අඹ යාලුවෝ

Wednesday, May 30, 2012

සුභ මංගලම්!

අද සුභ නැකතින් අපේ පුරු පුරු සුදු පූසිව කැන්දන් එනවලුනෙ...
ඉතින් දෙන්නගෙ අලුත් මෙව්ව එකට පූසන්ගෙන් සුභ පැතුම්!!!

                                                     -උපාසක, ඤාව්වා සමගින් මී කතුරා-

Saturday, April 28, 2012

කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර 3



කලින් කොටස බලන්න මෙතනින් යන්න.

ඒ වගේම මේ කාලෙදි කැම්පස් ළමයින්ට ඇති කරන මූලිකම සිතුවිල්ලක් තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොන දේ කළත්, මොන දේ වුණත් මුලු බැච් එකම එකට ඉන්න ඕනෙ කියන එක. ඇත්තටම කැම්පස් එක ඇතුලෙ එක එක වැඩ කරද්දි බැච් ෆිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තිබුනත්, මේ වැඩෙන් කොල්ලන්ගේ අධ්‍යාපනයට වෙන හානිය සුලුපටු නෙවෙයි. උදාහරණයක් විදිහට බැච් ෆිට් එක උපරිමයෙන් තියෙන පළවෙනි අවුරුද්දෙදි සහ දෙවෙනි අවුරුද්ද මුලදි කොල්ලො මළ ගෙවල්, දානෙ ගෙවල් වලට යන්නෙ හොය හොයා. මේ වැඩෙන් නොදැනුවත්වම ලෙක්චර්ස් ගොඩක් කට් වෙනවා වගේම එග්සෑම් කාලෙටනං පාඩම් කරන වැඩෙත් පාඩු වෙනවා.

ඇත්තටම මෙතනදි ගොඩක් වෙලාවට වෙන්නෙ ළඟ යාලුවෙක්ගෙ ළඟ ඥාතියෙක්ගෙ මළ ගෙදරකට යැවෙන එක නෙවෙයි. ජීවිතේට කැම්පස් එකේදි කතාබහවත් නොකරන කෙනෙක්ගෙ දුර නෑදෑයෙක්ගෙ මළ ගෙදරක යැවෙන එක. අනික මේක මළ ගෙයක්, දානෙ ගෙයක් කිව්වාට කැම්පස් එකේ කොල්ලන්ට මේ ගමන ට්‍රිප් එකක් හා සමානයි. දැන් ඔන්න කට්ටිය වැරදියට තේරුම් ගන්න එපා මම මේ යාලුවෙක්ගෙ දුකක් කරදරයකදී ළඟින් ඉන්න එපා කියනවයි කියලා. මම කියන්නේ ඕනෙම දෙයක් ඕනෑවට වඩා කරද්දි ඒක විකාරයක් වෙන බව.

බැච් ෆිට් එක ගැන කියද්දි පුරුපුරුලාට වෙච්ච තවත් හොඳ වැඩක් මට මතක් වුණා. මේ සිද්දිය වෙද්දි අපේ පූසා ෆස්ට් ඉයර් එකට ගිහින් මාස දෙක තුනයි ගිහින් තිබුනේ. මේ වෙද්දි ඉතිං බැච් ෆිට් එක කට්ටියගෙ කන් දෙකෙන් බේරෙන කාලෙ. ඔය දවස්වල මහරගම තරුණ සේවා සභාවෙ තිබුනා අන්තර් විශ්ව විද්‍යාලයීය වොලිබෝල් තරඟාවලියක්. මේ කියන දවසෙ පුරුපුරුලාට වැදගත් ජෛවරසායන විද්‍යා ප්‍රැක්ටිකල් එකක් තියෙන්න නියමිත වෙලා තිබුන හින්දා මෑන්ස්ලාට මේ ටූනමන්ට් එක බලන්න යන්න විදිහක් තිබුනෙ නෑ. ඔන්න ඉතිං කට්ටිය ප්‍රැක්ටිකල් එකට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි පුරුපුරුගෙ යාලුවෙක් වෙච්ච ආකාස්ට කෝල් එකක් එනවලු මහරගම ගිය කට්ටියගෙන්.

“මචං ආකාස්, අපිට වලියක් සෙට් වෙලා තියෙන්නෙ මහරගමදි. කොයි වෙලාවෙ වලිය යයිද දන්නෙ නෑ. කට්ටියටම එන්න කියපං ඉක්මනට“

පස්සෙ බැලින්නං තුම්මුල්ලයි, සැළලිහිණියා ආපු සක්වල තක්සලාවයි අතරෙ වොලිබෝල් මැච් එක යද්දි ප්‍රේක්ෂකයො අතරෙ දුම් දාන සයිස් එකේ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා. එදා කැම්පස් දෙකේම කට්ටිය ඉඳලා තියෙන්නෙ සමාන ප්‍රමාණවලින්. ඉතිං දෙගොල්ලන්ටම ෂුවර් නෑ වලිය ඇදුනොත් කාට කන්න වෙයිද කියලා. ඒ හින්දා තුම්මුල්ලෙ කට්ටිය කරලා තියෙන්නෙ කැම්පස් එකට කෝල් කරලා අනිත් කොල්ලන්ටත් එන්න කියපු එක.

දැන් අපේ යාලුවන්ට තියෙන පුරස්නෙ තමයි මේ වලියට ගියොත් ප්‍රැක්ටිකල් එක කට් වෙනවා. බයෝකෙමිස්ට්‍රි කියන්නෙ ස්පෙෂල් ඩිග්‍රියට යන්න අනිවාර්යයෙන්ම ගොඩදාන්න ඕනෙ සබ්ජෙක්ට් එකක් වගේම ලකුණු ගන්න ගොඩක්ම අමාරු සබ්ජෙක්ට් එකක්. ඒ මදිවට එදා ප්‍රැක්ටිකල් එකේදි දෙන්න නියමිත වෙලා තිබුන ක්විස් එකෙන් අන්තිම පේපර් එකට ලකුණු පහක් ලැබෙනවා. ඔක්කොටම වඩා අදාල ලෙක්චරර්ට වැඩේ නෝට් වුණාම ඉතිං ආපහු බයෝකෙමිස්ට්‍රි කළත් නොකළා වගේ තමයි. ඒත් අනිත් පැත්තෙන් බැච් එකේ කොල්ලො කතා කළාට පස්සෙ නොගිහින් ඉන්න එක හොඳ නෑ. ඒකෙන් බැච් ෆිට් එකට හානි වෙනවා. ඒ මොනවා නැතත් එකට රැග් වෙච්ච එවුන්ට ගුටිකන්න දෙන්නෙ කොහොමද?

ඉතිං අන්තිමට පුරුපුරුලාගෙ සෙට් එක අමාරුවෙන් වුණත් තීරණය කළාලු ප්‍රැක්ටිකල් එක කට් කරලා මහරගම වලියට යන්න. මේ වෙද්දි පණිවිඩේ හම්බවෙලා කැම්පස් එක ඇතුලෙ හිටපු ඔක්කොමලා වගේ කොල්ලො කුරුඳුවත්ත ඉස්කෝලෙ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකට සෙට් වෙලයි හිටියේ. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ 138 බස් කීපෙක නැගලා මහරගමට ගිය එක. පුරුපුරුලා යද්දිත් වොලිබෝල් ටූනමන්ට් එක ඉවර වෙලා තිබුනෙ නෑ. ඒ වගේම සැළලිහිණියා ආපු කැම්පස් එකෙන් ගෙන්නපු සෙට් එකකුත් ඇවිත් හිටියා. ඒත් තුම්මුල්ලෙන් ආපු සීයකට වඩා සෙට් එක හමුවේ සැළලිහිණියන්ට හොඳ කෑමක් තමයි සෙට් වෙලා තිබුනේ.

කොහොමහරි ඉතිං ටික වෙලාවකින් ටූනමන්ට් එක ඉවර වුණාලු. එකිනෙකාට ඔරවාගත්තු කැම්පස් දෙකේ ළමයිනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගන්නෙ නැතුව ආපහු යන්න ගියාලු. ඇත්තටම වලියක් ගියෙ නැති එක ගැනනං පුරුපුරුට තිබුනේ ලොකු සතුටක්. කොහොමහරි කට්ටිය ආපහු කැම්පස් එද්දි ප්‍රැක්ටිකල් එක ඉවර වෙන්නත් ළඟයි.

“යකෝ අරුන්ට ඔරවලා එන්නද බයෝකෙම් ප්‍රැක්ටිකල් එක කට් කරගෙන අපි ගියේ?“

පුරුපුරුගෙ යාලුවෙක් වෙච්ච වඩියා එහෙම ඇහුවලු. අන්තිමේදි බලද්දි බැච් එකේ කෙල්ලො කට්ටිය ප්‍රැක්ටිකල් එකට ගිහින් ක්විස් එකත් කරලා තිබුනලු. කොල්ලන්ට වුණේ දවස් කීපයක් අදාල ලෙක්චරර්ගෙන් ලෙක්චර්ස් වලදි හොඳට අහගන්න. අන්තිමට රිසාල්ට් එනකොට බහුතරයක් ගෑනු ළමයින්ට “ඒ“ හරි “ඒ මයිනස්“ හරි තිබුනලු. ඒත් බහුතරයක් කොල්ලන්ගෙ රිසාල්ට්ස් අම්බානට අඩුයි. පුරුපුරුටනං යන්තං “බී ප්ලස්“ එකක් ඇවිත් තිබුනා. ඊටපස්සේ තමයි අපේ යාලුවො කට්ටිය තීරණය කළේ ආපහු කැම්පස් වලි වලට නොයන්න. හැබැයි හොඳවෙලාවට ඊටපස්සෙ කිසිම වලියක් සෙට් වුණෙත් නෑ.

බැච් ෆිට් එක කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙන දෙයක්. විශේෂයෙන්ම හතරවෙනි අවුරුද්දට විතර ආවාම තියෙන්නේ පෞද්ගලික හිතවත්කම් විතරක් මිසක් බැච් එකක් වශයෙන් ඇතිවෙන සුහදතාවයක් නෙවෙයි. පළවෙනි අවුරුද්දෙ දෙකේ අම්බානට ෆිට් එකේ හිටපු සමහර බැච් මේට්ලා දැන්නං මගදි දැක්කත් හිනා නොවී යන අවස්ථා තියෙනවා. 

ඉතිං මේ හේතු හැම එකෙන්ම සිද්ද වෙන්නේ කොල්ලන්ගේ අධ්‍යාපනය දිනෙන් දින වල පල්ලට යන එක. සමහරවිට ගෑනු ළමයින්ටත් තමන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හේතු කාරනා ඇති. මම ඒ ගැනනං වැඩිපුර දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවානං ඒ හේතු තමන්ගෙ අදහසක් විදිහට මේ ලිපිය යටින් පළ කරන්න පුලුවන්.

කොහොම වුණත් කැම්පස් එක කියන්නේ ආපු දවසේ ඉඳලා අස්වෙන දවස දක්වාම මනුස්සයෙකුට සමාජය ගැන ඉගෙන ගන්න පුලුවන් තැනක්. විශ්ව විද්‍යාලය ඒ ලෙවල් ළමයි හිතාගෙන ඉන්න ජාතියෙ සුන්දර සිහින ලෝකයක්වත්, සමහරු හිතාගෙන ඉන්න ජාතියෙ අමු අපායක්වත් නෙවෙයි. කැම්පස් එකට එන්නේ මේ සමාජයෙන්ම බිහි කරලා ඇති දැඩි කරපු ළමයි. ඒ හින්දා විශ්ව විද්‍යාලය කියන්නේ මේ සමාජයේම තවත් එක පැතිකඩක් විතරයි. ඇත්තටම වෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාලයෙන් සමාජය හැදීමට වඩා සමාජයෙන් විශ්ව විද්‍යාලය හැදීමයි.


කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර 2


මම කලින් ලිපියෙදි කිව්වේ කොල්ලන්ට කැම්පස් එකට එන්න කොච්චරනං අමාරුකම්, බාධක තියෙනවද කියලනේ. ඉතිං අද කියන්න යන්නේ කැම්පස් ආවට පස්සේ මේ කට්ටියට මොකද වෙන්නේ කියලා.

කැම්පස් ආපු හැටියේ කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ෆේස් කරන්න වෙන අත්දැකීමක් තමයි රැග් එක කියන්නේ. රැග් එකේදි සිද්ද වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බ්‍රේන් වොෂ් එකක්. ඒ කියන්නෙ රැග් එක කන්න කැම්පස් එකට යන මනුස්පයා නෙවෙයි රැග් එක ඉවර වුනාට පස්සෙ ඉතුරු වෙන්නේ. කොටින්ම රැග් එක නැති තැන්වල පවා අලුත් ළමයින්ව බ්‍රේන් වොෂ් කරන්න විශේෂ වැඩ පිළිවෙලවල් තියෙනවා.

ඉතිං කලින් කිව්වා වගේ ගෑනු පිරිමි දෙපාර්ශ්වයම මේ ක්‍රියාවලියට භාජනය වුණාට, වැඩිපුර රැග් එකට සහ බ්‍රේන් වොෂ් එකට ලක් වෙන්නේ පිරිමි ළමයින්ව. මොකද කැම්පස් එකේ තීරණ ගැනීමේදී සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ගේ මතය සත පහකට ගනන් ගැනෙන්නෙ නෑ. හැබැයි ඉතිං බොරුවට ගනං ගන්නවා වගේ පෙන්නනවා. නැත්තං හරි නෑ නොවැ! එතකොට කැම්පස් වැඩ කටයුතු වල මූලික තැන ගන්න පිරිමි ළමයින්ගෙ මොළේ තමන්ට ඕනෙ විදිහට හැඩගස්ව ගත්තාම සීනියර්ස්ලාට ඇති. ඕක තමයි කොල්ලන්ව වැඩිපුර රැග් වීමේ හේතුව. ඉතිං මේ රැග් එකේදි සහ ඊට පස්සේ පිරිමි ළමයින්ගෙ අධ්‍යාපනයට කණ කොකා හඬන්නෙ කොහොමද?

රැග් එකේදි සීනියර්ස්ලා කරන්නෙ අලුතෙන් ආපු කොල්ලන්ව හොඳට නිරික්ෂණය කරන එක. ටික දවසක් රැග් වෙද්දි අදාල කොල්ලා දැඩි ගතිගුණ තියෙන ඩයල් එකක්ද, නැත්තං සියුමැලි මටසිළුලු ඩයල් එකක්ද කියලා අයියලාට තේරුම් ගන්න පුලුවන්. ඉතිං මේ අය කරන්නෙ පිරිසක් අතරේ නායකත්වය ගන්න පුලුවන් කියලා හිතෙන කීප දෙනෙක්ව ස්ටුඩන්ට් යූනියන් එකට පත් කරන්න බලාගෙන වෙනම ට්‍රේන් කරලා, අනිත් අයව ඒ කට්ටියත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ට්‍රේන් කරන එක. ඒ කියන්නෙ රැග් සීසන් එක ඉවර වෙද්දි කැම්පස් එකට ආපු ඔක්කොම කොල්ලෝ “එළ කොල්ලෝ“ බවට පත් වෙලා තියෙන්නෙ ඕනෙ. අවාසනාවට කැම්පස් එක ඇතුළේ කොලුකම මනින ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙන්නෙ බොන එක.

ඒ දවස්වල හවස්වරුවෙ අයියලා රැග් කරද්දි අනිවාර්යයෙන් කොල්ලන්ගෙන් අහපු ප්‍රශ්න තමයි

“මල්ලි උඹ බොනවද?“
“මල්ලි උඹ කවදාහරි බීලා තියෙනවද?“

වගේ දේවල්. ඇත්තටම එතනදි බොන්නෙ නැති කොල්ලන්ට බලෙන් පොවන්න උත්සාහ කරන්නෙ නැති වුණත් සිද්ද වෙන්නෙ බොන කොල්ලන්ව වීරයො බවට පත් වෙන එක. ඊටපස්සෙ අයියලාගෙ හිතවතුන් වෙන්නෙ, බැච් එකේ මූලික ස්ථානය හම්බවෙන්නෙ බොන කට්ටියට. ඇත්තටම මේ කාලෙදි අලුතින් ආපු කොල්ලෝ හරිම කැමතියි බැච් එකේ කැපී පේන කැරැක්ටර් එකක් වෙන්න. ඒක හින්දා සමහරු කරන්නේ බොන සමාජයට වැටෙන එක. 

