අඹ යාලුවෝ

Tuesday, June 28, 2011

කිං බීජේ (King BJ)


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මම ආපහු බ්ලොග්කරණයට ආවා. ඇත්තටම පහුගිය දවස්වල පට්ටම බිසී එකේ තමයි හිටියෙ. කොටින්ම බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. දැන් වුණත් ඉතිං ලියන්න කියලා මහලොකු වෙලාවක් නෑ. ඒත් ඉතිං බ්ලොග් කාරයෙක්ට ලියන්නැතුව ඉන්නවා කියන්නෙ කොච්චරනං අමාරු දෙයක්ද කියලා කට්ටය දන්නවා ඇතිනෙ. ඇරත් පහුගිය දවස්වල අපේ යාලුවො සමහරු බ්ලොග් එකට ඇවිත් අපිට මක්ක වුනාද කියලා හොයලත් තිබුණා. ඉතිං මම අන්තිමට කීරණය කලා ඕන මගුලක් කියලා ආපහු බ්ලොග් කෙරුවාව පටන් ගන්න. දැන් ඔන්න තමන්ගෙ බ්ලොග්වල අපිට දාල තිබ්බ ලින්ක් ඩිලීට් කරපු යාලුවන්ට ආපහු ඒවා දාන්න චාන්ස් එක තියනවා හොඳේ!


අපි ඉතිං අන්තිම කාලෙ කිය කියා හිටියෙ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං මෑන්ස් එක්ක හිටපු අනිත් ප්‍රිෆෙක්ට් යාලුවො තමයි කී බිජේ, හාරිස්, ජුවාන්, පොල්පොට්, තාරබාසු, කංජිනාත් සහ සෝමෙ අයියා. මේ කට්ටිය අතරින් ගොඩක් විශේෂ කෙනෙක් තමයි කිං බීජේ කියන්නෙ. ඔන්න දැන් BJ කිව්වම කැත විදිහට එහෙම හිතනවා නෙවෙයි හොඳේ? කිං BJ කියලා කිව්වෙ  බඩජාරි රජා කියන එකට. දැන් ඉතිං කියන්නත් කලින් කට්ටියට හිතාගන්න පුලුවන්නෙ කිංගෙ ආහාර රටාව ගැන?




ඇත්තටම ඉස්සර ඉඳන් පුරුපුරු පාසල් ජීවිතේ ෆේස් කරපු ප්‍රධානම ගැටලුවක් තමයි කිං එක්ක කෑම කන්න වෙච්ච එක. මොකද බත් මුලක් එහෙම ගෙනාවොත් ඒක දිගඅරින්නත් ඉස්සරවෙලා ඇතුලෙ තියෙන ප්‍රෝටීන් ආහාරය අතුරුදහන් වෙලා ඉවරයි. ඕනනං වැඩිම වුණොත් ප්‍රෝටීන් ආහාරයෙ නෂ්ඨාවශේෂ කිංගෙ කට ඇතුලෙ තත්ත්පරයක් දෙකක් යනකං පෙනෙයි. ඉතිං ඔය විදිහට අවුරුදු ගානක් තිස්සෙ ක්ලාස් එකේම ළමයින්ගෙ බත්මුල් වලට විදලා විදලා, අන්තිමට කිං බිජේ හිටියෙ පල්ලියෙ මංගල්ලෙට කලින් හොඳට කන්න බොන්න දීලා හදපු සූකරයෙක් ගානට.


කොහොමහරි ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය ඒ ලෙවල් කරන්න හොස්ටල් එකට එන්ටර් වුණා කියමුකො. දැන් ඉතිං උදාවෙලා තියෙන්නෙ අපේ සෙට් එක හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩකරන පළවෙනිම දවසෙ ඩිනර් එකලු. සාමාන්‍යයෙන් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා කරන්නෙ ටිකක් පරක්කු වෙලා කන්න පටන් අරගෙන අනිත් ළමයි හැමෝම කාලා ඉවරවෙලා යනකං ඉන්න එක. මේ බව අපේ යාලුවො කිං බීජේට කලින්ම කියලා තිබුනෙ කිංගෙ ආහාර ස්වභාවය මුලු කුරුඳුවත්ත ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද රහසක් වෙලා තිබුන හින්දා. ඒත් ඉතිං අවාසනාවක මහත! එදාට තමයි ඒ සතියෙ තිබුන ස්පෙෂල් ඩිනර් එක යෙදිලා තිබුනෙ.


සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ස්පෙෂල් ඩිනර් එකට ප්‍රින්සිපලුයි, හොස්ටල් වෝර්ඩ්නුයි සහභාගි වෙන එක කාලයක් තිස්සෙ පැවතගෙන ආපු සම්ප්‍රදායක්.ඉතිං සුපුරුදු විදිහට මේ කියන දවසෙත් ඒ දෙන්නා ඩිනර් එකට සහභාගි වෙන්න ඇවිත් හිටියලු. සාමාන්‍යයෙන් සර්ලා සහ ප්‍රිෆෙක්ට්ස්ලා වාඩිවෙන්නෙ ඩයිනිං හෝල් එකේ ඉස්සරහා තිබුන හෙඩ් ටේබල් එකේ. දැන් ඉතිං අපේ යාලුවො කට්ටියත් බොහොම පිළිවෙලට හෙඩ් ටේබල් එකේ වාඩිවෙලා ඉන්නවලු. ඊට පස්සෙ නියමිත වෙලා තිබුනෙ කට්ටිය කෑම බෙදාගන්න වැඩේ.


සුපුරුදු විදිහට මුලින්ම කෑම බෙදාගත්තෙ ප්‍රින්සිපල් ඇතුලු සර්ලා කට්ටිය. ඊටපස්සෙ හරිනං බෙදාගන්න තිබුනෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච පොල්පොට්ට. ඒත් ඉතිං මේ වෙද්දි ඩිනර් එකට තිබුන ලොකු චිකන් කෑලි, කට්ලට්ස් වගේ ප්‍රෝටීන් ආහාර දැකලා අපේ කිං බීජේට තමන් ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලයි තිබුනෙ. ඉතිං මෑන්ස් කළේ වහාම ක්‍රියාත්මක වෙලා ඔක්කොටම කලින් චිකන් කෑලි තුනකුයි, කට්ලට් තුනකුයි එක්ක අනිත් මාලුපිනිත් බෙදාගත්ත එක. දැන් මෑන්ස්ගෙ බත් එකේ සයිස් එක දැකලා ප්‍රින්සිපල් සර්ත් ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ. ඒ මදිවට ටේබල් එකේ කොනකින් වාඩිවෙලා හිටපු ජුවාන්ටයි, සෝමෙ අයියටයි කෑම මදිවෙලා අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. මේ දෙන්නා දැන් කිං දිහා බල බලා දත් මිටි කනවා.


හැබැයි ඉතිං හොඳම සිද්දිය වුණේ කෑම කන්න පටන් ගත්තට පස්සෙ. මොකද අපේ කිං බිජේ පන්තියෙ ළමයින්ගෙ බත් මුල් කාලා කාලා, කවදාවත් මෑන්ස්ට හිමින් කන පුරුද්දක් තිබුනෙ නෑලු. ඉතිං කට්ටියම එකට කන්න පටන් ගත්තට, අනිත් අය කටවල් දෙකක් කන්නත් ඉස්සරවෙලා අපේ මෑන්ස් මුලු බත් එකම කාලා ආපහු බෙදාගෙනත් ඉවරයි. දැන් ඉතිං අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා කට්ටියට ෆුල් හොල්මන්. ඒ මදිවට ප්‍රින්සිපලුයි, වෝර්ඩනුයිත් ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා. පස්සෙ තමයි කිංට තේරුණේ මේක ඉස්කෝලෙ පන්තිය නොවෙන වග. ඒත් ඉතිං එතකොට මෑන්ස් පරක්කුවෙලා වැඩියි.


**********************************************************************************


ඔය කෑමත් එක්කම අපේ කිං බීජේ ප්‍රිය කරපු අනිත් දේ තමයි බීම. ටිකක් අනුමත වෙන්න තිබුනොත් ඉතිං ඒ වෙනුවෙන් ඕනෙ කැපකිරීමක් කරන්න මෑන්ස් සූදානම්. මේ කියන්න යන්නෙ බීම හින්දා අපේ යාලුවාට වෙච්ච වැඩක් ගැන.




පුරුපුරුලාගෙ ඉස්කෝලෙ සමහර අවුරුදුවල තියෙනවා ලොකු පැරේඩ් එකක්. ඒ කියන්නෙ ඉස්කෝලෙ හැම ස්පෝර්ට් එකක්ම, හැම සොසයිටි එකක්ම, හැම ක්ලාස් එකක්ම නියෝජනය කරලා ලොකු වෝක් එකක් යනවා කොළඹ වටේ රවුමක්. ඉතිං මෙහෙම යනකොට නිකම්ම ඇවිදගෙන යන්නෙත් නෑ, තමන්‍ නියෝජනය කරන දේ අනුව පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් දීගෙන තමයි යන්නෙ. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට, ඇග්‍රිකචල් සොසයිටියෙ කට්ටිය යන්නෙ ගොවියො, වට්ටක්කා ගෙඩි වගේ ඇඳගෙන. ක්‍රිකට් ගහන කට්ටිය යන්නෙ බැට්, බෝල එහෙම අරගෙන ක්‍රිකට් ඇඳුම් දාගෙන.


ඉතිං ඔය විදිහට අපේ කිං බීජේ නිරතවෙලා හිටියෙ චීනෙන් ලංකාවට හඳුන්වලා දීපු මාෂල් ආර්ට් එකක. පුරුපුරුත් ඒකම කළත් මේ වෙද්දි මෑන්ස් ප්‍රැක්ටිස් යන්න පටන් අ‍රගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඒත් කිං බීජේ කියන්නෙ ඉස්කෝලෙ මේ ක්‍රීඩාව නියෝජනය කරපු ටීම් එකේ ප්‍රවීන සාමාජිකයෙක්. ඉතිං පැරේඩ් එක යද්දි මග දිගට පොඩි පොඩි මාෂල් ආර්ට් ඇඩ් ටිකක් දාන්න, එක්ස්පීරියන්ස්ඩ් ප්ලේයර්ස්ලා ටිකක් ටීම් එක බාර සර් විසින් යොදවලා තිබුනලු. ඒ එක ප්ලේයර් කෙනෙක් තමයිලු අපේ කිං බිජේ. (තවත් එක ප්ලේයර් කෙනෙක්නං දැන් ප්‍රසිද්ද බ්ලොග්කරුවෙක් වෙලයි ඉන්නේ.)


ඉතිං ඔය විදිහට කුරුඳුවත්ත පැරේඩ් එක තිබුන දවසත් උදාවුණාලු. දැන් පැරේඩ් එක පටන්ගන්න තව තියෙන්නෙ පැය කීපයයි. ඔය අතරෙ තමයි අපේ කිංට යාලුවො සෙට් එකකින් සිත වශීකරනසුලු ආරාධනාවක් හම්බවුණේ. ඉතිං මේ ආරාධනාව පිළිගන්න කිං බීජේ දෙපාරක් හිත හිතා හිටියෙ නෑ. මොකද ඉතිං අමෘතය පානය කරන්න කවුරුත් හිත හිතා ඉන්නෙ නෑ නොවැ!


කිං :- මචං පුරු, මට අරුන් කට්ටිය සෙට් වෙන්න කතා කළා මචං! මම යනවා. කවුරුහරි මාව හෙව්වොත් කියපං පැරේඩ් එක පටන් ගන්න කලින් මම ආපහු එනවයි කියලා.


පුරුපුරු :- උඹට පිස්සුද යකෝ? උඹට දැන් පැරේඩ් එකේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා නේද?


කිං :- හරි හරි බං! දෙහි සුරා බෝතලේකුයි*, වියළි සුරා බෝතලේකුයි** දෙකක්ම තියෙනවලු. මම කොහොමද නොගිහිං ඉන්නෙ?


පුරුපුරු :- උඹ එතකොට බැලන්ස් නැතුව කරනම් ගහන්නෙ කොහොමද?


කිං :- හික් හික්!! අපිට කවද්ද මල්ලි බැලන්ස් නැතිවුණේ?


මෙහෙම කියපු කිං, පුරුපුරු ආපහු මොනවත් කියන්නත් කලින්ම අනුමත වෙන්න යන්න ගියාලු. කොහොමහරි මෑන්ස් ආපහු ආවෙ පැරේඩ් එක පටන් ගන්න විනාඩි කීපයක් තියෙද්දි. පුරුපුරු බයේ හිටියෙ කිංට වෙරි වෙලා ඩිමොන්ස්ට්‍රේෂන් එක කරගන්න බැරිවෙයිද කියලා. ඒත් ඉතිං දෙයියන්ගෙ පිහිටෙන් මෑන්ස් ගියා වගේම කෙලින් ආපහු ආවලු.


දැන් ඉතිං අපේ යාලුවො කට්ටිය පැරේඩ් එකේ ඇවිදගෙන යනවලු. පුරුපුරු, කිං බීජේ, හාරිස්, ඒ වගේම අර බ්ලොග්කරුවා කට්ටියම දැන් වැඩ දදා යනවලු. පාර දෙපැත්තෙ මිනිස්සු පෝලිම් ගැහිලා අපේ යාලුවන්ගෙ වැඩ කිඩ බලනවලු. ඉතිං ඔය විදිහට මුලින්ම ඩිමොන්ස්ට්‍රේෂන් කරපු කට්ටිය බොහොම ලස්සනට මේ වැඩේ කරගෙන ගියාලු. ඊළගට තිබුනෙ අපේ කිං බීජේගෙ වාරෙ. මෑන්ස්ට කඩු, පොලු වලින් කිසි දෙයක් කරන්න නියමිත වෙලා තිබුනෙ නැතත්, ටිකක් සංකීර්ණ  කරනම් කීපයක් ගහන්නනං නියමිත වෙලා තිබුනලු. ඒ වගේම කිංගෙ වෙලාවට මෑන්ස්ට ඩිමොන්ස්ට්‍රේෂන් එක කරන්න සෙට්වුණේ මෑන්ස් ට්‍රයි කරපු ගෑනු ළමයාගෙ ඉස්කෝලෙ ඉස්සරහමයි.


දැන් ඉතිං කෙල්ලො එකසිය ගානට ඉස්කෝලෙ තාප්පෙ ගාවට වෙලා කට්ටියගෙ පැරේඩ් එක බලනවා. ඉතිං කිංටත් හෙන සතුටුයි. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියනවා වගේ මෑන්ස් කළේ දුවගෙන දුවගෙන ගිහිං එකපාරටම ලොකු කරනමක් ගහපු එක.


දඩාස්..................


එකපාරටම ලොකු සද්දෙකුත් එක්ක ගෙම්බෙක් පොළොවෙ ගැහුවා වගේ සීන් එකක් කට්ටියට දකින්න හම්බවුණාලු. පුරුපුරු අර ඉස්කෝලෙ කෙල්ලන්ගෙ හිනා සද්දෙ මැදින් සෝදිසි කරලා බැලින්නං අපේ කිං බිම වැතිරිලා ඉන්න දර්ශනේ තමයි පූසාට දකින්න ලැබුනෙ. බැලින්නං මෑන්ස්ට නැගිටින්න බැරි ගානට අනුමත වෙලා. අන්තිමට වුණේ එතිල් ඇල්කොහොල් වල බලපෑම හින්දා අපේ යාලුවාට මාස ගානක් යනකං කොල්ලන්ගෙන් බයිට් වෙන්න වෙච්ච එක. ඒත් ඉතිං කිංනම් තමන්ගෙ ඇල්කොහොල් පිළිබඳ තිබුන ලැදියාව පොඩ්ඩක්වත් අඩු කරගත්තෙ නෑ.


දැන් කිං බීජේයි, හාරිසුයි දෙන්නම වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ගිහින් සිංහපුරේ තමයි නතර වෙලා ඉන්නේ. හාරිස්නං මේ බ්ලොග් එක කියවන බව මම දන්නවා. ඔන්න පුතෝ, මේක කිං බීජේට එහෙම පෙන්නනවා නෙවෙයි ඕං!


* lemon gin   ** dry gin

Wednesday, April 13, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 3 (අවසන් කොටස)


අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බසුයි, කර්නලුයි කාමරේ ගඳගස්සන හින්දා, අපේ පුරුපුරුටයි, කිං බීජේටයි උන්ව ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඉතිං අපේ යාලුවො දෙන්නා අන්තිමට තීරණය කළාලු තවදුරටත් මේ ඉබ්බො දෙන්නාව රූම් එක ඇතුලෙ තියාගන්න බැහැයි කියලා. ඒත් ඉතිං ඉබ්බන්ව අයිතිකාරයන්ට ආපහු දෙන්න කියලයැ! අන්තිමට මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් යෝජනා කරන්න පුලුවන් වුණේ කිං බීජේට. ඒ යෝජනාව අනුව පුරුපුරුයි, කිංනුයි එදා හවසම ගියාලු රිචා සර් හම්බවෙන්න.

පුරුපුරු :- සර්, අපේ මේ ජූනියර් හොස්ටල් එක මීට වඩා ලස්සනට තිබුනොත් හොඳයි නේද?

රිචා සර් :- ඔව් ඔව්!! දැන් ඔය ළමයි මොකද්ද කරන්න යෝජනා කරන්නෙ?

කිං බී.ජේ :- සර්, අපි 9 වසර ඩෝම් එක එහාපැත්තෙ පොකුණක් හදමු. ඒ ඉ‍ඩ ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව නිකං අපතේ යනවනෙ.

පුරුපුරු :- ඔව් සර්, පොකුණ හදන එකේ සම්පූර්ණ වගකීම අපි කට්ටිය ගන්නම්.

රිචා සර් :- ආ...බොහොම හොඳ අදහසක්. එහෙනං ඔයගොල්ලො වැඩේ මූලිකත්වය අරගෙන කරන්න. ඔය 9 වස‍රෙ ළමයි නිකං ඉන්න එකේ ඒ කට්ටියට කියලාම වැඩේ කරගන්න පුලුවන්නෙ.

ඉතිං ඔය විදිහට ඉබ්බො දෙන්නාව කාමරෙන් පිටකරගන්න අපේ යාලුවො දෙන්නා ගහපු ප්ලෑන් එක තිතට වැඩ කළාලු. අවශ්‍ය වෙලා තිබුන ප්‍රධානම දේ, ඒ කියන්නෙ සර්ගෙ පර්මිෂන්, දැන් හම්බවෙලා ඉවරයි. තව තියෙන්නෙ මේ ගැන 9 වසරෙ ළමයින්ට දැනුම් දෙන්න විතරයි.

කොහොමහරි එදා ඩිනර් එකෙන් පස්සෙ මේ වැඩේ ගැන පුරුපුරුයි, කිංනුයි 9 වසරෙ ළමයින්ට දැනුම් දුන්නලු. පොකුණ හදන වැඩේට ඒ කට්ටියගෙන් ලැබුනෙ හිතපු නැති තරම් සාර්ථක ප්‍රතිචාරයක්. අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කට්ටිය ලව්වා පොඩි පොකුණක් හදවලා ඉබ්බො දෙන්නාව ඒකට දාන එක. ඒත් අන්තිමට බලද්දි 9 වසරෙ මල්ලිලා කට්ටිය සිමෙන්ති දාලා ලොකු පොකුණක් හදලා තිබුනලු. ඒ මදිවාට කට්ටිය එක එක ජාතියෙ මාලු එහෙමත් ගෙනල්ලා පොකුණට දාලා. වැඩේ ඇත්තටම ලස්සනයි.

ඉතිං පුරුපුරුලා කළේ පහුවදා දවල් වරුවෙ කැස්බස්වයි, කර්නල්වයි මේ පොකුණට ට්‍රාන්ස්ෆර් කරපු එක. දැන් මේ පොකුණ අංගසම්පූර්ණයි. එක එක ජාතියෙ ජලජ පැළෑටි, මාලු මදිවාට දැන් ඉබ්බො දෙන්නෙකුත් පොකුණෙ ඉන්නවා. පොකුණෙ ගොඩක් ඉඩ තියෙන හින්දා ඉබ්බන්ට ඕනතරම් පීනන්නත් පුලුවන්. ඉඳලා හිටලා ගප්පියෙක්ට දෙන්නෙක්ට වගකියන්නත් පුලුවන්. කෑම එහෙමත් ඕනතරම් 9 වසරෙ ළමයි කට්ටිය ගෙනත් දෙනවා. ඉතිං මේ විදිහට කැස්බසුයි, කර්නලුයි තමන්ගෙ ලයිෆ් එක ෆුල් එන්ජෝයි කර කර පොකුණෙ ජීවත් වුණාලු.

පුරුපුරු හොස්ටල් එකෙන් සිකුරාදාට ගෙදර ගිහින් ආපහු එන්නෙ සඳුදා උදේට. ඉතිං මේ වගේ හොස්ටල් එකට ආපු එක සඳුදා දවසක මෑන්ස්ට අහන්න ලැබුනෙ එච්චර සුභ ආරංචියක් නෙවෙයි. ඇඳුම් බෑග් එක තියලා, පොත් ටික අරගෙන ඉස්කෝලෙට යන්න එළියට බහිනකොටම පුරුපුරුව හම්බවෙන්න දුවගෙන ආවෙ 9 වසරෙ පොඩි එකෙක්.

පොඩි එකා :- පුරුපුරු අයියෙ! ඉබ්බො දෙන්නා පොකුණෙ නෑනෙ?

පුරුපුරු :- මොනවා? ඇයි ඔයාලා පොඩ්ඩක් හොයලා බැලුවෙ නැද්ද?

පොඩි එකා :- අපි හෙව්වා. ඒත් හම්බවුණේ නෑනෙ.

මේ ආරංචිය අහපු පුරුපුරු වහාම ගියෙ පොකුණ ළගට. බැලින්නං පොඩි එකා කියපු දේ ඇත්ත. කැස්බස්වත්, කර්නල්වත් පොකුණෙවත්, ඒ කිට්ටුවවත් පේන්න හිටියෙ නෑ. හැබැයි පොකුණෙ හිටපු මාලු ටිකනං කරදරයක් නැතුව හිටියා. මේ වෙද්දි ඉස්කෝලෙ පටන් ගන්න ළග හින්දා ඉබ්බන්ව හරියට හොයන්න වෙලාවක් තිබුනෙ නෑ. ඉතිං ඉස්කෝලෙ ඉවරවෙලා ඉබ්බන්ව හොයන්න හිතාගත්තු පුරුපුරු, පොත් ටිකත් අරගෙන ඉස්කෝලෙට ගියාලු.

