අඹ යාලුවෝ
Showing posts with label බූජි. Show all posts
Showing posts with label බූජි. Show all posts
Monday, December 20, 2010
මහා මාට්ටු වීම (Getting Caught Red Handed)
ඉතිං යාලුවනේ අද අපි හදන්නේ අපේ පුසන්ගේ 11 වසරෙ අන්තිම කතාවත් ඔයාලට කියන්න. මේ සිද්දිය සිද්දවුණේ අපේ පූසො සෙට් එක 11 වසරෙ මුල හරියෙ ඉන්නකොට. අපේ යාලුවො දන්නවනෙ, හැම අවුරුද්දෙම මුල් මාස කීපය ඉස්කෝලෙ ළමයින්ට ටිකක් විනෝදෙන් ඉන්න පුලුවන් කාලයක් බව. විශේෂයෙන් පිරිමි ඉස්කෝලවල මේ කාලෙට තියෙන්නෙ ගොඩක් නිදහස් වටාපිටාවක්. ඉතිං මේ වෙද්දි පුරුපුරුලා හිටපු කුරුදුවත්ත ඉස්කෝලෙ කොල්ලන්ටත් බිග් මැච් උණ හැදිලයි තිබුනෙ.
බිග් මැච් සීසන් එකට ඉතිං කොල්ලො හැමෝම පන්තියෙ ඉන්න වෙලාවක් හොයාගන්න එක, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ලේසි වැඩක්. ඉස්කෝලෙන් පැනලා ට්‍රකින් යන එක, ගර්ල්ස් ස්කූල් වලට පනින එක, බීච් එකට ගිහින් අනුමත වෙන එක වගේ දේවල් තමයි මේ කාලෙට කොල්ලන්ගෙ ටයිම් ටේබල් එකේ තියෙන්නෙ.ඉතිං මේ කියන අවුරුද්දෙ බිග් මැච් දවස්වලත් අපේ පුරුපුරු, උපාසක, මාලුකට්ටා වගේම පන්තියෙ අනිත් කොල්ලන්ගෙන් බහුතරයකුත් හිටියෙ ඉස්කෝලෙන් එළියෙලු.
මේ සිද්දිය වුණ දවසෙත් අපේ ගොඩක් යාලුවො හිටියෙ ඉස්කෝලෙන් එලියෙ. එක එක කට්ටිය කණ්ඩායම් විදිහට, එක එක තැන් වලට විසිරිලා ගිහින්ලු. අපේ පූසො සෙට් එක තවත් යාලුවො කට්ටියක් එක්ක එදා ගියෙ, මහා උපාසිකාවගෙ ගෙදර තාප්පෙ සායම් පිරියම් කරලා දීලා මහා පිනක් කරගන්න. පන්තියෙ හිටපු තව සෙට් එකක් කළේ සිප්පි කටු අහුලන්න බීච් එක පැත්තෙ යන එක. ඒත් මේ හැමෝටම හොරෙන් තවත් කීප දෙනෙක් සෙට් වුණේ වෙනමම වැඩකට යන්නලු.
හැමෝටම හොරෙන් කිව්වට ඉතිං, අපේ උපාසකටයි පුරුපුරුටයිනං ආරාධනාවක් ලැබුනා වැඩේට සහභාගි වෙන්න කියලා. ඒ වුණාට ඉතිං අපේ පූසන්ගෙ තියෙන සදාචාරසම්පන්නභාවය හින්දයි, තාප්පෙ පේන්ට් කරන වැඩේට යන්න තිබුන හින්දයි, පූසො තීරණය කළා මේ ගමන නොගිහින් ඉන්න. ඒ වුණාට ඉතිං යාලුවන්ට කරන උදව්වක් විදිහට පුරුපුරු කැමති වුණාලු මේ කට්ටියට බෑග් ටික තියලා යන්නයි, ඇදුම් මාරු කර ගන්නයි හොස්ටල් පහසුකම් ලබාදෙන්න.මොකද ඉතිං පන්තිය ඇතුලෙ බෑග් තියලා ගියොත් කට්ටියව අහුවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි නොවැ!
