අඹ යාලුවෝ

Tuesday, September 18, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය)



අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ලෙසටම නැගලා යද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන දවසේ අපේ පූසො කට්ටිය පුරුපුරුලාගෙ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් බල බලා හිටියේ. එක පාරටම මාකට්ගෙ ෆෝන් එක රිංග් වුණේ අනිත් පූසන්ට අම්බානට ෆ්ලවර් ජම්ප් කරලා. මොකද මේ වෙද්දි කට්ටිය සෙට් වෙලා මොකක් හරි වැඩක් කරද්දි මාකට්ට නිතරම නිසංසලාගෙන් කෝල් එන එක අනිත් පූසන්ට වදයක් වෙලයි තිබුනේ. කොහොමහරි ඉතිං අනිත් පූසන්ගේ ඇනුම්පද මැද්දෙන් කෝල් එක ආන්සර් කරපු මාලුකට්ටාගෙ මූණෙ පෙම් පාට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඉතිං මෑන්ස් මොකක්හරි ජලබරි කේස් එකකට ෆේස් කරලා ඉන්න වග අනිත් පූසෝ තේරුම් ගත්තලු. පස්සෙ බැලින්නං මෑන්ස්ට ඇවිත් තිබුනේ මේ වගේ කෝල් එකක්. හැබැයි ඒ නිසංසලාගෙන්නම් නෙවෙයි.

අමුත්තා :- මේ මිස්ටර් මාලුකට්ටාද කතා කරන්නේ?

මාකට් :- ඔව්! මාලුකට්ටා තමයි. කවුද මේ කතා කරන්නේ?

අමුත්තා :- මම මේ අහවල් දිස්ත්‍රික්කය බාර එස්. එස්. පී කතා කරන්නේ. මට තමාගෙන් වැදගත් තොරතුරු වගයක් දැනගන්න තියෙනවා.

මාකට් :- හික් හික්!! මේ ***, විහිලු නොකර කියපං උඹ කවුද කතා කරන්නේ කියලා. ඇත්ත කියපං, උඹ වේයන්ගොඩයා නේද?

අමුත්තා :- තමුසෙට මේක විහිලුවක් වගේද තේරෙන්නෙ? වැඩිය ආවොත් මම තමාව දානවා කූඩුවෙ!!!

මාකට් :- (අම්බානට බයවී) මොනවද මගෙන් දැනගන්න ඕනෙ?

අමුත්තා :- තමන් නිසංසලා දිසානායක කියන තරුණියව අඳුරනවා නේද?

මාකට් :- (තවත් පුදුම වී) ඔව්! ඇයි නිසංසලාට කරදරයක්ද?

අමුත්තා :- කරදරයක්ද? තමා වහාම නිසංසලාව තියන් ඉන්න තැනකින් පොලිසියට එක්ක එනවා හොඳයි.

මාකට් :- මොකක්? මම දන්නෙ නෑ නිසංසලා ඉන්න තැන. එයා මගෙ යාලුවෙක් විතරයි.

අමුත්තා :- එතකොට ඊයෙ හවස හයයි තිහට නිසංසලා තමාට කෝල් එකක් ගත්තෙ නැද්ද?

මාකට් :- ගත්තා. ඒත් ඊට පස්සෙනං එයා මට කෝල් කළේ නෑ.

අමුත්තා :- හොඳයි අපි ඒකෙ ඇත්ත නැත්ත දැනගන්නං. අද හවස පූස්ගම පොලිසියට ඇවිත් මාව මීට් වෙන්න. මම අද පූස්ගමට එන්නං තමාව මුණගැහෙන්න.

කොහොමහරි ඉතිං කෝල් එක ඉවර වෙද්දි අපේ මාකට්ගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන ගානට වෙව්ලනවා. ඇයි දෙයියනේ මේ කොහෙන් කඩා පාත් වෙච්ච මරාලයක්ද? ඒ  වගේම මේ වෙද්දි අපේ යාලුවො කස්ටියත් නොඉවසිල්ලෙන් උන්නේ මාකට්ගෙන් සිද්ද වෙච්ච දේ ගැන දැනගන්න. ඉතිං මැන්ස්ට සිද්ද වුණාලු වෙච්ච දේ අනිත් පූසන්ටත් එවේලෙම කියන්න. 