මේ වෙද්දි ඉබ්බන්ට මොකක්හරි කරදරයක් වෙලා කියලා සැකයක් මෑන්ස්ට ඇතිවෙලයි තිබුනේ. මොකද සාමාන්‍යයෙන් ඒ දෙන්නාගෙන් එකෙක්වත් වැඩිය ඇවිදින්න යන ජාතියෙ ඉබ්බො නෙවෙයි. ඉතිං අපේ පූසා කළේ ඉස්කෝලෙ ඉවරවෙච්ච හැටියෙම අනිත් ප්‍රිෆෙක්ට්ලා කට්ටියත් ලෑස්ති කරගෙන "සේවින්ග් ඉක්බාල්" මෙහෙයුම පටන් ගත්ත එක. ප්‍රිෆෙක්ට්ලා වගේම 9 වසරෙ ළමයි සෙට් එකත් මේ මෙහෙයුමට දායක වුණාලු.

ළමයි කියපු විදිහට ඉබ්බො දෙන්නාම ඉරිදා හවස පොකුණෙ ඉඳලා තියෙනවා. ඒත් සඳුදා උදේ වෙද්දි තමයි දෙන්නා අතුරුදහන් වෙලා තියෙන්නෙ. කවුරුහරි මේ දෙන්නාව කන්න අරගෙන යයි කියලා හිතන්නත් අමාරුයි. මොකද කැස්බසුයි, කර්නලුයි දෙන්නාම පොඩි හින්දා කන්න තරම් මස් උන්ගෙ ඇඟේ තිබුනෙ නෑ. මෙහෙම හිත හිතා කට්ටිය ඉබ්බන්ව හොයද්දි තමයි එක ළමයෙක් බොහොම ශෝකජනක දර්ශනයක් දැක්කෙ. ඒ තමයි පඳුරක් අස්සෙ තිබුන ඉබි කට්ටක්.

ඉබි කට්ටෙ සයිස් එ‍ක අනුව ඒ කර්නල්ගෙ කටුව කියලා අඳුරගන්න කට්ටියට වැඩි වෙලා ගතවු‍ණේ නෑ. බැලින්නං කවුරුහරි කර්නල් ඉක්බාල්ව මරාගෙන කාලා. හොස්ටල් එකේ කවුරුවත් මේ වැඩේ නොකරපු බව තමයි හැමෝගෙම අයිඩියා එක වුණේ. එහෙනං මේ අමන වැඩේ කළේ කවුද? එතකොටම තමයි පුරුපුරුට මොකද්ද වෙන්න ඇත්තෙ කියලා ක්ලික් වුණේ.


කුරුඳුවත්ත හොස්ටල් එක ගැන දන්න කට්ටිය දන්නවා ඇති ජූනියර් හොස්ටල් එකේ තියෙන කහපාට ගාපු ලොකු බිල්ඩින් එක. මේ බිල්ඩින් එක හද හදා තිබුනෙ මේ සිද්දි ටික වෙච්ච කාලෙදිලු. ඉතිං බිල්ඩින් එකේ වැඩ කරන්න ආපු මේසන් බාස්ලත් නැවතිලා හිටියෙ හොස්ටල් එක ඇතුලෙම හදාගත්තු තාවකාලික මඩුවක. මේ අය දවල්ට වැඩ කරලා රෑට අම්බානට අනුමත වෙන ජාතියෙ කට්ටිය. ඉතිං මේ බාස්ලා බයිට් එකක් නැතුව ඉන්න වෙලාවෙ ඉබ්බන්ව දැකලා, උන්ට පෝරියල් එක දෙන්න ඇති කියන එක තමයි අපේ පූසාගෙ අයිඩියා එක වුණේ.

ඊටපස්සෙ අපේ යාලුවො කට්ටිය කළේ කෝකටත් කියලා බාස්ලා පදිංචි වෙලා හිටපු මඩුව කිට්ටුව පොඩි සර්ච් එකක් දාපු එක. බැලින්නං පුරුපුරු හිතුවා හරි. මඩුවෙ ඉඳලා ටික දුරක් වෙන්න තිබුන ගඩොල් ගොඩක් අස්සෙ තිබිලා කට්ටියට පුලුවන් වුණා කැස්බස්ගෙ කට්ටත් හොයාගන්න. අන්තිමට බලද්දි ඒ පවුකාරයෝ කැස්බස්වයි, කර්නල්වයි මරලා බයිට් එකට අරගෙන. දැන් ඉතිං අපේ යාලුවන්ට බාස්ලාව ඌර්ධවපාතනය කරන්න තරම් ෆ්ලවර් ජම්ප් වෙලා. ඒත් ඉතිං මේ වැඩේ බාස්ලා කරපු එකක්ම කියලා හරියටම කියන්නෙ කොහොමද?

ඔන්න ඔතනදි තමයි පුරුපුරු ඇතුලු අපේ යාලුවො කට්ටිය අසරණ වුණේ. බාස්ලා කැස්බස්වයි, කර්නල්වයි මරපු බවට ඔප්පු කරන්න විදිහක් මේ කට්ටියට තිබුනෙ නෑ. ඉතිං හොස්ටල් එකේ වගකිවයුතු පිරිසක් විදිහට, ඔප්පු කරන්න බැරි කාරනයක් වෙනුවෙන් බාස්ලා එක්ක වලියක් දාගන්න විදිහක් අපේ යාලුවන්ට තිබුනෙ නෑ.

අන්තිමට පුරුපුරුයි, කිං බීජේයි වගේම 9 වසරෙ ළමයි කට්ටියත් බොහොම දුකෙන් ඒ දවස් කීපය ගතකළාලු. කැස්බස්ගෙයි, කර්නල්ගෙයි මරණ ඉතිහාසයට එකතු වුණේ හඳුනා නොගත්තු අභිරහස් ඝාතන විදිහට. එදායින් පස්සෙ කවදාවත් අපේ යාලුවො හොස්ටල් එකේ සුරතල් සත්තු ඇතිකළෙත් නෑ. ඉබ්බන්ට ගේම දුන්න මේසන් බාස්ලාටත් මොනවා වුණාද දන්නෙත් නෑ. අන්තිමට ඉතුරුවුණේ කුරුඳුවත්ත හොස්ටල් එකට අලුත් බිල්ඩින් එකක් විතරයි.

Sunday, April 10, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 2


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බස්ව හොස්ටල් එකට ගෙනාපු හැටි. දැන් ඉතිං මූ පුරුපුරුලගෙ කාමරේට වෙලා පට්ට ආතල් එකේ ඉන්නවා. පීනන්න වතුරද, කෑමද හැම එකක්ම ඉතිං ළගටම හම්බවෙනවා නොවැ! ඉතිං ඔහොම දවස් දෙක තුනක් ඉන්නකොට තමයි ඊළග තීරණාත්මක දවස උදාවුණේ.

මේ වෙද්දි පුරුපුරු තමන්ගෙ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක් ඇති කරනවයි කියන ආරංචිය ගොඩක් දෙනෙක් අතරෙ පැතිරිලා තිබුනා. ඉතිං මේක ආරංචි වෙච්ච මෑන්ස්ගෙ එහා පන්තියෙ හිටපු ‍යාලුවෙක් එක දවසක් හදිසියෙම පුරුපුරුව මුණගැහෙන්න ආවා. බැලින්නං මෑන්ස්ගෙ ගෙදරත් ඉබි පැටියෙක් ඉන්නවලු. ඒත් ගෙදර කට්ටියගෙ බරබරේ හින්දා දැන් පොරත් මේ ඉබ්බාව දෙන්න කවුරුහරි හොය හොයා තමයි ඉන්නේ.

යාලුවා :- මචං පුරුපුරු, උඹ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක්ව හදනවලු නේද?

පුරුපුරු :- ආ...ඔව් මචං! ඇයි මොකද්ද කේස් එක?

යාලුවා :- මේ...මං ගාවත් ඉබ්බෙක් ඉන්නවා බං. උඹට කරදරයක් නැත්තං මම ඌවත් උඹට දෙන්නද?

පුරුපුරු :- කරදරයක්නං ඉතිං නැත්තෙත් නෑ බං. හාරිස් කාරයත් මැරෙන්න හදනවා රූම් එකේ ඉබ්බෙක් ඉන්නවා කියලා. හැබැයි ඉතිං කැස්බස් තනියම ඉන්න එකේ ඌට යාලුවෙකුත් හිටියනං හොඳයි තමයි. කමක් නෑ හෙට ඌව ගෙනෙන්කෝ.

යාලුවා :- එල එල!! තෑන්ක්ස් මචං! මම හෙටම ගේන්නං. මේකනං ලොකුම උදව්වක් බං!

පුරුපුරු :- අවුලක් නෑ මචං! හැබැයි ඌ වැඩිය ලොකු නෑනෙ?

යාලුවා :- නෑ නෑ! ඌත් පොඩි එකෙක් තාම

ඉතිං කියපු විදිහටම යාලුවා පහුවදා ඉබි පැටියාව ගෙනාවලු. බැලින්නං ඌ කැස්බස් තරම්ම පොඩි ඉබ්බෙක් නෙවෙයි. කැස්බස් අල්ලකින් බාගයක් විතර සයිස් ඉබ්බෙක්. ඒත් මේ අලුත් ඉබ්බා අල්ලක් විතර ලොකුයි. පුරුපුරුලාට කැස්බස්ව ගෙනත් දුන්න "ඉක්බාල්"ගෙ තාත්තා ආමි එකේ කර්නල් කෙනෙක්. ඉතිං අපේ යාලුවො තීරණය කළාලු මේ අලුතින් ගෙනාපු ඉබ්බාට "කර්නල් ඉක්බාල්" කියලා නම තියන්න. මොකද කැස්බස් එක්ක ඉන්නකොට ඌගෙ තාත්තා වගේ ලුක් එකක් තමයි කර්නල්ට තිබ්බේ.

කොහොමහරි කර්නල්ව රූම් එකට ගේද්දි ඒ බව දැනගෙන හිටියේ පුරුපුරුයි, කිං බීජේයි විතරයි. හාරිස් මේ ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ. ඉතිං එදා හවස රූම් එකේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

හාරිස් :- ඒයි පුරුපුරු, මෙන්න ඒ ගමන රූම් එකේ තව ගල් ඉබ්බෙක්. මූ කොහෙන්ද මෙතෙන්ට පාත් වුණේ?

පුරුපුරු :- මේ...මේ... මේකනෙ බං, කැස්බස් තනියමනෙ බං ඉන්නෙ, ඉතිං ඌට යාලුවෙකුත් නැති එකේ අපි තව ඉබ්බෙක් ගෙනාවා.

හාරිස් :- අපි?

කිං බී.ජේ :- ඔව් බං! ඔන්න ඔහෙ හිටපුදෙන්. පව් අහිංසක සත්තු

හාරිස් :- අහිංසක සත්තු තමයි ***, ඒ වුණාට ඉබ්බො දෙන්නෙක් එක්ක මම මේ කාමරේ ඉන්නෙ කොහොමද? දැනට උඹලා දෙන්නා එක්ක මම මේකෙ ඉන්නෙත් අමාරුවෙන්.

දැන් හාරිස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා කියවගෙන කියවගෙන යනවා. අන්තිමට බොහොම අමාරුවෙන් තමයි පුරුපුරුලා මෑන්ස්ව යථා තත්ත්වයට අරගෙන ආවේ. කොහොම වුණත් කැස්බස් ගැනයි, කර්නල් ගැනයි හාරිස්ගේ හිතේ තිබුන අප්‍රසාදය අඩුවුණේම නෑ.

අන්තිමට තමන් කරගත්තෙ කොයිවගේ ගොංකමක්ද කියලා පුරුපුරුයි, කිං බීජේයි තේරුම් ගනිද්දි තවත් මාසයක් විතර ගතවෙලා තිබුනා. මොකද ඉබ්බො දෙන්නෙක් බේසමේ ඉන්නකොට බේසමේ වතුර එක දවසින් පල් වෙනවා. අනික ඉබ්බන්ගෙ මුත්‍රා පට්ටම ගඳයි. ඉතිං බේසමේ වතුර පල් වුණාට පස්සෙ ආයි කාමරේ ඇතුලෙ ඉන්නවා බොරු.

හැමදාම රෑට හාරිස් පුරුපුරුගෙයි, කිංගෙයි හත්මුතු පරම්පරාවම මතක් කරනවා. ඉතිං හැම රෑකම හොස්ටල් එකේ පොඩි එවුනුයි, රිචා සරුයි නිදාගන්නකං ඉඳලා ඉබ්බන්ගෙ බේසම අස් කරන්න අපේ යාලුවො දෙන්නාට සිද්ද වෙනවා. බේසමේ වතුර අස් කරන්න බේසම උස්සගෙන පල්ලෙහා තට්ටුවට බැහැලා එළියට යන්න ඕනෙ. ඒකයි ඒ වැඩේට හැමෝම නිදාගන්නකං ඉන්න වුණේ. අස් කළාට පස්සෙ අලුත් වතුර එකක් බේසමට දාගෙන ආපහු උඩට නගින්නත් ඕනෙ. ඉතිං ඔය වැඩ කරලායි, හාරිස්ගෙන් බැනුම් අහලායි පුරුපුරුටයි, කිංටයි මාසයක් විතර යද්දි එපා වෙලයි තිබුනේ.

ඒ මදිවාට සමහර දවස්වලට කැස්බස් හරි කර්නල් හරි නැතිවෙනවා. ඊටපස්සෙ උන්ව හොයන්නත් ගොඩක් වෙලා ගතවෙනවා. මොකද කාමරේ බඩු තිබුන අපිළිවෙළ අනුව අලි කොටි හිටියත් ලේසියෙන් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පැයක් දෙකක් හෙව්වට පස්සේ, කොහෙහරි මුල්ලක හිරවෙලා ඉඳලා තමයි ඉබ්බාව අන්තිමට හම්බවෙන්නේ.

ඒ මොන අඩුපාඩු තිබුනත් කැස්බසුයි, කර්නලුයි හින්දා අපේ යාලුවො ඒ දවස්වල හොඳ ෆන් එකක් ගත්තා. පුරුපුරුලාගෙ රූම් එක ති‍බුනෙ කුරුඳුවත්ත විද්‍යාලයයි, තුම්මුල්ල විද්‍යාලයයි වෙන් කරන සීමාවෙ තාප්පෙ අයිනෙමයි. ඉතිං තුම්මුල්ල විද්‍යාලෙ බයෝ ක්ලාස් එකකට පුරුපුරුලාගෙ රූම් එකේ ඉඳලා තිබුනෙ අඩි කීපයක් විතරයි. ඔය ක්ලාස් එකේ තමයි අපේ කලින් කතාවල හම්බවුණ සව්සිරි ඇතුලු ගම්පහ යාලුවො කීපදෙනෙක්ම හිටියෙ. ඉතිං ඉස්කෝලෙ යන්නෙ නැති දවස්වලට පුරුපුරුයි, කිං බීජේයි රූම් එකේ ජනේලෙ ඇරලා සව්සිරිලාට පේන්න ඉබ්බො දෙන්නා අතේ තියාගෙන ඉන්නවා. සව්සිරිලාත් ඉතිං පුරුපුරුලාට එක එක හස්ත සංඥා දක්වනවා.

හාරිස් කියන්නෙ ඒ දවස්වල බොහොම රිලීජස් පොරක්. පොරගෙ වැඩේම භාවනා කරන එකයි, ධර්මය සහ ධනාත්මක චින්තනය ගැන ලියවුණ පොත් පත් කියවන එකයි. කොටින්ම මෑන්ස් තමන්ගෙ වැකේෂන් එක ගතකළේ රටේ ප්‍රසිද්ද හාමුදුරු නමකගෙ ආරණ්‍යයෙ භාවනා කර කර. පොරට හාරිස් කියලා නම වැටෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා. ඉතිං මේ ඉබ්බන්ගෙ ගඳ හින්දා හාරිස්ට බැරිවුණාලු හිත එක්තැන් කරගෙන භාවනා කරන්න. අන්තිමට අවාසනාවන්ත විදිහට මෑන්ස් තීරණය කළේ වෙන රූම් එකකට පදිංචියට යන්න.

හාරිස් ගියාට පස්සෙ රූම් එකේ මීයො සහ කැරපොත්තො ඇරුනම ඉතුරුවුණේ පුරුපුරුයි, කිං බීජේයි, කැස්බසුයි, කර්නලුයි විතරයි. මේ වෙද්දි අපේ යාලුවො දෙන්නා ඉබ්බො නිසා සෑහෙන අපහසුතාවයට පත්වෙලයි තිබුනේ. ඉතිං ටික දවසක් ගියාට පස්සෙ පුරුපුරුයි, කිංනුයි තීරණය කළාලු තවදුරටත් ඉබ්බන්ව රූම් එකේ තියාගෙන ඉන්න වැඩේ කරන්න බෑ කියලා.

අන්තිමට කැස්බස් ඉක්බාල්ටයි, කර්නල් ඉක්බාල්ටයි මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු නේද?

Saturday, April 9, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල්


ඉතිං යාලුවනේ අපි කලින් කිව්වනේ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි. මෙහෙම ඇවිත් ටික කාලෙකින් කොටියා සර් හොස්ටල් වෝඩ්න් තනතුරෙන් විශ්‍රාම ගත්තලු. ඊටපස්සෙ ඒ තනතුරට පත්වුණේ ටොයියා සර්. ඉතිං ටොයියා සර් නව සංකල්පයක් යටතේ තීරණය කළාලු ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ප්‍රිෆෙක්ට්ලා සංඛ්‍යාව වැඩිකරන්න. ඒ හින්දා මෙච්චර කල් සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරුටයි, හාරිස්ටයි සිද්දවුණා පිට්ටනියෙන් එහාපැත්තෙ තිබුන ජූනියර් හොස්ටල් එකට යන්න.

ජූනියර් හොස්ටල් එකේදි අපේ පූසාට නවතින්න සිද්දවුණේ 7 වසරෙ ඩෝම් එක එහාපැත්තෙ තිබුන රූම් එකක. හැබැයි ඒ තනියමනං නෙවෙයි, හාරිසුයි, කිං බී.ජේයි එක්ක. මේ දෙන්නත් පුරුපුරු වගේම බයෝ කරපු හින්දා එකට පාඩම් කරන්න බලාගෙන තමයි තුන්දෙනා තීරණය කළේ එක රූම් එකක නවතින්න. ඒ වගේම මුල් දවස් කීපය හිතුවා වගේම හොඳින් ගතකරන්නත් අපේ යාලුවන්ට පුලුවන් වුණා. හැබැයි ඊටපස්සෙ තමයි රූම් මේට්ලා අතර පොඩි පොඩි ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තේ.

හාරිස් කියන්නේ නියම පිළිවෙළට තමන්ගෙ ජීවිතේ ගතකරපු කොල්ලෙක්. මෑන්ස්ට රූම් එක හොඳට අතුගාලා, අස්කරලා, පිළිවෙළට තියෙන්න ඕනේ. පොත්පත් ගානට අස්කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මෑන්ස්ට භාවනා කරන්න කරදරයි කියලා රූම් එකේ වැඩිය සද්ද බද්ද තියෙන්නත් බෑ.

කිං බීජේ කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. මෑන්ස්ගෙ කිසිම පිළිවෙළක් නෑ. ඇඳුම්, පොත්පත් හැමතැනම. ඒ මදිවට පොරට නිකන් ඉන්න ගමන් හාඩ් රොක් සින්දු අහ අහා ඉන්නත් ඕනෙ. පුරුපුරුට තිබුනෙ මේ දෙන්නගෙම පුරුදුවල අතරමැදි ලක්ෂණ. ඉතිං හාරිස් අමාරුවෙන් අස්කරන රූම් එක කිං බීජේ ඇවිත් වනසනවලු. ඊටපස්සෙ මේ දෙන්නා කරන්නෙ රණ්ඩුවෙන එක. පුරුපුරු ඇවිත් රණ්ඩුව බේරුවාට පස්සෙ තමයි දෙන්නා ආපහු ශේප් වෙන්නේ. ඒත් ඉතිං හොස්ටල් එකෙන්, කඩ්ඩ මීඩියම් බයෝ කළේ මේ දෙන්නා විතරක් හින්දා දෙන්නාටම දෙන්නා නැතුවත් බෑ.

මේ අතරෙ තමයි පුරුපුරුට ඇතිකරන්න අලුත් සුරතලෙක් හම්බවුණේ.

පුරුපුරුලගෙ පන්තියෙ හිටපු මෑන්ස්ගෙ හොඳ යාලුවෙක් තමයි ඉක්බාල් කියන්නෙ. හැබැයි පොරට ඉක්බාල් කිව්වට මෑන්ස්ගෙ ඇත්ත නම ඒක නෙවෙයි. මෑන්ස්ට ඉස්සර ඉඳලාම කිව්වේ "ඉබ්බා" කියලා. පස්සෙ ඒ ලෙවල් කරන්න ගත්තාම "ඉබ්බා" කියන නම පොෂ් වෙලා, "ඉක්බාල්" කියලා ඒ නම වෙනස් වුණා.

හැබැයි ඉක්බාල්ගෙ ගෙදර ඇත්තටමත් ඉබි පැටියෙක් ඉඳලා. මේ වෙද්දි ඌව ගෙදර හදන්න කරදරයි කියලා පොරගෙ අම්මා මෑන්ස්ට බර බරේ දදා තමයි ඉඳලා තියෙන්නෙ. අන්තිමේදි ඉතිං ඉක්බාල් තීරණය කළාලු මේ ඉබි පැටියාව කාට හරි හදාගන්න දෙන්න තීරණය කරන්න. කොහොමහරි අපේ පුරුපුරුත් ඉස්සර ඉඳලා ගොඩක් ආසාවෙන් හිටියේ ඉබ්බෙක්ව ඇතිකරන්න. ඉතිං මේ නිව්ස් එක ඇහුණා විතරයි, අපේ පූසාගෙ ඉහේ මලක් පිපුණා වගේ වුණාලු.

පුරුපුරු :- මචං ඉක්බාල්, උඹ ගාව කාටහරි දෙන්න ඉබ්බෙක් ඉන්නවයි කියන්නෙ ඇත්තද?

ඉක්බාල් :- ආ... ඔව් ඔව් මචං! උඹට ඌව ඕනෙද? මම හෙටම ගෙනත් දෙන්නං. හැබැයි උඹට ඌව ගෙදර අරන් යන්න ගියාම තමයි හෙන කට්ටක් කන්න වෙන්නෙ.

පුරුපුරු :- ගෙදර අරන් යන්න? කවුද කිව්වෙ ඌව ගෙදර අරන් යනවයි කියලා? මම ඌව හොස්ටල් එකේ හදන්නෙ.

ඉක්බාල් :- උඹට පිස්සුද? හොස්ටල් එකේ කොහොමද බං ඉබ්බො හදන්නෙ?

පුරුපුරු :- හරි හරි!! උඹ හෙට ඌව ගෙනෙන්කො. මම කොහොමහරි ඌව හදන්නං.

අන්තිමට ඉතිං ඉක්බාල් කැමති වුණාලු මෑන්ස්ගෙ ඉබි පැටියාව පුරුපුරුට හදාගන්න දෙන්න. හැබැයි ඊටපස්සෙ තමයි වැඩේ අමාරු හරිය තිබුනෙ. දැන් ඉතිං ගිහින් රූම් එකේ ඉබ්බෙක්ව හදන්න හාරිස්ගෙන් පර්මිෂන් ගන්න ඕනෙ. කිං බීජේනං මේ වැඩේට උඩින්ම කැමති වෙන බව ෂුවර්. හැබැයි ඉතිං රූම් එක පිළිවෙළට තියාගන්න කැමති හාරිස් මේ වැඩේට කැමති වෙයි කියලා හිතන්න බෑ.

