අඹ යාලුවෝ

Tuesday, December 27, 2011

මාලුකට්ටා සහ චාටර්මාලි


මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. 

මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් දන්න කාරනයක් නොවැ! ඔය ක්ලාස් යන අතරෙ තමයි අපේ මාලුකට්ටාටයි, ඤාව්වාටයි ලස්සන පැංචාවියක් මීටර් වුණේ. ඒ ගැන අපි වෙනම පෝස්ට් එකකුත් ලිව්වනේ. එහෙනං ඒක කලින් කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

කොහොමහරි ඉතිං බඹරෙ කැරකෙන්නෙ මාලුකට්ටාගෙ පැත්තට කියලා තේරුම් ගත්තාට පස්සෙ ඤාව්වා කළේ ශේප් එකේ වැඩේ අතඇරලා දාපු එක. ඉතිං තමන්ට තිබුන තර‍ඟෙ නැතිවුණ නිසා මාලුකට්ටාටත් පුලුවන් වුණාලු නිවි හැනහිල්ලේ ගේම් එක ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම කියනවානං මෑන්ස්ට චාටර්මාලිට ඇප්‍රෝච් කරන එක එච්චරම අමාරු වැඩක් වුණේ නෑ. මොකද චාටර්මාලි ඉස්කෝලෙ ගියේ හේනවිලේජ් සෙන්ට්‍රල් කොලීජියට. ඒ කියන්නෙ අපේ කලුකුමාරි ගිය ඉස්කෝලෙටමයි. ඒ වගේම මේ දෙන්නා ෆුල් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතිං පූස් සෙට් එකේ යෙහෙළියක් වුණ කලුකුමාරිගෙන් මාලුකට්ටාට උපරිම සහයෝගය ලැබුනලු චාටර්මාලිව යාලු කරගන්න.

හැබැයි හොඳම යෙහෙළියෝ වුණාට මොකද, කලුකුමාරියි චාටර්මාලියි ගතිගුණ අතින්නං සෑහෙන්න වෙනස්. කලුකුමාරි කියන්නේ නිතරම ෆන් එකේ ඉන්න, කොල්ලො එක්ක පවා හොඳට වෙනසක් නැතිව කතාකරන ටයිප් එකේ කෙල්ලෙක්. ඒත් චාටර්මාලි කියන්නේ බොහොම නිවිච්ච, තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න, ඒ වගේම කොල්ලො එක්ක වැඩි භජනෙට යන්නෙ නැති චරිතයක්. ඇත්තටම අපේ මාලුකට්ටාට චාටර්මාලිව හිතට අල්ලලා තියෙන්නෙත් මේ චරිත ලක්ෂණ හින්දාමයි.

කොහොම වුණත් මාලුකට්ටාගේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරන්න මේ දවස්වල පුරුපුරුට එච්චරම පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ වෙද්දි තමයි පුරුපුරු විදූශාගෙන් මහා පරිමාණ බූට් එකක් කාලා ජීවිතේ විඳවමින් හිටියේ. ඉතිං පුරුපුරු පැත්තකට වෙලා ගෑනු ජාතියට වෛර කර කර ඉන්නකොට උපාසකයි, ඤාව්වායි තමයි මාලුකට්ටා වෙනුවෙන් ඔය කටු කන වැඩ, ඔත්තුසේවා වැඩ වලට බැහැලා හිටියේ. කොහොමහරි පූස් සෙට් එකෙයි, කලුකුමාරිගෙයි අප්‍රතිහත ධෛර්යය නිසා අන්තිමට මාලුකට්ටාට පුලුවන් වුණාලු චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වෙන්න.

