දැන්
ඉතිං අපේ ගොඩක් යාලුවො බ්ලොග් ගඩොල් කියවලාම පුරුපුරුලගෙ හොස්ටල් එක ගැන
ගොඩක් දේවල් දන්නවා නොවැ! ඉතිං අද අපි කියන්න යන්නේ පුරුපුරුට හොස්ටල්
එකෙන් එළියෙදි සිද්ද වෙච්ච වැඩක් ගැන.
අපේ පූසා හොස්ටල්
එකේ නැවතිලා හිටියට මොකද, ගොඩක් සබ්ජෙක්ට්ස් වලට පන්ති ගියෙ ගම්පහ. ඉතිං
මෑන්ස් වීක් එන්ඩ් එකේ ක්ලාස් යන්න ඕනෙ නිසා හැමදාම සිකුරාදාට ගෙදර යන එක
පුරුද්දක් කරගෙනයි හිටියෙ. පුරුපුරු ගොඩක් වෙලාවට කළේ ඉස්කෝලෙ ඉවර වෙච්ච
ගමන් එහෙමම බස් එකේ හරි පරණ ස්කූල් වෑන් එකේ හරි ගෙදර ගිය එක. එහෙම යනකොට
ඉතිං මෑන්ස්ට සතියක් තිස්සෙ ඇඳපු සුවඳ හමන ඇඳුම් ටික ලොකු ට්රැවලින් බෑග්
එකක දාගෙන අරන් යන්නත් වුණාලු.
කොහොමහරි සිකුරාදාට නිවාඩු
දැම්ම දවස්වලටනං පුරුපුරුට ටිකක් හැඩ වැඩ වෙලා, කලර්ඩ් කිට් එකක් එහෙම
ඇඳගෙන ගෙදර යන්න චාන්ස් එක තිබුනා. ඉතිං මෑන්ස් කළේ පුලුවන් හැම වෙලාවෙම
සිකුරාදාට පුංචි පහේ නිවාඩුවක් දාන එක. මේ සිද්දිය වුණෙත් අන්න ඒ වගේ
සිකුරාදා දවසකලු.
ඉතිං මේ කියන දවසෙ උදේ ඉස්කෝලෙ කට් කරපු
අපේ පූසා හොස්ටල් රූම් එකට වෙලා, තමන්ට මගඇරුණු බයෝ පාඩම් ටිකක් පාඩම්
කරන්න ගත්තලු. ඒ ලෙවල් වලට බයෝ කරපු අපේ යාලුවො දන්නවා ඇතිනෙ ග්රීන්
මහත්තයාගෙ රතු පොත ගැන. පුරුපුරුටනං මේක කොච්චර කියවන්න හිතාගෙන අතට ගත්තත්
අන්තිමට බැලෙන්නෙ පින්තූර ටික විතරයි. ඊටත් ටික වෙලාවකට පස්සෙ හොඳට නින්ද
යනවා.
ඉතිං මේ දවසෙත් ටිකක් වෙලා ග්රීන් පොත කියවපු අපේ
පූසාට ටික වෙලාවකින් ෆුල් දොයිමතක් ආවලු. ඊට පස්සෙ මෑන්ස්ට මතක ලස්සන හීන
දෙක තුනක් දැකපු එක විතරයි. අන්තිමට හදිස්සියෙ පුරුපුරුට නැගිට්ටෙනකොටත්
දන්නෙම නැතුව මෑන්ස් පැය ගානක් නිදි කුමරියගෙ තුරුලේ සැතපිලා. වෙලාව හරියටම
දවල් එකහමාරයි.
