අඹ යාලුවෝ

Tuesday, December 27, 2011

මාලුකට්ටා සහ චාටර්මාලි


මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාගේ තුන් වෙනි ට්‍රයි එක හෙවත් චාටර්මාලි ගැන. 

මේ සිද්දිය වෙද්දි පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං අපේ යාලුවො ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ කියන එක ඔයාලා දැනටමත් දන්න කාරනයක් නොවැ! ඔය ක්ලාස් යන අතරෙ තමයි අපේ මාලුකට්ටාටයි, ඤාව්වාටයි ලස්සන පැංචාවියක් මීටර් වුණේ. ඒ ගැන අපි වෙනම පෝස්ට් එකකුත් ලිව්වනේ. එහෙනං ඒක කලින් කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.

කොහොමහරි ඉතිං බඹරෙ කැරකෙන්නෙ මාලුකට්ටාගෙ පැත්තට කියලා තේරුම් ගත්තාට පස්සෙ ඤාව්වා කළේ ශේප් එකේ වැඩේ අතඇරලා දාපු එක. ඉතිං තමන්ට තිබුන තර‍ඟෙ නැතිවුණ නිසා මාලුකට්ටාටත් පුලුවන් වුණාලු නිවි හැනහිල්ලේ ගේම් එක ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම කියනවානං මෑන්ස්ට චාටර්මාලිට ඇප්‍රෝච් කරන එක එච්චරම අමාරු වැඩක් වුණේ නෑ. මොකද චාටර්මාලි ඉස්කෝලෙ ගියේ හේනවිලේජ් සෙන්ට්‍රල් කොලීජියට. ඒ කියන්නෙ අපේ කලුකුමාරි ගිය ඉස්කෝලෙටමයි. ඒ වගේම මේ දෙන්නා ෆුල් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතිං පූස් සෙට් එකේ යෙහෙළියක් වුණ කලුකුමාරිගෙන් මාලුකට්ටාට උපරිම සහයෝගය ලැබුනලු චාටර්මාලිව යාලු කරගන්න.

හැබැයි හොඳම යෙහෙළියෝ වුණාට මොකද, කලුකුමාරියි චාටර්මාලියි ගතිගුණ අතින්නං සෑහෙන්න වෙනස්. කලුකුමාරි කියන්නේ නිතරම ෆන් එකේ ඉන්න, කොල්ලො එක්ක පවා හොඳට වෙනසක් නැතිව කතාකරන ටයිප් එකේ කෙල්ලෙක්. ඒත් චාටර්මාලි කියන්නේ බොහොම නිවිච්ච, තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න, ඒ වගේම කොල්ලො එක්ක වැඩි භජනෙට යන්නෙ නැති චරිතයක්. ඇත්තටම අපේ මාලුකට්ටාට චාටර්මාලිව හිතට අල්ලලා තියෙන්නෙත් මේ චරිත ලක්ෂණ හින්දාමයි.

කොහොම වුණත් මාලුකට්ටාගේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරන්න මේ දවස්වල පුරුපුරුට එච්චරම පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ වෙද්දි තමයි පුරුපුරු විදූශාගෙන් මහා පරිමාණ බූට් එකක් කාලා ජීවිතේ විඳවමින් හිටියේ. ඉතිං පුරුපුරු පැත්තකට වෙලා ගෑනු ජාතියට වෛර කර කර ඉන්නකොට උපාසකයි, ඤාව්වායි තමයි මාලුකට්ටා වෙනුවෙන් ඔය කටු කන වැඩ, ඔත්තුසේවා වැඩ වලට බැහැලා හිටියේ. කොහොමහරි පූස් සෙට් එකෙයි, කලුකුමාරිගෙයි අප්‍රතිහත ධෛර්යය නිසා අන්තිමට මාලුකට්ටාට පුලුවන් වුණාලු චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වෙන්න.

අපේ මාලුකට්ටාගෙ ඇ‍ඟේ වෙන් වෙන් වශයෙන් අඳුනගන්න පුලුවන් චරිත දෙකක් ජීවත් වෙනවා. එක චරිතයක් තමයි අපි කවුරුත් දන්න සාමාන්‍ය මාලුකට්ටා. අනිත් චරිතය තමයි ගෑනු ළමයෙක් එක්ක යාලු වුණ/ යාලුවෙන්න කිට්ටු මාලුකට්ටා. ඉතිං චාටර්මාලිගෙ හොඳ යාලුවෙක් වුණාට පස්සෙ මෑන්ස්ගෙ පළවෙනි චරිතය යට ගිහින් දෙවෙනි චරිතය ඉස්මතු වෙලා ආවලු. මේ කැරැට්ටුව මතුවුණාට පස්සේ මාලුකට්ටාගේ ලෝකයේ ඉන්නේ අදාල ස්ත්‍රී රත්නය විතරයි. එතකොට මෑන්ස්ට තමන්ගෙ ගෙදර, යාලුවෝ, කෑවද, බිව්වද, නෑවද, ඉගෙන ගන්නවද මේ මොනවත් මතක නෑ. ඉතිං මේ කාරනේ හින්දා අනිත් පූසන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ මේ දවස්වල මාලුකට්ටාව අල්ලගන්න.

