අඹ යාලුවෝ

Thursday, June 24, 2010

හොස්ටල් ලයිෆ්

පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ස්කූල් වෑන් එකේ කියල දැන් ඔයාල දන්නවනෙ.ඒත් දහය වසරෙ මුල් හරියට යනකං විතරයි.ඊට පස්සෙ මෑන්ස් හිටියෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ.හොස්ටල් එකට යන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා ඉස්කෝලෙට ආපු ළමයින්ට විතරයි.ඒත් පුරුපුරුටනං දහය වසරට යනකං ඔය චාන්ස් එක ආවෙ නෑ.මොකද සාමාන්‍යයෙන් කුරුදුවත්තෙ හොස්ටල් එකට ගන්නෙ බස්නාහිර පළාතෙන් පිට ළමයින්ව විතරයි.

සාමාන්‍යයෙන් හොස්ටල් එකේ එක වසරක ළමයි 45 දෙනෙක් ඉන්නවා.ඒත් 9 වසර ඉවර වෙද්දි පුරුපුරුල අයිතිවෙන 2003 O/L බැච් එකේ ඉතුරු වෙලා හිටියෙ ළමයි 25ක් විතරයි.ඉතිං පාලනාධිකාරිය තීරණය කළා බස්නාහිර පළාතෙ ටිකක් දුර පැතිවල ළමයින්වත් හොස්ටල් එකට ගන්න.ඉතිං ඔය අවස්ථාව ප්‍රයෝජනේට ගත්තු පුරුපුරුයි තව ළමයෙකුයි හොස්ටල් එකට ආවා.එහෙ හිටපු ගොඩක් ළමයින්ව පුරුපුරු හොදට අදුරනවා.ඉතිං හොස්ටල් එකට යාම ගැන මෑන්ස්ට ආයි දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.

ආපු එකේ වාසි ගොඩයි!හොස්ටල් එක තියෙන්නෙ ඉස්කෝලෙ ඇතුළෙමයි.ඉතිං ස්කූල් වෑන් එකේ යනකොට වගේ ගමන් මහන්සියක් හොස්ටල් එකේ ඉන්නකොට දැනෙන්නෙ නෑ.හොස්ටල් එකේ ගාස්තුවත් වෑන් එකට සාපේක්ෂව ගොඩක් ලාභදායකයි.වෙලාව ගොඩක් ඉතුරුයි.ස්පෝට්ස් කරන්නයි පාඩම් කරන්න‍යි ඕන තරං වෙලාව තියෙනවා.දන්නැති පාඩම් යාළුවන්ගෙන් අහගන්න පුළුවන්.මේ වගේ එකී මෙකී නොකී ගොඩක් වාසි හොස්ටල් එකට ආපු එකෙන් පුරුපුරුට ලැබුණලු.හොස්ටල් එකට ආපු එකේ අවාසිනං මෙතන කතා කොරන්ට බලාපොරොත්තුවක් නෑ.ඒවා අපි ඉස්සරහට දාන ලිපි කියෙව්වම ඔයාලටම තේරෙයි.

නේවාසිකාගාර පාලක තමයි කොටියා සර්.හොස්ටල් වෝඩන් නොකියා නම පාවිච්චි කළේ සර් නියම සිංහල ගුරුවරයෙක් හින්දා.ඇත්තටම පුරුපුරුට මෙච්චර කල් මුණගැහිල තියෙන ගුරුවරු අතරෙ කොටියා සර් අමරණීය කැරැක්ටර් එකක්.සර් නියම දක්ෂයෙක්.(හික් හික්!! නැත්තං කොහොමද රාස්ස පැටව් ඉන්න හොස්ටල් එකක් අවුරුදු ගාණක් පාලනේ කරන්නෙ?එතුමා ගැන වෙනම ලිපියකින් කතා කරමුකො නේද?)

කොටිය සර් හොදයි වගේම බොහොම සැර, ඩිසිප්ලින් තදින්ම බලපු පාලකයෙක්.කේ.එච්. කියන්නෙ එයාගෙ ඇත්ත නමේ මුල් අකුරු.හොස්ටල් එකේ කොල්ලො ඕක හැදින්නුවෙ "කොටි හපු" කියල.උන් කොච්චර සම්මා දිට්ටියක් තියෙන ඈයොද කියල අපේ පූසට මීටර් වුණේ ටික දවසක් ගියාට පස්සෙ.ඉස්කෝලෙදි පුරුපුරුලට සිංහල සාහිත්‍ය උගන්නනකොට බොහොම විනෝදකාමී විදිහට ඉන්න කොටිය සර්, හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සෙ තමන්ට දාල තිබුණ නමට ගැලපෙන විදිහට තමයි හැසිරෙන්නෙ.කොටිය සර් ජීවත් වුණේ සීනියර් හොස්ටල් එකේ තිබුණ නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.

හොස්ටල් එකේ ඊළග ප්‍රධානියා තමයි රිච් සර්.එයා පී.ටී සර් කෙනෙක්.තරුණ කාලෙ ජාතික මට්ටමේ හෙල්ල විසිකිරිමේ ඩයල් එකක්.සර් නැවතිලා හිටියෙ ජූනියර් හොස්ටල් එකේ තිබුණ උප නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.සැර අතින්නං දෙන්නගෙන් එක්කෙනෙක්වත් අනිත් මනුස්සයට සෙකන්ඩ් වුණේ නෑ.

ඊළගට ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා. කියන්නෙ හොස්ටල් එකේ නැවතිලා හිටපු ලෙවල් ළමයි. ලෙවල් කරන්න හොස්ටල් එකට ගන්නෙ ලෙවල් බැච් එකේ හිටපු හතළිස් ගානෙන් 8 දෙනයි.ඉතිං කොලිෆයි වෙන්නනං, ලෙවල් කාලෙ හොද කාඩ් එකක් තියාගෙන හිටපු කොල්ලෙක්ම වෙන්න ඕනෙ.මේ කට්ටිය තමයි හොස්ටල් එකේ පරිපාලනේ හිටපු ගොඩක්ම වැදගත් අය.මොකද පොඩි ළමයින්ගෙ විනය, අධ්‍යාපනය, එක එක පොඩි ප්‍රශ්න ගැන ටච් එකේ ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා. අයට විසදන්න බැරි ප්‍රශ්න තමයි කොටියා සර් ළගට යන්නෙ.ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හොස්ටල් එක ඇතුළෙ තිබුණෙ ලොකු පවර් එකක්.(ගුරුවරු දෙන්නෙකුට ළමයි තුන්සිය ගාණක් කන්ට්‍රෝල් කරන්න අමාරු නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තෙ)

අනිත් එක්කෙනා තමයි "බොග පාලක" රත්තිපාල අංකල්.එයා තමයි හොස්ටල් එකේ සනීපාරක්ෂාව භාරව කටයුතු කළේ.සේවකයෙක් වුණාට රත්තිට තිබුණෙ පාලකයෙකුටත් වඩා පවර් එකක්.මොකද කොටිය සර්, රිච් සර්, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා, මේ කවුරුවත් නැතුව හොස්ටල් එක දවස් කීපයක් හරි ගෙනියන්න පුළුවන්.ඒත් ඉතිං රත්ති අංකල් නැතුව හොස්ටල් එක එක පැයක්වත් ගෙනියන්න බෑ නොවැ!.කොටින්ම ප්‍රිෆෙක්ට්ස්ලා හිටං රත්ති අංකල් එක්ක ෆුල් ෂේප් එකේ හිටියෙ.

ඔන්න ඔහොම තමයි හොස්ටල් එකේ මැනේජ්මන්ට් එක තිබුණෙ.ඉතිං එහෙ තිබුණ නීති ගැන, කෑම ගැන, හිටපු කට්ටිය ගැන තව විස්තර පස්සෙ කියන්නංකො....

.ලි. -

හොස්ටල් එකේදි සිද්ධ වුණ ආතල් සීන් වැහි වැහැලා.ඒත් ඒව පටන් ගන්න කලිං හොස්ටල් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නයි අපිට ඕනෙ වුණේ.අයිඩියා එකක් නොදී කෙළින්ම ෆන් සිද්ධි වලට බහින්න ඕනෙනං කියන්න හොදේ!

Friday, June 18, 2010

දැලි රැවුල ඇයි...කැපිලා ගියේ...?



අපි පහුගිය දවසක පෝස්ට් එකක් දැම්මනෙ කිරි කොකුන් මැද කණ කොකෙක් කියලා.ඒකෙන් කියවුණේ උපාසක මුලින්ම සුදු දිග කලිසමක් ඇදල ඉස්කෝලෙ ගිය දවස ගැනනෙ.

"කොල්ලෙක්ගෙ ස්කූල් ලයිෆ් එකේ,තමන්ගෙ පෙනුම සම්බන්ධයෙන් ගොඩක්ම වැදගත් වෙන දවස් දෙකෙන් එකක් තමයි ඔය මුලින්ම සුදු දිග කලිසමක් ඇදලා ඉස්කෝලෙ යන දවස.අනිත් දවස තමයි රැවුල කපල මුලින්ම ඉස්කෝලෙ යන දවස."

කියල අපි ඒ ලිපියෙන් කිව්වා.අද එහෙනං ලෑස්ති වෙන්නෙ ඒ අනිත් දවස ගැන කියන්න.ඒ කියන්නෙ මුලින්ම රැවුල කපපු දවස.අපේ පූසන්ගෙන් මුලින්ම රැවුල කැපුවෙ පුරුපුරු.ඔය සිද්දිය වුණේ මෙහෙමයි.

මේ 2001 අවුරුද්ද.ඒ කියන්නෙ
පුරුපුරුල 9-M පන්තියෙ හිටපු දවස්වල.ඔය කාලෙ මෑන්ස් තමන්ගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා සාපේක්ෂව ටිකක් විතර වැඩියෙන් වර්ධනය වෙලා හිටියෙ.අපේ කතන්දර උන්නැහෙගෙ වගේ නෙවෙයි, පුරුපුරුගෙනං යන්තං යන්තං හතේ අටේ ඉදලා එන්න පටන් ගත්තු දැලි රැවුල නවය වසර වෙද්දි කපන්න ඕනෙ ගානට වැවිල තිබුනෙ.

ඔය කාලෙට ඉතිං දන්නවනෙ කට්ටි‍යගෙ හැටි.හැමදාම උදේ හවස කණ්ණාඩිය ගාවට ගිහින් බලන්නෙ ඊයෙට වඩා අද රැවුල වැවිලද කියල.රැවුල කපනකං නින්ද යන්නෙ නෑ.ඇයි ඉතිං රැවුල කැපුවට පස්සෙ මූව සලකන්නෙ පොඩි-වැඩිහිටියෙක් කියලනෙ.මිනිස්සු වැඩිහිටියෙක් වුණාට පස්සෙ ආපහු ළමයෙක් වෙන්න කොච්චර ආස වුනත් ළමයි සන්දියෙදි හැමෝම කැමති පුලුවන් තරං ඉක්මනට වැඩිහිටියෙක් වෙන්ට නොවැ!
පුරුපුරුත් ඉතිං අනිත් කොල්ලො වගේම රැවුල කපන්න මාර ආසාවෙන් හිටියෙ.

9 වසරෙ මැද හරියක් ගියාට පස්සෙ
ඉස්කෝලෙ පුරුපුරුලගෙ ශ්‍රේණියෙ කොල්ලො කීප දෙනෙක්ම රැවුල කපල හිටියලු.ඒත් මෑන්ස්ගෙ පන්තියෙනං කවුරුවත් රැවුල කපල හිටියෙ නැහැලු.පන්තියෙ හිටපු කොල්ලන්ගෙන් වැඩියෙන්ම රැවුල තිබුනෙ පුරුපුරුට.ඒ කියන්නෙ පන්තියෙ හිටපු වාසනාවන්තම කොල්ල තමයි පුරුපුරු.ඇයි ඉක්මනටම රැවුල කපන්න හම්බවෙන්නෙ එයාටනෙ.

දැන්
පුරුපුරුට හරිම හදිස්සිලු රැවුල කපන්න.ඒ වුණාට තවම ඉස්කෝලෙන් මෑන්ස්ට දැනුම් දුන්නෙ නෑ රැවුල කපන්න කියලා.ඔහොම ඉදලා ඉදලා එක දවසක් පුරුපුරුලගෙ පන්තියට ආපු ප්‍රිෆෙක්ට් කෙනෙකුට වැඩේ මීටර් වුණාලු.මෑන්ස් පුරුපුරුට කිව්වලු පහුවදා එනකොට රැවුල කපාගෙන ආවොත් හොදයි කියලා.මොකද ඉස්කෝලෙ සාමාන්‍යයෙන් කලින් රැවුල කපලා නැති කෙනෙකුට අනිවාර්යයෙන් රැවුල කපාගෙන එන්න කියන සිරිතක් තිබුනෙ නෑ.

දැන් ඉතිං
පුරුපුරුට රජ මගුල් වගේලු.අද හවසනං රැවුල කපනවාමයි කියල හිතාගෙන මෑන්ස් ගෙදර ගියාලු.ගෙදර කට්ටියට වෙච්ච සිද්දියත් කිව්වලු.ඒ වුණාට අවාසනාවක මහත!පුරුපුරුගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා.මොකද පුරුපුරුගෙ තාත්ත කැමති වුණේ නෑ අපේ පූසා දැන්මම රැවුල කපනවට.

"
ඔය ළමයෙක් කපන්න කිව්වට දැන්ම රැවුල කපන්ඩ ඕනෙ නෑ"

පුරුපුරුගෙ තාත්ත කිව්වලු.බලාපොරොත්තු කඩවෙච්ච පුරුපුරු සුපුරුදු විදිහට පහුවදා ඉදලා දැලි රැවුලත් අරගෙනම ඉස්කෝලෙ යන්න පටන් ගත්තලු.ඊටපස්සෙත් ප්‍රිෆෙක්ට්ලා කීපදෙනෙක්ම පුරුපුරුට අවවාද කළත් තාත්තගෙ විරෝධය හින්ද මෑන්ස්ට රැවුල කපන්න වුණේ නෑලු.ඔහොම ඉන්නකොට තමයි එක දවසක් පුරුපුරු ගෙදරවැඩ කරගෙන ආවෙ නැතුව සෞඛ්‍ය උගන්නපු කොඩි සර්ට මාට්ටු වුණේ.

කොඩි සර් :-
පුරුපුරු, තමුසෙ මොකද ගෙදරවැඩ කරගෙන ආවෙ නැත්තෙ?

පුරුපුරු :- ....................................(සයිලන්ට් එකේ)

කොඩි සර් :- තමුසෙට ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බෑ, තොත්ත බබා වගේ ඉන්න හැටි? ඒ උනාට මොකෝ තඩි රැවුලකුත් වවාගෙන ඉන්නෙ!

