ගැන සුදුපූසිගෙ ගෙදර උදවිය එච්චර කැමැත්තක් දැක්වුවෙ නැහැ. විශේෂයෙන් පූසා නිතරම තමන්ගෙ ගෙදර යන එන වාතාවරණයක් තියෙද්දි ඒ ගැන පුරුපුරුගෙ ගෙදරින් දැනගෙන ඉන්න ඕනෙ කියන මතයෙ තමයි සුදුපූසිගෙ ගෙදර වැඩිහිටියො හිටියෙ.

“දැන් පුරුපුරු පුතා අපේ දුව ගැන ගෙදරට කියලද තියෙන්නෙ?“

“මේ ගැන ගෙදරට කියලා හිටියනං නේද හොඳ?“

“පුතාලගෙ ගෙදර කට්ටිය මේ ගැන දැනගත්තොත් අපිටත් බැනුම් අහන්න තමයි වෙන්නෙ“

දැන් මේ වගේ කම්ප්ලේන් කෝටියයි. පුරුපුරුත් දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ සිටුවේෂන් එක ගැන. ඇයි දෙයියනේ අම්මා කාමරේට ඇවිත් බත් කවද්දි එයාට කියන්න පුලුවන්ද පුරුපුරුට කෙල්ලෙක් ඉන්නවා, ඒ මදිවාට එහෙ ගිහිල්ලත් තියෙනවා කියලා? කොහොමහරි ඉතිං අපේ පූසා මේ ගැන හිත හිතා පසුතැවෙද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන වීක් එන්ඩ් එකේ සුදුපූසි ගෙදර ආවෙ නෑ. එයා හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. ඉතිං පුරුපුරුට ඉහළින් නියෝග ලැබුනලු සෙනසුරාදට නුවර එන්නයි කියලා.

“මොකද්ද අනේ ඔයා දැන් ගොඩක් දවසකින් නුවර ආවෙ නෑ මාව බලන්න. මේ සතියෙත් ආවෙ නැත්තං මම ඔයත් එක්ක තරහම තරහයි. “

දැන් ඉතිං නුවර පලයංකො බස් එකේ පැය ගානක් බඩගාගෙන. ඇත්තටම බස් එකේ නුවර යන එක මහ එපා කරපු වැඩක්. ඒත් ඉතිං කට්ට කාගෙන හරි සුදුපූසිව බලන්න යන්න ඕනෙ හින්දා පුරුපුරුත් නුවරට යනවා. ඔය විදිහට ඉතිං පහුවදා උදේම ලෑස්ති වෙච්ච පුරුපුරු හිමිදිරි පාන්දර ගෙදරින් පිටත් වුණාලු සුදුපූසිව බලන්න යන්න.

බස් එක ගලහ හන්දියට එනකොට දවල් දොළහටත් කිට්ටුයි. එතකොටත් සුදුපූසි හන්දියට ඇවිල්ලයි හිටියේ. කොහොමහරි ඉතිං දෙන්නා කැම්පස් එක ඇතුලේ රවුම් ගහලා, ලන්ච් එකත් අරගෙන, ඊටපස්සෙ ඒ කිට්ටුව තිබුන උද්භිද උද්‍යානයෙත් ඇවිද්දලු. අන්තිමට පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ හවස හතරට තියෙන හොරණ බස් එක අල්ලගන්න බලාගෙන. මොකද ඒ බස් එකේ ගාස්තුව වැඩි වුණත් පූස්ගම හරහා යන හින්දා පුරුපුරුට ගේ ගාවින්ම බහින්න පුලුවන්කම තිබුනා. හොඳ වෙලාවට එදා පුරුපුරු බස් එක යන්න කලින් හෝල්ට් එකට ඇවිත් තිබුනා. බස් එකට නැග්ග පූසා හොඳ නින්දක් දාලා හවස හයහමාරට විතර පූස්ගමින්ම බැස්සා.

එදා හවස ගෙදර ආපු පුරුපුරුට සෑහෙන ගමන් මහන්සියක් තිබුනලු. ඒ හින්දා මෑන්ස් කළේ ඇඳුම් ටික පැත්තකින් දාලා හොඳට නිදාගත්ත එක. පැයක දෙකක නින්දකින් පස්සේ අපේ පූසා නැගිට්ටේ අම්මගේ කට හඬ ඇහිලා.

අම්මා :- පුතා, අද කොහෙද ඔයා ගියෙ?

අම්මා ප්‍රශ්නෙ අහපු විදිහටම මොකක්හරි වැඩක් ජෝන් බාස්ට ගිහිං තියෙන වග පූසාට ඉවෙන් වගේ තේරුණාලු.

පුරුපුරු :- ම්...ම්...මම මේ කන්දෙ කැම්පස් එකට ගියෙ අම්මෙ මී කතුරා හම්බවෙන්නත් එක්ක.

අම්මා :- එතකොට මේ ෂර්ට් එකේ සාක්කුවෙ උද්භිද උද්‍යානෙට ගත්තු ටිකට් දෙකක් තියෙන්නෙ?

කෙලියා තාප්පෙටම!!! බැලින්නං අපේ පුරුපුරුට පාක් එකට යන්න ගත්ත ටිකට් දෙක විසි කරන්න අමතක වෙලා. මෑන්ස්ගෙ අම්මා ඇඳුම් ටික හෝදන්න දාන්න හදනකොට තමයි සාක්කුවෙ තිබුන ටිකට් දෙක අහුවෙලා තියෙන්නෙ. දැන් ඉතිං නිදහසට මොනවා හරි කියන්නත් ඕනෙ. ඒත් වැඩි වෙලා හිත හිතා ඉන්නත් බෑ. ඉතිං පුරුපුරු කළේ ඒ වෙලාවෙ කටට ආපු උත්තරයක් කියලා දාපු එක.

පුරුපුරු :- මේ...මේ...ඒක මී කතුරගෙ වෙන්න ඇති අම්මේ...මම දන්නෙ නෑ.

අම්මා :- ආ ඇත්තද?

මෙහෙම කියපු පුරුපුරුගෙ අම්මා වෙන මොනවත් අහන්නෙ නැතුව එතනින් යන්න ගියාලු. දැන්නං අපේ පූසාට දාඩියත් දාලා. කම්මුල් රත් වෙලා. බඩ හීතල වෙලා. මෑන්ස් දන්නවා අම්මා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේට සුදුපූසිගෙ අම්මගෙ මොන්ටිසෝරියට යන පොඩි එකෙක්වත් රැවටෙන්නෙ නැති වග. ඒ වගේම මී කතුරා එක්ක පාක් ගියා කියලා කිව්ව එකෙන් පුරුපුරු ගේ කුරුල්ලෙක් කියලා ගෙදර මිනිස්සු හිතන්නත් පුලුවන්.

අනික සමහරවිට මේ වෙච්ච වැඩේ වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වෙන්නත් පුලුවන්. මොකද මේක අම්මාට සුදුපූසි ගැන කියන්න ලැබිච්ච හොඳ චාන්ස් එකක්. වැඩිය මහන්සි වෙන්නෙ නැතුව අනිත් ටිකට් එකේ හිමිකාරිය සුදුපූසියි කියලා විතරයි කියන්න ඕනෙ. ඉතිං පූසා ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මෑන්ස්ගෙ අම්මා ආපහු පාරක් කාමරේට ආවේ. මේ වෙලාවෙනං අම්මා කටක්වත් අරින්න කලින්න අපේ පුරුපුරු කතාව පටන් ගත්තලු.

පුරුපුරු :- අම්මේ...මේ...මේ...අර ටිකට් දෙක....

අම්මා :- ඔව් ඉතිං?

පුරුපුරු :- ඒ දෙක මී කතුරාගෙ නෙවෙයි, මගේ....මේ...මේ...මම....

දැන් පූසාට එතනින් එහාට මොනවත් කියාගන්න බැරුව වචන ගොත ගගහා ඉන්නවා. මේ වෙලාවේ තමයි අම්මා පුරුපුරුගෙ පිහිටට ආවේ.

අම්මා :- ඔයා සුදුපූසිව බලන්න නේද ගියෙ?

අම්මා පුරුපුරුට වන් ෂොට් නොකවුට් ප්‍රශ්නය කෙළින්ම යොමු කළා. මේ වෙද්දිත් පුරුපුරුගෙ අම්මා දන්නවා පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො කියලා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකම පන්තියේ ඉගෙන ගන්න කාලෙත් පුරුපුරුගෙ අම්මා සුදුපූසිට හරිම කැමතියි. සුදුපූසි දැන් ඉන්නේ කන්දෙ කැම්පස් එකේ බවත් අම්මා දැනගෙන හිටියා. ඒ හින්දා පූසා නුවර ගියේ කෙල්ලෙක් බලන්නනම් ඒ කෙල්ල වෙන්න ලොකුම ප්‍රොබබිලිටිය තියෙන්නේ සුදුපූසි බව පුරුපුරුගෙ අම්මා ගෙස් කරන්න ඇති. කොහොමහරි ඔයින් මෙයින් වැඩේ පූසා හිතුවාටත් වඩා පහසු වුණා.

පුරුපුරු :- හ්ම්...

අනිත් පැත්ත හැරිච්ච පුරුපුරු ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගත්තා.

අම්මා :-  මේ ගැන අපිට කියපු එක හොඳයි.

මෙහෙම කියපු අම්මත් කාමරෙන් යන්න ගියා. කොහොමහරි ඉතිං මේ සම්බන්දයෙන් පුරුපුරුගෙ පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑලු. ඉතිං මෑන්ස්ට ඊටපස්සෙ සුදුපූසිගෙ ගෙදර ගියාම ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න සිද්ද වුණෙත් නෑලු.

දැන් මේ කතාව කියෙව්වට පස්සෙ තමන්ගෙ ආදර සම්බන්දෙ ගැන ගෙදරට කියාගන්න බැරුව ලතවෙන කස්ටියට තේරෙනවනෙ නේද මොකද්ද කරන්න ඕනෙ කියලා? විසඳුම හරි සරලයි. අවශ්‍ය කරන්නේ ටිකට් දෙකක් විතරයි. මේ ක්‍රමය අනුගමනය කළාම තමන් ප්‍රශ්නෙ වෙත යන්නෙ නැතුව ප්‍රශ්නෙ තමන් වෙතට ගෙන්න ගන්න පුලුවනි. හැබැයි ඊටපස්සෙ වෙන දේවල් වලට බ්ලොග් ගඩොල් වග කියනු නොලැබේ.

Monday, December 10, 2012

හුංගා

හුංගෙක් - උපුටා ගැනීම http://www.srilankantravellers.com/animals/2011/12/31/

ගෙදර මාලු ටැංකියක් තියාගෙන සුරතල් මාලු ඇතිකරන එක ගොඩක් කොල්ලන්ගෙ පුරුද්දක්. ඉතිං අපේ පූසො සෙට් එකේ පුරුපුරු, ඤාව්වා සහ උපාසකත් මේ විදිහට මාලු ඇති කරන්න ඇබ්බැහි වෙලා හිටපු තුන් දෙනෙක් තමයි. ඉතිං මේ අයගේ ටැංකිවල ගෝල්ඩ් ෆිෂ්ලා, කාෆ්ලා, ඒන්ජල්ලා වගේ රට මාලු වගේම නළහඳයි, ගප්පි, පෙතියො, වැලිගොව්වෝ වගේ දේශීය මාලුත් හිටියලු. ඇත්තටම පුරුපුරුනං රට මාලුන්ටත් වඩා කැමති වුණේ අර අන්තිමට කියපු වෙල් මාලුන්ට තමයි. මොකද වීදුරු ටැංකියකට දැම්මාට පස්සෙ වෙල් මාලුන්ගෙන් පේන ලස්සන රට මාලුන්ටත් වඩා වැඩියි.

ඉතිං මේ සිද්දිය වුණේ අපේ පූසො ඒ ලෙවල් කරලා ගෙදර හිටපු දවස්වල. මේ දවස්වල තමයි අධ්‍යාපන කටයුතු හින්දා කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුන මාලු හැදිල්ල ආපහු නග්ගලා ගන්න පූසො තීරණයක් ගත්තේ. ඉතිං කට්ටිය තීරණය කළාලු ලස්සන වෙල් මාලු ටිකක් අල්ලගෙන තමන්ගෙ මාලු ටැංකි ලස්සන කරගන්න. මේ වැඩේට අපේ පූසො සෙට් එක තෝරගත්තේ පුරුපුරුලාගෙ ගෙදර පල්ලෙහා තිබුන වෙල අයිනෙන් ගලාගෙන ගිය පොඩි ඇළ.

ඔය විදිහට ඉතිං නියමිත දවසේ පූසො තුන්දෙනා සුබ නැකතින් වෙලට බැස්සලු මාලු අල්ලන්න ඕනෙ කරන ආම්පන්න ටිකත් අරගෙන. ආම්පන්න තමයි ඉතිං මාලුන්ව අල්ලන්න හදාගත්තු රෙදි ගොටු ටිකයි, ලොකු රෙද්දකුයි, අල්ලගත්ත මාලුන්ව ආපහු ගෙනියන්න ගෙනාපු ෂොපින් කවර ටිකයි. ඔය විදිහට ආම්පන්න වලින් සන්නද්ද වෙච්ච අපේ යාලුවො මුලින්ම ගියේ ඇළේ මාලු ගහනය වැඩියි කියලා කලින් මීටර් කරගෙන තිබුන ඒරියා එකකට.

දැන් ඉතිං අපේ කස්ටිය රෙදි එළලා, ගොටු ගහලා ලෑස්තිය මාලු ටිකක් අල්ලගන්න. කිව්වත් වගේ එතන  හිටියේ ජනගහන වේගය පාලනය කරගන්න බැරිවෙච්ච මාලු සෙට් එකක්. හැබැයි ඉතිං උං ඔක්කොම ගප්පියෝ. ඉතිං බොහොම කෙටි කාලයක් ඇතුලත ෂොපින් උරයක් පිරෙන්න ගප්පි අල්ලගන්න අපේ පූසන්ට පුලවන්කම ලැබුනලු. තව ටිකක් එහාට ගිහින් ටිකක් මහන්සි වුණාට පස්සේ පෙතියෝ සෙට් එකකුයි, වැලිගොව්වෝ කීප දෙනෙකුයි අල්ලගන්නත් කට්ටියට චාන්ස් එක හම්බවුණාලු. දැන් ඉතිං තුන්දෙනාටම ටැංකිවලට දාන්න තරම් කට්ටිය මාලු අල්ලගෙනයි ඉන්නේ. ඒ හින්දා පුරුපුරුටයි, උපාසකටයි ඕනෙ වුණේ ආපහු ඉක්මනට ගෙවල් වලට යන්න.