අපේ මාලුකට්ටාගෙ ඇ‍ඟේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්න පුලුවන් චරිත දෙකක් ජීවත් වෙනවා. එක චරිතයක් තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය මාලුකට්ටා. අනිත් චරිතය තමයි ගෑනු ළමයෙක් එක්ක යාලු වුණ/ යාලුවෙන්න කිට්ටු මාලුකට්ටා. ඉතිං චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වුණාට පස්සෙ මෑන්ස්ගෙ පළවෙනි චරිතය යට ගිහින් දෙවෙනි චරිතය ඉස්මතු වෙලා ආවලු. මේ කැරැට්ටුව මතුවුණාට පස්සේ මාලුකට්ටාගේ ලෝකයේ ඉන්නේ අදාල ස්ත්‍රී රත්නය විතරයි. එතකොට මෑන්ස්ට තමන්ගෙ ගෙදර, යාලුවෝ, කෑවද, බිව්වද, නෑවද, ඉගෙන ගන්නවද මේ මොනවත් මතක නෑ. ඉතිං මේ කාරනේ හින්දා අනිත් පූසන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ මේ දවස්වල මාලුකට්ටාව අල්ලගන්න.

කොහොමහරි වටින් ගොඩින් ආරංචි වෙච්ච කාරනා සහ මාලුකට්ටා හදිස්සියෙ මුණගැහුනාම කිව්ව දේවල් අනුව, දෙන්නා හොඳ යාලුවෝ වෙලා මාස දෙක තුනක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ආදරවන්තයෝ වෙලා තිබුනේ නෑ. මොකද චාටර්මාලි මේ වෙද්දි ඉඳලා තියෙන්නෙ තමන්ට කලින් හිටපු, එහෙම ඉඳලා තමන්ට බූට් එක තියපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන හිත හිතා. ඉතිං මාලු තමන්ගෙන් යාලුවෙන්න ඇහුවත් චාටර්මාලි මෑන්ස්ට කියලා තියෙන්නේ යාලුවෝ හැටියට ඉමුයි කියලා.

මේ වෙද්දි මාලුකට්ටා තමන්ගේ සියලුම ආදර ප්‍රශ්න ගිහින් කිව්වේ පූසන්ට නෙවෙයි කලුකුමාරිට. කලුකුමාරිත් ඉතිං තමන්ට හැකි විදිහට මාලුකට්ටාට චාටර්මාලිව දාගැනීම පිළිබඳව උපදෙස් ලබා දුන්නලු. මෑන්ස් ඉඳලා හිටලා හරි පූසෙක්ට චාටර්මාලි ගැන මොනවාහරි කිව්වානං ඒ උපාසකට විතරයි. ඒකත් පුරුපුරුට ඒ සම්බන්දයෙන් කියන්න එපා කියන කොන්ඩිෂන් එක මත.

“ඌ මොනවද බං සැබෑ ආදරය ගැන දන්නේ? මේවා කියන්න ඕනෙ එහෙම දන්න එවුන්ට විතරයි“

මාලුකට්ටා උපාසකට කීපවාරයක්ම මෙහෙම කිව්වලු. එක අතකට ඉතිං ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මොකද මේ වෙද්දි පුරුපුරුගේ දෙවන නියමය වුණේ “කිසිම කෙල්ලෙක් සීරියස් නොකළ යුතුයි“ කියන එක. (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය). 

කොහොමහරි ඉතිං මේ විදිහට කාලය ගෙවිලා ගියාලු. මාලුකට්ටාත් කාලයත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ආපහු පූසන්ව ආස්සරේ කරන්න පටන් ගත්තලු. මේ වෙද්දිනං මාලුකට්ටයි චාටර්මාලියි අතර තිබුන සම්බන්දෙ යාලු නොවීමයි, යාලුවීමයි අතරේ ඉන්ටර්ෆේස් එකේ තිබුනේ. ඔය අතරේ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි, කලුකුමාරියි, පුරුපුරුයි දියාරු ලෝකෙට ගියේ. දියාරු ලෝකෙ ගැන කියවපු නැති කට්ටිය එහෙනං මෙතනිං ගිහින් කියවලා එන්නකෝ.


