ඔය අතරෙ තමයි එක දවසක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරෙ වන් ඩේ මැච් එකක් තිබුනේ. ඉතිං හොස්ටල් එකේ කොල්ලො කුරුට්ටොත් කලින්ම ඩයිනිං හෝල් එකට ගිහින් ටීවී බලන්න සෙට් වුණාලු. මොකද ටීවී බලන තැන තිබුන සීමිත ඉඩ පහසුකම් අනුව පරක්කු වෙලා ගියොත් වාඩිවෙන්න හරිහමං ප්ලේස් එකක් හම්බවෙන්නෙ නෑ. හැබැයි ඉතිං 11 වසරෙ ළමයින්ටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි මේ ප්‍රශ්නෙ නෑ. මොකද ඒ අය ආපුවාම පොඩි කට්ටිය නැගිටලා වාඩිවෙන්න ඉඩ දෙන්න ඕනෙ.
ඉතිං අපේ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායක ඩයල්ස් ටිකත් මැච් එක පටන් ගන්නකොටම එතනට පාත් වුණාලු. දැන් ඉතිං මැච් එක බොහොම උණුසුම් විදිහට නැගලා යනවා. ඔය අතරෙ තමයි ලින්ඩාටයි, සේරාටයිත් මැච් එක බලන්න හිතිලා ඩයිනිං හෝල් එකට කඩා පාත් වුණේ.
එදා කොහොමහරි පුරුපුරු ඇඳගෙන හිටියෙ හාරිස්ගෙ කමිසයක්. මොකද එදා මෑන්ස්ගෙ ෂර්ට් ඔක්කොම හෝදලා, අඳින්න එකක් තිබුනෙ නෑ. කොහොමහරි ඉතිං මැච් එක බලන්න ඇවිත්, පුරුපුරුලාට පිටිපස්සෙන් වාඩිවෙලා හිටපු ලින්ඩාටත් මීටර් වුණාලු මෑන්ස් ඇඳගෙන හිටපු ෂර්ට් එක. ලින්ඩා කළේ පුරුපුරුගෙ උරහිසට අත තියලා මහ හයියෙන් කට්ටියටම ඇහෙන්න මෙහෙම කියපු එක.
ලින්ඩා :- පුරු...පුරු...වට් අ නයිස් ෂර්ට්. වෙරි බියුටිෆුල්
ඇත්තටම ලින්ඩා එහෙම කියපු එක ස්කොට්ලන්තෙ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වුණාට ලංකාවෙ කට්ටියට ටිකක් විතර අසාමාන්‍යයි නොවැ! ඉතිං හොස්ටල් එකේ කොල්ලො ටික කළේ මැච් එක බැලිල්ල පැත්තකින් තියලා පුරුපුරුයි ලින්ඩායි දිහා බලන්න ගත්තු එක. දැන් ඉතිං අපේ පූසාට මේ කේස් එක හින්දා ෆුල් අබ්ලික්. මොකද ඉතිං අපේ පුරුපුරු ලැජ්ජා බය ඇතුව හැදිච්ච බොහොම ගුණගරුක, ශීලාචාර පූසෙක්නෙ. ඉතිං මෑන්ස් කළේ ලින්ඩාට තැන්ක්යූ පාරක් දාලා මොනවත් නොවිච්ච ගානට ආපහු මැච් එක බලන්න ගත්ත එක. පස්සෙ තමයි මෑන්ස් දැක්කේ තරහින් පුපුර පුපුර හිටපු හාරිස්ව. මොකද ඉතිං මෑන්ස් හැමදාම මේ ෂර්ට් එක ඇඳලත් මෙච්චර කාලෙකට කවුරුත් ඕක ලස්සනයි කිව්වෙ නෑ නොවැ!
කොහොමහරි ඉතිං මේ සිද්දියෙන් පස්සෙත් නෝමල් එකේ දවස් දෙක තුනක් ගෙවිලා ගියාලු. ඒත් ඊට පස්සෙ තමයි ඒ අසුභ දවස උදා වුණේ.
