අඹ යාලුවෝ

Showing posts with label සකයා. Show all posts
Showing posts with label සකයා. Show all posts

Saturday, December 11, 2010

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day)

ඔන්න යාලුවනේ අපි මාස ගානක් තිස්සේ ඔයාලා වෙනුවෙන් ලියපු, ඒ වගේම කියවන යාලුවො ආසාවෙන් වැලද ගත්තු හොස්ටල් ලයිෆ් සීරීස් එක දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලයි ඉන්නේ.ඉතිං අද අපි කියන්න යන්නේ හොස්ටල් එකේ අපේ යාලුවො සෙට් එක ගතකරපු අන්තිම දවස ගැන.

මේ වෙද්දි කට්ටිය ඕ ලෙවල් විභාගෙ ලියලා ඉවර වෙලයි තිබුනෙ.ඒ කියන්නෙ දෙසැම්බර් අන්තිම දවස් ටික තමයි දැන් ගතවෙන්නෙ.පුරුපුරුටනං විභාගෙ එච්චරම ප්‍රශ්නයක් වුණේ නෑ.ඉංග්‍රීසි සාහිත්‍ය ඇරෙන්න අනිත් ඔක්කොම සබ්ජෙක්ට්ස් හිතේ හැටියට ලියලා ආවා.මාලුකට්ටාටනං ගණං වලත් මොකද්ද අවුලක් ගිහින් තිබුනා.කොහොමහරි ඉතිං හැමදෙනාම මේ දවස්වල බොහොම සැහැල්ලුවෙන් තමයි කාලෙ ගතකළේ.

හොස්ටල් එකේ සාමාන්‍ය ට්‍රැඩිෂන් එක තමයි ඕ ලෙවල් ඉවරවෙලා සතියක් විතර යනකං ගෙවල් වලට නොගිහිං හොස්ටල් එකේම නැවතිලා ඉන්න එක.මේ වැඩේට කොටියා සර්රුත් කිසිම අවුලක් දැම්මෙ නෑ.දැන් ඉතිං කට්ටිය නිල වශයෙන් හොස්ටල් එකෙන් අස්වෙලා නිසා සර්රුත් ඉස්සර වගේ සැරෙන් නැතුව, හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් තමයි අපේ යාලුවොත් එක්ක කතාබහ කළේ.

ඉතිං තමන් හොස්ටල් එකේ ගතකරන අන්තිම සතිය මැක්සා ෆන් එකේ ගතකරන්න කිසිම කොල්ලෙක් අමතක කළේ නෑ.කට්ටියගෙ වැඩේ වුණේම දවස තිස්සෙම සෙල්ලං කරන එකයි, හවස් වෙද්දි රහීමා එක හරි, බම්බා පැත්තෙ හරි යන එකලු.ඒ වගේම රෑට ෆිල්ම් බැලීම, ගන බැලීම, සින්දු කීම, ඒ වගේම ඩෝම් එක ඇතුලෙ සෙල්ලං කිරීම වගේ දේවලුත් සැරට නැගලා ගියාලු.කොහොමහරි අපේ යාලුවො සෙට් එක ඒ දවස් ටිකේ ගත කළේ තමන්ගෙ ජීවිතේ ෆන්ම සතිය කිව්වොත් ඒක වැරදි නෑ.

ඉතිං ඔහොම දවස් ගෙවිලා ගිහින් හොස්ටල් එකේ ඉන්න පුලුවන් අන්තිම දවසත් උදාවුණාලු.සතිය පුරාම කොච්චර ෆන් එකේ හිටියත් අන්තිම දවස උදා වෙද්දිනං කට්ටියම ෆුල් අප්සට් එකේ හිටියෙ.මොකද අවුරුදු ගානක් හිටපු, තමන්ගෙ ජීවිතවල හොදම මතක සටහන් තියෙන, තමන් හැමදාම ආදරය කරපු හොස්ටල් එක දාලා යන්න වෙනකොට කාටද දුක හිතෙන්නෙ නැති වෙන්නෙ?

ඉතිං අන්තිම දවසෙ කට්ටිය උදේම කළේ අන්තිම ක්‍රිකට් මැච් එක ගහලා හොස්ටල් ක්‍රීඩා ජීවිතේට සමු දුන්න එක.ඊට පස්සෙ හොස්ටල් එකේ අන්තිම ලන්ච් එක අපේ යාලුවන්ට ලැබුනලු.වෙනදා ලන්ච් එකට නෑවිත් කැන්ටිමෙන් කන කට්ටිය පවා එදා ලන්ච් එකට ගිහින් කෑම කෑවේ බොහොම ආසාවෙන්.ඊට පස්සෙ අපේ යාලුවො කට්ටියම එකතු වෙලා සින්දු කිව්වලු.වෙනදා හිතේ තරහ මරහ තියාගෙන හිටපු මෑන්ස්ලා පවා එදා කරට අතදාගෙන තමයි සින්දු කිව්වේ.

අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් තමන්ගෙ අන්තිම ප්‍රහාරය විදිහට ලෝඩ් කොක්ට මහා වෝටර් ඇටෑක් එකක් දුන්නලු.ඇටෑක් එකට ලක්වෙච්ච ලෝඩ් කොක්, බලකායෙන් බේරෙන්න දුවන හැටි තමයි ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ.

දැන් ඉතිං හවස් වෙලා.කට්ටියටම ගොඩක් දුකයි.ඉතිං මේ දුක තුනී කරගන්න පොඩ්ඩක් අනුමත වුණොත් නරකද කියලා සකයාගෙන් යෝජනාවක් ආවා.හික්ස්...හොස්ටල් ට්‍රිප් එකෙන් පස්සෙවත් මෑන්ස් හැදිලා හිටියෙ නෑ.ඉතිං මේ යෝජනාව ඒකමතිකව සම්මත වුණේ, වෙනදට බොන්නෙ නැති සෙන්සි වගේ චරිත පවා අනුමත වෙන්න සෙට් වෙලා.ඉතිං කට්ටියගෙන් සල්ලි එකතු කරපු සකයායි, සංජුයි මීවිත අරගෙන එන්න කියලා පිටත් වුණාලු.

හැබැයි නුවරඑළියෙදි වගේ නෙවෙයි, එදානං සකයා මීවිත හොයාගෙන ඉක්මනටම ආපහු ඇවිත් තිබුනා.ප්‍රතිපාදන එහෙමත් යහමින් තිබුන නිසා මේ පාර කාල නාමපත්‍ර දෙකකුයි, රජත නාමපත්‍රයකුයි තමයි අපේ යාලුවො දෙන්නා ගෙනත් තිබුනෙ.ඒ විතරක් නෙවෙයි, බයිට් එකට ලොකු රටකජු පැකට් එකකුයි, ෂැන්ඩි වලට කෝක් මෙගා බෝතලයකුයිත් ගේන්නත් මෑන්ස්ලා අමතක කරලා තිබුනෙ නෑලු.මේ වෙද්දි ඉතිං රෑ වෙලා.දැන් නියමිත වෙලා තිබුනෙ කට්ටියගෙ අවසන් හොස්ටල් අනුමත වීම.

හැබැයි ඉතිං ගොඩක් කට්ටිය මීවිත ගේන්න ප්‍රතිපාදන සැපයුවාට මේ වෙද්දි වැඩේට ටිකක් පස්ස ගහ ගහා තමයි හිටියෙ.ඒ හින්දා අන්තිමට අනුමත වෙන්න ඉතුරු වුණේ කොල්ලො නව දෙනයි.ඒ තමයි පුරුපුරු, මාලුකට්ටා, ජුවාන්, සකයා, සංජු, සලා, පොල්පොට්, පොන්ටින් සහ හොං කොං.අනුමත වෙන තැන විදිහට තෝරගත්තෙ 11 වසර ඩෝම් එක පිටිපස්සෙ තියෙන ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට්ස් ටිකලු.මොකද මෙච්චර කල් ඉදලා අන්තිම දවසෙ කොටියා සර්ට චාටර් වෙන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ යාලුවො කට්ටියත් සුභ මොහොතින් වැඩේ පටන් ගත්තලු.එදා තමයි අපේ මාලුකට්ටාගෙ මංගල අනුමත වීම.

ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ මාලුකට්ටා අම්බානට බොනවා.මෑන්ස් නිකං වතුර බොනවා වගේ තමයි අනුමත වුණේ.ඉතිං අනිත් කොල්ලො කට්ටිය ෆුල් හොල්මන් මාලුකට්ටා කොහොමද මෙච්චර හොද බෙබා ඩයල් එකක් වුණේ කියලා.කියන්න බෑනෙ, මෑන්ස් වැඩේට බෝර්න් ටැලෙන්ටඩ් පොරක්ද දන්නෙ නෑනෙ.ඔහොම ඉන්නකොට තමයි කට්ටියට තේරුණේ පළවෙනියට ගත්තු රජත නාමපත්‍රෙ බාගයක් ඉවර වෙන්නත් කලින් කෝක් බෝතලේ ඉවර වීගෙන එන බව.

මේක දැකපු අපේ යාලුවන්ට තරු පෙනුනලු.පස්සෙ ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බැලින්නං මාලුකට්ටා තමයි කෝක් බෝතලේට ගේම දීලා තියෙන්නෙ.පොර කරලා තියෙන්නෙ කෝකුයි, අරක්කුයි 20:1 අනුපාතෙට විතර දාගෙන අනුමත වෙන එක.ඉතිං එතන කෝක් රස මිසක් අරක්කු රසක් එන්නෙම නෑ නොවැ.ඒ හින්දා තමයි මාලුකට්ටාට පුලුවන් වුණේ වතුර බොනවා වගේ අනුමත වෙන්න.

මේක දැනගත්තු අනිත් කොල්ලන්ට ෆ්ලවර් ජම්ප් වුණත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.කට්ටියට වැඩේ මීටර් වෙනකොට වෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි.ඉතිං අන්තිමට එතන හිටපු කට්ටියගෙන් තුන් හතර දෙනෙක් (මාලුකට්ටාත් ඇතුලුව) ෂැන්ඩි නැතුව බොන්න බැහැයි කියලා නැගිටලා ගියාලු.ඒත් ඉතිං ෂැන්ඩි නැහැයි කියලා මේවා විසිකරන්නයැ‍! අන්තිමට පුරුපුරු, පොන්ටින් ඇතුලු කීප දෙනෙක්ට තමයි ඉතුරු වෙච්ච මීවිත වලට වග කියන්න සිද්ද වුණේ.මොකද දැන් අමද්‍යප වුණාට ඒ දවස්වල අපේ පුරුපුරුත් හොද ඇල්කොහොලික් ඩයල් එකක්.

ඉතිං බීලා වැඩිවෙච්ච කොල්ලන්ට මොකද වුණේ, ඒ ව‍ගේම අනිත් කො‍ල්ලන්ට මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු.(ඊළග කොටසින් කතාවයි සීරීස් එකයි දෙකම ඉවරයි)

Sunday, November 21, 2010

හොස්ටල් ට්‍රිප් - නුවරඑළියට පිස්සු හැදුන දවස


හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක? යන ලිපිය හා සම්බන්ධයි.