ඒත් ඤාව්වාටනං ආපහු යන්න කිසිම කැමැත්තක් තිබුනේ නෑ. මොකද මෑන්ස්ගේ ප්‍රධාන ගෝල් එක ඇචීව් කොරගන්න ඤාව්වාට ඒ වෙද්දිත් පුලුවන්කමක් ලැබිලා තිබුනේ නෑ. ඇත්තටම එදා දවසේ අපේ ඤාව්වාට ගොඩක්ම ඕනෙකම තිබුනේ හුංගෙක්ව අල්ලගන්න. ඉතිං මෑන්ස් පුරුපුරුගෙන් මේ ගැන කලින් දවසේ ඇහුවාම පුරුපුරුත් ඤාව්වාට කිව්වලු ඇළේ හුංගො ගොඩක් ඉන්නවයි කියලා. ඇත්තටම මේ පොඩි ඇළේ හුංගො ඉන්නබව පුරුපුරු කලින් එකපාරක් අහලා තිබුනත් පෑවිල්ල හින්දා ඇළේ වතුර ගොඩක් අඩු වෙලයි තිබුනේ. ඒ හින්දා පුරුපුරු ඇත්තටම විස්වාස කළේ නෑ ඤාව්වාට හුංගෙක් අල්ලගන්න ලැබෙයි කියලා. ඒත් ඉතිං කම්මැලි ඤාව්වාව එදා දවසේ ගෙන්නගන්න ඕනෙ හින්දම පුරුපුරු මෑන්ස්ට කිව්වලු ෂුවර් එකට හුංගෙක්ව අල්ලගන්න පුලුවන් වෙයි කියලා.

දැන් ඉතිං හුංගෙක්ව අල්ලගන්න බැරිවෙච්ච එකට ඤාව්වාට පට්ට අප්සෙට්. ඒ මදිවාට මෑන්ස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා.

“මොකද්ද බං උඹලා හුංගෙක්ව අල්ලලා දෙනවා කියලනෙ මට එන්ඩ කිව්වෙ. කිව්වනං දැන් අල්ලල දීපං. නැත්තං මම එන්නෙ නෑ ආපහු යන්ඩ“

දැන් ඤාව්වා වෙල මැද්දෙ පුරුපුරුටයි, උපාසකටයි සද්දෙ දානවා. වෙලේ ඉන්න අසමජ්ජාති මී හරක් රංචුවේ හැටි දන්න හින්දා මෑන්ස්ව තනියෙන් දාලා යන්නත් බයයි වගේ. ඉතිං අන්තිමට පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු ඤාව්වාට කොහොමහරි හුංගෙක් අල්ලලා දීලා මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න. ඒත් ඉතිං මෙච්චර වෙලා හම්බ නොවිච්ච හුංගො දැන් කොහෙන් හොයන්නද? 

මේ අතරෙ තමයි උපාසක මෙහෙම යෝජනාවක් කළේ.

“මචංලා අපි අර කැළෑව හරියට යමු බලන්න. ඒ හරියෙ ඇළේ සමහරවිට හුංගො ඉන්න පුලුවන්“

ඉතිං මේ යෝජනාවට එකඟ වෙච්ච පූසො සෙට් එකම ඈතින් තියෙන කැළෑව පැත්තට ගියාලු. ඇත්තටම මේක කැළෑවක් කිව්වට කැළෑ බඩියක්. එහෙම නැත්තං බඩවැටියක්. ඒ හරියෙ වෙල වුණත් ගොයම් වවලා නැතුව පුරන් වෙලයි තිබුනේ. ඉතිං මුලු ඒරියා එකේම තිබුනේ පාලු ස්වභාවයක්. කොහොමහරි ඉතිං අපේ යාලුවො තුන් දෙනාම දැන් ඇළ දිගේ ඇවිදගෙනම ඉස්සරහට යනවලු. බඩවැටිය හරියට ආවට පස්සෙ ඇළත් වහගෙනම වගේ කැළේ වැවිලයි තිබුනේ. ඉතිං තමන්ට අඩි දෙකතුනකට වඩා ඉස්සරහා තිබුන දේවල් පූසන්ට පෙනුනේ නෑ.

ඔය අතරේ තමයි ඤාව්වා එකපාරටම කෑ ගහන්න ගත්තේ.

“අන්න හුංගෙක්. හුංගෙක්. අල්ලපන් ඕකාව“

කලබල වෙච්ච පාර උපාසකයි, පුරුපුරුයිත් ඒ පැත්ත බැලුවත් දෙන්නම කිසිම හුංගෙක් දැක්කෙ නෑ. ඒත් ඇළේ හුංගෙක් හිටපු බව ඤාව්වාට හොඳටම ෂුවර්. දැන් මෑන්ස්ගෙ ලෑස්තිය ඇළේ බඩගාලා හුංගාව හොයන එක. ඒත් හුංගො කියන්නෙ එසේ මෙසේ මාලු ජාතියක් නෙවෙයි. උන් විද්දොත් සෑහෙන්න අමාරු වෙන්න පුලුවන් කියලයි පුරුපුරුනං අහලා තියෙන්නෙ. ඉතිං මෑන්ස් ඤාව්වාට ඇළට බහින්න දුන්නේ නෑ. ඒ වෙනුවට කට්ටියම කළේ හුංගාව අල්ලන්න සෝදිසි මෙහෙයුමක් දියත් කරලා තවත් ටිකක් ඉස්සරහට ගිය එක.

මෙහෙම යද්දි තමයි අපේ යාලුවො කට්ටියට එකපාරටම ඇළ අයිනේ තිබුන බැරල් එකක් හම්බවුණේ. මේ බැරල් එක ගනට වැවිච්ච පඳුරු අස්සේ හැංගිලා තිබුන හින්දා පූසො ඒක ඇඟේ වදින ගානට ළං වෙනකං දැක්කේ නෑ. ඒ වගේම බැරල් එක හින්දා පූසන්ගේ ඉදිරි ගමන අවහිර වෙලා තිබුනේ. ඉතිං උපාසක කළේ බැරල් එක ඇළට පෙරලලා දාන්න ට්‍රයි කරපු එක. ඒත් ගොඩක් බර ඒ බැරල් එක තල්ලු කරන එක පූසාට හිතපු තරං ලේසි වුණේ නෑ. අන්තිමට පූසො තුන් දෙනාම එකතුවෙලා තමයි බැරල් එක ඇළට තල්ලු කළේ. ඇළට වැටිච්ච බැරල් එක ඇතුලේ තිබුන දියරයක් “ගොජ ගොජ“ සද්දෙන් ඇළට එකතු වෙන්න ගත්තේ එතකොට.

එතකොට තමයි පූසන්ට මීටර් වුණේ මේ බැරල් එකේ තිබුනේ මොනවාද කියලා. ඒ තමයි වෙල් ෆැන්ටා, මුල්ල පටස්, කෂියා වගේ විවිධ නම් වලින් හඳුන්වන හෙළයන්ගේ ජනප්‍රිය පානය. දැන් ඉතිං මේක මහන්සියෙන් පෙරපු එකා වැඩේ දැක්කොත් පූසන්ට අබ සරණයි. ඉතිං හුංගො හෙවිල්ල පැත්තකින් තියපු පූසො කළේ අල්ලගත්තු මාලු ටිකත් උස්සගෙන පණ කඩාගෙන ආපහු දුවපු එක. දුවලා ගිහින් වෙලෙන් එගොඩ වෙනකංම අපේ යාලුවො නෙවෙයි ආපහු පිටිපස්ස හැරිලාවත් බැලුවේ.

පස්සේ වෙන දවසක උපාසකලගෙ ගෙවල් ගාව වෙලෙන් පොඩි හුංගෙක්ව අල්ලගන්න ඤාව්වාට පුලුවන්කම ලැබුනලු. ඔහොම සතියක් දෙකක් යද්දි තමයි පුරුපුරුට හද සලිතවෙන ජාතියෙ නිව්ස් එකක් ලැබුනේ. ගමේ හිටපු පුරුපුරුගෙ යාලුවෙක් එක දවසක් මෑන්ස්ව හම්බවෙච්ච වෙලාවක පුරුපුරුට මෙහෙම කිව්වලු.

යාලුවා :- මොකද්ද බං මේ උඹ කසිප්පු පෙරන කතාව?

පුරුපුරු :- හෑ!!! මොකක්? @$$*(*%$#%#@%@

යාලුවා :- නෑ බං අපේ අම්මට අර අල්ලපු ගෙදර ඇසිලින් ඇන්ටි කියලා තියෙනවා උඹ විබාගෙ ෆේල් වෙලා කොළඹ යාලුවොත් එක්ක ගමේ හොරෙන් කසිප්පු පෙරනවයි කියලා.

බැලින්නං එදා අපේ පූසෝ හුංගො හොයන්න ගිය ඒරියා එක ගමේ කෂියා පෙරන්න ප්‍රසිද්ද වෙච්ච තැනක්ලු. ඉතිං පුරුපුරු අනිත් පූසොත් එක්ක ඔය ඒරියා එකේ බඩවැටි අස්සෙ රිංග රිංග ඉන්නකොට ඕක දැකපු ගමේ ඩයල් එකක් තමයි මෑන්ස් ගැන ඔය නිගමනයට ඇවිත් ඉන්නේ. එදා තමයි අපේ පූසා දැනගත්තේ ගමේ රහස් ඔත්තු ජාලය සී.අයි.ඒ එකටත් වඩා කොච්චර ප්‍රබලද කියලා.



Saturday, December 8, 2012

හයවෙනි ඉන්ද්‍රිය


ඔයාලා දන්නවද හයවන ඉන්ද්‍රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක් තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි ඉන්ද්‍රියට දැනෙනවලු.

ඔන්න ඉතිං අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරමිනුයි හිටියෙ. ඉතිං මාසෙකට දෙවතාවක් විතර සති අන්තයෙ තමයි මෑන්ස් ගෙදර ආවෙ.

මෙහෙම සෙනසුරාදා දවස් කීපයකදිම ගෙදර එද්දි ගම්පහ ස්ටේසමේදි උපාසකගෙ රේඩාර් එකට අහුවුනු ගෑනු ළමිස්සියෙක් හිටියා. සුදු පොඩි බෝලයක් වගේ ගෑනු ළමයෙක්ලු ඉතිං. ගම්පහ ස්ටේසමේ ඇතුලෙ තියෙනවලු එක ප්ලැට්ෆෝර්ම් එකක ඉඳලා අනිකට මාරු වෙන්න හදපු පඩිපෙලක්. ඔය පඩිපෙලේ කොළඹට කෝච්චි යන පැත්තෙ පාමුල තියෙනවලු ටැප් එකක්. ඉතිං ඔන්න ඔතනම තියෙන බංකුවෙ තමා මේ ගෑනු ළමයා හැමදාමත් වාඩිවෙලා හිටියේ. අපේ උපාසකත් ඉතිං කරන්නෙ කොළඹ ඉඳන් එන ට්‍රේන් එකේ ඇවිත් අදාල ප්ලැට්ෆෝර්ම් එකෙන් බහින්නෙ නැතුව අනිත් පැත්තෙන් කෝච්චි පාරට පැනලා අර ගෑනු ළමයා ඉන්න හරියෙන් ගොඩවෙන එකයි.

මෙහෙම ඉතිං සති කීපයක් ගෙවිලා ගියාලු. කෝස් වර්ක් එක්ක අම්බානට බිසී හින්දා ඉස්සර චංචලාට ට්‍රයි කරන කාලෙ වගේ ගෑනු ළමයාගෙ විස්තර හොය හොයා කාලයක් තිබුනෙත් නැහැලු අපේ උපාසකට. ඒ නිසා උපාසක තීරනය කළාලු ඉක්මණින්ම වැඩේට එන්ටර් වෙන්න.

ඔන්න ඉතිං ඊළඟ සෙනසුරාදා දවසත්  උදා වුණාලු. උපාසකත් දැන් කොළඹ ඉඳන් කෝච්චියෙ ආවලු. ඇවිත් ගම්පහ නැවැත්තුවට පස්සෙ වෙනදා වගේ රේල පාරට පනින්නෙත් නැතුව, පූසා හෙමීට අහිංසක විදියට පඩිපෙල දිගේ නැගලා එහා පැත්තට සැපත් වුනාලු. සැපත් වෙලා බැලින්නම් මෙන්න වෙනදා වගේම ඉන්නවලු අර ගැනු ළමයත්. මියෙම්වා ‍රැකෙම්වා කියලා හිතට පූස් ධෛර්යය අරගත්තු අපේ පූසා කෙලින්ම ගිහින් වාඩි වුණාලු අර ගෑනු ළමයා ගාවින්. අනේ මේ කෙල්ලත් ඉතිං ඔලුව උස්සල බලලා උපාසකට ලාවට හිනාවකුත් දැම්මලු. උපාසකත් ඉතිං පොඩි හිනාවක් එහෙම දාලා කතාවට එන්ටර් වුනාලු.

මේ ගෑනු ළමයා උපාසකට කලින් දැකලා පුරුදු ගතියකුත් තිබුන හින්දම,

උපාසක :- හායි, ඔයා 2006ද ඒලෙවල් කලේ? මට ටිකක් දැකලා පුරුදුයි වගේ ඒකයි ඇහුවෙ.

ගැනු ළමයා :- ඔව්! මම සයන්ස් කළේ, මට මතකයි ඔයා බ්ලැක් ඔෆිසර් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් ආවා.

උපාසක :- (හුටා මාව දන්නවත් වගේ!!! තව මොනව දන්නවද දන්නෙ නෑ.)
 
"ආ...ඔව් ඔව්!! ආවා නේන්නං! එහෙනං ඒක තමා මටත් ඔයාව මීටර් වෙලා තිබුනෙ. මම මැත්ස් කළේ.

ගෑනු ළමයා :- ආ... ඒක තමයි ඔයාව අනිත් ක්ලාස් වලදි දැකලා නැත්තෙ.

(දකින්න ඉතිං මේ ළමයා දන්නෙ නෑ නොවැ අපේ උපාසක ක්ලාස් ගිය හැටි :) )

උපාසක :- ඉතිං මොකක්ද ඔයාගෙ නම? මමනං උපාසක.

ගෑනු ළමයා- මම නිසූපා.

උපාසක- නිසූපා? හ්ම්ම්... නිසූපා ඔයා හැමදාම මේ වෙලාවට මෙතන ඉන්නවා නේද? මොනාහරි ක්ලාස් එකකටවත් යනවද?

නිසූපා - මම යක්කල ආයූර්වේදෙ ඉගෙන ගන්නව අනේ. සෙනසුරාදාට ඉක්මනට ගෙදර එනවා.

උපාසක- ආ... වෙද නෝනා කෙනෙක්නෙ, ඒක හොඳයි හදිස්සියකට ලෙඩකටවත් බේත් ගන්න බැරියැ!!