ඉතිං ඔය සිද්දියෙන් ටික දවසකට පස්සේ චාටර්මාලි මාලුකට්ටාට බහ දීලා තිබුනා. ඉරිදා තිබුන කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි තමයි වැඩේ සිද්දවෙලා තිබුනේ. මේ ගැන පුරුපුරු ඇතුලු පූසො දැනගත්තේ පහුවදා උදේ. පහුවදා උදේ පාන්දරම මාලුකට්ටා ඉස්කෝලෙ ආවේ විකට් එකක් අරගෙන පිඹගෙන එන බ්‍රෙට් ලී ගොයියා වගේ උද්‍යෝගයෙන්. ඈත එන මාලුකට්ටාව දැක්ක මොහොතෙම පුරුපුරුට තේරුනාලු මෑන්ස්ගෙ වැඩේ හරි තමයි කියලා.

මාකට් :- පුරු, චාටර්මාලි මට කැමතියි කිව්වා මචං

පුරුපුරු :- ෂාහ්...එළමකිරි මචෝ. ඔන්න මයි හාර්ටියස්ට් කොන්ග්‍රැජුලේෂන්ස්. (මාලුකට්ටා වැළඳ ගනිමින්) ඔන්න අපිට පාටියක් ඕනේ හෙටම

මාකට් :- හික් හික්!! දෙන්නං දෙන්නං බං.

මාලුකට්ටා මෙහෙම කිව්වත් කාලයත් එක්ක සිද්ද වුණේ මෑන්ස් ආපහු අනිත් පූසන්ගෙන් ඈත්වෙච්ච එක. ඉස්කෝලෙ පන්තියේදි වුණත් මාලුකට්ටා වාඩි වුණේ පුරුපුරුයි මී කතුරායි එක්ක නෙවෙයි, වෙන පේළියක. ඉතිං මෑන්ස්ගෙ වෙනස්වීම ගැන අනිත් පූසො හතරදෙනාම ගොඩක් දුකින් හිටියේ. ඒත් එන්න එන්නම සිද්දවුණේ මාලුකට්ටා වෙනස්වුණ එක විතරයි. මේ වෙද්දි තත්ත්වය කොච්චර උග්‍ර වෙලා තිබුනාද කිව්වොත් තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයේම, චාටර්මාලිව හඳුන්වන්න මාලුකට්ටා පාවිච්චි කරපු “Dark Angle“ කියන නම කොටන්නත් මෑන්ස් පුරුදු වෙලා හිටියා (Angel කියන වචනෙ මාලුකට්ටා ලිව්වේ Angle කියලා).

කොටින්ම තමන්ගෙ බාහුවේ, පොත්වල හැම පිටුවක් ගානෙම, ෂර්ට් කොලර් එකේ, ලේන්සුවේ වගේම ඇඟේ එක එක තැන්වලත් Dark Angle කියලා ලියන්න මාලුකට්ටා පසුබට වුණේ නෑ. ඒ දවස්වල ක්ලාස් එකේ කොල්ලො කතා වෙවී හිටියේ මෑන්ස්ගෙ ජොකාගෙත් Dark Angle කියලා ලියලා තියෙනවාද දන්නෙ නෑ කියලා. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් විශේෂ දෙයක් වුණේ.

සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස එක එක ක්ලාස් වලට ගිහින් එන අපේ යාලුවො කට්ටිය අන්තිමට ගම්පහ බස්ටෑන්ඩ් එකට සෙට් වෙලා එකට තමයි ගෙදර යන්නේ. ඉතිං මේ වෙලාවට පුරුපුරු, ඤාව්වා, උපාසක, ඉස්සා, මැක්නාත්, සව්සිරි වගේ අපේ යාලුවෝ ගම්පහට සෙට් වෙනවා. ඉතිං මේ කියන දවසෙත් අපේ යාලුවො කට්ටිය ගෙදර යන්න කියලා පූස්ගම බස් එකට නැග්ගලු. පිටිපස්සෙම සීට් එකේ තමයි පූසෝ සුපුරුදු පරිදි වාඩි වුණේ. මොකද පස්සෙ සීට් එකේ ඉන්නකොට කට්ටියත් එක්ක හොඳට කෑ ගගහා යන්න පුලුවන්. පිටිපස්සෙ සීට් එකට කලින් එකේ වාඩිවුණේ සව්සිරි. මේ අතරේ තමයි වෙනදාට පරක්කු වෙලා ගෙදර යන මාලුකට්ටායි චාටර්මාලියිත් බස් එකට නැග්ගේ.

