අඹ යාලුවෝ

Tuesday, August 10, 2010

සරුංගල් කාලේ - The Kite Season


අපි හිතාගෙන හිටියෙ අපේ මී හරක් කතා සීරීස් එක කොටස් තුනකින් පළ කරන්න.ඒත් පස්සෙ හිතුනා තුන් වෙනියට දාන්න හිටපු කතාව පස්සෙ කාලෙක වෙනම සීරීස් එකක් යටතෙ දැම්මොත් හොදයි කියලා.ඉතිං අපි මී හරක් කතා සීරීස් එක කොටස් දෙකකින් ඉවර කළා.ඒවා බලන්න බැරි වුණ යාලුවන්ට මේ ලින්ක් වලට ගිහින් බලන්න පුලුවන්

මී හරක් කතා - 1
මී හරක් කතා - 2

අද උදේ පොඩි එකෙක් සරුංගලයක් උඩ අරින්න පට්ටම ගේමක් දෙන හැටි බලාගෙන හිටපු පුරුපුරුට තමන්ගෙ අතීතෙත් මතක් වුණා.ඉතිං යාලුවනේ අද අපි කියන්න යන්නෙ සරුංගල් කාලෙ ගැන.


මුලින්ම ඔය සරංගල් කියන ජාතියෙ ඉතිහාසය සහ වැඩිදුර විස්තර දැනගන්න ඕනෙ අයට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්


http://en.wikipedia.org/wiki/Kite


ඉතිං අපි කවුරුත් දන්නවනෙ, සරුංගල් කියපුවාම නොදන්න මනුස්පයෙක් මේ සිරිලංකාවෙ නැතෙයි කියලා.හැබැයි ඉතිං සරුංගල් යැවිල්ල ලංකාවෙ හැම පැත්තෙම කෙරෙන වැඩක් නෙවෙයි කියල තමයි අපිටනං හිතෙන්නෙ.මොකද ඔය මධ්‍යම කදුකරේ වගේ හුළග ගොඩක්ම වැඩි, ඒ වගේම නිතර වහින පැතිවල සරුංගල්යැවීම එච්චර ප්‍රායෝගික වැඩක් නෙවෙයිනෙ නේද?මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනං අපිවත් දැනුවත් කරන්න මේක අවස්ථාවක් කර ගන්නකො.

කොහොම වුණත් පහතරට, සාමාන්‍ය හුළගක් තියෙන පැතිවල සරුංගල් ඇරිල්ල ගජරාමෙට සිද්ද වෙනවා.හැබැයි හැම කාලෙම මේ වැඩේ කරන්නත් බෑ.ඒකට වැඩියෙන් හුළං තියෙන කාලයක් එන්නත් ඕනෙ.ඉතිං අගෝස්තු සහ දෙසැම්බර් කියන හුළං වැඩි මාස වල තමයි කොල්ලො වැඩියෙන් සරුංගල් යවන්නෙ.මේ අගෝස්තු සහ දෙසැම්බර් මාස සරුංගල් කාලෙ කියල හදුන්වන්නෙ ඒකයි.

ඒ වගේම මේ මාස වල ඉස්කෝල නිවාඩු දීමත් ළමයින්ට සරුංගල් යවන්න ඕනෙ කරන නිදහස ලබල දෙනවා.ඒ දවස්වල අගෝස්තු, දෙසැම්බර් මාස කිට්ටු වෙද්දි පුරුපුරුල අතේ ඇගිලි ගැන ගැන ඉන්නෙ ඉස්කෝල නිවාඩු දෙනකං.


ඉතිං සරුංගල් යවන්න කලින් සරුංගලයක් හදාගෙන ඉන්න ඕනෙ නොවැ!මේ සරුංගල් හදන ක්‍රමත් ප්‍රදේශීය වශයෙන් ටික ටික වෙනස් වෙනවා.පූස්ගම පැත්තෙනං මේකට ගොඩක්ම යොදාගන්නෙ පොල් ඉරටුයි, කිතුල් කෝටුයි.සමහර වෙලාවට විතරක් උණ පතුරුත් ගන්නවා.

ගොඩක් පොඩි කාලෙනං පුරුපුරුලා සරුංගල් හැදුවෙ තනිකරම පොල් ඉරටු වලින්.පොල් ඉරටු එකට තියලා නූල් වලින් ඔතලා මහත ඉරටු මිටි හදා ගන්නවා.ඊට පස්සෙ දිග ඉරටු මිටිය හරහට කොට ඉරටු මිටි දෙකක් බැදලා සරුංගලේ හදා ගන්නවා.මේ ක්‍රමේ අවාසි ගොඩයි.පළවෙනි එන තමයි මේ ක්‍රමෙන් හැදෙන පට්ටම ශක්තිමත් නැති නිසා ලොකු සරුංගල් හදන්න බැහැ.ඒ වගේම සරුංගලේ කල් පැවැත්මත් අඩුයි.ඉතිං සරුංගල් ෆීල්ඩ් එකේ ආධුනිකයෙක්ට ප්‍රැක්ටිස් වෙන්නනං මේ ක්‍ර‍මය හොදයි.


පස්සෙ කාලෙක වැඩේ පුරුදු වුණාම පොල් ඉරටු වෙනුවට වෙන වෙන ආදේශක ගන්නවා. පුරුපුරුනං කළේ අර දිග පොල් ඉරටු මිටිය වෙනුවට දිග කිතුල් කෝටුවක් ආදේශ කරපු එක.ඒ ක්‍රමේ ගොඩක් සාර්ථකයි.ලොකු, කල් පවතින සරුංගල් හදන්න පුලුවන්.හැබැයි ඉතිං පොඩි කට්ටක් කන්නත් වෙනවා.


මුලින්ම කිතුල් පැළයක් හොයාගෙන ඇද නැති කිතුල් කෝටුවක් කපාගන්න ඕනෙ.ඊට පස්සෙ ඒකෙ පොත්ත සුද්ද කරලා දවස් දෙක තුනක් වේලන්නත් ඕනෙ.වේලන්නෙ කෝටුවෙ බර අඩු වෙන්න.අනිත් එක අමු කෝටු වලින් සරුංගල් හැදුවම සරුංගලේ වේලෙද්දි පට්ටම ඇද ගහනවා.ඉතිං මෙහෙම වේලපු කිතුල් කෝටුව හරහට පොල් ඉරටු බැදලා සරුංගල් හැදිම තමයි පුරුපුරුගෙ ෆේවරිට් මෙතඩ් එක වුණේ.තනිකරම කිතුල් ඉරටු වලින් සරුංගල් හදපු එක්ස්පර්ට් ඩයලුත් ඔය අතරෙ හිටියා.ඉතිං සරුංගල් කාලෙට කට්ටිය කරන්නෙ කිතුල් කෝටු කපන්න ලදු කැලේට ගිහිං ඒ ගමන්ම දං ගෙඩිත් කඩාගෙන, ටැංකියට දාන්න මාලුත් අල්ලගෙන එන එක.


ඉතිං සරුංගල් පට්ටම හදන එකටත් වෙනම තාක්ෂණයක් තියෙනවා.තමන් හදන සරුංගල් වර්ගය අනුව තමයි සරුංගල් පට්ටමේ හැඩය තීරණය වෙන්නෙ.උදාහරණයක් විදිහට වවුලෙක් හදනකොට වඩා වැඩි "බොක්කක්" කොම්බුවෙක් හදනකොට දෙන්න ඕනෙ.

ඊට පස්සෙ තියෙන්නෙ ලස්සනට කොළ ඇලවීම.ගොඩක් වෙලාවට සරුංගල් අලවන්න ගන්නෙ සව්කොළ, එහෙමත් නැත්තං තෙල් කඩදාසි.ඒ වුණාට පුරුපුරුලනං මීට අමතරව පත්තර කොළ, බත් ඔතන සිලි සිලි කොළ, ඉටි කොළ වගේ දේවලුත් මේකට පාවිච්චි කරල තියෙනවා.

ඉතිං ඒ දවස්වල හදපු සරුංගල් වර්ග කීපයක් අපි කටුවට ඇන්දා.


වවුලා
මේක තමයි හදන්න ලේසිම සරුංගලේ.දෙපැත්තටයි, යටටයි රැළි දානවා.ඕනෙනං උඩටත් රැල්ලක් දෙකක් දාන්න පුලුවන්

කොම්බුවා
වවුලාට වඩා වැඩි බොක්කක් තියෙන්න ඕනෙ.ඒ වගේම යටට රැළි දාන්නෙත් නෑ.කොම්බුවා හදද්දි බැලන්ස් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.මොකද මෙයා පොඩ්ඩ ඇත්නම් කරනම් ගහනවා.කොහොමත් එක විදිහකට තියාගෙන ඉන්නම බැහැ.උඩට වෙලා වැනි වැනීම තමයි ඉන්නෙ.


මාලුවා
මෙයත් වවුලා වගේ තමයි.හැබැයි හරියට හැදුවොත් ඊටත් වඩා බැලන්ස්.


මොණරා
මෙයත් ගොඩක් බැලන්ස් සරුංගලයක්.හදන්න ටිකක් අමාරුයි.ඒත් බලන්න කොහොම හරි හදාගත්තොත් තියෙන ලස්සන.


නයා
මේ තමයි සරුංගල් ලෝකෙ රජ්ජුරුවො වෙන නයා.පුරුපුරුගෙ ෆේවරිට් සරුංගලේ.ලොකුවට තිබුනට හදන්න ලේසියි.ඒ වගේම වලිගෙ දිගට දැම්මට පස්සෙ ගොඩක් බැලන්ස්.ලේසියෙන් කරනම් ගහන්නෙ නෑ.පිරුණු කළේ දිය නොසැලේ වගේ උඩට වෙලා තේජස් පාට් එකෙන් ඉන්නවා.අපේ කට්ටිය ගොඩක් කරන්නෙ ඉතිං නයි අරින එකනෙ නේද?


ඉතිං මේ වගේ හදාගත්ත සරුංගලේට සේරුව, එහෙමත් නැත්තං සේරියා දාන එක තමයි ඊලගට තියෙන අමාරු වැඩේ.මේකටනං හොද එක්ස්පීරියන්ස් තියෙන ඩයල් එකක් අල්ලගත්තනං හොදයි.ඊට පස්සෙ තියෙන්නෙ නයිලෝන් නූල් වලින් සරුංගලේ උඩ යවන එක.

නූල පොටවල් තුනක් තියෙන එකක්නං සරුංගලේ කඩාගෙන යාමේ සම්භාවිතාව අඩු වෙනවා.ඒ වගේම සරුංගලේ ලොකුයිනං යවන නූලත් ඝනකම් වැඩි වෙන තරමට හොදයි.හැබැයි නූල වැඩියෙන් ඝනකම් වුණොත් නූල බිමට බර වෙලා ගස්වල පැටලෙන්න පුලුවන්.ඉතිං පුලුවන් තරම් එළිමහන් තැනක් තෝරගන්න ඕනෙ සරුංගලේ යවන්න.


ඔය සරුංගල් යවනකොට ෆේස් කරන්න වෙන අනිවාර්ය අත්දැකීමක් තමයි සරුංගලේ කඩාගෙන යන එක.ඉතිං එතකොට සරුංගලේ පස්සෙන් දුවල ගිහිං ඒක අල්ලගන්න වෙනවා.වෙන සෙට් එකක් තමන්ට කලින් ගිහිං සරුංගලේ ගත්තොත් ඉතිං ද්වීපාර්ශ්වික සාකච්ඡා මගින් තමයි ගැටලුව නිරාකරණය කරගෙන සරුංගලේ ආපහු ගේන්න වෙන්නෙ.පුරුපුරුනං ඒ දවස්වල ඔය වගේ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වලා සරුංගල් ගොඩක් ආපහු අරගෙන ඇවිත් තියනවා.සමහර වෙලාවටනං හැබැයි අයිතිකාරයා යද්දි සරුංගලේ අන්තරස්දාන වෙලා ඉවරයිලු.


එක පාරක් ඔය වගේ සරුංගලයක් පස්සෙ දුවන්න ගිහිං කණුවක ඔලුව හැප්පිලා පුරුපුරු කලන්තෙ දාලා වැටුනා.යාලුවො කට්ටිය තමයි මෑන්ස්ව උස්සගෙන ආපහු ‍ගෙදර ගෙනත් තියෙන්නෙ.


ඒ දවස්වල කට්ටියගෙ තව විනෝදාංශයක් තමයි සරුංගල් වලට ගල් මාට්ටු දාල සරුංගල් මංකොල්ල කන එක.ඒ කියන්නෙ ටිකක් පාතින් තියෙන සරුංගලේක නූලකට, ගලක් ගැටගහපු තව නූලක් විසිකරලා සරුංගලේ නූල බිමට ගේන එක.ඊට පස්සෙ ඉතිං සරුංගලෙත් බිමට බාගන්නවා.පුරුපුරුනං ඉතිං අයිතිකාරයා එතනට දුවගෙන එනකං ඉදල සරුංගලේ ආපහු දීලම තමයි යවන්නෙ.ගොඩක් වෙලාවට අයිතිකාරයා එහා ගමේ ඉන්න මෑන්ස්ගෙ යාලුවෙක්.


පුරුපුරු මෙච්චරකල් යවපු හොදම සරුංගලේ මෑන්ස් හදපු එකක්නං නෙවෙයි.කැලේ ඇවිදින්න ගිය අතරෙ මෑන්ස්ට ගහක රැදිල තිබිල හම්බවෙච්ච ලස්සන මොණරෙක්.නියම සරුංගල් මාස්ටර්පීස් එකක්.සරුංගල් සීසන් දෙක තුනක්ම යැව්වා ඒ සරුංගලේ.හැබැයි 2002න් පස්සෙ 2009 වෙනකං පුරුපුරුට කිසිම සරුංගලයක් හදන්න වුණේ නැහැ.ඒ දවස්වල ඉතිං ඉස්කෝලෙ වැඩයි, ටියුෂන් ක්ලාස් වැඩයි බරටම තිබුන කාලයක් නොවැ.අනිත් කාරනේ මෑන්ස් හොස්ටල් එකට ගිය එක.ඇයි ඊටත් පස්සෙ කැම්පස් එකට ගියාලුනෙ.


ඉතිං කාලෙකට පස්සෙ ගිය අවුරුද්දෙ සරුංගලයක් හැදුවෙ පුරුපුරුගෙ "වෙන්ඩ" මස්සිනා වෙන හරිදු මල්ලිගෙ ඉල්ලීමකට අනුව.හැදුවෙ ඉතිං කවදත් ෆේවරිට් නයෙක්ව.සුදුපූසිගෙ ගෙදර සාලෙ එක කොනක ඉදලා අනිත් කොනට යනකං දිග වලිගෙකුත් මූට දැම්මා.බයේ ගැහි ගැහි තමයි හැදුවෙ.කාලෙකට පස්සෙ හදපු සරුංගලේ උඩ ගියෙ නැත්තං එහෙම චාටර් ලෝකයක් නොවැ!කොහොම හරි දෙයියන්ගෙ පිහිටෙන් නාග රාජයා ඩොට් වෙන්න උඩ ගියා.පුරුපුරුගෙ සායමත් හේදිලා යන්නෙ නැතිව ඉතුරු වුණා.

මේ පාරත් සලකල බලන්න ඕනෙ සරුංගලයක් හැදිල්ල ගැන.......

ප.ලි - දැන්නං එක එක ජාතියෙ ලස්සන සරුංගල් කඩවල්වල විකුණන්න තියෙනවා.දැන් ළමයි ඉතිං අපිට වඩා බිසී නොවැ!එහෙම සල්ලිවලට අරගෙන හරි සරුංගලයක් යවන එක හරිම විනෝදජනක අත්දැකීමක්.


ඒ වුණාට ඉතිං තමන්ගෙ අතින්ම හදලා සරුංගලයක් උඩ යවද්දි තියෙන සතුට එතකොට තියෙයි කියලා අපිටනං හිතෙන්නෙ නෑ.......

27 comments:

  1. ඇත්ත තමන්ගෙ අති හදාපු එකක් උඩයනකොට එන්නේ අමුතුම ගතියක්.....නම් නම් පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා.....මොණරා, ඉස්සා, පෙට්ටි සරුන්ගල්, කුඩේ.....වගෙ ඒවාත් බොහොම ප්‍රසිද්දයි........ඇත්තම කීවොත් පෙට්ටි සරුන්ගල හැදුවට ඒක උඩයන්නේ කොහොමද කියලා නම් හිතාගන්න බෑ ඕං...ඒවුනාට යනව බොලේ උඩ...:D

    ReplyDelete
  2. මං නං කවදාවත් සරුංගලයක් යවලා නැහැ අ්පා. ඒත් ඒ දවස් වල මං පුංචි කාලේ අපේ තාත්තා අහල පහල අයියලාට සරුංගල් හදලා දීලා ඒවා යවන හැටි නං බලාගෙන ඉඳලා තියෙනවා.

    හැබැයි මගේ හබී නම් සරුංගල් ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් කියලා තමයි මට නං ආරංචි. ගිය වාරේ ඉන්ඩම බැරිම තැන වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා රෑ තිස්සේ සරුංගලයක් හදලා බැල්කනියෙන් උඩ ඇරලා (වැඩිය උඩ නෙමෙයි ඉතිං) ගැට ගහලා තිබ්බා. මේ පාරත් කියන්න ඕනේ.

    ReplyDelete
  3. මාරයත් ඉතින් උපන්ගෙයි සරුංගල් කප්පිත්තා..
    නියම කතන්රරෙ කොල්ලෝ...

    ReplyDelete
  4. එළ කතාව පුරු පුරු . . . මමත් ඉතින් ඉස්සර ඔය සරුංගල් කෙරුවාව කරල තියෙනවා. හැබයි ජීවිතේට මම හදපු සරුංගලයක් නං උඩ ගියා කියල මට මතක නෑ. මම ඉතින් කරන්නෙ සරුංගල් එක්ස්පර්ට් කෙනෙක්ට පගාවක් දීල ගෙදරින් ප්‍රථිපාදන දීල හදව ගන්න එක තමයි. ඉතින් ඕවා කඩාගෙන ගියහම වතු පිටි උඩින් ගෙවල් වල වහලවල් උඩින්, පිලි කන්නෙන් දුවල කකුල් කඩාගෙන තියෙනව. සමහර දවස් වලට උස තාප්පවලින් පනින්න ගිහිල්ල ගෙවල් වල ඉන්න බල්ලො කාල, එහෙම නැතිනම් කකුල් අත පය උලුක් වෙලා. ඉතින් අම්මගේ වැඩේ පත්තු බඳින්න වෙද්දු ගාවට ගෙනියන එක තමයි.

    ReplyDelete
  5. එල විස්තරය...
    ඔක්කොම තියෙනවා.....
    වැඩිපුර යැව්වේ අනුන්ගේ සරුංගල් තමා කැන්ඩි හදපු සරුංගල් කලාතුරකින් තමා උඩ ගියේ.......
    :b:b:b:b:b:b:b:b:b:b

    ReplyDelete
  6. නියම පෝස්ට් එක. හැබැයි මං හදපු සරුංගල් නං වැඩි හරියක් ගියේ බිම. :n

    ReplyDelete
  7. මධ්‍යම කඳුකරයේත් මරුවට සරුංගල් යවන්න පුළුවන්. අප්‍රේල් , මැයි කාල වල. හැබැයි ඊට පස්සෙ එක කාලයක්නම් එනවා හෝ ගාල හුළං එන. ඒ කාලෙටනම් සරුංගල් තියා හෙලිකොප්ටර්වත් යන්නෙ නෑ.

    මමත් පොඩි කාලෙ යැව්වෙ නයාලමයි. යන්තම් තිතක් වගේ පේන තරමටම නයාව උඩ යවනවා. වැඩිය උඩ යවන්න එපා කියල කොච්චර කිවුවත් අහන්නෙ නෑ. නයා කඩාගෙන ගියාම අඬාගෙන ගෙදර එනවා. ආයෙ හෙවිලි බොරු. හැතැප්ම ගානක් ඈතට යනවා.

    ReplyDelete
  8. හැබෑවටම වටින කතාවක් මිත්‍රයා. වැඩි ඈතක් නෙමෙයි අවුරුදු 10කට වගේ පිටිපස්සේ අපි කොච්චර නං සරුංගල් හැදුවද? එක එක ජාතියේ එක එක එක්ස්පෙරිමන්ට් කර කර. හිතුනා හැදුවා. දමසට සරුංගල් 5 හදපු දවසුත් තිවයනවා මගේ අතීතයේ. උඹට කියන්න ඒ දවස් වල මෙහේ ක්ෂේත්‍රාරාමේ පන්සලේ කුඹුරේ කොල්ලෝ 50ක් 60ක් ඉන්නවා සරුංගල් යවන්න. ජාති ආගම් බේද නෑ හැම ආගමකම කොල්ලෝ එකතුවෙලා හිටියා වැඩේට. මමත් පොඩි එකා සන්දියේ අයියලත් එක්ක හරි හරියට ඔට්ටු වුනා සරුංග් වැඩේට. ඒත් දැන්‍ ඒ කුඹුරේ ගෙවල් හදලා. කොල්ලොන්‍ට සරුංගල් යවන්න තැනක් නෑ. අනික දැන් උන්ට ඕනකමකුත් නෑ. ඊට වඩා උන්ට නීඩ් ෆො ස්පීට් ආතල්... සරුංග් නෙමෙයි බං අ‍පේ සංස්කෘතිය කූරියා ගහලා... :(
    නියම අතීතයක් උඹ මතක් කරේ සහෝ... ස්තූතියි...

    ReplyDelete
  9. අම්මෝ පුරු. මම නියමෙටම පොඩි කාලෙට ගියා. මීට කලින් කිසිම ලිපියකින් මෙහෙම පොඩිකාලෙට ගිහින් නෑ. ගොඩක් ස්තුතියි ඒ අතීතය මතක් කළාට. අර මකර කිව්ව වගේ මධයම කඳුකරේ සරුංගල් යවනවා. අපි නුවර. මෙහෙ අපේ කාලේ වැඩියෙන්ම යැව්වෙ දෙසැම්බර් නිවාඩුවට. හැබැයි නිවාඩුවේ අන්තිම කාලෙ යවන්න බෑ හුලං තදයි. මගෙත් ෆේවරිට් එක නයා (ඒහින්දද දන්නෙ නෑ දැනුත් අපේ අය මෙච්චර නයි අරින්නේ) වෙනම පෝස්ට් එකක් ලියන්න දෙවල් මතක් වෙනවා. ඇත්තට තමන්ගේ අතින් බැරිනම් දන්න එකෙක් එක්ක හරි හදන සරුංගලයක් යවනවනම තමා හොඳ. ඒ කාලේ අපේ පළාත්වල කොල්ලො හොඳ ෆිට් එකේ හිටිය. ඒකට දැන්. සෑහෙන කාලෙකින් සරුංගලයක් යවන්න බැරි උනා. අවුරුදු 16 කින් විතර.
    මේ දෙසැම්බර් නිවාඩු අරන් හරි එකක් හදල යවන්න ඕන. කවුද එන්නේ මාත් එක්ක සරුංගල් යවන්න?

    ReplyDelete
  10. Ape game nam issara sarungal tharangayak thibuna hema awuruddema. Welak medin yana parak thibuna KM 3 withara eke thamai sarungal arinne. Kuriya gahana ewa sanvidhayakayo kapala arinawa anith ewaye petalena nisa.Peyak athulatha udatama giya ewaye nula mark karala eka menala thamai palaweniya thoranne.Harima honda kalayak , Den nam mathak wenakotath dukai.

    ReplyDelete
  11. පුරු පුරුවෝ... උඹ කිව්වා වගෙ මධ්‍යම කඳුකරෙ සරුංගල් යවන එක එච්චරම ප්‍රායෝගික නෑ තමයි.. හැබැයි අමාරුවෙන් හරි අපිත් සරුංගල් ඇරියා පොඩි කාලේ... හැබැයි දවසයි දෙකයි.. බඩු නෑ...නූල කඩාගෙන යනවා... :P

    අපි සෙට් වෙන්නෙත් වෙලට තමා සරුංගල් අරින්ට.. වෙල කිව්වට අඩි 5ක් විතර පලළ තට්ටු තට්ටු ලියදි තමා තියෙන්නේ.. හෙල්මළු ක්‍රමේ කියන්නේ... සරුංගලෙ හුලඟට අල්ලන්ට ටිකක් දුර දුවන්ට ඕනනෙ.. ඔහොම දුවන කොට අනිවා දෙන්නෙක් තුන්දෙනෙක් වැටෙනවම තමයි අර තට්ටු ලියද්දිවලින් පල්ලේහාට... සමහර වෙලාවට එකින් නවතින්නෙ නෑ... පිනුම් දෙක තුනක් ගහලා තමයි නවතින්නේ... කොච්චර වැටුනත් කිසි අවුලක් නෑ... නැගිටලා එනවා.. දැන් එහෙම ඒ වගෙ වැටුනොත් අවුරුද්දකින් මෙහා ගොඩ ගන්ට වෙන්නෙ නෑ... ලිව්වා වැඩිද මන්දා...
    තැන්කූ කිව්වා පොඩි කාලෙ මතක් කලාට... :B

    ReplyDelete
  12. සරුOගල් යවන එක තරම් ආතල් වෑඩක් තව තියෙනවද?

    කිතුල් කොටුවට උන බම්බුවකින් තට්ට දෑම්ම නම් හොන්දට බෑලන්ස් එක තියෙනව,..............

    නිශ්

    ReplyDelete
  13. අපේ අයියායි මායි එකතු වෙලා ගිය අවුරුද්දේ හැදුවා එත් ඒක උඩ ගියේ නෑනේ... :s අපේ අලියට සේරුව දාගන්න බෑනේ හරියට :p

    ReplyDelete
  14. උබ සරුංගල් ගැන උපාදියක් කොරල වගේ හික් හික්. අනේ මම හදපු එකක් ආසාවට උඩ ගියෙ නැහ නොවැ.

    ඒක නෙමෙයි දැන් ඉන්න පොඩි ඈයො දන්නවද සරුංගල් කියන්නෙ මොනාද කියල....

    ReplyDelete
  15. සා සා හරී රස කතාවක්.. එක හුස්මට කියවන් ගියා.... සෝ.....යී..... :c

    ReplyDelete
  16. In our area we used different names for the kites than you posted. From the top we called them "Walge-Iha" (Usualay walge is added to balance the kite when the original Iha is not achieving elevation; the "Iha"; then "Kawuda", because the lower fins it looks like Drongo's tail; "Monara" is identical and last one we called "Berawa-Naya", the normal "Naya" was made just adding a small tail to the "Wavula" witch is the most basic kite.

    There were more exotic ones look like a man, a box and an umbrella!

    Thanks a lot for taking me a joy-ride down the memory lane......

    ReplyDelete
  17. @ හේමලයා - ‍අපිනං ජීවිතේට හදල නෑ පෙට්ටි සරුංගල්.කොහොමත් එකම සරුංගල් ජාතිය එක එක පැතිවල හදුන්වන්නෙ එක එක නම් වලින් :b:b:b

    @ රන්දිල් - හික් හික්!! එළකිරි!!! මේ පාරත් හබීට කියන්න ලස්සන සරුංගලයක් හදල දෙන්න කියලා :f:f:f

    @ මාරයා - බොහොම ස්තුතියි සහෝ!!!:b:b:b

    @ දුමී - හික්ස්...අපිත් සරුංගල් යවන්න ගිහිං අතපය කඩා ගත්තම අම්මලට තමයි කරදරේ.දැන්නං පව් කියල හිතෙනවා.:s:s:s

    ReplyDelete
  18. @ කැන්ඩි - බොහොම ස්තුතියි සහෝ!!!:b:b:b

    @ Praසන්ன - බොහොම ස්තුතියි සහෝ!!!දැන් සරුංගල් හදන්නෙ නැද්ද?:b:b:b

    @ Chanaka - දැනුවත් කළාට ස්තුතියි සහෝ!!! තිත් වෙච්ච සරුංගලයක් කඩාගෙන ගියොත් කරන්න තියෙන හොදම දේ තමයි ඒක ගැන අමතක කරලා ගෙදර යන එක...:e:e:e

    @ කුෂාන් - ඇත්තටම මචෝ අපේ පැත්තෙත් ඉස්සර වගේ මහ ගොඩක් සරුංගල් දැන් පේන්න නෑ.එකයි දෙකයි පේන්න තියෙන්නෙ.අනේ මන්දා අපේ පොඩි උන්ට මොනව වෙලාද කියලා.ලෝක ස්වභාවය වෙනස් වීමයි කියලා හිත හදාගන්න තමයි තියෙන්නෙ :s:s:s

    ReplyDelete
  19. @ priyantha - අවුරුදු 16ක්?? මගෙ අම්මෝ! :n:n:n එහෙනං මේ පාර අනිවාර්යයෙන්ම හදන්න :b:b:b

    @ Anonymous - අපිනං කවදාවත් සරුංගල් තරග වලට ගිහිං නැහැ.ඒ වුණාට යන්න ආසයි.කොහෙද ඉතිං, අපේ පැතිවල ඕවා නෑ නොවැ!:s:s:s

    @ පුතා - හික් හික්!! පුතත් මාරයා වගේ හොද සරුංගල් කප්පිත්තෙක් වගේ :f:f:f

    @ nish - ලබා දුන්න දැනුමට ගොඩක් ස්තුතියි සහෝ!!!:t:t:t

    ReplyDelete
  20. @ හසී - අයියෝ! දෙන්නම එකතු වෙලා කොහොම හරි සේරුව දාගන්න.නැත්තං සේරුව දාන වෙලාවට අපිව සිහි කරන්නකෝ!!!:m:m:m

    @ පිස්සා - අපෝ, අපි ඉතිං පොඩි ඩිප්ලෝමාකාරයො වගේ.ආචාර්ය මහාචාර්ය වරුත් අපේ පැතිවල සෑහෙන්න හිටියා.:q:q:q

    හික්ස්...දැන් කොහොම වෙතත් තව ටික කාලෙකින්නං සරුංගලයක් දැකගන්න එක සෑහෙන්න දුර්ලභ දර්ශනයක් වෙයි!!!:s:s:s

    @ ජීවිතේමල් - තැන්ක්යූ වේවා මචෝ!!!:b:b:b

    @ SL - That really sounds very interesting.We have never heard such names for kites in our area.Actually, we'd like to know where r u from!And thanks for commenting & sharing ur knowledge.....:b:b:b

    ReplyDelete
  21. මගේ ෆේවරිට් සීන් එක තමයි සරුංගල්.. පෙට්ටියයි , වවුලයි තමයි මගේ ෆේවරිට්. කැම්පස් කාලෙත් ඔන්න සරුංගල් දැකල ඉවසගෙන ඉන්න බැරුව හෙන වවුලෙක් හැදුවා.. ඔය කොල්ලො කියන්නෙ.. නොම්මර 24 නූල කියලා.. අන්න ඒ සයිස් එකේ පත වවුල් මෝලෙක්.. තාම ඇති මගෙ ඇඳ යට .. කිතුල් පිත්තයි උණ බට කෑලි දෙකක් දෙපැත්තට දාල ත‍ටු දාල හැදුවම ආයෙ අවුරුදු දෙක තුනක් තියෙනවා. වඩුමඩුවකට ගිහින් පොඩි දැවාරක්ශක පාරක් ගාල තිවුවනං නෝ ගුල්ලො, වතුරට නෝ දිරුං. අවුරුදු තුනක් හමාරක් අල්ලනවා...

    ReplyDelete
  22. මම යවල තියෙන සරුංගල් එකක් වත් මම හදපුව නෙමෙයි :S ...................................................:S

    ReplyDelete
  23. @ වැම්පයර් - අම්මෝ...වැම්පිනං නියම සරුංගල් කප්පිත්තෙක් වගේ.මමනං කවදාවත් ඔය වගේ කල් තියාගන්න පුලුවන් සරුංගලයක් හදල නෑ...:b:b:b

    @ Ashen - මේ පාර කොහොම හරි ට්‍රයි කරල එකක් හදමු සහෝ!!!:b:b:b

    ReplyDelete
  24. @ Blog Gadol,


    Thank you for the response. Sorry I can't type in Sinhala as I used Windows XP 64-bit edition.
    It is interesting that I just wrote the kite-terms used in Moratuwa Piliyandala area, which are not far from Gampaha. The unusual kite-forms were mainly observed around Moratuwa area, where we had abundance of wind in Aug & Sep months.

    ReplyDelete
  25. life before internet,which changed life and it suxxxxxxxxxxxx..........i wonder how will our children live,will they play kites?may be in a virtual world,damn it!!!

    ReplyDelete
  26. මරු බන්. අදත් වැඩ ඇරිල එන ගමන් හිත හිත ආවෙ සරුන්ගලයක් හදන්න. ගම්පහ කෙටවල වෙල් යායෙ කස්ටිය හෝ ගාල සරුන්ගල් යවනව දකිනකොට ඇඟ නලියනව.
    මම නම් ආස මාලුව කියන එකට... සරුන්ගල් ගැන කතා ගොඩයි.
    ටයිප් කරන්න ගියොත් කමෙන්ටුවෙ ඉඩ මදි වෙනව.
    දිගටම ලියපන්... :b

    ReplyDelete
  27. මාත් ඉතින් සරුංගලයක් හැදුවා අද .යවන්න ඕන පිට්ටනියට ගිහිල්ලා

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???