(අපේ පූසාට තියෙන පික්සුවට තාම බේත් ලොවෙත් නෑලු)

ඔහොම ඉතිං  උපාසක ටෝක් එක ඉතාම සාර්ථක විදිහට ඉස්සරහට අරගෙන ගියාලු. වාසනාවට වගේ ස්ටේශන් එකේ අංකලුත් කෑගහලා කිව්වලු කොළඹ පැත්තට යන කෝච්චිය ලේට් කියලත්. දැන් ඉතිං අපේ මෑන්ස්ට මල් හතයි. දෙන්න ඔහොම පැයක් විතර අනං මනං ඕප දූප කියෝ කියෝ හිටියලු. ඔහොම කතාවෙන් කතාවෙන් උපාසක ඩේටා බේස් එකට දාගත්තු විස්තර තමා මෙව්වා.

නම - නිසූපා.
ඉන්නෙ - ගම්පහයි කොළඹයි අතරේ.
වයස - උපාසකලගෙ වයසේමයි.
අධ්‍යාපනය - යක්කල ආයුර්වේද ආයතනයේ ඉගෙන ගන්නවා.
පවුලේ තොරතුරු - මල්ලියෙක් ඉන්නවා
මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් - දෙන්නම අඳුරන යාලුවොත් ගොඩක් ඉන්නවා.

ඉතිං මෙහෙම කතා කර කර ඉද්දි තමයි තවත් දන්න අඳුරන ඩයල් එකක් ඒ පැත්තට ඇවිදගෙන එනවා උපාසක දැක්කේ. බැලින්නං මෙන්න බොලේ රෝහණදීර කට කනේ හිනාවක් දාගෙන පූසා ඉන්න පැත්තට එනවලු. ඔයාලා දිගටම බ්ලොග් ගඩොල් බැලුවනං රෝහණදීරව අමතක වෙන්න කොහෙත්ම පුලුවන්කමක් නෑ නොවැ! මතකනෙ අර පූස්ගම හොල්ලගෙන හිටපු චණ්ඩියා?

ඔය විදිහට උපාසකව දැක්ක රෝහණදීරත් ඉතිං එතනට ආවලු හිනාවත් දාගෙනම. උපාසකත් ඉතිං රෝහණදීරත් එක්ක කතා කළාලු. හැබැයි මෙහෙම ටික වෙලාවක් කතා කරගෙන යද්දි උපාසකගෙ හයවන ඉන්ද්‍රියට නිකන් අවුල් අවුල් වගේලු.

රෝහණදීර :- ආ මලයා කොහොමද ඉතිං? මොකද මේ පැත්තෙ?

උපාසක :- ඔහෙ ඉන්නවා රෝහණදීර අයියා, මේ බෝඩිමේ ඉඳලා ගෙදර යන ගමන් යාලුවෙක්ව හම්බ වුණා.

රෝහණදීර :- ඉතිං ඉතිං තාම ස්ටඩීස් එහෙම ඉවර නැද්ද? කෝ පූසො සෙට් එක එහෙම? කස්ටිය දැක්කෙවත් නෑ කාලෙකින්.

රෝහණදීර මෙන්න මෙහෙම උපාසකගෙන් ප්‍රශ්න පත්තරයක්ම අහන්න ගත්තලු. උපාසකත් ඉතිං ඒවාට උත්තර දුන්නට පස්සෙ රෝහණදීර එකපාරටම නිසූපා පැත්තට හැරිලා මෙහෙම ඇහුවලු.

රෝහණදීර :- අද කෝච්චි පරක්කුයි වගේ නේද නංගි?

නිසූපා :- ඔව් අයියේ! අද ගොඩක් පරක්කුයි වගේ.

ඔන්න එතකොටයි උපාසකට තේරුනේ මේ දෙන්නත් අදුරන දෙන්නෙක් බව. ඒත් ඉතිං අවුලක් නෑනෙ කියලා හිත හදාගත්තු උපාසක දිගටම රෝහණදීර එක්ක කතාව කරගෙන ගියාලු.

දැන් උපාසකයි, නිසූපයි එක ළඟ වාඩි වෙලා ඉන්නවා, රෝහණදීර ඉස්සරහින් හිටගෙන කතා කරනවා. උපාසකගෙ හයවන ඉන්ද්‍රියත් දිගට හරහට මෑන්ස්ට මැසේජ් එවනවා මොකක්හරි අවුලක් කියලා. මේ වෙද්දිනං අපේ උපාසකට උපරිම ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ. ඇයි දෙයියනේ නිදහසේ වැඩක් කිරරගන්න හදද්දිම කොහෙවත් හිටපු රෝහණදීරයෙක් ආවා නොවැ උදැල්ල දාන්න. ඉතිං අන්තිමේදි පූසා තීරණය කළාලු රෝහණදීරව වහාම එතනින් පිටමං කළේ නැත්තං තමන්ගෙ මිෂන් එක ගොඩදාගන්න තියෙන සම්භාවිතාව එකට පනස්දාහට බහිනවයි කියලා. අන්තිමේදි උපාසක නැගිටලා රෝහණදීරට පැත්තකට අඬගැහුවලු.

උපාසක :- මේ රෝහණදීර අයියේ, පොඩ්ඩක් මෙහාට එන්නකෝ

රෝහණදීරත් ඉතිං උපාසකත් එක්ක ටිකක් එහාට ගියාලු. මේ වෙද්දි ඉතිං නිසූපාටත් ටිකක් මීටර් වෙලයි තිබුනේ මොකක්හරි අබ්ලික් කේස් එකක් එතන ක්‍රියාත්මක වෙමින් තිබුන බව.

උපාසක :- මේ රෝහණදීර අයියේ උඹට වෙන වැඩක් නැද්ද බං? මම මේ පොඩි සීන් එකක උච්ඡතම අවස්තාවෙ ඉන්නේ, ඒක කරගන්න දීලා මෙතනින් කැපියන්කො තරහ නැතුව.

රෝහණදීර :- කැපෙන්නෙ? කැපෙන්න නෙවේ #%!#$!# මගෙන් අහගන්නෙ නැතුව පලයන් මෙතනිං. මේ මගෙ කෑල්ල යකෝ. සතියකට සැරයයි ඒකිව මට හම්බවෙන්නෙ. ඒකටත් ‍හැමදාම ‍තෝ වගේ ගෝතයෙක් පාත් වෙනවනෙ!!!

ඔන්න එතකොට තමයි අපේ උපාසකට තරු පේන්න ගත්තේ. මොනවා කරන්නද ඉතිං, අර ගිය මොකක්ද එක ආයෙ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කතාවක් තියෙනවා නොවැ! ඉතිං උපාසක රෝහණදීරට පොඩි බටර් පාරක් ගාලා ෂේප් කරගෙන, වැඩිය චාටර් නෑ කියලා හිත හදාගෙන ඒ වෙලාවෙම ගෙදර ආවලු. රෝහණදීර පූසො සෙට් එකත් එක්ක ‍ෆිට් බුවා නිසා හොඳයි ඉතිං. නැත්නං එදා උපාසකට ගෙදර එන්න වෙන්නෙ කොටස් වශයෙන්ලු.

ප:ලි:- එදා ඉඳලා ඉතිං උපාසක එක්ක රෝහණදීර වගේම නිසූපාත් සෑහෙන්න ‍ෆිට් වුණාලු. හැබැයි ඉතිං උපාසකනං නිසූපා එක්ක කතා කළේ මූණටම හම්බවුණොත් විතරයි. නැත්තං මෑන්ස් කළේ නිසූපාව දැක්කාම හිමීට එතනින් ඌර්ධවපාතනය වෙලා යන එක. ඇයි ඉතිං වෙච්ච දේ හැටියට හිත හදාගෙන එයාට ෆේස් කරන්නේ කොහොමද? ඒ වගේම දැන්නං හැබයි රෝහණදීරගෙයි නිසූපාගෙයි මෙව්වා එක නැහැ කියලා තමයි ආරංචි.

Tuesday, September 18, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය)



අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ලෙසටම නැගලා යද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන දවසේ අපේ පූසො කට්ටිය පුරුපුරුලාගෙ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් බල බලා හිටියේ. එක පාරටම මාකට්ගෙ ෆෝන් එක රිංග් වුණේ අනිත් පූසන්ට අම්බානට ෆ්ලවර් ජම්ප් කරලා. මොකද මේ වෙද්දි කට්ටිය සෙට් වෙලා මොකක් හරි වැඩක් කරද්දි මාකට්ට නිතරම නිසංසලාගෙන් කෝල් එන එක අනිත් පූසන්ට වදයක් වෙලයි තිබුනේ. කොහොමහරි ඉතිං අනිත් පූසන්ගේ ඇනුම්පද මැද්දෙන් කෝල් එක ආන්සර් කරපු මාලුකට්ටාගෙ මූණෙ පෙම් පාට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඉතිං මෑන්ස් මොකක්හරි ජලබරි කේස් එකකට ෆේස් කරලා ඉන්න වග අනිත් පූසෝ තේරුම් ගත්තලු. පස්සෙ බැලින්නං මෑන්ස්ට ඇවිත් තිබුනේ මේ වගේ කෝල් එකක්. හැබැයි ඒ නිසංසලාගෙන්නම් නෙවෙයි.

අමුත්තා :- මේ මිස්ටර් මාලුකට්ටාද කතා කරන්නේ?

මාකට් :- ඔව්! මාලුකට්ටා තමයි. කවුද මේ කතා කරන්නේ?

අමුත්තා :- මම මේ අහවල් දිස්ත්‍රික්කය බාර එස්. එස්. පී කතා කරන්නේ. මට තමාගෙන් වැදගත් තොරතුරු වගයක් දැනගන්න තියෙනවා.

මාකට් :- හික් හික්!! මේ ***, විහිලු නොකර කියපං උඹ කවුද කතා කරන්නේ කියලා. ඇත්ත කියපං, උඹ වේයන්ගොඩයා නේද?

අමුත්තා :- තමුසෙට මේක විහිලුවක් වගේද තේරෙන්නෙ? වැඩිය ආවොත් මම තමාව දානවා කූඩුවෙ!!!

මාකට් :- (අම්බානට බයවී) මොනවද මගෙන් දැනගන්න ඕනෙ?

අමුත්තා :- තමන් නිසංසලා දිසානායක කියන තරුණියව අඳුරනවා නේද?

මාකට් :- (තවත් පුදුම වී) ඔව්! ඇයි නිසංසලාට කරදරයක්ද?

අමුත්තා :- කරදරයක්ද? තමා වහාම නිසංසලාව තියන් ඉන්න තැනකින් පොලිසියට එක්ක එනවා හොඳයි.

මාකට් :- මොකක්? මම දන්නෙ නෑ නිසංසලා ඉන්න තැන. එයා මගෙ යාලුවෙක් විතරයි.

අමුත්තා :- එතකොට ඊයෙ හවස හයයි තිහට නිසංසලා තමාට කෝල් එකක් ගත්තෙ නැද්ද?

මාකට් :- ගත්තා. ඒත් ඊට පස්සෙනං එයා මට කෝල් කළේ නෑ.

අමුත්තා :- හොඳයි අපි ඒකෙ ඇත්ත නැත්ත දැනගන්නං. අද හවස පූස්ගම පොලිසියට ඇවිත් මාව මීට් වෙන්න. මම අද පූස්ගමට එන්නං තමාව මුණගැහෙන්න.

කොහොමහරි ඉතිං කෝල් එක ඉවර වෙද්දි අපේ මාකට්ගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන ගානට වෙව්ලනවා. ඇයි දෙයියනේ මේ කොහෙන් කඩා පාත් වෙච්ච මරාලයක්ද? ඒ  වගේම මේ වෙද්දි අපේ යාලුවො කස්ටියත් නොඉවසිල්ලෙන් උන්නේ මාකට්ගෙන් සිද්ද වෙච්ච දේ ගැන දැනගන්න. ඉතිං මැන්ස්ට සිද්ද වුණාලු වෙච්ච දේ අනිත් පූසන්ටත් එවේලෙම කියන්න. 

මේ වෙද්දි අපේ සෙට් එකේ කාටවත් පුලුවන්කමක් තිබුනේ නෑ සිද්ද වෙලා තියෙන දේ හරියටම පැහැදිලි කරන්න. මාකට් දිගින් දිගටම නිසංසලාගෙ ෆෝන් එකට කෝල් ගන්න හැදුවත් ඒ ෆෝන් එක ඕෆ් කරලයි තිබුනේ. කොහොමහරි අන්තිමට අපේ යාලුවන්ට තේරුම් ගියේ නිසංසලා ගෙදර නැති බවත්, ඒ වගකීම ගිහින් තියෙන්නේ මාලුකට්ටාගෙ පිටින් වගත්. කොහොම වුණත් මාකට් දිගින් දිගටම කිව්වේ නිංසසලා මේ මොහොතේ ඉන්නෙ කොහෙද කියලා මෑන්ස් දන්නෙ නෑ කියලා.

ඔය විදිහට තවත් පැය බාගයක් ඇතුලත මාකට්ට තවත් ෆෝන් කෝල්ස් කීපයක්ම ලැබුනලු. එක කෝල් එකක් ආවෙ සී.අයි.ඩී එකෙන්. තව කෝල් එකක් ආවෙ පූස්ගම ඕ.අයි.සී ගෙන්. කොහොමහරි මේ කෝල් වලින් කියවුණේ මාකට්ට පොලිසියට එන්න අවශ්‍ය නැති බවයි, පහුවදා පොලිසියෙන් ඇවිත් ගම්පහදි මාකට්ව හම්බවෙන බවයිලු. ඒ වගේම මේ ඇමතුම් වලින් පූසන්ට ලැබුනු තොරතුරු වලට අනුව නිසංසලා කොල්ලෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින්. ඒ වගේම එයා පැනලා යන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නෙත් මාකට්ට. ඒක තමයි පොලිසිය අපේ පූසාව මේ ගැන මුලින්ම සැක කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා නිසංසලා පැනලා ගිහින් තියෙන්නේ රයන් එක්ක කියලා.

ඉතිං තමන්ව සීන් එකට සැක නෑ කියලා දැනගත්තාට පස්සේ තමයි මාකට්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මේ සිද්දිය ගැන පුරුපුරුටයි, ඤාව්වාටයි, උපාසකටයි තිබුනේ බරපතල සැකයක්. මොකද මේ වගේ චූටි කේස් එකකට පොලිසියේ උසස් තැන් වලින් බැහැපු එකයි, සිද්දිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වල තිබුන කාර්යක්ෂම බවයි සාමාන්‍යයෙන් අපිට ලංකාවෙදි දැකගන්න අමාරු දේවල්. ඉතිං අපේ පූසන්ට කුතුහලයක් ඇතිවුණාලු නිසංසලා කාගෙ කවුද කියලා මාකට්ගෙන් දැනගන්න.