කොහොමහරි වටින් ගොඩින් ආරංචි වෙච්ච කාරනා සහ මාලුකට්ටා හදිස්සියෙ මුණගැහුනාම කිව්ව දේවල් අනුව, දෙන්නා හොඳ යාලුවෝ වෙලා මාස දෙක තුනක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ආදරවන්තයෝ වෙලා තිබුනේ නෑ. මොකද චාටර්මාලි මේ වෙද්දි ඉඳලා තියෙන්නෙ තමන්ට කලින් හිටපු, එහෙම ඉඳලා තමන්ට බූට් එක තියපු බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන හිත හිතා. ඉතිං මාලු තමන්ගෙන් යාලුවෙන්න ඇහුවත් චාටර්මාලි මෑන්ස්ට කියලා තියෙන්නේ යාලුවෝ හැටියට ඉමුයි කියලා.

මේ වෙද්දි මාලුකට්ටා තමන්ගේ සියලුම ආදර ප්‍රශ්න ගිහින් කිව්වේ පූසන්ට නෙවෙයි කලුකුමාරිට. කලුකුමාරිත් ඉතිං තමන්ට හැකි විදිහට මාලුකට්ටාට චාටර්මාලිව දාගැනීම පිළිබඳව උපදෙස් ලබා දුන්නලු. මෑන්ස් ඉඳලා හිටලා හරි පූසෙක්ට චාටර්මාලි ගැන මොනවාහරි කිව්වානං ඒ උපාසකට විතරයි. ඒකත් පුරුපුරුට ඒ සම්බන්දයෙන් කියන්න එපා කියන කොන්ඩිෂන් එක මත.

“ඌ මොනවද බං සැබෑ ආදරය ගැන දන්නේ? මේවා කියන්න ඕනෙ එහෙම දන්න එවුන්ට විතරයි“

මාලුකට්ටා උපාසකට කීපවාරයක්ම මෙහෙම කිව්වලු. එක අතකට ඉතිං ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මොකද මේ වෙද්දි පුරුපුරුගේ දෙවන නියමය වුණේ “කිසිම කෙල්ලෙක් සීරියස් නොකළ යුතුයි“ කියන එක. (පළමු නියමය අහන්න එපා. ඉස්කෝල අතර ගැටුමක් ඇතිවිය හැකිය). 

කොහොමහරි ඉතිං මේ විදිහට කාලය ගෙවිලා ගියාලු. මාලුකට්ටාත් කාලයත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙලා ආපහු පූසන්ව ආස්සරේ කරන්න පටන් ගත්තලු. මේ වෙද්දිනං මාලුකට්ටයි චාටර්මාලියි අතර තිබුන සම්බන්දෙ යාලු නොවීමයි, යාලුවීමයි අතරේ ඉන්ටර්ෆේස් එකේ තිබුනේ. ඔය අතරේ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි, කලුකුමාරියි, පුරුපුරුයි දියාරු ලෝකෙට ගියේ. දියාරු ලෝකෙ ගැන කියවපු නැති කට්ටිය එහෙනං මෙතනිං ගිහින් කියවලා එන්නකෝ.


ඉතිං ඔය සිද්දියෙන් ටික දවසකට පස්සේ චාටර්මාලි මාලුකට්ටාට බහ දීලා තිබුනා. ඉරිදා තිබුන කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි තමයි වැඩේ සිද්දවෙලා තිබුනේ. මේ ගැන පුරුපුරු ඇතුලු පූසො දැනගත්තේ පහුවදා උදේ. පහුවදා උදේ පාන්දරම මාලුකට්ටා ඉස්කෝලෙ ආවේ විකට් එකක් අරගෙන පිඹගෙන එන බ්‍රෙට් ලී ගොයියා වගේ උද්‍යෝගයෙන්. ඈත එන මාලුකට්ටාව දැක්ක මොහොතෙම පුරුපුරුට තේරුනාලු මෑන්ස්ගෙ වැඩේ හරි තමයි කියලා.

මාකට් :- පුරු, චාටර්මාලි මට කැමතියි කිව්වා මචං

පුරුපුරු :- ෂාහ්...එළමකිරි මචෝ. ඔන්න මයි හාර්ටියස්ට් කොන්ග්‍රැජුලේෂන්ස්. (මාලුකට්ටා වැළඳ ගනිමින්) ඔන්න අපිට පාටියක් ඕනේ හෙටම

මාකට් :- හික් හික්!! දෙන්නං දෙන්නං බං.

මාලුකට්ටා මෙහෙම කිව්වත් කාලයත් එක්ක සිද්ද වුණේ මෑන්ස් ආපහු අනිත් පූසන්ගෙන් ඈත්වෙච්ච එක. ඉස්කෝලෙ පන්තියේදි වුණත් මාලුකට්ටා වාඩි වුණේ පුරුපුරුයි මී කතුරායි එක්ක නෙවෙයි, වෙන පේළියක. ඉතිං මෑන්ස්ගෙ වෙනස්වීම ගැන අනිත් පූසො හතරදෙනාම ගොඩක් දුකින් හිටියේ. ඒත් එන්න එන්නම සිද්දවුණේ මාලුකට්ටා වෙනස්වුණ එක විතරයි. මේ වෙද්දි තත්ත්වය කොච්චර උග්‍ර වෙලා තිබුනාද කිව්වොත් තමන් පරිභෝජනය කරන හැම භාණ්ඩයේම, චාටර්මාලිව හඳුන්වන්න මාලුකට්ටා පාවිච්චි කරපු “Dark Angle“ කියන නම කොටන්නත් මෑන්ස් පුරුදු වෙලා හිටියා (Angel කියන වචනෙ මාලුකට්ටා ලිව්වේ Angle කියලා).