හොස්ටල් එකේ ටීවී එක ඩයිනිං හෝල් එකේ සමහර වෙලාවට තිබුනත්, ගොඩක් වෙලාවට ඕක තියෙන්නෙ සීනියර් ප්‍රිෆෙක්ට් රූම් එකක් ඇතුලෙ. ඒ කියන්නෙ ප්‍රිෆෙක්ට්ලාට පුලුවන් දවසෙ පැය 24ම ටීවි බලබලා ඉන්න. ටීවී එක විතරක්නං මදෑ, හොස්ටල් එකේ වීසීඩී ප්ලේයර් එකයි, රේඩියෝ ක්ලබ් එකේ ඩීවීඩී ප්ලේයර් එකයි තිබුනෙත් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයෙ තමයි. ඉතිං ඒ දවස්වල ඔය ටීවී එක තිබුන ප්‍රිෆෙක්ට් රූම් එකේ සීඩී කඳු තුනයි. එක කන්දක් තමයි සාමාන්‍ය සීඩී කන්ද. තවත් කන්දක් තමයි ගන කන්ද. අනිත් කන්ද තමයි රෙස්ලින් සීඩී කන්ද.
ඉතිං ටීවී එක තිබුන කාමරේ තිබුන රසාස්වාදන සම්පත් ප්‍රමාණය හින්දා අපේ පුරුපුරුත් දවසෙන් වැඩි හරියක් ගතකළේ ඔය කාමරේ තමයි. කොටින්ම සමහර දවස්වලට ගොඩක් රෑ වෙනකං ෆිල්ම් බලලා, පිට්ටනිය එහාපැත්තෙ තිබුන තමන්ගෙ රූම් එකට ඇවිදින්න කම්මැලි කමට මෑන්ස් ටීවී රූම් එකේම නිදාගන්න වෙලාවලුත් තිබුනා. ඉතිං මේ සිද්දිය වුණෙත් එහෙම දවසක.
පුරුපුරුලා නිදාගත්තු ටීවී එක තිබුනු ප්‍රිෆෙක්ට් රූම් එකට එහාපැත්තෙ තිබුනේ 10 වසර ඩෝම් එක. මෙහාපැත්තෙ තිබුනෙ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එක.
එදා ඉතිං අපේ කට්ටිය එක්ස් ෆයිල්ස් බලලා වෙනදාට වඩා පොඩ්ඩක් කලින් නිදා ගත්තලු. කට්ටිය කිව්වෙ ඒ රූම් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන්, තාරබාසු සහ අපේ පුරුපුරු. නිදාගෙන ටික වෙලාවකට පස්සෙ තමයි අපේ පූසාට ඇහුනෙ සිවිලිම උඩින් ආපු අමුතු සද්දයක්.
"ජරස්....බරාස්....."
ඇත්තටම එදා බලපු
එක්ස් ෆයිල්ස් එපිසෝඩ් එක ටිකක් බය හිතෙන එකක්. ඕකෙ සිහියෙන් හිටපු අපේ
පුරුපුරු සිවිලිම උඩින් එන මේ සද්දෙ ඇහිලා තවත් ටිකක් බය වුණාලු.
පුරුපුරු :- ජුවාන්! ජුවාන්!! උඹට ඇහුනද උඩින් ආපු සද්දෙ?
ජුවාන් :- (ඈනුම් අරිමින්) උඹට පිස්සුද යකෝ! මොන සද්දයක්ද? මොකෙක් හරි සතෙක් වෙන්නැති.
කොහොමහරි ඉතිං මේ සද්දෙ කෙළෙහිගුණ නොදන්න කළවැද්දෙක් දාපු එකක් වෙන්න ඇති කියලා හිතාගත්තු අපේ පූසා ඊට පස්සෙ නිදාගත්තලු.
එදා රෑ අපේ
පුරුපුරුට හීනෙන් පෙනුනෙත් ස්කලී, ජෝන් ඩොගෙට් වගේ එක්ස් ෆයිල්ස් චරිත.
ඉතිං ඔහොම හිනයක් දැක දැක ඉන්න අතරෙ තමයි එක පාරටම මහා සද්දයකින් මෑන්ස්ව
ඇහැරුනේ.
"දඩාස්......"
දෙයියනේ! පෘථිවියට පහර
දෙන්න පිටසක්වලයො ඇවිල්ලාවත්ද? අපේ පූසා වහාම නැගිට්ටලු. ඇත්තටම සද්දෙ
ඇවිත් තිබුනෙ අපේ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එකෙන්. ඉතිං අපේ
පුරුපුරු, ජුවාන් සහ තාරබාසු වහාම ගියාලු මොකද වෙලා තියෙන්නෙ බලන්න.