පුරුපුරු :- යකෝ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් පැනලා ගියානං පැය විසිහතරක් විතර ගිහින් තමයි හොයන්න ගන්නේ. ඇත්ත කියපං මාකට්, කවුද මේ නිසංසලා? 

උපාසක :- ඒක තමයි, ඈ බොල උඹ මැණික් මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද ගියෙ, නැත්තං ඇමති කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද?

මාකට් :- මම දන්නෙ නෑ බං. අපි කවදාවත් ඒකිගෙ පවුලෙ විස්තර ගැන කතාබහ කරලා නෑ. මට තරහා මේකිට මට නිකංවත් කියන්න බැරිවුණානෙ පැනලා යන්න ඉන්නෙ කියලා. නැත්තං මම උදව් නොකර ඉන්නෙ නෑනෙ.

මී කතුරා :- පලයං *** යන්න. තෝ එහෙනං පැනලා යන්න උදව් කරන්න ගිහින් මෙලහට පොලිස් කූඩුවෙ.

කොහොමහරි ඉතිං මාකට් පහුවදා ගම්පහ ක්ලාස් ගිහින් එනගමන් පොලිස් නිළධාරියාවත් මුණගැහිලා තිබුනලු. ඒ වගේම නිසංසලාගෙ අයියත් එතනට ඇවිත් තිබුනලු. බලාගෙන යද්දි පොලිස් නිළධාරියා අයියගේ හොඳ යාලුවෙක්. ඉතිං එදා හවස මාකට් එනකං අනිත් පූසො නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ විස්තරේ දැනගන්න.

මාකට් :- මචංලා උඹලා දන්නවද නිශාන් දිසානායක කියලා ක්‍රිකටර් කෙනෙක්ව? එහෙම එකෙක් ගැන මමනං අහලා නෑ.

මේක ඇහිච්ච ගමන් උපාසකගේ කටින් පිටවුණේ අසභ්‍ය වචන මාලාවක්. මොකද නිශාන් දිසානායක කියන්නේ ඒ වෙද්දි සිලෝන් ටීම් ගහපු ප්‍රබල ක්‍රීඩකයෙක්. කොහොම වුණත් අරවින්ද ද සිල්වා කියන්නේ කවුද කියලා නොදැන හිටපු මාකට් නිශාන් දිසානායක ගැන දැන නොහිටිය එක ගැන පුරුපුරුනං පුදුම වුණේ නෑ. බැලින්නං නිශාන් දිසානායක තමයි නිසංසලාගේ අයියා.

මේ වෙද්දිත් නිසංසලාව කාටවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං නිශානුත් ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා තමන්ගෙ නංගිව හොයන්න ෆුල්ම විදිහට ගේමට බැහැලා හිටියේ. ගොඩක් දුරට මේ හෙවිල්ල ෆෝකස් වෙලා තිබුනේ රයන්ගෙ ගෙවල් තියෙන බවට නිසංසලා මාකට්ට කියලා තිබුනු නුගේගොඩ පැත්තෙලු. කොහොමහරි ඉතිං නිසංසලාව හොයන වැඩේට මාකට්ටත් එන්නයි කියලා නිශාන් දිසානායක ආරාධනා කරලා තිබුනලු. මාලුකට්ටාත් ඒ ඉන්විටේෂන් එක බාර අරගෙන තිබුනේ ඉතසිතින්. මේ කතාව අහපු ඤාව්වාටයි, පුරුපුරුටයිත් වැඩේට ජොයින් වෙන්න ඕනෙ වුණත් නිශාන් මාකට්ට කියලා තිබුනේ මේ සිද්දිය ගැන කාටවත් කියන්න එපා කියලා.

කොහොමහරි ඉතිං අන්තිමට දවස් කීපෙකට පස්සේ නිසංසලා ඉන්න තැන නිශාන් හොයාගෙන තිබුනා. මෑන්ස් ඊටපස්සෙ කරලා තිබුනේ පොලිසියත් එක්ක ගිහින් නිසංසලාව ගෙදර එක්කගෙන එන එක. මේ ගමනට සහභාගි වෙන්න අපේ මාලුකට්ටාත් අමතක කළේ නෑ. බලාගෙන යද්දි නිසංසලා රයන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ අනුරාධපුරේටත් එහා තියෙන දුෂ්කර ගමකට. මොකද බැලින්නං රයන්ගේ ගම නුගේගොඩ නෙවෙයි, අනුරාධපුරේ පැත්තෙලු. ඒ වගේම රයන් කියන නමත් බොරු නමක් කියලයි පස්සේ ආරංචි වුණේ.

කොහොමහරි ඉතිං මේ සිද්දියෙදි මාකට් දක්වපු සහය වෙනුවෙන් නිශාන් දිසානායක මාකට්ට සෑහෙන්න ස්තුති කරලා තිබුනා. මාකට්නං කිව්වේ නිශාන්ගෙ සැප වාහනේ යන්න ලැබිච්ච එකම මෑන්ස්ට සැහෙන දෙයක් කියලා. නිශාන් මාකට්ට කියපු අන්තිම වාක්‍යය මතක් කර කර අපේ පූසො සෙට් එක සෑහෙන කල් හිනා වුණා.

“මේකිට පිස්සුද කොහෙද මල්ලි! අනුරාධපුරේ කොහෙද රයන්ලා?“

කොහොමහරි ඊටපස්සෙ මාලුකට්ටාගෙයි නිසංසලාගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් එහෙමම නතරවුණා. ඒ වගේම මාකට් අලුත් පුරුද්දකට ඇබ්බැහි වුණා. ඒ තමයි රී ලෝඩ් පොත්වල ෆොටෝ ගහගෙන ඇවිත් ඒවයෙ තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරන එක. මේ ගොඩක් කෝල් අසාර්ථක වුණත් මෑන්ස්ට වැඩේ වැඩකරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි. ඉතිං ඔය විදිහට තමයි අපේ මාකට් මෑන්ස් වැටෙන්න ගිය ලෝක අමාරුවකින් නූලෙන් බේරුනේ.

ප.ලි - නිශාන් දිසානායක යනු බොරු නමකි.
ප.ප.ලි - නෝ ඔෆෙන්ස් ටු අනුරාධපුර කස්ටියට

Saturday, September 15, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය


ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.

මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට අමතරව ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ, එක පාරක් කෙල්ලෙක් හින්දා ඒ ලෙවල් ඇනගත්තු මාලුකට්ටා තමන්ටම පොරොන්දු වෙලයි හිටියේ දෙවෙනි පාර ඒ ලෙවල් කරද්දිනං අඩුගානෙ ගවුමක් දිහාවත් බලන්නෙ නෑ කියලා.

ඉතිං මේ දවස්වල රිවිෂන් ක්ලාස් ඉවර වුණාට පස්සේ උපාසක, ඤාව්වා සහ මාලුකට්ටා බස් එකේ ගෙදර ආවෙ එකටමයි. ඒ වගේම සමහර දවස්වලට එක එක වැඩ වලට ගම්පහට ආපු පුරුපුරුත් මේ කට්ටියට එකතු වෙනවා. ඉතිං ඔය දවස්වල තමයි මේ කියන සිද්දියත් වුණේ.

එක දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මාකට් දැක්කලු බොහොම ලස්සන, හුරුබුහුටි ගෑනු දැරිවියෙක්. එහෙමත් නැත්තං පැංචාවියක්. අර කතාවක් තියෙනවා නොවැ හැට පැන්නත් වඳුරා බිමින් යන්නෙ නැතෙයි කියලා. ඉතිං අපේ මාලුකට්ටාත් චාටර්මාලිගෙ කේස් එකෙන් කොච්චර බැට කෑවත් මේ ගෑනු ළමයාව දැක්කාට පස්සේ ඒ ඔක්කොම අමතක වුණාලු. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ අපේ යාලුවන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

දැන් ඉතිං මාලුකට්ටා අපේ පූසො සෙට් එකත් එකට එකතු කරගෙන මේ ගෑනු ළමයා ගැන බැක්ග්‍රවුන්ඩ් සර්ච් කරනවලු. ඒත් ඉතිං කොච්චර රහස් මෙහෙයුම් කළත් අපේ යාලුවන්ට නෙවෙයි මේ ළමයා ගැන දන්න එක්කෙනෙක්වත් හොයාගන්න පුලුවන් වුණේ. ඒ මදිවාට මෙයා ක්ලාස් එකේ හිටියෙත් තනියෙන්මයි. ඉතිං අන්තිමට පූස් බුද්ධි බලකාය තීරනය කළාලු මේ ළමයා කොහේ හරි පිට පළාතකින් ගම්පහ ක්ලාස් යන්න ආපු කෙනෙක් කියලා. ඒත් ඉතිං පූසො කියන්නේ ගේමක් ලේසියෙන් අතාරින ජාතියෙ ඩයල් නෙවෙයි නොවැ! ඉතිං ඊටපස්සෙ මාලුකට්ටා ඇතුලු පූසො පුරුදු වුණාලු ක්ලාස් ඉවරවෙලා මේ ගෑනු ළමයාව ෆලෝ කරන්න.

දවසක් දෙකක් ඔහොම ෆලෝ කරද්දි මාලුකට්ටාට දැනගන්න ලැබුනලු මේ ගෑනු ළමයා ක්ලාස් ඉවරවෙලා යන්නේ ගම්පහ-කොළඹ බස් එකේ කියලා. ඒත් ඉතිං විශේෂම සිද්දිය වුණේ තුන්වෙනි දවසෙලු. මේ කියන දවසෙ ක්ලාස් ඉවරවෙලා මාලුකට්ටායි, උපාසකයි තමන්ගේ සීක්‍රට් මිෂන් එකේ නිරත වුණාලු. ඔය අතරෙ තමයි උපාසක දැක්කේ මේ ළමයා කොමියුනිකේෂන් එකකට ගොඩ වදිනවා. ඕක දැකපු උපාසකට පූස් නුවණ පහළ වුණාලු.

සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො කොමියුනිකේෂන් වලට ගොඩ වදින්නේ රී ලෝඩ් දාන්න. එතකොට තමන්ගෙ නම්බර් එක පොතක ලියන්න වෙනවා. ඉතිං පූසන්ටත් ඒ වෙලාවට එතනට කිට්ටු කරන්න පුලුවන්නං ඔය නම්බර් එක බලාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඉතිං ඔය අයිඩියා එක උපාසක මාලුකට්ටාට කිව්වාම මෑන්සුත් වැඩේට කැමති වුණේ වන් ෆුට් ස්ටයිල් එකෙන්. කොහොමහරි පූසො කඩේ ඇතුලට ගිහින් බැලින්නම් හිතපු වැඩේ හරි. අර දැරිවි පොතක් දිග ඇරගෙන තමන්ගෙ නම්බර් එක ඒකෙ කුරුටු ගානවා. ඉතිං එයා යනකං හිටපු පූසො දෙන්නත් වැඩේට එන්ටර් වුණාලු.

මාලුකට්ටා තමන්ගෙ පර්ස් එක හූරලා හොයාගත්ත රුපියල් පනහක් අරගෙන කළේ තමනුත් රී ලෝඩ් එකක් දාපු එක. මෑන්ස් නම්බර් එක ලියද්දි උපාසක කළේ කලින් ලියපු අර ගෑනු ළමයාගෙ නම්බර් එක හිතේ ලියාගන්න එක. කොහොමහරි ඉතිං ඔය විදිහට තමයි ගෑනු ළමයාගේ ෆෝන් නම්බර් එක මාලුකට්ටා අතට ආවේ. ඒත් ඉතිං ඊටපස්සේ මොකද කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් මෑන්ස්ට තිබුනේ නෑ. ඉතිං එදා හවස පූසො සෙට් එකම එකතු වෙලා කතා කළාලු මේ සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකද්ද කියලා.

මේ වෙද්දි මාලුකට්ටා ගෑනු ළමයාට බැල්මට් එක දාගෙන හිටියත් ඒ ඇත්තිට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ මාකට් එයාට ට්‍රයි කියලා. ඉතිං එයාට යාලුවෙක් විදිහටවත්, අඳුරන කෙනෙක් විදිහටවත් කෝල් කරන්න අපේ පූසාට පුලුවන්කමක් තිබුනේ නෑ. අන්තිමට ඉතිං මාලුකට්ටාගෙ තීරණය වුණේ රෝන්ග් නම්බර් එකක් වගේ බොරුවට මේ ගෑනු ළමයාට කෝල් එකක් දීලා බලන්න. ඇත්තටම ඔය ඇප්‍රෝච් එක වැදගත් ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් එච්චර සුදුසු එකක් නෙවෙයි කියලා අනිත් පූසො යෝජනා කළත් මාකට් නෙවෙයි මෑන්ස්ගෙ තීරණේ වෙනස් කළේ. පුරුපුරුයි, ඤාව්වායි හිතුවේ හොඳම වැඩේ කෙළින්ම ගිහින් මේ ළමයාත් එක්ක කතා කරන එක කියලා. ඒත් මාලුකට්ටාට ඕනෙ වුණේ එදාම ඒ කෝල් එක ගන්න.

ඉතිං එදා හවස පූසො කට්ටිය විසිරිලා ගියේ මාලුකට්ටා කරන්න හදන වැඩේ සාර්ථක නොවෙන වගට සෑහෙන දුරට හිතේ ෂුවර් එකක් තියාගෙන. ඒත් පහුවදා උදේ අපේ පුරුපුරුගෙ කන වැකුනේ කොහෙත්ම බලාපොරොත්තු නොවුනු ආරංචියක්. ඒ මෑන්ස්ට ඤාව්වා ගත්ත කෝල් එකකින්.

ඤාව්වා - අඩේ පුරු, උඹට ආරංචිද සීන් එක?

පුරුපුරු - මොකද්ද බං? අරකි මාකට්ට බැනලද?

ඤාව්වා - නෑ යකෝ! ඒකිගෙ හොඳම යාලුවා දැන් මාකට්ලු. හික් හික්!!

පුරුපුරු - නෑ!!! 

ඤාව්වා - නෑ නෙවෙයි බං ඔව්...ඒකිගෙ නම නිසංසලාලු.

කොහොමහරි අන්තිමට බැලින්නං සිද්දවෙලා තියෙන්නෙ මේකයි. මාලුකට්ටා නිසංසලාට කියපු විදියටම කෝල් එකක් අරගෙන තියෙනවා. ඒ වැරදීමකින් ගිය කෝල් එකක් වගේ. කොහොමහරි මෑන්ස් ඊටපස්සේ නිසංසලා එක්ක කතා කරලා සෑහෙන්න ෆිට් වෙලා තියෙනවා. තමනුත් නිසංසලාගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කිව්වාම ඒ ෆිට් එක තවත් වැඩි වුණා කියලයි මාලුකට්ටානං කිව්වේ. කොහොමහරි ඉතිං තමන්ගෙ ක්ලාස් එකේම ඉන්න කොල්ලෙක් තමන්ට වැරදීමකින් කෝල් එකක් ගත්තා කියලා විශ්වාස කරන්න තරම් නිසංසලාට සුපිරි බුද්ධියක් තිබුනාලු.