පූසන්ව දැකලා “හලෝ මචං“ කියලා කියපු මාලුකට්ටා සව්සිරි හිටපු සීට් එකට ඉස්සරහ එකේ චාටර්මාලිත් එක්ක වාඩිවුණාලු. මේ අතරේ තමයි චාටර්මාලිගෙ ගෙවල් ගාව පදිංචි වෙලා හිටපු සව්සිරි අලුගුත්තේරු වැඩක් කරලා තියෙන්නේ. මෑන්ස් කරලා තියෙන්නෙ සීට් එකේ පැත්තක තිබුන චාටර්මාලිගෙ බෑග් එක  ශේප් එකේ හොරකම් කරපු එක. ඊටපස්සේ මෑන්ස් කළේ බෑග් එක අපේ කපල් එකට නොපෙනෙන්න පිටිපස්සෙම සීට් එකේ හිටපු පුරුපුරුගෙ ඔඩොක්කුවට දාපු එක. ඒත් මේ වෙලාවේ පූසොත් එක්ක උපරිම පිස්සු කෙළිමින් වෙන සිහියක හිටපු පුරුපුරුට මේ සිද්දිය ගනන් ගතයුතු මට්ටමේ දෙයක් කියලා මීටර් වුණේ නෑ.

කොහොමහරි ඉතිං පෙම් ලෝකෙ අතරමං වෙලා හිටපු කපල් එකටත් බෑග් එක නැතිවෙච්ච බව දැනුනෙ ටිකක් වෙලා ගියාට පස්සේ. ඉතිං කලබල වෙච්ච චාටර්මාලි කළේ මූණ ඇඹුල් කරගෙන බෑග් එක හොයන්න පටන් ගත්ත එක. මේ වෙද්දි බස් එක අද්දන්නත් ළඟයි. ඉතිං මාලුකට්ටාත් බොහොම කලබලෙන් හැමතැනම බෑග් එක හොයන්න පටන් ගත්තලු. මේ වෙද්දිත් අපේ පූසන්ට මේ කිසි දෙයක් මීටර් වෙලා තිබුන් නෑ. ඔය වෙලාවෙ තමයි මාලුකට්ටා අන්තිම සීට් එක ගාවට ආවේ. ඉතිං තමන්ගෙ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්ගෙ බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවේ තියෙනවා දැකපු මාලුකට්ටාට මාරයා ආවේශ වුණාලු.

මාලුකට්ටා :- පුරුපුරු!!! තමුසෙට පිස්සුද චාටර්මාලිගෙ බෑග් එක ඉස්සුවේ?

මාලුකට්ටා කරපු ගෝරනාඩුවෙන් තමයි මෙච්චරවෙලා කෑ ගගහා හිටපු පුරුපුරු ඇතුලු පූසො කට්ටිය පියවි සිහියට ආවේ. එතකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තමන්ගෙ ඔඩොක්කුවේ ගෑනු ළමයෙකුගේ බෑග් එකක් තියෙන බව. ඒත් මෑන්ස්ට හිතාගන්න බෑ ඒක ඔඩොක්කුවට ආවේ කොහොමද කියලා. කොහොමහරි මේ වෙද්දි බස් එකේ මිනිස්සුත් බලන්න පටන් අරගෙන මොකද්ද මේ සීන් එක කියලා. පුරුපුරුට ලැජ්ජයි. ඒ වගේ අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. වෙන තැනකදිනං මාලුකට්ටාට ගහන්න හරි තිබුනා. ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සරහා කොල්ලෙක්ට ගහන එකත් සදාචාර සම්පන්න නෑ නොවැ!

