අඹ යාලුවෝ

Wednesday, March 16, 2011

බැක් ටු හොස්ටල් - back to hostel


ඔන්න කාලෙකට පස්සෙ ඔයාලා වෙනුවෙන් අලුත්ම ගඩොල් සීරීස් එකක් අරගෙන ආවා. මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ ඔයාලාගෙ බ්ලොග් කියවන්න, කොමෙන්ට් කරන්න පහුගිය දවස්වල මට වෙලාවක් හම්බවුණේ නෑ. කොටින්ම බ්ලොග් ගඩොල් බ්ලොග් එක ගැනවත් හරියට හොයා බලන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඉතිං කට්ටිය ඒ ගැන හිත් අමනාප කර නොගනියි කියලා හිතනවා.



ඉතිං යාලුවනේ මේ වෙද්දි අපේ පූසො සෙට් එක ඉන්නෙ 2004 අවුරුද්දෙ අග හරියෙ. මේ වෙද්දි අපේ පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ඤාව්වාත් ගිය අර අපේ සුපුරුදු ස්කූල් වෑන් එකේලු.

අපි කලිනුත් කිව්වා වගේ කුරුඳුවත්තෙ හොස්ටල් එකේ බැච් එකක ඕ ලෙවල් කරන ළමයි හතලිස් ගානෙන් 8 දෙනාවයි, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු ඒ ලෙවල් වලට හොස්ටල් එකට ගන්නෙ. හැබැයි ඉතිං මේ ළමයි 8 දෙනා අතරට ඇතුල් වෙන්න හිතන තරම් අමාරුවක් නෑ. මොකද හොස්ටල් ළමයි අතර මතයක් තියෙනවා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාට පස්සෙ ඒ ලෙවල් පාස් වෙන්න අමාරුයි කියලා. ඇත්තටම ඒ මතය ගොඩක් වැරදිම නෑ, මොකද ඉතිහාසයේ ඒ වෙද්දි හිටපු ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි පළවෙනි පාර ඒ ලෙවල් ගොඩදාගෙන තියෙන්නෙ. ඉතිං මේ හේතුව හින්දා ඕ ලෙවල් ලියපු හොස්ටල් එකේ කොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් මේ ශිෂ්‍ය නායක තනතුරට ඇප්ලයි කළේ නෑ.

පුරුපුරුලාගෙ බැච් එකෙත් වැඩිදෙනෙක් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ නෑලු. විශේෂයෙන් මාලුකට්ටා එහෙම හිටියෙ කවදාවත් ඒ ලෙවල් වලට හොස්ටල් එකට එන්නෙ නෑ කියන දැඩි මතයක. ඒ වගේම ඒ ලෙවල් කරන්න පටන් ගත්තාට පස්සෙ, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා‍ වෙයි කියලා හිතපු සෙන්සි, පැන්ඩා වගේ කට්ටියත් තීරණය කළාලු හොස්ටල් එකට නොගිහින් බෝඩිමක ඉඳගෙන ඉස්කෝලෙ යන්න. ඉතිං ඔය විදිහට පුරුපුරුලාගෙ බැච් එකේ කවුරුවත් අන්තිමේදි හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණේ නෑ.

මේ වෙද්දි පුරුපුරුලාගෙ සුපර් සීනියර් බැච් එකේ අයියලා කට්ටිය ඒ ලෙවල් ඉවරවෙලා හොස්ටල් එකෙන් අස්වෙලා ඉවරයි. ඒ වගේම සීනියර් බැච් එකේ කවුරුවත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට හිටියෙත් නෑ. මතක ඇතිනෙ අර කංජිනාත්ට ගහපු කේස් එකට මුලු සීනියර් බැච් එකම හොස්ටල් එකෙන් අස්කළා කියලා නේද? අන්තිමට සිද්දවුණේ 2004 අවුරුද්දෙ අග වෙද්දි කුරුඳුවත්ත හොස්ටල් එකේ කිසිම ප්‍රිෆෙක්ට් කෙනෙක් නොහිටිය එක. ඉතිං මේ වෙද්දි ළමයි ටික පාලනය කරගන්න බැරුව කොටියා සර් පත්වෙලා හිටපු අමාරුව ඔයාලාට තේරෙනවා ඇතිනෙ!