ඉතිං ඊටපස්සේ මේ දෙන්නා කළේ අනිත් දවසේ ක්ලාස් එක ඉවරවෙලා හම්බවෙච්ච එක. ඔය විදියට සති කීපයක් යද්දි සුපුරුදු පරිදි නිසංසලා මාලුකට්ටාගේ, මාලුකට්ටා නිසංසලාගේත් හොඳම යාලුවො වෙලා තිබුනා. අනිත් පූසන්ට මාලුකට්ටා ගැන ආරංචි හොයාගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුණා. ඒ වගේම නිසංසලා අපේ පූසො හිතපු විදිහටම ගම්පහ ප්‍රදේශයෙ කෙනෙක් නෙවෙයි. 

කොහොමහරි පස්සෙ ආරංචි වෙච්ච විදිහට ඒ වෙද්දි නිසංසලාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. මෑන්ස්ගෙ නම රයන්. ඒ හින්දා තමයි මාලුකට්ටාට දිගටම නිසංසලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් රෝල් එක රඟපාන්න වුණේ. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් මාලුකට්ටාට කවදාවත් නොහිතපු විදිහේ කෝල් එකක් ආවේ. ඊටපස්සේ වෙච්ච සිද්දිය වෙනම පෝස්ට් එකකින් කියන්න තරම් වටින එකක්. ඉතිං යාලුවනේ ඊළඟ ලිපියෙන් බලමු මාලුකට්ටායි, නිසංසලාගෙයි අතරෙ තිබුන යාලුකමට මොකද වුණේ කියලා...!!!

ප.ලි :- සිංහල බ්ලොග් කියවන අයට මීවනපලානේ ජයරත්න කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒත් ඉතිං බ්ලොග් ගඩොල් කියවන අය අතරේ සාමාන්‍යයෙන් බ්ලොග් කියවන්න පුරුදු නොවුනු ගොඩක් කස්ටිය නිසා මෑන්ස්ගේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න හිතුනා. ඇත්තටම වර්ගපූර්ණිකාව කියන්නේ කියවලා පට්ට ෆන් එකක් ගන්න පුලුවන් බ්ලොග් එකක්. ටැබූ සබ්ජෙක්ට්ස් වලට පස්සේ (හෙළුවෙක් විදිහට) මගේ හිතට තදින්ම කා වැදිච්ච බ්ලොග් එක කිව්වොත් නිවැරදියි. ඔයාලත් තාම වර්ගපූර්ණිකාවට ගොඩ වැදිලා නැත්තං මෙතනින් ගිහින් එන්න. හැබැයි ෆුල් සීරියස් ඩයල් වලටනං මේක එච්චරම අල්ලලා යන එකක් නෑ.

ප.ප.ලි - පුරුපුරු දැන් පදිංචි වෙලා ඉන්නේ පිටරටක. කකාගෙ බාසාවෙන් කියනවානං පස්තාච්චි කුපාඩියක් කරන්න ලංකාවෙන් යන්න වුණා. මේ රටට ආපු හැටි වෙනම ලිපියකින් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

Wednesday, July 11, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි 3 - අවසානය


මාලුකට්ටා සහ චාටර්මාලි 1
මාලුකට්ටා සහ චාටර්මාලි 2

කොහොමහරි ඉතිං කලුකුමාරිගෙන් ඔත්තුව ලැබිච්ච විදිහටම ඊළඟ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එකට ආවලු. උදේ ක්ලාස් එකට ඇතුල් වෙද්දි චාටර්මාලි වටපිට බල බලා ආවෙ නිකං හොර බැළලියෙක් වගේ. මේ වෙද්දි පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි, හිටියේ ක්ලාස් එක ඇතුලේ. උපාසකයි, ඤාව්වායි එදා ගියෙ ටිකක් කලින් ඉවරවෙන වෙන පන්තියකට. ඒ හින්දා ඒ දෙන්නා බාරගත්තලු තමන්ගෙ ක්ලාස් එක ඉවරවෙලා චාටර්මාලිව අල්ලගන්න මග රැකගෙන ඉන්න. ඒ වගේම පුරුපුරුලා වාඩි වෙලා හිටියේ ක්ලාස් එකේ පිටිපස්සෙම පේළියේ. ඒ කියන්නෙ අපේ පූසන්ගෙ ප්ලෑන් එක අනුව ක්ලාස් එක ඉවරවුණාට පස්සේ චාටර්මාලිට ක්ලාස් එක ඉස්සරහ පාරෙන් ගියත්, පිටිපස්සෙන් ගියත් පූසො සෙට් දෙකෙන් එකකට අනිවා අහුවෙනවා.

කොහොමහරි ඉතිං වෙහෙසකර පැය ගානකට පස්සේ පුරුපුරුලායි, චාටර්මාලියි හිටපු ක්ලාස් එක ඉවර වුණාලු. ක්ලාස් එකේ අන්තිම හරිය වෙද්දි චාටර්මාලි කුරුමාණං අල්ල අල්ල හිටියේ කොයි මොහොතේ ක්ලාස් එකෙන් එළියට පනින්නද කියලා. ඉතිං මේ සිද්දිය මීටර් වෙච්ච පූසොත් තීරණය කළාලු ක්ලාස් ඉවර වෙච්ච හැටියේ දුවලා ගිහින් චාටර්මාලිව අල්ලගන්න. කොහොමවුණත් අපේ යාලුවො ඒ වෙද්දිත් තීරණය කරලා තිබුනෙ නෑ අල්ලගත්තට පස්සේ චාටර්මාලිට කරන්නේ මොකද්ද කියලා.

පුරුපුරු :- මාකට්, උඹ මොකද්ද දැන් අරකිට කරන්න ඉන්නේ?

මාලුකට්ටා :- මට ඕකිව අල්ලගෙන මගෙ හිතේ තරහ යනකං ඒකිගෙ යාලුවො ඉස්සරහ ඒකිට බනින්න ඕනෙ බං!!! ඔක්කොටම කලින් අල්ලගෙන ඉමුකො මොනවද කරන්න පුලුවන් බලන්න.

මී කතුරා :- ඒවයින් කමක් නෑ. උඹ ඒකිට අතක්වත් තියනව එහෙම නෙවෙයි. එහෙමවුණොත් ඒක අපිටමයි හොඳ නැත්තේ.

මාලුකට්ටා :- හා හා. අපි මුලින්ම මේකිව අල්ලගෙන ඉම්මුකෝ.

ඉතිං ඔය විදිහට ක්ලාස් එකත් ඉවර වුණාලු. එකපාරටම ළමයි සීයක් දෙසීයක් ක්ලාස් එකෙන් එළියට පැන්නෙ ගෙවල් වලටයි, රස්තියාදුවෙයි දුවන්න බලාගෙන. ඒ එක්කම එළියට බැහැපු චාටර්මාලිත් විදුලි වේගයෙන් ගම්පහ ටවුන් එක පැත්තට ඌර්ධවපාතනය වෙන්න පටන් ගත්තලු. මේ වෙද්දි අපේ පූසොත් එළියට බැහැලා හිටියත්, අර ළමයි ගංගාවත් පෙරළගෙන ගිහින් චාටර්මාලිව අල්ලගන්න එක සෑහෙන අමාරු වැඩක් වෙලයි තිබුනේ. අන්තිමට කොහොමහරි වුණේ චාටර්මාලි පුරුපුරුලාගේ දර්ශන පථයෙන් අතුරුදහන් වෙච්ච එක.


ඒ වුණත් අපේ යාලුවන්ගෙ බලාපොරොත්තු නැති වුණේ නෑ. මොකද චාටර්මාලි ඉක්මන් ගමනින් ගියේ ඤාව්වායි, උපාසකයි රැකගෙන ඉන්නවා කියපු පාර දිගේ ඉස්සරහට. මේ දවස්වල පූසන්ගෙන් මොබයිල් ෆෝන් එකක් තිබුනේ උපාසකටයි, ඤාව්වාටයි, මාලුකට්ටාටයි විතරයි. ඒත් මේ කියන දවසේ මාකට්ගෙ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලයි තිබුනේ. ඒ හින්දා මාලුකට්ටාට විදිහක් තිබුනෙ නෑ උපාසකට හරි ඤාව්වාට හරි කෝල් කරන්න. ඉතිං පුරුපුරුලා බලාපොරොත්තුවෙන් හිටියේ මේ වෙද්දි උපාසකලා චාටර්මාලිව අල්ලගෙන ඇති කියලා.


ඔය විදිහට තවත් ටිකක් දුර යද්දි තමයි පුරුපුරුලාට උපාසකලාව හම්බවුණේ. ඒත් එතන චාටර්මාලිනං පේන්න හිටියේ නෑ. බැලින්නං උපාසකලාට චාටර්මාලිව මුනගැහිලා නෑ. එකත් එකටම උපාසකවයි ඤාව්වාවයි ඈත තියාම දැක්ක චාටර්මාලි මුන් දෙන්නාව මගඇරලා කොහොමහරි එතනින් යන්න ඇති. අපේ යාලුවො කට්ටිය හිතුවෙ එහෙමයි. ඉතිං පූසො සෙට් එක කළේ පුලුවන් ඉක්මනට බස්ටෑන්ඩ් එකට දුවපු එක. ඒත් අපේ යාලුවො ටික හති දාගෙන දුවලා එද්දිත් වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි. සෙනග පටවගත්ත ගම්පහ-පූස්ගම බස් එකක් ඈත අද්දනවා. අලුතින් පාක් කරපු ඊළඟ බස් එකට සෙනග නගිනවා. චාටර්මාලි ඈත යන බස් එකේ නගින්න තියෙන සම්භාවිතාව ගොඩක් ඉහළයි.


ඔය අතරෙ තමයි අපේ පූසන්ට මැක්නාත්ව හම්බවුණේ බස්ටෑන්ඩ් එකේදි.


උපාසක :- මචං මැක්! උඹ දැක්කද චාටර්මාලි මේ පැත්තට එනවා?


මැක්නාත් :- ආ! ඔව් බං, අර කලින් බස් එකේ නැග්ගේ. මම ඒත් බැලුවා මාලුකට්ටා නැතුව තනියම ගියේ මොකද කියලා.


මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ මාලුකට්ටාගෙයි, චාටර්මාලිගෙයි එෆයාර් එක නැවතිලයි කියලා. ඉතිං අපේ යාලුවො සෙට් එකත් මැක්නාත්ගෙන් සමු අරගෙන ඊළඟ පූස්ගම බස් එකට නැග්ගලු. කොහොමහරි මේ වෙද්දි චාටර්මාලිව අල්ලගන්න අයිඩියා එක අපේ යාලුවන්ගෙ ඔලු වලින් මැකීගෙන යමින් තිබුනේ. ඒත් මෑන්ස්ලාට ආපහු ඒ අයිඩියා එක ඔලුවට ආවේ අලුත් බස් එක පිටත් වෙන්න ගත්තට පස්සේ. මොකද ඒ බස් එකේ ඩ්‍රයිවර් අයියා හැටට හැටේ පාගලා යන ඩයල් එකක්. සමහරවිට මගදී චාටර්මාලි යන බස් එක ඉස්සර කරන්නත් පුලුවන්.


කොහොමහරි ඉතිං ටික වෙලාවකින් බස් එක සේකරගමටත් කිට්ටු වුණාලු. එතකොට තමයි පුරුපුරුලාට පෙනුනෙ චාටර්මාලි හිටපු බස් එක ඉස්සරහින් යනවා. දැන් ඉතිං තව හෝල්ට් එකක් දෙකක් යද්දි ඒ බස් එක ඉස්සර කරන්න පුලුවන්. ඉතිං ඔහොම යද්දි තමයි ඤාව්වා බලාපොරොත්තු විරහිත දර්ශනයක් දැක්කේ.


ඤාව්වා :- අඩෝ අන්න අරකි සේකරගමින් බහිනවා!!! අපිත් බහිමු.


බැලින්නං වෙනදා පූස්ගමින් බහින චාටර්මාලි එදා සේකරගමින් බහිනවා. ඉතිං අපේ පූසො ටිකත් හදිස්සියෙම බස් එකෙන් බහින්න ලෑස්ති වුණාලු. ඒත් ඒ වෙද්දිත් සේකරගම හෝල්ට් එකෙන් බස් එක අද්දන්න පටන් අරගෙන තිබුන ඩ්‍රයිවර් අයියා බස් එක ආපහු නතර කළේ ටිකක් දුර ගිහින්. ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ඉක්මන් ගමනින් චාටර්මාලි පස්සෙන් ගිය එක. ඔහොම ගිය චාටර්මාලි ඊටපස්සෙ කළේ වංගුවකින් හැරිච්ච එක. දැන් පූසන්ට චාටර්මාලිව පේන්නෙ නෑ. ඉතිං මෑන්ස්ලා කළේ තවත් හයියෙන් ඉස්සරහට ගිය එක. එහෙම ගිහින් වංගුව හැරිච්ච ගමන්ම තමයි අපේ යාලුවො බලාපොරොත්තු නොවිච්ච දර්ශනයක් දැක්කේ.


බැලින්නං පාරෙ ඈත කොල්ලො සෙට් එකක් එක්ක චාටර්මාලි ඉන්නවා. ඒ කොල්ලො සෙට් එකේ සමීර, ඒ කියන්නෙ චාටර්මාලිගෙ අලුත් බෝයි ෆ්‍රෙන්ඩුත් ඉන්නවා. එතකොට තමයි පූසන්ට තේරුනේ වෙලා තියෙන වැඩේ බරපතලකම. සේකරගම කියන්නේ සමීරගෙ ගම. ඉතිං පූසො සෙට් එක තමන්ව ෆලෝ කරනවා කියලා දැනගත්තු චාටර්මාලි බස් එකේ එද්දි සමීරට කෝල් කරලා ඒ බව කියලා තියෙනවා. මෑන්ස් තමයි ඊටපස්සේ චාටර්මාලිට කියලා තියෙන්නේ සේකරගමින් බස් එකෙන් බහින්න කියලා.


මේ වෙද්දි පූසො හිටියේ භයානක ඉරණමකට ෆේස් කරලා. සමීර ඇතුලු කොල්ලො කට්ටිය පූසන්ව චකබ්ලාස් කරන්න බලාගෙන ඉස්සරහට එමිනුයි හිටියේ. ඔය වෙලාවෙ තමයි පුරුපුරු දැක්කේ ඈතින් බත් දන්සලක් තියෙනවා. ඒ දවස්වල වෙසක් හින්දා හැමතැනම දන්සැල් වැහි වැහැලයි තිබුනේ. අපේ කට්ටිය ඒ වෙලාවෙ බත් කන මූඩ් එකේ නොහිටියත්, ගුටි දන්සලකට වඩා බත් දන්සලක් හොඳයි කියලා හිතුන හින්දා කට්ටියම ඉක්මන් ගමනින් ගිහින් දන්සලට රිංගුවලු.