මේ වෙද්දි අපේ සෙට් එකේ කාටවත් පුලුවන්කමක් තිබුනේ නෑ සිද්ද වෙලා තියෙන දේ හරියටම පැහැදිලි කරන්න. මාකට් දිගින් දිගටම නිසංසලාගෙ ෆෝන් එකට කෝල් ගන්න හැදුවත් ඒ ෆෝන් එක ඕෆ් කරලයි තිබුනේ. කොහොමහරි අන්තිමට අපේ යාලුවන්ට තේරුම් ගියේ නිසංසලා ගෙදර නැති බවත්, ඒ වගකීම ගිහින් තියෙන්නේ මාලුකට්ටාගෙ පිටින් වගත්. කොහොම වුණත් මාකට් දිගින් දිගටම කිව්වේ නිංසසලා මේ මොහොතේ ඉන්නෙ කොහෙද කියලා මෑන්ස් දන්නෙ නෑ කියලා.

ඔය විදිහට තවත් පැය බාගයක් ඇතුලත මාකට්ට තවත් ෆෝන් කෝල්ස් කීපයක්ම ලැබුනලු. එක කෝල් එකක් ආවෙ සී.අයි.ඩී එකෙන්. තව කෝල් එකක් ආවෙ පූස්ගම ඕ.අයි.සී ගෙන්. කොහොමහරි මේ කෝල් වලින් කියවුණේ මාකට්ට පොලිසියට එන්න අවශ්‍ය නැති බවයි, පහුවදා පොලිසියෙන් ඇවිත් ගම්පහදි මාකට්ව හම්බවෙන බවයිලු. ඒ වගේම මේ ඇමතුම් වලින් පූසන්ට ලැබුනු තොරතුරු වලට අනුව නිසංසලා කොල්ලෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින්. ඒ වගේම එයා පැනලා යන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නෙත් මාකට්ට. ඒක තමයි පොලිසිය අපේ පූසාව මේ ගැන මුලින්ම සැක කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා නිසංසලා පැනලා ගිහින් තියෙන්නේ රයන් එක්ක කියලා.

ඉතිං තමන්ව සීන් එකට සැක නෑ කියලා දැනගත්තාට පස්සේ තමයි මාකට්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මේ සිද්දිය ගැන පුරුපුරුටයි, ඤාව්වාටයි, උපාසකටයි තිබුනේ බරපතල සැකයක්. මොකද මේ වගේ චූටි කේස් එකකට පොලිසියේ උසස් තැන් වලින් බැහැපු එකයි, සිද්දිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වල තිබුන කාර්යක්ෂම බවයි සාමාන්‍යයෙන් අපිට ලංකාවෙදි දැකගන්න අමාරු දේවල්. ඉතිං අපේ පූසන්ට කුතුහලයක් ඇතිවුණාලු නිසංසලා කාගෙ කවුද කියලා මාකට්ගෙන් දැනගන්න.

පුරුපුරු :- යකෝ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් පැනලා ගියානං පැය විසිහතරක් විතර ගිහින් තමයි හොයන්න ගන්නේ. ඇත්ත කියපං මාකට්, කවුද මේ නිසංසලා? 

උපාසක :- ඒක තමයි, ඈ බොල උඹ මැණික් මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද ගියෙ, නැත්තං ඇමති කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද?

මාකට් :- මම දන්නෙ නෑ බං. අපි කවදාවත් ඒකිගෙ පවුලෙ විස්තර ගැන කතාබහ කරලා නෑ. මට තරහා මේකිට මට නිකංවත් කියන්න බැරිවුණානෙ පැනලා යන්න ඉන්නෙ කියලා. නැත්තං මම උදව් නොකර ඉන්නෙ නෑනෙ.

මී කතුරා :- පලයං *** යන්න. තෝ එහෙනං පැනලා යන්න උදව් කරන්න ගිහින් මෙලහට පොලිස් කූඩුවෙ.

කොහොමහරි ඉතිං මාකට් පහුවදා ගම්පහ ක්ලාස් ගිහින් එනගමන් පොලිස් නිළධාරියාවත් මුණගැහිලා තිබුනලු. ඒ වගේම නිසංසලාගෙ අයියත් එතනට ඇවිත් තිබුනලු. බලාගෙන යද්දි පොලිස් නිළධාරියා අයියගේ හොඳ යාලුවෙක්. ඉතිං එදා හවස මාකට් එනකං අනිත් පූසො නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ විස්තරේ දැනගන්න.