කොහොමහරි හොස්ටල් එකේ ඉඳලා 9 වසරෙදි අස්වුණ කිං BJට තමයි මුලින්ම හිතුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ආපහු හොස්ටල් එකට යන්න ඕනෙයි කියලා. ඔන්න බී.ජේ කිව්වෙ බඩජාරි කියන එකට හොඳේ. ඉතිං මෑන්ස් හොස්ටල් එකේ හිටපු අනිත් කොල්ලන්ටත් මේ අයිඩියා එක දැම්මට, පාඩම් කරන්න බැරිවෙලා ඒ ලෙවල් ෆේල් වෙයි කියලා කවුරුත් මේකට කැමති වුණේ නෑ. හැබැයි මේ වෙද්දි කිං එක්ක එකට බයෝ කඩු ක්ලාස් එකේ හිටපු හාරිස් කැමති වෙලා තිබුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න. ඒත් පොඩි අප්සෙට් එකකට තිබුනෙ මෑන්ස් කවදාවත් හොස්ටල් එකේ ඉඳලා තිබුනෙ නැති කෙනෙක් වෙච්ච එක.

කිං බීජේ කියන්නෙ ඉස්සර ඉඳලාම පුරුපුරුගෙ හොඳම යාලුවෙක්. කොටින්ම පුරුපුරු බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමුගත්තාට පස්සෙ චීන සටන් කලාවකට යොමු කළෙත් මෑන්ස්ම තමයි. දැන් ඉතිං කිංගෙන් බර බරේ පුරුපුරුටත් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න එන්න කියලා. හැබැයි ඉතිං පුරුපුරු වුණත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ ආපහු හොස්ටල් එකට යන්න. ඒත් ඉතිං කිං බීජේට බෑ කියන්න බැරි නිසායි, හොස්ටල් එකේ පහසුකම් හොඳ නිසයි, මෑන්සුත් අන්තිමට කැමති වුණාලු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න.

ඔය අතරෙ අර ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කුණු කානුවට කඩල දාපු පොල්පොටුත් කැමති වුණා හොස්ටල් එකට ආපහු එන්න. දැන් ඉතිං මේ වැඩේට 4 දෙනෙක් රෙඩි. ඒ තමයි කිං බීජේ, හාරිස්, පුරුපුරු සහ පොල්පොට්. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ ගිහින් කොටියා සර් හම්බවෙලා තමන් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෝ වෙන්න කැමති බව දැනුම් දීපු එක.

බලාපොරොත්තු වෙච්ච විදිහටම මේ ආරංචිය ලැබුනාට පස්සෙ කොටියා සර් අමන්දානන්දයට පත්වුණා. මොකද ඒ වෙද්දි හොස්ටල් එකේ වසවර්ති කොල්ලො ටික පාලනය කරගන්න බැරුව සර් ලෝක අමාරුවක වැටිලයි තිබුනේ. ඉතිං අපේ යාලුවන්ට හොස්ටල් එකට එන්න කොටියා සර් අවසර දුන්නේ එක පයින්. නැත්තං ඉතිං පොල්පොට්, පුරුපුරු වගේ කට්ටියට ළමයින්ගෙ විනය හදන්න බාරදෙන්නෙ කවුද හැබෑට?

කොටියා සර් :- පුරුපුරු දන්නවාද ඉස්කෝලෙ සාමාන්‍ය ශිෂ්‍ය නායකයෙකුගෙයි, නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුගෙයි අතර තියෙන වෙනස?

පුරුපුරු :- ම්...නෑ සර්.