පූසන්ට ඇටෑක් කරන්න ආපු කොල්ලො සෙට් එක දන්සල ඇතුලට ආවෙ නැතත් ඒ කිට්ටුව රැකගෙන හිටියෙ බත් කාපු පූසන්ට ඩෙසර්ට් එකට ගුටි දෙන්න බලාගෙන. කොහොමහරි ඔය වෙලාවෙ තමයි ඤාව්වා දැක්කේ දන්සැලට බැක් සයිඩ් එන්ට්‍රන්ස් එකකුත් තිබුන බව. ඉතිං අපේ පූසො කස්ටිය කළේ බත් කාලා ඉවරවෙලා බැක් එන්ට්‍රන්ස් එකෙන් එළියට පැන්න එක. කොහොමහරි ගම වටේ රවුමක් ගහලා සේකරගම බස් හෝල්ට් එකට ඇවිත්, පූස්ගම බස් එකකටත් නැග්ගට පස්සෙයි පුරුපුරුලාගෙ ඇඟවල් වලට ලේ ටිකක් ඉනුවේ.

ඉතිං ඔය වැඩෙන් පස්සේ ගොඩක් කල් යනකං මාලුකට්ටාටවත්, අනිත් පූසන්ටවත් චාටර්මාලිව මීට් වුණේ නෑ. මාසෙකින් විතර තිබුන ඒ ලෙවල් විභාගෙත් මාලුකට්ටා බලාපොරොත්තු වෙච්ච විදිහටම අනාගත්තලු. දෙවෙනි පාරටත් ඒ ලෙවල් කරපු මාකට් ඊටපස්සේ තෝරගත්තේ තොරතුරු තාක්ෂණය ගැන විශ්ව විද්‍යාල බාහිර උපාධියක් කරන එක. දැන්නං මෑන්ස් පෞද්ගලික ආයතනයක හොඳ ජොබ් එකක් කරනවා.

උපාසකට මේ ළඟදි චාටර්මාලිව හම්බවෙලා තිබුනා. චාටර්මාලි දැන් නර්ස් කෙනෙක්ලු. සමීරගෙයි චාටර්මාලිගෙයි එෆෙයාර් එකටනං මොනවා වුණාද දන්නෙ නෑ. ඒ වගේම මේ මාලුකට්ටා සම්බන්ද අන්තිම ලව් ස්ටෝරියත් නෙවෙයි. වැඩි දවසක් යන්න කලින්ම මෑන්ස් අලුත් සම්බන්ධයක් පටන් ගත්තා. ගෑනු ළමයාගෙ නම ලයිට්. ඒ කතන්දරේ ඉතිං අපි වෙනම සීරීස් එකකින් බලමුකො නේද? 
 
නිමි.

Wednesday, May 30, 2012

සුභ මංගලම්!

අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...
ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පැතුම්!!!

                                                     -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-

Sunday, March 18, 2012

කැම්පස් ලයිෆ්



වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.

ඉතිං පුරුපුරුට නින්ද නොගිය එක අහන්නත් දෙයක්යැ නේද? අවුරුදු දෙකක් තිස්සේ තමන්ගෙ කාලෙයි, සල්ලියි, මහන්සියයි වියදම් කරගෙන අමාරුවෙන් ෆේස් කොරපු විභාගේ ප්‍රතිඵල එද්දි හිත සලිත නොවී තියෙන්නේ කොයි මනුස්පයාගෙද? කොහොමහරි ඉතිං අපේ යාලුවා ටිකක් එළි වෙනකං බොහොම ටෙන්ෂන් එකේ තමයි හිටියේ. පපුවත් රත් වෙලා නිකං බිත්තරයක් දැම්මනං ඔම්ලට් වෙන ගානට.

අපේ පූසො සෙට් එක කතා වුණේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට යන්න කලින් ඉන්ටර්නෙට් එකෙන් බලමු කියලා. මොකද කට්ටිය කර කර හිටපු පිස්සු අප්සට් වැඩ වල හැටියට ඉස්කෝලෙ ගුරුවරුන්ට කියන්න තරම් ප්‍රතිඵලයක් ඒවි කියලා කවුරුවත් හිතුවෙ නෑ. කොහොමහරි පුරුපුරු ඒ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටපු හින්දා අනිත් පූසො එකඟ වුණාලු ගම්පහට ගිහින් ප්‍රතිඵල බලලා පුරුපුරුටත් කියන්න. ඒ දවස්වල අපේ පූසො කාටවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒ වගේම මුලු පූස්ගමටම ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබුනෙත් නෑ. ඉතිං මේ හින්දා රිසල්ට් බලන්න ගම්පහටම යන්න සිද්ද වෙලයි තිබුනේ.

ඔය විදිහට කාලෙ ගතවෙලා ටිකක් දවල් වුණාම තමයි මාලුකට්ටාගෙන් පුරුපුරුට මෑන්ස් බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක ආවේ. පුරුපුරුට මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නැති හින්දා මාකට් කෝල් එක දුන්නේ පූසාගේ ගෙදර ෆෝන් එකට.

“පුතේ! පුතේ!! මෙන්න මාලුකට්ටා පුතා කතා කරනවා...“

පුරුපුරුගෙ අම්මා කෝල් එක ආන්සර් කරලා පුරුපුරුට කෑ ගැහුවා. අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ගිහින් ෆෝන් එක ආන්සර් කළා. මාලුකට්ටායි, උපාසකයි ඒ වෙද්දි කට්ටියගෙම රිසල්ට්ස් බලලා. මෑන්ස් කියපු හැටියට මාලුකට්ටාගෙයි, උපාසකගෙයි, ඤාව්වාගෙයි රිසල්ට් අනුව ඒ අයට තව පාරක් විභාගෙ කරන්න වෙන තත්ත්වයකුයි තිබුනේ. මී කතුරාටනං යන්තං සතුටුවෙන්න පුලුවන් ප්‍රතිඵලයක් ඇවිත් තිබුනා. ඔය විදිහට මාලුකට්ටා පුරුපුරුගෙ ප්‍රතිඵලේ කිව්වේ කමල් අද්දරආරච්චි සුපර් ස්ටාර් අවසන් තරඟයේ ප්‍රතිඵල කියන්නා වගේ.

“මචං පුරුපුරු, උඹට බයෝ වලට “ඒ“ එකක් තියෙනවා“

මාලුකට්ටා මෙහෙම කියද්දි පුරුපුරුට ඇතිවුණේ ලොකු සතුටක්. බයෝ වලට ආපු ප්‍රතිඵලේනං අපේ පූසා කොහොමත් බලාපොරොත්තුවෙන් හිටපු එකක්.

“පුරු, උඹට ෆිසික්ස් වලටත් “ඒ“ එකක් තියෙනවා“

මාකට් මෙහෙම කියද්දිනං අපේ පූසාට ඇස් අදහාගන්න බැරි වුණා. ඇත්තටම පුරුපුරු කවදාවත් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ ෆිසික්ස් වලට ඒ එකක් එයි කියලා. කොහොමහරි ඉතිං මේ සබ්ජෙක්ස් දෙකටම ඒ ආපු එකේ පුරුපුරු හිතුවේ මෑන්ස්ගෙ ෆේවරිට් සබ්ජෙට්ටුව වෙච්ච කෙමිස්ට්‍රි වලටත් ඒ එකක්ම එයි කියලා.

“මචං පොඩි කේස් එකක් තියෙනවා, උඹට කෙමිස්ට්‍රි වලටනං තියෙන්නෙ බී එකක්“

මිල්ස් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. බැලින්නං පූසා කෙමිස්ට්‍රි විභාගේ එච්චරම හොඳට කරලා නෑ. කොහොමත් භෞතික රසායනය රචනා ප්‍රශ්නයක් ජෝන් බාස්ට ගිය වෙලේම පුරුපුරුට හිතුනා ඒ එකක් ගැන තිබුන බලාපොරොත්තුව බොඳ වෙලා ගියයි කියලා. කොහොම වුණත් මෑන්ස්ට හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් එක්ක හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් ඇවිල්ලා තිබුනා. ඉතිං පූසාට තේරුම් ගියාලු තමන් යන්න බලාපොරොත්තුවෙන් හිටපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව උපාධියට ඇතුලත් වෙන්න මේ ප්‍රතිඵලයෙන් පුලුවන් වෙයි කියලා.

කැම්පස් යන්න පුලුවන් මට්ටමේ හිටියත් අපේ පුරුපුරුට කිසිම හැකියාවක් තිබුනෙ නෑ ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න. මොකද හැමදාමත් දුකේදි සැපේදි එකට හිටපු අනිත් පූසො රංචුවට සතුටු වෙන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල ඇවිත් තිබුනේ නෑ. ඒ වගේම වචනෙන් නොකිව්වත් පූසො කට්ටිය ඒ ගැන ගොඩක් දුකින් ඉන්නේ කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. ඉතිං උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායි, මී කතුරායි තීරණය කළාලු දෙවෙනි පාරටත් විභාගෙ ලියන්න රිවිෂන් ක්ලාස් යන්න.

මෙහෙම කල් ගතවෙලා හවස් වෙද්දි තමයි පුරුපුරුට තේරුම් ගියේ තමන් තමන්ගෙ ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වුණාට ගොඩක් දෙනෙක්ට එහෙම හිතිලා නෑ කියලා. නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් වගේම පවුලේ හිතවතුන්ගෙනුත් පළවුණේ එක වගේ අදහස්.

“පුතා රෑන්ක් එක 250 නං හොඳයි. ඒත් මෙඩිසින් යන්න ටිකක් අමාරු වෙයි නේද? අන්වාර්යයෙන්ම ඊළඟ පාරත් එග්සෑම් කරන්න“

“මොලිකියුලර් බයෝලොජි? ඒ මොකද්ද? ඔය අලුත් කෝස් වලට යනවට වඩා හොඳ නැද්ද ඊළඟ පාරවත් මෙඩිසින් යන්න එග්සෑම් කරගත්තොත්? “

“ආපහු එග්සෑම් කරන්න බැරිමනං ඩෙන්ටල් වලටවත් යන්න. නැත්තං ඔයා ලෝක අමාරුවක තමයි වැටෙන්නෙ“

“මෙඩිසින් කරන්න ආස නෑ??? මේ ළමයට මොනවා වෙලාද මන්දා? එහෙනං ඒ ලෙවල් වලට මැත්ස් නොකර බයෝ කළේ අහවල් දේකටද?“

“අපරාදෙනෙ පුතේ! තව දෙපාරක් විභාගෙ කරන්න චාන්ස් එක තියෙද්දිත් ඇයි මේ වගේ තීරණයක් ගත්තේ?“

“ඔය කියන්නෙ මයික්‍රොබයෝලොජි ගැනද?“

“ඔය ඩිග්‍රිය කළාට පස්සේ ලංකාවෙ කරන්න ජොබ්ස් එහෙමත් නෑ නේද?“

“හරි ඉතිං, බැරිමනං ඩෙන්ටල් හරි වෙට් වලට හරිවත් යන්නකෝ. ඒ අයටත් කැම්පස් අවුට් වුණාට පස්සේ ඩොක්ටර් කියලනේ කතා කරන්නේ“

“බයෝටෙක්නොලොජි කියන්නේ ඉතිං ඉස්සරහට ලෝකෙ ඩිවලොප් වෙන ඒරියා එකක් තමයි. ඒත් ඉතිං? අනේ මන්දා??“

අපේ පූසාට කට්ටියගෙන් සුභපැතුම් වෙනුවට ලැබුනේ ඔන්න ඔය වගේ ප්‍රතිචාර. ඇත්තටම මේවා අහපු පූසා අම්බානට මානසිකව වැටිලයි හිටියේ. ඒත් හොඳ වෙලාවට මෑන්ස්ගෙ දෙමව්පියන්ගෙ අදහස වුණේ පුරුපුරු හොඳයි කියලා හිතන දේ කරන්න කියන එක. මොකද ඒ අය කිව්වේ පුරුපුරු ආස නැති දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා ආස දෙයක් කරන එක හොඳයි කියලා. කොහොමවුණත් එදා තමයි පුරුපුරුට තේරුනේ හැමෝගෙම අදහසට විරුද්ද වෙලා කැම්පස් ගිහින්, ඒ වැඩේ හරියට කරගන්න බැරිවුණොත් කොයිතරම් චාටර්ද කියලා. මොකද ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නේ

“ඕකනෙ අපි මුලදිම කිව්වේ! අපි කියපු දේ අහලා තව පාරක් විභාගෙ කළානං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ!!“

කියලා කියන්නයි කියලා පූසාට තේරුම් ගිහින් තිබුනේ. අන්තිමට කොහොමහරි අපේ පූසා අන්තිමට තීරණය කළාලු තුම්මුල්ල සක්වල තක්සලාව විසින් කන්ඩක්ට් කරපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාවට ඇතුල් වෙන්න.

පුරුපුරු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න ගත්තු තීරණය හින්දා සුදුපූසිත් තීරණය කළාලු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න. සුදුපූසිගෙ රිසාල්ට් අනුව එයාට ජෛවීය විද්‍යාව හදාරන්න යන්න පුලුවන්කම තිබුනා. කොහොමහරි පාඨමාලා වලට අදාල ඉසෙඩ් ස්කෝර් අගයන් එද්දි පුරුපුරුව හිතපු විදිහටම උඩින්ම කෝස් එකට තේරිලා තිබුනා. ඒත් අවාසනාවට සුදුපූසිව සිලෙක්ට් වුණේ කන්ද උඩ සක්වල තක්සලාවට. ඔය විදිහට තමයි අපේ පූස් ජෝඩුවට කැම්පස් දෙකකට යන්න සිද්ද වුණේ.


ඉතිං 2007 අවුරුද්දෙ ජූලි මාසෙදි තමයි අපේ යාලුවා ඇතුලු කට්ටියව කැම්පස් වලට ගත්තේ. ඉතිං ඔය විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙච්ච අපේ පූසාට ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

Monday, January 2, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි - 2


ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ගිය හැටියි ගැන නොවැ! ඉතිං අද කියන්න යන්නේ එතන ඉඳලා වෙච්ච සිද්දිය.

