අඹ යාලුවෝ

Showing posts with label පොන්ටින්. Show all posts
Showing posts with label පොන්ටින්. Show all posts

Saturday, December 11, 2010

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day) - 2

ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ හොස්ටල් එකේ ගතකරන අන්තිම දවස නිමිත්තෙන් අපේ යාලුවො අනුමත වෙන්න සෙට් වෙච්ච හැටියි, ඊට පස්සෙ මාලුකට්ටා බොන්න ගෙනාපු ෂැන්ඩි ටික ඉවර කරපු හැටියි ගැන.ඔන්න බලපු නැති යාලුවන්ට පුලුවන් මෙතනින් ගිහින් ටක්ගාලා බලලා එන්න.

ඉතිං ඊටපස්සෙ ඉතුරු බීම ටික ඔක්කොම බොන්න වුණේ පුරුපුරු, පොන්ටින් සහ සලා ඇතුලු කීප දෙනෙක්ටලු.දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක එකතු වෙලා ඇති පදමට අනුමත වෙනවා.හැබැයි ඉතිං කට්ටිය තවම පොඩි කොල්ලො නිසා අනුමත වෙලා එච්චර පලපුරුද්දක් නෑ.ඉතිං ඉතුරු බෝතල් දෙකහමාරෙන්, එකහමාරක් විතර ඉවර වෙද්දි එතන හිටපු එක කොල්ලෙක්වත් කෙලින්, හොද සිහියෙන් යන්න පුලුවන් මට්ටමක හිටියෙ නෑලු.

දැන් මාර කේස් එක.බෝතලයක්ම ඉතුරුයි.හැබැයි එතන ඉන්න කොල්ලන්ට බොන්න කෝප්පෙ අල්ලගන්නත් බැරි තරමට වෙරි.ඒ මදිවට බයිට් පැකට් එකත් බිම හැලිලා.ඉතිං අමාරුවෙන් තව උගුරක් දෙකක් බිව්ව අපේ යාලුවො සෙට් එක බොන එක නැවැත්තුවෙ, ඉතුරු මීවිත ටික කුස්සියෙ උයන කට්ටියටවත් දෙන්න ඕනෙයි කියලා.

හැබැයි ඉතිං බීම නැවැත්තුවට මොකද, එක්කෙනෙක්ටවත් ආපහු ඩෝම් එකට යාගන්න බැහැ.හැමෝම යන්න නැගිටිනවා, ආපහු ඉන්න තැනම ඇදගෙන වැටෙනවා.ඉතිං අපේ කට්ටිය වෙරි ටිකක් හිදෙනකං පැයක් විතර හදපානෙ ක්‍රිකට් නෙට්ස් ඇතුලෙ ඇලවෙලා හිටියලු.ඒ තමන් හොස්ටල් ඉන්න දවස්වල කරපු එක එක වීරක්‍රියා ගැන කතා කර කර.ඒ වැඩ ඉතිං ආයි කවදා කරන්නද?

ඔහොම ටිකක් වෙලා යනකොට ඉතිං යන්තං නැගිටගන්න පුලුවන් වෙන තරමට කට්ටියගෙ වෙරි හිදුනලු.දැන් ඉතිං අපේ පොන්ටින්ට ඕනෙ මොකක් හරි පිස්සුවක් නටන්න.මෑන්ස් කළේ මුලු ග්‍රවුන්ඩ් එක පුරාම දුව දුවා පිනුම් ගහන්න පටන් ගත්තු එක.දැන් අනිත් කොල්ලන්ට වෙරි නිසා මෑන්ස් පස්සෙ දුවන්නත් බෑ.හැබැයි පොන්ටින්ව කොහොමහරි නවත්තගන්නත් ඕනෙ.මොකද නැත්තං මෑන්ස් කරන පිස්සු වැඩ වල හැටියට මේ දිවිල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ.

හොද වෙලාවට පොන්ටින් දිව්වේ කොටියා සර්ගෙ ගේ දිහාවට නෙවෙයි, රීඩ් මහත්තයාගෙ පාරට යාබදව තිබුන තාප්පෙ පැත්තට.ඒත් අපේ යාලුවන්ගෙ ඇස් උඩගියේ පොන්ටින් තාප්පෙ දිගේ උඩට බඩගානවා දැක්කාමලු.බැලින්නං මෑන්ස් බැරි බැරි ගාතෙ ට්‍රයි කරන්නෙ තාප්පෙන් එහා පැත්තට පනින්නලු.මේක දැක්ක අපේ යාලුවො සෙට් එක විගහට දුවගෙන ගියාලු පොන්ටින් පනින එක නවත්තන්න.ඒත් කට්ටිය තාප්පෙ ළගට යනකොටත් මෑන්ස් එහා පැත්තට පැනලා ඉවරයි.

මට වෙරි නැතෝ!...මට වෙරි නැතෝ!!..............

පොන්ටින් කෑ ගහනවා.අනිත් කොල්ලො කොච්චර කතා කළත් මෑන්ස් ආපහු ඇතුල් පැත්තට එන්නෙත් නෑලු.ඒ මදිවට මෑන්ස් ඇතුලට ගන්න අනිත් අයට එළියට යන්නත් බෑ, මොකද කට්ටියටම අම්බානට අනුමත වෙලා.ඉතිං අපේ සලා කරපු වැඩේ විදේශ ආධාර ගේන්න ඩෝම් එක පැත්තට දුවගෙන ගිය එක.

මේ අතරෙ පුරුපුරුට තරු පෙනුනෙ පොන්ටින්, රීඩ් මහත්තයගෙ පාර පැනලා සක්වල තක්සලාව පැත්තට දුවනවා දැක්කම.මෑන්ස් අම්බානට අනුමත වෙලා.පොර කළේ සක්වල තක්සලාවෙ කලුපාට යකඩ වැටේ එල්ලිච්ච එක.

මට කැම්පස් යන්න ඕනේ!...මට කැම්පස් යන්න ඕනේ!!.................

පොන්ටින් මරහඩ තලනවා.දැන් මෙහෙම ගියොත්නං සක්වල තක්සලාවෙ සික්කො ටික ඇවිල්ලා පොන්ටින්ව අල්ලගන්නවා ෂුවර්.වෙලාවට පොලෝසියෙන් පේන්නත් නෑ.නැත්තං ඉතිං කට්ටිය ඉස්කෝලෙ ඉදලත් ඉවරයි.පුරුපුරු මෙහෙම බයවෙලා ඉන්නකොට තමයි, සලාගෙ පණිවිඩේ ලැබිච්ච "නිර්වෙරි" කොල්ලො ටික එතනට දුවගෙන ආවෙ.වෙලාව හොද නිසා තවත් විනාඩි දෙක තුනක් ඇතුලත මෑන්ස්ව අල්ලගෙන තාප්පෙන් මෙහා පැත්තට දාගන්න කට්ටියට පුලුවන් වුණාලු.
කොහොමහරි ඉතිං වැඩේ ගොඩින් බේරිච්ච නිසා හැමෝටම සතුටුයි.ඉතිං අපේ යාලුවො කට්ටිය ඩෝම් එක පැත්තට ගියෙ පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතාගෙන.කොහෙද? යනකොට කට්ටිය ටීවී එක දාගෙන ගන බලනවා.බැලින්නං යාලුවො ටික බලන්නේ ඒ දවස්වල තියාගෙන පට්ටගහපු "ටාර්සන් එක්ස්" කියන පරණ ගනේ.ඒ වුණාට ඉතිං "සම්තින් ඉස් බෙටර් දෑන් නතින්" කියලා හිතපු පුරුපුරුත් තීරණය කළා අවසන් ගන බැලිමට සහභාගි වෙන්න.

තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.

දඩාස්..........

මහා සද්දයක් එකක් මෑන්ස් ඇදගෙන බිම වැටුනලු.බැලින්නං පුරුපුරු වාඩි වෙලා තියෙන්නෙ මනඃකල්පිත පුටුවෙ.ඇත්ත පුටුව තිබිලා තියෙන්නෙ එහා පැත්තෙන්.දැන් මොනවා කරන්නද? නැගිටගන්නත් බෑ.ඉතිං අනිත් යාලුවො ටික එකතු වෙලා මෑන්ස්ව උස්සලා ඇදක් උඩට දැම්මලු.විනාඩියක් යන්න කලින් අපේ යාලුවා ගොරව ගොරවා නිදි.

පහුවදා පුරුපුරු නැගිටිද්දි ගොඩක් උදේ වෙලා.මෑන්ස් නැගිටින්න කලින් මාලුකට්ටා ගහපු ෆෝටෝ එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නෙ.කොහොමහරි ඉතිං බොගට ගිහින් කබරයා පාරක් එහෙම දැම්මට පස්සෙ පුරුපුරුගෙ තිබුන වෙරි ගතිය නැතිවෙලා ගියාලු.ඊට පස්සෙ කට්ටිය කළේ ලෑස්ති වෙලා ගිහින් කොටියා සර්ට වැදලා ගෙවල් බලා පිටත් වෙච්ච එක.

ඇත්තටම ඒ මොහොත පුරුපුරුගෙ ජීවිතේ ගොඩාක්ම දුක හිතෙන මොහොතක්.අවුරුදු ගානක් එකට හිටපු, පිස්සු කෙලපු සහෝදරයන්ගේ විසිර යාම කියන්නෙ විශේෂ අත්දැකීමක්.බ්ලොග් පෝස්ට් සීයක් ලියලත් පැහැදිලි කරන්න බැරි අමුතුම අත්දැකීමක්.ඒක හින්දා අපි ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ.කොහොමහරි හොස්ටල් එක තමන්ගෙ ජීවිතේ එක්ක කොච්චර බැදිලාද කියලා කට්ටියම තේරුම් ගත්තෙ එදා තමයි.කොල්ලන්ගෙ ඇස් වල කදුලු පිරිලා.කොටියා සර්ගෙ ඇස්වලත් කදුලු පිරිලා.

මේ විදිහට අපේ මාලුකට්ටාගෙ හොස්ටල් ජීවිතේ එදා අවසාන වුණා.එතකොට පුරුපුරුගෙ? හොදයි යාලුවනේ, පුරුපුරුගෙ හොස්ටල් ලයිෆ් එකට මොකද වෙන්නෙ කියලා අපිට අනාගතේදි වෙනම සීරීස් එකකින් කියවන්න පුලුවන්.
කොහොමහරි එදා බස්එකේ ගෙදර යද්දි පුරුපුරුටයි, මාලුකට්ටාටයි දැනුනෙ වස පාලුවක්.හැබැයි ඉතිං එහෙම ඉදලා හරියන්නෙ නෑ නොවැ! නිවාඩු කාලෙ කරන්න හොද පිස්සු වැඩ ටිකක් ප්ලෑන් කරන්නත් එපායැ...එහෙනං ආෆ්ටර් ඕ ලෙවල් පූස් ලයිෆ් එක ගැන ඔයාලට මීට පස්සෙ අපි කියන්නංකෝ...

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day)

ඔන්න යාලුවනේ අපි මාස ගානක් තිස්සේ ඔයාලා වෙනුවෙන් ලියපු, ඒ වගේම කියවන යාලුවො ආසාවෙන් වැලද ගත්තු හොස්ටල් ලයිෆ් සීරීස් එක දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ.ඉතිං අද අපි කියන්න යන්නේ හොස්ටල් එකේ අපේ යාලුවො සෙට් එක ගතකරපු අන්තිම දවස ගැන.

මේ වෙද්දි කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියලා ඉවර වෙලයි තිබුනෙ.ඒ කියන්නෙ දෙසැම්බර් අන්තිම දවස් ටික තමයි දැන් ගතවෙන්නෙ.පුරුපුරුටනං විභාගෙ එච්චරම ප්‍රශ්නයක් වුණේ නෑ.ඉංග්‍රීසි සාහිත්‍ය ඇරෙන්න අනිත් ඔක්කොම සබ්ජෙක්ට්ස් හිතේ හැටියට ලියලා ආවා.මාලුකට්ටාටනං ගණං වලත් මොකද්ද අවුලක් ගිහින් තිබුනා.කොහොමහරි ඉතිං හැමදෙනාම මේ දවස්වල බොහොම සැහැල්ලුවෙන් තමයි කාලෙ ගතකළේ.

හොස්ටල් එකේ සාමාන්‍ය ට්‍රැඩිෂන් එක තමයි ඕ ලෙවල් ඉවරවෙලා සතියක් විතර යනකං ගෙවල් වලට නොගිහිං හොස්ටල් එකේම නැවතිලා ඉන්න එක.මේ වැඩේට කොටියා සර්රුත් කිසිම අවුලක් දැම්මෙ නෑ.දැන් ඉතිං කට්ටිය නිල වශයෙන් හොස්ටල් එකෙන් අස්වෙලා නිසා සර්රුත් ඉස්සර වගේ සැරෙන් නැතුව, හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් තමයි අපේ යාලුවොත් එක්ක කතාබහ කළේ.

ඉතිං තමන් හොස්ටල් එකේ ගතකරන අන්තිම සතිය මැක්සා ෆන් එකේ ගතකරන්න කිසිම කොල්ලෙක් අමතක කළේ නෑ.කට්ටියගෙ වැඩේ වුණේම දවස තිස්සෙම සෙල්ලං කරන එකයි, හවස් වෙද්දි රහීමා එක හරි, බම්බා පැත්තෙ හරි යන එකලු.ඒ වගේම රෑට ෆිල්ම් බැලීම, ගන බැලීම, සින්දු කීම, ඒ වගේම ඩෝම් එක ඇතුලෙ සෙල්ලං කිරීම වගේ දේවලුත් සැරට නැගලා ගියාලු.කොහොමහරි අපේ යාලුවො සෙට් එක ඒ දවස් ටිකේ ගත කළේ තමන්ගෙ ජීවිතේ ෆන්ම සතිය කිව්වොත් ඒක වැරදි නෑ.

ඉතිං ඔහොම දවස් ගෙවිලා ගිහින් හොස්ටල් එකේ ඉන්න පුලුවන් අන්තිම දවසත් උදාවුණාලු.සතිය පුරාම කොච්චර ෆන් එකේ හිටියත් අන්තිම දවස උදා වෙද්දිනං කට්ටියම ෆුල් අප්සට් එකේ හිටියෙ.මොකද අවුරුදු ගානක් හිටපු, තමන්ගෙ ජීවිතවල හොදම මතක සටහන් තියෙන, තමන් හැමදාම ආදරය කරපු හොස්ටල් එක දාලා යන්න වෙනකොට කාටද දුක හිතෙන්නෙ නැති වෙන්නෙ?

ඉතිං අන්තිම දවසෙ කට්ටිය උදේම කළේ අන්තිම ක්‍රිකට් මැච් එක ගහලා හොස්ටල් ක්‍රීඩා ජීවිතේට සමු දුන්න එක.ඊට පස්සෙ හොස්ටල් එකේ අන්තිම ලන්ච් එක අපේ යාලුවන්ට ලැබුනලු.වෙනදා ලන්ච් එකට නෑවිත් කැන්ටිමෙන් කන කට්ටිය පවා එදා ලන්ච් එකට ගිහින් කෑම කෑවේ බොහොම ආසාවෙන්.ඊට පස්සෙ අපේ යාලුවො කට්ටියම එකතු වෙලා සින්දු කිව්වලු.වෙනදා හිතේ තරහ මරහ තියාගෙන හිටපු මෑන්ස්ලා පවා එදා කරට අතදාගෙන තමයි සින්දු කිව්වේ.

අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් තමන්ගෙ අන්තිම ප්‍රහාරය විදිහට ලෝඩ් කොක්ට මහා වෝටර් ඇටෑක් එකක් දුන්නලු.ඇටෑක් එකට ලක්වෙච්ච ලෝඩ් කොක්, බලකායෙන් බේරෙන්න දුවන හැටි තමයි ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ.

දැන් ඉතිං හවස් වෙලා.කට්ටියටම ගොඩක් දුකයි.ඉතිං මේ දුක තුනී කරගන්න පොඩ්ඩක් අනුමත වුණොත් නරකද කියලා සකයාගෙන් යෝජනාවක් ආවා.හික්ස්...හොස්ටල් ට්‍රිප් එකෙන් පස්සෙවත් මෑන්ස් හැදිලා හිටියෙ නෑ.ඉතිං මේ යෝජනාව ඒකමතිකව සම්මත වුණේ, වෙනදට බොන්නෙ නැති සෙන්සි වගේ චරිත පවා අනුමත වෙන්න සෙට් වෙලා.ඉතිං කට්ටියගෙන් සල්ලි එකතු කරපු සකයායි, සංජුයි මීවිත අරගෙන එන්න කියලා පිටත් වුණාලු.

හැබැයි නුවරඑළියෙදි වගේ නෙවෙයි, එදානං සකයා මීවිත හොයාගෙන ඉක්මනටම ආපහු ඇවිත් තිබුනා.ප්‍රතිපාදන එහෙමත් යහමින් තිබුන නිසා මේ පාර කාල නාමපත්‍ර දෙකකුයි, රජත නාමපත්‍රයකුයි තමයි අපේ යාලුවො දෙන්නා ගෙනත් තිබුනෙ.ඒ විතරක් නෙවෙයි, බයිට් එකට ලොකු රටකජු පැකට් එකකුයි, ෂැන්ඩි වලට කෝක් මෙගා බෝතලයකුයිත් ගේන්නත් මෑන්ස්ලා අමතක කරලා තිබුනෙ නෑලු.මේ වෙද්දි ඉතිං රෑ වෙලා.දැන් නියමිත වෙලා තිබුනෙ කට්ටියගෙ අවසන් හොස්ටල් අනුමත වීම.

හැබැයි ඉතිං ගොඩක් කට්ටිය මීවිත ගේන්න ප්‍රතිපාදන සැපයුවාට මේ වෙද්දි වැඩේට ටිකක් පස්ස ගහ ගහා තමයි හිටියෙ.ඒ හින්දා අන්තිමට අනුමත වෙන්න ඉතුරු වුණේ කොල්ලො නව දෙනයි.ඒ තමයි පුරුපුරු, මාලුකට්ටා, ජුවාන්, සකයා, සංජු, සලා, පොල්පොට්, පොන්ටින් සහ හොං කොං.අනුමත වෙන තැන විදිහට තෝරගත්තෙ 11 වසර ඩෝම් එක පිටිපස්සෙ තියෙන ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට්ස් ටිකලු.මොකද මෙච්චර කල් ඉදලා අන්තිම දවසෙ කොටියා සර්ට චාටර් වෙන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ යාලුවො කට්ටියත් සුභ මොහොතින් වැඩේ පටන් ගත්තලු.එදා තමයි අපේ මාලුකට්ටාගෙ මංගල අනුමත වීම.

ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ මාලුකට්ටා අම්බානට බොනවා.මෑන්ස් නිකං වතුර බොනවා වගේ තමයි අනුමත වුණේ.ඉතිං අනිත් කොල්ලො කට්ටිය ෆුල් හොල්මන් මාලුකට්ටා කොහොමද මෙච්චර හොද බෙබා ඩයල් එකක් වුණේ කියලා.කියන්න බෑනෙ, මෑන්ස් වැඩේට බෝර්න් ටැලෙන්ටඩ් පොරක්ද දන්නෙ නෑනෙ.ඔහොම ඉන්නකොට තමයි කට්ටියට තේරුණේ පළවෙනියට ගත්තු රජත නාමපත්‍රෙ බාගයක් ඉවර වෙන්නත් කලින් කෝක් බෝතලේ ඉවර වීගෙන එන බව.

මේක දැකපු අපේ යාලුවන්ට තරු පෙනුනලු.පස්සෙ ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බැලින්නං මාලුකට්ටා තමයි කෝක් බෝතලේට ගේම දීලා තියෙන්නෙ.පොර කරලා තියෙන්නෙ කෝකුයි, අරක්කුයි 20:1 අනුපාතෙට විතර දාගෙන අනුමත වෙන එක.ඉතිං එතන කෝක් රස මිසක් අරක්කු රසක් එන්නෙම නෑ නොවැ.ඒ හින්දා තමයි මාලුකට්ටාට පුලුවන් වුණේ වතුර බොනවා වගේ අනුමත වෙන්න.

මේක දැනගත්තු අනිත් කොල්ලන්ට ෆ්ලවර් ජම්ප් වුණත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.කට්ටියට වැඩේ මීටර් වෙනකොට වෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි.ඉතිං අන්තිමට එතන හිටපු කට්ටියගෙන් තුන් හතර දෙනෙක් (මාලුකට්ටාත් ඇතුලුව) ෂැන්ඩි නැතුව බොන්න බැහැයි කියලා නැගිටලා ගියාලු.ඒත් ඉතිං ෂැන්ඩි නැහැයි කියලා මේවා විසිකරන්නයැ‍! අන්තිමට පුරුපුරු, පොන්ටින් ඇතුලු කීප දෙනෙක්ට තමයි ඉතුරු වෙච්ච මීවිත වලට වග කියන්න සිද්ද වුණේ.මොකද දැන් අමද්‍යප වුණාට ඒ දවස්වල අපේ පුරුපුරුත් හොද ඇල්කොහොලික් ඩයල් එකක්.

ඉතිං බීලා වැඩිවෙච්ච කොල්ලන්ට මොකද වුණේ, ඒ ව‍ගේම අනිත් කො‍ල්ලන්ට මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු.(ඊළග කොටසින් කතාවයි සීරීස් එකයි දෙකම ඉවරයි)

Tuesday, December 7, 2010

හොස්ටල් ලයිෆ් - වැහි වතුරේ රගර් කෙළිය


ඔන්න ඉතිං ගොඩ දවසකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න පූසන්ට අවස්ථාව ලැබුනා.හොස්ටල් ලයිෆ් සීරීස් එක ඉවර වෙන්නත් ගොඩක් ළගයි.ඉතිං අද අපි කියන්න යන්නෙ වැහි වතුරෙ රගර් සෙල්ලං කරන්න ගිහින් අපේ යාලුවන්ට වුණ ඇබැද්දියක් ගැන.

ඔය කොළොම්තොට පැත්ත, පොඩි වැස්සකට පවා වතුරෙන් යටවෙන හැටි ගැන අපේ යාලුවන්ට ඉතිං අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෙ නැහැ නොවැ!හැබැයි ඉතිං දැන් වගේ නෙවෙයි ඉස්සර, වැහි වතුරෙන් යට වුණාට පස්සෙ ඒ වතුර ටික ලේසියෙන් බැහැලා යන්නෙත් නෑ.අනිවා දවස් දෙකක් විතර වතුර පිරිලා තියනවාමයි.කොහොමහරි දැන්නං උදේ යට වුණත් හවස් වෙනකොට වතුර ටික බැහැලා යනවා.ඉතිං පුරුපුරුලා ගිය කුරුදුවත්ත ඉස්කෝලෙත් මේ ගංවතුර තර්ජනයට නිතරම ලක්වෙන තැනක්ලු.

වැස්ස දවස්වලට හොස්ටල් එකේ තිබුන තත්ත්වය ගැන අපි කලින් ලිපියකිනුත් කිව්වා නොවැ!ඒ මොනවා උනත් ඉතිං හොස්ටල් එකේ කොල්ලො සෙට් එක බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නෙ වැහැලා ඉස්කෝලෙ යට වෙනකං.මොකද එතකොට වතුරෙන් යටවෙච්ච පිට්ටනියට පැනලා රගර් ගහන්න කට්ටියට පුලුවන්නෙ.

සාමාන්‍යයෙන් වැස්සෙ හරි වැහි වතුරෙ හරි සෙල්ලං කරන එක හොස්ටල් ළමයින්ට තහනම් කරලයි තිබුනෙ.මොකද ඊටපස්සෙ කට්ටිය ලෙඩ හදාගත්තම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙන්නෙත් කොටියා සර්ටම නොවැ!එහෙම සෙල්ලං කරලා අහුවුණොත් ඉතිං අහුවුණ එකාට දෙයියන්ගෙවත් පිහිටක් හම්බවෙන්නෙ නෑ.ඒත් ඉතිං ඔය මොන තහනම තිබුනත් පුරුපුරුලා වැස්සෙ සෙල්ලං කරන එක නවත්තන්න කාටවත් බැරිවුණාලු.සාමාන්‍යයෙන් ඔය වැහිකෙළියෙ අනිවාර්ය සාමාජිකයො වුණේ පොන්ටින්, පුරුපුරු, ජුවාන්, වන්නියා, අමන්දානන්ද සහ හොංකොං ඇතුලු කොල්ලො කට්ටියක්.

ඉතිං මේ සිද්දිය සිද්ද වුණෙත් කොළඹට බොහොම තදින් වැස්ස වැටුන දවසක.ඒ වගේම දැන් අපේ යාලුවො කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියන්න දවස් කීපයයි ඉතුරුවෙලා තිබුනෙ.වැටෙන වැස්සෙ තරමට මුලු ග්‍රවුන්ඩ් එකම වතුරෙන් යටවෙලාලු.ඒ මදිවට ගොරව ගොරවා අකුණු ගහනවා.මේ වෙලාවෙ තමයි පොන්ටින්ගෙ ඔලුවට මරු අයිඩියා එකක් ආවෙ.මෑන්ස් කළේ ඩෝම් එකේ පැත්තක දාලා තිබුන රගර් බෝලෙ අරගෙන පුරුපුරු ළගට ආපු එක.

පොන්ටින් :- මචං පුරුපුරු, රගර් පාරක් ගහන්න කියාපු දවස.යමුද ග්‍රවුන්ඩ් එක පැත්තෙ?ජුවාන්...හොංකොං...උඹලත් වරෙල්ලා..............

පුරුපුරු :- උඹට පිස්සුද බං? හොදටම අකුණු ගහනවා.විභාගෙටත් දවස් දෙක තුනයි තියෙන්නෙ.ආපහු ඉතිං එග්සෑම් ඉවර වෙලාම සෙල්ලං කරමු.

පොන්ටින් :- අඩෝ, දැන් අකුණක් ගහලා මැරුණොත් මිනිස්සු කියන්නෙ කවදාහරි දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න හිටපු ළමයෙක්නෙ, අනේ අපොයි! කියලා.ඒත් ඉතිං අපි පාඩම් කරන හැටියට පස්සෙ කාලෙක මැරුණොත් මැරෙන්න වෙන්නෙ නිකම්ම නිකං නිකමෙක් වගේ.ඒක හින්දා පස්සෙ මැරෙනවාට වඩා දැන් මැරෙන එක මටනං ලොකු දෙයක්.

මෙහෙම කියපු පොන්ටින් බෝලෙත් අරගෙන තෙමි තෙමී පිට්ටනිය පැත්තට ගියාලු.බලාගෙන ගියාම මෑන්ස් කියන කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.අනික් අතට පුරුපුරුටත් ඔය ෆුට්බෝලයක්, රගර් බෝලයක්, ක්‍රිකට් බෝලයක් දැක්කහම සෙල්ලං නොකර ඉන්න බැරි අමාරුවක් ඇතිවෙනවා.ඉතිං අපේ පූසාත් පොන්ටින් පස්සෙන් පිට්ටනියට ඇදුනලු.ටික වෙලාවකින් මෙන්න ජුවාන්, හොං කොං ඇතුලු සෙට් එකක්ම රගර් සෙල්ලං කරන්න ඇවිත්.

කොහොමහරි 11 වසරෙ ළමයි ටික වැස්සෙ සෙල්ලං කරනවා දැකපු 10 වසරෙ කොල්ලො සෙට් එකකුත් ෆෝම් වෙලා රගර් බෝලයක් අරගෙන එළියට බැහැලා තිබුනා.දැන් පිට්ටනියෙ රගර් මැච් දෙකයි.පුරුපුරුලා සෙල්ලං කළේ පිට්ටනියේ කෙළවර හරියක.ඒක හින්දා නිල නිවාසෙ ඉදන් වටපිටාව බලන කොටියා සර්ගෙ රේඩාර් එකට ඒ අයව අහුවෙන්නෙ නෑ.ඒත් අත්දැකීම් අඩුකම හින්දා 10 වසරෙ ළමයි කට්ටිය සෙල්ලං කරන්න තෝරගත්තෙ පිට්ටනිය මැද හරිය.ඉතිං ඒ අයව කොටියා සර්ගෙ රේඩාර් එකට නිකම්ම අහුවුණයි කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

ඉතිං හොස්ටල් එකේ කොල්ලො අකුණු ගහන මහ වැස්සෙ සෙල්ලං කරනවා දැක්ක කොටියා සර් කොටියෙක් වගේ මාරාවේශ වුණාලු.සර් කළේ වහාම දිග වේවැලක් අරගෙන, කුඩේකුත් එක්ක පිට්ටනියට බැස්ස එක.සර් එනවත් එක්කම පිට්ටනිය මැද හිටපු 10 වසරෙ කොල්ලො සෙට් එක සර්ට අතේ මාට්ටු.දැන් තව ටික වෙලාවකින් 11 වසරෙ අයියලා කට්ටියත් කොටියා සර්ට මාට්ටු වෙනවා.බේරෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර හිටපු ජුවාන්‍ට මරු අයිඩියා එකක් ආවෙ මේ වෙලාවෙ තමයි.

ජුවාන් :- හොද හුස්මක් අරගෙන වතුරෙ දිගාවෙයල්ලා!!!...........ඉක්මනට........

ජුවාන් කෑ ගැහුවා.අනිත් ළමයිනුත් දිග හුස්මක් අරගෙන වතුරෙ දිගාවුණා.දැන් ඈත ඉදලා පිට්ටනියෙ කෙළවර දිහා බලන කොටියා සර්ට පේන්නෙ මහා වතුර කදක් විතරයිලු.ඇයි ඉතිං කොල්ලො ටික ඉන්නෙ වතුර යට‍ නොවැ!ඉතිං මෙහෙම තත්පරයක් දෙකක් චෙකප් එකක් දාපු කොටියා සර් ආපහු නිල නිවාසෙට යන්න ගියාලු.අපේ යාලුවො කට්ටිය ඔලුව උස්සනකොට සර් පේන්න හිටියෙ නෑ.ඒ වගේම එදා හවස, වැස්සෙ සෙල්ලං කර කර උන්නු 10 වසරෙ ළමයින්ට හොදවයින් ගුටි පූජාවක් දෙන්නත් එතුමා අමතක කළේ නෑ.

එදායින් පස්සෙනං හොස්ටල් එකේ කිසිම කොල්ලෙක් වැස්ස වෙලාවට ග්‍රවුන්ඩ් එක මැද්දෙ සෙල්ලං කළේ නෑලු.

කොහොම හරි ඉතිං දවසින් දවස ගෙවිලා ගිහින් ඕ ලෙවල් විභාගෙත් හොදටම කිට්ටු වුණා.පූසොත් විභාගෙ වෙනුවෙන් බැහැලා වැඩ කරන්න පටන් ගත්තා.

Friday, October 29, 2010

හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey 3 - ස්ටාර් වෝර්ස් XVI


ඔන්න යාලුවනේ අපි අදින් සාන්ත කෙල බේරේ සීරීස් එක හමාර කරන්නයි යන්නෙ.ඒ වගේම ටික දවසකින් ලිපියක් ලියන්න බැරිවෙච්ච එක ගැන ඔයාලගෙන් සමාව ඉල්ලන්නත් ඕනෙ.හොදයි ඉතින් සාන්තගෙ පිටසක්වල කතාව කියවන්න කලින් කට්ටිය ගිහින් මෑන්ස්ගෙ පරණ කතා ටික කියවලා එන්නකෝ!

සාන්ත කෙල බේරේ 1සාන්ත කෙල බේරේ 2
මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 11 වසරෙ අන්තිම කාලෙ ඉන්නකොට.ඔය දවස්වල ඕ ලෙවල් විභාගෙත් ‍ගොඩක් කිට්ටු වෙලයි තිබුනෙ.දන්නැද්ද ඉතිං? ඔය කාලෙට කොල්ලන්ගෙ ඔලු වලට එන්නෙ අමුතු අමුතු අයිඩියාස් නොවැ!ඉතිං මේ දවස්වල ලෝඩ් කොක්ගෙ ඔලුවටත් ඔය වගේ අමුතු අයිඩියා පාරක් ඇවිල්ලයි තිබුනෙ.හැබැයි ඉතිං නෝටි අයිඩියා එකක්නං නෙවෙයි, පොඩි ෆිල්ම් එකක් හදන අදහසක්.පොර ඉතිං විභාගෙට පාඩම් කරන වැඩෙත් පොඩ්ඩක් පැත්තකින් තියලා ෆිල්ම් එක හදන වැඩේට අතගැහුවලු.

මුලින්ම ලෝඩ් කොක්ට තිබුන අභියෝගය වුණේ ෆිල්ම් එක හදන්න වීඩියෝ කැමරාවක් හොයාගන්න එක.හැබැයි වාසනාවට ඒ වැඩේ එච්චර මහන්සි නොවී කරගන්න මෑන්ස්ට පුලුවන් වුණාලු.මොකද ඒ දවස්වල තාරබාසු ළග අලුතින්ම ගත්තු විඩියෝ කැම් එකක් තිබුනා.ඉතිං ලෝඩ් පොඩි බටර් පාරක් ගෑවට පස්සෙ ෆිල්ම් එක වීඩියෝ කරන්න තමන්ගෙ කැම් එක දෙන්න තාරබාසු කැමති වුණාලු.ෆිල්ම් එකේ සහාය අධ්‍යක්ෂක වුණේ ඉතිං වෙනිං කවුරුවත් නෙවෙයි, අපේ පුරුපුරු.දැන් ලෝඩ්ටයි පුරුපුරුටයි ඊළගට තිබුනෙ ෆිල්ම් එකට ඕනෙ නළුවො ටික තෝරගන්න එක.
ඊට කලින් ෆිල්ම් එකේ කතාව කියලා ඉන්න එපායැ! කෙටියෙන් කිව්වොත් මේ ෆිල්ම් එකේ තියෙන්නෙ පෘථිවියට එල්ලවෙන ඒලියන් ඇටෑක් එකක්, එක්තරා වීරයෙක් මැදිහත් වෙලා නවත්තන හැටි.ෆිල්ම් එකේ නම තමයි "ස්ටාර් වෝර්ස් XVI".ඉතිං මුලින්ම තිබුනෙ පෘථිවිය බේරගන්න වීරයගෙ කැරැක්ටර් එකට නළු බට්ටෙක් තෝරගන්න එක.මේ කැරැක්ටර් එකට සුදුසුයි කියලා හැමෝගෙම ඒකමතික තීරණය වුණේ වෙන කවුරුත් නෙවෙයි, අපේ සාන්ත කෙල බේරේ.මොකද පිටපතේ හැටියට වීරයාට සක්වලයො විස්සක් විසිපහක් එක්ක තනියම ෆයිට් කරන්න වෙනවා.මේ ෆිල්ම් එකේ තිබුන විශේෂත්වය තමයි, ෆිල්ම් එක ඉවර වෙනකං අවසානය මොකද්ද කියලා කවුරුත් දැනගෙන නොහිටිය එක.
අපි ඉතිං කලින් කතාවලත් කිව්වා වගේ සාන්ත කියන්නෙ එච්චර දුරදිග හිතලා වැඩ කටයුතු කරන මෑන්ස් කෙනෙක් නෙවෙයි නොවැ!තමන්ව ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එකකට යෝජනා වෙලා කියලා දැනගත්ත ගමන්ම මෑන්ස් කළේ බොහොම සතුටෙන්, උඩ පැනලා කැරැක්ටර් එක බාරගත්ත එක.ඊට පස්සෙ ඉතිං පිටසක්වලයන්ගෙ චරිත වලට කට්ටිය තෝරගන්නයි තිබුනෙ.එක සක්වල සෙට් එකකට පුරුපුරු ඇතුලු රාත්‍රී ප්‍රහාරක බලකායත්, තවත් සෙට් එකකට පොන්ටින් ඇතුලු වෙන කට්ටියකුත් විදිහට පිටසක්වල සෙට් දෙකක් රගපාන්න අන්තිමේදි තීරණය කෙරුණලු.
පිටසක්වලයන්ගෙ ආයුධ විදිහට තෝරගත්තෙ හොස්ටල් එකේ ජාතික ආයුදේ වෙච්චි කොට්ටෙලු. පුරුපුරුලගෙ සක්වල සෙට් එක නයිට්වරු වගේ බෙල්ලෙ ටවල් ගැටගහගෙන, දිග කලිසමට උඩින් ජොකා ඇදගෙන පිටිපස්ස ජනේලෙන් පෘථිවියට එන්න තමයි තීරණය වුණේ.පොන්ටින්ලගෙ කට්ටිය ඔලුවට ජොක්කු දාගෙන, ටවල් ඇදගෙන ඉස්සරහ දොරෙන් පෘථිවියට එන්න තීරණය වුණාලු.ෆිල්ම් එක ෂූට් කරන්න නියමිත වෙලාව වුණේ කොටියා සර් නිදාගත්තට පස්සෙ මහ රෑ.ඒ වගේම තාක්ෂණයෙ හිගකම හින්දා, ෆිල්ම් එකට ඕනෙ කරන බැක්ග්‍රවුන්ඩ් මියුසික් යොදන්න වුණේ කටින් එක එක සද්ද දාන්න දක්ෂයෙක් වුණ හොංකොංට.
දැන් ඉතිං "ස්ටාර් වෝර්ස් XVI" චිත්‍රපටිය හදන්න ඕනෙ කරන හැමදේම ලෑස්තියිලු.ඉතිං ෆිල්ම් එක හදන්න කලින් පොඩි රියසල් පාරක් දාන්න පිටසක්වල නළුවන්ට ඕනෙ වුණාලු.අර කලින් කිව්වා වගේ පිටසක්වලයො විස්සක් විතර දොරෙනුයි ජනේලෙනුයි පෘථිවිය(ඩෝම් එක) ඇතුලට ඇවිල්ලා, පෘථිවියේ වීරයාට ලොවෙත් නැතිවෙන ඇටෑක් එකක් දුන්නට පස්සෙ තමයි වීරයාට තේරුණේ බාරගත්ත චරිතෙ තියෙන ගැඹුරු බව.
ඉතිං සාන්තට ඕනෙ වුණාලු චරිතෙන් ඉල්ලා අස්වෙන්න.ඒත් ඉතිං අවාසනාවට ඒ වෙද්දි වීරයාගෙ කැරැක්ටර් එකට ඉදිරිපත් වෙන්න තරං වෙන කවුරුත් නිර්භීත තත්ත්වෙක හිටියෙ නෑලු.ඒ හින්දා අන්තිමට අකමැත්තෙන් වුණත් සාන්තටම තමයි කැරැක්ටර් එක බාරගන්න වුණේ.ඉතිං චිත්‍රපටිය වෙනුවෙන් වීරයාගෙ එකම ඉල්ලීම වුණේ
"පෘථිවියට හෙන ගැහුවත් කමක් නෑ, මට වැඩිය නෙලන්න එපා"
කියන එක.අන්තිමේදි ලෝඩ් කොක් සාන්තගෙ ඉල්ලීම් වලට එකග වුණාට පස්සෙ එදා රෑ ෆිල්ම් එක ෂූට් කරන්න කට්ටිය තීරණ‍ය කළාලු.
*********************************************************************************************
කොහොම හරි ඉතිං එදා රෑ කාලෙත් උදාවුනයි කියමුකො.දැන් අපේ යාලුවන්ගෙ සූදානම "ස්ටාර් වෝර්ස් XVI" ෆිල්ම් එක ෂූට් කරන්න.කැමරාකරු තාරබාසු "ඇක්ෂන්" කියලා සිග්නල් එක දුන්න ගමන් ෂූටින් වැඩේ පටන් ගත්තලු.මේක ඉතිං ෆිල්ම් එකක් කිව්වට පොඩි ඩොකියුමෙන්ටරි එකක් වගේ එකක්.