කොටියා සර් :- ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙකුට පොඩි ළමයි ගැන වගකීම තියෙන්නෙ ඉස්කෝලෙ පැවැත්වෙන පැය හයේ විතරයි. ඒත් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුට ඒ වගකීම පැය 18ක් තියෙනවා. තේරුනාද?

පුරුපුරු :- ඔව් සර්...

ඉතිං මෙහෙම පටන් ගත්තු කොටියා සර්ගෙ දේශනාව ගොඩක් වෙලා යනකම් නැවතුනේ නෑලු. ඊටපස්සෙ සර් කට්ටියට කිව්වේ ඊළග සතියෙම හොස්ටල් එකට එන්න කියලා. ඒ වගේම පහුවදාට තමන් එක්ක විදුහල්පතිව මුණගැහෙන්න යන්න එන්න කියලාත් පුරුපුරුලාට කොටියා සර්ගෙන් ආරාධනා ලැබුනා.

ඉතිං පහුවදා අපේ යාලුවො කට්ටිය ප්‍රින්සිපල් සර්වත් හම්බවෙලා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන වැඩේ දැනුම් දුන්නාලු. ප්‍රින්සිපල් සර්ගෙ අදහස වුණේ පොඩි ළමයින්ට ගහන්නෙ බනින්නෙ නැතුව, ඒ අයව විනයානුකූලව තියාගන්න එක හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ කාර්යභාරය කියලා. ඒත් මෙච්චරකල් පුරුපුරුලාට තිබුන හොස්ටල් අත්දැකීම් අනුව ආදරයෙන් කරුණාවෙන් කතා කරලා හොස්ටල් එකේ කොල්ලන්ව විනයානුකූලව තියාගන්න එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි.

If you do any physical or mental harassment to the children, you will be out of the hostel

ප්‍රින්සිපල් සර්ගෙ අන්තිම අවවාදය වුණේ ඒකයි.

ඉතිං ඊටපස්සෙ යෙදුන ඉරිදා දවසෙ අපේ කට්ටිය බඩු මුට්ටු අරගෙන නැවත වතාවක් හොස්ටල් එකේ පදිංචියට ආවලු. අනිතිමට තීරණය වුණේ ජ්‍යේෂ්ටත්වය අනුව පොල්පොට්ව ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් කරන්න. ඊටපස්සෙ මෑන්ස්ගෙ ඩිපියුටි වෙන්න තිබුනෙ පුරුපුරුට. ඒත් පුරුපුරුවත්, කිං බීජේවත් ඩිපියුටි එච්.පී වෙන්න කැමැත්තක් දැක්වුවේ නෑ. අන්තිමට ඉතිං ඒ තනතුර හම්බවුණේ හාරිස්ටලු.

ඇත්තටම හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට ගතකරපු මුල් දවස් ටික අපේ යාලුවන්ට එච්චරම ලේසි පාසු වුණේ නෑ. මොකද සීනියර් සහ ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාගෙ වැඩ ඔක්කොම කරන්න වුණේ මේ හතර දෙනාට. ඒ මදිවාට අවශ්‍ය උපදෙස් ගන්න සීනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බැච් එකක් හිටියෙත් නෑ. ඒත් ඉතිං කට්ටිය අමාරුවෙන් හරි අවුල් වෙලා තිබුන හොස්ටල් එක ආපහු පොඩ්ඩක් යථා තත්ත්වයට අරගත්තා. ඉන්ස්පෙක්ෂන්, ස්ටඩි ඩියුටි, ඩයිනින් හෝල් එකේ ඩියුටි, නඩු ඇසීම්, මේ ඔක්කොම ෂේප් එකේ කරගෙන ගියා.

තවත් මාසකට විතර පස්සෙ කංජිනාත්, තාරබාසු, සෝමෙ අයියා සහ ජුවානුත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු හොස්ටල් එකට ආවා. එතකොට තමයි පුරුපුරුලාට පැටවිලා තිබුන මහා වැඩ තොගය පොඩ්ඩක් විතර ලිහිල් වුණේ. ඉතිං මේ කට්ටිය ෆේස් කරපු රසවත් සිද්දි ගොඩාක් අපි ඉස්සරහට ඔයාලාට කියන්න බලාපොරොත්තු වෙනවා.