බැලින්නං වෙලා තියෙන්නෙ
මේකයි. 10 වසරෙ හිටපු කොල්ලො කීපදෙනෙක්ට ආසාවක් ඇවිල්ලා තියෙනවා ලින්ඩායි,
සේරායි හොඳ සැප සනීපෙන් ඉන්නවාද කියලා විසිට් එකක් දාලා බලන්න. ඒ වගේම
දොරෙන් ගිහින් ඒ දෙන්නාට කරදර කරන්නෙ නැතුව, සීලිම උඩින් ගිහින් විසිට් එක
දාන්න තමයි කට්ටිය තීරණය කරලා තියෙන්නෙ. බලන්න කොච්චර හොඳ ළමයිද කියලා!
ඉතිං මේ කට්ටිය 10 වසර ඩෝම් එකේ ඉඳලා සුද්දියන්ගෙ රූම් එක තියන තැනට යද්දි
අපේ පුරුපුරුලා නිදාගෙන හිටපු ප්‍රිෆෙක්ට් රූම් එක හරහාත් යන්න ඕනෙනෙ. ඒ
යනකොට තමයි පුරුපුරුට අර ඉස්සරවෙලා ඇහුන අමුතු සද්දෙ ඇහිලා තියෙන්නෙ.
ඉතිං හොඳම සීන් එක වෙලා
තියෙන්නෙ ඊට පස්සෙ. කට්ටිය සුද්දියන්ගෙ රූම් එක උඩ ඉඳගෙන අවට සිරි නරඹ නරඹ
ඉන්නකොට, සීලිම බරට කඩාගෙන වැටිලා එක කොල්ලෙකුත් එක්කම. එතකොට තමයි අර
පිටසක්වල ඇටෑක් එකක් කියලා පුරුපුරු රැවටුන ලොකු සද්දෙ ඇවිත් තියෙන්නෙ.
දැන් ඉතිං බඩු අතේ මාට්ටුලු. අනිත් කොල්ලො කට්ටිය සීලිම හරහා ආපහු පැනලා
ගියත්, සුද්දියො දෙන්නගෙ රූම් එක ඇතුලට වැටුනට පස්සෙ ඒ කොල්ලා කොහේ පැනලා
යන්නද?
කොහොමහරි අපේ කට්ටිය යනකොට ලින්ඩායි, සේරායි අම්බානට බයවෙලා ඉන්නවලු රූම් එක ඇතුලට වෙලා. ඒත් ඉතිං ඕක එච්චර බයවෙන්න දෙයක් වුණේ කොහොමද කියලා පුරුපුරුට තවම අවබෝධයක් නෑ. මොකද ඉතිං දෙන දෙයියෝ හොඳ කොල්ලෙක්ව අහසින් වඩම්මලා ගෙටම ගෙනත් දුන්නා නොවැ! ඒ මදිවාට වැටිච්ච මෑන්ස් ඊටත් වඩා බයවෙලා.
හොඳ වෙලාවට මේ සිද්දියෙන්
කාටවත් අනතුරක් වෙලා තිබුනෙ නෑ. ඒත් ඉතිං සිද්දියෙන් ඇතිවෙච්ච මහා සද්දෙ
හින්දා හොස්ටල් එකේ වගකිවයුත්තො මෙතනට එන්න මහා වෙලාවක් ගතවුණෙත් නෑ.
අන්තිමට ඉතිං සිද්දවුණේ අහිංසක කොල්ලෙක්ට හොස්ටල් ලයිෆ් එකට ගුඩ් බායි
කියන්න වෙච්ච එකයි, සුද්දියො දෙන්නා දවස් කීපයක් ඇතුලත ආපහු යන්න ගිය එකයි
විතරයි.
ඒත් අපේ පුරුපුරුටනං හිතෙන්නෙ මේකට වග කියන්න ඕනෙ ඒ කොල්ලාටත් වඩා සුද්දියන්ව හොස්ටල් එකේ නවත්තගත්තු කට්ටිය තමයි කියලා.