ලෝඩ් කොක් :-

"ඔව් මිත්‍රවරුනි, අපි අද ඔබ වෙත ගෙනඑන්නේ තාරකා යුද්ධ‍ය, එහෙමත් නැත්තං ස්ටාර් වෝර්ස් XVIයි.බලන්න මිත්‍රවරුනි, පෘථිවිය කොයිතරම් අර්බුධයකට ලක් වෙලාද? පිටසක්වල ජීවින් පෘථිවිය ආක්‍රමණය කරන්න ඔන්න මෙන්න.දැන් මුලු ලෝකයේම ඉරණම රැදී ඇත්තේ එක් පුද්ගලයෙක් මතයි.ඔහු සාන්ත කෙල බේරේ................................." ‍චිත්‍රපටය
දැන් ඉතිං ෆිල්ම් එක නැගලා යනවලු.සාන්ත කෙල බේරේ සිනාමුසු මුහුණෙන් බලාගෙන ඉන්නෙ පිටසක්වලයො ඇටෑක් එකට එනකං.ඉතිං ටිකකින් වැස්ස පායලා මෙරු මතුවෙනවා වගේ ජනේලෙනුයි, දොරෙනුයි අමුතු ඇදුම් ඇදගත්තු පිටසක්වලයො එකා දෙන්නා මතුවෙන්න පටන් ගත්තලු.ටික වෙලාවක් යනකොට සක්වලයො ටික ඔක්කොම පෘථිවියේ වීරයා වෙච්ච සාන්ත කෙල බේරේව වට කරගෙනලු.එක පාරටම දරුණු පිටසක්වලයො ටික සාන්ත කෙල බේරේට අනුකම්පා විරහිත ඇටෑක් එකක් දෙන්න පටන් ගත්තලු.
ලෝඩ් කොක්:-

"ඔව් මිත්‍රවරුනි, අපගේ පෘථිවිය අනාතයි.අපේ ලෝකයේ ගැලවුම්කරු සාන්ත කෙල බේරේට පිටසක්වලයෝ ඉතා දරුණු ප්‍රහාරයක් දියත් කරනවා.නමුත් සාන්ත කෙල බේරේ පෘථිවිය වෙනුවෙන් අවසන් මොහොත දක්වා සටන් කරනවා.ඔව්! ඔව්!! මේ මොහොතේ සාන්ත කෙල බේරේ පිටසක්වල පුහාර හමුවේ බිම ඇදක් උඩට ඇද වැටුනා.ඇද වැටුණු සාන්ත කෙල බේරේව පිටසක්වලයන් විසින් තමන්ගේ ලෝකයට අරන් යන ආකාරයයි මේ දිස්වෙන්නේ"
අන්තිමට ඉතිං අම්බානක කොට්ට පාරවල් කාපු සාන්තව, කට්ටිය ඩෝම් එකෙන් එළියට උස්සගෙන ගිය එක ගැන තමයි ලෝඩ් එහෙම විස්තර කළේ.ෆිල්ම් එකේ අන්තිමට ඉතිං පෘථිවියට ඇටෑක් කරපු පිටසක්වලයො, මේ ලෝකෙ වීරයා වෙච්ච සාන්ත කෙල බේරේවත් කිඩ්නැප් කරගෙන ගිය එක තමයි සිද්ද වුණේ.හරිම සාම්ප්‍රදායික නොවන අවසානයක් නේද?
ප.ලි - ස්ටාර් වෝර්ස් XVI ෆිල්ම් එක විනාඩි 15ක විතර වීඩියෝ එකක්.අවාසනාවට දැන් මේක පූසන්ගෙ දත්ත ගබඩාවෙන් මැකිලා ගිහින්.ඉතිං මේ ලිපිය කියවන හොස්ටල් යාලුවෙක් ළග වීඩියෝ එක තියනවනෙං අපිට ලැබෙන්න සලස්වන්න හොදේ!
ඒ වගේම අපි සාන්ත ගැනත් වැඩි විස්තර නොකියා ඉන්නං.මොකද මෑන්ස් ඉස්සරහට රටේ ජනප්‍රිය ක්‍රීඩකයෙක් වෙයි කියලා ලක්ෂණ පේන්න තියනවා.

Monday, August 23, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 3






ඉතිං යාලුවනේ පහුගිය දවස්වල අපි පළකරානෙ රාත්‍රී ප්‍රහාරක බලකාය 1 සහ 2 කොටස්.අද අපි කියන්න යන්නෙ මේ සීරීස් එකේ 3 වෙනි කොටස.ඊට කලින්, සීරීස් එකේ පරණ ලිපි බලපු නැති යාලුවන්ට මෙතනින් ගිහින් ඒවා බලලා එන්න පුලුවන්.

රාත්‍රී ප්‍රහාරක බලකාය 1
රාත්‍රී ප්‍රහාරක බලකාය 2

‍ඉතිං අපි කිව්වනෙ අන්තිමට කොහොමද රාත්‍රී ප්‍රහාරක බලකායයි, ලෝඩ් කොක් බලකායයි සාම ගිවිසුමක් ගැහුවෙ කියලා.දැන් මේ ක්‍රියාත්මක වෙන්නෙ සාම කාල සමය.දැන් ඉතිං දෙගොල්ලො හොද යාලුවොලු.ඔහොම ටික දවසක් යද්දි තමයි ලෝඩ් කොකුයි, පොන්ටිනුයි ඇවිත් පුරුපුරුලාට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ.යෝජනාවට කලින් ඉතිං බැක්ග්‍රවුන්ඩ් එක කියල ඉන්න එපායැ!

දැන් අපේ හොස්ටල් කතා කියවල කියවලාම, හොස්ටල් හිටපු නැති යාලුවොත් දල වශයෙන් දන්නවා හොස්ටල් එකක් කියන්නෙ මොකද්ද කියලා.ඉතිං ඒක හින්දා හොස්ටල් එකේ හැම ළමයෙකුටම කබඩ් එක ගානෙ තිබුනයි කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ ලයිමෝල්ටත් තිබුනලු ලස්සන කබඩ් එකක්.ඒක ඇරපු අතක් නෑ, ඔය උඩ රූපෙ තියෙන කබඩ් එක වගේමයි.හැබැයි අනිත් ළමයින්ගෙ කබඩ් වලට වඩා ලයිමෝල්ගෙ කබඩ් එකේ විශේෂත්වයක් තිබුනා.

සාමාන්‍යයෙන් කිසිම ළමයෙක් තමන්ගෙ කබඩ් එකේ ගොඩාක් වටින දේවල් දාගෙන හිටියෙ නෑ.ඒවයෙ තිබුනෙ ඇදුම්, පොත්පත් වගේ හොරකම් කළාට වැඩක් නැති දේවල්.ඉතිං තමන්ගෙ කබඩ් එක හැම තිස්සෙම ලොක් කරලා තියාගන්න කාටවත් ඕනෙකමක් තිබුනෙ නැහැ.තමන්ට වියදම් කරන්න අවශ්‍ය සල්ලි තිබුන ඇතුල් ලාච්චු විතරයි ගොඩක් වෙලාවට ලොක් කරලා තිබුනෙ.ඒත් ලයිමෝල්ගෙ කබඩ් එක තිබුනෙ හැම තිස්සෙම ලොක් කරලලු.නිකං නෙවෙයි, යතුරට අමතරව තඩි ඉබ්බෙකුත් දාලා.ඒ කියන්නෙ මෑන්ස්ගෙ කබඩ් එක කඩනවානං හොරාට ඉබ්බවත් කඩලා, යතුරු ලොක් එකත් කඩන්න වෙනවා.

ඒ වගේම ලයිමෝල් කවදාවත් කබඩ් එකේ දොර සම්පූර්ණයෙන් අරින්නෙ නෑ.කවුරුවත් බලන් ඉන්නවද කියලා දෙතුන් පාරක් වට පිට බලලා එහෙම තමයි දොර බාගෙට අරින්නෙ.ඒ වගේම ඇරපු හැටියෙම බොහොම ඉක්මනට දොර වහනවා.මේ ඔක්කොම කාරනා බලද්දි ඕන මනුස්සයෙකුට තේරෙනවා ලයිමෝල් තමන්ගෙ කබඩ් එක ඇතුලෙ මොනවා හරි වටින දෙයක් හංගගෙන ඉන්න බව.ඉතිං හොස්ටල් එකේ සගයොත් ලයිමෝල්ගෙ කබඩ් එක ගැන හිතුවෙ එහෙමයි.

ඔය ඕනෙම දෙයක් හංගගෙන ඉන්නකොට ඒක ගැන හොයන්න තියෙන කුතුහලය තව තවත් වැඩි වෙනවා නොවැ!ඉතිං ලයිමෝල්ගෙ කබඩ් එකට අපල කාලය උදාවුණේ ඔන්න ඔය හේතුව හින්දයි.මෑන්ස්ගෙ කබඩ් එක ඒ දවස්වල "ආදරය" වගේ මාතෘකාවක්.ඕක ගැන හැමෝම කතාකරන්න උනන්දු වෙනවා.ඒ වගේම කවුරුත් ඕක ගැන හරියට දන්නෙත් නෑ.ඉතිං කුතුහලය වැඩිකමටම ගොඩක් දෙනෙක් ලයිමෝල්ගෙ කබඩ් එක කඩලා බලන්න බලාගෙන හිටියලු.

ලයිමෝලුත් දැනගෙන හිටියෙ තමන්ගෙ කබඩ් එකට බැච් එකේ අනිත් ළමයින්ගෙ තිබුන ආදරේ.ඒක නිසා මෑන්ස් පුලුවන් හැම වෙලාවෙම කබඩ් එක ඇහැට පේන තෙක් මානෙ තමයි හිටියෙ.කොහෙහරි ගමනක් ගියත් ලයිමෝල් ආපු හැටියෙ කරන්නෙ ඇවිත් කබඩ් එක චෙක් කරලා බලන එක.කොටින්ම පොර තමන්ගෙ දිවි පරදුවට තියලා තමයි කබඩ් එක රැක්කෙ.ඒක හින්දම මීට කලින් මෑන්ස්ගෙ කබඩ් එක කඩන්න එක එක ළමයි කරපු මිෂන් ගණනාවක්ම ෆේල් වෙලා තිබුනා.

අපි කලින් ලිපියෙ කිවුවනෙ ලයිමෝල් හිටියෙ ලෝඩ් කොක් බලකායෙ කියලා.ඒ වුණත් බලකායෙ ඉතුරු සාමාජිකයො වෙච්ච ලෝඩ් කොක්වත්, පොන්ටින්වත් දැනගෙන හිටියෙ නෑ මෑන්ස්ගෙ කබඩ් එක ඇතුලෙ මොනවද තිබුනෙ කියලා.ඉතිං හිතාගන්න පුලුවන්නෙ ලයිමෝල්ගෙ සිකියුරිටි මෙෂර්මන්ට් ගැන.මේ දවස්වල පුරුපුරුටයි, මාලුකට්ටටයිත් මේ කබඩ් එක හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ.

ඔය අතරෙ තමයි ලෝඩ් කොකුයි, පොන්ටිනුයි ඇවිත් පුරුපුරුලාට අර අපූරු යෝජනාව ඉදිරිපත් කළේ.දැන් ඉතිං හිතාගන්න පුලුවන්නෙ මොකද්ද යෝජනාව කියලා.ඒක තමයි ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේ.කරන්න බැහැ කියලා සම්මත වෙච්ච, මෙච්චරකල් කාටවත් කරන්න බැරිවෙච්ච, කාගෙත් එකම හීනය වෙච්ච, ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේ.ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි ලෝඩ් කොක් බලකායයි, රාත්‍රී ප්‍රහාරක බලකායයි එකතු වෙලා කරන පළවෙනි මිෂන් එක.

ඉතිං මුලින්ම තෝරගන්න වුණේ ලයිමෝල් විතරක් ඩෝම් එකෙන් එළියට යන වෙලාවක්.මෑන්ස් කවදාවත් සෙල්ලම් කරන්න ගිය මනුස්පයෙක් නෙවෙයි.ස්පෝර්ට්ස් මොනවත් කළෙත් නෑ.ඉතිං ලයිමෝල් ඩෝම් එකෙන් චුත වෙන්නෙ එක්කො නාන්න ගියාම, නැත්තං බොගට ගියාම.ඒත් පොරට බොගට ගිහින් එන්න විනාඩි දෙකක්වත් යන්නෙ නැති නිසා කබඩ් එක කඩන වැඩේට බොග ටයිම් එක යොදාගන්න එක එච්චර ප්‍රැක්ටිකල් අයිඩියා එකක් වුණේ නැහැ.ඉතිං මේ විදිහට බැලුවාම වැඩේට සුදුසුම වෙලාව වුණේ මෑන්ස් නාන්න යන ටයිම් එක.

හැබැයි මෙතනත් පොඩි ප්‍රශ්නයක් තිබුනා.ලයිමෝල් සාමාන්‍යයෙන් නාන්නෙ දවස් හතරකට විතර සැරයක්.හික්ස්...සමහරවිට වතුර අපතේ යවන එක නරක වැඩක් හින්දා වෙන්නැති.ඉතිං පොර නාන්න යන වෙලාව මගඇරුනොත් වැඩේ තව දවස් ගානකට කල්දාන්න වෙනවා.ඒ වගේම ලයිමෝල්ට නාන්න යන්නෙත් විනාඩි කීපයක් විතරයි.ඉතිං අපේ යාලුවො ටික කළේ ලයිමෝල්ගෙ දිනචරියාව ගැන ඔත්තු බලන්න බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටාව යොදවපු එක.

ඉතිං ඔහොම දවසක් දෙකක් යනකොට හදිස්සියෙන්ම මාලුකට්ටාගෙන් සුභ පණිවිඩයක් ආවලු.ඒ තමයි ලයිමෝල් නාන්න ගියයි කියන පණිවිඩේ.වහාම ක්‍රියාත්මක වෙච්ච රාත්‍රී ප්‍රහාරක බලකාය සහ ලෝඩ් කොක් බලකාය කෙලින්ම ලයිමෝල්ගෙ කබඩ් එක ළගට දිව්වලු.ආ..කියන්න බැරිවුණානෙ.මේ මිෂන් එකට විශේෂ පුද්ගලයෙක් විදිහට සංජුවත් යොදාගෙනයි තිබුනෙ.මොකද මෑන්ස් වඩුවැඩ වලට බොහොම දක්ෂ ළමයෙක්.ඉතිං පුරුපුරුලා ප්ලෑන් කරපු විදිහට කබඩ් එක කඩන්න වඩුබාස් කෙනෙක්ගෙ සහයත් අත්‍යාවශ්‍යයි.