Saturday, March 5, 2011

මහේෂි - maheshi


ඉතිං යාලුවනේ කොහොමද සැප සනීප එහෙම? මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්නංකෝ සති දෙකක් තිස්සේ කිසිම ලිපියක් පළ කරන්න බැරිවෙච්ච එකට. ඉතිං අද අපි ඔයාලාට කියන්න යන්නේ අපේ ඤාව්වාට වෙච්ච වැඩක් ගැන.

මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල් හරියෙ ඉන්නකොට. ඔය වෙද්දි ඤාව්වා හිටියෙ කලුකුමාරි ගැන තමන්ගෙ හිතේ තිබුන අදහස ගොඩක් දුරට අමතක කරලා දාලලු. ඔය අතරෙ තමයි එක දවසක් මෑන්ස්ට නුවරඑළියෙ ටූ ඩේ ට්‍රිප් එකක් යන්න චාන්ස් එක ලැබුනෙ. මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තිබුනෙ ඤාව්වගෙ තාත්තා වැඩ කරන ඔෆිස් එකෙන්ලු.

කොහොමහරි ට්‍රිප් එක ගිහින් ආපු අපේ ඤාව්වා හිටියෙ බොහොම ප්‍රබෝධමත් විදිහට, බොහොම සතුටින්. කොටින්ම අනිත් පූසන්ට මුලින්ම හිතාගන්නත් බැරුව හිටියෙ ඤාව්වාට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඉතිං කට්ටිය තීරණය කළාලු වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෑන්ස්ගෙ හදිසි වෙනස්වීමට හේතුව හොයන්න. හැබැයි ඉතිං අනිත් පූසො ඤාව්වාගෙන් අහන්නත් කලින් මෑන්ස්ම තමයි තමන්ගෙ සතුටුදායක වෙනසට හේතුව හෙළිකළේ.

ඤාව්වා :- අඩෝ මාර කේස් එකනෙ බං! මට ට්‍රිප් එක ගිහින් කෙල්ලෙක් සෙට් වුණානෙ.

පුරුපුරු :- නෑ? එළකිරිනෙ බං! කවුද කවුද ඔය කෙල්ල? අපි දන්න කියන කෙනෙක්ද?

ඤාව්වා :- නෑ බං! අපේ තාත්තලෑ ඔ‍ෆිස් එකේ වැඩකරන අංකල් කෙනෙක්ගෙ දුවෙක්. නම මහේෂි. අපේ වයසෙ. ඉස්කෝලෙ යන්නෙ අගමැති බාලිකාවට. කොමර්ස් කරන්නෙ. ඉන්නෙ දෙහිවල පැත්තෙ. හික් හික්...තව ‍මොනවද උඹලට දැනගන්න ඕනෙ?

බැලින්නං මුලු ට්‍රිප් එකේම පූසන්ගෙ වයස් කාණ්ඩෙ නියෝජනය කරන්න ඉඳලා තියෙන්නෙ ඤාව්වයි, මහේෂියි විතරයි. ඉතිං ට්‍රිප් එකත් දවස් දෙකේ එකක් වෙච්ච හින්දා, ඤාව්වාට කිසිම අමාරුවක් වෙලා නෑ මහේෂි එක්ක හොඳට ෆිට් වෙන්න. කොහොමහරි මේ ෆිට් වීම කොච්චර දුරදිග ගිහින්ද කියනවානං, අන්තිමට ගෙදර එන්න කලින් අපේ ඤාව්වා පෙම්පූසෙක් වෙලා ඉවරයිලු. මේ මෑන්ස්ගෙ ෆස්ට් ලව් එක හින්දා අපේ ඤාව්වා හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.

හැබැයි ඉතිං ට්‍රිප් එක ඉවරවෙලා ගෙදර ආවට පස්සෙ තමයි මෑන්ස්ට මතක්වුණේ, තමන් මහේෂිත් එක්ක යාලු වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ නේද කියලා. ඒ වගේම මහේෂිටත් අමතක වෙලා තිබුනා ඤාව්වාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න. දැන් ඉතිං මේ දෙන්නාට ඇතිවුණ මුල්ම ප්‍රශ්නෙ තමයි සන්නිවේදනය පිළිබඳ ගැටලුව.

ඤාව්වාට මේ වෙද්දි කොහොමත් මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නෑ. ඉතිං මෑන්ස්ගෙ ප්ලෑන් එක වුණේ මහේෂිගෙ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරන එක. ඒත් ඉතිං මහේෂිගෙ නම්බර් එක හොයන එකත් ලේසි වැඩක් වුණේ නෑලු. මොකද මේ වෙද්දි අපේ පූසන්ට අගමැති බාලිකාවෙ දැරිවියොත් එක්ක එච්චර කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒත් ඉතිං ඤාව්වා උඩ බලාගෙන හූල්ලනවා බලාගෙන ඉන්න බැරි තැන පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු, අගමැති බාලිකාවෙ හිටපු ටිකක් විතර දන්න අඳුරන ගෑනු ළමයෙක් ලව්වා මහේෂිගෙ නම්බර් එක හොයාගන්න.

ඉතිං අපේ පූසන්ගෙ පළවෙනි මිෂන් එක වුණේ ඔය කියන ගෑනු ළමයාව අල්ලගන්න එක. එයාගෙ නම තමයි සමාධි. සමාධිත් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු ගෑනු ළමයෙක්. ඉතිං එක දවසක් කොමර්ස් පන්ති ඇරෙන වෙලාවෙ අපේ පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි, මී කතුරායි, මාලුකට්ටායි ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු සමාධි එනකං. ඔය වෙද්දි සමාධි ගැන පැතිරිලා තිබුනු එක එක කටකතා වල හැටියටනං, එයත් එක්ක ප්‍රසිද්දියෙ කතා කරන එකත් කට්ටියගෙ කාඩ් කුඩුවෙන වැඩක්. ඒත් ඉතිං ඤාව්වාගෙ වැඩේ කෙරෙන්නත් ඕනෙ නිසා පූසො හිත හදාගත්තලු සමාධි එක්ක කතා කරන්න.

ඔය අතරෙ තමයි බස්ටෑන්ඩ් එකේ කෙළවරකින් සමාධි මතුවුණේ.

සමාධි :- ආ...උපාසක! කොහොමද ඉතිං?

උපාසක :- වරදක් නෑ සමාධි, අපි මේ ඔයාව හම්බවෙන්නම තමයි බලාගෙන හිටියෙ.

සමාධි :- මේ මාව? ඒ මොකටද?

උපාසක :- ඔයා දන්නවද ඔයාලාගෙ ඉස්කෝලෙ ඉන්න මහේෂි කියන ගර්ල්ව? කොමර්ස් කරන්නෙ.

සමාධි :- ආනේ මහේෂිද? එයා අපේ ක්ලාස් එකේමයි ඉන්නෙ. ඇයි මොකද?

උපාසක :- හික්ස්...නෑ.. මේ අපේ ඤාව්වා දැන් එයත් එක්ක යාලුනෙ. මූට ඒ වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න අමතක වෙලා.

සමාධි :- හික් හික්!! කොන්ග්‍රෑට්ස් ඤාව්වා. බලන්නකො මහේෂි අපිටවත් කිව්වෙ නෑනෙ. හැබැයි ඉතිං එයා මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නෙනං නෑ. ඔයාට කෝල් කරන්න වෙන්නෙ ලෑන්ඩ් ෆෝන් එකට තමයි.

ඤාව්වා :- ලෑන්ඩ් ෆෝන් එකට කතා කළාට කමක් නැද්ද දන්නෑ නේද?

සමාධි :- ඒකනං එච්චර හොඳ වැඩක් නෙවෙයි වගේ. මම කියන්නද? මම මහේෂිට විස්තරේ කියලා එයාගෙන් අහන්නං මොකද කරන්න ඕනෙ කියලා. ඔයා හෙට මට කෝල් එකක් දීලා පණිවිඩේ අහගන්න. මම කෝකටත් මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දෙන්නංකෝ.

මෙහෙම කියපු සමාධි මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් එකෙයි, තමන්ගෙ මොබයිල් එකෙයි නම්බර්ස් දෙකම පූසන්ට දුන්නලු. කොහොමත් සමාධිගෙ මොබයිල් නම්බර් එකනං කොල්ලො අතරෙ ගොඩක් ජනප්‍රිය එකක් හින්දා ඉල්ලගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. කොහොමහරි එදා අපේ ඤාව්වා ආපහු ගෙදර ගියෙ ලොකු සැහැල්ලුවකින්.

පහුවදා මෑන්ස් සමාධිට කෝල් කරලා වෙච්ච දේ අහගෙන තිබුනා. බැලින්නං මහේෂිටත් ඤාව්වගෙ නම්බර් එක හොයාගන්න බැරුව ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නෙ. ඉතිං සමාධි ගෙනාපු ආරංචියෙන් ගොඩක් සතුටට පත්වෙච්ච මහේෂි, සමාධිට කිව්වලු සෙනසුරාදා දවල්ට තමන්ට කෝල් එකක් දෙන්න කියලා ඤාව්වාට පණිවිඩේ දෙන්න කියලා. සෙනසුරාදා දවල් වරුව මහේෂිලාගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් සාමාන්‍යයෙන් නැති වෙලාවක්. ඒ වගේම වැඩිවෙලා කතා කරන්නෙ නැතුව ඉක්මනට ෆෝන් එක තියන්න කියලාත් ඤාව්වාට උපදෙස් ඇවිත් තිබුනා.

හැබැයි ඉතිං ඔය වෙලා‍වට අපේ පූසො කට්ටිය ඉන්නෙ ගම්පහ ක්ලාස් ඇවිල්ලා. මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවරවෙලා ඊළග ක්ලාස් එක පටන් ගන්නකං කට්ටියට පැයක හමාරක බ්‍රේක් එකක් හම්බවෙනවා. ඉතිං අපේ පූසො කට්ටිය තීරණය කළේ මහේෂිට කෝල් කරන්න මේ වෙලාව සුදුසුයි කියලා.

ඉතිං ඊළග සෙනසුරාදා, ඔය තීරණය කරගත්තු වෙලාවෙ අපේ යාලුවො කට්ටිය ගියාලු ගම්පහ බස්ටෑන්ඩ් එකයි, රේල්වේ ස්ටේෂන් එකයි අතර තිබුන කොයින් බොක්ස් එක ළගට. මේ වෙද්දි ඤාව්වා මහේෂිත් එක්ක අන්තිමට කතා කරලා සතියකටත් වඩා ගිහින් තිබුනා. ඉතිං පොර දැන් ෆුල් එක්සයිට් වෙලා ඉන්නෙ මහේෂිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න. හැබැයි එක්සයිට්මන්ට් එක වැඩිකමට ඤාව්වාට දැන් කෝල් එක ගන්නත් බෑ බෑ වගේලු.

ඤාව්වා :- අඩෝ මචං, මටනං ගන්න බෑ වගේ බං! උඹලා කවුරුහරි කතා කරපංකෝ, මටනං දැන් කතා කරන්න බෑ බං! අනේ ප්ලීස් බං!!

දැන් ඤාව්වා හෝ ගාලා නහයෙන් අඬනවා. ඉතිං මේ වෙලාවෙ මෑන්ස්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ අපේ මාලුකට්ටා.

මාලුකට්ටා :- හරි, මම දැන් උඹ වෙනුවට කෝල් එක ගන්නංකෝ. ඉතිං ඊටපස්සෙ මම මොනවද කියන්න ඕනෙ?