පුරුපුරු දන්න ඕනෙ තරම් කැම්පස් කොල්ලො ඉන්නවා කැම්පස් එකට එන්න කලින් කවදාවත් බීලා නැති, ඒත් කැම්පස් එකට ආවට පස්සේ බොන්න පුරුදු වෙච්ච, ඒ වගේම බීමෙන්ම තමන්ගෙ ජීවිතය සහ අධ්‍යාපනය නාස්ති කරගත්ත කට්ටිය. මොකද අලුතින් බොන්න පුරුදු වෙච්ච අයට හරිම අමාරුයි තමන්ගෙ බීම කොන්ට්‍රෝල් කරගන්න. විශේෂයෙන් ඉන්න සමාජයත් තව තවත් ඒකටම අනුබල දෙද්දි වැඩේ කොහොමත් අමාරුයි. විශේෂයෙන් කොල්ලො වෙනම හොස්ටල් වල ජීවත්වෙන පේරාදෙණිය වගේ කැම්පස් වල මේ තත්ත්වය කොළඹ, ජ‘පුර වගේ කැම්පස් වලටත් වඩා ගොඩක් බරපතලයි. පුරුපුරු කියන්නේ මත්පැන් වලට විරෝධියෙක් නෙවෙයි. ඒත් ඇත්තටම බොන්න අවශ්‍යතාවයක් නැතුව පොරත්වය පෙන්නන්න විතරක් බොන එක මහා වෘෂභ රංගනයක්.

බොන එක විතරක් නෙවෙයි, ගන බලනවාද? වැල රේට් එක කීයද? කාන්තා ඇසුර වගේ දේවලුත් බීම තරම්ම නැතත් රැග් එකේදි මතුවෙන ප්‍රශ්න. පුරුපුරුලා දෙවෙනි වසරෙදි අලුතින් ආපු එක කොල්ලෙක් ගණිකාවො පස් දෙනෙක් ඇසුරු කරලා තියෙන බව කිව්ව හින්දා මෑන්ස් පූසාගේ බැච්මේටයො අතරෙ හෙන පොරක් වෙලා හිටිය බව පුරුපුරුට මතකයි. 

ඒ වගේම ලෙක්ච්ර්ස් කට් කරන එකත් හෙන වීර ක්‍රියාවක් කියලයි රැග් කාලය අතරතුරේ කොල්ලන්ට ඇඟවෙන්න සලස්වන්නෙ. ඉතිං සමහර කොල්ලො කරන්නෙ පළවෙනි අවුරුද්දෙ ඉඳලාම ලෙක්චර්ස් වලට නොගිහින් ඉන්න එක. ඇත්තටම කැම්පස් එකේ සමහර දේශන වලට සහභාගි වෙලා පැයක්වත් වාඩිවෙලා ඉන්න එක බොහොම අමාරු වැඩක් තමයි. ඒත් බහුතරයක් කොල්ලො කරන්නෙ බොරු කතාවලට රැවටිලා හොඳ රසවත් දේශන පවා කට් කිරීම. අන්තිමට ලෙක්චර්ස් වලදි විතරක් කියාදීපු, පොත්වල හොයාගන්න අමාරු කරුණු විභාගෙට ආවාම කොල්ලො කට්ටිය මෑඩ් ලිවර්* තත්ත්වයට පත් වෙනවා.

කලින් ලිපියේදී ගොඩක් දෙනෙක් කොමෙන්ටු වලින් මතුකරලා තිබුනු කාරනාව තමයි කෙල්ලන්ට කටපාඩම් කරන්න හැකියාව තියෙන බවයි, කොල්ලන්ට ඇප්ලිකේෂන් හැකියාව තිබුනත් කටපාඩම් කරන්න අමාරු බවයි. මේකෙ ඇත්ත නැත්ත කොහොම වුණත් හැමෝටම පිළිගන්න වෙනවා කෙල්ලෝ හැමදාම ලෙක්චර්ස් යන බවත්, කොල්ලන්ගෙ ලෙක්චර්ස් යාම අඩු බවත්. ඒ වගේම කෙල්ලො අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන කාලයෙන් බාගයක්වත් කොල්ලො අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නෙ නෑ. ඒ වගේම තමයි වෙනත් තේරුමක් නැති දේවල්වලට කොල්ලො වැය කරන කාලය ඉතාම වැඩියි. උදාහරණයක් විදිහට තුම්මුල්ල සයන්ස් ෆැකල්ටි එකේ කොම්පියුටර් ලෝන්ජ් එකේ හිටියා වෙන කිසිම වැඩක් කරන්නෙ නැතුව දවසම ඕක ඇතුලට වෙලා කොම්පියුටර් ගේම්ස් ගගහා හිටපු සෙට් එකක්. ඒ අයගෙන් අඩුතරමේ කීප දෙනෙක්වත් තමන්ගෙ එග්සෑම් ඇනගත්තා.

කලින් ලිපියෙදි කිව්වා වගේ කැම්පස් එකට එද්දි ගොඩක් කොල්ලන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. ඉතිං අපේ කට්ටිය කරන්නේ පළවෙනි අවුරුද්දෙදීම, එහෙමත් නැත්තං දෙවෙනි අවුරුද්දෙදි හරි කොහොමහරි ට්‍රයි කරලා ගෑනු ළමයෙක් එක්ක යාලු වෙන එක. මොකද පළවෙනි අවුරුද්දෙ අන්තිම වෙද්දි බහුතරයක් ගෑනු ළමයි කැම්පස් එකෙන් එළියෙදි යාලු වෙලා හිටපු කොල්ලත් එක්ක තිබුන එෆෙයාර් එක නවත්තලයි ඉන්නේ. ඉතිං මේ වැඩේටත් කොල්ලන්ගෙ කාලය, ශ්‍රමය අම්බානට වැය වෙනවා. ඒත් උවමනාවක් තියෙන කොල්ලෝ ලව් කේස් හින්දා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ නෑ.

හැබැයි ප්‍රශ්නෙ මතුවෙන්නේ තිබුන ලව් කේස් එක දෙදරලා ගියාට පස්සේ. මොකද කැම්පස් එක ඇතුලෙදි පටන්ගන්න සම්බන්ධ වුණත් සමහර වෙලාවට ඇතුලෙදිම නැතිවෙලා යනවා. එහෙම වුණාම කලින් ලව් කරලා බූට් එක්ස්පීරියන්ස් නැති කොල්ලන්ට සෑහෙන්න අමාරු වෙනවා දරාගන්න. (මේකෙ අනිත් පැත්ත සිද්ද වෙන වෙලාවලුත් නැතුවාම නෙවෙයි). පුරුපුරු දන්න කොල්ලෝ දෙතුන් දෙනෙක්ම තමන්ගෙ අධ්‍යාපනය කඩා කප්පල් කර ගත්තා මේ හේතුව හින්දා. ඒ ගැන වෙනම ලිපි පස්සෙ කාලවලදි ලියවෙයි.

ඒ වගේම රැග් සීසන් එකේ සිද්දවෙන තවත් දෙයක් තමයි කොල්ලන්ට තමන්ගෙ ඉදිරි කැම්පස් ජීවිතය පවත්වගෙන යන්න ඕනෙ මොන ස්ටයිල් එකෙන්ද කියලා ඒ ගැන කිසිම සුදුසුකමක් නැති අයියලා තෙල් ගහන එක. උදාහරණයක් විදිහට පුරුපුරුලාට ඒ දවස්වල කිව්වේ සයන්ස් ෆැකල්ටි කොල්ලෙක්ගේ පරම යුතුකම දවසේ වැඩි හරියක් කැම්පස් එක ඇතුලට වෙලා විනෝදෙන් කාලෙ ගතකිරීම බව. මේ වැඩේට කියන්නේ “අල“ වෙනවයි කියලා. ඉතිං කැම්පස් එක ඇතුලෙ අඩුගානෙ රෑ හත වෙනකම්වත් ඉන්න පුලුවන් කොල්ලන්ව තමයි “නියම අලයො“ කියලා හැඳින්නුවේ. ඇත්තටම දැන්නම් ඒ තත්ත්වය තරමක් අඩුවෙලා තිබුනත් පුරුපුරුලාගෙ බැච් එකේ සෑහෙන්න කොල්ලො හිටියා රෑ වෙනකං ඕපන් කැන්ටිමට වෙලා අල වෙච්ච. 

මේ ළඟදි පුරුපුරුගෙ යෙහෙළියක් ප්‍රැක්ටිකල් වෙලාවෙ ලැබ් එකේදි දෙවෙනි වසරෙ කොල්ලෙක්ගෙන් ඇහුවා මොන ස්පෙෂල් එකද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා. පූසත් ඉතිං මේ සංවාදෙ දිහා බලාගෙන හිටියෙ. මෙන්න බොලේ මූ ගත් කටටම කියපි

“ස්පෙෂල්? අයි ඩෝන්ට් වෝන්ට් ටු බිකම් අ නර්ඩ් මිස්“

මෑන්ස් කියන විදිහට විශේෂ උපාධියට යන්නෙ නර්ඩ්ස්ලා. එහෙමත් නැත්තං අධ්‍යාපන ඩයල්. කූල් ඩයල් එකක් වෙච්ච ඒ කොලුවාගෙ අරමුණ ස්පෙෂල් නොගිහින් සිටීම. ඉතිං මේ වගේ මානසිකත්ව තියෙද්දි, රෑ වෙනකං කැම්පස් එකේ අල වෙද්දි කොල්ලො කොහොමද වලට නොගිහින් ඉන්නේ? පුරුපුරුගෙ අදහසනං විද්‍යා පිඨයට එන්න ඕනෙ විද්‍යාව පැත්තෙන් ඉස්සරහට ගිහින් තමන්ගෙ රටට වැඩක් කරන්න ආසාව තියෙන මිනිස්සු කියලා. නැත්තං ඒක ලංකාවෙ විද්‍යාව හදාරන්න ආසාවෙන් ඉන්න, සයන්ස් ෆැකල්ටි එන්න බැරිවුණ ළමයින්ට කරන අසාධාරණයක්. මේ ගැනත් වෙනම ලිපියක් පස්සෙ ලියන්න ඕනෙ.


* මෑඩ් ලිවර් - පිස්සු පීකුදු

Tuesday, April 24, 2012

කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර


පුරුපුරු කැම්පස් එකේදි දැකපු ප්‍රධාන කාරණාවක් තමයි ශ්‍රී ලංකාවෙ කැම්පස් සිස්ටම් එක හැදිලා තියෙන්නෙ කොල්ලන්ට අධ්‍යාපනයෙන් ගොඩ එන්න අමාරු විදිහට කියලා. ඒ කියන්නෙ ඒ ලෙවල් වල ඉඳලා කැම්පස් ඩිග්‍රි එකට යනකං තියෙන පාරෙ ගමන් කරන එක කෙල්ලන්ට වඩා කොල්ලන්ට අමාරු වැඩක්. මොකද කැම්පස් එකේදි කොල්ලෙක් විදිහට තියෙන ඩිස්ට්‍රෑක්ෂන් ප්‍රමාණය කෙල්ලෙක්ට සාපේක්ෂව වැඩියි. ඉතිං අන්තිමට වෙන්නේ කෙල්ලො රොත්ත බුරුත්ත පිටින් ස්පෙෂල් ඩිග්‍රි අරගෙන, ෆස්ට් ක්ලාස් ගහලා එළියට එද්දි බහුතරයක් කොල්ලො තමන්ගෙ හැකියාවට ලැබෙන්න ඕනෙ තැනට වඩා අඩු තැනක් අරගෙන එළියට එන එක.

මේ ප්‍රශ්නෙ මුල ඉඳලා ගත්තොත් කොල්ලෙක්ට කැම්පස් යන වැඩෙත් කෙල්ලෙක්ට සාපේක්ෂව අමාරුයි. ඉස්කෝලෙ මොන දේ තිබුනත් අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ඉතිං ඒ ලෙවල් ටියුෂන් ගිහිල්ලාම ගොඩ දාගන්න නොවැ! ඉතිං අපේ කොල්ලො කෙල්ලො ඔක්කොම කරන්නේ හැම සබ්ජෙක්ට් එකටම ටියුෂන් යන එක. ඒ කියන්නෙ ටියුෂන් පන්තිමයට යෑම සඳහා ගෙදරින් එළියට බහින එක. ඒත් මේ එක්කොම ළමයි ඇත්තටම ක්ලාස් එකට යනවාද? මේක හරියටම තේරුම් ගන්න අපි වෙන වෙනම බලන්න ඕනෙ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි ක්ලාස් නොගිහින් ඉන්න තියෙන හේතු.

අපි කවුරුත් දන්න ප්‍රධාන හේතුව තමයි මේ අය අතරෙ පවතින ලව් හුටපට. සරලව කිව්වොත් ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ බහුතරයක් ළමයි ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නවා. ටික දවසක් ක්ලාස් එකේ සර්ට හොරෙන් හරි, පේන්න හරි කතා කර කර හිටියට වැඩි දවසක් නොගිහින්ම දෙන්නාට ඕනෙ වෙනවා තමන්ට වැඩිපුර පුද්ගලිකත්වයක් ඇති තැන් වලට යන්න. ඉතිං දෙන්නා පටන් ගන්නවා ක්ලාස් කට් කරන වැඩේ. මුලින්ම මල් වතු, ෆිල්ම් හෝල් වලට, ඊටපස්සෙ රූම්ස් වලට එහෙමත් ගිහින් කොහොමහරි ක්ලාස් කට් කරනවා. එතකොට මේ පොයින්ට් එකට එද්දි කොල්ලන්ට සහ කෙල්ලන්ට සමාන මට්ටමින් අධ්‍යාපනය පාඩු වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් පිරිමි පාර්ශ්වයට වැඩි බලපෑමක් වෙන්නෙ කොහොමද?

ක්ලාස් යන කාලෙ ඇතිවෙන ප්‍රේම සම්බන්ධතා වලින් සියට බර තොගයක්ම එෆෙයාර්ස් ඒ ලෙවල් කරන්න කලින්ම නවතිනවා. ඔන්න දැන් තමයි අපේ පිරිමි කස්ටියට සොරි වෙන පොයින්ට් එකට එන්නේ. ඒ කියන්නේ පිරිමි සීරියස් ලව් කරනවා, ගෑනු සීරියස් ලව් කරන්නේ නෑ කියන එකද? නෑ, මගේ පුද්ගලික මතයනං මෙතන තියෙන්නෙ ලව් කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි. බ්‍රේකපය දරා ගැනීමේ හැකියාව. ලව් එකට කෙළවුණාම කොල්ලො කරන්නේ ඒක අමතක කරන්න බොන එක, රස්තියාදු ගහන එක, වෙන වෙන ලිංගිකත්වය මූලික වෙච්ච තාවකාලික සම්බන්ධතා ඇති කරගන්න එක වගේ අධ්‍යාපනයට තව තවත් කෙළ වෙන වැඩ. 

ඒත් කෙල්ලෝ ඊට වඩා වෙනස්. ගොඩක් කෙල්ලො කරන්නේ දවසක් දෙකක් අඬලා ඊට පස්සෙ හිත හදාගන්න එක. අම්මලා තාත්තලා ගැන හිතලා මදි පාඩු වෙච්ච ඒවටත් එක්ක ඉගෙන ගන්න එක. ඒ වගේම ගෑනුන්ගෙ හිතේ තියෙන දරාගැනීමේ ශක්තිය හරිම ඉහළයි. ඉතිං මේ හේතු හින්දා කෙල්ලො අන්තිමට කොහොමහරි එග්සෑම් ගොඩ දාගන්නවා. කොල්ලන්ට එග්සෑම් එකට බැහැලා පාඩම් කරන්න ඕනෙ වෙනකොට කල් ගිහිං වැඩියි. අන්තිමට වෙන්නේ බහුතරයක් කොල්ලන්ව එතනින් හැලිලා යන එක.