මීට කලින් ඔය කබඩ් එක කඩන්න ට්‍රයි කරපු හැමෝම ට්‍රයි කරලා තිබුනෙ ඉස්සරහ පැත්තෙන් කබඩ් එක කඩන්න.ඒ කියන්නෙ කබඩ් එකේ ලොක් කඩලා ඒක අරින්න.ඒත් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කබඩ් එකේ පිටිපස්සෙන් ඒක කඩන්න.කඩන්න කිව්වට කපන්න.ඉතිං අපේ යාලුවො සෙට් එක ලයිමෝල්ගෙ කබඩ් එක ළගට ගිහින් වැඩේ පටන් ගත්තලු.මේකට ඕනෙ වුණේ නියනකුයි, නියනට ගහන්න ලොකු දෙකේ දෙකේ පොල්ලකුයි විතරයි.ඉතිං සංජු වගේ ප්‍රොෆෙෂනල් බාස් කෙනෙකුට කබඩ් එක පිටිපස්සෙන් පොඩි හොර දොරක් කපන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

දැන් තමයි හැමෝම බලාපොරාත්තුවෙන් හිටපු වෙලාව.ලයිමෝල්ගෙ කබඩ් එක ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්න මේ වෙද්දි ඩෝම් එකේ හිටපු හැමෝම ඇවිල්ලලු.ඉතිං සුබ මොහොතින් සංජු හොර දොර ඇරියට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ ලයිමෝල් මෙච්චර කල් හංගගෙන හිටියෙ මොනවද කියලා.

කබඩ් එකේ එක කොනක තිබුනෙ පුස්කාපු කේක්, පුස් බිස්කට් වගේ දේවල්.පුස්කාපු නැති බිස්කට් පැකට් දෙකකුත් තිබුනා.අනිත් කොනේ තිබුනෙ සන්ලයිට් වගේ රෙදි හෝදන සබනුයි, ඇගේ ගාන සබනුයි මහ ගොඩක්.ඊට අමතරව මෑන්ස්ගෙ ඇදුම් පොත්පත් වගේ දේවල් තමයි තිබුනෙ.මදෑ ඉතිං කට්ටිය වටින දේවල් දකින්න බලාපොරොත්තුවෙන් මහා මිෂන් එකක් කොළා!

බලාගෙන යද්දි වෙලා තියෙන්නෙ මේකයි.ලයිමෝල් කියන්නෙ ඒ දවස්වල නියම ලෝබයා.ඉතිං ගෙදරින් හම්බවෙන කේක්, බිස්කට් වගේ කෑම අනිත් ළමයින්ට දෙන්න වෙයි කියලා හොරෙන් තනියම කන එක තමයි මෑන්ස්ගෙ වැඩේ.කෑවට පස්සෙ ඉතුරු කෑම පස්සෙ කන්න කියලා තමයි කබඩ් එකෙන් අරන් තියල තියෙන්නෙ.ඒත් මෑන්ස් කන සීඝ්‍රතාවයට වඩා වේගෙන් කෑම ලැබෙන නිසා අන්තිමට වෙන්නෙ කබඩ් එකේ කෑම ගොඩගැහෙන එක.ඉතිං ලයිමෝල් වෙන කාටවත් කෑම දෙන්නෙ නැති නිසා ඒවා ටික දවසක් යද්දි පුස් කනවලු.

ඒ වගේම මෑන්ස් ලෝබයා නිසා සබන් කෑලිත් අනිත් ළමයින්ගෙන් තමයි ගන්නෙ.ඉතිං අනිත් ළමයිනුත් පොර ගාව සබන් නැහැයි කියලා හිතලා තමන්ගෙ සබන් මෑන්ස්ට දෙනවා.අන්තිමට ලයිමෝල්ගෙ සබන් කන්ද ටික ටික ගොඩගැහෙනවා.මේ දේවල් අනිත් අයට මාට්ටු වෙනවට තමයි ලයිමෝල් තමන්ගෙ කබඩ් එකේ ඇතුල මෙච්චරකල් අනිත් අයගෙන් හංගලා තිබිල තියෙන්නෙ.

ඉතිං මෙහෙම කබඩ් එක චෙක් කර කර ඉන්න අතරෙ තමයි, මාලුකට්ටාගෙන් මැසේජ් එකක් ආවෙ ලයිමෝල් නාලා ඉවර බව.ඉතිං කට්ටිය වහාම හොර දොර වහලා තමන් හිටිය තැන් වලට ආපහු ගියාලු.ලයිමෝලුත් නාල ඇවිත් කබඩ් එකේ ඉබ්බා යහතින් ඉන්නවා දැකලා සැනසීමට පත්වුණාලු.ඊට පස්සෙ තමයි හොද සිද්දි ටිකක් වුණේ.අපි ඒ සිද්දි මොනවද කියලා රාත්‍රී ප්‍රහාරක බලකාය 4 (අවසාන) කොටසින් බලමුකො නේද?

ප.ලි - අපි කලින් ලිපියෙ කියපු සරුංගලේ අද සවස් යාමයේ කඩාගෙන යන ලදී.

Thursday, August 19, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 2


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කොහොමද ලයිමෝල්ට ක්ෂණික ඇටෑක් එකක් දුන්නෙ කියලා.අද අපි කියන්න යන්නෙ මේ සීරීස් එකේ දෙවෙනි කොටස.

කොහොමහරි ඉතිං පහුවදාට එළිවුණාලු.දැන් පුරුපුරුලා දන්නවා ලෝඩ් කොක්ගෙ සෙට් එක කොයි වෙලාවෙ හරි තමන්ට ගේමක් දෙනව කියලා.හැබැයි උදේ වරුවෙනං ලෝඩ්ලගෙන් කිසිම රියැක්ෂන් එකක් පේන්න තිබුනෙ නෑ.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය හිතුවෙ තමන්ට සටනට මුහුණ දෙන්න වෙන්නෙ රෑ කාලෙදි කියලලු.කට්ටිය එදා ඉස්කෝලෙ යන ගමන් කතා වුණෙත් ලෝඩ්ලගෙ ඇටෑක් එකට ෆේස් කරන ආකාරය ගැනලු.

ඉතිං ඔහොම කාලය ගෙවිල ගිහිං හවස් වරුවත් උදා වුණේ බොහොම ඉක්මනට.ඉස්කෝලෙ ගිහින් ආපු පුරුපුරු ලන්ච් එකටත් ගිහින් ආපහු ඩෝම් එකට ආවලු.ඊට පස්සෙ මෑන්ස් ඇදේ වාඩි වුණේ සපත්තු ගලවන්න හිතාගෙන.ඒත් එකපාරටම තමන්ගෙ පශ්චාත්භාගය තෙත්වෙලා යනවා වගේ දැනීමක් පුරුපුරුට ඇතිවුණාලු.එකපාරටම ඇදෙන් නැගිටපු පූසා ඊටපස්සෙ ඇද චෙක් කරලා බලද්දි මෙන්න බොලේ මුලු ඇදම අම්බානට තෙමිලා.වටපිටාවෙ බලද්දි තමයි මෑන්ස් දැක්කෙ රාත්‍රී ප්‍රහාරක බලකායෙ තවත් මෙම්බර්ස්ලා කීප දෙනෙක්ගෙම පස්සවල් තෙමිලයි කියලා.

බලද්දි වෙලා තියෙන්නෙ මේකයි.කවුරුහරි ගෝතයෙක් ලන්ච් එක වෙලාවෙ රාත්‍රී ප්‍රහාරක බලකායෙ සාමාජිකයන්ගෙ ඇදවල මෙට්ට වතුරෙන් තෙමලා.ඊටපස්සෙ ඒක උඩින් කලින් තිබුන බෙඩ්ෂීට් එකම දාලා.ඉතින් වාඩිවෙනකන් කාටවත් වැඩේ මීටර් වෙන්නෙ නෑ.අනිත් එක ඔය කොහු මෙට්ට තෙමුනම ලේසියෙන් වේලෙන්නෙත් නැහැ.ඉතිං මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙ ප්‍රධාන සැකය එල්ලවුණේ ලෝඩ් කොක් බලකායට.පස්සෙ විශේෂ විමර්ශනයක් කරලා බලද්දි තමයි එළිවුණේ එදා ලන්ච් එකට පොන්ටින් සහ ලෝඩ් කොක් ඇවිත් නැති බව.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු මේක ඊයෙ කරපු වැඩේට තමන්ගෙ ප්‍රතිවාදින්ගෙන් ආපු රිටර්න් එකක් කියලා.

ඊට පස්සෙ අපේ ‍යාලුවො කට්ටිය තීරණය කළේ තමන්ට කරපු අපහාසෙට එදා රෑටත් ලෝඩ්ලට ගේමක් දෙන්න ඕනෙ කියලා.ඉතිං ඔහොම වෙලාව ගිහිල්ලා රෑ කාලෙත් උදා වුණාලු.දැන් පුරුපුරුලයි, ලෝඩ්ලයි දෙගොල්ලොම දන්නවා අද රෑට මොකක් හරි විශේෂ දෙයක් අනිවා වෙනවා කියලා.ගොඩක් වෙලාවට ඒක මහා කොට්ට සංග්‍රාමයක් වෙන්න පුලුවන්.(තමන්ගෙ බැච් එකේ ළමයි එක්ක අතින් පයින් ගහගන්න එක නොහොබිනා වැඩක් කියල තමයි කට්ටිය සැලකුවෙ) ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායනං හවස් වරුවෙ පොඩි ට්‍රේනින් සෙෂන් එකකුත් තිබ්බා.ලෝඩ් කොක් බලකාය මොනවා කළාද දන්නෙ නෑ.

ඔහොම වෙලාව ගිහින් රෑ එකොලහමාර විතර වුණා.ඔය අතරෙ කට්ටියට තිබුනෙ ස්ටඩි ටයිම්, ඩිනර් එක සහ ලේට් ස්ටඩි ටයිම් එක.ඉතිං ඔය වෙලාවල් වල සටන් කරන්න බෑ නොවැ!දැන් තමයි ගේමක් දෙන්න නියම වෙලාව.සුපුරුදු පරිදි ගරිල්ලා ඇටෑක් එකක් දෙන්න තමයි එදත් අපේ යාලුවො කතා වුණේ.ඉතිං කට්ටිය එක තැනකට හොරෙන් එකතු වෙලා ප්‍රී ඇටෑක් ඩිස්කෂන් එක තිබ්බා.දැන් තියෙන්නෙ ඇටෑක් එක ක්‍රියාත්මක කරන්න.හැබැයි තවමත් ඩෝම් එකේ ලයිට් ඕෆ් කරලා නැහැ.ඒ මදිවට පොන්ටිනුයි, ලෝඩ් කොකුයි ඩෝම් එක ඇතුලෙ පේන්නත් නැහැ.හැබැයි ලයිමෝල්නං ගොරව ගොරවා නිදිලු.

අපේ රාත්‍රී ප්‍රහාරක බලකායට මේ සීන් එක එච්චරම ඇල්ලුවෙ නෑලු.මොකද වෙනදට ලයිමෝල්ට ලයිට් දාලා තියෙද්දි නින්ද යන්නෙ නෑ.පුරුපුරුලා වැඩිපුර ටිකක් වෙලා ලයිට් දාල තිබුනත් ඒක ඕෆ් කරන්න කියලා බෙරිහන් දෙන එක තමයි මෑන්ස් කරන්නෙ.ඉතිං අපේ කට්ටිය කළේ සිටුවේෂන් රිපෝට් එකක් ගේන්න කියලා බුදධි අංශ ප්‍රධානියා වෙච්ච මාලුකට්ටව පිටත් කරල යවපු එක.මේ 11 වසර ඩෝම් එකේ තිබුන විශේෂ ලක්ෂණයක් තමයි ඇදන් සහ කබඩ් තිබුන විදිහට, ඒවා අස්සෙන් රිංග රිංග සතුරාට නොපෙනී ළගටම යන්න පුලුවන් වෙච්ච එක.

ඉතිං ටික වෙලාවකින් මාලුකට්ටා ඉන්ටෙලිජන්ස් රිපෝට් එක අරගෙන ආපහු ආවා.මෑන්ස් කියපු විදිහට ලයිමෝල් බොරුවට තමයි නිදාගෙන ඉදලා තියෙන්නෙ.පොන්ටිනුයි, ලෝඩ් කොකුයිත් ඩෝම් එක ඇතුලෙ ඉන්නවලු.පොන්ටින් වතුර බකට් එකක් තියාගෙන ලයිමෝල්ගෙ ඇද ළග හැංගිලා ඉන්නවලු රාත්‍රී ප්‍රහාරක බලකාය එතනට එද්දි ගහන්න.ඒ වගේම ලෝඩ් කොක් තවත් වතුර බකට් එකක් තියාගෙන හැංගිලා ඉන්නවලු ලයිට් එකේ ස්විච් එක තිබුන තැන.ඒ රාත්‍රී ප්‍රහාරක බලකායෙ කවුරුහරි ලයිට් ඕෆ් කරන්න ආවොත් ගහන්න.බලන් ගියාම ලයිමෝල්ව තමයි ඇම විදිහට පාවිච්චි කරල තියෙන්නෙ.

දැන් මේ වෙද්දි ඩෝම් එකේ ඉන්න අනිත් ළමයිනුත් දන්නවා සිද්දිය.කොයිකාගෙත් සපෝට් එක ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායට තමයි.ඒක නිසා මාලුකට්ටාට බුද්ධි තොරතුරු රැස් කරන එක එච්චර අමාරු වැඩක් වෙලා නැහැ.

ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු තමන්ගෙ ඇටෑක් ප්ලෑන් එක වෙනස් කරන්න.ඒ අනුව පුරුපුරුයි අමන්දානන්දයි එක පැත්තකින් ලයිමෝල්ගෙ ඇදට කිට්ටු කළාලු.ඒ වගේම වන්නියයි බෝරෙයි යුගලෙයි, මුදලාලියි සෝමෙ අයියයි යුගලෙයි, තවත් පැති දෙකකින් ලයිමෝල්ගෙ ඇදට කිට්ටු කළාලු.හැබැයි කිට්ටු කළේ නිකං නෙවෙයි, ජාතික ආයුදේ වෙන කොට්ටෙත් අරගෙන.

දැන් තියෙන්නෙ ලයිට් ඕෆ් කරලා ඇටෑක් එක දෙන එක.මොකද දැන් පුරුපුරුලා තමන්ගෙ ප්‍රතිවාදියො ඉන්න තැන් දන්න නිසා කලුවරේම වුණත් ගේම දෙන්න පුලුවන්.ඒ වගේම පොන්ටින්ලා රාත්‍රී ප්‍රහාරක බලකාය ස්ථානගත වෙලා ඉන්න තැන් දන්නෙ නැති නිසා, එතකොට මෑන්ස්ලට කලුවරේ හිතාගන්න බෑ මොකද්ද වෙන්නෙ කියලා.හැබැයි ලයිට් ඕෆ් කළේ නැත්තං පොන්ටින්ලට පුරුපුරුලව හොදට පේනවා.එහෙම වුණොත් ඉතිං වතුර නාලා තමයි නවතින්න වෙන්නෙ.ඒත් ඉතිං ලෝඩ් කොක්ට නොපෙනී ස්විච් එක තියෙන තැනට යන්නෙ කොහොමද?

ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය මේ ප්‍රශ්නෙ විසදන්න අපූරු උපායක් යෙදුවලු.ඒ තමයි මාලුකට්ටව යවලා ඩෝම් එකට කරන්ට් එක දෙන මේන් ස්විච් එක ඕෆ් කරන එක.ඉතිං මෑන්සුත් නිකං වෙන වැඩකට එළියට යනවා වගේ ගිහිල්ලා මේන් ස්විච් එක ඕෆ් කළාලු.ඒ එක්කම 10, 11 වසරවල ඔක්කොම ඩෝම් වල කරන්ට් එක ගියාලු.වහාම ක්‍රියාත්මක වෙච්ච රාත්‍රී ප්‍රහාරක බලකාය, ලෝඩ් කොක් බලකායට තමන්ගෙ මාරාන්තික කොට්ට ඇටෑක් එක දුන්නලු.
ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....

ලෝඩ් කොක් බලකායට හිතාගන්න බැහැ කොහෙන්ද ඇටෑක් එක එන්නෙ කියලා.
රාත්‍රී ප්‍රහාරක බලකායටත් හිතාගන්න බෑ තමන් මෙච්චර ලොකු ඇටෑක් එකක් දෙනවද කියලා.ටික වෙලාවකින් බලද්දි තමයි කට්ටියට තේරුනේ රාත්‍රී ප්‍රහාරක බලකායට අමතරව තව වොලන්ටියර්ස්ලා කීප දෙනෙකුත් ඇටෑක් එකට සෙට් වෙලයි කියලා.ඒ ලෝඩ් කොක් බලකායත් එක්ක ෆ්ලවර් ජම්ප් වෙලා හිටපු ස්ටඩි සෙට් එකේ කීපදෙනෙක්.

කොහොම හරි ලෝඩ් කොක්ලාට හොදට බැස්ටිය දුන්න අපේ යාලුවො සෙට් එක කලුවරේම දුවලා ගිහිං ඇදන් වලට නැග්ගලු.ඒ එක්කම මාලුකට්ටා ආපහු මේන් ස්විච් එක දැම්මලු.දැන් ලයිට් ඇවිත්.ලෝඩ් කොක් බලකාය වටපිට බලද්දි ගහපු එවුන් එක්කෙනෙක්වත් පේන්න නෑ.හැමෝම නිදි.වතුර පුරවපු බාල්දි වලින් වැඩක් ගන්නත් බැරි වුණා නොවැ!ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායට පස්සෙ වෙලාවක ගේමක් දෙනවා කියල හිතපු ලෝඩ් කොක්, පොන්ටින් සහ ලයිමෝල් නින්දට ගියාලු.