මේ කතාව අහපු පන්තියෙ කොල්ලො ටික බඩවල් අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තලු.ඒ වුණාට පුරුපුරුටනං කිසිම දුකක් නෑලු.මෑන්ස්ට ගිහිං කොඩි සර්ව බදාගන්න තරං හැපියක් ආවලු.රැවුල කපන්න මේ තරං හොද හේතුවක් වෙන කිසිම ගුරුවරයෙක් ලබල දුන්න එකක්යැ!පුරුපුරුත් ඉතිං මේ කතාව ගෙදර ගිහිං කිව්වෙ එක දෙක කරල.මේ පාරනං පුරුපුරුගෙ අම්මවත් තාත්තවත් රැවුල කැපීම සම්බන්දෙන් කිසිම විරුද්ධත්වයක් පළ කළේ නෑ.ඉස්කෝලෙ සර් කෙනෙක්නෙ කියල තියෙන්නෙ.

සාමාන්‍යයෙන් ඔය මුලින්ම රැවුල කපන වැඩේ, නැකතක් කාරිය එහෙම බලලා කිරිබත් කාලා එහෙම චාරිත්‍රානුකූලව තමයි කරන්නෙ.අපේ රටේ ඉතිං ඕනෙම සතුටු අවස්ථාවක් සමරන්නෙ කිරිබත් කාලනෙ!ඒ වුණාට පුරුපුරුට තිබුන හදිස්සියට ගෙදර කට්ටියට කිරිබත් උය උයා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.තාත්තගෙ රේසරේකුත් අරගෙන පහුවදා උදේම රැවුල කපපු පුරුපුරු ස්කූල් වෑන් එකෙන් ගිහිං වාඩිවුණාලු.ටිකක් එලිය වැටෙද්දි මෑන්ස්ව දැක්ක ඤාව්ව, ලකී ඇතුලු හැමෝටම හරි පුදුමයි.පුරුපුරු රැවුල කැපුවට පසසෙ අදුරගන්න බැරි තරම් වෙනස් වෙලාලු.ඉස්කෝලෙට ගියාම ඉස්කෝලෙ යාලුවො කිව්වෙත් ඒ ටිකමලු.

කොහොම හරි රැවුල කැපුවට ඉතිං
"අපරාදෙ දැලි රැවුල" කියලත් පුරුපුරුට හිතිච්ච අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ දවස්වල ආසාව තිබුනට පස්සෙ තමයි මෑන්ස්ට තේරුණේ මේක මහ කරදරකාර එපාවෙන ජාතියෙ වැඩක් කියලා.දැන්නං පුරුපුරුට තමන්ගෙ දින චරියාවෙ පෙන්නන්නම බැරි වැඩේ තමයි රැවුල කපන එක!

ප.ලි -
අපි පොඩි මත විමසුමක් කොරන්ට තීරණය කළා. ඔබේ ජීවිතයේ වැඩියෙන්ම ෆන් ගත්තේ මොන කාලෙද? පුලුවන්නං ඔය එහා පැත්තෙ තියෙන කොටුවෙ ඡන්දෙ දාල අපේ මත විමසුමට එකතු වෙන්නකො.




ලකී 2 (පුරුපුරුගේ ප්‍රතිචාරය)

එදා පුරු පුරුගේ ආදර කතාව(ලකී) ගැන ලියපු පෝස්ට් එක කියවපු ඔයාලා අහලා තිබුනනෙ අන්තිමට පුරුපුරුගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද කියලා...... පුරුපුරු අවංක පුසෙක්නෙ ඉතිං. ලකීගෙයි එයාගෙ කොල්ලගෙයි ආදරේ‍ට ඇණයක් නොවී හිත හදාගන්න පුරුපුරු තීරණය කලා.....

හැබැයි එහෙම හිතාගත්තත් ඒක ඒච්චරම ලේසි වැඩක් වුණේ නැහැ. ස්කූල් වෑන් එකේ වීදුරුවෙන් එලිය‍ බලාගෙන වාහන ගණන් කීරීම...., පන්තියෙ සිංහල පොතේ ඉංග්‍රීසි සින්දු කෑලී ලීවිම...., අහස කඩන් වැටෙයි කියලා බයේ වගේ හැමතිස්සේම උඩ බලාගෙන ඉන්න එක වගේ සුපුරුදු දින චරියාවන් කීපයක් එක්ක තමයි පුරුපුරු ඊළග සති දෙකම ගෙව්වේ. :(

ලකී එයා‍ගෙ බෝයි ‍ෆ්‍රෙන්ඩ් එක්ක බස් එකක අන්තිම සීට් එකේ තුරුලු වෙලා හිටිය කියන ආරංචිය මාලුකට්ටා ඇවිත් කිව්ව දවසෙනම් අපේ පුරු පුරු ලයිමෝල් බෝතලයකුත් බිව්ව දුක වැඩි කමටම..
(මාලු කට්ටත් ගෙනාවොත් ගේන්නෙ ‍ඔහොම අසුබ ආරංචිම තමයි..) ඒ ‍විතරක් නෙවෙයි, මේ දවස්වල පුරුපුරු ‍වැඩිය ලකී එක්ක කතාවට ගියෙත් නැහැ. හැබැයි පුරුපුරුගෙ වුණ මේ කිසිම වෙනසක් ලකී දැක්කේ නෑ. ඒ එයාගේ හිත අලුත්ම සතුටකින් පිරිලා තිබුන නිසා වෙන්න ඇති. හැබැයි ඊලග සිකුරාදා වාර නිවාඩු දෙන දවසෙනම් ලකීට මේක මීටර් වෙලා තිබ්බා. ඒ මෙහෙමයි...

මේ පාසල් වෑන් වල සිරිතක් තියෙනවා, හැම වාරයක් අවසානේදිම අන්තිම දවසෙ වෑන් එකේ පාටියක් දානවා. තව හොද පිට්ටනියක් ළග නවත්තලා හවස් වෙනකල් ක්‍රිකට් ගහනවා. ඉතින් මේ පාරත් වෙනද වගේම වෑන් එකේ කට්ටිය ක්‍රිකට් මැච් එකක් ගැහුවලු. අපේ පුරුපුරුත් ඉස්තරම් වර්ගයේ ක්‍රිකට් පිස්සෙක්. එක එක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අම්ම තාත්තගෙ විස්තර පවා පුරුපුරු දන්නවා. ක්‍රිකට් පිස්සෙක් විතරක්‍ම නෙවෙයි, පුරුපුරු හොද දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක්ලු. ඒ බව වෑන් එකේ අයත් දන්නවා. හැබැයි කොච්චර දක්ෂ වුනත් එදා මැච් එකේදිනං පුරුපුරු බෝල ගැහුවේ හරියට නිදාගෙන වගේ. ලකුණු දෙක තුනක් අරං අවුට් වුනා. ෆීල්ඩින් කිරිල්ලත් එච්චරමයි. බෝලෙට තුවාල වෙයි කියලා බයේ වගේ අතට ආපු කැච් එකකුත් අත ඇරියා.

ඉතිං මෙන්න මෙතනදි තමයි ලකීට මේ ගැන ක්ලික් වෙලා තියන්නෙ. මොකද ලකීට මතක්වෙලා තියෙනවා කලින් වාරෙ ලාස්ට් ඩේ එකේදි වුණ සිද්ධියක්.....

කලින් වාරෙ ලාස්ට් ඩේ එක දවසේ ක්‍රිකට් ගහද්දි වෙන ස්කූල් වෑන් එකක කොල්ලෝ ටිකක් ඇවිත් පුරුපුරුලගේ වෑන් එකට චැලේන්ජ් කළාලු මැච් එකක් ගහන්න එන්න කියලා. ඒ වෑන් එකේ ගිය ළමයි කොළඹ ප්‍රධානම බොදු පාසලක 12,13 වසරේ අයලු. පුරුපුරුලගෙ වෑන් එකේ හිටිය හැමෝම වගේ 10/11 වසරවල කට්ටිය. එත් බෑ කිව්වොත් කෙල්ලො ඉස්සරහ කාඩ් කුඩු වෙන හින්දා අපේ යාලුවො කට්ටිය චැලේන්ජ් එක බාර අරන්. හැබැයි මැච් එක ගහද්දි තමයි ක‍ට්ටියටම තරු පෙනිල තියෙන්නෙ.

අනිත් වෑන් එකේ කට්ටිය මුලින්ම බැට් කරලා ලොකු ලකුණු ගානක් අරගෙන. ඊළගට ඉතිං පුරුපුරුලගෙ වාරේ. අර ලොකු ලමයි දාන බෝල වලට පුරුපුරුලගෙ වෑන් එකේ හිටිය පොඩි බට්ටෝ පෝළිමට අවුට් වෙවී යනවලු. ඤාව්වත් ලකුණු දෙක තුනක් අරන් අවුට් ‍වෙලා ගියාලු.එදා දවසට විතරක් ඔය වෑන් එකේ එක්කගෙන ආපු උපාසකටත් ආව ගමන් ආපහු යන්න වෙලා.

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි අපේ පුරුපුරුගෙ චාන්ස් එකත් ආවලු. පලවෙනි ඕවරේටම කොල්ලට එක ලකුණක්වත් ගන්න බැරි වෙලා.මාර ලැජ්ජාව!! (ඇයි පුරුපුරුත් හොද ප්ලේයර් කෙනෙක් කියලා නමක් දිනාගත්ත කොල්ලෙක්නෙ ඉතින්..) කොහොම හරි ඊලග ඕවරේදි හොදට දෙන්නම් කියලා හිතාගත්තත් එකේදිත් එච්චරමලු.බෝල 5ක්ම කාලා අන්තිම බෝලෙට විතරක් යන්තං එක ලකුණක් දාගත්තාලු. ඉතින් ඊලග ඕවරේ පුරුපුරු බැට් කරන තැනට ඇවිත් බිමට තට්ටුවක් දාලා එහෙම පටන් ගන්නකොටම.....

කමෝන්!! කමෝන් පුරුපුරූ!!!

ගෑණු ළමයෙක්ගේ දඩ චියර් පාරක් එනවලු. පුරුපුරු බැලුවලු සද්දෙ ආපු පැත්ත.....

"දෙයියනේ ලකී!!!"


ලකී අත් දෙක වන වන කෑගහනවා.... දැන් ඉතින් පුරුපුරුට මල් හතයිලු!!!. කොහේදෝ පා වෙවී තිබුන පූස් ශක්තියක් එක පාරටම පුරුපුරු
ගෙ ඇගට ආවලු. ඊලග ඔවරේදි හයේ පාරවල් තුනකිනුයි හතරේ පාරවල් දෙකකිනුයි ප්‍රතිවාදීන්ට සංග්‍රහ කරල දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනය "රොක්" කරපු පුරුපුරු, නොදැවී විකට් එකේ ඉදලා තමන්ගෙ කණ්ඩායමට දිනුම අරන් දුන්නලු.

ඉතින් මේ පාර මැච් එකේ
පුරුපුරු ගහපු හැටි දකිද්දි, පුරුපුරු කලින් ටර්ම් එකේ මැච් එකේ ගහපු හැටිත් මතක් වුනාම තමයි ලකීට දැනිල තියෙන්නෙ මොකක් හරි අවුලක් තියන වග. පුරුපුරුගෙ පහුගිය සති දෙකේ හැසිරීමත් මතක් වුනාම තමයි සීන් එක හරියටම තේරිලා තියෙන්නේ. එත් ඉතින් මොනවා කරන්නද,

ලකීත් සද්ද නැතිව හිටියලු.....


ප.ලි : ලකී පස්සෙ කාලෙක ඒ ලෙවල් හොදට පාස් වෙලා ජපුරෙ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට තේරුණා.දැන් ලකී වැඩ කරන්නෙ ලංකාවෙ තියෙන ලොකුම බැංකුවෙ.

එදා ලකීට හිතුන දෙවල් පූසො ටිකට දැන ගන්න ලැබුනෙ මේ ලගදි.

අදටත් ලකී, ලකී ‍යාලු වුන කොල්ලා(රංග),
පුරුපුරු, උපාසක සහ ඤාව්වා හොද යාලුවෝ. ලකීගෙ ආදර සම්බන්ධයටත් දැන් අවුරුදු 8ක් වෙනවා....

Sunday, June 13, 2010

බිල්ලා


අදනං කියන්න යන්නෙ අපේ පූසො පොඩිකාලෙ පොඩිකමට කරපු පොඩි වැරදි වැඩක් ගැන.

දුෂ්මන්ත කියන්නෙ පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේ ගිය ළමයෙක්.පුරුපුරුට වඩා අවුරුදු තුනක් වැඩිමල්.මරදාන පැත්තෙ තියන බෞද්ධ ඉස්කෝලෙකට තමයි ගියෙ.මේ දුෂ්මන්ත බොහොම සයිලන්ට් කොල්ලා.උදේ වෑන් එකට නැග්ග වෙලාවෙ ඉදලා පාඩුවෙ පැත්තකට වෙලා අහක බලාගෙන යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද.මෙයාව කතාවට අල්ලගන්න එක හරිම අමාරු වැඩක්.

පුරුපුරුයි,ඤාව්වයි ඉතිං වෑන් එකේ ගිය හැමෝටම වගේ දුෂ්මන්තටත් හැමදාම විහිලු තහලු කරනවලු.මෑන්ස්ව බයිට් කරනවලු.ඔන්න ඔතනදි තමයි දුෂ්මන්තගෙ ප්‍රධානම දුර්වලකම මතුවෙන්නෙ.අනිත් අය වගේ නෙවෙයි, මෑන්ස් නියම කුකුල් කේන්තිකාරයා.ඉතිං බයිට් වෙච්ච ගමන් මෙයා කරන්නෙ පුරුපුරුටයි, ඤාව්වටයි වෑන් එක මැද්දෙම අම්බානට නෙලන එකලු.දුෂ්මන්තට තරහ යන එකත්, පූසන්ගෙ බයිට් කිරීමේ පුරුද්දත් කවදාවත් නතර වුණේ නෑ.මේ හින්ද වුණේ පුරුපුරුයි,ඤාව්වයි මෑන්ස්ගෙන් හැමදාම ගුටිකාපු එක.ඉතිං අපේ පූසො දෙන්න කාලෙක ඉදල දුෂ්මන්තයත් එක්ක ඇරියස් එකේ තමයි හිටියෙ.

