අඹ යාලුවෝ

Wednesday, July 20, 2011

දේවගම

දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක්

පුරුපුරු එදා උදේ පූස්ගම බස්ටෑන්ඩ් එකට එනකොට වෙලාව උදේ අටයි. ඤාව්වයි, උපාසකයි, මී කතුරායි තවමත් පේන්න නෑ. එකත් එකටම මුන් දෙන්නා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකං නිදාගන්න ඇති. පුරුපුරු වුණත් ඉතිං මේ වෙලාවට බස්ටෑන්ඩ් එකට ආවෙ ගෙදර ඉඳන් බස්ටෑන්ඩ් එකට තියෙන්නෙ පයින් යන්න පුලුවන් දුරක් නිසා. නැත්තං අපේ යාලුවො කට්ටිය කලින් දවසෙ කතා වෙලා හිටියෙ හතහමාර වෙද්දි බස්ටෑන්ඩ් එකට සෙට් වෙන්න. ඉතිං කොහෙද මේ අපේ පූසො‍ කට්ටිය තකහනියෙ යන්න හදන්නෙ?

පූසො කට්ටිය මේ යන්න හදන්නෙ වෙන කොහෙවත් නෙවෙයි, මාලුකට්ටාගේ ගෙවල් තියෙන දේවගම ප්‍රදේශයට. ඉතිං කතාව තවදුරටත් කියන්න කලින් කට්ටියට දේවගම ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන එක තමයි මගෙ වගකීම.

ශ්‍රී ලංකාව බෙදා වෙන්කරන්න දෙන්නෙ නෑ කියලා ගොඩක් කට්ටිය කෑ ගහනවා අපිට ඇහිලා තියෙනවා. ඒත් ඒ අය නොදන්න කාරනාව තමයි ලංකාව ඇතුලේ දැනටමත් රාජ්‍ය දෙකක් තියෙන බව. එකක් තමයි අපි ජීවත්වෙන ශ්‍රී ලංකාව. අනික තමයි දැන් අපේ පූසො යන්න හදන දේවගම.

දේවගම කියන්නෙ කුඩා ස්වාධීන රාජ්‍යයක්. මේ රාජ්‍ය‍ය හතර වටෙන්ම ශ්‍රී ලංකාවෙන් වටවෙලයි තියෙන්නෙ. මේ රටේ වැඩි ජනගහනයකුත් නෑ. ඉන්නෙ මිනිස්සු දෙතුන් සීයයි. ඒ වගේම දේවගම පාලනය කරන්නෙ රජ කෙනෙක් විසින්. ඉතිං රටේ මිනිස්සු හැමෝම ජීවත් වෙන්නෙ රජතුමාට ඕන විදිහටලු. නැතුව අපේ රටේ වගේ සිරා ප්‍රජාතන්ත්‍රවාදයක්නං මේ රටේ නෑ.

දේවගම දැන් ඉන්න රජතුමා තමයි තුන්වෙනි රම්බෝ රජතුමා. එතුමා වෙන කවුරුත් නෙවෙයි, අපේ මාලුකට්ටාගේ ආදරණීය පියතුමා. තවත් විදිහකින් කියනවානං මාලුකට්ටා තමයි දේවගම ඊළඟට රජවෙන්න ඉන්න ඔටුන්න හිමි කුමාරයා සහ වර්තමාන යුවරජතුමා. ඉතිං මාලුකට්ටාතුමා පොඩි කාලෙ ඉඳලාම විදේශ අධ්‍යාපනය ලබන්න ලංකාවට ගිහින් හිටපු හින්දා රටවැසියො පොරව එච්චරම අඳුරන්නෙ නෑ. ඉතිං මෑන්ස් පාරෙ යද්දි වුණත්, මේ එන්නෙ අහවලා කියලා දන්න මිනිස්සු විතරයි මාලුකට්ටාට ගරු බුහුමන් දක්වන්නෙ.

මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය කීපයක් තියෙනවා. ටික දෙනෙක් ගොවිතැන් කළත් ගොඩක් මිනිස්සු කරන්නෙ එක්කො වැලි ගොඩදාන එක, නැත්තං මැණික් ගරන එක. මොකද දේවගම එක පැත්තක් සීමාවෙලා තියෙන්නෙ අපි "කැළණි ගඟ" කියලා කියන "රන් කල්‍යාණි නදියෙන්". දැන් ඉතිං කට්ටිය හිතන්න එපා ඒවා නීති විරෝධී වැඩ නේද කියලා. මොකද අපි කලිනුත් කිව්වනේ මෙහෙ නීති රීති ලංකාවෙ ඒවාට වඩා ගොඩක් වෙනස් කියලා.

දේවගම රටේ 90% ක්ම වැහිලා තියෙන්නෙ ගන කැළෑ වලිනුයි, ලඳු කැළෑ වලිනුයි. ගන කැළෑවල ඇවිදින්නනං අපේ පුරුපුරුලාට රජ පවුලෙන් කවදාවත් පර්මිෂන් හම්බවුණේ නෑ. මොකද ඒ කැළෑවල සත්තුන්ට අටවපු මර උගුල්, මරුවැල් එහෙම තියෙනවලු. ඒත් අපේ පූසො සෙට් එක දේවගම ගියාම අනිවාර්යයෙන් පොඩි පොඩි ළඳු කැළෑවලයි, කල්‍යාණි නදිය පැත්තෙයි ඇවිදින්න අමතක කළේ නෑලු.

********************************************************************************

කොහොමහරි උපාසකයි, ඤාව්වායි බස්ටෑන්ඩ් එකට එද්දි වෙලාව අටයි කාලයි. ඒත් තවමත් මී කතුරා පේන්න නෑ. කොටින්ම වෙලාව අටයි විසිපහ විතර වෙද්දිවත් මෑන්ස් ඇවිත් හිටියෙ නෑලු. දැන්නං අපේ පූසො ටිකට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. මොකද පූස්ගම ඉඳලා දේවගමට යන්න බස් තියෙන්නෙ පැයකට පාරයි. උදේ පාන්දරයි, රෑ වෙලයි එහෙමවත් බස් නෑ. ඉතිං දැන් කට්ටියට අටහමාරෙ බස් එකේ යන්න බැරි වුණොත් ආපහු යන්න වෙන්නෙ නවයහමාරෙ බස් එකේ.

මේ වෙද්දිත් බස් එකේ වාඩිවෙලා යන්න සීට් තිබුනෙ නෑ. ඇත්තටම ලංකාවෙ ඉඳන් බස් එකේ යන්න පුලුවන් සහ වීසා නැතුව යන්න පුලුවන් එකම රට තමයි දේවගම. කොහොමහරි බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා අපේ මී කතුරාත් එතනට සැපත් වුණාලු. ඊටපස්සෙ කට්ටිය කළේ ඉක්මනට දුවලා ගිහින් අද්දන බස් එකට නැග්ග එක.

ඇත්තටම දේවගම ප්‍රවාහනයත් හරිම ඉන්ටරස්ටින් ටොපික් එකක්. දේවගම බස්ටෑන්ඩ් එකක් නෑ. ඉතිං බස් එකේ ගමනාන්තය තමයි පාර ගිහින් ඉවරවෙන තැන. ඒ කියන්නෙ ගඟ අයිනෙ. ක්ලාස් තියෙන දවස්වලට වෙලාවට ගම්පහට යන්න අපේ මාලුකට්ටා උදේ පාන්දර ගෙදරින් පිටත්වෙන්න ඕනෙ. ඉතිං මෑන්ස් කරන්නෙ උදේ පාන්දර නැගිටලා, ලෑස්තිවෙලා ගඟ ළඟට ගිහින් බස් එකේ ඩ්‍රයිවර්ට නැගිට්ටවන එක. ඊට පස්සෙ මෑන්ස්ට ලෑස්තිවෙන්න යන පැය කාලක වගේ වෙලාවෙදි මාලුකට්ටා කරන්නෙ බස් එක ඇතුලෙ නිදියගන්න එක. දේවගමින් පිටත්වෙලා කිලෝමීටරයක් විතර යනකං බස් එකට වෙන කවුරුවත් නගින්නෙ නෑ.

එකපාරක් බස් ඩ්‍රයිවර්ට කලින් දවසෙ රාජකීය බූට් එකක් වැදිලලු.

මාලුකට්ටා :- අයියෙ, අයියෙ නැගිටින්න, නැගිටින්න. මට පරක්කු වෙලා තියෙන්නෙ.

ඩ්‍රයිවර් :- අනේ මට නිදාගන්න දෙන්න මල්ලි. මට මේ හැමදේම එපාවෙලා තියෙන්නෙ. මම යාලුවෙලා හිටපු ගෑනු ළමයා මට ඊයෙ බූට් එක තිබ්බා.

මාලුකට්ටා :- මේ පිස්සු කියවන්න එපා අයියේ! මට අද පන්ති යන්නම ඕනෙ.

ඩ්‍රයිවර් :- නෑ නෑ!! මම අද බස් එක දුවන්නෙම නෑ. මල්ලිට ඕනෙනං වෙන වාහනයක් කතා කරගෙන පන්තියට යන්න.

අන්තිමට කොහොමහරි රජතුමා එතනට සැපත් වෙලා ඩ්‍රයිවර් මෑන්ස්ට ෆුල් සද්දයක් දැම්මට පස්සෙ තමයි ඇසිස්ටන්ට් කිංට ක්ලාස් යන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

ඇත්තටම දේවගම මිනිස්සු පිටින් තමන්ගෙ රටට එන අමුත්තො දිහා බලන්නෙ ටිකක් වපර ඇහින්. අපේ පූසො වුණත් නිතරම එහෙ ආවෙ ගියෙ යුව රජතුමා තමන්ගෙ සෙට් එකේ පූසෙක් වෙච්ච හින්දා. මොකද වැදගත් වැඩකට නෙවෙයිනං සාමාන්‍යයෙන් ලංකාවෙ ඉන්න කිසිම මනුස්පයෙක් දේවගම පැත්තෙ ආවෙ නෑ. ගොඩක් ශ්‍රී ලන්කන්ස්ලා දේවගමට ආවනං ආවේ එක්කෝ වෙදකම් කරගන්න, දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න, තෙප්පිලියො අල්ලන්න, නැත්තං ගඟේ නාන්න වගේ වැඩ වලට. මොකද ඔය වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග තරණය කරලා දේවගමට එන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ වුණත් සමහර නිර්භීත පූසොනං මේ බාධක නොතකා මේ ලස්සන රටට ආවලු.

ඉතිං වෙන වෙන කතාවලින් අපි මේ ලිපියෙ කියන්න යන ප්‍රධාන කතාව හරියට කියන්න බැරිවුණා නොවැ! ඇත්තටම මේ දේවගම කතාව සීරීස් එකක් වෙන ලක්ෂණ තමයි පේන්න තියෙන්නෙ. ඉතිං අපි මේ සීරීස් එකේ දෙවෙනි කොටස ඊළග ලිපියෙන් බලමු නේද? (2 කොටස ඉක්මනට දානවා හොඳේ).

ප.ලි :- ස්ටීවන් ස්පිල්බර්ග් ලොක්කා තමන්ගෙ ජීවිතේ වැරදිච්ච අවස්ථාවක් විදිහට "ජුරාසික් පාර්ක්" ෆිල්ම් සීරීස් එක දේවගමදි ෂූට් කරන්න බැරිවෙච්ච එක දකිනවා කියලා අපිට ළඟදි ආරංචි වුණා. ඒත් අපේ ලෝකල් ස්පිල්බර්ග් කෙනෙක් ඒකටත් හරියන්න දේවගමදි ජුරාසික් පාක් සීරීස් එකේ ෆිල්ම් එකක් ගහනවලු.

සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

Thursday, July 14, 2011

පූසා හිඟාකාපු හැටි


දැන් ඉතිං අපේ ගොඩක් යාලුවො බ්ලොග් ගඩොල් කියවලාම පුරුපුරුලගෙ හොස්ටල් එක ගැන ගොඩක් දේවල් දන්නවා නොවැ! ඉතිං අද අපි කියන්න යන්නේ පුරුපුරුට හොස්ටල් එකෙන් එළියෙදි සිද්ද වෙච්ච වැඩක් ගැන.

අපේ පූසා හොස්ටල් එකේ නැවතිලා හිටියට මොකද, ගොඩක් සබ්ජෙක්ට්ස් වලට පන්ති ගියෙ ගම්පහ. ඉතිං මෑන්ස් වීක් එන්ඩ් එකේ ක්ලාස් යන්න ඕනෙ නිසා හැමදාම සිකුරාදාට ගෙදර යන එක පුරුද්දක් කරගෙනයි හිටියෙ. පුරුපුරු ගොඩක් වෙලාවට කළේ ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමන් එහෙමම බස් එකේ හරි පරණ ස්කූල් වෑන් එකේ හරි ගෙදර ගිය එක. එහෙම යනකොට ඉතිං මෑන්ස්ට සතියක් තිස්සෙ ඇඳපු සුවඳ හමන ඇඳුම් ටික ලොකු ට්‍රැවලින් බෑග් එකක දාගෙන අරන් යන්නත් වුණාලු.

කොහොමහරි සිකුරාදාට නිවාඩු දැම්ම දවස්වලටනං පුරුපුරුට ටිකක් හැඩ වැඩ වෙලා, කලර්ඩ් කිට් එකක් එහෙම ඇඳගෙන ගෙදර යන්න චාන්ස් එක තිබුනා. ඉතිං මෑන්ස් කළේ පුලුවන් හැම වෙලාවෙම සිකුරාදාට පුංචි පහේ නිවාඩුවක් දාන එක. මේ සිද්දිය වුණෙත් අන්න ඒ වගේ සිකුරාදා දවසකලු.

ඉතිං මේ කියන දවසෙ උදේ ඉස්කෝලෙ කට් කරපු අපේ පූසා හොස්ටල් රූම් එකට වෙලා, තමන්ට මගඇරුණු බයෝ පාඩම් ටිකක් පාඩම් කරන්න ගත්තලු. ඒ ලෙවල් වලට බයෝ කරපු අපේ යාලුවො දන්නවා ඇතිනෙ ග්‍රීන් මහත්තයාගෙ රතු පොත ගැන. පුරුපුරුටනං මේක කොච්චර කියවන්න හිතාගෙන අතට ගත්තත් අන්තිමට බැලෙන්නෙ පින්තූර ටික විතරයි. ඊටත් ටික වෙලාවකට පස්සෙ හොඳට නින්ද යනවා.

ඉතිං මේ දවසෙත් ටිකක් වෙලා ග්‍රීන් පොත කියවපු අපේ පූසාට ටික වෙලාවකින් ෆුල් දොයිමතක් ආවලු. ඊට පස්සෙ මෑන්ස්ට මතක ලස්සන හීන දෙක තුනක් දැකපු එක විතරයි. අන්තිමට හදිස්සියෙ පුරුපුරුට නැගිට්ටෙනකොටත් දන්නෙම නැතුව මෑන්ස් පැය ගානක් නිදි කුමරියගෙ තුරුලේ සැතපිලා. වෙලාව හරියටම දවල් එකහමාරයි.

පුරුපුරු හිතාගෙන හිටියෙ දවල් එකහමාරට ඉස්කෝලෙ ඉවරවෙන බෙල් එක ගහනකොට ඉස්කෝලෙන් ‍යන්න. එතකොට ෆ්‍රී ඔෆ් චාර්ජ් ස්කූල් වෑන් එකේ ගෙදර යන්න පුලුවන්. ඒත් ඉතිං දැනටමත් වෙලාව එකහමාරයි. තව විනාඩි පහෙන් දහයෙන් වෑන් එක යනවා. ඉතිං කලබල වෙච්ච අපේ පූසා කළේ ටක් ටක් ගාලා අහුවෙච්ච ඇඳුම් දෙකතුනක් ඇදගෙන, ඇඳුම් බෑග් එකත් අරන් හොස්ටල් එකෙන් එළියට බැස්ස එක. එතකොටම තමයි මෑන්ස්ට මතක් වුණේ තමන් අද උදේට දත් මැද්දෙ නෑ නේද කියලා. දැන් ඉතිං පොරට නහුතෙට අප්සෙට්. ස්කූල් වෑන් එකේ එවුන්ට මේ බව දැනුනොත් පට්ට චාටර්.

ඊට පස්සේ "ඔන්න ඔහේ අද වැඩිය කතා නොකර නිදාගෙන යනවා" කියලා හිතපු පුරුපුරු, අධෛර්යමත් නොවී වීර පුරුෂයෙක් වගේ ස්කූල් වෑන් එක නවත්තන තැනට ගියාලු. ඒත් තමන් පරක්කු වැඩියි කියලා මෑන්ස්ට තේරුනේ වෙනදා එතන ඉන්න ඤාව්වයි, අලයයි, පොඩි එවුන් සෙට් එකයි එදා පේන්න නොහිටිය හින්දා. බැලින්නං ස්කූල් වෑන් එක අපේ පුරුපුරු එන්න කලින් එතනින් යන්න ගිහින්. දැන් ඉතිං කාට කියන්නද? අන්තිමට අපේ යාලුවාට ඉතුරුවෙලා තිබුන එකම ඔප්ෂන් එක තමයි බස් එකේ ගෙදර යන එක.

ඉතිං පුරුපුරුත් බොහොම දුකසේ ග්ලාස් හවුස් එක ගාවට ගියාලු කඩුවෙල බස් එකක් අල්ලගන්න. එතකොටම තමයි එතෙන්ට කඩුවෙල ඒසී බස් එකක් ආවෙ. පූසො වුණත් ඉතිං ටිකක් සැපට බස්වල යන්න කැමතියි නොවැ! ඉතිං දෙපාරක් නොහිතපු අපේ පුරුපුරුත් බස් එකට නැගලා පිටිපස්සෙන් වාඩි වුණාලු. කොන්දා අයියත් දැන්ම ටිකට් දෙන පාටක් පේන්න නෑ. අන්තිමට මෑන්ස් ටිකට් දෙන්න බස් එකේ පිටිපස්සට එන්න ගත්තෙ බස් එක බත්තරමුල්ල හරියට යද්දි.

පුරුපුරුත් ඉතිං ටිකට් ගන්න තමන්ගෙ පර්ස් එක එළියට ඇදලා ගත්තලු.

"දෙයියෝ සාක්කි"

බැලින්නං පුරුපුරුගෙ මුලු පර්ස් එකටම තිබුනෙ රුපියල් විස්සක් විතරයි. ඒක ඒ දවස්වල ගණන් අනුව වුණත් කඩුවෙලටවත් යන්න බැරි තරම් සොච්චම් මුදලක්. මේ රුපියල් විස්ස දැක්කට පස්සෙ තමයි මෑන්ස්ට මීටර් වුණේ තමන් කලින් දවසෙ සෙට් එකත් එක්ක රහීමා එකට ගිහිං හොඳ චිකන් කොත්තුවකට ගේම දුන්නා නේද කියලා. ඊටපස්සෙ තමයි පර්ස් එකේ තිබුන රුපියල් දෙසීය රුපියල් විස්සක් වුණේ.