පුරුපුරු හිතාගෙන හිටියෙ දවල් එකහමාරට
ඉස්කෝලෙ ඉවරවෙන බෙල් එක ගහනකොට ඉස්කෝලෙන් යන්න. එතකොට ෆ්රී ඔෆ් චාර්ජ්
ස්කූල් වෑන් එකේ ගෙදර යන්න පුලුවන්. ඒත් ඉතිං දැනටමත් වෙලාව එකහමාරයි. තව
විනාඩි පහෙන් දහයෙන් වෑන් එක යනවා. ඉතිං කලබල වෙච්ච අපේ පූසා කළේ ටක් ටක්
ගාලා අහුවෙච්ච ඇඳුම් දෙකතුනක් ඇදගෙන, ඇඳුම් බෑග් එකත් අරන් හොස්ටල් එකෙන්
එළියට බැස්ස එක. එතකොටම තමයි මෑන්ස්ට මතක් වුණේ තමන් අද උදේට දත් මැද්දෙ නෑ
නේද කියලා. දැන් ඉතිං පොරට නහුතෙට අප්සෙට්. ස්කූල් වෑන් එකේ එවුන්ට මේ බව
දැනුනොත් පට්ට චාටර්.
ඊට පස්සේ "ඔන්න ඔහේ අද වැඩිය කතා
නොකර නිදාගෙන යනවා" කියලා හිතපු පුරුපුරු, අධෛර්යමත් නොවී වීර පුරුෂයෙක්
වගේ ස්කූල් වෑන් එක නවත්තන තැනට ගියාලු. ඒත් තමන් පරක්කු වැඩියි කියලා
මෑන්ස්ට තේරුනේ වෙනදා එතන ඉන්න ඤාව්වයි, අලයයි, පොඩි එවුන් සෙට් එකයි එදා
පේන්න නොහිටිය හින්දා. බැලින්නං ස්කූල් වෑන් එක අපේ පුරුපුරු එන්න කලින්
එතනින් යන්න ගිහින්. දැන් ඉතිං කාට කියන්නද? අන්තිමට අපේ යාලුවාට ඉතුරුවෙලා
තිබුන එකම ඔප්ෂන් එක තමයි බස් එකේ ගෙදර යන එක.
ඉතිං
පුරුපුරුත් බොහොම දුකසේ ග්ලාස් හවුස් එක ගාවට ගියාලු කඩුවෙල බස් එකක්
අල්ලගන්න. එතකොටම තමයි එතෙන්ට කඩුවෙල ඒසී බස් එකක් ආවෙ. පූසො වුණත් ඉතිං
ටිකක් සැපට බස්වල යන්න කැමතියි නොවැ! ඉතිං දෙපාරක් නොහිතපු අපේ පුරුපුරුත්
බස් එකට නැගලා පිටිපස්සෙන් වාඩි වුණාලු. කොන්දා අයියත් දැන්ම ටිකට් දෙන
පාටක් පේන්න නෑ. අන්තිමට මෑන්ස් ටිකට් දෙන්න බස් එකේ පිටිපස්සට එන්න ගත්තෙ
බස් එක බත්තරමුල්ල හරියට යද්දි.
පුරුපුරුත් ඉතිං ටිකට් ගන්න තමන්ගෙ පර්ස් එක එළියට ඇදලා ගත්තලු.
"දෙයියෝ සාක්කි"
බැලින්නං
පුරුපුරුගෙ මුලු පර්ස් එකටම තිබුනෙ රුපියල් විස්සක් විතරයි. ඒක ඒ දවස්වල
ගණන් අනුව වුණත් කඩුවෙලටවත් යන්න බැරි තරම් සොච්චම් මුදලක්. මේ රුපියල්
විස්ස දැක්කට පස්සෙ තමයි මෑන්ස්ට මීටර් වුණේ තමන් කලින් දවසෙ සෙට් එකත්
එක්ක රහීමා එකට ගිහිං හොඳ චිකන් කොත්තුවකට ගේම දුන්නා නේද කියලා. ඊටපස්සෙ
තමයි පර්ස් එකේ තිබුන රුපියල් දෙසීය රුපියල් විස්සක් වුණේ.