කොටින්ම තමන්ගෙ බාහුවේ, පොත්වල හැම පිටුවක් ගානෙම, ෂර්ට් කොලර් එකේ, ලේන්සුවේ වගේම ඇඟේ එක එක තැන්වලත් Dark Angle කියලා ලියන්න මාලුකට්ටා පසුබට වුණේ නෑ. ඒ දවස්වල ක්ලාස් එකේ කොල්ලො කතා වෙවී හිටියේ මෑන්ස්ගෙ ජොකාගෙත් Dark Angle කියලා ලියලා තියෙනවාද දන්නෙ නෑ කියලා. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් විශේෂ දෙයක් වුණේ.

සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස එක එක ක්ලාස් වලට ගිහින් එන අපේ යාලුවො කට්ටිය අන්තිමට ගම්පහ බස්ටෑන්ඩ් එකට සෙට් වෙලා එකට තමයි ගෙදර යන්නේ. ඉතිං මේ වෙලාවට පුරුපුරු, ඤාව්වා, උපාසක, ඉස්සා, මැක්නාත්, සව්සිරි වගේ අපේ යාලුවෝ ගම්පහට සෙට් වෙනවා. ඉතිං මේ කියන දවසෙත් අපේ යාලුවො කට්ටිය ගෙදර යන්න කියලා පූස්ගම බස් එකට නැග්ගලු. පිටිපස්සෙම සීට් එකේ තමයි පූසෝ සුපුරුදු පරිදි වාඩි වුණේ. මොකද පස්සෙ සීට් එකේ ඉන්නකොට කට්ටියත් එක්ක හොඳට කෑ ගගහා යන්න පුලුවන්. පිටිපස්සෙ සීට් එකට කලින් එකේ වාඩිවුණේ සව්සිරි. මේ අතරේ තමයි වෙනදාට පරක්කු වෙලා ගෙදර යන මාලුකට්ටායි චාටර්මාලියිත් බස් එකට නැග්ගේ.

පූසන්ව දැකලා “හලෝ මචං“ කියලා කියපු මාලුකට්ටා සව්සිරි හිටපු සීට් එකට ඉස්සරහ එකේ චාටර්මාලිත් එක්ක වාඩිවුණාලු. මේ අතරේ තමයි චාටර්මාලිගෙ ගෙවල් ගාව පදිංචි වෙලා හිටපු සව්සිරි අලුගුත්තේරු වැඩක් කරලා තියෙන්නේ. මෑන්ස් කරලා තියෙන්නෙ සීට් එකේ පැත්තක තිබුන චාටර්මාලිගෙ බෑග් එක  ශේප් එකේ හොරකම් කරපු එක. ඊටපස්සේ මෑන්ස් කළේ බෑග් එක අපේ කපල් එකට නොපෙනෙන්න පිටිපස්සෙම සීට් එකේ හිටපු පුරුපුරුගෙ ඔඩොක්කුවට දාපු එක. ඒත් මේ වෙලාවේ පූසොත් එක්ක උපරිම පිස්සු කෙළිමින් වෙන සිහියක හිටපු පුරුපුරුට මේ සිද්දිය ගනන් ගතයුතු මට්ටමේ දෙයක් කියලා මීටර් වුණේ නෑ.

කොහොමහරි ඉතිං පෙම් ලෝකෙ අතරමං වෙලා හිටපු කපල් එකටත් බෑග් එක නැතිවෙච්ච බව දැනුනෙ ටිකක් වෙලා ගියාට පස්සේ. ඉතිං කලබල වෙච්ච චාටර්මාලි කළේ මූණ ඇඹුල් කරගෙන බෑග් එක හොයන්න පටන් ගත්ත එක. මේ වෙද්දි බස් එක අද්දන්නත් ළඟයි. ඉතිං මාලුකට්ටාත් බොහොම කලබලෙන් හැමතැනම බෑග් එක හොයන්න පටන් ගත්තලු. මේ වෙද්දිත් අපේ පූසන්ට මේ කිසි දෙයක් මීටර් වෙලා තිබුන් නෑ. ඔය වෙලාවෙ තමයි මාලුකට්ටා අන්තිම සීට් එක ගාවට ආවේ. ඉතිං තමන්ගෙ ගර්ල් ‍ෆ්‍රෙන්ඩ්ගෙ බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවේ තියෙනවා දැකපු මාලුකට්ටාට මාරයා ආවේශ වුණාලු.

මාලුකට්ටා :- පුරුපුරු!!! තමුසෙට පිස්සුද චාටර්මාලිගෙ බෑග් එක ඉස්සුවේ?

මාලුකට්ටා කරපු ගෝරනාඩුවෙන් තමයි මෙච්චරවෙලා කෑ ගගහා හිටපු පුරුපුරු ඇතුලු පූසො කට්ටිය පියවි සිහියට ආවේ. එතකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තමන්ගෙ ඔඩොක්කුවේ ගෑනු ළමයෙකුගේ බෑග් එකක් තියෙන බව. ඒත් මෑන්ස්ට හිතාගන්න බෑ ඒක ඔඩොක්කුවට ආවේ කොහොමද කියලා. කොහොමහරි මේ වෙද්දි බස් එකේ මිනිස්සුත් බලන්න පටන් අරගෙන මොකද්ද මේ සීන් එක කියලා. පුරුපුරුට ලැජ්ජයි. ඒ වගේ අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. වෙන තැනකදිනං මාලුකට්ටාට ගහන්න හරි තිබුනා. ඒත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සරහා කොල්ලෙක්ට ගහන එකත් සදාචාර සම්පන්න නෑ නොවැ!

