අඹ යාලුවෝ

Showing posts with label සව්සිරි. Show all posts
Showing posts with label සව්සිරි. Show all posts

Tuesday, December 27, 2011

මාලුකට්ටා සහ චාටර්මාලි


මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. 

මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් දන්න කාරනයක් නොවැ! ඔය ක්ලාස් යන අතරෙ තමයි අපේ මාලුකට්ටාටයි, ඤාව්වාටයි ලස්සන පැංචාවියක් මීටර් වුණේ. ඒ ගැන අපි වෙනම පෝස්ට් එකකුත් ලිව්වනේ. එහෙනං ඒක කලින් කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

කොහොමහරි ඉතිං බඹරෙ කැරකෙන්නෙ මාලුකට්ටාගෙ පැත්තට කියලා තේරුම් ගත්තාට පස්සෙ ඤාව්වා කළේ ශේප් එකේ වැඩේ අතඇරලා දාපු එක. ඉතිං තමන්ට තිබුන තර‍ඟෙ නැතිවුණ නිසා මාලුකට්ටාටත් පුලුවන් වුණාලු නිවි හැනහිල්ලේ ගේම් එක ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම කියනවානං මෑන්ස්ට චාටර්මාලිට ඇප්‍රෝච් කරන එක එච්චරම අමාරු වැඩක් වුණේ නෑ. මොකද චාටර්මාලි ඉස්කෝලෙ ගියේ හේනවිලේජ් සෙන්ට්‍රල් කොලීජියට. ඒ කියන්නෙ අපේ කලුකුමාරි ගිය ඉස්කෝලෙටමයි. ඒ වගේම මේ දෙන්නා ෆුල් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතිං පූස් සෙට් එකේ යෙහෙළියක් වුණ කලුකුමාරිගෙන් මාලුකට්ටාට උපරිම සහයෝගය ලැබුනලු චාටර්මාලිව යාලු කරගන්න.

හැබැයි හොඳම යෙහෙළියෝ වුණාට මොකද, කලුකුමාරියි චාටර්මාලියි ගතිගුණ අතින්නං සෑහෙන්න වෙනස්. කලුකුමාරි කියන්නේ නිතරම ෆන් එකේ ඉන්න, කොල්ලො එක්ක පවා හොඳට වෙනසක් නැතිව කතාකරන ටයිප් එකේ කෙල්ලෙක්. ඒත් චාටර්මාලි කියන්නේ බොහොම නිවිච්ච, තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න, ඒ වගේම කොල්ලො එක්ක වැඩි භජනෙට යන්නෙ නැති චරිතයක්. ඇත්තටම අපේ මාලුකට්ටාට චාටර්මාලිව හිතට අල්ලලා තියෙන්නෙත් මේ චරිත ලක්ෂණ හින්දාමයි.

කොහොම වුණත් මාලුකට්ටාගේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරන්න මේ දවස්වල පුරුපුරුට එච්චරම පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ වෙද්දි තමයි පුරුපුරු විදූශාගෙන් මහා පරිමාණ බූට් එකක් කාලා ජීවිතේ විඳවමින් හිටියේ. ඉතිං පුරුපුරු පැත්තකට වෙලා ගෑනු ජාතියට වෛර කර කර ඉන්නකොට උපාසකයි, ඤාව්වායි තමයි මාලුකට්ටා වෙනුවෙන් ඔය කටු කන වැඩ, ඔත්තුසේවා වැඩ වලට බැහැලා හිටියේ. කොහොමහරි පූස් සෙට් එකෙයි, කලුකුමාරිගෙයි අප්‍රතිහත ධෛර්යය නිසා අන්තිමට මාලුකට්ටාට පුලුවන් වුණාලු චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වෙන්න.

අපේ මාලුකට්ටාගෙ ඇ‍ඟේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්න පුලුවන් චරිත දෙකක් ජීවත් වෙනවා. එක චරිතයක් තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය මාලුකට්ටා. අනිත් චරිතය තමයි ගෑනු ළමයෙක් එක්ක යාලු වුණ/ යාලුවෙන්න කිට්ටු මාලුකට්ටා. ඉතිං චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වුණාට පස්සෙ මෑන්ස්ගෙ පළවෙනි චරිතය යට ගිහින් දෙවෙනි චරිතය ඉස්මතු වෙලා ආවලු. මේ කැරැට්ටුව මතුවුණාට පස්සේ මාලුකට්ටාගේ ලෝකයේ ඉන්නේ අදාල ස්ත්‍රී රත්නය විතරයි. එතකොට මෑන්ස්ට තමන්ගෙ ගෙදර, යාලුවෝ, කෑවද, බිව්වද, නෑවද, ඉගෙන ගන්නවද මේ මොනවත් මතක නෑ. ඉතිං මේ කාරනේ හින්දා අනිත් පූසන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ මේ දවස්වල මාලුකට්ටාව අල්ලගන්න.

කොහොමහරි වටින් ගොඩින් ආරංචි වෙච්ච කාරනා සහ මාලුකට්ටා හදිස්සියෙ මුණගැහුනාම කිව්ව දේවල් අනුව, දෙන්නා හොඳ යාලුවෝ වෙලා මාස දෙක තුනක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ආදරවන්තයෝ වෙලා තිබුනේ නෑ. මොකද චාටර්මාලි මේ වෙද්දි ඉඳලා තියෙන්නෙ තමන්ට කලින් හිටපු, එහෙම ඉඳලා තමන්ට බූට් එක තියපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන හිත හිතා. ඉතිං මාලු තමන්ගෙන් යාලුවෙන්න ඇහුවත් චාටර්මාලි මෑන්ස්ට කියලා තියෙන්නේ යාලුවෝ හැටියට ඉමුයි කියලා.