දැන්
ඉතිං මොකද කරන්නේ? අපේ පූසාට දැන් මොනවත් හිතාගන්න බෑ. ටිකිරි මොළේට කිසිම
අයිඩියා එකක් එන්නෙත් නෑ. මෑන්ස් කළේ තිබ්බ රුපියල් විස්ස කොන්දයියාට දීලා
බස් එකෙන් බැස්ස එක.
දැන් පුරුපුරු බත්තරමුල්ලෙ ටවුන් එක
මැද්දෙ තනිවෙලා. අතේ සතයක්වත් නෑ. ඒ මදිවට දන්න අඳුරන කවුරුවත් ළඟපාතක
ඇත්තෙත් නෑ කීයක්වත් අතමාරුවට ඉල්ලගන්න. කොටින්ම අපේ පූසා ෆුල් නස්තාර්
සිටුවේෂන් එකක තමයි ඉන්නේ. බත්තරමුල්ලෙ ඉඳන් හොස්ටල් එකට පයින් යන්නත් බෑ. ඒ
මදිවාට පහුවදා කෙමිස්ට්රි ක්ලාස් එකේ විභාගයක් තියෙන්නත් නියමිත වෙලා
තිබුනා. ඒ හින්දා කොහොමහරි ගෙදරම යන්න තමයි අපේ පුරුපුරුට ඕනෙ වුණේ. මේ
ඔක්කොටමත් වඩා මෑන්ස් උදේට දත් මැදලවත් නෙවෙයි හිටියේ. ඉතිං මනුස්සයෙක්
එක්ක කතා කරන්නෙවත් කොහොමද?
මේ අතරෙ තමයි පුරුපුරු දැක්කෙ
ලස්සන අක්කා කෙනෙක් බස් හෝල්ට් එකේ කොනක තනියම ඉන්න දර්ශනේ. වෙනදානං මේ
වගේ දර්ශනයක් දැක්කාම මෑන්ස් ඒ දිහා බලන්නෙ වෙනම දෘෂ්ටි කෝණයකින්. ඒත් එදා
පත්වෙලා හිටපු තත්ත්වෙ උඩ මේ අක්කාව අපේ පූසාට පෙනුනෙ ගෙදර යන්න කීයක් හරි
හොයාගන්න පුලුවන් ආදායම් මාර්ගයක් විදිහටලු. අන්තිමට පුරුපුරු තීරණය කළාලු
ලැජ්ජාව පැත්තකින් තියලා අක්කත් එක්ක පොඩි ටෝකක් දාන්න. හැබැයි ඒ මෑන්ස්
උදේ දත් මැද්ද නැති එක ඒ අක්කාට නොතේරේවා කියන උතුම් ප්රාර්ථනයත් එක්ක.
ඉතිං
ඔය විදිහට ඒ අක්කාගෙන් සල්ලි ඉල්ලන්න හිතාගත්තත් පුරුපුරුට හිතාගන්න
බැරිවුණේ මේ වැඩේට ඇප්රෝච් වෙන ආකාරය ගැන. චිකන් කොත්තු කන්න ගිහින් සල්ලි
ඉවරවුණා කිව්වොත් අපේ පූසාට නතරවෙන්න වෙන්නෙ අක්කාගනේ ගුටිත් කාලයි. ඉතිං
අන්තිමට පුරුපුරු තීරණය කළේ තමන්ගෙ පර්ස් එක නැතිවෙච්ච බවට පොඩි බොරුවක්
කියලා අක්කාගෙන් ගෙදර යන්න සල්ලි ඉල්ලගන්න. ඒ හින්දා මෑන්ස් ඊටපස්සෙ කළේ
තමන්ගෙ සාක්කුවෙ තිබුන පර්ස් එක ට්රැවලින් බෑග් එකේ අඩියටම දාලා හංගලා,
අක්කත් එක්ක කතා කරන්න ගිය එක.