පුරුපුරු මෙහෙම කල්පනා කරද්දි උපාසක තමයි බෑග් එක පුරුපුරුගෙ ඔඩොක්කුවෙන් අරගෙන ආපහු මාලුකට්ටාට දුන්නේ. සව්සිරිත් මේ අතරේ බයවෙලා. මෑන්ස් හිතන්න නැතුව ඇති විහිලුව මේ තරම් දුරදිග යයි කියලා. කොහොමහරි තවත් හිටියොත් පුරුපුරුත් මාලුකට්ටාත් අතරේ බස් එක මැද්දේ වලියක් යන බව තේරුම් ගත්තු අනිත් යාලුවෝ පුරුපුරුවත් අරගෙන බස් එකෙන් බැස්සලු. එදා තමයි පූසො සෙට් එකේ මිත්‍රත්වය කියන පදනමේ පලුද්දක් ඇතිවුණේ. ඉතිං ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු නේද?

ප.ලි :- මාලුකට්ටා වෙත,

උඹ මේක කියවනකොට බ්‍රෙට් ලී කියන්නෙ කවුද කියලා දන්නෙ නැත්තං මෙතනින් ගිහින් බලපන් :-).

Sunday, December 11, 2011

බැක් ටු හොස්ටල් - නයිට් ලයිෆ් සහ අවසාන කොටස



ඔන්න කාලෙකින් හොස්ටල් කතාවක් කිව්වෙත් නැති හින්දා අද කල්පනාව ඔයාලා වෙනුවෙන් හොස්ටල් කතාවක් කියන්න. කතාවක් කිව්වට ඉතිං මෙතන කතා කීපයක්ම තියෙනවා. අපේ යාලුවො දන්නවනේ ඉතිං පුරුපුරු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට කටයුතු කළයි කියලා. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම දවල් කාලෙදි වගේම රාත්‍රී කාලෙදිත් කරන්න ඕනෙ ඩියුටි ගොඩක් තියෙනවලු.

රෑ කෑමෙන් පස්සෙ 9.15 ට බෙල් එක ගහද්දි හය වසරේ ඉඳලා නවය වසරට යනකං ළමයි ටික තම තමන්ගෙ ඩෝම්වල ලයිට් ඕෆ් කරලා නිදාගන්න ඕනේ. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වශයෙන් කරන්න ඕනෙ පළවෙනි රාජකාරිය තමයි ඒ වෙලාවට හැම ඩෝම් එකේම ලයිට් ඕෆ් වෙලා සද්ද බද්ද නැතුව තියෙන බවට වග බලා ගැනීම. ඉතිං ඕක ලේසි පාසු රාජකාරියක් කියලා ඔයාලා හිතනවානං ලොකු වැරදීමක්. කුරුඳුවත්ත හොස්ටල් එකේ ඉන්නෙත් ඉතිං ලෝකෙ කාලා වතුර බීපු ඈයො නොවැ! මේ කස්ටිය කරන්නෙ ඉතිං නවයයි කාලෙ ඉඳන් නවය හමාර වෙනකං සද්ද නැතුව මීයො වගේ ඉඳලා තමන් හොඳටම නිදි බව ප්‍රිෆෙක්ට්ලාට ඒත්තු ගන්වන එක. ඊට පස්සෙ ප්‍රිෆෙක්ට්ලා ඩෝම් එකෙන් ගියාම මේ අය කරන්නෙ නැගිටලා කෑගහන්න පටන් ගන්න එක.

ඉතිං මේ වගේ ඩෝම් වලින් රෑ කාලෙ සද්ද බද්ද එනකොට උප පාලක රිචා සර්ට නින්ද යන්නෙ නෑ. මොකද මෑන්ස්ගෙ නිල නිවාසෙ තියෙන්නෙත් ඩෝම් ගොඩකට මැදි වෙලා. ඉතිං රිචා සර් මේ වගේ වෙලාවට කරන්නෙ ප්‍රිෆෙක්ට්ලාව ගෙන්නලා දොස් කියන එක. ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරු, හාරිස්, කිං බීජේ, තාරබාසු සහ සෝමෙ අයියාට තමයි මේ විදිහට රිචා සර්ගෙ දෝෂාරෝපණ අහන්න වෙන්නෙ.

රිචා සර් :- බලන්න හාරිස්! රෑ තිස්සෙ මුන්ගෙ වැඩේ කෑ ගහන එක. ඔයාලා මීට වඩා ටෆ් විදිහට ඉන්න ඕනෙ මේ ළමයින්ට.

හාරිස් :- හොඳයි සර්. අපි මේ ගැන මොනවා හරි කරන්නං

රිචා සර් මේ වගේ වෙලාවලට කට්ටියටම කතා කළත් ඩිරෙක්ට් ඕඩර්ස් දෙන්නෙ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච හාරිස්ට. ඒත් ඉතිං සැදැහැවත් උපාසකයෙක් වෙච්ච හාරිස් පොඩි ළමයින්ට කවදාවත් වචනෙකින්වත් හිංසාවක් කරන්න කැමති වුණේ නෑ. අන්තිමට පුරුපුරුට තමයි බාර වුණේ කස්ටියගෙ විනය හදන වැඩේ. ඉතිං මෑන්ස් කළේ සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන් එක්ක එකතු වෙලා හොඳ ප්ලෑන් එකක් ගහපු එක.