ඔය දවස්වල තමයි ඇමරිකාවට බින් ලාඩන්ගෙන් හොදවයින් ඇටෑක් එකක් හම්බවුණේ.ඉතිං මේ කාලෙ ටීවීවලයි පත්තරවලයි හිටිය ෆේමස්ම පොර ඔසාමා බින් ලාඩන් කිව්වොත් හරි.දවසක් ඔය ඔසාමාගෙ පින්තූරෙ දිහා බලපු පුරුපුරුට ඒකෙ තිබුන මරු ඉන්ටරස්ටින් පොයින්ට් එකක් අහුවුණා.

"හත්තිලව්වයි! බින් ලාඩන්ගෙ රැවුල කැපුවනං දුෂ්මන්තයගෙ මූණම තමයි, ආයි ඇරපු අතක් නෑ!නැත්තං ඇමරිකාවට ගැහුවෙ දුෂ්මන්තයද කියල කවුද දන්නෙ? තරහ ගියාම නයා වගේ ඩයල් එක නොවැ! "

තමන්ගෙ ටිකිරි මොළේට ආපු අයිඩියා එක පුරුපුරු පහුවදාම ගිහිං ඤාව්වට කිව්වලු.ඔය ආරංචිය ඉතිං වෑන් එකේ හැමෝම දැනගන්න ගියෙ නැනෝ තත්පර කීපයයි.කතාව ඇත්ත නේද කියල හැම දෙනාම කතාවෙන්න ගත්තලු.ඒ මදිවට සුපුරුදු පරිදි පුරුපුරුයි,ඤාව්වයි ඕක කියල දුෂ්මන්තව බයිට් කරන්න ගත්තලු.එදානං මෑන්ස්ට මලපැනීම මෙෂර් කරන්න මීටරයක් හැදුවනං ඒකෙ කටුව කැඩෙන ගානට තරහ ගියාලු.එදා අපේ යාලුවන්ට ලැබුනෙ අමතක නොවෙන මට්ටමේ සංග්‍රහයක්!ඉතිං ඕකෙ තරහපිට හිටපු පූසන්ට, හවස දුෂ්මන්තලගෙ ගෙදර ඉස්සරහ මෑන්ස්ට බහින්න වෑන් එක නතර කරපු වෙලාවෙ මරු අදහසක් ආවලු.

දුෂ්මන්තගෙ ගෙදර තිබුනෙ පූස්ගමම ටිකක් ජනාකීර්ණ පැත්තක.තමං අලු‍තින් හොයාගත්ත දැනුම දුෂ්මන්තයගෙ අසල්වැසි මිනිස්සුන්ටත් ලබල දෙන්න ඕනෙ කියල තිරණය කරපු පූසො,වෑන් එක අද්දද්දි මහ හයියෙන් මෙහෙම කෑ ගැහුවලු

"ඕ.........සා.........මා......බි.......න්....ලා............ඩ....න්......................"

දුෂ්මන්තට ඉතිං මාර ලැජ්ජයිලු.ගමේ මිනිස්සුත් මෑන්ස්ගෙන් අහල මොකද්ද සීන් එක කියලා.එදා ඉදලා හැමදාම හවසට ඔය වැඩේ ක්‍රියාත්මක වුනා.ටික දවසක් යද්දි ඔසාමා බින් ලාඩන්, නික්ම්ම බින් ලාඩන් වුණා.තවත් ටික දවසක් යද්දි බින් ලාඩන් කියන නම පහසුව තකා "බිල්ලා" කියල වෙනස් වුණා.ඔය කෑගහන වැඩේට එකතු වෙච්ච කට්ටියත් එන්න එන්න වැඩිවුණා.දැන් හැමදාම හවසට දුෂ්මන්ත වැන් එකෙන් බහිනකං ඉදලා කට්ටිය කෑ ගහනවලු

"බි.....ල්.....ලෝ..............................."

දැන් ඉතිං දුෂ්මන්තටයි ගෙදර කට්ටියටයි අම්බානට මළලු.වැඩේ පත්තුවුණේ දුර පළාතක හිටපු නෑයො වගයක් මෑන්ස්ගෙ ගෙදර ආපු වෙලාවෙ.ගෙදර හොයාගන්න අමාරු වෙච්ච කට්ටිය ගමේ කොල්ලෙක්ගෙන් දුෂ්මන්තලෑ ගෙදරට යන පාර අහල තියනව

නෑයා :- පුතා, අර පොඩි රාළහාමිලගෙ ගෙදර තියෙන්නෙ කොයි හරියෙද?

කොල්ලා :- ම්....මට හරියට නිච්චි නෑනෙ ඒ කවුද කියල!

නෑයා :- ඇයි අර මරදානෙ ඉස්කෝලෙ යන පුතෙක් එහෙම ඉන්නෙ?

කොල්ලා :- ආ..කලිං කියන්න එපෑ! මේ ඔසාමා බින් ලාඩන්ලගෙ ගෙදරනෙ!!අර වංගුවෙන් එහා තියෙන්නෙ.

ඉතිං මේක අහපු නෑදෑයන්ට ෆුල් අබ්ලික්ලු.ගෙදර ගිහිල්ල සිද්දිය කියන්න නැතෑ.පහුවදා උදේ දුෂ්මන්ත වෑන් එකට නගින තැන තුන්දෙනයි.මෑන්සුයි,අම්මයි,තාත්තයි.වෑන් එක එතන නැවැත්තුවට පස්සෙ දුෂ්මන්තගෙ අම්මගෙ මේඝ ගර්ජනාව පටන් ගත්තලු

"කවුද පුරුපුරු කියන්නෙ? කවුද ඤාව්ව කියන්නෙ?තමුසෙලට කට පරිස්සං කරගෙන ඉන්න බැරිද?..."

මෙහෙම පටන් ගත්තු දේසනාව විනාඩි පහක් විතර ක්‍රියාත්මක වුණාලු.පුරුපුරුයි,ඤාව්වයි ෆුල් හොලුමන්ලු!ඉතිං එදා හවස දුෂ්මන්ත බොහොම නිවිහැනහිල්ලෙ වෑන් එකෙන් බැස්සලු.පුරුපුරුලගෙන් තිබුන තර්ජනේ ඉවරයි නොවැ!අඩියක් දෙකක් තිබ්බලු.ඒත් කිසි සද්දයක් නෑ.සතුටින් පිනාගිය දුෂ්මන්ත ඊළග අඩිය තිබ්බ විතරයි

"බි...............ල්..............ලෝ................................"


මහා හඩක් ආවලු.බලාගෙන ගියාම පුරුපුරුයි,ඤාව්වයි විතරක් නෙවෙයි, වෙනද කෑගහන්ඩ එන්නෙ නැති අලයා වගේ කොල්ලොයි,අර ඇන්ටිගෙ ස්පීච් එක ඇලජික් වෙච්ච ලකී වගේ කෙල්ලොයි පවා එදා කෑගැහිමට සහභාගි වෙලා!!


Thursday, June 10, 2010

ලකී...!


එදා අපි කිව්වනෙ ඤාව්වගෙ
පළවෙනි ආදර කතාව ගැන. ‍‍ඔන්න අද කියන්න හදන්නෙ අපේ පුරු පුරුගෙ පළවෙනි ආදර කතාව ගැනයි. මේ කතාවෙ ගෑණු ලමයා ලක් එකට සම්බන්ධ ගෑණු ලමයෙක්. ඒ නිසා අපි එයාට ලකී කියමු.

පුරු පුරුයි
ඤාව්වයි මුලින්ම හම්බ‍වුන ස්කූල් වෑන් එක ගැන ඔයාලට මතක ඇතිනෙ. මෙන්න මේ වෑන් එකේ තමයි ලකිත් ඉස්කෝලෙ ගියෙ. එයා ගියෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු අග්‍ර උපාසිකාවකගෙ නමින් තියෙන ඉස්කෝලෙකට. හොද ඇහැ‍ට කනට පේන ලමයෙක්. පුරු පුරුට වඩා අවුරුදු දෙකයිලු වැඩිමල්. අපේ පුරු පුරු නම් අදටත් කියන්නෙ දෙකයි නෙවෙයි අවුරුදු එකයි මාස දහයයි කියල! :)
(මේ මල්සරාත් ඉතින් විදිනකොට වයස බල බලා විදින්නෙ නෑනෙ නේද...
වැදුනොත් ඉතින් සොරිම තමා)
ඔන්න ඉතින් ඔය මල්සරාගෙ ඊතලෙ පුරු පුරුටත් එල්ල උනා. පුරු පුරුත් ගේම් එකට එන්ටර් වුනා. අර කලින් කතාවකදි
ඤාව්ව කලා වගේම පුරු පුරුත් වෑන් එකේදි ලකී ගාවින්ම වාඩි වෙන්න පටන් ගත්තා. සති අන්තයෙ ක්ලාස් යද්දිත් ලකී යන බස් එකට කොහොමහරි නගිනව. හැබැයි පුරු පුරු ඤාව්වට වඩා ටිකක් දියුණුයි, ඤාව්ව ගෑනු ලමයගෙ පිටිපස්සෙන් වාඩි උනාට පුරු පුරුනම් ලකීගෙ ලගින්ම වාඩි වෙනව. (නංගි කියන්න බැරි හින්දත් අක්ක කියන්න හිත හදාගන්න බැරි හින්දත් අපි මෙයාට කිව්වෙ අක්ක නංගි කියල.)
කොහොම කොහොම හරි මේ දෙන්න ගොඩක් ෆිට් වුනාලු. ලකීට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඒක කියන්නෙත් පුරු පුරුටලු. පුරු පුරුත් කියන්න තියෙන කතා මදිවට නැති කතා හරි හද හදා කියනවලු. වෑන් එකේ ගිය සමහර කොල්ලො අනං මනං කිව්වත් පුරු පුරු ගනන් ගත්තෙ නැහැලු. උන්ට ඊරිසියාවනෙ!!!

ඉතින් ඔය විදිහට අවුරුද්දක් විතර ගෙවිල ගියා. අපේ පුරු පුරුත් ඔය මුලු අවුරුද්දම ලකී ගාව වාඩි වෙලා ඉස්කෝලෙ ගියා. මේ වෙනකොට දෙන්නගෙ ෆිට් එක උපරිමයි. දෙන්න දෙන්න ගැන නොදන්න දෙයක් නෑ. ලකීගෙන් වෙන කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත් ඒකත් ඊට පහුවදාම ඇවිත් පුරු පුරුට කියනවලු. කියනව විතරක් නම් කමක් නැහැ, කියල ඒ කොල්ලට බනිනවත් එක්කලු. පුරු පුරුටත් ඉතින් මාර හැපී. කට ඇරල කැමතියි කියල කියාගන්න බැරි උනත් දැන් පුරු පුරු දන්නවනෙ මෙයා අනිත් අයට කැමතිත් නෑ කියල.
ඤාව්වයි උපාසකයි කොච්චර කිව්වත් පුරු පුරුට ලකීගෙන් අහන්නත් නිකං මොකක්ද මොකක්ද වගෙලු. (ලැජ්ජ බයට හැදිච්ච ලමයෙක්නෙ..)
ඉතින් ඔහොම ටික දවසක් යද්දි මරු වැඩක් වෙලා. ඉරිද පන්ති ගියාම ලකීගෙන් තවත් බෝයි කෙනෙක් යාලු වෙන්න අහල. පුරු පුරුත් ටිකක් දන්න එකෙක් තමයි අහල තියෙන්නෙ. පහුවදා සදුද වෑන් එකට ආව ගමන්ම වෙනද වගේම මේ කතාවත් ලකී පුරු පුරුට කියල.. ඒත් ඉතින් තවත් එක කතාවක් විතරයිනෙ කියල
පුරු පුරු එච්චර ගනං අරන් නෑ..
මෙන්න මෙහෙමයි ලකී කියල තියෙන්නෙ..

ලකී:- අර _________ ඊයෙ මගෙන් යාලු වෙන්න ඇහුවනෙ පුරු පුරු.. බස් එකෙදි කතා කර කර
ඇවිත් අන්තිමේදි තමයි ඇහුවෙ...

පුරු පුරු:- ඉතින්???

ලකී:- ඉතින් මං එයාට හා කිව්ව! එයා හොදයි නේද මල්ලියො??

Sunday, June 6, 2010

පූසට නමක්!



Sri lanka live බ්ලොග් එකේ තිබුන සෝමදාස කියන පූසගෙ ෆොටෝ එක දැකලා
බ්ලොග් ගඩොල්ටත් හිතුනා පුරුපුරුලගෙ ගෙදර හිටපු පූසො ගැනයි, උන්ට දාල තිබුන නම් ගැනයි කියන එක හොදයි කියලා.

පුරුපුරුලගෙ ගෙදරට මුලින්ම පූසෙක් සෙට්වුණේ මෑන්ස්ට අවුරුදු පහේදි.ඒ ගෙදර ඇතිකරපු පූසෙක් නං නෙවෙයිලු.නිකංම නිකං පාරෙ ඇවිද ඇවිද හිටපු පූසෙක්ලු.හැබැයි පූසෙක් කිව්වට පූසියෙක්.මූ නොම්මර එකේ හොර තක්කඩියෙක්.වැඩිපුර හිටියෙ පුරුපුරුලගෙ ගෙදරයි, එහා ගෙදරයි.හැබැයි ඒරියා එකේ හැම ගෙදරටම ගිහිල්ල හොරාකන්න මූට පුදුම ටැලන්ට් එකක් තිබුණෙ.පුරුපුරුලගෙ ගෙදර වුණත් මොනව හරි ප්‍රෝටීන් බහුල ආහාරයක් පේන්න තිබුනොත් ඒකට වගකියන්න මූට ආරාධනා කර කර ඉන්න ඕනෙ වුණේ නෑ.

මොනව උනත්
පුරුපුරු ඉස්සර ඉදලම පූසන්ට ආදරෙයි.ඒක හින්ද මෑන්ස් මේ හොර පූසිව තමන්ගෙ සුරතලා විදිහට සලකන්න පටන් ගත්තලු.වැඩේ අප්සට් වුණේ එහා ගෙදර රුසියත් මූව තමන්ගෙ සුරතලා විදිහට ඇති කරන්න පටන් ගත්තට පස්සෙ.ඇයි මේ පූසා ගෙවල් දෙකේම ඉන්නවනෙ!දැන් දෙන්නටම ඕනෙ මෙයාව තමන්ට විතරක් අයිති කරගන්න.ඒත් පූස් අයිතිකාරකමෙන් ඉල්ලා අස්වෙන්න දෙන්නගෙන් එක්කෙනෙක්වත් කැමති වුණේ නෑලු.හරියට අපේ සනත් ලොක්කා වගේ.