පුරුපුරු මෙහෙම කල්පනා කරද්දි උපාසක තමයි බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවෙන් අරගෙන ආපහු මාලුකට්ටාට දුන්නේ. සව්සිරිත් මේ අතරේ බයවෙලා. මෑන්ස් හිතන්න නැතුව ඇති විහිලුව මේ තරම් දුරදිග යයි කියලා. කොහොමහරි තවත් හිටියොත් පුරුපුරුත් මාලුකට්ටාත් අතරේ බස් එක මැද්දේ වලියක් යන බව තේරුම් ගත්තු අනිත් යාලුවෝ පුරුපුරුවත් අරගෙන බස් එකෙන් බැස්සලු. එදා තමයි පූසො සෙට් එකේ මිත්‍රත්වය කියන පදනමේ පලුද්දක් ඇතිවුණේ. ඉතිං ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

ප.ලි :- මාලුකට්ටා වෙත,

උඹ මේක කියවනකොට බ්‍රෙට් ලී කියන්නෙ කවුද කියලා දන්නෙ නැත්තං මෙතනින් ගිහින් බලපන් :-).

34 comments:

  1. ආයෙමත් ඇඟ සීතල වෙන ත්‍රාසජනක ජවනිකා රැගත් ලව් ස්ටෝටියක් පටංගන්න වගේ! :)

    ප.ලි කෑල්ල කියෙව්වාම මට හිතුනේ මාළු කට්ටා කියන්නේ ක්‍රිකට් ගැන සෑහෙන්න දැනුමක් තියෙන පුද්ගලයෙක් කියලයි ;) :D

    ReplyDelete
  2. පූසා - ආයෙත් අහලා. හැබැයි මේක එච්චර දිග සටෝරියක් නෙවෙයි බං.

    හික් හික්!! අරවින්දව දන්නෙ නැති, සංගක්කාර දැනගත්තත් අදුරන්න බැරි මනුස්පයා බ්‍රෙට් ලී ගැන දැනගන්න විදිහක් නෑ නොවැ බං

    ReplyDelete
  3. තවත් ප්‍රේම කතාව පටන් අරන් තියෙන්නේ...

    ReplyDelete
  4. අඩේ හරි අපරාදයක්නෙ! කෙල්ලෙක් හින්ද කොල්ලො තරහ වෙලා :(

    ReplyDelete
  5. ආ.... මතක් වෙලා මේ පැත්ත....

    මම මේ අහන්න ඉදියෙ... ඇයි ඒ මාලි චාටර් ??

    ReplyDelete
  6. චිත්‍රපටියක් බලාගෙන ඇවිත් හොඳම හරියෙදි කරන්ට් එක ගියා වගේ ඉතුරු ටිකත් ඉක්මනට දැම්මා නං... කාලෙකට පස්සෙ මේ ලව් හුටපටයක් කියවන්න ගත්තෙ

    ReplyDelete
  7. හපොයි පූසන්ගේ ආදර ලෝකේ...:D

    ReplyDelete
  8. අම්මප කිවුවත් වගේ බොලා හැමෝගෙම ලවු ස්ටෝරිනං උපරිමයි.. ෆයිට්ද සිංදුද අරවද මේවද වැඩ කෝටියයි..

    // (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය) //

    හික්ස්, හැබෑටම මෙහෙම වලිත් ඒ කාලෙ තිබ්බ නෙවැ..

    // අරවින්දව දන්නෙ නැති, සංගක්කාර දැනගත්තත් අදුරන්න බැරි මනුස්පයා බ්‍රෙට් ලී ගැන දැනගන්න විදිහක් නෑ නොවැ බං //

    ඔය කියන විදියට නං මාකට් එළ බුවෙක් වෙන්නැති.. මම ඔය ඇහුවමයි ඒ වගේ පොරක් ගැන..

    ReplyDelete
  9. කොල්ලෝ සීයකට වුණත් එලට ඉන්න පුලුවන් ඒත් එතනට කෙල්ලක් ආවාම එහෙම ඉන්න බෑ කියනවා නෙව .

    වලියක් කොයිද එතන ස්ත්‍රී රතනයක් ඇති

    ReplyDelete
  10. සඳරු කිව්වත් වගේ වලියක් නම් කොහේ හරි කොනක ජංගියක් ඇති!