ප්ලෑන් එකට අනුව ඊට පස්සෙ ප්‍රිෆෙක්ට්ලා ඩෝම් එකට ගියෙ එක එක වෙලාවලට. සමහර දවස්වලට නවය හමාර විතර වෙද්දි ඉන්ස්පෙක්ෂන් යන අපේ යාලුවො කට්ටිය තවත් සමහර දවස්වලට යන්නෙ දහයට කිට්ටු වෙලා. ඉතිං ඩෝම් වල ඉන්න කොල්ලන්ට හැම තිස්සෙම බයෙන් ඉන්න වෙනවා කොයි මොහොතේ හරි ප්‍රිෆෙක්ට්ලා ඒවි කියලා. ඒ වගේම නියමිත වෙලාවෙන් පස්සෙ නැගිටලා හිටපු කට්ටියට සුදුසු දඬුවම් ලබා දෙන්නත් පුරුපුරුලා අමතක කළේ නෑ. ඉතිං ඔය විදිහට ඒ කරදරේ කාලයත් එක්ක විසඳිලා ගියාලු.

හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙකුට රෑට කරන්න තියෙන අනිත් රාජකාරිය තමයි ලේට් ස්ටඩීස් වලට සහභාගී වෙන එකයි, ඒක භාරව කටයුතු කරන එකයි. මේ වැඩේ 10, 11 වසරවල ළමයින්ට අනිවාර්යයි. ඒ වගේම සාමාන්‍යයෙන් රෑ දහයාමාර එකොළහ වෙනකං ලේට් ස්ටඩීස් තියෙනවා. මේ වැඩේනං ඉතිං එච්චරම අමාරුවක් නෑ. කරන්න තියෙන්නෙ කවුරුහරි ළමයෙකුට නින්ද ගියොත් මෑන්ස්ව නැගිට්ටවලා ටැප් එකෙන් මූණ හෝදගෙන එන්න යවන එක.

ඊටපස්සෙ ඔය ඔක්කොම වැඩ ඉවරවෙලා හොස්ටල් එකේ වටයක් දැම්මාට පස්සේ තමයි ප්‍රිෆෙක්ට්ලා නිදාගන්නේ. ඒත් ඉතිං ප්‍රිෆෙක්ට්ලාගෙ ඩියුටි වලට හොස්ටල් වෝර්ඩ්න්වත්, සබ් වෝර්ඩ්න්වත් වැඩිය අත පොවන්න එන්නෙ නැති හින්දා හොස්ටල් ප්‍රිෆෙක්ට් ජීවිතේ තිබුනේ අසීමිත නිදහසක්. උදාහරණයක් විදිහට හොස්ටල් එකේ ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි තනිකරම තිබුනේ ප්‍රිෆෙක්ට්ලාගේ පාලනය යටතේ. ඉතිං ඒ දවස්වල ටීවී එකයි ප්ලේයර් එකයි තියලා තිබුන ජුවාන්ගෙ කාමරේ ඒ එක්කම සීඩී කඳු තුනකුත් තිබුනා.

එක සීඩී කන්දක තිබුනේ රෙස්ලින් සීඩී ගොඩ ගහලා. තව එකක තිබුනේ ෆිල්ම් ගොඩ ගහලා. අනිත් කන්ද ගන කන්දක්. ඉස්කෝලෙ අනිත් ළමයිනුත් තමන්ගෙ ගන එහෙම වැඩි පරිස්සමට හොස්ටල් එකේ තියලා යන හින්දා ගන කන්දනං දවසින් දවස වැඩිවුණා මිසක් අඩුවුණේනං නෑ.

ඒ දවස්වල පුරුපුරු ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක් තමයි එක්ස් ෆයිල්ස්. හාරිස් එහෙම එක්ස් ෆයිල්ස් වලට එච්චර කැමති නැති හින්දා ජූනියර් හොස්ටල් එකේ හිටපු ප්‍රිෆෙක්ට්ලාගෙන් පුරුපුරු විතරයි ගොඩක් වෙලාවට රෑට ටීවී බලන්න සීනියර් හොස්ටල් එකේ ඉතුරු වුණේ. එක්ස් ෆයිල්ස් බලලා රෑ දොළහමාරට එකට විතර තට්ට තනියම ආපහු ජූනියර් හොස්ටල් එකට යන එක වචනයෙන් කියන්න බැරි තරම් අත්දැකීමක්. අවුරුදු එකසිය ගානක් පරණ ගොඩනැගිලි අතරින් යද්දි සක්වල තක්සලාව පැත්තෙන් එන හුළඟ ඒවයෙ වැදිලා ඇතිකරන්නෙ ඇහුවාම බය හිතෙන සද්දයක්.