කොහොමහරි ඉතිං ඔය කේස් එකෙන් පස්සේ පුරුපුරුගෙයි මාකට්ගෙයි අතර තිබුන යාලුකම යම් තරමකට හානි වුණා. මුල් දවස්වල දෙන්නා කතා නොකරම හිටියත්, පස්සෙ පස්සෙ මේ දෙන්නා කතාබහ කරන්න පටන් ගත්තා. ඒත් ඉස්සර තිබුන තරමේ පට්ටම ෆිට් එකක් මේ යාලුවො දෙන්නා අතරේ ආපහු ඇතිවුණේ නෑ. ඉතිං මේ කාලෙ අපේ පූස් සෙට් එකේ යම් තරමක මණ්ඩලේ කචල් සිටුවේෂන් එකක් තමයි තිබුනේ. හැබැයි ඔය හැම කේස් එකක්ම මැද්දෙ මාකට්ගෙයි චාටර්ගෙයි පෙම් කතාවනං නිවර්තන වැසි වනාන්තරයක හිටවපු ගහක් වගේ ලස්සනට දලුදාලා ජයටම ලියලලා ගියා.

මේ කාලෙ අපේ කපල් එකට දෙන්නාට දෙන්නා නැතුවම බෑ. කොටින්ම මේ දෙන්නා නොගිය පාලු පාරක්, ෆිල්ම් හෝල් එකක්, කෑම කඩයක් තියා පෙට්ටි කඩයක්වත් ගම්පහ නගරේ ඉතුරුවුණේ නෑ. ඒ දවස්වල ගම්පහ නිතර කරක්ගහන ඕනෙම මනුස්සයෙකුට අත්වැල් පටලගෙන තමන්ගෙ ලෝකෙ තනිවෙලා ඉබාගාතේ සැරිසරන මාලුකට්ටයි චාටර්මාලියි නුපුරුදු සීන් එකක් නෙවෙයි. ඒ වගේම දෙන්නට දෙන්නා කතා නොකර විනාඩි දහයක් හිටියත් මේ ජෝඩුවටම අප්සෙට්. ඒ හින්දා දවස තිස්සෙම ඇවිදලා ක්ලාස් එකට ආවට පස්සෙත් සර්ට හොරෙන් චාටර්මාලිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක මාකට්ගෙ පුරුද්දක්.

ඒ වගේම තමන්ගෙයි චාටර්මාලිගෙයි අතරෙ තිබුන එෆෙයාරුව ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න වෙන කාටවත්ම හංගන්න මාකට්ට අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඉතිං බයෝ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක වෙලාවෙ, ක්ලාස් එක ඇතුලෙ කෙල්ලො සිය ගානක් වාඩිවෙලා ඉන්න තැනට ගිහිං චාටර්මාලිත් එක්ක කතා කරන්න අපේ මාකට්ට කිසිම ලැජ්ජාවක් තිබුනේ නෑ. මේ වැඩේ හින්දා බයෝ සර් පවා වැඩි දවසක් නොගිහින් මේ කපල් එක ගැන දැනගත්තා. සාමාන්‍යයෙන් ක්ලාස් එක ඇතුලෙ ලව් කේස් වලට සර් කැමති නොවුනත්, මාකට්ගෙ තිබුන ෆෝවඩ් ගතිය නිසාද කොහෙද සර් මෑන්ස්ට කිසිම බාල්දියක් දැම්මේ නෑ. ඒ වෙනුවට සර් කළේ ඉගෙනගන්න කාලෙ අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා මාකට්ට අවවාද දුන්න එක.  ඒත් ඒ වෙලාවට “හ්ම් හ්ම්“ කියලා ඒවා අහගෙන හිටියත්, ආපහු චාටර්මාලිව දැකපු ගමන්ම සර් දුන්න අවවාද අපේ යාලුවාගේ හිතින් මැකිලා ගියේ ඉර දැක්ක පිණිබින්දු වගේ.

මාකට් තමන්ට බස් එකේදි බැන්නත් ඇත්තටම කැපවෙලා ආදරය කරන තමන්ගේ යාලුවා ගැන පුරුපුරුගෙ හිතේ තරහක් තිබුනේ නෑ. ඇත්තටම මාලුකට්ටා කියන්නේ අති විශිෂ්ට පෙම්වතෙක්. තමන්ගෙ පොකට් මනි ඔක්කොම රී ලෝඩ් දාන්නයි, චාටර්මාලිට තෑගි අරන් දෙන්නයි වියදම් වුණත්, නොකා නොබී හරි ඒ දේවල්ම කිරීම මිසක් තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන එක නෙවෙයි මාකට්ගෙ ප්‍රතිපත්තිය වුණේ. අන්ත දුප්පත් පවුලක ඉපදිච්ච චාටර්මාලිගේ ආර්ථික තත්ත්වය පවා මාකට්ගෙ හිතේ චාටර්මාලි ගැන තිබුන ආදරේ වැඩි කරන්න හේතු වුණා මිසක් අඩු කරන්න හේතු වුණේ නෑ.

මේ කාලෙ පූසන්ගෙන් මාකට් වැඩිපුරම සම්බන්ද වෙලා හිටියේ උපාසකයි, මී කතුරායි, ඤාව්වායි එක්ක. මොකද මෑන්ස් පුරුපුරුව දැක්කේ ආදරය ආගමක්නං ඒ ආගමට විරුද්ධ සාතන් කෙනෙක් හැටියට. මේකට හේතුවුණේ ආපහු කවදාවත් සීරියස් රිලේෂන්ශිප් එකකට යන්නෙ නෑයි කියලා පුරුපුරු වටේ හිටපු හැමෝටම කිය කියා ගිය එකලු.

මේ අතරෙ තමයි ඒ විශේෂ දවස උදාවුණේ. එදා උදේ පුරුපුරු ගම්පහට යද්දි උපාසකයි, ඤාව්වායි, මී කතුරායි එක්ක මාකට් සීරියස් කතාවක්. සෑහෙන කාලෙකින් චාටර්මාලිගෙන් තොරව මාකට්ව දැකගන්න ලැබුන හින්දා පුරුපුරුත් බොහොම උනන්දුවෙන් ඒ පැත්තට ඇදුනලු. තවත් ටිකක් කිට්ටු වෙද්දියි අපේ පූසා දැක්කේ මාකට්ගේ ඇස්වල කඳුලු පිරිලා තිබුන වග. ඇත්තටම පුරුපුරු දිහා කෙලින් බලන්නවත් බැරි තත්ත්වයක තමයි මෑන්ස් හිටියේ. ඉතිං අපේ උපාසක පටන් ගත්තලු වෙලා තියෙන සිද්දිය පුරුපුරුට පැහැදිලි කරලා දෙන්න.

බැලින්නං සිද්දවෙලා තිබුනේ කවුරුත් නොහිතපු දෙයක්. චාටර්මාලිට මාකට් එක්ක යාලුවෙන්න කලින් වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි චාටර්මාලිගේ ෆස්ට් ලව් එක. පස්සෙ කාලෙක ඒ කොල්ලා චාටර්මාලිට බූට් එක තිබ්බත් තමන්ගෙ පළවෙනි ආදරේ අමතක කරන එක එයාට ලේසි වැඩක් වෙලා නැහැ. ඉතිං ඔය අතරේ තමයි අපේ මාකට් චාටර්මාලිගෙ ලයිෆ් එකට එන්ටර් වෙන්නේ. ඉතිං දුක්වෙවී හිටපු චාටර්මාලිට මාලුකට්ටාගේ ආදරේ තදින් දැනුන හින්දා වෙන්නැති ඊටපස්සේ සිද්දවුණේ අපි කවුරුත් දන්න මේ දෙන්නගේ යාලුවීම. ඊටත් පස්සේ මේ දෙන්නගෙ ලව් එක නැගලා ගිය හැටි අපි ඉතිං කලින් කිව්වනේ.

කොහොමහරි ඉතිං පැණිවරකා ගහටත් හෙන ගහනවා කියන්නා වගේ ඔය අතරේ තමයි අවාසනාවන්ත දෙයක් සිද්දවෙලා තිබුනේ. ඒ තමයි චාටර්මාලි තවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියන ආරංචිය එයාගේ කලින් පෙම්වතාගෙ කනේ වැටිච්ච එක. අපේ ගොඩක් කට්ටියට වගේ ඉතිං මෑන්ස්ටත් තමන්ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අගේ දැනුනේ එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවුණාට පස්සෙලු. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මෑන්ස් ආපහු චාටර්මාලිව තමන්ගේ කරගන්න ප්ලෑන් ගහන්න පටන් ගත්තේ.

ඔය දවස්වල තමයි අර “මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා“ කියන සිංදුව ආවේ. ඉතිං අර කොල්ලා (සමීර කියමුකෝ) කළේ ඔය සින්දුව ඇතුලත් කැසට් එකකුත් අරගෙන ගිහින් බස් එකේදී චාටර්මාලිව මීට් වෙච්ච එක. ඒ දවස්වල මාකට් නැතුව චාටර්මාලි විතරක් තනියම බස් එකේ යන්නේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා කලාතුරකින්. ඒත් ඒ කලාතුරකින් හම්බවෙන අවස්ථාව නියමෙට එක්ස්ප්ලොයිට් කරන්න තරම් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් සමීර දක්ෂයෙක් වුණාලු. ඉතිං මෑන්ස් කළේ චාටර්මාලිට ඇඬෙන ටෝක්ස් එකක් දීලා කැසට් එකේ තිබුන සිංදුව අහන්නයි කියපු එක.

කොහොමහරි සමීරගේ සහ චාමර වීරසිංහගේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට සිද්දවුණේ අපේ මාලුකට්ටාගේ අවුරුද්දකටත් වැඩි ලව් එකට පයින් ගහලා චාටර්මාලි සමීරව තෝරගත්තු එක. ඒත් තමන් ජීවිතේම කැපකරලා ආදරේ කළාට පස්සේ චාටර්මාලි එයාට බූට් එකක් තියන්න තරම් කෘෘර වෙච්ච ඩයල් එකක් එක්ක යාලුවෙච්ච එක අපේ මාලුකට්ටාට දරාගන්න පුලුවන් වුණේ නෑ. අන්තිමේදි මාකට් පුරුපුරු එක්ක කතා කරන්න ගත්තේ මාස කීපයක් තිස්සේ පලුදු වෙලා තිබුන යාලුකම ආපහු යථා තත්ත්වයට ගෙනත්.

මාකට් :- පුරුපුරු, මට සමාවෙයං මචං! මම චාටර්මාලි හින්දා අවුරුදු ගානක් මාත් එක්ක හිටපු උඹට බැන්නා. මට ඒ ගැන ලැජ්ජයි මචං.

මෙහෙම කියපු මාලුකට්ටා පුරුපුරුව බදාගෙන අඬන්න පටන් ගත්තලු. පුරුපුරුගේ විතරක් නෙවෙයි, පූසො හැමෝගෙම ඇස්වල කඳුලු. කොහොමහරි අන්තිමට හැමෝගෙම තීරණය වුණේ චාටර්මාලි කරපු අපරාධය වෙනුවෙන් එයා වන්දි ගෙවන්න ඕනෙයි කියන එක. ආදරය වෛරයට හැරෙන්න ගතවෙන්නේ නැනෝ තත්පරයයි. ඉතිං මේ වෙද්දි අපේ මාකට් හිටියෙත් චාටර්මාලි ගැන කියන්න බැරි තරම් වෛරයක් හිතේ තියාගෙන. කොහොම වුණත් මේ වෙද්දි චාටර්මාලිට කරන්න ඕනෙ මොනවාද, ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ මාලුකට්ටාව මගඅරිමින් කට්ටි පැනපු, ෆෝන් කෝල් එකකටවත් ආන්ස්වර් නොකර හිටපු චාටර්මාලිව කොටු කරගන්නෙ කොහොමද, චාටර්මාලි සමීර එක්ක හිටියොත් මොකද කරන්නේ වගේ ප්‍රශ්න වලට අපේ යාලුවො කට්ටිය උත්තර හොයාගෙන තිබුනේ නෑ.
 
මේ වෙද්දි ගතවුණේ 2006 අවුරුද්දෙ වෙසක් කාලෙ. ඒ වෙද්දි ඒ ලෙවල් විභාගෙට තව ඉතුරුවෙලා තිබුනේ මාසෙක වගේ කාලයක්. ඉතිං කට්ටිය ගම්පහ ක්ලාස් එන අන්තිම දවස් කීපය තමයි මේ වෙද්දි උදාවෙලා. ඒ හින්දා චාටර්මාලිව අල්ලගන්නවානං අල්ලගන්න පූසන්ට ඉතුරුවෙලා තිබුනෙත් තව දවස් කීපයයි. ඉතිං අන්තිමට අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු ඊළඟ සතියේ චාටර්මාලි ක්ලාස් ආවාම එයාව අල්ලගන්න. ඒ ඊළඟ සතියේ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එයි කියලා කලුකුමාරිගෙන් ලැබුන ඔත්තුවකට අනුව. කොටින්ම මේ වෙද්දි මාකටුයි, චාටර්මාලියි යාලු කරන්න මුල්වුණ කලුකුමාරිට පවා චාටර්මාලිව අල්ලගන්න බැරි සිටුවේෂන් එකකුයි තිබුනේ.

ඉතිං ඊළඟ සතියේ මොකද වුණේ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු නේද?

Tuesday, December 27, 2011

මාලුකට්ටා සහ චාටර්මාලි


මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. 

මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් දන්න කාරනයක් නොවැ! ඔය ක්ලාස් යන අතරෙ තමයි අපේ මාලුකට්ටාටයි, ඤාව්වාටයි ලස්සන පැංචාවියක් මීටර් වුණේ. ඒ ගැන අපි වෙනම පෝස්ට් එකකුත් ලිව්වනේ. එහෙනං ඒක කලින් කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

කොහොමහරි ඉතිං බඹරෙ කැරකෙන්නෙ මාලුකට්ටාගෙ පැත්තට කියලා තේරුම් ගත්තාට පස්සෙ ඤාව්වා කළේ ශේප් එකේ වැඩේ අතඇරලා දාපු එක. ඉතිං තමන්ට තිබුන තර‍ඟෙ නැතිවුණ නිසා මාලුකට්ටාටත් පුලුවන් වුණාලු නිවි හැනහිල්ලේ ගේම් එක ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම කියනවානං මෑන්ස්ට චාටර්මාලිට ඇප්‍රෝච් කරන එක එච්චරම අමාරු වැඩක් වුණේ නෑ. මොකද චාටර්මාලි ඉස්කෝලෙ ගියේ හේනවිලේජ් සෙන්ට්‍රල් කොලීජියට. ඒ කියන්නෙ අපේ කලුකුමාරි ගිය ඉස්කෝලෙටමයි. ඒ වගේම මේ දෙන්නා ෆුල් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතිං පූස් සෙට් එකේ යෙහෙළියක් වුණ කලුකුමාරිගෙන් මාලුකට්ටාට උපරිම සහයෝගය ලැබුනලු චාටර්මාලිව යාලු කරගන්න.