දැන් අපේ යාලුවො බලනවා ඇති මොකද්ද මේ කට්ටිය කරන්න ලෑස්ති වෙන වැඩේ කියලා. කලබල වෙන්න දෙයක් නෑ, කට්ටිය ලෑස්ති වෙන්නෙ මේ පොඩි චිත්‍රපටියක් බලන්න යන්න. එක අතකට බලද්දි ඒක ඉතිං නරක වැඩකුත් නෙවෙයිනෙ නේද?
කොහොමහරි ඉතිං මේ කට්ටිය පුරුපුරුට ස්තුති කරලා චිත්‍රපටිය බලන්නත් ගියා. හැබැයි අපේ යාලුවො ටික ෆිල්ම් හෝල් එකට ඇතුලුවෙන තැනදි ගහලා තිබුන "ඇඩල්ට්ස් ඔන්ලි" කියන වාක්‍යයනං දැක්කෙම නෑලු. ඇතුලට ගියාට පස්සෙනං වියදම් කරපු සල්ලි අපරාදෙනෙ කියලා ෆිල්ම් එක බලන්න හිත හදාගන්න ඇති. එහෙම නැත්තං අහක බලාගෙන හිටියාද කියලා කියන්නත් බෑ.කොහොමහරි කට්ටියට පුලුවන් වුණා ෆිල්ම් එකත් බලලා හවස ඉස්කොලෙ ඇරෙන්න කලින් ආපහු ඉස්කෝලෙට එන්න.
ඒත් පන්තියට එන්නත් කලින්ම අපේ යාලුවො සෙට් එකට අහන්න ලැබුනෙ මහ දරුණූ මට්ටමේ බ්‍රේකින් නිව්ස් එකක්.මෙන්න බොලේ ඉස්කෝලෙ ගේට්ටුව ළගදිම පන්තියෙ යාලුවෙක් දුවගෙන ඇවිත් අපේ ෆිල්ම් බලන්න ගිය සාමාජිකයෙක් වෙච්ච බූජිට මෙන්න මෙහෙම කියපි
යාලුවා :- මචං බූජි, අන්න උඹලගෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙට ඇවිත් අපේ මිස් එක්ක කතා කර කර ඉන්නවා. කට්ටිය ඉස්කෝලෙ හැම තැනම උඹලාව හොයනවා
බූජි :- මොනවා, මළ කෙලියයි, ඒ මොකද බං? මම උදේ අම්මලාට කෝල් කරලා කිව්වනෙ මම අද ගෙදර එද්දි ටිකක් පරක්කු වෙයි කියලත්
යාලුවා :- ඒක මම දන්නෙ නෑ. ගිහිං බලපං. මොකක් හරි ලොකු අවුලක් වගේ තමයි පේන්නෙ
මේක අහපු අපේ යාලුවො කට්ටියත් ඉතිං පපුව ගැහි ගැහී පන්තිය පැත්තට දිව්වලු. බැලින්නං ඇත්තටම බූජිගෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙට ඇවිල්ලා. මෑන්ස්ව දැක්ක ගමං පොරගෙ අම්මා බූජිට බැන බැන අඩන්න පටන් ගත්තලු. තාත්තා මෑන්ස් දිහා රවාගෙන බලන් ඉන්නවාලු. බැලින්නං අපේ යාලුවො සෙට් එක ඉස්කෝලෙන් හොරෙන් පැනපු බව, ෆිල්ම් බලපු බව විතරක් නෙවෙයි, ඒකෙ රගපාපු නිළිය ගැනත් ඔක්කොම විස්තර බූජිගෙ ගෙදර කට්ටිය දන්නවලු.