ඉතිං අපි කලින් ලිපියෙ කිව්ව විදිහටම ටික වෙලාවක් යද්දි අපේ පුරුපුරුටයි, ජුවාන්ටයි අම්බානට නින්ද ගිහින්.ඉතිං පැය ගානක් ගියාට පස්සෙ පොල්පොටු සහ සකයායි බොහොම මහන්සි පිට රූම් එකට ආවලු.බැලින්නං දෙන්නා ආපහු එන්න පාර හොයාගන්න බැරුව අතරමං වෙලා.ඊට පස්සෙ බොහොම අමාරුවෙන් තමයි ෆාම් එකට එන පාර හොයාගෙන තියෙන්නෙ.හැබැයි අපේ යාලුවො දෙන්නා ජයග්‍රාහී විදිහට කාල නාමපත්‍රයකුයි (black label), ධවල නාමපත්‍රයකුයි (white label) ගේන්න අමතක කරලා තිබුනෙ නෑ.

කට්ටිය ඉතිං පුරුපුරුවයි ජුවාන්වයි නැගිට්ටවන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් වැඩේ සාර්ථක වෙලා නෑ.දෙන්නම ගොරව ගොරවා නිදිලු.බෝතලේ වගේද නින්ද?ඊටපස්සෙ ඉතිං සකයයි, පොල්පොටුයි, සලායි, සංජුයි තීරණය කළාලු කට්ටිය එකතු වෙලා ඉක්මනට මතට තිත තියමු නේද කියලා.මොකද ඒ වෙද්දි එළිය වැටෙන්නත් ළගයි.ඉතිං කට්ටිය ෆාම් එකේ ඈත කෙළවරකට ගිහින් වැඩේට සෙට් වුණාලු.

කට්ටිය එකතුවෙලා මුලින්ම කාල නාමපත්‍රය ඉවර කළාලු.ඒ එක්කම ෂැන්ඩි ටිකත් ඉවර වුණාලු.දැන් ඉතිං කට්ටියට හොද ගනං.ඒ මදිවට ෂැන්ඩි නැතුව අනුමත වෙන්න සංජුයි, සලායි කැමති නෑ.ඉතිං ඒ දෙන්නා කළේ ආපහු රූම් එකට එන එක.ඒත් ධවල නාමපත්‍රයත් ඉවර නොකර ආපහු එන්න සකයායි පොල්පොටුයි කීයටවත් කැමති වුණේ නෑ.මොකද අතරමං වෙවී අමාරුවෙන් ගෙනාපු බෝතලේ නොවැ! කාටවුණත් ඕනෙම දෙයක් වටින්නෙ අමාරුවෙන් ලබාගත්තාම තමයි.

කොහොමහරි ඉතිං කට්ටිය එදා රෑ නිදාගෙන පහුවදා නැගිටලා බලද්දිත් සකයායි පොල්පොටුයි පේන්න හිටියෙ නෑ.ඊට පස්සෙ කලින් දවසෙ රෑ වෙච්ච දේවල් සංජු ඉදගෙන ජුවාන්ටයි පුරුපුරුටයි කිව්වා.ඉතිං මොකක්හරි අබ්ලික් කේස් එකක් වෙලා තමයි කියලා තේරෙන්න අපේ යාලුවන්ට වැඩි වෙලාවක් ගියෙ නැහැලු.කට්ටිය මේ දෙන්නාව හොයන්න යන්න හදද්දිම තමයි ප්‍රිෆෙක්ට් අයියලා දෙන්නෙක් සකයාවයි, පොල්පොට්වයි කනෙන් ඇදගෙන රූම් එකට අරගෙන ආවෙ.ඒ මදිවාට සකයාට ටවල් එකකුත් අන්දලා හිටියෙ.දැන් කට්ටිය ෆුල් හොල්මන්.

දෙන්නාව රූම් එක ඇතුලට දාලා අයියලා යන්න හදද්දි සකයා ඒ දෙන්නාට කුණුහරුපෙන් බැන්නා.ටිකක්වෙලා මෑන්ස් දිහා බලාගෙන හිටපු අයියලා, "වෙරි හිදුනාම තොට දෙන්නංකෝ" වගේ බැල්මක් දාලා ආපහු යන්න ගියා.ඉතිං පැයක් දෙකක් ගිහිල්ලා අපේ යාලුවො දෙන්නා පොඩ්ඩක් යථා තත්ත්වෙට ආවට පස්සෙ තමයි කට්ටියට සිද්ද වෙච්ච දේ දැනගන්න පුලුවන්කමක් ලැබුනෙ.බැලින්නං සිද්ද වෙලා තියෙන්න මෙන්න මේකයි.

දෙන්නා ධවල නාමපත්‍රයට තිත තිය තියා ඉන්නකොට දෙන්නාටම අම්බානට වැඩිවෙලා.ඊට පස්සෙ පොල්පොට් කරලා තියෙන්නෙ බයිට් එකට තිබුන කඩල ටික, ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කියලා එහාපැත්තෙ තිබුන කුණු කානුවට දාපු එක.මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච සකයා පොල්පොට් එක්ක රණ්ඩු වෙලා.දෙන්නටම මහන්සි වුණාට පස්සෙ පොල්පොට් එතනම නිදාගෙන.ඊටපස්සෙ සකයා දැක්කලු එතන එහාපැත්තෙ ලස්සන කලු කෙල්ලෙක් ඉන්නවා.

අපේ කට්ටියට ඉතිං කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතකයි නොවැ! ඉතිං අපේ සකයාත් ගිහිං ඒ කෙල්ලත් එක්ක ඩාන්ස් කරන්න.හැබැයි ඉතිං කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරද්දි ජෙන්ට්ල්මන් වගේ ඉන්න එපායැ! ඉතිං සකයාත් කරලා තියෙන්නෙ ඇදගෙන හිටපු මඩ ගෑවුණු කලිසම ගලවලා විසිකරලා කෙල්ලත් එක්ක නටන්න ගිය එක.හැබැයි මෑන්ස්ට අමතක වෙලා ඒ වෙලාවෙ යටට මොකුත් ඇදගෙන හිටියෙ නෑ කියලා.ඉතිං අවාසනාවන්ත විදිහට ඒ වෙලාවෙ එතනට ආපු ෆාම් එකේ මුරකාරයෙක්, සකයාව අල්ලගෙන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට බාර දීලා.

සකයා කියපු විදිහටනං කෙල්ල ලස්සන වුණාට කට ටිකක් ගදයිලු.දැන් ඉතිං මෑන්ස් කියන විස්තර අහලා අපේ යාලුවො සෙට් එකට සදමෝල් වගේලු.කට්ටියම දන්නවා ඔලුව හොද කෙල්ලෙක්නං කීයටවත් සකයාත් එක්ක ඩාන්ස් කරන්න එන්නෙ නෑයි කියලා.ඉතිං අපේ යාලුවො සෙට් එක ගියාලු කලින් දවසෙ රෑ කට්ටිය මතට තිත තිබ්බ තැනට.මෙන්න බොලේ කඩල ටික එහෙමම තියනවා කුණු කානුව ඇතුලේ.ටිකක් එහායින් තඩි කලු බල්ලෙක් බැදලා ඉන්නවා ගොරව ගොරව.ඌ දිහා දැක්කමත් බය හිතෙනවා.

එතකොට එතෙන්ට ආපු මුරකාරයෙක් අපේ යාලුවන්ට මෙහෙම කිව්වලු

මුරකාරයා :- බලන්න මහත්තයෝ, ඊයෙ රෑ කවුද පිස්සෙක් කලිසමත් ගලවගෙන මේ බල්ලත් එක්ක නට නටා හිටියනෙ.මහත්තයලට කියන්න, මූ වගේ සැර බල්ලෙක් ඒ යකාට හැපුවෙ නැත්තෙ ඇයි කියලා තමයි මම මේ දවසම කල්පනා කර කර හිටියෙ

බැලින්නං සකයාගේ පිස්සු හැසිරීම දැකපු බල්ලටත් මොංගල් ගහලා.

ප.ලි - සකයාගේ සහ පොල්පොට්ගේ වාසනාවට මේ සිද්දිය කොටියා සර්ගෙ කනට ගියෙ නෑ.හැබැයි ආපහු හොස්ටල් එකට ආවට පස්සෙ දෙන්නාටම ප්‍රිෆෙක්ට් අයියලාගෙන් අම්බානට කන්න වුණා.ආපහු මේ වගේ වැඩ කරන්නෙ නෑ කියලා, මාගලක් වගේ දිග ලියුමක් ලියන්නත් වුණා.

හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක?


ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නේ කුරුදුවත්ත හොස්ටල් එකේ නුවරඑළිය ට්‍රිප් එක ගැන.සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ළමයි අවුරුද්දකට ට්‍රිප් දෙකක් යනවා.එකක් තමයි "බ්‍රැබරි පළිහ" කියන වාර්ෂික රගර් මැච් එක බලන්න නුවර යන වන්ඩේ ට්‍රිප් එක.අනික තමයි ඊට පස්සෙ යන ටූ ඩේ ට්‍රිප් එක.සාමාන්‍යයෙන් මේ ටූ ඩේ ට්‍රිප් එක යන්නෙ එක්කො කතරගමට, අනුරාධපුරේට, නැත්තං නුවරඑළියට, අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙවී.ඉතිං එක තැනකට ගියාට පස්සෙ ආපහු ඒ තැනට යැවෙන්නෙ තවත් අවුරුදු තුනකින්.කොහොමහරි ඉතිං 2003 අවුරුද්දෙ, ඒ කියන්නෙ අපේ පූසො 11 වසරෙ ඉන්දැද්දි මේ ට්‍රිප් එක යන්න නියමිත වුණේ නුවරඑළියටලු.

හොස්ටල් එකේ ළමයි කොහොමත් කතරගමට, අනුරාධපුරේට වඩා නුවරඑළියට යන්න කොහොමත් කැමතියි.නුවරඑළිය ඉතිං සීතල පැත්ත නොවැ!ඒ හින්දා ට්‍රිප් එක එනවුන්ස් කරපු දවසෙ ඉදලා කට්ටියටම මේ ගැන තිබුනෙ පුදුම උනන්දුවක්.අනිත් කාරනේ ඒ අවුරුද්දෙ පුරුපුරුලා ට්‍රිප් එක යන්නෙ හොස්ටල් එකේ සීනියර් බැච් එක විදිහට.ඉතිං ඒ හින්දා ට්‍රිප් එකේ ෆුල් ෆන් එකක් ගන්නත් පුලුවන්.

සාමාන්‍යයෙන් 10 සහ 11 වසරවල් හොස්ටල් ට්‍රිප් එකට සහභාගි වෙන්නේ වෙනම ටී ෂර්ට් ඇදගෙනලු.ඒ කියන්නේ 10 වසර එක ටී ෂර්ට් එකකුත්, 11 වසර එක ටී ෂර්ට් එකකුත් ඇදගෙන.ඉතිං අපේ යාලුවො කට්ටිය මුලින්ම කළේ හොද ටී ෂර්ට් එකක් ඩිසයින් කරලා, ඒක ගහගත්ත එක.මොකද 11 වසරෙ අයියලා හැටියට 10 වසරෙ මල්ලිලාට සෙකන්ඩ් වෙන්න බැහැ නොවැ!කොහොමහරි ඉතිං ටී ෂර්ට් එක ඇත්තටම හොදට හැදිලා ඇවිත් තිබුනා.ටී ෂර්ට් එකේ පිටිපස්සෙ ලියලා තිබුන වාක්‍යය තමයි

Nothing more than Unity & Liberty

කියන එක.ඒ වාක්‍යය පුරුපුරු යෝජනා කළේ එකමුතුකමයි, ස්වාධීනත්වයයි ඇරුණුකොට ඊට වඩා වෙන යමක් නෑ කියන පිරිසිදු චේතනාවෙන්.ඒත් ටී ෂර්ට් එක හදලා අරගෙන ආවටත් පස්සෙ අසමජ්ජාති මාලුකට්ටා අහපි

"එතකොට මචං MC එක ???"