පුරුපුරු :- අ..අක්කෙ මේ...මේ......
අක්කා :- ඇයි මල්ලි?
පුරුපුරු :- මේ..අක්කෙ..මගෙ මේ...පර්ස් එක නැතිවෙලා බස් එකේ එනකොට.
අක්කා :- ආනේ!
පුරුපුරු :- මට දැන් ගෙදර යන්න විදිහක් නෑ අක්කෙ. මට රුපියල් හතලිහක් විතර ගන්න නැද්ද? මේ...රුපියල් විස්සක් විතර වුණත් කමක් නෑ.
අක්කා :- කමක් නෑ මල්ලි, මම රුපියල් හතළිහක්ම දෙන්නං. ඔයා ගිහින් පොලිසියෙ පැමිනිල්ලක් දාන්න පර්ස් එක නැතිවෙලයි කියලා.
ඉතිං
මෙහෙම කියපු අක්කා තමන්ගෙ ළග තිබුන රුපියල් හතළිහක්ම පුරුපුරුගෙ අතට
දුන්නලු. දත් මදින්න බැරිවෙච්ච කේස් එක එච්චරම ප්රශ්නයක් වෙච්ච බව පේන්න
තිබුනෙත් නෑ. අන්තිමට කොහොමහරි ඉතිං අපේ පූසත් අක්කාට පින් සිද්ද වෙන්න
තමන් වැටිලා හිටපු ආර්ථික අර්බුධයෙන් ගොඩ ආවලු. ඇති යන්තං මේක මෙතනිං ඉවර
වුණේ. හොඳ වෙලාවට බත්තරමුල්ලෙ කවුරුත් අපේ පූසාව දන්නෙත් නෑ. පූස්ගම
කවුරුත් ළඟපාත හිටියෙත් නෑ. මෙහෙම හිතලා සැනසුන පුරුපුරු අක්කාට නොසෑහෙන්න
ස්තුති කරලා, ඊළග කඩුවෙල බස් එකට නැග්ගලු ගෙදර යන්න.
බස්
එක කඩුවෙලට ළගාවුණේ තවත් පැය බාගෙකට විතර පස්සෙ. මේ වෙද්දිත් ටිකක් පරක්කු
වෙලා තිබුන නිසා, ඉක්මනට ගිහිං අනිත් බස් එක අල්ලගන්න බලාගෙන අපේ පූසා
කඩුවෙල බස් එකෙන් බැස්සලු. එතකොටම තමයි මෑන්ස් හුරුපුරුදු මූණක් එහා දොරෙන්
බස් එකෙන් බහිනවා දැක්කෙ. හොදට රබර් ඇහැ දාලා බැලින්නං ඒ තමයි පුරුපුරුට
රුපියල් හතළිහක් පූජා කරපු අක්කා. බැලින්නං අපේ පූසා ඉස්සරහ දොරෙන් බස් එකට
නගිද්දි ඒ අක්කා පිටිපස්ස දොරෙන් ඒ බස් එකටම නැගලා.
මොනවා
වුණත් කවදාවත් හිඟාකාලා නැති එකේ පුරුපුරුට තමන් කරපු වැඩේ ගැන අම්බානට
අප්සෙට්. ඉතිං මෑන්ස් ට්රයි කළේ අර අක්කාට නොපෙනෙන්න එතනින් ඌර්ධවපාතනය
වෙලා යන්න. ඒත් කොහෙද? පුරුපුරු අනිත් පැත්ත හැරෙද්දිම අර අක්කා ඇවිත්
මෑන්ස්ට ටෝක් කළාලු.
අක්කා :- ආ මල්ලි!
පුරුපුරු :- ආ...අක්කා. ඔයත් මේ බස් එකේද ආවෙ? බලන්නකො මම ඔයාව දැක්කෙත් නෑනෙ. මම එහෙනං යන්නං අක්කෙ. තෑන්ක්ස් අ ලොට්!