අන්තිමට
පුරුපුරු‍යි රුසියයි තීරණය කළාලු මූව ෂෙයාර් කරගන්න.දැන් ප්‍රශ්නෙ මූට නමක් දාන එක.දෙන්න කතා කරල තීරණේ කරගත්තලු නමේ ඉස්සරහ කෑල්ල පුරුපුරු‍ දාන්නත්, පිටිපස්සෙ කෑල්ල රුසිය දාන්නත්.හැබැයි කවුරුහරි පහුවදා උදේ වෙනකොට නාම යෝජනා දුන්නෙ නැත්තං නම දැමීමේ තනි අයිතිය අනිකාට ලැබෙනව.

පුරුපුරු‍ ඉතිං ගෙදර ගිහිං අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරනවලු පුසට දාන්න නමක්.මොකක් හරි හොද නමක් දාන්නත් එපායැ!පුරුපුරු‍ට පුලුවන්ද එහෙම කාටවත් සෙකන්ඩ් වෙන්න?ඔහොම කල්පනා කර කර ටීවී එක බලද්දි තමයි ඒ දවස්වල ජනප්‍රිය ඇඩ් එකක් මෑන්ස්ගෙ කනට වැටුනෙ.ඒ තමයි

එවරෙඩි..... සුපර්හෙවි ඩියුටි.......

කියල සිංදුවක් තියන බැටරි ඇඩ් එක.පූසගෙ නමට මේකෙ කැල්ලක් හොදයි කියල
පුරුපුරු‍ තීරණය කළාලු.ඉතිං කලින් කතාවෙච්ච විදිහට දෙන්න පහුවදා සෙට් වුනාලු පුසට නමක් දාන්න.පුරුපුරු‍ දාපු නම වුණේ "එවරෙඩි සුපර්හෙවි" කියන එක.රුසියත් හොද නමක් කල්පනා කරගෙන ඇවිත් තිබුනා.ඒක තමයි "පූස් බන්ඩි කපුරුස්" කියන නම.ඉතිං අන්තිමට මූගෙ නම වුණේ එවරෙඩි සුපර්හෙවි පූස් බන්ඩි කපුරුස්....

කොහොම වුණත් මේ නම පුසට එච්චර ගැලපුනේ නං නැහැලු.එවරෙඩි කියන එකනං
හොදට ගැලපුනා.මොකද හොරාකාල කාල ගෙදර මිනිස්සු එද්දි පටගාල අතුරුදහන් වෙන්ඩනං මූ එවරෙඩි එකේ හිටියෙ.ඒ වුණාට මේ පුසගෙ පොඩ්ඩක්වත් බර තිබුනෙ නෑ.ඌට මහලොකු බඩක් තිබුනෙත් නැහැලු.ඒ හින්ද සුපර්හෙවි සහ බන්ඩි කපුරුස් කියන නම් මූට එච්චරම ගැලපුනේ නැහැ.ඉතිං පුරුපුරු‍ හිතාගත්තලු මීටපස්සෙ පූසෙක්ට නමක් දාද්දි ටිකක් ලොජිකල් නමක් දාන්න ඕනෙ කියල.

මේ පූසගෙ හොරාකෑමටත් වඩා තිබුන ලොකුම කරදරේ තමයි මාස හතරෙන් හතරට වගේ පැටව් දාන එක.ඉතිං මේ පැටවුන්ව හදාගන්න වුණෙත් එක්කො
පුරුපුරු‍ලට, නැත්තං රුසියලට.මුලින්ම හදාගත්තු පූස්පැටියව පුරුපුරු‍ට පෙනුණෙ පොඩි සිංහ පැටියෙක් වගේ.ඉතිං එයාට නම දැම්මලු "ලයනල්" කියලා.(lion = lionel)

ඊටපස්සෙ හිටපු පූසන්ටත් දැම්මෙ ඔයවගේ නම් තමයි.නිතරම නිදාගෙන කම්මැලිකමෙන් හිටපු පූසට දැම්මෙ "කල්පනා" කියලලු.
දවල්ට ඇවිදින්න ගිහිං රෑට විතරක් ගෙදරට එන්න පුරුදු වෙලා හිටපු පූසා තමයි "අයාල්"
ලිදට වැටිල ගිලෙන්න ගිහිං කඹයක් දාල බේරගත්ත පුසා "ලයිෆ්බෝයි"
ගෙදර මිනිස්සුන්ට එච්චර හිතවත්කමක් නොදක්වපු එකා "නේපියර්" (නෑ ආදරය = නෝ ප්‍යාර් = නේපියර්)

දැනුත්
පුරුපුරු‍ලගෙ ගෙදර පූස්පැටව් තුන් දෙනෙක් ඉන්නවලු.උන්ටනං තාම නම් දාල නෑ.දැම්මට පස්සෙ කියන්නංකෝ!


Friday, June 4, 2010

මචං


ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් ගඩොල් ආපහු බ්ලොග් අවකාශෙට ආවා.අද අපි කියන්න යන්නෙ අපේ පුරුපුරුට 9 වසරෙදි සිද්ද වෙච්ච කතාවක්.ඒ කියන්නෙ 2001 අවුරුද්දෙ.
ගොඩදෙනෙක් අහනවා ඇයි බ්ලොග් ගඩොල් මේ 8,9,10 වසර වල වෙච්ච ඒවා විතරක් ලියන්නෙ කියලා.අපි ඉතින් තාම බ්ලොග් කෙරුවාව පටන් ගත්ත විතරයි නොවැ!ඇත්තටම සිරාම සිද්දි වුණේ ඊට පස්සෙ.හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙටලුනෙ නේද?.... :)

මේ දවස්වල පුරුපුරු ගියා ගණන් පන්තියකට.තිබුණෙ ගම්පහ.ඉගැන්නුවෙ ඇල්වින් කියලා සර් කෙනෙක්.ටිකක් විතර වසවර්තිය වුණත් ඇල්වින් සර් තමයි ඔය දවස්වල ගම්පහ හිටපු හොදම ගණන් සර්.දැන් නම් පන්ති කරනවද දන්නෑ.පුරුපුරුත් ඉතිං මේ පන්තියෙ හිටපු හොද ගණන්කාරයෙක්ලු.ඒ කිව්වෙ හොද මැත්ස් ඩයල් එකක් කියලා.

ඔන්න ඉතිං දවසක් සුපුරුදු විදිහට පුරුපුරු ගණන් පන්ති ගියාලු.හැබැයි මෑන්ස් එදා ටිකක් කම්මැලිකමෙන් තමයි ක්ලාස් ගෑටුවෙ.ඒකට හේතුව වුණේ එදා ලංකාව සහභාගි වෙන ක්‍රිකට් මැච් එකක් තිබුන එක.පුරුපුරු කොහොමත් මැච් බැලිල්ල ගැන ආචාර්ය උපාධියක් ගන්න තරම් ටැලෙන්ටඩ් පොරක්.දැන් වුණත් මැච් එකක් තිබුණොත් අනිවා ලෙක්චර්ස් කට් කරලා ඒක බලනවා.ඒත් ඉතිං ක්ලාස් නාවොත් ලැබෙන ඇල්වින් සර්ගෙ වාග් ප්‍රහාර මතක් වුණ පූසා අන්තිමේදි ක්ලාස් එකට යන්න තීරණය කරාලු.

කොහොම හරි දැන් පන්තියෙ පැය දෙකත් ගෙවුණලු.පුරුපුරු ක්ලාස් යන්න කම්මැලි කළාට මොකද,ඇල්වින් සර් උගන්නනකොට වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ.පන්තිය ඉවර වෙනවත් එක්කම තමයි මාර අප්සට් සිද්ධියක් වුණේ.මෙච්චර වෙලා හොදට තිබුණ අහස ටැප් එක ඇරිය වගේ වෙලා වැස්ස වලාහක දෙයියො දෙන්න ගත්තලු පොළොවට රිදෙන්ඩ ගේම.කුඩ ගෙනත් තිබුන එවුන් නම් ඉතිං දෙන්න දෙන්න අමාරුවෙන් හරි ක්ලාස් එකෙන් යන්න ගියාලු.අන්තිමට ඉතුරු වුණේ තිබුන කුඩවල යන්න ඉඩ මදිවුණු පුරුපුරු වගේ අනාථයො කීප දෙනෙක් විතරයි.

දැන් පුරුපුරුට ගෙදර යන්න විදිහක් නැහැලු.මහ අනෝරා වැස්ස.මෑන්ස් ඉතිං කවදාවත් කුඩයක් එහෙම අරගෙන තැනකට යන කෙනෙකුත් නෙවෙයිනෙ.ඒ මදිවට ඉක්මණට ගෙදර ගියෙ නැත්තං මැච් එකේ අන්තිම හරිය බලන්න වෙන්නෙත් නෑ.අපේ යාලුව දැන් දහඅතේ කල්පනා කර කර ඉන්නවලු.එතකොට තමයි මෑන්ස්ගෙ දෑස් වලට රසදුනක් හම්බවුණේ.මෙන්න බොලේ කවුද ඩයල් එකක් මහ වැස්සෙ තනියම තඩි කුඩයක් ඉහළගෙන යනවලු.වැස්ස තද හින්ද යන කොල්ල කවුද කියල අදුරගන්නත් අමාරුයිලු.

හුහ්...මූට එහෙම තනියම යන්ඩ දෙන්න පුලුවන්ද පුරුපුරුව එක්ක යන්නෙ නැතුව??
පුරුපුරුත් මහ වැස්සෙම අඩියට දෙකට කුඩේ යටට දුවගෙන ගියාලු.

දැන් දෙන්න කුඩේ යටින් යනවා.පුරුපුරු අරූගෙ කර උඩින් අතකුත් දාගෙන.වැස්ස කොච්චර තදද කියනවනං අර ලොකු කුඩේ යටින් ගියත් වැස්සෙන් බේරෙන්නනං බැහැයිලු.

පුරුපුරු :- මාර වැස්ස නේද මචං?

මචං :- ...............................

පුරුපුරු :- අද මැච් එක ගහගත්තොත්නං ෆයිනල් එකට යන්ඩ චාන්ස් එකක් තියනව නේද මචං?

මචං :- ...............................

දැන් පුරුපුරු එකසිය ගානට ටෝකලු.ඒ වුණාට අරූ නෙවෙයිලු කටක්වත් හොල්ලන්නෙ.මේ වෙනකොට අපේ මෑන්ස් කුඩේ යටට ගිහිං තත්පර 20-30ක් විතර වෙනවලු.බැරිම තැන පුරුපුරු වැස්ස මැද්දෙම හොදට ඇහැ ඇරලා තමන්ගෙ අම්බ්‍රෙල්ලා මේට් දිහා බැලුවලු.

මළ කෙලියයි........මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු........................

බැලින්නං පුරුපුරු මෙච්චර වෙලා එකසිය ගානට කියෝ කියෝ කුඩේ යටින් ගිහිං තියෙන්නෙ ක්ලාස් එකේ ඉන්න කෙල්ලෙක් එක්කලු.මේ කෙල්ල කොල්ලෙක් වගේ කොටට කොන්ඩෙ කපලා තිබුන නිසා මෑන්ස්ට එයාව පිටිපස්සෙන් දැක්කම අදුරගන්න බැරිවෙලා!කොන්ඩෙ කැපුවට මොකද කෙල්ලනං ඉටි රූපෙ වගේ ලස්සනයි.

කෙල්ලට කතා කරගන්නත් බැරිලු, නිකං ෂොක් එක වගේ හැදිලා.ඇස් දෙක ලොකු කරගෙන පුරුපුරු දිහා කන්න වගේ බලාගෙන ඉන්නවලු.එකපාරටම නන්නාදුනන කොල්ලෙක් කුඩේ යටට ඇවිල්ලා, කර උඩින් අතකුත් දාගෙන විකාර කියවද්දි මොන කෙල්ලටද ෂොක් වෙන්නෙ නැත්තෙ??කෙල්ලව දැකපු පුරුපුරුට ඊටත් වඩා ෂොක් එකලු.

"දැන් මේකිට පියවි සිහිය ආවොත් මොනව කරයිද? මට බනියිද?මට ගහයිද? නැත්තං ඒකි කෑ ගහයිද? ඒකිට ට්‍රයි කරන කොල්ලෙක්වත් දැක්කොත් එහෙම? වන විනාසයක් වෙන්නෙ!"

මෙහෙම කල්පනා කරපු පුරුපුරු වැස්සෙ තෙමි තෙමීම එතනින් දිව්වලු.ඔය කාලෙ ඉතිං කෙල්ලෙක් එක්ක කුඩේ යටින් යනවයි කියන්නෙ පට්ට පාපකර්මයක්‍ නොවැ!ඊට පස්සෙ මෑන්ස් නෙවෙයි ඒ කෙල්ලගෙ අහලකින්වත් ගියෙ.

Sunday, May 30, 2010

කලු කුමාරි


පූසො සෙට් එකේ ඉස්සර කරපු පිස්සු වැඩ ගැන හිත හිතා ඉන්නකොට අපිට මතක් වුණා අපේ ඤාව්වගෙ පළවෙනි ආදර කතාව ගැන.පළවෙනි කිව්වට ඇත්තටම මේක 9 වසරෙන් පස්සෙ ඇති‍වුණ පළවෙනි එක.ඊට කලින් ඒවා චූටි කාලෙ කරපු දග වැඩ කියල හිතල අමතක කරල දාන්න කියල අපේ ඤාව්වා විශේෂ ඉල්ලීමකුත් කළා ඔන්න.. :)

අපේ පූසො සෙට් එක ඒ දවස්වල ගියා පූස්ගමේ එක කොනක තිබුණ විද්‍යාව පන්තියකට.ඕකට ආපු කෙල්ලො අතරෙ හිටියලු කලු කුමාරි කියල කෙල්ලෙක්.මෙයාට කලු කුමාරි කියල කියන්නෙ කලු හින්දමනං නෙවෙයි, තව සුදු කුමාරි කියල කෙල්ලෙකුත් හිටපු නිසයි.(ඤාව්වගෙන් මාර කරදරේ මෙයාට ලස්සන නමක් දාන්න කියලා.ඔන්න ඤාව්වෝ දාන්න පුලුවන් ලස්සනම නම දැම්මා) කොහොම හරි ඉතිං මේ කලු කුමාරිත් බොහොම ඇහැට කනට පේන නාඹර ගැටිස්සිලු.ඔය උඩ රූපෙ ඉන්න එක්කෙනා වගේම තමයි.ටික දවසක් යනකොට ඤාව්වගෙ හතර අතේ කැරකි කැරකි තිබුන රේඩාර් එකට මේ කලු කුමාරිව අහුවුනාලු.