ඒ වගේම ලව් එෆයාරුව බිඳුනෙ නැතුව තිබුනත් කොල්ලන්ට හානි වෙන ප්‍රතිශතය වැඩියි. මොකද ලව් කරන කාලෙ කොල්ලො කරන්නෙ ඉස්කෝලෙ වැඩ, ක්ලාස් වල වැඩ වගේම අනිත් හැම වැඩමත් පාඩු කරගෙන ලව්ම කරන එක. කොල්ලන්ට එක පාර වැඩ කටයුතු කීපයක් කරගෙන යන්න අමාරුයි. ඒත් කෙල්ලන්ට සහජ හැකියාවක් තියෙනවා එක පාර වැඩ ගොඩක් කරගෙන යන්න. උදාහරනයක් විදිහට මම දන්න කෙල්ලෙක් ඉන්නවා, එයාට මේ වෙද්දි උපාධි තුනයි. එක උපාධියක ලංකාවෙන්ම පළවෙනි තැන. කොල්ලෙකුත් ඉන්නවා. කැම්පස් එකේ ස්පෝර්ට්ස් දෙකක් කැප්ටන් කළා. ක්ලබ්ස්, සොසයිටීස් වලත් බැහැලා වැඩ කළා. ඒත් මම දන්න කිසිම කොල්ලෙක් මේ වැඩ වලින් බාගයක්වත් එක පාර කළේ නෑ.

ඒ වගේම කොල්ලන්ගේ අධ්‍යාපනයට බාධා වෙන වැඩ තවත් ගොඩක් තියෙනවා. කට්ටිය සෙට් වෙලා බොන්න යන එක, සෙට් වෙලා ෆිල්ම් බලන්න යන එක, සෙල්ලම් කරන එක, දේශපාලන සාකච්චා, සමාජය හදන හැටි, ඔන්න ඔය වගේ අමතර වැඩ, සාකච්ඡා කොල්ලන්ට ගොඩයි. ඒකෙනුත් වෙන්නේ  අධ්‍යාපනයේදී කොල්ලන්ව පසුබෑමට ලක් වෙන එක. මොකද ලංකාවේ අධ්‍යාපනය බොහෝදුරට හැදිලා තියෙන්නේ වැඩියෙන් පාඩම් කරන්න පුලුවන් ළමයින්ට හොඳ ප්‍රථිපල ගන්න පුලුවන් වෙන විදිහට.


කොහොම කොහොමහරි අන්තිම ප්‍රතිඵලය වෙන්නේ හොඳ හැකියාවක් තියෙන ගොඩක් පිරිමි ළමයි කැම්පස් වලට සිලෙක්ට් නොවී මගින් හැලෙන එක. පෞද්ගලික සරසවි වලට පුරුපුරු කැමතිත් ප්‍රධාන වශයෙන්ම ඒ වගේ විවිධ හේතු නිසා රජයේ කැම්පස් වලට යන්න බැරිවෙන ළමයින්ට තමන්ගේ ජීවිතය ගොඩනගාගන්න දෙවෙනි අවස්ථාවක් ලැබෙන හින්දයි. ඒ වගේම කියන්න ඕනෙ මම මෙතනදි මතු කරන්න හදන්නෙ පිරිමි ගෑනුන්ට වඩා දක්ෂයි කියලා එහෙම නෙවෙයි. මගේ මතය අනුවනම් දෙගොල්ලෝම සමානව දක්ෂයි. ඒත් ගෑනු ළමයි දන්නවා පවතින අධ්‍යාපන ක්‍රමය නියමෙටම යුටිලයිස් කරන්නේ කොහොමද කියලා. ඒක ඒ අයගේ දක්ෂතාවය මිසක් දුර්වලකමක් නෙවෙයි.


කැම්පස් එකේ පුරුපුරුලාගෙ බැච් එකේ හිටපු කෙල්ලො බහුතරයකට කැම්පස් එකට එද්දි බෝයි ෆ්‍රෙන්ඩ්ලා හිටියා. කාලයක් යද්දි ඒ අය අතඇරලා කැම්පස් එකෙන් කොල්ලො හොයාගත්ත එක වෙනම කතාවක්. ඒත් කැම්පස් ආපු කොල්ලන්ගෙන් බොහොම සුලු ප්‍රමාණයකට විතරයි කැම්පස් එද්දි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ. ඒ කියන්නේ කැම්පස් ආපු බහුතරයක් කොල්ලො ප්‍රේම සම්බන්දතා ගැන අත්දැකීම් තිබුන කට්ටිය නෙවෙයි. බහුතරයක් කෙල්ලො ඒ අත්දැකීම් තිබුන කට්ටිය. එහෙනං ඒ කෙල්ලොත් එක්ක යාලු වෙලා හිටපු කොල්ලන්ට මොකද වුණේ? ඒ කොල්ලන්ගෙන් බහුතරයකට කැම්පස් එන්න බැරිවෙලා තියෙනවා.

මෑතක ඉඳන් මේ ලිපියෙ පෙන්නුව කරුණු කාරනා වැඩි වැඩියෙන් සිද්ද වෙනවයි කියලා තමයි පුරුපුරුටනං හිතෙන්නේ. මොකද කැම්පස් සිසුගහනයේ කාන්තා ප්‍රතිශතය අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙන බව තමයි පූසාට පේන විදිහ. මේ ගැන සංඛ්‍යාලේඛන එක්ක කරුණු දක්වන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං වටිනවා. උදාහරණයක් විදිහට ජෛවීය විද්‍යා උපාධිය ගත්තොත් පුරුපුරුලගේ බැච් එකේ හිටපු ළමයි 120න් 90ක් විතරම ගෑනු ළමයි. මේ ගාන එන්න එන්නම වැඩි වෙන බවක් මිසක් අඩුවෙන බවක් පේන්නේ නෑ. භෞතීය විද්‍යාව වගේ අධික පිරිමි ප්‍රතිශතයක් හිටපු උපාධිවල පවා දැන් දැන් ගැහැනු ප්‍රතිශතය වැඩියි.


පුරුපුරු කාන්තා විරෝධියෙක් නෙවෙයි. ඇත්තටම මේ ලිපිය ලිවීමේ අරමුණත් මෑන්ස්ට පේන සංසිද්දියක් ඔයාලා එක්ක බෙදා හදාගන්න එක විතරයි. ඇත්තටම ඉස්සර කාලයේ විවිධ සංස්කෘතික බැමි වලින් බැඳලා දාලා හිටපු ශ්‍රී ලාංකීය කාන්තාව අධ්‍යාපනය පැත්තෙන් අද ලබාගෙන තියෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි හැමෝම සතුටු වෙන්න ඕනෙ. 

ඇත්තටම මේ ලිපිය ලියන්න ආසන්නම හේතුව වුණෙත් මේ සම්බන්දව පුරුපුරු සහ යාලුවෙක් අතර ඇතිවුණ සංවාදයක්. යාලුවාට අනුවනං වැඩිපුර බුද්ධිය සහ හැකියාව තියෙන්නේ පිරිමින්ට. ගෑනු මේ තැනට ඇවිත් ඉන්නේ කට පාඩම් කරලා විභාග පාස් වෙලා. ඒත් පුරුපුරුනං හිතන්නේ ගෑනුන්ගේ හැකියාවෙන් සහ පිරිමින්ගේ වල බැසීමෙන් තමයි මේ තත්ත්වය උදා වුණේ. ගෑනු ළමයින්ගේ පාඩම් කිරීමේ හැකියාවත් ඒකට සෑහෙන්න බලපාන බව පැහැදිලියි. ඒත් ඉතිං පාඩම් කරලා දෙයක් මතකයේ තියාගන්න පුලුවන් වීමත් කොච්චරනං දෙයක්ද? අනික ඕනෑම විද්‍යාව විශේෂ උපාධියක් හදාරන්න කටපාඩම් හැකියාව විතරක් තිබිලා හරියන්නේ නෑ. ඒත් අද වෙනකොට බහුතරයක් විද්‍යා විශේෂ උපාධිවල වැඩ පෙන්නන්නේ කාන්තාවෝ.

ඉතිං ඔය විදිහට ගිහින් අනාගතයේ ලංකාවේ ලොකු ලොකු තනතුරු දරන බහුතරය කාන්තාවො වුණොත් මොකද වෙන්නේ? ලංකාව හරිම සුන්දර රටක් වෙයි නේද? සිරාවට?


ප.ලි - කැම්පස් එක ඇතුලෙදී කොල්ලන්ගේ අධ්‍යාපනය වල පල්ලට යන හැටි ඊළඟ ලිපියෙන්.


ප.ප.ලි - සයිබර් සිහින උළෙලට ගියෙමි. රස වින්දෙමි. කලින් දැනගෙන උන් ගෝල්ඩ් ෆිෂ්, චමිල ද අල්විස්, ලසිත, රචින්ත, හසී වැනි බ්ලොග්කරුවන්/කාරියන් හමුවුණෙමි. ලිෂාන්, වෙනී, මධුරංග, නවම්, පොඩි මෑන්, පිස්සා, දුකා, අමිල, කල්හාර, පසන්, අහිංසක සිංහයා, ඉටලි ඩිලාන්, රුචා වැනි බ්ලොග්කරුවන් සමග මුල්ම වතාවට කතා කළෙමි. ප්‍රාර්ථනා, සිහින මදාරා, මහී, කින්නරාවි සහ පිණිබිඳු වැනි බ්ලොග්කාරියන් සමඟද කතා කළෙමි. ඉන්ටර්වලයේදී නැවත ඒමට සිදුවිය. සමහරුන්ට කියන්නට වෙලාවක් තිබ්බේද නැත. සමහරු කතා කිරීමට තරම් හොඳ සිහියක සිටියේද නැත. ඒ ගැන සමාවෙන්න. වැඩේ එළකිරිය.

Friday, April 13, 2012

කැම්පස් ලයිෆ් - රැග් එකේ අරමුණු


 අද මම ලියන්න යන්නේ මේ දවස්වල ලියන කැම්පස් ලයිෆ් සීරීස් එකේ ප්‍රධාන කතා මාලාවට පිටින් යන ලිපියක්. මොකද මේ ලිපිය ලියන්න සුදුසුම අවස්ථාව මේක බවයි මගේ හැඟීම. ඒ වගේම කියන්න කැමතියි තවමත් මට ලියන්න බැරිවුණ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස කැම්පස් ලයිෆ් සීරීස් එකේ අවසානයත් එක්ක ලියන බව.

අපි පොඩි කාලෙ ඉඳන් අහපු සහ පසුකාලීන දැකපු, අත්විඳපු දෙයක් තමයි විශ්ව විද්‍යාල වල නවක වදය කියන්නේ. ගොඩක් දෙනෙක් මේ නවක වදය, එහෙමත් නැත්තං රැග් එක නරකයි කියලා කිව්වත් ඒ අතරේ රැග් එක හොඳයි කියන කට්ටියත් ඉන්නවා. බ්ලොග් අවකාශෙ වුණත් රැග් එක ගැන විවිධ මත දරන කට්ටිය ඉන්නවා. ඉතිං අද මම කියන්න යන්නේ රැග් එකේ අරමුණු ගැන මගේ පුද්ගලික මතය. මගේ මතයට එකඟ අය වගේම විරුද්ධ අයත් ඉන්න පුලුවන්. ඉතිං ඒ හැමෝටම පුලුවන් තමන්ගෙ මතය නාමිකව බැරිනම් නිර්නාමිකව කොමෙන්ටුවක් විදිහට ලිපිය යටින් පල කරන්න.

 රැග් එකේ අරමුණු

මුලින්ම කියන්න ඕනේ කැම්පස් රැග් එක කියන එක බොහොම විකසනය වෙච්ච, කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙන සංසිද්දියක්. ඒ හින්දා විවිධ කැම්පස් වල රැග් එක පදනම් වෙලා තියෙන්නේ විවිධ අරමුණු මත. මම මේ ගැන කතා කරද්දි උදාහරණ විදිහට ගන්නේ මම හොඳින්ම දන්න කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයයි.

රැග් එකේ මූලිකම අරමුණු මේ ආයතන දෙකටම පොදුයි. කැම්පස් එකෙන් එළියේ ඉන්න බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රැග් එක කියන්නේ එක්තරා දේශපාලන පක්ෂයකට සාමාජිකය සාමාජිකාවන් බඳවගන්න කරන ව්‍යායාමයක එක කොටසක් කියලා. ඒත් ඇත්තටම රැග් එකේ මූලිකම අරමුණු ලෙස මම දකින්නේ මේ හේතුව නොවෙන වෙනත් හේතු හතරක්.

1) බැච් එකේ පොරක් වීම

තමන්ගෙ බැච් එකේ පොරක් වෙන්න සාමාන්‍යයෙන් කොල්ලො ගොඩක් දෙනෙක් කැමතියි. මේක සාමාන්‍ය සංසිද්දයක්. මොකද කණ්ඩායම් වශයෙන් බොහෝ පිරිසක් කල් ගෙවන ඕනම තැනක (කැම්පස් හෝ වෙනත්) තීරණ ගන්න බලය පැවරෙන්නේ, අනිත් අය ඇහුම්කන් දෙන්නේ එක්තරා සුලු පිරිසකට. ඉතිං මේ සුලු පිරිස, එහෙමත් නැත්තං “පොරවල්“ තමයි බැච් එකේ ප්‍රභලයෝ වෙන්නේ.

ඉතිං රැග් සීසන් එකේදි තමයි බැච් එකේ පොරවල් වශයෙන් හිටපු අයට තමන්ගේ ස්ථානය තහවුරු කරගන්නත්, මෙච්චරකල් පොරවල් නොවී උන්නු අයට අලුතින් පොරවල් වෙන්නත් පුලුවන් වෙන්නේ. මේ පොරත්වය හේතු වෙනවා මම කතා කරන තුන්වෙනි අරමුණ ලේසියෙන් ළඟා කරගන්නත්. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නන්න බැච් මීටින් කියලා එක එක දේවල් කොච්චර තිබුනත් අන්තිමේදී ක්‍රියාත්මක වෙන්නේ ඔය කියන පොරවල් වලට අවශ්‍ය දේවල් තමයි. ඉතිං රැග් එකේදි පොරක් වෙලා පෙන්නුවොත් කල්ල මරේ. ඒ වගේම කලින් පොරවල් වෙලා ඉඳලා රැග් සීසන් එකේදි චාටර් වෙච්ච ඩයලුත් අපි අතරේ ඉඳලා තියෙනවා.

2) නවක බැච් එක යටත් කර ගැනීම සහ හඳුනාගැනීම

මේ තවත් ප්‍රධාන හේතුවක්. අලුත් බැච් එකක් කැම්පස් එකට එන්නේ විශ්ව විද්‍යාල පරිසරය ගැන කිසිම අත්දැකීමක් නැතුව. ඒ අයට ආපු අලුතම කැම්පස් එක නුහුරුයි, නුපුරුදුයි. ඒ වගේම තමන්ගෙ බැච් එකේ අනිත් කට්ටියත් එක්ක හරියට සෙට් වෙලත් නෑ. කට්ටිය බය වෙලා ඉන්නේ. ඉතිං මේක තමයි අලුත් බැච් එක යටත් කරගන්න වෙලාව. නැත්තං වෙන්නේ අලුත් බැච් එකේ කට්ටිය එකට සෙට් වෙලා තමන්ව ගනන් ගන්නැතුව ස්වාධීනව කටයුතු කිරීම. එතකොට සීනියර් බැච් එකක් විදිහට තමන්ගෙ බල පරාක්‍රමය කැම්පස් එක පුරා පතුරවන්න බෑ වගේම තමන්ට කරන්න පැවරිලා තියෙන වැඩ කටයුතු වලට ජූනියර්ස්ලාගේ සහයෝගය ලබා ගන්නත් අමාරුයි.

