ඉතිං
යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්න
වැඩි දවසක් ගතවුණේ නෑ. පුරුපුරුට ඒ දවස හොඳට මතකයි. එදා සිකුරාදා දවසක්. ඒ වගේම එදා තමයි රෙදිගොඩ ලොකු ඉස්කෝලෙ
ස්පෝර්ට්ස් මීට් එක තිබුන දවස. ඉතිං අපේ ඉස්සාත් ස්පෝර්ට්ස් මීට් එකේ එකොළහෙන් පහළ
මීටර් සීය දුවන්න ගිහින් වැටිලා, ඒ වෙද්දි මෑන්ස්ගෙ අතක් හොඳටම තුවාල කරගෙනයි හිටියේ. ඉතිං
පුරුපුරු හිටියේ ඉස්සාට සාත්තු සප්පායම් කර කර.
එතකොට තමයි කවුරුහරි ඇවිත් කිව්වේ පොඩි ඉස්කෝලෙට ශිෂ්‍යත්ව
විභාගෙ ප්‍රතිඵල ඇවිල්ලයි කියලා. ඉතිං එතන හිටපු ළමයි කට්ටිය කළේ ඉස්සාවත්
අමතක කරලා පොඩි ඉස්කෝලෙ දිහාවට ගිය එක. දැන් ඉතිං අපේ පූසාගෙ පූස් හාර්ට්
එක ඩග් ඩග් ගාලා ගැහෙනවා. කොටින්ම ඒ වෙලාවෙ මෑන්ස්ගෙ පපුව උඩට බිත්තරයක්
කඩලා දැම්මනං ගේමක් නැතුව ඔම්ලට් එකක් හදාගන්න තිබුනා. කොහොමවුණත්
පුරුපුරුට ලොකු ෂුවර් එකක් තිබුනා තමන් ෆේල් වෙලානං නැතුව ඇති කියලා.
ඔය විදිහට පොඩි
ඉස්කෝලෙට කිට්ටු වෙද්දි තමයි තව මැසේජ් එකක් පුරුපුරුගෙ කන වැකුනේ. ඒකෙන්
කියවෙච්ච හැටියට වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ ගෑනු ළමයෙක්ලු. ඒ කියන්නේ
සුදුපූසි තමයි එහෙනං වැඩිම ලකුණු අරගෙන ඇත්තේ. අපේ පූසාගේ නිගමනය වුණේ
ඒකයි. ඒ කියන්නෙ තමන් සුදුපූසිට සෙකන්ඩ් වෙලා. ඒත් ඒ ගැන පුරුපුරුට කිසිම
අසතුටුදායක හැඟීමක් ආවෙ නෑ.
කොහොමහරි ඊට
ටික වෙලාවකට පස්සෙ තමයි පූසා රිසාල්ට්ස් දාලා තිබුන තැනට ආවෙ. හැබැයි එතනදි
පුරුපුරු දැක්කෙ තමන් හිතාගෙන හිටපු ප්‍රතිඵලයනං නෙවෙයි. බැලින්නං හැමදාම
පන්තියෙ තුන් වෙනියා වෙච්ච රසිකා ලකුණු 168ක් අරගෙන ඉස්කෝලෙන් වැඩිම
ප්‍රතිඵල අරගෙන. ඒ වගේම රසිකා ගම්පහ දිස්ත්‍රික්කෙන් දහවෙනියාගෙන් උඩ
රෑන්ක් එකක හිටියාලු. ඉතිං මේ වෙද්දි රසිකාගේ ජයග්‍රහණයෙන් උද්දාමයට
පත්වෙච්ච ටීචර්ලාගෙන් රිසාල්ට්ස් දාලා තිබුන තැන පිරී ඉතිරී ගිහින් තිබුනේ.
කොටින්ම පුරුපුරුලාට තමන්ගෙ ප්‍රතිපල බලාගන්නත් අමාරු තත්ත්වයක් තිබුනේ.
කොහොමවුණත්
රසිකා කියන්නෙ සුදුපූසි ඇරුනුකොට, පුරුපුරුට ඒ ඉස්කෝලෙ හිටපු හොඳම යාලුවො
දෙන්නාගෙන් එක්කෙනෙක්. ඉතිං රසිකාගේ ඇචීව්මන්ට් එක ගැන අපේ පුරුපුරුට
දැනුනෙ බොහොම අවංක සතුටක්. ඊටපස්සෙ මෑන්ස් කළේ ටීචර්ලා අතරින් පීරගෙන
ගිහින් අනිත් කට්ටියගේ රිසාල්ට්සුත් බලපු එක.
බැලින්නං
ඉස්කෝලෙන් දෙවෙනියට හොඳම රිසාල්ට් තියෙන්නෙ අපේ පුරුපුරුට. ලකුණු 161යි.