එදා ඉදල ඉතිං එක විකාරයයි.ඤාව්වා හැමදාම කලු කුමාරි ළගින් වාඩිවෙන්න පටන් ගත්තා.ළගින් කිව්වට ඉතිං කලු කුමාරිට පිටිපස්සෙ බංකුවෙ තමයි කොල්ල වාඩි වුණේ.ඒ මදිවට හැමදාම ක්ලාස් ඇරුනම කලු කුමාරිත් එක්ක බස් ස්ටෑන්ඩ් එකට යන්නත් ඤාව්වා පුරුදු වුණාලු.එහෙම කිව්වට ඤාව්ව හැමදාම මීටර් ගානක ඒකාකාරී ගැප් එකක් තියාගෙන කලු කුමාරිගෙ පස්සෙන් ගිය එක තමයි සිද්ද වුණේ.අපේ ඤාව්ව ඉතිං හොද ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් නිසා පාරෙදි කලු කුමාරි දිහා බැලුවත් බලන්නෙ වාහන අස්සෙ හැංගිලා ඉදලලු.මේක බලන් ඉදල පුරුපුරුටයි, උපාසකටයි, මාලුකට්ටටයි අම්බානට පුෂ්ප ජම්පින්ලු.ඇයි මූ ඉතිං හැමදාම පිටිපස්සට වෙලා ඉන්න එක නොවැ කරන්නෙ.කලු කුමාරි දන්නෙවත් නෑලු ඤාව්වගෙ හිතේ දෝරෙ ගලන ආදරේ ගැන.

අන්තිමේදි පූසො සෙට් එකේ අනිත් පූසො ටික තීරණය කරාලු ඤාව්වට මෙච්චර කල් දීගෙන හිටපු සයිඩ් සපෝට් එක බොක්ක සපෝට් එකක් බවට පරිවර්තනය කරන්න.කලු කුමාරිට ඤාව්වගෙ නම කියල විහිලු තහලු කරන එක,ඤාව්ව පන්තියෙදි කලු කුමාරි කිට්ටුවෙන් වාඩි කරවපු එක වගේ දේවල් තමයි ඔය මිෂන් එකේ සිද්ධ වුණේ.

කොහොම හරි ඔය වැඩ නිසා ටික දවසක් යද්දි කලු කුමාරිගෙ මීටරේට ඤාව්වගෙ ලයින් එක ක්ලික් වුණා.මේ වෙනකොට අපි කියන හැංගිමුත්තං ආදරේට මාස පහක් හයක් විතර ගෙවිල ගිහිංලු.තව, දුෂ්ටයෙකුගෙ රේඩාර් එකට කලු කුමාරිව අහුවෙලා කියලත් නිල නොලත් ආරංචියක් ලැබුනලු.තවත් බලාගෙන ඉදල හරියන්නෑ කියල පුරුපුරුයි උපාසකයි ඤාව්වට තරයේ අවවාද කළාලු මෑන්ස්ගෙ හිතේ මෝරල තිබුණ ආදරේ කලු කුමාරිට වහාම ප්‍රකාශ කරන්න කියලා.මෙහෙම දවස් දෙක තුනක් කෑ ගැහුවට පස්සෙ ඤාව්වත් වැඩේට කැමති වෙලා සුබ දවසකුත් දා ගත්තලු.

ඔන්න ඉතිං ඒ තීරණාත්මක දවසත් උදාවුණා.ක්ලාස් ආවට මොකද, එදා කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ක්ලාස් එක ඉවර වෙනකං ඤාව්වට මොකද ‍වෙන්නෙ කියල දැනගන්න.කොහොම හරි පැය දෙකකින් පන්තියත් ඉවර වුණාලු.ඊට පස්සෙ කලු කුමාරිත් බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු.පූසො කට්ටියත් ඤාව්වව තල්ලු කරලම ඉක්මනට ඒ පැත්තට එලෙව්වලු.මෑන්ස් මීට කලින් ගෑනු ළමයි කීප දෙනෙක්ටම ට්‍රයි කරල තිබුණත් කාගෙන්වත් යාලුවෙන්න අහල තිබුණෙ නෑ.

දැන් පාර දිගේ කලු කුමාරියි ඤාව්වයි කතා කර කර යනවා.ඊට ටිකක් පිටිපස්සෙන් පුරුපුරුයි උපාසකයි යනවා.ටික වෙලාවකින් මෙන්න ඤාව්ව ආපහු හැරිල අනිත් දෙන්න ළගට ආවා.

පුරුපුරු :- ඇයි බං මොකද වුණේ? වැඩේ හරි ගියාද??

උපාසක :- නැත්තං කෙළ වුණාද?

ඤාව්ව :- මට නිකං අහන්න මොකද්ද වගේ බං! (මෙහෙම කියල මෑන්ස් ඇඹරෙන්න ගත්තලු)

පුරුපුරු :- මොනවා? එතකොට උඹ ඇහුවෙ නැද්ද??

ඤාව්ව :- නෑ බං! අනේ උඹල ගිහිං අහපංකෝ.මම කලු කුමාරිට කිව්ව උඹලට එයත් එක්ක කතා කරන්ඩ ඕනෙ කියල

පුරුපුරුයි උපාසකයි වහාම ක්‍රියාත්මක වන පරිදි ඤාව්වගෙ මෑණියන්ට කිඹුහුම් යවන්න පටන් ගත්තලු.මිනිහත් අතෑරියෙ නෑ,දිගින් දිගටම කෙදිරි ගානවලු විදේශ ආධාර ඉල්ලල.ලංකාවෙ කොල්ලෙක් නොවැ!බැරිම තැන ඉතිං පුරුපුරුයි උපාසකයි යාලුව වෙනුවෙන් ගේමට බහින්න තීරණය කළාලු.දෙන්න ගිහිං කලු කුමාරිත් එක්ක ටෝක්ස් පාරක් එහෙම දීල ශේප් එකේ ඤාව්වගෙ ඉල්ලීම ඉදිරිපත් කළාලු.මෙන්න කලු කුමාරි ගත් කටටම කියපි
"බැහ් "
කියලා.මළ කෙලියයි.දෙන්න ඉතිං බයිට් වුණත් කමක් නෑ යාලුව වෙනුවෙන්නෙ කියල තව තවත් ට්‍රයි කරල බැලුවලු.කොහෙද, කලු කුමාරි නම්‍යශීලීත්වයේ ඍණ අන්නතෙටම ගිහිං ඉන්නෙ.:(

මුලු කතාවම කියන්න ගියොත් මේ පෝස්ට් එක දිග වැඩිවෙන නිසා කතාවෙ අන්තිම වාක්‍ය දෙක විතරක් දාන්නංකො.

උපාසක :- ඇයි කුමාරි, ඤාව්ව කොච්චර හොදද?එයාට අකමැති වෙන්න මොකද්ද එයාගෙ තියෙන අඩුව???

කලු කුමාරි :- (ආපසු හැරී) ඇත්තද?? එහෙනං එයාට තියෙන දේවල් එකක් කියමු බලන්ඩ??

පුරුපුරුයි උපාසකයි එතනම ඌර්ධවපාතනය වුණාලු.ඇයි ඉතිං කට උත්තරත් නෑනෙ.ඤාව්වට තියන දේවල් කියන්න ගියානං ගුට්ත් කාල තමයි එන්න වෙන්නෙ.

Saturday, May 29, 2010

කිරි කොකුන් මැද කණ කොකෙක්



කොක්කු කිව්වම කොච්චරනං
කොක්කු ජාති ඉන්නවද? ඒත් අපි මේ කියන්න යන්නෙ ඒ කොක්කු ගැනනං නෙවෙයි.

මේ කතාව සිද්ද වූණේ අපේ උපාසකට.අපේ පූසො ටික 10 වසරෙදි.කතාවට කලින් ඉතින් බැක්ග්‍රවුන්ඩ් එක කියන්නත් එපායැ.

ඔය ලංකාවෙ ස්කූල් යුනිෆෝම් එක තියනවනෙ.රජයේ ඉස්කෝලෙකට යන කොල්ලෙක්නං පොඩිකාලෙ අදින්න ඕනෙ සුදු ෂර්ට් එක,කොට කලිසම සහ සපත්තු මේස්.කලිසමේ සහ සපත්තු මේස් වල පාට නං ඉස්කෝලෙන් ඉස්කෝලෙට වෙනස් වෙනවා.ඒ වුණාට 10 වසරෙ ඉදලා සුදුපාට දිග කලිසමක් තමයි අදින්න ඕනෙ.ඉතිං කොල්ලෙක්ගෙ ස්කූල් ලයිෆ් එකේ,තමන්ගෙ පෙනුම සම්බන්ධයෙන් ගොඩක්ම වැදගත් වෙන දවස් දෙකෙන් එකක් තමයි ඔය මුලින්ම සුදු දිග කලිසමක් ඇදලා ඉස්කෝලෙ යන දවස.(අනිත් දවස තමයි රැවුල කපල මුලින්ම ඉස්කෝලෙ යන දවස.)කොට කලිසං අදින දවස්වලනං පොඩි කොල්ලො හෙන කෑදරකමෙන් බලාගෙන ඉන්නෙ කවද්ද එයාලටත් දිග කලිසමක් ඇදගෙන ඉස්කෝලෙ යන්න පුලුවන් වෙන්නෙ කියල.මොකද උන් දන්නෑනෙ ඕක ඇන්දට පස්සෙ තියන කරදරේ!

ඉතිං උපාසකත් 9 වසර ඉවරවෙලා තිබුන දෙසැම්බර් නිවාඩුවෙ හරි හරියට ලෑස්ති වුණාලු තව ටික දවසකින් එලඹෙන ඒ මහා අමරණීය දිනයට.මෑන්ස් ඉතිං ටේලර් සාප්පු ගානෙ යනවලු කලිසං මහන්න දෙන්ඩ.ෂර්ට් වල ගහල තිබුන ඉස්කෝලෙ බැජ් එහෙමත් ගලවනවලු.මොකද ඔය දවස්වල උපාසකලගෙ ඉස්කෝලෙ සම්ප්‍රදායක් විදිහට දිග කලිසං ඇන්දට පස්සෙ බැජ් එක ගහන්නෙ නෑලු.අපේ යාලුව සපත්තු කඩවල් වලට ගියෙත් දිග කලිසමට ගැලපෙන ඉස්සරහ ෆ්ලැට් සපත්තු තෝරන්න.හැමෝම ඉතිං ඔහොම නොවැ!

කොහොමින් කොහොම හරි නිවාඩු කාලෙ ඇතුලත උපාසක තමන්ගෙ සූට් එක ෆුල් රෙඩි කරගත්තලු.වතුර වලක් පේන තෙක්මානෙ ඉන්න ඉඩෝරෙට අහුවෙච්ච ඉබ්බෙක්ට වගේ, දැන් අපේ යාලුවට ඉවසිල්ලක් නෑලු ඉස්කෝලෙ පටන් ගන්නකං.

අන්තිමේදි දවසෙන් දවස අමාරුවෙන් ගෙවිල ගිහිං 2002 සුබ අවුරුද්දෙ පලවෙනි සුබ ස්කූල් ඩේ එකත් එලඹුණා.උපාසකත් ජැන්ඩි පහට ඇදල ගිහිං ස්කූල් වෑන් එකට නැග්ග.(මේ පුරුපුරුයි ඤාව්වයි ගිය වෑන් එකනං නෙවෙයි.පූස්ගමම ඉදලා ගිය වෙන ස්කූල් වෑන් එකක්) ෂාහ්....හරිම අමුතුයි.අයියල අක්කල පවා පුදුම ගෞරවේකින් නොවැ උපාසක දිහා බලන්නෙ.නංගිල මල්ලිලත් එහෙමම තමයි.වෑන් එකේ පොඩි එකෙක් මොකද්ද අවකැපෙන කතාවක් කිව්වට උපාසක නෙවෙයි ඌ දිහා ඇහැක් ඇරල බැලුවෙ.ඌ ඉතිං තාම කොට කලිසංකාරයෙක්නෙ!

ප්‍රධාන පුරස්නෙ තමයි කලිසමේ කුණු ගාගන්නෙ නැතුව ඉන්න එක!උපාසක ඉතිං අනාගතේ දැන් දකින ජාතියෙ ඩයල් එකනෙ.මෑන්ස් ගෙදර ඉදලම වැඩේට ලෑස්ති වෙලා ඉදල තියෙන්නෙ.තුන් දෙනෙක්ට විතර වාඩි වෙන්න පුලුවන් මහ විසාල සර්වි‍යට් රාජයෙක් ගෙනල්ල වාහනේ සීට් එකට එලන්න.ඒකත් එලාගෙන,කලිසමේ රැලිත් හරිගස්සල කොල්ල දැන් වාඩිවෙලා යනවලු ධ්‍යානයට සමවැදිච්ච හිමාල අඩවියෙ තාපසයෙක් වගේ.(වෙනදට උඩ පැන පැන වෑන් එක දෙවනත් කරන එකා)කාටවත් ඇගට අත තියන්නවත් දෙන්නෙ නෑලු.

කොහොම හරි ඉතිං අපේ යාලුව ඉස්කෝලෙ ගාවින් බැස්සලු.දැන් මෑන්ස් වෑන් එක නවත්තන තැන ඉදල ඉස්කෝලෙට පයින් යනවා.අහල පහලින් වෑන් වල ඉස්කෝලෙ යන කෙල්ලො එහෙමත් හොරෙන් හොරෙන් බලනවලු.මුං කොට කලිසං ගහගෙන එද්දි ඇහැක් ඇරල බලපු එව්වොද??

ඔය දවස්වලත් දැං කාලෙ වගේම වැහි දවස්ලු.පාරෙ යද්දි තණකොළ වල තියෙන කහට,මඩ එහෙම කලිසමේ යට දාරෙ හරියෙ ගෑවෙනවලු.උපාසකත් පරිස්සමින් අඩිය තියනවලු වැස්සට සාප කර කර.කොට කලිසමත් එක්ක බැලුවමනං දිග කලිසම හෙන ඇනයක් තමයි.ඒ වුණාට ජරාව විතරක් නෙවෙයි,කොච්චර සුමුදු සුන්දර දේවලුත් ඔය කලිසමේ ඇලෙනවද නේද??

වැස්ස දවස් වලට කොළඹ තත්වෙ ගැන ඉතිං බ්ලොග්අවකාශෙ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙයෑ.හැම තැනම මඩ වතුර වලවල්නෙ.අපේ කතාවෙ ක්ලයිමැක්ස් එක එන්නෙ උපාසක ඔය මඩ වතුර වලක් ලගින් යනකොට.