    ReplyDelete
  11. චැහ්... මාළු කට්ටා චාටර් ආ..... මාළු කට්ටත් එහෙනම් MKR

    ReplyDelete
  12. මුන්ගෙ ලව් ස්ටෝරිනං හින්දි ෆිල්ම් වගේම තමයි. අග විතරයි වෙනස්! (ගොඩක් ඒවගෙ හැපි එන්ඩ් නෑනෙ.)


    බුරා,

    අර ඓතිහාසික රගර් මැච් එක මතකයිද? හොකී පොළු වලින් කාල ආවෙ!

    ReplyDelete
  13. නිසූපා
    තනි අලියා
    පොඩ්ඩි
    සබිත්
    සඳරු

    බොහොම ස්තුතියි යාලුවනේ. ඔය කාලෙටනං ඉතිං වලියක් වුණොත් අනිවා එතන ඉස්තිරික්කයක් තියෙනවාමයි

    බුරා - මමත් ඔය එහෙම එකෙක් දැක්කමයි බං. ආපහු ජිවිත කාලෙටම ඒ වගේ ඩයල් එකක් හම්බ වෙන එකකුත් නෑ

    බුවා - අනිවා ලඟදීම දානවා මචෝ ඉතුරු ටික

    පොඩි මෑන් - කොහෙද ඉතිං උඹලාව දාලා යන්න හිතෙන්නේ නෑනෙ බං. ඉතිං අනිත් වැඩ පාඩු කරගෙන හරි ලියනවා. හික්ස්

    ReplyDelete
  14. අභීත - ඒ මොකද්ද අයියේ ඒ නමේ තේරුම? වැඩිය මොනවත් කියන්න එපා ඉතිං මෑන්සුත් මේක කියවනවා. :)

    ඉන්දික - ඒක තමයි සහෝ ඒවා බ්ලොග්ගත කරන්න හිතුවේ. ඔය කියන්නේ අපි ඉපදෙන්න කලියෙන් ඈත අතීතයේ තිබුන මැච් එකක්ද? හික් හික්

    ReplyDelete
  15. maath බ්‍රෙට් ලී kauda balanna giya! watina lipiyak! :D

    ubala denna kelagaththada? :(

    ReplyDelete
  16. // (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය). //

    මට හිතෙන හැටියට මෙතන ගෑනු ඉස්කෝලෙක නමක් ගෑවිලා තියෙන්න ඕනෙ.

    ReplyDelete
  17. @ඕනයා,

    ඇයි බං, ඔතන අනිවා තියෙන්න ඕන 'රත්තිවල්ලි බාලිකාව' නෙ.. මූට බූට් දුන්න විදූෂා ගියෙ ඒකටනෙ.. :)

    ReplyDelete
  18. කාලෙකින් ආවේ............

    විභාග එහෙම ඉවර කරලානේ ඉන්නේ...... ලියන්ට බැරියැ ගමකට අයියට....... :D

    ReplyDelete
  19. සාය කෑලි නිසා කොල්ලෝ තරහ වෙ එක හොඳ වැඩක් නෙමේ....

    ReplyDelete
  20. අහ්හ්... කතා මාලාව ආයෙත් පටන් අරන් තියෙන්නේ..... නියමයි නියමයි...දිගට ම ලියන්න......... :)))))))

    ReplyDelete
  21. අම්මේ කාලෙකින් ආයෙත් ලව් ස්ටෝරියක්,,,,අර කියන්න බැරි කාරනේ කියන්නම බැරිද බන්

    ReplyDelete
  22. නොදකින් පුරුපුරුවා චාටර් බන්, අපෙත් හිටියා ඒ කාලේ ඔය වගේ ඩයල් 1ක්.
    කෙල්ලො හින්දා එකට හිටි යාලුවො එක්ක ඇරගත්ත එකෙක්. අද ඌට කෙල්ලත් නෑ
    යාලුවොත් නෑ
    -Y-

    ReplyDelete
  23. ඔයින් ගියා මදෑ... මාළු කට්ටගෙන් ගුටි නොකා...

    ReplyDelete
  24. මාත් කල්පනා කලේ බස්එකේදිම අරුන් දෙන්න වලියක් දාගත්තෙ නැත්තෙ ඇයි කියල.