ඒ වගේම ජූනියර් බැච් එකේ තමන්ට තර්ජනයක් වෙන ආකාරයේ ළමයි හඳුනාගැනීම, ඒ අය ගැන පුද්ගලිකව අවධානය යොමු කරලා අනිත් ළමයින්ගේ තත්ත්වයට ගන්න උත්සාහ කිරීම, එහෙමත් බැරිනම් ඒ අයව කොන් කරලා බැච් එකෙන් ඉවත් කිරීමත් මේ කාරණයටම අයිතියි. උදාහරණයක් විදිහට පේරාදෙනියේ අල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කොළඹ (වසර කීපයකට පෙර) හොස්ටල් සිසුන් නම් කරන්න පුලුවන්.

3) පෙම්වතියක් ලබා ගැනීම

පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දිත් ගොඩක් කැම්පස් කොල්ලන්ට පෙම්වතියක් නෑ. ඇත්තම කියනවානං කැම්පස් එකට එද්දි ගොඩක් කොල්ලෝ ජීවිතේට ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් පවත්වපු අය නෙවෙයි. (මේ ගැන වෙනම ලිපියක් පසුව ලියන්නම්). ඉතිං රැග් සීසන් එකට එද්දි ගොඩක් කොල්ලො බය වෙලා ඉන්නේ මේක තමයි තමන්ට පෙම්වතියක් ලබාගන්න තියෙන අවසන් අවස්ථාව කියලා. (ඒක එහෙම නෙවෙයි කියලා තේරෙන්නෙ පස්සේ) ඉතිං රැග් එකට සක්‍රියව දායක වෙලා පොරක් වෙලා ගෑනු ළමයෙක් යාලු කරගන්න උත්සාහ කරන එක තමයි මේ අයගේ ක්‍රියාමාර්ගය වෙන්නේ. මේ වැඩේ සමහර වෙලාවට හරිගියත් තවත් සමහර වෙලාවට හරියන්නේ නෑ. මොකද සමහර ගෑනු ළමයි කැමති වෙන්නේ පාඩුවෙ පැත්තකට වෙලා මහන්සියෙන් ඉගෙන ගන්න හදන කොල්ලන්ට.

4) සිතේ තෙරපෙන වෛරය/පීඩනය පහ කරගැනීම සහ පරපීඩක වින්දනයක් ලබාගැනීම.

මේකත් ප්‍රධාන කාරණයක්. මේ ගැන බ්ලොග්අවකාශයේ ඕනෙ තරම් ලිපි ලියවිලා ඇති නිසා මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ. කොහොම වුණත් සමහරු බලාගෙන ඉන්නේ තමන්ගෙ හිතේ තියෙන සමාජීය වෛරය රැග් එක පිටින් යවාගන්න.

ගොඩක් කට්ටිය රැග් එක ගැන අදහස් දක්වන්නේ කැම්පස් වලදී ගම් වලින් එන අහිංසක ළමයින්ට වද දෙනවයි කියලා. ඒත් ඒ අයට නොපෙනෙන දේ තමයි ඒ ළමයින්ට රැග් එක දෙන්නෙත් ගම් වලින් ආපු අහිංසක ළමයින්මයි කියන එක. මොකද ගොඩක් වෙලාවට කොළඹ හරි නුවර හරි ජනප්‍රිය පාසල් වලින් කැම්පස් එකට ආපු ළමයි රැග් එකට වැඩිය සහභාගි වෙන්නේ නෑ. සහභාගි වෙන අවස්ථා කලාතුරකින් තිබුනත් බොහෝ අවස්ථාවල ඒ අය ඉන්නේ රැග් එකට සක්‍රිය දායකත්වයක් නැතුව. හැබැයි කොළඹ විශ්ව විද්‍යාලයේ රැග් වලදී දකුණු පළාතේ පාසල් වලින් ආපු ළමයි ඉස්කෝල භේදයක් නැතුව රැග් එකට දායක වෙන අන්දම මම අවුරුදු කීපයක් තිස්සේ නිරීක්ෂණය කරලා තියෙනවා.

කැම්පස් එකට අලුතින් එන සිසුන් කොළඹ ඉස්කෝලෙකින් එන අයනම් ලැබෙන රැග් එක ඉතාම වැඩියි. ඒකත් බෞද්ධ කියලා හඳුන්වන පාසලකින් නෙවෙයිනම් රැග් එක තව තවත් වැඩි වෙනවා. පේරාදෙණියේ තියා කොළඹ පාසල් වල සිසුන්ගෙන් පිරී තියෙන කොළඹ විශ්ව විද්‍යාලයෙත් තත්ත්වය ඕකයි.

ඊට අමතරව අදාල සිසුවා/සිසුවිය හදාරණ උපාධියත් වසර කිපයකට කලින් කොළඹදී රැග් එක කෙරෙහි ගොඩක් බලපෑවා. උදාහරණයක් විදිහට අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව හදාරන්න කොළඹ ආපු සිසුන් අනිත් සිසුන්ට සාපේක්ෂව බොහොම නරක විදිහට රැග් එක අත්වින්දා. හැබැයි දැන්නම් ඒ තත්ත්වය නැති වෙලා ගිහින් තියෙන්නේ. මේ කාරණය සම්බන්ධයෙන් පේරාදෙණියේ තත්ත්වය ගැනනම් මම දන්නේ නෑ.

************************************************************************

ඉතිං ඉහතින් මම කිව්වේ හැම කැම්පස් එකටම පොදු රැග් එකේ මූලික අරමුණු ගැන. ඊට අමතරව එක එක කැම්පස් එකට සුවිශේෂ වූ වෙනත් අරමුණුත් රැග් එක කෙරෙහි තියෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පාලනය වෙන පේරාදෙණියේ රැග් එක දේශපාලන අරමුණු වලින් තොරයි කියලා කියන්න පුලුවන් කාටද? හැබැයි පේරාදෙණියේ විද්‍යා විශයයන් සහිත පීඨ වල (වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, විද්‍යා, කෘෂී ආදී) බහුතර සිසුන් අදාල දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති වලට එකඟ නෑ. ඒත් අන්තිමේදී ඒ අයත් අයිති වෙන්නේ අදාල දේශපාලන පක්ෂය මගින් පාලනය වෙන ශිෂ්‍ය සංගමයට.

කොළඹ සයන්ස් රැග් එකටනං කිසිම දේශපාලන අරමුණක් නැති බවයි අවුරුදු ගණනක අත්දැකීම් වලින් කියන්න පුලුවන්. ඒ වගේම කොළඹ රැග් එක පේරාදෙනියේ වගේ දුෂ්කර රැග් එකකුත් නෙවෙයි. මේ රැග් දෙකේ තත්ත්වය සංසන්දනය කරන ලිපියක් ලියන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. 

ඔය මොන දේ වුණත් රැග් එකට ආදරය කරන්නෙත් රැග් එකෙන් පීඩාවට පත් වෙන බවට සමාජය විසින් කියන විශ්ව විද්‍යාල සිසුන්මයි. රැග් එක මෙච්චර හොඳ නැත්තං බහුතර විශ්ව විද්‍යාල සිසු සිසුවියන් රැග් එකට කැමති ඇයි? මේ ගැන තවත් ලිපියක් බලාපොරොත්තු වන්න.

“රැග් එක හොඳද නරකද?“

ප.ලි - බ්ලොග් ගඩොල් කියවන නොකියවන ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Wednesday, April 4, 2012

කැම්පස් ලයිෆ් 5 - ප්‍රසිද්දියේ හාදු දීම


තුම්මුල්ල සක්වල තක්සලාවේ හවස් වරුවෙදි ක්‍රියාත්මක වුණේ ටිකක් විතර එයිටීන් ප්ලස් රැග් එකක්. මේ වෙලාවට අලුත් කෙල්ලො ඔක්කොම කැම්පස් එකෙන් පිටවෙලා ගිහින් හින්දා අයියලාට චාන්ස් එක හම්බවෙනවා අලුත් කොල්ලො ලව්වා කුණුහරුප කියවලා ආතල් එකක් ගන්න. ගොඩක්ම වෙලාවට ඉතිං අපේ යාලුවන්ට හම්බවුණේ කුණුහරුප කියන එක, නැත්තං අනිත් ළමයින්ට කියලා දෙන එක වගේ දේවල්. ඒ එක්කම තමන්ගෙ බැච් එකේම අනිත් කොල්ලන්ව බයිට් එකට ගන්නත් අයියලා මේ වෙලාව යොදා ගත්තලු.

අයියා :- උඹට පේනවද අර ඈතින් රතු ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න අයියාව?

පුරුපුරු :- ඔව් අයියේ.

අයියා :- එහෙනං ගිහිං ඌට හොඳට කුණුහරුපෙන් බැනලා වරෙන්.

පුරුපුරු බැලින්නං මෑන්ස්ට බනින්න නියමිත වෙලා තිබුනෙ ඒ දවස්වල ෆැකල්ටියෙ යූනියන් එකේ හිටපු අයියා කෙනෙකුට. ඉතිං අපේ පූසාගේ ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තේ මෑන්ස්ටත් හොරෙන්.

පුරුපුරු :- අනේ අයියේ...

අයියා :- අනේ අයියේ? මම තව පාරක් කියන්න කලින් මෙතනින් ගිහින් අරූට බැනපං. නැත්තං තෝව හම ගහනවා.

ඉතිං පුරුපුරුට ඒ අයියා කියපු වැඩේ කරනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නෑ. මෑන්ස් ඉතිං හිමිං සීරුවේ අර යූනියන් අයියා ළඟට ගියාලු.

යූනියන් අයියා :- උඹ මොකද මෙතන කරන්නේ?

පුරුපුරු :- අයියේ මේ මම ආවෙ...මේ..මේ....

යූනියන් අයියා :- මොකද යකෝ තෝ තටමන්නේ? කියපිය තෝ මොකටද ආවෙ කියලා.

පුරුපුරු :- අයියේ මේ...*********************** ************************ ***************************************  ***************************** ********************** ************************* ****************** ********** *******************************

යූනියන් අයියා :- අඩෝ තෝ දන්නවද ------ මම කවුද කියලා? කියපිය කවුද තොට කිව්වේ මට ඇවිත් ඔහොම බනින්න කියලා?

පුරුපුරු :- කවුරුවත් කිව්වේ නෑ අයියේ. මටම හිතිලා ඇවිත් තමයි බැන්නේ*.

යූනියන් අයියා :- ආ එහෙමද? (තවත් ගොඩක් වෙලා බැන) උඹ ගිහින් අර පේන අක්කාගෙන් යාලු වෙන්න අහලා කැමැත්ත අරගෙන වරෙන්. කැමැත්ත ගන්නෙ නැතුව තෝ ආයි මේ පැත්තෙ එනවා එහෙම නෙවෙයි.

ඉතිං පුරුපුරු කළේ ඊටපස්සේ ඒ අක්කා ළඟට ගිය එක. එයා වාඩිවෙලා හිටියේ ඕපන් කැන්ටිමේම එහාපැත්තේ තියෙන පාඩම් කරන කොටසේ. තනියමත් නෙවෙයි, තවත් යෙහෙළියො තුන් දෙනෙක් එක්ක. දැන් ඉතිං අපේ පූසාට කලින්ටත් වඩා දාඩිය දාලා. සුදුපූසි දැක්කොත් එහෙම ඉඳලා හමාරයි.

පුරුපුරු :- අක්කේ...

අක්කා :- ඇයි මල්ලි?

පුරුපුරු :- අක්කේ...මේ මං....ඔයාට....කැමතියි..ඔයා මොකද කියන්නේ???

අක්කා :- හිකි හිකි හිකි......(යෙහෙළියන් දෙසට හැරී) අනේ පවූඌඌඌ නේද?? හිකි හිකි හිකි......


ඉතිං අපේ පූසාට සිද්දවුණේ මේ වගේ බයිට් වෙවී ඉන්න. හැබැයි ඒක පුරුපුරුට විතරක් නෙවෙයි, කොයි නවකයාටත් පොදු වෙච්ච කාරණයක්. මේ වගේ රැග් වීම්, බයිට් වීම් සිය ගණනකට අපේ පූසා ෆේස් කරලා තිබුනත් මේ සීරීස් එකේදි අපි කියන්න යන්නේ ඒවයින් දැනටත් මතකේ තියෙන සිද්දි කීපයක් විතරයි.


මේ අතරින් පුරුපුරුට අමතකම කරන්න බැරි සීන් එකක් තමයි ප්‍රසිද්දියේ හාදු දුන්න කේස් එක. මේ වැඩේ වුණේ එක දවසක් මහ දවාලේ. මේ වෙද්දි අලුත් ළමයි ඉන්ග්ලිෂ් ඉන්ටෙන්සිව් ක්ලාස් එක ඉවර වෙලා දවල් කෑම කන්න ගිහින් හිටියේ. අපේ පුරුපුරුත් කෑම කාලා ඉවරවෙලා රැග් බෙන්ච් එකකට යන්න යනකොට තමයි අතරමගදී සුපර් සීනියර් අයියලා සෙට් එකක් මෑන්ස්ට කතා කළේ. ඊටපස්සේ ඉතිං සුපුරුදු ප්‍රශ්න ටික මුලින් අහලා (මේ ගැන වෙනම ලිපියකින් දැනුවත් කරමි) එක අයියා කෙනෙක් මෑන්ස්ගෙන් ඇහුවේ පුරුපුරු ගොඩ ගිහින්ද ඉන්නේ කියලා**.


අයියා :- උඹ ගොඩ ගිහින්ද ඉන්නේ?


පුරුපුරු :- ඔව් අයියේ.


අයියා :- ඇතුළින්ද පිටින්ද?


පුරුපුරු :- පිටින්.


අයියා :- එහෙනං උඹ -- ---- (හාදු දෙන්න) එහෙමත් දන්නවා ඇති නේද?


පුරුපුරු :- ම්..ඔව් අයියේ.


අයියා :- එහෙනං ගිහින් ගොඩ දෙයියන්ට -- --- (හාදු දීලා) වරෙන්.

සුප්‍රසිද්ද ගොඩ දේව ප්‍රතිමාව සහ පිටුපසින් පෙනෙන ඕපන් කැන්ටිම


පුරුපුරු මුලින් හිතුවේ මේ යකා මේක කියන්නේ විහිලුවට කියලා. ගොඩ දෙයියෝ කියන්නේ ඕපන් කැන්ටින් එක ඉස්සරහා අඹලා තියෙන ප්‍රසිද්ද පිළිමයට. මේ පිළිමයෙන් නිරූපණය කරන්නේ වාඩිවෙලා ඉන්න නිරුවත් මිනිහෙක්ව. ඒ වගේම අපරාදේ කියන්න බෑ, පිළිම නිර්මාණ ශිල්පියා ගොඩ දෙයියන්ව සියලුම අවයව සහිතව අංග සම්පූර්ණව නෙළලා තියෙනවා.

ඉතිං ෆැකල්ටි එකට එන අලුත් තනිකඩ කොල්ලො ඔක්කෝම කැම්පස් එක ඇතුලෙන් ගොඩ යන්න ඕනෙනං ගොඩ දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න ඕනෑ. මල් පූජා කරන්න ඕනෑ. (මේකත් රැග් එකේ කොටසක්) ගොඩ දෙයියෝ කියලා මේ පිළිමෙට නමක් වැටිලා තියෙන්නේ ඒකයි. ඒ වගේම ගොඩ දෙයියන්ට පූජා නොපවත්වන කොල්ලන්ට කැම්පස් එකෙන් ගොඩ යන්න බෑ කියලයි රැග් සීසන් එකේ තෙල් ගහන්නේ.



ඉතිං අවුරුදු දහතුනක් තිස්සේ ඉස්කෝලේ කට්ට කාලා, ගෑනු ළමිස්සියෙක් දාගන්න පරමාර්ථයෙන් කැම්පස් එකට එන කොල්ලෝ ගොඩ දෙයියන්ට වැඳුම් පිදුම් කරන්නේ බොහොම උනන්දුවෙන්.