දැන් ඉතිං මොකද කරන්නේ? අපේ පූසාට දැන් මොනවත් හිතාගන්න බෑ. ටිකිරි මොළේට කිසිම අයිඩියා එකක් එන්නෙත් නෑ. මෑන්ස් කළේ තිබ්බ රුපියල් විස්ස කොන්දයියාට දීලා බස් එකෙන් බැස්ස එක.

දැන් පුරුපුරු බත්තරමුල්ලෙ ටවුන් එක මැද්දෙ තනිවෙලා. අතේ සතයක්වත් නෑ. ඒ මදිවට දන්න අඳුරන කවුරුවත් ළඟපාතක ඇත්තෙත් නෑ කීයක්වත් අතමාරුවට ඉල්ලගන්න. කොටින්ම අපේ පූසා ෆුල් නස්තාර් සිටුවේෂන් එකක තමයි ඉන්නේ. බත්තරමුල්ලෙ ඉඳන් හොස්ටල් එකට පයින් යන්නත් බෑ. ඒ මදිවාට පහුවදා කෙමිස්ට්‍රි ක්ලාස් එකේ විභාගයක් තියෙන්නත් නියමිත වෙලා තිබුනා. ඒ හින්දා කොහොමහරි ගෙදරම යන්න තමයි අපේ පුරුපුරුට ඕනෙ වුණේ. මේ ඔක්කොටමත් වඩා මෑන්ස් උදේට දත් මැදලවත් නෙවෙයි හිටියේ. ඉතිං මනුස්සයෙක් එක්ක කතා කරන්නෙවත් කොහොමද?

මේ අතරෙ තමයි පුරුපුරු දැක්කෙ ලස්සන අක්කා කෙනෙක් බස් හෝල්ට් එකේ කොනක තනියම ඉන්න දර්ශනේ. වෙනදානං මේ වගේ දර්ශනයක් දැක්කාම මෑන්ස් ඒ දිහා බලන්නෙ වෙනම දෘෂ්ටි කෝණයකින්. ඒත් එදා පත්වෙලා හිටපු තත්ත්වෙ උඩ මේ අක්කාව අපේ පූසාට පෙනුනෙ ගෙදර යන්න කීයක් හරි හොයාගන්න පුලුවන් ආදායම් මාර්ගයක් විදිහටලු. අන්තිමට පුරුපුරු තීරණය කළාලු ලැජ්ජාව පැත්තකින් තියලා අක්කත් එක්ක පොඩි ‍ටෝකක් දාන්න. හැබැයි ඒ මෑන්ස් උදේ දත් මැද්ද නැති එක ඒ අක්කාට නොතේරේවා කියන උතුම් ප්‍රාර්ථනයත් එක්ක.

ඉතිං ඔය විදිහට ඒ අක්කාගෙන් සල්ලි ඉල්ලන්න හිතාගත්තත් පුරුපුරුට හිතාගන්න බැරිවුණේ මේ වැඩේට ඇප්රෝච් වෙන ආකාරය ගැන. චිකන් කොත්තු කන්න ගිහින් සල්ලි ඉවරවුණා කිව්වොත් අපේ පූසාට නතරවෙන්න වෙන්නෙ අක්කාගනේ ගුටිත් කාලයි. ඉතිං අන්තිමට පුරුපුරු තීරණය කළේ තමන්ගෙ පර්ස් එක නැතිවෙච්ච බවට පොඩි බොරුවක් කියලා අක්කාගෙන් ගෙදර යන්න සල්ලි ඉල්ලගන්න. ඒ හින්දා මෑන්ස් ඊටපස්සෙ කළේ තමන්ගෙ සාක්කුවෙ තිබුන පර්ස් එක ට්‍රැවලින් බෑග් එකේ අඩියටම දාලා හංගලා, අක්කත් එක්ක කතා කරන්න ගිය එක.

පුරුපුරු :- අ..අක්කෙ මේ...මේ......

අක්කා :- ඇයි මල්ලි?

පුරුපුරු :- මේ..අක්කෙ..මගෙ මේ...පර්ස් එක නැතිවෙලා බස් එකේ එනකොට.

අක්කා :- ආනේ!

පුරුපුරු :- මට දැන් ගෙදර යන්න විදිහක් නෑ අක්කෙ. මට රුපියල් හතලිහක් විතර ගන්න නැද්ද? මේ...රුපියල් විස්සක් විතර වුණත් කමක් නෑ.

අක්කා :- කමක් නෑ මල්ලි, මම රුපියල් හතළිහක්ම දෙන්නං. ඔයා ගිහින් පොලිසියෙ පැමිනිල්ලක් දාන්න පර්ස් එක නැතිවෙලයි කියලා.

ඉතිං මෙහෙම කියපු අක්කා තමන්ගෙ ළග තිබුන රුපියල් හතළිහක්ම පුරුපුරුගෙ අතට දුන්නලු. දත් මදින්න බැරිවෙච්ච කේස් එක එච්චරම ප්‍රශ්නයක් වෙච්ච බව පේන්න තිබුනෙත් නෑ. අන්තිමට කොහොමහරි ඉතිං අපේ පූසත් අක්කාට පින් සිද්ද වෙන්න තමන් වැටිලා හිටපු ආර්ථික අර්බුධයෙන් ගොඩ ආවලු. ඇති යන්තං මේක මෙතනිං ඉවර වුණේ. හොඳ වෙලාවට බත්තරමුල්ලෙ කවුරුත් අපේ පූසාව දන්නෙත් නෑ. පූස්ගම කවුරුත් ළඟපාත හිටියෙත් නෑ. මෙහෙම හිතලා සැනසුන පුරුපුරු අක්කාට නොසෑහෙන්න ස්තුති කරලා, ඊළග කඩුවෙල බස් එකට නැග්ගලු ගෙදර යන්න.

බස් එක කඩුවෙලට ළගාවුණේ තවත් පැය බාගෙකට විතර පස්සෙ. මේ වෙද්දිත් ටිකක් පරක්කු වෙලා තිබුන නිසා, ඉක්මනට ගිහිං අනිත් බස් එක අල්ලගන්න බලාගෙන අපේ පූසා කඩුවෙල බස් එකෙන් බැස්සලු. එතකොටම තමයි මෑන්ස් හුරුපුරුදු මූණක් එහා දොරෙන් බස් එකෙන් බහිනවා දැක්කෙ. හොදට රබර් ඇහැ දාලා බැලින්නං ඒ තමයි පුරුපුරුට රුපියල් හතළිහක් පූජා කරපු අක්කා. බැලින්නං අපේ පූසා ඉස්සරහ දොරෙන් බස් එකට නගිද්දි ඒ අක්කා පිටිපස්ස දොරෙන් ඒ බස් එකටම නැගලා.

මොනවා වුණත් කවදාවත් හිඟාකාලා නැති එකේ පුරුපුරුට තමන් කරපු වැඩේ ගැන අම්බානට අප්සෙට්. ඉතිං මෑන්ස් ට්‍රයි කළේ අර අක්කාට නොපෙනෙන්න එතනින් ඌර්ධවපාතනය වෙලා යන්න. ඒත් කොහෙද? පුරුපුරු අනිත් පැත්ත හැරෙද්දිම අර අක්කා ඇවිත් මෑන්ස්ට ටෝක් කළාලු.

අක්කා :- ආ මල්ලි!

පුරුපුරු :- ආ...අක්කා. ඔයත් මේ බස් එකේද ආවෙ? බලන්නකො මම ඔයාව දැක්කෙත් නෑනෙ. මම එහෙනං යන්නං අක්කෙ. තෑන්ක්ස් අ ලොට්!

අක්කා :- අයියෝ ඕක මොකද්ද මල්ලි.

පුරුපුරු කළේ පොඩි ආඳා පාර්ට් එකක් දාලා එතනින් ලිස්සලා ගිහින් ගම්පහ-කඩුවෙල බස් එකක නැග්ග එක. ඊටපස්සෙ මෑන්ස් ප්‍රාර්ථනා කළාලු අර අක්කා මේ බස් එකටනං නගින්න එපා කියලා. ඒත් එදා දවස පුරාම අපේ පුරුපුරුට කිසිම ලක් එකක් තිබුනෙ නෑ. විනාඩි දෙකක් යන්න කලින් අක්කත් ඇවිත් ඒ බස් එකටම නැග්ගලු. දැන්නං අපේ පූසාට සෑහෙන්න අප්සෙට්. හැබැයි ඉතිං මේ පාරනං අක්කා පුරුපුරු බස් එක ඇතුලෙ ඉන්නවා දැක්කෙ නෑලු.

පුරුපුරුගෙ ගමන් මාර්ගය වුණේ ගම්පහ-කඩුවෙල පාරෙ අතරමග හන්දියකින් බැහැලා, ඊටපස්සෙ ගම්පහ-පූස්ගම බස් එකක නැගලා පූස්ගමට යන එක. ඉතිං දැන් අපේ පූසා දෙයියන්ට කන්නලව් කර කර ඉන්නෙ අර අක්කත් එතනින්ම බැහින්නෙ නැතුව දිගටම ගම්පහටම යන්න කියලා. ඒත් ඉතිං සුපුරුදු විදිහට මෑන්ස්ගෙ බෑඩ් ලක් එක හින්දා පුරුපුරු බස් එකෙන් බැස්ස හන්දියෙන්ම අක්කත් බැස්සලු.

දැන්නං අපේ පූසාට ෆුල් අබ්ලික් වෙලයි ඉන්නේ. බැරිවෙලා හරි  මේ අක්කා පූස්ගමනං එහෙම පුරුපුරුට කලිසමක් ඇඳ‍ගෙන පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතිං පුරුපුරු කළේ අක්කාට නොපෙනෙන්න ශේප් එකේ පොඩි ෆලෝ පාරක් දීලා බලපු එක. බැලින්නං අපේ පූසා හිතපු දේ හරියටම හරි. අක්කා කෙලින්ම ගිහින් නැවතුනේ ගම්පහ-පූස්ගම බස් නවත්තන හෝල්ට් එකේ. දැන් ඉතිං මෑන්ස්ට ෂුවර් මේ අක්කා පූස්ගම පැත්තෙ කෙනෙක් බව.

පුරුපුරුටත් දැන් මේ බස් එකේ නගින්න මේ හෝල්ට් එකට යන්න ඕනෙලු. ඒත් අක්කාට පේන නිසා එතනට යන්න විදිහක් නෑ. මෑන්ස්ගෙ කරුමෙට මෙච්චර කෙල්ලො හිටපු බත්තරමුල්ලෙදි සල්ලි ඉල්ලගන්න සෙට් වුණේ පූස්ගම කෙල්ලෙක්ම නොවැ! කොහොමහරි ඉතිං පූසා කළේ පූස්ගම බස් දෙකක් විතර එතනින් යනකං ඒ කිට්ටුව තිබුන කඩේකට වෙලා හෝල්ට් එකට නොපෙනෙන්න හිටපු එක.

ටික වෙලාවකින් පුරුපුරු පොඩ්ඩක් ඔලුව දාලා බැලින්නං අර අක්කා හෝල්ට් එකේ පේන්න හිටියෙ නෑලු. ඇති යන්තං එයා කලින් බස් එකේ ගිහින්. ඉතිං අපේ පුරුපුරුගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවෙ තමයි. මෑන්ස් කළේ කෙලින්ම කුරුල්ලා වගේ බස් හෝල්ට් එකට ගිහින් ඊළඟ පූස්ගම බස් එකට නැග්ග එක. ඇත්තටම එදා උදේ ඉඳලා පුරුපුරුට තිබුන බෑඩ් ලක් එක මේ වෙද්දි නැතිවෙලා ගිහින් තිබුනලු. එයාට ඒක තේරුණේ සාඩින් පැක් කරලා වගේ තිබුන බස් එකට නැගලා වැඩි දුරක් යන්න කලින්ම වාඩිවෙන්න සීට් එකක් ලැබුන හින්දා. කොහොමහරි තවත් පැය බාගෙකින් පස්සෙ පුරුපුරු හිටපු බස් එක පූස්ගම බස්ටෑන්ඩ් එකට ඇවිත් නැවැත්තුවලු.

ඊටපස්සෙ පුරුපුරු කළේ බස් එකෙන් බැහැලා ගෙදර යන්න පිටත් වෙච්ච එක. ඒත් අපේ අසරණ පූසාට වැඩි දුරක් යන්න හම්බවුණේ නෑලු. එකපාරටම බස්ටෑන්ඩ් එකෙන් ඇහුනෙ මෙන්න මේ වගේ ගෑනු කටහඬක්.

"මල්ලි...මල්ලි...."

කටහඬ ඇහෙද්දිම අපේ මෑන්ස්ට තේරුණාලු බඩු බනිස් තමයි කියලා. ඒත් ඉතිං මොනවා කරන්නද? මෑන්ස්ට තිබුනු එකම ඔප්ෂන් එක වුණේ ආපහු හැරිලා අමාරුවෙන් මවාගත්තු හිනා මූනකින් ඒ කටහඬට උත්තර දෙන එක.

අක්කා :- මල්ලි, ඔයා පූස්ගමද? කලින් කියන්න එපැයි.

බැලින්නං කලින් බස් එකේ ආපු අක්කා ඒ වෙනකොටත් පූස්ගම බස්ටෑන්ඩ් එකේ ඉඳලා.

පුරුපුරු :- (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) ආ...ඔව් අක්කා. මමත් දැනගෙන හිටියෙ නෑනෙ අක්කා පූස්ගම කියලා.

අක්කා :- අයියෝ ලැජ්ජ වෙන්න එපා මල්ලි. පර්ස් එක නැතිවෙන එක සාමාන්‍ය දෙයක්නෙ.

"ඒ වුණාට හිඟාකන්න වෙච්ච එක අසාමාන්‍ය දෙයක්නෙ අක්කෙ" කියලා කටින් පිටවෙන්න හැදුවත්, පුරුපුරු ඒ වචන කටින් පිටකළේ නෑ. හැබැයි ඒ දත් මැදලා නොහිටිය හින්දාටත් වඩා අපේ පූසා පත්වෙලා හිටපු අපහසුතාවය හින්දා. මෑන්ස් ඊටපස්සෙ කළේ අක්කාට ආපහු පාරක් ස්තුති කරලා, පුලුවන් තරම් පූස් ධෛර්ය අරගෙන ඉක්මනින් ගෙදරට වාෂ්ප වෙච්ච එක.

කොහොමහරි එදා ඉඳන් සති ගානක් යනකං අපේ පූසා පූස්ගම බස්ටෑන්ඩ් එකේදි ඒකාකාරී ත්වරණයකට ලක්වෙන දර්ශනේ උපාසකටයි, මාලුකට්ටාටයි, ඤාව්වාටයි දකින්න පුලුවන් වුණාලු. ඒ වගේම එදායින් පස්සෙ අද වෙනකං අපේ පුරුපුරු ගමනක් යන්න කලින්, සල්ලි කොච්චර තියනවාද කියලා පර්ස් එක චෙක් කරලා බලන්න අමතක කරන්නෙ නෑලු.

Friday, July 8, 2011

සුද්දියෝ - 2 (White Chicks - 2)

 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ අපේ පුරුපුරු කොහොමද හොස්ටල් එකට ආපු සුදු ගෑනු ළමයි දෙන්නත් එක්ක ෆිට් වුණේ කියලා. දැන් ඉතිං ඔය විදිහට ෆිට් එකේ තවත් දවස් දෙක තුනක් ගතවුණාලු. මේ වෙද්දි ලින්ඩායි, සේරායි පුරුපුරුව කොහේදි දැක්කත් "හායි", එහෙමත් නැත්තං "බායි" කියලා යන්න මට්ටමට ෆිට් වෙලා තමයි හිටයේ.


ඔය අතරෙ තමයි එක දවසක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරෙ වන් ඩේ මැච් එකක් තිබුනේ. ඉතිං හොස්ටල් එකේ කොල්ලො කුරුට්ටොත් කලින්ම ඩයිනිං හෝල් එකට ගිහින් ටීවී බලන්න සෙට් වුණාලු. මොකද ටීවී බලන තැන තිබුන සීමිත ඉඩ පහසුකම් අනුව පරක්කු වෙලා ගියොත් වාඩිවෙන්න හරිහමං ප්ලේස් එකක් හම්බවෙන්නෙ නෑ. හැබැයි ඉතිං 11 වසරෙ ළමයින්ටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි මේ ප්‍රශ්නෙ නෑ. මොකද ඒ අය ආපුවාම පොඩි කට්ටිය නැගිටලා වාඩිවෙන්න ඉඩ දෙන්න ඕනෙ.


ඉතිං අපේ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායක ඩයල්ස් ටිකත් මැච් එක පටන් ගන්නකොටම එතනට පාත් වුණාලු. දැන් ඉතිං මැච් එක බොහොම උණුසුම් විදිහට නැගලා යනවා. ඔය අතරෙ තමයි ලින්ඩාටයි, සේරාටයිත් මැච් එක බලන්න හිතිලා ඩයිනිං හෝල් එකට කඩා පාත් වුණේ.


එදා කොහොමහරි පුරුපුරු ඇඳගෙන හිටියෙ හාරිස්ගෙ කමිසයක්. මොකද එදා මෑන්ස්ගෙ ෂර්ට් ඔක්කොම හෝදලා, අඳින්න එකක් තිබුනෙ නෑ. කොහොමහරි ඉතිං මැච් එක බලන්න ඇවිත්, පුරුපුරුලාට පිටිපස්සෙන් වාඩිවෙලා හිටපු ලින්ඩාටත් මීටර් වුණාලු මෑන්ස් ඇඳගෙන හිටපු ෂර්ට් එක. ලින්ඩා කළේ පුරුපුරුගෙ උරහිසට අත තියලා මහ හයියෙන් කට්ටියටම ඇහෙන්න මෙහෙම කියපු එක.


ලින්ඩා :- පුරු...පුරු...වට් අ නයිස් ෂර්ට්. වෙරි බියුටිෆුල්


ඇත්තටම ලින්ඩා එහෙම කියපු එක ස්කොට්ලන්තෙ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වුණාට ලංකාවෙ කට්ටියට ටිකක් විතර අසාමාන්‍යයි නොවැ! ඉතිං හොස්ටල් එකේ කොල්ලො ටික කළේ මැච් එක බැලිල්ල පැත්තකින් තියලා පුරුපුරුයි ලින්ඩායි දිහා බලන්න ගත්තු එක. දැන් ඉතිං අපේ පූසාට මේ කේස් එක හින්දා ෆුල් අබ්ලික්. මොකද ඉතිං අපේ පුරුපුරු ලැජ්ජා බය ඇතුව හැදිච්ච බොහොම ගුණගරුක, ශීලාචාර පූසෙක්නෙ. ඉතිං මෑන්ස් කළේ ලින්ඩාට තැන්ක්යූ පාරක් දාලා මොනවත් නොවිච්ච ගානට ආපහු මැච් එක බලන්න ගත්ත එක. පස්සෙ තමයි මෑන්ස් දැක්කේ තරහින් පුපුර පුපුර හිටපු හාරිස්ව. මොකද ඉතිං මෑන්ස් හැමදාම මේ ෂර්ට් එක ඇඳලත් මෙච්චර කාලෙකට කවුරුත් ඕක ලස්සනයි කිව්වෙ නෑ නොවැ!