කියලා.එතකොට තමයි කට්ටියට මීටර් වුණේ Unity එකයි Liberty එකයි දෙකම කොළඹ තියන සාප්පු සංකීර්ණ නේද කියලා.අන්තිමට ඉතිං කොල්ලො කට්ටිය පුරුපුරුගෙ ගෙදර ඈයින්ට හචිං යවලා, 10 වසරෙ කොල්ලන්ට මේක මීටර් වෙන එකක් නෑ කියලා හිත හදාගත්තලු.

කොහොමහරි ඉතිං දවසින් දවස ගතවෙලා ට්‍රිප් එක යන දවසත් උදාවුණාලු.හොස්ටල් එකේ ළමයින්ගෙන් බහුතරයක් ට්‍රිප් එකට සහභාගි වෙන්න අමතක කරලා තිබුනෙත් නැහැ.ඒ වගේම කොටියා සර් ඇතුලු සර්ලාත් සුපුරුදු විදිහට ට්‍රිප් එකට සහභාගි වුණාලු.ඒ හින්දා මතක විදිහට බස් හතරක්ම ගෙන්නන්න සිද්ද වෙලා තිබුනා.මේ ඔක්කොම වැඩ ඕගනයිස් කෙරුවේ හොස්ටල් ප්‍රිෆෙක්ට් අයියලා.11 වසරෙ ළමයිනුත් ඉතිං ට්‍රිප් එක යන දවසෙ උදේම ලන්ච් පැකට් බදින්න එහෙම උදව් වුණාලු.අන්තිමට ඉතිං සුභ මොහොතින් කට්ටිය සාදුකාරයක් එහෙම දීලා නුවරඑළිය බලා පිටත් වුණාලු.

දැන් ඉතිං මග දිගට විස්තර කියන්න ගියොත් මේක ටුවරිසම් බ්ලොග් එකක් වෙනවා නොවැ! ඒක හින්දා ඒ වැඩේ අපේ අභීත ලොක්කාට බාර දීලා අපි කතාව ටිකක් ස්කිප් කරන්නම් නේද?

කොහොමහරි ඉතිං එදා හවස්වෙද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණා නුවරඑළියට එන්න.ඉතිං ඊට පස්සෙ තිබුනෙ නවාතැනට යන එක.ළමයි දෙසිය පනහකට විතර නවතින්න පුලුවන් තැන් නුවරඑළියෙ අඩු නිසා සාමාන්‍යයෙන් හොස්ටල් ට්‍රිප් වලදි නවතින්න තෝරගත්තෙ නස්රත් ෆාම් කියලා ප්ලේස් එකක්.මේ ෆාම් එක මැද්දෙ තියෙන ලොකු බිල්ඩින් එකේ ගොඩක් කට්ටියට නවතින්න පුලුවන්.

ප්‍රිෆකේට්ලා ඇවිත් ළමයින්ව කාමර වගට දැම්මට පස්සෙ 11 වසරෙ ළමයින්ටත් වෙනම රූම් එකක් හම්බවුණා.හැබැයි ඉතිං රූම් එකේ ටිකක් ඉඩ මදි.ඒක හින්දා පුරුපුරු ඇතුලු සෙට් එකක් පොඩි සංචාරයක් දාන්න එළියට ගියාලු.රෑ වෙලා තිබුන හින්දා එළියෙ හොදටම සීතලයි.කට කට ගාලා කට්ටියම ගැහෙනවා.ඉතිං ඔය වෙලාවෙ තමයි ඔතන හිටපු සලාට මරු අයිඩියා එකක් ආවෙ.

සලා :- මචං, අම්බානට සීතලයි.නරකද පොඩ්ඩක් අරවා ටිකක් ගෙනාවොත් එහෙම?

දැන් සලා මේ යෝජනා කරන්නෙ මතට තිත තියන්න.වෙලාවෙ හැටියට නරකම අයිඩියා එකකුත් නෙවෙයි.සකයාත් එක පයින්ම මේ යෝජනාවට කැමති වුණා.ඉතිං කට්ටිය ආපහු ගිහින් අනුමත වෙන්න කැමති කට්ටියගෙන් සල්ලි එකතු කරන්න ගත්තලු.මොනවා වුණත් ට්‍රිප් එකේදි බොන එක සෑහෙන ඩේන්ජරස් වැඩක්.හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ට මාට්ටු වුණොත් අම්බානට කන්න වෙනවා.කොටියා සර්ට මාට්ටු වුණොත් හොස්ටල් එකෙන් අස්වෙන්න පවා සිද්ද වෙන්න පුලුවන්.ඒත් ඉතිං "ඩේන්ජර් ඉස් මයි බිස්නස්" කියලා මතට තිත තියන්න කොල්ලො කීප දෙනෙක් සලාටයි, සකයාටයි එකතු වුණාලු.

අන්තිමට මතට තිත තියන්න එකතු වුණේ සලා, සකයා, පුරුපුරු, ජුවාන්, සංජු සහ පොල්පොට් කියන කට්ටිය.දැන් ඉතිං ප්‍රශ්නෙ බොන්නෙ මොන ජාතියද? කියන එකට වඩා, බෝතල් ගේන්නෙ කොහෙන්ද? කියන එක.දැන් අපේ කට්ටියට ෆාම් එකට ආපු පාර මතකත් නෑ.ඒ මදිවට බෝතල් ගේන්න නුවරඑළිය ටවුන් එක පැත්තට යන්න වෙනවා.ඉතිං මේ වෙලාවෙ වීර පුරුෂයො වගේ මේ වැඩේට ඉදිරිපත් වුණේ පොල්පොට් සහ සකයා.ඒ දෙන්නා "අරවා" ගේනකං පොඩි රෙස්ට් එකක් ගන්න කියලා අනිත් හතරදෙනා ආපහු රූම් එකට ගියාලු.

හැබැයි ඉතිං ඔහොම තත්පර, විනාඩි ගෙවිලා ගිහිං පැය දෙක තුනක් ගෙවිලා ගියත් පොල්පොටුයි සකයායි ආපහු ආවෙ නෑ.පුරුපුරුටයි ජුවාන්ටයි මහන්සි නිසා එහෙම්ම නින්ද ගියාලු.ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි වෙනම පෝස්ට් එකකින් කියන්නම්.මොකද නැත්තං මේ ලිපිය දිග වැඩි වෙනවා.මොකද වුණේ කියලා බලන්න පහළ ලින්ක් එකෙන් යන්නකෝ!

හොස්ටල් ලයිෆ් - නුවරඑළියට පිස්සු හැදුන දවස

Saturday, September 25, 2010

හොස්ටල් ලයිෆ් - නිරුවත් මානවයා


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න ගත්තා.පහුගිය කාලෙ අපේ බ්ලොග්අවකාශෙ ගන කතා, බොග කතා වගේ එක එක කතා වලින් පිරිල ඉතිරිලා ගියානෙ.හැබැයි දැන්නම් ඒ කතා රැල්ල නැති වෙලා ගිහින් වගේ.ඉතිං අපිට හිතුනා අපේ බ්ලොග් පාඨකයන්ට ආපහු ගන කතා සහ බොග කතා වල මතකය අලුත් කරන්න.මේ පාර අපි තෝරගත්තෙ ටූ ඉන් වන් ස්ටෝරියක්.ඒ කියන්නෙ මේ කතාව ගන සහ බොග කියන කතා වර්ග දෙකම යටතෙ කියවන්න පුලුවන්.

අපිට පරණ හොස්ටල් කතා ගොඩක හම්බවෙච්ච චරිතයක් තමයි "සකයා" කියන්නෙ.ඒත් අපි කවදාවත් මෑන්ස් ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නෙ නෑ නොවැ!ඉතිං සකයා කියන්නෙ ටිකක් අබ්ලික් ඩයල් එකක්.පොර හැමතිස්සෙම බලන්නෙ කාටහරි ගේමක් දීලා ෆන් එකක් ගන්නලු.ඉතිං සකයා කරන හැම වැඩෙන්ම වෙන්නෙ කාටහරි හානියක් වෙන එකලු.ඒත් ඒ ගැන සකයාට කිසිම ගැටලුවක් තිබුනෙ නෑ.

සකයාගෙ වැඩ ගැන කියන්න ගියොතින් වෙනම සීරීස් එකක් ලියන්න පුලුවන්.ඒත් අපි දැනට එක වැඩක් ගැන විතරක් කියන්නංකෝ.අපේ යාලුවන්ට මතකයිනෙ හොස්ටල් එකේ බොග? 11 වසරෙ ඩෝම් එකේ ඉදලා බොගට තිබුනෙ ටික දුරයි.ඉතිං සකයා කරන්නෙ කවුරු හරි බොගට යනකොට හොරෙන් පස්සෙන් යන එකලු.ගිය මනුස්පයා බොගේ දොර වහගත්තට පස්සෙ සකයා කරන්නෙ බාල්දියකට ලොකු වතුර එකක් පුරවන එක.දැන් අපේ යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ ඊළගට වෙන්නෙ මොකද්ද කියලා?

ඊළගට වෙන්නෙ සකයා උඩින් එවන වතුර පාරෙන්, නිදහසේ ශරීර කෘත්‍යය කර කර ඉන්න මෑන්ස්ව නෑවිලා යන එක.ඉතිං ඇතුලෙ ඉන්න එකාට මලක් නෙවෙයි, මල් වත්තක්ම ජම්ප් වෙනවලු.හැබැයි සකයා ඔය වැඩේට තෝරගත්තෙ ඩෝම් එකේ හිටපු ඇගෙන් පොඩි ළමයින්ව විතරයි.මොකද අනිත් ළමයින්ට ඔය වැඩේ කළොත් අම්බානක කෑමේ අවදානමක් තියනවා නොවැ!ඉතිං හැමදාම ඔය ජල ප්‍රහාරෙට ගොදුරු වෙන්නෙ මාලුකට්ටා, තාරාවා, මුදලාලි වගේ කට්ටිය.ඉතිං ටික දවසක් යද්දි මේ කට්ටියට සකයගෙ ජල ප්‍රහාර මහා හිසරදයක් වුණාලු.

ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ සකයටත් ඔය වගේම ගේමක් දෙන්න ඕනෙයි කියලා.

ඩෝම් එකට ඒ දවස්වල පත්තර අරගෙන ආවෙ සකයා.දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ මොන පත්තරද කියලා නේද? ඒ තමයි ගන පත්තර.අපේ යාලුවා කරන්නෙ ගෙදර ගිහිං ආපහු හොස්ටල් එන දවසට පිටකොටුවෙ පේමන්ට් එකෙන් ඔය පත්තර අරගෙන එන එක.සාමාන්‍යයෙන් එකපාරට පත්තර තුන හතරක් අරගෙන එන එක සකයාගෙ සිරිත.ඉතිං අනිත් ළමයිනුත් තමන්ගෙ පත්තර අවශ්‍යතා සපුරාගත්තෙ සකයා ගෙනාපු පත්තර වලින්ලු.