මේ වෙද්දි මාලුකට්ටා තමන්ගේ සියලුම ආදර ප්‍රශ්න ගිහින් කිව්වේ පූසන්ට නෙවෙයි කලුකුමාරිට. කලුකුමාරිත් ඉතිං තමන්ට හැකි විදිහට මාලුකට්ටාට චාටර්මාලිව දාගැනීම පිළිබඳව උපදෙස් ලබා දුන්නලු. මෑන්ස් ඉඳලා හිටලා හරි පූසෙක්ට චාටර්මාලි ගැන මොනවාහරි කිව්වානං ඒ උපාසකට විතරයි. ඒකත් පුරුපුරුට ඒ සම්බන්දයෙන් කියන්න එපා කියන කොන්ඩිෂන් එක මත.

“ඌ මොනවද බං සැබෑ ආදරය ගැන දන්නේ? මේවා කියන්න ඕනෙ එහෙම දන්න එවුන්ට විතරයි“

මාලුකට්ටා උපාසකට කීපවාරයක්ම මෙහෙම කිව්වලු. එක අතකට ඉතිං ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මොකද මේ වෙද්දි පුරුපුරුගේ දෙවන නියමය වුණේ “කිසිම කෙල්ලෙක් සීරියස් නොකළ යුතුයි“ කියන එක. (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය). 

කොහොමහරි ඉතිං මේ විදිහට කාලය ගෙවිලා ගියාලු. මාලුකට්ටාත් කාලයත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ආපහු පූසන්ව ආස්සරේ කරන්න පටන් ගත්තලු. මේ වෙද්දිනං මාලුකට්ටයි චාටර්මාලියි අතර තිබුන සම්බන්දෙ යාලු නොවීමයි, යාලුවීමයි අතරේ ඉන්ටර්ෆේස් එකේ තිබුනේ. ඔය අතරේ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි, කලුකුමාරියි, පුරුපුරුයි දියාරු ලෝකෙට ගියේ. දියාරු ලෝකෙ ගැන කියවපු නැති කට්ටිය එහෙනං මෙතනිං ගිහින් කියවලා එන්නකෝ.


ඉතිං ඔය සිද්දියෙන් ටික දවසකට පස්සේ චාටර්මාලි මාලුකට්ටාට බහ දීලා තිබුනා. ඉරිදා තිබුන කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි තමයි වැඩේ සිද්දවෙලා තිබුනේ. මේ ගැන පුරුපුරු ඇතුලු පූසො දැනගත්තේ පහුවදා උදේ. පහුවදා උදේ පාන්දරම මාලුකට්ටා ඉස්කෝලෙ ආවේ විකට් එකක් අරගෙන පිඹගෙන එන බ්‍රෙට් ලී ගොයියා වගේ උද්‍යෝගයෙන්. ඈත එන මාලුකට්ටාව දැක්ක මොහොතෙම පුරුපුරුට තේරුනාලු මෑන්ස්ගෙ වැඩේ හරි තමයි කියලා.

මාකට් :- පුරු, චාටර්මාලි මට කැමතියි කිව්වා මචං

පුරුපුරු :- ෂාහ්...එළමකිරි මචෝ. ඔන්න මයි හාර්ටියස්ට් කොන්ග්‍රැජුලේෂන්ස්. (මාලුකට්ටා වැළඳ ගනිමින්) ඔන්න අපිට පාටියක් ඕනේ හෙටම

මාකට් :- හික් හික්!! දෙන්නං දෙන්නං බං.

මාලුකට්ටා මෙහෙම කිව්වත් කාලයත් එක්ක සිද්ද වුණේ මෑන්ස් ආපහු අනිත් පූසන්ගෙන් ඈත්වෙච්ච එක. ඉස්කෝලෙ පන්තියේදි වුණත් මාලුකට්ටා වාඩි වුණේ පුරුපුරුයි මී කතුරායි එක්ක නෙවෙයි, වෙන පේළියක. ඉතිං මෑන්ස්ගෙ වෙනස්වීම ගැන අනිත් පූසො හතරදෙනාම ගොඩක් දුකින් හිටියේ. ඒත් එන්න එන්නම සිද්දවුණේ මාලුකට්ටා වෙනස්වුණ එක විතරයි. මේ වෙද්දි තත්ත්වය කොච්චර උග්‍ර වෙලා තිබුනාද කිව්වොත් තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයේම, චාටර්මාලිව හඳුන්වන්න මාලුකට්ටා පාවිච්චි කරපු “Dark Angle“ කියන නම කොටන්නත් මෑන්ස් පුරුදු වෙලා හිටියා (Angel කියන වචනෙ මාලුකට්ටා ලිව්වේ Angle කියලා).

කොටින්ම තමන්ගෙ බාහුවේ, පොත්වල හැම පිටුවක් ගානෙම, ෂර්ට් කොලර් එකේ, ලේන්සුවේ වගේම ඇඟේ එක එක තැන්වලත් Dark Angle කියලා ලියන්න මාලුකට්ටා පසුබට වුණේ නෑ. ඒ දවස්වල ක්ලාස් එකේ කොල්ලො කතා වෙවී හිටියේ මෑන්ස්ගෙ ජොකාගෙත් Dark Angle කියලා ලියලා තියෙනවාද දන්නෙ නෑ කියලා. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් විශේෂ දෙයක් වුණේ.

සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස එක එක ක්ලාස් වලට ගිහින් එන අපේ යාලුවො කට්ටිය අන්තිමට ගම්පහ බස්ටෑන්ඩ් එකට සෙට් වෙලා එකට තමයි ගෙදර යන්නේ. ඉතිං මේ වෙලාවට පුරුපුරු, ඤාව්වා, උපාසක, ඉස්සා, මැක්නාත්, සව්සිරි වගේ අපේ යාලුවෝ ගම්පහට සෙට් වෙනවා. ඉතිං මේ කියන දවසෙත් අපේ යාලුවො කට්ටිය ගෙදර යන්න කියලා පූස්ගම බස් එකට නැග්ගලු. පිටිපස්සෙම සීට් එකේ තමයි පූසෝ සුපුරුදු පරිදි වාඩි වුණේ. මොකද පස්සෙ සීට් එකේ ඉන්නකොට කට්ටියත් එක්ක හොඳට කෑ ගගහා යන්න පුලුවන්. පිටිපස්සෙ සීට් එකට කලින් එකේ වාඩිවුණේ සව්සිරි. මේ අතරේ තමයි වෙනදාට පරක්කු වෙලා ගෙදර යන මාලුකට්ටායි චාටර්මාලියිත් බස් එකට නැග්ගේ.

පූසන්ව දැකලා “හලෝ මචං“ කියලා කියපු මාලුකට්ටා සව්සිරි හිටපු සීට් එකට ඉස්සරහ එකේ චාටර්මාලිත් එක්ක වාඩිවුණාලු. මේ අතරේ තමයි චාටර්මාලිගෙ ගෙවල් ගාව පදිංචි වෙලා හිටපු සව්සිරි අලුගුත්තේරු වැඩක් කරලා තියෙන්නේ. මෑන්ස් කරලා තියෙන්නෙ සීට් එකේ පැත්තක තිබුන චාටර්මාලිගෙ බෑග් එක  ශේප් එකේ හොරකම් කරපු එක. ඊටපස්සේ මෑන්ස් කළේ බෑග් එක අපේ කපල් එකට නොපෙනෙන්න පිටිපස්සෙම සීට් එකේ හිටපු පුරුපුරුගෙ ඔඩොක්කුවට දාපු එක. ඒත් මේ වෙලාවේ පූසොත් එක්ක උපරිම පිස්සු කෙළිමින් වෙන සිහියක හිටපු පුරුපුරුට මේ සිද්දිය ගනන් ගතයුතු මට්ටමේ දෙයක් කියලා මීටර් වුණේ නෑ.

කොහොමහරි ඉතිං පෙම් ලෝකෙ අතරමං වෙලා හිටපු කපල් එකටත් බෑග් එක නැතිවෙච්ච බව දැනුනෙ ටිකක් වෙලා ගියාට පස්සේ. ඉතිං කලබල වෙච්ච චාටර්මාලි කළේ මූණ ඇඹුල් කරගෙන බෑග් එක හොයන්න පටන් ගත්ත එක. මේ වෙද්දි බස් එක අද්දන්නත් ළඟයි. ඉතිං මාලුකට්ටාත් බොහොම කලබලෙන් හැමතැනම බෑග් එක හොයන්න පටන් ගත්තලු. මේ වෙද්දිත් අපේ පූසන්ට මේ කිසි දෙයක් මීටර් වෙලා තිබුන් නෑ. ඔය වෙලාවෙ තමයි මාලුකට්ටා අන්තිම සීට් එක ගාවට ආවේ. ඉතිං තමන්ගෙ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්ගෙ බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවේ තියෙනවා දැකපු මාලුකට්ටාට මාරයා ආවේශ වුණාලු.

මාලුකට්ටා :- පුරුපුරු!!! තමුසෙට පිස්සුද චාටර්මාලිගෙ බෑග් එක ඉස්සුවේ?

මාලුකට්ටා කරපු ගෝරනාඩුවෙන් තමයි මෙච්චරවෙලා කෑ ගගහා හිටපු පුරුපුරු ඇතුලු පූසො කට්ටිය පියවි සිහියට ආවේ. එතකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තමන්ගෙ ඔඩොක්කුවේ ගෑනු ළමයෙකුගේ බෑග් එකක් තියෙන බව. ඒත් මෑන්ස්ට හිතාගන්න බෑ ඒක ඔඩොක්කුවට ආවේ කොහොමද කියලා. කොහොමහරි මේ වෙද්දි බස් එකේ මිනිස්සුත් බලන්න පටන් අරගෙන මොකද්ද මේ සීන් එක කියලා. පුරුපුරුට ලැජ්ජයි. ඒ වගේ අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. වෙන තැනකදිනං මාලුකට්ටාට ගහන්න හරි තිබුනා. ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සරහා කොල්ලෙක්ට ගහන එකත් සදාචාර සම්පන්න නෑ නොවැ!

පුරුපුරු මෙහෙම කල්පනා කරද්දි උපාසක තමයි බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවෙන් අරගෙන ආපහු මාලුකට්ටාට දුන්නේ. සව්සිරිත් මේ අතරේ බයවෙලා. මෑන්ස් හිතන්න නැතුව ඇති විහිලුව මේ තරම් දුරදිග යයි කියලා. කොහොමහරි තවත් හිටියොත් පුරුපුරුත් මාලුකට්ටාත් අතරේ බස් එක මැද්දේ වලියක් යන බව තේරුම් ගත්තු අනිත් යාලුවෝ පුරුපුරුවත් අරගෙන බස් එකෙන් බැස්සලු. එදා තමයි පූසො සෙට් එකේ මිත්‍රත්වය කියන පදනමේ පලුද්දක් ඇතිවුණේ. ඉතිං ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

ප.ලි :- මාලුකට්ටා වෙත,

උඹ මේක කියවනකොට බ්‍රෙට් ලී කියන්නෙ කවුද කියලා දන්නෙ නැත්තං මෙතනින් ගිහින් බලපන් :-).

Thursday, January 27, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4 (බයෝ ක්ලාස් එක)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3

ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙනුත් කිව්වා වගේ, පුරුපුරුට විදූශාගෙන් යාලුවෙන්න අහලා හරිහමන් උත්තරයක් ලැබුනෙ නෑ නොවැ! ඒ මදිවට මෑන්ස්ට විදූශාව කන්ටෑක්ට් කරන්න විදිහක් තිබුනෙත් නෑ. ඉතිං විදිහට අපේ පූසාට විදූශාව ආපහු හම්බවෙන්න නියමිත වෙලා තිබුනෙ ඊට සති දෙකකට පස්සෙ පටන්ගන්න ආචාර්ය උපුල්ගෙ බයෝ ක්ලාස් එකේදිලු.

දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේ සති දෙක පුරුපුරු ගතකළේ කොහොමද කියලා. කොටින්ම මෑන්ස් මේ දවස්ටිකේ හරියට කෑම කන්නවත් බැරුව, නින්ද යන්නෙත් නැතුව, සෙල්ලම් කරන්නත් බැරුව, බලාගත්ත අතේ බලාගෙන, කල්පනා කර කර තමයි හිටියෙ.එදා විදූශා පොසිටිව් උත්තරයක් දුන්නාට කියන්න බෑනෙ, සති දෙකක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.

කොහොමහරි ඉතිං ඔය විදිහට කාලෙ ගතවෙලා, පුරුපුරු බලාපොරොත්තුවෙන් හිටපු දවස - ඒ කියන්නෙ උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවස - අන්තිමේදි උදාවුණාලු. අපේ පූසාගෙ බලාපොරොත්තුව වුණේ උදේ පාන්දරම පූස්ගම බස්ටෑන්ඩ් එකට ගිහින්, විදූශා එක්කම ගම්පහ බස් එකේ යන්න. ඒත් බස්ටෑන්ඩ් එකට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියත් විදූශා එන පාටක් පේන්න තිබුනෙ නෑ. මේ අතරෙ මාලුකට්ටාත් ආපු නිසා පුරුපුරුයි මාලුකට්ටායි ගම්පහට යන්න පිටත් වුණාලු.

ගම්පහට ගිහින් ගම්පහ බස්ටෑන්ඩ් එකේ ටිකක් වෙලා හිටියත් ඒත් අපේ පූසන්ට විදූශාව මුණගැහුනෙ නෑ. ඊටපස්සෙ ඉතිං අපේ යාලුවො දෙන්නා කළේ ඉක්මනට ක්ලාස් එකට යන එක. මොකද මේ වෙද්දි අම්බානට පරක්කු වෙලා තමයි තිබුනෙ. කොටින්ම පුරුපුරුයි, මාලුකට්ටායි යනකොට ක්ලාස් එක පටන් අරගෙනත් ඉවරයි. ඉතිං පූසො දෙන්නා කළේ ක්ලාස් එකේ කාඩ් එකත් අරගෙන අන්තිම පේළියෙන් ගිහින් වාඩිවෙච්ච එක. ටිකක් එහායින් ඉස්සායි, මැක්නාතුයි, සව්සිරියිත් වාඩි වෙලා හිටියලු. දැන් අපේ යාලුවො දෙන්නාට තියෙන ලොකුම ප්‍රශ්නෙ විදූශා ක්ලාස් එකට ආවද නැද්ද කියන එක.

ඔය අතරේ උපුල් සර් ළමයි එක එක්කෙනා එක්ක කතා කර කර ක්ලාස් එකේ පිටිපස්සට ආවලු. ඇත්තටම ක්ලාස් එකේ හිටපු ළමයි තොගේ දැකලා පූසො දෙන්නා බයවෙලා හිටියේ. මොකද අපේ යාලුවො කට්ටිය මීට කලින් කවදාවත් මාස් ක්ලාස් එකකට ගිහින් තිබුනෙ නෑ. පස්සෙ තමයි තේරුනේ සමහර සර්ලගෙ ගෲප් ක්ලාස් වල උපුල් සර්ගෙ මාස් ක්ලාස් එකට වඩා ළමයි හිටපු වග. කොහොමහරි සර් හැමෝගෙන්ම අහගෙන ආවෙ මොකද්ද අනාගතේදි කරන්න බලාපොරොත්තු වෙන රැකියාව කියලා. ක්ලාස් එකේ හිටපු ළමයින්ගෙන් 95% කටත් වඩා කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා.

ඉතිං උපුල් සර් ඔහොම ඇවිල්ලා පුරුපුරුලා හිටපු අන්තිම පේලිය ළග නැවතුනාලු. අන්තිම පේළියෙත් මාලුකට්ටා ඇතුලු අනිත් ළමයින්ගෙ අයිඩියා එක වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒත් පුරුපුරු කිව්වේ තමන් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න කැමතියි කියලා. මොකද මෑන්ස් පොඩිකාලෙ ඉදලාම ඔය විද්‍යා වැඩ වලට කැමතියි. කොහොමහරි ඔය සිද්දිය හින්දා උපුල් සර්ට පුරුපුරුව හොඳට මීටර් වුණා. මොකද සර්රුත් ‍හොඳ සත්ව විද්‍යාඥයෙක්.

ඊටපස්සෙ සර් ගියේ මැක්නාත්ලා හිටපු පේළියට. මැක්නාත් කියන්නෙ පුසන්ට මෙච්චරකල් හම්බවුණු චරිත අතරින් හිත හොද, පිස්සුම පිස්සු ඩයල් එකක්. ඒ පේළියෙත් අනිත් ළමයි සර්ගෙ ප්‍රශ්නෙට දුන්නෙ සුපුරුදු උත්තරේමයි. ඒත් මැක්නාත් කවදත් අනිත් ළමයින්ට වඩා වෙනස්

උපුල් සර් :- පුතාගෙ නම මොකද්ද?

මැක්නාත් :- විශ්වග්‍රාත් මැක්නාත්

උපුල් සර් :- අනාගතේදි කවුරු වෙන්නද කැමති

මැක්නාත් :- සර්, මම බිස්නස්මන් කෙනෙක් වෙන්නයි කැමති

උපුල් සර් :- බිස්නස්? මොන වගේ බිස්නස් එකක්ද පුතා?

මැක්නාත් :- මට යෝගට් නිෂ්පාදකයෙක් වෙන්නයි ඕනෙ සර්. ඒකයි මම බයෝ කරන්න තෝරගත්තෙ‍

කොහොමහරි ඉතිං මෑන්ස්ගෙ කතාවට ක්ලාස් එකේ ළමයි ඔක්කොටම හිනා. ඔය අතරෙ පුරුපුරුයි, මාලුකට්ටායි රේඩාර් එක ක්‍රියාත්මක කරලා බැලුවලු විදූශා කොහෙහරි පේන්න ඉන්නවද කියලා. කොහෙද? කෙල්ලො සියගානක් අතරේ පූසන්ගෙ රේඩාර් එකත් හරියට වැඩ කරන්නෙ නැහැ. අනිත් එක ලස්සන ගෑනු ළමයෙක් දැක්ක හැටියෙ මාලුකට්ටාගෙ රේඩාර් එක එතන ස්ටක් වෙනවා. ඉතිං ඔය විදිහට විදූශාව හොයන වැඩේ සාර්ථකව කරන්න පූසන්ට බැරිවුණා.

ඊටපස්සෙ තමයි පුරුපුරුට මතක්වුණේ ඉස්සත් ක්ලාස් එක ඇතුලෙ ඉන්නවා නේද කියලා. පොර ඊටපස්සෙ කළේ චිට් එකක් ලියලා ඉස්සාට පාස් කරපු එක. චිට් එකේ තිබුනෙ " අද විදූශායි තිලංකායි ආවද? " කියන ප්‍රශ්නෙ. ටික වෙලාවකින් පුරුපුරුට ඉස්සාගෙන් යවපු චිට් එකට පිළිතුරු චිට් එකක් ආවලු. ඒක දිගඇරලා බැලුවම මෙහෙම උත්තරයක් තමයි තිබුනෙ.

"දෙන්නම ආවා. තව කෙල්ලෙකුත් එක්කගෙන ආවේ. සිතියමේ මාක් කරලා තියෙන තැන බලපන්"

බැලින්නං මෑන්ස් චිට් එක පහළින් ක්ලාස් එකේ සිතියමකුත් ඇදලා, විදූශා ඉන්න තැන මාක් කරලත් එවලා. ඊටපස්සෙ සිතියම අනුව ක්ලාස් එක නිරීක්ෂණය කරපු පුරුපුරුට පුලුවන් වුණාලු බොහොම අමාරුවෙන් විදූශා ඉන්න තැන හොයාගන්න. දැන්නං ඉතිං අපේ පූසාට මාර හැපී. ක්ලාස් එක ඉවරවෙනකං පුරුපුරු හිටියෙ හරිම නොඉවසිල්ලෙන්.

පළවෙනි දවස හින්දා ක්ලාස් එක තිබුනේ පැය එකහමාරක් වගේ පොඩි කාලයක්. ඉතිං ක්ලාස් එක එක ඉවරවෙච්ච ගමන් එළියට පැනපු පුරුපුරු, මාලුකට්ටා, සව්සිරි, ඉස්සා, මැක්නාත් ඇතුලු කොල්ලො සෙට් එක ගම්පහ - ජාඇල පාරට ආවලු. ඊටපස්සෙ ඉස්සායි, පුරුපුරුයි කළේ අනිත් කට්ටියගෙන් වෙන් වෙලා ටිකක් එහාට ගිය එක. මේ වෙද්දි ඉස්සාටත් මාසෙකින් තිලංකාව හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං මෑන්සුත් බොහොම බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න.

ඔහොම ටික වෙලාවක් යද්දි ක්ලාස් එක පැත්තෙන් මතුවෙච්ච ළමයි ගංගාව අතරින් විදූශාගෙයි, තිලංකාගෙයි මූණුත් මතුවුණාලු. පුරුපුරුව දැක්ක විදූශා ඈත ඉදන්ම සුහදශීලී හිනාවක් දාගෙන තමයි එතෙන්ට ආවෙ. ඊටපස්සෙ කට්ටිය කළේ බස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියපු එක. මේ ඇවිදීම බොහොම හිමින් තමයි සිද්දවුනේ. මොකද කාලෙකින් මුණගැහිච්ච කට්ටියට කතාබහ කරන්න ඕන තරම් දේවල් තිබුනා.

ඊළග කොටස බලන්න මෙතනින් යන්න

Sunday, July 25, 2010

සුනාමි පූසෝ 2 - අන්නාසි වත්ත


ඉතිං කොහොමද යාලුවනේ, එදා අපි කිව්වනෙ සුනාමි පූසෝ කොහොමද පාර පටන් ගන්න තැන ඉදලා අන්නාසි වත්ත ළගට යනකං ගියෙ කියලා.ඔන්න අද තමයි ඒ කතාවෙ ඉතුරු ටික කියවන්න පුලුවන්.ඒ කියන්නෙ අන්නාසි වත්තෙදි පූසො ෆේස් කරපු අමතක නොවෙන අත්දැකීම.


ඔය අන්නාසි වත්ත තිබුනෙ විද්‍යාව පන්තියට පේන දුරින්.ඉතිං කවුරුත් වගේ අපේ යාලුවො සෙට් එකත් අන්නාසි කන්ඩ ආසයි නොවැ.කට්ටිය ඉතිං මග බලාගෙනලු හිටියෙ ඔය අන්නාසි වත්තට පැනල පොඩි ගේමක් දෙන්න.හැබැයි අප්සට් සිද්දියකට තිබුනෙ වෙලාව පිළිබද ප්‍රශ්නෙ.මොකද ක්ලාස් එකට එන ගමන් වත්තට පනිනන ගියොත් එහෙම ක්ලාස් යන්න පරක්කු වෙනවා.ඉවර වෙලා යන ගමන් පනින්නත් අමාරුයිලු.මොකද පන්ති ඉවර වෙන්නෙ ගොඩක් හවස් වෙලා හින්ද ඒ වෙලාවට හරියට වටපිටාව පේන්නෙ නෑලු.ඉතිං පූසන්ට අන්නාසිවල රස නොබලා ඔහොම කාලයක් ඉන්න වුණා.


එක දවසක් ඉතිං පූසො ටික ක්ලාස් එකට යනවලු.එදා වේයන්ගොඩයයි, සව්සිරියයිත් හිටපු දවසක්.දැන් හයදෙනා අන්නාසි වත්ත ළගටත් ආවලු.එතකොට තමයි උපාසකට මීටර් වුණේ පාර අයිනෙ තිබුන අන්නාසි පදුරු කීපෙකම හොදට ඉදුන අන්නාසි ගෙඩි කීපයක් තිබුන වග.ඔය කාලෙට ඉතිං ඔය වගේ මනරම් දර්ශනයක් මිස් වෙන්නෙ කාටද ඉතිං?මෑන්ස් ඉතිං වහාම අනිත් අයටත් සුභ ආරංචිය දැනුම් දුන්නලු.කරන්න ඕනෙ වැඩේ ගැන කාටවත් දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.


අන්නාසි වත්ත වට කරලා කම්බි වැටක් ගහල තිබුනත් ඒ වැටත් අපේ පූසන්ගෙ අප්‍රතිහත ධෛර්යය ඉදිරියෙ අසරණ වෙලා ගියාලු.ඉතිං අපේ පූසො ටිකත් වත්තට පැනල අන්නාසි ගෙඩි තුනක්ම කඩාගත්තලු කන්ඩ.පූසො ඉතිං වැඩිය කඩන නරක ළමයි හෙම නෙවෙයි නොවැ!අනිත් එක ඉතිං මහ සයුරෙන් දිය දෝතක් ගත්තට මක්කෙයි?


හැබැයි ඔ‍තනදි තමයි කට්ටියට ලොකු ප්‍රශ්නයක් මතුවුණේ.අන්නාසි තිබුනට මොකද කපන්න පිහියක් කා ළගවත් තිබුනෙ නෑලු.මොකද අපේ පූසො සෙට් එක පන්ති යද්දි පිහි අරන් යන්න තරං මැර ඩයල් නෙවෙයිනෙ.වෙන කරන්න දෙයක් නැති හින්ද කට්ටිය තීරණේ කළාලු අන්නාසි ගෙඩි ටික ළග තිබුන ගලක ගහල කඩාගෙන කන්ඩ.ඒ කියන්නෙ අන්නාසි "රොක්" කරන්න.


දැන් ඉතිං කට්ටිය අන්නාසි රස විදිනවලු.හැබැයි අප්සට් එක තමයි ඔය රොක් මෙතඩ් එක අනුගමනය කරද්දි අන්නාසි ගෙඩියෙන් බාගෙට බාගයක් අහක යනවා.අන්තිමට බලද්දි ඉතිං ගෙඩි තුනෙන් එකහමාරක් විතරම බිමලු.කොහොම කොහොම හරි තමන්ගෙ ආසාව සංසිදුවාගත්ත පූසො පන්තියට ගියාලු.දැන් ඉතිං කට්ටියට ෆුල් හැපී.පන්තියට ගිහිං තමන් කරපු වීර ක්‍රියාව කලුකුමාරි ඇතුලු කෙල්ලො කට්ටියටත් කිව්වලු.


දැන් ඉතිං ඊළග සතියත් උදාවුණාලු.කට්ටියගෙ ප්ලෑන් එක ඉතිං මේ සතියෙත් අන්නාසි කන එක.සුපුරුදු විදිහට අපේ යාලුවො සෙට් එක එදා දවසෙත් වත්තට පැන්නලු.දැන් කට්ටිය රොක් මෙතඩ් එකෙන් අන්නාසි කන්න පටන් අරං.ඔහොම කද්දි තමයි ඔය පාරෙන් ගිය වයසක අන්කල් කෙනෙක් යාලුවො ටිකව දැක්කෙ.හොදට බැලින්නං මෑන්ස් අතේ පිහියකුත් තියෙනවා.පූසන්ව දැක්ක අන්කල් කම්බි වැට ළගට ඇවිල්ලා ඤාව්වට පිහිය දුන්නලු


අන්කල් :- පුතා, ඔහොම කනකොට අන්නාසි ගෙඩියෙ වැඩි හරියක් අපතෙ යනවා.මෙන්න මේ පිහියෙන් කපාගෙන කන්නකො.


ඤාව්වත් ඉතිං පිහිය අතට ගන්න ගමන් අන්කල්ට මෙහෙම කිව්වලු.

ඤාව්වා :- ආ..තැන්ක්යූ අන්කල්.ඒ වුණාට පිහියෙන් කපද්දි, ගලේ ගහල කන තරං ආතල් එකක් නෑ නේද? හික් හික්...


අන්කල් :- ගලේ ගහල කද්දි පුතාලට ආතල් වුණාට මටනං එහෙම ආතල් එකක් නෑ.මොකද මේව මම දුක් මහන්සි වෙලා වගා කරපු ඒවනෙ....


අන්කල්ස් බයිට් හිනාවකුත් දාල එහෙම කිව්වලු.බැලින්නං අන්නාසි වත්තෙ අයිතිකාරයා තමයි පාර දිගේ ඇවිල්ල තියෙන්නෙ.පූසන්ගෙ කරුමෙට පූසොත් ඒ වෙලාවෙම තමයි වත්තට රිංගල තියෙන්නෙ.දැන් ඉතිං අතේ මාට්ටු.මොනව කරන්නද?කට්ටියත් ඉතිං අන්නාසි කෑලිත් අතේ තියාගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවො සෙට් එක වගේ මෑන්ස් දිහා බලාගෙන ඉන්නවලු.මූණු ටිකත් රතු වෙලා.මේක දැකල පොර තවත් හිනාවෙලා මෙහෙම කිව්වලු


අන්කල් :- හා..හා..දැන් ඉතිං ඔය අන්නාසි අතේ තියාගෙන ඉන්නැතුව කන එකයි ඇත්තෙ.අපිත් ඒ දවස්වල ඔය වගේ දග වැඩ කරල තියනවා.හැබැයි අපිනං ජීවිතේට මහදවල් මෝඩ විදිහට වතු වලට පැනල අයිතිකාරයන්ට අහුවෙලා නෑ!

මේ කතාව අහපු පූසන්ට යන එන මං නැති වුණාලු.සවලක් තිබුනනං එවෙලෙම පොළෙවෙ හාරගෙන යන සයිස්.කට්ටිය වහාම එතනින් ඌර්ධවපාතනය වෙලා ගියාලු.වැඩේ කියන්නෙ සව්සිරි ඒ පැත්තෙම ඉදලත් මෑන්ස් අන්කල්කාරයව අදුරන්නෙත් නෑ, අන්කල් මෑන්ස්ව අදුරන්නෙත් නෑ.ඇයි ඉතිං උදේ ඉස්කෝලෙ යන්න ගෙදරින් පිට වුණාට පස්සෙ ආයි මහ රෑ නොවැ ගෙදර එන්නෙ.

කොහොම හරි එදායින් පස්සෙනං පූසො අන්නාසි වත්තට පැන්නෙ නෑලු.කොටින්ම ඒකාකාර ප්‍රවේගයෙන් ක්ලාස් එන අපේ යාලුවො කට්ටිය හැමදාම අන්නාසි වත්ත ළගදි ත්වරණයට භාජනේ වෙනවලු.

Wednesday, July 21, 2010

සුනාමි පූසෝ - විද්‍යාව පන්තිය

ඔන්න යාලුවනේ අදත් අපි කියන්න යන්නෙ අපේ පූසන්ගෙ තවත් "පොඩිකාලෙ දග වැඩ" කීපයක් ගැන.හැබැයි මේ ලිපියට "සුනාමි පූසෝ" කියල නම දැම්මෙ සුනාමියට තියෙන සම්බන්දෙකටනං නෙවෙයි.ඔයාලට හේතුව තේරෙයි කියවද්දි....

මේ සිද්දි වුණේ ගඩොල් පූසො ටික 10 - 11 වසරවල ඉන්නකොට.ඔය දවස්වල කට්ටිය ගියාලු පූස්ගම තිබුන ඕ ලෙවල් විද්‍යාව පන්තියකට.පූස්ගම කිව්වට පූස්ගමමත් නෙවෙයි.සෑහෙන ඇතුලට යන්න ඕනෙලු.හරියටම කිව්වොත් චාටර්මාලිගෙ ගෙවල් තිබුන හරියෙ.

ඉතිං සිකුරාදා හවස තමයි මේ පන්තිය තිබුනෙ.පුරුපුරුයි මාලුකට්ටයි හොස්ටල් එකේ ඉදලා, ස්කූල් වෑන් එකේ හරි බස් එකේ හරි පන්තියට එනවලු.ස්කූල් වෑන් එකේ ආවොත් ඤාව්වයි සව්සිරියිත් සෙට් වෙනවා.ඉතිං කට්ටිය විද්‍යාව පන්තියට හැරෙන පාර ළගින් බහිනකොට උපාසකයි වේයන්ගොඩයයිත් කලින්ම එතනට ඇවිත්ලු.


ඉතිං කට්ටියම එකතු වෙලා ඊට පස්සෙ විද්‍යාව පන්තිය දක්වා සංචාරෙ පටන් ගන්නවලු.විද්‍යාව පන්තියට යන්නනං අර කලින් කියපු පාර දිගේ විනාඩි විස්සක් විසිපහක් විතර ඇවිදින්න ඕනෙලු.ඔය පාරත් ඉතිං මහ පාලු පාරක්ලු.ජීවිතේට බස් එකක් දැකල නෑ.බස් එකක් තියා ඔය පාර රෝද හතරෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින්ලු.ඉතිං පූසන්ට හැමදාම පන්තියට පයින්ම ගාටන්න තමයි සිද්ද වුණේ.හැබැයි ඉතිං පයින් සංචාරෙත් නරකම එකක් වුණේ නැහැලු.


කලින් කිව්ව වගේ ඔය පාර වස පාලුයි.ඉතිං වැඩිය සෙනගත් නැහැලු.ඒක හින්ද අපේ යාලුවො කට්ටිය කරන්නෙ පාර දිගට තියන පලතුරු ගස්වල ගෙඩි කඩ කඩා යන එකලු.ඔය අඹ, රඹුටන්, ජම්බු වගේ ගස් පූසන්ට පෙන්නන්න බැරිලු.අයිතිකාරයට මීටර් වෙන්න කලින් ගස්වල ගෙඩි අතුරුදහන් කරන එක කට්ටියට මහ කජ්ජක් නෙවෙයි.ඉතිං ඔය පාරෙ හිටපු ගොඩක් මිනිස්සුන්ට රාහු කාලය උදාවෙන්නෙ සිකුරාදා හවසටලු.

ඔහොම යද්දි ලොකු වෙලකුත් හම්බවෙනවලු.ඉතිං වෙල අයිනෙ ඇලේ ඉන්න මාලුන්ගෙත් දුක සැප බලල යන්න පූසො අමතක කරන්නෙ නෑ.ඊට පස්සෙ හම්බවෙන්නෙ පොඩි ගෙස්ට් හවුස් එකක්.ඔතන ඉස්සරහ "කාමර පහසුකම් ඇත" කියල ලොකු යකඩ බෝඩ් එකක් ගහල තියනවලු.ඒ දවස්වල කට්ටියට මාර ප්‍රශ්නෙ බස් එකක්වත් නැති පාරක "කාමර පහසුකම්" මොකටද කියලා.ඉතිං යාලුවො ටික කරන්නෙ තඩි ගල් ගෙඩියක් අරගෙන අර බෝඩ් එකට ගහල පැනල දුවන එකලු.පළාතම මහ සද්දෙන් දෙවනත් වෙද්දි අපේ පූසො කට්ටිය අතුරුදහන් වෙලා ඉවරයිලු.(අනේ පව්! ඔය කාමරවල හිටපු කට්ටිය බයවෙන්න ඇති කියල ඒ දවස්වල පූසන්ට මීටර් වුණේ නෑ නොවැ!!)


ඊට පස්සෙ හම්බවෙන්නෙ ස්කූල් වෑන් එකේම ගිය ඇලිගේටර් අක්කලගෙ ගෙදර.ඇලිගේටර් අක්ක ගියෙ වජිර බාලිකාවට.අර ලකීගෙ සෙට් එකේ තමයි හිටියෙ.ඇලිගේටර් අක්කගෙ අම්ම කළේ මල් බිස්නස්.(හික් හික්!! ඔන්න වැරදියට හිතන්න එපා.විසිතුරු මල් හොදේ!)ඉතිං ගෙදර ඉස්සරහ ලොකු බෝඩ් එකක් ගහල තියනවලු මෙන්න මෙහෙම


"මීවණ විකිණීමට ඇත"

ඉතිං පූසො ටික එක දවසක් ඔතනින් ගියාට පස්සෙ බෝඩ් එක වෙනස් වුණාලු මෙන්න මෙහෙම

"මී උණ විකිණීමට ඇත"

බැලින්නං කට්ටිය කලින් ප්ලෑන් කරලා හුණු කැටේකින් "ව"යන්න මකල ඒක උඩින් "උ"යන්න ලියල ගිහිං.හැබැයි ඇලිගේටර් අක්කගෙ අම්මනං අර බිල්ලගෙ අම්මා වගේ පූසන්ට බනින්න ආවෙ නෑ.


තව, ඇලිගේටර් අක්කලගෙ ගේ ඉස්සරහ පාර අයිනෙ තිබුනලු ලොකු මාංසල කොළ තියෙන පදුරක්.ඉතිං අපේ යාලුවො කට්ටිය ඔය පදුරෙ කොළවලත් මොනව හරි ලියල යන්න අමතක කරන්නෙ නෑලු.උදාහරණයක් විදිහට


"ඇලිගේටර් අක්කේ, ඔන්න අපි ආවා - මීට උපාසක"
"ගේ ඉස්සරහ තියෙන බෝඩ් එක දිහා බලන්න"
"ඇවිදල ඇවිදල හරිම මහන්සියි"


වගේ දේවල්.ඉතිං අනිත් සතියෙ බලද්දි ඇලිගේටර් අක්කගෙ අම්ම අර අකුරු ලිව්ව කොළ ටික පදුරෙන් අයින් කරල දාලා.ඔය විදිහට ගිහිං අන්තිමට පදුරෙ ඉතුරු වුණේ කොළ දෙකයිලු.ඉතිං පූසො ටික ඒ කොළ දෙකේ ලිව්වලු මෙන්න මෙහෙම


"මාව කපල දාන්න එපා, අරයව කපල දාන්න"
"නෑ නෑ, මාව නෙවෙයි අරයව තමයි කපන්න හොද"


අනේ! ඊළග සතියෙ යද්දි අර පදුර තිබුන තැනවත් හොයාගන්න නෑලු.දැන්නං ඇලී රජරට පැත්තෙ කැම්පස් එකක කුඹුරු කොටනවලු.


ඇලිගේටර් අක්කගෙ ගෙදරින් පස්සෙ හම්බවෙන්නෙ අපේ සව්සිරිගෙ ගෙදර.මෑන්සුත් පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේම තමයි ගියෙ.ඉස්කෝලෙ ගියෙනං තුම්මුල්ල කොලීජියට.සව්සිරි පූසන්ට මෑන්ස්ගෙ වත්ත හතර මායිමේ පස් පාගන්න දෙන්නෙ නෑ.මොකද පුසන්ව ළගින් ආශ්‍රය කරන ඩයල් එකක් වශයෙන් එයා දන්නවලු පූසන්ගෙන් වත්තකට වෙන්න පුලුවන් ඩැමේජ් එක.එක පාරක් ගඩොල් පූසො රඹුටන් කාලෙ පොරගෙ වත්තට පැනල, තිබුන රඹුටන් ගහට ගේම දීල තිබුනා.හැබැයි මෑන්ස්ට ෆ්ලවර් ජම්ප් වුණේ ඒකට නෙවෙයි, එදායින් පස්සෙ කවදාවත් ඒ ගහේ ආපහු රඹුටන් ගෙඩියක් හැදුනෙ නෑලු.


විද්‍යාව පන්තියට කලින් හම්බවෙන අන්තිම වැදගත් තැන තමයි අන්නාසි වත්ත.ඔතෙන්දි තමයි පූසන්ට ජීවිතේට අමතක නොවෙන අත්දැකීමකට ෆේස් කරන්න වුණේ.ඉතිං ඒ මොකද්ද කියල අපි ඊළග ලිපියෙන් කියන්නංකෝ.....


ප.ලි - ඩැමේජ් කියන එක ටයිප් කරද්දි මතක් වුණේ, කොම්පියුටර් ක්‍රිකට් ගේම් එකක දර්ශන ගමගේට කියන්නෙ දර්ශන ගැමේජ් කියලා........