ඤාව්වා :- උඹ කෝල් කළාම මහේෂි ආන්සර් කරයි මචං. ඊටපස්සෙ කියපං හෙට ක්ලාස් ඉවරවෙලා 3ට මාව ගම්පහ බස්ටෑන්ඩ් එකේදි මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලාත් කියපං මචෝ!

මාලුකට්ටා :- ආ...ඔය ටික කියන එකත් මහ වැඩක්යැ! මම දෙන්නං නියමෙට වැඩේ.

මෙහෙම කියපු මාලුකට්ටා, සුභ මොහොතින් කොයින් බොක්ස් එකට පහේ කාසි දාලා, මහේෂිගෙ ගෙදරට කෝල් කරන්න ගත්තලු.

ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....

මහේෂිගෙ ගෙදරින් :- හෙලෝ! කවුද කතා කරන්නෙ?

මාකට් :- ආ...මේ මහේෂි නේද?

මහේෂිගෙ ගෙදරින් :- ආ..නෑ නෑ!! මම මහේෂිගෙ අක්කා කතා කරන්නෙ.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. මළ කෙළියයි. බැලින්නං කෝල් එකට ආන්සර් කරලා තියෙන්නෙ මහේෂි නෙවෙයි, මහේෂිගෙ අක්කා. ඉතිං අපේ මාලුකට්ටා බයවෙච්ච පාර එක අතකින් රිසීවර් එක වහගෙන "අක්කා...අක්කා..." කියලා අනිත් පූසන්ට පහත් හඬින් කියන්න පටන් ගත්තලු. ඒත් අවාසනාවට වගේ මේ වෙද්දි අනිත් පූසො කට්ටිය හිටියෙ, කොයින් බොක්ස් එකෙන් ටිකක් එහාට වෙන්න. ඒ හින්දා මාලුකට්ටා කියපු දේ අනිත් පූසන්ට පැහැදිලිව තේරුනේ නෑ.

ඤාව්වා :- ඉක්මනට පණිවිඩේ කියලා ෆෝන් එක තියපං බං. ඒකිගෙ අම්මලා ගෙදරද දන්නෙත් නෑ.

මාකට් :- හා හා...ඔන්න මම කිව්වා එහෙනං

අක්කේ මහේෂිට කියන්න හෙට ක්ලාස් ඉවරවෙලා හවස 3ට ගම්පහ බස්ටෑන්ඩ් එකේදි ඤාව්වාව මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලත් කියන්න.

මහේෂිගෙ අක්කා :- මොකක්? ගම්පහ? ඤාව්වා? කවුද ඔය කතා කරන්නෙ? කවුද තමුසෙ?

ඉතිං මහේෂිගෙ අක්කාගෙ ටෝක්ස් වලට බයවෙච්ච මාලුකට්ටා කළේ ‍කෝල් එක කට් කරලා, අනිත් පූසො හිටපු තැනට දුවගෙන ආපු එක. ඊටපස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ සිද්දවුණේ මොකද්ද කියලා. කොහොමහරි ඤාව්වා මාලුකට්ටාගෙ බෙල්ල මිරිකන්න ගිය එක අනිත් පූසො එකතු වෙලා නවත්තගත්තෙ ෆුල් ගේමක් දීලා.

එදායින් පස්සෙ කවදාවත් පූසන්ට මහේෂි ගැන කිසිම ආරංචියක් ලැබුනෙ නෑ. සමාධිත් ඉඳලා හිටලා හරි මුණගැහුණොත් පූසන්ට රවාගෙන ගියා මිසක් කතා කරන්න සෙට් වුණේ නෑ. ඔන්න ඔහොමයි අපේ ඤාව්වාගෙ පළවෙනි ආදරයට නැවතීමේ තිත වැටුනෙ. අපි හිතන්නෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාශෙ පළවෙච්ච ආදර කතා එක්ක බලද්දි මේකනං කෙටිම කෙටි ආදර කතාවක්.