පුරුපුරුලා ඇදට පැන්නට මොකද, ඇදන් තවම තෙතයිනෙ.ඉතිං කට්ටියට නින්ද යන්නෙ නෑ.මේ වෙද්දි ලෝඩ් කොක්ලා ඇත්තටම ගොරව ගොරවා නිදි.ඉතිං නැගිටලා හිටපු රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටියට මතක් වුණාලු ලෝඩ් කොක් බලකායෙ කට්ටිය ගෙනාපු, අර වතුර පුරවපු බාල්දි ටික.අපේ පැරකුම්බා මහරජතුමත් කියල තියෙන්නෙ අහසින් වැටෙන එක දිය බිදක්වත් අපතේ යවන්න එපා කියල නොවැ!ඉතිං වතුර බාල්දි පිටින් අපතේ යවන එක එහෙම බලද්දි මහම පවුකාර වැඩක්.ඒ හින්දා රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු ඒ වතුර අපතේ නොයවා ලෝඩ්ලාට ස්නානයක් ලබල දෙන්න.

ඉතිං කට්ටිය කළේ හොරෙන් හොරෙන් ගිහිල්ලා අර වතුර බාල්දිවල තිබුන "පිරිසිදු" වතුර ටික ‍ලෝඩ් කොක්ගෙ සහ පොන්ටින්ගෙ නෙට් උඩට වක්කරන එක.පිරිසිදු කියලා කිව්වෙ මේ බකට් බොගේ තිබිලා අරගෙන ආපුවා හින්දා.ලයිමෝල්ට කලින් දවසෙත් ඇටෑක් කරපු නිසා මෑන්ස්ට මොනවත් කළේ නැහැ.අනික ලයිමෝල් කොහොමත් නාන්න ටිකක් හොරයි.

මේ නෙට් එක උඩට වතුර වක්කරාම ඇතුලෙ ඉන්න මනුස්පයා දෙපාරක් නානවා.පළවෙනියට නාන්නෙ අර මුලින්ම ඇගට වැටෙන මහ වතුර කන්දරාවෙන්.ඊට පස්සෙ නාන්නෙ නෙට් එකේ රැදිලා තිබිලා වැටෙන වතුර බින්දු වලින්.නෙට් එක හදලා තියෙන දැල් රෙද්දෙන් වතුර වැටෙන්නෙ හරියට ස්වභාවික වැස්සක් වහිනවා වගේ.ඉතිං යාලුවො දෙන්නට ස්වභාවික වැස්සක් වස්සපු අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය වහාම එතනින් අතුරුදහන් වුණාලු.

පහුවදා වෙද්දි කට්ටියටම ‍තේරුම් ගිහිං තිබුනෙ ගැටුම් වලින් ප්‍රශ්න විසදන්න අමාරුයි කියලා.ඉතිං ලෝඩ් කොක් සහ පුරුපුරු ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වලා තීරණය කළාලු සාමයේ පරවියා ඩෝම් එකට ගේන්න.ඒ අනුව රාත්‍රී ප්‍රහාරක බලකාය සහ ලෝඩ් කොක් බලකාය විසුරුවා හරින්නත් කට්ටිය එකග වුණාලු.ඉතිං ඔයින් මෙයින් වුණේ දෙගොල්ලො හොද යාලුවො බවට පත්වෙච්ච එක.

හැබැයි මේ සාමකාමී තත්ත්වෙ හැමදාටම තියෙන්න ඇද්ද? ඊට පස්සෙ මෙකද වුණේ? රාත්‍රී ප්‍රහාරක බලකාය 3 කොටසෙන් අපි කියන්නං මේ ගැන.

Wednesday, August 18, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය


ඉතිං යාලුවනේ දැන් අපේ පුසො ඉන්නෙ 11 වසරෙ නොවැ! ඒ කියන්නෙ හොස්ටල් එකෙත් කට්ටිය දැන් ඉන්නෙ අලුත් ඩෝම් එකක.අලුත් 11 වසර ඩෝම් එක 10 වසර ඩෝම් එකට වඩා ගොඩක් ලොකුයි.ඕන තරං ඉඩත් ඉතුරුයි.මොකද පුරුපුරුලගෙ බැච් එකේ හිටියෙ විසිපස් දෙනයිනෙ.කොටින්ම කියනවනං ඩෝම් එක ඇතුලෙ වන් බම්ප් ක්‍රිකට් ගහන්නත් කට්ටියට පුලුවන්කම ලැබුනා.ඉතිං කලින් අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් පුරුපුරු හිටියෙ ජනේලයක් අයිනෙ තිබුන ඇදකලු.හැබැයි මේ පාරනං ගියපාර වගේ නෙවෙයි, මෑන්ස් කැමැත්තෙන්මයි ප්ලේස් එක තෝරගත්තෙ.

11 වසරට යද්දි දන්න කියන හැම බැච් එකකටම වුණ සන්තෑසියක් තමයි බැච් එක කෑලි කෑලි වලට කැඩිල යන එක.ඒ කියන්නෙ ඔය කැම්පස් වල වගේ වෙන වෙනම කටයුතු කරලා ගහ මරා ගැනිල්ලක් නෙවෙයි.මොන දේ කළත් බැච් එකම එකට ඉන්නවා.මෙතන බැච් එක කැඩෙනවා කියලා අදහස් කළේ මතවාදී වශයෙන් බෙදෙන එකට.හැබැයි ඉතිං සමහර වෙලාවට ඔය මතවාදී ගැටුම් දුරදිග ගිය වෙලාවලුත් නැතුවාමත් නෙවෙයි.

11 වසරෙදි හැම බැච් එකක්ම සංගීත ප්‍රසංගයක් පවත්වන්න ඕනෙ.මේ සංගීත ප්‍රසංගයෙ නම තමයි "මි"යන්න.ඉතිං පුරුපුරුලගෙ බැච් එකත් ඔය විදිහට මහා පරිමාණයෙන් "මි"යන්න පැවැත්තුවලු.ගායනය වගේම වාදනයත් හොස්ටල් එකේ ළමයින්ගෙන්මයි.මේ "මි"යන්න ගැන වෙනම ලිපියක් පස්සෙ වෙලාවක දාන්නංකෝ.ඉතිං "මි"යන්න ඉවර වුණාට පස්සෙ තමයි හොදට තිබුන බැච් එක ටික ටික දෙදරලා යන්න පටන් ගත්තෙ.


කොහොම හරි ටික දවසක් යද්දි වෙන වෙනම සෙට් හතරක් 11 වසරෙ බැච් එක ඇතුලෙ හිටියා.ජුවාන්, පොල්පොට්, සලා, සකයා, සංජු, බටිල්ලා අයිති වුණේ "ආතල්" සෙට් එකට.මේ කට්ටියට ලෝකෙ පෙරලුනත් ගානක් නෑ.තමන්ගෙ පාඩුවෙ ආතල් එකේ තමයි ඉන්නෙ.


ඊළග සෙට් එක තමයි "ස්ටඩි" සෙට් එක.මේ සෙට් එකට අයිති වුණේ වවුලා, සෙන්සිටිව්, මැණික්, පැන්ඩා, හොං කොං, තාරාවා වගේ කීපදෙනෙක්.නමේ හැටියටම මේ අයගෙ ප්‍රධාන වැඩේ වුණේ අධ්‍යාපනය.අනික් ඒවා ඊට පස්සෙ.


ඊළග සෙට් එක තමයි පුරුපුරුලගෙ සෙට් එක.මේ සෙට් එකේ හිටියෙ පුරුපුරු, මාලුකට්ටා, වන්නියා, අමන්දානන්ද, මුදලාලි, සෝමෙ අයියා සහ බෝරෙ.මේ අයත් ඉතිං ‍ලක්ෂණ වලින් ගොඩක් කිට්ටු ස්ටඩි සෙට් එකට වඩා ආතල් සෙට් එකට.


අන්තිම සෙට් එක තමයි ලෝඩ් කොක්ගෙ සෙට් එක.මේ සෙට් එකේනං හිටියෙ තුන් දෙනයි.ඒ තමයි ලෝඩ් කොක්, පොන්ටින් සහ ලයිමෝල්.ඒ වගේම ඔය කිව්ව එක සෙට් එකකටවත් අයිති නැති ළමයිනුත් කීප දෙනෙක් හිටියා.


ඉතිං මෙහෙම සෙට් වලට බෙදිල හිටියත් හැමෝම බොහොම සහයෝගයෙන් ප්‍රශ්නයක් නැතුව තමයි හිටියේ.කෑවෙ බිව්වෙ, සෙල්ලං කළේ එකට.ඔය සෙට් භේදය මතුවුණේ හොස්ටල් එකෙන් හොරෙන් එළියට පනිද්දි වගේ වැඩ වලදි.එක සෙට් එකක් කවදාවත් සෙට් එකෙන් පිට කෙනෙක්ව ඔය වගේ වැඩ වලට එකතු කරගත්තෙ නැහැ.හැබැයි මුලින්ම කියපු සෙට් තුනම ලෝඩ් කොක්ගෙ සෙට් එකත් එක්ක තරහින් හිටියෙ.මේකට හේතුව වුණේ ලෝඩ් කොක්ගෙ ඒ දවස්වල තිබුන පණ්ඩිත වැඩයි, පොන්ටින්ගෙ අයහපත් කල්ක්‍රියාවයි.


විශේෂයෙන්ම පුරුපුරුලගෙ සෙට් එකයි, ලෝඩ් කොක්ගෙ සෙට් එකයි අතරෙ බරපතල විදිහට මත ගැටුම් ඇතිවෙන්න වැඩි කල් ගතවුණේ නෑ.ටික දවසක් යද්දි මේ මත ගැටුම් වලියක් යන මට්ටමටම දුර දිග ගියා.ඉතිං ලෝඩ් කොක්ගෙ සෙට් එකත් එක්ක තරහ පිට හිටපු අනිත් කට්ටියත් කළේ පුරුපුරුලගෙ සෙට් එකට සහයෝගය දුන්න එක.

ඔය අතරෙ තමයි තීරණාත්මක් සිද්දියක් වුණේ.ඩෝම් එකේ වැඩිය කට්ටිය නැති වෙලාවක ලෝඩ් කොක්ගෙ සෙට් එක මාලුකට්ටගෙ ඇග වැහෙන්න බෙඩ් ෂීට් එකක් දාලා මෑන්ස්ට තඩිබාලා තිබුනා.ඉතිං මේ සිද්දිය නිසා පුරුපුරුලගෙ සෙට් එක හිතේ අමාරුවෙන් තමයි හිටියෙ.ඔහොම ඉන්න අතරෙ තමයි මාලුකට්ටගෙ කබඩ් එකේ හුණු වලින් මෙතන කියන්න බැරි මට්ටමේ රුවන් වැකියක් ලියවිලා තිබුනෙ.ඉතිං ඕක කළේලෝඩ් කොක්ගෙ සෙට් එක කියලා ඔප්පු කරන්න බැරිවුණත්, පුරුපුරුලා දැනගෙන හිටියා ඔය වැඩේ කළේ ඒ අයමයි කියලා.


ඉතිං පුරුපුරුලගෙ සෙට් එක තීරණය කළාලු ලෝඩ් කොක්ගෙ සෙට් එකට විරුද්ධව වහාම නැගී සිටින්න ඕනෙ කියලා.එදා රෑ කට්ටිය සෙට් වෙලා මේ ගැන ඩිස්කෂන් එකක් දැම්මලු.එතනදි තීරණය වුණේ ලෝඩ් කොක්ලා වගේම පුරුපුරුලත් තමන්ගෙ හතුරන්ට විරුද්දව කොමාන්ඩෝ ගේම් දෙන්න ඕනෙ කියලා.ඉතිං එදා රෑම කට්ටිය "රාත්‍රී ප්‍රහාරක බලකාය" පිහිටෙව්වලු.

රාත්‍රී ප්‍රහාරක බලකායෙ අරමුණ තමයි සතුරාට නොදැනී ගිහිල්ලා ක්ෂණික ප්‍රහාර එල්ල කරලා ආපහු එන එක.ඉතිං නමේ තියනවා වගේම ඇටෑක් එකට යොදාගත්තෙ රෑ කාලය.මුල්ම ඇටෑක් එක කරන්න තීරණය වුණේ ලයිමෝල්ට විරුද්ධව.මොකද මෑන්ස් තමයි ලෝඩ් කොක්ගෙ සෙට් එකේ බුද්ධි අංශ ප්‍රධානියා.ඒ කියන්නෙ පුරුපුරුලා කතා කරන ඒවා හොරෙන් අහගෙන ඉදලා ලෝඩ් කොක්ටයි, පොන්ටින්ටයි රිපෝට් කරන්නෙ ලයිමෝල්.

ඉතිං මේ වෙද්දි ලෝඩ් කොක්ගෙ සෙට් එක, පුරුපුරුලා තමන් කරපු දේට විරුද්දව මොකක් හරි ඇටෑක් එකක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ.ඒක පුරුපුරුලත් දැනගෙනයි හිටියෙ.ඉතිං ලයිමෝල්ට විරුද්දව දෙන ඇටෑක් එක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනෙ කියලා රාත්‍රී ප්‍රහාරක බලකාය දැනගෙන හිටියා.


එදත් සුපුරුදු විදිහට ලයිට් ඕෆ් කරලා කට්ටිය නිදාගත්තා.ඊට පස්සෙ කතා කරගත්තු විදිහට රාත්‍රී ප්‍රහාරක බලකාය පුරුපුරුගෙ ඇද ළගට එකතු වුණා.මුලින්ම කළේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටව ඔත්තු බලන්න යවපු එක.මෑන්සුත් ඇදන් අස්සෙන් බඩගාගෙන ලයිමෝල්ගෙ ඇද තිබුන හරියට ගියා.ලයිට් ඕෆ් කළාට යන්තම් වටපිටාව පේන ගානට එළියක් ඩෝම් එක ඇතුලෙ තිබුනා.මොකද ඉතිං කොළඹ කියන්නෙ රෑට සම්පූර්ණයෙන් කලුවර වෙන නගරයක් නෙවෙයි නොවැ!


ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවා.බුද්ධි වාර්තා අනුව ලයිමෝල් ගොරව ගොරව නිදිලු.කොහොමත් ලෝඩ් කොකුයි, පොන්ටිනුයි හිටියෙ ඩෝම් එකේ වෙන කෙළවරක.ඒක හින්දා ලයිමෝල් කියන්නෙ ඊසි ටාගට් එකක්.දැන් තමයි රාත්‍රී ප්‍රහාරක බලකාය ක්‍රියාත්මක වෙන්න ඕනෙ වෙලාව.ඉතිං කට්ටියම තමන්ගෙ ආයුධ ටික ලෑස්ති කර ගත්තලු.


ආ.. කියන්න අමතක වුණානෙ.පුරුපුරුලගෙ බැච් එකේ හැම ළමයෙකුටම වගේ කොට්ට දෙක ගානෙ තිබුනා.එකක් නිදාගන්න පාවිච්චි කරන්න.අනික ආයුධයක් විදිහට.ඒ කියන්නෙ කොට්ට පොර වලට.හැම මා‍ස දෙක තුනකට පාරක්ම ඩෝම්ු එක ඇතුලෙ පැවැත්වෙන කොට්ටපොර ටූනමන්ට් එකට සහභාගි වෙන්න කියලා හැමෝම තමන්ගෙ කොට්ට ආයුදේ ලස්සනට හදාගෙනයි තිබුනෙ‍.පුරුපුරුගෙ කොට්ටෙත් යටට පුලුන් ඇට පුරවලා නියම යගදාවක් වගේ හදාගෙනයි තිබුනෙ.ඒකෙන් එක පාරක් හරියට කෑවොත් ඉතිං වන්ෂොට් නොකවුට්.

ඉතිං ඊටපස්සෙ කොට්ට ආයුධ ටික ගත්තු රාත්‍රී ප්‍රහාරක බලකාය ඇදන් අතරින් රිංගලා ගිහින් පැති කීපෙකින් ලයිමෝල්ගෙ ඇද වට කළාලු.මෙහෙම යද්දි කට්ටියට යන්න වුණේ බිම දිගේ බඩගාගෙන.මොකද කවුරුහරි කෙනෙක් තවමත් නිදි නැතුව ඇහැරිලා ඉදලා පුරුපුරුලව දැක්කොත් ඒක මිෂන් එකට බාධාවක් වෙන්න තිබුනා.


දැන් රාත්‍රී ප්‍රහාරක බලකාය ප්‍රහාරයට සියල්ල සූදානම්! ඉතිං හොරෙන් හොරෙන් ඉස්සරහට ගිය අමන්දානන්ද ලයිමෝල් ඇදට දාල තිබුන නෙට් එක ගැලෙව්වලු.ඒ එක්කම පුරුපුරු දුන්න සිග්නල් එකට අනුව ඉතුරු හය දෙනාම තමන්ගෙ කොට්ට වලින් නිදාගෙන හිටපු ලයිමෝල්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළාලු.කොහොම හරි මේ වැඩේට විනාඩියක් විතර යන්න ඇති.දැන් ලයිමෝල්ට මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ.හතර අතින් කුලුගෙඩි වගේ කොට්ට පාරවල් වැදෙද්දි තමයි පොර නින්දත් නොනින්දත් අතර තත්ත්වෙකින් ඇස් දෙක ඇරියෙ.

මේ වෙද්දිත් ලයිමෝල්ට හිතේ හැටියට තඩිබාලා හිටපු රාත්‍රී ප්‍රහාරක බලකාය මෑන්ස් ඇස් අරිද්දිම කලුවර අතරින් අතුරුදහන් වුණේ විදුලි වේගෙන්.ඉතිං ඔලුව උස්සලා ලයිමෝල් වටපිට බලද්දි මෑන්ස්ගෙ ඇද කිට්ටුවකවත් ගහපු මනුස්පයෙක් හොයාගන්න නෑ.පොර ඊට පස්සෙ නැගිටලා ගිහින් ලයිට් එක දාල බලද්දි මුලු ඩෝම් එකම නිදි.ඒ කියන්නෙ අපේ බලකායෙ කට්ටියත් හොරාට නිදි.දැන් ඉතිං කට්ටියට කරපු මිෂන් එකටත් වඩා අමාරු හිනාව තද කරගෙන ඉන්න එකලු.

කොහොමහරි ඉතිං ටික වෙලාවක් තමන්ට ඇටෑක් කරපු එවුන්ගෙ අම්මලාට පින් දිදී හිටපු ලයිමෝල් ආපහු ගිහිං නිදා ගත්තලු.ඊට පස්සෙ පුරුපුරුලත් නිදාගත්තලු.