මාකට් :- මචංලා උඹලා දන්නවද නිශාන් දිසානායක කියලා ක්‍රිකටර් කෙනෙක්ව? එහෙම එකෙක් ගැන මමනං අහලා නෑ.

මේක ඇහිච්ච ගමන් උපාසකගේ කටින් පිටවුණේ අසභ්‍ය වචන මාලාවක්. මොකද නිශාන් දිසානායක කියන්නේ ඒ වෙද්දි සිලෝන් ටීම් ගහපු ප්‍රබල ක්‍රීඩකයෙක්. කොහොම වුණත් අරවින්ද ද සිල්වා කියන්නේ කවුද කියලා නොදැන හිටපු මාකට් නිශාන් දිසානායක ගැන දැන නොහිටිය එක ගැන පුරුපුරුනං පුදුම වුණේ නෑ. බැලින්නං නිශාන් දිසානායක තමයි නිසංසලාගේ අයියා.

මේ වෙද්දිත් නිසංසලාව කාටවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං නිශානුත් ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා තමන්ගෙ නංගිව හොයන්න ෆුල්ම විදිහට ගේමට බැහැලා හිටියේ. ගොඩක් දුරට මේ හෙවිල්ල ෆෝකස් වෙලා තිබුනේ රයන්ගෙ ගෙවල් තියෙන බවට නිසංසලා මාකට්ට කියලා තිබුනු නුගේගොඩ පැත්තෙලු. කොහොමහරි ඉතිං නිසංසලාව හොයන වැඩේට මාකට්ටත් එන්නයි කියලා නිශාන් දිසානායක ආරාධනා කරලා තිබුනලු. මාලුකට්ටාත් ඒ ඉන්විටේෂන් එක බාර අරගෙන තිබුනේ ඉතසිතින්. මේ කතාව අහපු ඤාව්වාටයි, පුරුපුරුටයිත් වැඩේට ජොයින් වෙන්න ඕනෙ වුණත් නිශාන් මාකට්ට කියලා තිබුනේ මේ සිද්දිය ගැන කාටවත් කියන්න එපා කියලා.

කොහොමහරි ඉතිං අන්තිමට දවස් කීපෙකට පස්සේ නිසංසලා ඉන්න තැන නිශාන් හොයාගෙන තිබුනා. මෑන්ස් ඊටපස්සෙ කරලා තිබුනේ පොලිසියත් එක්ක ගිහින් නිසංසලාව ගෙදර එක්කගෙන එන එක. මේ ගමනට සහභාගි වෙන්න අපේ මාලුකට්ටාත් අමතක කළේ නෑ. බලාගෙන යද්දි නිසංසලා රයන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ අනුරාධපුරේටත් එහා තියෙන දුෂ්කර ගමකට. මොකද බැලින්නං රයන්ගේ ගම නුගේගොඩ නෙවෙයි, අනුරාධපුරේ පැත්තෙලු. ඒ වගේම රයන් කියන නමත් බොරු නමක් කියලයි පස්සේ ආරංචි වුණේ.

කොහොමහරි ඉතිං මේ සිද්දියෙදි මාකට් දක්වපු සහය වෙනුවෙන් නිශාන් දිසානායක මාකට්ට සෑහෙන්න ස්තුති කරලා තිබුනා. මාකට්නං කිව්වේ නිශාන්ගෙ සැප වාහනේ යන්න ලැබිච්ච එකම මෑන්ස්ට සැහෙන දෙයක් කියලා. නිශාන් මාකට්ට කියපු අන්තිම වාක්‍යය මතක් කර කර අපේ පූසො සෙට් එක සෑහෙන කල් හිනා වුණා.

“මේකිට පිස්සුද කොහෙද මල්ලි! අනුරාධපුරේ කොහෙද රයන්ලා?“

කොහොමහරි ඊටපස්සෙ මාලුකට්ටාගෙයි නිසංසලාගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් එහෙමම නතරවුණා. ඒ වගේම මාකට් අලුත් පුරුද්දකට ඇබ්බැහි වුණා. ඒ තමයි රී ලෝඩ් පොත්වල ෆොටෝ ගහගෙන ඇවිත් ඒවයෙ තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරන එක. මේ ගොඩක් කෝල් අසාර්ථක වුණත් මෑන්ස්ට වැඩේ වැඩකරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි. ඉතිං ඔය විදිහට තමයි අපේ මාකට් මෑන්ස් වැටෙන්න ගිය ලෝක අමාරුවකින් නූලෙන් බේරුනේ.

ප.ලි - නිශාන් දිසානායක යනු බොරු නමකි.
ප.ප.ලි - නෝ ඔෆෙන්ස් ටු අනුරාධපුර කස්ටියට

Saturday, September 15, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය


ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.

මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට අමතරව ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ, එක පාරක් කෙල්ලෙක් හින්දා ඒ ලෙවල් ඇනගත්තු මාලුකට්ටා තමන්ටම පොරොන්දු වෙලයි හිටියේ දෙවෙනි පාර ඒ ලෙවල් කරද්දිනං අඩුගානෙ ගවුමක් දිහාවත් බලන්නෙ නෑ කියලා.

ඉතිං මේ දවස්වල රිවිෂන් ක්ලාස් ඉවර වුණාට පස්සේ උපාසක, ඤාව්වා සහ මාලුකට්ටා බස් එකේ ගෙදර ආවෙ එකටමයි. ඒ වගේම සමහර දවස්වලට එක එක වැඩ වලට ගම්පහට ආපු පුරුපුරුත් මේ කට්ටියට එකතු වෙනවා. ඉතිං ඔය දවස්වල තමයි මේ කියන සිද්දියත් වුණේ.

එක දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මාකට් දැක්කලු බොහොම ලස්සන, හුරුබුහුටි ගෑනු දැරිවියෙක්. එහෙමත් නැත්තං පැංචාවියක්. අර කතාවක් තියෙනවා නොවැ හැට පැන්නත් වඳුරා බිමින් යන්නෙ නැතෙයි කියලා. ඉතිං අපේ මාලුකට්ටාත් චාටර්මාලිගෙ කේස් එකෙන් කොච්චර බැට කෑවත් මේ ගෑනු ළමයාව දැක්කාට පස්සේ ඒ ඔක්කොම අමතක වුණාලු. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ අපේ යාලුවන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

දැන් ඉතිං මාලුකට්ටා අපේ පූසො සෙට් එකත් එකට එකතු කරගෙන මේ ගෑනු ළමයා ගැන බැක්ග්‍රවුන්ඩ් සර්ච් කරනවලු. ඒත් ඉතිං කොච්චර රහස් මෙහෙයුම් කළත් අපේ යාලුවන්ට නෙවෙයි මේ ළමයා ගැන දන්න එක්කෙනෙක්වත් හොයාගන්න පුලුවන් වුණේ. ඒ මදිවාට මෙයා ක්ලාස් එකේ හිටියෙත් තනියෙන්මයි. ඉතිං අන්තිමට පූස් බුද්ධි බලකාය තීරනය කළාලු මේ ළමයා කොහේ හරි පිට පළාතකින් ගම්පහ ක්ලාස් යන්න ආපු කෙනෙක් කියලා. ඒත් ඉතිං පූසො කියන්නේ ගේමක් ලේසියෙන් අතාරින ජාතියෙ ඩයල් නෙවෙයි නොවැ! ඉතිං ඊටපස්සෙ මාලුකට්ටා ඇතුලු පූසො පුරුදු වුණාලු ක්ලාස් ඉවරවෙලා මේ ගෑනු ළමයාව ෆලෝ කරන්න.

දවසක් දෙකක් ඔහොම ෆලෝ කරද්දි මාලුකට්ටාට දැනගන්න ලැබුනලු මේ ගෑනු ළමයා ක්ලාස් ඉවරවෙලා යන්නේ ගම්පහ-කොළඹ බස් එකේ කියලා. ඒත් ඉතිං විශේෂම සිද්දිය වුණේ තුන්වෙනි දවසෙලු. මේ කියන දවසෙ ක්ලාස් ඉවරවෙලා මාලුකට්ටායි, උපාසකයි තමන්ගේ සීක්‍රට් මිෂන් එකේ නිරත වුණාලු. ඔය අතරෙ තමයි උපාසක දැක්කේ මේ ළමයා කොමියුනිකේෂන් එකකට ගොඩ වදිනවා. ඕක දැකපු උපාසකට පූස් නුවණ පහළ වුණාලු.

සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො කොමියුනිකේෂන් වලට ගොඩ වදින්නේ රී ලෝඩ් දාන්න. එතකොට තමන්ගෙ නම්බර් එක පොතක ලියන්න වෙනවා. ඉතිං පූසන්ටත් ඒ වෙලාවට එතනට කිට්ටු කරන්න පුලුවන්නං ඔය නම්බර් එක බලාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඉතිං ඔය අයිඩියා එක උපාසක මාලුකට්ටාට කිව්වාම මෑන්සුත් වැඩේට කැමති වුණේ වන් ෆුට් ස්ටයිල් එකෙන්. කොහොමහරි පූසො කඩේ ඇතුලට ගිහින් බැලින්නම් හිතපු වැඩේ හරි. අර දැරිවි පොතක් දිග ඇරගෙන තමන්ගෙ නම්බර් එක ඒකෙ කුරුටු ගානවා. ඉතිං එයා යනකං හිටපු පූසො දෙන්නත් වැඩේට එන්ටර් වුණාලු.

මාලුකට්ටා තමන්ගෙ පර්ස් එක හූරලා හොයාගත්ත රුපියල් පනහක් අරගෙන කළේ තමනුත් රී ලෝඩ් එකක් දාපු එක. මෑන්ස් නම්බර් එක ලියද්දි උපාසක කළේ කලින් ලියපු අර ගෑනු ළමයාගෙ නම්බර් එක හිතේ ලියාගන්න එක. කොහොමහරි ඉතිං ඔය විදිහට තමයි ගෑනු ළමයාගේ ෆෝන් නම්බර් එක මාලුකට්ටා අතට ආවේ. ඒත් ඉතිං ඊටපස්සේ මොකද කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් මෑන්ස්ට තිබුනේ නෑ. ඉතිං එදා හවස පූසො සෙට් එකම එකතු වෙලා කතා කළාලු මේ සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකද්ද කියලා.

මේ වෙද්දි මාලුකට්ටා ගෑනු ළමයාට බැල්මට් එක දාගෙන හිටියත් ඒ ඇත්තිට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ මාකට් එයාට ට්‍රයි කියලා. ඉතිං එයාට යාලුවෙක් විදිහටවත්, අඳුරන කෙනෙක් විදිහටවත් කෝල් කරන්න අපේ පූසාට පුලුවන්කමක් තිබුනේ නෑ. අන්තිමට ඉතිං මාලුකට්ටාගෙ තීරණය වුණේ රෝන්ග් නම්බර් එකක් වගේ බොරුවට මේ ගෑනු ළමයාට කෝල් එකක් දීලා බලන්න. ඇත්තටම ඔය ඇප්‍රෝච් එක වැදගත් ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් එච්චර සුදුසු එකක් නෙවෙයි කියලා අනිත් පූසො යෝජනා කළත් මාකට් නෙවෙයි මෑන්ස්ගෙ තීරණේ වෙනස් කළේ. පුරුපුරුයි, ඤාව්වායි හිතුවේ හොඳම වැඩේ කෙළින්ම ගිහින් මේ ළමයාත් එක්ක කතා කරන එක කියලා. ඒත් මාලුකට්ටාට ඕනෙ වුණේ එදාම ඒ කෝල් එක ගන්න.

ඉතිං එදා හවස පූසො කට්ටිය විසිරිලා ගියේ මාලුකට්ටා කරන්න හදන වැඩේ සාර්ථක නොවෙන වගට සෑහෙන දුරට හිතේ ෂුවර් එකක් තියාගෙන. ඒත් පහුවදා උදේ අපේ පුරුපුරුගෙ කන වැකුනේ කොහෙත්ම බලාපොරොත්තු නොවුනු ආරංචියක්. ඒ මෑන්ස්ට ඤාව්වා ගත්ත කෝල් එකකින්.

ඤාව්වා - අඩේ පුරු, උඹට ආරංචිද සීන් එක?

පුරුපුරු - මොකද්ද බං? අරකි මාකට්ට බැනලද?

ඤාව්වා - නෑ යකෝ! ඒකිගෙ හොඳම යාලුවා දැන් මාකට්ලු. හික් හික්!!