දිස්ත්‍රික්කෙන් හතළිස් ගානක් රෑන්ක් එක. බලාගෙන යද්දි හිතුවට වඩා ටිකක්
හොඳයි ඇවිත් තියෙන ප්‍රතිඵලේ. ඊටපස්සෙ ළමයි දෙන්නෙක් ඉන්නවා ලකුණු 152ක් සහ
146ක් ගානෙ ගත්තු. (මේ ළමයි දෙන්නා පස්සෙ කාලෙක දෙලොවක් අතර බාලිකාවටයි,
මරියකඩේ ඉස්කෝලෙටයි ගියා)
ඒත් කෝ
සුදුපූසිගෙ රිසාල්ට් එක? පුරුපුරු තවදුරටත් ලිස්ට් එක පුරා හොයා බැලුවලු.
බැලින්නං සුදුපූසිගෙ ප්‍රතිඵල හැම දෙනාම බලාපොරොත්තු වුණාට වඩා ගොඩක්
අඩුයි. එයාට තිබුනෙ ලකුණු 137යි. සුදුපූසිගෙ හැකියාව ගැන හොඳට දන්න
පුරුපුරුට මේ ප්‍රතිඵලය අදහාගන්න බැරිවුණාලු. ඒ වගේම ඉස්සාටත් තිබුනෙ
බලාපොරොත්තු වුණාට වඩා අඩු ප්‍රතිඵලයක්. මෑන්ස්ට ලකුණු 133යි.
මම හිතන්නෙ පුරුපුරුලා ශිෂ්‍යත්ව විභාගෙ කරපු අවුරුද්දෙ තමයි මෙච්චර කාලෙකට දුන්න අමාරුම පේපර් එක දුන්නෙ. ඒ අවුරුද්දෙ ලංකාවෙ
පළවෙනියාට තිබුනෙත් ලකුණු 182ක් විතරයි. ගම්පහ දිස්ත්‍රික්කෙ පළවෙනියාට
තිබුනෙ ලකුණු 175යි. (පස්සෙ කාලෙක හම්බවෙච්ච ආදරණීය මිත්‍රයා
“පිටසක්වලයා“). ඉතිං සමස්තයක් විදිහට ගත්තහම හැම ළමයාටම වගේ ගොඩක් අඩුවෙන්
තමයි ලකුණු තිබුනේ. ගම්පහ දිස්ත්‍රික්කෙ විභාගෙ පාස් කළේ ලකුණු 121න්. ඉතිං
ඒකෙන්ම හිතාගත්තහැකිනෙ විභාගෙ තරම.
කොහොමහරි
රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙට එදා ඓතිහාසික දිනයක්. ඉස්කෝලෙන් එච්චර කාලෙකට
වාර්තාවෙච්ච හොඳම රෑන්ක් එක විතරක් නෙවෙයි, එච්චර කාලෙකට පාස් වෙච්ච වැඩිම
ළමයි ගණනත් වාර්තා වුණේ ඒ අවුරුද්දෙ. ඔව්! මුලු ඉස්කෝලෙන්ම ළමයි දාහත්
දෙනෙක් විභාගෙ පාස් වෙලා තිබුනා. ඒක රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙ වගේ දුප්පත්
ඉස්කෝලෙකට වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ ලොකු ඉලක්කමක්.
එක පැත්තක පාස්
වෙච්ච ළමයි සහ අම්මලා සතුටින් කතා කර කර ඉන්නවා. අනිත් පැත්ත විසාලා
මහනුවර වගේ. ඒ පැත්ත විභාගෙ ෆේල් වෙච්ච ළමයින්ගෙ අම්මලාගෙ කඳුලු වලින්,
ඇනුම් බැනුම් වලින් පිරිලා. එක අම්මා කෙනෙක් විලාප දිදී අඬනවා. බැලින්නං ඒ
අම්මාගෙ දුව එක ලකුනෙන් විභාගෙ අසමත් වෙලා. ඉතිං ඔය නානාප්‍රකාර සිද්දි
අස්සෙ පුරුපුරු හැමතැනම හෙව්වෙ සුදුපූසිව. අන්තිමේදි මෑන්ස්ට සුදුපූසිව
හම්බවුණේ තනියම ඉස්කෝලෙ බිල්ඩින් එකක් ළඟ ඉන්නකොට.
සුදුපූසිගෙ මූණෙ දුකක්වත් සතුටක්වත් තිබුනෙ නෑ. තිබුනෙ මහා හිස් බැල්මක් විතරයි. කොහොමත් සුදුපූසිට අප්සට් ගියාම එහෙම තමයි. වෙනදා පුරුපුරුව දැක්කාම දාන ලස්සන ස්වභාවික හිනාව එදා සුදුපූසිගෙ මූණෙ ඇතිවුණේ නෑ. ඒ වෙනුවට සුදුපූසිගෙ මූණෙ අන්තිමේදි ඇතිවුණේ ආයාසයෙන් මවාගත්ත හිනාවක්.
සුදුපූසි :- පුරුපුරු, ඔයා මොකද මෙතන කරන්නෙ?
පුරුපුරු :- මම මේ ඔයාව හොයන්න තමයි ආවෙ.
සුදුපූසි :- මගෙ සුභපැතුම් පුරුපුරු. දැන්නං ඔයාට කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුලුවන්. කොච්චර දෙයක්ද?