එකපාරටම හයියෙන් ආපු කිරිකිරි කාර් එකක් මඩවල මැදින්ම ගියාලු.මෙතනදිත් වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.කිරි කොකා වගේ හිටපු උපාසක ඊළග තත්පරේදි කණ කොකෙක් වෙලාලු.නිකම්ම නෙවෙයි,ඉගිලලුනත් සුද පේන්නෙ නැති වෙන ගානටම.ඇගට විසිවෙච්ච මඩ වතුර ටික බොයිල් වෙන ගානට උපාසකට මල පැන්නලු.(ඩැයිවර් උන්නැහෙගෙ අම්මට එදා තදබල විදිහට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න ඇති).නපුරු කලට මොනව කරන්නද?

ඔන්න ඔහොමයි උපාසක කිරි කොකුන් මැද කණ කොකෙක් වුණේ!!

ඒ පාසල් කාලය කොච්චරනම් සුන්දරද?

Tuesday, May 25, 2010

බාලදක්ෂ පුරුපුරු

කලින් පෝස්ට් එකේ අපි හදුන්නල දුන්න "ගනය" කියන වචනෙට සෑහෙන්න ප්‍රතිචාර ආවනෙ.එහෙනං කියමුකො බලන්න "වර්ගය " කියන වචනෙ තේරුම!

මේ කතාව සිද්ද වුණේ අපේ පූසො සෙට් එක 10 වසරෙ මුල් හරියෙ ඉන්නකොට.පුරුපුරු ඔය වෙනකොට ඉස්කෝලෙ රත්තරං කණ්ඩායමේ බාලදක්ෂයෙක් වෙලා හිටියෙ.නිකංම නෙවෙයි, කාණ්ඩ නායකයෙක්ලු.ඒ කියන්නෙ බාලදක්ෂයො 10-12ක විතර සෙට් එකක නායකයෙක්.කාණ්ඩ 8ක් එකතු වෙලා තමයිලු බාලදක්ෂ සමූහය හැදෙන්නෙ.

පුරුපුරුගෙ බාලදක්ෂ අතීත‍ය ගැන කියනවනං, පුරුපුරු බාලදක්ෂයෙක් වෙලා තියෙන්නෙ 7 වසරෙදි.ඔය කස්ස පසන්, පිජමෑන් වගේ අයට බාලදක්ෂ ව්‍යාපාරය හදුන්නල දුන්නෙත් පුරුපුරුලු.ව්‍යාපාරයක් කියල කිව්වට මේක බිස්නස් එකක් නං නෙවෙයි.ඔ‍ය බාලදක්ෂයන්ට අවුරුද්දකට සැරයක්, නැත්තං අවුරුදු කීපයකට සැරයක්, නැත්තං අවුරුද්දකට කීප සැරයක්කරන්න ඕනෙ වැඩ සෙට් එකක් තියනව.ජම්බෝරිය,කැම්පෝරිය,තරග කදවුරු,පා ගමන්(හයික්), වැඩ සතිය තමයි ඔතනින් ප්‍රධාන වෙන්නෙ.අපි මේ කියන්න හදන්නෙ බාලදක්ෂ වැඩ සතිය (නැත්තං කවුරුත් දන්න විදිහට ජොබ් වීක් එක) ගැන කතාවක්.

ජොබ් වීක් එක කියන්නෙ ගෙවල් වලට ගිහිං වැඩ කරල සල්ලි හොයල, ඒව බාලදක්ෂ සුබසාදන වැඩ වලට ගන්න එක.ඕක කොහොමත් පුරුපුරුට එච්චරම අල්ලල ගිය ඉවෙන්ට් එකක් නෙවෙයි.අම්බානට ඇවිදින එකයි ගෙවල් ගානෙ ගිහිං වැඩ කරන එකයි කම්මැලියෙක්ට හිතට අල්ලන්නෙ කොහොමද නේද?කොහොම හරි ඉතිං 2002 අවුරුද්දෙදි, ඒ කියන්නෙ පුරුපුරු කාණ්ඩ නායකය වුණාම මෑන්ස් හිතාගත්තලු ජොබ් වීක් එක සිරාවටම කරනවයි කියල.ආහ්..‍‍‍.කියන්න අමතක වුණානෙ,ජොබ් වීක් එකේ වැඩිපුරම සල්ලි හොයන ටීම් එකට තෑග්ගක් හම්බ වෙනවලු.ඊටත් වඩා මාර ගෞරවයක්නෙ ස්කවුට් ලීඩර්ස්ලගෙන් හම්බ වෙන්නෙ!

2002 දි පුරුපුරුලට ලැබිච්ච ටාගට් එක තමයි සතියට රුපියල් දහදාහක් හොයන එක.ඔය දවස්වල ඉතිං දහදාහක් කියන්නෙත් ලොකු ගානක්නෙ.පුරුපුරුලගෙ කාණ්ඩෙ හිටපු 11 දෙනත් ඔන්න පුරුපුරුගෙ සංවේදී පලපුරුදු නායකත්වය යටතෙ ගේමට බැස්සලු.පළවෙනි ද‍වසෙ ගියෙ ඉස්කෝලෙ වටේම පැතිවලට විතරලු.මොනවද ඉතිං සල්ලිකාරයොනෙ ඉන්නෙ, පට ගාල දොරවල් වහනව කට්ටිය දැක්ක ගමං.සමහර තැන්වල "බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න" කියල බෝඩ් ගහල.එක මහත්තයෙක්නං සුද්ද ඉංගිරිසියෙන්ම බැන්නලු බෙල් එක දෙපාරක් රිං කළා කියල.මොනව උනත් හිත හොද මිනිස්සුත් හිටපු හින්ද කොහොම හරි දවස ඉවර වෙද්දි පුරුපුරුල 2500ක් හොයා ගත්තලු.(එක දානපතියෙකුගෙ 1200ක් සමග)

ඊට පස්සෙ දවස් පහ තමයිලු කට්ටිය වැඩියෙන් කට්ට කෑවෙ.කොළඹ පැත්තෙ හැම තැනම ඇවිද්දලු.කොල්ලුපිටිය,බම්බලපිටිය,වැල්ලවත්ත............දිගටම ගාලු පාරෙ,
නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම...........දිගටම හ‍යිලෙවල් පාරෙ,
ඔය එකී මෙකී නොකී හැම තැනම කට්ටිය ඇවිද්ද.දවස් හයක් ඉවර වෙද්දි පොයින්ට්ස් ටේබල් එක තිබුනෙ මෙහෙමලු.

පුරුපුරු - රුපියල් 9500
කස්ස පසන් - රුපියල් 9100
ජල්ලියා - රුපියල් 8900
(අනිත් ඒවා මතක නැත)

දැන් අන්තිම දවස තමයි තීරණාත්මක දවස.පුරුපුරුල තීරණය කළේ කොළඹ නගරෙ කලින් යන්ඩ බැරි වුණ තැන් ටික කවර් කරමු කියල.දැන් කට්ටිය උදේ පැයක් විතර වැඩ කරල රුපියල් 200ක් විතර හොයල.දැන් ඉන්නෙ ඔය මියුසියස් බාලිකාව පැත්තෙ.ඔය අතරෙ උප නායක හසී දැක්කලු ලස්සන, ලොකු ගෙයක්.සෙට් එකට ඉතිං මාර හැපීලු.කෙලින්ම ගියාලු තව ගෙවත් දෙක තුනක් පහු කරල අර ගෙදරටම.ගේට්ටුවෙ බෙල් එක ගැහුවම එලියට ආවලු ලස්සන තරුණ නෝන කෙනෙක්.පුරුපුරු පටන් ගත්තලු ටෝක් කිරීම

excuse me madam, we are scouts from kurunduwatta college & we are here for our job week.........bla bla bla ...........

පුරුපුරුත් බැරි බැරි ගාතෙ කඩ්ඩෙන් ටෝක්ස් දෙනවලු.ඇයි ඉතිං සිංහලෙන් කිව්වොත් ගනන් ගන්නෙ නෑනෙ.

මැඩමුත් ඉතිං ලස්සන හිනාවක් එහෙම දාල කට්ටියව ඇතුලට ගත්තලු.මුලින්ම කරන්න තිබුනෙ මිදුලෙ තණකොළ කපන එක.ඊට පස්සෙ ගෙදර ගැරේජ් එක ඇතුලෙ පාට ගාන එක.ඒ විතරක් නෙවෙයි, කාර් එකක් හෝදන්නත් සෙට් වුණාලු.පැය ගානක් වැඩ කරන්ඩ වුණාලු.මේ තමයි පුරුපුරුල ජොබ් වීක් එකේදි එක ගෙදරක කරපු වැඩිම වැඩ ප්‍රමාණය.රුපියල් තුන්දාහක විතර වැඩ.දන්නෙම නැතුව වෙලාවත් ගිහිං.කට්ටියට පණත් නෑ.

මැඩම්ට ඉතිං හරිම සතුටුයිලු කට්ටියගෙ වැඩ ගැන.ඉතිං මැඩම් අත දිග ඇරල ප්‍රදානය කරාලු සුලුපටු ගානක් එහෙම නෙවෙයි, රුපියල් දෙසීයක්ම..

200 දැකපු අපේ බාලදක්ෂයො සෙට් එකගෙ ඇස් ගෙඩි උඩ ගියාලු.තරුත් විසි වුණාලු.පුරුපුරුට යකා නැගල.මොනව කරන්නද?බාලදක්ෂයො වුණාම දෙන දෙයක් සතුටින් බාර ගන්න එපායැ!වෙන වැඩක් කරන්න වෙලාවකුත් නෑ.කට්ටිය ඉතිං එන ගමන් අර නෝනගෙ පරම්පරා හතකට විතර කිඹුහුම් යව යවා ආවලු.තව රුපියල් 100ක් අතින් දාල රුපියල් දහදාහක් බාර දුන්නලු.අන්තිමට පොයින්ට්ස් ටේබල් එක තිබුනෙ මෙහෙම

ජල්ලියා - රුපියල් 10500
කස්ස පසන් - රුපියල් 10200
පුරුපුරු - රුපියල් 10000

ඒ සිද්දියෙන් පස්සෙ පුරුපුරුට බාලදක්ෂ ජීවිතේනං සම්පූර්ණයෙන්ම එපා වුණාලු!

Friday, May 21, 2010

9 - M අවුට්ස්ටෑන්ඩිං බෝයිස්



9 - M එකේ හිටිය බුන්ද සහ සීනි බනිස් ගැන අපි කලින් ලිපියෙන් කතා කළා නොවැ!අද කියන්න යන්නෙ
කොල්ලො සෙට් ‍කොහොමද අවුට්ස්ටෑන්ඩිං බෝයිස්ල වුණේ කියල.ඔය ඉංග්‍රීසි භාෂාවෙ outstanding කියන වචනෙ තේරුම අපි හැමෝම දන්නවනෙ.ඒ වුණාට මෙතනදි අදහස් වෙන්නෙ outstanding කියල නෙවෙයි,out - standing කියන තේරුම.ඒ කියන්නෙ අද අපේ ලිපිය ලියවෙන්නෙ 9 - M එකේ හිටිය විශිෂ්ට කොල්ලො ගැන නෙවෙයි,9 - M එකේ එලියෙන් හිටගෙන හිටිය කොල්ලො ගැනයි.

පුරුපුරුලගෙ පන්තියට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි දෙමළ උගන්නන ගුරුවරයෙකුගෙ අඩු පාඩුව.කලින් ආපු සර්ල හතර දෙනෙක්ම මේ වෙද්දි පන්තියෙ ළමයින්ට උගන්නන්න බෑ කියල යන්න ගිහින්ලු.කට්ටියට ඉතින් මාර ජොලිලු.ඇයි ඉතිං සතියට පීරියඩ් දෙකක් ඕෆ්නෙ.

හැබැයි ඔය සතුට හැමදාමත් තිබුනෙ නෑ.සති කීපයකට පස්සෙ තවත් දෙමළ සර් කෙනෙක් පන්තියට ආවලු.සර්ට හරියට සිංහල බෑ,
පුරුපුරුලට කොහොමවත්ම දෙමළ බෑ.පිස්සු කෝටියයිලු උගන්නන්න ගියාම.සර්ටයි ගෝලයන්ටයි දෙගොල්ලන්ටම එපා වෙනවලු.

ඔය දවස්වල මම්රා
පන්තියෙ හිටපු අනිත් ළමයි එක්ක පොඩි කොක්කක් දාගෙන හිටපු කාලයක්.
මම්රා කට්ට කලුයි.ඒ හින්ද කලු මම්රා කියල තමයි කිව්වෙ.කොහොම හරි තෙලා, කෙන්දා ඇතුලු පිරිස තීරණය කරාලු දෙමළ පීරියඩ් එකේ මම්රට ගේමක් දෙන්න ඕනෙ කියල.

දෙමළ සර් ඉතිං පහුවදාත් සුපුරුදු පරිදි පන්තියට ඇවිත් උගන්නන්න ගත්තලු.
මම්රා වාඩි වෙලා හිටියෙ පන්තියෙ දොර පැත්තෙ නෙවෙයි, අනිත් පැත්තෙ බිත්තියෙ ජනේලෙ ළගමයි.සර් ටිකක් අහක බලනකං ඉදල කොහොම හරි කෙන්දා පන්තියෙන් එලියට පැන්නලු.ඊට පස්සෙ පන්තිය වටේ කැරකිලා මම්රා හිටපු තැන ජනේලෙ ළගට ඇවිල්ල මහ හයියෙන් හූවක් තිබ්බලු.

හූ...................................................................................................................

සිද්දිය නොදන්න හැමෝම හිතුවෙ මම්රා හූ කිව්වයි කියල.සර්
හිතුවෙත් එහෙමමයි.තමන්ට කරපු දරුණු අපහාසෙට මෑන්ස්ට අසූහාරදාහට නැග්ගලු.වහාම ක්‍රියාත්මක වෙච්ච දෙමළ සර් මම්රට වේවැලෙන් එකක් ගහල පන්තියෙන් එලියට දැම්මලු.ඔය 9 - M පන්තියෙන් එලියෙ තිබුණෙ මහ විසාල මාර ගහක්.හැබැයි පන්තිය ඇතුලෙ රස්නෙයි.

ටික වෙලාවකින් බලද්දි මෙන්න මම්රා ආතල් එකේ හුලං වැදි වැදි මාර ගහ යට ඉන්නවලු.මම්රට ගේමක් දීපු උන් ටික පන්තිය ඇතුලෙ තැම්බෙනවලු.ටික වෙලාවකින් තමයි
කොල්ලො සෙට් එකට ගණදෙවි නුවණ පහල වුණේ.

