අඹ යාලුවෝ

Showing posts with label සුදුපූසි. Show all posts
Showing posts with label සුදුපූසි. Show all posts

Friday, December 28, 2012

සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ


අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.

පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ හින්දා තමන්ගෙ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න අවශ්‍ය පූස් ගට පුරුපුරුට තිබුනෙ නෑ. කටේ කිරි සුවඳ නොගිය තමන්ගෙ පූස් පුතා ආදර සම්බන්දයක් පටන් අරගෙන කියලා ආරංචි වුණොත් දෙමව්පියො මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැනත් පුරුපුරුට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ. ඉතිං ඒ හින්දා දැනට මේ සම්බන්දෙ ගැන ගෙදරට නොකියා ඉන්න පූසා තීරණය කළාලු.

මේ වෙද්දි එෆෙයාර් එකට පෙම්වතියගෙ පැත්තෙන් කැමැත්ත තිබුන හින්දා සමහර වීක් එන්ඩ් වලදි සුදුපූසිගෙ ගෙදර ගිහිං එයාව බලන්න පුරුපුරුට පර්මිෂන් තිබුනලු. සුදුපූසි කැම්පස් එකේම නැවතිච්ච දවස්වලට පුරුපුරු කරන්නේ නුවර ගිහිං එයාව මුණගැහෙන එක. එහෙමත් නැත්තං උපාසකයි ඤාව්වයි එක්ක පිස්සු කෙලින එක. කොහොම වුණත් පුරුපුරු මේ සම්බන්දෙ ගැන ගෙදරට කියපු නැති එක ගැන සුදුපූසිගෙ ගෙදර උදවිය එච්චර කැමැත්තක් දැක්වුවෙ නැහැ. විශේෂයෙන් පූසා නිතරම තමන්ගෙ ගෙදර යන එන වාතාවරණයක් තියෙද්දි ඒ ගැන පුරුපුරුගෙ ගෙදරින් දැනගෙන ඉන්න ඕනෙ කියන මතයෙ තමයි සුදුපූසිගෙ ගෙදර වැඩිහිටියො හිටියෙ.

“දැන් පුරුපුරු පුතා අපේ දුව ගැන ගෙදරට කියලද තියෙන්නෙ?“

“මේ ගැන ගෙදරට කියලා හිටියනං නේද හොඳ?“

“පුතාලගෙ ගෙදර කට්ටිය මේ ගැන දැනගත්තොත් අපිටත් බැනුම් අහන්න තමයි වෙන්නෙ“

දැන් මේ වගේ කම්ප්ලේන් කෝටියයි. පුරුපුරුත් දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ සිටුවේෂන් එක ගැන. ඇයි දෙයියනේ අම්මා කාමරේට ඇවිත් බත් කවද්දි එයාට කියන්න පුලුවන්ද පුරුපුරුට කෙල්ලෙක් ඉන්නවා, ඒ මදිවාට එහෙ ගිහිල්ලත් තියෙනවා කියලා? කොහොමහරි ඉතිං අපේ පූසා මේ ගැන හිත හිතා පසුතැවෙද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන වීක් එන්ඩ් එකේ සුදුපූසි ගෙදර ආවෙ නෑ. එයා හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. ඉතිං පුරුපුරුට ඉහළින් නියෝග ලැබුනලු සෙනසුරාදට නුවර එන්නයි කියලා.

“මොකද්ද අනේ ඔයා දැන් ගොඩක් දවසකින් නුවර ආවෙ නෑ මාව බලන්න. මේ සතියෙත් ආවෙ නැත්තං මම ඔයත් එක්ක තරහම තරහයි. “

දැන් ඉතිං නුවර පලයංකො බස් එකේ පැය ගානක් බඩගාගෙන. ඇත්තටම බස් එකේ නුවර යන එක මහ එපා කරපු වැඩක්. ඒත් ඉතිං කට්ට කාගෙන හරි සුදුපූසිව බලන්න යන්න ඕනෙ හින්දා පුරුපුරුත් නුවරට යනවා. ඔය විදිහට ඉතිං පහුවදා උදේම ලෑස්ති වෙච්ච පුරුපුරු හිමිදිරි පාන්දර ගෙදරින් පිටත් වුණාලු සුදුපූසිව බලන්න යන්න.

බස් එක ගලහ හන්දියට එනකොට දවල් දොළහටත් කිට්ටුයි. එතකොටත් සුදුපූසි හන්දියට ඇවිල්ලයි හිටියේ. කොහොමහරි ඉතිං දෙන්නා කැම්පස් එක ඇතුලේ රවුම් ගහලා, ලන්ච් එකත් අරගෙන, ඊටපස්සෙ ඒ කිට්ටුව තිබුන උද්භිද උද්‍යානයෙත් ඇවිද්දලු. අන්තිමට පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ හවස හතරට තියෙන හොරණ බස් එක අල්ලගන්න බලාගෙන. මොකද ඒ බස් එකේ ගාස්තුව වැඩි වුණත් පූස්ගම හරහා යන හින්දා පුරුපුරුට ගේ ගාවින්ම බහින්න පුලුවන්කම තිබුනා. හොඳ වෙලාවට එදා පුරුපුරු බස් එක යන්න කලින් හෝල්ට් එකට ඇවිත් තිබුනා. බස් එකට නැග්ග පූසා හොඳ නින්දක් දාලා හවස හයහමාරට විතර පූස්ගමින්ම බැස්සා.

එදා හවස ගෙදර ආපු පුරුපුරුට සෑහෙන ගමන් මහන්සියක් තිබුනලු. ඒ හින්දා මෑන්ස් කළේ ඇඳුම් ටික පැත්තකින් දාලා හොඳට නිදාගත්ත එක. පැයක දෙකක නින්දකින් පස්සේ අපේ පූසා නැගිට්ටේ අම්මගේ කට හඬ ඇහිලා.

අම්මා :- පුතා, අද කොහෙද ඔයා ගියෙ?

අම්මා ප්‍රශ්නෙ අහපු විදිහටම මොකක්හරි වැඩක් ජෝන් බාස්ට ගිහිං තියෙන වග පූසාට ඉවෙන් වගේ තේරුණාලු.

පුරුපුරු :- ම්...ම්...මම මේ කන්දෙ කැම්පස් එකට ගියෙ අම්මෙ මී කතුරා හම්බවෙන්නත් එක්ක.

අම්මා :- එතකොට මේ ෂර්ට් එකේ සාක්කුවෙ උද්භිද උද්‍යානෙට ගත්තු ටිකට් දෙකක් තියෙන්නෙ?

කෙලියා තාප්පෙටම!!! බැලින්නං අපේ පුරුපුරුට පාක් එකට යන්න ගත්ත ටිකට් දෙක විසි කරන්න අමතක වෙලා. මෑන්ස්ගෙ අම්මා ඇඳුම් ටික හෝදන්න දාන්න හදනකොට තමයි සාක්කුවෙ තිබුන ටිකට් දෙක අහුවෙලා තියෙන්නෙ. දැන් ඉතිං නිදහසට මොනවා හරි කියන්නත් ඕනෙ. ඒත් වැඩි වෙලා හිත හිතා ඉන්නත් බෑ. ඉතිං පුරුපුරු කළේ ඒ වෙලාවෙ කටට ආපු උත්තරයක් කියලා දාපු එක.

පුරුපුරු :- මේ...මේ...ඒක මී කතුරගෙ වෙන්න ඇති අම්මේ...මම දන්නෙ නෑ.

අම්මා :- ආ ඇත්තද?

මෙහෙම කියපු පුරුපුරුගෙ අම්මා වෙන මොනවත් අහන්නෙ නැතුව එතනින් යන්න ගියාලු. දැන්නං අපේ පූසාට දාඩියත් දාලා. කම්මුල් රත් වෙලා. බඩ හීතල වෙලා. මෑන්ස් දන්නවා අම්මා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේට සුදුපූසිගෙ අම්මගෙ මොන්ටිසෝරියට යන පොඩි එකෙක්වත් රැවටෙන්නෙ නැති වග. ඒ වගේම මී කතුරා එක්ක පාක් ගියා කියලා කිව්ව එකෙන් පුරුපුරු ගේ කුරුල්ලෙක් කියලා ගෙදර මිනිස්සු හිතන්නත් පුලුවන්.

අනික සමහරවිට මේ වෙච්ච වැඩේ වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වෙන්නත් පුලුවන්. මොකද මේක අම්මාට සුදුපූසි ගැන කියන්න ලැබිච්ච හොඳ චාන්ස් එකක්. වැඩිය මහන්සි වෙන්නෙ නැතුව අනිත් ටිකට් එකේ හිමිකාරිය සුදුපූසියි කියලා විතරයි කියන්න ඕනෙ. ඉතිං පූසා ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මෑන්ස්ගෙ අම්මා ආපහු පාරක් කාමරේට ආවේ. මේ වෙලාවෙනං අම්මා කටක්වත් අරින්න කලින්න අපේ පුරුපුරු කතාව පටන් ගත්තලු.

පුරුපුරු :- අම්මේ...මේ...මේ...අර ටිකට් දෙක....

අම්මා :- ඔව් ඉතිං?

පුරුපුරු :- ඒ දෙක මී කතුරාගෙ නෙවෙයි, මගේ....මේ...මේ...මම....

දැන් පූසාට එතනින් එහාට මොනවත් කියාගන්න බැරුව වචන ගොත ගගහා ඉන්නවා. මේ වෙලාවේ තමයි අම්මා පුරුපුරුගෙ පිහිටට ආවේ.

අම්මා :- ඔයා සුදුපූසිව බලන්න නේද ගියෙ?

අම්මා පුරුපුරුට වන් ෂොට් නොකවුට් ප්‍රශ්නය කෙළින්ම යොමු කළා. මේ වෙද්දිත් පුරුපුරුගෙ අම්මා දන්නවා පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො කියලා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකම පන්තියේ ඉගෙන ගන්න කාලෙත් පුරුපුරුගෙ අම්මා සුදුපූසිට හරිම කැමතියි. සුදුපූසි දැන් ඉන්නේ කන්දෙ කැම්පස් එකේ බවත් අම්මා දැනගෙන හිටියා. ඒ හින්දා පූසා නුවර ගියේ කෙල්ලෙක් බලන්නනම් ඒ කෙල්ල වෙන්න ලොකුම ප්‍රොබබිලිටිය තියෙන්නේ සුදුපූසි බව පුරුපුරුගෙ අම්මා ගෙස් කරන්න ඇති. කොහොමහරි ඔයින් මෙයින් වැඩේ පූසා හිතුවාටත් වඩා පහසු වුණා.

පුරුපුරු :- හ්ම්...

අනිත් පැත්ත හැරිච්ච පුරුපුරු ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගත්තා.

අම්මා :-  මේ ගැන අපිට කියපු එක හොඳයි.

මෙහෙම කියපු අම්මත් කාමරෙන් යන්න ගියා. කොහොමහරි ඉතිං මේ සම්බන්දයෙන් පුරුපුරුගෙ පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑලු. ඉතිං මෑන්ස්ට ඊටපස්සෙ සුදුපූසිගෙ ගෙදර ගියාම ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න සිද්ද වුණෙත් නෑලු.

දැන් මේ කතාව කියෙව්වට පස්සෙ තමන්ගෙ ආදර සම්බන්දෙ ගැන ගෙදරට කියාගන්න බැරුව ලතවෙන කස්ටියට තේරෙනවනෙ නේද මොකද්ද කරන්න ඕනෙ කියලා? විසඳුම හරි සරලයි. අවශ්‍ය කරන්නේ ටිකට් දෙකක් විතරයි. මේ ක්‍රමය අනුගමනය කළාම තමන් ප්‍රශ්නෙ වෙත යන්නෙ නැතුව ප්‍රශ්නෙ තමන් වෙතට ගෙන්න ගන්න පුලුවනි. හැබැයි ඊටපස්සෙ වෙන දේවල් වලට බ්ලොග් ගඩොල් වග කියනු නොලැබේ.

Tuesday, December 25, 2012

පෙම්වතියගේ ගෙදර ගිහින් තියෙනවාද?


අපේ පුරුපුරුගෙ ආදර අන්දරය, ඒ කියන්නෙ සුදුපූසි ගැන බ්ලොග් ගඩොල් කියවපු ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං අපි ඒ කතාවෙ කිව්වෙ පූසයි, සුදුපූසියි යාලු වෙච්ච තැනට යනකං විතරයි. ඊටපස්සෙ කොයි ආදර කතාවත් වගේ අපේ පූස් ලව් එකත් කාලයක් ජයටම නැගලා ගියා. ඔය අතරේ තමයිලු ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල ආවේ.

අපි කලිනුත් කිව්වා වගේ විභාගෙන් පුරුපුරුට සතුටුදායක අන්දමේ ප්‍රථිවලයක් ඇවිත් තිබුනා. මෑන්ස් යන්න ආසාවෙන් හිටපු ඩිග්‍රියට යන්න ඒ රිසාල්ට් හොඳටම ඇති. සුදුපූසිත් කැම්පස් යන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල අරගෙන තිබුනා. ඉතිං මේ දෙන්නාම තීරණය කළාලු දෙවෙනි පාර විභාගෙට ඉන්නෙ නැතිව කැම්පස් යන්න. හැබැයි පොඩි කොස්සකට තිබුනෙ මේ දෙන්නට වෙන වෙනම කැම්පස් දෙකකට යන්න වෙච්ච එක.

පුරුපුරු ඇතුලත් වෙච්ච අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාව තිබුනේ තුම්මුල්ල සක්වල තක්සලාවෙ විතරයි. ඉතිං මෑන්ස්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න පුලුවන් වුණේ තුම්මුල්ල කැම්පස් එකට විතරයි. සුදුපූසිව තේරුණේ ජෛවීය විද්‍යාව උපාධියට. තුම්මුල්ලෙත් ඒ උපාධිය තිබුනත් සුදුපූසිව තේරුණේ කන්දෙ සක්වල තක්සලාවට. කොහොමහරි ඉතිං අපේ දයියේ මෙච්චර කූරු ඇයි කියලා දුක්වුණ පූස් කපල් එක එකිනෙකින් සෑහෙන දුරින් තිබුන මේ කැම්පස් දෙකට ඇතුල් වුණාලු.