ඒ දවස්වල ඩෝම් එක පත්තර වලින් පිරිලා.ගන පත්තරද, වර්ග පත්තරද, බොහොම සැර අඩු මට්ටමේ පත්තරද, ඕන එකක් තමන්ගෙ චොයිස් එකේ හැටියට තෝරගන්න නිදහස තිබුනා.ඉතිං රෑ ජාමෙ සකයා කරන්නෙ ඔය පත්තරේකුත් අරගෙන බොගට රිංගන එක.දැන් ඉතිං මොකටද කියලානං අහන්න එපා.දන්නෙම නැති කෙනෙක් ඉන්නවානං පිස්සගේ මේ ලිපිය කියවන්නකෝ.

දැන් සකයට ගේමක් දෙන්න ප්ලෑන් කර කර හිටපු යාලුවො කට්ටියට ඒක ක්‍රියාත්මක කරන්න කියාපු වෙලාවක් වුණේ මේ වෙලාව.ඉතිං කට්ටිය තීරණය කළාලු පහුවදා රෑටම මෑන්ස්ට ගේම දෙන්න ඕනෙයි කියලා.

**************************************************************************************************
කොහොම හරි ඉතිං පහුවදා රෑ කාලෙත් උදා වුණාලු.හොස්ටල් එකේ ළමයි ඩිනර් එකත් අරගෙන, ලේට් ස්ටඩීස් එහෙමත් කරලා ඉවරත් වුණාලු.දැන් කට්ටිය නිදි වගේ බොරුවට ඉන්නෙ සකයා බොගට යනකං.මෙන්න ටික වෙලාවකට පස්සෙ කලුවරේ හෙවනැල්ලක් වගේ පේනවලු මිනිස් රූපයක් ඩෝම් එකෙන් එළියට යන හැටි.ඇගේ හැඩයෙන් ඒ සකයාමයි කියලා අදුනගන්න එච්චර අමාරු වුණේ නෑ.ඉතිං මෑන්ස් ගිහිං විනාඩියකට විතර පස්සෙ බොරුවට නිදාගෙන හිටපු අපේ යාලුවො කට්ටිය නැගිටලා හොරෙන් හොරෙන් බොග පැත්තට ගියාලු.

මේ මිෂන් එකට රාත්‍රී ප්‍රහාරක බලකායෙන් සහභාගි වුණේ මාලුකට්ටයි, මුදලාලියි විතරයි.ඒ වුණත් මොකද වෙන්නෙ කියලා බලන්න පුරු පුරු ඇතුලු අනිත් ළමයිනුත් නැගිටලා උන්නලු.දැන් තියෙන්නෙ මිෂන් එක ක්‍රියාත්මක කරන එක.

ඉතිං අපේ යාලුවො ටික කළේ සකයා බොග ඇතුලෙ ඉන්නකොට හොරෙන් ගිහින් බොගේ දොර එළියෙන් ලොක් කරපු එක.එහෙම කරලා තිබුනෙ අර ඉබ්බා දාන්න ඕනෙ තැනට කෝටුවක් හිරකරලා.ඊට පස්සෙ කට්ටිය කරලා තිබුනෙ බාල්දි දහයකට විතර වතුර පුරවලා සකයාට මහාපරිමාණ ජල ප්‍රහාරයක් එල්ල කරන එක.

ජබෝස්..................

මෙහෙම විනාඩි පහක් විතර කට්ටිය මෑන්ස්ව නෑව්වලු.සකයා ඇතුලෙ ඉදගෙන කෑ ගහනවලු, සුද්ද සිංහල වචන වලින් රාත්‍රී වායුගෝලය දූෂණය කරනවලු, දොර කඩන්න හදනවලු.ඉතිං මෙහෙම බාල්දි සීයක් විතර නෑව්වට පස්සෙ අපේ යාලුවො ටිකට වැඩේ ඇතිවෙලා ආපහු ඩෝම් එකට ආවලු.දැන් කට්ටිය බලාගෙන ඉන්නවා සකයා එනකං.හැබැයි පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ, බොගේ දොර ලොක් කරන්න ගහපු කෝටුව ගැලෙව්වෙ නෑ නේද කියලා.දැන් ඉතිං මළ කෙළියයි.........

අපේ යාලුවො වහාම ගිහිං සකයා හිටපු බොගේ දොරේ ලොක් එක ගැලෙව්වලු.මේ වෙද්දි මෑන්ස් හිටියේ තෙමිලා ගැහි ගැහී.හැබැයි ගැහි ගැහීනං හිටියේ තෙමිලා ඇතිවුණ සීතලටත් වඩා ජම්ප් වෙච්ච ෆ්ලවර් එකේ සැරට.ඒ මදිවට පත්තරේ ආපහු වැඩක් ගන්න බැරි තරමට හොදටම දියබත් වෙලා.සකයට එදා ජම්ප් වෙච්ච ෆ්ලවර් එක තමයි හොස්ටල් එකේ ඉතිහාසෙ ජම්ප් වෙච්ච හොදම එක.

කට්ටිය දොර ඇරලා බලද්දි සකයා ඉන්නවලු හරකෙක් වගේ පිඹ පිඹ, ඇස් දෙක රතු කරගෙන.ඒ මදිවට මෑන්ස් ඇදගෙන හිටියෙ ටී ෂර්ට් එකක් විතරයිලු.වහාම එළියට පැන්න සකයා කට්ටියවත් තල්ලු කරගෙන එළියට ආවලු.ඊට පස්සෙ මෑන්ස් කළේ ටී ෂර්ට් එක විතරක් ඇදගෙන පිස්සුවෙන් වගේ හයියෙන් ඩෝම් එක පැත්තට ගිය එක.අපේ යාලුවො ටික හිතුවෙ දැන් සකයා ඩෝම් එකට ගිහිං නිදාගනියි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.

ඩෝම් එකට යන පාරදිගේ මගදුරක් ගිය සකයා කළේ එක පාරටම වම් පැත්තට හැරුන එක.ඒක දැකපු අපේ යාලුවන්ට තරු පේන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද සකයා හැරුන වම් පැත්තෙ තිබුනෙ කොටියා සර්ගෙ නිල නිවාසෙ.මෙන්න එක පාරට සකයා කෑ ගහන්න ගත්තෙ නැතැයි...

කොටියා සර්..........කොටියා සර්..............

අපේ යාලුවො ටික වහාම දුවගෙන ගියෙ සකයව ඇදගෙන ඩෝම් එක ඇතුලට යන්න.මොකද තරහෙන් අන්ධ වෙලා හිටපු සකයට තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැනවත් තේරුමක් නෑ.දැන් කොටියා සර් නැගිට්ටොත් කට්ටියම ඉවරයි.පළවෙනි කා‍රනේ, මේ වෙලාවෙ නැගිටලා ඉන්න එක ලොකු වැරැද්දක්.ඊළගට සකයට වතුර ගහපු එකත් වැරැද්දක්.ඒ ඔක්කොටම වඩා සකයා හොස්ටල් එක ඇතුලෙ ගන පත්තර තියාගෙන ඉන්න එක ලොකුම වැරැද්දක්.ඉතිං කරන්න තිබුන එකම විකල්පෙ සකයාව ඇදගෙන ඩෝම් එකට යන එක.

ඒත් මේ වෙලාවෙ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා හිටපු සකයාව මෙල්ල කරන එක කොහොමටවත් ලේසි පාසු වැඩක් වුණේ නෑ.මෑන්ස් කළේ කට්ටියවම තල්ලු කරලා ගිහිං නිල නිවාසෙ බෙල් එක ගහන එක.දැන්නං ඉතිං බඩුම තමයි...

හැබැයි මේ වෙලාව වෙද්දි සකයගෙ ගෝරනාඩුව ඇහිලා ඩෝම් එකේ අනිත් ළමයිනුත් එතනට ඇවිත් තිබුනා.ඉතිං කට්ටියම එකතු වෙලා මෑන්ස්ගෙ අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි වෙන වෙනම අල්ලලා උස්සගෙන අමාරුවෙන් ඩෝම් එක ඇතුලට අරන් ගියා.අරන් යනකොටම තමයි කොටියා සර්ගෙ නිල නිවාසෙ ලයිට් පත්තුවුණේ.ඉතිං කට්ටිය ඩෝම් එකට ගිහිං හැංගිලා බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.

ටික වෙලාවකින් නිල නිවාසෙ දොර ඇරුණා.කොටියා සර්ගෙ ආදරණීය බිරිද තමයි දොර ඇරියෙ.ටික වෙලාවක් වට පිට සෝදිසි කරපු මැඩම්, ආපහු දොර වහගත්තා.තව ඩිංගෙන් මැඩම්ට දැකගන්න වෙන්නෙ ටී ෂර්ට් එකක් විතරක් ඇදගත්ත තෙමිච්ච මනුස්සයෙක් මහරෑ දොළහත් පහුවෙලා තමන්ගෙ දොරකඩට වෙලා ඉන්න හැටි.

කොහොම හරි පහුවදා වෙද්දි සකයා යථා තත්ත්වෙට ආවා.11 වසරෙ ළමයි එකතු වෙලා හොස්ටල් එකේ තොවිලයක් නටන්න තිබුන චාන්ස් එක නැති කරගත්තා.ඒ වගේම 10 වසරෙ ළමයෙක්ට බොග ඇතුලෙ තිබිලා කොට කලිසමකුයි, තෙමිච්ච පත්තරේකුයි හමුබවුණා කියලත් කනින් කොනින් ආරංචි පැතිරෙන්න ගත්තා............

Sunday, September 5, 2010

හොස්ටල් ලයිෆ් - පීරියඩ් කට් කිරීම



ඉතිං යාලුවනේ ටික දවසකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න අවස්ථාව ලැබුනා.මේ දවස්වල පූසන්ට ටිකක් බිසී.ඒක හින්දා මේ පැත්තෙ එන්න චාන්ස් එකක් හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.ඉතිං හැම කොමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවීම ගැන අපිට සමාවෙන්න හොදේ........

මේ දවස්වල අවකාශෙ නැගල යන්නෙ ඉස්කෝලෙ කට් කරන කතා නොවැ! අපේ අභීත සහෝදරයත් ඒ ගැන ලියලා තිබුනා.ඉතිං අපිටත් හිතුනා ඒ ගැන කතාවක් ලියන්න.

ඔය ඉස්කෝලෙන් පනින එකේ මූලික අරමුණ කොහෙහරි ගිහින් විනෝද වෙන එකනෙ.ඒ වුණාට කොහෙවත් යන්න ඕනෙ නැති, ඒත් තමන් අකමැති පීරියඩ් එකක පන්තියෙ ඉන්නත් බැරි ළමයෙකුට තියෙන හොදම විසදුම තමයි පීරියඩ් කට් කරන එක.ඉතිං ඕ ලෙවල් කාලෙ වෙද්දි පූසන්ගෙත් ෆේවරිට් අංගය වෙලා තිබුනෙ ස්කූල් කට් කිරීමට වඩා, පීරියඩ් කට් කිරීමලු.ඒ කියන්නෙ අකමැති පීරියඩ් එකේදි පන්තියෙන් පැනලා ඒක ඉවර වුණාට පස්සෙ ආපහු පන්තියට එන එක.