එක පාරටම
පන්තිය ඇතුලෙ හෙන ගෝසාවක් ඇතිවුණා.
කොල්ලො කෑ ගහනවලු,රොකට් යවනවලු, එක එක විකාර කරනවලු.සර්ටත් ඉතිං මාර මළ.කොහොම හරි පැය කාලක් යද්දි කස්ස පසන්, නාදන් වගේ අධ්‍යාපන ඩයල් ටිකක් ඇරෙන්න මුළු පන්තියම අර මාර ගහ යටලු.ඔය වැඩේ දවස් දෙක තුනක් වෙද්දි අර දෙමළ සර්ටත් 9 - M පන්තිය එපා වෙලා යන්න ගියාලු

(පසුව මෙම සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කළ ශ්‍රේණි බාර ජිලා සර් මුළු 9 - M පන්තියටම වේවැල් දෙකක් කැඩෙන තෙක් සංග්‍රහ කරන ලදී )

Thursday, May 20, 2010

9 - M බුන්ද සහ සීනි බනිස්

අද අපි කියන්න යන්නෙ පුරුපුරු හිටපු 9-M පන්තිය ගැන.එදා අපි කිව්වනෙ පුරුපුරු 8 වසරෙදි හිටපු පන්තිය ගැන. ඔය පන්තිය වසවර්ති මාරයන්ගෙන් පිරිච්ච එකක් කියලත් ඒකෙ සදහන් වුණානෙ.සාමාන්‍යයෙන් නං එක අවුරුද්දක ඉදලා තවත් අවුරුද්දකට යද්දි පන්තිවල ළමයි මාරු කරල අලුත් පන්ති හදනවනෙ.ඒත් පුරුපුරුලගෙ ඉස්කෝලෙ බලධාරීන්ට මොකක් හරි වැරැද්දක් වෙලා වෙන්න ඇති, 8 වසරෙ පන්තියම කිසිම වෙනසක් නොකර 9 වසරට දැම්මලු. 8 වසරෙ අරහෙම හිටපු උන් ටික 9 වසරෙදි කොහොම ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නෙ නේද?අපේ කතාවල ඉස්සරහට හම්බවෙන ගලා, පිගී, කිං BJ, තෙලා, මම්රා, කස්ස පසන්, ලෝඩ් කොක් (කොක් = කුකුළා) වගේ චරිත මේ පන්තියෙ තමයි හිටියෙ.කොටින්ම කියනවනං ග්‍රේඩ් එකේ හිටපු නොටෝරියස් කේස් වලින් බාගයක්ම 9-M පන්තිය ඇතුලෙ.ඔය පන්තියෙ ළමයින්ගෙ දග වැඩ අන්තිමේදි කොච්චර දරුණු වුනාද කියනවනං, ගුරුවරු කීප දෙනෙක්ම පන්තියට එන එක ප්‍රතික්ෂේප කරාලු.ටිකක් හරි කොන්ට්‍රෝල් එකක් තිබ්ණෙ ශ්‍රේණි බාර ජිලා සර්ට විතරලු.මෑන්ස් වස නපුර හින්ද කොල්ලො සෙට් එක සර්ට බයයි.ජිලා සර් පුරුපුරුට වේවැලක් කැඩෙන්න ගහපු කතාව පස්සෙ දවසක අහමුකො නේද?

එතකොට බුන්ද කියන්නෙ කවුද? බුන්ද තමයි ක්ලාස් එකේ බයිට් එක.ඉන්නෙ මාකුඹුරෙ.බුන්දගෙ තාත්තත් ඉස්කෝලෙම විද්‍යා ගුරුතුමෙක්ලු.මෑන්ස්ගෙ ඇත්ත නම රොෂාන් කියමුකො.බුන්ද කියන නම හැදුනෙ නරියා බුන්ද කියන නම කෙටි වෙලා.ඒ කියන්නෙ බුරියානන්ද.ඒත් කවුරුවත් රොෂාන්ට බුරියානන්ද කිව්වෙ නෑ.බුන්ද කියල තමයි කිව්වෙ.ක්ලාස් එකේ ගුරුවරයෙක් නැති වෙලාවට තෙලාල ගිහින් බුන්දට විහිලුව‍ට නෙලනව.මෑන්ස්ටත් අම්බානට මළ පනිනවලු.ඒත් මොනව කරන්නද?බැරිවෙලා හරි ඈතින් ගුරුවරයෙක් එනව දැක්කොත්

"සර්! සර්!! රොෂාන් මට ගහනවෝ "

කියල බුන්දට ගහපු කොල්ලො සෙට් එකම මර ලතෝනි දෙනවලු.ඉතිං අර සර් ඇවිල්ල බුන්දට තව පාරක් ගහනවලු.ඔන්න ඔහොම තමයි බුන්ද එකම වෙලාවෙ වේවැලෙනුයි, අතිනුයි දෙකෙන්ම ගුටි කෑවෙ!එදා ඉදන් තමන්ටම වරදත් වෙලා තමන්ම දඩුවම් විදීමේ කලාවට කට්ටිය කියන්නෙ "නරියා බුන්ද" මෙතඩ් කියලලු.

පන්තියෙ හිටපු තව විශේෂ කෙනෙක් තමයි සීනි බනිස්.පුරුපුරුයි සීනි බනිසුයි අවුරුදු 3ක් එක පන්තියෙ හිටියලු.ඔය අවුරුදු තුනේම මෑන්ස් උදේට කෑවෙ සීනි බනිස්.ඉතිං නම වැටුනෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?දැන්නං සීනි බනිස් රජයේ ටීවී චැනල් එකක ජනප්‍රිය නිවේදකයෙක්.ඒ වගේම නැගී එන නළුවෙක්.ඒක නිසා මෑන්ස් ගැන කතා කරන එක මෙතනින් නවත්තමු නේද යාලුවනේ?

ඒ වුණාට
නවත්තන්නත් බෑ වගේ.මෑන්ස් බලාගෙන ගියාම අදහන්න වටින පොරක්නෙ.වෙන නළුවො නං කොච්චර මහන්සි වෙනවද, ඩයට් කරනවද නළුකමේ දිගටම රැදිල ඉන්න?ඒත් අපි කවුරුත් අහල තියනවද සීනි බනිස් කාල කාල නළුවෙක් වෙච්ච ඩයල් එකක්??නෑ නේද???

කොහොමත්
සීනි බනිස් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම හොද කලාකාරයා.ඒ ලෙවල් කරන කාලෙ මෑන්ස්ට ඔය බම්බලපිටියෙ වජිර පාරෙ ඉස්කෝලෙක ගෑනු ළමයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුනලු.කොහොම හරි කොල්ලට රාජකීය මට්ටමේ බූට් එකක් වැදිල.හිතේ දුකට සීනි බනිස් ඒ ගෑනු ළමයට දිග ලියුමක් ලියල තිබුන අගට මෙහෙම කවියකුත් දාල

ඔබේ සිත මලක් වැනි යැයි ඔබ පැවසූ කතාව සැබෑය
මගේ
සිත ගලක් වැනි යැයි ඔබ පැවසූ කතාවද සැබෑය
මලෙහි ලියූ පෙම් කවිය මැලවී ගොසිනි
නමුත් ගලෙහි කෙටූ
පෙම් කවිය.............

9 - M දෙවෙනි කොටස ඊළග ලිපියෙන් බලමුකො!!!

Saturday, May 15, 2010

සීගිරි ළදුන් සහ ඒ වගේ ළදුන්


මේ වැඩෙත් වුණේ අපේ පූසො ටික 8 වසරෙ ඉන්නකොට. 8 වසර පුරුපුරුට අධ්‍යාපනය පැත්තෙන් ගොඩක් විශේෂ අවුරුද්දක් වුණාලු. මොකද ඔය අවුරුද්දෙ තමයි පුරුපුරු මුලින්ම පන්තියෙ පළවෙනිය වුණේ. ශිෂ්‍යත්වෙ ලියන්න කලින් හිටපු ඉස්කෝලෙදි මෑන්ස් හැමදාම පළවෙනිය තමයි. ඒ උණාට කුරුදුවත්තෙදි පන්තියෙ පළවෙනිය වෙනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙවෙයි කියල තමයි හැමෝම කිව්වෙ. පුදුම තරගයක් නොවැ තිබුණෙ. ඔන්න ඉතිං පොර ටෝක්ස් දුන්න කියල නං හිතන්න එපා යාළුවනේ! මේ කතාවට ඔය ටික නොදාම බෑ. පුරුපුරුටත් ඉතිං මල් හතයිලු! දෙමව්පියො, නෑදෑයො අතර පවා දැන් ඉතිං අම්බානට ප්ලේස් නොවැ.

පුරුපුරු හිටියෙ 8-H කියන පංතියෙලු. ඔය පංතියෙ ඉතිං බහුතරයක් හිටියෙ ටිකක් නාහෙට අහන්නෙ නැති ළමයි. (ළමයි කිව්වට කොලු තාත්තල. නැත්තං ඉතිං පුරුපුරු පංතියෙ එක වෙයිද??) පංති බාර ගුරුතුමියට හිටියෙත් ඉංග්‍රීසි උගන්නන ටිකක් වයසක මැඩම් කෙනෙක්. මුලදි නං පංතියෙ තත්ත්වය ටීචර්ට පාලනය කර ගන්න පුලුවන් මට්ටමකලු තිබුණෙ. හැබැයි කල් යද්දි, කොල්ලො සෙට් එක ෆිට් වෙද්දි පංතියෙ තත්ත්වය ටිකක් අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගියාලු.

දැන් නං ටීචර්ට පංතිය පාලනය කර ගන්නම බැහැ. කොල්ලො සෙට් එකගෙ වැඩේම පංතිය ඇතුලෙ කෑ ගහන එකලු, දග වැඩ කරන එකලු. ඒ මදිවට පංතියට වෙන සබ්ජෙක්ට් උගන්නන්න එන අනිත් ගුරුවරුත් පුරුපුරුලගෙ ටීචර්ට බරබරේ දානවලු ළමයින්ගෙ විනය හොද නෑ කියල. ටීචරුත් ඉතිං නිකං හිටියෙ නෑ. හොදට කල්පනා කරල කරල තීරණය කළාලු ළමයින්ට ස්ථාන මාරු ලබා දෙන්ඩ. එතකොට තමන්ට සුපුරුදු සෙට් එක වෙනස් වෙන හින්ද ළමයි ටික සයිලන්ස් එකේ ඉදී කියල මැඩම් හිතන්න ඇතිනෙ!

ඔන්න ඉතිං එක දවසක් උදේ පංති බාර ගුරුතුමිය තමන්ගෙ තීරණය සුභ මොහොතින් ක්‍රියාත්මක කළාලු. දැං ළමයි ටික තැන් තැන් වලට මාරු කරල ඉවර වෙන්න ළගයි. ඕනෙම පංතියක ඉතිං විශේෂ කරදරකාර ළමයි කීප දෙනෙක් ඉන්නවනෙ! පුරුපුරුලගෙ පංතියෙත් ඒ වගේ ළමයි දෙන්නෙක් හිටියලු. ඒ තමයි රූපෙ සහ කෙන්දා. දැන් මැඩම්ට ප්‍රශ්නයක් මේ දෙන්නව කොතනටද දාන්නෙ කියල. කොතනට දැම්මත් මුන් දෙන්න හදන්න බෑ කියලත් මැඩම් දන්නව. මොනව වුණත් ඉතිං ළමයිනෙ! මැඩම් තීරණය කළාලු මේ දෙන්නව පංතියෙ ඉන්න හොදම ළමය ගාවට දාන්න. හොදම ළමය කියන්නෙ පන්තියෙ පළවෙනියටලු. ඉතිං පුරුපුරුට සිද්ද වුණාලු මේ වසවර්තියො දෙන්නව තමන්ගෙ දෙපැත්තෙන් වාඩි කරව ගන්න.

දැන් මැඩම් උගන්නන්න පටන් ගත්තලු. බලං ගියාම වැඩේ සාර්ථකයි. කොල්ලො සෙට් එකත් සයිලන්ස් එකේ ඉන්නවලු. මැඩම්ටත් සෑහෙන්න සතුටුයි. ඔන්න පළවෙනි පීරියඩ් එක ඉවර වෙලා මැඩම් යන්න ගියාලු. දෙවෙනි පීරියඩ් එක විද්‍යාව. සර් ඇබ්සන්ට්. කට්ටියට මාර සතුටුයිලු. රූපෙයි කෙන්දයි වහාම ක්‍රියාත්මක වන පරිදි මැද හිටපු පුරුපුරුව අයිනට දාල උන් දෙන්න එක ළග සෙට් වුණාලු. ටික වෙලාවකින් දෙන්න හොරෙන් හොරෙන් ඩෙස්ක් එක යට තියාගෙන මොනවද බලනවලු. බලනකොට මොකද්ද පොතක්. පුරුපුරුටත් ඉතිං ඕනෙ නැති මගුලක් නෑනෙ. මෑන්ස් හිතුවලු පොඩ්ඩක් හොට දාල බලන්න.

පුරුපුරු - මොනවද ඔයාල බලන්නෙ??

රූපෙ - පොතක්

පුරුපුරු - මොනවද පොතේ තියෙන්නෙ??

රූපෙ - ඇයි ඔයාටත් බලන්න ඕනෙද?

පුරුපුරු - ඔව් ඔව්!! මටත් පෙන්නන්නකො..
(පුරුපුරු පොඩි කාලෙ හරි ආසයි පොත් බලන්න)

ඉතිං පුරුපුරුගෙ ඉල්ලීම පරිදි රූපෙයි කෙන්දයි තමන් බල බලා හිටපු පොත පුරුපුරුටත් පෙන්නුවලු. පොතේ කියවන්න නං මහ ලොකු දෙයක් තිබුණෙ නෑලු. හැබැයි පින්තූර නං ගොඩක් තිබුණ. ඒ පින්තූර දැකපු පුරුපුරුගෙ ඇස් දෙක ලොකු වුණා. ඇග පුරා හීන් දාඩිය දැම්මා. බැලින්නං අර පොතේ තිබිල තියෙන්නෙ සීගිරි ළදුන් වගේ ළදුන්ගෙ රූප වගයක්ලු. වෙනසකට තිබුණෙ පොතේ හිටපු ළදුන් ඇත්ත අය වීමයි, ආසියානු වෙනුවට කොකේසියානු සම්භවයක් තිබීමත් විතරලු.