හැබැයි හොඳම යෙහෙළියෝ වුණාට මොකද, කලුකුමාරියි චාටර්මාලියි ගතිගුණ අතින්නං සෑහෙන්න වෙනස්. කලුකුමාරි කියන්නේ නිතරම ෆන් එකේ ඉන්න, කොල්ලො එක්ක පවා හොඳට වෙනසක් නැතිව කතාකරන ටයිප් එකේ කෙල්ලෙක්. ඒත් චාටර්මාලි කියන්නේ බොහොම නිවිච්ච, තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න, ඒ වගේම කොල්ලො එක්ක වැඩි භජනෙට යන්නෙ නැති චරිතයක්. ඇත්තටම අපේ මාලුකට්ටාට චාටර්මාලිව හිතට අල්ලලා තියෙන්නෙත් මේ චරිත ලක්ෂණ හින්දාමයි.

කොහොම වුණත් මාලුකට්ටාගේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරන්න මේ දවස්වල පුරුපුරුට එච්චරම පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ වෙද්දි තමයි පුරුපුරු විදූශාගෙන් මහා පරිමාණ බූට් එකක් කාලා ජීවිතේ විඳවමින් හිටියේ. ඉතිං පුරුපුරු පැත්තකට වෙලා ගෑනු ජාතියට වෛර කර කර ඉන්නකොට උපාසකයි, ඤාව්වායි තමයි මාලුකට්ටා වෙනුවෙන් ඔය කටු කන වැඩ, ඔත්තුසේවා වැඩ වලට බැහැලා හිටියේ. කොහොමහරි පූස් සෙට් එකෙයි, කලුකුමාරිගෙයි අප්‍රතිහත ධෛර්යය නිසා අන්තිමට මාලුකට්ටාට පුලුවන් වුණාලු චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වෙන්න.

අපේ මාලුකට්ටාගෙ ඇ‍ඟේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්න පුලුවන් චරිත දෙකක් ජීවත් වෙනවා. එක චරිතයක් තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය මාලුකට්ටා. අනිත් චරිතය තමයි ගෑනු ළමයෙක් එක්ක යාලු වුණ/ යාලුවෙන්න කිට්ටු මාලුකට්ටා. ඉතිං චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වුණාට පස්සෙ මෑන්ස්ගෙ පළවෙනි චරිතය යට ගිහින් දෙවෙනි චරිතය ඉස්මතු වෙලා ආවලු. මේ කැරැට්ටුව මතුවුණාට පස්සේ මාලුකට්ටාගේ ලෝකයේ ඉන්නේ අදාල ස්ත්‍රී රත්නය විතරයි. එතකොට මෑන්ස්ට තමන්ගෙ ගෙදර, යාලුවෝ, කෑවද, බිව්වද, නෑවද, ඉගෙන ගන්නවද මේ මොනවත් මතක නෑ. ඉතිං මේ කාරනේ හින්දා අනිත් පූසන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ මේ දවස්වල මාලුකට්ටාව අල්ලගන්න.

කොහොමහරි වටින් ගොඩින් ආරංචි වෙච්ච කාරනා සහ මාලුකට්ටා හදිස්සියෙ මුණගැහුනාම කිව්ව දේවල් අනුව, දෙන්නා හොඳ යාලුවෝ වෙලා මාස දෙක තුනක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ආදරවන්තයෝ වෙලා තිබුනේ නෑ. මොකද චාටර්මාලි මේ වෙද්දි ඉඳලා තියෙන්නෙ තමන්ට කලින් හිටපු, එහෙම ඉඳලා තමන්ට බූට් එක තියපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන හිත හිතා. ඉතිං මාලු තමන්ගෙන් යාලුවෙන්න ඇහුවත් චාටර්මාලි මෑන්ස්ට කියලා තියෙන්නේ යාලුවෝ හැටියට ඉමුයි කියලා.

මේ වෙද්දි මාලුකට්ටා තමන්ගේ සියලුම ආදර ප්‍රශ්න ගිහින් කිව්වේ පූසන්ට නෙවෙයි කලුකුමාරිට. කලුකුමාරිත් ඉතිං තමන්ට හැකි විදිහට මාලුකට්ටාට චාටර්මාලිව දාගැනීම පිළිබඳව උපදෙස් ලබා දුන්නලු. මෑන්ස් ඉඳලා හිටලා හරි පූසෙක්ට චාටර්මාලි ගැන මොනවාහරි කිව්වානං ඒ උපාසකට විතරයි. ඒකත් පුරුපුරුට ඒ සම්බන්දයෙන් කියන්න එපා කියන කොන්ඩිෂන් එක මත.

“ඌ මොනවද බං සැබෑ ආදරය ගැන දන්නේ? මේවා කියන්න ඕනෙ එහෙම දන්න එවුන්ට විතරයි“

මාලුකට්ටා උපාසකට කීපවාරයක්ම මෙහෙම කිව්වලු. එක අතකට ඉතිං ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මොකද මේ වෙද්දි පුරුපුරුගේ දෙවන නියමය වුණේ “කිසිම කෙල්ලෙක් සීරියස් නොකළ යුතුයි“ කියන එක. (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය). 

කොහොමහරි ඉතිං මේ විදිහට කාලය ගෙවිලා ගියාලු. මාලුකට්ටාත් කාලයත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ආපහු පූසන්ව ආස්සරේ කරන්න පටන් ගත්තලු. මේ වෙද්දිනං මාලුකට්ටයි චාටර්මාලියි අතර තිබුන සම්බන්දෙ යාලු නොවීමයි, යාලුවීමයි අතරේ ඉන්ටර්ෆේස් එකේ තිබුනේ. ඔය අතරේ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි, කලුකුමාරියි, පුරුපුරුයි දියාරු ලෝකෙට ගියේ. දියාරු ලෝකෙ ගැන කියවපු නැති කට්ටිය එහෙනං මෙතනිං ගිහින් කියවලා එන්නකෝ.


ඉතිං ඔය සිද්දියෙන් ටික දවසකට පස්සේ චාටර්මාලි මාලුකට්ටාට බහ දීලා තිබුනා. ඉරිදා තිබුන කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි තමයි වැඩේ සිද්දවෙලා තිබුනේ. මේ ගැන පුරුපුරු ඇතුලු පූසො දැනගත්තේ පහුවදා උදේ. පහුවදා උදේ පාන්දරම මාලුකට්ටා ඉස්කෝලෙ ආවේ විකට් එකක් අරගෙන පිඹගෙන එන බ්‍රෙට් ලී ගොයියා වගේ උද්‍යෝගයෙන්. ඈත එන මාලුකට්ටාව දැක්ක මොහොතෙම පුරුපුරුට තේරුනාලු මෑන්ස්ගෙ වැඩේ හරි තමයි කියලා.

මාකට් :- පුරු, චාටර්මාලි මට කැමතියි කිව්වා මචං

පුරුපුරු :- ෂාහ්...එළමකිරි මචෝ. ඔන්න මයි හාර්ටියස්ට් කොන්ග්‍රැජුලේෂන්ස්. (මාලුකට්ටා වැළඳ ගනිමින්) ඔන්න අපිට පාටියක් ඕනේ හෙටම

මාකට් :- හික් හික්!! දෙන්නං දෙන්නං බං.

මාලුකට්ටා මෙහෙම කිව්වත් කාලයත් එක්ක සිද්ද වුණේ මෑන්ස් ආපහු අනිත් පූසන්ගෙන් ඈත්වෙච්ච එක. ඉස්කෝලෙ පන්තියේදි වුණත් මාලුකට්ටා වාඩි වුණේ පුරුපුරුයි මී කතුරායි එක්ක නෙවෙයි, වෙන පේළියක. ඉතිං මෑන්ස්ගෙ වෙනස්වීම ගැන අනිත් පූසො හතරදෙනාම ගොඩක් දුකින් හිටියේ. ඒත් එන්න එන්නම සිද්දවුණේ මාලුකට්ටා වෙනස්වුණ එක විතරයි. මේ වෙද්දි තත්ත්වය කොච්චර උග්‍ර වෙලා තිබුනාද කිව්වොත් තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයේම, චාටර්මාලිව හඳුන්වන්න මාලුකට්ටා පාවිච්චි කරපු “Dark Angle“ කියන නම කොටන්නත් මෑන්ස් පුරුදු වෙලා හිටියා (Angel කියන වචනෙ මාලුකට්ටා ලිව්වේ Angle කියලා).

කොටින්ම තමන්ගෙ බාහුවේ, පොත්වල හැම පිටුවක් ගානෙම, ෂර්ට් කොලර් එකේ, ලේන්සුවේ වගේම ඇඟේ එක එක තැන්වලත් Dark Angle කියලා ලියන්න මාලුකට්ටා පසුබට වුණේ නෑ. ඒ දවස්වල ක්ලාස් එකේ කොල්ලො කතා වෙවී හිටියේ මෑන්ස්ගෙ ජොකාගෙත් Dark Angle කියලා ලියලා තියෙනවාද දන්නෙ නෑ කියලා. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් විශේෂ දෙයක් වුණේ.

සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස එක එක ක්ලාස් වලට ගිහින් එන අපේ යාලුවො කට්ටිය අන්තිමට ගම්පහ බස්ටෑන්ඩ් එකට සෙට් වෙලා එකට තමයි ගෙදර යන්නේ. ඉතිං මේ වෙලාවට පුරුපුරු, ඤාව්වා, උපාසක, ඉස්සා, මැක්නාත්, සව්සිරි වගේ අපේ යාලුවෝ ගම්පහට සෙට් වෙනවා. ඉතිං මේ කියන දවසෙත් අපේ යාලුවො කට්ටිය ගෙදර යන්න කියලා පූස්ගම බස් එකට නැග්ගලු. පිටිපස්සෙම සීට් එකේ තමයි පූසෝ සුපුරුදු පරිදි වාඩි වුණේ. මොකද පස්සෙ සීට් එකේ ඉන්නකොට කට්ටියත් එක්ක හොඳට කෑ ගගහා යන්න පුලුවන්. පිටිපස්සෙ සීට් එකට කලින් එකේ වාඩිවුණේ සව්සිරි. මේ අතරේ තමයි වෙනදාට පරක්කු වෙලා ගෙදර යන මාලුකට්ටායි චාටර්මාලියිත් බස් එකට නැග්ගේ.

පූසන්ව දැකලා “හලෝ මචං“ කියලා කියපු මාලුකට්ටා සව්සිරි හිටපු සීට් එකට ඉස්සරහ එකේ චාටර්මාලිත් එක්ක වාඩිවුණාලු. මේ අතරේ තමයි චාටර්මාලිගෙ ගෙවල් ගාව පදිංචි වෙලා හිටපු සව්සිරි අලුගුත්තේරු වැඩක් කරලා තියෙන්නේ. මෑන්ස් කරලා තියෙන්නෙ සීට් එකේ පැත්තක තිබුන චාටර්මාලිගෙ බෑග් එක  ශේප් එකේ හොරකම් කරපු එක. ඊටපස්සේ මෑන්ස් කළේ බෑග් එක අපේ කපල් එකට නොපෙනෙන්න පිටිපස්සෙම සීට් එකේ හිටපු පුරුපුරුගෙ ඔඩොක්කුවට දාපු එක. ඒත් මේ වෙලාවේ පූසොත් එක්ක උපරිම පිස්සු කෙළිමින් වෙන සිහියක හිටපු පුරුපුරුට මේ සිද්දිය ගනන් ගතයුතු මට්ටමේ දෙයක් කියලා මීටර් වුණේ නෑ.

කොහොමහරි ඉතිං පෙම් ලෝකෙ අතරමං වෙලා හිටපු කපල් එකටත් බෑග් එක නැතිවෙච්ච බව දැනුනෙ ටිකක් වෙලා ගියාට පස්සේ. ඉතිං කලබල වෙච්ච චාටර්මාලි කළේ මූණ ඇඹුල් කරගෙන බෑග් එක හොයන්න පටන් ගත්ත එක. මේ වෙද්දි බස් එක අද්දන්නත් ළඟයි. ඉතිං මාලුකට්ටාත් බොහොම කලබලෙන් හැමතැනම බෑග් එක හොයන්න පටන් ගත්තලු. මේ වෙද්දිත් අපේ පූසන්ට මේ කිසි දෙයක් මීටර් වෙලා තිබුන් නෑ. ඔය වෙලාවෙ තමයි මාලුකට්ටා අන්තිම සීට් එක ගාවට ආවේ. ඉතිං තමන්ගෙ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්ගෙ බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවේ තියෙනවා දැකපු මාලුකට්ටාට මාරයා ආවේශ වුණාලු.

මාලුකට්ටා :- පුරුපුරු!!! තමුසෙට පිස්සුද චාටර්මාලිගෙ බෑග් එක ඉස්සුවේ?

මාලුකට්ටා කරපු ගෝරනාඩුවෙන් තමයි මෙච්චරවෙලා කෑ ගගහා හිටපු පුරුපුරු ඇතුලු පූසො කට්ටිය පියවි සිහියට ආවේ. එතකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තමන්ගෙ ඔඩොක්කුවේ ගෑනු ළමයෙකුගේ බෑග් එකක් තියෙන බව. ඒත් මෑන්ස්ට හිතාගන්න බෑ ඒක ඔඩොක්කුවට ආවේ කොහොමද කියලා. කොහොමහරි මේ වෙද්දි බස් එකේ මිනිස්සුත් බලන්න පටන් අරගෙන මොකද්ද මේ සීන් එක කියලා. පුරුපුරුට ලැජ්ජයි. ඒ වගේ අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. වෙන තැනකදිනං මාලුකට්ටාට ගහන්න හරි තිබුනා. ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සරහා කොල්ලෙක්ට ගහන එකත් සදාචාර සම්පන්න නෑ නොවැ!

පුරුපුරු මෙහෙම කල්පනා කරද්දි උපාසක තමයි බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවෙන් අරගෙන ආපහු මාලුකට්ටාට දුන්නේ. සව්සිරිත් මේ අතරේ බයවෙලා. මෑන්ස් හිතන්න නැතුව ඇති විහිලුව මේ තරම් දුරදිග යයි කියලා. කොහොමහරි තවත් හිටියොත් පුරුපුරුත් මාලුකට්ටාත් අතරේ බස් එක මැද්දේ වලියක් යන බව තේරුම් ගත්තු අනිත් යාලුවෝ පුරුපුරුවත් අරගෙන බස් එකෙන් බැස්සලු. එදා තමයි පූසො සෙට් එකේ මිත්‍රත්වය කියන පදනමේ පලුද්දක් ඇතිවුණේ. ඉතිං ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

ප.ලි :- මාලුකට්ටා වෙත,

උඹ මේක කියවනකොට බ්‍රෙට් ලී කියන්නෙ කවුද කියලා දන්නෙ නැත්තං මෙතනින් ගිහින් බලපන් :-).