පහුවදා මොකද වුණේ? අපි යාලුවනේ ඒ ගැන ඊළග ලිපියෙන් බලමුකො නේද?

Monday, August 16, 2010

හොස්ටල් ලයිෆ් - තණකොළ ගලවපු හැටි


ඉතිං යාලුවනේ අද අපි කාලෙකට පස්සෙ හොස්ටල් කතාවක් කියන්නයි යන්නෙ.ඒ වගේම මේක තමයි පූසන්ගෙ 10 වසරෙ සිද්දි වලින් අපි කියන්න බලාපොරොත්තු වෙන අන්තිම කතාව.මේ වෙද්දි පුරුපුරුලගෙ 10 වසරෙ බැච් එක තමයි හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙලා තිබුනෙ.මොකද මැර සතියෙදි කංජිනාත් ගුටි කෑවට පස්සෙ මුලු 11 වසරම හොස්ටල් එකෙන් අස් කළා නොවැ!

මේ වෙද්දි 2002 අවුරුද්ද ඉවර වෙන්නත් ළගයිලු.ඉතිං හැම ඉස්කෝලෙම වගේම කුරුදුවත්ත ඉස්කෝලෙත් දැන් එන්ඩ් ටර්ම් ටෙස්ට් එක ළං වෙලා.ඉතිං හොස්ටල් එකේ හිටපු ළමයි හැමෝම වගේ දැන් ගජරාමෙට පාඩම් කරනවලු.ඔය අධ්‍යාපන පැත්ත සැලකුවොත් හොස්ටල් එකේ හිටපු ළමයි කොටස් තුනකට බෙදන්න පුලුවන්.

පළවෙනි කොටස තමයි හැමදාම මහන්සිවෙලා පුරුද්දක් වශයෙන් පාඩම් කරන ළමයි.මෙහෙම අයනම් මුලු හොස්ටල් එකටම හිටියෙ කීප දෙනයි.ඊළග කොටස තමයි විභාගෙ කාලෙට විතරක් පාඩම් කරන ළමයි.හොස්ටල් එකේ ගොඩක් හිටියෙ මේ ජාතියෙ මෑන්ස්ලා.පුරුපුරුයි මාලුකට්ටයි අයිතිවුණෙත් මේ ගොඩටමයි.තුන්වෙනි කොටස තමයි ජීවිතේට පොතක් අතින් අල්ලන්න කැමති නැති ළමයි.කොටියා සර්ගෙ උවමනාවට ස්ටඩි ටයිම් එකේ පොතක් පෙරලගෙන හිටියට මේ අය කවදාවත් උනන්දුවෙන් ඉගෙනගත්තෙ නෑ‍.පොන්ටින්, සකයා වගේ අය අයිති වුණේ මේ ගොඩ‍ට.

ඉතිං ටර්ම් ටෙස්ට් එක කිට්ටු වෙද්දි අර කලින් කිව්ව පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අයිති ළමයි ඩයිනින් හෝල් එකට ගිහිං පාඩම් කරනවලු.තුන්වෙනි කොටසෙ ළමයි ඩෝම් එකට වෙලා මොකක් හරි පිස්සුවක් නට නටා ඉන්නවලු.

පුරුපුරුට තිබුන අප්සෙට් එක තමයි ඩයිනින් හෝල් එකේ පාඩම් කරන්න බැරි එක.මොකද මෑන්ස්ට පාඩම් කරන්න පුලුවන් නිදාගෙන විතරයි.ඉතිං ඇදේ පෙරළිලා නිදාගෙන පාඩම් කරන්න පුලුවන් ඩෝම් එක ඇතුලෙ විතරයි නිසා, පුරුපුරු ස්ටඩි ටයිම් එකේ ඇර අනිත් වෙලාවට පාඩම් කළේ ඩෝම් එක ඇතුලෙ.මොකද ස්ටඩි ටයිම් එකේදි ඩයිනින් හෝල් එක ඇතුලෙ පාඩම් කරන එක අනිවාර්ය කටයුත්තක්.

ඉතිං එක දවසක් පුරුපුරු හවස් වරුවක මෙහෙම ඇදේ පෙරලිලා පාඩම් කර කර ඉන්නවලු.බැච් එකේ පාඩම් කරන අනිත් ඔක්කොම කට්ටිය ඒ වෙලාවෙ ඩයිනින් හෝල් ගිහිල්ලයි හිටියෙ.ඩෝම් එකේ ඉතුරු වෙලා හිටියෙ පොන්ටින්, සකයා, පොල්පොට්, ජුවාන් වගේ කීප දෙනෙක් විතරයි.පහුවදා විභාගෙ විදිහට තියන්න නියමිත වෙලා තිබුන විද්‍යාව විෂය තමයි පුරුපුරු පාඩම් කර කර හිටියෙ.

ඉතිං මෑන්ස් පාඩම් කර කර හිටපු දර්ශනය පොන්ටින්ට පෙනුනලු.පොන්ටින් කියන්නෙ කොහොමත් එක විදිහකට ඉන්න පුලුවන් කොල්ලෙක් නෙවෙයි.ඒකනෙ අර පූසන්ගෙ රැවුල කපලා කොටියා සර්ගෙන් ගුටි කෑවෙ.ඉතිං පොන්ටින්ට අයිඩියා එකක් ආවලු පුරුපුරුට මොකක් හරි අරියාදුවක් කරන්න ඕනෙ කියලා.මෑන්ස් කළේ එලියට ගිහිං පොඩි ගල් කැට ටිකක් අරගෙන ඇවිත් ඈත ඉදන් පුරුපුරුට ගහන එක.පුරුපුරුටත් මොන දේ ඉවසන්න පුලුවන් වුණත් පාඩම් කරන වෙලාවෙ කරදර කරන එක ඉවසන්න බෑ.මේ බව පොන්ටිනුත් හොදට දැනගෙන හිටියලු.

ඉතිං පුරුපුරු කළේ ගල් ගහන වාරයක් ගානෙ නැගිටලා පොන්ටින්ගෙ ඥාති සමූහයාට පුන්‍යානුමෝදනා කරපු එක.ඇයි දෙයියනේ විද්‍යාව කියන්නෙ ඒ දවස්වල ඉදන්ම බලාපොරොත්තු තියාගෙන හිටපු සබ්ජෙක්ට් එක නොවැ!කොහොම හරි පොන්ටිනුත් වැඩේ අතඇරියෙම නැහැලු.දැන් පුරුපුරුට නස්තාර් වෙන්න ෆ්ලවර් ජම්ප් වෙලා තියෙන්නෙ.මේ අතරෙ තමයි පොන්ටින්ගෙ තියුණු ඇස් වලට ඩෝම් එකේ කෙළවරක තිබුන හොකී බෝලයක් පෙනුනෙ.ඒ දවස්වල ඉතිං බැච් එකේ එක එක ක්‍රීඩා කරපු ඈයො හිටපු නිසා ඩෝම් එක ඇතුලෙ හොකී බෝල, බේස් බෝල, ක්‍රිකට් බෝල, ටෙනිස් බෝල වගේ දේවල් ඕන තරම් තිබුනා.

දැන් ඉතිං අපේ කියවන යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ පොන්ටින්ගෙ ටිකිරි මොළේට‍ ආපු අයිඩියා එක ගැන.ඉතිං පොන්ටිනුත් කෙරුවෙ අර හොකී බෝලෙ අරගෙන පාඩම් කර කර හිටපු පුරුපුරුගෙ ඔලුවට දමලා ගැහුව එක.හොකී බෝලයක් තියන්නෙත් ලේසි පාසු බෝලයක් නෙවෙයිනෙ.හරියට නිකං ගල් ගෙඩියක් වගේ.


ඉතිං මේක වැදුන පාරටනං පුරුපුරුට අම්බානට රිදුනා.ඒ වගේම හිරකරගෙන හිටපු කේන්තිය එළියට පැන්නා.එදා තමයි මෑන්ස්ගෙ ජීවිතේ වැඩියෙන්ම ෆ්ලවර් ජම්ප් වෙච්ච දවස.

"පොන්ටි.......න්............"
වහාම පොත පැත්තකට විසි කරලා දැම්ම පුරුපුරු කෑ ගහගෙන නැගිට්ටා.හික්...දන්නවනෙ ඉතිං පූසන්ට තරහ ගියාම.පුරුපුරුගෙ මූණෙ තිබුන ලුක් එක දැක්කට පස්සෙ තමයි පොන්ටින්ට තේරුනේ වැඩේ ජෝන් බාස්ට ගියයි කියලා.ඉතිං මෑන්ස් කළේ වහාම ඩෝම් එකෙන් එළියට පැනලා දුවපු එක.දැන් පුරුපුරුගෙ එකම බලාපොරොත්තුව තමයි පොන්ටින්ව අල්ල ගන්න එක.

මේ වෙලාවෙ පුරුපුරු උඩට කිසිම ඇදුමක් ඇදලා තිබුනෙ නෑ.‍හොස්ටල් එකේ නීතියට අනුව උඩට ඇදුමක් නැතුව ඩෝම් එකෙන් එළියට බැසීම දඩුවම් ලැබිය හැකි වැරැද්දක්.ඒ වුණාට පුරුපුරුට ජම්ප් වුණ ෆ්ලවර් එකේ හැටියට මොන නීතිද?ඉතිං මෑන්ස් කළේ ඇදගෙන හිටපු කොට කලිසම පිටින්ම ඩෝම් එකෙන් එළියට පැනලා පොන්ටින් පස්සෙන් පන්නපු එක.ඩෝම් එකෙන් එළියට යන්න හදද්දිම සකයයි, සලයි පැනලා පුරුපුරුව නවත්තන්න ට්‍රයි එකක් දුන්නා.ඒත් පුරුපුරු කළේ ඒ දෙන්නවත් තල්ලු කරගෙන එළියට පැනපු එක.

දැන් පොන්ටින් පණ කඩාගෙන දුවනවා.පුරුපුරු අඩ නිරුවතින් මෑන්ස් පස්සෙ පන්නනවා.ඔහොම දුවද්දි එක පාරටම බිල්ඩින් එකක් ගාව වංගුවකින් හැරුන පොන්ටින් අතුරුදහන් වුණාලු.දැන් පුරුපුරුට පොන්ටින්ව හොයාගන්න බැහැ.මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුනේ ටී ෂර්ට් එකක් නැතුව ඇවිල්ලා කරගත්තු මෝඩකම ගැන.ඉක්මනට ගිහිං ටී ෂර්ට් එකක් දාගෙන ඇවිත් පොන්ටින්ව හොයන්න ඕනෙ කියලා හිතාගෙන ආපහු හැරෙද්දිම තමයි පුරුපුරු අතිශය භයංකාර දර්ශනයක් දැක්කෙ.

හත්වලාමයි.....වේවැලක් අතේ තියාගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි, කොටියා සර්...

උඩට ඇදුමක් නැතුව එළියට බැහැල හිටපු පුරුපුරුව දැකපු කොටියා සර්ගෙ ඇස් උඩ ඉන්දවුණා.බරපතල වැරැද්දක් නොවැ!ඉතිං අපේ පූසාට නිදහසට කාරනා කියන්නත් කලින් සිද්දවුණේ සර්ගෙන් වේවැල් පාරක් කාල ඉන්න.

"පුරුපුරු, මොකද මේ ඔය ළමයා උඩට ඇදුමක් නැතුව එළියට බැහැලා?"

කොටියා සර් එහෙම ඇහුවලු.දැන් ඉතිං බේරෙන්න තියෙන එකම ක්‍රමේ ඇත්ත කියන එක කියලා හිතාගත්තු පුරපුරු සර්ට වෙච්ච සිද්දිය කිව්වලු.

"ආ..දැන් ඔය ළමයා ගිහිල්ලා උඩට ඇදුමක් දාගෙන එනවා.එද්දි පොන්ටින්වත් එක්කගෙනම එන්න"

එහෙම කියපු සර් යන්න ගියාලු.ඔය තරමින්වත් බේරෙන්න ලැබීම ගැන පුරුපුරුට හරි සතුටුයි.ආපහු ඩෝම් එකට ගිය පුරුපුරු ටී ෂර්ට් එකකුත් ඇදගෙන වෙච්ච සිද්දිය සගයන්ට කිව්වලු.ඉතිං කට්ටියම තීරණය කළාලු පොන්ටින්ව හොයන්න යන්න.හැබැයි ගිහිං ගොඩ වෙලාවක් හෙව්වත් මෑන්ස් ගැන කිසිම නිව්ස් එකක් හොයාගන්න කට්ටියට බැරි වුණාලු.හවස් වෙද්දි තමයි පොන්ටින් ආපහු ඩෝම් එකට ආවෙ.බැලින්නං මෑන්ස් හැංගිලා ඉදලා තියෙන්නෙ 11 වසර ඩෝම් එකේ.ඇයි 11 වසරෙ ළමයින්ව හොස්ටල් එකෙන් අස් කළාට පස්සෙ ඩෝම් එක හිස් වෙලානෙ තිබුනෙ.මේ වෙද්දි පුරුපුරුගෙ කේන්තියත් නැති වෙලා තිබුනෙ.

ඉතිං ඊට පස්සෙ පුරුපුරුයි පොන්ටිනුයි ගියාලු කොටියා සර්ව හම්බවෙන්න.නඩුව අහපු සර් කළේ පොන්ටින්ට වේවැල් පාර කීපයක් දෙන එක.ඊට අමතරව පහුවදා විභාගෙ ඉවරවෙලා ඇවිත් පැය බාගයක් 10 වසර ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් මෑන්ස්ට නියම වුණාලු.ඇදුම් නැතුව ආකිමිඩීස් වගේ දුවපු වැරැද්දට පුරුපුරුට ලැබිච්ච පනිෂ්මන්ට් එක තමයි තණකොළ ගලවන වැඩේට පොන්ටින්ට සපෝට් කරන්න වෙච්ච එක.ඉතිං පහුවදා යාලුවො දෙන්නා එකතු වෙලා ඩෝම් එක ඉස්සරහා තිබුන තණකොළ ටික ඔක්කොම ගලවලා දැම්මලු.

ප.ලි - අපේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් වල ෆොන්ට් සයිස් එක වැඩි කරන්න මග පෙන්නපු නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට බ්ලොග් ගඩොල් උත්තමාචාර!!!

Monday, August 2, 2010

හොස්ටල් ලයිෆ් - මැර සතිය 2 - The Week of Evil 2



අපි කලින් ලිපියෙන් කිව්වනෙ යාලුවනේ මැර සතිය පටන් ගත්ත හැටියි, 10 වසරෙ ළමයි 11 වසරෙ අයියලගෙන් ගුටිකාපු හැටියි ගැන.අද අපි කියන්න යන්නෙ මැර සතියෙ ඉතුරු කොටස ගැන.ඊට කලින් මැර සතිය 1 කොටස කියවපු නැති යාලුවො කියවල ඉන්නකො.


ඉතින් දැන් මැර සතියෙ ජයග්‍රාහී හතර වෙනි දවසත් උදාවෙලා.පුරුපුරුලට හිතාගන්න බෑ මේකට විරුද්දව මොකද්ද කරන්න පුලුවන් කියලා.පළවෙනි ඔප්ෂන් එක තමයි කොටිය සර්ට පැමිණිලි කරන එක.ඒත් ඉතිං 11 වසරෙ වගේම 10 වසරෙත් ඔය පොඩි එවුන්ට හිංසාකරන මානසිකත්වය තිබුන කීප දෙනෙක් හිටියා.ඉතිං සර්ට පැමිණිලි කරන්න ගියොත් තමන්ගෙ කේස් එහෙමත් එළියට එයි කියල ඒ අයට බයයිලු.කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනව නොවැ!ඉතිං ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක වුණේ නෑ.


ඊළග ඔප්ෂන් එක තමයි අපේ සිකා යෝජනා කළා වගේ කට්ටිය සංවිධානය වෙලා 11 වසරට ගහන එක.ඒත් ඉතිං ඒ වැඩේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.10 වසරෙ හිටියෙ 25 දෙනයි.11 වසරෙ 45 දෙනෙක් හිටියා.ඉතිං 11 වසරට ගහන්නනං 9 වසරෙ සහයෝගයත් ගන්න වෙනවා.ඒත් 9 සහ 10 වසරවලුත් සෑහෙන අමනාපෙන් තමයි ඔය දවස්වල හිටියෙ.ඉතිං ඒ ඔප්ෂන් එකත් ප්‍රැක්ටිකල් එකක් බවට පත්වුණේ නෑලු.


ඔය අතරෙ තමයි ටර්නිං පොයින්ට් එක උදාවුණේ.


***********************************************************************************


ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන ඩයිනිං හෝල් එකේ දොරවල් දෙකක් තිබුනා.එක දොරකින් කාටත් යන්න එන්න අවසර තිබුනා.ඒත් අනිත් දොරින් යන්න එන්න අවසර තිබුනෙ 11 වසරෙ ළමයින්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හරි විතරයි.ෆොටෝ එකේ දකුණු පැත්තෙ ඉහල කෙලවරේ සුදු පාටින් රවුම් කරල තියෙන්නෙ ඔය පොඩි ළමයින්ට යන්න තහනම් කරපු දොර.ඔය නීති අවුරුදු ගණන් තිස්සෙ පැවතගෙන ආපු හොස්ටල් ට්‍රැඩිෂන් කියල තමයි කට්ටිය කිව්වෙ.ඒ වගේම බැරිවෙලා හරි ඔය දොරෙන් පොඩි එකෙක් ගියොත් ඒක ලොකු වැරැද්දක් විදිහට තමයි අයියලා සැලකුවෙ.

පුරුපුරුලගෙ බැච් එකේ හිටපු කංජිනාත් ටිකක් ස්පෙෂල් ඩයල් එකක්.ඒ කිව්වෙ මෑන්ස්ට හවස හයෙන් පස්සෙ ඇස් පේන්නෙ නෑ.ඉතිං කණ්ණාඩි දාගෙන තමයි පොර හැම තිස්සෙම හිටියෙ.නිදාගන්නෙත් අනිත් කොල්ලො වගේ නෙවෙයි ටිකක් අමුතු විදිහටලු.ඔය පහළ ෆොටෝ එකේ තියෙන්නෙ මෑන්ස් නිදාගන්න විදිහ.