කොහොමහරි ඉතිං අයියා පූසාට නියම කළේ මේ පිළිමෙට ගිහින් හාදුවක් දීලා එන්න කියලා. ඒත් පුරුපුරුට අප්සෙට් එක වුණේ මේ වැඩේ කරනවාටත් වඩා ඒ වෙලාවේ ඕපන් කැන්ටින් එකේ හිටපු මිනිස්සු සිය ගානකට පේන විදිහට හාදුව දෙන එක. පුරුපුරු දෙතුන් පාරක් බෑ කිව්වත් අයියා තමන්ගේ මතය වෙනස් කළේම නෑ. අන්තිමට ඉතිං ඕන මගුලක් කියලා අපේ පූසා තීරණය කළාලු ගිහින් ගොඩ දෙයියන්ට හාදුවක් දෙන්න.


පූසා ටිකෙන් ටික පිළිමෙට කිට්ටු වෙද්දි ඕපන් එකේ හිටපු සිය ගානක් කොල්ලෝ කෙල්ලන්ගෙ ඇටෙන්ෂන් එක මෑන්ස්ගෙ පැත්තට හැරුනේ විශේෂ දෙයක් සිද්ද වෙන්න යන බව ඉවෙන් වගේ දැනගෙන වගේ. ඊටපස්සේ පුරුපුරු ඒ ඓතිහාසික හාදුව දෙනකොට ඒ කට්ටිය හිනාවුණාද කියලානං පූසා දැක්කේ නෑ. ඒ වගේම මෑන්ස් හාදුව ඉවරවෙලා ආපහු යද්දිත් ගියේ ඕපන් එකේ පැත්තවත් බලන්නේ නැතුව.

ගොඩ දෙයියන්ට හාදු දීම (පුරුපුරුගේ බැච් මේටයෙකු පසු කාලීනව ගන්නා ලද ඡායාරූපයකි)
ඔය ගොඩ දෙයියන්ට වගේම වන්දනාමාන කරන තවත් කූඹි ජාතියකුත් කැම්පස් එකේ හිටියා. උන්ගේ ඇත්ත නම පුරුපුරු අදටත් දන්නෙ නැති වුණත් කැම්පස් එකේදි උන්ව හැඳින්වුවේ සිපියො කියලා. මේ කූඹි ජාතිය හරිම විසයි. කෑවොත් කඩියෙක් කෑවටත් වඩා රිදෙනවා. ඒ වගේම කාපු තැන පලු දාලා කසන්න ගන්නවා. ඒ දවස්වල අලුත් ළමයින්ට බොරුවට කිව්වේ මේ කූඹි හැදිලා තියෙන්නේ සූලොජි ඩිපාට්මන්ට් එකයි, කෙමිස්ට්‍රි ඩිපාට්මන්ට් එකයි කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට කියලා.

ඉතිං රැග් කාලෙ ෆැකල්ටියෙ ගස් යට සිපියන්ට වැඳගෙන ඉන්න ළමයින්ගෙ දර්ශනය කාටවත් අමුත්තක් වුණේ නෑ. මෙහෙම වැඳගෙන නිකං ඉන්නත් බෑ. හයියෙන් කෑ ගහලා සිපියන්ට ගහෙන් බිමට වඩින්න ආරාධනා කරන්න ඕනේ.


“අනේ ගෞරවනීය සිපියන් වහන්ස, ගැත්තා ගැන අනුකම්පාවෙන් බිමට වඩිනු මැන“


මේ විදිහට තමයි ළමයි සිපියන්ට ආරාධනා කළේ. ඒ වගේම කොහෙහරි යන කපල් එකක් දැක්කාම අයියලා කරන්නේ ගිහින් ඒ අයගෙන් සිපියා හැදිච්ච හැටි අහගෙන එන්නයි කියලා නවකයන්ට නියෝග කරන එක. ඊටපස්සේ ඉතිං කෙල්ල ඉස්සරහා වීරයා වෙන්න කැමති කොල්ලන්ගෙන් නවකයෝ අම්බානට බයිට් වෙන එක තමයි සිද්ද වෙන්නේ.


ඉතිං මේ විදිහට රැග් සීසන් එක දිගටම ඇදිලා ගියේ පුරුපුරුට තවත් අලුත් යාලුවො සෙට් එකකුත් ලබලා දෙමින්. මේ කාලෙ තමයි මෑන්ස්ට කැම්පස් ලයිෆ් එක පුරාම එකට හිටපු ආකාස්, වඩියා, හෙනයා වගේ යාලුවො මුණගැහුණේ. රැග් එකේ තවත් කතා එක්ක එහෙනං ඊළඟ කොටසින් නැවත හමුවෙමු.


------------------------------------------------------------------------------------------------------------

* රැග් එකේ මූලිකම කරුණක් වන්නේ කිසිම විටෙක බැච් මේටයෙකු හෝ වෙනත් කැම්පස් සිසුවෙක් පාවා නොදීමයි. මෙසේ පාවා දුන්නොත් ලැබෙන රැග් එක දෙගුණ තෙගුණ විය හැකියි.


** ගොඩ යෑම - පෙම්වතෙක් හෝ පෙම්වතියක් ලැබීම.


Sunday, April 1, 2012

කැම්පස් ලයිෆ් 4 - රැග් එක තව දුරටත්



ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් මම කිව්වේ අපේ පුරුපුරු කැම්පස් එකට ගිය හැටියි, රැග් එකට අහුවෙච්ච හැටියි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඊළඟ දවසෙ පූසා කැම්පස් එකට ගියේ අයියලා එන්න කිව්ව විදිහට ෆුල් ජෙන්ට්ල්මන් වගේ සැරසිලා. උදේ හතහමාරට විතර මෑන්ස් කැම්පස් භූමියට එද්දි ගොඩක් ළමයි ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියලු. කලින් දවසෙ වගේම එදත් ළමයින්ව බෙන්ච් වලට වෙන් කරලයි තිබුනේ. ඉතිං පුරුපුරුත් ගිහින් එක බෙන්ච් එකකට එන්ටර් වුණාලු.

කැම්පස් රැග් එකේදි උදේ වරුව සාමාන්‍යයෙන් වෙන් වෙන්නේ උපදෙස් දෙන කටයුතු වලට. ඉතිං මේ වෙලාවෙදි ගොඩක් වෙලාවට සිද්ද වෙන්නෙ ෆැකල්ටි එකේ හොඳ ගැන, පිළිපදින්න ඕනෙ විනය නීති රීති ගැන, ලෙක්චර් හෝල් මැනර්ස් සහ ලෙක්චරර්ස්ලා එක්ක කටයුතු කරන හැටි ගැන අයියලා විසින් නංගිලා මල්ලිලාව දැනුවත් කරන එක. ඒ අතරතුරේදි ඉතිං පොඩි පොඩි ගොන් පාට්* එහෙමත් ළමයින්ට කරන්න දෙනවා.

විශේෂයෙන් අයියලා අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරි ළමයින්වයි, අයියලා බලාපොරොත්තු වෙන විදිහට හැසිරෙන්න බැරි ළමයින්වයි තමයි මේ ගොන් පාට් වැඩ වලට තෝරගන්නෙ. එහෙම තෝරගෙන කරන්නෙ ඒ ළමයින්ට බෙන්ච් එක ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න දෙන එක, සින්දු කියන ළමයින්ට මයික් අල්ලන එක, සින්දුවට අනුව නටන එක, මොකක්හරි ටීවී එකේ යන ඇඩ් එකක් රඟපාලා පෙන්නන එක, ප්‍රසිද්ද චරිතයක් අනුකරණය කිරීම, බෙන්ච් ගානෙ ගිහින් බඩු විකුණන එක වගේ දේවල්. ඉතිං පළවෙනි දවසෙම අපේ පුරුපුරුටත් ඒ වගේ වැඩක් සෙට් වුණාලු.

අයියා :- උඹලා දන්නවද මේ කැම්පස් එක ඇතුලෙ ඉස්කෝලයක් තියෙන බව?

ළමයි :- ?????????????????????????

අයියා :- උඹලා තවම ඒක දන්නෙ නැද්ද? උඹ, පිටිපස්සෙ ඉන්න නිල් ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කොල්ලා (පුරුපුරු) කියපං බලන්න මේක ඇතුලෙ තියෙන ඉස්කෝලෙ මොකද්ද කියලා.

දැන් ඉතිං පුරුපුරු ෆුල් අඤ්ඤකොරොස්. මේ කැම්පස් එක ඇතුලෙ කොහෙද ඉස්කෝල තියෙන්නෙ? ළඟින්ම තියෙන ඉස්කෝල වෙච්ච කුරුඳුවත්ත විද්‍යාලෙයි, තුම්මුල්ල විද්‍යාලෙයි තියෙන්නෙත් කැම්පස් තාප්පෙට පිටින් නොවැ! දැන් ඉතිං අපේ පූසාට දාඩියත් දානවලු.

පුරුපුරු :- ම්ම්...දන්නෑ..අයියේ...

අයියා :- තොට දවස් දෙකක් කැම්පස් එකට ඇවිල්ලත් ඒක දැනගන්න බැරිවුණා නේද? යකෝ ඔක්කොමලා දැනගනින් මේක ඇතුලේ ඉස්කෝලයක් තියෙනවා. ඒ තමයි තුම්මුල්ල සක්වල තක්සලීය පරිගණක පාසල. ඒක ඉස්සර තිබුනෙ සයන්ස් ෆැකල්ටි එකේම තමයි. උඹලා මීටපස්සෙ ඒකට කියන්න ඕනෙ කොම්පියුටර් ඉස්කෝලෙ කියලා. ඒක ෆැකල්ටියක් එහෙම නෙවෙයි**. දැන් උඹ වරෙන් ඉස්සරහට.

අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ඉස්සරහට ගියාලු. එතකොටත් බෙන්ච් එකේම පැත්තක හිටපු ගෑනු ළමයෙක්ව ඉස්සරහට අරගෙන තිබුනේ සිංදුවක් කියන්න. 

අයියා :- උඹ දන්නවද මේ නංගිගෙ නම?

පුරුපුරු :- නෑ අයියේ.

අයියා :- යකෝ මේ උඹලගෙ බැච් එකේ කෙල්ලෝ. අපිටනං උඹලගෙ බැච් එකේ කෙල්ලන්ව සත පහකට වැඩක් නෑ. ඒත් උඹලා දැනගෙන ඉන්න ඕනෙ බැච් එකේ හැමෝගෙම නම්. මේ කෙල්ල සින්දුව කියද්දි උඹ දාන්න ඕනෙ වැදි නැටුමක්. තේරුනාද? උඹ වැදි නැටුම් දැකලා තියෙනවනේ?

පුරුපුරු :- ඔව් අයියේ.

පුරුපුරුගෙ නරක වෙලාවට අර කෙල්ල කියන්න පටන් ගත්තේ බොහොම ළයානවිත ලව් සෝන්ග් එකක්. ඉතිං පූසාට සිද්ද වුණාලු ඒකට ගැලපෙන විදිහට ස්ලෝ මෝෂන් වැදි නැටුමක් රඟ දක්වන්න.

ඔය වගේ ජූනියර්ස්ලාට තෙල් ගගහා*** ඉන්න අතරතුරේ තමයි ළමයින්ව කොටස් වශයෙන් උදේ කෑමට යවන්නේ. ඒ තුම්මුල්ල සක්වල තක්සලාවේ විද්‍යා පීඨයේ තියෙන සුප්‍රසිද්ද ඕපන් කැන්ටින්**** එකට. හැබැයි රැග් කාලෙදි ඉංග්‍රීසි තහනම් හින්දා ළමයින්ට බෑ කැන්ටිම “ඕපන් එක“ කියලා හඳුන්වන්න. ඉතිං අලුත් ළමයි මේකට කියන්න ඕනෙ “ඇරපු එක“ එක කියලා. බෙන්ච් වල ඉඳන් ඇරපු එකට යන අතරමගදි අයියලා ජූනියර්ස්ලාගෙන් අහනවා කොහෙද යන්නෙ කියලා. එතකොට ඉතිං කස්ටිය හොඳට කටවල් ඇරලා “ඇරපු එකට යනවා“ කියලා කියන්න ඕනෙ. එතකොට තමයි මව් භාෂාව භාවිතය ගැන සතුටුවෙන අයියලා නවකයන්ට යන්න දෙන්නේ.

ඊටපස්සෙ ඉතිං කට්ටිය කැන්ටිමෙන් ගන්න කෑමයි, ගෙදරින් ගේන කෑමයි ඔක්කොම එකතු කරලා හවුලේ භුක්ති විඳින්න ඕනෑ. එතකොට තමයිලු ළමයින්ගෙ බැච් ෆිට් එක වැඩිවෙන්නෙයි, කට්ටියට එකිනෙකාව අඳුරගන්න පුලුවන් වෙන්නෙයි. ඒ වගේම නවකයො මේ වෙලාව යොදාගන්න ඕනෙ අනිත් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ෆෝන් නම්බර්ස් ඉල්ලගන්න. එහෙම කරලා කට්ටියටම රෑට රින්ග් කට් යවන්න ඕනෙ කියලයි ඉහළින් උපදෙස් ලැබුනේ. ඒ දවස්වල ඉතිං රෑට බැචාලගෙන් සහ බැචියන්ගෙන් රින්ග් කට් තිහ හතළිහක් ලැබෙන එක පූසාට සාමාන්‍ය අත්දැකීමක්.

කොහොමහරි ඉක්මනට කාලා ළමයි ආපහු බෙන්ච් වලට යන්න ඕනේ. ඒත් කෑමට ඕපන් එකට එන හැමෝම ආපහු බෙන්ච් වලට යන්න තරම් වාසනාවන්ත වෙන්නෙ නෑ. අතරමගදි හම්බවෙන තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් කට්ටිය සමහර නවකයන්ව අල්ලගෙන බෙන්ච් වලට යන්න නොදී තියාගෙන බයිට් කර කර ඉන්නවා. (මේ වැඩේට සාපේක්ෂව බෙන්ච් එකට වෙලා ගොන් පාර්ට් දාන එක දාහෙන් සම්පතක්). ඊටපස්සෙ තමයි නවකයො සෙට් එක තමන්ට නියමිත ඉංග්‍රීසි පන්ති වලට යන්නෙ.

ඉන්ග්ලිෂ් ඔරියෙන්ටේෂන් ක්ලාස් ඉවර වුණාම ළමයි කරන්න ඕනෙ ඉක්මනට ගිහින් කාලා ආපහු බෙන්ච් වලට එන එක. උදේ පාන්දර තරමක් ඩීසන්ට් පිට රැග් එක හම්බවුණාට හවස් වරුවෙ රැග් එකනම් තනිකර ගොන් පාට් වැඩසටහනක්. (තෙල බෙදීමත් නැතුවා නෙවෙයි). සෙකන්ඩ් ඉයර් කට්ටිය රැග් එක මෙහෙයෙව්වට මේ වෙලාවට වට පිටේ ඇවිදින තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් අයියලාත් අලුත් ළමයින්ව ඩැහැගන්නවා. අපේ පුරුපුරුටත් ඉතිං දෙවෙනි දවසෙම මේ වගේ පෝරියල් එකක් සෙට් වුණාලු.

පූසා බෙන්ච් එකක රැග් වෙවී ඉන්නකොට මෑන්ස්ට එන්නයි කියලා හදිසි විධානයක් ආවලු පැත්තකට වෙලා බලාගෙන හිටපු අයියලා සෙට් එකකින්. මෑන්ස් එතනට යද්දි මේ අයියලා සෙට් එක ඉටි රූපයක් වගේ ලස්සන ගෑනු ළමිස්සියෙක්ව එතන තියාගෙන ඉන්නවා.

අයියලා :- උඹ දන්නවද මේකිගෙ නම?

පුරුපුරු :- නෑ අයියේ!

අයියලා :- එහෙනං යකෝ බලාගෙන ඉන්නෙ නැතුව අඳුරගනිං.

පුරුපුරු :- මගෙ නම පුරුපුරු. ඔයාගෙ නම මොකද්ද?