දැන් ඉතිං අපේ යාලුවො කට්ටියට ෆුල් හොල්මන්ලු මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නෙ කියලා. මොකද මගදි දන්න අදුරන කවුරුවත් හම්බවුණේවත් නෑ. ඒ මදිවට ෆිල්ම් එකේ හිටපු නිළියගෙ විස්තර දන්නෙ කොහොමද? කොහොමහරි ඉතිං පන්ති බාර ජීනු මිස් කළේ කට්ටියටම අනිත් දවසෙ ඉස්කෝලෙ එද්දි ගෙදරින් එක්කගෙන එන්න කියලා නියෝග දුන්න එක. ඊටපස්සෙ අපේ ෆිල්ම් සෙට් එකේ බුවාලා කළේ පහුවදා උදේ පාන්දරම තමන්ගෙ දෙමව්පියොත් එක්ක ඉස්කෝලෙට ආපු එක. ඒත් තාමත් කට්ටිය දන්නෙ නෑ සිද්දිය බූජිගෙ ගෙදරට ලීක් වුණේ කොහොමද කියලා.ඇයි ඉතිං කටක් ඇරලා අහන්න පුලුවන්ද "තාත්තෙ ඔයාලා කොහොමද සිද්දිය දැනගත්තෙ" කියලා?
දැන් ඉතිං අපේ යාලුවො කට්ටිය ගැහි ගැහී ජීනු මිස් ඉස්සරහා පෝලිමට ඉන්නවලු. මොකද මේ සිද්දිය ප්‍රින්සිපල් ගාවට ගියොත් ඉතිං අනිවා සතියක් දෙකක් ඉස්කෝලෙන් නිවාඩු ගන්නයි වෙන්නෙ. ඒ මදිවාට ගෙවල් වලිනුත් සිද්දිය දැනගත්ත හින්දා, ලැජ්ජාවට කට්ටියගෙ ලස්සන මූණු ටික ගොරකා මද වගේ රතු වෙලා. ඊටපස්සෙ තමයි ජීනු මිස් දෙමව්පියොත් ඉස්සරහා කට්ටියට පැහැදිලි කළේ මොකද්ද සිද්දවෙලා තියෙන්නෙ කියලා.
අපේ බූජි උදේ ගෙදරට කතාකරලා මෑන්ස් හවස ගෙදර එන්න පරක්කු වෙනවා කියලා කිව්වනේ. කොහොමහරි මෑන්ස්ගෙ ෆෝන් එකේ කී පෑඩ් එක ලොක් කරලා තිබිලා නැහැ. ඉතිං බූජි කෝල් එක ඉවරවෙලා ෆෝන් එක ආපහු සාක්කුවට දාගත්තට පස්සෙ ටික වෙලාවකින්, බැරිවීමකින් ෆෝන් එකේ කෝල් බට්න් එක එබිලා. ඒ වෙද්දි කට්ටිය ෆිල්ම් එක බලලා ඉවරවෙලා රේල් පාරක් අයිනෙ ඇවිදගෙන එන ගමන් තමයි ඉදලා තියෙන්නෙ. ඉතිං අන්තිම කෝල් එක අරගත්තේ මෑන්ස්ගෙ ගෙදරට හින්දා බැරිවීමෙන් යැවුන කෝල් එක කනෙක්ට් වුනෙත් මෑන්ස්ගෙ ගෙදරටමයි.
කොහොමහරි ඉතිං ගෙදරට ආපු කෝල් එක ආන්සර් කරපු බූජිගෙ අම්මාට ඇහිලා තියෙන්නෙ යාලුවොත් එක්ක හිනා වෙවී කෑ ගහන තමන්ගෙ පුතාගෙ වොයිස් එක. මේක අහපු අම්මත් කරලා තියෙන්නෙ කෝල් එක කට් කරන්නෙ නැතුව තමන්ගෙ පුතා කියන්නෙ මොනවද කියලා දිගටම අහගෙන ඉදපු එක. අපේ කට්ටියත් ඉතිං මගදිගට එන ගමන් ෆිල්ම් එක ගැන, ඒකෙ රගපාපු නිළියගෙ අගපසග ගැන එහෙම හොද සාහිත්‍ය විචාරයක යෙදිලා තියනවා. ඒවා අහගෙන හිටපු බූජිගෙ මෑණියන්ට ෆ්ලවර් ජම්ප් වෙච්ච එක ඉතිං අහන්නත් දෙයක්ද?