කොහොමහරි ඉතිං මේ සිද්දියෙන් පස්සෙත් නෝමල් එකේ දවස් දෙක තුනක් ගෙවිලා ගියාලු. ඒත් ඊට පස්සෙ තමයි ඒ අසුභ දවස උදා වුණේ.


හොස්ටල් එකේ ටීවී එක ඩයිනිං හෝල් එකේ සමහර වෙලාවට තිබුනත්, ගොඩක් වෙලාවට ඕක තියෙන්නෙ සීනියර් ප්‍රිෆෙක්ට් රූම් එකක් ඇතුලෙ. ඒ කියන්නෙ ප්‍රිෆෙක්ට්ලාට පුලුවන් දවසෙ පැය 24ම ටීවි බලබලා ඉන්න. ටීවී එක විතරක්නං මදෑ, හොස්ටල් එකේ වීසීඩී ප්ලේයර් එකයි, රේඩියෝ ක්ලබ් එකේ ඩීවීඩී ප්ලේයර් එකයි තිබුනෙත් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයෙ තමයි. ඉතිං ඒ දවස්වල ඔය ටීවී එක තිබුන ප්‍රිෆෙක්ට් රූම් එකේ සීඩී කඳු තුනයි. එක කන්දක් තමයි සාමාන්‍ය සීඩී කන්ද. තවත් කන්දක් තමයි ගන කන්ද. අනිත් කන්ද තමයි රෙස්ලින් සීඩී කන්ද.


ඉතිං ටීවී එක තිබුන කාමරේ තිබුන රසාස්වාදන සම්පත් ප්‍රමාණය හින්දා අපේ පුරුපුරුත් දවසෙන් වැඩි හරියක් ගතකළේ ඔය කාමරේ තමයි. කොටින්ම සමහර දවස්වලට ගොඩක් රෑ වෙනකං ෆිල්ම් බලලා,  පිට්ටනිය එහාපැත්තෙ තිබුන තමන්ගෙ රූම් එකට ඇවිදින්න කම්මැලි කමට මෑන්ස් ටීවී රූම් එකේම නිදාගන්න වෙලාවලුත් තිබුනා. ඉතිං මේ සිද්දිය වුණෙත් එහෙම දවසක.

පුරුපුරුලා නිදාගත්තු ටීවී එක තිබුනු ප්‍රිෆෙක්ට් රූම් එකට එහාපැත්තෙ තිබුනේ 10 වසර ඩෝම් එක. මෙහාපැත්තෙ තිබුනෙ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එක.



එදා ඉතිං අපේ කට්ටිය එක්ස් ෆයිල්ස් බලලා වෙනදාට වඩා පොඩ්ඩක් කලින් නිදා ගත්තලු. කට්ටිය කිව්වෙ ඒ රූම් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන්, තාරබාසු සහ අපේ පුරුපුරු. නිදාගෙන ටික වෙලාවකට පස්සෙ තමයි අපේ පූසාට ඇහුනෙ සිවිලිම උඩින් ආපු අමුතු සද්දයක්.


"ජරස්....බරාස්....."

ඇත්තටම එදා බලපු එක්ස් ෆයිල්ස් එපිසෝඩ් එක ටිකක් බය හිතෙන එකක්. ඕකෙ සිහියෙන් හිටපු අපේ පුරුපුරු සිවිලිම උඩින් එන මේ සද්දෙ ඇහිලා තවත් ටිකක් බය වුණාලු.

පුරුපුරු :- ජුවාන්! ජුවාන්!! උඹට ඇහුනද උඩින් ආපු සද්දෙ?

ජුවාන් :- (ඈනුම් අරිමින්) උඹට පිස්සුද යකෝ! මොන සද්දයක්ද? මොකෙක් හරි සතෙක් වෙන්නැති.

කොහොමහරි ඉතිං මේ සද්දෙ කෙළෙහිගුණ නොදන්න කළවැද්දෙක් දාපු එකක් වෙන්න ඇති කියලා හිතාගත්තු අපේ පූසා ඊට පස්සෙ නිදාගත්තලු.

එදා රෑ අපේ පුරුපුරුට හීනෙන් පෙනුනෙත් ස්කලී, ජෝන් ඩොගෙට් වගේ එක්ස් ෆයිල්ස් චරිත. ඉතිං ඔහොම හිනයක් දැක දැක ඉන්න අතරෙ තමයි එක පාරටම මහා සද්දයකින් මෑන්ස්ව ඇහැරුනේ.

"දඩාස්......"

දෙයියනේ! පෘථිවියට පහර දෙන්න පිටසක්වලයො ඇවිල්ලාවත්ද? අපේ පූසා වහාම නැගිට්ටලු. ඇත්තටම සද්දෙ ඇවිත් තිබුනෙ අපේ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එකෙන්. ඉතිං අපේ පුරුපුරු, ජුවාන් සහ තාරබාසු වහාම ගියාලු මොකද වෙලා තියෙන්නෙ බලන්න.

බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි. 10 වසරෙ හිටපු කොල්ලො කීපදෙනෙක්ට ආසාවක් ඇවිල්ලා තියෙනවා ලින්ඩායි, සේරායි හොඳ සැප සනීපෙන් ඉන්නවාද කියලා විසිට් එකක් දාලා බලන්න. ඒ වගේම දොරෙන් ගිහින් ඒ දෙන්නාට කරදර කරන්නෙ නැතුව, සීලිම උඩින් ගිහින් විසිට් එක දාන්න තමයි කට්ටිය තීරණය කරලා තියෙන්නෙ. බලන්න කොච්චර හොඳ ළමයිද කියලා! ඉතිං මේ කට්ටිය 10 වසර ඩෝම් එකේ ඉඳලා සුද්දියන්ගෙ රූම් එක තියන තැනට යද්දි අපේ පුරුපුරුලා නිදාගෙන හිටපු ප්‍රිෆෙක්ට් රූම් එක හරහාත් යන්න ඕනෙනෙ. ඒ යනකොට තමයි පුරුපුරුට අර ඉස්සරවෙලා ඇහුන අමුතු සද්දෙ ඇහිලා තියෙන්නෙ.

ඉතිං හොඳම සීන් එක වෙලා තියෙන්නෙ ඊට පස්සෙ. කට්ටිය සුද්දියන්ගෙ රූම් එක උඩ ඉඳගෙන අවට සිරි නරඹ නරඹ ඉන්නකොට, සීලිම බරට කඩාගෙන වැටිලා එක කොල්ලෙකුත් එක්කම. එතකොට තමයි අර පිටසක්වල ඇටෑක් එකක් කියලා පුරුපුරු රැවටුන ලොකු සද්දෙ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතිං බඩු අතේ මාට්ටුලු. අනිත් කොල්ලො කට්ටිය සීලිම හරහා ආපහු පැනලා ගියත්, සුද්දියො දෙන්නගෙ රූම් එක ඇතුලට වැටුනට පස්සෙ ඒ කොල්ලා කොහේ පැනලා යන්නද?

කොහොමහරි අපේ කට්ටිය යනකොට ලින්ඩායි, සේරායි අම්බානට බයවෙලා ඉන්නවලු රූම් එක ඇතුලට වෙලා. ඒත් ඉතිං ඕක එච්චර බයවෙන්න දෙයක් වුණේ කොහොමද කියලා පුරුපුරුට තවම අවබෝධයක් නෑ. මොකද ඉතිං දෙන දෙයියෝ හොඳ කොල්ලෙක්ව අහසින් වඩම්මලා ගෙටම ගෙනත් දුන්නා නොවැ! ඒ මදිවාට වැටිච්ච මෑන්ස් ඊටත් වඩා බයවෙලා.
 
හොඳ වෙලාවට මේ සිද්දියෙන් කාටවත් අනතුරක් වෙලා තිබුනෙ නෑ. ඒත් ඉතිං සිද්දියෙන් ඇතිවෙච්ච මහා සද්දෙ හින්දා හොස්ටල් එකේ වගකිවයුත්තො මෙතනට එන්න මහා වෙලාවක් ගතවුණෙත් නෑ. අන්තිමට ඉතිං සිද්දවුණේ අහිංසක කොල්ලෙක්ට හොස්ටල් ලයිෆ් එකට ගුඩ් බායි කියන්න වෙච්ච එකයි, සුද්දියො දෙන්නා දවස් කීපයක් ඇතුලත ආපහු යන්න ගිය එකයි විතරයි.

ඒත් අපේ පුරුපුරුටනං හිතෙන්නෙ මේකට වග කියන්න ඕනෙ ඒ කොල්ලාටත් වඩා සුද්දියන්ව හොස්ටල් එකේ නවත්තගත්තු කට්ටිය තමයි කියලා.

Tuesday, July 5, 2011

සුද්දියෝ (White Chicks)



අපි මේ දවස්වල දිගටම කිය කියා හිටියේ හොස්ටල් කතා නොවැ! ඔන්න ඉතිං අදත් සුපුරුදු විදිහටම අපි කියන්න යන්නේ හොස්ටල් කතාවක්ම තමයි යාලුවනේ.


දැන් ඉතිං අපේ පුරුපුරු ඇතුලු යාලුවො කට්ටිය හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩ බාර අරගෙන ටික කලක් වෙනවා. මේ කාලෙ ඇතුලත ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නෑ. ඒත් ඔහොම ටික දවසක් යද්දි තමයි අද අපි කියන්න යන විශේෂ දේ උදාවුණේ.


අපේ පුරුපුරු ඉතිං ගම්පහ ටියුෂන් පන්ති යන නිසා හැම වීක් එන්ඩ් එකේම ගෙදර යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද. ගෙදර ඉඳන් ගොඩක් වෙලාවට ආපහු හොස්ටල් එකට එන්නෙ සඳුදා උදේට. ඔය විදිහට එක දවසක් ගෙදර ඉඳන් එද්දි තමයි අපේ පූසා කවදාවත් හොස්ටල් එක ඇතුලෙදි දකින්න බලාපොරොත්තු නොවිච්ච දර්ශනයක් දැක්කේ.

මේවා දැකලා පන පලයං පෙරේදා කිව්වලු. මළ කෙලියයි ජූලි හතයි!!! මෙන්න බොලේ හොස්ටල් එකේ ඩයිනින් හෝල් එක ගාව සුද්දියෙක් ඉන්නවා. හැබැයි නිකම්ම සුද්දියෙක් නෙවෙයි, හොඳ ඇහැට කනට නහයට පේන, අවුරුදු 19-20 විතර ළමිස්සියෙක්.



දැන් අපේ පූසා තමන් දැකපු දර්ශනයෙන් ෆුල් තක්බීරිෆයිඩ් වෙලා. කොටියා සර් විශ්‍රාම අරන් ටොයියා සර් හොස්ටල් වෝර්ඩ්න් විදිහට පත්වෙලයි තිබුනෙ. මෑන්ස් අපේ යාලුවො කට්ටියට ට්‍රීට් එකක් දෙන අදහසින්වත්ද මේ සුද්දියෙක් ගෙනත් හොස්ටල් එක ඇතුලෙ දාගෙන ඉන්නෙ? ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මේ සුද්දි පුරුපුරුත් එක්ක හිනාවෙලා "හායි" කියලා කිව්වෙ. බලාපොරොත්තු නොවිච්ච මේ කඩු ප්‍රහාරයෙන් අන්දමන්ද වුණ අපේ පූසා ඩයිනින් හෝල් එක ගාව තිබුන කානුවට නොවැටි බේරුනේ අනූ නමයෙන්.

කොහොමහරි ඉතිං සුද්දිට පොඩි කිණිසි පාරකින් සංග්‍රහ කරපු පුරුපුරු කෙලින්ම නතරවුණේ ඩිපියුටි එච්.පී වෙච්ච හාරිස් හිටපු කාමරේට ගිහින්. සාමාන්‍යයෙන් ගෙදර ගිහින් එන පුරුපුරුට අදාල වීක් එන්ඩ් එකේ වෙච්ච ඔක්කොම ඔපාදූප, විශේෂ සිද්දි ගැන සවිස්තරාත්මක වාර්තාවක් දෙන්නෙ හාරිස් හරි සෝමෙ අයියා හරි තමයි.



පුරුපුරු :- මේ හාරිස්, කවුද බං අර සුද්දියෙක් ඉන්නෙ එහා පැත්තෙ?


හාරිස් :- ආ...ලස්සන එකද අනිත් එකද?


පුරුපුරු :- හත්තිලව්වයි! ඒ කියන්නෙ දෙන්නෙක් ඉන්නවද?


හාරිස් :- ඔව් ඔව්!! ඒ දෙන්නා සෙනසුරාදා ආවෙ. ටික දවසක් මෙහෙ නතරවෙලා ඉන්නවලු.


පුරුපුරු :- ඈ???????


හාරිස් :- ඇයි උඹට ප්‍රශ්නයක්ද? ලස්සන එක්කෙනාගෙ නම ලින්ඩා. අනිත් එක්කෙනා සේරා.


පුරුපුරු :- (යකෝ මූ දන්න තරම්!)


පස්සෙ බැලින්නං මේ සුද්දියො දෙන්නා ඇවිත් ඉන්නෙ තාවකාලික පදනමක් යටතේ කුරුඳුවත්ත ඉස්කෝලෙ ටික දවසක් උගන්නන්නලු. ඕනෙනං අපේ කට්ටියට වඩා අවුරුදු 2-3 ක් විතර වැඩිමල් ඇති. දෙන්නම ස්කොට්ලන්ත ජාතික සුද්දියො දෙන්නෙක්. අර කිව්වත් වගේ දෙන්නාගෙන් ලින්ඩා තමයි ගොඩක් ලස්සන. සේරාත් හැබැයි ඉතිං නරකම නෑ.


හැබැයි ප්‍රශ්නෙ වුණේ මේ දෙන්නාට හොස්ටල් එකේ නවාතැන් පහසුකම් දුන්න එක. නරි ටිකක් ඉන්න ප්ලේස් එකකට කුකුලො දෙන්නෙක් ගෙනාවම කොහොමද ඇතිවෙන සිටුවේෂන් එක? ඉතිං අපේ පූසා හිතුවා වගේම හොස්ටල් එකේ ඉන්න නසරාණි කොලු කැල මේ සුද්දියො දෙන්නාට පැණි පාර දාන්න පටන් ගන්න වැඩි දවසක් ගියෙ නෑලු. ඇත්තටම ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා වුණත් අපේ පුරුපුරුලාට පවා පොඩ්ඩක් මේ දෙන්නා දිහා වැඩිපුර බැලෙන වෙලාවල් නොතිබුනාම නෙවෙයි.


හැබැයි කොච්චර පැණිපාර දැම්මත් කිසිම කොල්ලෙක් මේ දෙන්නා එක්ක කතාවට ගියෙ නෑ. මොකද ඉතිං මේ සුද්දියන්ගෙ කඩු ප්‍රහාර හමුවේ තමන්ගෙ බෙල්ල කපාගන්න කවුද කැමති?


හැබැයි ඉතිං ටික දවසක් ගියාට පස්සේ අපේ පූසාට පොඩි ආසාවක් ඇතිවුණාලු ලින්ඩා එක්ක පොඩි චැට් එකක් දාන්න. ඔන්න ඉතිං කට්ටිය වැරදියට හිතනවා එහෙම නෙවෙයි හරි? වෙන මොකටවත් නෙවෙයි, තනිකරම සහෝදර ප්‍රේමය හින්දා. ඉතිං අපේ පුරුපුරු මේ අයිඩියා එක හාරිස්ට කිව්වලු.


පුරුපුරු :- මේ හාරිස්, අපි මචං ලින්ඩා එක්ක පොඩි ටෝකක් දාමුද?


හාරිස් :- ඒ මොකටද?


පුරුපුරු :- නිකම් බං! බලපං දැන් ඒ දෙන්නා ඇවිල්ලත් ටික දවසක් වෙනවනේ. ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට අපි මේ හොස්ටල් එකේ ජීවත් වෙන කට්ටිය ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඒක අපේ වගකීමක්


හාරිස් :- ඇයි උඹට ලින්ඩා එක්ක කතා කරන්න විතරක් ඔච්චර උණ? සේරා එක්ක කතා කරපන්කො.


පුරුපුරු :- (කාගෙන් බේරුනත් බැරිය හාරිස්ගෙන් මාරුවෙන්න කිව්වලු) හරි හරි!! ඕන කෙනෙක් එක්ක කතා කරමුකො.


හාරිස් :- අනික මටනං එන්න බෑ ඔය වැඩේට. උඹ සෝමෙ අයියා හරි තාරබාසු හරි එක්ක පලයං.


ඇත්තටම හාරිස්ගෙ ඒ වචන පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච ඒවාම නෙවෙයි. මොකද මේ දවස්වල මෑන්ස් ෆුල් අධ්‍යාත්මික විමුක්ති මාර්ගයකට බැහැලයි හිටියේ. කොටින්ම පොර තමන්ගෙ නිවාඩු කාලය ගතකළේ පාඩම් කරන්නවත්, සෙල්ලම් කරන්නවත් නෙවෙයි, ලංකාවෙ ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් නැවතිලා භාවනා කරන්න. මෑන්ස්ට හාරිස් කියන නම වැටුනෙත් ඔය හින්දා තමයි. ඉතිං ගෑනුත් එක්ක කතාවට ගිහින් කෙළෙස් රැස්කරගන්න කියලා මෑන්ස්ට බල කරන්නත් බෑ නොවැ! ඒ හින්දා අපේ පුරුපුරු තීරණය කළාලු තනියම ගිහින් ලින්ඩා එක්ක කතා කරනවයි කියලා.


කොහොමහරි අපේ පූසාගෙ වෙලාවට පහුවදාම ඔය අවස්ථාව මෑන්ස්ට උදාවුණාලු. පහුවදා ඉස්කෝලෙ ඉවරවෙලා ලන්ච් එකට ප්‍රිෆෙක්ට් කෙනෙක්ට හිටියෙ අපේ පුරුපුරු විතරයි. මේ වෙද්දි කෑම කාලා ඉවරවෙලා පොඩි ළමයි ටික නැගිටලා ගිහින්. ඉතිං අපේ පූසාත් හැදුවෙ කාලා ඉවරවෙලා නැගිටලා යන්න. එතකොටම තමයි ලින්ඩායි, සේරායි ඩයිනින් හෝල් එකේ දොරෙන් කෑම කන්න මතුවුණේ. දැන් අපේ යාලුවාට හිතාගන්න බෑ මේ දෙන්නත් එක්ක කතා කරනවාද නැද්ද කියලා. මෑන්ස් කළේ ඉතිං මේ සුද්දියො දෙන්නාට හොඳ මිත්‍රශීලී ශ්‍රී ලාංකීය අභිමානය කැටිවුණ සුන්දර සිනාවකින් සංග්‍රහ කරපු එක. හිනාවෙ පවර් එක කොච්චරද කියනවනං ඊටපස්සෙ සුද්දියො දෙන්නාම අපේ පුරුපුරු කෑම කකා හිටපු තැනට නිකම්ම ඇදිලා ආවලු.