ගෑනු ළමයා :- මගෙ නම සංකීර්ණා.

අයියලා :- උඹට ආපහු යන්න ඕනෙද?

පුරුපුරු :- ඔව් අයියේ!

අයියලා :- එහෙනං මේකිගෙ උඹට පේන බාහිර ලක්ෂණ පහක් කියලා පලයං.

දැන් ඉතිං අපේ පූසා සංකීර්ණා දිහා බලාගෙන ඉන්නවා බාහිර ලක්ෂණ පහක් කියන්න. ඇත්තටම ඉතිං පහක් නෙවෙයි, පහළවක් වුණත් ලක්ෂණ කියන්න පුලුවන් කිසිම ගේමක් නැතුව. ඒත් ඉතිං අපේ යාලුවො සෙට් එකගෙ මොළේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් ලක්ෂණ රෙකෝඩ් කරගන්න නෙවෙයි නොවැ! ඉතිං දැන් පූසා කල්පනා කරනවා ෂේප් එකේ කියන්න පුලුවන් ලක්ෂණ ගැන.

පුරුපුරු :- සංකීර්ණාට පැහැපත් සමක් තියෙනවා. කෙට්ටුයි. කොන්ඩෙ ටිකක් විතර දිගයි. ම්ම්...ඇස් දෙක දුඹුරු පාටයි. ම්...ම්....ම්..ම්.......

අයියලා :- කියපං කියපං!!

පුරුපුරු :- දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ලස්සනයි.

අයියලා :- යකෝ උඹට මේ වගේ කෙල්ලෙක් පෙන්නුවාම කියන්න තියෙන්නෙ සෙරෙප්පු ලස්සනයි කියලද?? පලයං මේ කෙල්ලත් අරගෙන බෙන්ච් එකක් ගානෙ. ඉහළගනිං මේ කුඩේ. ආ..දැන් කපල් එකක් වගේ පලයං. යකෝ කපල් එකක් ඇවිදින්නෙ ඔහොමද? උඹලා දෙන්නා නිකං මරන්න ගෙනියන හරක් දෙන්නෙක් වගේනෙ. ලස්සනට පලයං...

ඉතිං ඔය වගේ රැග් වෙලා රැග් වෙලා හවස හතරට ඔෆීෂියල් රැග් එක ඉවර වුණාලු. ඊටපස්සෙ ගෑනු ළමයින්ට පුලුවන් ඕනෙනම් යන්න. ඉතුරුවෙන පිරිමි ළමයින්ට තමයි ඊටපස්සෙ රැග් එක හම්බවෙන්නෙ. මේ රැග් එකට සාපේක්ෂව උදෙයි, හවසයි තිබුන රැග් එක නිකං ගොන් පාට් එකක් කියලා අපේ පුරුපුරුට තේරුණේ පළවෙනි දවසෙමයි. මොකද කොල්ලෝ විතරක් ඉතුරුවෙන හින්දා හවස් වෙද්දි වෙද්දි රැග් එකේ බරපතළ ගතිය වැඩි වෙන සීන් එකකුයි තිබුනේ. හැබැයි කොහොම වුණත් රැග් එක ෆිසිකල් රැග් එකක් දක්වා දුර දිග නොයවන්න අයියලා කටයුතු කලාලු. 

ඉතිං තවත් රැග් කතා, පූසාට යාලුවො සෙට් වෙච්ච හැටි, ඊළඟ කොටසින් බලමු නේද?

------------------------------------------------------------------------------------------------------------

* ගොන් පාට් - රැග් එකේදී යම්කිසි නවකයෙක් අනිකුන් ඉදිරියේ විහිලුවක් වන පිරිදි කරන්න නියම වෙන ඉදිරිපත් කිරීම්

** පරිගණක පාසල විද්‍යා පීඨයෙන් මිදී වෙනම ක්‍රියාත්මක වීම ගැන මේ කාලයේ විද්‍යාපීඨ සිසුන් සිටියේ සතුටින් නොවේ. 

*** තෙල් ගැසීම - (විශේෂයෙන් රැග් කාල සීමාවේදී සිදුවන) මොළ ශෝදනය

**** ඕපන් කැන්ටිම - වහළයකින් සහ කණු වලින් පමණකින් සැදුනු, සෑම දිශාවෙන්ම බාහිරයට විවෘත, විශ්ව විද්‍යාලයේ ජනප්‍රියම ආපන ශාලාව. රූපවාහිනියකින්ද සමන්විත මෙය විද්‍යා පීඨ සිසුන් කෑමට අමතරව ක්‍රිකට් තරඟ නැරඹීමට සහ සින්දු කීමටද යොදාගනී.




Thursday, March 22, 2012

කැම්පස් ලයිෆ් - 3 (රැග් එක)

කලින් ලිපියෙන් මම කිව්වනේ කැම්පස් එකට ගිය පළවෙනි දවසෙම අපේ පුරුපුරුට විඳින්න සිද්ද වෙච්ච අත්දැකීම් ගැන. ඉතිං දැන් කියන්න හදන්නේ එදා දවසේ වෙච්ච ඉතුරු සිද්දි ටික ගැන.

කොහොමහරි ඉතිං පූසා ඇතුලු නවක සිසු සිසුවියො සෙට් එකම සීනියර් අයියලා විසින් පෝළිමේ අරගෙන ගියාලු ෆැකල්ටි එකේ එක පැත්තකට. මේ ඒරියා එකේ තිබුනේ ලස්සනට තණකොළ වවපු, බිල්ඩින් කීපෙකින් වට වෙලා තිබුන එළිමහනක්. මේ එළිමහනේ කොන්ක්‍රීට් බංකු හයිකරපු තැන් තුනක් තිබුනා. ඉතිං අයියලාගෙ නියෝගය විදිහට අලුත් ළමයි ගෘෘප් තුනකට බෙදිලා මේ බංකු වටේ පෙළ ගැහුනලු.

පූසාගේ බැච් එකේ ඉන්න නියමිත වෙලා තිබුන ළමයි ගාන හාරසිය අසූවක්. ඒ භෞතීය විද්‍යාවට (Physical Science) 240, ජෛවීය විද්‍යාවට (Biological Science) 120, අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාවට (Molecular Biology & Biochemistry) 60 සහ කාර්මික සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය උපාධියට (Industrial Statistics & Mathematical Finance) 60 විදිහට. ඒත් පළවෙනිම දවස නිසයි, බෝට්ටුවෙන් එන ළමයි නැතිවීම නිසයිද කොහෙද එදා දවසේ හිටියේ ළමයි දෙසිය ගානක් විතර.

කොහොමහරි ඉතිං ඔය විදිහට මේ අලුත් ළමයි සෙට් එක කණ්ඩායම් තුනකට බෙදුනලු. පුරුපුරුට සෙට් වුණේ මැද තිබුන බෙන්ච් එක. ඉතිං මේ හැම බෙන්ච් එකකටම සීනියර් අයියලා දහ පහළොස් දෙනා වගේ වෙන්න කට්ටිය සෙට් වුණාලු. ඒ අතරින් කීප දෙනෙක්ගෙ හැසිරීම අනුව ඒ අය මේ වැඩේ ලීඩ් කරනවයි කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. කොහොමහරි මේ වෙද්දිනං අලුත් ළමයින්ට තේරුම් ගිහින් තිබුනේ තමන්ගේ කලදසාව නරක් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා.

පූසා හිටපු බෙන්ච් සෙට් එකේ මුලින්ම ආපු ළමයි වාඩිවෙලයි හිටියේ. පස්සේ එතනට ආපු ළමයි හිටියේ ඊට පිටිපස්සෙන් හිටගෙන. ඉතිං අලුත් ළමයි දිහා කන්න වගේ බැල්මක් දාපු මරුමුස් ලුක් එකක් තිබුන අයියා කෙනෙක් මෑන්ස්ගෙ කටහඬ අවදි කළාලු.

අයියා :- උඹලා දන්නවද උඹලා මේ කොහෙටද ඇවිත් තියෙන්නෙ කියලා?

(දැඩි නිහඬතාවයක්)

අයියා :- ඇයි උඹලගෙ කටේ පිට්ටුද? උඹ කියපං බලන්න මේ කොහෙද කියලා

(පිටිපස්සෙන් හිටපු කොල්ලෙක්ගෙන් අහයි)

කොල්ලා :- තුම්මුල්ල සක්වල තක්සලාව.

අයියා :- “ආ...අන්න එහෙම සම්පූර්ණ නම කියන්න උඹලා ඉගෙන ගන්න ඕනෙ. අනික මේ රැග් සීසන් එකේ ඉංග්‍රීසියෙන් කතා කරන එක උඹලට තහනම්. තේරුණාද? ලෙක්චර්ස් පටන් ගත්තට පස්සේ උඹලා ඉගෙන ගන්නෙ ඉංග්‍රීසියෙන්. ඒත් ගමේ ඉඳන් එන ගොඩක් දෙනෙකුට තවම ඉංග්‍රීසි අමාරුයි. ඒ හින්දා උඹලා හැමෝම දැනට කතා කරන්න ඕනෙ සිංහලෙන්.

අනික කොළඹ උන් වෙනමයි, ගමේ උන් වෙනමයි ගැටි ගහගෙන* ඉන්න එක සම්පූර්ණයෙන් තහනම්. එහෙම ඉඳලා කවුරුවත් අහුවෙන්න බෑ හරිද?

කෝ මෙතන එම්.බී** එවුන් ඉන්නවද? උඹලා දැනගනිං ලොකු ඉසෙඩ් ස්කෝර් එකක් අරගෙන ආවා කියලා උඹලා මෙතන ලොකු නෑ හරිද? මේ ෆැකල්ටි එක ඇතුලෙ කවුරුත් එකයි.

අනික තමයි ඔය කන්දෙ සක්වල තක්සලාවෙ වගේ මෙහෙ ගොන් පාර්ට් නෑ හරිද? උඹලා කුණු නවකයෝ නෙවෙයි, උඹලා නංගිලා මල්ලිලා. අපිත් ජ්‍යේෂ්ට උත්තමයෝ නෙවෙයි, අපි අයියලා අක්කලා. උඹලයි අපියි මෙතනට ඇවිත් ඉන්නෙ එකම විභාගෙ පාස් වෙලා. උඹලගෙයි අපෙයි එකම වෙනස අපි මෙතන අවුරුද්දක් තිස්සෙ ඉඳලා උඹලට වඩා කැම්පස් එක ගැන දන්නවා. අනික අපි කිසිම වෙලාවක උඹලට කියලා කුණුහරුප කියවන්නේ නෑ. අපේ ෆැකල්ටි එකේ ෆිසිකල් රැග්*** ඇත්තෙත් නෑ.“

ඉතිං ඔය විදිහට අයියා කියාගෙන කියාගෙන යනවලු. එතකොට තමයි මෑන්ස් දැක්කෙ බෙන්ච්වල කොල්ලො කෙල්ලෝ වෙනම වාඩිවෙලා හිටපු බව.

අයියා :- “යකෝ තොපි හිතුවෙ මේක ටියුෂන් ක්ලාස් එකක් කියලද? කෝ උඹලා ඔය කොල්ලො කෙල්ලෝ කලවම් වෙලා වාඩි වෙයන්. උඹ වරෙන් මේ කෙල්ලො දෙන්නා මැද්දට. නංගි මූට ඔතන වාඩි වෙන්න ඉඩ දියං.“

දැන් අයියා ගජරාමෙට කොල්ලො කෙල්ලො එකට වාඩි කරවනවා.

“උඹලා කෑම කද්දි වුණත් කන්න ඕනෙ කොල්ලො කෙල්ලො එකට වාඩි වෙලා එක බත් එක හරිද? එහෙම කළේ නැත්තං අපි උඹලාව අල්ලගන්නවා. අනික හැමෝටම තමන් ළඟ ඕනෙම වෙලාවක ඉන්න ළමයි දහ දෙනෙකුගෙවත් නම් පාඩම් තියෙන්න ඕනෙ. ඒ අයගේ ෆෝන් නම්බර්ස් තියෙන්නත් ඕනෙ.

කෝ උඹලා මොකද දිගටම වාඩි වෙලා ඉන්නේ? ඔය හිටගෙන ඉන්නෙත් තොපේ බැච් එකේම එවුන් තමයි. උඹලා නැගිටලා උන්ටත් වාඩි වෙන්න ඉඩ දියන්. ඔය පිටිපස්සෙ ඉන්න එවුන්ට පේන්නෙ නෑ නේද? උස එවුන් පස්සට ගිහින් මිටි එවුන් වරෙන් ඉස්සරහට.“

එතකොට තමයි අයියා පුරුපුරුව දැක්කේ. 

“යකෝ මම කිව්වේ උස එවුන්ට පස්සට යන්න කියලා මිසක් මහත එවුන්ට පස්සට යන්න කියලා නෙවෙයි. තෝත් වරෙන් ඉස්සරහට. අප්පට සිරි...තෝ හෙන ලොකු මිනිහද සෙරෙප්පු දාගෙන ඇවිත් තියෙන්නෙ. අනිත් දවසෙ උඹලා ඔක්කොම හොඳට ෂර්ට් කලිසම් වලට යට කරලා සපත්තු දාලා ලස්සනට එන්න ඕනෙ හරිද? පළවෙනි දවසෙ හින්දා අද උඹව මම අතඅරිනවා“

දැන් අපේ පූසා බයේ ගැහෙනවලු. එතකොට තමයි තවත් අයියා කෙනෙක්ගෙ අවදානය ටිකක් එහායින් හිටපු ගෑනු දැරිවියෙක්ට යොමු වුණේ.

2 අයියා :- “ඒයි...උඹ වරෙන් ඉස්සරහට. තෝ හිතාගෙන ඉන්නෙ මේ විකාර මඩුවක් කියලද? තෝනං මහ පජාත**** කෙල්ලෙක්.“

බැලින්නං ඒ ගෑනු ළමයා කොන්ඩෙ ටින්ට් කරගෙන තමයි කැම්පස් ඇවිත් තියෙන්නේ.

“කෙල්ලොත් හොඳට හිතට ගනිල්ලා උඹලා කැම්පස් එද්දි හොඳට පිළිවෙළට ඇඳගෙන එන්න ඕනෙ. දිග සායවල් අඳින්න ඕනෙ. රැග් සීසන් එකේ කලිසන් අඳින එක තහනම්“

“උඹ වරෙන් ඉස්සරහට සිංදුවක් කියන්න. ඔව් ඔව්!! ඔය පිටිපස්සෙ නිල්පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්න කොල්ලා තමයි. මොකද යකෝ ලැජ්ජාවෙ ඇඹරෙන්නේ? ආ...උඹත් වරෙන්..උඹ මූ සින්දු කියද්දි මූට මයික් එක අල්ලන්න ඕනෙ. ආ...මල්ලි උඹත් වරෙන්...මූ සින්දුව කියද්දි උඹ නටන්න ඕනෙ“

“ඇයි යකෝ ඌ නටද්දි තෝ හිනා වෙන්නේ? ඔව් ඔව්!! උඹ තමයි. යකෝ දැනගනිං ඌත් උඹලගෙ බැච් එකේ එකෙක්. උඹලා ආපහු උඹලගෙම බැච් එකේ එකෙකුට හිනා වෙලා තිබුනොත් බලාගම්මු. උඹලාට හැම දේටම වඩා තියෙන්න ඕනෙ දේ තමයි බැච් ෆිට් එක***** දැන් ගහපල්ලා මුන් තුන් දෙනාට හොඳ අත්පුඩියක්...“

“උඹලා දැනගනිං මේක තමයි ලංකාවෙ තියෙන හොඳම සයන්ස් ෆැකල්ටි එක. අපි ඩිග්‍රි එක අරගෙන අවුට් වෙද්දි අපිව ජොබ් එකට ගන්න කොම්පැනි මග රැකගෙන ඉන්නේ. එහෙම වෙලා තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ වලි නැති හින්දා. දැනගනිල්ලා අපේ ෆැකල්ටි එක අවුරුදු දොළහකින් වහලා නෑ“

ඉතිං ඔය විදිහට ගොඩක් වෙලාවක් තිස්සේ නවකයන්ට සිද්ද වුණේ අයියලාගේ අවවාද, උපදෙස්, ඇනුම් බැනුම් වලට ලක්වෙමින් කාලෙ ගත කරන්න. අන්තිමේදි මේ වැඩේ ඉවරවුණේ අනිත් දවසේ ඉඳලා උදේ හතහමාර වෙද්දි කැම්පස් එකට එන්න කියලා අයියලා පුරුපුරුලාට නියම කළාට පස්සේ. ඒ වගේම කැම්පස් එක ඇතුලේ ඉන්න හැම වෙලේම ස්ටුඩන්ට් හෑන්ඩ් බුක් එක අතේ තියාගන්න එකත් විශේෂ නීතියක් විදිහට පුරුපුරුලාට පැවරුනා******. මේ වෙද්දි මේ අලුත් එක්ස්පීරියන්ස් එක හින්දා අපේ පූසාගේ මොළේ අඤ්ඤකොරොස් වෙලා තිබුනේ. වෙලාවකට බයක් දැනුනත්, තවත් වෙලාවකට හිතුනේ වැඩේ ෆුල් ආතල් කියලා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවා ෆුල් ජෙන්ටා කිට් එක ගහලා පහුවදා කැම්පස් එකට ගියාලු. එතකොට තමයි පූසාට තේරුනේ කලින් දවසේ තිබුන දේවල් රැග් එකේ රිහසල් එකක් විතරයි කියලා. නියම රැග් එක පටන් ගත්තේ දැනුයි.