(ඔය දවස්වල ඉතිං ඔය වැඩේට යොදාගත්තෙ ගොඩක්ම මුද්‍රිත මාධ්‍ය නොවැ. විද්‍යුත්
මාධ්‍ය විරලයිනෙ. අනික අපේ යාළුවො තවම 8 වසරෙනෙ. ඉතිං සීගිරි ළදුන් වගේ ළදුන්ගෙ රූප දැක්කත් ඒකත් ලොකු දෙයක්ලු)

පුරුපුරු දැන් අම්බානට බය වෙලා. ලෝකෙ තමං වටේ කැරකෙනව වගේලු. වෙව්ලනවලු. කවුරු හරි දැක්කනං එහෙම? මාර කේස් එක. ඉස්කෝලෙන් අස් කරානං එහෙම? මුන්ට පිස්සුද මන්දා! ඇත්තටම මේ සුද්දියන්ට ලැජ්ජ නැද්ද?? දහසක් සිතුවිලි දැන් පුරුපුරුගෙ ඔලුව ඇතුලෙ පිස්සු නටනවලු. ඒ වුණාට පුරුපුරුට කවදාවත් සීගිරි ළදුන් දැකල මෙහෙම හිතිල නැහැ. දේශීයත්වය නොවැ!

කොහොම හරි අන්තිමට වුණේ අපේ වසවර්ති යාළුවො දෙන්න හැදිච්ච එක නෙවේ, හොදට හිටපු පුරුපුරුවත් නරක් වෙච්ච එක. කොහොමද වැඩේ!

Sunday, May 9, 2010

ස්කූල් වෑන් එක 2 - අප්සට් මිතුදමක ඇරඹුම

මේ දවස්වල තියන අර ජරා වෛරස් උණ මටත් හැදුන නොවැ. ඉතින් ඉක්මනට ‍පල කරනව කියල හිතාගෙන උන්නු මේ කතා‍වෙ දෙවෙනි කොටස පල කරන එක දවස් දෙකකින් පරක්කු වුණා. ඉතින් යාළුවනේ මට ඒකට සමාවෙන්න හොදේ!!


පස්සෙ තමයිලු දැනගත්තෙ ඔය සීට් එකේ යන එක පුරුද්දක් කරගත්තු කොල්ලෙක් හිටිය වග. එදා මෑන්ස් ඉස්කෝලෙ ගිහින් නෑ. නම ඤාව්වලු. දැන් හෙට ඤාව්ව ආවම පුරුපුරු කොහෙද වාඩි වෙන්නෙ?? ඤාව්ව කියන්නෙ මොනවගේ ඩයල් එකක්ද?? මොකද උනේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද!
ඔන්න ඉතිං සුපුරුදු විදිහට ඤාව්ව පහුවදා උදේම ස්කූල් වෑන් එකට නැග්ගලු. පුරුපුරු නගින්නෙ ඊට පස්සෙ. දැන් ඤාව්ව වෙනද විදිහටම ලකී අක්ක ළග ඉදගන්න ලෑස්තිය.
ලකී - ඤාව්ව මල්ලි අද පිටිපස්සෙ සීට් එකට යන්න.

ඤාව්ව - ඒ මොකද අක්කෙ?? මගෙ සීට් එක මේකනෙ?

ලකී - ඊයෙ පුරුපුරු කියල අලුත් මල්ලි කෙනෙක් වෑන් එකට ආවනෙ! දැන් එයා තමයි මෙතන වාඩි වෙන්නෙ.

බලාගෙන ගියාම වෑන් එකේ අක්කල සෙට් එකට පුරුපුරුව හොදට හිතට අල්ලලලු. කට්ටිය ඒකමතිකව තීරණය කරල තියනව
ඤාව්වට ස්ථාන මාරුවක් ලබාදීල පුරුපුරුව දිගටම ගෑනු සීට් එකේ තියාගන්න. ටික වෙලාවකින් ඉතිං පුරුපුරුත් වෑන් එකට නැග්ගලු. අක්කල සෙට් එක පුරුපුරුව තමන්ගෙ සීට් එකට ගත්තලු.

දැන් ඉතිං
ඤාව්වට මාරම අප්සට් එකලු. මෙච්චර කල් ගත කරපු සුන්දර ස්කූල් වෑන් ලයිෆ් එක චාටර් කරල දාන්න පුරුපුරු කියල මරාලයක් සෙට් උනානෙ ඉතිං! ඒ මදිවට පිටිපස්සෙ උන්නු මරියකඩේ කොල්ලො ටික ඤාව්වව තවත් අවුස්සනවලු

"ආපෝ! ලැජ්ජ නැද්ද බං? උඹ කෙල්ලො ඉස්සරහ චාටර් උනා නේද?"


"උඹ ලොකුනාමේ නේද ඉස්කෝලෙ යන්නෙ? කුරුදුවත්තෙ එව්වොන්ට උඹ සෙකන්ඩ් වෙනවද??"

දැන්නං
ඤාව්වගෙ හොද ගානට මොරාල් අප් වෙලාලු තියෙන්නෙ. ඉතිං මේ අනවසර සංක්‍රමණිකයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ඕනෙ කියල ඤාව්වට හිතුනලු.
ඤාව්වා - අඩෝ! අලුත් කොල්ලා, මොකද්ද උඹේ නම??

පුරුපුරු - මගෙ නම පුරුපුරු. උඹ
ඤාව්ව නේද?

ඤාව්වා - ඔව් ඔව්!! උඹ මං ගැන අහල ඇතිනෙ! මට තමයි පූස්ගම ඤාව්ව කියන්නෙ.
(දැන් ඤාව්වා ෆුල් මැර ටෝක්ස් දෙනවලු)

පුරුපුරු - ඇත්තද?


ඤාව්වා - උඹ දන්නවද උඹ ඔය වාඩිවෙලා ඉන්නෙ මගෙ සීට් එකේ කියල?

පුරුපුරු - ඇයි මේ සීට් එක උඹට ලියල දීලද තියෙන්නෙ??
ඒ කතාවටනං ඤාව්වාට අසූහාරදාහට නැග්ගලු. අලුතින් වෑන් එකට ඇවිල්ල, ප්ලේස් එකත් ආක්‍රමණය කරල, ඒ මදිවට දැන් පොර ටෝක්සුත් දෙන්ඩ????? එව්වනං කොහෙද ඤාව්වත් එක්ක.
ඤාව්වා - අඩෝ උඹව ගෙම්බ ගහනව වගේ පොළොවෙ ගහනව...%$%*(&(*$$$%$@$$%
අද හවස වෑන් එක ඇතුලෙ..මොකද කියන්නෙ??

පුරුපුරු - හරි, මමත් ලෑස්තියි.

දැන් කට්ටියම ෆුල් හොල්මන්ලු. අක්කල
කට්ටියත් බය වෙලාලු. පුරුපුරුත් ටිකක් විතර සැලිල ගිහින්. ඔය කාලෙ පුරුපුරු 8 වසරෙ වුණාට 10-11 වසරෙ ඇගක්ලු තිබුණෙ. ඉතිං පොඩි සයිස් එකෙක් ලොකු සයිස් එකෙක් ඉස්සරහට ඇවිත් බය නැතුව සද්ද දාද්දි ලොකු සයිස් එකාටත් බය හිතෙනවනෙ. (පොඩි වුණාට වැඩ කොහොමද දන්නෙ නෑනෙ)

කොහොමෙන් කොහොම හරි ඔන්න
ඉස්කෝලෙත් ඉවර වුණාලු. කුරුදුවත්තෙ, තුම්මුල්ලෙ සහ ලොකුනාමේ කොල්ලො ටික ඔක්කොම වෑන් එකට නගින්න එන්නෙ තුම්මුල්ලෙ විජිතයාපා පොත් කඩේ ළගට. ඔන්න පුරුපුරුයි ඤාව්වයි දෙන්නත් දැන් ඔතන ඉන්නවලු. දෙන්න දැන් හොර පූසො වගේ හොරෙන් හොරෙන් බලනවලු.

ඉස්සෙල්ල
මොරාල් අප් වෙලා කෑ ගැහුවට මොකද, දැන්නං ඤාව්වගෙ මොරාල් එක බිංදුවටම බැහැලලු. චැලේන්ජ් කළා වගේද මේ යෝදයගෙන් ගුටිකන්න ගියහම. ඤාව්ව ටික ටික පුරුපුරුට කිට්ටු කළාලු.
ඤාව්වා - මචං, මම උදේ කියපුව එච්චර ගණන් ගන්න එපා.

පුරුපුරු - අවුලක් නෑ බං! ඒ වුණාට උඹ
උදේ චැලේන්ජ් කරපු විදිහට මට උඹට එකක් දෙකක් ගහන්නම වෙනව. නැත්තං මමනෙ චාටර් වෙන්නෙ.

ඤාව්වා - උඹ මචං එහෙනං ගහනව වගේ බොරුවට රගපාපං.

පුරුපුරු - බලමුකො.

ඔය අතරෙ ස්කූල් වෑන් එකත් ආවලු. ටික වෙලාවකින් කවුරුත් පුල පුලා බලා සිටි මහා තරගය -
පුරුපුරුගේ සහ
ඤාව්වගේ ගහගැනීම පටන් ගත්තා. දැන් අපේ යාළුවො දෙන්නත් කලින් කතා කරගත්ත විදිහට රංගනයෙ යෙදෙනවලු. (ඇත්තම රෙස්ලින් මැච් වලත් කෙරෙන්නෙ ඔය ටිකමනෙ!) ඤාව්වටනං ටිකක් රිදෙන්න වැදුන තමයි. ඒත් වෙන්න තිබුණු තරං තත්වෙ දරුණු වුනේ නෑ.

කොහොම හරි ඔය සිද්දියෙන් පස්සෙ අපේ යාළුවො දෙන්න ගොඩක් ෆිට් වුණාලු. අප්සට් මිතුදමක ඇරඹුම සිද්දවුණේ ඔන්න ඔහොමයි.

Wednesday, May 5, 2010

ස්කූල් වෑන් එක


අද අපි කියන්න යන්නෙ ඤාව්වයි පුරුපුරුයි කොහොමද මුලින්ම හම්බවුණේ කියල.

ඔන්න එකෝමත් එක කාලෙක, බොහොම ඉස්සර පුරුපුරුල පදිංචි වෙලා හිටියෙ පූගොඩ පැත්තෙ. එහෙ ඉදලා ඉස්කෝලෙ ගියෙ කොළඹට ගිය පාසැල් වෑන් රථයක. කවුරුත් දන්න බාසාවෙන් කියනවනම් ස්කූල් වෑන් එකක. ඔය දවස්වල පුරුපුරුගෙ තාත්ත වැඩ කරපු තැන සේවක පිරිස ස්ට්‍රයික් කරල මාර ට්‍රයි එකක් දීල සේවා ස්ථානය වහගත්තලු. ඉතින් තවත් පූගොඩ ඉදලා වැඩක් නැති නිසා පුරුපුරුල තීරණය කළාලු පදිංචිය වෙනස් කරල පූස්ගමට පදිංචියට යන්න.

ඔය තීරණයට පුරුපුරුනම් කැමති වුණේම නෑ. මොකද එයාගෙ මුළු ළමා කාලයම අවුරුදු 11ක් ගතකළේ පූගොඩ. ඒත් ඉතිං මොනව කරන්නද? කොහොමහරි ඉතිං තීරණය ක්‍රියාත්මක කළා කියමුකො.

ඔන්න ඉතිං ඒ එක්කම නව සහශ්‍රයත් ලැබුවලු. අලුත් සහශ්‍රයක්, අලුත් ගමක්, අලුත් ගෙදරක් සහ අලුත් ස්කූල් වෑන් එකක්! කොහොමද වැඩේ??

දැන් පුරුපුරුට තියන ලොකුම ගැටලුව අලුත් යාළුවො හොයාගන්න එකලු. උදේ පහමාරට ඉස්කෝලෙට ගෙදරින් ගිහින් ආපහු හවස ගෙදර එන පුරුපුරුට ගමේ කොල්ලො එක්ක සෙට් වෙන එක ටිකක් අමාරු වැඩක් වුණා. ඉතින් ඉස්කෝලෙ යාළුවන්ට අමතරව අලුත් යාළුවො හොයාගන්න ස්කූල් වෑන් එක මරු ස්ථානයක් වෙයි කියල පුරුපුරු හිතුවලු. ඔය හිතුවිල්ලත් එක්කම ඔන්න පළවෙනි දවසෙ වෑන් එකට ගියාලු.

බලන් ගියහම මොන මරුද? මේක නිකං නිදිකුම්බරයන්ගෙ දේවාලයක් වගේනෙ!!

ලොකු කුඩා, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව හැමෝම නිකං මැරිල වගේ නිදිලු. මෙලෝ රහක් නෑ. වෑන් එක ටිකක් ප්‍රාණවත් වෙලා ආවෙ හවස් වරුවෙ තමයි.

වෑන් එකේ පුරුපුරුගෙ වයසෙ, ඒ කියන්නෙ 8 වසරෙ කවුරුත් හිටියෙ නෑ. කොල්ලො තමයි ගොඩක් හිටියෙ. මරියකඩේ, තුම්මුල්ලෙ, හැම ඉස්කෝලෙකම කට්ටිය හිටියලු. ගෑනු ළමයි නං ටිකයි හිටියෙ. ඒ අතරින් බහුතරයක් ටෙස්ටියුබ් බාලිකාවෙ. (තරහ වෙන්න එපා එහෙම කිව්වට හොදේ! ඊට වඩා හොද නමක් තියනවනම් කියන්න) ලස්සන ගෑනු ළමයි ගොඩාරියයි. පුරුපුරුට එයාලව දැකල ඉහේ මලක් පිපුන වගේලු!! තරුණ කාලෙ නොවැ...

අනේ! බැලින්නං ඔක්කොම ගෑනු ළමයි අක්කලලු. පුරුපුරුගෙ වයසෙ හරි, ඊට වඩා බාල හරි ගෑනු ළමයි කවුරුත් හිටියෙ නෑලු. ඉතිං පුරුපුරුගෙ සියලුම අහස් මාලිගා පට පට ගාල බිද වැටෙන්න පටන් ගත්තා.

ස්කූල් වෑන් එකේ ගොඩක් හිටියෙ පිරිමි ළමයි නිසා එක පිරිමි ළමයෙක්ට ගෑනු ළමයි එක්ක සීට් එකේ වාඩි වෙන්න වෙනවලු. ඉතින් පුරුපුරු අලුත් නිසා කොල්ලො ටික එකතු වෙලා රැග් එකක් විදිහට එයාව ගෑනු ළමයි එක්ක වාඩි කෙරෙව්වලු. පුරුපුරුත් කියයි එපා කියල!!

පස්සෙ තමයිලු දැනගත්තෙ ඔය සීට් එකේ යන එක පුරුද්දක් කරගත්තු කොල්ලෙක් හිටිය වග. එදා මෑන්ස් ඉස්කෝලෙ ගිහින් නෑ. නම ඤාව්වලු. දැන් හෙට ඤාව්වා ආවම පුරුපුරු කොහෙද වාඩි වෙන්නෙ?? ඤාව්ව කියන්නෙ මොනවගේ ඩයල් එකක්ද?? මොකද උනේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද!