අඹ යාලුවෝ

Showing posts with label චාටර්මාලි. Show all posts
Showing posts with label චාටර්මාලි. Show all posts

Monday, January 2, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි - 2


ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ගිය හැටියි ගැන නොවැ! ඉතිං අද කියන්න යන්නේ එතන ඉඳලා වෙච්ච සිද්දිය.

කොහොමහරි ඉතිං ඔය කේස් එකෙන් පස්සේ පුරුපුරුගෙයි මාකට්ගෙයි අතර තිබුන යාලුකම යම් තරමකට හානි වුණා. මුල් දවස්වල දෙන්නා කතා නොකරම හිටියත්, පස්සෙ පස්සෙ මේ දෙන්නා කතාබහ කරන්න පටන් ගත්තා. ඒත් ඉස්සර තිබුන තරමේ පට්ටම ෆිට් එකක් මේ යාලුවො දෙන්නා අතරේ ආපහු ඇතිවුණේ නෑ. ඉතිං මේ කාලෙ අපේ පූස් සෙට් එකේ යම් තරමක මණ්ඩලේ කචල් සිටුවේෂන් එකක් තමයි තිබුනේ. හැබැයි ඔය හැම කේස් එකක්ම මැද්දෙ මාකට්ගෙයි චාටර්ගෙයි පෙම් කතාවනං නිවර්තන වැසි වනාන්තරයක හිටවපු ගහක් වගේ ලස්සනට දලුදාලා ජයටම ලියලලා ගියා.

මේ කාලෙ අපේ කපල් එකට දෙන්නාට දෙන්නා නැතුවම බෑ. කොටින්ම මේ දෙන්නා නොගිය පාලු පාරක්, ෆිල්ම් හෝල් එකක්, කෑම කඩයක් තියා පෙට්ටි කඩයක්වත් ගම්පහ නගරේ ඉතුරුවුණේ නෑ. ඒ දවස්වල ගම්පහ නිතර කරක්ගහන ඕනෙම මනුස්සයෙකුට අත්වැල් පටලගෙන තමන්ගෙ ලෝකෙ තනිවෙලා ඉබාගාතේ සැරිසරන මාලුකට්ටයි චාටර්මාලියි නුපුරුදු සීන් එකක් නෙවෙයි. ඒ වගේම දෙන්නට දෙන්නා කතා නොකර විනාඩි දහයක් හිටියත් මේ ජෝඩුවටම අප්සෙට්. ඒ හින්දා දවස තිස්සෙම ඇවිදලා ක්ලාස් එකට ආවට පස්සෙත් සර්ට හොරෙන් චාටර්මාලිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක මාකට්ගෙ පුරුද්දක්.

ඒ වගේම තමන්ගෙයි චාටර්මාලිගෙයි අතරෙ තිබුන එෆෙයාරුව ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න වෙන කාටවත්ම හංගන්න මාකට්ට අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඉතිං බයෝ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක වෙලාවෙ, ක්ලාස් එක ඇතුලෙ කෙල්ලො සිය ගානක් වාඩිවෙලා ඉන්න තැනට ගිහිං චාටර්මාලිත් එක්ක කතා කරන්න අපේ මාකට්ට කිසිම ලැජ්ජාවක් තිබුනේ නෑ. මේ වැඩේ හින්දා බයෝ සර් පවා වැඩි දවසක් නොගිහින් මේ කපල් එක ගැන දැනගත්තා. සාමාන්‍යයෙන් ක්ලාස් එක ඇතුලෙ ලව් කේස් වලට සර් කැමති නොවුනත්, මාකට්ගෙ තිබුන ෆෝවඩ් ගතිය නිසාද කොහෙද සර් මෑන්ස්ට කිසිම බාල්දියක් දැම්මේ නෑ. ඒ වෙනුවට සර් කළේ ඉගෙනගන්න කාලෙ අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා මාකට්ට අවවාද දුන්න එක.  ඒත් ඒ වෙලාවට “හ්ම් හ්ම්“ කියලා ඒවා අහගෙන හිටියත්, ආපහු චාටර්මාලිව දැකපු ගමන්ම සර් දුන්න අවවාද අපේ යාලුවාගේ හිතින් මැකිලා ගියේ ඉර දැක්ක පිණිබින්දු වගේ.

මාකට් තමන්ට බස් එකේදි බැන්නත් ඇත්තටම කැපවෙලා ආදරය කරන තමන්ගේ යාලුවා ගැන පුරුපුරුගෙ හිතේ තරහක් තිබුනේ නෑ. ඇත්තටම මාලුකට්ටා කියන්නේ අති විශිෂ්ට පෙම්වතෙක්. තමන්ගෙ පොකට් මනි ඔක්කොම රී ලෝඩ් දාන්නයි, චාටර්මාලිට තෑගි අරන් දෙන්නයි වියදම් වුණත්, නොකා නොබී හරි ඒ දේවල්ම කිරීම මිසක් තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන එක නෙවෙයි මාකට්ගෙ ප්‍රතිපත්තිය වුණේ. අන්ත දුප්පත් පවුලක ඉපදිච්ච චාටර්මාලිගේ ආර්ථික තත්ත්වය පවා මාකට්ගෙ හිතේ චාටර්මාලි ගැන තිබුන ආදරේ වැඩි කරන්න හේතු වුණා මිසක් අඩු කරන්න හේතු වුණේ නෑ.

මේ කාලෙ පූසන්ගෙන් මාකට් වැඩිපුරම සම්බන්ද වෙලා හිටියේ උපාසකයි, මී කතුරායි, ඤාව්වායි එක්ක. මොකද මෑන්ස් පුරුපුරුව දැක්කේ ආදරය ආගමක්නං ඒ ආගමට විරුද්ධ සාතන් කෙනෙක් හැටියට. මේකට හේතුවුණේ ආපහු කවදාවත් සීරියස් රිලේෂන්ශිප් එකකට යන්නෙ නෑයි කියලා පුරුපුරු වටේ හිටපු හැමෝටම කිය කියා ගිය එකලු.

මේ අතරෙ තමයි ඒ විශේෂ දවස උදාවුණේ. එදා උදේ පුරුපුරු ගම්පහට යද්දි උපාසකයි, ඤාව්වායි, මී කතුරායි එක්ක මාකට් සීරියස් කතාවක්. සෑහෙන කාලෙකින් චාටර්මාලිගෙන් තොරව මාකට්ව දැකගන්න ලැබුන හින්දා පුරුපුරුත් බොහොම උනන්දුවෙන් ඒ පැත්තට ඇදුනලු. තවත් ටිකක් කිට්ටු වෙද්දියි අපේ පූසා දැක්කේ මාකට්ගේ ඇස්වල කඳුලු පිරිලා තිබුන වග. ඇත්තටම පුරුපුරු දිහා කෙලින් බලන්නවත් බැරි තත්ත්වයක තමයි මෑන්ස් හිටියේ. ඉතිං අපේ උපාසක පටන් ගත්තලු වෙලා තියෙන සිද්දිය පුරුපුරුට පැහැදිලි කරලා දෙන්න.

බැලින්නං සිද්දවෙලා තිබුනේ කවුරුත් නොහිතපු දෙයක්. චාටර්මාලිට මාකට් එක්ක යාලුවෙන්න කලින් වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි චාටර්මාලිගේ ෆස්ට් ලව් එක. පස්සෙ කාලෙක ඒ කොල්ලා චාටර්මාලිට බූට් එක තිබ්බත් තමන්ගෙ පළවෙනි ආදරේ අමතක කරන එක එයාට ලේසි වැඩක් වෙලා නැහැ. ඉතිං ඔය අතරේ තමයි අපේ මාකට් චාටර්මාලිගෙ ලයිෆ් එකට එන්ටර් වෙන්නේ. ඉතිං දුක්වෙවී හිටපු චාටර්මාලිට මාලුකට්ටාගේ ආදරේ තදින් දැනුන හින්දා වෙන්නැති ඊටපස්සේ සිද්දවුණේ අපි කවුරුත් දන්න මේ දෙන්නගේ යාලුවීම. ඊටත් පස්සේ මේ දෙන්නගෙ ලව් එක නැගලා ගිය හැටි අපි ඉතිං කලින් කිව්වනේ.

කොහොමහරි ඉතිං පැණිවරකා ගහටත් හෙන ගහනවා කියන්නා වගේ ඔය අතරේ තමයි අවාසනාවන්ත දෙයක් සිද්දවෙලා තිබුනේ. ඒ තමයි චාටර්මාලි තවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියන ආරංචිය එයාගේ කලින් පෙම්වතාගෙ කනේ වැටිච්ච එක. අපේ ගොඩක් කට්ටියට වගේ ඉතිං මෑන්ස්ටත් තමන්ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අගේ දැනුනේ එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවුණාට පස්සෙලු. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මෑන්ස් ආපහු චාටර්මාලිව තමන්ගේ කරගන්න ප්ලෑන් ගහන්න පටන් ගත්තේ.

ඔය දවස්වල තමයි අර “මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා“ කියන සිංදුව ආවේ. ඉතිං අර කොල්ලා (සමීර කියමුකෝ) කළේ ඔය සින්දුව ඇතුලත් කැසට් එකකුත් අරගෙන ගිහින් බස් එකේදී චාටර්මාලිව මීට් වෙච්ච එක. ඒ දවස්වල මාකට් නැතුව චාටර්මාලි විතරක් තනියම බස් එකේ යන්නේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා කලාතුරකින්. ඒත් ඒ කලාතුරකින් හම්බවෙන අවස්ථාව නියමෙට එක්ස්ප්ලොයිට් කරන්න තරම් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් සමීර දක්ෂයෙක් වුණාලු. ඉතිං මෑන්ස් කළේ චාටර්මාලිට ඇඬෙන ටෝක්ස් එකක් දීලා කැසට් එකේ තිබුන සිංදුව අහන්නයි කියපු එක.

කොහොමහරි සමීරගේ සහ චාමර වීරසිංහගේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට සිද්දවුණේ අපේ මාලුකට්ටාගේ අවුරුද්දකටත් වැඩි ලව් එකට පයින් ගහලා චාටර්මාලි සමීරව තෝරගත්තු එක. ඒත් තමන් ජීවිතේම කැපකරලා ආදරේ කළාට පස්සේ චාටර්මාලි එයාට බූට් එකක් තියන්න තරම් කෘෘර වෙච්ච ඩයල් එකක් එක්ක යාලුවෙච්ච එක අපේ මාලුකට්ටාට දරාගන්න පුලුවන් වුණේ නෑ. අන්තිමේදි මාකට් පුරුපුරු එක්ක කතා කරන්න ගත්තේ මාස කීපයක් තිස්සේ පලුදු වෙලා තිබුන යාලුකම ආපහු යථා තත්ත්වයට ගෙනත්.

මාකට් :- පුරුපුරු, මට සමාවෙයං මචං! මම චාටර්මාලි හින්දා අවුරුදු ගානක් මාත් එක්ක හිටපු උඹට බැන්නා. මට ඒ ගැන ලැජ්ජයි මචං.

මෙහෙම කියපු මාලුකට්ටා පුරුපුරුව බදාගෙන අඬන්න පටන් ගත්තලු. පුරුපුරුගේ විතරක් නෙවෙයි, පූසො හැමෝගෙම ඇස්වල කඳුලු. කොහොමහරි අන්තිමට හැමෝගෙම තීරණය වුණේ චාටර්මාලි කරපු අපරාධය වෙනුවෙන් එයා වන්දි ගෙවන්න ඕනෙයි කියන එක. ආදරය වෛරයට හැරෙන්න ගතවෙන්නේ නැනෝ තත්පරයයි. ඉතිං මේ වෙද්දි අපේ මාකට් හිටියෙත් චාටර්මාලි ගැන කියන්න බැරි තරම් වෛරයක් හිතේ තියාගෙන. කොහොම වුණත් මේ වෙද්දි චාටර්මාලිට කරන්න ඕනෙ මොනවාද, ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ මාලුකට්ටාව මගඅරිමින් කට්ටි පැනපු, ෆෝන් කෝල් එකකටවත් ආන්ස්වර් නොකර හිටපු චාටර්මාලිව කොටු කරගන්නෙ කොහොමද, චාටර්මාලි සමීර එක්ක හිටියොත් මොකද කරන්නේ වගේ ප්‍රශ්න වලට අපේ යාලුවො කට්ටිය උත්තර හොයාගෙන තිබුනේ නෑ.
 
මේ වෙද්දි ගතවුණේ 2006 අවුරුද්දෙ වෙසක් කාලෙ. ඒ වෙද්දි ඒ ලෙවල් විභාගෙට තව ඉතුරුවෙලා තිබුනේ මාසෙක වගේ කාලයක්. ඉතිං කට්ටිය ගම්පහ ක්ලාස් එන අන්තිම දවස් කීපය තමයි මේ වෙද්දි උදාවෙලා. ඒ හින්දා චාටර්මාලිව අල්ලගන්නවානං අල්ලගන්න පූසන්ට ඉතුරුවෙලා තිබුනෙත් තව දවස් කීපයයි. ඉතිං අන්තිමට අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු ඊළඟ සතියේ චාටර්මාලි ක්ලාස් ආවාම එයාව අල්ලගන්න. ඒ ඊළඟ සතියේ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එයි කියලා කලුකුමාරිගෙන් ලැබුන ඔත්තුවකට අනුව. කොටින්ම මේ වෙද්දි මාකටුයි, චාටර්මාලියි යාලු කරන්න මුල්වුණ කලුකුමාරිට පවා චාටර්මාලිව අල්ලගන්න බැරි සිටුවේෂන් එකකුයි තිබුනේ.

ඉතිං ඊළඟ සතියේ මොකද වුණේ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු නේද?

Tuesday, December 27, 2011

මාලුකට්ටා සහ චාටර්මාලි


මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. 

මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් දන්න කාරනයක් නොවැ! ඔය ක්ලාස් යන අතරෙ තමයි අපේ මාලුකට්ටාටයි, ඤාව්වාටයි ලස්සන පැංචාවියක් මීටර් වුණේ. ඒ ගැන අපි වෙනම පෝස්ට් එකකුත් ලිව්වනේ. එහෙනං ඒක කලින් කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

කොහොමහරි ඉතිං බඹරෙ කැරකෙන්නෙ මාලුකට්ටාගෙ පැත්තට කියලා තේරුම් ගත්තාට පස්සෙ ඤාව්වා කළේ ශේප් එකේ වැඩේ අතඇරලා දාපු එක. ඉතිං තමන්ට තිබුන තර‍ඟෙ නැතිවුණ නිසා මාලුකට්ටාටත් පුලුවන් වුණාලු නිවි හැනහිල්ලේ ගේම් එක ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම කියනවානං මෑන්ස්ට චාටර්මාලිට ඇප්‍රෝච් කරන එක එච්චරම අමාරු වැඩක් වුණේ නෑ. මොකද චාටර්මාලි ඉස්කෝලෙ ගියේ හේනවිලේජ් සෙන්ට්‍රල් කොලීජියට. ඒ කියන්නෙ අපේ කලුකුමාරි ගිය ඉස්කෝලෙටමයි. ඒ වගේම මේ දෙන්නා ෆුල් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතිං පූස් සෙට් එකේ යෙහෙළියක් වුණ කලුකුමාරිගෙන් මාලුකට්ටාට උපරිම සහයෝගය ලැබුනලු චාටර්මාලිව යාලු කරගන්න.

හැබැයි හොඳම යෙහෙළියෝ වුණාට මොකද, කලුකුමාරියි චාටර්මාලියි ගතිගුණ අතින්නං සෑහෙන්න වෙනස්. කලුකුමාරි කියන්නේ නිතරම ෆන් එකේ ඉන්න, කොල්ලො එක්ක පවා හොඳට වෙනසක් නැතිව කතාකරන ටයිප් එකේ කෙල්ලෙක්. ඒත් චාටර්මාලි කියන්නේ බොහොම නිවිච්ච, තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න, ඒ වගේම කොල්ලො එක්ක වැඩි භජනෙට යන්නෙ නැති චරිතයක්. ඇත්තටම අපේ මාලුකට්ටාට චාටර්මාලිව හිතට අල්ලලා තියෙන්නෙත් මේ චරිත ලක්ෂණ හින්දාමයි.

කොහොම වුණත් මාලුකට්ටාගේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරන්න මේ දවස්වල පුරුපුරුට එච්චරම පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ වෙද්දි තමයි පුරුපුරු විදූශාගෙන් මහා පරිමාණ බූට් එකක් කාලා ජීවිතේ විඳවමින් හිටියේ. ඉතිං පුරුපුරු පැත්තකට වෙලා ගෑනු ජාතියට වෛර කර කර ඉන්නකොට උපාසකයි, ඤාව්වායි තමයි මාලුකට්ටා වෙනුවෙන් ඔය කටු කන වැඩ, ඔත්තුසේවා වැඩ වලට බැහැලා හිටියේ. කොහොමහරි පූස් සෙට් එකෙයි, කලුකුමාරිගෙයි අප්‍රතිහත ධෛර්යය නිසා අන්තිමට මාලුකට්ටාට පුලුවන් වුණාලු චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වෙන්න.

අපේ මාලුකට්ටාගෙ ඇ‍ඟේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්න පුලුවන් චරිත දෙකක් ජීවත් වෙනවා. එක චරිතයක් තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය මාලුකට්ටා. අනිත් චරිතය තමයි ගෑනු ළමයෙක් එක්ක යාලු වුණ/ යාලුවෙන්න කිට්ටු මාලුකට්ටා. ඉතිං චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වුණාට පස්සෙ මෑන්ස්ගෙ පළවෙනි චරිතය යට ගිහින් දෙවෙනි චරිතය ඉස්මතු වෙලා ආවලු. මේ කැරැට්ටුව මතුවුණාට පස්සේ මාලුකට්ටාගේ ලෝකයේ ඉන්නේ අදාල ස්ත්‍රී රත්නය විතරයි. එතකොට මෑන්ස්ට තමන්ගෙ ගෙදර, යාලුවෝ, කෑවද, බිව්වද, නෑවද, ඉගෙන ගන්නවද මේ මොනවත් මතක නෑ. ඉතිං මේ කාරනේ හින්දා අනිත් පූසන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ මේ දවස්වල මාලුකට්ටාව අල්ලගන්න.

කොහොමහරි වටින් ගොඩින් ආරංචි වෙච්ච කාරනා සහ මාලුකට්ටා හදිස්සියෙ මුණගැහුනාම කිව්ව දේවල් අනුව, දෙන්නා හොඳ යාලුවෝ වෙලා මාස දෙක තුනක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ආදරවන්තයෝ වෙලා තිබුනේ නෑ. මොකද චාටර්මාලි මේ වෙද්දි ඉඳලා තියෙන්නෙ තමන්ට කලින් හිටපු, එහෙම ඉඳලා තමන්ට බූට් එක තියපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන හිත හිතා. ඉතිං මාලු තමන්ගෙන් යාලුවෙන්න ඇහුවත් චාටර්මාලි මෑන්ස්ට කියලා තියෙන්නේ යාලුවෝ හැටියට ඉමුයි කියලා.

මේ වෙද්දි මාලුකට්ටා තමන්ගේ සියලුම ආදර ප්‍රශ්න ගිහින් කිව්වේ පූසන්ට නෙවෙයි කලුකුමාරිට. කලුකුමාරිත් ඉතිං තමන්ට හැකි විදිහට මාලුකට්ටාට චාටර්මාලිව දාගැනීම පිළිබඳව උපදෙස් ලබා දුන්නලු. මෑන්ස් ඉඳලා හිටලා හරි පූසෙක්ට චාටර්මාලි ගැන මොනවාහරි කිව්වානං ඒ උපාසකට විතරයි. ඒකත් පුරුපුරුට ඒ සම්බන්දයෙන් කියන්න එපා කියන කොන්ඩිෂන් එක මත.

“ඌ මොනවද බං සැබෑ ආදරය ගැන දන්නේ? මේවා කියන්න ඕනෙ එහෙම දන්න එවුන්ට විතරයි“

මාලුකට්ටා උපාසකට කීපවාරයක්ම මෙහෙම කිව්වලු. එක අතකට ඉතිං ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මොකද මේ වෙද්දි පුරුපුරුගේ දෙවන නියමය වුණේ “කිසිම කෙල්ලෙක් සීරියස් නොකළ යුතුයි“ කියන එක. (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය). 

කොහොමහරි ඉතිං මේ විදිහට කාලය ගෙවිලා ගියාලු. මාලුකට්ටාත් කාලයත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ආපහු පූසන්ව ආස්සරේ කරන්න පටන් ගත්තලු. මේ වෙද්දිනං මාලුකට්ටයි චාටර්මාලියි අතර තිබුන සම්බන්දෙ යාලු නොවීමයි, යාලුවීමයි අතරේ ඉන්ටර්ෆේස් එකේ තිබුනේ. ඔය අතරේ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි, කලුකුමාරියි, පුරුපුරුයි දියාරු ලෝකෙට ගියේ. දියාරු ලෝකෙ ගැන කියවපු නැති කට්ටිය එහෙනං මෙතනිං ගිහින් කියවලා එන්නකෝ.


ඉතිං ඔය සිද්දියෙන් ටික දවසකට පස්සේ චාටර්මාලි මාලුකට්ටාට බහ දීලා තිබුනා. ඉරිදා තිබුන කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි තමයි වැඩේ සිද්දවෙලා තිබුනේ. මේ ගැන පුරුපුරු ඇතුලු පූසො දැනගත්තේ පහුවදා උදේ. පහුවදා උදේ පාන්දරම මාලුකට්ටා ඉස්කෝලෙ ආවේ විකට් එකක් අරගෙන පිඹගෙන එන බ්‍රෙට් ලී ගොයියා වගේ උද්‍යෝගයෙන්. ඈත එන මාලුකට්ටාව දැක්ක මොහොතෙම පුරුපුරුට තේරුනාලු මෑන්ස්ගෙ වැඩේ හරි තමයි කියලා.

මාකට් :- පුරු, චාටර්මාලි මට කැමතියි කිව්වා මචං

පුරුපුරු :- ෂාහ්...එළමකිරි මචෝ. ඔන්න මයි හාර්ටියස්ට් කොන්ග්‍රැජුලේෂන්ස්. (මාලුකට්ටා වැළඳ ගනිමින්) ඔන්න අපිට පාටියක් ඕනේ හෙටම

මාකට් :- හික් හික්!! දෙන්නං දෙන්නං බං.

මාලුකට්ටා මෙහෙම කිව්වත් කාලයත් එක්ක සිද්ද වුණේ මෑන්ස් ආපහු අනිත් පූසන්ගෙන් ඈත්වෙච්ච එක. ඉස්කෝලෙ පන්තියේදි වුණත් මාලුකට්ටා වාඩි වුණේ පුරුපුරුයි මී කතුරායි එක්ක නෙවෙයි, වෙන පේළියක. ඉතිං මෑන්ස්ගෙ වෙනස්වීම ගැන අනිත් පූසො හතරදෙනාම ගොඩක් දුකින් හිටියේ. ඒත් එන්න එන්නම සිද්දවුණේ මාලුකට්ටා වෙනස්වුණ එක විතරයි. මේ වෙද්දි තත්ත්වය කොච්චර උග්‍ර වෙලා තිබුනාද කිව්වොත් තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයේම, චාටර්මාලිව හඳුන්වන්න මාලුකට්ටා පාවිච්චි කරපු “Dark Angle“ කියන නම කොටන්නත් මෑන්ස් පුරුදු වෙලා හිටියා (Angel කියන වචනෙ මාලුකට්ටා ලිව්වේ Angle කියලා).

කොටින්ම තමන්ගෙ බාහුවේ, පොත්වල හැම පිටුවක් ගානෙම, ෂර්ට් කොලර් එකේ, ලේන්සුවේ වගේම ඇඟේ එක එක තැන්වලත් Dark Angle කියලා ලියන්න මාලුකට්ටා පසුබට වුණේ නෑ. ඒ දවස්වල ක්ලාස් එකේ කොල්ලො කතා වෙවී හිටියේ මෑන්ස්ගෙ ජොකාගෙත් Dark Angle කියලා ලියලා තියෙනවාද දන්නෙ නෑ කියලා. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් විශේෂ දෙයක් වුණේ.

සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස එක එක ක්ලාස් වලට ගිහින් එන අපේ යාලුවො කට්ටිය අන්තිමට ගම්පහ බස්ටෑන්ඩ් එකට සෙට් වෙලා එකට තමයි ගෙදර යන්නේ. ඉතිං මේ වෙලාවට පුරුපුරු, ඤාව්වා, උපාසක, ඉස්සා, මැක්නාත්, සව්සිරි වගේ අපේ යාලුවෝ ගම්පහට සෙට් වෙනවා. ඉතිං මේ කියන දවසෙත් අපේ යාලුවො කට්ටිය ගෙදර යන්න කියලා පූස්ගම බස් එකට නැග්ගලු. පිටිපස්සෙම සීට් එකේ තමයි පූසෝ සුපුරුදු පරිදි වාඩි වුණේ. මොකද පස්සෙ සීට් එකේ ඉන්නකොට කට්ටියත් එක්ක හොඳට කෑ ගගහා යන්න පුලුවන්. පිටිපස්සෙ සීට් එකට කලින් එකේ වාඩිවුණේ සව්සිරි. මේ අතරේ තමයි වෙනදාට පරක්කු වෙලා ගෙදර යන මාලුකට්ටායි චාටර්මාලියිත් බස් එකට නැග්ගේ.

පූසන්ව දැකලා “හලෝ මචං“ කියලා කියපු මාලුකට්ටා සව්සිරි හිටපු සීට් එකට ඉස්සරහ එකේ චාටර්මාලිත් එක්ක වාඩිවුණාලු. මේ අතරේ තමයි චාටර්මාලිගෙ ගෙවල් ගාව පදිංචි වෙලා හිටපු සව්සිරි අලුගුත්තේරු වැඩක් කරලා තියෙන්නේ. මෑන්ස් කරලා තියෙන්නෙ සීට් එකේ පැත්තක තිබුන චාටර්මාලිගෙ බෑග් එක  ශේප් එකේ හොරකම් කරපු එක. ඊටපස්සේ මෑන්ස් කළේ බෑග් එක අපේ කපල් එකට නොපෙනෙන්න පිටිපස්සෙම සීට් එකේ හිටපු පුරුපුරුගෙ ඔඩොක්කුවට දාපු එක. ඒත් මේ වෙලාවේ පූසොත් එක්ක උපරිම පිස්සු කෙළිමින් වෙන සිහියක හිටපු පුරුපුරුට මේ සිද්දිය ගනන් ගතයුතු මට්ටමේ දෙයක් කියලා මීටර් වුණේ නෑ.

කොහොමහරි ඉතිං පෙම් ලෝකෙ අතරමං වෙලා හිටපු කපල් එකටත් බෑග් එක නැතිවෙච්ච බව දැනුනෙ ටිකක් වෙලා ගියාට පස්සේ. ඉතිං කලබල වෙච්ච චාටර්මාලි කළේ මූණ ඇඹුල් කරගෙන බෑග් එක හොයන්න පටන් ගත්ත එක. මේ වෙද්දි බස් එක අද්දන්නත් ළඟයි. ඉතිං මාලුකට්ටාත් බොහොම කලබලෙන් හැමතැනම බෑග් එක හොයන්න පටන් ගත්තලු. මේ වෙද්දිත් අපේ පූසන්ට මේ කිසි දෙයක් මීටර් වෙලා තිබුන් නෑ. ඔය වෙලාවෙ තමයි මාලුකට්ටා අන්තිම සීට් එක ගාවට ආවේ. ඉතිං තමන්ගෙ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්ගෙ බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවේ තියෙනවා දැකපු මාලුකට්ටාට මාරයා ආවේශ වුණාලු.

මාලුකට්ටා :- පුරුපුරු!!! තමුසෙට පිස්සුද චාටර්මාලිගෙ බෑග් එක ඉස්සුවේ?

මාලුකට්ටා කරපු ගෝරනාඩුවෙන් තමයි මෙච්චරවෙලා කෑ ගගහා හිටපු පුරුපුරු ඇතුලු පූසො කට්ටිය පියවි සිහියට ආවේ. එතකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තමන්ගෙ ඔඩොක්කුවේ ගෑනු ළමයෙකුගේ බෑග් එකක් තියෙන බව. ඒත් මෑන්ස්ට හිතාගන්න බෑ ඒක ඔඩොක්කුවට ආවේ කොහොමද කියලා. කොහොමහරි මේ වෙද්දි බස් එකේ මිනිස්සුත් බලන්න පටන් අරගෙන මොකද්ද මේ සීන් එක කියලා. පුරුපුරුට ලැජ්ජයි. ඒ වගේ අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. වෙන තැනකදිනං මාලුකට්ටාට ගහන්න හරි තිබුනා. ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සරහා කොල්ලෙක්ට ගහන එකත් සදාචාර සම්පන්න නෑ නොවැ!

පුරුපුරු මෙහෙම කල්පනා කරද්දි උපාසක තමයි බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවෙන් අරගෙන ආපහු මාලුකට්ටාට දුන්නේ. සව්සිරිත් මේ අතරේ බයවෙලා. මෑන්ස් හිතන්න නැතුව ඇති විහිලුව මේ තරම් දුරදිග යයි කියලා. කොහොමහරි තවත් හිටියොත් පුරුපුරුත් මාලුකට්ටාත් අතරේ බස් එක මැද්දේ වලියක් යන බව තේරුම් ගත්තු අනිත් යාලුවෝ පුරුපුරුවත් අරගෙන බස් එකෙන් බැස්සලු. එදා තමයි පූසො සෙට් එකේ මිත්‍රත්වය කියන පදනමේ පලුද්දක් ඇතිවුණේ. ඉතිං ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

ප.ලි :- මාලුකට්ටා වෙත,

උඹ මේක කියවනකොට බ්‍රෙට් ලී කියන්නෙ කවුද කියලා දන්නෙ නැත්තං මෙතනින් ගිහින් බලපන් :-).

Monday, August 22, 2011

සුදුපූසි 10 - නැවත හමුවීම



සුදුපූසි 1                                       සුදුපූසි 6
සුදුපූසි 2                                       සුදුපූසි 7
සුදුපූසි 3                                       සුදුපූසි 8
සුදුපූසි 4                                       සුදුපූසි 9
සුදුපූසි 5

දැන් මම මේ කියන සිද්ද ටික සිද්ද වෙන්නෙ කලින් කියපු විදූශාගෙ කේස් එකෙන් පස්සෙ. මේ වෙද්දි අපේ පුරුපුරු විදූශා තමන්ට දුන්න සුපිරි ගේම් එක හින්දා ෆුල් අප්සෙට් එකේ හිටියෙ. කොටින්ම මේ වෙනකොට පූසාගේ අධ්‍යාපන කටයුතු පවා සැලකිය යුතු මට්ටමකින් ඩවුන් වෙලයි තිබුනේ. මොකද කොච්චර නොහිතා ඉන්න උත්සාහ කළත්, විදූශා ගැන ජම්ප් වෙන ෆ්ලවර් එකෙන් නිතරම පුරුපුරුගෙ හිත පිරෙමින් තිබුනු කාලයක් ඒක.


ඉතිං ඔය විදිහට තවත් සෙනසුරාදා දවසක් උදාවුණේ විදූශාගේ කේස් එක වෙලා සති කීපයක් ගතවුණාට පස්සේ. සෙනසුරාදා කියන්නෙ කොහොමත් ඒ ලෙවල් ළමයින්ට බිසී දවසක් නොවැ! ඉතිං අපේ පුරුපුරුටත් එදා උදේ කෙමිස්ට්‍රි ක්ලාස් එකකුයි, හවස බයෝ ක්ලාස් එකකුයි තිබුනලු. සාමාන්‍යෙයන් කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වෙලා බයෝ එක පටන් ගන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා. ඉතිං ලන්ච් එක අරගෙන ඉවරවෙලා පොඩි රස්තියාදු පාරක් දාන්නත් පුරුපුරුලා අමතක කරන්නෙ නෑ.


ඔය බයෝ ක්ලාස් එකට පූසන්ගෙන් ගියෙ පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි විතරයි. මොකද ඤාව්වායි, උපාසකයි කළේ මැත්ස්නෙ. එදා කොහොමහරි මී කතුරා ක්ලාස් ආවෙ නෑ. මේ වෙද්දි චාටර්මාලිට හනී රෝඩ් එක දැමීම පුරුද්දක් කරගත්තු මාලුකට්ටා අල්ලන එක කොහොමත් පොසිබල් වැඩක් වුණේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු කරන්නත් හරිහමං වැඩක් හිතාගන්න බැරුව ඕහේ බයෝ ක්ලාස් එක පැත්තට ඇදුනාලු.


බයෝ ක්ලාස් එකට යද්දි තමයි හම්බවෙන්නෙ සුප්‍රසිද්ද ගම්පහ මගී පාලම. එකෙන් තමයි ස්ටේෂන් එකේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු වෙන්නේ. ගම්පහ කොල්ලො කෙල්ලො ඕකට කිව්වෙ ගාඩර් එක කියලා. ඉතිං කරන්නත් වැඩක් නැති එකේ පූසා කළේ ගාඩර් එක උඩට වෙලා රේල් පාර දිහා බලාගෙන හිටපු එක. ගාඩර් එක උඩින් හැමතිස්සෙම කපල් ගොඩක් එහා මෙහා යනවා. ඒ හැමෝම වගේ ගම්පහ ක්ලාස් එන ටියුෂන් ළමයි. ඉතිං හැමදාම දැකලා පුරුදු මේ දර්ශනේ දිහා පුරුපුරු වැඩිය උනන්දුවෙන් බැලුවෙ නෑ.


ඊටපස්සෙ අපේ පූසා බයෝ ක්ලාස් එකට යන්න හදද්දි තමයි එකපාරටම දැකලා පුරුදු මූණු දෙකක් මෑන්ස්ට මීටර් වුණේ. ටිකක් හොඳට බලද්දි තමයි පුරුපුරුට මීටර් වුණේ එක මූණක අයිතිකාරි රසිකා කියලා. ඒ එක්කම පූසාට මීටර් වුණාලු රසිකා එක්ක හිටපු අනිත් කෙනාගෙ මූණත්. දෙයියනේ! සුදුපූසි...


අවුරුදු හයක් නොදැක හිටියත් පුරුපුරුට සුදුපූසිව අඳුරගන්න තත්පර හයක්වත් ගතවුණේ නෑ. පුරුපුරු කවදාවත් හිතුවෙ නෑ ගම්පහ ගාඩර් එක උඩදී තමන්ට සුදුපූසිව ආපහු මේ විදිහට හම්බවෙයි කියලා. ඒ තියා සුදුපූසිව ජීවිතේටම ආපහු දැකගන්න පුලුවන් වෙයි කියලාවත් පුරුපුරු කවදාවත් හිතුවේ නෑ. ඉතිං මේ බලාපොරොත්තු විරහිත හමුවීමෙන් අපේ පූසා එකතැනම ගල්ගැහුනලු.


සුදුපූසි ඉස්සර වගේම ලස්සනයි. ඉස්සරටත් වඩා සුදුයිද කොහෙද. කැපී පෙනෙන වෙනසකට සිද්දවෙලා තිබුනෙ සුදුපූසිගෙ ලස්සන ඇස් වලට උඩින් ලස්සන ස්පෙක්ස් දෙකක් ඇවිත් තිබුන එක.


දැන් පුරුපුරුට හිතාගන්න බෑ මොනවද කරන්න ඕනෙ කියලා. මෑන්ස්ට ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නත් ඕනෙ. ඒත් හිත හදාගෙන කතා කරන්නත් බෑ. මොකද මේ වෙද්දි පුරුපුරු වෙන ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා ඒ සම්බන්දෙත් ජෝන් බාස්ට යවාගත්තු අසාර්ථක පූසෙක්. ෂුවර් එකටම සුදුපූසි ඒ ගැන දන්නෙ නැතුව ඇති. ඒත් රෙද්දක් ඇඳගෙන ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නෙ කොහොමද?


මෙහෙම කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු සුදුපූසියි රසිකායි තමන්ව දකින්න කලින් එතනින් ශේප් වෙන්න. ඇත්තටම මෑන්ස්ට පොඩි හරි බයක් තිබුනේ රසිකා තමන්ව අඳුරගනියි කියලා. මොකද අවුරුදු හයකින් තමන්ව නොදැක්ක සුදුපූසිට, තමන්ව අඳුරගන්න පුලුවන් වෙයි කියලා අපේ පූසා කොහොමටවත් හිතුවේ නෑ. කොහොමහරි එතකොට තමයි පුරුපුරුට තේරුණේ තීරණය ක්‍රියාත්මක කරන්න තමන් පරක්කු වැඩියි කියලා. මොකද ඒ වෙනකොටත් සුදුපූසියි රසිකායි මෑන්ස්ගෙ ළඟටම ඇවිල්ලා.


ඊටපස්සේ පුරුපුරුට සිද්දවුණේ මොනවත් හිතාගන්න බැරුව හිටිය තැනම නවතින්නලු. එතකොටත් සෑහෙන්න සම්භාවිතාවක් තිබුනේ ගෑනු ළමයි දෙන්නා පූසාව අඳුරගන්නෙ නැතුව මෑන්ස්ව පාස් කරලා යන වැඩේට. ඒත් හිතපු නැති විදිහට පුරුපුරු ළඟින් යද්දි සුදුපූසි මෑන්ස් හිටපු පැත්ත බැලුවලු. එතකොට තමයි පූසා කවදාවත් හිතපු නැති විදිහට සුදුපූසි එකතැනම නතර වුණේ. බැලින්නං සුදුපූසිත් පුරුපුරුව එකපාරටම අඳුරගෙන.


සුදුපූසි :- පුරුපුරු!!! ඔයා පුරුපුරු නේද? (එහෙම ඇහුවත් මේ වෙද්දි අඳුරගෙන ඉවරයි)


පුරුපුරු :- සුදුපූසි!!! ඔයාව දැකපු කල්!!! කොහොමද ඉතිං? අවුරුදු ගානකට පස්සෙනෙ ඔයාව දැක්කෙ.


සුදුපූසි :- වරදක් නෑ පුරුපුරු. මට ඔයාගෙ ඕ ලෙවල් රිසාල්ට් එහෙමත් ආරංචි වුණා. ඔයාට කොහොමද? කොහෙද ක්ලාස් යන්නෙ?

පුරුපුරු :- මම මේ උපාලිස් සර්ගෙ ක්ලාස් එකට යන ගමන්. ඔයාලා?

සුදුපූසි :- ආනේ...අපිත් මේ ඒ ක්ලාස් එකට තමයි යන්නේ. අද තමයි මුලින්ම ක්ලාස් එකට යන්නේ. ක්ලාස් එක තියෙන තැන හරියට දන්නෙත් නෑ අපි.


පුරුපුරු :- ආ..ඇත්තද? එන්න මම ඔයාලාව එක්කගෙන යන්නං.

මෙහෙම කියපු පූසා සුදුපූසිවයි, රසිකාවයි එක්කගෙන බයෝ ක්ලාස් එකට ගියාලු. ඒ යන අතරමගදි වෙලාව ලැබුන විදිහට ආගිය තොරතුරු, සැප සනීප, අධ්‍යාපනික තොරතුරු වගේ බේසික් ඉන්ෆොමේෂන් ටිකක් හුවමාරු කරගන්නත් කට්ටියට පුලුවන් වුණාලු. හොඳ වෙලාවට මේ වෙද්දි සුදුපූසි, අර පුරුපුරු පොල්ල තිබ්බ වැඩේ සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුනේ. ඒ වගේම හොඳ වෙලාවට සුදුපූසි විදූශාගෙ සීන් එක දන්න බවක් පෙනුනෙත් නෑ.

කොහොමහරි එදා ක්ලාස් එකේදි අපේ පූසා හිටියේ සෑහෙන්න අවුල් වෙච්ච හිතකින්. සුදුපූසිව දැක්ක මොහොතේම පුරුපුරුගෙ හිතේ යටපත් වෙලා තිබුන හැඟීම් ඔක්කොම බෝම්බයක් පිපිරුවා වගේ එළියට ආපු බවට මෑන්ස්ට කිසිම සැකයක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දි පරක්කු වැඩියි. පූසා විදූශා එක්ක යාලුවෙලා හිටපු බව දැනගත්තොත් සුදුපූසි කවදාවත් මෑන්ස් එක්ක යාලුවෙන එකක් නෑ. ඇරත් මේ වෙද්දි සුදුපූසිටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියලා දන්නෙත් නෑ නොවැ!

අනික මේ ක්ලාස් එකේදි සුදුපූසිට විදූශා ගැන දැනගන්න තියෙන හැකියාව සෑහෙන්න වැඩියි. මොකද විදූශා බයෝ වලට ආවෙත් මේ ක්ලාස් එකට. ඒ හින්දා පුරුපුරු මේ වෙද්දි හිටියෙ ක්ලාස් එක පෙන්නන්න බැරුව. ඉතිං සුදුපූසිට ට්‍රයි කරන වැඩේ ආපහු පටන් එක එච්චර නුවණට හුරු නැති වැඩක් විදිහට තමයි පූසාට පෙනුනෙ. ඒත් ඉතිං ලව් කරන්න ඕනෙ වුණාම කොහේද බ්‍රේක් නේද? ඉතිං එදා හවස ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එකට ගියෙ සුදුපූසියි රසිකායි එක්ක පොඩි චැට් එකක් දාගෙන.

ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙදිගොඩ බසුයි නවත්තන්නේ එක ළඟ. ඉතිං පුරුපුරුට චාන්ස් එක ලැබුනාලු බස් එක ළඟට යනකංම සුදුපූසිත් එක්ක කතා කර කර යන්න. හැබැයි ඉතිං පොඩිකාලෙ වගේ නෙවෙයි, ඒ වෙද්දිනං සුදුපූසි ගොඩක් ලැජ්ජාවෙන් තමයි පුරුපුරු එක්ක කතා කළේ. ඉස්සර කතුර වගේ ක්‍රියාත්මක වෙච්ච සුදුපූසිගෙ කට මේ වෙද්දි හිතාගන්නවත් අමාරු විදිහට කොන්ට්‍රෝල්පිට තිබුනේ.


කොහොමහරි එදා ගෙදර යද්දි අපේ පුරුපුරු තීරණය කරලා ඉවරයි ආපහු සුදුපූසිට ට්‍රයි කරන්න. හැබැයි ඒ සුදුපූසිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තං විතරයි.

Wednesday, February 16, 2011

දියාරු ලෝකය 2 - The Water World 2


අපේ දියාරු ලෝකය 1 ලිපිය තාක්ෂණික ගැටලුවක් හින්දා ගොඩක් දෙනෙක්ට බලන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ හින්දා දැන් කට්ටිය මුලින්ම ගිහින් ඒක බලන්නකෝ.

දියාරු ලෝකය - 1

ඉතිං ඔය විදිහට මාලුකට්ටායි, පුරුපුරුයි, කලුකුමාරියි, චාටර්මාලියි බස් එකේ ඇවිත් දියාරු ලෝකෙ ළගින් බැස්සා. ඒ දවස්වල දැන් වගේ ඔය ප්ලේස් එක හොඳට හදලා තිබුනෙ නෑ. දැන්නං ටීවී එකේ ඇඩ් දානවනෙ කුරුල්ලො එහෙමත් ඉන්නවයි කියලා. හැබැයි ඒ දවස්වලනං ඒකෙ හිටියෙ මාලු විතරයි. කොහොමහරි ඉතිං අපේ යාලුවො කට්ටියත් ටිකට් එහෙම අරගෙන දියාරු ලෝකෙට ඇතුල් වුණාලු.

මාලුකට්ටා මීට කලින් දවසක දියාරු ලෝකෙ බලන්න ඇවිල්ලා තිබුනා. ඒ හින්දා මෑන්ස් පුරුදු කාරයා වගේ දැන් චාටර්මාලිත් එක්ක ඉස්සරවෙලා යනවා. පුරුපුරුයි, කලුකුමාරියි යන්නෙ ඒ දෙන්නාට පිටිපස්සෙන්. මෙහෙම ගියාට මොකද, පුරුපුරු හිටියෙ හරිම අපහසුවෙන්. බැරිවෙලා හරි අඳුරන කවුරුහරි දැක්කොත් ආයි ඉඳලා ඉවරයි. අනික කලුකුමාරි එක්ක යාලුයි කියලා ආරංචියක් පැතිරුනොත් වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන එකත් බොරු.

හැබැයි අපි කලින් ලිපියෙත් කිව්වා වගේ කලුකුමාරිනං බොහොම විනෝදෙන්, මේ ගමන උපරිමයෙන්ම එන්ජෝයි කර කර තමයි හිටියේ. එයා හයියෙන් හිනා වෙනවා, ඉස්සරහින් යන මාලුකට්ටලාට විහිලු කරනවා, එක විකාරයයි එතන.

කලුකුමාරි :- පුරුපුරු, ඇයි අනේ ඔයා කතා නොකර ඉන්නෙ? ඔයා නිකං බයවෙලා වගේනෙ ඉන්නෙ!

පුරුපුරු :- මම? බය? පිස්සුද?

කලුකුමාරි :- මොකද නැත්තෙ? ඔය ඔයා හැමතිස්සෙම වට පිට බලබලා ඉන්නෙ. අනික කතා කරන්නෙත් බයවෙලා වගේ. ඇයි ඔයාට මාත් එක්ක යනකොට බයයි වගේද?

පුරුපුරු :- පිස්සුද? මම බය නෑ කුමාරි

කලුකුමාරි :- එහෙනං ඔයා මාත් එක්ක ඇවිදින්න කැමති නැද්ද?

පුරුපුරු :- නෑ නෑ! එහෙම එකක් නෙවෙයි. ඒ වුණාට කවුරුහරි අපි මෙහෙම යනවා දැක්කොත්, අපි දෙන්නා යාලුයි කියලා හිතයි නේද?

කලුකුමාරි :- ඒ වුණාට ඉතිං අර දෙන්නාට බාධා කරන්නත් බෑනෙ නේද? දැන්නං ඒ දෙන්නා යාලුවෙලා වගේම තමයි ඉන්නෙ.

ඔය දියාරු ලෝකෙ ලොකු මාලු ටැංකිවල එක එක ජාතියෙ ලස්සන මාලු දාලා ඉන්නවා. සමහර එවුන් පිටරටින් ගෙනාපු මාලු. ඉතිං ඔය වගේ ලස්සන මාලු ටැංකියක් ළගින් යද්දි කලුකුමාරි එතන නවතිනවා. ඊට පස්සෙ එයාගෙ කැමරාව පුරුපුරුට දෙනවා.

කලුකුමාරි :- පුරුපුරු, මගෙ ලස්සන ෆෝටෝ එකක් ගන්නකෝ

පුරුපුරු :- හ්ම්...

කලුකුමාරි :- ඔන්න මේ මාලුවත් බැක්ග්‍රවුන්ඩ් එකේ ලස්සනට ඉන්න ඕනෙ.

පුරුපුරු :- හා හා.

පුරුපුරුත් ඉතිං කලුකුමාරි කියන විදිහට ෆෝටෝ ගන්නවා. අර ලස්සන මාලුන්ගෙ ෆෝටෝ ටික කලුකුමාරි මැද්දට පැනලා අවලස්සන කරනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය දියාරු ලෝකෙ ලස්සන මාලු බල බලා ඉස්සරහට ගියාලු. අන්තිමට කට්ටිය ආවෙ ලොකු ගල් ගුහාවක් වගේ හදලා තිබුන තැනකට. ඒක ඇතුලේ අම්බානට කලුවරයි. ඒ මදිවාට ඒකෙ ටැංකිවල ඉන්නෙත් මෝරු. මේ වෙද්දිනං පුරුපුරුට ඇවිදලා එපා වෙලයි තිබුනෙ. අපරාදෙ! තව එක පූසෙක් හරි හිටියනං සිරාවට යන්න තිබුන අවුටින් එක. ඉතිං ඉස්සරහින් ගියපු මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලන්න කලුවර ගුහාව ඇතුලට ගියාලු. හැබැයි පුරුපුරුටනං මෝරු බලන්න කිසිම ඉන්ටරස්ට් එකක් තිබුනෙ නෑ.

කලුකුමාරි :- පුරුපුරු! අපිත් මෝරු බලන්න යමුද?

පුරුපුරු :- ඔයාට ඕනෙනං යන්න කුමාරි, මට මහන්සියි. මම අතන මේසෙ ගාවට යනවා වාඩි වෙන්න.

කලුකුමාරි :- එක්කො මටත් කම්මැලියි. එහෙනං අපි අර දෙන්නා එනකං එතෙන්ට වෙලා වාඩි වෙලා ඉමු.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. දැන් ඉතිං කිව්ව වචන ආපහු ගිලින්නත් බෑ නොවැ!

පුරුපුරු :- හා...යමුකො එහෙනං!

ඉතිං පුරුපුරුයි, කලුකුමාරියි ගිහින් ඊට ටිකක් එහා තිබුන ටේබල් එකේ වාඩි වුණාලු. එතන තිබුනෙ අර කුඩයක් හිටවලා ඒක වටේ‍ට පුටු තියෙන ජාතියෙ ටේබල් එකක්. දැන් ඉතිං මේ දෙන්නා බලාගෙන ඉන්නවා මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා එනකං. කොහෙද? පැය කාලක් විතර ගියත් මේ දෙන්නා එන පාටක් නෑ. පුරුපුරුට තේරුනා කලුවර ගුහාව ඇතුලෙ ලස්සන ලස්සන මෝරු ඉන්න ඇතියි කියලා. ඒ මදිවාට දැන් මෑන්ස්ට අම්බානට බඩගිනියි. අන්තිමට පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා ආවෙ.

ඊට පස්සෙ කට්ටිය කළේ එතන කිට්ටුව තිබුන තැනකින් ලන්ච් එක ගත්ත එක. ඊටත් පස්සෙ මාලුකට්ටාගෙ ගානෙ කට්ටියටම අයිස් ක්‍රීම් කප් හම්බවුණාලු. දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක හිනාවෙවී අයිස් ක්‍රීම් කනවා. එතකොටම තමයි අපේ පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච විදිහට, ඉතාම භයානක, මවිල් කෙලින්වෙන සුලු දර්ශනයක් දැක්කෙ.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!!! ඤාව්වාගෙ අම්මා.............


බැලින්නං කට්ටිය හිටපු තැනට ටිකක් එහා ඉඳගෙන, ඤාව්වගෙ අම්මා අපේ යාලුවො දිහා කන්න වගේ රවාගෙන බලන් ඉන්නවා. දැන් කට්ටියටම ෆුල් අප්සෙට්. පුරුපුරුයි, මාලුකට්ටායි අමාරුවෙන් ඤාව් මෑණියොත් එක්ක හිනාවෙන්න හැදුවත්, ඤාව් ඇන්ටි කළේ රවලා අහක බලාගෙන එතනින් යන්න ගිය එක. දැන්නං ඉතිං කට්ටියටම ෂුවර් බඩු පැකට් තමයි කියලා.

ඤාව්වාගෙ අම්මා හෝම් සයන්ස් ටීචර් කෙනෙක්. ඉතිං එදා ඉස්කෝලෙ ළමයි එක්කගෙන පොඩි අධ්‍යාපන චාරිකාවක් තමයි ඤාව්වගෙ අම්මලා ඇවිත් තියෙන්නෙ. ඤාව්වත් දැනගෙන ඉඳලා තියෙනවා මෑන්ස්ගෙ අම්මා ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න ඉන්නේ කියලා. ඒත් පොර දැනගෙන හිටියේ නෑ ඒ ට්‍රිප් එක යන්නේ දියාරු ලෝකෙ බලන්න කියලා. ඇරත් ලංකාවෙ මෙච්චර ප්ලේස් තියෙද්දි කවුද හිතන්නෙ මේ ට්‍රිප් එක දියාරු ලෝකෙටම එයි කියලා. අන්තිමට ඒ වැඩෙන් වුණේ මාලුකට්ටා මාට්ටු වෙච්ච එකයි, අහක හිටපු පුරුපුරු නිකං කාඩ් එක කුඩු කරගත්ත එකයි.

ඉතිං එදා අපේ යාලුවො කට්ටිය ගෙදර ගියෙ බයේ ගැහි ගැහී. ට්‍රිප් එක එද්දි තිබුන සතුට කට්ටියගෙ හිතේ ආපහු යනකොට තිබුනෙ නෑ. ඉතිං මාලුකට්ටා ගෙදර ගිහින් බලද්දි, බලාපොරොත්තු වෙච්ච විදිහටම ආරංචිය මෑන්ස්ටත් කලින්ම ගෙදරට ඇවිත් තිබුනලු.

මාලු මෑණියෝ :- පුතා, අද ඔයා කොහෙද ගියෙ?

මාකට් :- දියාරු ලෝකෙට.

මාලු මෑණියෝ :- ඔව් මම දන්නවා දියාරු ලෝකෙ හිටියෙ කියලා. ඔයයි පුරුපුරුයි දෙන්නාම ගෑනු ළමයි දෙන්නෙක් එක්ක නේද හිටියේ? ඔයාට පිස්සුද මේ වගේ වැඩ කරන්න? තවම උසස්පෙළ කරන්න පටන් ගත්තා විතරයි. දෙමව්පියො ඔයාලා ගැන කොච්චර බලපොරොත්තු තියාගෙනද ඉන්නෙ? ඔය වැඩ වලින් අධ්‍යාපනේ කඩාකප්පල් කරගන්නද හදන්නේ? කවුද ඔය ගෑනු ළමයි දෙන්නා?

දැන් මාලුකට්ටාට ප්‍රශ්න කෝටියයි. ඒ මදිවාට උපදෙස් ගොඩයි.

මාකට් :- මමනං දන්නෑ අම්මා මේ මොනවා කියවනවද කියලා? මම දියාරු ලෝකෙට ගියා තමයි. එතන ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා තමයි. ඒත් ඔය කියන විදිහෙ දෙයක් එතන සිද්දවුණේ නෑ.

මාලු මෑණියෝ :- දැන් ඔයා හිතන්නෙ මගෙ කොන්ඩෙ පැහුනෙ අකලට කියලද? මම මෝඩියෙක් කියලද හිතන්නෙ?

මාකට් :- නෑ නෑ අම්මේ! අපේ පුරුපුරු තමයි ඔය කලුකුමාරිට ට්‍රයි කරන්නේ. මමයි චාටර්මාලියි ඒ දෙන්නාට සපෝට් එකට ගියෙ. ආපහු මම එහෙම යන්නෙ නෑ. දන්නැද්ද අම්මේ? පුරුපුරු කතා කළාම නොගිහින් ඉන්න බැරිවුණා. මමත් මිනිහට කිව්වා විභාගෙ කරන්න කලින් ඔය වැඩ පටන්ගන්න එපා කියලා. කෝ ඉතිං! කිව්වට අහන එකක්යැ!

මාලු මෑණියෝ :- ඔය ඇත්තමද පුතා? බලන්නකො මේ ළමයා කරන වැඩ!

මාකට් :- පුරුපුරුලගෙ ගෙදරට කියන්නනං එපා අම්මේ! මිනිහා මට අල්ලගෙන ගහයි.

මාලු මෑණියෝ :- හා හා. මම ඕවා කියන්න යන්නෑ. මේ ළමයා හින්දා අපිට අපේ ළමයෙක්වත් හරියට හදාගන්න බැරිවෙනවා.

කොහොමහරි ඉතිං ඔය සිද්දිය පහුවදා වෙද්දි ඤාව්වගෙයි, උපාසකගෙයි අම්මලාටත් ආරංචි වෙලා තිබුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කට්ටියට පුරුපුරුලගෙ ගෙදර යන එක මාසයක් විතර තහනම් වෙලා තිබුනා. තව, ආරංචියෙ අතුරු ප්‍රතිඵලයක් විදිහට මාලුකට්ටා පුරුපුරුගෙන් ගුටි කෑවා. ඊට පස්සෙ ඔය සේරම දේවල් ටික දවසකින් කාට කාටත් අමතක වෙලා ගියා.

අන්තිමට මාලුකට්ටා චාටර්මාලි එක්ක ඔෆිෂියලි යාලු වුණා.

නිමි.

Tuesday, February 15, 2011

දියාරු ලෝකය (The Water World)


ඉතිං යාලුවනේ මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල හරියෙ ඉන්නකොට. අපේ බ්ලොග් එක මුල ඉඳලා බලපු කට්ටියට මතක ඇතිනෙ අර මාලුකට්ටායි, ඤාව්වායි දෙන්නාම ට්‍රයි කරපු චාටර්මාලි කියන ගෑනු ළමයාව. ඉතිං පස්සෙ කාලෙක මාලුකට්ටාට පුලුවන් වුණාලු මේ ගෑනු ළමයාට ගොඩක් කිට්ටු වෙලා හිතවත් වෙන්න.

ඔය විදිහට මාස කීපයක් ගියාට පස්සෙ මාලුකට්ටා චාටර්මාලිත් එක්ක යාලු වෙලා වගේ තත්ත්වයක් තමයි තිබුනේ. දෙන්නා ක්ලාස් වලට යන්නෙ එකටමයි. බස් එකේ යන්නෙත් එකටමයි. කොටින්ම මේ වෙද්දි අනිත් පූසන්ටත් මාලුකට්ටාව අල්ලගන්න බැරුවයි හිටියේ. ඉතිං පුරුපුරු, උපාසක, ඤාව්වා සහ මී කතුරා කට්ටියම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මාලුකට්ටා චාටර්මාලි එක්ක යාලුද නැද්ද කියලා.

ඉඳලා ඉඳලා දවසක අහම්බෙන් මෑන්ස්ව අල්ලගන්න චාන්ස් එකක් හම්බවුණත්, මාලුකට්ටා අනිත් පූසන්ට කිව්වෙ නෑ පොරගෙ ලව් එකේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා. චාටර්මාලි ගැන අනිත් පූසො ඇහුවොත් මෑන්ස් කිව්වෙම

"අනේ මන්දා බං!"

කියලා විතරයි. ඉතිං මේ හේතුව හින්දා අපේ පූසො සෙට් එකට මේ දවස්වල මාලුකට්ටා එක්ක ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ.

ඔය චාටර්මාලිගෙ හොඳම අතීසාර මිතුරිය තමයි අපි කවුරුත් දන්න කලුකුමාරි. අනිත් පූසන්ට මොනවත් නොකිව්වට මොකද, මාලුකට්ටා කලුකුමාරිටනං ඔක්කොම දේවල් කියලා, තමන්ගෙ ලව් එකට විදේශාධාර බලාපොරොත්තු වෙලා තිබුනා. ඉතිං මේ හේතුව හින්දා, අපේ පූසො කට්ටියට මාලුකට්ටා එක්ක ජම්ප් වෙලා තිබුන ෆ්ලවර් එක තවත් ඇම්ප්ලිෆයි වුණාලු. මේ වෙද්දි උපාසක, ඤාව්වා ඇතුලු පූසන්ගෙ නිගමනය වෙලා තිබුනෙ මාලුකට්ටා චාටර්මාලි එකක් යාලුවෙලා, ඒක තමන්ට නොකියා ඉන්නවයි කියන එක.

ඉතිං මේ දවස්වල පූසො කට්ටිය සෙට් වෙද්දි ගොඩක් වෙලාවට සෙට් වුණේ පුරුපුරුයි, ඤාව්වායි, උපාසකයි, මී කතුරායි විතරයි. කොහොමහරි එක දවසක් අපේ පුරුපුරුට මාලුකට්ටාගෙන් හදිස්සියෙම කෝල් එකක් ආවලු.

මාලුකට්ටා :- මචං පුරු, හෙට අපි පොඩි ගමනක් යනවා. උඹටත් එන්න පුලුවන්ද?

පුරුපුරු :- ගමනක්? කොහෙද?

මාලුකට්ටා :- අර දියාරු ලෝකය බලන්න යන්න. එහෙ සිරාලු බං!

පුරුපුරු :- දැන් එතකොට කවුරු කවුරුද යන්නේ?

මාලුකට්ටා :- මමයි, චාටර්මාලියි, කලුකුමාරියි, තව හේනවිලේජ් එකේ කෙල්ලො සෙට් එකකුයි.

පුරුපුරු :- කලුකුමාරිත් යනවද?

මොකද මේ දවස්වල අර ඤාව්වගෙ කේස් එක හින්දා, අනිත් පූසො කලුකුමාරිත් එක්ක ටිකක් හිත නොහොඳින් තමයි හිටියේ.

මාලුකට්ටා :- ඔව් බං! ඒකිව දාලා යන්නත් බෑනෙ. චාටර්මාලි ඒකි නැතුව එන්න කැමති නෑ. අනික කලුකුමාරි කියන්නෙ හොඳ කෙල්ලෙක් මචං. දැන් උඹලා ආවෙ නැත්තං මට කෙල්ලො සෙට් එකක් එක්ක තනියම තමයි යන්න වෙන්නෙ.

පුරුපුරු :- උපාසකලා එනවද දන්නෑ?

මාලුකට්ටා :- මම උන් තුන්දෙනාටම කිව්වා. මී කතුරාටනං එන්න වෙන්නෙ නෑලු. උපාසකයි, ඤාව්වායි එන්නං කිව්වා.

පුරුපුරු :- හා හා. ඉතිං බං උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කනෙ උඹ යන්නෙ? අපි නැති වුණාට අවුලක් නෑනෙ?

මාලුකට්ටා :- තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි බං! හැබැයි ටිකක් විතර ඒ වගේ.

පුරුපුරු :- හා හා!! හෙට උදේ හම්බවෙමුකො එහෙනං. උඹලා ඉතිං දැන් අපිට කිසිම දෙයක් කියන එකක්යැ!

මාලුකට්ටා :- හික්...එහෙම එකක් නෑ බං! යථා කාලෙදි උඹලාට සුභ ආරංචියක් දෙන්න පුලුවන් වෙයි.

මාලුකට්ටා පුරුපුරුට පණිවිඩේ කිව්වෙ ගමන යන්න කලින් දවසෙ රෑ වෙලා. ඉතිං ඒ වෙලාවෙ උපාසකටයි, ඤාව්වාටයි කෝල් කරන්න කම්මැලි වෙච්ච අපේ පූසා, කෙලින්ම ගිහින් නිදා ගත්තලු. පහුවදා තිබුනෙ මොකක් හරි නිවාඩු දවසක්. ඉතිං ඉස්කෝලෙත් නිවාඩු හින්දා කරන්න වැඩක් තිබුනෙත් නෑ. ඒක හින්දා පුරුපුරු තීරණය කළාලු මාලුකට්ටාත් එක්ක මේ ගමන යන්න. අනික අනිත් පූසොත් එනවනේ. අනික පුරුපුරු ඒ වෙද්දි කවදාවත් දියාරු ලෝකෙ බලන්න ගිහින් තිබුනෙත් නෑ.

ඉතිං කලින් කතා වෙච්ච විදිහට, පහුවදා උදේම පුරුපුරු ගියාලු පූස්ගම බස්ටෑන්ඩ් එකට. හැබැයි මෑන්ස් යද්දි අඳුරන කවුරුවත් බස්ටෑන්ඩ් එකේ හිටියෙ නෑලු. ටික වෙලාවක් යද්දි තමයි මාලුකට්ටා එතෙන්ට ආවෙ.

මාලුකට්ටා :- මාර කේස් එකනෙ බං. අරූට එන්න බැරිලුනෙ.

පුරුපුරු :- ???

මාලුකට්ටා :- ඤාව්වා උදේ කෝල් කරලා කියනවා කලුකුමාරි එන හින්දා ඌට එන්නම බැරිලු.

පුරුපුරු :- එතකොට උපාසක?

මාලුකට්ටා :- ඌනං ඊයෙම එන්න බෑ කිව්වා බං. මම උඹට බොරුවට ඌ එනවයි කිව්වෙ, උඹත් ආවෙ නැත්තං කියලා.

මේක ඇහුවාමනං අපේ පුරුපුරුට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණාලු. මාලුකට්ටාගෙ සිරිතක් තමයි බොරු කියන එක. ඒ වුණාට මේ වගේ දේවල් වලදි බොරු කිව්වාමනං පුරුපුරුට ෆ්ලවර් ජම්ප් වෙනවා.

පුරුපුරු :- දැන් යකෝ උඹ චාටර්මාලි එක්ක ලව් කරද්දි මට වෙන්නෙ අර කොහෙවත් යන කෙල්ලො සෙට් එකක් එක්ක ඉඳලා බයිට් වෙන්නනෙ.

පුරුපුරු මෙහෙම කියද්දි මාලුකට්ටා මීක් නැතුව අහගෙන ඉන්නවා. මොනවා වුණත් යාලුවානෙ කියලා අපේ පූසා ඉතිං හිත හදාගත්තලු. තවත් ටික වෙලාවකින් තමයි බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් චාටර්මාලියි, කලුකුමාරියි මතුවුණේ. මේ දෙන්නා ඉතිං පුරුපුරුයි, මාලුකට්ටායි කතා කර කර හිටපු තැනට ආවලු.

කලුකුමාරි :- කෝ? ඤාව්වා ආවෙ නැද්ද?

මාලුකට්ටා :- එයාට එන්න බෑ කිව්වනෙ.

කලුකුමාරි :- අම්මෝ! ඒකනං ලොකු දෙයක්. නැත්තං මට මාර කරදරේ එයාගෙන්. අපි එහෙනං යමු නේද?

පුරුපුරු :- ඇයි අනිත් කට්ටිය?

කලුකුමාරි :- ආ...ඒ කට්ටියටත් එන්න වෙන්නෙ නෑ අනේ!

මේක ඇහුවාමනං පුරුපුරුට අසූහාරදාහට තද වුණාලු. පළවෙනි කාරනේ තමයි, උපාසක එදා එන්නේ නෑ කියලා පුරුපුරු දැනගෙන හිටියේ නෑ. ඒත් කලුකුමාරි ඒ බව දන්නවා. දෙවෙනි කාරනේ තමයි, මාලුකට්ටා චාටර්මාලි එක්ක පෙම් සුව විඳිනකොට පුරුපුරුට ඉන්න වෙන්නෙ කලුකුමාරි එක්ක. වහාම ආපහු හැරිලා ගෙදර යන්න හිතුනත්, මාලුකට්ටා පව් නේද කියලා කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු ඕන එකක් වෙන්න කියලා මේ ගමන යන්න.

ඊටපස්සෙ ඉතිං කට්ටිය කළේ පූස්ගම-කොළඹ බස් එකක නැගලා දියාරු ලෝකෙට යන්න පිටත් වෙච්ච එක. බස් එකට නැග්ග හැටියෙම මාලුකට්ටා, චාටර්මාලි එක්ක බස් එකේ පෙම් මුල්ලට ගියාලු. පුරුපුරුයි කලුකුමාරියි වාඩි වුණෙත් පිටිපස්සෙම සීට් එකේ, හැබැයි අනිත් පෙම්මුල්ලෙ නෙවෙයි. දැන් ඉතිං ඇත්තටම එතන කපල් දෙකක් ඉන්නවා වගේ තමයි පිටින් බලන කෙනෙක්ට පේන්නෙ. විලි ලැජ්ජාවයි.

අපේ පුරුපුරුගෙ හිතේ කලුකුමාරි ගැන කිසිම ආල හැඟීමක් ඇතිවෙලා තිබුනෙ නෑ. එහෙමත් තියෙද්දි දැන් පූස්ගම ආරංචියක් පැතිරුණොත් පුරුපුරු කලුකුමාරි එක්ක යාලුවෙලා කියලා, වන විනාසයක් තමයි වෙන්නෙ. ඉතිං අපේ පූසාත් බයෙන් ගැහි ගැහී, වටපිට බල බලා කලුකුමාරි එක්ක බස් එකේ ගියාලු. මාලුකට්ටානං ෆුල් ආතල් එකේ, බාහිර ලෝකය ගැන කිසිම හැඟීමක් නැතුව, චාටර්මාලි එක්ක ප්‍රේම සාගරේ ගිලිලා හිටියලු.

ඔක්කොටමත් වඩා ඉවසන්න අමාරු කලුකුමාරි කියවන්න ගත්තහම නන්ස්ටොප් කියවන එක. ඇරත් එයා පුරුපුරුත් එක්ක බස් එකේ වාඩි වෙලා ගියෙත් බොහොම රිලැක්ස් එකේ, තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවා වගේ තමයි. ඉතිං අපේ පුරුපුරුත් බොහොම අමාරුවෙන් මේ කරදරේ ඉවසගෙන බස් එකේ ගියාලු. කොහොමහරි පැය එකහමාරක් විතර යද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණාලු දියාරු ලෝකෙ ගාවින් බස් එකෙන් බහින්න.

ප.ලි - බ්‍රේකින් නිව්ස්

මේ පාර පොඩි මැතිවරණයට රෝහණදීර ඉදිරිපත් වෙලා කියලා නිල නොලත් නිව්ස් එකක් ලැබුනා. ඒ පිළිබඳ තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට ගඩොල්වාහිණිය සූදානම්.

Friday, July 16, 2010

DREAMZ OF ඤාව්වා 2 - චාටර්මාලි


ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ අපේ ඤාව්වා නංගි කෙනෙක් ගැන හීන දැකපු හැටි.ඒ ලිපියෙදි කිව්වනෙ ඤාව්ව කියන්නෙ ඕනෙම පොඩි දෙයක් මහා බරපතල විදිහට හිතලා, සිරා නිගමන වලට එන පූසෙක් කියලා.ඔන්න අදත් අපි කියන්න යන්නෙ ඒ වගේම මෑන්ස්ට වුන වැඩක් ගැන.

මේ වැඩේ වුණේ අපේ පූසො සෙට් එක ඒ ලෙවල් කරන්න පටන් ගත්තු මුල් දවස්වල.පූසො හැමෝම ඒ ලෙවල් කළේ සයන්ස් විෂය ධාරාවෙන්.පුරුපුරුයි මාලුකට්ටයි කළේ බයෝ සයන්ස්.උපාසකයි ඤාව්වයි කළේ මැත්ස්.ඉතිං පූස්ගම හොද ඒ ලෙවල් විද්‍යා පන්ති නැති නිසා හැමෝම ගියෙ ගම්පහ පන්ති වලටලු.

ඔය වෙනකොට ඉස්කෝලවල ඒ ලෙවල් ක්ලාස් පටන් අරං තිබුනෙ නැති නිසා පන්ති තිබුනෙ සතියෙ දවස්වල උදේම.ඉතිං ගම්පහ උදේ හතහමාරට තියන පන්තියට පූස්ගමින් උදේ 6 ටවත් යන්න ඕනෙ.ගිහින් "නිමාකා" එකෙන් කෑම කාලා පන්තියට යද්දි කොහොමත් හතහමාරට කිට්ටු වෙනවලු.ඉතිං පුරුපුරුයි, මාලුකට්ටයි, ඤාව්වයි උදේම පූස්ගම බස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවලු.මගදි උපාසකත් බස් එකට නැගල කට්ටියම වෙලාවට පන්තිවලට යනවලු.(තවම ඉතිං මුල් දවස් නොවැ!)

කොහොම හරි ඉතිං සබ්ජෙක්ට් 3ට දවස් 3ක් උදේ පාන්දර එන්නත් එපැයි.ඔහොම ආවම බස්ටෑන්ඩ් එකේදි ඔක්කොම වගේ මුනගැහෙන්නෙ දන්න අදුනන මූණු.මොකද පූස්ගම ඉන්න පූසන්ගෙ වයසෙ සයන්ස් කරන ඔක්කොම ළමයි ඒ වෙලාවට බස්ටෑන්ඩ් එ‍කේලු ඉන්නෙ.කොහොමත් ඉතිං පූස්ගමට ළගම තියෙන ප්‍රධාන නගරෙ තමයි ගම්පහ.පූස්ගම ඉදල ගම්පහට බස් රූට් 3ක්ම තියෙනවලු.

ඔහොම ටික දවසක් ගියාට පස්සෙ මාලුකට්ටටයි, ඤාව්වටයි මීටර් වුනාලු මේ මූණු අතරෙ බොහොම සුන්දර නුපුරුදු මූණකුත් තියනවා කියල.බැලින්නං ලස්සන ගෑනු ළමයෙක්.හොයල බැලින්නං පූසන්ගෙම වයසෙ ළමයෙක්.බයෝ සයන්ස් කරන්නෙ.ඉන්නෙත් පූස්ගම කිට්ටුවම ගමකලු.ඉස්කෝලෙ යන්නෙත් ඒ පැත්තෙ තිබුනු "හේනවිලේජ්" කොලේජ් එකටලු.අර කලුකුමාරි ගිය ඉස්කෝලෙමයි.(පස්සෙ කාලෙක තමයි ආරංචි වුණේ කලුකුමාරිගෙ හොදම යාලුවෙක් කියල).ඉතිං වැදගත්ම දේ කියන්න බැරි වුනානෙ.මේ ගෑනු ළමයගෙ නම තමයි "චාටර්මාලි".

දැන් ඉතිං මේ ළමයගෙ බාරකාරත්වය සම්බන්දෙන් මාලුකට්ටයි ඤාව්වයි රන්ඩු වෙනවලු.මාලුකට්ට කියන්නෙ චාටර්මාලිව මුලින් දැක්කෙ මෑන්ස් කියල.හැබැයි ඤාව්ව කියන්නෙත් ඒ කතාවමයිලු.ඉතිං දෙන්නම පටන් ගත්තලු චාටර්මාලිගෙ හිත දිනාගැනීමේ මහා මානුෂීය මෙහෙයුම.

හැබැයි ඔය මෙහෙයුමේ වැඩි වාසි තිබුනෙ මාලුකට්ටටලු.මොකද චාටර්මාලියි මාලුකට්ටයි දෙන්නම ගියෙ ආචාර්ය උපුල්ගෙ බයෝ සයන්ස් ක්ලාස් එකටලු.ඉතිං ඤාව්ව නැති අතරෙ මාලුකට්ටට පොඩි චාන්ස් එකක් ලැබෙනවලු ක්ලාස් ඉවරවෙලා යන අතරෙ චාටර්මාලිත් එක්ක පොඩි ටෝකක් දාන්න.

ඤාව්වට ඔය චාන්ස් එක ලැබෙන්නෙ කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වුණාට පස්සෙ.හැබැයි ඉතිං එතකොටනං මෑන්ස් එක්ක කොම්පෙට්ෂන් එකට මාලුකට්ටත් ඉන්නවලු.මොකද මාලුකට්ටත් හෙනහුරා වගේ කෙමිස්ට්‍රි ක්ලාස් ගියෙ කේසර සර් ගාවටමයි.ඉතිං ටික දවසකින් මාලුකට්ටට වැඩේ හරියන තත්ත්වයක් උද්ගත වුණාලු.ඔය අතරෙ තමයි දවසක් මේ වැඩේ වුණේ.

එදා වැස්ස දවසක්.ඉතිං මාලුකට්ටට පුස්ගමට එන්න පරක්කු වෙලා.මාලුකට්ට ඉන්නෙ දේවගම හින්ද වෙනම බස් එකකින් උදේ පාන්දර පූස්ගමට එන්න ඕනෙලු.(දේවගම ගැන රසකතා වෙනම ලිපියකින් බලාපොරොත්තු වෙන්න).ඒ වෙද්දි චාටර්මාලිත් ගම්පහට යන්න පිටත් වෙලා.කොහොමහරි ඉතිං මෑන්ස් බස්ටැන්ඩ් එකට ආවම ඤාව්ව ඉස්සරහට එනවලු අප්සට් එකේ වගේ.

ඤාව්වා :- මචං, මට උඹට කියන්න වැදගත් දෙයක් තියනවා

මාලුකට්ටත් ඉතිං ඩිම් වෙලා ගියාලු.පරක්කු වෙලා ඉන්න අස්සෙ මොන ජරමරයක්ද දන්නෑනෙ.

මාලුකට්ටා :- ඇයි මචං, මොකද්ද කේස් එක?

ඤාව්වා :- මචං මට අද උදේ චාටර්මාලි හම්බවුණා.එයා මාත් එක්ක කතා කළා

මාලුකට්ටා :- ඉතිං??

ඤාව්වා :- මචං එයා උඹට කැමති නෑ වගේ.එයා මට තමයි කැමති.ඒත් උඹට අප්සට් වගේනං මම වැඩේ අල්ලල දාන්නං

මාලුකට්ටටත් ඉතිං මාසයක් දෙකක් තිස්සෙ හදපු හීන මාළිගා ඔක්කොම කැඩිල බිදිල ගියා වගේලු.මැන්ස් වෙව්ලන කටහඩෙන් මෙහෙම ඇහුවලු

මාලුකට්ටා :- ඇයි මචං? එයා උඹට කිව්වද උඹට කැමතියි කියල? මට අකමැතියි කියලත් කිව්වද?

ඤාව්වා :- එච්චර දෙයක්නං වුණේ නෑ බං! හැබැයි ඉතිං ඒ වගේ දෙයක් තමයි වුණේ.උඹ ඕව ගනන් ගන්න එපා

මාලුකට්ටා :-(ටිකක් සැරෙන්) ඉතිං කෙලින්ම කියපං මොකද වුණේ කියල

ඤාව්වා :- අද උදේ චාටර්මාලි බස්ටෑන්ඩ් එකට ආපු ගමන් මට තමයි good morning කිව්වෙ.මෙච්චර කොල්ලො බස්ටෑන්ඩ් එකේ ඉන්දැද්දි ඇයි එයා මටම එහෙම කිව්වෙ? ඒ එයා මට කැමති හින්ද..

ඤාව්වත් සීරියස්පිටම කිව්වලු.කොහොම හරි එදා ඤාව්ව ගම්පහ යන්න කලින් වෙච්ච සිද්දිය ගම්පහට ආරංචි වෙලා තිබුනලු.එදා ඉදල ටික දවසක් යනකං මෑන්ස්ට ගම්පහ නගරෙ ප්‍රසිද්ධ පාරක යන්න බැරි තත්ත්වයක්ලු තිබුනෙ.දකින දකින කොල්ල මැන්ස්ගෙන් මෙහෙම අහනවලු

"මචං මට අද කෙල්ලෙක් good morning කිව්වා.එයා මට කැමති ඇති නේද??"

ප.ලි - සිද්දියෙන් පසු නොබෝ කලෙකින්ම මාලුකට්ටා විසින් චාටර්මාලිව යාලු කරගන්නා ලදී

*************************************************************************************