සමහර දවස්වලට ආපහු ඇවිත් නිදාගන්න හැදුවාම පස්සෙ තමයි පූසාට මුත්‍රා බරක් ඇතිවෙන්නෙ. ඒ වගේ වෙලාවට ආපහු ටොයිලට් එක පැත්තෙ යන එක මහ කම්මැලි හිතෙන වැඩක්. ඉතිං අපේ පුරුපුරු කරන්නෙ කාමරෙන් එළියට ඇවිත් රිචා සර්ගෙ නිල නිවාසෙ එහාපැත්තෙ බිත්තියට දිය පාරකින් සංග්‍රහ කරන එක. පස්සෙ දැනගත්ත විදිහට හාරිසුයි, කිං බීජේයි පුරුදු වෙලා ඉඳලා තියෙන්නෙත් රෑට ඔය ක්‍රමයට සුළුදිය පහකරන්න තමයි. ඉතිං අන්තිමට සිද්දවුණේ රිචා සර්ට ගෙදර වාසය කරන්න අපහසු වෙන මට්ටමට අවට වටපිටාව සුගන්ධවත් වෙච්ච එක.

රිචා සර් කවදාවත් හිතුවෙ නෑ මේකට වග කියන්න ඕනෙ ප්‍රිෆෙක්ට්ලා කියලා. එක දවසක් හාරිස්ටයි, පුරුපුරුටයි කතා කරපු රිචා සර් මෙහෙම කිව්වලු.

රිචා සර් :- බලන්න හාරිස්! මේ පොඩි වසවර්තියො ටික පුරුදුවෙලානෙ රෑට ඇවිත් එහාපැත්තෙ බිත්තියට චූ කරන්න. පළාතම ගඳේ ඉන්න බෑ. එකත් එකටම මේ මුස්ලිම් පොඩිඑවුන් ටික තමයි ඔය වැඩේ කරන්නෙ. මේ දවස්වල නෝම්බි හින්දා මුන් රෑට වැඩිය නිදාගන්නෙ නැද්ද කොහෙද?

හාරිස් :- ආ ඇත්තද සර්? අපි පොරොන්දු වෙනවා සර් හෙට ඉඳලා මේ වැඩේ සිද්ද වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා.

රිචා සර් :- බොහොම හොඳයි. අන්න එහෙම තමයි ඔයාලා වැඩ කරන්න ඕනෙ.

ඉතිං එදායින් පස්සෙ හාරිස් කිව්වා වගේම කවුරුවත් රිචා සර්ගෙ බිත්තියට මුත්‍රා කරන්න ආවෙ නෑලු. අන්තිමට ඒකෙන් මේකෙන් සිද්දවුණේ හාරිස්ගෙ කාඩ් එක උපරිමට වැඩිදියුණු වෙච්ච එක.

*************************************************************************

ඉතිං යාලුවනේ මෙච්චර කල් අවුරුදු එකහමාරක් තිස්සේ මම ලියාගෙන ආපු හොස්ටල් කතා මාලාව මෙතනින් නිමා වෙනවා. ඇත්තටම මේ අන්තිම ලිපියෙන් සිද්දවුණේ මට කලින් ලිපිවලට ඇතුලත් කරන්න බැරිවෙච්ච කතා කීපයක් කොත්තු රොටී මෙතඩ් එකට මෙතන රිංගවපු එක. බ්ලොග් ගඩොල් තුලින් හොස්ටල් කතා සීසන් දෙකකට ඔයාලා වෙත අරගෙන ආවා.


1) හොස්ටල් ලයිෆ්
2) බැක් ටු හොස්ටල්


මම පහුගිය කතාවලට ලින්ක් දාන්න අදහස් කරන්නෙ නෑ. මේ කතා කියවපු නැති යාලුවන්ට පුලුවන් දකුණු පැත්තෙ උඩ තියෙන “ගඩොල් ගමන්මග“ හරහා මේ කතා කියවන්න. තවත් ලියන්න කතා ඉතුරුවුණත් මට හිතෙන්නෙ සමහර සිද්දි වලට ෆේස් කරද්දි ඇතිවෙන ෆන් එක කතාව කියවද්දි ඒ ආකාරයෙන්ම ඇතිවෙන්නෙ නෑ කියලා. ඒක හින්දා ඒ වගේ කතා ලියන්න මගේ අයිඩියා එකක් නෑ.


තව දුරටත් කියනවානං හොස්ටල් කතා වලින් මම බලාපොරොත්තු වුණේ ලංකාවෙ ප්‍රධාන පාසලක හොස්ටල් එකක, එක කාල වකවානුවක සිද්ද වෙච්ච සිදුවීම සෙට් එකක් ගැන ඔයාලාව දැනුවත් කරන එක. මේ කතාවලින් කාගෙහරි හිත රිදීමක් වුණානං සමාවෙන්න කියලත් කියන්න කැමතියි. ඇත්තටම මුලින් මම සමහර කතාවලට විවේචන එයි කියලා හිතුවත්, මුල ඉඳලාම අපේ යාලුවො මේ කතාපෙළ රසවින්දා. ඒ අතරේ හොස්ටල් එකේ පුරුපුරුලාගෙ බැච් මේට්ලා, ජූනියර්ස්ලා, සීනියර්ස්ලා එහෙමත් හිටියා.


හොස්ටල් එක කියන්නේ පුරුපුරුගේ ජීවිතේ අති සුන්දර කාල පරිච්ඡේදයක මතක සටහනක්. හොස්ටල් හිටපු අනිත් හැමෝටමත් ඒක එහෙමයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඉතිං මේ කතා මාලාව කියවපු හොස්ටල් එකේ හිටිය, නොහිටිය යාලුවො හැමෝටම බොහොම ස්තුතියි. ඉස්සරහට තවත් අලුත් සීරීස් එකකින් ඔයාලා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.


නිමි.