----------------------------------------------------------------------------------------------------------

* ගැටි ගැහීම - යම් පොදු ලක්ෂණයක් මුල් කරගෙන ඇතිවූ කිහිප දෙනෙක්ගෙන් සමන්විත කල්ලි. උදා:- කොළඹ ගැට්ට, ගාල්ල ගැට්ට, බයෝ ගැට්ට.


** එම්.බී - මොලිකියුලර් බයෝලොජි.


*** ෆිසිකල් රැග් - භෞතිකව ශරීරයට තුවාල ආදී හානි ඇති කරන නවක වදය. උද:- දණගැසීම, බඩගෑම සහ වෙනත් ලිංගික හිංසන.


**** පජාත - පට්ටම චාටර්.


***** බැච් ෆිට් එක - එකම කාණ්ඩයේ සිසු සිසුවියන් අතර තිබිය යුතුයැයි විශ්වාස කරන බැඳීම. (විශ්ව විද්‍යාල කටයුතු වලදී දැඩිව බලපාන සාධකයක් වන මෙය පළමු වසරේ තදින්ද, දෙවන වසරේදී ලාවටද ඇත. තෙවන සිව්වන වසරවල් වෙන විට මෙය බොහෝ දුරට භාවිතයෙන් මෙන්ම සිසු ශබ්ද කෝෂයෙන්ද හැලී යන අතර ගැටි සංකල්පයට මුල් තැන හිමිවේ.)


****** හෑන්ඩ් බුක් එක නිතර අතේ තබා ගැනීම - මෙය ජ්‍යේෂ්ටයන් විසින් යම් සිසුවෙක් හෝ සිසුවියක් නවකද කියා හඳුනාගැනීමට භාවිත කරන ප්‍රධාන මෙවලමයි. උදාහරණයක් ලෙස නවක සිසුවෙක් සහ ජෙන්ටා ඇඳුමින් සැරසුනු ජ්‍යේෂ්ටයෙක් ඇඳුමෙන් වෙන්කර හඳුනාගැනීම අපහසු වන අතර එවන් අවස්ථාවලදී ජ්‍යේෂ්ටයන්ගේ උදව්වට එන්නේ හෑන්ඩ් බුක් එකයි. නමුත් මේ හේතුව නවක සිසුන්ගෙන් හංගන අතර ඔවුන්ට වෙනත් බොරු හේතු දක්වා රවටනු ලබයි.

Monday, March 19, 2012

කැම්පස් ලයිෆ් - 2 (පටන්ගැන්ම)

 
කැම්පස් ලයිෆ් - 1

අපි කලින් ලිපියෙ කිව්වේ අපේ පූසා කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං ඔය විදිහට පුරුපුරුට කැම්පස් එකට යන්න නියමිත වෙලා තිබුනු දවසත් උදාවුණාලු. මේ වෙද්දි ඉතිං තව පාරක් ඒ ලෙවල් කරන්න කියලා හතර වටෙන් එල්ල වෙච්ච බලපෑමුත් ටික ටික අඩු වෙමින් තිබුන හින්දා පුරුපුරු ෆුල් රිලැක්ස් එකේ හිටියේ. අනික ටියුෂන් ක්ලාස් වලදියි, ඉස්කෝලෙදියි නිතරම කියවුණේ කැම්පස් සිලෙක්ට් වෙන්න පුලුවන්නං ජීවිතේ ගොඩ කියලා. ඉතිං පූසා කැම්පස් සිලෙක්ට් වෙච්ච හින්දා මේ දවස්වල හිතාගෙන හිටියේ මෙතනින් එහාට පාඩම් වැඩ අඩු, බොහොම සාමකාමී කාලයක් මෑන්ස්ට උදාවෙයි කියලා.

ඉතිං ඔය විදිහට කල් ගතවෙලා කැම්පස් එකට යන්න නියමිත දවසත් උදාවුණාලු. මේ වෙද්දි පූසාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි මුලින්ම කැම්පස් යද්දි ඇඳගෙන යන්න ඕනෙ මොනවාද කියන එක. මොකද සයන්ස් ෆැකල්ටි එකේ තමන් අඳුරන, කැම්පස් එක ගැන තොරතුරු දැනගන්න පුලුවන් යාලුවො කවුරුවත් මේ වෙද්දි පුරුපුරුට හිටියෙ නෑ. කොහොමත් ෆස්ට් ෂයි කැම්පස් එන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. ඉතිං මෑන්ස් කළේ වෙන ෆැකල්ටි එකක හිටපු අඳුරන අයියා කෙනෙක්ගෙන් මේ ගැන අහපු එක.

“අයියෝ මල්ලි කැමති ඇඳුමක් ඇඳගෙන එන්න. බයවෙන්න එපා. හැබැයි ඉතිං සයන්ස් එකේ ටිකක් විතර රැග් එක තියෙනවා“

ඒ අයියා පුරුපුරුට දුන්නෙ ඒ වගේ උත්තරයක්. මේ වෙද්දි කන්දෙ, දකුණෙ, බෙලිහුල්ඔය, අනුරාධපුරේ වගේ කැම්පස් වල රැග් තියෙනවා කියලා අහලා තිබුනත් පූසා කවදාවත් අහලා තිබුනෙ නෑ තුම්මුල්ල සක්වල තක්සලාවෙ රැග් තියෙන වගක්. ඉතිං අයියාගෙ උත්තරෙන් තක්බිරිෆයිඩ් වුණ පුරුපුරු තීරණය කළාලු ඔය විකාර කතා ගන්න ගන්නෙ නැතුව පහුවදා කැම්පස් එකට යන්න.

ඉතිං පහුවදා උදේම නැගිටපු පූසා දෙමව්පියන්ට වැඳලා එහෙම පිටත් වුණාලු තමන්ගෙ ජීවිතයේ දෙවෙනි චැප්ටර් එක පටන් ගන්න. මෑන්ස් සැරසිලා ගියේ සාමාන්‍ය දිග කලිසමකින්, උඩින් දාපු ෂර්ට් එකකින් සහ පටි සෙරෙප්පු (සැන්ඩ්ල්ස්) දෙකකින්. වෙනදා ඉස්කෝලෙ යන කාලෙ හැමදාම දැක්කත්, තුම්මුල්ලෙ සුවිසාල මාර ගස් පේළිය යටින් යද්දි අපේ යාලුවාට දැනුනෙ වචනයෙන් විස්තර කරන්න බැරි අමුතු හැඟීමක්. 

“අඩේ මමත් දැන් කැම්පස් කොල්ලෙක් එහෙනං!!!“

පූසාට හිතුනේ ඒ වගේ. කොහොමහරි කැම්පස් ගේට්ටුවෙන් ඇතුලට යද්දි ලොකු බැනර් එකක් ගහලා තිබුනා අලුතින් එන නංගිලා මල්ලිලා සාදරයෙන් පිළිගන්නවා කියලා.

“අනේ කොච්චර හොඳ අයියලා අක්කලා සෙට් එකක්ද?“

පුරුපුරුට එහෙම හිතුනලු. ඉතිං ගෙදරට ආපු ලියුමෙ හැටියට අලුත් ළමයින්ට එන්න කියලා තිබුනේ නව කලාගාරය, එහෙමත් නැත්තං “නැට්“ කියලා ළමයි හඳුන්වපු ගොඩනැගිල්ලට. ඒ නිසා අපේ පූසා ගේට්ටුව පහු කරලා කැම්පස් එක මැදින් ගියාලු නැට් එක තියෙන තැනට. මේ වෙද්දි සීනියර් අයියලා නවකයෝ එන පාර දෙපැත්තේ ගිජුලිහිණියෝ රැළක් වගේ රැකගෙන බලාගෙන හිටියේ. අයියලා තමන් දිහා බලපු බැල්මෙනං කිසිම සාදරයෙන් පිළීගැනීමේ සලකුණක් තිබුනෙ නෑ කියලයි පුරුපුරුට හිතුනේ. කොහොම වුණත් ඒ තමන්ගෙ ඔලුවට එන මනස්ගාත කියලා හිතපු පූසා කෙලින්ම කලාගාරය පැත්තට ගියාලු.

පුරුපුරු යනකොටත් ගොඩක් ළමයි නැට් එක ඉස්සරහට ඇවිත් පිරිලයි හිටියේ. ගොඩක් ළමයි පූසා වගේ තනියම ඇවිත් හිටියත් දෙමව්පියෝ එක්ක ආපු ළමයිනුත් සෑහෙන්න පිරිසක් එතන හිටියා. ගෑනු ළමයි වෙනමත් පිරිමි ළමයි වෙනමත් තමයි රංචු ගැහිලා හිටියේ. ඉතිං එතන හිටපු ළමයි එක්ක කතා බහ කරලා අඳුරගනිද්දි තමයි පුරුපුරු දැක්කේ කුරුඳුවත්ත ඉස්කෝලෙ තමන් එක්ක පොඩි කාලෙ එකට ඉගෙන ගත්තු යාලුවො කීප දෙනෙකුත් එතන හිටපු බව. විශේෂයෙන් පොඩි කාලෙ තමන්ගෙ හොඳ යාලුවෙක් වෙච්ච කොළොම්බාසුත් ඒ ගොඩේ හිටියා. මෑන්ස් ඒ ලෙවල් වලට මැත්ස් කරපු හින්දා පස්සෙ කාලෙක කොළොම්බාස් හිටියේ වෙනම ක්ලාස් වල. පොර කැම්පස් ඇවිත් හිටියේ ෆිසිකල් සයන්ස් කරන්න.

ඉතිං ඔය විදිහට ටික වෙලාවක් යද්දි ඇවිත් හිටපු ළමයින්ම නැට් ශාලාව ඇතුලට දැම්මා. ඒ වෙනකොටත් ළමයින්ගේ ඇතුලත්වීමේ අංක පුටුවල ලියලයි තිබුනේ. ඉතිං තමන්ට නියමිත පුටුව හොයාගත්ත පූසා ඒකෙ වාඩි වුණාලු. මුලින්ම කට්ටියට තිබුනේ ඉංගිරිසි විභාගයක් ලියන්න. මේ කැම්පස් ගිය පළවෙනි දවසෙම මොන විභාගද? ඉතිං පුරුපුරු ඕනෑවට එපාවට වගේ එග්සෑම් එක කරලා දැම්මලු. පස්සෙ තමයි මෑන්ස් දැනගත්තේ ළමයින්ව පන්ති වලට බෙදන්නේ ඒ විභාගයේ ලකුණු අනුව බව.

ඒ කියන්නේ එග්සෑම් එකේ ඉහළම ලකුණු ගත්ත ළමයි වැටෙන්නේ 12 කියන පන්තියට. ඔය වගේ නොම්මරේ අඩුවීගෙන ඇවිත් අඩුම ලකුණු තියෙන ළමයින්ව වැටෙන්නේ 1 කියන පන්තියට. මේ සිස්ටම් එකට ක්ලාස් බෙදලා තියෙන්නේ ඒ ඒ දැනුම් මට්ටමේ ළමයින්ට ඒ අයට ගැලපෙන විදිහට උගන්නන්නයි කියලයි කට්ටියට ආරංචි වුණේ.


විභගේ ඉවර වුණාට පස්සේ තමයි කැම්පස් එකේ වගකිව යුතු බලධාරීන්ගේ කතා පටන් ගත්තේ. ඒ අනුව උප කුලපතිතුමා (වීසී), පීඨාධිපතිතුමා (ඩීන්) වගේම සයන්ස් ස්ටුඩන්ට්ස් යූනියන් එකේ සභාපතිත් අලුත් ළමයින්ට කන් දෙකෙන් බේරෙන්න සයිස් එකේ උපදෙස් ගොඩාරායක් දුන්නලු. කැම්පස් එකේදි හරියට අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නෙ කොහොමද? විනය ගරුකව හැසිරෙන්නෙ කොහොමද? ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ වගකීම් වගේ ගොඩක් කරුණු ගැන ඉඳගෙන හිටපු කොල්ලො කෙල්ලන්ගෙ පස්සවල් රිදෙනකං මේ කට්ටිය දේශන පැවැත්තුවලු. ඒත් ඉඳගෙන හිටපු පුරුපුරුගෙ කන් දෙකෙන් දුම් විසිවෙන්න පටන් ගත්තේ හෝල් එක ඇතුලෙ තිබුන රස්නෙටත් වඩා ඩීන් සර් කියපු එක්තරා කතාවක් හින්දා.


සයන්ස් ෆැකල්ටි එකේ තියෙන එක එක උපාධි ගැන කතා කරද්දි ඩීන් සර් අන්තිමට නැවතුනේ පුරුපුරු ඇතුලත් වෙච්ච අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධිය ළඟ.


“ඔව් අපි අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධියට තෝරගත්තු ළමයි හැට දෙනාගෙන් 18 දෙනෙකුට සිව් අවුරුදු විශේෂ උපාධි දෙනවා. ඉතුරු කට්ටියට පුලුවන් අවුරුදු තුනේ ජෙනරල් ඩිග්‍රි එක අරගෙන අයින් වෙන්න“


ඩීන් සර් මෙහෙම කියද්දි හීන් දාඩිය මහ දාඩිය වෙලා පූසාගේ ඇඟ දිගේ ගලාගෙන ගියේ මෑන්ස්ටත් හොරෙන්ම වගේ. 


“අවුරුදු තුනයි??? මේ යකාට පිස්සුද?“


අම්බානට කලබල වෙලා හිටපු පුරුපුරුට හිතුනේ මෙහෙමයි. ඇත්තටම මෙතනදි වැරදීම වෙලා තිබුනේ ඩීන් සර්ට නෙවෙයි, අපේ පූසාට. මොකද තුම්මුල්ල සක්වල තක්සලාවෙන් දෙන අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධිය අවුරුදු තුනේ උපාධියක් (ඒ දවස්වල). ඉතිං සිලෙක්ට් වෙන ළමයින්ගෙන් පළවෙනි අවුරුදු දෙකේ හොඳම රිසාල්ට් දාන ළමයි 18 දෙනෙකුට විතරයි ස්පෙෂල් ඩිග්‍රි එක දෙන්නේ. ඒත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මේක ගැන සඳහන් කරලා තිබුනේ හැමෝටම අවුරුදු හතරක උපාධියක් හම්බවෙන විදිහට. ඉතිං කැම්පස් එනකංම පුරුපුරු හිතාගෙන හිටියේ ඒ විදිහටලු.