    ReplyDelete
  25. උඹලගේ ලව් ස්ටෝරිනම් එලම කිරි... :))
    ලියපන් ලියපන් ඉක්මනට ඊළඟ කොටසත්.

    ReplyDelete
  26. මේ පූස් සෙට් එකට බාල්දි දාන ඉන්ස්පෙක්ටර් කෙනෙක් එහෙම නැද්ද?

    ගොඩක් එවුන් කෙල්ලො නිසා එකට ඉන්න එවුන් එක්ක කොකු දාගන්නවා. අන්තිමට යාලුවො දෙන්නා නයි වයිරයි. අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සතුටින් ජීවත් වෙනවා.

    ReplyDelete
  27. යකෝ කෙල්ලෝ නිසා යාලුවෝ එකක් තරහ වෙන උන් හිටියේ අපි ස්කෝලේ යන කාලේ විතරයි කියලයි මම හිතුවේ.

    උඹලගේ කාලෙත් එහෙම උන් හිටියා කියන්නේ එහෙනම් දැනුත් ඇති නේද බන් . .

    උන්ගේ බ්‍රේන් වොශ් කරන්න ඇහැක් වෙයි මේ වගේ ලිපි වලින්.

    බොලාගේ ලව් ඉස්ටෝරීස් ටික පිලිවෙලින් බලන්න මාසයක් විතර නිවාඩු දාන්න වෙයි බන් . . .

    කලින් ඒවා නම් එක දිගට කියෙව්වා . . ලඟදි ඒවා කියවන්න ඇහැක් උනේ නෑ . .

    ReplyDelete
  28. ණයට දිමේන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ වගේ තමා...කෙල්ලේක් හරස් උනොත් යාලු මිත්‍ර කම් වලටද කෙලවේ.....

    ReplyDelete
  29. ආ මරු, උඹලා ඉස්කෝලෙ යන කාලේ කරෙ අලවු කරන එක විතරමද බන්, මරු මරු එකේන් මේකෙන් අපිට හොද කතා ටිකක් කියවන්න ලැබෙනවනේ...

    ReplyDelete
  30. මරු මරු !!! ආයෙමත් පරණ ට්‍රැක් එකට ඇවිත්. ආදර කතාවක් කියවන්න පුලුවන්.

    අර හේනවිලේජ් සෙන්ට්‍රල් එක කියන්නේ මලල ක්‍රීඩාවට එහෙම ප්‍රසිද්ධ ඉස්කෝලේ නේ.අපේ එකෙනුත් ඔය ඉස්කෝලෙට කට්ටියක් ගියා ක්‍රීඩා වලටම.

    ReplyDelete
  31. Wish You A Very Happy New Year filled with lots of love and joy ...

    ReplyDelete
  32. ග්ලිමර්
    මධුරංග
    අමිල
    රාජ්
    දුකා
    සමනල් පැටියා
    රාජ්
    ජිව්
    ලොකු පුතා
    ඇනෝ
    ඩිලාන්
    මහී
    ගෝල්ඩ් ෆිෂ්
    හා පැටික්කි
    ඕනයා
    මාධව

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් දැක්වුවාට. හැමෝටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  33. අපෙත් ඉස්කෝලෙ එකෙක් උගේ කෙල්ලට බර්ත් ඩේ කාඩ් එකේ ඒන්ජල් වෙනුවට ඈන්ගල් කියල ලියල, ඒක වෙන එවුන් දැකල ඌට කාඩ් එකක් රෙජිස්ටර් උනා 'ඈන්ගල්' කියල.

    ප.ලි.
    කලින් එන්න බැරි උනාට සොරි. පූසොන්ට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  34. "අපේ මාලුකට්ටාගෙ ඇ‍ඟේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්න පුලුවන් චරිත දෙකක් ජීවත් වෙනවා. එක චරිතයක් තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය මාලුකට්ටා. අනිත් චරිතය තමයි ගෑනු ළමයෙක් එක්ක යාලු වුණ/ යාලුවෙන්න කිට්ටු මාලුකට්ටා"

    අමූලික ඇත්ත.. :D

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???