Saturday, December 3, 2011

පූසන්ගෙන් රජ බොජුන්


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු පුරුපුරු බ්ලොග්අවකාශෙට ගොඩ වැදුනා. දන්නෙම නැතුව පෝස්ට් එකක් නොදා මාස දෙකකටත් වැඩියෙන් කල් ගතවෙලා. කොහොම වුණත් දැන්නං විභාග කටයුතු ඔක්කොම අහවර නිසා දිගටම ලියන්න පුලුවන් වේවි. ඒ වගේම පහුගිය දවස්වල බ්ලොග් එකේ ලිපියක් නොලිවීම ගැන කොමෙන්ට් වලින්, චැට් කරලා වගේම මැසේජ් එවලා විමසීම් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි. පහුගිය දවස්වල අපේ පුරුපුරුට මෑන්ස්ගෙ ජීවිතේ මංගල රස්සාව හම්බවුණා. දැන් අපේ පූසා ගුරුවරයෙක්. ඒ වගේම බ්ලොග්අවකාසෙ කීප දෙනෙකුත් පූසාගෙන් ඉගෙන ගන්නවා.

කොහොමහරි ඉතිං ඔය ඔක්කොම වැඩ හින්දා පූසාට පහුගිය දොහේ බ්ලොග් කියවිල්ලට වෙලාවක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර දැක්ක දේවල් වලින් තේරුනේ මේ දවස්වල බ්ලොග් අවකාශෙ ට්‍රෙන්ඩ් එක කෑම හදන හැටි ගැන ලියන එක කියලා. විශේෂයෙන්ම අපේ මාරයා එහෙම වැඩේට මූලිකත්වය අරගෙන මූණුපොතේ පවා අනිත් කස්ටියව ප්‍රකෝප කරන පින්තූර දාලා තිබුනා. තමන් බ්ලොග් ලෝකෙ ඉන්න හොඳම චෙෆ් කියලා මාරයා හිතාගෙන හිටියාට ඊට වඩා හොඳ කෝකියො සෙට් එකක් බ්ලොග් අවකාශෙ ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපේ පූසො සෙට් එක. ඉතිං අද මම ඔයාලාට කියන්න යන්නෙ පූසො එකතුවෙලා රසවත් කෑමක් හදපු කතන්දරයක්.

මේ සිද්දිය වුණේ අපේ යාලුවො සෙට් එක 13 වසරෙ ඉන්නකොට. එතකොට ඒ ලෙවල් විභාගෙ ලියන්නත් මාස කීපයයි ඉතුරුවෙලා තිබුනෙ. ඉතිං විභාගෙ හොඳට ගොඩදාගන්න කියලා හිතාගෙන අපේ පූසො කට්ටිය තීරණය කළාලු එකට එකතුවෙලා පාඩම් කරන්න. මී කතුරායි, උපාසකයි ටිකක් දුරින් හිටපු නිසා ගොඩක් වෙලාවට කට්ටිය සෙට් වුණේ එක්කො පුරුපුරුලගෙ, මාලුකට්ටාගෙ හරි ඤාව්වාගෙ හරි ගෙවල් වලට. ගොඩක් වෙලාවට ඉතිං මේ වගේ අවස්ථාවලදි සිද්දවුණේ කට්ටිය පැය බාගයක් විතර පාඩම් කරලා ඉතුරුටික කයිවාරුවෙන් හිනාවෙවී කාලය ගතකරන එකලු.

ඒ දවස්වල ඉතිං කොල්ලො කට්ටියක් එකතුවුණාම කතාබහ කරන්න කොච්චරනං දේවල් තියෙනවද නේද? ඉතිං පූසො කට්ටියත් පාඩම් කරනවට වඩා කළේ ගෑනු ළමිස්සියො ගැනයි, ගන ගැනයි කතා කර කර හිටපු එකයි, ශිහාන් ලොක්කා සුපර්ස්ටාර් තරඟයෙන් කැපිලා යන්න කියලා ප්‍රාර්ථනා කර කර හිටපු එකයි. කොහොමවුණත් ගෙවල් වල අම්මලා පාඩම් කරන කොල්ලන්ට හොඳට කන්න බොන්න දෙන්න ඕනෙ කියලා විශ්වාස කරපු හින්දා, ඒ දවස්වල පූසන්ට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට කොටබාන්නනං චාන්ස් එක හම්බුනාලු.

ඉතිං ඔය වගේ එක දවසක පූසො කට්ටිය පාඩමට සෙට් වුණේ අපේ ඤාව්වාගෙ ගෙදර. වෙනදා වගේම එදත් කාලෙ ගතවුණත්, ඤාව්වා ටික වෙලාවකින් ඇවිත් කිව්වෙ කිසිසේත්ම සුභ ආරංචියක් නෙවෙයි. මෑන්ස් කියපු විදිහට එදා උදේ ඉස්කෝලෙ ගිය ඤාව් මාතාව ඉස්කෝලෙ මොකද්ද වැඩක් හින්දා ආපහු ගෙදර එන්න පරක්කු වෙනවලු. ඒ වෙද්දි උදේ උයලා තිබුන කෑම ටිකටත් පූසො ගේම දීලයි තිබුනේ.