ලින්ඩා :- ‍හෙලෝ! හව් ඩූ යූ ඩූ? අයිම් ලින්ඩා. දිස් ඉස් මයි ෆ්‍රෙන්ඩ් සේරා.


දැන් පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒත් ඉතිං සුද්දියන්ට චාටර් වෙන්නත් බෑ නොවැ!


පුරුපුරු :- හව් ඩූ යූ ඩූ? අයි ඈම් පුරුපුරු. 


ලින්ඩා :- "පු..රු..පු..රු" ස්වීට් නේම්.


පුරුපුරු :- තෑන්ක් යූ.


දැන් ඉතිං මේ දෙන්නා බලනවා එදා කන්න තිබුනෙ මොනවද කියලා. එදා කන්න තිබුනෙ මාලුයි, වට්ටක්කායි, බීටුයි පපඩමුයි. දැන් මේ දෙන්නාට මාලු දීසියෙ තියෙන්නෙ මොනවාද කියලා අඳුරගන්න බෑ


ලින්ඩා :- වට් ඉස් ඉන් දිස් ඩිෂ්?


පුරුපුරු :- ඉට් ඉස් අ ෆිෂ් කරි.


ලින්ඩා :- වයි ආර් යූ හැවින් ලන්ච් ඇට් දිස් බිග් ටේබල්?


පුරුපුරු :- දිස් ඉස් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස් ටේබල්. දැට්ස් වයි


ලින්ඩා :- ඕ! යූ ආර් අ ප්‍රිෆෙක්ට්? වෙරි ගුඩ්.


දැන් ඉතිං අපේ පුරුපුරුට ප්‍රශ්න කෝටියයි. හරියට ඉන්ටර්වීව් එකකට ගියා වගේ. කොහොමහරි ඉතිං ඉන්ටර්වීව් එක සාර්ථකව නිමා වෙලා, අපේ පූසාත් සුද්දියො දෙන්නාව  හොදට ඉන්ටර්වීව් කරලා ඉවර වෙද්දි කට්ටිය සෑහෙන දුරට ෆිට් වෙලා තිබුනලු. ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!

Tuesday, June 28, 2011

කිං බීජේ (King BJ)


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මම ආපහු බ්ලොග්කරණයට ආවා. ඇත්තටම පහුගිය දවස්වල පට්ටම බිසී එකේ තමයි හිටියෙ. කොටින්ම බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. දැන් වුණත් ඉතිං ලියන්න කියලා මහලොකු වෙලාවක් නෑ. ඒත් ඉතිං බ්ලොග් කාරයෙක්ට ලියන්නැතුව ඉන්නවා කියන්නෙ කොච්චරනං අමාරු දෙයක්ද කියලා කට්ටය දන්නවා ඇතිනෙ. ඇරත් පහුගිය දවස්වල අපේ යාලුවො සමහරු බ්ලොග් එකට ඇවිත් අපිට මක්ක වුනාද කියලා හොයලත් තිබුණා. ඉතිං මම අන්තිමට කීරණය කලා ඕන මගුලක් කියලා ආපහු බ්ලොග් කෙරුවාව පටන් ගන්න. දැන් ඔන්න තමන්ගෙ බ්ලොග්වල අපිට දාල තිබ්බ ලින්ක් ඩිලීට් කරපු යාලුවන්ට ආපහු ඒවා දාන්න චාන්ස් එක තියනවා හොඳේ!


අපි ඉතිං අන්තිම කාලෙ කිය කියා හිටියෙ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං මෑන්ස් එක්ක හිටපු අනිත් ප්‍රිෆෙක්ට් යාලුවො තමයි කී බිජේ, හාරිස්, ජුවාන්, පොල්පොට්, තාරබාසු, කංජිනාත් සහ සෝමෙ අයියා. මේ කට්ටිය අතරින් ගොඩක් විශේෂ කෙනෙක් තමයි කිං බීජේ කියන්නෙ. ඔන්න දැන් BJ කිව්වම කැත විදිහට එහෙම හිතනවා නෙවෙයි හොඳේ? කිං BJ කියලා කිව්වෙ  බඩජාරි රජා කියන එකට. දැන් ඉතිං කියන්නත් කලින් කට්ටියට හිතාගන්න පුලුවන්නෙ කිංගෙ ආහාර රටාව ගැන?




ඇත්තටම ඉස්සර ඉඳන් පුරුපුරු පාසල් ජීවිතේ ෆේස් කරපු ප්‍රධානම ගැටලුවක් තමයි කිං එක්ක කෑම කන්න වෙච්ච එක. මොකද බත් මුලක් එහෙම ගෙනාවොත් ඒක දිගඅරින්නත් ඉස්සරවෙලා ඇතුලෙ තියෙන ප්‍රෝටීන් ආහාරය අතුරුදහන් වෙලා ඉවරයි. ඕනනං වැඩිම වුණොත් ප්‍රෝටීන් ආහාරයෙ නෂ්ඨාවශේෂ කිංගෙ කට ඇතුලෙ තත්ත්පරයක් දෙකක් යනකං පෙනෙයි. ඉතිං ඔය විදිහට අවුරුදු ගානක් තිස්සෙ ක්ලාස් එකේම ළමයින්ගෙ බත්මුල් වලට විදලා විදලා, අන්තිමට කිං බිජේ හිටියෙ පල්ලියෙ මංගල්ලෙට කලින් හොඳට කන්න බොන්න දීලා හදපු සූකරයෙක් ගානට.


කොහොමහරි ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය ඒ ලෙවල් කරන්න හොස්ටල් එකට එන්ටර් වුණා කියමුකො. දැන් ඉතිං උදාවෙලා තියෙන්නෙ අපේ සෙට් එක හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩකරන පළවෙනිම දවසෙ ඩිනර් එකලු. සාමාන්‍යයෙන් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා කරන්නෙ ටිකක් පරක්කු වෙලා කන්න පටන් අරගෙන අනිත් ළමයි හැමෝම කාලා ඉවරවෙලා යනකං ඉන්න එක. මේ බව අපේ යාලුවො කිං බීජේට කලින්ම කියලා තිබුනෙ කිංගෙ ආහාර ස්වභාවය මුලු කුරුඳුවත්ත ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද රහසක් වෙලා තිබුන හින්දා. ඒත් ඉතිං අවාසනාවක මහත! එදාට තමයි ඒ සතියෙ තිබුන ස්පෙෂල් ඩිනර් එක යෙදිලා තිබුනෙ.


සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ස්පෙෂල් ඩිනර් එකට ප්‍රින්සිපලුයි, හොස්ටල් වෝර්ඩ්නුයි සහභාගි වෙන එක කාලයක් තිස්සෙ පැවතගෙන ආපු සම්ප්‍රදායක්.ඉතිං සුපුරුදු විදිහට මේ කියන දවසෙත් ඒ දෙන්නා ඩිනර් එකට සහභාගි වෙන්න ඇවිත් හිටියලු. සාමාන්‍යයෙන් සර්ලා සහ ප්‍රිෆෙක්ට්ස්ලා වාඩිවෙන්නෙ ඩයිනිං හෝල් එකේ ඉස්සරහා තිබුන හෙඩ් ටේබල් එකේ. දැන් ඉතිං අපේ යාලුවො කට්ටියත් බොහොම පිළිවෙලට හෙඩ් ටේබල් එකේ වාඩිවෙලා ඉන්නවලු. ඊට පස්සෙ නියමිත වෙලා තිබුනෙ කට්ටිය කෑම බෙදාගන්න වැඩේ.


සුපුරුදු විදිහට මුලින්ම කෑම බෙදාගත්තෙ ප්‍රින්සිපල් ඇතුලු සර්ලා කට්ටිය. ඊටපස්සෙ හරිනං බෙදාගන්න තිබුනෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච පොල්පොට්ට. ඒත් ඉතිං මේ වෙද්දි ඩිනර් එකට තිබුන ලොකු චිකන් කෑලි, කට්ලට්ස් වගේ ප්‍රෝටීන් ආහාර දැකලා අපේ කිං බීජේට තමන් ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලයි තිබුනෙ. ඉතිං මෑන්ස් කළේ වහාම ක්‍රියාත්මක වෙලා ඔක්කොටම කලින් චිකන් කෑලි තුනකුයි, කට්ලට් තුනකුයි එක්ක අනිත් මාලුපිනිත් බෙදාගත්ත එක. දැන් මෑන්ස්ගෙ බත් එකේ සයිස් එක දැකලා ප්‍රින්සිපල් සර්ත් ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ. ඒ මදිවට ටේබල් එකේ කොනකින් වාඩිවෙලා හිටපු ජුවාන්ටයි, සෝමෙ අයියටයි කෑම මදිවෙලා අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. මේ දෙන්නා දැන් කිං දිහා බල බලා දත් මිටි කනවා.


හැබැයි ඉතිං හොඳම සිද්දිය වුණේ කෑම කන්න පටන් ගත්තට පස්සෙ. මොකද අපේ කිං බිජේ පන්තියෙ ළමයින්ගෙ බත් මුල් කාලා කාලා, කවදාවත් මෑන්ස්ට හිමින් කන පුරුද්දක් තිබුනෙ නෑලු. ඉතිං කට්ටියම එකට කන්න පටන් ගත්තට, අනිත් අය කටවල් දෙකක් කන්නත් ඉස්සරවෙලා අපේ මෑන්ස් මුලු බත් එකම කාලා ආපහු බෙදාගෙනත් ඉවරයි. දැන් ඉතිං අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා කට්ටියට ෆුල් හොල්මන්. ඒ මදිවට ප්‍රින්සිපලුයි, වෝර්ඩනුයිත් ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා. පස්සෙ තමයි කිංට තේරුණේ මේක ඉස්කෝලෙ පන්තිය නොවෙන වග. ඒත් ඉතිං එතකොට මෑන්ස් පරක්කුවෙලා වැඩියි.


**********************************************************************************


ඔය කෑමත් එක්කම අපේ කිං බීජේ ප්‍රිය කරපු අනිත් දේ තමයි බීම. ටිකක් අනුමත වෙන්න තිබුනොත් ඉතිං ඒ වෙනුවෙන් ඕනෙ කැපකිරීමක් කරන්න මෑන්ස් සූදානම්. මේ කියන්න යන්නෙ බීම හින්දා අපේ යාලුවාට වෙච්ච වැඩක් ගැන.




පුරුපුරුලාගෙ ඉස්කෝලෙ සමහර අවුරුදුවල තියෙනවා ලොකු පැරේඩ් එකක්. ඒ කියන්නෙ ඉස්කෝලෙ හැම ස්පෝර්ට් එකක්ම, හැම සොසයිටි එකක්ම, හැම ක්ලාස් එකක්ම නියෝජනය කරලා ලොකු වෝක් එකක් යනවා කොළඹ වටේ රවුමක්. ඉතිං මෙහෙම යනකොට නිකම්ම ඇවිදගෙන යන්නෙත් නෑ, තමන්‍ නියෝජනය කරන දේ අනුව පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් දීගෙන තමයි යන්නෙ. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට, ඇග්‍රිකචල් සොසයිටියෙ කට්ටිය යන්නෙ ගොවියො, වට්ටක්කා ගෙඩි වගේ ඇඳගෙන. ක්‍රිකට් ගහන කට්ටිය යන්නෙ බැට්, බෝල එහෙම අරගෙන ක්‍රිකට් ඇඳුම් දාගෙන.


ඉතිං ඔය විදිහට අපේ කිං බීජේ නිරතවෙලා හිටියෙ චීනෙන් ලංකාවට හඳුන්වලා දීපු මාෂල් ආර්ට් එකක. පුරුපුරුත් ඒකම කළත් මේ වෙද්දි මෑන්ස් ප්‍රැක්ටිස් යන්න පටන් අ‍රගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඒත් කිං බීජේ කියන්නෙ ඉස්කෝලෙ මේ ක්‍රීඩාව නියෝජනය කරපු ටීම් එකේ ප්‍රවීන සාමාජිකයෙක්. ඉතිං පැරේඩ් එක යද්දි මග දිගට පොඩි පොඩි මාෂල් ආර්ට් ඇඩ් ටිකක් දාන්න, එක්ස්පීරියන්ස්ඩ් ප්ලේයර්ස්ලා ටිකක් ටීම් එක බාර සර් විසින් යොදවලා තිබුනලු. ඒ එක ප්ලේයර් කෙනෙක් තමයිලු අපේ කිං බිජේ. (තවත් එක ප්ලේයර් කෙනෙක්නං දැන් ප්‍රසිද්ද බ්ලොග්කරුවෙක් වෙලයි ඉන්නේ.)


ඉතිං ඔය විදිහට කුරුඳුවත්ත පැරේඩ් එක තිබුන දවසත් උදාවුණාලු. දැන් පැරේඩ් එක පටන්ගන්න තව තියෙන්නෙ පැය කීපයයි. ඔය අතරෙ තමයි අපේ කිංට යාලුවො සෙට් එකකින් සිත වශීකරනසුලු ආරාධනාවක් හම්බවුණේ. ඉතිං මේ ආරාධනාව පිළිගන්න කිං බීජේ දෙපාරක් හිත හිතා හිටියෙ නෑ. මොකද ඉතිං අමෘතය පානය කරන්න කවුරුත් හිත හිතා ඉන්නෙ නෑ නොවැ!


කිං :- මචං පුරු, මට අරුන් කට්ටිය සෙට් වෙන්න කතා කළා මචං! මම යනවා. කවුරුහරි මාව හෙව්වොත් කියපං පැරේඩ් එක පටන් ගන්න කලින් මම ආපහු එනවයි කියලා.


පුරුපුරු :- උඹට පිස්සුද යකෝ? උඹට දැන් පැරේඩ් එකේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා නේද?


කිං :- හරි හරි බං! දෙහි සුරා බෝතලේකුයි*, වියළි සුරා බෝතලේකුයි** දෙකක්ම තියෙනවලු. මම කොහොමද නොගිහිං ඉන්නෙ?


පුරුපුරු :- උඹ එතකොට බැලන්ස් නැතුව කරනම් ගහන්නෙ කොහොමද?


කිං :- හික් හික්!! අපිට කවද්ද මල්ලි බැලන්ස් නැතිවුණේ?


මෙහෙම කියපු කිං, පුරුපුරු ආපහු මොනවත් කියන්නත් කලින්ම අනුමත වෙන්න යන්න ගියාලු. කොහොමහරි මෑන්ස් ආපහු ආවෙ පැරේඩ් එක පටන් ගන්න විනාඩි කීපයක් තියෙද්දි. පුරුපුරු බයේ හිටියෙ කිංට වෙරි වෙලා ඩිමොන්ස්ට්‍රේෂන් එක කරගන්න බැරිවෙයිද කියලා. ඒත් ඉතිං දෙයියන්ගෙ පිහිටෙන් මෑන්ස් ගියා වගේම කෙලින් ආපහු ආවලු.


දැන් ඉතිං අපේ යාලුවො කට්ටිය පැරේඩ් එකේ ඇවිදගෙන යනවලු. පුරුපුරු, කිං බීජේ, හාරිස්, ඒ වගේම අර බ්ලොග්කරුවා කට්ටියම දැන් වැඩ දදා යනවලු. පාර දෙපැත්තෙ මිනිස්සු පෝලිම් ගැහිලා අපේ යාලුවන්ගෙ වැඩ කිඩ බලනවලු. ඉතිං ඔය විදිහට මුලින්ම ඩිමොන්ස්ට්‍රේෂන් කරපු කට්ටිය බොහොම ලස්සනට මේ වැඩේ කරගෙන ගියාලු. ඊළගට තිබුනෙ අපේ කිං බීජේගෙ වාරෙ. මෑන්ස්ට කඩු, පොලු වලින් කිසි දෙයක් කරන්න නියමිත වෙලා තිබුනෙ නැතත්, ටිකක් සංකීර්ණ  කරනම් කීපයක් ගහන්නනං නියමිත වෙලා තිබුනලු. ඒ වගේම කිංගෙ වෙලාවට මෑන්ස්ට ඩිමොන්ස්ට්‍රේෂන් එක කරන්න සෙට්වුණේ මෑන්ස් ට්‍රයි කරපු ගෑනු ළමයාගෙ ඉස්කෝලෙ ඉස්සරහමයි.


දැන් ඉතිං කෙල්ලො එකසිය ගානට ඉස්කෝලෙ තාප්පෙ ගාවට වෙලා කට්ටියගෙ පැරේඩ් එක බලනවා. ඉතිං කිංටත් හෙන සතුටුයි. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියනවා වගේ මෑන්ස් කළේ දුවගෙන දුවගෙන ගිහිං එකපාරටම ලොකු කරනමක් ගහපු එක.


දඩාස්..................


එකපාරටම ලොකු සද්දෙකුත් එක්ක ගෙම්බෙක් පොළොවෙ ගැහුවා වගේ සීන් එකක් කට්ටියට දකින්න හම්බවුණාලු. පුරුපුරු අර ඉස්කෝලෙ කෙල්ලන්ගෙ හිනා සද්දෙ මැදින් සෝදිසි කරලා බැලින්නං අපේ කිං බිම වැතිරිලා ඉන්න දර්ශනේ තමයි පූසාට දකින්න ලැබුනෙ. බැලින්නං මෑන්ස්ට නැගිටින්න බැරි ගානට අනුමත වෙලා. අන්තිමට වුණේ එතිල් ඇල්කොහොල් වල බලපෑම හින්දා අපේ යාලුවාට මාස ගානක් යනකං කොල්ලන්ගෙන් බයිට් වෙන්න වෙච්ච එක. ඒත් ඉතිං කිංනම් තමන්ගෙ ඇල්කොහොල් පිළිබඳ තිබුන ලැදියාව පොඩ්ඩක්වත් අඩු කරගත්තෙ නෑ.


දැන් කිං බීජේයි, හාරිසුයි දෙන්නම වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ගිහින් සිංහපුරේ තමයි නතර වෙලා ඉන්නේ. හාරිස්නං මේ බ්ලොග් එක කියවන බව මම දන්නවා. ඔන්න පුතෝ, මේක කිං බීජේට එහෙම පෙන්නනවා නෙවෙයි ඕං!


* lemon gin   ** dry gin

Wednesday, April 13, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 3 (අවසන් කොටස)


අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බසුයි, කර්නලුයි කාමරේ ගඳගස්සන හින්දා, අපේ පුරුපුරුටයි, කිං බීජේටයි උන්ව ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඉතිං අපේ යාලුවො දෙන්නා අන්තිමට තීරණය කළාලු තවදුරටත් මේ ඉබ්බො දෙන්නාව රූම් එක ඇතුලෙ තියාගන්න බැහැයි කියලා. ඒත් ඉතිං ඉබ්බන්ව අයිතිකාරයන්ට ආපහු දෙන්න කියලයැ! අන්තිමට මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් යෝජනා කරන්න පුලුවන් වුණේ කිං බීජේට. ඒ යෝජනාව අනුව පුරුපුරුයි, කිංනුයි එදා හවසම ගියාලු රිචා සර් හම්බවෙන්න.