ඉතිං හවස්වරුවෙ පොර මනෝ පාරක් ගහගෙන ඇවිද ඇවිද ඉන්නකොට අමතක වෙලා අර "තහනම්" දොරෙන් ඩයිනිං හෝල් එකට ඇතුල් වෙලා.වැරදිම වෙලාවෙ මෑන්ස් අතින් සිද්ද වෙච්ච වැරදි වැඩක්.ඒ වෙලාවෙ 11 වසරෙ අයියල කට්ටියකුත් ඩයිනිං හෝල් එක ඇතුලෙ පාඩම් කර කර ඉදලා.ඕ ලෙවල් විභාගෙටත් තව ටික දවසයි නොවැ!ඉතිං කංජියට වෙලා තියෙන්නෙ මහා නස්පැත්තියක්.


මැර සතියෙදි බරපතල වැරැද්දක් කරපු හේතුවට අයියල ටික කංජිනාත්ට අල්ලගෙන හොදටම ගහලා.ඒ මදිවට මෑන්ස් ඉතිං පුරුපුරුලා, පොන්ටින්ලා, සකයලා වගේ ගුටිකෑම දරාගෙන ඉන්න පුලුවන් මනුස්පයෙකුත් නෙවෙයි.ඉතිං පාරවල් කිපයක් ගහද්දි කංජිනාත්ට කලන්තෙ දැම්මලු.


දැන් අයියල කට්ටියත් නස්තාර් වෙන්න බය වෙලා වහාම 10 වසරෙ කීප දෙනෙක්ට එන්න කියල පණිවිඩයක් එව්වලු.කට්ටිය ගිහිං බලද්දි කංජියා බිම දොයි.හැබැයි මේ පාරනං 10 වසරෙ කට්ටියට ආයි අමුතුවෙන් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.අපේ යාලුවො ටික කළේ වහාම ගිහිං කොටියා සර්ට කම්ප්ලේන් කරපු එක.

සිද්දිය අහපු කොටියා සර්රුත් "කොටියෙක් වගේ" කෝපාවිෂ්ට වුණාලු.ඇයි ඉතිං මේ සිද්දියට සර්රුත් වගකීම ගන්න එපායැ.වහාම දුවල ගිය කොටියා සර් කංජිනාත්ව ටික දෙනෙක් එක්ක හොස්පිට්ල් එකට යැව්වලු.ඊට පස්සෙ තමයි 11 වසරෙ කට්ටියගෙ නරක කාලෙ උදාවුණේ.කොටියා සර් වේවැලක් අරගෙන මුලු හොස්ටල් එක පුරාම 11 වසරෙ කට්ටියට ගගහ පැන්නුවලු.පුරුපුරුලටත් ඒක දැකල හිනා.කොහොම හරි මැර සතියෙ ලොකුම මැරයා වුණේ කොටිය සර්.

හොද වෙලාවට කංජිට ඒතරං අමාරු කේස් එකක් වෙලා තිබුනෙ නෑ.මෑන්ස් පහුවදාම ආපහු හොස්ටල් එකට ආවලු.මේ සිද්දිය පහුවදා වෙද්දි මුලු ඉස්කෝලෙ පුරාම ආරංචි වෙලා.ප්‍රින්සිපල්ටයි ගුරුවරුන්ටයි ගොඩක් තරහ ගිහිං තියෙන්නෙ කංජියට ගහපු එකටත් වඩා "මැර සතිය" කියන නමටලු.ඉතිං ප්‍රින්සිපල්, කොටිය සර්, රිචා සර් ඇතුලු කට්ටිය මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් කරලා අන්තිමට තීරණය කළාලු කංජිනාත්ට ගහපු කට්ටියව හොස්ටල් එකෙන් අස් කරන්න.


මේ වෙලාවෙදි 11 වසරෙ අයියල තීරණය කළේ සිද්දියෙ වගකීම මුලු බැච් එකම එකතුවෙලා බාරගන්න.ඒ කට්ටිය බලාපොරොත්තු වුණේ එතකොට කට්ටියටම බලපාන පොඩි දඩුවමක් විතරක් ලැබෙයි කියලා.අනික ඕ ලෙවල් විභාගෙත් ළගයිනෙ.ඒත් සිද්ද වුණේ කවුරුත් නොහිතපු දෙයක්.සිද්දියෙ වගකීම මුලු බැච් එකම බාරගත්ත හින්ද වහාම ක්‍රියාත්මක වෙන විදිහට මුලු 11 වසර බැච් එකම හොස්ටල් එකෙන් අස් කරන්න කොටිය සර් තීරණය කළාලු.

මේ වගේ සිද්දියක් වෙලා තියෙන්නෙ හොස්ටල් එකේ ඉතිහාසෙ පළවෙනි වතාවටලු.ඉතිං අයියල කට්ටියට සිද්දවුණේ දවස් දෙකක් ඇතුලත ඔක්කොම බඩු පැක් කරගෙන හොස්ටල් එකෙන් යන්න.ඔන්න ඔහොම තමයි පුරුපුරුලගෙ බැච් එක 10 වසරෙදිම හොස්ටල් එකේ සීනියර් බැච් එක බවට පත්වුණේ.

***********************************************************************************


ප.ලි - දැන්නං කංජියා ඉන්නෙ කැන්ගරු දේසෙලු.මේ බ්ලොග් එක බලනවද දන්නෙත් නෑ.


ඒ වගේම හොස්ටල් එකෙන් අස්කරපු අයියලගෙ බැච් එකේ කට්ටිය වැඩි දවසක් නොගිහින්ම පුරුපුරුලගෙ බැච් එකේ ළමයි එක්ක සියලු තරහ මරහ අමතක කරලා හොදට ෆිට් වුණා.දැන්නං ඉතිං කොහෙදි හම්බවුණත් කරට අත දාගෙන මචං කියල තමයි දෙගොල්ලො කතා කරන්නෙ.

හොස්ටල් ජීවිතේ හැටි එහෙමයි.එකට ඉන්නකං මරාගන්නවා.ඒත් හොස්ටල් එකෙන් අයින් වුණාට පස්සෙ මරගත්තු හැමෝම සහෝදරයො වගේ ෆිට් එකේ ඉන්නවා.මොකද හොස්ටල් එකෙන් අස්වෙලා ටික ටික වයසින් වැඩෙද්දි තමයි කට්ටියට තේරෙන්නෙ හොස්ටල් එකේ ඉදිද්දි කරල තියෙන්නෙ පිස්සු වැඩ නේද කියලා.

හොස්ටල් ලයිෆ් එකේ පුරුපුරුට මුලින්ම කම්මුල් පාරක් ගහපු අයියා පස්සෙ කාලෙක මෑන්ස් එක්ක හොදට ෆිට් වුණා.මේ ළගදි එයා හදිසි අනතුරකින් ජීවතෙන් සමුගත්තා.ඉතිං එයාට නිවන් සුව අත්වෙන්න කියලත් පතලා මේ ලිපිය නවත්තන්නම්....

හොස්ටල් ලයිෆ් - මැර සතිය - The Week of Evil

පහුගිය දවස්වල අපි හොස්ටල් කතා කීපයක්ම ඔයාලට කිව්වනෙ.ඉතිං යාලුවනේ අදත් අපි හොස්ටල් කතාවක්ම තමයි ඔ‍යාලට අරගෙන ආවෙ.කවුරුත් දන්නවනෙ මොළේ තියෙද්දි බලේ නෑ, බලේ තියෙද්දි මොළේ නෑ කියන කතාව.මේ සිද්දිය ඒ කතාව ප්‍රායෝගිකව ඔප්පු වෙච්ච අවස්ථාවක්.


දැන් ඔන්න පුරුපුරුලා 10 වසරෙ අන්තිම හරියට ඇවිල්ලලු ඉන්නෙ.තව සති කීපෙකින් 11 වසරෙ.ඒ කියන්නෙ කට්ටිය හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙන්නලු යන්නෙ.ඉතිං ඊට පස්සෙ අර පුරුපුරුලට ගහපු අයියලට ආපහු පුරුපුරුලට තග දාන්න චාන්ස් එකක් එන්නෙ නෑ.දැන් ඉතිං 11 වසරෙ අයියල කට්ටියට මාර දුකයිලු.ඔය හැම බැච් එකේම වගේ මේ අයියලගෙ බැච් එකෙත් හිටිය අනුන්ට පීඩා කිරීමේ මානසිකත්වය තිබුන කීප දෙනෙක්.ඉතිං ඒ කට්ටිය තීරණය කළාලු හොස්ටල් එකේ සියලුම ජූනියර් බැච් වලට බල පැවැත්වෙන පරිදි "මැර සතියක්" ක්‍රියාත්මක කරන්න.(නම දැම්මෙත් ඒ අයම තමයි)


ඉතිං අයියල පොඩි එවුන්ට දැනුම් දුන්න විදිහට මේ මැර සතියෙදි කෙරෙන්නෙ වැරදි වලට උපරිම විදිහට දඩුවම් දෙන එකලු.ඉතිං ඒක හින්ද පුලුවන් තරම් වැරදි කිරීමෙන් වැලකිලා ඉන්න කියලත් කට්ටියට උපදෙස් ලැබුනා.ඒ වුණාට ඉතිං අපේ යාලුවො කට්ටියනං දැනගෙන හිටියා මොනතරං වැරදි නොකර හිටියත් අයියලා කට්ටිය බොරු වැරැද්දක් හරි දාල පොඩි එවුන්ට ටොපිය සෙට් කරන බව.


ඉතිං කට්ටිය අමාරුවෙන්, කිසිම වැරැද්දක් නොකර මැර සතියෙ පළවෙනි දවස ගත කළා කියමුකො.ඊළගට ආපු දෙවෙනි දවසෙදි තමයි 10 වසරෙ ළමයි අතින් "බරපතල" වැරැද්දක් වුණේ.ඒ තමයි දවල් කෑම පෝළිමට එන්න විනාඩියක් විතර පරක්කු වෙච්ච එක.ඉතිං අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් තමයි එතන සිද්ද වුණේ.වහාම ක්‍රියාත්මක වෙච්ච 11 වසරෙ අයියලා 10 වසරෙ මල්ලිලට දැනුම් දුන්නලු ආෆ්ටර් ඩිනර් එයාලව මීට් වෙන්න කියලා.


ඔන්න හවස් වීගෙන එද්දි 10 වසරෙ ඩෝම් එකට තව පණිවිඩයක් එනවලු අයියලව මීට් වෙන්න ඕනෙ කුප්‍රකට දෙල් ගහ යටදි කියල.අපි අර කලින් කතාවකදි කිව්ව වගේ "දෙල් ගහ යටදි මීට් වෙන්න" කියන්නෙ හොස්ටල් එකේ ළමයෙක්ට අහන්න ලැබෙන වැඩියෙන්ම බය හිතෙන පණිවිඩයක්.ඉතිං හොද සංග්‍රහයක් අත ළග කියල පුරුපුරුට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියෙ නෑ.

වැඩේ අම්බානට බරපතලයි කියල කට්ටියට තේරුණේ 10 වසරෙ බැච් එකේ හිටපු පොඩි පොඩි බට්ටො ටිකට එදා අයියලව මීට් වෙන්න ඕනෙ නෑ කියල ආපු තවත් පණිවිඩේකින් පස්සෙ.ඒ කියන්නෙ ඇග ලොකු, හොදට ගුටි කන්න පුලුවන් ඩයල් ටික විතරයි එදා රෑ දෙල් ගහ යටට යන්න ඕනෙ.මේ පණිවිඩේ ඇහුවට පස්සෙනං අපේ පුරුපුරු ලොක්කට හීන් දාඩියත් දැම්මලු.

කොහොම හරි ඉතිං සුබ නැකතත් උදාවුණාලු.ඩිනර් එකෙන් පස්සෙ බැච් එකේ හිටපු 25 දෙනාගෙන් ගුටිකන්න පුලුවන් 15 දෙනෙක් දෙල් ගහ යටට පිටත් වුණාලු.ගහ යටට ගියාට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ පහලොස් දෙනාට ගහන්න අයියල 30ක් විතර ඇවිත් ඉන්න වග.පුරුපුරුත් දැන් ඉතිං බලාගෙන ඉන්නවලු ගන දෙයියොවත් ඇවිල්ල යාලුවො ටික බේරගනී කියල.ඒත් ඉතිං දෙයියන්ටත් ඔයිට වඩා වැදගත් වැඩ නැතෑ කරන්න.

කොහොම හරි ඉතිං ඊට පස්සෙ කට්ටියව පෝලිමට හිටවල අයිය කෙනෙක් "හොස්ටල් විනය","සීනියෝරිටි" වගේ මාතෘකා ගැන ලෙක්චර් එකක් දුන්නලු.ඊට පස්සෙ උදා වුණේ වරදට දඩුවම් දීමේ වෙලාව.

"චට පට චට පට"

ගාල සද්දෙ එක්කම කම්මුල් වලට සැරට පාරවල් වදිනවා කට්ටියට තේරුණාලු.පුරුපුරුටනං පාරවල් විසිපහක් තිහක් විතර වැදුන බව මතකයි.කොට අයියලා උඩ පැන පැන තමයි 10 වසරෙ මල්ලිලට ගැහුවෙ.කොහොම හරි ඉතිං ගුටිකාල ඉවර වුණාට පස්සෙ පස් දෙනෙක් ඇරෙන්න ඉතුරු කට්ටියට ආපහු ඩෝම්ගත වෙන්න පර්මිෂන් ලැබුනලු.


ඉතුරු වෙච්ච පස්දෙනා තමයි පුරුපුරු, පොන්ටින්, සකයා, සලා සහ පොල්පොට්.ඒ අයට විරුද්දව එල්ල වෙච්ච චෝදනාව තමයි ගුටි කනකොට අයියලට රැව්වයි කියන එක.කොහොමත් පොන්ටිනුයි සකයයි එක්ක අයියලගෙ බැච් එකේ ලොකු තරහක් තිබුනා.මොකද ඒ දෙන්නම නාහෙට අහන්නෙ නැති දෙන්නෙක් කියල හොස්ටල් එක පුරාම ප්‍රසිද්ධයි.ඉතිං ඉතුරු වෙච්ච පස් දෙනාටත් තව ටිකක් ගුටිකෑවට පස්සෙ ආපහු යන්න පර්මිෂන් හම්බ වුණා.


පුරුපුරුට දැන් ඉතිං බ්‍රහස්පතියි සිකුරුයි ඇස් දෙක ඉස්සරහ පායල වගේ.වෙනද නොපෙනිච්ච තරු මූණ ඉස්සරහ බල්ටි ගහනවලු.ඒ මදිවට ගුටිකාල වැඩිවෙලා මූණත් හිරිවැටිලා.මොනවත් දැනෙන්නෙ නෑ.ආපහු ඩෝම් එකට යන ගමන් බොගට ගිහිං කණ්ණාඩියන් බැලුවට පස්සෙ තමයි මෑන්ස් දැක්කෙ කටින් ලේ එනවයි කියලා.


ඉතිං කටත් හෝදලා අයියලගෙ මෑණිවරුන්ගෙ ගුණ මෙනෙහි කර කර අපේ පූසා ඩෝම් එකට ඇවිල්ල නිදාගත්තලු.පහුවදා උදේ තමයි දැනගත්තෙ 9 වසරෙ සෙට් එකටත් ඒ වගේම සංග්‍රහයක් ලැබිලයි කියලා.ඉතිං පුරුපුරුලගෙ කට්ටිය සාකච්ඡා කළාලු මැර සතියට විරුද්ධව මොකද කරන්නෙ කියලා.සමහරු කිව්වලු කොටියා සර්ට ගිහිං කම්ප්ලේන් කරමුයි කියලා.තවත් සමහරු ඒකට කැමති වුණේ නෑලු.ඉතිං ඔය විදිහට තර්ක කර කර කට්ටිය මැර සතියෙ තුන් වෙනි දවසත් ගත කළාලු.


ඊට පස්සෙ තමයි යාලුවනේ තීරණාත්මක හතර වෙනි දවස උදා වුණේ.හතර වෙනි දවසෙදි මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?

ප.ලි - ඔය පහරදීම කොච්චර ටෙක්නිකලි කරනවද කියනවනං, පහුවදා උදේ වෙද්දි කාටවත් බැලූ බැල්මට හොයන්න බෑ අහවලාට තියෙන්නෙ කලින් දවසෙ ගුටි කාපු මූණක් කියලා.

Sunday, July 11, 2010

පූසන්ගේ රැවුල කැපිල්ල


එදා අපි කිව්වනෙ පුරුපුරු අයියලාගෙන් ගුටිකාපු හැටි.ඔන්න යාලුවනේ අද කියන්න යන්නෙ අපේ ඊළග හොස්ටල් කතාව.

කුරුදුවත්තෙ හොස්ටල් එකේ හිටපු ප්‍රධානම සත්තු කොට්ඨාශෙ තමයි පූසො.මොකද කොටිය සර් පූසන්ට ගොඩක් ආදරෙයි.ඉතිං කොටිය සර් තමන්ගෙ නිල නිවාසෙ පූසො ගොඩක් ඇති කළාලු.ඔය පූසො කියන්නෙ ගෙවල් ඇතුලෙ දාගෙන හදන්න පුලුවන් ජාතියෙ සත්තු නෙවෙයිනෙ.ඉතිං කොටිය සර්ගෙ පූසන්ගෙ වැඩෙත් හොස්ටල් එක පුරාම රවුම් ගහන එකලු.පුරුපුරුලනං එයාලට කිව්වෙ කොටි පූසො කියල.

පුරුපුරුලගෙ බැච් එකේ හිටපු අයගෙන් විශේෂ ඩයල් එකක් තමයි පොන්ටින්.මෑන්ස් ශිෂ්‍ය බටයෙක්.ඒ වගේම නියම ටීම් මෑන් කෙනෙක්.ඩෝම් එකේ කාට වුණත් වලියක් එහෙම වැටුනොත් පොන්ටින්ට ඒ වෙනුවෙන් බහින්න ආයි අමුතුවෙන් ආරාධනා කර කර ඉන්න ඕනෙ වුණේ නෑලු.හැබැයි මෑන්ස්ට එක එක දුර්වලතා තිබුනෙ නැතුවමත් නෙවෙයි.ඒකෙන් ප්‍රධාන එකක් වුණේ සත්තුන්ට එක එක අරියාදු කරන එකලු.ඉතිං ‍හොස්ටල් එක පුරා කරක් ගගහ හිටපු පූසො ටික පොන්ටින්ගෙ ටාර්ගට් වෙච්ච එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?