අක්කා :- අයියෝ ඕක මොකද්ද මල්ලි.
පුරුපුරු
කළේ පොඩි ආඳා පාර්ට් එකක් දාලා එතනින් ලිස්සලා ගිහින් ගම්පහ-කඩුවෙල බස්
එකක නැග්ග එක. ඊටපස්සෙ මෑන්ස් ප්රාර්ථනා කළාලු අර අක්කා මේ බස් එකටනං
නගින්න එපා කියලා. ඒත් එදා දවස පුරාම අපේ පුරුපුරුට කිසිම ලක් එකක් තිබුනෙ
නෑ. විනාඩි දෙකක් යන්න කලින් අක්කත් ඇවිත් ඒ බස් එකටම නැග්ගලු. දැන්නං අපේ
පූසාට සෑහෙන්න අප්සෙට්. හැබැයි ඉතිං මේ පාරනං අක්කා පුරුපුරු බස් එක ඇතුලෙ
ඉන්නවා දැක්කෙ නෑලු.
පුරුපුරුගෙ ගමන් මාර්ගය වුණේ
ගම්පහ-කඩුවෙල පාරෙ අතරමග හන්දියකින් බැහැලා, ඊටපස්සෙ ගම්පහ-පූස්ගම බස් එකක
නැගලා පූස්ගමට යන එක. ඉතිං දැන් අපේ පූසා දෙයියන්ට කන්නලව් කර කර ඉන්නෙ අර
අක්කත් එතනින්ම බැහින්නෙ නැතුව දිගටම ගම්පහටම යන්න කියලා. ඒත් ඉතිං
සුපුරුදු විදිහට මෑන්ස්ගෙ බෑඩ් ලක් එක හින්දා පුරුපුරු බස් එකෙන් බැස්ස
හන්දියෙන්ම අක්කත් බැස්සලු.
දැන්නං අපේ පූසාට ෆුල්
අබ්ලික් වෙලයි ඉන්නේ. බැරිවෙලා හරි මේ අක්කා පූස්ගමනං එහෙම පුරුපුරුට
කලිසමක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතිං
පුරුපුරු කළේ අක්කාට නොපෙනෙන්න ශේප් එකේ පොඩි ෆලෝ පාරක් දීලා බලපු එක.
බැලින්නං අපේ පූසා හිතපු දේ හරියටම හරි. අක්කා කෙලින්ම ගිහින් නැවතුනේ
ගම්පහ-පූස්ගම බස් නවත්තන හෝල්ට් එකේ. දැන් ඉතිං මෑන්ස්ට ෂුවර් මේ අක්කා
පූස්ගම පැත්තෙ කෙනෙක් බව.
පුරුපුරුටත් දැන් මේ බස් එකේ
නගින්න මේ හෝල්ට් එකට යන්න ඕනෙලු. ඒත් අක්කාට පේන නිසා එතනට යන්න විදිහක්
නෑ. මෑන්ස්ගෙ කරුමෙට මෙච්චර කෙල්ලො හිටපු බත්තරමුල්ලෙදි සල්ලි ඉල්ලගන්න
සෙට් වුණේ පූස්ගම කෙල්ලෙක්ම නොවැ! කොහොමහරි ඉතිං පූසා කළේ පූස්ගම බස් දෙකක්
විතර එතනින් යනකං ඒ කිට්ටුව තිබුන කඩේකට වෙලා හෝල්ට් එකට නොපෙනෙන්න හිටපු
එක.
ටික වෙලාවකින් පුරුපුරු පොඩ්ඩක් ඔලුව දාලා බැලින්නං
අර අක්කා හෝල්ට් එකේ පේන්න හිටියෙ නෑලු. ඇති යන්තං එයා කලින් බස් එකේ
ගිහින්. ඉතිං අපේ පුරුපුරුගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවෙ තමයි. මෑන්ස් කළේ
කෙලින්ම කුරුල්ලා වගේ බස් හෝල්ට් එකට ගිහින් ඊළඟ පූස්ගම බස් එකට නැග්ග එක.