පුරුපුරු :- සර්, අපේ මේ ජූනියර් හොස්ටල් එක මීට වඩා ලස්සනට තිබුනොත් හොඳයි නේද?

රිචා සර් :- ඔව් ඔව්!! දැන් ඔය ළමයි මොකද්ද කරන්න යෝජනා කරන්නෙ?

කිං බී.ජේ :- සර්, අපි 9 වසර ඩෝම් එක එහාපැත්තෙ පොකුණක් හදමු. ඒ ඉ‍ඩ ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව නිකං අපතේ යනවනෙ.

පුරුපුරු :- ඔව් සර්, පොකුණ හදන එකේ සම්පූර්ණ වගකීම අපි කට්ටිය ගන්නම්.

රිචා සර් :- ආ...බොහොම හොඳ අදහසක්. එහෙනං ඔයගොල්ලො වැඩේ මූලිකත්වය අරගෙන කරන්න. ඔය 9 වස‍රෙ ළමයි නිකං ඉන්න එකේ ඒ කට්ටියට කියලාම වැඩේ කරගන්න පුලුවන්නෙ.

ඉතිං ඔය විදිහට ඉබ්බො දෙන්නාව කාමරෙන් පිටකරගන්න අපේ යාලුවො දෙන්නා ගහපු ප්ලෑන් එක තිතට වැඩ කළාලු. අවශ්‍ය වෙලා තිබුන ප්‍රධානම දේ, ඒ කියන්නෙ සර්ගෙ පර්මිෂන්, දැන් හම්බවෙලා ඉවරයි. තව තියෙන්නෙ මේ ගැන 9 වසරෙ ළමයින්ට දැනුම් දෙන්න විතරයි.

කොහොමහරි එදා ඩිනර් එකෙන් පස්සෙ මේ වැඩේ ගැන පුරුපුරුයි, කිංනුයි 9 වසරෙ ළමයින්ට දැනුම් දුන්නලු. පොකුණ හදන වැඩේට ඒ කට්ටියගෙන් ලැබුනෙ හිතපු නැති තරම් සාර්ථක ප්‍රතිචාරයක්. අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කට්ටිය ලව්වා පොඩි පොකුණක් හදවලා ඉබ්බො දෙන්නාව ඒකට දාන එක. ඒත් අන්තිමට බලද්දි 9 වසරෙ මල්ලිලා කට්ටිය සිමෙන්ති දාලා ලොකු පොකුණක් හදලා තිබුනලු. ඒ මදිවාට කට්ටිය එක එක ජාතියෙ මාලු එහෙමත් ගෙනල්ලා පොකුණට දාලා. වැඩේ ඇත්තටම ලස්සනයි.

ඉතිං පුරුපුරුලා කළේ පහුවදා දවල් වරුවෙ කැස්බස්වයි, කර්නල්වයි මේ පොකුණට ට්‍රාන්ස්ෆර් කරපු එක. දැන් මේ පොකුණ අංගසම්පූර්ණයි. එක එක ජාතියෙ ජලජ පැළෑටි, මාලු මදිවාට දැන් ඉබ්බො දෙන්නෙකුත් පොකුණෙ ඉන්නවා. පොකුණෙ ගොඩක් ඉඩ තියෙන හින්දා ඉබ්බන්ට ඕනතරම් පීනන්නත් පුලුවන්. ඉඳලා හිටලා ගප්පියෙක්ට දෙන්නෙක්ට වගකියන්නත් පුලුවන්. කෑම එහෙමත් ඕනතරම් 9 වසරෙ ළමයි කට්ටිය ගෙනත් දෙනවා. ඉතිං මේ විදිහට කැස්බසුයි, කර්නලුයි තමන්ගෙ ලයිෆ් එක ෆුල් එන්ජෝයි කර කර පොකුණෙ ජීවත් වුණාලු.

පුරුපුරු හොස්ටල් එකෙන් සිකුරාදාට ගෙදර ගිහින් ආපහු එන්නෙ සඳුදා උදේට. ඉතිං මේ වගේ හොස්ටල් එකට ආපු එක සඳුදා දවසක මෑන්ස්ට අහන්න ලැබුනෙ එච්චර සුභ ආරංචියක් නෙවෙයි. ඇඳුම් බෑග් එක තියලා, පොත් ටික අරගෙන ඉස්කෝලෙට යන්න එළියට බහිනකොටම පුරුපුරුව හම්බවෙන්න දුවගෙන ආවෙ 9 වසරෙ පොඩි එකෙක්.

පොඩි එකා :- පුරුපුරු අයියෙ! ඉබ්බො දෙන්නා පොකුණෙ නෑනෙ?

පුරුපුරු :- මොනවා? ඇයි ඔයාලා පොඩ්ඩක් හොයලා බැලුවෙ නැද්ද?

පොඩි එකා :- අපි හෙව්වා. ඒත් හම්බවුණේ නෑනෙ.

මේ ආරංචිය අහපු පුරුපුරු වහාම ගියෙ පොකුණ ළගට. බැලින්නං පොඩි එකා කියපු දේ ඇත්ත. කැස්බස්වත්, කර්නල්වත් පොකුණෙවත්, ඒ කිට්ටුවවත් පේන්න හිටියෙ නෑ. හැබැයි පොකුණෙ හිටපු මාලු ටිකනං කරදරයක් නැතුව හිටියා. මේ වෙද්දි ඉස්කෝලෙ පටන් ගන්න ළග හින්දා ඉබ්බන්ව හරියට හොයන්න වෙලාවක් තිබුනෙ නෑ. ඉතිං ඉස්කෝලෙ ඉවරවෙලා ඉබ්බන්ව හොයන්න හිතාගත්තු පුරුපුරු, පොත් ටිකත් අරගෙන ඉස්කෝලෙට ගියාලු.

මේ වෙද්දි ඉබ්බන්ට මොකක්හරි කරදරයක් වෙලා කියලා සැකයක් මෑන්ස්ට ඇතිවෙලයි තිබුනේ. මොකද සාමාන්‍යයෙන් ඒ දෙන්නාගෙන් එකෙක්වත් වැඩිය ඇවිදින්න යන ජාතියෙ ඉබ්බො නෙවෙයි. ඉතිං අපේ පූසා කළේ ඉස්කෝලෙ ඉවරවෙච්ච හැටියෙම අනිත් ප්‍රිෆෙක්ට්ලා කට්ටියත් ලෑස්ති කරගෙන "සේවින්ග් ඉක්බාල්" මෙහෙයුම පටන් ගත්ත එක. ප්‍රිෆෙක්ට්ලා වගේම 9 වසරෙ ළමයි සෙට් එකත් මේ මෙහෙයුමට දායක වුණාලු.

ළමයි කියපු විදිහට ඉබ්බො දෙන්නාම ඉරිදා හවස පොකුණෙ ඉඳලා තියෙනවා. ඒත් සඳුදා උදේ වෙද්දි තමයි දෙන්නා අතුරුදහන් වෙලා තියෙන්නෙ. කවුරුහරි මේ දෙන්නාව කන්න අරගෙන යයි කියලා හිතන්නත් අමාරුයි. මොකද කැස්බසුයි, කර්නලුයි දෙන්නාම පොඩි හින්දා කන්න තරම් මස් උන්ගෙ ඇඟේ තිබුනෙ නෑ. මෙහෙම හිත හිතා කට්ටිය ඉබ්බන්ව හොයද්දි තමයි එක ළමයෙක් බොහොම ශෝකජනක දර්ශනයක් දැක්කෙ. ඒ තමයි පඳුරක් අස්සෙ තිබුන ඉබි කට්ටක්.

ඉබි කට්ටෙ සයිස් එ‍ක අනුව ඒ කර්නල්ගෙ කටුව කියලා අඳුරගන්න කට්ටියට වැඩි වෙලා ගතවු‍ණේ නෑ. බැලින්නං කවුරුහරි කර්නල් ඉක්බාල්ව මරාගෙන කාලා. හොස්ටල් එකේ කවුරුවත් මේ වැඩේ නොකරපු බව තමයි හැමෝගෙම අයිඩියා එක වුණේ. එහෙනං මේ අමන වැඩේ කළේ කවුද? එතකොටම තමයි පුරුපුරුට මොකද්ද වෙන්න ඇත්තෙ කියලා ක්ලික් වුණේ.


කුරුඳුවත්ත හොස්ටල් එක ගැන දන්න කට්ටිය දන්නවා ඇති ජූනියර් හොස්ටල් එකේ තියෙන කහපාට ගාපු ලොකු බිල්ඩින් එක. මේ බිල්ඩින් එක හද හදා තිබුනෙ මේ සිද්දි ටික වෙච්ච කාලෙදිලු. ඉතිං බිල්ඩින් එකේ වැඩ කරන්න ආපු මේසන් බාස්ලත් නැවතිලා හිටියෙ හොස්ටල් එක ඇතුලෙම හදාගත්තු තාවකාලික මඩුවක. මේ අය දවල්ට වැඩ කරලා රෑට අම්බානට අනුමත වෙන ජාතියෙ කට්ටිය. ඉතිං මේ බාස්ලා බයිට් එකක් නැතුව ඉන්න වෙලාවෙ ඉබ්බන්ව දැකලා, උන්ට පෝරියල් එක දෙන්න ඇති කියන එක තමයි අපේ පූසාගෙ අයිඩියා එක වුණේ.

ඊටපස්සෙ අපේ යාලුවො කට්ටිය කළේ කෝකටත් කියලා බාස්ලා පදිංචි වෙලා හිටපු මඩුව කිට්ටුව පොඩි සර්ච් එකක් දාපු එක. බැලින්නං පුරුපුරු හිතුවා හරි. මඩුවෙ ඉඳලා ටික දුරක් වෙන්න තිබුන ගඩොල් ගොඩක් අස්සෙ තිබිලා කට්ටියට පුලුවන් වුණා කැස්බස්ගෙ කට්ටත් හොයාගන්න. අන්තිමට බලද්දි ඒ පවුකාරයෝ කැස්බස්වයි, කර්නල්වයි මරලා බයිට් එකට අරගෙන. දැන් ඉතිං අපේ යාලුවන්ට බාස්ලාව ඌර්ධවපාතනය කරන්න තරම් ෆ්ලවර් ජම්ප් වෙලා. ඒත් ඉතිං මේ වැඩේ බාස්ලා කරපු එකක්ම කියලා හරියටම කියන්නෙ කොහොමද?

ඔන්න ඔතනදි තමයි පුරුපුරු ඇතුලු අපේ යාලුවො කට්ටිය අසරණ වුණේ. බාස්ලා කැස්බස්වයි, කර්නල්වයි මරපු බවට ඔප්පු කරන්න විදිහක් මේ කට්ටියට තිබුනෙ නෑ. ඉතිං හොස්ටල් එකේ වගකිවයුතු පිරිසක් විදිහට, ඔප්පු කරන්න බැරි කාරනයක් වෙනුවෙන් බාස්ලා එක්ක වලියක් දාගන්න විදිහක් අපේ යාලුවන්ට තිබුනෙ නෑ.

අන්තිමට පුරුපුරුයි, කිං බීජේයි වගේම 9 වසරෙ ළමයි කට්ටියත් බොහොම දුකෙන් ඒ දවස් කීපය ගතකළාලු. කැස්බස්ගෙයි, කර්නල්ගෙයි මරණ ඉතිහාසයට එකතු වුණේ හඳුනා නොගත්තු අභිරහස් ඝාතන විදිහට. එදායින් පස්සෙ කවදාවත් අපේ යාලුවො හොස්ටල් එකේ සුරතල් සත්තු ඇතිකළෙත් නෑ. ඉබ්බන්ට ගේම දුන්න මේසන් බාස්ලාටත් මොනවා වුණාද දන්නෙත් නෑ. අන්තිමට ඉතුරුවුණේ කුරුඳුවත්ත හොස්ටල් එකට අලුත් බිල්ඩින් එකක් විතරයි.

Sunday, April 10, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 2


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බස්ව හොස්ටල් එකට ගෙනාපු හැටි. දැන් ඉතිං මූ පුරුපුරුලගෙ කාමරේට වෙලා පට්ට ආතල් එකේ ඉන්නවා. පීනන්න වතුරද, කෑමද හැම එකක්ම ඉතිං ළගටම හම්බවෙනවා නොවැ! ඉතිං ඔහොම දවස් දෙක තුනක් ඉන්නකොට තමයි ඊළග තීරණාත්මක දවස උදාවුණේ.

මේ වෙද්දි පුරුපුරු තමන්ගෙ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක් ඇති කරනවයි කියන ආරංචිය ගොඩක් දෙනෙක් අතරෙ පැතිරිලා තිබුනා. ඉතිං මේක ආරංචි වෙච්ච මෑන්ස්ගෙ එහා පන්තියෙ හිටපු ‍යාලුවෙක් එක දවසක් හදිසියෙම පුරුපුරුව මුණගැහෙන්න ආවා. බැලින්නං මෑන්ස්ගෙ ගෙදරත් ඉබි පැටියෙක් ඉන්නවලු. ඒත් ගෙදර කට්ටියගෙ බරබරේ හින්දා දැන් පොරත් මේ ඉබ්බාව දෙන්න කවුරුහරි හොය හොයා තමයි ඉන්නේ.

යාලුවා :- මචං පුරුපුරු, උඹ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක්ව හදනවලු නේද?

පුරුපුරු :- ආ...ඔව් මචං! ඇයි මොකද්ද කේස් එක?

යාලුවා :- මේ...මං ගාවත් ඉබ්බෙක් ඉන්නවා බං. උඹට කරදරයක් නැත්තං මම ඌවත් උඹට දෙන්නද?

පුරුපුරු :- කරදරයක්නං ඉතිං නැත්තෙත් නෑ බං. හාරිස් කාරයත් මැරෙන්න හදනවා රූම් එකේ ඉබ්බෙක් ඉන්නවා කියලා. හැබැයි ඉතිං කැස්බස් තනියම ඉන්න එකේ ඌට යාලුවෙකුත් හිටියනං හොඳයි තමයි. කමක් නෑ හෙට ඌව ගෙනෙන්කෝ.

යාලුවා :- එල එල!! තෑන්ක්ස් මචං! මම හෙටම ගේන්නං. මේකනං ලොකුම උදව්වක් බං!

පුරුපුරු :- අවුලක් නෑ මචං! හැබැයි ඌ වැඩිය ලොකු නෑනෙ?

යාලුවා :- නෑ නෑ! ඌත් පොඩි එකෙක් තාම

ඉතිං කියපු විදිහටම යාලුවා පහුවදා ඉබි පැටියාව ගෙනාවලු. බැලින්නං ඌ කැස්බස් තරම්ම පොඩි ඉබ්බෙක් නෙවෙයි. කැස්බස් අල්ලකින් බාගයක් විතර සයිස් ඉබ්බෙක්. ඒත් මේ අලුත් ඉබ්බා අල්ලක් විතර ලොකුයි. පුරුපුරුලාට කැස්බස්ව ගෙනත් දුන්න "ඉක්බාල්"ගෙ තාත්තා ආමි එකේ කර්නල් කෙනෙක්. ඉතිං අපේ යාලුවො තීරණය කළාලු මේ අලුතින් ගෙනාපු ඉබ්බාට "කර්නල් ඉක්බාල්" කියලා නම තියන්න. මොකද කැස්බස් එක්ක ඉන්නකොට ඌගෙ තාත්තා වගේ ලුක් එකක් තමයි කර්නල්ට තිබ්බේ.

කොහොමහරි කර්නල්ව රූම් එකට ගේද්දි ඒ බව දැනගෙන හිටියේ පුරුපුරුයි, කිං බීජේයි විතරයි. හාරිස් මේ ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ. ඉතිං එදා හවස රූම් එකේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

හාරිස් :- ඒයි පුරුපුරු, මෙන්න ඒ ගමන රූම් එකේ තව ගල් ඉබ්බෙක්. මූ කොහෙන්ද මෙතෙන්ට පාත් වුණේ?

පුරුපුරු :- මේ...මේ... මේකනෙ බං, කැස්බස් තනියමනෙ බං ඉන්නෙ, ඉතිං ඌට යාලුවෙකුත් නැති එකේ අපි තව ඉබ්බෙක් ගෙනාවා.

හාරිස් :- අපි?

කිං බී.ජේ :- ඔව් බං! ඔන්න ඔහෙ හිටපුදෙන්. පව් අහිංසක සත්තු

හාරිස් :- අහිංසක සත්තු තමයි ***, ඒ වුණාට ඉබ්බො දෙන්නෙක් එක්ක මම මේ කාමරේ ඉන්නෙ කොහොමද? දැනට උඹලා දෙන්නා එක්ක මම මේකෙ ඉන්නෙත් අමාරුවෙන්.

දැන් හාරිස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා කියවගෙන කියවගෙන යනවා. අන්තිමට බොහොම අමාරුවෙන් තමයි පුරුපුරුලා මෑන්ස්ව යථා තත්ත්වයට අරගෙන ආවේ. කොහොම වුණත් කැස්බස් ගැනයි, කර්නල් ගැනයි හාරිස්ගේ හිතේ තිබුන අප්‍රසාදය අඩුවුණේම නෑ.

අන්තිමට තමන් කරගත්තෙ කොයිවගේ ගොංකමක්ද කියලා පුරුපුරුයි, කිං බීජේයි තේරුම් ගනිද්දි තවත් මාසයක් විතර ගතවෙලා තිබුනා. මොකද ඉබ්බො දෙන්නෙක් බේසමේ ඉන්නකොට බේසමේ වතුර එක දවසින් පල් වෙනවා. අනික ඉබ්බන්ගෙ මුත්‍රා පට්ටම ගඳයි. ඉතිං බේසමේ වතුර පල් වුණාට පස්සෙ ආයි කාමරේ ඇතුලෙ ඉන්නවා බොරු.

හැමදාම රෑට හාරිස් පුරුපුරුගෙයි, කිංගෙයි හත්මුතු පරම්පරාවම මතක් කරනවා. ඉතිං හැම රෑකම හොස්ටල් එකේ පොඩි එවුනුයි, රිචා සරුයි නිදාගන්නකං ඉඳලා ඉබ්බන්ගෙ බේසම අස් කරන්න අපේ යාලුවො දෙන්නාට සිද්ද වෙනවා. බේසමේ වතුර අස් කරන්න බේසම උස්සගෙන පල්ලෙහා තට්ටුවට බැහැලා එළියට යන්න ඕනෙ. ඒකයි ඒ වැඩේට හැමෝම නිදාගන්නකං ඉන්න වුණේ. අස් කළාට පස්සෙ අලුත් වතුර එකක් බේසමට දාගෙන ආපහු උඩට නගින්නත් ඕනෙ. ඉතිං ඔය වැඩ කරලායි, හාරිස්ගෙන් බැනුම් අහලායි පුරුපුරුටයි, කිංටයි මාසයක් විතර යද්දි එපා වෙලයි තිබුනේ.