පුරුපුරු - නෑ!!! 

ඤාව්වා - නෑ නෙවෙයි බං ඔව්...ඒකිගෙ නම නිසංසලාලු.

කොහොමහරි අන්තිමට බැලින්නං සිද්දවෙලා තියෙන්නෙ මේකයි. මාලුකට්ටා නිසංසලාට කියපු විදියටම කෝල් එකක් අරගෙන තියෙනවා. ඒ වැරදීමකින් ගිය කෝල් එකක් වගේ. කොහොමහරි මෑන්ස් ඊටපස්සේ නිසංසලා එක්ක කතා කරලා සෑහෙන්න ෆිට් වෙලා තියෙනවා. තමනුත් නිසංසලාගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කිව්වාම ඒ ෆිට් එක තවත් වැඩි වුණා කියලයි මාලුකට්ටානං කිව්වේ. කොහොමහරි ඉතිං තමන්ගෙ ක්ලාස් එකේම ඉන්න කොල්ලෙක් තමන්ට වැරදීමකින් කෝල් එකක් ගත්තා කියලා විශ්වාස කරන්න තරම් නිසංසලාට සුපිරි බුද්ධියක් තිබුනාලු.

ඉතිං ඊටපස්සේ මේ දෙන්නා කළේ අනිත් දවසේ ක්ලාස් එක ඉවරවෙලා හම්බවෙච්ච එක. ඔය විදියට සති කීපයක් යද්දි සුපුරුදු පරිදි නිසංසලා මාලුකට්ටාගේ, මාලුකට්ටා නිසංසලාගේත් හොඳම යාලුවො වෙලා තිබුනා. අනිත් පූසන්ට මාලුකට්ටා ගැන ආරංචි හොයාගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුණා. ඒ වගේම නිසංසලා අපේ පූසො හිතපු විදිහටම ගම්පහ ප්‍රදේශයෙ කෙනෙක් නෙවෙයි. 

කොහොමහරි පස්සෙ ආරංචි වෙච්ච විදිහට ඒ වෙද්දි නිසංසලාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. මෑන්ස්ගෙ නම රයන්. ඒ හින්දා තමයි මාලුකට්ටාට දිගටම නිසංසලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් රෝල් එක රඟපාන්න වුණේ. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් මාලුකට්ටාට කවදාවත් නොහිතපු විදිහේ කෝල් එකක් ආවේ. ඊටපස්සේ වෙච්ච සිද්දිය වෙනම පෝස්ට් එකකින් කියන්න තරම් වටින එකක්. ඉතිං යාලුවනේ ඊළඟ ලිපියෙන් බලමු මාලුකට්ටායි, නිසංසලාගෙයි අතරෙ තිබුන යාලුකමට මොකද වුණේ කියලා...!!!

ප.ලි :- සිංහල බ්ලොග් කියවන අයට මීවනපලානේ ජයරත්න කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒත් ඉතිං බ්ලොග් ගඩොල් කියවන අය අතරේ සාමාන්‍යයෙන් බ්ලොග් කියවන්න පුරුදු නොවුනු ගොඩක් කස්ටිය නිසා මෑන්ස්ගේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න හිතුනා. ඇත්තටම වර්ගපූර්ණිකාව කියන්නේ කියවලා පට්ට ෆන් එකක් ගන්න පුලුවන් බ්ලොග් එකක්. ටැබූ සබ්ජෙක්ට්ස් වලට පස්සේ (හෙළුවෙක් විදිහට) මගේ හිතට තදින්ම කා වැදිච්ච බ්ලොග් එක කිව්වොත් නිවැරදියි. ඔයාලත් තාම වර්ගපූර්ණිකාවට ගොඩ වැදිලා නැත්තං මෙතනින් ගිහින් එන්න. හැබැයි ෆුල් සීරියස් ඩයල් වලටනං මේක එච්චරම අල්ලලා යන එකක් නෑ.

ප.ප.ලි - පුරුපුරු දැන් පදිංචි වෙලා ඉන්නේ පිටරටක. කකාගෙ බාසාවෙන් කියනවානං පස්තාච්චි කුපාඩියක් කරන්න ලංකාවෙන් යන්න වුණා. මේ රටට ආපු හැටි වෙනම ලිපියකින් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.