හැබැයි පීරියඩ් කට් කරනකොට ඉස්කෝලෙ ඇතුලෙම රැදෙන්න වෙන හින්දා, මුලින්ම කාලෙ ගෙවන්න සුදුසු තැනක් තෝරගන්න ඕනෙ.ඉතිං ඔය අවශ්‍යතාවය අතින්නම් හොස්ටල් එකේ ළමයි හිටියෙ සෑහෙන්න වාසනාවන්ත පරිසරයකලු.මොකද සමහර ඉස්කෝලවල වගේ නෙවෙයි, කුරුදුවත්ත හොස්ටල් එක පිහිටලා තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙමයි.ඉතිං පීරියඩ් කට් කරන ළමයි හොරෙන් හොස්ටල් එක ඇතුලට රිංගගත්තට පස්සෙ, එලාම් එකක් තියාගෙන සැපට නිදියගෙන ඉන්නයි තිබුනෙ.අපේ පුරුපුරුත් ඒ දවස්වල ඔය වැඩේට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියලු.

ඒ වුණාට ඔය වැඩේ කොහොමටවත් හිතන තරම්ම ලේසි පාසු වැඩක් වුණේ නෑ.මොකද තමන්ගෙ ඕෆ් පීරියඩ් වල කොටියා සර් හිටියෙත් හොස්ටල් එක ඇතුලෙමයි.ඉතිං හොස්ටල් එකට යන්න කලින් මුලින්ම ෆුල් සර්ච් පාරක් දාන්න ඕනෙ "කොටි පුසුඹ" හොස්ටල් එක ඇතුලෙන් එනවද කියලා.මොකද ඉස්කෝලෙ වෙලාවෙ (ඉන්ටර්වල් එක ඇර) හොස්ටල් එකට එන එක බරපතල වැරැද්දක්.

බැරිවෙලා හරි සර් හොස්ටල් එක ඇතුලෙ ඉන්නවා කියලා තේරුනොත් කට්ටිය කරන්නෙ පැවිලියන් එක පැත්තට ගිහින් වෙලාව ගතකරන එක.එතකොට හැබැයි නිදාගන්න වෙන්නෙ නෑ.ඒ වුණාට අවේලාවෙ හොස්ටල් එකට ඇවිත් කොටියා සර්ගෙන් ගුටි කනවට වඩා කවුරුත් කැමති වුණේ ඒ ක්‍රමයටලු.මොකද පීරියඩ් කට් කරලා අහුවුණාම ඒ ළමයට දරුණු විදිහට වේවැල් කසාය දෙන්න කොටියා සර් ආයි දෙපාරක් හිත හිතා හිටියෙ නෑ.

සර් කරන්නෙ හොස්ටල් එකට ආපු ගමන් 10, 11 ඩෝම් වල ළමයි ඉන්නවද කියලා චෙක් කරලා බලන එක.අසනීප ළමයෙක්ටනං සර්ගෙන් විශේෂ අවසරයක් අරගෙන ඩෝම් එකේ ඉන්න පුලුවන්.එහෙම නැති ළමයෙක් දැක්කොත් තමයි සර්ගෙ සැගවුණු කොටියා කරළියට එන්නෙ.

ඉතිං එක දවසක් ඇග්‍රිකචල් පීරියඩ් එකේදි පුරුපුරුට හිතුනලු හොස්ටල් එකට ගිහින් ටිකක් රෙස්ට් කළානං හොදයි කියලා.මොකද පුරුපුරුලා ඇග්‍රි රූම් එකට යද්දි, ඒ වෙනකොටත් මිස් උගන්නන්න ඇවිල්ලා තිබුනෙ නෑ. එතකොට ඉතිං කම්මැලි හිතෙනවා නොවැ! මෑන්ස් කළේ තමන්ගෙ අදහස ඇග්‍රි කරපු අනිත් හොස්ටල් යාලුවන්ටත් දැනුම් දුන්න එක.බැලින්නං කට්ටිය ඒ වෙනකොටත් තීරණය කරලා ඉවරයි හොස්ටල් එකට යන්න.ඉතිං ඔය වැඩේට එකතු වුණේ පුරුපුරු, ජුවාන්, සකයා සහ සංජු.

දැන් අපේ යාලුවො කට්ටිය 10 වසර බිල්ඩින් එකේ තිබුන ඇග්‍රි රූම් එකෙන් පිටත් වෙලා සියඹලා ගහ, පිට්ටනිය හරහා හොස්ටල් එකට යනවලු.ඉතිං හොස්ටල් ගේට්ටුව ළගදි තමයි පිටිපස්ස බලපු ජුවාන් අතිශය විනාශකාරී දර්ශනයක් දැකලා තියෙන්නෙ.බැලින්නං පිට්ටනියෙ එහා කෙළවරින් කොටි ඡායාවක් මතුවෙනවලු.ඉතිං අපේ යාලුවො කළේ කකුල් දෙකට පින් දීලා, උසේන් බෝල්ට් ලොක්කත් පරද්දන වේගෙන් ඩෝම් එක ඇතුලට යනකම්ම දුවපු එක.

දැන් කට්ටියට ෂුවර් සර් මේ සිද්දිය දැක්කයි කියලා.ඉතිං වෙනිං විකල්පයක් නැති නිසා අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු හැංගෙන්න.සංජු හැංගුනේ ලයිමෝල්ගෙ කබඩ් එක පිටිපස්සෙ.පුරුපුරුයි ජුවානුයි හැංගුනේ ඇදන් දෙකක් යට.හැබැයි සකයට විතරයි එතනදි ක්‍රියේටිව් අයිඩියා එකක් පහළ වුණේ.

ඒ දවස්වල ඩෝම් එකේ තිබුනා මැර සතියෙදි ගෙදර ගිය අයියලා දාලා ගිය කබඩ් කීපයක්.ඒ අතරින් එක කබඩ් එකක් යකඩින් හදපු උස කබඩ් එකක්.ඒක ඇතුලෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.ඉතිං සකයා කළේ ඔය කබඩ් එක ඇතුලට වැදිලා දොර වහගත්ත එක.දැන් කට්ටිය ගැහි ගැහී ඉන්නවා.

ඉතිං ටික වෙලාවකින් බලාපොරොත්තු වෙච්ච විදිහටම කොටියා සර් ඩෝම් එක ඇතුලට ආවලු.බැලින්නං සර් ඇවිත් තියෙන්නෙ නිල නිවාසෙටත් ගිහිං තඩි වේවැල් දෙකක්ම අරගෙන.ඔය විදිහට ටික වෙලාවක් ඩෝම් එක ඇතුලෙ සර්ච් කරපු කොටියා සර්ට පුරුපුරුවයි, ජුවාන්වයි, සංජුවයි හොයාගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.සර් ඊටපස්සෙ කළේ මේ තුන්දෙනාව ඩෝම් එකේ දොර ළග පේළියට හිටවපු එක.

කොටියා සර් :- තමුන් දන්නවද මේ වෙලාවෙ අනවසරයෙන් හොස්ටල් එකේ ඉදීම වරදක් කියලා?

ළමයි :- ඔ...ඔව්..සර්......

කොටියා සර් :- කෝ තමුන්ලත් එක්ක දුවගෙන ආපු අනිත් ළමයා? ඒ සකයා නේද??

ළමයි :- නෑ..සර්..අපි තුන්දෙනා විතරයි ආවෙ....

කොටියා සර් :- ආ..දැන් වැරදි කළා මදිවට බොරුත් කියනවද?

චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...

මෙහෙමෙ කියපු කොටියා සර් අපේ යාලුවො තුන් දෙනාට නියම වේවැල් කසායක් දෙන්න පටන් ගත්තලු.ඒත් ඉතිං ගුටි කෑවයි කියලා සකයාව පාවල දෙන්නත් බෑ නොවැ! ඉතිං කට්ටිය මීයො තුන්දෙනා වගේ සද්ද නැතුව ගුටි කාගෙන හිටියලු.අන්තිමට ගුටි‍කෑම නැවතුනේ වේවැල් දෙකම පොඩි පොඩි කෑලි වලට කැඩිලා ගියාට පස්සෙ.මේ වෙද්දි අපේ යාලුවන්ට හොද ගණන්ලු.

ඉතිං කොටියා සර් කළේ තුන්දෙනාව අතඇරලා ගිහින් ඩෝම් එක පුරාම සකයාව හොයපු එක.හැබැයි ගොඩක් වෙලා හෙව්වත් සර්ට මෑන්ස්ව හොයාගන්න ලැබුනෙ නෑ.කවුද හිතන්නෙ කොල්ලෙක්ට කබඩ් එකක් ඇතුලෙ හැංගෙන්න පුලුවන් කියලා.ඉතිං සකයා බොගේ හැංගිලා ඇති කියලා උපකල්පන‍ය කරපු කොටියා සර් මෑන්ස්ව හොයන්න ඒ පැත්තට ගියාලු.ඒ අවසරෙන් සකයා කළේ කබඩ් එකෙන් එළියට ඇවිත්, ඩෝම් එකේ ජනේලෙන් එළියට පැනලා, ඩෝම් එකේ පිටිපස්සෙන් ඉස්කෝලෙට දුවපු එක.මොකද මෑන්ස් දන්නවා මේ වෙලාවෙ සර්ට අහුවුණොත් පොරව කෝටුමස් කරලා තමයි නවතින්නෙ කියලා.

අන්තිමට වුණේ සකයව හොයාගන්න බැරිවෙච්ච කොටියා සර්ගෙන් අපේ යාලුවො තවත් හොදට බැනුම් අහපු එක.ඒ වගේම එදා හවස 11 ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් කට්ටියට නියම වුණාලු.ඒ විතරක්නම් මදෑ, ඇයි මීටපස්සෙ පීරියඩ් කට් කරන්නෙ නැතෙයි කියලා දුන්න "දිවුරුම් ප්‍රකාශය".

කොහොම හරි ඉතිං අපේ යාලුවො ටික ආපහු ඉබි ගමනින් ඉස්කෝලෙ පැත්තට ඇදුනෙ ෆුල් හන්ටර් වෙලා.හැබැයි පූරුවෙ පිනකටද කොහෙද, එදායින් පස්සෙනං පුරුපුරු පීරියඩ් කට් කළත් කොටියා සර්ට මාට්ටු වුණේ නෑලු.....


ප.ලි - ඔය ගෑනු ඉස්කෝලවලනං හොස්ටල් ළමයින්ට පීරියඩ් කට් කළත් කිසිම ප්‍රශ්නයක් නෑලු. මේට්‍රන් ඇවිත් හේතුව අහද්දි දෙන්න පුලුවන් හොද උත්තරයක් තියනවනෙ.ටියුබ් ලයිට් නැත්තං ඔයාලටත් හිතාගන්න පුලුවන් උත්තරේ. බයෝ කරපු ඈයින්ටනං නතින්.හික්ස්.......

Monday, August 16, 2010

හොස්ටල් ලයිෆ් - තණකොළ ගලවපු හැටි


ඉතිං යාලුවනේ අද අපි කාලෙකට පස්සෙ හොස්ටල් කතාවක් කියන්නයි යන්නෙ.ඒ වගේම මේක තමයි පූසන්ගෙ 10 වසරෙ සිද්දි වලින් අපි කියන්න බලාපොරොත්තු වෙන අන්තිම කතාව.මේ වෙද්දි පුරුපුරුලගෙ 10 වසරෙ බැච් එක තමයි හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙලා තිබුනෙ.මොකද මැර සතියෙදි කංජිනාත් ගුටි කෑවට පස්සෙ මුලු 11 වසරම හොස්ටල් එකෙන් අස් කළා නොවැ!