ඒ මදිවාට සමහර දවස්වලට කැස්බස් හරි කර්නල් හරි නැතිවෙනවා. ඊටපස්සෙ උන්ව හොයන්නත් ගොඩක් වෙලා ගතවෙනවා. මොකද කාමරේ බඩු තිබුන අපිළිවෙළ අනුව අලි කොටි හිටියත් ලේසියෙන් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පැයක් දෙකක් හෙව්වට පස්සේ, කොහෙහරි මුල්ලක හිරවෙලා ඉඳලා තමයි ඉබ්බාව අන්තිමට හම්බවෙන්නේ.

ඒ මොන අඩුපාඩු තිබුනත් කැස්බසුයි, කර්නලුයි හින්දා අපේ යාලුවො ඒ දවස්වල හොඳ ෆන් එකක් ගත්තා. පුරුපුරුලාගෙ රූම් එක ති‍බුනෙ කුරුඳුවත්ත විද්‍යාලයයි, තුම්මුල්ල විද්‍යාලයයි වෙන් කරන සීමාවෙ තාප්පෙ අයිනෙමයි. ඉතිං තුම්මුල්ල විද්‍යාලෙ බයෝ ක්ලාස් එකකට පුරුපුරුලාගෙ රූම් එකේ ඉඳලා තිබුනෙ අඩි කීපයක් විතරයි. ඔය ක්ලාස් එකේ තමයි අපේ කලින් කතාවල හම්බවුණ සව්සිරි ඇතුලු ගම්පහ යාලුවො කීපදෙනෙක්ම හිටියෙ. ඉතිං ඉස්කෝලෙ යන්නෙ නැති දවස්වලට පුරුපුරුයි, කිං බීජේයි රූම් එකේ ජනේලෙ ඇරලා සව්සිරිලාට පේන්න ඉබ්බො දෙන්නා අතේ තියාගෙන ඉන්නවා. සව්සිරිලාත් ඉතිං පුරුපුරුලාට එක එක හස්ත සංඥා දක්වනවා.

හාරිස් කියන්නෙ ඒ දවස්වල බොහොම රිලීජස් පොරක්. පොරගෙ වැඩේම භාවනා කරන එකයි, ධර්මය සහ ධනාත්මක චින්තනය ගැන ලියවුණ පොත් පත් කියවන එකයි. කොටින්ම මෑන්ස් තමන්ගෙ වැකේෂන් එක ගතකළේ රටේ ප්‍රසිද්ද හාමුදුරු නමකගෙ ආරණ්‍යයෙ භාවනා කර කර. පොරට හාරිස් කියලා නම වැටෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා. ඉතිං මේ ඉබ්බන්ගෙ ගඳ හින්දා හාරිස්ට බැරිවුණාලු හිත එක්තැන් කරගෙන භාවනා කරන්න. අන්තිමට අවාසනාවන්ත විදිහට මෑන්ස් තීරණය කළේ වෙන රූම් එකකට පදිංචියට යන්න.

හාරිස් ගියාට පස්සෙ රූම් එකේ මීයො සහ කැරපොත්තො ඇරුනම ඉතුරුවුණේ පුරුපුරුයි, කිං බීජේයි, කැස්බසුයි, කර්නලුයි විතරයි. මේ වෙද්දි අපේ යාලුවො දෙන්නා ඉබ්බො නිසා සෑහෙන අපහසුතාවයට පත්වෙලයි තිබුනේ. ඉතිං ටික දවසක් ගියාට පස්සෙ පුරුපුරුයි, කිංනුයි තීරණය කළාලු තවදුරටත් ඉබ්බන්ව රූම් එකේ තියාගෙන ඉන්න වැඩේ කරන්න බෑ කියලා.

අන්තිමට කැස්බස් ඉක්බාල්ටයි, කර්නල් ඉක්බාල්ටයි මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු නේද?

Saturday, April 9, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල්


ඉතිං යාලුවනේ අපි කලින් කිව්වනේ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි. මෙහෙම ඇවිත් ටික කාලෙකින් කොටියා සර් හොස්ටල් වෝඩ්න් තනතුරෙන් විශ්‍රාම ගත්තලු. ඊටපස්සෙ ඒ තනතුරට පත්වුණේ ටොයියා සර්. ඉතිං ටොයියා සර් නව සංකල්පයක් යටතේ තීරණය කළාලු ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ප්‍රිෆෙක්ට්ලා සංඛ්‍යාව වැඩිකරන්න. ඒ හින්දා මෙච්චර කල් සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරුටයි, හාරිස්ටයි සිද්දවුණා පිට්ටනියෙන් එහාපැත්තෙ තිබුන ජූනියර් හොස්ටල් එකට යන්න.

ජූනියර් හොස්ටල් එකේදි අපේ පූසාට නවතින්න සිද්දවුණේ 7 වසරෙ ඩෝම් එක එහාපැත්තෙ තිබුන රූම් එකක. හැබැයි ඒ තනියමනං නෙවෙයි, හාරිසුයි, කිං බී.ජේයි එක්ක. මේ දෙන්නත් පුරුපුරු වගේම බයෝ කරපු හින්දා එකට පාඩම් කරන්න බලාගෙන තමයි තුන්දෙනා තීරණය කළේ එක රූම් එකක නවතින්න. ඒ වගේම මුල් දවස් කීපය හිතුවා වගේම හොඳින් ගතකරන්නත් අපේ යාලුවන්ට පුලුවන් වුණා. හැබැයි ඊටපස්සෙ තමයි රූම් මේට්ලා අතර පොඩි පොඩි ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තේ.

හාරිස් කියන්නේ නියම පිළිවෙළට තමන්ගෙ ජීවිතේ ගතකරපු කොල්ලෙක්. මෑන්ස්ට රූම් එක හොඳට අතුගාලා, අස්කරලා, පිළිවෙළට තියෙන්න ඕනේ. පොත්පත් ගානට අස්කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මෑන්ස්ට භාවනා කරන්න කරදරයි කියලා රූම් එකේ වැඩිය සද්ද බද්ද තියෙන්නත් බෑ.

කිං බීජේ කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. මෑන්ස්ගෙ කිසිම පිළිවෙළක් නෑ. ඇඳුම්, පොත්පත් හැමතැනම. ඒ මදිවට පොරට නිකන් ඉන්න ගමන් හාඩ් රොක් සින්දු අහ අහා ඉන්නත් ඕනෙ. පුරුපුරුට තිබුනෙ මේ දෙන්නගෙම පුරුදුවල අතරමැදි ලක්ෂණ. ඉතිං හාරිස් අමාරුවෙන් අස්කරන රූම් එක කිං බීජේ ඇවිත් වනසනවලු. ඊටපස්සෙ මේ දෙන්නා කරන්නෙ රණ්ඩුවෙන එක. පුරුපුරු ඇවිත් රණ්ඩුව බේරුවාට පස්සෙ තමයි දෙන්නා ආපහු ශේප් වෙන්නේ. ඒත් ඉතිං හොස්ටල් එකෙන්, කඩ්ඩ මීඩියම් බයෝ කළේ මේ දෙන්නා විතරක් හින්දා දෙන්නාටම දෙන්නා නැතුවත් බෑ.

මේ අතරෙ තමයි පුරුපුරුට ඇතිකරන්න අලුත් සුරතලෙක් හම්බවුණේ.

පුරුපුරුලගෙ පන්තියෙ හිටපු මෑන්ස්ගෙ හොඳ යාලුවෙක් තමයි ඉක්බාල් කියන්නෙ. හැබැයි පොරට ඉක්බාල් කිව්වට මෑන්ස්ගෙ ඇත්ත නම ඒක නෙවෙයි. මෑන්ස්ට ඉස්සර ඉඳලාම කිව්වේ "ඉබ්බා" කියලා. පස්සෙ ඒ ලෙවල් කරන්න ගත්තාම "ඉබ්බා" කියන නම පොෂ් වෙලා, "ඉක්බාල්" කියලා ඒ නම වෙනස් වුණා.

හැබැයි ඉක්බාල්ගෙ ගෙදර ඇත්තටමත් ඉබි පැටියෙක් ඉඳලා. මේ වෙද්දි ඌව ගෙදර හදන්න කරදරයි කියලා පොරගෙ අම්මා මෑන්ස්ට බර බරේ දදා තමයි ඉඳලා තියෙන්නෙ. අන්තිමේදි ඉතිං ඉක්බාල් තීරණය කළාලු මේ ඉබි පැටියාව කාට හරි හදාගන්න දෙන්න තීරණය කරන්න. කොහොමහරි අපේ පුරුපුරුත් ඉස්සර ඉඳලා ගොඩක් ආසාවෙන් හිටියේ ඉබ්බෙක්ව ඇතිකරන්න. ඉතිං මේ නිව්ස් එක ඇහුණා විතරයි, අපේ පූසාගෙ ඉහේ මලක් පිපුණා වගේ වුණාලු.

පුරුපුරු :- මචං ඉක්බාල්, උඹ ගාව කාටහරි දෙන්න ඉබ්බෙක් ඉන්නවයි කියන්නෙ ඇත්තද?

ඉක්බාල් :- ආ... ඔව් ඔව් මචං! උඹට ඌව ඕනෙද? මම හෙටම ගෙනත් දෙන්නං. හැබැයි උඹට ඌව ගෙදර අරන් යන්න ගියාම තමයි හෙන කට්ටක් කන්න වෙන්නෙ.

පුරුපුරු :- ගෙදර අරන් යන්න? කවුද කිව්වෙ ඌව ගෙදර අරන් යනවයි කියලා? මම ඌව හොස්ටල් එකේ හදන්නෙ.

ඉක්බාල් :- උඹට පිස්සුද? හොස්ටල් එකේ කොහොමද බං ඉබ්බො හදන්නෙ?

පුරුපුරු :- හරි හරි!! උඹ හෙට ඌව ගෙනෙන්කො. මම කොහොමහරි ඌව හදන්නං.

අන්තිමට ඉතිං ඉක්බාල් කැමති වුණාලු මෑන්ස්ගෙ ඉබි පැටියාව පුරුපුරුට හදාගන්න දෙන්න. හැබැයි ඊටපස්සෙ තමයි වැඩේ අමාරු හරිය තිබුනෙ. දැන් ඉතිං ගිහින් රූම් එකේ ඉබ්බෙක්ව හදන්න හාරිස්ගෙන් පර්මිෂන් ගන්න ඕනෙ. කිං බීජේනං මේ වැඩේට උඩින්ම කැමති වෙන බව ෂුවර්. හැබැයි ඉතිං රූම් එක පිළිවෙළට තියාගන්න කැමති හාරිස් මේ වැඩේට කැමති වෙයි කියලා හිතන්න බෑ.

අන්තිමට ඉතිං හිතපු විදිහටම කිං වැඩේට කැමතිවෙලා, හාරිස් වැඩේට බර බරේ දැම්මා. කොහොමහරි කිංටයි පුරුපුරුටයි පැය ගානක් අඬලා අඬලා පුලුවන් වුණා මෑන්ස්ව ඉබ්බා අරන් එන එකට කැමති කරවාගන්න. හැබැයි ඒ ඉබ්බා‍ අතින් රූම් එකට වෙන හැම හානියක් ගැනම පුරුපුරුයි, කිං බීජේයි වගකියනවා කියලා පොරොන්දු වුණාට පස්සෙ.

ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම පහුවදා ඉක්බාල් තමන්ගෙ ඉබි පැටියාව ඉස්කෝලෙට ගෙනාවා. බැලින්නං ඌ හරිම හුරුබුහුටි, පොඩි ගල් ඉබි පැටියෙක්. පන්තියෙ යාලුවොත් ඉබ්බාව දැකලා ඌට සෑහෙන ආදරේ හිතිලා. කොහොමහරි ඉතිං පුරුපුරුයි, කිංනුයි ඉස්කෝලෙ ඉන්ටර්වල් එක වෙලාවෙ මූව ගෙනිහින් හොස්ටල් රූම් එකෙන් දැම්මා.

ඒ වෙද්දිත් අපේ යාලුවො දෙන්නා ඉබි පැටියාට ඉන්න ලස්සන ගෙයක් හදලයි තිබුනේ. ඒ මේසයක් උඩින් තියපු වතුර පුරවපු බේසමක්. බේසමේ ලී කොටයක්, ගල් කීපයක්, කං කුං දඬු එහෙමත් දාලයි තිබුනේ. ඉබ්බාත් ඉතිං දියට දැම්මාම ඇන්නෑවේ කියලා, බේසමට දාපු ගමන් බොහොම සතුටින් පීනන්න පටන් ගත්තා. හවස් වෙද්දි ජුවාන්, තාරබාසු, පොල්පොට් ඇතුලු අනිත් යාලුවොත් කෑම අරගෙන ආවලු ඉබ්බාව බලන්න. බැලින්නං මූ බත්, පාන්, බනිස් වගේ ඕනෙ කෑමක් කනවා. අන්තිමට ඉතිං කට්ටිය තීරණය කළාලු මේ ඉබි පැටියාට "කැස්බස් ඉක්බාල්" කියලා නම් තියන්න.

ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු.

Thursday, April 7, 2011

පිකිස් - phycis



ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ගඩොල් බාන්න සෙට් වුණා. මුලින්ම අපේ අභීත මහත්තයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කෝල් එකක් දීලා කියලත් සයිබර් බක්මහ උළෙලට එන්න බැරිවෙච්ච එක ගැන. අපිත් ගොඩක් ආසාවෙන් හිටියේ අවුරුදු උත්සවේට එන්න. ඒත් හිතපු නැති විදිහට අපිට එන්න බැරිවුණා. ආපු යාලුවො සිරා ෆන් එකක් අරගෙන තියෙන හැටි ෆොටෝ වලින් දැක්කා. ඊළග එකටනං කොහොමහරි අපිත් එනවා එනවාමයි.


ඒ වගේම අපේ බ්ලොග් එකේ යාවජීව මිතුරෙකුයි, මිතුරියෙකුයි ගොඩ ගිහින් කියලා දැනගන්න ලැබුනා. ඒ තමයි අපේ හසියායි, හා පැටික්කියි. ඉතිං ඒ යුවලටත් සුභම සුභ මංගලම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ( මොකද දැන් කැන්දගෙන ගිහින් ඉවරයිනෙ. හික් හික්!! ). එහෙනං දැන් ඉතිං අපි කතාවට එමුකො නේද?


**********************************************************************************


අපේ පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් ගත්ත හැටි ගැන අපි කලින් කිව්වා නොවැ! ඒ අතරෙ අපි රොබට් ලියනගම සර්ගෙ පිකිස් පන්තිය ගැනත් වෙනම ලිපියක් ලිව්වනෙ. ඉතිං අද අපි කියන්නෙ ඊට පස්සෙ අපේ පුරුපුරුගෙ පිකිස් ජීවිතේට මොකද වුණේ කියන එක.


අපි අර කලිනුත් කිව්වා වගේ රොබට් සර්ගෙ ක්ලාස් එකේ දිගටම රැඳිලා ඉන්නවයි කියන එක හරිම අමාරු වැඩක්. ඉතිං ටික දවසක් යනකොට අපේ යාලුවන්ගෙන් ක්ලාස් එකේ ඉතුරු වුණේ පුරුපුරුයි, ඤාව්වායි විතරයි. උපාසක බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියටත්, මාලුකට්ටා හිස්සැල්ල සර්ගෙ පන්තියටත් යන්න පටන් ගත්තා. ඇත්තටම පුරුපුරුයි, ඤාව්වායි දිගටම රොබට් සර්ගෙ පන්තියේ හිටියේ ඉගෙන ගන්නත් වඩා සර් කියන එක එක කතා වලට හිනා වෙන්න. සර් එක එක මිනිස්සුන්ට බනිද්දි අහගෙන ඉන්න ගොඩක් ළමයි මාර ආසයි.


ඒත් ඉතිං මාස කීපයක් යද්දි සර් බනින එක අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තලු. එතකොට තමයි අපේ පුරුපුරුටයි, ඤාව්වාටයි ක්ලාස් එක එපාවුණේ. ඉතිං මේ යාලුවො දෙන්නා තීරණය කළාලු රොබට් සර්ගෙ ක්ලාස් එකට සමුදෙන්න. ඊටපස්සෙ ඤාව්වාත් කළේ උපාසක එක්ක ගම්පහ බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියට යන්න. මේ අතරෙ තමයි අපේ පුරුපුරු ආපහු හොස්ටල් එකට යන්නෙ.


හොස්ටල් එකේ හිටපු සෙට් එකෙන් හතර දෙනෙක් ගියෙ හිස්සැල්ල සර්ගෙ නුගේගොඩ තිබුන ගෲප් ක්ලාස් එකට. සෝමෙ අයියා ගියෙ බටපැදි සර්ගෙ පිකිස් පන්තියට. හාරිසුයි, කිං බීජේයි කඩු මීඩියම් කරපු නිසා ගියෙ වෙනම ක්ලාස් එකකට. මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ක්ලාස් එක ගැන යාලුවන්ගෙන් අහලා තිබුනු පුරුපුරු කැමති වුණේ නෑ ඒ පන්තියට යන්න. මොකද මෑන්ස්ට ආරංචි වෙච්ච හැටියට හිස්සැල්ල සර් හරිම සැරයිලු. ළමයින්ට වේවැල් වලින් ගහනවලු. ඉතිං අපේ යාලුවා අන්තිමට තීරණය කළාලු සෝමෙත් එක්ක බටපැදි සර්ගෙ පන්තියට යන්න.


මේ පිකිස් පන්තිය තිබුනෙ බම්බලපිටිය පැත්තෙ. එදා තමයි අපේ පුරුපුරු මුලින්ම ගෲප් ක්ලාස් එකකට ගියෙ. අම්මියෝ! ගෲප් ක්ලාස් එකක් කිව්වට ළමයි තුන් හාරසීයක් ඉන්නවා. හැබැයි ක්ලාස් එක ඒසී කරලා හොඳට තිබුනා. සර්ගෙ ඉගැන්නිල්ලත් නරක නෑ. ඒත් ඉතිං උදේ 8 ඉඳලා හවස 2 වෙනකං ඉස්කෝලෙ ඉඳලා, ඊටත්පස්සෙ ආපහු හවස පිකිස් ක්ලාස් එකට යනවයි කියන්නෙ හරිම අමාරු වැඩක්. ඉතිං ඊළග දවසෙ කට්ටියගෙ ක්ලාස් වෙලාව ගතවුණේ බම්බා බීච් එකේ ඇවිදින්නයි, කෝච්චි යද්දි රේල් පීලි උඩ කාසි තියලා ඒවා කෝච්චිය ලව්වා තලවන්නයි විතරයි.