අන්තිමට ඉතිං හිතපු විදිහටම කිං වැඩේට කැමතිවෙලා, හාරිස් වැඩේට බර බරේ දැම්මා. කොහොමහරි කිංටයි පුරුපුරුටයි පැය ගානක් අඬලා අඬලා පුලුවන් වුණා මෑන්ස්ව ඉබ්බා අරන් එන එකට කැමති කරවාගන්න. හැබැයි ඒ ඉබ්බා‍ අතින් රූම් එකට වෙන හැම හානියක් ගැනම පුරුපුරුයි, කිං බීජේයි වගකියනවා කියලා පොරොන්දු වුණාට පස්සෙ.

ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම පහුවදා ඉක්බාල් තමන්ගෙ ඉබි පැටියාව ඉස්කෝලෙට ගෙනාවා. බැලින්නං ඌ හරිම හුරුබුහුටි, පොඩි ගල් ඉබි පැටියෙක්. පන්තියෙ යාලුවොත් ඉබ්බාව දැකලා ඌට සෑහෙන ආදරේ හිතිලා. කොහොමහරි ඉතිං පුරුපුරුයි, කිංනුයි ඉස්කෝලෙ ඉන්ටර්වල් එක වෙලාවෙ මූව ගෙනිහින් හොස්ටල් රූම් එකෙන් දැම්මා.

ඒ වෙද්දිත් අපේ යාලුවො දෙන්නා ඉබි පැටියාට ඉන්න ලස්සන ගෙයක් හදලයි තිබුනේ. ඒ මේසයක් උඩින් තියපු වතුර පුරවපු බේසමක්. බේසමේ ලී කොටයක්, ගල් කීපයක්, කං කුං දඬු එහෙමත් දාලයි තිබුනේ. ඉබ්බාත් ඉතිං දියට දැම්මාම ඇන්නෑවේ කියලා, බේසමට දාපු ගමන් බොහොම සතුටින් පීනන්න පටන් ගත්තා. හවස් වෙද්දි ජුවාන්, තාරබාසු, පොල්පොට් ඇතුලු අනිත් යාලුවොත් කෑම අරගෙන ආවලු ඉබ්බාව බලන්න. බැලින්නං මූ බත්, පාන්, බනිස් වගේ ඕනෙ කෑමක් කනවා. අන්තිමට ඉතිං කට්ටිය තීරණය කළාලු මේ ඉබි පැටියාට "කැස්බස් ඉක්බාල්" කියලා නම් තියන්න.

ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු.

Thursday, April 7, 2011

පිකිස් - phycis



ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ගඩොල් බාන්න සෙට් වුණා. මුලින්ම අපේ අභීත මහත්තයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කෝල් එකක් දීලා කියලත් සයිබර් බක්මහ උළෙලට එන්න බැරිවෙච්ච එක ගැන. අපිත් ගොඩක් ආසාවෙන් හිටියේ අවුරුදු උත්සවේට එන්න. ඒත් හිතපු නැති විදිහට අපිට එන්න බැරිවුණා. ආපු යාලුවො සිරා ෆන් එකක් අරගෙන තියෙන හැටි ෆොටෝ වලින් දැක්කා. ඊළග එකටනං කොහොමහරි අපිත් එනවා එනවාමයි.


ඒ වගේම අපේ බ්ලොග් එකේ යාවජීව මිතුරෙකුයි, මිතුරියෙකුයි ගොඩ ගිහින් කියලා දැනගන්න ලැබුනා. ඒ තමයි අපේ හසියායි, හා පැටික්කියි. ඉතිං ඒ යුවලටත් සුභම සුභ මංගලම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ( මොකද දැන් කැන්දගෙන ගිහින් ඉවරයිනෙ. හික් හික්!! ). එහෙනං දැන් ඉතිං අපි කතාවට එමුකො නේද?


**********************************************************************************


අපේ පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් ගත්ත හැටි ගැන අපි කලින් කිව්වා නොවැ! ඒ අතරෙ අපි රොබට් ලියනගම සර්ගෙ පිකිස් පන්තිය ගැනත් වෙනම ලිපියක් ලිව්වනෙ. ඉතිං අද අපි කියන්නෙ ඊට පස්සෙ අපේ පුරුපුරුගෙ පිකිස් ජීවිතේට මොකද වුණේ කියන එක.


අපි අර කලිනුත් කිව්වා වගේ රොබට් සර්ගෙ ක්ලාස් එකේ දිගටම රැඳිලා ඉන්නවයි කියන එක හරිම අමාරු වැඩක්. ඉතිං ටික දවසක් යනකොට අපේ යාලුවන්ගෙන් ක්ලාස් එකේ ඉතුරු වුණේ පුරුපුරුයි, ඤාව්වායි විතරයි. උපාසක බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියටත්, මාලුකට්ටා හිස්සැල්ල සර්ගෙ පන්තියටත් යන්න පටන් ගත්තා. ඇත්තටම පුරුපුරුයි, ඤාව්වායි දිගටම රොබට් සර්ගෙ පන්තියේ හිටියේ ඉගෙන ගන්නත් වඩා සර් කියන එක එක කතා වලට හිනා වෙන්න. සර් එක එක මිනිස්සුන්ට බනිද්දි අහගෙන ඉන්න ගොඩක් ළමයි මාර ආසයි.


ඒත් ඉතිං මාස කීපයක් යද්දි සර් බනින එක අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තලු. එතකොට තමයි අපේ පුරුපුරුටයි, ඤාව්වාටයි ක්ලාස් එක එපාවුණේ. ඉතිං මේ යාලුවො දෙන්නා තීරණය කළාලු රොබට් සර්ගෙ ක්ලාස් එකට සමුදෙන්න. ඊටපස්සෙ ඤාව්වාත් කළේ උපාසක එක්ක ගම්පහ බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියට යන්න. මේ අතරෙ තමයි අපේ පුරුපුරු ආපහු හොස්ටල් එකට යන්නෙ.


හොස්ටල් එකේ හිටපු සෙට් එකෙන් හතර දෙනෙක් ගියෙ හිස්සැල්ල සර්ගෙ නුගේගොඩ තිබුන ගෲප් ක්ලාස් එකට. සෝමෙ අයියා ගියෙ බටපැදි සර්ගෙ පිකිස් පන්තියට. හාරිසුයි, කිං බීජේයි කඩු මීඩියම් කරපු නිසා ගියෙ වෙනම ක්ලාස් එකකට. මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ක්ලාස් එක ගැන යාලුවන්ගෙන් අහලා තිබුනු පුරුපුරු කැමති වුණේ නෑ ඒ පන්තියට යන්න. මොකද මෑන්ස්ට ආරංචි වෙච්ච හැටියට හිස්සැල්ල සර් හරිම සැරයිලු. ළමයින්ට වේවැල් වලින් ගහනවලු. ඉතිං අපේ යාලුවා අන්තිමට තීරණය කළාලු සෝමෙත් එක්ක බටපැදි සර්ගෙ පන්තියට යන්න.


මේ පිකිස් පන්තිය තිබුනෙ බම්බලපිටිය පැත්තෙ. එදා තමයි අපේ පුරුපුරු මුලින්ම ගෲප් ක්ලාස් එකකට ගියෙ. අම්මියෝ! ගෲප් ක්ලාස් එකක් කිව්වට ළමයි තුන් හාරසීයක් ඉන්නවා. හැබැයි ක්ලාස් එක ඒසී කරලා හොඳට තිබුනා. සර්ගෙ ඉගැන්නිල්ලත් නරක නෑ. ඒත් ඉතිං උදේ 8 ඉඳලා හවස 2 වෙනකං ඉස්කෝලෙ ඉඳලා, ඊටත්පස්සෙ ආපහු හවස පිකිස් ක්ලාස් එකට යනවයි කියන්නෙ හරිම අමාරු වැඩක්. ඉතිං ඊළග දවසෙ කට්ටියගෙ ක්ලාස් වෙලාව ගතවුණේ බම්බා බීච් එකේ ඇවිදින්නයි, කෝච්චි යද්දි රේල් පීලි උඩ කාසි තියලා ඒවා කෝච්චිය ලව්වා තලවන්නයි විතරයි.


කොහොමහරි අන්තිමට පුරුපුරුයි, සෝමෙ අයියායි දෙන්නාම බටපැදි සර්ගෙ ක්ලාස් එකට ආයුබෝවන් කිව්වා. මේ වෙද්දි පුරුපුරුලාට ආලෝකය පාඩමේ සෑහෙන කොටසක් මිස් වෙලයි තිබුනේ. ඉතිං අන්තිමට අකමැත්තෙන් වුණත් පුරුපුරුටයි, සෝමෙටයිත් සිද්ද වුණාලු අනිත් යාලුවොත් එක්ක හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියට යන්න.


මේ පන්තිය තිබුනෙත් සතියෙ දවසක හවස් වරුවෙමයි. ඒකත් ගෲප් ක්ලාස් එකක් කියලා තමයි කට්ටිය කිව්වේ. ඒ වුණාට ළමයි හයසීයකට වැඩියෙන් ක්ලාස් එකේ හිටියලු. පුරුපුරුලා හිටියෙ ක්ලාස් එකේ පිටිපස්සෙම තිබුන ස්ටේජ් එකක් වගේ හරියක. මේ ඒරියා එකේ තනිකරම හිටියෙ කුරුඳුවත්තෙයි, මරියකඩෙයි කොල්ලො විතරයි. හිස්සැල්ල සර් වුණත් ක්ලාස් එක වටේම ඇවිද්දත් මේ ස්ටේජ් එකට ආවෙ බොහොම කලාතුරකින්.


ක්ලාස් එකට යන්න කලින් පුරුපුරුට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි හිස්සැල්ල සර්ට ‍මොනවාහරි බයිට් එකක් දාද්දි ක්ලාස් එකට යන ගෑනු ළමයින්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙන්නෙ මොකද කියන එක. ක්ලාස් එකට ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුම් ගියෙ මොකද්ද කේස් එක කියලා. හිස්සැල්ල සර් හෙන හැන්ඩි ඩයල් එකක්. ඉතිං ඉගෙන ගන්න චේතනාවෙන් ක්ලාස් එන කෙල්ලො වගේම සර්ට පැනි පාර දාන්න බලාගෙන, පාර්ට් ටයිම් ඉගෙන ගන්න කෙල්ලොත් ක්ලාස් එකේ ඉන්නවා.


ඒ වගේම හිස්සැල්ල සර්ගෙ පන්තියෙ තිබුනෙ දැඩි විනය නීති. අඩුගානෙ ළමයෙක්ට නිකටට අත තියාගෙන ඉන්න එකවත් තහනම්. හැම තිස්සෙම බෝඩ් එක දිහා බලාගෙන ඉන්නත් ඕනෙ. ඒ වගේම අනිත් ළමයි එක්ක කතා කරන්නත් බෑ. පුරුපුරුට අදටත් හිතාගන්න බෑ ඔය නීති වලට යටත් වෙලා ළමයි ටික කොහොම ක්ලාස් එකේ හිටියද කියන එක. හැබැයි සමහර වෙලාවටනං සර්ගෙ නීතී රීති ටිකක් ලිහිල් වෙන අවස්ථාත් තිබුනෙ නැතුවාම නෙවෙයි.


මේ ඔක්කොටමත් වඩා පුරුපුරුට ඇල්ලුවෙ නැත්තෙ ක්ලාස් එකේ තිබුන ධනාත්මක චින්තන වැඩ පිළිවෙළ. හැමදාම ක්ලාස් එක ඉවරවෙන්න කලින් අධිෂ්ටාන වාක්‍ය වගයක් කියවන්න ඕනෙ. ඊටපස්සෙ ඒ සතිය ඇතුලත තමන් කරන්න ප්ලෑන් කරලා තියෙන වැඩ ඇතුලත් ටයිම් ටේබල් එකක් හදලා තියෙන්න ඕනෙ. ඊටපස්සෙ ටයිම් ටේබල් එක කෝ කියලා සර් ඇහුවාම ඒක උඩට උස්සලා පෙන්නන්නත් ඕනෙ. පුරුපුරුනං කළේ සර්ට එච්චර දුර පේන්නෙ නැති නිසා කටුවැඩ කරන හෑන්ඩ් බිල් එකක් උඩට උස්සලා පෙන්නපු එක.


මොනවා වුණත් හිස්සැල්ල සර් ඉතාම දක්ෂ ගුරුතුමෙක්. ඒ වගේම සර් ක්ලාස් එකේ ළමයි වැඩ කරනවද නැද්ද කියලා හොඳට හොයලා බලනවා. ඇත්තටම ඒ ක්ලාස් එකෙන් පුරුපුරු සමුගන්න හේතුව වුණෙත් ඒකමයි. සර් හැමදාම වේවැලක් තියාගෙන ගෙදරවැඩ නොකර ආපු ළමයින්ට ඒකෙන් තලනවා. පුරුපුරු දවස් තුන හතරක්ම අමාරුවෙන් ගුටිකෑමෙන් බේරුනත්, මෑන්ස් තේරුම් ගත්තා මේක හැමදාම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කියලා. ඉතිං මෑන්ස් කළේ ගෙදරවැඩ කරන එක පැත්තකින් තියෙද්දි ක්ලාස් එකට සමුදෙන ඔප්ෂන් එකට එළඹෙන්න.


ඔය විදිහට හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියෙන් සමුගත්තාට පස්සෙ පුරුපුරු මාස ගානක් යනකං වෙන පිකිස් පන්තියකට ගියෙ නෑලු. ඉස්කෝලෙන් කෙරුන පාඩම් ටිකෙන් තමයි මෑන්ස් යන්තං සබ්ජෙක්ට් එක අල්ලගෙන හිටියේ. ඇත්තටම මේ වෙද්දි පුරුපුරුට තාපය පාඩමෙන් පටන් අරගෙන, ‍පාඩම් ගානක් මිස් වෙලා තිබුනා. මේකට ප්‍රධානම හේතුව වුණේ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයේ තිබුන ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි.


හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ රූම් එකකට කිසිම බාහිර පුද්ගලයෙක්ට ඇතුල් වෙන්න තහනම්. කොටින්ම හොස්ටල් වෝඩ්න් පවා මේ රූම් වලට එන්නෙ නෑ. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රිෆෙක්ට් රූම් තිබුනෙ මිහිපිට අපායවල් වගේ. පොඩි ළමයින්ට තමන්ගෙ ඩෝම් එක පොඩ්ඩක් අතුගාන්න බැරිවුණත් දඬුවම් දෙන ප්‍රිෆෙක්ට් අයියලා තමන්ගෙ රූම් තියාගෙන හිටියේ ඊටත් වඩා සිය ගුණයක් කිලුටු විදිහට. ඒ මදිවාට මේ රූම් ඇතුලේ සීඩී කඳු පිටින් තමයි තියෙන්නේ. ගන සීඩී, ‍ෆිල්ම් සීඩී, රෙස්ලිං සීඩී ඕන එකක්. ඉතිං ටීවී, ඩීවීඩී ප්ලේයර්, බලන්න සීඩී, ඩීවීඩී තියෙනකොට කාටද ක්ලාස් යන්න හිතෙන්නෙ?


කොහොමවුණත් ටික දවසක් යද්දිම අපේ පූසාට තේරුම් ගියාලු මෙහෙම ගියොත් තමන්ගෙ පිකිස් විෂය ජෝන්බාස්ට යනවයි කියලා. ඉතිං මෑන්ස් කළේ ඒ වෙනකොට තමන්ට තිබුන එකම විකල්පය වෙච්ච බ්ලැක් ඔෆිසර්ගෙ ක්ලාස් එකට ඇතුලත් වෙච්ච එක.


ඇත්තටම ඒ පන්තිය හිස්සැල්ල සර්ගෙ වගේ බයෙන් සැකෙන් ඉන්න ඕන ක්ලාස් එකක් නෙවෙයි. ක්ලාස් එකේ ළමයි ගානත් අඩුයි, ඒ වගේම ළමයි රිලැක්ස් එකේ ඉන්නවා. ඕන කට්ටියට ඉගෙන ගන්න පුලුවන්, අනිත් අයට වලට යන්න පුලුවන්. අනික බ්ලැක්ඔෆිසර් උගන්නනවත් හොඳයි. හැබැයි ඉතිං මේ පන්තියෙත් අඩුපාඩු තිබුනා. මේ ක්ලාස් එකේ ළමයි ඉන්නේ හූ කියාගත්ත ගමන්මයි. අනික බ්ලැක් ඔෆිසර් ක්ලාස් එකේ වෙලාවෙන් බාගයක් විතර වැය කරන්නෙ හිස්සැල්ලට බනින්න. කොහොම වුණත් පුරුපුරු මේ ක්ලාස් එකටනං මාස ගානක් ගියා. හැබැයි විභාගෙට ගොඩක් කල් ඉතුරු වෙලා තියෙද්දි බ්ලැක්ඔ‍ෆිසර්ගෙ ක්ලාස් එකටත් සමුදුන්නා.


ඊටපස්සෙ මෑන්ස් ආපහු පිකිස් ක්ලාස් එකකට ගියෙ ඒ ලෙවල් වලට මාසයක් විතර තියලා. ඒ ක්ලාස් එක අපේ පූසො පස්දෙනා විතරක් සහභාගි වුණ පාස්ට් පේපර් ක්ලාස් එකක්. ක්ලාස් එක කළේ පුරුපුරුලාට අවුරුද්දක් වැඩිමල්, කුරුඳුවත්ත ඉස්කෝලෙටම ගිය යාලුවෙක්. ඇත්තටම ඒ වෙද්දි ඒ යාලුවා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා, මෙඩිකල් ෆැකල්ටි එකට තේරිලා, කැම්පස් පටන්ගන්නකං හිටපු කෙනෙක්. මෑන්ස්ට ගෙදර නිකං ඉන්න කම්මැලියි කියලා තමයි ක්ලාස් එක කළේ. කොටින්ම අපේ පූසන්ගෙන් සල්ලි ගත්තෙවත් නෑ.


ඇත්තටම ඒ පිකිස් ක්ලාස් එක තමයි අපේ පූසො ගිය විශිෂ්ටම පිකිස් ක්ලාස් එක. උගන්නන්න උපන් හපන්කමක් තමයි මෑන්ස්ට තිබුනෙ. කොටින්ම අපේ යාලුවාගෙ විශිෂ්ට ඉගැන්වීම නිසා පිකිස් ෆේල් වෙන්න හිටපු අපේ පූසො කට්ටිය බොහොම හොඳට සබ්ජෙක්ට් එක ගොඩදාගත්තලු. පස්සෙ මෑන්ස්ට පොඩි පාටි එකක් එහෙමත් දෙන්න අපේ පූසො අමතක කළේ නෑ. දැන්නං ඒ යාලුවා වෛද්‍ය විද්‍යාලයේ අන්තිම අවුරුද්දෙ ඉන්න අනාගත වෛද්‍යවරයෙක්.


දැන් ඉතිං ඒ ලෙවල් කරන ළමයි මේක කියවනවනං හිතට ගන්න ඕනෙ කිසිම සබ්ජෙක්ට් එකක් අතපසු කරගන්නෙ නැතුව හොඳට පාඩම් වැඩ කරන්න. මොකද හැම තිස්සෙම වාසනාව තමන් එක්ක රැඳිලා ඉන්නෙ නෑ

Wednesday, March 16, 2011

බැක් ටු හොස්ටල් - back to hostel


ඔන්න කාලෙකට පස්සෙ ඔයාලා වෙනුවෙන් අලුත්ම ගඩොල් සීරීස් එකක් අරගෙන ආවා. මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ ඔයාලාගෙ බ්ලොග් කියවන්න, කොමෙන්ට් කරන්න පහුගිය දවස්වල මට වෙලාවක් හම්බවුණේ නෑ. කොටින්ම බ්ලොග් ගඩොල් බ්ලොග් එක ගැනවත් හරියට හොයා බලන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඉතිං කට්ටිය ඒ ගැන හිත් අමනාප කර නොගනියි කියලා හිතනවා.



ඉතිං යාලුවනේ මේ වෙද්දි අපේ පූසො සෙට් එක ඉන්නෙ 2004 අවුරුද්දෙ අග හරියෙ. මේ වෙද්දි අපේ පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ඤාව්වාත් ගිය අර අපේ සුපුරුදු ස්කූල් වෑන් එකේලු.

අපි කලිනුත් කිව්වා වගේ කුරුඳුවත්තෙ හොස්ටල් එකේ බැච් එකක ඕ ලෙවල් කරන ළමයි හතලිස් ගානෙන් 8 දෙනාවයි, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු ඒ ලෙවල් වලට හොස්ටල් එකට ගන්නෙ. හැබැයි ඉතිං මේ ළමයි 8 දෙනා අතරට ඇතුල් වෙන්න හිතන තරම් අමාරුවක් නෑ. මොකද හොස්ටල් ළමයි අතර මතයක් තියෙනවා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාට පස්සෙ ඒ ලෙවල් පාස් වෙන්න අමාරුයි කියලා. ඇත්තටම ඒ මතය ගොඩක් වැරදිම නෑ, මොකද ඉතිහාසයේ ඒ වෙද්දි හිටපු ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි පළවෙනි පාර ඒ ලෙවල් ගොඩදාගෙන තියෙන්නෙ. ඉතිං මේ හේතුව හින්දා ඕ ලෙවල් ලියපු හොස්ටල් එකේ කොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් මේ ශිෂ්‍ය නායක තනතුරට ඇප්ලයි කළේ නෑ.

පුරුපුරුලාගෙ බැච් එකෙත් වැඩිදෙනෙක් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ නෑලු. විශේෂයෙන් මාලුකට්ටා එහෙම හිටියෙ කවදාවත් ඒ ලෙවල් වලට හොස්ටල් එකට එන්නෙ නෑ කියන දැඩි මතයක. ඒ වගේම ඒ ලෙවල් කරන්න පටන් ගත්තාට පස්සෙ, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා‍ වෙයි කියලා හිතපු සෙන්සි, පැන්ඩා වගේ කට්ටියත් තීරණය කළාලු හොස්ටල් එකට නොගිහින් බෝඩිමක ඉඳගෙන ඉස්කෝලෙ යන්න. ඉතිං ඔය විදිහට පුරුපුරුලාගෙ බැච් එකේ කවුරුවත් අන්තිමේදි හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණේ නෑ.

මේ වෙද්දි පුරුපුරුලාගෙ සුපර් සීනියර් බැච් එකේ අයියලා කට්ටිය ඒ ලෙවල් ඉවරවෙලා හොස්ටල් එකෙන් අස්වෙලා ඉවරයි. ඒ වගේම සීනියර් බැච් එකේ කවුරුවත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට හිටියෙත් නෑ. මතක ඇතිනෙ අර කංජිනාත්ට ගහපු කේස් එකට මුලු සීනියර් බැච් එකම හොස්ටල් එකෙන් අස්කළා කියලා නේද? අන්තිමට සිද්දවුණේ 2004 අවුරුද්දෙ අග වෙද්දි කුරුඳුවත්ත හොස්ටල් එකේ කිසිම ප්‍රිෆෙක්ට් කෙනෙක් නොහිටිය එක. ඉතිං මේ වෙද්දි ළමයි ටික පාලනය කරගන්න බැරුව කොටියා සර් පත්වෙලා හිටපු අමාරුව ඔයාලාට තේරෙනවා ඇතිනෙ!

කොහොමහරි හොස්ටල් එකේ ඉඳලා 9 වසරෙදි අස්වුණ කිං BJට තමයි මුලින්ම හිතුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ආපහු හොස්ටල් එකට යන්න ඕනෙයි කියලා. ඔන්න බී.ජේ කිව්වෙ බඩජාරි කියන එකට හොඳේ. ඉතිං මෑන්ස් හොස්ටල් එකේ හිටපු අනිත් කොල්ලන්ටත් මේ අයිඩියා එක දැම්මට, පාඩම් කරන්න බැරිවෙලා ඒ ලෙවල් ෆේල් වෙයි කියලා කවුරුත් මේකට කැමති වුණේ නෑ. හැබැයි මේ වෙද්දි කිං එක්ක එකට බයෝ කඩු ක්ලාස් එකේ හිටපු හාරිස් කැමති වෙලා තිබුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න. ඒත් පොඩි අප්සෙට් එකකට තිබුනෙ මෑන්ස් කවදාවත් හොස්ටල් එකේ ඉඳලා තිබුනෙ නැති කෙනෙක් වෙච්ච එක.

කිං බීජේ කියන්නෙ ඉස්සර ඉඳලාම පුරුපුරුගෙ හොඳම යාලුවෙක්. කොටින්ම පුරුපුරු බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමුගත්තාට පස්සෙ චීන සටන් කලාවකට යොමු කළෙත් මෑන්ස්ම තමයි. දැන් ඉතිං කිංගෙන් බර බරේ පුරුපුරුටත් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න එන්න කියලා. හැබැයි ඉතිං පුරුපුරු වුණත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ ආපහු හොස්ටල් එකට යන්න. ඒත් ඉතිං කිං බීජේට බෑ කියන්න බැරි නිසායි, හොස්ටල් එකේ පහසුකම් හොඳ නිසයි, මෑන්සුත් අන්තිමට කැමති වුණාලු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න.

ඔය අතරෙ අර ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කුණු කානුවට කඩල දාපු පොල්පොටුත් කැමති වුණා හොස්ටල් එකට ආපහු එන්න. දැන් ඉතිං මේ වැඩේට 4 දෙනෙක් රෙඩි. ඒ තමයි කිං බීජේ, හාරිස්, පුරුපුරු සහ පොල්පොට්. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ ගිහින් කොටියා සර් හම්බවෙලා තමන් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෝ වෙන්න කැමති බව දැනුම් දීපු එක.

බලාපොරොත්තු වෙච්ච විදිහටම මේ ආරංචිය ලැබුනාට පස්සෙ කොටියා සර් අමන්දානන්දයට පත්වුණා. මොකද ඒ වෙද්දි හොස්ටල් එකේ වසවර්ති කොල්ලො ටික පාලනය කරගන්න බැරුව සර් ලෝක අමාරුවක වැටිලයි තිබුනේ. ඉතිං අපේ යාලුවන්ට හොස්ටල් එකට එන්න කොටියා සර් අවසර දුන්නේ එක පයින්. නැත්තං ඉතිං පොල්පොට්, පුරුපුරු වගේ කට්ටියට ළමයින්ගෙ විනය හදන්න බාරදෙන්නෙ කවුද හැබෑට?

කොටියා සර් :- පුරුපුරු දන්නවාද ඉස්කෝලෙ සාමාන්‍ය ශිෂ්‍ය නායකයෙකුගෙයි, නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුගෙයි අතර තියෙන වෙනස?

පුරුපුරු :- ම්...නෑ සර්.

කොටියා සර් :- ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙකුට පොඩි ළමයි ගැන වගකීම තියෙන්නෙ ඉස්කෝලෙ පැවැත්වෙන පැය හයේ විතරයි. ඒත් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුට ඒ වගකීම පැය 18ක් තියෙනවා. තේරුනාද?

පුරුපුරු :- ඔව් සර්...

ඉතිං මෙහෙම පටන් ගත්තු කොටියා සර්ගෙ දේශනාව ගොඩක් වෙලා යනකම් නැවතුනේ නෑලු. ඊටපස්සෙ සර් කට්ටියට කිව්වේ ඊළග සතියෙම හොස්ටල් එකට එන්න කියලා. ඒ වගේම පහුවදාට තමන් එක්ක විදුහල්පතිව මුණගැහෙන්න යන්න එන්න කියලාත් පුරුපුරුලාට කොටියා සර්ගෙන් ආරාධනා ලැබුනා.

ඉතිං පහුවදා අපේ යාලුවො කට්ටිය ප්‍රින්සිපල් සර්වත් හම්බවෙලා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන වැඩේ දැනුම් දුන්නාලු. ප්‍රින්සිපල් සර්ගෙ අදහස වුණේ පොඩි ළමයින්ට ගහන්නෙ බනින්නෙ නැතුව, ඒ අයව විනයානුකූලව තියාගන්න එක හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ කාර්යභාරය කියලා. ඒත් මෙච්චරකල් පුරුපුරුලාට තිබුන හොස්ටල් අත්දැකීම් අනුව ආදරයෙන් කරුණාවෙන් කතා කරලා හොස්ටල් එකේ කොල්ලන්ව විනයානුකූලව තියාගන්න එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි.

If you do any physical or mental harassment to the children, you will be out of the hostel

ප්‍රින්සිපල් සර්ගෙ අන්තිම අවවාදය වුණේ ඒකයි.

ඉතිං ඊටපස්සෙ යෙදුන ඉරිදා දවසෙ අපේ කට්ටිය බඩු මුට්ටු අරගෙන නැවත වතාවක් හොස්ටල් එකේ පදිංචියට ආවලු. අනිතිමට තීරණය වුණේ ජ්‍යේෂ්ටත්වය අනුව පොල්පොට්ව ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් කරන්න. ඊටපස්සෙ මෑන්ස්ගෙ ඩිපියුටි වෙන්න තිබුනෙ පුරුපුරුට. ඒත් පුරුපුරුවත්, කිං බීජේවත් ඩිපියුටි එච්.පී වෙන්න කැමැත්තක් දැක්වුවේ නෑ. අන්තිමට ඉතිං ඒ තනතුර හම්බවුණේ හාරිස්ටලු.

ඇත්තටම හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට ගතකරපු මුල් දවස් ටික අපේ යාලුවන්ට එච්චරම ලේසි පාසු වුණේ නෑ. මොකද සීනියර් සහ ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාගෙ වැඩ ඔක්කොම කරන්න වුණේ මේ හතර දෙනාට. ඒ මදිවාට අවශ්‍ය උපදෙස් ගන්න සීනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බැච් එකක් හිටියෙත් නෑ. ඒත් ඉතිං කට්ටිය අමාරුවෙන් හරි අවුල් වෙලා තිබුන හොස්ටල් එක ආපහු පොඩ්ඩක් යථා තත්ත්වයට අරගත්තා. ඉන්ස්පෙක්ෂන්, ස්ටඩි ඩියුටි, ඩයිනින් හෝල් එකේ ඩියුටි, නඩු ඇසීම්, මේ ඔක්කොම ෂේප් එකේ කරගෙන ගියා.

තවත් මාසකට විතර පස්සෙ කංජිනාත්, තාරබාසු, සෝමෙ අයියා සහ ජුවානුත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු හොස්ටල් එකට ආවා. එතකොට තමයි පුරුපුරුලාට පැටවිලා තිබුන මහා වැඩ තොගය පොඩ්ඩක් විතර ලිහිල් වුණේ. ඉතිං මේ කට්ටිය ෆේස් කරපු රසවත් සිද්දි ගොඩාක් අපි ඉස්සරහට ඔයාලාට කියන්න බලාපොරොත්තු වෙනවා.

Saturday, March 5, 2011

මහේෂි - maheshi


ඉතිං යාලුවනේ කොහොමද සැප සනීප එහෙම? මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්නංකෝ සති දෙකක් තිස්සේ කිසිම ලිපියක් පළ කරන්න බැරිවෙච්ච එකට. ඉතිං අද අපි ඔයාලාට කියන්න යන්නේ අපේ ඤාව්වාට වෙච්ච වැඩක් ගැන.

මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල් හරියෙ ඉන්නකොට. ඔය වෙද්දි ඤාව්වා හිටියෙ කලුකුමාරි ගැන තමන්ගෙ හිතේ තිබුන අදහස ගොඩක් දුරට අමතක කරලා දාලලු. ඔය අතරෙ තමයි එක දවසක් මෑන්ස්ට නුවරඑළියෙ ටූ ඩේ ට්‍රිප් එකක් යන්න චාන්ස් එක ලැබුනෙ. මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තිබුනෙ ඤාව්වගෙ තාත්තා වැඩ කරන ඔෆිස් එකෙන්ලු.

කොහොමහරි ට්‍රිප් එක ගිහින් ආපු අපේ ඤාව්වා හිටියෙ බොහොම ප්‍රබෝධමත් විදිහට, බොහොම සතුටින්. කොටින්ම අනිත් පූසන්ට මුලින්ම හිතාගන්නත් බැරුව හිටියෙ ඤාව්වාට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඉතිං කට්ටිය තීරණය කළාලු වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෑන්ස්ගෙ හදිසි වෙනස්වීමට හේතුව හොයන්න. හැබැයි ඉතිං අනිත් පූසො ඤාව්වාගෙන් අහන්නත් කලින් මෑන්ස්ම තමයි තමන්ගෙ සතුටුදායක වෙනසට හේතුව හෙළිකළේ.

ඤාව්වා :- අඩෝ මාර කේස් එකනෙ බං! මට ට්‍රිප් එක ගිහින් කෙල්ලෙක් සෙට් වුණානෙ.

පුරුපුරු :- නෑ? එළකිරිනෙ බං! කවුද කවුද ඔය කෙල්ල? අපි දන්න කියන කෙනෙක්ද?

ඤාව්වා :- නෑ බං! අපේ තාත්තලෑ ඔ‍ෆිස් එකේ වැඩකරන අංකල් කෙනෙක්ගෙ දුවෙක්. නම මහේෂි. අපේ වයසෙ. ඉස්කෝලෙ යන්නෙ අගමැති බාලිකාවට. කොමර්ස් කරන්නෙ. ඉන්නෙ දෙහිවල පැත්තෙ. හික් හික්...තව ‍මොනවද උඹලට දැනගන්න ඕනෙ?

බැලින්නං මුලු ට්‍රිප් එකේම පූසන්ගෙ වයස් කාණ්ඩෙ නියෝජනය කරන්න ඉඳලා තියෙන්නෙ ඤාව්වයි, මහේෂියි විතරයි. ඉතිං ට්‍රිප් එකත් දවස් දෙකේ එකක් වෙච්ච හින්දා, ඤාව්වාට කිසිම අමාරුවක් වෙලා නෑ මහේෂි එක්ක හොඳට ෆිට් වෙන්න. කොහොමහරි මේ ෆිට් වීම කොච්චර දුරදිග ගිහින්ද කියනවානං, අන්තිමට ගෙදර එන්න කලින් අපේ ඤාව්වා පෙම්පූසෙක් වෙලා ඉවරයිලු. මේ මෑන්ස්ගෙ ෆස්ට් ලව් එක හින්දා අපේ ඤාව්වා හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.

හැබැයි ඉතිං ට්‍රිප් එක ඉවරවෙලා ගෙදර ආවට පස්සෙ තමයි මෑන්ස්ට මතක්වුණේ, තමන් මහේෂිත් එක්ක යාලු වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ නේද කියලා. ඒ වගේම මහේෂිටත් අමතක වෙලා තිබුනා ඤාව්වාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න. දැන් ඉතිං මේ දෙන්නාට ඇතිවුණ මුල්ම ප්‍රශ්නෙ තමයි සන්නිවේදනය පිළිබඳ ගැටලුව.

ඤාව්වාට මේ වෙද්දි කොහොමත් මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නෑ. ඉතිං මෑන්ස්ගෙ ප්ලෑන් එක වුණේ මහේෂිගෙ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරන එක. ඒත් ඉතිං මහේෂිගෙ නම්බර් එක හොයන එකත් ලේසි වැඩක් වුණේ නෑලු. මොකද මේ වෙද්දි අපේ පූසන්ට අගමැති බාලිකාවෙ දැරිවියොත් එක්ක එච්චර කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒත් ඉතිං ඤාව්වා උඩ බලාගෙන හූල්ලනවා බලාගෙන ඉන්න බැරි තැන පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු, අගමැති බාලිකාවෙ හිටපු ටිකක් විතර දන්න අඳුරන ගෑනු ළමයෙක් ලව්වා මහේෂිගෙ නම්බර් එක හොයාගන්න.

ඉතිං අපේ පූසන්ගෙ පළවෙනි මිෂන් එක වුණේ ඔය කියන ගෑනු ළමයාව අල්ලගන්න එක. එයාගෙ නම තමයි සමාධි. සමාධිත් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු ගෑනු ළමයෙක්. ඉතිං එක දවසක් කොමර්ස් පන්ති ඇරෙන වෙලාවෙ අපේ පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි, මී කතුරායි, මාලුකට්ටායි ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු සමාධි එනකං. ඔය වෙද්දි සමාධි ගැන පැතිරිලා තිබුනු එක එක කටකතා වල හැටියටනං, එයත් එක්ක ප්‍රසිද්දියෙ කතා කරන එකත් කට්ටියගෙ කාඩ් කුඩුවෙන වැඩක්. ඒත් ඉතිං ඤාව්වාගෙ වැඩේ කෙරෙන්නත් ඕනෙ නිසා පූසො හිත හදාගත්තලු සමාධි එක්ක කතා කරන්න.

ඔය අතරෙ තමයි බස්ටෑන්ඩ් එකේ කෙළවරකින් සමාධි මතුවුණේ.

සමාධි :- ආ...උපාසක! කොහොමද ඉතිං?

උපාසක :- වරදක් නෑ සමාධි, අපි මේ ඔයාව හම්බවෙන්නම තමයි බලාගෙන හිටියෙ.

සමාධි :- මේ මාව? ඒ මොකටද?

උපාසක :- ඔයා දන්නවද ඔයාලාගෙ ඉස්කෝලෙ ඉන්න මහේෂි කියන ගර්ල්ව? කොමර්ස් කරන්නෙ.

සමාධි :- ආනේ මහේෂිද? එයා අපේ ක්ලාස් එකේමයි ඉන්නෙ. ඇයි මොකද?

උපාසක :- හික්ස්...නෑ.. මේ අපේ ඤාව්වා දැන් එයත් එක්ක යාලුනෙ. මූට ඒ වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න අමතක වෙලා.

සමාධි :- හික් හික්!! කොන්ග්‍රෑට්ස් ඤාව්වා. බලන්නකො මහේෂි අපිටවත් කිව්වෙ නෑනෙ. හැබැයි ඉතිං එයා මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නෙනං නෑ. ඔයාට කෝල් කරන්න වෙන්නෙ ලෑන්ඩ් ෆෝන් එකට තමයි.

ඤාව්වා :- ලෑන්ඩ් ෆෝන් එකට කතා කළාට කමක් නැද්ද දන්නෑ නේද?

සමාධි :- ඒකනං එච්චර හොඳ වැඩක් නෙවෙයි වගේ. මම කියන්නද? මම මහේෂිට විස්තරේ කියලා එයාගෙන් අහන්නං මොකද කරන්න ඕනෙ කියලා. ඔයා හෙට මට කෝල් එකක් දීලා පණිවිඩේ අහගන්න. මම කෝකටත් මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දෙන්නංකෝ.

මෙහෙම කියපු සමාධි මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් එකෙයි, තමන්ගෙ මොබයිල් එකෙයි නම්බර්ස් දෙකම පූසන්ට දුන්නලු. කොහොමත් සමාධිගෙ මොබයිල් නම්බර් එකනං කොල්ලො අතරෙ ගොඩක් ජනප්‍රිය එකක් හින්දා ඉල්ලගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. කොහොමහරි එදා අපේ ඤාව්වා ආපහු ගෙදර ගියෙ ලොකු සැහැල්ලුවකින්.

පහුවදා මෑන්ස් සමාධිට කෝල් කරලා වෙච්ච දේ අහගෙන තිබුනා. බැලින්නං මහේෂිටත් ඤාව්වගෙ නම්බර් එක හොයාගන්න බැරුව ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නෙ. ඉතිං සමාධි ගෙනාපු ආරංචියෙන් ගොඩක් සතුටට පත්වෙච්ච මහේෂි, සමාධිට කිව්වලු සෙනසුරාදා දවල්ට තමන්ට කෝල් එකක් දෙන්න කියලා ඤාව්වාට පණිවිඩේ දෙන්න කියලා. සෙනසුරාදා දවල් වරුව මහේෂිලාගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් සාමාන්‍යයෙන් නැති වෙලාවක්. ඒ වගේම වැඩිවෙලා කතා කරන්නෙ නැතුව ඉක්මනට ෆෝන් එක තියන්න කියලාත් ඤාව්වාට උපදෙස් ඇවිත් තිබුනා.

හැබැයි ඉතිං ඔය වෙලා‍වට අපේ පූසො කට්ටිය ඉන්නෙ ගම්පහ ක්ලාස් ඇවිල්ලා. මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවරවෙලා ඊළග ක්ලාස් එක පටන් ගන්නකං කට්ටියට පැයක හමාරක බ්‍රේක් එකක් හම්බවෙනවා. ඉතිං අපේ පූසො කට්ටිය තීරණය කළේ මහේෂිට කෝල් කරන්න මේ වෙලාව සුදුසුයි කියලා.

ඉතිං ඊළග සෙනසුරාදා, ඔය තීරණය කරගත්තු වෙලාවෙ අපේ යාලුවො කට්ටිය ගියාලු ගම්පහ බස්ටෑන්ඩ් එකයි, රේල්වේ ස්ටේෂන් එකයි අතර තිබුන කොයින් බොක්ස් එක ළගට. මේ වෙද්දි ඤාව්වා මහේෂිත් එක්ක අන්තිමට කතා කරලා සතියකටත් වඩා ගිහින් තිබුනා. ඉතිං පොර දැන් ෆුල් එක්සයිට් වෙලා ඉන්නෙ මහේෂිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න. හැබැයි එක්සයිට්මන්ට් එක වැඩිකමට ඤාව්වාට දැන් කෝල් එක ගන්නත් බෑ බෑ වගේලු.

ඤාව්වා :- අඩෝ මචං, මටනං ගන්න බෑ වගේ බං! උඹලා කවුරුහරි කතා කරපංකෝ, මටනං දැන් කතා කරන්න බෑ බං! අනේ ප්ලීස් බං!!

දැන් ඤාව්වා හෝ ගාලා නහයෙන් අඬනවා. ඉතිං මේ වෙලාවෙ මෑන්ස්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ අපේ මාලුකට්ටා.

මාලුකට්ටා :- හරි, මම දැන් උඹ වෙනුවට කෝල් එක ගන්නංකෝ. ඉතිං ඊටපස්සෙ මම මොනවද කියන්න ඕනෙ?

ඤාව්වා :- උඹ කෝල් කළාම මහේෂි ආන්සර් කරයි මචං. ඊටපස්සෙ කියපං හෙට ක්ලාස් ඉවරවෙලා 3ට මාව ගම්පහ බස්ටෑන්ඩ් එකේදි මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලාත් කියපං මචෝ!

මාලුකට්ටා :- ආ...ඔය ටික කියන එකත් මහ වැඩක්යැ! මම දෙන්නං නියමෙට වැඩේ.

මෙහෙම කියපු මාලුකට්ටා, සුභ මොහොතින් කොයින් බොක්ස් එකට පහේ කාසි දාලා, මහේෂිගෙ ගෙදරට කෝල් කරන්න ගත්තලු.

ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....

මහේෂිගෙ ගෙදරින් :- හෙලෝ! කවුද කතා කරන්නෙ?

මාකට් :- ආ...මේ මහේෂි නේද?

මහේෂිගෙ ගෙදරින් :- ආ..නෑ නෑ!! මම මහේෂිගෙ අක්කා කතා කරන්නෙ.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. මළ කෙළියයි. බැලින්නං කෝල් එකට ආන්සර් කරලා තියෙන්නෙ මහේෂි නෙවෙයි, මහේෂිගෙ අක්කා. ඉතිං අපේ මාලුකට්ටා බයවෙච්ච පාර එක අතකින් රිසීවර් එක වහගෙන "අක්කා...අක්කා..." කියලා අනිත් පූසන්ට පහත් හඬින් කියන්න පටන් ගත්තලු. ඒත් අවාසනාවට වගේ මේ වෙද්දි අනිත් පූසො කට්ටිය හිටියෙ, කොයින් බොක්ස් එකෙන් ටිකක් එහාට වෙන්න. ඒ හින්දා මාලුකට්ටා කියපු දේ අනිත් පූසන්ට පැහැදිලිව තේරුනේ නෑ.

ඤාව්වා :- ඉක්මනට පණිවිඩේ කියලා ෆෝන් එක තියපං බං. ඒකිගෙ අම්මලා ගෙදරද දන්නෙත් නෑ.

මාකට් :- හා හා...ඔන්න මම කිව්වා එහෙනං

අක්කේ මහේෂිට කියන්න හෙට ක්ලාස් ඉවරවෙලා හවස 3ට ගම්පහ බස්ටෑන්ඩ් එකේදි ඤාව්වාව මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලත් කියන්න.

මහේෂිගෙ අක්කා :- මොකක්? ගම්පහ? ඤාව්වා? කවුද ඔය කතා කරන්නෙ? කවුද තමුසෙ?

ඉතිං මහේෂිගෙ අක්කාගෙ ටෝක්ස් වලට බයවෙච්ච මාලුකට්ටා කළේ ‍කෝල් එක කට් කරලා, අනිත් පූසො හිටපු තැනට දුවගෙන ආපු එක. ඊටපස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ සිද්දවුණේ මොකද්ද කියලා. කොහොමහරි ඤාව්වා මාලුකට්ටාගෙ බෙල්ල මිරිකන්න ගිය එක අනිත් පූසො එකතු වෙලා නවත්තගත්තෙ ෆුල් ගේමක් දීලා.

එදායින් පස්සෙ කවදාවත් පූසන්ට මහේෂි ගැන කිසිම ආරංචියක් ලැබුනෙ නෑ. සමාධිත් ඉඳලා හිටලා හරි මුණගැහුණොත් පූසන්ට රවාගෙන ගියා මිසක් කතා කරන්න සෙට් වුණේ නෑ. ඔන්න ඔහොමයි අපේ ඤාව්වාගෙ පළවෙනි ආදරයට නැවතීමේ තිත වැටුනෙ. අපි හිතන්නෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාශෙ පළවෙච්ච ආදර කතා එක්ක බලද්දි මේකනං කෙටිම කෙටි ආදර කතාවක්.

Friday, February 18, 2011

බ්ලොග් ගඩොල් - නොදැවී ශතකයක් (Blog Gadol - century, not out)


දැන් සති කීපෙකට කලින් පූසො කට්ටිය කාලෙකට පස්සෙ මීට් වුණාම, බ්ලොග් එක ගැන කතා බහක් ඇදිලා ආවා. කොහොමත් ළගකදි ඉඳලා කට්ටිය සෙට් වුණාම කතා කරන්නෙම බ්ලොග් එක ගැන තමයි. කතාබහේ මාතෘකාව වුණේ බ්ලොග් ගඩොල් බ්ලොග් එකට ළගදි උදාවෙන්න නියමිත වැදගත් දවස් දෙකක් ගැන. එකක් තමයි බ්ලොග් එකේ පළවෙනි උපන් දිනය. ඒක යෙදෙන්නෙ අප්‍රෙල් මාසෙදි. අනිත් දවස තමයි බ්ලොග් එකේ 100 වෙනි ලිපිය ලියන දවස. ඒ කියන්නෙ අද දවස.

මුලින්ම කට්ටිය කතා වෙලා තිබුනේ 100 වෙනි ලිපිය අවුරුද්දක් පිරෙන දවසෙ ලියලා ඒක සෙලිබ්‍රේට් කරන්න. ඒත් ටික ටික කාලෙ ගතවෙද්දි තේරුම් ගියා ලිපි ලියවෙන වේගෙ අනුව, අවුරුද්දක් පිරෙන්න කලින් ලිපි 100ක් ලියන්න පුලුවන් බව. ඉතිං පූසන්ගෙ අන්තිම තීරනේ වුණේ අවුරුද්ද පිරෙන එක සෙලිබ්‍රේට් කරන්නෙ නැතුව, 100 වෙනි ලිපිය ලියන එක වෙනම පෝස්ට් එකක් හරහා සෙලිබ්‍රේට් කරන්න. මොකද ‍බ්ලොග් එකක් පටන් ගත්තට පස්සෙ අවුරුද්දක් ගෙවෙන එක ස්වයංසිද්ධව වෙන වැඩක්. ඒත් බ්ලොග් එකක ලිපි 100ක් ලියනවා කියන්නෙ ගොඩක් මහන්සිවෙලා, අමාරුවෙන් කරන්න ඕනෙ වැඩක්.

අපි බ්ලොග් එක පටන් ගත්ත හැටි ගැන අපේ 50 වෙනි ලිපියෙන් කිව්වා නොවැ! ඒක හින්දා දැන් අපි වැඩිපුර ඒ ගැන කතා කරන්නෙ නෑ. ඒ වගේම බ්ලොග් එක පටන් ගත්ත හැටි ගැන කි‍යවෙන අති බිහිසුණු කතාවක් තියෙනවා. ඒ කතාවත් ඉස්සරහට ඔයාලාට කියවන්න පුලුවන් වෙයි. කොහොමවුණත් මේ වෙලාවෙ බ්ලොග් එකේ ආරම්භක අවධිය සම්බන්දයෙන් අපි ස්තුති කරන්න ඕනෙ විශේෂ පුද්ගලයො කීප දෙනෙක් ඉන්නවා.

ටැබූ සබ්ජෙක්ට්ස් - අපිට බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් ආසාවක් ඇති කිරීම ගැන. ඒ වගේම බ්ලොග් අවකාශය කියන්නෙ මොකද්ද කියලා අඳුරගන්න මග පාදා දීම ගැන.

කතන්දර - බ්ලොග් ගඩොල්හි මංගල කොමෙන්ටුව වෙනුවෙන් සහ සරල වින්දනාත්මක බ්ලොග්කරණයේ මූලික තාක්ෂණය ගැන දැනුම ලබාදුන්න පුද්ගලයා විදිහට. ඇත්තටම අපි විතරක් නෙවෙයි, ඒ දවස්වල බ්ලොග්කරණයට එකතු වෙච්ච ගොඩක් බ්ලොග්කරුවො කතන්දරගෙන් හොඳ ආභාෂයක් ලබාගත්තා. කතන්දර කියන්නෙ සරල වින්දනාත්මක බ්ලොග්කරණයේ රෝල් මොඩල් එකක්.

හා පැටික්කි - වෙන බ්ලොග් එකක් කර කර හිටපු කාලෙ ලබාදීපු නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ලෙක්චර් එකට

පිස්සා පළාමල්ල - අපේ පළවෙනි සීරීස් එක වෙච්ච පූසො බියර් බීපු හැටි ගැන කතාවෙදි, අපිට මුලින්ම ලැබුනෙ පොල්ලෙන් ගැහුවා වගේ කොමෙන්ට් එකක්. ඒ වෙලාවෙ අලුත් බ්ලොග්කරුවො හැටියට අපි ගොඩක් කලබල වුණා. කොටින්ම දෙවෙනි කොමෙන්ට් එකත් ඒ වගේම වුණානම් අපේ බ්ලොග් කෙරුවාව එතනින්ම නවතින්න තිබුනා. ඒත් දෙවෙනි කොමෙන්ට් එක දාපු පිස්සයියා අපේ හිත හදලා, අර ඇතිවෙච්ච බය නැති කළා. ඒ වෙනුවෙන් පිස්සාටත් ගොඩක් ස්තුතියි.

ඔයාලා වුණත් අලුත් බ්ලොග්කරුවෙකුගෙ ලිපියක කොමෙන්ට් එකක් දාද්දි ටිකක් හිතලා බලලා දාන්න.

ඉතිං ඔය විදිහට පටන් ගත්ත අපේ බ්ලොග් එකට ටික දවසක් යද්දිම නොහිතපු විදිහට හොඳ ප්‍රතිචාර ගලාගෙන එන්න පටන් ගත්තා. ඇත්තටම අපි දැනගෙන හිටියෙ නෑ අපිට මේ වගේ ලියන්න පුලුවන් කියලා. මුල් දවස්වලනං ආපු කොමෙන්ට්ස් දැකලා හිතාගන්න බැරුව හිටියේ, මේ කියන්නෙ අපි ලියපුවා ගැනද නැත්තං වෙන කවුරුහරි ලියපුවා ගැනද කියලා. කොහොමහරි වැඩි දවසක් යන්න කලින් ඔයාලා අපේ බ්ලොග් එක ආදරයෙන් වැළඳ ගත්තා.

මුල් දවස්වල එකට කතා ලියන සෙට් එක වුණේ අපි, පිස්සා, ඉබ්බා, වැම්පයර්, අභීත වගේ සමකාලීන කට්ටිය. ඒ මීට මාස ගානකට කලින්. ඇත්තටම ඒ කාලෙ මතක් වෙනකොටත් ගොඩක් සුන්දරයි. කට්ටියම තරගෙට වගේ ලිව්වේ. මොකක්හරි මාතෘකාවක් ආවම කට්ටියම ඒ ගැන ලියනවා. චූ කතා, කක්කි කතා, අපි හඳුන්වලා දීපු ගන කතා ඒ අතරින් සමහරක් විතරයි.

කොහොමවුණත් පස්සෙ කාලෙක අපේ බ්ලොග්කරුවන්ගෙන් සමහරු බ්ලොග් ලියන එක නැවැත්තුවා. උදාහරණයක් විදිහට ඉබ්බා සහ හෙළයා නම් කරන්න පුලුවන්. සමහරු ලියන එක අඩු කළා. ඒ වගේම සමහර කතා බ්ලොග්කරුවො අලුතින් බ්ලොග් ලියන්න එකතු වුණා. උදාහරණ විදිහට අපේ සිකා, හසියා, සඳරු වගේ කට්ටිය ගන්න පුලුවන්. මේ නම් ඔක්කොම හදිස්සියෙ මතක් වෙන කීප දෙනෙක්ට අයිති ඒවා විතරයි. නොලිව්ව නම් ඊට වඩා කීප ගුණයක් වැඩියි. ඉතිං නම් නොකියවෙන කට්ටිය තරහා වෙන්න ඔට්ටු නෑ හොඳේ.

අපේ කොමෙන්ට් වලට වුණෙත් ඔය වැඩේම තමයි. මුල් දවස්වල කොමෙන්ට් කරපු සමහරු දැන් පේන්නවත් නෑ. අලුතින් කොමෙන්ට් කරන්නත් කට්ටිය ඇවිත් ඉන්නවා. ඒ වගේම බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉඳලා හැමදාම ඇවිත් කොමෙන්ට් කරන යාලුවන්වත් මේ වෙලාවෙ අපි ආදරයෙන් මතක් කරනවා. දැන් කොමෙන්ට්කරුවන්ගෙ නම් ලියන්න ගියොත්නං, නම් අමතක වෙලා අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ හින්දා නම් වශයෙන් කට්ටිය ගැන සඳහන් නොකර ඉන්නම්. ඒත් ඉතිං අපේ ප්‍රසන්න, ප්‍රියන්ත වගේ සහෝදරවරුන්ගෙ නම් නොකියා ඉන්න එකත් ලොකු අමාරු වැඩක්.

එක්කො ඔන්න ඔහේ මතක් වෙන නම් ටික කියලා දාමු.

පිස්සා, හා පැටික්කි, හසියා ඇතුලු හසී පවුල, ඩාර්ක් නෙට් ඉෂාර, සිකා, සංජු, පිණිබිඳු, ඉටලි ඩිලාන්, බුරතීනෝ, නිශ්, නවම්, අභීත, ගයාන්, ගෝල්ඩ් ෆිෂ්, රංග, රත්ගමයා, අංශු, සඳරු, ජීව්, ඉබ්බා, කොට ජීවිතේ, පූසා, ශේන්යා, දුමී, දුකා, කොඩී, ටැබූ, කකා, දිනේෂ්, කැන්ඩි, පුතා, ළමයා, වැම්පි, මකරා, රවා, අමිලආට්, රොයිලි, සුපුන් සුදාරක, පැරඩොක්ස්, සොබනි, සමීර විජයවර්ධන, ඔබ්සර්වර්, කොම්බුවා, චානකලින්, නිරෝෂන්, ධනුෂ්ක, රොෂාන් හේරත්, තාරක, මහසෝණා, බොරලු, මු.කොල්ලකාරයා, රන්දිල්, වීතරාගී, හංසි, ගයන්ත, නිම්ශා, කුෂාන්, මාරයා, වැප්, සෝරෝ .............................................තව ගොඩක් ඉන්නවා.

ලින්ක් දාන්න ඕනෙ නෑනෙ නේද? හැමෝම හොඳට අඳුරන කට්ටිය නොවැ මේ අය!

ඉතිං එදා මෙදාතුර මේ බ්ලොග් එකේ කොමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි කවුරුත් කරන්ට් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන, කලය වැය කරගෙන බ්ලොග් ලියන්නෙ, බ්ලොග් ලිවිල්ලට තියෙන ආදරේ හින්දා. ඉතිං පාඨකයො දාන කොමෙන්ට් වලින් තමයි ඉස්සරහට බ්ලොග් ලියන්න අවශ්‍ය ප්‍රධාන ශක්තිය ලැබෙන්නෙ.

ඒ වගේම කියන්න ඕනෙ අපේ ගොඩක් පාඨකයො ඉන්නවා ගොඩක් කාර්ය බහුල. අපි දන්නවා ඒ අයට කොමෙන්ට් කරන්න වෙලාවක් නෑ කියලා. ඒ වුණත් ඒ කට්ටිය මේ බ්ලොග් එක බලනවා කියන්නෙත් අපිට ලොකු ශක්තියක්. මොකද අපිට හිට් කවුන්ටර් වලින් පෙන්නනවා හැම ලිපියක්ම කී දෙනෙක් කියෙව්වද කියලා. ඉතිං කොමෙන්ට් නොදා හරි බ්ලොග් ගඩොල් කියවපු පාඨකයන්ටයි අපි ඊළගට ස්තුති කරන්නෙ.

ඒ වගේම අපේ බ්ලොග් එක පාඨකයො අතරට ගෙනියන්න මාධ්‍ය හැටියට උදව් කරපු කාලිංග ඇතුලු සිංහල බ්ලොග් කියවනයෙ උදවියටත්, වැප්නි සාන්ත ඇතුලු ලාංකීය සිතුවිලි උදවියටත්, ඉන්දිගේ කොත්තුවටත්, පිටස්තරයා ඇතුලු හත්මාලුවෙ කට්ටියටත්, සින්ඩි ලංකා කට්ටියටත්, චාමි ඇතුලු අඹගහේ ඉන්න යාලුවන්ටත්, එකී මෙකී නොකී සින්ඩි හැම එකකටමත් ගොඩක් ස්තුතියි.

ඇයි මූණු පොත, ගූගල් බස් එක එහෙමත් අපේ බ්ලොග් කෙරුවාවට දුන්න සහයෝගය අමතක කරන්න බෑ. ඉතිං මාක් සකර්බර්ග්ටත් ගොඩක් ස්තුතියි. (ඔන්න මාක් මේක කියවලා කොමෙන්ට් එකක් දාපං හරි?)

ඒ වගේම කියන්න ඕනෙ, අපේ බ්ලොග් එකේ ලින්ක් එක තමන්ගෙ බ්ලොග් ලිස්ට් එකට දාගෙන ඉන්න බ්ලොග් සහෘදයන්ටත් අපේ උපරිම ස්තුතිය පිරි නමනවා.

ඉතිං මේ ලිපි 100 ලියපු කාලය ඇතුලත අපිට මුණගැහිච්ච සයිබර් යාලුවො ගාන බොහොමයි. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශය හරිම අපූරුයි. ඇබ්බැහිවෙන සුලුයි. ඒත් ඒ ඇබ්බැහිවීමට පූසො කැමතියි.

මේ වෙද්දි බ්ලොග් ගඩොල් යම්කිසි ස්ථාවර බවකට ආපු බ්ලොග් අඩවියක් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. කොමෙන්ට්ස්, හිට්ස්, ෆලෝවර්ස්ලා, මේ කිසි දෙයක් පැත්තෙන් මෙච්චරකල්නං කිසිම අඩුපාඩුවක් වුණේ නෑ. ඉස්සරහටත් එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් කෙරුවාව හින්දා සතුටු වෙච්ච අවස්ථා ගොඩක් තිබුනා. හිත රිදුන අවස්ථාත් ඉතිං නෑ කිව්වොත් ඒක බොරුවක්.

මූණුපොතේ චැට් කරපු, බ්ලොග් එකේ කොමෙන්ට් දාපු යාලුවො ගොඩ දෙනෙක් බ්ලොග් ගඩොල් ගැන බොහොම සුභවාදී විදිහට තමයි බලන්නෙ. ඒ අතරින් සමහරුන්ගෙ ප්‍රියතම බ්ලොග් අඩවිය බ්ලොග් ගඩොල්ලු. එහෙම දේවල් ඇහුනාම ඉතිං ඔක්කොම අතඇරලා බ්ලොග් එක ලියන්න වගේ කික් එකක් එනවා. හික්ස්...ටැබූ, කතන්දර, දුකා වගේ දැවැන්තයො ඉන්න තැනක, අපි වගේ පොඩි හාල්මැස්සො සෙට් එකකට එහෙම දෙයක් කිව්වහම කොච්චර සතුටුද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

ඔය අස්සෙ ‍අපේ බ්ලොග් එක ටැබූගෙ සම්මාන වල හොඳම යොවුන් බ්ලොග්කරණය අංශයෙනුයි, රාජකීය විද්‍යාලයෙ අසනිය කුසුම සාහිත්‍ය උළලෙ හොඳම වින්දනාත්මක බ්ලොග්කරණය අංශයෙනුයි හොඳම බ්ලොග් 3 අතරට තේරුනා. ඒ සම්මාන දෙකේම පළමු ස්ථානය දිනාගත්තු සයිබර්යායෙ කෙසෙල් කොටුවේ චූටි මහත්තයාට සුභ පතන්නත් මේක අපි අවස්ථාවක් කර ගන්නවා.

කොහොමවුණත් ඕනෙම බ්ලොග්කරුවෙක්ට වගේ අපිටත් ගොඩක් වටින්නෙ සම්මාන වලට වඩා පාඨකයන්ගෙ ප්‍රතිචාර තමයි. විශේෂයෙන් මානසික ආතතියකට පත් වෙලා හිටපු සහෝදර බ්ලොග්කරුවෙක්ට ආපහු යථා තත්ත්වයට එන්න අපේ බ්ලොග් එකත් හේතුවුණා කියලා කිව්ව දවසෙ දැනුන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

ඒ වගේම බ්ලොග් ගඩොල් අඩවියෙ ඔයාලා කැමති අදහසක් කැමති විදිහට සටහන් කරන්න නිදහස තියෙනවා. තමන්ගෙ නමින් හරි, ඇනෝනිමස් හරි කැමති විදිහකට. හැබැයි අසභ්‍ය වචන අඩංගු වෙන්නනං බෑ හොඳේ.

දැන් ඉතිං මේ ලිපිය ලිව්වා ඇති කියලා හිතෙනවා. ‍මෙච්චරවෙලා ලියපුවා පොර ටෝක්ස් කියලා හිතන්නනං එපා යාලුවනේ. 100 වෙනි ලිපිය කියන්නෙ බ්ලොග්කරුවෙක්ට අති සුවිශේෂී අවස්ථාවක්. තමන් කරපු ලොකු කැප කිරීමක ප්‍රතිඵලයක්. ඒක හින්දා සමහර විට මේ ලිපිය ලියද්දි ටිකක් හැඟීම්බර වෙන්න ඇති. ඒ වගේම අපේ ලිවීමෙන් හිත රිදවීමක් වෙච්ච කෙනෙක් ඉන්නවානම් සමාවෙන්න.

දැන් බ්ලොග් අවකාශය ගැනනං ගොඩක් සතුටු වෙන්න පුලුවන්. ගොඩ දෙනෙක් අලුතින් බ්ලොග්කරණයට යොමු වෙලා තියෙනවා. ඒක හොඳ ධනාත්මක ලක්ෂණයක්. කවදාහරි බ්ලොග් කියන්නෙ ලංකාවෙ ප්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වෙයි කියලා අපි හිතනවා.

ඉස්සරහට ඉතිං තව අවුරුදු දෙකක් විතර බ්ලොග්කරණයේ යෙදෙන්නයි දැනට හිතාගෙන ඉන්නේ. තව ලියන්න කතා ගොඩක් තියෙනවා. ඒ වගේම අපි තවත් ලොකු වැඩකට මුල පුරලයි තියෙන්නේ. වැඩේ තවම ප්‍රසිද්ද කරන්න පුලුවන් මට්ටමේ නෑ. ළගදිම ඒ ගැන ඔයාලාට සුභ ආරංචියක් දැනුම් දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

එහෙනං අපි මෙතනින් නවතින්නම්.

ප.ලි :- ආ...ගොඩක් රෑ වෙලා. 18 වෙනිදාටත් එළිවෙලා නේද? අද අපේ පුරුපුරුගෙ 24 වෙනි ජන්ම දිනය නොවැ! මහ පොළොව කම්පා වෙච්ච දවසක් සමරන්න මෙන්න ඔයාලාටත් කේක් කෑල්ලක්.


කේක් එකේ ඉන්න මීයා අපිට ඉතුරු කරලා කේක් එක බෙදාගෙන කන්න හොඳේ.

Wednesday, February 16, 2011

දියාරු ලෝකය 2 - The Water World 2


අපේ දියාරු ලෝකය 1 ලිපිය තාක්ෂණික ගැටලුවක් හින්දා ගොඩක් දෙනෙක්ට බලන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ හින්දා දැන් කට්ටිය මුලින්ම ගිහින් ඒක බලන්නකෝ.

දියාරු ලෝකය - 1

ඉතිං ඔය විදිහට මාලුකට්ටායි, පුරුපුරුයි, කලුකුමාරියි, චාටර්මාලියි බස් එකේ ඇවිත් දියාරු ලෝකෙ ළගින් බැස්සා. ඒ දවස්වල දැන් වගේ ඔය ප්ලේස් එක හොඳට හදලා තිබුනෙ නෑ. දැන්නං ටීවී එකේ ඇඩ් දානවනෙ කුරුල්ලො එහෙමත් ඉන්නවයි කියලා. හැබැයි ඒ දවස්වලනං ඒකෙ හිටියෙ මාලු විතරයි. කොහොමහරි ඉතිං අපේ යාලුවො කට්ටියත් ටිකට් එහෙම අරගෙන දියාරු ලෝකෙට ඇතුල් වුණාලු.

මාලුකට්ටා මීට කලින් දවසක දියාරු ලෝකෙ බලන්න ඇවිල්ලා තිබුනා. ඒ හින්දා මෑන්ස් පුරුදු කාරයා වගේ දැන් චාටර්මාලිත් එක්ක ඉස්සරවෙලා යනවා. පුරුපුරුයි, කලුකුමාරියි යන්නෙ ඒ දෙන්නාට පිටිපස්සෙන්. මෙහෙම ගියාට මොකද, පුරුපුරු හිටියෙ හරිම අපහසුවෙන්. බැරිවෙලා හරි අඳුරන කවුරුහරි දැක්කොත් ආයි ඉඳලා ඉවරයි. අනික කලුකුමාරි එක්ක යාලුයි කියලා ආරංචියක් පැතිරුනොත් වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන එකත් බොරු.

හැබැයි අපි කලින් ලිපියෙත් කිව්වා වගේ කලුකුමාරිනං බොහොම විනෝදෙන්, මේ ගමන උපරිමයෙන්ම එන්ජෝයි කර කර තමයි හිටියේ. එයා හයියෙන් හිනා වෙනවා, ඉස්සරහින් යන මාලුකට්ටලාට විහිලු කරනවා, එක විකාරයයි එතන.

කලුකුමාරි :- පුරුපුරු, ඇයි අනේ ඔයා කතා නොකර ඉන්නෙ? ඔයා නිකං බයවෙලා වගේනෙ ඉන්නෙ!

පුරුපුරු :- මම? බය? පිස්සුද?

කලුකුමාරි :- මොකද නැත්තෙ? ඔය ඔයා හැමතිස්සෙම වට පිට බලබලා ඉන්නෙ. අනික කතා කරන්නෙත් බයවෙලා වගේ. ඇයි ඔයාට මාත් එක්ක යනකොට බයයි වගේද?

පුරුපුරු :- පිස්සුද? මම බය නෑ කුමාරි

කලුකුමාරි :- එහෙනං ඔයා මාත් එක්ක ඇවිදින්න කැමති නැද්ද?

පුරුපුරු :- නෑ නෑ! එහෙම එකක් නෙවෙයි. ඒ වුණාට කවුරුහරි අපි මෙහෙම යනවා දැක්කොත්, අපි දෙන්නා යාලුයි කියලා හිතයි නේද?

කලුකුමාරි :- ඒ වුණාට ඉතිං අර දෙන්නාට බාධා කරන්නත් බෑනෙ නේද? දැන්නං ඒ දෙන්නා යාලුවෙලා වගේම තමයි ඉන්නෙ.

ඔය දියාරු ලෝකෙ ලොකු මාලු ටැංකිවල එක එක ජාතියෙ ලස්සන මාලු දාලා ඉන්නවා. සමහර එවුන් පිටරටින් ගෙනාපු මාලු. ඉතිං ඔය වගේ ලස්සන මාලු ටැංකියක් ළගින් යද්දි කලුකුමාරි එතන නවතිනවා. ඊට පස්සෙ එයාගෙ කැමරාව පුරුපුරුට දෙනවා.

කලුකුමාරි :- පුරුපුරු, මගෙ ලස්සන ෆෝටෝ එකක් ගන්නකෝ

පුරුපුරු :- හ්ම්...

කලුකුමාරි :- ඔන්න මේ මාලුවත් බැක්ග්‍රවුන්ඩ් එකේ ලස්සනට ඉන්න ඕනෙ.

පුරුපුරු :- හා හා.

පුරුපුරුත් ඉතිං කලුකුමාරි කියන විදිහට ෆෝටෝ ගන්නවා. අර ලස්සන මාලුන්ගෙ ෆෝටෝ ටික කලුකුමාරි මැද්දට පැනලා අවලස්සන කරනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය දියාරු ලෝකෙ ලස්සන මාලු බල බලා ඉස්සරහට ගියාලු. අන්තිමට කට්ටිය ආවෙ ලොකු ගල් ගුහාවක් වගේ හදලා තිබුන තැනකට. ඒක ඇතුලේ අම්බානට කලුවරයි. ඒ මදිවාට ඒකෙ ටැංකිවල ඉන්නෙත් මෝරු. මේ වෙද්දිනං පුරුපුරුට ඇවිදලා එපා වෙලයි තිබුනෙ. අපරාදෙ! තව එක පූසෙක් හරි හිටියනං සිරාවට යන්න තිබුන අවුටින් එක. ඉතිං ඉස්සරහින් ගියපු මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලන්න කලුවර ගුහාව ඇතුලට ගියාලු. හැබැයි පුරුපුරුටනං මෝරු බලන්න කිසිම ඉන්ටරස්ට් එකක් තිබුනෙ නෑ.

කලුකුමාරි :- පුරුපුරු! අපිත් මෝරු බලන්න යමුද?

පුරුපුරු :- ඔයාට ඕනෙනං යන්න කුමාරි, මට මහන්සියි. මම අතන මේසෙ ගාවට යනවා වාඩි වෙන්න.

කලුකුමාරි :- එක්කො මටත් කම්මැලියි. එහෙනං අපි අර දෙන්නා එනකං එතෙන්ට වෙලා වාඩි වෙලා ඉමු.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. දැන් ඉතිං කිව්ව වචන ආපහු ගිලින්නත් බෑ නොවැ!

පුරුපුරු :- හා...යමුකො එහෙනං!

ඉතිං පුරුපුරුයි, කලුකුමාරියි ගිහින් ඊට ටිකක් එහා තිබුන ටේබල් එකේ වාඩි වුණාලු. එතන තිබුනෙ අර කුඩයක් හිටවලා ඒක වටේ‍ට පුටු තියෙන ජාතියෙ ටේබල් එකක්. දැන් ඉතිං මේ දෙන්නා බලාගෙන ඉන්නවා මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා එනකං. කොහෙද? පැය කාලක් විතර ගියත් මේ දෙන්නා එන පාටක් නෑ. පුරුපුරුට තේරුනා කලුවර ගුහාව ඇතුලෙ ලස්සන ලස්සන මෝරු ඉන්න ඇතියි කියලා. ඒ මදිවාට දැන් මෑන්ස්ට අම්බානට බඩගිනියි. අන්තිමට පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා ආවෙ.

ඊට පස්සෙ කට්ටිය කළේ එතන කිට්ටුව තිබුන තැනකින් ලන්ච් එක ගත්ත එක. ඊටත් පස්සෙ මාලුකට්ටාගෙ ගානෙ කට්ටියටම අයිස් ක්‍රීම් කප් හම්බවුණාලු. දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක හිනාවෙවී අයිස් ක්‍රීම් කනවා. එතකොටම තමයි අපේ පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච විදිහට, ඉතාම භයානක, මවිල් කෙලින්වෙන සුලු දර්ශනයක් දැක්කෙ.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!!! ඤාව්වාගෙ අම්මා.............


බැලින්නං කට්ටිය හිටපු තැනට ටිකක් එහා ඉඳගෙන, ඤාව්වගෙ අම්මා අපේ යාලුවො දිහා කන්න වගේ රවාගෙන බලන් ඉන්නවා. දැන් කට්ටියටම ෆුල් අප්සෙට්. පුරුපුරුයි, මාලුකට්ටායි අමාරුවෙන් ඤාව් මෑණියොත් එක්ක හිනාවෙන්න හැදුවත්, ඤාව් ඇන්ටි කළේ රවලා අහක බලාගෙන එතනින් යන්න ගිය එක. දැන්නං ඉතිං කට්ටියටම ෂුවර් බඩු පැකට් තමයි කියලා.

ඤාව්වාගෙ අම්මා හෝම් සයන්ස් ටීචර් කෙනෙක්. ඉතිං එදා ඉස්කෝලෙ ළමයි එක්කගෙන පොඩි අධ්‍යාපන චාරිකාවක් තමයි ඤාව්වගෙ අම්මලා ඇවිත් තියෙන්නෙ. ඤාව්වත් දැනගෙන ඉඳලා තියෙනවා මෑන්ස්ගෙ අම්මා ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න ඉන්නේ කියලා. ඒත් පොර දැනගෙන හිටියේ නෑ ඒ ට්‍රිප් එක යන්නේ දියාරු ලෝකෙ බලන්න කියලා. ඇරත් ලංකාවෙ මෙච්චර ප්ලේස් තියෙද්දි කවුද හිතන්නෙ මේ ට්‍රිප් එක දියාරු ලෝකෙටම එයි කියලා. අන්තිමට ඒ වැඩෙන් වුණේ මාලුකට්ටා මාට්ටු වෙච්ච එකයි, අහක හිටපු පුරුපුරු නිකං කාඩ් එක කුඩු කරගත්ත එකයි.

ඉතිං එදා අපේ යාලුවො කට්ටිය ගෙදර ගියෙ බයේ ගැහි ගැහී. ට්‍රිප් එක එද්දි තිබුන සතුට කට්ටියගෙ හිතේ ආපහු යනකොට තිබුනෙ නෑ. ඉතිං මාලුකට්ටා ගෙදර ගිහින් බලද්දි, බලාපොරොත්තු වෙච්ච විදිහටම ආරංචිය මෑන්ස්ටත් කලින්ම ගෙදරට ඇවිත් තිබුනලු.

මාලු මෑණියෝ :- පුතා, අද ඔයා කොහෙද ගියෙ?

මාකට් :- දියාරු ලෝකෙට.

මාලු මෑණියෝ :- ඔව් මම දන්නවා දියාරු ලෝකෙ හිටියෙ කියලා. ඔයයි පුරුපුරුයි දෙන්නාම ගෑනු ළමයි දෙන්නෙක් එක්ක නේද හිටියේ? ඔයාට පිස්සුද මේ වගේ වැඩ කරන්න? තවම උසස්පෙළ කරන්න පටන් ගත්තා විතරයි. දෙමව්පියො ඔයාලා ගැන කොච්චර බලපොරොත්තු තියාගෙනද ඉන්නෙ? ඔය වැඩ වලින් අධ්‍යාපනේ කඩාකප්පල් කරගන්නද හදන්නේ? කවුද ඔය ගෑනු ළමයි දෙන්නා?

දැන් මාලුකට්ටාට ප්‍රශ්න කෝටියයි. ඒ මදිවාට උපදෙස් ගොඩයි.

මාකට් :- මමනං දන්නෑ අම්මා මේ මොනවා කියවනවද කියලා? මම දියාරු ලෝකෙට ගියා තමයි. එතන ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා තමයි. ඒත් ඔය කියන විදිහෙ දෙයක් එතන සිද්දවුණේ නෑ.

මාලු මෑණියෝ :- දැන් ඔයා හිතන්නෙ මගෙ කොන්ඩෙ පැහුනෙ අකලට කියලද? මම මෝඩියෙක් කියලද හිතන්නෙ?

මාකට් :- නෑ නෑ අම්මේ! අපේ පුරුපුරු තමයි ඔය කලුකුමාරිට ට්‍රයි කරන්නේ. මමයි චාටර්මාලියි ඒ දෙන්නාට සපෝට් එකට ගියෙ. ආපහු මම එහෙම යන්නෙ නෑ. දන්නැද්ද අම්මේ? පුරුපුරු කතා කළාම නොගිහින් ඉන්න බැරිවුණා. මමත් මිනිහට කිව්වා විභාගෙ කරන්න කලින් ඔය වැඩ පටන්ගන්න එපා කියලා. කෝ ඉතිං! කිව්වට අහන එකක්යැ!

මාලු මෑණියෝ :- ඔය ඇත්තමද පුතා? බලන්නකො මේ ළමයා කරන වැඩ!

මාකට් :- පුරුපුරුලගෙ ගෙදරට කියන්නනං එපා අම්මේ! මිනිහා මට අල්ලගෙන ගහයි.

මාලු මෑණියෝ :- හා හා. මම ඕවා කියන්න යන්නෑ. මේ ළමයා හින්දා අපිට අපේ ළමයෙක්වත් හරියට හදාගන්න බැරිවෙනවා.

කොහොමහරි ඉතිං ඔය සිද්දිය පහුවදා වෙද්දි ඤාව්වගෙයි, උපාසකගෙයි අම්මලාටත් ආරංචි වෙලා තිබුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කට්ටියට පුරුපුරුලගෙ ගෙදර යන එක මාසයක් විතර තහනම් වෙලා තිබුනා. තව, ආරංචියෙ අතුරු ප්‍රතිඵලයක් විදිහට මාලුකට්ටා පුරුපුරුගෙන් ගුටි කෑවා. ඊට පස්සෙ ඔය සේරම දේවල් ටික දවසකින් කාට කාටත් අමතක වෙලා ගියා.

අන්තිමට මාලුකට්ටා චාටර්මාලි එක්ක ඔෆිෂියලි යාලු වුණා.

නිමි.

Tuesday, February 15, 2011

දියාරු ලෝකය (The Water World)


ඉතිං යාලුවනේ මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල හරියෙ ඉන්නකොට. අපේ බ්ලොග් එක මුල ඉඳලා බලපු කට්ටියට මතක ඇතිනෙ අර මාලුකට්ටායි, ඤාව්වායි දෙන්නාම ට්‍රයි කරපු චාටර්මාලි කියන ගෑනු ළමයාව. ඉතිං පස්සෙ කාලෙක මාලුකට්ටාට පුලුවන් වුණාලු මේ ගෑනු ළමයාට ගොඩක් කිට්ටු වෙලා හිතවත් වෙන්න.

ඔය විදිහට මාස කීපයක් ගියාට පස්සෙ මාලුකට්ටා චාටර්මාලිත් එක්ක යාලු වෙලා වගේ තත්ත්වයක් තමයි තිබුනේ. දෙන්නා ක්ලාස් වලට යන්නෙ එකටමයි. බස් එකේ යන්නෙත් එකටමයි. කොටින්ම මේ වෙද්දි අනිත් පූසන්ටත් මාලුකට්ටාව අල්ලගන්න බැරුවයි හිටියේ. ඉතිං පුරුපුරු, උපාසක, ඤාව්වා සහ මී කතුරා කට්ටියම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මාලුකට්ටා චාටර්මාලි එක්ක යාලුද නැද්ද කියලා.

ඉඳලා ඉඳලා දවසක අහම්බෙන් මෑන්ස්ව අල්ලගන්න චාන්ස් එකක් හම්බවුණත්, මාලුකට්ටා අනිත් පූසන්ට කිව්වෙ නෑ පොරගෙ ලව් එකේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා. චාටර්මාලි ගැන අනිත් පූසො ඇහුවොත් මෑන්ස් කිව්වෙම

"අනේ මන්දා බං!"

කියලා විතරයි. ඉතිං මේ හේතුව හින්දා අපේ පූසො සෙට් එකට මේ දවස්වල මාලුකට්ටා එක්ක ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ.

ඔය චාටර්මාලිගෙ හොඳම අතීසාර මිතුරිය තමයි අපි කවුරුත් දන්න කලුකුමාරි. අනිත් පූසන්ට මොනවත් නොකිව්වට මොකද, මාලුකට්ටා කලුකුමාරිටනං ඔක්කොම දේවල් කියලා, තමන්ගෙ ලව් එකට විදේශාධාර බලාපොරොත්තු වෙලා තිබුනා. ඉතිං මේ හේතුව හින්දා, අපේ පූසො කට්ටියට මාලුකට්ටා එක්ක ජම්ප් වෙලා තිබුන ෆ්ලවර් එක තවත් ඇම්ප්ලිෆයි වුණාලු. මේ වෙද්දි උපාසක, ඤාව්වා ඇතුලු පූසන්ගෙ නිගමනය වෙලා තිබුනෙ මාලුකට්ටා චාටර්මාලි එකක් යාලුවෙලා, ඒක තමන්ට නොකියා ඉන්නවයි කියන එක.

ඉතිං මේ දවස්වල පූසො කට්ටිය සෙට් වෙද්දි ගොඩක් වෙලාවට සෙට් වුණේ පුරුපුරුයි, ඤාව්වායි, උපාසකයි, මී කතුරායි විතරයි. කොහොමහරි එක දවසක් අපේ පුරුපුරුට මාලුකට්ටාගෙන් හදිස්සියෙම කෝල් එකක් ආවලු.

මාලුකට්ටා :- මචං පුරු, හෙට අපි පොඩි ගමනක් යනවා. උඹටත් එන්න පුලුවන්ද?

පුරුපුරු :- ගමනක්? කොහෙද?

මාලුකට්ටා :- අර දියාරු ලෝකය බලන්න යන්න. එහෙ සිරාලු බං!

පුරුපුරු :- දැන් එතකොට කවුරු කවුරුද යන්නේ?

මාලුකට්ටා :- මමයි, චාටර්මාලියි, කලුකුමාරියි, තව හේනවිලේජ් එකේ කෙල්ලො සෙට් එකකුයි.

පුරුපුරු :- කලුකුමාරිත් යනවද?

මොකද මේ දවස්වල අර ඤාව්වගෙ කේස් එක හින්දා, අනිත් පූසො කලුකුමාරිත් එක්ක ටිකක් හිත නොහොඳින් තමයි හිටියේ.

මාලුකට්ටා :- ඔව් බං! ඒකිව දාලා යන්නත් බෑනෙ. චාටර්මාලි ඒකි නැතුව එන්න කැමති නෑ. අනික කලුකුමාරි කියන්නෙ හොඳ කෙල්ලෙක් මචං. දැන් උඹලා ආවෙ නැත්තං මට කෙල්ලො සෙට් එකක් එක්ක තනියම තමයි යන්න වෙන්නෙ.

පුරුපුරු :- උපාසකලා එනවද දන්නෑ?

මාලුකට්ටා :- මම උන් තුන්දෙනාටම කිව්වා. මී කතුරාටනං එන්න වෙන්නෙ නෑලු. උපාසකයි, ඤාව්වායි එන්නං කිව්වා.

පුරුපුරු :- හා හා. ඉතිං බං උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කනෙ උඹ යන්නෙ? අපි නැති වුණාට අවුලක් නෑනෙ?

මාලුකට්ටා :- තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි බං! හැබැයි ටිකක් විතර ඒ වගේ.

පුරුපුරු :- හා හා!! හෙට උදේ හම්බවෙමුකො එහෙනං. උඹලා ඉතිං දැන් අපිට කිසිම දෙයක් කියන එකක්යැ!

මාලුකට්ටා :- හික්...එහෙම එකක් නෑ බං! යථා කාලෙදි උඹලාට සුභ ආරංචියක් දෙන්න පුලුවන් වෙයි.

මාලුකට්ටා පුරුපුරුට පණිවිඩේ කිව්වෙ ගමන යන්න කලින් දවසෙ රෑ වෙලා. ඉතිං ඒ වෙලාවෙ උපාසකටයි, ඤාව්වාටයි කෝල් කරන්න කම්මැලි වෙච්ච අපේ පූසා, කෙලින්ම ගිහින් නිදා ගත්තලු. පහුවදා තිබුනෙ මොකක් හරි නිවාඩු දවසක්. ඉතිං ඉස්කෝලෙත් නිවාඩු හින්දා කරන්න වැඩක් තිබුනෙත් නෑ. ඒක හින්දා පුරුපුරු තීරණය කළාලු මාලුකට්ටාත් එක්ක මේ ගමන යන්න. අනික අනිත් පූසොත් එනවනේ. අනික පුරුපුරු ඒ වෙද්දි කවදාවත් දියාරු ලෝකෙ බලන්න ගිහින් තිබුනෙත් නෑ.

ඉතිං කලින් කතා වෙච්ච විදිහට, පහුවදා උදේම පුරුපුරු ගියාලු පූස්ගම බස්ටෑන්ඩ් එකට. හැබැයි මෑන්ස් යද්දි අඳුරන කවුරුවත් බස්ටෑන්ඩ් එකේ හිටියෙ නෑලු. ටික වෙලාවක් යද්දි තමයි මාලුකට්ටා එතෙන්ට ආවෙ.

මාලුකට්ටා :- මාර කේස් එකනෙ බං. අරූට එන්න බැරිලුනෙ.

පුරුපුරු :- ???

මාලුකට්ටා :- ඤාව්වා උදේ කෝල් කරලා කියනවා කලුකුමාරි එන හින්දා ඌට එන්නම බැරිලු.

පුරුපුරු :- එතකොට උපාසක?

මාලුකට්ටා :- ඌනං ඊයෙම එන්න බෑ කිව්වා බං. මම උඹට බොරුවට ඌ එනවයි කිව්වෙ, උඹත් ආවෙ නැත්තං කියලා.

මේක ඇහුවාමනං අපේ පුරුපුරුට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණාලු. මාලුකට්ටාගෙ සිරිතක් තමයි බොරු කියන එක. ඒ වුණාට මේ වගේ දේවල් වලදි බොරු කිව්වාමනං පුරුපුරුට ෆ්ලවර් ජම්ප් වෙනවා.

පුරුපුරු :- දැන් යකෝ උඹ චාටර්මාලි එක්ක ලව් කරද්දි මට වෙන්නෙ අර කොහෙවත් යන කෙල්ලො සෙට් එකක් එක්ක ඉඳලා බයිට් වෙන්නනෙ.

පුරුපුරු මෙහෙම කියද්දි මාලුකට්ටා මීක් නැතුව අහගෙන ඉන්නවා. මොනවා වුණත් යාලුවානෙ කියලා අපේ පූසා ඉතිං හිත හදාගත්තලු. තවත් ටික වෙලාවකින් තමයි බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් චාටර්මාලියි, කලුකුමාරියි මතුවුණේ. මේ දෙන්නා ඉතිං පුරුපුරුයි, මාලුකට්ටායි කතා කර කර හිටපු තැනට ආවලු.

කලුකුමාරි :- කෝ? ඤාව්වා ආවෙ නැද්ද?

මාලුකට්ටා :- එයාට එන්න බෑ කිව්වනෙ.

කලුකුමාරි :- අම්මෝ! ඒකනං ලොකු දෙයක්. නැත්තං මට මාර කරදරේ එයාගෙන්. අපි එහෙනං යමු නේද?

පුරුපුරු :- ඇයි අනිත් කට්ටිය?

කලුකුමාරි :- ආ...ඒ කට්ටියටත් එන්න වෙන්නෙ නෑ අනේ!

මේක ඇහුවාමනං පුරුපුරුට අසූහාරදාහට තද වුණාලු. පළවෙනි කාරනේ තමයි, උපාසක එදා එන්නේ නෑ කියලා පුරුපුරු දැනගෙන හිටියේ නෑ. ඒත් කලුකුමාරි ඒ බව දන්නවා. දෙවෙනි කාරනේ තමයි, මාලුකට්ටා චාටර්මාලි එක්ක පෙම් සුව විඳිනකොට පුරුපුරුට ඉන්න වෙන්නෙ කලුකුමාරි එක්ක. වහාම ආපහු හැරිලා ගෙදර යන්න හිතුනත්, මාලුකට්ටා පව් නේද කියලා කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු ඕන එකක් වෙන්න කියලා මේ ගමන යන්න.

ඊටපස්සෙ ඉතිං කට්ටිය කළේ පූස්ගම-කොළඹ බස් එකක නැගලා දියාරු ලෝකෙට යන්න පිටත් වෙච්ච එක. බස් එකට නැග්ග හැටියෙම මාලුකට්ටා, චාටර්මාලි එක්ක බස් එකේ පෙම් මුල්ලට ගියාලු. පුරුපුරුයි කලුකුමාරියි වාඩි වුණෙත් පිටිපස්සෙම සීට් එකේ, හැබැයි අනිත් පෙම්මුල්ලෙ නෙවෙයි. දැන් ඉතිං ඇත්තටම එතන කපල් දෙකක් ඉන්නවා වගේ තමයි පිටින් බලන කෙනෙක්ට පේන්නෙ. විලි ලැජ්ජාවයි.

අපේ පුරුපුරුගෙ හිතේ කලුකුමාරි ගැන කිසිම ආල හැඟීමක් ඇතිවෙලා තිබුනෙ නෑ. එහෙමත් තියෙද්දි දැන් පූස්ගම ආරංචියක් පැතිරුණොත් පුරුපුරු කලුකුමාරි එක්ක යාලුවෙලා කියලා, වන විනාසයක් තමයි වෙන්නෙ. ඉතිං අපේ පූසාත් බයෙන් ගැහි ගැහී, වටපිට බල බලා කලුකුමාරි එක්ක බස් එකේ ගියාලු. මාලුකට්ටානං ෆුල් ආතල් එකේ, බාහිර ලෝකය ගැන කිසිම හැඟීමක් නැතුව, චාටර්මාලි එක්ක ප්‍රේම සාගරේ ගිලිලා හිටියලු.

ඔක්කොටමත් වඩා ඉවසන්න අමාරු කලුකුමාරි කියවන්න ගත්තහම නන්ස්ටොප් කියවන එක. ඇරත් එයා පුරුපුරුත් එක්ක බස් එකේ වාඩි වෙලා ගියෙත් බොහොම රිලැක්ස් එකේ, තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවා වගේ තමයි. ඉතිං අපේ පුරුපුරුත් බොහොම අමාරුවෙන් මේ කරදරේ ඉවසගෙන බස් එකේ ගියාලු. කොහොමහරි පැය එකහමාරක් විතර යද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණාලු දියාරු ලෝකෙ ගාවින් බස් එකෙන් බහින්න.

ප.ලි - බ්‍රේකින් නිව්ස්

මේ පාර පොඩි මැතිවරණයට රෝහණදීර ඉදිරිපත් වෙලා කියලා නිල නොලත් නිව්ස් එකක් ලැබුනා. ඒ පිළිබඳ තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට ගඩොල්වාහිණිය සූදානම්.

Friday, February 11, 2011

කේ.මෙන්ඩිස් 4 (අවසාන කොටස) - කේ.පීරිස්

කේ.මෙන්ඩිස් - 1
කේ.මෙන්ඩිස් - 2
කේ.මෙන්ඩිස් - 3

අපි කලින් ලිපියෙ කියපු විදිහට ඉතිං පූසො සෙට් එක ඇතුලු කට්ටිය හවස් වරුවෙ පුරුපුරුගෙ ගෙදරට සෙට් වුණාලු. දැන් කට්ටියම පුරුපුරුගෙ කොම්පියුටර් රාජයා ඉස්සරහා ඉඳගෙන ඉන්නේ. ඒ අස්සේ ඤාව්වා දෙවියන්ට කන්නලව් කරනවා කරන්ට් එක යන්න එපා කියලා. මොකද ඒ දවස්වල පුරුපුරු ගාව යූපීඑස් එකක් තිබුනෙ නෑ. අන්තිමට ඉතිං අපේ පුරුපුරුත් සුභ මොහොතින් බෑග් එකේ තිබුන ගනේ කොම්පියුටරේ ළගට ගෙනාවලු. දැන් ඉතිං කට්ටියම සද්ද බද්ද නෑ. ගමේ යාලුවො දෙන්නා ඇස් දෙක උඩ තියාගෙන බලාගෙන ඉන්නවා.

ඊටපස්සෙ පුරුපුරු කළේ සුභ මොහොතින්, බොහොම පරිස්සමට කේ.මෙන්ඩිස්ගෙ ගනේ සීඩී රොම් එකට ඇතුල් කරපු එක. ගනේ කොම්පියුටරේ ඇතුලට යද්දි ඉතිං කට්ටිය කටවල් ඇරගෙන බලාගෙන හිටියලු.

හවස ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් මී කතුරා පුරුපුරුට ගනයේ අන්තර්ගතය ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලයි තිබුනේ. මී කතුරා කියපු විදිහට මුලින්ම යන්නෙ කේ.මෙන්ඩිස් එක්ක පොඩි ඉන්ටර්වීව් එකක් වගේ එකක්.‍ ඊට පස්සෙ ඉතිං *************************************************. ඉතිං ඕවා අහපු අපේ පූසන්ටත් මේක බලනකං ඉවසිල්ලක් නැතුවයි හිටියේ.

දැන් පොතේ හැටියට මීඩියා ප්ලේයර් එක ඔන් වෙලා මේක ප්ලේ වෙන්න පටන් ගන්න ඕනෙ. ඒ වගේම ගෙදර කවුරුත් හිටියෙත් නැති නිසා කට්ටිය සවුන්ඩ් එහෙමත් ෆුල් වැඩි කරලයි තිබුනේ. ඔන්න ඉතිං එක පාරටම කොම්පියුටරයෙන් සද්දයක් ආවලු.

" දෙහි මලක් වගේ දැනෙයි නුඹත් දුර උන්නම සුවඳ ගෙන එනා
දෙහි මලක් වගේ දැනෙයි නුඹත් ළග උන්නම සුවඳ නොම දෙනා"

දැන් පුරුපුරු ඇතුලු පූසන්ට පට්ටම අබ්ලික්ලු. ඒ මදිවට අර ගමේ කොල්ලො දෙන්නා මූනට මූණ බලාගන්නවා.

පුරුපුරු :- මේකනෙ බං, සිංහල එකක්නෙ, මුලින් සිංදු කෑල්ලක් ගිහින් තමයි පටන් ගන්නවා ඇත්තෙ

මෑන්ස් මෙහෙම කිව්වට මොකද, කොම්පියුටරෙන් එන්නෙ සද්දෙ විතරයි, කිසිම වීඩියෝ එකක් නෑ. මීඩියා ප්ලේයර් එකත් ඔහේ ප්ලේ වෙනවා. පුරුපුරු ඉතිං කෝකටත් කියලා ප්ලේයර් එක පොඩ්ඩක් ඉස්සරහට යවලා බැලුවලු.

" දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනං බෑ සිත රිදන කතාවක්"

ඒ ගමන් තව සින්දුවක් යනවලු. ඒත් කිසිම වීඩියෝ එකක් නෑ. දැන්නං අපේ පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒ ගමන මෑන්ස් කළේ මේක තව ටිකක් ඉස්සරහට යවපු එක.

" ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
වේලිලා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද"

ඒ ගමනනං පුරුපුරු ඇතුලු අපේ පූසො සෙට් එකට තේරුණාලු මී කතුරා තමන්ට ගේම දීලා තමයි කියලා. බැලින්නං මෑන්ස් කේ.මෙන්ඩිස්ගෙ ගනයක් කියලා දීලා තියෙන්නෙ කේ.පීරිස්ගෙ අර මල් සිංදු තියෙන සිංදු සීඩී එක. මේක තේරුණා විතරයි පුරුපුරුට අසූහාරදාහට ෆ්ලවර් ජම්ප් වුණාලු. ඒ අස්සෙ අර ගමේ කොල්ලො දෙන්නා බිම පෙරලි පෙරලි හිනාවෙනවලු.

" අඩෝ උඹලගෙ ඉස්කෝලවල එවුන් කිංස්ලිගෙ සින්දු අහලද ආතල් ගන්නෙ? හැක් හැක් හැක්...... "

දැන්නං පූසො කට්ටියම කේන්තියෙනුයි, ලැජ්ජාවෙනුයි ජම්බු ගෙඩි වගේ රතුවෙලා. අර විදූශාවත් පූසන්ට මෙච්චර අපහාසයක්නං කරලා නෑ. දැන් ඉතිං කට්ටිය ආපහු රෙද්දක් ඇදගෙන පූස්ගම ටවුන් එකට යනවා බොරු. දැන් මී කතුරා අහුවෙන්න හිටියනං පූසො කට්ටිය මෑන්ස්‍ව ඌර්ධවපාතනය කරනවා. කරුමෙට පොරගෙ ටෙලිෆෝන් නම්බර් එකවත් පුරුපුරුලා ඒ වෙනකොට ඉල්ලගෙන තිබුනේ නෑ. ඉතිං ටික වෙලාවකින් ගමේ කොල්ලො දෙන්නා හිනාවෙන් තරවෙලා ගෙවල් වලට යන්න ගියාලු. දැන් ඉතුරු පූසො‍ කට්ටිය විතරයි.

උපාසක :- බලපං බං මූ අපිට දුන්න ගේම? දැන් ඉතිං කොහොමද පාරකවත් බැහැලා යන්නෙ?

පුරුපුරු :- ඒක පැත්තකින් දැම්මත් දැන් අර ගනේ ගන්න බලාගෙන ඉන්න එවුන්ට මොකද කියන්නෙ?

ඤාව්වා :- එහෙනං ඔය මී කතුරා කියන එකාට ඉස්කෝලෙදි අල්ලගෙන අම්බානට නෙලපං

මාලුකට්ටා :- ඔව් ඔව්!! මේ කරපු වැඩේට ඌට නෙලන්නම වෙනවා. ඉස්කෝලෙට ඇවිත් දවස් දෙක තුනයි, බලපං මූ මේ අවුරුදු ගානක් හිටපු අපිටත් ගේම දුන්නනෙ.

ඉතිං අන්තිමට තීරණය වුණේ ඊළග ද‍වසෙ ඉස්කෝලෙදි මී කතුරාට අල්ලගෙන හොඳටම ගහන්න. මේ අස්සෙ ක්ලාස් එකේ කොල්ලන්ගෙන් මාලුකට්ටාගෙ මොබයිල් එකට හෝ ගාලා කෝල් එනවා. කට්ටියම අහන්නෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේ කොහොමද කියලා. ඉතිං මාලුකට්ටා වෙච්ච සිද්දිය කිව්වට පස්සෙ ඒ කට්ටියටත් ෆ්ලවර් ජම්ප් වෙනවා.

අන්තිමට බලද්දි මුලු ක්ලාස් එකම වගේ අනිත් දවසෙ මී කතුරාට ගහන්නයි ලෑස්ති වෙලා හිටියෙ. ඒ මදිවාට ඤාව්වාගෙ ලෑස්තිය ලොකුනමේ කොල්ලො ටික ලෑස්ති කරගෙන මී කතුරාට ඉස්කෝලෙන් එළියෙදි ගහන්න. ඒත් ඉස්කෝල අතර වලියක් යන්න පුලුවන් නිසා ඤාව්වාට ඒ වැඩේට අනිත් පූසන්ගෙන් අවසර ලැබුනෙ නෑ.

ඔය විදිහට වෙලාව ගිහින් අපේ පූසො අනිත් දවසෙත් ඉස්කෝලෙට ගියාලු. පුරුපුරුයි, මාලුකට්ටායි, උපාසකයි උදේ පාන්දරම පුරුපුරුලගෙ බයෝ ක්ලාස් එකට ආවෙ මී කතුරාගෙ බෙල්ලෙන්ම අල්ලගන්න බලාගෙන. කට්ටිය එද්දි මී කතුරාගෙ බෑග් එකනං ක්ලාස් එක ඇතුලෙ තිබුනා, හැබැයි මී කතුරා පේන්න හිටියෙ නෑ. ඔය විදිහට ටික වෙලාවක් යද්දි ක්ලාස් එකේ ගොඩක් ළමයි ඇවිත් හිටියලු. කට්ටියම ඇවිත් හිටියේ මී කතුරාට හොඳ රිටර්න් එකක් දෙන්න බලාගෙන. ඒත් ඉස්කෝලෙ පටන් පැය කාලක් තියෙද්දිත් මී කතුරා පන්තියට ඇවිත් තිබුනෙ නෑලු.

රාජු :- මචං ඔය මී කතුරා ඉස්කෝලෙ ගැන තවම හරියට දන්නෙත් නෑ. ඒක හින්දා ඌට ඇවිදින්න යන්න තැනක් නෑනෙ. අනිවාර්යෙන්ම මූ ගුටිකන්න වෙන බව දැනගෙන හැංගිලා ඇත්තෙ.

මහබබා :- ඒත් බං මූව කොහෙ කියලා හොයන්නද?

රාජු :- මූ මචං අලුත් හින්දා තවම ඉස්කෝලෙ හැංගෙන තැන් දන්නෙ නෑ. මූ දන්න එකම තැන තමයි කැන්ටින් එක. අනිවා ඇත්තෙ ඕක ඇතුලෙ තමයි. අපි ගිහින් බලමු.

පුරුපුරු :- ඒක තමයි. මමත් හිතන්නෙ මූ ඇත්තෙ කැන්ටිමේ තමයි. මහබබා උඹලා කට්ටිය එහෙනං ක්ලාස් එකේ ඉඳලා ඌ ආවොත් නෙලපං. අපි කට්ටියක් යන්නං කැන්ටින් එකට.

මෙහෙම කියපු පුරුපුරු තව කොල්ලො කීප දෙනෙක් එක්ක ගියාලු කැන්ටින් එකට. ඒ වෙලාවෙ ඉස්කෝලෙ පටන් අරගෙන තිබුනෙත් නැති නිසා කැන්ටිම කොල්ලන්ගෙන් පිරිලයි තිබුනෙ. ඇත්තටම කැන්ටිම මී කතුරාට හැංගෙන්න කියාපු ප්ලේස් එක. මොකද සුදු ඇඳගෙන ඉන්න කොල්ලො සිය ගානක් අතරෙ මෑන්ස්ව හොයන එක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්. කෝකටත් කියලා, පුරුපුරුලා කැන්ටිමේ කෙළවරක ඉඳලා මී කතුරාව හොයන්න ගත්තලු.

ටික වෙලාවක් හොයද්දි මෙන්න බොලේ මී කතුරා ඉන්නවා කැන්ටිමේ කොල්ලො ගොඩක් අස්සට වෙලා හැංගිලා. පුරුපුරුගෙ ෆ්ලවර් ජම්ප් වෙච්ච මූණ දැක්කට පස්සෙ මී කතුරාට තේරුණාලු එදානං මෑන්ස්ට බොහොම අසුභ දවසක් වෙන බව. පුරුපුරු කළේ වහාම පැනලා මී කතුරාගේ බෙල්ලෙන්ම අල්ලගත්ත එක.

පුරුපුරු :- ඈ බොල ***, තෝ මට කේ.මෙන්ඩිස්ගෙ කියලා කේ.පීරිස්ගෙ සීඩී එකක් දුන්නෙ මම ඔටුවෙක් කියලා හිතලද? තොගෙ වැඩ හින්දා මට දැන් ගමේ එවුන්ටයි, ඉස්කෝලෙ එවුන්ටයි දෙගොල්ලන්ටම මූණ දෙන්න බෑ. හිටපං උඹට දෙන්න. වරෙන් පන්තියට.

මෙහෙම කියපු පුරුපුරු මී කතුරාගේ ෂර්ට් කොලර් එකෙන් අල්ලගෙන මෑන්ස්ව පන්තියට ඇදගෙන ගියාලු.

මී කතුරා :- අනේ බං පුරපුරු, පොඩි වැරදීමක් බං වෙලා තියෙන්නෙ, සොරි බං

මී කතුරා විලාප දෙනවා.

පුරුපුරු :- ‍යකෝ ඒ ලෙවල් කරන්න ගත්තහමවත් වලි වලට යන එක නවත්තලා හොද වෙන්නයි බැලුවේ. තොපි ඒකටවත් ඉඩ දෙන්නෙ නෑනෙ

මෙහෙම කියපු පුරුපුරු මී කතුරාව පන්තිය ඇතුලට ඇදගෙන ගියාලු. මී කතුරා එනවා දැක්ක ක්ලාස් එකේ කොල්ලො කට්ටිය ඉස්සරහට ආවෙ ඇගේ පතේ හිරි ඇරගන්න බලාගෙන. ඊටපස්සෙ කට්ටිය මී කතුරාව බිම දාගෙන නෙලන්න ගත්තෙ මෑන්ස්ට කෑගහන්නවත් නොදී. ටික වෙලාවකින් බලද්දි මී කතුරාට නැගිටින්නත් අමාරු ගානට වැදිලා.

මහබබා :- උඹට දැන් ගුටිකාලා අමාරුද?

මී කතුරා :- ඔ...ඔව් බ්.....බං!

මහබබා :- මුෂ්ටාක් ඔය පාන් බාගෙ ගෙනෙන් බං.

මහබබා මුෂ්ටාක්ට කියලා මෑන්ස් දවල්ට කන්න ගෙනාපු පාන් බාගෙ ගෙන්න ගත්තලු.

මහබබා :- උඹට දැන් ගුටි කාලා අමාරුනෙ. දැන් එහෙනං කාපං පාන්

මෙහෙම කියපු මහබබා, පුරුපුරු එක්ක එකතු වෙලා අර පාන් බාගෙම බිම වැටිලා හිටපු මී කතුරාට කැව්වලු. දැන් ගුටිකාපු අමාරුවයි, පාන් කවපු අමාරුවයි දෙකම එකතු වෙලා මී කතුරාට කෙලින් ඉන්නවත් බෑ.

පුරුපුරු :- ආ...දැන් ඔය දූවිලි ටික පිහදාගෙන ලෑස්තිවෙයන් මිස් ක්ලාස් එකට එන්න කලින්.

ඔය අතරෙ මාලුකට්ටා ඉදිරිපත්වෙලා මී කතුරාගෙ ඇගේ තිබුන දූවිලි ටික පිහදාලා දුන්නලු. ඊටපස්සෙ තමයි ස්කූල් සෝන්ග් එක එහෙම කියලා ඉස්කෝලෙ පටන් ගත්තේ.

එදා දවසේ උදේ කාලය මී කතුරාට අපලයි කියලා හිතුවාට මෑන්ස්ට ගොඩක් අපල වෙන්න තිබුනේ එදා ඉන්ටර්වල් එක. මොකද ඉන්ටර්වල් එකේදි මෑන්ස් කරපු වැඩේ ආරංචි වෙච්ච වෙන ක්ලාස් වල කොල්ලොත්, පොරට ගහන්නයි කියලා පුරුපුරුලාගෙ පන්තියට ආවලු. විශේෂයෙන් ඒ අතරෙ හිටියේ මී කතුරාගෙ බොරුවට අහුවෙලා එම්ප්ටි සීඩී ගත්ත කොල්ලො. ඉතිං අන්තිමට පුරුපුරුටයි, මහබබාටයි ලොකු මහන්සියක් ගන්න සිද්ද වුණාලු ඒ කොල්ලන්ගෙන් මී කතුරාව බේරගන්න. මොකද ආපු කොල්ලන්ගෙ ගාන අනුව මී කතුරා ඒ කට්ටියගෙනුත් ගුටි කෑවනං හොස්පිට්ල් ගිහින් තමයි නවතින්නෙ.

ඉතිං ඔය විදිහට ටික දවසක් යද්දි කේ.මෙන්ඩිස්ගෙ ගනේ සිද්දිය කට්ටිය මතක් කර කර හිනාවෙන සිද්දියක් බවට පත්වුණාලු. කොටින්ම අදටත් ඉස්කෝලෙ කොල්ලො මී කතුරා කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි කේ.මෙන්ඩිස් කිව්වොත් ග්‍රේඩ් එකේ ඕනෙ බුවෙක් මී කතුරාව දන්නවා.

ටික දවසකින් අපේ පූසො සෙට් එකයි, මී කතුරායි ආපහු ෆිට් වුණාලු. ඔය තරහා මරහා හිතේ තියාගන්න ජාතියෙ කට්ටිය නෙවෙයිනෙ පූසො කියන්නේ. ඊටපස්සෙ පූසන්ටත් තේරුණාලු මී කතුරා කියන්නෙත් පිස්සුම පිස්සු පූසෙක් කියලා. ඊටපස්සෙ තමයි පූසො සෙට් එකට පස්වෙනි සහ අවසාන පූසා එකතු වුණේ. ඒ තමයි මී කතුරා. ඉතිං අදින් පස්සෙ අපේ කතාවල එන ප්‍රධාන චරිතයක් විදිහට මී කතුරාව ඔයාලාට හම්බවෙයි.

නිමි.

ප.ලි :- මේ මී කතුරා ජීවිත කාලය තුළ තැබූ පළමු පොල්ල නොවේ. එමෙන්ම අවසාන පොල්ලද නොවේ. කන්දක් උඩ ඇති ශ්‍රී ලංකාවේ ඉපැරණි සක්වල තක්සලාවක, සිසුන් 400-500ක් සිටින බැච් එකකට තැබූ පොල්ල හා සැසඳීමේදී කේ.මෙන්ඩිස් යනු ඉතා ප්‍රාථමික මට්ටමේ පොල්ලකි.

අනිත් කාරනේ යාලුවනේ අපිට කලින් පෝස්ට් වල කොමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරිවුණා. මේකටත් එහෙම වෙයිද දන්නෑ.

පුරුපුරුට විභාග වැඩය. එනිසා බ්ලොග් එකේ ගතකරන කාලය ටිකක් අඩුකර ඇත. උපාසකගේ අන්තර්ජාල කොනෙක්ෂනය ජංජාලයක් වී ඇත.

ඉතිං සොරි හොඳේ. ඒත් ඔයාලගෙ හැම අදහසක්ම කියවලා අපි ගොඩක් සතුටු වෙනවා. අත්‍යාවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. පෙබ. 14 වෙනිදා වෙනකං මේ තත්ත්වය තියෙයි. බායි.........

ඒක නෙවෙයි, කෝ මොකද අපේ කාන්තා පාර්ශ්වය සද්ද නැත්තේ?

කේ. මෙන්ඩිස් 3 - සතුට ඉහවහා ගිය දවස



කේ. මෙන්ඩිස් - 1
කේ. මෙන්ඩිස් - 2

ඉතිං යාලුවනේ අපි කිව්වනෙ අපේ මී කතුරා, කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනත් දෙන්න පොරොන්දු වුණ විදිහයි, ඊට පස්සෙ ක්ලාස් එකේ කොල්ලො සෙට් එක අම්බානට සතුටට පත් වෙච්ච විදිහයි. කොහොමහරි මේ කේ. මෙන්ඩිස්ගෙ සිද්දිය මුලු ග්‍රේඩ් එක පුරාම පැතිරිලා ගියෙ විදුලි වේගෙන්. කොටින්ම එදා දවස ඉවර වෙන්න කලින් ග්‍රේඩ් එකේ බාගයක්වත් කේ. මෙන්ඩිස් ඉන්න ගනයක් තියෙන බව දැනගෙන හිටියා.

ග්‍රේඩ් එකේ ඉතුරු බාගෙත් පහුවදා වෙද්දි මේ ගැන දැනගත්තා. දැන් පුරුපුරුලගෙ පන්තිය ඉස්සරහා කොල්ලො පිරිලා. බයෝ කරන කොල්ලො මදිවට මැත්ස්, කොමර්ස්, ආර්ට් කරන කට්ටියත් පුරුපුරුලගෙ ක්ලාස් එක ළග පිරිලා. මේ කට්ටියම ඇවිල්ලා ඉන්නෙ වෙන මොකකටවත් නෙවෙයි, කේ. මෙන්ඩිස්ගෙ ගනේ හම්බවුණාම ඒක ඉල්ලගන්න.

ඔය අතරෙ මී කතුරා එදා ගනය ගෙනත් තිබුනෙ නෑ. මොකද මෑන්ස්ට ගනේ ඉල්ලගන්න පොරගෙ යාලුවාව කලින් දවසෙ හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං ක්ලාස් එකේ කොල්ලො බොහොම සංවේගයෙන් වුණත් හිත හදාගත්තලු පහුවදාට මේක හම්බවෙයි කියලා.

ඇත්තටම මේ ගනේට තිබුනෙ පුදුමාකාර ඉල්ලුමක්. කට්ටිය පොරකනවා වේටින් ලිස්ට් එකට තමන්ගෙ නම ඇතුලත් කරගන්න. ඒ අස්සෙ මී කතුරා ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකෙන් ග්‍රේඩ් එකේ සුපර් ස්ටාර් වෙලයි හිටියේ. මෑන්ස් එක්ක කතා කරන්න, අඳුරගන්න අනිත් කොල්ලන්ට එපොයින්ට්මන්ට් ගන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබුනේ.

මේ වෙද්දි මී කතුරාව ගොඩදෙනෙක් පෞද්ගලිකව අඳුරගෙන හිටියෙ නැති නිසා, ගොඩක් කට්ටිය ට්‍රයි කළේ පුරුපුරු හරහා ගනේ තමන්ට ඉල්ලගන්න.

" පුරුපුරු, උඹට මතකනෙ, අපි අවුරුදු ගානක් එක ක්ලාස් එකේනෙ හිටියෙ බං!"

" පුරුපුරු, මොකද්ද බං, අපි එකට ස්කවුටින් කරපු හැටි මතක නැද්ද? බැරිද අනිත් කට්ටියට කලින් මට මේක ගන්න?"

" අඩෝ පුරුවා! උඹට එහෙනං අපි හොස්ටල් එකේ එකට ෆන් ගත්ත හැටි අමතක වුණා ඈ? මොකද බං උඹට බැරි අනිත් උන්ට කලින් මට ඕක ඉල්ලලා දෙන්න"

" අපි ඉතිං මචං ගම්පහ කොල්ලොනෙ, ඔන්න හම්බවෙච්ච හැටියෙ මටයි ඕනෙ හරි?"

දැන් බලාගෙන යද්දි මී කතුරාට විතරක් නෙවෙයි, පුරුපුරුටත් හෙන ඉල්ලුම මේ කේ. මෙන්ඩිස් හින්දා. ඇත්තටම වේටින් ලිස්ට් එකේ හිටපු කාටවත් ෆේවර් කරන්න විදිහක් පුරුපුරුට තිබුනෙ නෑ. මොකද හිටපු ඔක්කොම කට්ටිය වගේ අපේ පූසන්ගෙ හොඳ යාලුවො. අනික කට්ටිය ගනේ ගන්න අංක එහෙමත් වෙන් කරගෙනයි තිබුනෙ. ඒ මදිවට සමහර කට්ටිය ට්‍රයි කරන්නෙ පූසොත් එක්ක මංගල දර්ශනය බලන්න සහභාගි වෙන්න.

ඔය අතරෙ මුෂ්ටාක් පොරොන්දු වෙච්ච විදිහට කේක් ගෙඩියක් උස්සගෙන ඇවිල්ලා තිබුනා. ඒත් මේ ‍කේ. මෙන්ඩිස්ගෙ ගනේ නිසා ක්ලා‍ස් එකේ කොල්ලන්ට මුෂ්ටාක්ගෙ පාටිය ගැනවත් වගක් තිබුනෙ නෑ. අන්තිමට මුෂ්ටාක් තමන්ගෙ අතින්ම කේක් එක ක්ලාස් එකේ කොල්ලන්ට බෙදුවලු.

ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදා වුණාලු. පුරුපුරු උදේ පන්තියට එද්දි මී කතුරාත් ඇවිල්ලයි හිටියෙ

පුරුපුරු :- කතුරා......මචං උඹ අරක ගෙනාවා නේද?

මී කතුරා :- මාර කේස් එකනෙ බං! මට ඊයෙත් යාලුවාව හම්බවුණේ නෑනෙ. උන්ගෙ ගෙදරනෙ ඉතිං ඔය ගනේ තියෙන්නෙ.

මී කතුරාගෙ කතාව ඇහුවා විතරයි අපේ පුරුපුරුගෙ සිහින ලෝකය පට පට ගාලා කඩාගෙන වැටුනලු. දැන් ඉතිං තව දවසක් ඉවසපන්කෝ!

ඒ අතරෙ තත්ත්වය තවත් නරක අතට හැරුනේ, කලින් දවස් දෙකේ ගනේ ඉල්ල ඉල්ලා හිටපු කොල්ලො කට්ටිය ගනේ ඇවිල්ලද බලන්න පුරුපුරුලාගෙ පන්තියට ආපු හින්දා. මී කතුරා මේක ගෙනාවේ නෑ කිව්වම කට්ටියගෙම මූණූ කජු ලෙලි වගේ ‍වුණාලු. ඒ අස්සෙ මේ ගැන ආරංචි වෙච්ච අදුරන්නෙ නැති කොල්ලොත් ඇවිල්ලා. ඒ අතරෙ කොට කලිසම් ඇඳගෙන හිටපු 9 වසරෙ කොල්ලො කීප දෙනෙකුත් හිටියලු.

9 වසරෙ කොල්ලෙක් :- (බයෙන් බයෙන් වගේ) අයියේ...කේ.මෙන්ඩිස්ගෙ ගනයක් හම්බවුණාලු නේද? මම අර අහවලාගෙ යාලුවෙක්

මූ දැන් පුරුපුරුලගෙ බැච් එකේ කොල්ලෙකුගෙ නමක් කියනවා. දැන් මේ විදිහට මේ සිද්දිය ඉස්කෝලෙ පුරාම ගිහින් වැඩේ පත්තුවුණොත් ඉතිං මී කතුරායි, පන්තියෙ අනිත් කොල්ලොයි, කට්ටියම ගස්. මහබබා වහාම හොඳ සුද්ද සිංහල වචන දෙක තුනක් පාවිච්චි කරලා, ඒ පොඩි කොල්ලො කට්ටියව එතනින් එලවලා දැම්මලු.

මේ වෙනකොට පුරුපුරුලාගෙ පන්තියෙ කොල්ලො ඔක්කොමයි, වෙන පන්තිවල සමහර කොල්ලොයි එම්ප්ටි සීඩී අරගෙනයි තිබුනෙ ගනේ රයිට් කරගන්න. ඒ දවස්වල ඉස්කෝල අවට සීඩී කඩවල් වලටනං හොඳ බිස්නස් තියෙන්න ඇති. කොහොමහරි ‍පුරුපුරු, රාජු, මහබබා ඇතුලු කට්ටිය කොල්ලන්ව ශේප් කරලා පන්ති වලට යැව්වෙ බොහොම අමාරුවෙන්. ඊටපස්සෙ කට්ටිය ගියෙ මී කතුරා ළගට

පුරුපුරු :- මචං මී කතුරා, උඹ ඇත්ත කියපං, උඹට අපි බනින්නෙවත් ගහන්නෙවත් නෑ. ඔය කේ.මෙන්ඩිස්ගෙ ගනේ කතාව ඇත්තක්ද? නැත්තං බොරුවක්ද?

මී කතුරා :- පිස්සුද බං? මම සිරාවටම ඇත්ත කිව්වෙ. මම හෙට කොහොමහරි මේක ගේන්නංකෝ.

මී කතුරා මෙහෙම කිව්වට පස්සෙ තමයි අනිත් කොල්ලන්ට සැන්සිල්ලක් දැනුනේ.

කොහොමහරි පහුවදා උදෙත් පුරුපුරු එද්දි මී කතුරා ක්ලාස් එකට ඇවිත් තිබුනා.

පුරුපුරු :- මී කතුරා, ඔන්න අදනං ගෙනාවෙ නෑ කියන්න එපා.

මී කතුරා :- නෑ නෑ!! ඔන්න අද ගෙනාවා මචං

මේක ඇහුවට පස්සෙ පුරුපුරුගෙ ඉහේ මලක් පිපුනා වගේ වුණාලු.

පුරුපුරු :- කෝ පෙන්නපං?

මෑන්ස් මෙහෙම කිව්වට පස්සේ මී කතුරා කළේ පොතක් ඇතුලේ හංගලා තිබුනු රිදී පාට ලස්සන සීඩී එකක් එළියට ගත්ත එක. ඇත්තටම සීඩී එකේ රිදීපාට එළියෙන් මුලු ක්ලාස් එකම ආලෝකමත් වුණා වගේ තමයි අපේ පුරුපුරුට දැනුනේ.

ඉතිං ටික වෙලාවකින්, මී කතුරා කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනල්ලයි කියන ආරංචිය ග්‍රේඩ් එකේ හැමතැනම පැතිරුණාලු. මුලු බයෝ සෙක්ෂන් ඇතුලු ග්‍රේඩ් එකම නිව්ස් එක අහලා අමන්දානන්දයට පත්වෙලයි හිටියේ. දැන් ඉතිං වේටින් ලිස්ට් එකේ මුල් නොම්මරවල ඉන්න කට්ටියට ඉවසිල්ලක් නෑලු.

එදා හවස මී කතුරාගෙන් ගනේ ඉල්ලගත්ත පුරුපුරු ස්කූල් වෑන් එකේ ගෙදර ගියෙ, ගොඩක් පරිස්සමට ගනේ බෑග් එක ඇතුලෙ තියාගෙන. මේ වෙද්දි ඤාව්වා, උපාසක සහ මාලුකට්ටාත් මංගල දර්ශනය බලන්න පුරුපුරුලගෙ ගෙදරට සෙට් වෙන්න කතා වෙලයි හිටියේ. ඒ වගේම ගමේ ඉන්න තමන්ගෙ හොඳම යාලුවො දෙන්නෙකුටත් පුරුපුරු මේ අවස්ථාවට සහභාගි වෙන්න ආරාධනා කරලා තිබුනා. කොහොමහරි එදා හවස මෑන්ස්ගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් හිටියෙත් නෑ.

ඉතිං කතා කරගත්ත විදිහට කට්ටියම හවස්වරුවේ පුරුපුරුලගෙ ගෙදරට සෙට් වුණාලු.

Thursday, February 10, 2011

කේ.මෙන්ඩිස් 2 - මී කතුරාගේ ආගමනය


ඉතිං යාලුවනේ ඔයාලා කේ.මෙන්ඩිස් සීරීස් එකේ මුල් ලිපිය මේ වෙද්දි කියවලා ඇතිනෙ නේද?

ඔය විදිහට අපේ පුරුපුරු, මහබබා ඇතුලු සෙට් එක ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් ළමයි දෙන්නත් එක්කත් කතා කරන්න ගියාලු. මුලින්ම කතා කරපු කොල්ලා ටිකක් කලු, මහත, දෙකේ හතරෙ සයිස් එකේ ඩයල් එකක්.

මහබබා :- ආ...මචං කොහොමද? උඹේ නම මොකද්ද බං?

කොල්ලා :- මුෂ්ටාක් දිලංක සිරිවර්ධන

ඉතිං මෑන්ස් මෙහෙම කියපුවාම අපේ යාලුවො සෙට් එක ෆුල් අබ්ලික් වෙලා ගියාලු. ඇයි දෙයියනේ ජීවිතේට අහන්න බලාපොරොත්තු වෙන නමක්ද මේ යකාට තියෙන්නෙ හැබෑට?

පුරුපුරු :- වැරදියට හිතන්න එපා මචං! උඹ සිංහලද? මුස්ලිම්ද?

මුෂ්ටාක් :- මම සිංහල මචං!

ඔය අතරෙ පුරුපුරුයි, මහබබායි මූණට මූණ බලාගන්නවා දැක්ක මුෂ්ටාක්ට තේරුණාලු, කට්ටිය පොරගෙ නම හින්දා ෆුල් තක්බිරිෆයිඩ් වෙලා ඉන්නෙ කියලා.

මුෂ්ටාක් :- අපේ ආච්චි මුස්ලිම් බං! ඒකයි මගෙ නමට මුෂ්ටාක් කෑල්ලක් තියෙන්නෙ.

මහබබා :- ආ...එල එල!! අරුන් දෙන්නා හෙට ක්ලාස් එකේ කොල්ලන්ට ට්‍රීට් එකක් දෙනවා මචං. උඹයි අර කෙට්ටු එකයි අනිද්දා එද්දි මොනවහරි අරන් වරෙන් පුලුවන්නං.

මුෂ්ටාක් :- එලකිරි මචං! කේක් එකක් හොඳයිනෙ?

පුරුපුරු :- උඹ කැමති දෙයක් ගෙනෙන් බං. අවුලක් නෑ.

ඉතිං එදා ඉඳලා ක්ලාස් එකේ කට්ටිය මුෂ්ටාක්ට කිව්වෙ මුෂී කියලා.

දැන් ඉතිං ඉතුරු තව එක කොල්ලයි. මෑන්ස් වාඩිවෙලා හිටියෙ ක්ලාස් එකේ එහාපැත්තෙ කොනේ. කොහොමහරි කෙමිස්ට්‍රි උගන්නන අතිච්ඡාදන ගුරුතුමා පන්තියට ආපු හින්දා පුරුපුරුලාට පුලුවන් වුණේ නෑ ඒ ළමයා එක්ක කතා කරන්න. (එක සබ්ජෙක්ට් එකක් උගන්නන්න ගුරුවරු දෙන්නා ගානෙ හැම ක්ලාස් එකකටම හිටියා.)

ඊටපස්සෙ මෑන්ස් එක්ක කතා කරන්න පුරුපුරුලාට වෙලාවක් ලැබුනෙ ඉන්ටර්වල් එකේදි. ඒත් එතකොට කට්ටිය තැන් තැන්වල ඇවිදින්න ගිහින්. අන්තිමට මේ කොල්ලා එක්ක කතා කරන්න සෙට් වුණේ පුරුපුරුයි, රාජුයි විතරයි. ඇත්තටම පොරව දැක්කාම ට්‍රීට් එකක් ගේන්න කියන්නත් පුරුපුරුට මොකද්ද වගේ හිතුනලු. මොකද මෑන්ස් බොහොම අහිංසක පෙනුමක් තියෙන, මාලුකට්ටා සයිස් එකටම කෙට්ටු කොල්ලෙක්.

පුරුපුරු :- මචං! උඹේ නම මොකද්ද?

කොල්ලා :- මී කතුරා...උඹේ නම මොකද්ද?

පුරුපුරු :- මම තමයි පුරුපුරු. මේ ඉන්නෙ රාජු. උඹලගෙ ගෙවල් එහෙම කොහෙද?

මී කතුරා :- මම ගම්පහ මචං!

පුරුපුරු :- අපිත් ඒ පැත්තෙ තමයි. මම පූස්ගම. රාජු ඉන්නෙ ගම්පහමයි. උඹ ගම්පහ ටවුන් එකේද?

මී කතුරා :- මම ගම්පහ කිව්වට අහවල් පැත්තෙ බං!

මෑන්ස් ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන වෙන නගරෙක නමක් කිව්වලු.

පුරුපුරු :- හික් හික්!! ඉතිං යකෝ ඒ ගම්පහද?

මෙහෙම පටන් ගත්තු කතාව ගොඩක් වෙලා යනකං ඉවර වුණේ නෑ. කොහොමහරි මී කතුරා කියන්නෙත් අපේ පූසො සෙට් එකේ අනිත් කට්ටිය වගේම පිස්සුම පිස්සු පූසෙක් කියලා තේරුම් ගන්න පුරුපුරුට වැඩි වෙලාවක් ගියෙ නෑ. අන්තිමට ඉන්ටර්වල් එක ඉවර වෙද්දි පුරුපුරුයි, මී කතුරායි අම්බානට ෆිට් වෙලා හිටියෙ. ඉතිං පුරුපුරුගෙන් මී කතුරාට ආරාධනා ලැබුනලු රාජුයි, පුරුපුරුයි වාඩිවෙලා හිටපු මේසෙටම මෑන්ස්ටත් එන්න කියලා. මොකද මේ දවස්වල මාලුකට්ටා වාඩිවෙලා හිටියෙ වෙන පේළියක.

තවත් ටික වෙලාවකින් තමයි පුරුපුරු දැනගත්තෙ මී කතුරාත් ඒ දවස්වල ෆුල් විරහ වේදනාවෙන් කල්ගෙවපු කොල්ලෙක් කියලා. බැලින්නං මෑන්ස්ගෙ ගෑනු ළමයා පොරව අතඇරලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. අපේ පුරුපුරුත් මේ දවස්වල විදූශාගෙ කේස් එක නිසා අප්සෙට් එකේ නොවැ හිටියෙ! ඉතිං දෙන්නාම එකම බෝට්ටුවෙ හින්දා මේ යාලුවො දෙන්නාගෙ ‍ෆිට් එක තවත් වැඩිවුණාලු. මේ වෙද්දි මී කතුරා තමන්ට නියමිත දවසෙ ට්‍රීට් එක දෙන්න කැමති වෙලයි හිටියේ.

ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදාවුණාලු. බාරගත්ත විදිහටම එදා දවසෙ ට්‍රීට් දෙන්න චූටියි ධනුයි අමතක කරලා තිබුනෙ නෑ. චූටි අයිසින් කේක් එකක් උස්සන් උදේ පාන්දරම පන්තියට ආවලු. ධනුවා ගෙනාවෙ බටර් කේක් එකක්. ඉතිං ඉන්ටර්වල් එකේ ක්ලාස් එකේ කට්ටියම කේක් වලින් සප්පායම් වුණාලු. දැන් මහබබාට ෆුල් හැපී. මෑන්ස් ඩෙස් එකක් උඩ නැගගෙන කෑ ගහනවා.

" මචංස්! මුෂී, මී කතුරා, ඔන්න හෙට උඹලත් මේ වගේම අපිට හොඳ පාටි එකක් දෙන්න ඕනේ "

කොහොමහරි ඉන්ටවල් එකෙන් පස්සෙ තිබුනෙ ඕෆ් පීරියඩ් එකක්. දැන් ඉතිං ක්ලාස් එකේ කොල්ලො කෑ ගහනවා. සමහරු ක්ලාස් එක ඇතුලෙ සෙල්ලං කරනවා. ඇත්තටම පුරුපුරුලා හිටපු ක්ලාස් එකේ රාජුයි, නයිසුයි ඇරෙන්න අයිලන්ඩ් රෑන්ක් ගන්න මට්ටමේ බ්‍රයිටො හිටියෙ නෑ. ඒ දෙන්නා වුණත් නිතරම පිස්සු නට නටා තමයි හිටියෙ. ඔය අතරෙ සෙල්ලං කරලා මහන්සි වෙලා හිටපු පුරුපුරුයි, මී කතුරායි, ඒ දවස්වල කොල්ලන්ට තිබුන වැදගත්ම මාතෘකාවට එන්ටර් වෙලයි හිටියේ.

පුරුපුරු :- කතුරා, නැද්ද මචං ගන එහෙම ?

දැන් බ්ලොග් කියවන්න අලුතින් ආපු යාලුවො කට්ටියට ගිහින් ගන කියන්නේ මොනවද කියලා බලලා එන්න පුලුවන්.

මී කතුරා :- නැතුව නැතුව? මං ගාව හොද ගන කලෙක්ෂන් එකක් තියෙනවා.

පුරුපුරු :- එල එල!! අපි ගාවත් සීඩී ගොඩක් තියෙනවා බං! ඒ වුණාට එක්කොම වගේ කඩු ඒවා තියෙන්නෙ. සිංහල ඒවා බලපු කාලයක් මතක නෑ.

මී කතුරා :- හික් හික්!! අයියෝ බං! මමනං ගිය සතියෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේකුත් බැලුවා.

පුරුපුරු :- මොනවා!!!!! කේ.මෙන්ඩිස්ගෙ?????

කාමිනී මෙන්ඩිස් හෙවත් කේ.මෙන්ඩිස් කියන්නෙ ලංකාවෙ ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද නිළියකගෙ නමක්. ඉතිං මී කතුරා කියපු දේ ඇහිච්ච පුරුපුරුට තමන් ඉහළට ගත්තු හුස්ම පහළට දාන්නත් අමතක වුණාලු. කොටින්ම තත්පර ගානක් යනකං මෑන්ස්ට කතා කරගන්නත් බැරිවුණාලු.

පුරුපුරු :- කේ.මෙන්ඩිස්ගෙ? වෙන්න බෑ. උඹට ෂුවර්ද? ඒ වගේ ලැටින් හරි ඉන්දියන් හරි එකක් වෙන්න ඇති බං!

මී කතුරා :- පිස්සුද බං? මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනෙ.

පුරුපුරු :- ඉතිං ***, උඹ මාත් එක්ක ඊයෙ දවසම කතා කර කර හිටියා. තෝ නිකමටවත් මේ ගැන කිව්වද?

මී කතුරා :- ඉතිං යකෝ උඹ මගෙන් මේ ගැන ඇහුවයැ!

බැලින්නං මී කතුරා කියන කතාවත් ඇත්ත. අපේ පුරුපුරුට ගොඩක් දවසකට පස්සෙ ෆුල් හැපී එකක් ගියෙ මී කතුරා කියපු මේ ආරංචිය අහලා තමයි. මී කතුරා කියන්නෙ සුරලොවින් කුරුඳුවත්ත ඉස්කෝලෙට ආපු දේවදූතයෙක්ද කොහෙද?

පුරුපුරු :- රාජු! මාලුකට්ටා!! අඩෝ මෙහෙ වරෙල්ලා. මෙන්න කේ.මෙන්ඩිස්ගෙ ගනයක් තියෙනවලු.

මාලුකට්ටා :- මොනවා????????? කේ.මෙන්ඩිස්ගෙ?

ආරංචිය අහපු මාලුකට්ටාට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න වගේ. කොහොමහරි මේ සුභ පණිවිඩේ මුලු පන්තිය පුරාම පැතිරෙන්න ගියෙ නැනෝ තත්පර ගානයි. ඒ මී කතුරාට මේ ගැන කිසිම ප්‍රකාශයක් කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

මේ වෙද්දි මුලු ක්ලාස් එකම මේ හදිසි ආරංචියෙන් කැළඹිලයි හිටියේ. දැන් ක්ලාස් එකේ කෑ ගැහිලි, සෙල්ලම් කිරිලි ඔක්කොම නැවතිලා. කට්ටියම දැන් වර්ල්ඩ් කප් එක අරන් ආපු අර්ජුනව වගේ මී කතුරාව වටකරගෙනයි ඉන්නේ.

මහබබා :- ඒ කතුරා, ඇත්තද බං මේ කියන්නෙ?

මී කතුරා :- ඔව් බං! මම ඉතිං බලපු එකනේ. හැබැයි ඒක දැන් මං ගාව නෑ. ඒක තියෙන්නෙ අපේ අයියා කෙනෙක් ගාව.

මහබබා :- අනේ මගෙ දෙයියා, මොනවා හරි කරලා ඒක උස්සන් වරෙන්. උඹ ඉතිං හොද එකා කියලා අපි දන්නවනේ. හෙට උඹ පාටි එක දෙන්න ඕනෙත් නෑ. උඹ මේක ගේන එක අවුරුදු දෙකටම ඇති.

මී කතුරා :- ආ...ඒක සුලු දෙයක් බං! ඒ වුණාට ඉස්කෝලෙට මාට්ටු වුණොත්?

මහබබා :- උඹ ගෙනෙන්කො. පුරුපුරු, මූට කියලා දීපං බං ගේන විදිහ. ඉතුරු ටික අපි බලාගන්නං.

මී කතුරා :- හා...හා..මම ගේන්නං මචං.

මහබබා :- හෙට ගෙනෙන් ෂුවර් එකට හොඳේ!

මී කතුරා :- හා මචං.

ඉතිං උද්දාමයට පත්වෙච්ච පන්තියෙ කොල්ලො කට්ටිය දැන් ෆුල් ආතල් එකේ ඉන්නෙ. සමහරු එක එක සින්දු කියනවලු. තවත් කට්ටිය එක එක ඇක්ෂන් දානවලු. ඒ සින්දු ගැනවත්, ඇක්ෂන් ගැනවත් අපි මේ සීරීස් එකෙන් විස්තර කරන්න යන්නෙ නෑ. නිකං මොකටද බ්ලොග් එක සින්ඩි වලින් එළියට දාගන්නෙ නේද?

සැ.යු :- කාමිනී මෙන්ඩිස් යනු මනඃකල්පිත නමක් බව කැණාවෙන් සලකන්න.