මේ වෙද්දිත් මේ දෙන්නගෙ එෆෙයාර් එක ගෙවල් දෙකටම හොර රහසින් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වගේම දෙන්නා කිලෝමීටර් සීයකින් විතර වෙන් වෙලා හිටපු හින්දා නිතරම මුණගැහෙන්න පුලුවන්කමක් තිබුනෙත් නෑ. මුණගැහුනත් එක්කෝ පුරුපුරු කන්ද උඩරටට ගිය වෙලාවක හරි, සුදුපූසි ගෙදර ඇවිත් ගම්පහ ආපු වෙලාවක හරි වගේ බොහොම කලාතුරකින් උදාවෙන අවස්ථාවක තමයි. ඒ හින්දා අපේ පූස් කපල් එකගේ සන්නිවේදනය බොහෝ දුරට සිද්ද වුණේ ජංගම දුරකතනයට පිං සිද්ද වෙන්න.

ඉතිං ඔය අතරේ තමයි සුදුපූසිට වෛරස් උණක් හැදිලා ලෙඩ වුණේ. ඉතිං සුදුපූසි කළේ ගෙදර නතරවෙලා ප්‍රතිකාර ගත්ත එක. පුරුපුරුට සුදුපූසිව බලන්න එන්න ඕනෙ වුණත් ගෙදරට ඇවිත් එයාව බලන්න තරම් පූස් ගටක් තිබුනේ නෑ. ඔහොම දවසක් දෙකක් ඉන්නකොටනං හැබැයි අපේ පූසාට තවදුරටත් ඉවසාගෙන ඉන්න බැරිවුණා. දැන් මෑන්ස්ට ඕනෙ කොහොමහරි ගිහිං සුදුපූසිව බලන්න. ඉතිං පූසා තමන්ගෙ පෙම්වතියට ගත්තලු කෝල් එකක්.

පුරුපුරු :- මේ, මම ඔයාලගෙ ගෙදර එනවා හෙට, ඔයාව බලන්න.

සුදුපූසි :- ඈ! අනේ අපේ තාත්තා අහයි ඔයා කවුද කියලා. එනවනං කවුරුහරි යාලුවෙක් එක්ක එන්න.

පුරුපුරු :- හරි හරි, තාත්තට කියන්න මම ඔයාගෙ හොඳ යාලුවෙක් කියලා.

සුදුපූසි :- හ්ම්...

මේ කියන දවස්වල පුරුපුරු එක්ක මෑන්ස්ගෙ බෝඩින් සගයා වෙච්ච කොළොම්බාසුත් නැවතිලා හිටියා. බෝඩින් සගයා කිව්වට කොළොම්බාස්ට අයිති ගෙදර තමයි පුරුපුරුවත් නවත්තගෙන හිටියේ. ඉතිං පූසා වීක් එන්ඩ් එකේ නිවාඩුවට ගෙදර එනකොට කොළොම්බාස්වත් ඇදගෙන ඇවිත් තිබුනා. කොහොමහරි ඉතිං මෑන්ස්ට මේ බරපතල මිෂන් එක ගැන කිව්වාම කොළොම්බාසුත් එක පයින්ම වැඩේට කැමති වුණාලු.

මේ වෙද්දි පුරුපුරු සුදුපූසිගෙ ගෙදර තියෙන තැන දැනගෙන හිටියා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකට ඉස්කෝලෙ ගිය හින්දා සුදුපූසිගෙ අම්මත් පුරුපුරුව ටිකක් අඳුරනවා. ඒත් තමන්ගෙ අනාගත මාමණ්ඩිනං මොන ටයිප් එකේ ඩයල් එකක්ද කියලා පූසා මේ වෙද්දිත් දැනගෙන හිටියෙ නෑ. ඒත් ඉතිං ආදරෙන් අන්ධ වෙච්ච පූසෙක්ට අනාගතේ ඇතිවෙන්න පුලුවන් භයානක ප්‍රතිවිපාක වර්තමානෙදි පේන්නෙ නැහැයිලුනේ. ඒ හින්දා ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතපු අපේ යාලුවො දෙන්නත් වැඩේට බරට සූදානම් වුණාලු.

මේ වෙද්දි පුරුපුරු අමාරුවෙන් ඉතුරු කරපු පොකට් මනි වගයක් මෑන්ස් ගාව තිබුනා. ඉතිං ගෙදර ළඟ තිබුන කඩේකට ගොඩ වැදිච්ච පුරුපුරුයි කොළොම්බාසුයි කළේ සල්ලි ටික ඔක්කොම ඉවරවෙනකං සුදුපූසිට එක එක ඒවා ගත්ත එක. චොක්ලට් බිස්කට්, චොක්ලට් කේක්, චොක්ලට් රෝල්, චොක්ලට් බෝල, ඔරිමජිනල් චොක්ලට් වගේ චොක්ලට් නිෂ්පාදනම තමයි පූසා මිලදී ගත්තේ. මොකද සුදුපූසි චොක්ලට් වලට බොහොම මනාපයි.

“මොකද්ද යකෝ ඔක්කොම චොක්ලට් බඩු ගන්නේ? උඹ කැන්ඩොස් එකට මොකක්හරි ණයක් තියෙනවද?“

කොළොම්බාස් මෙහෙම අහලා කින්ඩිය දාපු හින්දා තව දොඩම් ටිකකුයි ඇපල් ටිකකුයි ගන්නත් අපේ පුරුපුරුට සිද්ද වුණාලු. ඔක්කොම බඩු ටික අරගෙන පුරුපුරු ඒ ටික කොළොම්බාස්ගෙ බෑග් එකට පැටෙව්වෙ ආපහු ගෙදර යද්දි ගෙදර කට්ටියට තෑගි ටික අහුවෙන්න තියෙන සම්භාවිතාව අවම කරන්න.

කොහොමහරි ඉතිං පහුවදා අපේ යාලුවො දෙන්නා ආපහු බෝඩිමට යන ගමන් සුදුපූගෙ ගෙදර ළඟ තිබුන බස් හෝල්ට් එකෙන් බැස්සලු. දැන් ඉතිං බරට බරේ තෑගි උස්සගත්තු අපේ යාලුවො දෙන්නා සුදුපූසිගෙ ගේ දොරකඩටම ඇවිත් ඉන්නේ. කලින් නිර්භීත වෙලා තීරණ ගත්තට මොකද, දැන්නං අපේ පූසාගේ කකුල් දෙක මැන්ඩලින් ගහන සයිස් එකෙන් තියෙන්නේ. ඒ අස්සේ මොකද්දෝ කුජීත හැඟීමක් කොහේදෝ තිබිලා හිතට එනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො දෙන්නත් ගෙදර දොරකඩටම ඇදුනලු. මේ වෙද්දි පුරුපුරු සුදුපූසිට කෝල් කරලා තමන් එන බව දන්වලා තිබුනේ. මෑන්ස්ට පෙනිච්ච විදිහට සුදුපූසි ඒ වෙද්දිත් ගෙදර කට්ටියට පණිවිඩේ කියලා වගේ. මොකද අපේ යාලුවො දෙන්නා දොරකඩට එද්දිම අනාගත නැන්දම්මා ඇවිත් මේ දෙන්නව බොහොම හොඳින් පිළිගත්තලු.

“ආ..එන්න පුතාලා, වාඩි වෙන්න.“

“පුරුපුරු පුතානං පොඩි කාලෙට වඩා ටිකක් කෙට්ටු වෙලාද කොහෙද?“

ඔය විදිහට සුහදව කතා කරපු නැන්දම්මා සහ සුදුපුසිගෙ අක්කා යාලුවො දෙන්නටම හොඳ තේ පැන් සංග්‍රහයක් කළාලු. සුදුපුසිත් සභාවට එකතු වුණේ ඔය අතරේ. හැබැයි හොඳ වෙලාවට මාමණ්ඩිනං පේන්න හිටියේ නෑ. පස්සෙ හොයලා බැලින්නං එයා සුදුපූසිගෙ මල්ලි එක්ක ළඟ ගෙදරකට ගිහින්. මාමණ්ඩියි මස්සිනයි ගෙදර ආවේ තවත් ටිකක් වෙලා ගියාට පස්සේ. හැබැයි මෑන්ස් වුණත් හිතපු තරමේ අප්සට් ගතියක් පේන්න තිබුනේ නෑ.

ඊටපස්සෙ උදාවුණේ පුරුපුරු ජීවිතේ ෆේස් කරපු ටෆ්ම ඉන්ටර්වීව් එකක්. පුද්ගලික තොරතුරු, ඉස්කෝලෙ තොරතුරු, අනාගත බලාපොරොත්තු, ගමේ විස්තර, දෙමව්පියන්ගෙ විස්තර, දෙමව්පියන්ගෙ ගම්, රස්සා, දේශපාලනය, ආර්ථිකය, දේශප්‍රේමය, භෞමික අඛණ්ඩතාවය වගේ එකී මෙකී නොකී හැම ක්ෂේත්‍රයකම තොරතුරු ගැන මාමණ්ඩිත් එක්ක හොඳ විවරණයක යෙදෙන්න චාන්ස් එකක් අපේ පූසාට හම්බවුණාලු. මේ වෙද්දිත් සුදුපූසි, පුරුපුරු තමන්ගෙ යාලුවෙක් විතරක් බව ගෙදරට කියලා තිබුනත් ගෙදර මිනිස්සුන්ට මේ දෙන්නගෙ සම්බන්දෙ දිග පළල ගැන සැකයක් තිබුන බවයි මාමණ්ඩිගේ ඉන්ටර්වීව් එකේදි පුරුපුරුට තේරුණේ. අනිත් එක පුරුපුරු තමන්ගෙ දුවගේ පෙම්වතා බව තවමත් ඔප්පුවෙලා නොතිබුනු නිසා ඉන්ටර්වීව් එක ඔෆිෂියල් තත්ත්වයෙන් නැතුව සුහදතාවයෙන් පවත්වාගෙන යන්නත් මාමණ්ඩි පියවර ගත්තා.

මාමණ්ඩි :- පුරුපුරු පුතා එතකොට ඉස්කෝලෙ ගියෙ එහෙම කොහෙද?

පුරුපුරු :- කුරුඳුවත්තට අංකල්.

මාමණ්ඩි :- ආ...බොහොම හොඳයි. මමත් මරියකඩේට තමයි ගියෙ.

ඔන්න ඔය විදිහට බොහොම ෂේප් එකේ තමයි මාමණ්ඩි පුරුපුරුගෙන් තොරතුරු උකහා ගත්තේ. මේ වගේ වැදගත් ගමනක් ආවම වැඩිපුරම කතා කරන්න හොඳ නෑ. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණයට කතා බහ කරන්නත් මතක තියා ගන්න ඕනේ. හැම දෙයක්ම ෆුල් ඩිප්ලොමැටික් විදිහට තමයි කරන්න ඕනේ. කොහොමහරි ඉතිං පැය දෙකක් විතර පුරා තිබුන ඉන්ටර්වීව් එකෙන් පස්සේ සුදුපූසිගෙ දුක සැපත් බලලා ආපහු එන්න අපේ යාලුවන්ට පුලුවන් වුණාලු. මේ වෙද්දිත් පුරුපුරුට තේරිලා තිබුනේ තමන් ඉන්ටර්වීව් එකට සාර්ථකව ෆේස් කළයි කියලා. කොළොම්බාසුත් ඒ බව පූසාට තහවුරු කළා.

කොහොමහරි ඉතිං පූසාගේ ආගමනයෙන් පස්සේ ගෙදර කට්ටිය, විශේෂයෙන් අක්කා සහ මල්ලි සුදුපූසිට එක එක හින්ට් පාස් කරලා තියෙනවා.

“ඒ ළමයා කොහොමද දන්නෙ තමුසෙ චොක්ලට් වලට ඔච්චරම කැමතියි කියලා“

“පුරුපුරු අයියා ආවට පස්සෙ මෙයාගෙ ලෙඩෙත් නිකම්ම සනීපයි වගේ“

මේ වගේ කඩ කැඩිච්ච කතා තමයි ඒ අය කියලා තියෙන්නේ. කොහොමහරි නැන්දම්මටයි, මාමණ්ඩිටයිත් පූසාව හොඳිට හිතට අල්ලලා ගිහින් කියලා තමයි ආරංචි වුණේ.

නැන්දම්මා :- අනේ හරිම නිවිච්ච ළමයෙක්. වැදගත් විදිහට හැදිලා තියෙන බව කතා බහ කරද්දිම තේරෙනවා.

මාමණ්ඩි :- ඔව් ඔව්!! හරිම ගුණ යහපත් ළමයෙක්. ඉගෙනීමටම තමයි කැප වෙලා ඉන්නේ.

අක්කා :- කුරුඳුවත්තෙ හොස්ටල් එකේ හිටියයි කිව්වා නේද? එහෙනං ඔය කියන තරං උපාසකයෙක් වෙන්න බෑ. (සුදුපූසිගෙ අක්කා වජිර පාරෙ බාලිකාවට ගිය හින්දා ගෙදර අනිත් කට්ටියට වඩා කුරුඳුවත්තෙ හොස්ටල් එක ගැන දන්නවා ඇති)

නැන්දම්මා :- අනේ ඒ ළමයානං එහෙම දඟ වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ඉතිං ඔය වගේ සාර්ථක ප්‍රතිචාර තමයි සුදුපූසිගෙ ගෙදරින් පුරුපුරුට හම්බවෙලා තිබුනේ. ඉතිං වැඩි දවසක් නොගිහින්ම සුදුපූසි ඔෆිෂියල් විදිහට ගෙදරට දැනුම් දුන්නලු තමන්ට පුරුපුරුත් එක්ක සම්බන්ධයක් තියෙන බව. ගෙදරිනුත් ඒකට විරුද්ද වෙන්න කිසිම හේතුවක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දිත් පුරුපුරුගෙයි සුදුපූසිගෙයි සම්බන්දෙ ගැන පූසාගේ ගෙදරින් හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඒ පැත්තෙන් මොකද වුණේ කියලා ඊළඟ ලිපියෙන් බලමු.

Wednesday, May 30, 2012

සුභ මංගලම්!

අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...
ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පැතුම්!!!

                                                     -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-

Sunday, March 18, 2012

කැම්පස් ලයිෆ්



වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.

ඉතිං පුරුපුරුට නින්ද නොගිය එක අහන්නත් දෙයක්යැ නේද? අවුරුදු දෙකක් තිස්සේ තමන්ගෙ කාලෙයි, සල්ලියි, මහන්සියයි වියදම් කරගෙන අමාරුවෙන් ෆේස් කොරපු විභාගේ ප්‍රතිඵල එද්දි හිත සලිත නොවී තියෙන්නේ කොයි මනුස්පයාගෙද? කොහොමහරි ඉතිං අපේ යාලුවා ටිකක් එළි වෙනකං බොහොම ටෙන්ෂන් එකේ තමයි හිටියේ. පපුවත් රත් වෙලා නිකං බිත්තරයක් දැම්මනං ඔම්ලට් වෙන ගානට.