ඒ මදිවාට ඔය වෙලාවෙ කට්ටිය හිටපු තැනින් කෝච්චියකුත් ගිහිල්ලා. ඉතිං ඒකෙ සද්දෙන් අම්මා දැනගන්න ඇති තමන්ගෙ පුතා ඉන්නෙ කොහේහරි රේල් පාරක් අයිනෙ කියලා. කුරුදුවත්ත ඉස්කෝලෙ අහලකින්වත් කෝච්චි යන්නෙ නෑ කියලා දන්න බූජිගෙ අම්මා ඊළගට කළේ, මෑන්ස්ගෙ තාත්තාවත් ඇදගෙන වහාම ඉස්කෝලෙට ආපු එක. කොහොමහරි ඉතිං බූජිලාගෙ ෆිල්ම් බලපු වැඩේ අතේ මාට්ටු. පන්තිබාර ජීනු මිස්ගෙ මනුස්සකමට මේ සිද්දිය එතනින් එහාට ගියෙ නෑ. මිස්ගෙන් කට්ටිය ලුණුඇඹුල් ඇතුව අහගත්තාට පස්සෙ වැඩේ හිමීට ෂේප් වුණා.
බූජිලාටත් ඉතිං පිස්සු. අපේ පූසො වගේ ගනයක් කාරිය බලාගෙන හිටියනං ඔය ප්‍රශ්න මොනවත් එන්නෙ නෑ නොවැ! කොහොමහරි ඉතිං ඔය සිද්දියෙන් පාඩම් ඉගෙන ගත්තු බූජි ඇතුලු පිරිස හොද ළමයි බවට පත්වුණා. ඊටපස්සෙ ඒ කවුරුවත් කවදාවත්, තමන්ගෙ ෆෝන් වල කිපෑඩ් අන්ලොක් එකේ තියාගැනීම වගේ නරක වැඩ කළේ නෑ.
ඒ වගේම වරදට සහාය දීම කියන චෝදනාව යටතේ අපේ පුරුපුරුටත් මිස් ඉස්සරහා නඩු පැවරුණාලු. මොකද කට්ටියට ඉස්කෝලෙන් පනින්න උදව් කළේ අපේ පුරුපුරු නොවැ! ඉතිං අපේ පූසො තාප්පෙ පේන්ට් කරන්න ගිය සිද්දියත් එතනින්ම මිස්ට මාට්ටු. කොහොමවුණත් උපාසිකාවගෙ ඉස්කෝලෙ දීප්තිමත් ආදිශිෂ්‍යාවක් වෙන ජීනු මිස්, තමන්ගෙ ඉස්කෝලෙ තාප්පෙ පේන්ට් කිරීම ගැන පූසන්ට මොනවත් කිව්වෙ නෑ. මොකද මේ කාලෙ පේන්ට් බාස්ලා අයකරන ගනන් ඇහුවාම මිස්ට හිතෙන්න ඇති පූසො තමන්ගෙ ඉස්කෝලෙට කරලා තියෙන්නෙ කොයිතරම්නං සේවයක්ද කියලා.
දැන්නං ඉතිං බූජි කොළොම්පුර පැත්තෙ සක්වල තක්සලාවක තමයි කාලෙ ගෙවන්නෙ. මේ වගේ කතාවක් කියෙව්වට පස්සෙ අපේ යාලුවො හැමෝමත් ඉතිං බූජිලා ඉගෙන ගත්ත පාඩමම ඉගෙනගන්න ඕනෙ හොදේ..........!!!
Subscribe to:
Posts (Atom)