මේ වෙද්දි 2002 අවුරුද්ද ඉවර වෙන්නත් ළගයිලු.ඉතිං හැම ඉස්කෝලෙම වගේම කුරුදුවත්ත ඉස්කෝලෙත් දැන් එන්ඩ් ටර්ම් ටෙස්ට් එක ළං වෙලා.ඉතිං හොස්ටල් එකේ හිටපු ළමයි හැමෝම වගේ දැන් ගජරාමෙට පාඩම් කරනවලු.ඔය අධ්‍යාපන පැත්ත සැලකුවොත් හොස්ටල් එකේ හිටපු ළමයි කොටස් තුනකට බෙදන්න පුලුවන්.

පළවෙනි කොටස තමයි හැමදාම මහන්සිවෙලා පුරුද්දක් වශයෙන් පාඩම් කරන ළමයි.මෙහෙම අයනම් මුලු හොස්ටල් එකටම හිටියෙ කීප දෙනයි.ඊළග කොටස තමයි විභාගෙ කාලෙට විතරක් පාඩම් කරන ළමයි.හොස්ටල් එකේ ගොඩක් හිටියෙ මේ ජාතියෙ මෑන්ස්ලා.පුරුපුරුයි මාලුකට්ටයි අයිතිවුණෙත් මේ ගොඩටමයි.තුන්වෙනි කොටස තමයි ජීවිතේට පොතක් අතින් අල්ලන්න කැමති නැති ළමයි.කොටියා සර්ගෙ උවමනාවට ස්ටඩි ටයිම් එකේ පොතක් පෙරලගෙන හිටියට මේ අය කවදාවත් උනන්දුවෙන් ඉගෙනගත්තෙ නෑ‍.පොන්ටින්, සකයා වගේ අය අයිති වුණේ මේ ගොඩ‍ට.

ඉතිං ටර්ම් ටෙස්ට් එක කිට්ටු වෙද්දි අර කලින් කිව්ව පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අයිති ළමයි ඩයිනින් හෝල් එකට ගිහිං පාඩම් කරනවලු.තුන්වෙනි කොටසෙ ළමයි ඩෝම් එකට වෙලා මොකක් හරි පිස්සුවක් නට නටා ඉන්නවලු.

පුරුපුරුට තිබුන අප්සෙට් එක තමයි ඩයිනින් හෝල් එකේ පාඩම් කරන්න බැරි එක.මොකද මෑන්ස්ට පාඩම් කරන්න පුලුවන් නිදාගෙන විතරයි.ඉතිං ඇදේ පෙරළිලා නිදාගෙන පාඩම් කරන්න පුලුවන් ඩෝම් එක ඇතුලෙ විතරයි නිසා, පුරුපුරු ස්ටඩි ටයිම් එකේ ඇර අනිත් වෙලාවට පාඩම් කළේ ඩෝම් එක ඇතුලෙ.මොකද ස්ටඩි ටයිම් එකේදි ඩයිනින් හෝල් එක ඇතුලෙ පාඩම් කරන එක අනිවාර්ය කටයුත්තක්.

ඉතිං එක දවසක් පුරුපුරු හවස් වරුවක මෙහෙම ඇදේ පෙරලිලා පාඩම් කර කර ඉන්නවලු.බැච් එකේ පාඩම් කරන අනිත් ඔක්කොම කට්ටිය ඒ වෙලාවෙ ඩයිනින් හෝල් ගිහිල්ලයි හිටියෙ.ඩෝම් එකේ ඉතුරු වෙලා හිටියෙ පොන්ටින්, සකයා, පොල්පොට්, ජුවාන් වගේ කීප දෙනෙක් විතරයි.පහුවදා විභාගෙ විදිහට තියන්න නියමිත වෙලා තිබුන විද්‍යාව විෂය තමයි පුරුපුරු පාඩම් කර කර හිටියෙ.

ඉතිං මෑන්ස් පාඩම් කර කර හිටපු දර්ශනය පොන්ටින්ට පෙනුනලු.පොන්ටින් කියන්නෙ කොහොමත් එක විදිහකට ඉන්න පුලුවන් කොල්ලෙක් නෙවෙයි.ඒකනෙ අර පූසන්ගෙ රැවුල කපලා කොටියා සර්ගෙන් ගුටි කෑවෙ.ඉතිං පොන්ටින්ට අයිඩියා එකක් ආවලු පුරුපුරුට මොකක් හරි අරියාදුවක් කරන්න ඕනෙ කියලා.මෑන්ස් කළේ එලියට ගිහිං පොඩි ගල් කැට ටිකක් අරගෙන ඇවිත් ඈත ඉදන් පුරුපුරුට ගහන එක.පුරුපුරුටත් මොන දේ ඉවසන්න පුලුවන් වුණත් පාඩම් කරන වෙලාවෙ කරදර කරන එක ඉවසන්න බෑ.මේ බව පොන්ටිනුත් හොදට දැනගෙන හිටියලු.

ඉතිං පුරුපුරු කළේ ගල් ගහන වාරයක් ගානෙ නැගිටලා පොන්ටින්ගෙ ඥාති සමූහයාට පුන්‍යානුමෝදනා කරපු එක.ඇයි දෙයියනේ විද්‍යාව කියන්නෙ ඒ දවස්වල ඉදන්ම බලාපොරොත්තු තියාගෙන හිටපු සබ්ජෙක්ට් එක නොවැ!කොහොම හරි පොන්ටිනුත් වැඩේ අතඇරියෙම නැහැලු.දැන් පුරුපුරුට නස්තාර් වෙන්න ෆ්ලවර් ජම්ප් වෙලා තියෙන්නෙ.මේ අතරෙ තමයි පොන්ටින්ගෙ තියුණු ඇස් වලට ඩෝම් එකේ කෙළවරක තිබුන හොකී බෝලයක් පෙනුනෙ.ඒ දවස්වල ඉතිං බැච් එකේ එක එක ක්‍රීඩා කරපු ඈයො හිටපු නිසා ඩෝම් එක ඇතුලෙ හොකී බෝල, බේස් බෝල, ක්‍රිකට් බෝල, ටෙනිස් බෝල වගේ දේවල් ඕන තරම් තිබුනා.

දැන් ඉතිං අපේ කියවන යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ පොන්ටින්ගෙ ටිකිරි මොළේට‍ ආපු අයිඩියා එක ගැන.ඉතිං පොන්ටිනුත් කෙරුවෙ අර හොකී බෝලෙ අරගෙන පාඩම් කර කර හිටපු පුරුපුරුගෙ ඔලුවට දමලා ගැහුව එක.හොකී බෝලයක් තියන්නෙත් ලේසි පාසු බෝලයක් නෙවෙයිනෙ.හරියට නිකං ගල් ගෙඩියක් වගේ.


ඉතිං මේක වැදුන පාරටනං පුරුපුරුට අම්බානට රිදුනා.ඒ වගේම හිරකරගෙන හිටපු කේන්තිය එළියට පැන්නා.එදා තමයි මෑන්ස්ගෙ ජීවිතේ වැඩියෙන්ම ෆ්ලවර් ජම්ප් වෙච්ච දවස.

"පොන්ටි.......න්............"
වහාම පොත පැත්තකට විසි කරලා දැම්ම පුරුපුරු කෑ ගහගෙන නැගිට්ටා.හික්...දන්නවනෙ ඉතිං පූසන්ට තරහ ගියාම.පුරුපුරුගෙ මූණෙ තිබුන ලුක් එක දැක්කට පස්සෙ තමයි පොන්ටින්ට තේරුනේ වැඩේ ජෝන් බාස්ට ගියයි කියලා.ඉතිං මෑන්ස් කළේ වහාම ඩෝම් එකෙන් එළියට පැනලා දුවපු එක.දැන් පුරුපුරුගෙ එකම බලාපොරොත්තුව තමයි පොන්ටින්ව අල්ල ගන්න එක.

මේ වෙලාවෙ පුරුපුරු උඩට කිසිම ඇදුමක් ඇදලා තිබුනෙ නෑ.‍හොස්ටල් එකේ නීතියට අනුව උඩට ඇදුමක් නැතුව ඩෝම් එකෙන් එළියට බැසීම දඩුවම් ලැබිය හැකි වැරැද්දක්.ඒ වුණාට පුරුපුරුට ජම්ප් වුණ ෆ්ලවර් එකේ හැටියට මොන නීතිද?ඉතිං මෑන්ස් කළේ ඇදගෙන හිටපු කොට කලිසම පිටින්ම ඩෝම් එකෙන් එළියට පැනලා පොන්ටින් පස්සෙන් පන්නපු එක.ඩෝම් එකෙන් එළියට යන්න හදද්දිම සකයයි, සලයි පැනලා පුරුපුරුව නවත්තන්න ට්‍රයි එකක් දුන්නා.ඒත් පුරුපුරු කළේ ඒ දෙන්නවත් තල්ලු කරගෙන එළියට පැනපු එක.

දැන් පොන්ටින් පණ කඩාගෙන දුවනවා.පුරුපුරු අඩ නිරුවතින් මෑන්ස් පස්සෙ පන්නනවා.ඔහොම දුවද්දි එක පාරටම බිල්ඩින් එකක් ගාව වංගුවකින් හැරුන පොන්ටින් අතුරුදහන් වුණාලු.දැන් පුරුපුරුට පොන්ටින්ව හොයාගන්න බැහැ.මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුනේ ටී ෂර්ට් එකක් නැතුව ඇවිල්ලා කරගත්තු මෝඩකම ගැන.ඉක්මනට ගිහිං ටී ෂර්ට් එකක් දාගෙන ඇවිත් පොන්ටින්ව හොයන්න ඕනෙ කියලා හිතාගෙන ආපහු හැරෙද්දිම තමයි පුරුපුරු අතිශය භයංකාර දර්ශනයක් දැක්කෙ.

හත්වලාමයි.....වේවැලක් අතේ තියාගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි, කොටියා සර්...

උඩට ඇදුමක් නැතුව එළියට බැහැල හිටපු පුරුපුරුව දැකපු කොටියා සර්ගෙ ඇස් උඩ ඉන්දවුණා.බරපතල වැරැද්දක් නොවැ!ඉතිං අපේ පූසාට නිදහසට කාරනා කියන්නත් කලින් සිද්දවුණේ සර්ගෙන් වේවැල් පාරක් කාල ඉන්න.

"පුරුපුරු, මොකද මේ ඔය ළමයා උඩට ඇදුමක් නැතුව එළියට බැහැලා?"

කොටියා සර් එහෙම ඇහුවලු.දැන් ඉතිං බේරෙන්න තියෙන එකම ක්‍රමේ ඇත්ත කියන එක කියලා හිතාගත්තු පුරපුරු සර්ට වෙච්ච සිද්දිය කිව්වලු.