මේ දවස්වල මෑන්ස්ට අලුත් අයිඩියා එකක් ඇවිත් තිබුනලු.ඒ තමයි පුසන්ගෙ රැවුල් ගස් කපන එක.ඔය වැඩේ ඉතිං මහලොකු අමාරු වැඩක් වුනෙත් නැහැලු.පොඩි කතුරක් හොයාගන්න එක විතරයි කරන්න තිබුනෙ.මොකද කොටි පූසො හරිම හීලෑ සත්තු ජාතියක්.කතා කරපු පරක්කුවෙන් ළගට එනවලු.ඊට පස්සෙ පොන්ටින් උන්ගෙ රැවුල් ගස් කතුරෙන් කොට කරනවලු.

ඔය පූසන්ගෙ රැවුල් ගස් වැවෙන්නෙ උන්ගෙ ඇගේ පළලට.ඒ‍වයින් තමයි උන් දැනගන්නෙ මොකක් හරි පාරක් තමන්ට යන්න තරම් පළලයිද නැද්ද කියලා.බැරිවෙලාවත් ඔය අහුමුලු වල යද්දි රැවුල් ගස් දෙපැත්තෙ ගෑවුනොත් පූසො එතනින් එහාට යන්නෙ නෑ.ඉතිං රැවුල ශේව් කරපු පූසො ගමනාගමන අපහසුතාවලට ලක් වෙච්ච එක සාමාන්‍ය දෙයක්.

ඉතිං දවසක් දෙකක් යද්දි කොටිය සර්ටත් මීටර් වුණාලු මේ සිද්දිය.කොටිය සර්ත් හෙව්වලු කවුද මේ තමන්ගෙ පූසන්ට ගේම දෙන්න තරං නිර්භීත වෙච්ච පොර කියලා.ඒත් ඉතිං කොහෙ කියල හොයන්නද?පොන්ටින් කියන්නෙ හොස්ටල් එකේ හිටපු ළමයි තුන්සිය ගානෙන් එක්කෙනෙක් විතරයිනෙ.

ඔය අතරෙ තමයි ඒ තීරණාත්මක දවස උදා වුණේ.එක දවසක් පුරුපුරුල හවස සෙල්ලං කර කර ඉන්නකොට ආරංචි වුණාලු කොටිය සර් පොන්ටින්ව අල්ලගෙන හොදටම ගහනවයි කියල.ඉතිං කට්ටිය ගිහිල්ල බැලින්නං කතාව ඇත්ත.කොටිය සර් වේවැලක් අරගෙන පොන්ටින්ට හොදට බැස්ටිය දෙනවලු.මෑන්සුත් ඉතිං මූණ ඇඹුල් කරගෙන ගුටිකනවලු.පොන්ටින් කියන්නෙ කොච්චර කෑවත් රිදෙන්නැති කබරයෙක් වගේ ඩයල් එකක්.හැබැයි එදානං පොරට ටිකක් රිදිලා වගේ.දැන් කට්ටියට මාර ප්‍රශ්නෙ මෑන්ස් මාට්ටු වුණේ කොහොමද කියල.හැබැයි පස්සෙ තමයි සිද්දිය හරියටම ආරංචි වුණේ.

එදා පොන්ටින් පූසෙක්ගෙ රැවුල කප කපා ඉන්නකොට මෑන්ස්ට ගෙදරින් ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා.ඒ දවස්වල ඉතිං දැන් වගේ මොබයිල් ෆෝන් එච්චර භාවිතාවෙ නෑ නොවැ!ඉතිං කෝල් එන්නෙ හොස්ටල් එකේ ලෑන්ඩ් ෆෝන් එකටලු.ෆෝන් එක ති‍බුනෙ කොටිය සර්ගෙ නිල නිවාසෙ පහල තට්ටුවෙලු.ඔය ලයින් එකටම සම්බන්ධ වෙච්ච තව රිසීවර් එකක් තිබිල තියෙනව උඩ තට්ටුවෙත්.

කොහොම හරි ඉතිං පොන්ටිනුත් ගිහිං කෝල් එක ආන්සර් කරලා.ඔය අතරෙ තමයි රැවුල බාපු පූසත් ඔතෙන්ට ඇවිත් තියෙන්නෙ.

පොන්ටින්ගෙ තාත්තා :- ආ පුතා, කොහොමද? ඉස්කෝලෙ වැඩ හොදින් කෙරෙනවද?

පොන්ටින් :- ඔව් තාත්තෙ, හොදින් කෙරෙනවා! ඒක නෙවෙයි, මම මේ කෝල් එක එද්දි රැවුල කප කපා හිටපු පූසත් මෙතන ඉන්නවා

පොන්ටින්ගෙ කරුමෙටම මොකක් හරි හේතුවක් නිසා කොටිය සර් උඩ තට්ටුවෙ ඉදල රිසීවර් එක උස්සලා.හරියටම පොන්ටින් අර කලින් කියපු වාක්‍ය කියද්දිම තමයි කොටිය සර් රිසීවර් එක උස්සල තියෙන්නෙ.ඉතිං සම්පූර්ණ රිපෝට් එකම සර්ගෙ කනේලු.
කොටිය සර්ටත් ඉතිං දෙන දෙයියො ගෙටම ගෙනත් දුන්න වගේ.පොන්ටින්ගෙ ටෙලිෆෝන් කෝල් එක ඉවර වෙච්ච ගමන් පහලට ගිය කොටිය සර් මෑන්ස්ට හොදටම ගහල.එතකොට තමයි පුරුපුරුලට සිද්දිය ආරංචි වෙලා තියෙන්නෙ.

කොහොම වුණත් එදායින් පස්සෙ
පොන්ටින් නෙවෙයිලු කකුල් හතරකුයි නැට්ටකුයි රැවුල් ගසුයි තියන සතෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ....

Friday, July 9, 2010

හොස්ටල් ලයිෆ් 2 - ආෆ්ටර් ඩිනර්


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සෙ බ්ලොග් ගඩොල් ආපහු අවකාශෙට ආවා.එදා අපි කිව්වනෙ පුරුපුරු හොස්ටල් එකට ගිය හැටි.අද කියන්න යන්නෙ මෑන්ස්ට ඒ දවස්වලම සිද්ද වෙච්ච වැඩක්.

මුලින්ම කියන්න ඕනෙ කුරුදුවත්ත හොස්ටල් එකේ නීති රීති ගැන.කොයි හොස්ටල් එක වගේම කුරුදුවත්ත හොස්ටල් එකත් නීති රීති වලින් බහුල තැනක්.මොනව කරන්න ගියත් එතන මොකක් හරි නීතියක්.සමහර නීති පාලනාධිකාරියෙන් දාපුවා.සමහර නීති ජ්‍යේෂ්ටයො දාපුවා.උදේ නැගිට්ට වෙලාවෙ ඉදලා රෑ වෙනකං නීති පිලිපදින්න තමයි වෙන්නෙ.හැබැයි කොච්චර නීති තිබුනත් කියාගන්න බැරි අමුතුම සිරා ගතියක් හොස්ටල් ලයිෆ් එකේ තිබුනෙ.

දැන් ඉතින් හොස්ටල් එකේ නීති රීති ඔක්කොම කියන්න ගියොතින් මේ කතාව නීරස වෙනවා.ඒක හින්දා දැනට ඩයිනින් හෝල් එකේ නීති ගැන විතරක් කියන්නංකො.ඔන්න හොස්ටල් එකේදි දවසට කෑම වේල් හතරක් ලැබෙනවා.ඒ උදේ, දවල්, රෑ කෑමයි හවස තේ වේලයි.(මේවා ගැන වෙනම ලිපියක් දාන නිසා දැනට වැඩිපුර නොකියා ඉන්නංකො) ඉතිං ‍මුලු හොස්ටල් එකම කෑම කෑවෙ ඩයිනින් හෝල් එකේදි.කෑම නොකන වෙලාවට පාඩම් වැඩ වලට තමයි මේක යොදාගත්තෙ.

හැම කෑම වේලටම කලින් වසරෙන් වසර ඇවිල්ලා ඩයිනින් හෝල් එක ඉස්සරහ පේළියට ඉන්න ඕනෙ.මුලින්ම එන්නෙ පොඩි ඩයල්.ඒ කියන්නෙ 6 ඉදලා 9 වසරට යනකං කොල්ලො.ඊට පස්සෙ 10 වසර.ඊටත් පස්සෙ තමයි "ඩයල්" එන්නෙ.ඒ කියන්නෙ 11 වසරෙ කට්ටිය.

ඔහොම ළමයි හැමෝම ඇවිල්ලා ඉවරවුණාට පස්සෙ තමයි ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා ඇවිත් ළමයි පේලි ඉස්සරහින් හිටගන්නෙ.සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා මේ වැඩේට සහභාගි වෙන්නෙ නෑ.ඊට පස්සෙ තියෙන්නෙ 6 ඉදලා 11 වසර වෙනකං පේළි පිලිවෙලට ඩයිනින් හෝල් එක ඇතුලට දාන එක.

ඩයිනින් හෝල් එක ඇතුලට යන එකත් ලේසි පාසු වැඩක් එහෙම නෙවෙයි.පිලිවෙලට කොන්ඩෙ පීරල තියෙන්න ඕනෙ.ෂර්ට් එකක් ඇදලා ඒක යට කරල තියෙන්නත් ඕනෙ.බැගී දාන්නත් බැහැලු.ඒ මදිවට ඩිනර් එකටනං දිග කලිසමක් අදින එකත් අනිවාර්යයි.ඒ වගේම කෑම වේලෙන් වේලට වෙනස් වෙච්ච මෙතන කියන්න බැරිවුණ නීතිත් තියෙනවා.ඒවා පස්සෙ කියමුකො නේද?

ඉතිං වැදගත් හරිය පටන් ගන්නෙ ඩයිනින් හෝල් එක ඇතුලට ගියාට පස්සෙ.ඒක ඇතුලෙ මේස ගොඩක් තියනවා.එකක 8 දෙනෙක්ට ඉන්න පුලුවන්.මේ හැම මේසෙටම ඉන්චාර්ජ් වෙච්ච 11 වසරෙ ළමයෙක් ගානෙ ඉන්නවා.මේ අයට කියන්නෙ ටේබල් මොනිටර්ස්ලා කියල.ඉතිං අනිත් ළමයි මේසෙට එන්න, කෑම බෙදාගන්න, කෑම කන්න, ඒ වගේම මේසෙන් නැගිටල යන්නත් කලින් මේ ටේබල් මොනිටර්ස්ලගෙන් අවසර අරගෙන ඉන්න ඕනෙ.

අපේ පුරුපුරුත් ඉතිං හොස්ටල් ගිය අලුත දවසක ඔය නීති රීති ඔක්කොම පිලිපැදල ලන්ච් එකට ගියාලු.ඔය කාලෙ මෑන්ස් අලුත් හින්ද නීති රීති ගැන මහලොකු අවබෝධයක් තිබුනෙ නෑලු.ඔහොම ගිහින් ඉතිං මේසෙනුත් වාඩි වුණා කියමුකො.ටේබල් එකේ හිටියෙ ටේබල් මොනිටරුයි, 10 වසරෙ පුරුපුරුයි, තව පොඩි එවුන් හය දෙනෙකුයිලු.දැන් තියෙන්නෙ කෑම බෙදාගන්න.

මුලින්ම කෑම බෙදාගන්න ඕනෙ ටේබල් මොනිටර්.ඊට පස්සෙ සීනියොරිටි පිලිවෙලට තමයි බෙදාගන්න ඕනෙ.ඒ කියන්නෙ මුලින් ටේබල් මොනිටර්, ඊට පස්සෙ පුරුපුරු, ඊටත් පස්සෙ පොඩි එවුන් ටික. පුරුපුරුත් ඉතිං මේ ලෝකෙ සිහියෙන් ජීවත් වෙන මනුස්පයෙක් නෙවෙයි නොවැ.මෑන්ස් ඉතිං පැනපු ගමන් බත් පීරිසියක්ම බෙදා ගත්තලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මොකක් හරි වැරැද්දක් වුණා නේද කියල.

බැලින්නං අපේ ටේබල් මොනිටර් තවම කෑම බෙදාගෙන නෑ.මෑන්ස් බත් එක පැත්තකින් තියෙද්දි පූසා දිහෑ කන්න වගේ බලාගෙන ඉන්නවලු.පොඩි එවුන් සෙට් එකත් මහා අනුකම්පාවකින් පුරුපුරු දිහා බලාගෙන ඉන්නවලු, හරියට මරණෙට නියම වෙච්ච හරකෙක් දිහා බලාගෙන ඉන්නව වගේ.එතකොට තමයි පුරුපුරුට වැඩේ හරියටම මීටර් වුණේ.මෑන්ස් අතින් බරපතල වැරදි දෙකක් සිද්ද වෙලා.

1. ටේබල් මොනිටර්ට කලින් කෑම බෙදා ගැනීම
2. අවසරයකින් තොරව කෑම බෙදා ගැනීම

දැන් ඉතිං පුරුපුරු ගැහි ගැහී බලාගෙන ඉන්නවලු.මෑන්ස්ට තිබුන එකම එක්ස්කියුස් එක හොස්ටල් එකට අලුත් වෙච්ච එක විතරයි.ඔහොම ඉන්නකොට තමයි ටේබල් මොනිටර්ගෙ කටින් තීරණාත්මක වාක්‍යය පිටවුණේ

"මල්ලි, ආෆ්ටර් ඩිනර් මාව හම්බවෙනවා!"

හොස්ටල් එකේදි ආෆ්ටර් ඩිනර් කියල කියන්නෙ මරණිය දණ්ඩනයට කියන තවත් නමක් වගේ.මොකද ආෆ්ටර් ඩිනර් හම්බවෙන්න කියල කියන්නෙ ආදරේට නෙවෙයි.විශේෂයෙන්, දෙල්ගහ යටදි හම්බවෙන්න කිව්වොත් ඉතිං බඩුම තමයි.පුරුපුරු හොස්ටල් හිටපු ටික කාලෙට ඒ ටික දැනගෙන තිබුනා.ඉතිං කෑම කාල ඉවරවෙලා මෑන්ස් තමන්ගෙ ඩෝම් එකට ගියා.අපේ වීරයා එදා රෑ වෙන්න එපා කියල කොච්චර ප්‍රාර්ථනා කළාද කියල මෑන්ස් විතරමයි දන්නෙ.

කටුවා, ජුවාන් වගේ සගයන්ගෙ අදහස වුණේ පුරුපුරු අලුත් නිසා එච්චර ලොකු දඩුවමක් ලැබෙන එකක් නෑ කියල.කොහොම හරි ඉතිං එදා රෑ පුරුපුරු ආෆ්ටර් ඩිනර් 11 වසරෙ අයියව හම්බවෙන්න ගියාලු.

දැන් තියෙන්නෙ නඩු ඇසීම.මේ වගේ වෙලාවට සීනියර් බැච් එකේ අනිත් කට්ටියත් එනවලු ඔතෙන්ට.ඉතින් පුරුපුරුගෙ නඩුව අහන්නත් අයියල තුන් දෙනෙක් සෙට් වුණාලු.ඇත්තටම පුරුපුරු අතින් වෙලා තියෙන්නෙ පරණ ළමයෙක් අතින් වුණානං කොහෙත්ම සමාව දෙන්න බැරි වැරැද්දක්.ඒත් පුරුපුරු අලුත් නිසා මෑන්ස්ට පොඩි චාන්ස් එකක් දෙන්න අයියල තීරණය කළාලු.ඒ අනුව මෑන්ස්ට ඔප්ෂන් දෙකක් දුන්නලු

1. අයියලාට චිකන් ෆ්‍රයිඩ් රයිස් අරන් දීම
2. ගුටි කෑම

ඔය දෙකෙන් පුරුපුරු තෝරගත්තෙ ඉතිං අඩු වියදමකින් ෂේප් වෙන්න පුලුවන් වැඩේලු.ඒ කියන්නෙ ගුටි කෑම.ගුටි කෑමටත් සම්මත ප්‍රොටොකෝල් එකක් තියනවා.ප්‍රධාන දේ තමයි ගහන්නෙ කම්මුලට.ඒ මදිවට ගුටි කද්දි කන මනුස්සයා කෙලින් හිටගෙන අත් දෙක පිටිපස්සට දාගෙන ඉන්නත් ඕනෙලු.ඉතිං ටික වෙලාවකින්

චට...පට...
චට...පට...චට...පට...

සද්දෙකින් රෑ ආකාසෙ නිහඩ ගතිය නැතිවෙලා ගියාලු.
පුරුපුරුත් තුන්දෙනාගෙන්ම හොදට ගුටි කාල වැනි වැනී ඩෝම් එකට ගියාලු.

ටික වෙලාවකින් ජුවාන්, සලා, අමන්දානන්ද, පොන්ටින් ඇතුලු සෙට් එකකට 11 වසරෙ ඩෝම් එක ළගට එන්න කියල පණිවිඩයක් ආවලු.ටික වෙලාවකින් උන් සෙට් එකත් එනවලු කම්මුල් ටික රතු කරගෙන.බැලින්නං පුරුපුරුට ටේබල් මැනර්ස් ඉගැන්නුවෙ නෑ කියල ඒ සෙට් එකටත් අම්බානට බැස්ටිය දිල...

ප.ලි - ඔය කම්මුලට ගහන සිද්දි හොස්ටල් එකේ කොටිය සර්ට හොරෙන් සිද්ද කරපුවා.කවුරු හරි ළමයෙක්ට ගැහුව කියල කොටිය සර් දැනගත්තොත් ගහපු එකා එදාට ඉවරයි.ඒත් සීනියර්ස්ලට තිබුන බය හින්ද ඔය සිද්දි ගුටිකන මනුස්පයො අතින් එච්චර ලීක් වුණේ නෑලු.කොහොම හරි ගහන-ගුටිකන සංස්කෘතිය දැන්නං හොස්ටල් එකෙන් නැති වෙලා කියල තමයි ආරංචිය.