ඇත්තටම එදා උදේ ඉඳලා පුරුපුරුට තිබුන බෑඩ් ලක් එක මේ වෙද්දි නැතිවෙලා
ගිහින් තිබුනලු. එයාට ඒක තේරුණේ සාඩින් පැක් කරලා වගේ තිබුන බස් එකට නැගලා
වැඩි දුරක් යන්න කලින්ම වාඩිවෙන්න සීට් එකක් ලැබුන හින්දා. කොහොමහරි තවත්
පැය බාගෙකින් පස්සෙ පුරුපුරු හිටපු බස් එක පූස්ගම බස්ටෑන්ඩ් එකට ඇවිත්
නැවැත්තුවලු.
ඊටපස්සෙ පුරුපුරු කළේ බස් එකෙන් බැහැලා ගෙදර
යන්න පිටත් වෙච්ච එක. ඒත් අපේ අසරණ පූසාට වැඩි දුරක් යන්න හම්බවුණේ නෑලු.
එකපාරටම බස්ටෑන්ඩ් එකෙන් ඇහුනෙ මෙන්න මේ වගේ ගෑනු කටහඬක්.
"මල්ලි...මල්ලි...."
කටහඬ
ඇහෙද්දිම අපේ මෑන්ස්ට තේරුණාලු බඩු බනිස් තමයි කියලා. ඒත් ඉතිං මොනවා
කරන්නද? මෑන්ස්ට තිබුනු එකම ඔප්ෂන් එක වුණේ ආපහු හැරිලා අමාරුවෙන් මවාගත්තු
හිනා මූනකින් ඒ කටහඬට උත්තර දෙන එක.
අක්කා :- මල්ලි, ඔයා පූස්ගමද? කලින් කියන්න එපැයි.
බැලින්නං කලින් බස් එකේ ආපු අක්කා ඒ වෙනකොටත් පූස්ගම බස්ටෑන්ඩ් එකේ ඉඳලා.
පුරුපුරු :- (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) ආ...ඔව් අක්කා. මමත් දැනගෙන හිටියෙ නෑනෙ අක්කා පූස්ගම කියලා.
අක්කා :- අයියෝ ලැජ්ජ වෙන්න එපා මල්ලි. පර්ස් එක නැතිවෙන එක සාමාන්ය දෙයක්නෙ.
"ඒ
වුණාට හිඟාකන්න වෙච්ච එක අසාමාන්ය දෙයක්නෙ අක්කෙ" කියලා කටින් පිටවෙන්න
හැදුවත්, පුරුපුරු ඒ වචන කටින් පිටකළේ නෑ. හැබැයි ඒ දත් මැදලා නොහිටිය
හින්දාටත් වඩා අපේ පූසා පත්වෙලා හිටපු අපහසුතාවය හින්දා. මෑන්ස් ඊටපස්සෙ
කළේ අක්කාට ආපහු පාරක් ස්තුති කරලා, පුලුවන් තරම් පූස් ධෛර්ය අරගෙන
ඉක්මනින් ගෙදරට වාෂ්ප වෙච්ච එක.
කොහොමහරි එදා ඉඳන් සති
ගානක් යනකං අපේ පූසා පූස්ගම බස්ටෑන්ඩ් එකේදි ඒකාකාරී ත්වරණයකට ලක්වෙන
දර්ශනේ උපාසකටයි, මාලුකට්ටාටයි, ඤාව්වාටයි දකින්න පුලුවන් වුණාලු. ඒ වගේම
එදායින් පස්සෙ අද වෙනකං අපේ පුරුපුරු ගමනක් යන්න කලින්, සල්ලි කොච්චර
තියනවාද කියලා පර්ස් එක චෙක් කරලා බලන්න අමතක කරන්නෙ නෑලු.