"ආ..දැන් ඔය ළමයා ගිහිල්ලා උඩට ඇදුමක් දාගෙන එනවා.එද්දි පොන්ටින්වත් එක්කගෙනම එන්න"

එහෙම කියපු සර් යන්න ගියාලු.ඔය තරමින්වත් බේරෙන්න ලැබීම ගැන පුරුපුරුට හරි සතුටුයි.ආපහු ඩෝම් එකට ගිය පුරුපුරු ටී ෂර්ට් එකකුත් ඇදගෙන වෙච්ච සිද්දිය සගයන්ට කිව්වලු.ඉතිං කට්ටියම තීරණය කළාලු පොන්ටින්ව හොයන්න යන්න.හැබැයි ගිහිං ගොඩ වෙලාවක් හෙව්වත් මෑන්ස් ගැන කිසිම නිව්ස් එකක් හොයාගන්න කට්ටියට බැරි වුණාලු.හවස් වෙද්දි තමයි පොන්ටින් ආපහු ඩෝම් එකට ආවෙ.බැලින්නං මෑන්ස් හැංගිලා ඉදලා තියෙන්නෙ 11 වසර ඩෝම් එකේ.ඇයි 11 වසරෙ ළමයින්ව හොස්ටල් එකෙන් අස් කළාට පස්සෙ ඩෝම් එක හිස් වෙලානෙ තිබුනෙ.මේ වෙද්දි පුරුපුරුගෙ කේන්තියත් නැති වෙලා තිබුනෙ.

ඉතිං ඊට පස්සෙ පුරුපුරුයි පොන්ටිනුයි ගියාලු කොටියා සර්ව හම්බවෙන්න.නඩුව අහපු සර් කළේ පොන්ටින්ට වේවැල් පාර කීපයක් දෙන එක.ඊට අමතරව පහුවදා විභාගෙ ඉවරවෙලා ඇවිත් පැය බාගයක් 10 වසර ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් මෑන්ස්ට නියම වුණාලු.ඇදුම් නැතුව ආකිමිඩීස් වගේ දුවපු වැරැද්දට පුරුපුරුට ලැබිච්ච පනිෂ්මන්ට් එක තමයි තණකොළ ගලවන වැඩේට පොන්ටින්ට සපෝට් කරන්න වෙච්ච එක.ඉතිං පහුවදා යාලුවො දෙන්නා එකතු වෙලා ඩෝම් එක ඉස්සරහා තිබුන තණකොළ ටික ඔක්කොම ගලවලා දැම්මලු.

ප.ලි - අපේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් වල ෆොන්ට් සයිස් එක වැඩි කරන්න මග පෙන්නපු නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට බ්ලොග් ගඩොල් උත්තමාචාර!!!

Monday, August 2, 2010

හොස්ටල් ලයිෆ් - මැර සතිය 2 - The Week of Evil 2



අපි කලින් ලිපියෙන් කිව්වනෙ යාලුවනේ මැර සතිය පටන් ගත්ත හැටියි, 10 වසරෙ ළමයි 11 වසරෙ අයියලගෙන් ගුටිකාපු හැටියි ගැන.අද අපි කියන්න යන්නෙ මැර සතියෙ ඉතුරු කොටස ගැන.ඊට කලින් මැර සතිය 1 කොටස කියවපු නැති යාලුවො කියවල ඉන්නකො.


ඉතින් දැන් මැර සතියෙ ජයග්‍රාහී හතර වෙනි දවසත් උදාවෙලා.පුරුපුරුලට හිතාගන්න බෑ මේකට විරුද්දව මොකද්ද කරන්න පුලුවන් කියලා.පළවෙනි ඔප්ෂන් එක තමයි කොටිය සර්ට පැමිණිලි කරන එක.ඒත් ඉතිං 11 වසරෙ වගේම 10 වසරෙත් ඔය පොඩි එවුන්ට හිංසාකරන මානසිකත්වය තිබුන කීප දෙනෙක් හිටියා.ඉතිං සර්ට පැමිණිලි කරන්න ගියොත් තමන්ගෙ කේස් එහෙමත් එළියට එයි කියල ඒ අයට බයයිලු.කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනව නොවැ!ඉතිං ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක වුණේ නෑ.


ඊළග ඔප්ෂන් එක තමයි අපේ සිකා යෝජනා කළා වගේ කට්ටිය සංවිධානය වෙලා 11 වසරට ගහන එක.ඒත් ඉතිං ඒ වැඩේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.10 වසරෙ හිටියෙ 25 දෙනයි.11 වසරෙ 45 දෙනෙක් හිටියා.ඉතිං 11 වසරට ගහන්නනං 9 වසරෙ සහයෝගයත් ගන්න වෙනවා.ඒත් 9 සහ 10 වසරවලුත් සෑහෙන අමනාපෙන් තමයි ඔය දවස්වල හිටියෙ.ඉතිං ඒ ඔප්ෂන් එකත් ප්‍රැක්ටිකල් එකක් බවට පත්වුණේ නෑලු.


ඔය අතරෙ තමයි ටර්නිං පොයින්ට් එක උදාවුණේ.


***********************************************************************************


ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන ඩයිනිං හෝල් එකේ දොරවල් දෙකක් තිබුනා.එක දොරකින් කාටත් යන්න එන්න අවසර තිබුනා.ඒත් අනිත් දොරින් යන්න එන්න අවසර තිබුනෙ 11 වසරෙ ළමයින්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හරි විතරයි.ෆොටෝ එකේ දකුණු පැත්තෙ ඉහල කෙලවරේ සුදු පාටින් රවුම් කරල තියෙන්නෙ ඔය පොඩි ළමයින්ට යන්න තහනම් කරපු දොර.ඔය නීති අවුරුදු ගණන් තිස්සෙ පැවතගෙන ආපු හොස්ටල් ට්‍රැඩිෂන් කියල තමයි කට්ටිය කිව්වෙ.ඒ වගේම බැරිවෙලා හරි ඔය දොරෙන් පොඩි එකෙක් ගියොත් ඒක ලොකු වැරැද්දක් විදිහට තමයි අයියලා සැලකුවෙ.

පුරුපුරුලගෙ බැච් එකේ හිටපු කංජිනාත් ටිකක් ස්පෙෂල් ඩයල් එකක්.ඒ කිව්වෙ මෑන්ස්ට හවස හයෙන් පස්සෙ ඇස් පේන්නෙ නෑ.ඉතිං කණ්ණාඩි දාගෙන තමයි පොර හැම තිස්සෙම හිටියෙ.නිදාගන්නෙත් අනිත් කොල්ලො වගේ නෙවෙයි ටිකක් අමුතු විදිහටලු.ඔය පහළ ෆොටෝ එකේ තියෙන්නෙ මෑන්ස් නිදාගන්න විදිහ.


ඉතිං හවස්වරුවෙ පොර මනෝ පාරක් ගහගෙන ඇවිද ඇවිද ඉන්නකොට අමතක වෙලා අර "තහනම්" දොරෙන් ඩයිනිං හෝල් එකට ඇතුල් වෙලා.වැරදිම වෙලාවෙ මෑන්ස් අතින් සිද්ද වෙච්ච වැරදි වැඩක්.ඒ වෙලාවෙ 11 වසරෙ අයියල කට්ටියකුත් ඩයිනිං හෝල් එක ඇතුලෙ පාඩම් කර කර ඉදලා.ඕ ලෙවල් විභාගෙටත් තව ටික දවසයි නොවැ!ඉතිං කංජියට වෙලා තියෙන්නෙ මහා නස්පැත්තියක්.


මැර සතියෙදි බරපතල වැරැද්දක් කරපු හේතුවට අයියල ටික කංජිනාත්ට අල්ලගෙන හොදටම ගහලා.ඒ මදිවට මෑන්ස් ඉතිං පුරුපුරුලා, පොන්ටින්ලා, සකයලා වගේ ගුටිකෑම දරාගෙන ඉන්න පුලුවන් මනුස්පයෙකුත් නෙවෙයි.ඉතිං පාරවල් කිපයක් ගහද්දි කංජිනාත්ට කලන්තෙ දැම්මලු.


දැන් අයියල කට්ටියත් නස්තාර් වෙන්න බය වෙලා වහාම 10 වසරෙ කීප දෙනෙක්ට එන්න කියල පණිවිඩයක් එව්වලු.කට්ටිය ගිහිං බලද්දි කංජියා බිම දොයි.හැබැයි මේ පාරනං 10 වසරෙ කට්ටියට ආයි අමුතුවෙන් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.අපේ යාලුවො ටික කළේ වහාම ගිහිං කොටියා සර්ට කම්ප්ලේන් කරපු එක.

සිද්දිය අහපු කොටියා සර්රුත් "කොටියෙක් වගේ" කෝපාවිෂ්ට වුණාලු.ඇයි ඉතිං මේ සිද්දියට සර්රුත් වගකීම ගන්න එපායැ.වහාම දුවල ගිය කොටියා සර් කංජිනාත්ව ටික දෙනෙක් එක්ක හොස්පිට්ල් එකට යැව්වලු.ඊට පස්සෙ තමයි 11 වසරෙ කට්ටියගෙ නරක කාලෙ උදාවුණේ.කොටියා සර් වේවැලක් අරගෙන මුලු හොස්ටල් එක පුරාම 11 වසරෙ කට්ටියට ගගහ පැන්නුවලු.පුරුපුරුලටත් ඒක දැකල හිනා.කොහොම හරි මැර සතියෙ ලොකුම මැරයා වුණේ කොටිය සර්.

හොද වෙලාවට කංජිට ඒතරං අමාරු කේස් එකක් වෙලා තිබුනෙ නෑ.මෑන්ස් පහුවදාම ආපහු හොස්ටල් එකට ආවලු.මේ සිද්දිය පහුවදා වෙද්දි මුලු ඉස්කෝලෙ පුරාම ආරංචි වෙලා.ප්‍රින්සිපල්ටයි ගුරුවරුන්ටයි ගොඩක් තරහ ගිහිං තියෙන්නෙ කංජියට ගහපු එකටත් වඩා "මැර සතිය" කියන නමටලු.ඉතිං ප්‍රින්සිපල්, කොටිය සර්, රිචා සර් ඇතුලු කට්ටිය මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් කරලා අන්තිමට තීරණය කළාලු කංජිනාත්ට ගහපු කට්ටියව හොස්ටල් එකෙන් අස් කරන්න.


මේ වෙලාවෙදි 11 වසරෙ අයියල තීරණය කළේ සිද්දියෙ වගකීම මුලු බැච් එකම එකතුවෙලා බාරගන්න.ඒ කට්ටිය බලාපොරොත්තු වුණේ එතකොට කට්ටියටම බලපාන පොඩි දඩුවමක් විතරක් ලැබෙයි කියලා.අනික ඕ ලෙවල් විභාගෙත් ළගයිනෙ.ඒත් සිද්ද වුණේ කවුරුත් නොහිතපු දෙයක්.සිද්දියෙ වගකීම මුලු බැච් එකම බාරගත්ත හින්ද වහාම ක්‍රියාත්මක වෙන විදිහට මුලු 11 වසර බැච් එකම හොස්ටල් එකෙන් අස් කරන්න කොටිය සර් තීරණය කළාලු.

මේ වගේ සිද්දියක් වෙලා තියෙන්නෙ හොස්ටල් එකේ ඉතිහාසෙ පළවෙනි වතාවටලු.ඉතිං අයියල කට්ටියට සිද්දවුණේ දවස් දෙකක් ඇතුලත ඔක්කොම බඩු පැක් කරගෙන හොස්ටල් එකෙන් යන්න.ඔන්න ඔහොම තමයි පුරුපුරුලගෙ බැච් එක 10 වසරෙදිම හොස්ටල් එකේ සීනියර් බැච් එක බවට පත්වුණේ.