ඇත්තටම ඒ වෙලාවෙ සුදුපූසිට කියන්න ඕනෙ මොකද්ද කියලා පුරුපුරුට හිතාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.
“නෑ නෑ!! ඔයාටත් කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුලුවන්“
පුරුපුරුට
මෙහෙම කියන්න හිතුනත්, සුදුපූසි ඔය වගේ බොරුවලට අහුවෙන්නෙ නෑ කියලා දන්න
නිසා මෑන්ස් කට පියාගෙන හිටියලු. අපේ පූසා ජීවිතේ කවදාවත් ඒ වගේ උත්තර
දෙන්න වචන නැතුව අසරණ වෙලා නෑ.
“මම යනවා පුරුපුරු. සඳුදා ඉස්කෝලෙදි හම්බවෙමු“
මෙහෙම කියපු සුදුපූසි එතනින් යන්න ගියෙ මූණ බිමට නවාගෙන, තමන්ගෙ මූණෙ හැඟීම් පුරුපුරුගෙන් හංගන්න උත්සාහ කරමින්. ඒත් සුදුපූසිගෙ ඇස්වල කොනේ මතුවෙමින් තිබුන කඳුලු බිංදු පුරුපුරුගෙන් හංගන්න ඒ උත්සාහය ප්‍රමාණවත් වුණේ නෑ.
සුදුපූසි
එතනින් ගියාට පස්සෙ පුරුපුරු තවත් විනාඩියක් දෙකක් විතර එතන හිටියලු. අපේ
පූසා මේ වෙද්දි හිටියෙ කියන්න බැරිතරම් ලොකු අප්සෙට් එකකින්. ඒ අප්සෙට් එකට
එක හේතුවක් තමයි සුදුපූසිට තිබුනු හිතේ වේදනාව. අනිත් හේතුව තමයි පුරුපුරුට සුදුපූසි එක්ක ඒ දුක බෙදාගන්න විදිහක් තිබුනෙ නැති එක.
එදා හවස ගෙදර
ගියාමත් පුරුපුරුට හිතේ නිදහසක් තිබුනෙ නෑ. පවුලෙ කට්ටිය, අසල්වැසියො,
නෑදෑයො එහෙම පූසාට සුභපැතුවත් මෑන්ස්ගෙ හිත පුරාම හොල්මන් කළේ සුදුපූසි එක්ක දවල් ඇතිවුණ කතාබහ. කොටින්ම සඳුදා ඉස්කෝලෙ ගිහින් සුදුපූසිගෙ හිත සනසනකං පුරුපුරුගෙ හිතට කිසිම ඉස්පාසුවක් තිබුනෙ නෑ.
කොහොමහරි කාලය ගෙවිලා ගිහින් සඳුදා දවසත් උදාවුණාලු. එදා පුරුපුරු සුදුපූසිට දෙන්න පට්ට ටෝකක් හිතින් පාඩම් කරගෙන ගියත්, එදා සුදුපූසි හිටියෙ වෙනදා වගේම සැහැල්ලු සිතින් කිසිම වෙනසක් පෙන්නන්නැතුව. ඉතිං අපේ පූසාත් සුදුපූසිව අප්සෙට් කරවන්නෙ නැතුව මොනවත් නොකියා හිටියලු.
ඊටපස්සෙ
උදාවුණේ ඉස්කෝල වලට ඇප්ලිකේෂන් දාන වැඩේ. මේ වෙද්දි පුරුපුරුට කිසිම
සැකයක් තිබුනෙ නෑ මෑන්ස්ට කුරුඳුවත්තට හරි මරියකඩේට හරි යන්න පුලුවන් වෙන
එක ගැන. ඉතිං පූසා ලිස්ට් එකේ එකට දැම්මේ කුරුඳුවත්ත. දෙක මරියකඩේ. තුන ලා
නන්ද. හතර ජාතියේ පියා. අන්තිමට ඉතිං නෙගටිව් කොන්ට්‍රෝල් එකක් විදිහට
ගම්පහ පිරිමි ඉස්කෝලෙ නමත් දැම්මලු.
ඉතිං ඔය විදිහට කල් ගතවුණේ අපේ යාලුවන්ට එකිනෙකාගෙන් වෙන් වෙන්න සිද්ද වෙන දවස, දවසින් දවස ලං කරමින්. ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?
ප.ලි
- ඒ අවුරුද්දෙ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පස්සෙ පුරුපුරුලාගෙ ඉස්කෝලෙට
ඇතිවුණේ සෑහෙන ඉල්ලුමක්. දැන් ඒ ඉක්කෝලෙට ළමයි දාගන්න දෙමව්පියො මාර
ගේමක්ලු දෙන්නෙ. ආරංචි විදිහට දැන් ඉස්කෝලෙ පහසුකම් අතින් පවා සෑහෙන හොඳ
මට්ටමක තියෙන්නෙ.
ඒ වගේම විභාගය නිසා ඊළඟ ලිපිය අගෝස්තු 18 වෙනිදා වෙනකං පරක්කු කරන්න සිදුවීම ගැන මගේ බලවත් කණගාටුව.