දැන් පූසාට තියෙන ප්‍රශ්නෙ මේ වගේ ගොනාට ඇඳගත්තේ තමන් විතරක්ද කියන එක. වස ලැජ්ජාවයි. අප්සට් කෝටියයි. දැන් ගෙදර ගිහින් ගෙදර මිනිස්සුන්ට මොකද්ද කියන්නේ? ඒ මදිවාට හිනාවෙන්න බලාගෙන ඉන්න නෑදෑයන්ටයි අසල්වැසියන්ටයි? ෆස්ට් ෂයි කැම්පස් යන්න එපා කියලා මෙඩිසින් යන්න බලාගෙන තව පාරක් විභාගෙ කරන්නයි කිව්ව කස්ටියට ෆේස් කරන්නෙ කොහොමද? ඉතිං මේ විදිහට අපේ යාලුවා පත්වුණේ මෑන්ස් ජීවිතේ පත් වෙච්ච අසරණම අවස්ථාවකට.


එහාපැත්ත බලපු පුරුපුරුට පෙනුනේ මෑන්ස්ට එහායින් වාඩිවෙලා හිටපු කොල්ලත් අම්බානට බයවෙලා, රතුවෙලා ඉන්න හැටි. එතකොට තමයි පූසාට තේරුනේ මේ අවාසනාවන්ත ඉරණමට ෆේස් කරලා ඉන්නේ තමන් විතරක් නොවෙන වග. ඉතිං පුරුපුරු ෂේප් එකේ මෑන්ස්ට කතා කළාලු.


පුරුපුරු :- මචං! උඹ එම්.බී* ද කරන්නේ?

කොල්ලා (කෂියා) :- ඔව් මචං! උඹත් එම්.බී ද කරන්නේ? මොකද්ද බං මේ කියන්නේ ඩිග්‍රිය අවුරුදු තුනයි කියලා?


පුරුපුරු :- ඒක තමයි මචං. මම දැනුයි දන්නේ මේ ගැන. දැන් ස්පෙෂල් සිලෙක්ට් වෙන්න බැරි වුණොත් ආපු එකෙන් වැඩකුත් නෑ. ඒ මදිවාට මම ඩෙන්ටලුත් අතෑරලා ආවේ.


කෂියා :- අඩෝ මම දැනගෙන හිටියෙත් නෑ. යූජීසී එකේ තිබුනේ අවුරුදු හතරයි කියලනේ. මම මේ මෙඩිසින් යන්නෙත් නැතුව මේකට ආවේ.


බලාගෙන ගියාම කෂියා මාතර පැත්තේ ප්‍රසිද්ද ඉස්කෝලෙක හොඳ රෑන්ක් එකක් දාපු බුවෙක්. මෑන්ස් වගේම ගොඩක් ළමයි කැම්පස් එකට එද්දි උපාධිය අවුරුදු තුනයි කියලා දැනගෙන හිටපු නැති බව පූසාට ආරංචි වුණේ පස්සෙ කාලෙක. මොකද ගොඩක් වෙලාවට ළමයෙක් කැම්පස් එකට එද්දි තමන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පාඨමාලාව ගැන තොරතුරු දැනගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. ඉතිං ඒ අය එම්.බී උපාධිය අවුරුදු හතරයි කිව්වට පස්සේ ඒ ගැන අමුතුවෙන් හොයලා බලන්න කාටවත් උනන්දුවක් තියෙන්න නැතුව ඇති. ඇරත් අලුතින්ම පටන් ගත්ත උපාධියක් ගැන දන්න කට්ටිය සමාජයේ ඉන්නෙත් ගොඩක් අඩුවෙන් නොවැ!


කොහොම වුණත් මේ ගැන හිත හිතා ඉන්න විදිහක් අපේ යාලුවන්ට තිබුනේ නෑ. නැට් ශාලාවේ වැඩ කටයුතු ඉවර වෙච්ච ගමන් අලුත් ළමයින්ව පෝළිමේ කැම්පස් එකේ වෙනම පැත්තකට යවන්න සීනියර් අයියලා කටයුතු කළාලු. ආරක්ෂකයෝ පිරිවරාගෙන මේ පෝළිමේ යද්දි පුරුපුරුට දැනුනේ දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ නාසි වද කඳවුරකට ගෙනියන යුදෙව්වෙකුට වගේ හැඟීමක්. ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

*තුම්මුල්ල සක්වල තක්සලාවේදී අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායනවිද්‍යාව උපාධිය කෙටි නමින් හඳුන්වන්නේ එම්.බී කියලයි.

ප.ලි - උපදේශය - ජීවිතේ බරපතල තීරණයක් ගන්න හැම තිස්සෙම ඒ ගැන හොඳට හොයලා බලන්න. විශේෂයෙන් විශ්ව විද්‍යාල පාඨමාලාවක් තෝරාගන්න කලින් කැම්පස් එකටම ගිහින් ඒ ගැන තොරතුරු හොයා ගන්න එක හොඳයි. (අලුත් පාඨමාලාවක්නම්)

Sunday, March 18, 2012

කැම්පස් ලයිෆ්



වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.

ඉතිං පුරුපුරුට නින්ද නොගිය එක අහන්නත් දෙයක්යැ නේද? අවුරුදු දෙකක් තිස්සේ තමන්ගෙ කාලෙයි, සල්ලියි, මහන්සියයි වියදම් කරගෙන අමාරුවෙන් ෆේස් කොරපු විභාගේ ප්‍රතිඵල එද්දි හිත සලිත නොවී තියෙන්නේ කොයි මනුස්පයාගෙද? කොහොමහරි ඉතිං අපේ යාලුවා ටිකක් එළි වෙනකං බොහොම ටෙන්ෂන් එකේ තමයි හිටියේ. පපුවත් රත් වෙලා නිකං බිත්තරයක් දැම්මනං ඔම්ලට් වෙන ගානට.

අපේ පූසො සෙට් එක කතා වුණේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට යන්න කලින් ඉන්ටර්නෙට් එකෙන් බලමු කියලා. මොකද කට්ටිය කර කර හිටපු පිස්සු අප්සට් වැඩ වල හැටියට ඉස්කෝලෙ ගුරුවරුන්ට කියන්න තරම් ප්‍රතිඵලයක් ඒවි කියලා කවුරුවත් හිතුවෙ නෑ. කොහොමහරි පුරුපුරු ඒ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටපු හින්දා අනිත් පූසො එකඟ වුණාලු ගම්පහට ගිහින් ප්‍රතිඵල බලලා පුරුපුරුටත් කියන්න. ඒ දවස්වල අපේ පූසො කාටවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒ වගේම මුලු පූස්ගමටම ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබුනෙත් නෑ. ඉතිං මේ හින්දා රිසල්ට් බලන්න ගම්පහටම යන්න සිද්ද වෙලයි තිබුනේ.

ඔය විදිහට කාලෙ ගතවෙලා ටිකක් දවල් වුණාම තමයි මාලුකට්ටාගෙන් පුරුපුරුට මෑන්ස් බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක ආවේ. පුරුපුරුට මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නැති හින්දා මාකට් කෝල් එක දුන්නේ පූසාගේ ගෙදර ෆෝන් එකට.

“පුතේ! පුතේ!! මෙන්න මාලුකට්ටා පුතා කතා කරනවා...“

පුරුපුරුගෙ අම්මා කෝල් එක ආන්සර් කරලා පුරුපුරුට කෑ ගැහුවා. අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ගිහින් ෆෝන් එක ආන්සර් කළා. මාලුකට්ටායි, උපාසකයි ඒ වෙද්දි කට්ටියගෙම රිසල්ට්ස් බලලා. මෑන්ස් කියපු හැටියට මාලුකට්ටාගෙයි, උපාසකගෙයි, ඤාව්වාගෙයි රිසල්ට් අනුව ඒ අයට තව පාරක් විභාගෙ කරන්න වෙන තත්ත්වයකුයි තිබුනේ. මී කතුරාටනං යන්තං සතුටුවෙන්න පුලුවන් ප්‍රතිඵලයක් ඇවිත් තිබුනා. ඔය විදිහට මාලුකට්ටා පුරුපුරුගෙ ප්‍රතිඵලේ කිව්වේ කමල් අද්දරආරච්චි සුපර් ස්ටාර් අවසන් තරඟයේ ප්‍රතිඵල කියන්නා වගේ.

“මචං පුරුපුරු, උඹට බයෝ වලට “ඒ“ එකක් තියෙනවා“

මාලුකට්ටා මෙහෙම කියද්දි පුරුපුරුට ඇතිවුණේ ලොකු සතුටක්. බයෝ වලට ආපු ප්‍රතිඵලේනං අපේ පූසා කොහොමත් බලාපොරොත්තුවෙන් හිටපු එකක්.

“පුරු, උඹට ෆිසික්ස් වලටත් “ඒ“ එකක් තියෙනවා“

මාකට් මෙහෙම කියද්දිනං අපේ පූසාට ඇස් අදහාගන්න බැරි වුණා. ඇත්තටම පුරුපුරු කවදාවත් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ ෆිසික්ස් වලට ඒ එකක් එයි කියලා. කොහොමහරි ඉතිං මේ සබ්ජෙක්ස් දෙකටම ඒ ආපු එකේ පුරුපුරු හිතුවේ මෑන්ස්ගෙ ෆේවරිට් සබ්ජෙට්ටුව වෙච්ච කෙමිස්ට්‍රි වලටත් ඒ එකක්ම එයි කියලා.

“මචං පොඩි කේස් එකක් තියෙනවා, උඹට කෙමිස්ට්‍රි වලටනං තියෙන්නෙ බී එකක්“

මිල්ස් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. බැලින්නං පූසා කෙමිස්ට්‍රි විභාගේ එච්චරම හොඳට කරලා නෑ. කොහොමත් භෞතික රසායනය රචනා ප්‍රශ්නයක් ජෝන් බාස්ට ගිය වෙලේම පුරුපුරුට හිතුනා ඒ එකක් ගැන තිබුන බලාපොරොත්තුව බොඳ වෙලා ගියයි කියලා. කොහොම වුණත් මෑන්ස්ට හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් එක්ක හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් ඇවිල්ලා තිබුනා. ඉතිං පූසාට තේරුම් ගියාලු තමන් යන්න බලාපොරොත්තුවෙන් හිටපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව උපාධියට ඇතුලත් වෙන්න මේ ප්‍රතිඵලයෙන් පුලුවන් වෙයි කියලා.

කැම්පස් යන්න පුලුවන් මට්ටමේ හිටියත් අපේ පුරුපුරුට කිසිම හැකියාවක් තිබුනෙ නෑ ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න. මොකද හැමදාමත් දුකේදි සැපේදි එකට හිටපු අනිත් පූසො රංචුවට සතුටු වෙන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල ඇවිත් තිබුනේ නෑ. ඒ වගේම වචනෙන් නොකිව්වත් පූසො කට්ටිය ඒ ගැන ගොඩක් දුකින් ඉන්නේ කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. ඉතිං උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායි, මී කතුරායි තීරණය කළාලු දෙවෙනි පාරටත් විභාගෙ ලියන්න රිවිෂන් ක්ලාස් යන්න.

මෙහෙම කල් ගතවෙලා හවස් වෙද්දි තමයි පුරුපුරුට තේරුම් ගියේ තමන් තමන්ගෙ ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වුණාට ගොඩක් දෙනෙක්ට එහෙම හිතිලා නෑ කියලා. නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් වගේම පවුලේ හිතවතුන්ගෙනුත් පළවුණේ එක වගේ අදහස්.

“පුතා රෑන්ක් එක 250 නං හොඳයි. ඒත් මෙඩිසින් යන්න ටිකක් අමාරු වෙයි නේද? අන්වාර්යයෙන්ම ඊළඟ පාරත් එග්සෑම් කරන්න“

“මොලිකියුලර් බයෝලොජි? ඒ මොකද්ද? ඔය අලුත් කෝස් වලට යනවට වඩා හොඳ නැද්ද ඊළඟ පාරවත් මෙඩිසින් යන්න එග්සෑම් කරගත්තොත්? “

“ආපහු එග්සෑම් කරන්න බැරිමනං ඩෙන්ටල් වලටවත් යන්න. නැත්තං ඔයා ලෝක අමාරුවක තමයි වැටෙන්නෙ“

“මෙඩිසින් කරන්න ආස නෑ??? මේ ළමයට මොනවා වෙලාද මන්දා? එහෙනං ඒ ලෙවල් වලට මැත්ස් නොකර බයෝ කළේ අහවල් දේකටද?“

“අපරාදෙනෙ පුතේ! තව දෙපාරක් විභාගෙ කරන්න චාන්ස් එක තියෙද්දිත් ඇයි මේ වගේ තීරණයක් ගත්තේ?“

“ඔය කියන්නෙ මයික්‍රොබයෝලොජි ගැනද?“

“ඔය ඩිග්‍රිය කළාට පස්සේ ලංකාවෙ කරන්න ජොබ්ස් එහෙමත් නෑ නේද?“

“හරි ඉතිං, බැරිමනං ඩෙන්ටල් හරි වෙට් වලට හරිවත් යන්නකෝ. ඒ අයටත් කැම්පස් අවුට් වුණාට පස්සේ ඩොක්ටර් කියලනේ කතා කරන්නේ“

“බයෝටෙක්නොලොජි කියන්නේ ඉතිං ඉස්සරහට ලෝකෙ ඩිවලොප් වෙන ඒරියා එකක් තමයි. ඒත් ඉතිං? අනේ මන්දා??“

අපේ පූසාට කට්ටියගෙන් සුභපැතුම් වෙනුවට ලැබුනේ ඔන්න ඔය වගේ ප්‍රතිචාර. ඇත්තටම මේවා අහපු පූසා අම්බානට මානසිකව වැටිලයි හිටියේ. ඒත් හොඳ වෙලාවට මෑන්ස්ගෙ දෙමව්පියන්ගෙ අදහස වුණේ පුරුපුරු හොඳයි කියලා හිතන දේ කරන්න කියන එක. මොකද ඒ අය කිව්වේ පුරුපුරු ආස නැති දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා ආස දෙයක් කරන එක හොඳයි කියලා. කොහොමවුණත් එදා තමයි පුරුපුරුට තේරුනේ හැමෝගෙම අදහසට විරුද්ද වෙලා කැම්පස් ගිහින්, ඒ වැඩේ හරියට කරගන්න බැරිවුණොත් කොයිතරම් චාටර්ද කියලා. මොකද ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නේ

“ඕකනෙ අපි මුලදිම කිව්වේ! අපි කියපු දේ අහලා තව පාරක් විභාගෙ කළානං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ!!“

කියලා කියන්නයි කියලා පූසාට තේරුම් ගිහින් තිබුනේ. අන්තිමට කොහොමහරි අපේ පූසා අන්තිමට තීරණය කළාලු තුම්මුල්ල සක්වල තක්සලාව විසින් කන්ඩක්ට් කරපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාවට ඇතුල් වෙන්න.

පුරුපුරු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න ගත්තු තීරණය හින්දා සුදුපූසිත් තීරණය කළාලු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න. සුදුපූසිගෙ රිසාල්ට් අනුව එයාට ජෛවීය විද්‍යාව හදාරන්න යන්න පුලුවන්කම තිබුනා. කොහොමහරි පාඨමාලා වලට අදාල ඉසෙඩ් ස්කෝර් අගයන් එද්දි පුරුපුරුව හිතපු විදිහටම උඩින්ම කෝස් එකට තේරිලා තිබුනා. ඒත් අවාසනාවට සුදුපූසිව සිලෙක්ට් වුණේ කන්ද උඩ සක්වල තක්සලාවට. ඔය විදිහට තමයි අපේ පූස් ජෝඩුවට කැම්පස් දෙකකට යන්න සිද්ද වුණේ.


ඉතිං 2007 අවුරුද්දෙ ජූලි මාසෙදි තමයි අපේ යාලුවා ඇතුලු කට්ටියව කැම්පස් වලට ගත්තේ. ඉතිං ඔය විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙච්ච අපේ පූසාට ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.