කොහොමහරි අන්තිමට පුරුපුරුයි, සෝමෙ අයියායි දෙන්නාම බටපැදි සර්ගෙ ක්ලාස් එකට ආයුබෝවන් කිව්වා. මේ වෙද්දි පුරුපුරුලාට ආලෝකය පාඩමේ සෑහෙන කොටසක් මිස් වෙලයි තිබුනේ. ඉතිං අන්තිමට අකමැත්තෙන් වුණත් පුරුපුරුටයි, සෝමෙටයිත් සිද්ද වුණාලු අනිත් යාලුවොත් එක්ක හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියට යන්න.


මේ පන්තිය තිබුනෙත් සතියෙ දවසක හවස් වරුවෙමයි. ඒකත් ගෲප් ක්ලාස් එකක් කියලා තමයි කට්ටිය කිව්වේ. ඒ වුණාට ළමයි හයසීයකට වැඩියෙන් ක්ලාස් එකේ හිටියලු. පුරුපුරුලා හිටියෙ ක්ලාස් එකේ පිටිපස්සෙම තිබුන ස්ටේජ් එකක් වගේ හරියක. මේ ඒරියා එකේ තනිකරම හිටියෙ කුරුඳුවත්තෙයි, මරියකඩෙයි කොල්ලො විතරයි. හිස්සැල්ල සර් වුණත් ක්ලාස් එක වටේම ඇවිද්දත් මේ ස්ටේජ් එකට ආවෙ බොහොම කලාතුරකින්.


ක්ලාස් එකට යන්න කලින් පුරුපුරුට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි හිස්සැල්ල සර්ට ‍මොනවාහරි බයිට් එකක් දාද්දි ක්ලාස් එකට යන ගෑනු ළමයින්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙන්නෙ මොකද කියන එක. ක්ලාස් එකට ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුම් ගියෙ මොකද්ද කේස් එක කියලා. හිස්සැල්ල සර් හෙන හැන්ඩි ඩයල් එකක්. ඉතිං ඉගෙන ගන්න චේතනාවෙන් ක්ලාස් එන කෙල්ලො වගේම සර්ට පැනි පාර දාන්න බලාගෙන, පාර්ට් ටයිම් ඉගෙන ගන්න කෙල්ලොත් ක්ලාස් එකේ ඉන්නවා.


ඒ වගේම හිස්සැල්ල සර්ගෙ පන්තියෙ තිබුනෙ දැඩි විනය නීති. අඩුගානෙ ළමයෙක්ට නිකටට අත තියාගෙන ඉන්න එකවත් තහනම්. හැම තිස්සෙම බෝඩ් එක දිහා බලාගෙන ඉන්නත් ඕනෙ. ඒ වගේම අනිත් ළමයි එක්ක කතා කරන්නත් බෑ. පුරුපුරුට අදටත් හිතාගන්න බෑ ඔය නීති වලට යටත් වෙලා ළමයි ටික කොහොම ක්ලාස් එකේ හිටියද කියන එක. හැබැයි සමහර වෙලාවටනං සර්ගෙ නීතී රීති ටිකක් ලිහිල් වෙන අවස්ථාත් තිබුනෙ නැතුවාම නෙවෙයි.


මේ ඔක්කොටමත් වඩා පුරුපුරුට ඇල්ලුවෙ නැත්තෙ ක්ලාස් එකේ තිබුන ධනාත්මක චින්තන වැඩ පිළිවෙළ. හැමදාම ක්ලාස් එක ඉවරවෙන්න කලින් අධිෂ්ටාන වාක්‍ය වගයක් කියවන්න ඕනෙ. ඊටපස්සෙ ඒ සතිය ඇතුලත තමන් කරන්න ප්ලෑන් කරලා තියෙන වැඩ ඇතුලත් ටයිම් ටේබල් එකක් හදලා තියෙන්න ඕනෙ. ඊටපස්සෙ ටයිම් ටේබල් එක කෝ කියලා සර් ඇහුවාම ඒක උඩට උස්සලා පෙන්නන්නත් ඕනෙ. පුරුපුරුනං කළේ සර්ට එච්චර දුර පේන්නෙ නැති නිසා කටුවැඩ කරන හෑන්ඩ් බිල් එකක් උඩට උස්සලා පෙන්නපු එක.


මොනවා වුණත් හිස්සැල්ල සර් ඉතාම දක්ෂ ගුරුතුමෙක්. ඒ වගේම සර් ක්ලාස් එකේ ළමයි වැඩ කරනවද නැද්ද කියලා හොඳට හොයලා බලනවා. ඇත්තටම ඒ ක්ලාස් එකෙන් පුරුපුරු සමුගන්න හේතුව වුණෙත් ඒකමයි. සර් හැමදාම වේවැලක් තියාගෙන ගෙදරවැඩ නොකර ආපු ළමයින්ට ඒකෙන් තලනවා. පුරුපුරු දවස් තුන හතරක්ම අමාරුවෙන් ගුටිකෑමෙන් බේරුනත්, මෑන්ස් තේරුම් ගත්තා මේක හැමදාම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කියලා. ඉතිං මෑන්ස් කළේ ගෙදරවැඩ කරන එක පැත්තකින් තියෙද්දි ක්ලාස් එකට සමුදෙන ඔප්ෂන් එකට එළඹෙන්න.


ඔය විදිහට හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියෙන් සමුගත්තාට පස්සෙ පුරුපුරු මාස ගානක් යනකං වෙන පිකිස් පන්තියකට ගියෙ නෑලු. ඉස්කෝලෙන් කෙරුන පාඩම් ටිකෙන් තමයි මෑන්ස් යන්තං සබ්ජෙක්ට් එක අල්ලගෙන හිටියේ. ඇත්තටම මේ වෙද්දි පුරුපුරුට තාපය පාඩමෙන් පටන් අරගෙන, ‍පාඩම් ගානක් මිස් වෙලා තිබුනා. මේකට ප්‍රධානම හේතුව වුණේ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයේ තිබුන ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි.


හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ රූම් එකකට කිසිම බාහිර පුද්ගලයෙක්ට ඇතුල් වෙන්න තහනම්. කොටින්ම හොස්ටල් වෝඩ්න් පවා මේ රූම් වලට එන්නෙ නෑ. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රිෆෙක්ට් රූම් තිබුනෙ මිහිපිට අපායවල් වගේ. පොඩි ළමයින්ට තමන්ගෙ ඩෝම් එක පොඩ්ඩක් අතුගාන්න බැරිවුණත් දඬුවම් දෙන ප්‍රිෆෙක්ට් අයියලා තමන්ගෙ රූම් තියාගෙන හිටියේ ඊටත් වඩා සිය ගුණයක් කිලුටු විදිහට. ඒ මදිවාට මේ රූම් ඇතුලේ සීඩී කඳු පිටින් තමයි තියෙන්නේ. ගන සීඩී, ‍ෆිල්ම් සීඩී, රෙස්ලිං සීඩී ඕන එකක්. ඉතිං ටීවී, ඩීවීඩී ප්ලේයර්, බලන්න සීඩී, ඩීවීඩී තියෙනකොට කාටද ක්ලාස් යන්න හිතෙන්නෙ?


කොහොමවුණත් ටික දවසක් යද්දිම අපේ පූසාට තේරුම් ගියාලු මෙහෙම ගියොත් තමන්ගෙ පිකිස් විෂය ජෝන්බාස්ට යනවයි කියලා. ඉතිං මෑන්ස් කළේ ඒ වෙනකොට තමන්ට තිබුන එකම විකල්පය වෙච්ච බ්ලැක් ඔෆිසර්ගෙ ක්ලාස් එකට ඇතුලත් වෙච්ච එක.


ඇත්තටම ඒ පන්තිය හිස්සැල්ල සර්ගෙ වගේ බයෙන් සැකෙන් ඉන්න ඕන ක්ලාස් එකක් නෙවෙයි. ක්ලාස් එකේ ළමයි ගානත් අඩුයි, ඒ වගේම ළමයි රිලැක්ස් එකේ ඉන්නවා. ඕන කට්ටියට ඉගෙන ගන්න පුලුවන්, අනිත් අයට වලට යන්න පුලුවන්. අනික බ්ලැක්ඔෆිසර් උගන්නනවත් හොඳයි. හැබැයි ඉතිං මේ පන්තියෙත් අඩුපාඩු තිබුනා. මේ ක්ලාස් එකේ ළමයි ඉන්නේ හූ කියාගත්ත ගමන්මයි. අනික බ්ලැක් ඔෆිසර් ක්ලාස් එකේ වෙලාවෙන් බාගයක් විතර වැය කරන්නෙ හිස්සැල්ලට බනින්න. කොහොම වුණත් පුරුපුරු මේ ක්ලාස් එකටනං මාස ගානක් ගියා. හැබැයි විභාගෙට ගොඩක් කල් ඉතුරු වෙලා තියෙද්දි බ්ලැක්ඔ‍ෆිසර්ගෙ ක්ලාස් එකටත් සමුදුන්නා.


ඊටපස්සෙ මෑන්ස් ආපහු පිකිස් ක්ලාස් එකකට ගියෙ ඒ ලෙවල් වලට මාසයක් විතර තියලා. ඒ ක්ලාස් එක අපේ පූසො පස්දෙනා විතරක් සහභාගි වුණ පාස්ට් පේපර් ක්ලාස් එකක්. ක්ලාස් එක කළේ පුරුපුරුලාට අවුරුද්දක් වැඩිමල්, කුරුඳුවත්ත ඉස්කෝලෙටම ගිය යාලුවෙක්. ඇත්තටම ඒ වෙද්දි ඒ යාලුවා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා, මෙඩිකල් ෆැකල්ටි එකට තේරිලා, කැම්පස් පටන්ගන්නකං හිටපු කෙනෙක්. මෑන්ස්ට ගෙදර නිකං ඉන්න කම්මැලියි කියලා තමයි ක්ලාස් එක කළේ. කොටින්ම අපේ පූසන්ගෙන් සල්ලි ගත්තෙවත් නෑ.


ඇත්තටම ඒ පිකිස් ක්ලාස් එක තමයි අපේ පූසො ගිය විශිෂ්ටම පිකිස් ක්ලාස් එක. උගන්නන්න උපන් හපන්කමක් තමයි මෑන්ස්ට තිබුනෙ. කොටින්ම අපේ යාලුවාගෙ විශිෂ්ට ඉගැන්වීම නිසා පිකිස් ෆේල් වෙන්න හිටපු අපේ පූසො කට්ටිය බොහොම හොඳට සබ්ජෙක්ට් එක ගොඩදාගත්තලු. පස්සෙ මෑන්ස්ට පොඩි පාටි එකක් එහෙමත් දෙන්න අපේ පූසො අමතක කළේ නෑ. දැන්නං ඒ යාලුවා වෛද්‍ය විද්‍යාලයේ අන්තිම අවුරුද්දෙ ඉන්න අනාගත වෛද්‍යවරයෙක්.


දැන් ඉතිං ඒ ලෙවල් කරන ළමයි මේක කියවනවනං හිතට ගන්න ඕනෙ කිසිම සබ්ජෙක්ට් එකක් අතපසු කරගන්නෙ නැතුව හොඳට පාඩම් වැඩ කරන්න. මොකද හැම තිස්සෙම වාසනාව තමන් එක්ක රැඳිලා ඉන්නෙ නෑ

Wednesday, March 16, 2011

බැක් ටු හොස්ටල් - back to hostel


ඔන්න කාලෙකට පස්සෙ ඔයාලා වෙනුවෙන් අලුත්ම ගඩොල් සීරීස් එකක් අරගෙන ආවා. මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ ඔයාලාගෙ බ්ලොග් කියවන්න, කොමෙන්ට් කරන්න පහුගිය දවස්වල මට වෙලාවක් හම්බවුණේ නෑ. කොටින්ම බ්ලොග් ගඩොල් බ්ලොග් එක ගැනවත් හරියට හොයා බලන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඉතිං කට්ටිය ඒ ගැන හිත් අමනාප කර නොගනියි කියලා හිතනවා.



ඉතිං යාලුවනේ මේ වෙද්දි අපේ පූසො සෙට් එක ඉන්නෙ 2004 අවුරුද්දෙ අග හරියෙ. මේ වෙද්දි අපේ පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ඤාව්වාත් ගිය අර අපේ සුපුරුදු ස්කූල් වෑන් එකේලු.

අපි කලිනුත් කිව්වා වගේ කුරුඳුවත්තෙ හොස්ටල් එකේ බැච් එකක ඕ ලෙවල් කරන ළමයි හතලිස් ගානෙන් 8 දෙනාවයි, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු ඒ ලෙවල් වලට හොස්ටල් එකට ගන්නෙ. හැබැයි ඉතිං මේ ළමයි 8 දෙනා අතරට ඇතුල් වෙන්න හිතන තරම් අමාරුවක් නෑ. මොකද හොස්ටල් ළමයි අතර මතයක් තියෙනවා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාට පස්සෙ ඒ ලෙවල් පාස් වෙන්න අමාරුයි කියලා. ඇත්තටම ඒ මතය ගොඩක් වැරදිම නෑ, මොකද ඉතිහාසයේ ඒ වෙද්දි හිටපු ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි පළවෙනි පාර ඒ ලෙවල් ගොඩදාගෙන තියෙන්නෙ. ඉතිං මේ හේතුව හින්දා ඕ ලෙවල් ලියපු හොස්ටල් එකේ කොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් මේ ශිෂ්‍ය නායක තනතුරට ඇප්ලයි කළේ නෑ.

පුරුපුරුලාගෙ බැච් එකෙත් වැඩිදෙනෙක් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ නෑලු. විශේෂයෙන් මාලුකට්ටා එහෙම හිටියෙ කවදාවත් ඒ ලෙවල් වලට හොස්ටල් එකට එන්නෙ නෑ කියන දැඩි මතයක. ඒ වගේම ඒ ලෙවල් කරන්න පටන් ගත්තාට පස්සෙ, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා‍ වෙයි කියලා හිතපු සෙන්සි, පැන්ඩා වගේ කට්ටියත් තීරණය කළාලු හොස්ටල් එකට නොගිහින් බෝඩිමක ඉඳගෙන ඉස්කෝලෙ යන්න. ඉතිං ඔය විදිහට පුරුපුරුලාගෙ බැච් එකේ කවුරුවත් අන්තිමේදි හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණේ නෑ.

මේ වෙද්දි පුරුපුරුලාගෙ සුපර් සීනියර් බැච් එකේ අයියලා කට්ටිය ඒ ලෙවල් ඉවරවෙලා හොස්ටල් එකෙන් අස්වෙලා ඉවරයි. ඒ වගේම සීනියර් බැච් එකේ කවුරුවත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට හිටියෙත් නෑ. මතක ඇතිනෙ අර කංජිනාත්ට ගහපු කේස් එකට මුලු සීනියර් බැච් එකම හොස්ටල් එකෙන් අස්කළා කියලා නේද? අන්තිමට සිද්දවුණේ 2004 අවුරුද්දෙ අග වෙද්දි කුරුඳුවත්ත හොස්ටල් එකේ කිසිම ප්‍රිෆෙක්ට් කෙනෙක් නොහිටිය එක. ඉතිං මේ වෙද්දි ළමයි ටික පාලනය කරගන්න බැරුව කොටියා සර් පත්වෙලා හිටපු අමාරුව ඔයාලාට තේරෙනවා ඇතිනෙ!

කොහොමහරි හොස්ටල් එකේ ඉඳලා 9 වසරෙදි අස්වුණ කිං BJට තමයි මුලින්ම හිතුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ආපහු හොස්ටල් එකට යන්න ඕනෙයි කියලා. ඔන්න බී.ජේ කිව්වෙ බඩජාරි කියන එකට හොඳේ. ඉතිං මෑන්ස් හොස්ටල් එකේ හිටපු අනිත් කොල්ලන්ටත් මේ අයිඩියා එක දැම්මට, පාඩම් කරන්න බැරිවෙලා ඒ ලෙවල් ෆේල් වෙයි කියලා කවුරුත් මේකට කැමති වුණේ නෑ. හැබැයි මේ වෙද්දි කිං එක්ක එකට බයෝ කඩු ක්ලාස් එකේ හිටපු හාරිස් කැමති වෙලා තිබුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න. ඒත් පොඩි අප්සෙට් එකකට තිබුනෙ මෑන්ස් කවදාවත් හොස්ටල් එකේ ඉඳලා තිබුනෙ නැති කෙනෙක් වෙච්ච එක.

කිං බීජේ කියන්නෙ ඉස්සර ඉඳලාම පුරුපුරුගෙ හොඳම යාලුවෙක්. කොටින්ම පුරුපුරු බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමුගත්තාට පස්සෙ චීන සටන් කලාවකට යොමු කළෙත් මෑන්ස්ම තමයි. දැන් ඉතිං කිංගෙන් බර බරේ පුරුපුරුටත් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න එන්න කියලා. හැබැයි ඉතිං පුරුපුරු වුණත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ ආපහු හොස්ටල් එකට යන්න. ඒත් ඉතිං කිං බීජේට බෑ කියන්න බැරි නිසායි, හොස්ටල් එකේ පහසුකම් හොඳ නිසයි, මෑන්සුත් අන්තිමට කැමති වුණාලු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න.

ඔය අතරෙ අර ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කුණු කානුවට කඩල දාපු පොල්පොටුත් කැමති වුණා හොස්ටල් එකට ආපහු එන්න. දැන් ඉතිං මේ වැඩේට 4 දෙනෙක් රෙඩි. ඒ තමයි කිං බීජේ, හාරිස්, පුරුපුරු සහ පොල්පොට්. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ ගිහින් කොටියා සර් හම්බවෙලා තමන් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෝ වෙන්න කැමති බව දැනුම් දීපු එක.

බලාපොරොත්තු වෙච්ච විදිහටම මේ ආරංචිය ලැබුනාට පස්සෙ කොටියා සර් අමන්දානන්දයට පත්වුණා. මොකද ඒ වෙද්දි හොස්ටල් එකේ වසවර්ති කොල්ලො ටික පාලනය කරගන්න බැරුව සර් ලෝක අමාරුවක වැටිලයි තිබුනේ. ඉතිං අපේ යාලුවන්ට හොස්ටල් එකට එන්න කොටියා සර් අවසර දුන්නේ එක පයින්. නැත්තං ඉතිං පොල්පොට්, පුරුපුරු වගේ කට්ටියට ළමයින්ගෙ විනය හදන්න බාරදෙන්නෙ කවුද හැබෑට?

කොටියා සර් :- පුරුපුරු දන්නවාද ඉස්කෝලෙ සාමාන්‍ය ශිෂ්‍ය නායකයෙකුගෙයි, නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුගෙයි අතර තියෙන වෙනස?

පුරුපුරු :- ම්...නෑ සර්.

කොටියා සර් :- ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙකුට පොඩි ළමයි ගැන වගකීම තියෙන්නෙ ඉස්කෝලෙ පැවැත්වෙන පැය හයේ විතරයි. ඒත් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුට ඒ වගකීම පැය 18ක් තියෙනවා. තේරුනාද?

පුරුපුරු :- ඔව් සර්...

ඉතිං මෙහෙම පටන් ගත්තු කොටියා සර්ගෙ දේශනාව ගොඩක් වෙලා යනකම් නැවතුනේ නෑලු. ඊටපස්සෙ සර් කට්ටියට කිව්වේ ඊළග සතියෙම හොස්ටල් එකට එන්න කියලා. ඒ වගේම පහුවදාට තමන් එක්ක විදුහල්පතිව මුණගැහෙන්න යන්න එන්න කියලාත් පුරුපුරුලාට කොටියා සර්ගෙන් ආරාධනා ලැබුනා.

ඉතිං පහුවදා අපේ යාලුවො කට්ටිය ප්‍රින්සිපල් සර්වත් හම්බවෙලා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන වැඩේ දැනුම් දුන්නාලු. ප්‍රින්සිපල් සර්ගෙ අදහස වුණේ පොඩි ළමයින්ට ගහන්නෙ බනින්නෙ නැතුව, ඒ අයව විනයානුකූලව තියාගන්න එක හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ කාර්යභාරය කියලා. ඒත් මෙච්චරකල් පුරුපුරුලාට තිබුන හොස්ටල් අත්දැකීම් අනුව ආදරයෙන් කරුණාවෙන් කතා කරලා හොස්ටල් එකේ කොල්ලන්ව විනයානුකූලව තියාගන්න එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි.

If you do any physical or mental harassment to the children, you will be out of the hostel

ප්‍රින්සිපල් සර්ගෙ අන්තිම අවවාදය වුණේ ඒකයි.

ඉතිං ඊටපස්සෙ යෙදුන ඉරිදා දවසෙ අපේ කට්ටිය බඩු මුට්ටු අරගෙන නැවත වතාවක් හොස්ටල් එකේ පදිංචියට ආවලු. අනිතිමට තීරණය වුණේ ජ්‍යේෂ්ටත්වය අනුව පොල්පොට්ව ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් කරන්න. ඊටපස්සෙ මෑන්ස්ගෙ ඩිපියුටි වෙන්න තිබුනෙ පුරුපුරුට. ඒත් පුරුපුරුවත්, කිං බීජේවත් ඩිපියුටි එච්.පී වෙන්න කැමැත්තක් දැක්වුවේ නෑ. අන්තිමට ඉතිං ඒ තනතුර හම්බවුණේ හාරිස්ටලු.

ඇත්තටම හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට ගතකරපු මුල් දවස් ටික අපේ යාලුවන්ට එච්චරම ලේසි පාසු වුණේ නෑ. මොකද සීනියර් සහ ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාගෙ වැඩ ඔක්කොම කරන්න වුණේ මේ හතර දෙනාට. ඒ මදිවාට අවශ්‍ය උපදෙස් ගන්න සීනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බැච් එකක් හිටියෙත් නෑ. ඒත් ඉතිං කට්ටිය අමාරුවෙන් හරි අවුල් වෙලා තිබුන හොස්ටල් එක ආපහු පොඩ්ඩක් යථා තත්ත්වයට අරගත්තා. ඉන්ස්පෙක්ෂන්, ස්ටඩි ඩියුටි, ඩයිනින් හෝල් එකේ ඩියුටි, නඩු ඇසීම්, මේ ඔක්කොම ෂේප් එකේ කරගෙන ගියා.

තවත් මාසකට විතර පස්සෙ කංජිනාත්, තාරබාසු, සෝමෙ අයියා සහ ජුවානුත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු හොස්ටල් එකට ආවා. එතකොට තමයි පුරුපුරුලාට පැටවිලා තිබුන මහා වැඩ තොගය පොඩ්ඩක් විතර ලිහිල් වුණේ. ඉතිං මේ කට්ටිය ෆේස් කරපු රසවත් සිද්දි ගොඩාක් අපි ඉස්සරහට ඔයාලාට කියන්න බලාපොරොත්තු වෙනවා.

Saturday, March 5, 2011

මහේෂි - maheshi


ඉතිං යාලුවනේ කොහොමද සැප සනීප එහෙම? මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්නංකෝ සති දෙකක් තිස්සේ කිසිම ලිපියක් පළ කරන්න බැරිවෙච්ච එකට. ඉතිං අද අපි ඔයාලාට කියන්න යන්නේ අපේ ඤාව්වාට වෙච්ච වැඩක් ගැන.

මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල් හරියෙ ඉන්නකොට. ඔය වෙද්දි ඤාව්වා හිටියෙ කලුකුමාරි ගැන තමන්ගෙ හිතේ තිබුන අදහස ගොඩක් දුරට අමතක කරලා දාලලු. ඔය අතරෙ තමයි එක දවසක් මෑන්ස්ට නුවරඑළියෙ ටූ ඩේ ට්‍රිප් එකක් යන්න චාන්ස් එක ලැබුනෙ. මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තිබුනෙ ඤාව්වගෙ තාත්තා වැඩ කරන ඔෆිස් එකෙන්ලු.

කොහොමහරි ට්‍රිප් එක ගිහින් ආපු අපේ ඤාව්වා හිටියෙ බොහොම ප්‍රබෝධමත් විදිහට, බොහොම සතුටින්. කොටින්ම අනිත් පූසන්ට මුලින්ම හිතාගන්නත් බැරුව හිටියෙ ඤාව්වාට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඉතිං කට්ටිය තීරණය කළාලු වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෑන්ස්ගෙ හදිසි වෙනස්වීමට හේතුව හොයන්න. හැබැයි ඉතිං අනිත් පූසො ඤාව්වාගෙන් අහන්නත් කලින් මෑන්ස්ම තමයි තමන්ගෙ සතුටුදායක වෙනසට හේතුව හෙළිකළේ.

ඤාව්වා :- අඩෝ මාර කේස් එකනෙ බං! මට ට්‍රිප් එක ගිහින් කෙල්ලෙක් සෙට් වුණානෙ.

පුරුපුරු :- නෑ? එළකිරිනෙ බං! කවුද කවුද ඔය කෙල්ල? අපි දන්න කියන කෙනෙක්ද?

ඤාව්වා :- නෑ බං! අපේ තාත්තලෑ ඔ‍ෆිස් එකේ වැඩකරන අංකල් කෙනෙක්ගෙ දුවෙක්. නම මහේෂි. අපේ වයසෙ. ඉස්කෝලෙ යන්නෙ අගමැති බාලිකාවට. කොමර්ස් කරන්නෙ. ඉන්නෙ දෙහිවල පැත්තෙ. හික් හික්...තව ‍මොනවද උඹලට දැනගන්න ඕනෙ?

බැලින්නං මුලු ට්‍රිප් එකේම පූසන්ගෙ වයස් කාණ්ඩෙ නියෝජනය කරන්න ඉඳලා තියෙන්නෙ ඤාව්වයි, මහේෂියි විතරයි. ඉතිං ට්‍රිප් එකත් දවස් දෙකේ එකක් වෙච්ච හින්දා, ඤාව්වාට කිසිම අමාරුවක් වෙලා නෑ මහේෂි එක්ක හොඳට ෆිට් වෙන්න. කොහොමහරි මේ ෆිට් වීම කොච්චර දුරදිග ගිහින්ද කියනවානං, අන්තිමට ගෙදර එන්න කලින් අපේ ඤාව්වා පෙම්පූසෙක් වෙලා ඉවරයිලු. මේ මෑන්ස්ගෙ ෆස්ට් ලව් එක හින්දා අපේ ඤාව්වා හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.

හැබැයි ඉතිං ට්‍රිප් එක ඉවරවෙලා ගෙදර ආවට පස්සෙ තමයි මෑන්ස්ට මතක්වුණේ, තමන් මහේෂිත් එක්ක යාලු වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ නේද කියලා. ඒ වගේම මහේෂිටත් අමතක වෙලා තිබුනා ඤාව්වාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න. දැන් ඉතිං මේ දෙන්නාට ඇතිවුණ මුල්ම ප්‍රශ්නෙ තමයි සන්නිවේදනය පිළිබඳ ගැටලුව.

ඤාව්වාට මේ වෙද්දි කොහොමත් මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නෑ. ඉතිං මෑන්ස්ගෙ ප්ලෑන් එක වුණේ මහේෂිගෙ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරන එක. ඒත් ඉතිං මහේෂිගෙ නම්බර් එක හොයන එකත් ලේසි වැඩක් වුණේ නෑලු. මොකද මේ වෙද්දි අපේ පූසන්ට අගමැති බාලිකාවෙ දැරිවියොත් එක්ක එච්චර කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒත් ඉතිං ඤාව්වා උඩ බලාගෙන හූල්ලනවා බලාගෙන ඉන්න බැරි තැන පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු, අගමැති බාලිකාවෙ හිටපු ටිකක් විතර දන්න අඳුරන ගෑනු ළමයෙක් ලව්වා මහේෂිගෙ නම්බර් එක හොයාගන්න.

ඉතිං අපේ පූසන්ගෙ පළවෙනි මිෂන් එක වුණේ ඔය කියන ගෑනු ළමයාව අල්ලගන්න එක. එයාගෙ නම තමයි සමාධි. සමාධිත් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු ගෑනු ළමයෙක්. ඉතිං එක දවසක් කොමර්ස් පන්ති ඇරෙන වෙලාවෙ අපේ පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි, මී කතුරායි, මාලුකට්ටායි ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු සමාධි එනකං. ඔය වෙද්දි සමාධි ගැන පැතිරිලා තිබුනු එක එක කටකතා වල හැටියටනං, එයත් එක්ක ප්‍රසිද්දියෙ කතා කරන එකත් කට්ටියගෙ කාඩ් කුඩුවෙන වැඩක්. ඒත් ඉතිං ඤාව්වාගෙ වැඩේ කෙරෙන්නත් ඕනෙ නිසා පූසො හිත හදාගත්තලු සමාධි එක්ක කතා කරන්න.

ඔය අතරෙ තමයි බස්ටෑන්ඩ් එකේ කෙළවරකින් සමාධි මතුවුණේ.

සමාධි :- ආ...උපාසක! කොහොමද ඉතිං?

උපාසක :- වරදක් නෑ සමාධි, අපි මේ ඔයාව හම්බවෙන්නම තමයි බලාගෙන හිටියෙ.

සමාධි :- මේ මාව? ඒ මොකටද?

උපාසක :- ඔයා දන්නවද ඔයාලාගෙ ඉස්කෝලෙ ඉන්න මහේෂි කියන ගර්ල්ව? කොමර්ස් කරන්නෙ.

සමාධි :- ආනේ මහේෂිද? එයා අපේ ක්ලාස් එකේමයි ඉන්නෙ. ඇයි මොකද?

උපාසක :- හික්ස්...නෑ.. මේ අපේ ඤාව්වා දැන් එයත් එක්ක යාලුනෙ. මූට ඒ වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න අමතක වෙලා.

සමාධි :- හික් හික්!! කොන්ග්‍රෑට්ස් ඤාව්වා. බලන්නකො මහේෂි අපිටවත් කිව්වෙ නෑනෙ. හැබැයි ඉතිං එයා මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නෙනං නෑ. ඔයාට කෝල් කරන්න වෙන්නෙ ලෑන්ඩ් ෆෝන් එකට තමයි.

ඤාව්වා :- ලෑන්ඩ් ෆෝන් එකට කතා කළාට කමක් නැද්ද දන්නෑ නේද?

සමාධි :- ඒකනං එච්චර හොඳ වැඩක් නෙවෙයි වගේ. මම කියන්නද? මම මහේෂිට විස්තරේ කියලා එයාගෙන් අහන්නං මොකද කරන්න ඕනෙ කියලා. ඔයා හෙට මට කෝල් එකක් දීලා පණිවිඩේ අහගන්න. මම කෝකටත් මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දෙන්නංකෝ.

මෙහෙම කියපු සමාධි මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් එකෙයි, තමන්ගෙ මොබයිල් එකෙයි නම්බර්ස් දෙකම පූසන්ට දුන්නලු. කොහොමත් සමාධිගෙ මොබයිල් නම්බර් එකනං කොල්ලො අතරෙ ගොඩක් ජනප්‍රිය එකක් හින්දා ඉල්ලගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. කොහොමහරි එදා අපේ ඤාව්වා ආපහු ගෙදර ගියෙ ලොකු සැහැල්ලුවකින්.

පහුවදා මෑන්ස් සමාධිට කෝල් කරලා වෙච්ච දේ අහගෙන තිබුනා. බැලින්නං මහේෂිටත් ඤාව්වගෙ නම්බර් එක හොයාගන්න බැරුව ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නෙ. ඉතිං සමාධි ගෙනාපු ආරංචියෙන් ගොඩක් සතුටට පත්වෙච්ච මහේෂි, සමාධිට කිව්වලු සෙනසුරාදා දවල්ට තමන්ට කෝල් එකක් දෙන්න කියලා ඤාව්වාට පණිවිඩේ දෙන්න කියලා. සෙනසුරාදා දවල් වරුව මහේෂිලාගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් සාමාන්‍යයෙන් නැති වෙලාවක්. ඒ වගේම වැඩිවෙලා කතා කරන්නෙ නැතුව ඉක්මනට ෆෝන් එක තියන්න කියලාත් ඤාව්වාට උපදෙස් ඇවිත් තිබුනා.

හැබැයි ඉතිං ඔය වෙලා‍වට අපේ පූසො කට්ටිය ඉන්නෙ ගම්පහ ක්ලාස් ඇවිල්ලා. මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවරවෙලා ඊළග ක්ලාස් එක පටන් ගන්නකං කට්ටියට පැයක හමාරක බ්‍රේක් එකක් හම්බවෙනවා. ඉතිං අපේ පූසො කට්ටිය තීරණය කළේ මහේෂිට කෝල් කරන්න මේ වෙලාව සුදුසුයි කියලා.

ඉතිං ඊළග සෙනසුරාදා, ඔය තීරණය කරගත්තු වෙලාවෙ අපේ යාලුවො කට්ටිය ගියාලු ගම්පහ බස්ටෑන්ඩ් එකයි, රේල්වේ ස්ටේෂන් එකයි අතර තිබුන කොයින් බොක්ස් එක ළගට. මේ වෙද්දි ඤාව්වා මහේෂිත් එක්ක අන්තිමට කතා කරලා සතියකටත් වඩා ගිහින් තිබුනා. ඉතිං පොර දැන් ෆුල් එක්සයිට් වෙලා ඉන්නෙ මහේෂිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න. හැබැයි එක්සයිට්මන්ට් එක වැඩිකමට ඤාව්වාට දැන් කෝල් එක ගන්නත් බෑ බෑ වගේලු.

ඤාව්වා :- අඩෝ මචං, මටනං ගන්න බෑ වගේ බං! උඹලා කවුරුහරි කතා කරපංකෝ, මටනං දැන් කතා කරන්න බෑ බං! අනේ ප්ලීස් බං!!

දැන් ඤාව්වා හෝ ගාලා නහයෙන් අඬනවා. ඉතිං මේ වෙලාවෙ මෑන්ස්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ අපේ මාලුකට්ටා.

මාලුකට්ටා :- හරි, මම දැන් උඹ වෙනුවට කෝල් එක ගන්නංකෝ. ඉතිං ඊටපස්සෙ මම මොනවද කියන්න ඕනෙ?

ඤාව්වා :- උඹ කෝල් කළාම මහේෂි ආන්සර් කරයි මචං. ඊටපස්සෙ කියපං හෙට ක්ලාස් ඉවරවෙලා 3ට මාව ගම්පහ බස්ටෑන්ඩ් එකේදි මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලාත් කියපං මචෝ!

මාලුකට්ටා :- ආ...ඔය ටික කියන එකත් මහ වැඩක්යැ! මම දෙන්නං නියමෙට වැඩේ.

මෙහෙම කියපු මාලුකට්ටා, සුභ මොහොතින් කොයින් බොක්ස් එකට පහේ කාසි දාලා, මහේෂිගෙ ගෙදරට කෝල් කරන්න ගත්තලු.

ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....

මහේෂිගෙ ගෙදරින් :- හෙලෝ! කවුද කතා කරන්නෙ?

මාකට් :- ආ...මේ මහේෂි නේද?

මහේෂිගෙ ගෙදරින් :- ආ..නෑ නෑ!! මම මහේෂිගෙ අක්කා කතා කරන්නෙ.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. මළ කෙළියයි. බැලින්නං කෝල් එකට ආන්සර් කරලා තියෙන්නෙ මහේෂි නෙවෙයි, මහේෂිගෙ අක්කා. ඉතිං අපේ මාලුකට්ටා බයවෙච්ච පාර එක අතකින් රිසීවර් එක වහගෙන "අක්කා...අක්කා..." කියලා අනිත් පූසන්ට පහත් හඬින් කියන්න පටන් ගත්තලු. ඒත් අවාසනාවට වගේ මේ වෙද්දි අනිත් පූසො කට්ටිය හිටියෙ, කොයින් බොක්ස් එකෙන් ටිකක් එහාට වෙන්න. ඒ හින්දා මාලුකට්ටා කියපු දේ අනිත් පූසන්ට පැහැදිලිව තේරුනේ නෑ.

ඤාව්වා :- ඉක්මනට පණිවිඩේ කියලා ෆෝන් එක තියපං බං. ඒකිගෙ අම්මලා ගෙදරද දන්නෙත් නෑ.

මාකට් :- හා හා...ඔන්න මම කිව්වා එහෙනං

අක්කේ මහේෂිට කියන්න හෙට ක්ලාස් ඉවරවෙලා හවස 3ට ගම්පහ බස්ටෑන්ඩ් එකේදි ඤාව්වාව මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලත් කියන්න.

මහේෂිගෙ අක්කා :- මොකක්? ගම්පහ? ඤාව්වා? කවුද ඔය කතා කරන්නෙ? කවුද තමුසෙ?

ඉතිං මහේෂිගෙ අක්කාගෙ ටෝක්ස් වලට බයවෙච්ච මාලුකට්ටා කළේ ‍කෝල් එක කට් කරලා, අනිත් පූසො හිටපු තැනට දුවගෙන ආපු එක. ඊටපස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ සිද්දවුණේ මොකද්ද කියලා. කොහොමහරි ඤාව්වා මාලුකට්ටාගෙ බෙල්ල මිරිකන්න ගිය එක අනිත් පූසො එකතු වෙලා නවත්තගත්තෙ ෆුල් ගේමක් දීලා.

එදායින් පස්සෙ කවදාවත් පූසන්ට මහේෂි ගැන කිසිම ආරංචියක් ලැබුනෙ නෑ. සමාධිත් ඉඳලා හිටලා හරි මුණගැහුණොත් පූසන්ට රවාගෙන ගියා මිසක් කතා කරන්න සෙට් වුණේ නෑ. ඔන්න ඔහොමයි අපේ ඤාව්වාගෙ පළවෙනි ආදරයට නැවතීමේ තිත වැටුනෙ. අපි හිතන්නෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාශෙ පළවෙච්ච ආදර කතා එක්ක බලද්දි මේකනං කෙටිම කෙටි ආදර කතාවක්.