අපේ පූසො සෙට් එක කතා වුණේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට යන්න කලින් ඉන්ටර්නෙට් එකෙන් බලමු කියලා. මොකද කට්ටිය කර කර හිටපු පිස්සු අප්සට් වැඩ වල හැටියට ඉස්කෝලෙ ගුරුවරුන්ට කියන්න තරම් ප්‍රතිඵලයක් ඒවි කියලා කවුරුවත් හිතුවෙ නෑ. කොහොමහරි පුරුපුරු ඒ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටපු හින්දා අනිත් පූසො එකඟ වුණාලු ගම්පහට ගිහින් ප්‍රතිඵල බලලා පුරුපුරුටත් කියන්න. ඒ දවස්වල අපේ පූසො කාටවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒ වගේම මුලු පූස්ගමටම ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබුනෙත් නෑ. ඉතිං මේ හින්දා රිසල්ට් බලන්න ගම්පහටම යන්න සිද්ද වෙලයි තිබුනේ.

ඔය විදිහට කාලෙ ගතවෙලා ටිකක් දවල් වුණාම තමයි මාලුකට්ටාගෙන් පුරුපුරුට මෑන්ස් බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක ආවේ. පුරුපුරුට මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නැති හින්දා මාකට් කෝල් එක දුන්නේ පූසාගේ ගෙදර ෆෝන් එකට.

“පුතේ! පුතේ!! මෙන්න මාලුකට්ටා පුතා කතා කරනවා...“

පුරුපුරුගෙ අම්මා කෝල් එක ආන්සර් කරලා පුරුපුරුට කෑ ගැහුවා. අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ගිහින් ෆෝන් එක ආන්සර් කළා. මාලුකට්ටායි, උපාසකයි ඒ වෙද්දි කට්ටියගෙම රිසල්ට්ස් බලලා. මෑන්ස් කියපු හැටියට මාලුකට්ටාගෙයි, උපාසකගෙයි, ඤාව්වාගෙයි රිසල්ට් අනුව ඒ අයට තව පාරක් විභාගෙ කරන්න වෙන තත්ත්වයකුයි තිබුනේ. මී කතුරාටනං යන්තං සතුටුවෙන්න පුලුවන් ප්‍රතිඵලයක් ඇවිත් තිබුනා. ඔය විදිහට මාලුකට්ටා පුරුපුරුගෙ ප්‍රතිඵලේ කිව්වේ කමල් අද්දරආරච්චි සුපර් ස්ටාර් අවසන් තරඟයේ ප්‍රතිඵල කියන්නා වගේ.

“මචං පුරුපුරු, උඹට බයෝ වලට “ඒ“ එකක් තියෙනවා“

මාලුකට්ටා මෙහෙම කියද්දි පුරුපුරුට ඇතිවුණේ ලොකු සතුටක්. බයෝ වලට ආපු ප්‍රතිඵලේනං අපේ පූසා කොහොමත් බලාපොරොත්තුවෙන් හිටපු එකක්.

“පුරු, උඹට ෆිසික්ස් වලටත් “ඒ“ එකක් තියෙනවා“

මාකට් මෙහෙම කියද්දිනං අපේ පූසාට ඇස් අදහාගන්න බැරි වුණා. ඇත්තටම පුරුපුරු කවදාවත් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ ෆිසික්ස් වලට ඒ එකක් එයි කියලා. කොහොමහරි ඉතිං මේ සබ්ජෙක්ස් දෙකටම ඒ ආපු එකේ පුරුපුරු හිතුවේ මෑන්ස්ගෙ ෆේවරිට් සබ්ජෙට්ටුව වෙච්ච කෙමිස්ට්‍රි වලටත් ඒ එකක්ම එයි කියලා.

“මචං පොඩි කේස් එකක් තියෙනවා, උඹට කෙමිස්ට්‍රි වලටනං තියෙන්නෙ බී එකක්“

මිල්ස් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. බැලින්නං පූසා කෙමිස්ට්‍රි විභාගේ එච්චරම හොඳට කරලා නෑ. කොහොමත් භෞතික රසායනය රචනා ප්‍රශ්නයක් ජෝන් බාස්ට ගිය වෙලේම පුරුපුරුට හිතුනා ඒ එකක් ගැන තිබුන බලාපොරොත්තුව බොඳ වෙලා ගියයි කියලා. කොහොම වුණත් මෑන්ස්ට හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් එක්ක හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් ඇවිල්ලා තිබුනා. ඉතිං පූසාට තේරුම් ගියාලු තමන් යන්න බලාපොරොත්තුවෙන් හිටපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව උපාධියට ඇතුලත් වෙන්න මේ ප්‍රතිඵලයෙන් පුලුවන් වෙයි කියලා.

කැම්පස් යන්න පුලුවන් මට්ටමේ හිටියත් අපේ පුරුපුරුට කිසිම හැකියාවක් තිබුනෙ නෑ ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න. මොකද හැමදාමත් දුකේදි සැපේදි එකට හිටපු අනිත් පූසො රංචුවට සතුටු වෙන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල ඇවිත් තිබුනේ නෑ. ඒ වගේම වචනෙන් නොකිව්වත් පූසො කට්ටිය ඒ ගැන ගොඩක් දුකින් ඉන්නේ කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. ඉතිං උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායි, මී කතුරායි තීරණය කළාලු දෙවෙනි පාරටත් විභාගෙ ලියන්න රිවිෂන් ක්ලාස් යන්න.

මෙහෙම කල් ගතවෙලා හවස් වෙද්දි තමයි පුරුපුරුට තේරුම් ගියේ තමන් තමන්ගෙ ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වුණාට ගොඩක් දෙනෙක්ට එහෙම හිතිලා නෑ කියලා. නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් වගේම පවුලේ හිතවතුන්ගෙනුත් පළවුණේ එක වගේ අදහස්.

“පුතා රෑන්ක් එක 250 නං හොඳයි. ඒත් මෙඩිසින් යන්න ටිකක් අමාරු වෙයි නේද? අන්වාර්යයෙන්ම ඊළඟ පාරත් එග්සෑම් කරන්න“

“මොලිකියුලර් බයෝලොජි? ඒ මොකද්ද? ඔය අලුත් කෝස් වලට යනවට වඩා හොඳ නැද්ද ඊළඟ පාරවත් මෙඩිසින් යන්න එග්සෑම් කරගත්තොත්? “

“ආපහු එග්සෑම් කරන්න බැරිමනං ඩෙන්ටල් වලටවත් යන්න. නැත්තං ඔයා ලෝක අමාරුවක තමයි වැටෙන්නෙ“

“මෙඩිසින් කරන්න ආස නෑ??? මේ ළමයට මොනවා වෙලාද මන්දා? එහෙනං ඒ ලෙවල් වලට මැත්ස් නොකර බයෝ කළේ අහවල් දේකටද?“

“අපරාදෙනෙ පුතේ! තව දෙපාරක් විභාගෙ කරන්න චාන්ස් එක තියෙද්දිත් ඇයි මේ වගේ තීරණයක් ගත්තේ?“

“ඔය කියන්නෙ මයික්‍රොබයෝලොජි ගැනද?“

“ඔය ඩිග්‍රිය කළාට පස්සේ ලංකාවෙ කරන්න ජොබ්ස් එහෙමත් නෑ නේද?“

“හරි ඉතිං, බැරිමනං ඩෙන්ටල් හරි වෙට් වලට හරිවත් යන්නකෝ. ඒ අයටත් කැම්පස් අවුට් වුණාට පස්සේ ඩොක්ටර් කියලනේ කතා කරන්නේ“

“බයෝටෙක්නොලොජි කියන්නේ ඉතිං ඉස්සරහට ලෝකෙ ඩිවලොප් වෙන ඒරියා එකක් තමයි. ඒත් ඉතිං? අනේ මන්දා??“

අපේ පූසාට කට්ටියගෙන් සුභපැතුම් වෙනුවට ලැබුනේ ඔන්න ඔය වගේ ප්‍රතිචාර. ඇත්තටම මේවා අහපු පූසා අම්බානට මානසිකව වැටිලයි හිටියේ. ඒත් හොඳ වෙලාවට මෑන්ස්ගෙ දෙමව්පියන්ගෙ අදහස වුණේ පුරුපුරු හොඳයි කියලා හිතන දේ කරන්න කියන එක. මොකද ඒ අය කිව්වේ පුරුපුරු ආස නැති දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා ආස දෙයක් කරන එක හොඳයි කියලා. කොහොමවුණත් එදා තමයි පුරුපුරුට තේරුනේ හැමෝගෙම අදහසට විරුද්ද වෙලා කැම්පස් ගිහින්, ඒ වැඩේ හරියට කරගන්න බැරිවුණොත් කොයිතරම් චාටර්ද කියලා. මොකද ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නේ

“ඕකනෙ අපි මුලදිම කිව්වේ! අපි කියපු දේ අහලා තව පාරක් විභාගෙ කළානං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ!!“

කියලා කියන්නයි කියලා පූසාට තේරුම් ගිහින් තිබුනේ. අන්තිමට කොහොමහරි අපේ පූසා අන්තිමට තීරණය කළාලු තුම්මුල්ල සක්වල තක්සලාව විසින් කන්ඩක්ට් කරපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාවට ඇතුල් වෙන්න.

පුරුපුරු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න ගත්තු තීරණය හින්දා සුදුපූසිත් තීරණය කළාලු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න. සුදුපූසිගෙ රිසාල්ට් අනුව එයාට ජෛවීය විද්‍යාව හදාරන්න යන්න පුලුවන්කම තිබුනා. කොහොමහරි පාඨමාලා වලට අදාල ඉසෙඩ් ස්කෝර් අගයන් එද්දි පුරුපුරුව හිතපු විදිහටම උඩින්ම කෝස් එකට තේරිලා තිබුනා. ඒත් අවාසනාවට සුදුපූසිව සිලෙක්ට් වුණේ කන්ද උඩ සක්වල තක්සලාවට. ඔය විදිහට තමයි අපේ පූස් ජෝඩුවට කැම්පස් දෙකකට යන්න සිද්ද වුණේ.


ඉතිං 2007 අවුරුද්දෙ ජූලි මාසෙදි තමයි අපේ යාලුවා ඇතුලු කට්ටියව කැම්පස් වලට ගත්තේ. ඉතිං ඔය විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙච්ච අපේ පූසාට ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

Saturday, September 3, 2011

සුදුපූසි 17 - අවසානය



සුදුපූසි 1           සුදුපූසි 5             සුදුපූසි 9             සුදුපූසි 13   
සුදුපූසි 3           සුදුපූසි 7             සුදුපූසි 11           සුදුපූසි 15   
                                              
කලින් ලිපියෙ අන්තිමට මම කිව්වේ අපේ පුරුපුරුයි මාලුකට්ටායි ක්ලාස් එකේ කෑ ගහලා විද්දෙබතා සර්ට මාට්ටු වෙච්ච හැටි ගැන නොවැ! කොහොමහරි දැන් ඉතිං විද්දෙබතා සර් ක්ලාස් එකේ ඉස්සරහා ඉඳගෙන යකඩ කටින් පූසන්ට අම්මමෝ නැතුව බනිනවා. ඒ බනින්නෙත් නිකම්ම නෙවෙයි, සිංහල භාෂාවේ තියෙන හොඳ සුපිරිසිදු වචන පාවිච්චි කරලා. කොටින්ම පූසන්ට තියා ක්ලාස් එකේ වාඩිවෙලා හිටපු අනිත් ළමයින්ටත් අහගෙන ඉන්න අප්‍රසන්න හිතෙන විදිහට තමයි සර් මේ දෙන්නාට බැන්නේ.

විනාඩියක් දෙකක් බැනුම් අහද්දිනං පුරුපුරුට තේරිලායි තිබුනේ දැන් තමන්ගේ කාඩ් එකේ කුඩුවුණ කෑලි ටික හොයන්න ඕනෙනං ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක්ම ගේන්න වෙනවයි කියලා. සමහර ළමයි පූසො දිහා අනුකම්පාවෙන් වගේ බලන් ඉන්න අතරේ සමහර ළමයි පූසො දිහා බයිට් එකට බලාගෙන ඉන්නවා. කොහොමින් කොහොමහරි ක්ලාස් එකේ ඔක්කොම ළමයි හිටියේ පූසො දිහා බලාගත්ත ගමන්මයි.

මේ වෙද්දිත් පුරුපුරුයි මාලුකට්ටායි පොත් අරගෙන ක්ලාස් එක ඉස්සරහාට ගිහින් හිටියේ නෑ. අපේ යාලුවො දෙන්නා හිතුවේ සර් බැනලා බැනලා ඇතිවුණාට පස්සේ බැනිල්ල නවත්තයි කියලා. ඒත් කොහෙද, විද්දෙබතා සර් තමන්ගෙ වචනෙ වෙනස් කරන්න පොඩ්ඩක්වත් සූදානම් වු‍ණේ නෑලු.

දැන් තොපිට ආපහු කියන්න ඕනෙද? වරෙන් පොත් ටික අරගෙන ඉස්සරහට

මෑන්ස් පන්තිය මැද්දෙ ගිගුරුම් දෙනවා. ඉතිං වැඩේ හරියන්නෙ නැති බව දැනුනු පූසො දෙන්නා පොතුත් අරගෙන ගියාලු ක්ලාස් එකේ ඉස්සරහට. පිටිපස්සේ ඉඳන් ක්ලාස් එකේ ඉස්සරහට ඇවිදගෙන යන එක තමයි තිබුන අමාරුම වැඩේ. මොකද ක්ලාස් එකේ ඩෙස්ක් පේළි අතරේ තිබුනේ බොහොම පටු ඉඩක්. ඉතිං පූසො දෙන්නාට ක්ලාස් එකේ ඉස්සරහට යන වැඩේ කරන්න වුණෙත් හැමෝටම පේන්න බොහොම හිමින්ලු.

කලින් ලිපියෙනුත් කිව්වා වගේ පුරුපුරුගෙ පොත්වල තිබුනේ චිත්‍ර, කුරුටු ගී මිසක් කෙමිස්ට්‍රි වලට අදාල දේවල් නෙවෙයි. ඉතිං පුරුපුරුට තේරුනාලු තව ටිකකින් සර් තමන්ගෙ පොත් චෙක් කරනකොට තමන්ව අනිවාර්යයෙන් ක්ලාස් එකෙන් එළවනවයි කියලා. ඒත් ඉතිං දැන් මොනවා කරන්නද? මේ වෙද්දිනං වෙච්ච දේ හැටියට සුදුපූසිට තමන්ව අන්තෙටම එපා වෙලා ඇති. පුරුපුරුට හිතුනේ එහෙමයි.

ක්ලාස් එකේ ඉස්සරහට එද්දිත් පුරුපුරුටයි, මාලුකට්ටාටයි ෆේස් කරන්න වුණේ ඇනුම් බැනුම් වරුසාවකට.

මෝඩ බූරුවො, මහ ලොකුවට ඇඟ කඳ තියාගෙන හිටියට අබ ඇටේක මොළයක් නෑ. වරෙව් ඉස්සරහට....

උඹලටනං වැස්සකටවත් කැම්පස් යන්න පුලුවන් වෙන්නෙ නෑ, මෝඩයෝ.....

විද්දෙබතා සර්ගෙ අනේක බැනුම් ප්‍රහාර වලින් මේ වාක්‍ය දෙකනං පුරුපුරුට අදටත් මතකයි. කොහොමහරි ක්ලාස් එක ඉස්සරහට යද්දි පූසන්ගෙ හිත්වල තවත් රිදෙන්න දෙයක් ඉතුරුවෙලා තිබුනේ නෑ. විශේෂයෙන් තමන් අවුරුදු දොළහක් තිස්සේ මවපු හීන එක මොහොතෙන් නැතිකරපු එක ගැන පුරුපුරුට තිබුනේ කියාගන්න බැරි තරමේ හිතේ වේදනාවක්.

පූසො ක්ලාස් එකේ ඉස්සරහට ගියාට පස්සේ සර් මුලින්ම ගත්තේ මාලුකට්ටාගේ පොත. මාලුකට්ටා කියන්නෙ ගෑනු ළමයෙකුටත් වඩා ලස්සනට, පිළිවෙලට පොත්වල නෝට්ස් ලියාගන්න ඩයල් එකක්. විද්දෙබතා සර් ඊට කලින් කවදාවත් දැකලා නැතුව ඇති අන්තිම පේළියෙ කොල්ලෙක් එහෙම ලස්සනට ලියලා තියෙනවා. ඉතිං මාලුකට්ටාගේ පොත දැකපු සර්ගේ ඇස් දෙක උඩ ගියාලු. ඊටපස්සේ තමයි සර්ගෙ බැනුම ටිකක් අඩුවුණේ.

මාලුකට්ටාගෙ පොත දැකලා විද්දෙබතා සර් කොච්චර ඉම්ප්‍රෙස් වුණාද කියනවානං මෑන්ස් පුරුපුරුගෙ පොත බැලුවෙත් නෑ. සර් කළේ පුරුපුරුවයි, මාලුකට්ටාවයි ක්ලාස් එකේ ඉස්සරහම පේළියෙන් වාඩි කරවාගත්ත එක. හැබැයි එදා සර් නිකමට හරි පුරුපුරුගෙ පොතත් බැලුවානං මෑන්ස් තමන්ගෙ ගුරු ජීවිතයෙන් සදහටම සමුගන්න පවා තිබුනා. අන්තිමේදි විද්දෙබතා සර් නියෝග කළේ මීටපස්සේ හැමදාම පූසො දෙන්නා ඉස්සරහම පේළියේ වාඩිවෙන්න ඕනෙයි කියලා.

මේ වෙද්දි සිද්දවෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි. සුදුපූසිට මේ වෙච්ච සිද්දිය මුල ඉඳන්ම ෆිල්ම් එකක් වගේ බලන්න පුලුවන් වෙන්න ඇති. පුරුපුරුගෙ හිතේ ඇතිවුණේ හැමදෙයක් ගැනම ලොකු කලකිරීමක්. එදා ක්ලාස් එක ඉවරවෙලා පූසා සුදුපූසි එනකං බලාගෙන හිටියෙත් නෑ. මෑන්ස් කළේ පාරෙ තියෙන ගල්කැට වලට පයින් ගගහා ඔහේ බස්ටෑන්ඩ් එකට ඇවිද්ද එක. පුරුපුරු හිතුවේ ආපහු කවදාවත් සුදුපූසි තමන් එක්ක කතා කරන එකක් නෑ කියලා. හරියට අර පහ වසරෙදි ඩෙස්ක් එකක් ගිනිතිබ්බ දවසේ වගේ.


පුරුපුරු...පුරුපුරු...


ඔය අතරේ තමයි පූසාට ඇහුනෙ කවුරුහරි තමන්ගෙ නම කියලා කතා කරනවා. හරියටම එදා ඩෙස්ක් එක ගිනිතිබ්බ දවසේ පුරුපුරුට ඇහුන හඬ වගේමයි. පූසා හැරිලා බලද්දි හිතපු දේ හරියටම හරි. බැලින්නං සුදුපූසි තමයි පිටිපස්සෙන් ඇවිත් පුරුපුරුට කතා කරලා තියෙන්නේ. ඉතිං පුරුපුරුත් අප්සෙට් මූණ හංගගෙන සුදුපූසිත් එක්ක අමාරුවෙන් හිනා වුණාලු. හැබැයි ආපහු කතා කරන එකක් නෑ කියලා හිතාගෙන හිටපු සුදුපූසි, තමන් එක්ක කතා කරන්න ආපු එක ගැන පුරුපුරුගෙ හිතේ ඇතිවුණේ සතුටක්.

සුදුපූසි :- මොකද පුරුපුරු ඔයාට ක්ලාස් එකේදි වුණේ? අනේ විද්දෙබතා සර් ඔයාට බැන්නෙ හරියට ලොකු වැරැද්දක් කළා වගේනෙ.

ඔය වෙලාවෙ තමයි පූසාට ගණදෙවි නුවණ පහළ වුණේ.

පුරුපුරු :- ඔව් සුදුපූසි, බලන්නකෝ...මම මේ මාලුකට්ටාට පාඩම තේරෙන්නෙ නෑ කියපු හින්දා ඒක කියලා දිදී හිටියේ. සර් හිතුවේ අපි කෑ ගහනවා කියලා. දැන් ඉතිං මොනවා කරන්නද?

සුදුපූසි :- අනේ ඇත්තද? බලන්නකො, ඔයාට හොඳ දෙයක් කරන්න ගිහිනුත් බැනුම් අහන්න වුණානේ. ඔයා ඕවා ගණන් ගන්න එපා. අනික සර් බැහැයි කිව්වාට ඔයාට කැම්පස් යන්න පුලුවන්.

ඔය විදිහට සුදුපූසිත් එක්ක ටිකක් වෙලා කතා කළාම තමයි පුරුපුරු ආපහු යථා තත්ත්වයට ආවෙ. කොහොමහරි එදා ක්ලාස් එකේදි සිද්දවුණ දෙයින් පස්සෙත් සුදුපූසි තමන්ව වෙනදා වගේම ආශ්‍රය කරන්න ඉදිරිපත් වෙච්ච හින්දා, පුරුපුරුට සුදුපූසි ගැන ඇතිවුණේ ලොකු ගෞරවයක්. ඒත් පූසා තදින්ම හිතාගත්තා තමන් මීටපස්සේ කවදාවත් විද්දෙබතා සර්ගෙ ක්ලාස් එක පැත්තෙ පස් පාගන්නෙ නෑ කියලා. කොටින්ම වෙච්ච වැඩේ හින්දා මෑන්ස්ට කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකම එපා වෙලා තිබුනේ.

ඉතිං ඊටපස්සේ දවස් කීපයක්ම පූසා කළේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් යන දවසට උදේම ගිහින් සුදුපූසිව මීට් වෙන එක. එතකොට සුදුපූසි හිතන්නේ පුරුපුරු ක්ලාස් එකට එනවයි කියලා. ඒත් අපේ පූසා කරන්නේ අනිත් පූසොත් එක්කම ක්ලාස් එක කට් කරන එක. මොකද එකෙක් ක්ලාස් යන්න බෑ කිව්වාට පස්සේ සෙට් එකම ක්ලාස් කට් කරන එක තමයි පූසන්ගේ ඉස්සර ඉඳන් පුරුද්ද වුණේ. ඊටපස්සේ කට්ටිය කරන්නේ ඇලක් අයිනේ තිබුනු හොටෙල් කැලිෆෝනියා එකට ගිහින් මද පමණින් අනුමත වෙන එක. ඒ කිව්වේ පොඩි කූල් බියර් එකක් කාරිය ගන්නවා මිසක් ලොකු සැර දේවල් අනුමත කරන්නේ නෑ.

ඊටපස්සේ හවස ක්ලාස් ඉවරවෙන වෙලාවට පුරුපුරු කරන්නේ බස්ටෑන්ඩ් එකට ගිහින් ආපහු සුදුපූසිව මීට් වෙන එක. එතකොට සුදුපූසි කොහොමත් හිතන්නේ පූසා ක්ලාස් ආවයි කියලා. හැබැයි අනිත් රිවිෂන් ක්ලාස්වලට යන දවස් වගේ නෙවෙයි, එදාට පුරුපුරු කීයටවත් සුදුපූසිත් එක්ක රෙදිගොඩ බස් එකේ ගෙදර යන්නේ නෑ. මොකද හදිස්සියෙවත් ක්ලාස් එකේ වෙච්ච දෙයක් ගැන සුදුපූසි ඇහුවොත් කට උත්තර නැති වෙනවා නොවැ! ඉතිං එදාට පූසා කරන්නේ අනිත් පූසොත් එක්ක පූස්ගම බස් එකේ ගෙදර යන එක.

ඉතිං ඔය දින චරියාවෙ යෙදුන එක දවසක අපේ පුරුපුරුට පමණට වඩා චූට්ටක් විතර අනුමත වුණාලු. මොකද හැමදාම ඔය ක්ලාස් කට් කරන වැඩේ කරන්න බැරි හින්දා පූසා තීරණය කරලා හිටියේ මීටපස්සේ දිගටම ක්ලාස් එකට යන්න. ඉතිං හොටෙල් කැලිෆෝනියා එකේ සෙට් වෙන අන්තිම දවස හින්දා කට්ටිය එදා වෙනදාට වඩා ටිකක් විතර අනුමත වුණාලු. ඉතිං ටිකක් වෙලා යද්දි තමයි පුරුපුරු ඇතුලු පූසන්ට තේරුණේ ලිමිට් එක පැනගෙන යනවයි කියලා.

ඊටපස්සේ පුරුපුරු කළේ ක්ලාස් ඉවරවෙන වෙලාවට සුදුපූසිව මීට් වෙන්න බස්ටෑන්ඩ් එකට ගිය එක. මොකද ටිකක් වැඩියෙන් අනුමත වුණත් පූසාට පුලුවන්කම තිබුනා ඒක පෙන්නන්නේ නැතුව ඉන්න. අනික බියර් කියන්නේ කොහොමත් ගඳින් අඳුරගන්නත් ටිකක් අමාරු පානයක් නොවැ! ඒ නැතත් ඉතිං සුදුපූසිව දැක්ක ගමන් පුරුපුරුගේ වෙරි ඔක්කොම හිඳෙනවා.

කොහොමහරි ඉතිං ක්ලාස් ඉවරවෙලා සුපුරුදු විදිහට සුදුපූසිත් බස්ටෑන්ඩ් එකට ආවලු. ඒත් පුරුපුරු ළඟට ආපු වෙලාවෙ ඉඳන් සුදුපූසි හිටියේ බොහොම අමුතු විදිහට. සුදුපූසි වෙනදා වගේ පුරුපුරුත් එක්ක ස්වභාවික විදිහට කතා කළෙත් නෑ. කොටින්ම එයා පූසා දිහා බැලුවෙත් ටිකක් අමුතුවට. ඉතිං සුදුපූසිගෙ මේ හැසිරීම හින්දා අපේ පුරුපුරුට ඇතිවුණේ ලොකු බයක්.

දෙයියනේ! සුදුපූසිට තේරිලාවත්ද මම අනුමත වෙලා ඉන්නේ කියලා? ඒක වෙන්නේ කොහොමද? හිතේ ඇතිවෙච්ච බයත් එක්කම පුරුපුරුට ඇතිවුණේ ප්‍රශ්න ගොඩක්. තමන් පහුගිය දවස්වල වැඩකරලා තියෙන්නේ හිතාගන්නත් බැරිතරම් මෝඩ විදිහට කියලා පූසාට හිතුනේ එතකොට තමයි. ඉස්කෝලෙ අමද්‍යප සංගමේ හිටන් ලොකු ලොකු තනතුරු දරපු සුදුපූසි, තමන් අනුමත වෙලයි කියලා දැනගත්තොත් එහෙම මේ වැඩේ මෙතනින්ම ඉවරයි කියලා පුරුපුරුට තේරුනාලු. 

සුදුපූසි :- පුරුපුරු, ඔයා අද ටිකක් අමුතුයි...

පුරුපුරු :- ම්ම්...ඇත්තද? මේ...මට ටිකක් ඔලුව කැක්කුමයි වගේ...ඒකයි.

සුදුපූසි :- ආ..ඇත්තද?

ඊටපස්සේ දෙන්නා අතරෙ ඇතිවුණේ පොඩි නිහඬතාවයක්. ඊටත් පස්සේ තමයි සුදුපූසි ආපහු තමන්ගෙ කටහඬ අවදි කළේ.

සුදුපූසි :- පුරුපුරු, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....ඔයා ගොඩක් කල් ඉඳලා මං ගැන බලාපොරොත්තු තියාගෙනනේ ඉන්නේ.

පුරුපුරු :- හ්ම්...

සුදුපූසි :- ඉතිං මම ඔයා අහපු දේට හරි උත්තරයක් නොදී ඉන්න එක හොඳ නෑ.

පුරුපුරුට දැන් හිතාගන්න බෑ සුදුපූසි මොකාටද එන්නේ කියලා.

සුදුපූසි :- දැනුත් මම මේක කියන්න කල් ගිහින් වැඩියි. ඒත් මම ඊයේ ගොඩක් දුර කල්පනා කරලා තීරණයක් ගත්තා.

දැන්නං බඩු පැකට් තමයි. පුරුපුරුට එහෙම හිතුනලු. සුදුපූසි ඔය හිමින් හිමින් එන්ටර් වෙන්නේ තමන්ට අකමැතියි කියන්න වෙන්න ඕනෙ. මේ වෙද්දිනං පූසාගේ අනුමතේ ඍණ ගනං වලට බැහැලා තිබුනේ. සුදුපූසිට තමන් බිව්ව එක තේරිලා, දැන් තමන්ගෙන් ගැලවෙන්න යනවයි කියලා පුරුපුරු හිතුවලු.

පුරුපුරු :- ඔයා ඔය කියන්න හදන්නේ මට කැමති නෑ කියලා නේද?


සුදුපූසි :- පුරුපුරු, මම මේ ගැන ගොඩක් හිතුවා. මම අන්තිමේදී තීරණේ කළේ ඔයා නැතුව මටත් ඉන්න බෑ කියලා. මමත් ඔයාට කැමතියි.

මේක අහපු අපේ පූසාට ඇතිවුණේ වචනයෙන් විස්තර කරන්න බැරි විදිහේ හැඟීමක්. මුලින්ම මෑන්ස් ෂොක් වෙලා වගේ හිටියේ කතා කරගන්නත් බැරුව. ඊටපස්සේ කතා කරන්න පුලුවන් මට්ටමට ආවත්, සුදුපූසිට කියන්න දෙයක් පුරුපුරුට හිතාගන්න බැරිවුණාලු. තැන්ක්යූ කියන එක වුණත් මේ වගේ වෙලාවට කියන්න සුදුසු වචනයක් නෙවෙයි නොවැ!

පුරුපුරු :- සුදුපූසි, ඔය ඇත්තමද?

සුදුපූසි :- ඔව් පුරුපුරු, මම ඔයාට බොරු කියන්නෙ නෑනෙ. දැන් ඔලුව කැක්කුම හොඳයි නේද?

පුරුපුරු :- හික් හික්!! දැන්නං හොඳටම හොඳයි.

එදා තමයි පුරුපුරුගේ ජීවිතේ සතුටුම දවස. ඉතිං ඒ වෙද්දිත් පරක්කු වෙලා තිබුන හින්දා පුරුපුරුයි සුදුපූසියි ගිහින් රෙදිගොඩ බස් එකක නැග්ගලු ගෙදර යන්න කියලා. මේ දෙන්නා වෙනදා වගේම එකම සිට් එකේ තමයි වාඩි වුණේ. ඒත් එදා පුරුපුරු ගෙදර ගියේ සුදුපූසිගේ අතින් අල්ලගෙන බොහොම ආඩම්බරෙන්ලු.


නිමි

පසු කතාව :-

සුදුපූසියි පුරුපුරුයි දෙන්නාම ඊට පස්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න සිලෙක්ට් වුණාලු. හැබැයි ඒ එකම කැම්පස් එකටනං නෙවෙයි. සුදුපූසි කන්දක් උඩ කැම්පස් එකකටත්, පුරුපුරු අගනුවර කැම්පස් එකකටත් තමයි තේරුණේ. දැන් ඉතිං මේ දෙන්නාම ඉන්නේ අවුරුදු හතරක කැම්පස් ලයිෆ් එකේ අවසාන කඩඉමේ.

මම මේ දෙන්නා යාලු වුණාට පස්සේ වෙච්ච කතාව වැඩිපුර කියන්නේ නැත්තේ ඒක පස්සේ කාලෙක වෙනම සීරීස් එකක් හැටියට ලියන්න ඉන්න හින්දා. ඒ තමයි සුදුපූසි සීසන් 2.

ඉතිං කියන්න තියෙන්නේ සුදුපූසි අදටත් අපේ පුරුපුරුගේ ආදරණීය පෙම්වතිය කියලා. මේ දෙන්නත් ඉතිං සාමාන්‍ය කපල් එකක් තමයි. සමහර අදහස් ගැලපෙනවා. සමහර ඒවා ගැලපෙන්නෙ නෑ. කොහොමහරි මේ දෙන්නා යාලුවෙලා මේ මාසෙට අවුරුදු පහක් පිරෙනවා. ඒකයි මම ෆයිනල් එග්සෑම් අස්සෙම මේ සීරීස් එක ලියන්න පටන් ගත්තේ. ඉතිං සුදුපූසි සීරීස් එක පස් වෙනි ඇනිවසරිය වෙනුවෙන් පුරුපුරුගෙන් සුදුපූසිට ලැබෙන තෑග්ගක්.

මම දන්නවා ඔයාලා මෙගා සීරීස් වලට එච්චර කැමති නෑ කියලා. ඒත් ඉතිං මේ වගේ දිග කතාවක් මෙගා විදිහට නැතුව ලියන්නත් බෑ නොවැ! මම හිතන්නෙ සිංහල බ්ලොග් වල මෙච්චර කාලෙකට ලියවුණ දිගම සීරීස් එක මේක වෙන්න ඇති. ඒත් මීට පස්සේ මම මෙගා නැතුව සාමාන්‍ය විදිහට ලියන්න උත්සාහ කරන්නම්.

කට්ටිය චෝදනා කර කරනේ හිටියේ අපි හැමදාම ලියන්නේ බූට් කේස් ගැන විතරයි කියලා. ඔන්න යාලුවනේ එහෙනං මම හරිගිය ලව් ස්ටෝරියක් ලිව්වා. හික් හික්!!



සුදුපූසි 16 - දුක සැප නිති පෙරළේ


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9                         සුදුපූසි14
සුදුපූසි 5                        සුදුපූසි 10                       සුදුපූසි15

මම කලින් ලිපියෙන් කිව්වේ පූසා ඒ ලෙවල් කරපු හැටි ගැන නොවැ! ඉතිං ඒ ලෙවල් ඉවරවෙලා ෆුල් ෆන් එකේ කාලෙ ගතකරපු පූසාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි සුදුපූසිව දැකගන්න, එයත් එක්ක කතා කරන්න චාන්ස් එකක් නැති වෙච්ච එක. ඒ කාලෙ ඉතිං දැන් වගේ ඉන්ටර්නෙට්, මූණු පොත වගේ අඩවි ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඒ වගේම මොබයිල් ෆෝන් පවා සීමා වෙලා තිබුනෙ සල්ලි යහමින් තිබුනු කීප දෙනෙකුට විතරයි. ඉතිං ඒ හින්දා පූසාට සිද්දවුණේ අර නවය වසරෙදි කළා වගේ සුදුපූසිගෙ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරන්න.

මේ වෙද්දි ඉතිං නවය වසරට වඩා සෑහෙන්න දැනුම් තේරුම් තිබුන හින්දා, සුදුපූසිට එයාගෙ ගෙදර අයට හොරෙන් කෝල් එකක් දෙන්න පූසාට එච්චර අමාරු වුණේ නෑ. ඒ වගේම සුදුපූසිත් අකමැති වුණේ නෑ පුරුපුරු එයාට කෝල් කරපු එකට. ඉතිං ඔය විදිහට දෙතුන් පාරක් කතා කළාට පස්සේ මේ දෙන්නා තීරණයකට ඇවිත් තිබුනා ඊළඟ මාසෙ ඉඳලා රිවිෂන් ක්ලාස් යන්න. මොකද ඒ ලෙවල් ෆුල් ෂුවර් පිට කරපු කට්ටිය ඇරෙන්න අනිත් හැමෝම, විභාගෙ ඉවර වෙච්ච ගමන් රිවිෂන් ක්ලාස් යන එක සාමාන්‍ය සිරිතක්. නැත්තං රිසාල්ට් එන කාලෙ වෙද්දි සෙකන්ඩ් ෂයි වලට ලෑස්ති වෙන්න කාලෙ මදි.

කොහොමහරි ඔය අතරේ තමයි රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබ්බේ. ඉතිං පුරුපුරුට ඔය ආරංචිය ඇහිච්ච වෙලාවෙ ඉඳලා හිටියේ කැලේට හඳ පෑව්වා වගේ ෆුල් සොමියෙ. හැබැයි ඒ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන තියන දැනුමේ නිම් වළලු පුලුල් කරගන්න ලැබෙන චාන්ස් එක නිසා ඇතිවෙච්ච සතුටකින්නං නෙවෙයි, ඒ සුදුපූසිව ගෙදරින් එළියට ගන්න චාන්ස් එකක් මේ වැඩෙන් ලැබෙන හින්දා.

පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසිට මේ මෙඩිකල් එක්සිබිෂන් එක බලන්න යන්න කතා කළොත් එයා කීයටවත් නෑවිත් ඉන්නෙ නෑ කියලා. ඒ වගේම සුදුපූසිගෙ ගෙදරිනුත් ඒ වගේ වැඩ වලට අවසර නොදී ඉන්නේ නෑ. ඉතිං මේ පණිවිඩේ සුදුපූසිට කිව්වාම හිතුවා වගේම සුදුපූසිත් වැඩේට උඩින්ම කැමති වුණාලු. ඒත් ඉතිං පුරුපුරුටයි සුදුපූසිටයි කපල් එකකට වගේ තනියම යන්න බැහැ නොවැ! ඒ හින්දා පූසාට සිද්ද වුණාලු එක්සිබිෂන් එක බලන්න යන්න සෙට් එකක් ලෑස්ති කරගන්න.

ඉතිං පුරුපුරුගෙ ඉන්විටේෂන් එක පිළිඅරගෙන අන්තිමට සෙට් වෙච්ච කට්ටිය තමයි උපාසක, මාලුකට්ටා, ඤාව්වා, මී කතුරා සහ රාජු. ඒත් අවාසනාවට වගේ සෙට් එකට ගෑනු ළමයෙක් එකතු කරගන්න විදිහක්නං පූසන්ට තිබුනෙ නෑ. මොකද එලිජිබල් වෙලා හිටපු එකම ගෑනු ළමයා වෙච්ච කලුකුමාරිත් මේ දවස්වල හිටියේ පූසොත් එක්ක ටිකක් නොරොක් එකේ. ඒ හින්දා අන්තිමට සුදුපූසිට යන්න සිද්දවුණේ කොල්ලො කට්ටියත් එක්ක තනියම.

කොහොමහරි ඉතිං අපේ පුරුපුරුත් නියමිත දවසේ ෆුල් ඩීසන්ට් පිට ආවලු ගම්පහට. කලින් දවසේ කර ළඟට වවාගෙන හිටපු, සංගක්කාර කට් එක සහිත කොන්ඩෙ කපනකොටනං පූසාට ඇතිවුණේ සෑහෙන දුකක්. ඒ වගේම එදා උදේ, මෑන්ස් බොහොම දුක් මහන්සියෙන් අඟලක් විතර වවාගෙන හිටපු රැවුල කපන්නත් පුරුපුරුට සිද්ද වුණා. ඒත් ඉතිං ගස් වැද්දෙක් වගේ සුදුපූසි ඉස්සරහට යන්න බෑ නොවැ! ඒ හින්දා තමයි බොහොම දුකෙන් වුණත් පූසා තීරණය කළේ රැවුලයි කොන්ඩෙයි කපන්න.

ඉතිං ඔය විදිහට කට්ටිය ගම්පහට සෙට් වෙලා රාගම බලා පිටත් වුණේ උදේ පාන්දරමයි. ඔය අතරේ විශේෂ දෙයක් විදිහට සිද්දවුණේ මේ කණ්ඩායමට අලුත් සාමාජිකාවක් එකතු වෙච්ච එක. ඒ පූසො දන්න අඳුනන කොළඹ ඉස්කෝලෙ ගිය නංගි කෙනෙක්. විශේෂයෙන් මේ නංගි අපේ මාලුකට්ටා එක්ක තරමක හිතවත්කමක් තිබුනා. එයාගේ නම තමයි ලයිට්. ඉතිං ලයිට් ගම්පහ ඉන්නවා දැකපු මාලුකට්ටා කළේ විහිළුවට වගේ එයාටත් රාගම යන්න කතා කරපු එක. ඒත් මාලුකට්ටා හිතපු නැති විදිහට මේ යෝජනාවට ලයිට් කැමතිවුණේ එක පයින්. මම මෙතනින් එහාට මේ කතාවේ මාලුකට්ටා සහ ලයිට් ගැන ලියන්න යන්නේ නෑ. මොකද ඒ ගැන ඔයාලාට වෙනම ලිපියකින් කියවන්න පුලුවන් වෙයි.

කොහොමහරි ඉතිං ටිකදුරක් යද්දි තමයි සුදුපූසි පුරුපුරුට සුභ ආරංචියක් කිව්වේ. සුදුපූසි රාගම යන්න ගෙදරින් පර්මිෂන් ගන්නකොට එයාගෙ අම්මා කිව්වලු පුරුපුරු වගේ වැදගත් ළමයෙක් එක්ක මේ ගමන ගියාට කමක් නෑ කියලා. මේ වෙද්දි සුදුපූසිගෙ අම්මා දැනගෙන හිටියා පූසායි ඉස්සායි තමයි සුදුපූසිට හිටපු පිරිමි යාලුවො කියලා. ඉතිං කොල්ලො දෙන්නාවම පොඩිකාලෙ ඉඳන් දන්න හින්දා සුදුපූසිගෙ අම්මා අකමැති වුණේ නෑ සුදුපූසි මේ දෙන්නාව ආශ්‍රය කරනවාට.

ඉතිං අනාගත නැන්දම්මා ඉස්සරහා තමන්ගේ කාඩ් එක හොඳයි කියලා දැනගත්ත පුරුපුරුට ඇතිවුණේ සෑහෙන සතුටක්. ඒත් ඉතිං පූසාට ප්‍රශ්නෙකට තිබුනේ නැන්දා තමන්ට කැමති වුණාට දුව තමන්ට කැමති නැති එක තමයි.

ඔය විදිහට මෙඩිකල් ෆැකල්ටි එක ගාවට ගියාට පස්සේ තමයි කට්ටියට තේරුනේ හිතුව තරම් ලේසියෙන් එක්සිබිෂන් එක බලන්න ලැබෙන්නෙ නෑ කියලා. මොකද පාරෙ කිලෝමීටර් බාගෙක විතර දුරට සෙනඟ ඉන්නවා පෝලිමේ. ඉතිං අපේ යාලුවො සෙට් එකත් එකතු වුණාලු මේ පෝළිමට. කට්ටිය පෝළිමේ හිටියට මොකද, පෝළිම ඉස්සරහට යන්නේ බොහොම ඩම්බ්නෙක් ජර්නි* එකකින්ලු. ඉතිං මේ විදිහට පැය දෙක තුනක් හිටියත් ප්‍රදර්ශන භූමිය ඇතුලට යන්න අපේ යාලුවන්ට චාන්ස් එකක් ආවෙ නෑ.

පුරුපුරුනං මේ වෙච්ච දේ ගැන හිටියේ හිතේ මල් පිපිලා වගේ හැපී එකෙන්. මොකද සිද්දවුණේ මෑන්ස්ට කියලාවත් කරගන්න බැරි දෙයක්. අපේ පූසාට පුලුවන් වුණාලු කවදාවත් නැතුව පැය ගානක් තිස්සේ සුදුපූසිත් එක්ක කතා කර කර ඉන්න. කොටින්ම ඒ පැය ගානටම පූසාට පොඩ්ඩක්වත් දැනුනේ නෑ වෙලාව ගතවෙන හැටි. ඉතිං පුරුපුරු ප්‍රාර්ථනා කළේම පෝළිම දිගටම ඒ විදිහටම තිබේවා කියලලු.

අපේ පූසාගේ හැපිය ඉහවහා ගියේ හදිස්සියෙම වහින්න පටන් ගත්ත හින්දා. මොකද වැහි කාලයක් වෙලත් මේ කට්ටිය ළඟ කුඩ තිබුනේ හිටපු ගානෙන් බාගෙකට හරියන්න. අපේ කට්ටිය කවද්ද ඉතිං කුඩ පාවිච්චි කළේ? කොහොමහරි හිටපු අනිත් කට්ටිය තිබුන විදිහට කුඩ ටික ෂෙයාර් කරගනිද්දි, පුරුපුරුටයි සුදුපූසිටයි සිද්දවුණේ එකම කුඩයක් යටට යන්න. මොකද ඒ හරියේ වැස්සකට යන්න කියලා හරිහමං තැනක් තිබුනෙත් නෑ. අනික වෙන කොහේටහරි ගියොත් පෝළිමේ ඉඩ නැති වෙනවා.

ඉතිං මේ හිරිපොද මල්වැස්ස වහිද්දි පුරුපුරු බොහොම සතුටින් කුඩේ දිග ඇරලා සුදුපූසිට කිව්වලු කුඩේ යටට එන්න කියලා. සුදුපූසිත් ඉතිං ලැජ්ජාවෙන් ඇඹරිලා, වෙන කරන්න දෙයක් නැති හින්දා පුරුපුරු ඉහළපු කුඩේ යටට ආවලු. යාලුවො කට්ටියත් මේ දෙන්නාට පොඩ්ඩක් විහිළු කරන්න අමතක කළේ නෑ. කොහොමහරි තවත් වෙලා ගතවෙද්දි මේ එක්සිබිෂන් එක බලන වැඩේ කට්ටියටම එපා වෙලා තිබුනේ. ඉතිං අන්තිමට හවස් වීගෙනත් ආපු හින්දා යාලුවො සෙට් එක තීරණය කළාලු එක්සිබිෂන් එක බලන්නෙ නැතුව ගෙදර යන්න.

එදා කට්ටිය ආපහු රාගම ඉඳලා ගම්පහට ගියේ කෝච්චියේ. ඒ යනගමනුත් පුරුපුරුයි සුදුපූසියි බොහොම නිදහසේ කතා කර කර තමයි ගියේ. ඒ වගේම ගම්පහ ඉඳන් රෙදිගොඩ බස් එකක ගිහින් සුදුපූසිව ගෙදර ගාවින්ම බස්සවන්නත් පූසා අමතක කළේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු ගෙදර ගියේ කවදාවත් නැති තරම් සතුටින්. සුදුපූසි වුණත් එදා හිටියේ ගොඩක් සතුටින් බව පූසාට නොතේරුණා නෙවෙයි. ඉතිං එදා දවස අවසාන වුණේ පුරුපුරුවයි සුදුපූසිවයි තවත් එකිනෙකාට ළං කරලා.

රාගම ගිහින් සති දෙකකින් තමයි අපේ යාලුවො කට්ටිය රිවිෂන් ක්ලාස් යන්න පටන් ගත්තේ. පුරුපුරුයි සුදුපූසියි ගියේ කලින් කතා කරගත්ත විදිහට එකම ක්ලාස් වලට. මේ දෙන්නා බයෝ වලට ගියේ වසන්ත සර්ගෙ ක්ලාස් එකට. ඒක තමයි ගම්පහ දැනටත් තියෙන ලොකුම බයෝ ක්ලාස් එක. ෆිසික්ස් වලට ගියේ ඒ වෙද්දි නවක ගුරුවරයෙක් වෙච්ච ජලන්ත නියසූරිය සර්ගෙ ක්ලාස් එකට. කෙමිස්ට්‍රි වලට යන්න ක්ලාස් ක්ලාස් එකක් නැතුව ඉන්නකොට සුදුපූසි තමයි පුරුපුරුට කිව්වේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකට යමු කියලා.

විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේ තිබුනේ පුරුපුරුට කොහෙත්ම හුරුපුරුදු වාතාවරණයක් නෙවෙයි. මොකද මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ඇරෙන්න පුරුපුරු ගිය ක්ලාස් හැම එකේම තිබුනේ බොහොම නිදහස් වටපිටාවක්. කොටින්ම සමහර ක්ලාස්වල පූසා කාලය ගතකළේ හූ කිය කියා. ඒත් විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේ තිබුනේ දරුණු නීති රීති. ක්ලාස් එකේ ළමයෙක් පොඩි වැරැද්දක් කළත් දරුණු විදිහට බැනවදින එක තමයි සර්ගෙ පුරුද්ද වුණේ. විශේෂයෙන් ක්ලාස් එක ඇතුලේ කතා බහ සම්පූර්ණයෙන් තහනම්. ඉතිං මේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේදි තමයි අපේ පුරුපුරුට විශේෂ සිද්දියකට ෆේස් කරන්න වුණේ.

මේ වෙද්දි පුරුපුරු ක්ලාස් එකට ඇවිත් ගතවෙලා තිබුනේ දවස් දෙකයි නැත්තං තුනයි. පුරුපුරු වගේම මාලුකට්ටා, ඤාව්වා, උපාසක සහ මී කතුරා ආවෙත් මේ ක්ලාස් එකටමයි. ඉතිං පූසො සෙට් එක සුපුරුදු විදිහටම වාඩිවුණේ ක්ලාස් එකේ අන්තිම පේළියේ. එදා කොහොමහරි විද්දෙ සර් ළමයින්ට හදන්න ගානක් දීලා ක්ලාස් එකෙන් එළියට ගියාලු. හැබැයි ඒ සර් පන්තියේ නැති වුණත් ළමයින්ට කෑ ගහන්න තහනම් කරලා අවවාද කළාට පස්සේ.

පූසො කියන්නේ ඉතිං එක විදිහකට ඉන්න පුලුවන් කට්ටියක් නෙවෙයි නොවැ! ඉතිං සර් පන්තියෙන් එළියට ගිය ගමන්ම කට්ටිය පටන් ගත්තලු ලෝක දේශපාලනය, තෙල් මිල වගේ හරවත් මාතෘකා ගැන කතා කරන්න. ඒකෙන් මේකෙන් වුණේ කට්ටියට සර් දීපු ගාන හදන්නත් බැරිවෙච්ච එක.

ඔය මොහොතෙම තමයි විද්දෙබතා සර් කොහෙද මුල්ලක ඉඳලා එකපාරටම මතුවුණේ. කිව්වාට විස්වාස කරන්න, මෑන්ස් කෙලින්ම පන්තියට ආවේ අන්තිම පේළිය දිහා බලාගෙනමයි. සමහරවිට ඒ අන්තිම පේළිවල ඉන්න ළමයි ගැන ගුරුවරුන්ට එච්චර පැහැදීමක් නැති හින්දා වෙන්න ඇති. කොහොමහරි සර්ව දැක්කා විතරයි, පූසො කට්ටියම තමන් කර කර හිටපු කතා නවත්තලා තමන්ගෙ ඇස් කෙමිස්ට්‍රි පොත් දිහාට යොමු කළාලු.

ඒත් තමන්ගෙ රියැක්ෂන් ටයිම් එක හිතුවාට වඩා දිගයි කියලා පූසන්ට තේරෙන්න වැඩි වෙලා ගතවුණේ නෑ. සර් ක්ලාස් එකේ ඉස්සරහම ඉඳලා තමන්ගෙ වොයිස් එක අවදිකළේ මුලු ක්ලාස් එකම දෙදරන්න.

නැගිටිනවා...ඔය අන්තිම පේළියෙ කොනේ ඉන්න බූරුවො දෙන්නා නැගිටිනවා.....

විද්දෙබතා සර්ගෙ මධුර නාදයෙන් පූසන්ගේ කන් මන්මත් වුණාලු. බැලින්නං සර්ට මීටර් වෙලා තියෙන්නේ පුරුපුරුවයි, මාලුකට්ටාවයි විතරයි.

තොපි වරෙල්ලා පන්තිය ඉස්සරහට පොතුත් අරගෙන...

පුරුපුරුට හීන් නෙවෙයි මහ දාඩිය දාන්න ගත්තේ සර්ගෙ මේ වචන ටික ඇහුවාමයි. මොකද මෑන්ස්ගෙ පොතේ තියෙන්නෙ චිත්‍ර ඇඳපුවයි, කුරුටු ගාපුවයි මිසක් ගණං හදපුවා නෙවෙයි. දැන් ඉතිං ළමයි දාස් ගානක් ඉන්න පන්තිය මැද්දේ ජීවිතේට නොවින්ද මට්ටමේ අපහාසයක් විඳින්නයි පුරුපුරුටයි මාලුකට්ටාටයි වෙන්නේ. වෙන ළමයි දහදාහක් හිටියත් පුරුපුරුට ඉවසන්න පුලුවන්, ඒත් අවාසනාවට සුදුපූසි ඉන්නෙත් මේ ක්ලාස් එකේමයි. මේ කලබලේ අස්සෙත් පූසාට මතක්වුණේ සුදුපූසිව.

අඩුමගානෙ මාලුකට්ටා කියන්නේ දේවගම යුව රජතුමා නේද කියලාවත් මේ මනුස්පයාට හිතන්න තිබුනා නොවැ!

ඉතිං ඊළඟට වෙච්ච දේ සුදුපූසි සීරීස් එකේ අන්තිම කොටසෙන් බලමු නේද යාලුවනේ.

Friday, September 2, 2011

සුදුපූසි 15 - ඒ ලෙවල් විභාගේ


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9                         සුදුපූසි14
සුදුපූසි 5                        සුදුපූසි 10

ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් කිව්වා වගේම ඊළඟ සතියෙ පුරුපුරු ගම්පහ ක්ලාස් ගියෙ ඕන දෙයක් වෙච්චාවෙ කියන හැඟීමෙන්. කොහොමත් ගම්පහදි මලින්දලාට ඇටෑක් එකක් දෙන්න තරම් පිරිස් බලයක් පූසන්ට තිබුනෙ නෑ. අනික මේ වෙලාවෙ මලින්දගෙන් ගුටිකෑවත්, ඒක සුදුපූසිත් එක්ක යාලුවෙන්න උදව්වක් මිසක් බාධාවක් වෙන්නෙ නෑ. කොහොමහරි ඉතිං එදා පුරුපුරු ගුටිකෑමක් බලාපොරොත්තුවෙන් ක්ලාස් ගියාට මලින්දලාගෙ සෙට් එකේ කවුරුවත් පේන්න හිටියෙ නෑලු.

ඉතිං පූසා හිතුවේ කට්ටිය හොඳට සංවිධානය වෙලා ඇවිත්, තමන්ට ක්ලාස් ඉවර වෙලා යනකොට ගහන්න සෙට් වෙයි කියලා. කොහොමත් මලින්දලාගෙ සෙට් එක ගම්පහ වීදි සංචාරය කරන්නෙ හවස් ජාමෙ ක්ලාස් ඉවරවෙන වෙලාවට තමයි. ඉතිං ක්ලාස් එකේ හිටපු පැය කීපය එදා අපේ පුරුපුරු ගෙවාගත්තෙ සෑහෙන අමාරුවෙන්ලු. කොච්චර වාසි සහගත වුණත් මොන කොල්ලාද ඉතිං ප්‍රසිද්දියේ ගුටිකන්න කැමති?

කොහොමහරි හවස ක්ලාස් ඉවරවෙලා පූසා එළියට බැස්සෙ ෆුල් අනුභවයකට රෙඩි වෙලා. මේ සිද්දිය ගැන දැනගෙන හිටපු උපාසකත් මේ වෙද්දි ක්ලාස් එක ළඟට ඇවිත් හිටියේ. ඒ පුරුපුරුව ගුටිකෑමෙන් බේරගන්න සාම සාකච්ඡා පාරක් දාන්න. මොකද මලින්දගේ සෙට් එකේ හිටපු කොල්ලො ගොඩක් කට්ටිය උපාසකව අඳුරනවා. කොහොමහරි ඒ වෙද්දිත් මලින්දලා පේන්න හිටියෙ නෑ.

ඉතිං ගුටිකන්න කියලා මලින්ද එනකං බලාගෙන ඉන්නයැ! පුරුපුරුට ගහන්න ඕනෙමනං මෑන්ස් දැනගන්න ඕනෙ වෙලාවට ක්ලාස් එක ළඟට එන්න. ඉතිං පුරුපුරුයි උපාසකයි හිමින් හිමින් ඇදුනලු රේල් පාර දිහාවට. මේ වෙද්දි මේ කලබල අස්සෙ පුරුපුරුට සුදුපූසිව අල්ලගන්නත් බැරිවෙලා හිටියේ. එක අතකට ඒකත් හොඳයි. නැත්තං සුදුපූසි ඉස්සරහා ගුටි කන්න සිද්දවුණොත් හතර විලි ලැජ්ජාවයි.

ඉතිං ඔය විදිහට කල්පනා කර කර රේල්පාර දිගේ යනකොට තමයි පූසො දෙන්නා දැක්කෙ මලින්ද තමන් ඉන්න පැත්තට එන හැටි. ඒත් ඒ පුරුපුරු බලාපොරොත්තු වෙච්ච විදිහට මහා සේනාවක් පිරිවරාගෙනනං නෙවෙයි. බැලින්නං මලින්ද ඇවිත් තියෙන්නෙ තනියම. ඉතිං පුරුපුරුටයි උපාසකටයි හරිම පුදුමයි මෑන්ස් කට්ටිය එක්කගෙන ආපු නැති එක ගැන. පූසන්ට ඊටත් වඩා පුදුම හිතුනෙ මලින්ද ළඟට ඇවිත් පුරුපුරුත් එක්ක හොඳට කතා කරනකොට.

මලින්ද :- ආ පුරුපුරු, මම උඹව හම්බවෙන්නමයි හිටියෙ.

පුරුපුරු :- ඇයි දැන් උඹ ආවෙ මට ගහන්න නෙවෙයිද?

මලින්ද :- පිස්සුද බං? අර බටු ඉෂානයාට පිස්සු. මම මේ ඒක ගැන කියන්න තමයි ආවෙ.

බැලින්නං එදා සිද්දවෙලා තියෙන්නෙ අපේ පූසා හිතපු විදිහේ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මලින්දගේ කිසිම ප්ලෑන් එකක් තිබිලා නැහැ පුරුපුරුට ගහන්න. මොකද පුරුපුරුට මොන විදිහේ ගේමක් දුන්නත්, මෑන්ස්ට ශාරීරික හානි වෙන විදිහේ ගේමක් දුන්නොත් ඒක තමන්ට අවාසි සහගත බව මලින්ද දැනගෙන හිටියා. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ කාඩ් එක කුඩුවෙලා පුරුපුරුගෙ කාඩ් එක හොඳ වෙන එක කියලා තේරුම් ගන්න මෑන්ස්ට අමාරු වුණේ නෑ.

කොහොමහරි මලින්දලාගෙ කට්ටිය එක දවසක් කතා කර කර ඉන්න අතරේ පුරුපුරු රසිකාගෙන් සුදුපූසිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තු කේස් එකත් එළියට ඇවිල්ලා. ඉතිං හැමදාම පොරක් වෙන්න හීන දැක දැක හිටපු බටු ඉෂාන්ට ඒ වෙලාවෙ තමයි හිතිලා තියෙන්නෙ පුරුපුරුට සද්දයක් දාන්න. මොකද ඉෂාන් දන්නවා පුරුපුරු මෑන්ස්ට ඇටෑක් කරන්න යන්නෙ නැති බව.

ඒත් අන්තිමට කිං බීජේ ඇවිත් බටු ඉෂාන්ගේ බෙල්ලෙන් ඇල්ලුව එක ඉෂාන් බලාපොරොත්තු වුණේ නැති දෙයක්. ඒකයි මෑන්ස් එතනින් විගහට ඌර්ධවපාතනේ වුණේ. හැබැයි ඔය වෙච්ච වැඩෙන් මලින්දට අන්තිමේදි එක්ස්කියුස් එකක් ලැබුනා පුරුපුරුට ගහන්න.

ඒත් ඉතිං මේක මම කලිනුත් කිව්වා වගේ සම්ප්‍රදායික මෙගාවක් නෙවෙයි නොවැ! මේ තමයි රියල් ලයිෆ් එක. රියල් ලයිෆ් එකේ ඉන්න දුෂ්ටයෝ සම්පූර්ණයෙන්ම කලු නෑ. ඒ අයගේ හොඳ ගතිගුණත් ගෑවිලා තියෙනවා. ඒ හින්දා වෙන්න ඇති, මලින්ද තීරණය කළාලු පුරුපුරුට ඇටෑක් නොකර ඉන්න.

ඒ වගේම මේ සිද්දිය රසිකාට ආරංචි වෙන්න දෙන්න එපා කියලා කියන්නත් මෑන්ස් අමතක කළේ නෑ. සමහරවිට මලින්ද ගත්තු මේ තීරණයෙන් එයා බලාපොරොත්තු වුණේ රසිකා ඉස්සරහා හොඳට තියාගෙන හිටපු මෑන්ස්ගෙ කාඩ් එක තවදුරටත් පරිස්සම් කරගන්න එක වෙන්න ඇති. එහෙමත් නැත්තං වෙන මොකක්හරි හේතුවක් වෙන්න ඇති. කොහොමින් කොහොමහරි මලින්දට ඕනෙ වුණේ නෑ පූසාට ගහන්න. ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ පුරුපුරුගෙයි සුදුපූසිටගෙයි හිතවත්කම නැති කරන්න මෑන්ස් උත්සාහ කළෙත් නෑ.


මේ වෙද්දි 2006 අවුරුද්ද උදාවෙලා මාස කීපයක් ගතවෙලයි තිබුනේ. ඒ කියන්නේ ඒ ලෙවල් ලියන්න ඉතුරුවෙලා තිබුනේ තව මාස කීපයයි. ඉතිං පුරුපුරුට ඕනෙ වුණේ නෑ මේ මාස කීපෙදි සුදුපූසිගෙන් ආපහු යාලුවෙන්න අහලා එයාගෙ හිත අවුල් කරන්න. මෑන්ස් කළේ සාමාන්‍ය යෙහෙළියක් ආශ්‍රය කරනවා වගේ සුදුපූසිව ආශ්‍රය කරපු එකලු. 

පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ ඇතිවෙච්ච කතාබහේ ආපහු මූලික තැනක් ලැබුනේ අධ්‍යාපනික කතාබහට. අහවල් සර්ගෙ ටියුට් එකේ අහවල් ගාන හදන හැටි, පාස්ට් පේපර් ගණං හදන හැටි වගේ දේවල් තමයි මේ දෙන්නා කතා කළේ. ඉතිං ඔය විදිහට දන්නෙම නැතුව කාලෙ ගතවෙලා ඒ ලෙවල් විභාගෙ අත ළඟටම ආවෙ හරිම ඉක්මනට. ඉතිං පුරුපුරුගෙ, සුදුපූසිගෙ විතරක් නෙවෙයි, ඒ වයසෙ හැම ළමයාගෙම ජීවිතේ මේ දවස්වල තිබුනෙ ඒ ලෙවල් කියන භයංකාර හිතුවිල්ල විතරයි.

පුරුපුරු දැනගෙන හිටියා මෑන්ස්ට බයෝ වලටනං ඒ එකක් හරි බී එකක් හරි ගන්න පුලුවන් කියලා. කෙමිස්ට්‍රිත් තිබුනේ සැලකිය යුතු තරමේ ශේප් කන්ඩිෂන් එකක. ඒත් පූසාට මේ වෙද්දි අම්බානට ඇනිලා තිබුනේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක. කොටින්ම ෆිසික්ස් කියන වචනේ ඇහෙද්දිත් මෑන්ස්ට තරු පෙනුනේ හබල් දුරේක්ෂය ඇහැට හයිකරලා වගේ. ඉතිං පුරුපුරු කළේ ඔක්කොම වැඩ පැත්තක දාලා ෆිසික්ස් වලට මහන්සි වෙච්ච එක.

කොහොමහරි ඉතිං විභාගේ පටන්ගන්න කාලෙ උදාවෙද්දි සියේට සීයක්ම නැතත්, සෑහෙන්න දුරකට පූසාට විශ්වසයක් තිබුනලු එග්සෑම් එක ගොඩදාගන්න පුලුවන් වෙයි කියලා. ටිකක් ෂුවර් නැති මට්ටමක තිබුනේ ෆිසික්ස් තමයි. ඒක වුණත් හැබැයි කලින් තිබුන තරම් භයානක මට්ටමක තිබුනේ නෑ.

ඔය විදිහට පුරුපුරුයි, සුදුපූසියි ඒ ලෙවල් වලට කලින් මුණගැහෙන අන්තිම දවසත් උදාවුණාලු. ඒ තමයි බ්ලැක් ඔෆිසර් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් එකේ අන්තිම දවස. මේ කාලෙ මෑන්ස් එග්සෑම් පේපර් එකට එන ගණන් පන්තියෙ අන්තිම දවසෙ හදනවයි කියලා ලොකු කට කතාවක් තිබුනා. ඉතිං අන්තිම දවසේ ක්ලාස් එක තිබුනේ සැමන් ටින් පැක් කරලා වගේ. සර් කොහොමහරි ගණන් කීපයක් කරලා පන්තිය ටිකක් ඉක්මනට ඉවර කළාලු. ඊට පස්සේ තමයි පූසාට චාන්ස් එක හම්බවුණේ සුදුපූසිත් එක්ක කතා කරන්න.

එදා පුරුපුරු ගෙදර ගියේ සුදුපූසිත් එක්ක රෙදිගොඩ බස් එකේ. මොකද තමන්ට සුදුපූසිව ආපහු කොච්චර කාලෙකින් මුණගැහෙයිද කියන්න මෑන්ස් දැනගෙන හිටියේ නෑ. ඉතිං ඒක හින්දා අපේ පූසා හිටියේ ෆුල් අප්සෙට් එකේලු. ඒත් ඒ ලෙවල් වලට තිබුනේ අතේ ඇඟිලි ගානටත් අඩු දවස් ගානක් හින්දා, තමන්ගෙ හිතේ තියෙන දේවල් සුදුපූසිත් එක්ක කියලා එයාගෙ හිතත් අවුල් කරන්න පුරුපුරුට ඕනෙ වුණේ නෑ. 

එදා මේ දෙන්නා සමුගත්තේ ඒ ලෙවල් විභාගෙ හොඳට ලියන්න කියලා දෙන්නට දෙන්නා සුභ පැතුවාට පස්සේ. ඒක ගොඩක් හැඟීම්බර මොහොතක්. ඒත් උදාවෙලා තිබුනේ හැඟීම්වලට මුල් තැන දෙන්න පුලුවන් දවස් කීපයක් නෙවෙයි. ඉතිං එදා සුදුපූසිගෙන් සමුගත්තු පුරුපුරු හොස්ටල් එකට ගියාලු ඒ ලෙවල් විභාගෙට ෆේස් කරන්න.

ඒ ලෙවල් තිබුන දවස් ටිකේනං පූසා හිටියේ ෆුල් ටෙන්ෂන් එකේ. බයෝ, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් තුනටම ෂේප් එකේ ලියා ගත්තත්, කෙමිස්ට්‍රි රචනා ප්‍රශ්නයක් ටිකක් අවුල් වෙච්ච බව පුරුපුරුට තේරුණාලු. ඒත් ඉතිං ඒක තේරෙනකොට පරක්කු වැඩියි. අන්තිමේදි ජෙනරල් ඉංග්ලිෂ් සහ පොදු පරීක්ෂණය පේපර් දෙකත් ලියලා ඒ ලෙවල් කරුමය අහවර කරගන්න පූසාට පුලුවන් වුණාලු.

ඊට පස්සේ උදාවුණේ බොහොම නිදහස් කාලයක්. බලන්න දේවල් වුණත් ඕනෙ තරම් ටීවී එකේ තිබුනා. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක, ලංකාව එංගලන්තෙට 5-0 තියලා ගහපු වන් ඩේ සීරීස් එක එහෙම පුරුපුරු නිදහසේ බැලුවේ වෙනදා වගේ ගෙදරින් ඇනුම් බැනුම් අහන්න ලැබුනෙත් නැති හින්දා.

ඒත් මේ දවස්වල පුරුපුරුගෙ හිතට වද දුන්න ප්‍රශ්නෙකුත් තිබුනා. ඒ තමයි සුදුපූසිට කෝල් එකක් දෙන්නේ කොහොමද කියන එක.

ප.ලි - තව කොටස් දෙකකින් සීරීස් එක ඉවර කරන්න පුලුවන් වෙයි වගේ.

Wednesday, August 31, 2011

සුදුපූසි 14 - මැර තර්ජන


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10

මම කලින් ලිපියෙ කිව්වෙ මලින්දගෙ බොරු ආරංචි වලින් සුදුපූසි කලබලයට පත්වෙච්ච හැටිනෙ. ඉතිං මේ කලබලේට හේතුවෙච්ච සුදුකුමාරි කියන ගෑනු ළමයා ආවෙත් පුරුපුරුලා ගියපු බයෝ ක්ලාස් එකටමයි. මේ වෙද්දි පුරුපුරු දැනගෙන හිටියෙ නෑ මලින්ද මෙහෙම ආරංචියක් පතුරවලයි කියලා.

කලිනුත් කිව්ව විදිහට මේ වෙද්දි ක්ලාස් ඉවරවෙලා හැමදාමත් පුරුපුරුයි, සුදුපූසියි බස්ටෑන්ඩ් එකට ගියෙ එකට කතා කර කර. ඒත් එක දවසක් පුරුපුරු එන්න කලින්ම සුදුපූසි බස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකේ වාඩි වෙලා හිටියා. “කමක් නෑ, එක දවසයිනේ“ කියලා පුරුපුරුත් ඉතිං වැඩිය ඒ ගැන හිතුවෙ නෑ. ඒ මේ සිද්දියම ඊට පස්සෙ සති දෙකෙත් සිද්ද වුණාලු. සුදුපූසි අපේ පූසා එක්ක අඩුම ගානෙ කතා කරන්නවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඉතිං මේ පත්තු වෙච්ච හෙන ගෙඩිය ගැන හාංකවිසියක් නොදන්න පුරුපුරු ෆුල් අප්සෙට් ගැහුවලු සුදුපූසිගෙ හැසිරීම දැකලා.

ඊට පස්සෙ තමයි මෑන්ස්ට හිතුනෙ මේ වෙන දේවල් වලට කොහෙන්හරි මලින්දගෙත් කනෙක්ෂන් එකක් ඇති කියලා. ඉතිං පූසා තීරණය කළාලු සිද්දිය ගැන පොඩි ඉන්වෙස්ටිගේෂන් පාරක් දාන්න. මේ වෙද්දි සුදුපූසි පුරුපුරුත් එක්ක හිත නොහොඳින් හිටපු හින්දා, මේ වැඩේ පැවරුනේ හැමදාමත් පූසා වෙනුවෙන් කටු කන ඉස්සාට. ඉතිං අනිත් දවසෙ ඉස්සා බස් එකේදි සුදුපූසිගෙන් ඇහුවලු පුරුපුරු සම්බන්දයෙන් දක්වන මේ හදිසි වෙනසට හේතුව.

මුලදි ඒ ගැන කියන්න සුදුපූසි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් ඉතිං කාන්තා පාර්ශවේ කාටද කට පියාගෙන ඉන්න පුලුවන් නේද? ටික වෙලාවක් යද්දි සුදුපූසිම ඉස්සාගෙන් ඒ වැදගත් ප්‍රශ්නෙ ඇහුවලු.

සුදුපූසි :- ඉස්සා, දැන් කොහොමද පුරුපුරු අලුත් ජීවිතේ?

ඉස්සා :- මොකද්ද ඔයා කියවන්නෙ? මොන ජීවිතයක්ද?

සුදුපූසි :- ඇයි දැන් එයා සුදුකුමාරි එක්ක යාලුයිනේ. ඔයා මට වඩා ඒ ගැන දන්නවා ඇතිනේ.

ඉස්සා :- ඔයාට විකාරද සුදුපූසි? පුරුපුරු එහෙම යාලුයිනං මම ඒ ගැන දැනගෙන ඉන්න එපායැ. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් නෑ කියලා.

සුදුපූසි :- මොනවා? එහෙනං මේ රසිකා කිව්වෙ හොඳටම විශ්වාසයි කියලා.

ඉස්සා :- හික් හික්!! එහෙනං මේක අනිවාර්යයෙන්ම මලින්දගෙ වැඩක් තමයි.

සුදුපූසි :- අනේ මටනං හිතාගන්නවත් බෑ මලින්ද මෙහෙම වැඩක් කරයි. මමත් අපරාදෙ පුරුපුරුත් එක්ක කතා නොකර හිටියනේ. අනිත් දවසේ මම එයත් එක්ක මේ ගැන කතා කරන්නම්.

කොහොමහරි ඉතිං එදාම ගෙදර ගිහින් සිද්ද වෙච්ච දේ ගැන පුරුපුරුට කෝල් කරලා කියන්න ඉස්සා අමතක කළේ නෑ. මේ වෙලාවෙනං පුරුපුරුට ආවෙ මලින්දගෙ බෙල්ල මිරිකන්න සයිස් කේන්තියක්. ඒත් ඉතිං වැඩි යහපත වෙනුවෙන් තවත් ඉවසන්න පූසා තීරණය කළාලු. කොහොමත් ඉතිං මෑන්ස් එක්ක වලියක් දාගත්තොත් ගුටිත් කාලා, කාඩ් එකත් කුඩු කරගන්න වෙන බව පුරුපුරු හොඳටම දැනගෙනයි හිටියේ.

ඉතිං ඊළඟ සතියේ ක්ලාස් ඉවර වෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු. වෙනදා සුදුපූසි එනකං ඉන්න තැන පහු කරගෙන, ඒ පැත්තවත් නොබලා තමයි පුරුපුරු යන්න ගියෙ. එහෙම කිව්වට මොකද, මෑන්ස්ගෙ දෘෂ්ටි පථයට අහුවුණාලු එදා සුදුපූසි කලින්ම ඇවිත් පුරුපුරු එනකං එතන නැවතිලා හිටියයි කියලා. ඒත් ඉතිං සති දෙක තුනක් තමන්ට ලොකු එක දුන්න එකේ දැන් ඉතිං පූසාත් පොඩ්ඩක් ලොකු එක දෙන්න එපායැ. ඉතිං ඒකයි පුරුපුරු සුදුපූසිව දැක්කෙ නෑ වගේ යන්න ගියෙ.

ටික වෙලාවකින් මෙන්න පිටිපස්සෙන් සද්දයක් එනවා “පුරුපුරු, පුරුපුරු“ කියලා. බැලින්නං සුදුපූසි පිටිපස්සෙන් ඇවිත් පූසාට කතා කරනවා.

සුදුපූසි :- සොරි පුරුපුරු, මම ඔයා එක්ක පහුගිය දවස්වල කතා නොකර හිටියාට. මලින්ද එවපු බොරු ආරංචියට මමත් රැවටුනා.

පුරුපුරු :- කමක් නෑ සුදුපූසි. ඒත් මට දුකයි මලින්ද වගේ කෙනෙක් එවන ආරංචි නිසා ඔයා මාත් එක්ක කතා නොකර හිටපු එක ගැන. අනික මලින්ද ඔතනින් නවතින එකක් නෑ. ඉස්සරහාට තවත් එක එක බොරු කියයි.

සුදුපූසි :- නෑ පුරුපුරු, මම මීට පස්සේ මලින්ද කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ.

කොහොමහරි එදා සුදුපූසිගෙයි පූසාගෙයි ටෝක ඉවරවුණේ මේ දෙන්නාගෙ යාලුකම තවත් වැඩි කරමින්. ඒත් පුරුපුරුට දුක තිබුනේ යාලුකමට එහා දෙයක් තවමත් වුණේ නැති එක ගැන.

ඊට පස්සෙත් පුරුපුරු කීප සැරයක්ම සුදුපූසිගෙන් යාලු වෙන්න ඇහුවත් එයා ළඟ තිබුනේ එකම උත්තරයයි. ඒ තමයි එදා පුරුපුරුට මුලින්ම දුන්න උත්තරේ. ඉතිං පූසාත් වැඩිය මේ ගැන අහලා සුදුපූසිව අප්සෙට් කරන්න උත්සාහ කළේ නෑ. මෑන්ස් දැනගෙන හිටියා තමන්ට සුදුපූසිත් එක්ක යාලුවෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ ඒ ලෙවල් කළායින් පස්සේ කියලා. ඉතිං පූසා සුපුරුදු ෆ්‍රෙන්ඩ්ෂිප් එකෙන්ම සුදුපූසිව දිගටම ආශ්‍රය කළාලු.

කොහොමහරි තමන් කොච්චර උප්පරවැට්ටි දැම්මත්, පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ තිබුන යාලුකම බිඳ වට්ටන්න බැරිවෙච්ච එක ගැන මලින්ද හිටයේ වෙඩි කාපු කොටියෙක් වගේ තරහින්. ඒත් කොච්චර තරහා තිබුනත් රසිකාට ආරංචි නොවෙන විදිහට පුරුපුරුට ගහන්න මෑන්ස්ට පුලුවන්කමක් තිබුනේ නෑ. මලින්ද කියන්නෙ සම්ප්‍රදායික මෙගාවල ඉන්නවා වගේ හැම අතින්ම කලු කැරැක්ටර් එකක් නෙවෙයි. මොන දේ වුණත් මෑන්ස් රසිකාට ඇත්තටම ආදරේ කළා. ඒ හින්දා තමන්ගෙයි රසිකාගෙයි එෆෙයාර් එකට ප්‍රශ්නයක් ඇතිවෙන කිසි දෙයක් මලින්ද අතින් සිද්ද වුණේ නෑ.

ඉතිං මලින්ද ඊටපස්සෙ කළේ කොල්ලො අතරේ තිබුන පුරුපුරුගෙ කාඩ් එක කුඩු කරන්න ට්‍රයි කරපු එක. මෑන්ස් කළේ පුරුපුරුට කවදාවත් සුදුපූසි වගේ ගෑනු ළමයෙක්ව යාලු කරගන්න බෑ කියලා හැම තැනම ප්‍රචාරය කරපු එක. ඒ වගේම පූසාට හැමදාමත් වෙන්නේ සුදුපූසිගෙ පස්සෙන් යන්න විතරයි කියලා කියන්නත් මලින්ද අමතක කළේ නෑ. එක දවසක් උපාසකව මුණගැහිච්ච වෙලාවකත් මලින්ද මේ ගැන කියලා උපාසකව බයිට් එකට අරගෙන තිබුනා.

මලින්ද :- මොනවද බං! කෝ උඹලගෙ අර පුරුපුරුවා? මිනිහා හැමදාම සුදුපූසිගෙ පස්සෙන් යනවා විතරයිනේ. කවද්ද දන්නෑ සුදුපූසිව දාගන්නෙ?

උපාසක :- මමනං දන්නෙ නෑ බං. ඒක අහන්න ඕනෙ පුරුපුරුගෙන් තමයි.

මලින්ද :- හික් හික්!! අනේ ඌට පුලුවන්ද බං සුදුපූසිව දාගන්න? මම ගම්පහ ටවුන් එකේ ඔලුවෙන් හිටගන්නවා මෑන්ස් සුදුපූසිත් එක්ක යාලු වුණොත්.

උපාසක :- හා හා. මම ඌට කියන්නංකෝ.

මලින්ද :- ඇත්තටම උඹලටත් ලැජ්ජ නැද්ද බං ඌත් එක්ක එක සෙට් එකේ ඉන්න?

උපාසක :- මටනං එහෙම ලැජ්ජාවක් නෑ බං. ඌට කෙල්ලො වැටුනත් නැතත් ඌ හැමදාමත් අපේ යාලුවෙක්.

ඔය විදිහට පුරුපුරුගෙ යාලුවො අතරේ මෑන්ස්ගෙ කාඩ් එක කුඩු කරන්න මලින්ද ට්‍රයි කළත් ඒ වැඩේ හරිගියෙත් නෑ. මොකද පූසො සෙට් එකේ හැමෝම නියම යාලුකම කියන්නෙ මොකද්ද කියලා දැනගෙන හිටියා.

එක දවසක් ඉස්කෝලෙදිත් විශේෂ සිද්දියක් වුණා. මලින්දගෙ සෙට් එකේ කුරුඳුවත්ත ඉස්කෝලෙ හිටපු නියෝජිතයෙක් පුරුපුරුව හම්බවෙන්න මෑන්ස්ගෙ පන්තියට ආවා. පොරට ඉස්කෝලෙ කිව්වේ බටු ඉෂාන් කියලා. මොකද මෑන්ස් බටු ගෙඩි දෙකක් විතර තමයි ඒ දවස්වල උස. බටු ඉෂාන් කියන්නේ ඉස්කෝලෙ පිළිගත් මැරයෙක් නෙවෙයි. ඒත් මෑන්ස්ට තිබුනෙ මැර චරිතයක් වෙන්න පුදුමාකාර උණක්. ඉස්සර පුරුපුරුත් එක්ක ඉෂාන් ගම්පහ ක්ලාස් ගිහින් තියෙන හින්දා මේ දෙන්නා හොඳට අඳුනනවා. ඉතිං ඉෂාන් තමන්ව හොයාගෙන පන්තියට ආපු එක පූසාට එච්චර අමුත්තක් වුණේ නෑ.

ඉෂාන් :- ආ...පූසා, උඹට පණිවිඩයක් කියන්න තියෙනවා. පොඩ්ඩක් එළියට වරෙන්කෝ.

පුරුපුරුත් ඉතිං බටු ඉෂාන් එක්ක පන්තියෙන් එළියට ගියාලු. ඉෂාන් පුරුපුරුව එක්ක ගියේ අපේ පිටස්තරයා හිටපු කඩ්ඩ මීඩියම් බයෝ පන්තිය ළඟට.

ඉෂාන් :- අඩෝ! උඹ මහ -- වැඩක් කරලා තියෙනවා කියලා මට ආරංචියි.

පුරුපුරු :- මොකක්? මම එහෙම කිසිම වැඩක් කරලා නෑ.

ඉෂාන් :- නෑ නෙවෙයි, උඹ අපේ මලින්ද යාලුවෙලා ඉන්න රසිකාගෙන් ඒකිගෙ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවා නේද?

පුරුපුරු :- උඹට පිස්සුද?

ඉෂාන් :- පිස්සු කාටද කියලා බලමුකො අනිත් දවසෙ ගම්පහ ආවම. උඹ ඒකිගෙන් කවදාවත් ෆෝන් නම්බර් එකක් ඉල්ලලා නෑ?

පුරුපුරු :- යකෝ ඒ නවය වසරෙදිනෙ. ඒකත් මම ඉල්ලගත්තෙ සුදුපූසිගෙ නම්බර් එක. අනික ඒ කාලෙ ඒකි මලින්දයෙක්ව දන්නෙත් නෑ.

එතකොටම තමයි පුරුපුරුට තේරුනේ සිද්දිය මොකද්ද කියලා. මේක පුරුපුරුත් එක්ක වලියක් දාගන්න මලින්ද ගහපු විශිෂ්ට ප්ලෑනක් වෙන්න ඕනේ. බොරු චෝදනාවක් එක්ක ඉෂාන්ව පුරුපුරුට සද්දයක් දාන්න එවලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි, පුරුපුරු ලව්වා ඉෂාන්ට ගුටිකන්න සලස්වන්න. එතකොට මලින්දට එක්ස්කියුස් එකක් තියෙනවා ගම්පහදි පුරුපුරුට හොඳ ගේමක් දෙන්න. ඒ එක්කම පුරුපුරු වලිබර පූසෙක් කියලා සුදුපූසිට ආරංචි වෙනවා. නැත්තං ඉෂානයා අර වගේ අඳබාල චෝදනාවක් කරයිද?

හැබැයි මේ වෙද්දි මලින්දගේ ප්ලෑන් එක සෑහෙන දුරට වැඩ කරලයි තිබුනේ. බටු ගෙඩි දෙකක් උස නැති බටු ඉෂාන් තමන්ට සද්දෙ දානකොට පූසාට හිතුනෙම මෑන්ස්ව උස්සලා එහා පැත්තෙ තිබුන ඩස්ට්බින් එකට විසිකරන්න. ඒත් මලින්දගේ ප්ලෑන් එක තේරිච්ච ගමන්ම පුරුපුරු තීරණය කළාලු මොන දේ වුණත් බටු ඉෂාන්ට නොගහා ඉන්න.

අන්තිමේදි තමන්ගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත හින්දා හරි, නැත්තං පුරුපුරු තමන්ට ගහන්නෙ නෑ කියලා තේරුම් ගත්ත හින්දා හරි බටු ඉෂාන් කළේ පුරුපුරුගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලපු එක. එතකොටම තමයි මේ සීන් එක කඩ්ඩ මීඩියම් පන්තියේ හිටපු අපේ කිං බීජේ දැක්කේ.

බටු ඉෂාන් පුරුපුරුගෙ කොලර් එකෙන් අල්ලගෙන ඉන්නවා දැක්ක කිං බීජේ දුවගෙන ආවලු ක්ලාස් එකෙන් එළියට.

කිං බීජේ :- ඇයි ඇයි!! පුරුවා මොකද කේස් එක? මොකාද මූ?

බැලින්නං මෑන්ස් බටු ඉෂාන්ව දන්නෙත් නෑ. කලිනුත් කිව්ව විදිහටම ඉෂාන් දිගටම මැරයෙක් වෙන්න උත්සාහ කළත් කවුරුවත් මෑන්ස්ව ගනන් ගත්තෙ නෑ.

ඊටපස්සෙ පුරුපුරු කිසිම උත්තරයක් දෙන්නත් ඉස්සරවෙලා බීජේ කළේ බටු ඉෂාන්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියකට හේත්තු කරපු එක. මේකෙන් වුණේ ඉෂාන් අම්බානට බය වෙච්ච එක. සමහරවිට මැර ඩයල් එකක් වෙන එක හිතන තරම් සුන්දර කැරියර් පාත් එකක් නොවෙන වග මෑන්ස්ට තේරෙන්න ඇති. 

පුරුපුරු :- කිං, ඔන්න ඕකාට යන්න දීපන්.

ඉතිං මෙහෙම කිව්වාම කිං බීජේ ඉෂාන්ව අතඇරියාලු. ඊටපස්සේ ඉෂාන් එතනින් ඌර්ධවපාතනය වුණේ විදුලි වේගෙන්. ඊටත් පස්සෙ තමයි පුරුපුරු කිං බීජේට සම්පූර්ණ සිද්දිය කිව්වේ. ඒත් එතකොට පරක්කු වැඩියි. ඒ වෙනකොටත් මලින්දගේ ප්‍රාර්ථනාව ඉෂ්ටවෙලා ඉවරයි. ඉතිං වෙච්ච වැඩේ ගැන බීජේත් දුක් වුණාලු.

අපේ පුරුපුරුට බය හිතුනේ මලින්දගේ සෙට් එකෙන් ගුටිකන එක ගැන නෙවෙයි, සුදුපූසි තමන් ගැන වැරදියට හිතයි කියලා. මොකද සුදුපූසිට වලි වලට යන කොල්ලන්ව පෙන්නන්න බෑ. කොහොමහරි ඉතිං අනිත් දවසේ පුරුපුරු ගම්පහ ක්ලාස් ගියේ ඕන දේකට ෆේස් කරනවා කියන හැඟීමෙන්.