අඹ යාලුවෝ

Friday, August 17, 2018

ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්.

ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්.
1. සිල්වා
මේ නම "සිල්වාන්" නම් නමින් බිඳී ආවක්. "සිල් + වාන්", එහෙමත් නැත්නම් "වාන් දැමීමට තරම් සීලයක් ඇති" යන්න තමයි මෙහි අරුත. එනම් "සිල්වා" යනු "සීලයෙන් අගතැන්පත්" තැනැත්තායි.
2. පෙරේරා
මෙය "පෙරේ + රා" යන පදයෙන් විකසනය වූ නමක්. "රාගය පෙරා වෙන්කළ" යන්න තමයි මෙහි දිගු තේරුම. ඒ අනුව පෙරේරා යනු වීතරාගී, එහෙමත් නැත්නම් "නිර්වාණය කරා ගමන් කරන්නා"යි.
3. ප්‍රනාන්දු
මෙය "ප්‍රාණ + රැන්දූ" යන පදවලින් සැදුණු නමක්. එනම් සරලව ගත්තොත් අනෙක් ප්‍රාණීන්ගේ පණ බේරන යන අර්ථය තමයි මෙයින් නිරූපණය වෙන්නේ. ඒ අනුව "ප්‍රනාන්දු" යනු "අභය දානය ලබා දෙන්නා"යි.
4. ෆ්‍රැන්සිස්
ප්‍රනාන්දු ට තරමක් සමාන මේ නම ගොඩනැගෙන්නේ "ප්‍රාණ + සිස්" ලෙසයි. එනම් ජීවිතයේ හිස්බව වටහාගත් තැනැත්තා ෆ්‍රැන්සිස් නම් වේ.
5. සොයිසා
මේක තරමක් ඍජුඉදිරි (ස්ට්‍රේට් ෆෝවඩ්) නොවන නමක්. මේ නම ගොඩනැගෙන්නේ "සොයා + සාගරය" විදිහට. නමුත් මෙතන සාගරය යන්නෙන් නිරූපණය කරන්නේ සංසාර සාගරයයි. ඒ අනුව "සංසාර සාගරය තරණය කරන්නා" සොයිසා ලෙස හැඳින්වෙනවා.
6. රුබේරු
මේක සාපේක්ෂව සරල තේරුමක් ඇති නමක්. "රු + බේරු" යන්නෙන් තමයි මේ නම ගොඩනැගෙන්නේ. එනම් දිගු විදිහට ගත්තොත් රූපයෙන් බේරුනු යන්නයි. ඒ අනුව "ලෞකික සැපයෙන් මිදුනු" යන අරුත ඇති "රුබේරු", ලෝකෝත්තර යන්නට සමාන වචනයක්.
7. සුවාරිස්
මේ නම බිඳී ඇවිත් තියෙන්නෙ "සුව + අරි" යන්නෙන්. ඒ නිසා සරලව ගත්තොත් "ආර්ය සුවය ලබාදෙන්නා"ට යොදන්න පුලුවන් තවත් නමක් තමයි සුවාරිස් කියන්නේ.



ප.ලි.- මේ සටහනේ අඩංගු කරුණු සැබෑ නොවන බව සලකන්න