***********************************************************************************


ප.ලි - දැන්නං කංජියා ඉන්නෙ කැන්ගරු දේසෙලු.මේ බ්ලොග් එක බලනවද දන්නෙත් නෑ.


ඒ වගේම හොස්ටල් එකෙන් අස්කරපු අයියලගෙ බැච් එකේ කට්ටිය වැඩි දවසක් නොගිහින්ම පුරුපුරුලගෙ බැච් එකේ ළමයි එක්ක සියලු තරහ මරහ අමතක කරලා හොදට ෆිට් වුණා.දැන්නං ඉතිං කොහෙදි හම්බවුණත් කරට අත දාගෙන මචං කියල තමයි දෙගොල්ලො කතා කරන්නෙ.

හොස්ටල් ජීවිතේ හැටි එහෙමයි.එකට ඉන්නකං මරාගන්නවා.ඒත් හොස්ටල් එකෙන් අයින් වුණාට පස්සෙ මරගත්තු හැමෝම සහෝදරයො වගේ ෆිට් එකේ ඉන්නවා.මොකද හොස්ටල් එකෙන් අස්වෙලා ටික ටික වයසින් වැඩෙද්දි තමයි කට්ටියට තේරෙන්නෙ හොස්ටල් එකේ ඉදිද්දි කරල තියෙන්නෙ පිස්සු වැඩ නේද කියලා.

හොස්ටල් ලයිෆ් එකේ පුරුපුරුට මුලින්ම කම්මුල් පාරක් ගහපු අයියා පස්සෙ කාලෙක මෑන්ස් එක්ක හොදට ෆිට් වුණා.මේ ළගදි එයා හදිසි අනතුරකින් ජීවතෙන් සමුගත්තා.ඉතිං එයාට නිවන් සුව අත්වෙන්න කියලත් පතලා මේ ලිපිය නවත්තන්නම්....

හොස්ටල් ලයිෆ් - මැර සතිය - The Week of Evil

පහුගිය දවස්වල අපි හොස්ටල් කතා කීපයක්ම ඔයාලට කිව්වනෙ.ඉතිං යාලුවනේ අදත් අපි හොස්ටල් කතාවක්ම තමයි ඔ‍යාලට අරගෙන ආවෙ.කවුරුත් දන්නවනෙ මොළේ තියෙද්දි බලේ නෑ, බලේ තියෙද්දි මොළේ නෑ කියන කතාව.මේ සිද්දිය ඒ කතාව ප්‍රායෝගිකව ඔප්පු වෙච්ච අවස්ථාවක්.


දැන් ඔන්න පුරුපුරුලා 10 වසරෙ අන්තිම හරියට ඇවිල්ලලු ඉන්නෙ.තව සති කීපෙකින් 11 වසරෙ.ඒ කියන්නෙ කට්ටිය හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙන්නලු යන්නෙ.ඉතිං ඊට පස්සෙ අර පුරුපුරුලට ගහපු අයියලට ආපහු පුරුපුරුලට තග දාන්න චාන්ස් එකක් එන්නෙ නෑ.දැන් ඉතිං 11 වසරෙ අයියල කට්ටියට මාර දුකයිලු.ඔය හැම බැච් එකේම වගේ මේ අයියලගෙ බැච් එකෙත් හිටිය අනුන්ට පීඩා කිරීමේ මානසිකත්වය තිබුන කීප දෙනෙක්.ඉතිං ඒ කට්ටිය තීරණය කළාලු හොස්ටල් එකේ සියලුම ජූනියර් බැච් වලට බල පැවැත්වෙන පරිදි "මැර සතියක්" ක්‍රියාත්මක කරන්න.(නම දැම්මෙත් ඒ අයම තමයි)


ඉතිං අයියල පොඩි එවුන්ට දැනුම් දුන්න විදිහට මේ මැර සතියෙදි කෙරෙන්නෙ වැරදි වලට උපරිම විදිහට දඩුවම් දෙන එකලු.ඉතිං ඒක හින්ද පුලුවන් තරම් වැරදි කිරීමෙන් වැලකිලා ඉන්න කියලත් කට්ටියට උපදෙස් ලැබුනා.ඒ වුණාට ඉතිං අපේ යාලුවො කට්ටියනං දැනගෙන හිටියා මොනතරං වැරදි නොකර හිටියත් අයියලා කට්ටිය බොරු වැරැද්දක් හරි දාල පොඩි එවුන්ට ටොපිය සෙට් කරන බව.


ඉතිං කට්ටිය අමාරුවෙන්, කිසිම වැරැද්දක් නොකර මැර සතියෙ පළවෙනි දවස ගත කළා කියමුකො.ඊළගට ආපු දෙවෙනි දවසෙදි තමයි 10 වසරෙ ළමයි අතින් "බරපතල" වැරැද්දක් වුණේ.ඒ තමයි දවල් කෑම පෝළිමට එන්න විනාඩියක් විතර පරක්කු වෙච්ච එක.ඉතිං අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් තමයි එතන සිද්ද වුණේ.වහාම ක්‍රියාත්මක වෙච්ච 11 වසරෙ අයියලා 10 වසරෙ මල්ලිලට දැනුම් දුන්නලු ආෆ්ටර් ඩිනර් එයාලව මීට් වෙන්න කියලා.


ඔන්න හවස් වීගෙන එද්දි 10 වසරෙ ඩෝම් එකට තව පණිවිඩයක් එනවලු අයියලව මීට් වෙන්න ඕනෙ කුප්‍රකට දෙල් ගහ යටදි කියල.අපි අර කලින් කතාවකදි කිව්ව වගේ "දෙල් ගහ යටදි මීට් වෙන්න" කියන්නෙ හොස්ටල් එකේ ළමයෙක්ට අහන්න ලැබෙන වැඩියෙන්ම බය හිතෙන පණිවිඩයක්.ඉතිං හොද සංග්‍රහයක් අත ළග කියල පුරුපුරුට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියෙ නෑ.

වැඩේ අම්බානට බරපතලයි කියල කට්ටියට තේරුණේ 10 වසරෙ බැච් එකේ හිටපු පොඩි පොඩි බට්ටො ටිකට එදා අයියලව මීට් වෙන්න ඕනෙ නෑ කියල ආපු තවත් පණිවිඩේකින් පස්සෙ.ඒ කියන්නෙ ඇග ලොකු, හොදට ගුටි කන්න පුලුවන් ඩයල් ටික විතරයි එදා රෑ දෙල් ගහ යටට යන්න ඕනෙ.මේ පණිවිඩේ ඇහුවට පස්සෙනං අපේ පුරුපුරු ලොක්කට හීන් දාඩියත් දැම්මලු.

කොහොම හරි ඉතිං සුබ නැකතත් උදාවුණාලු.ඩිනර් එකෙන් පස්සෙ බැච් එකේ හිටපු 25 දෙනාගෙන් ගුටිකන්න පුලුවන් 15 දෙනෙක් දෙල් ගහ යටට පිටත් වුණාලු.ගහ යටට ගියාට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ පහලොස් දෙනාට ගහන්න අයියල 30ක් විතර ඇවිත් ඉන්න වග.පුරුපුරුත් දැන් ඉතිං බලාගෙන ඉන්නවලු ගන දෙයියොවත් ඇවිල්ල යාලුවො ටික බේරගනී කියල.ඒත් ඉතිං දෙයියන්ටත් ඔයිට වඩා වැදගත් වැඩ නැතෑ කරන්න.

කොහොම හරි ඉතිං ඊට පස්සෙ කට්ටියව පෝලිමට හිටවල අයිය කෙනෙක් "හොස්ටල් විනය","සීනියෝරිටි" වගේ මාතෘකා ගැන ලෙක්චර් එකක් දුන්නලු.ඊට පස්සෙ උදා වුණේ වරදට දඩුවම් දීමේ වෙලාව.

"චට පට චට පට"

ගාල සද්දෙ එක්කම කම්මුල් වලට සැරට පාරවල් වදිනවා කට්ටියට තේරුණාලු.පුරුපුරුටනං පාරවල් විසිපහක් තිහක් විතර වැදුන බව මතකයි.කොට අයියලා උඩ පැන පැන තමයි 10 වසරෙ මල්ලිලට ගැහුවෙ.කොහොම හරි ඉතිං ගුටිකාල ඉවර වුණාට පස්සෙ පස් දෙනෙක් ඇරෙන්න ඉතුරු කට්ටියට ආපහු ඩෝම්ගත වෙන්න පර්මිෂන් ලැබුනලු.


ඉතුරු වෙච්ච පස්දෙනා තමයි පුරුපුරු, පොන්ටින්, සකයා, සලා සහ පොල්පොට්.ඒ අයට විරුද්දව එල්ල වෙච්ච චෝදනාව තමයි ගුටි කනකොට අයියලට රැව්වයි කියන එක.කොහොමත් පොන්ටිනුයි සකයයි එක්ක අයියලගෙ බැච් එකේ ලොකු තරහක් තිබුනා.මොකද ඒ දෙන්නම නාහෙට අහන්නෙ නැති දෙන්නෙක් කියල හොස්ටල් එක පුරාම ප්‍රසිද්ධයි.ඉතිං ඉතුරු වෙච්ච පස් දෙනාටත් තව ටිකක් ගුටිකෑවට පස්සෙ ආපහු යන්න පර්මිෂන් හම්බ වුණා.


පුරුපුරුට දැන් ඉතිං බ්‍රහස්පතියි සිකුරුයි ඇස් දෙක ඉස්සරහ පායල වගේ.වෙනද නොපෙනිච්ච තරු මූණ ඉස්සරහ බල්ටි ගහනවලු.ඒ මදිවට ගුටිකාල වැඩිවෙලා මූණත් හිරිවැටිලා.මොනවත් දැනෙන්නෙ නෑ.ආපහු ඩෝම් එකට යන ගමන් බොගට ගිහිං කණ්ණාඩියන් බැලුවට පස්සෙ තමයි මෑන්ස් දැක්කෙ කටින් ලේ එනවයි කියලා.


ඉතිං කටත් හෝදලා අයියලගෙ මෑණිවරුන්ගෙ ගුණ මෙනෙහි කර කර අපේ පූසා ඩෝම් එකට ඇවිල්ල නිදාගත්තලු.පහුවදා උදේ තමයි දැනගත්තෙ 9 වසරෙ සෙට් එකටත් ඒ වගේම සංග්‍රහයක් ලැබිලයි කියලා.ඉතිං පුරුපුරුලගෙ කට්ටිය සාකච්ඡා කළාලු මැර සතියට විරුද්ධව මොකද කරන්නෙ කියලා.සමහරු කිව්වලු කොටියා සර්ට ගිහිං කම්ප්ලේන් කරමුයි කියලා.තවත් සමහරු ඒකට කැමති වුණේ නෑලු.ඉතිං ඔය විදිහට තර්ක කර කර කට්ටිය මැර සතියෙ තුන් වෙනි දවසත් ගත කළාලු.


ඊට පස්සෙ තමයි යාලුවනේ තීරණාත්මක හතර වෙනි දවස උදා වුණේ.හතර වෙනි දවසෙදි මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?

ප.ලි - ඔය පහරදීම කොච්චර ටෙක්නිකලි කරනවද කියනවනං, පහුවදා උදේ වෙද්දි කාටවත් බැලූ බැල්මට හොයන්න බෑ අහවලාට තියෙන්නෙ කලින් දවසෙ ගුටි කාපු මූණක් කියලා.