හෝම් සයන්ස් ටීචර් කෙනෙක් වෙච්ච ඤාව්වාගෙ අම්මගෙ මුළුතැන්ගෙදර ඕනතරං කෑමජාති තිබුනත්, පූසො කවුරුවත් ඒවා උයන විදි දැනගෙන හිටියෙ නෑ. මොකද ඉතිං ලංකාවෙ පිරිමි පාර්ශවේ සාමාන්‍යයෙන් කුස්සියට යන්නෙ කෑම කන වෙලාවට විතරයි නොවැ! ඉතිං අපේ යාලුවන්ට ඉතුරුවෙච්ච එකම විකල්පය තමයි කඩෙන් කෑම ගෙනත් කන එක. ඔය විදිහට කට්ටිය සල්ලි එකතු කරලා කෑම ගේන්න ඤාව්වාවයි, මාලුකට්ටාවයි කඩේ යවන්න හදද්දි තමයි අපේ පුරුපුරුගෙ ඔලුවට අලුත් අයිඩියා එකක් ආවෙ.

පුරුපුරු :- අපි මචං උයන්න පුරුදු වෙන්නත් එක්ක අද දවල්ට ෆ්‍රයිඩ් රයිස් හදමුද?

උපාසක :- එළකිරි! මමත් උයන්න ආසාවෙන් හිටියෙ. ඒ වුණාට උඹ චිකන් උයන්න දන්නවද?

පුරුපුරු :- චිකන් ඕනෙ නෑ බං! එග් රයිස් එකක් හදමු. ඒක ලේසියිනේ.

කොහොමවුණත් පුරුපුරුගෙ අයිඩියා එකට සපෝට් එක දුන්නෙ උපාසක විතරයි. අනිත් පූසො තුන්දෙනා මේ වැඩේ ගැන බැලුවෙ ෆුල් සැකමුසු විදිහට.

මී කතුරා :- මේ පුරු, උඹ උයන ඒවා කාලා අපිට මොනවා වෙයිද දන්නෙ නෑ. අපි කඩෙන් කෑම ගේමු බං?

උපාසක :- උඹ නිකං හිටපංකො කෑ ගහන්නැතුව. උයන්න හිතපු වෙලේ උයන්නම ඕනෙ.

කොහොමහරි අන්තිමට තීරණය වුණේ එදා දවල්ට කන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්න. ඉතිං අපේ පූසො පස්දෙනා සුභ මොහොතින් කුස්සියට ඇදුනලු වැඩේ පටන් ගන්න කියලා. කිව්වට මොකද, පූසො පස්දෙනාගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑලු ෆ්‍රයිඩ් රයිස් තියා නිකං බත් එකක්වත් උයාගන්න. පුරුපුරු දැනගෙන හිටියෙත් බත් උයද්දි වතුරට හාල් දානවා කියලා විතරයි. ඒත් පහුගිය දවසක කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මැඩම් කියපු දෙයක් නිසා පුරුපුරුට ලොකු විශ්වාසයක් තිබුනලු මේ උයන වැඩේ සාර්ථක වෙයි කියලා. මැඩම් කිව්වේ

A good chemist is always a good cook

කියලා. ඒ කියමනට අනුව පුරුපුරු හොඳ කෝකියෙක් වෙන්න ඕනෙ. මොකද මේ කාලෙ අපේ පූසා රසායන විද්‍යාව පැත්තෙන් හොඳ හැකියාවක් පෙන්නුවා. ඉතිං පුරුපුරු උපාසකත් එක්ක එකතුවෙලා කල්පනා කළාලු එග් ෆ්‍රයිඩ් රයිස් එකක තියෙන්න ඕනෙ දේවල්. මේකෙ අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ දේවල් තමයි බත් සහ බිත්තර. ඊට අමතරව එළවළු, කරපිංචා, රම්පේ වගේ දේවල් තියෙන්නත් ඕනේ. ඉතිං කට්ටිය මුලින්ම කළේ රයිස් කුකර් එකට වතුර ටිකක් වක්කරලා රම්පෙ කරපිංචා කඩාගෙන එන්න ඤාව්වාව යවපු එක.

ඊටපස්සෙ අපේ පූසන්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි බත් එකට බිත්තර දාන්නෙ බත් ඉදුනට පස්සෙද? නැත්තං ඊට කලින්ද කියන එක. අන්තිමට කස්ටියගෙම ඒකමතික තීරණය වුණේ හාල් එක්කම බිත්තරත් රයිස් කුකර් එක ඇතුලට දාන්න ඕනෙ කියන එක. මේ වෙලාවෙ ඤාව්වලාගෙ ෆ්‍රිජ් එකේ බිත්තර හයක් තිබුනා. එක පූසාට එක බිත්තරේ ගානෙ ඕනෙ වෙන්නෙ බිත්තර පහයි. ඒත් ඉතිං එක බිත්තරයක් ඉතුරු කරලා වැඩක් නෑනෙ කියලා හිතපු මාලුකට්ටා ඔක්කොම බිත්තර ටික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තලු. ඊටපස්සෙ පුරුපුරු කළේ බිත්තර හයම කඩලා රයිස් කුකර් එක ඇතුලට දාපු එක. රයිස් කුකර් එකට හාල් දාලා බිත්තරයි හාලුයි කලවං කළේ ඊටත් පස්සේ.

මේ අතරේ මී කතුරා කළේ කැරට්, ලීක්ස් වගේ එළවළු කපපු එක. මාලුකට්ටායි උපාසකයි කළේ කුස්සියේ තිබුන නානාප්‍රකාර කෑම ජාති ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න පුලුවන් ඒවාද කියලා චෙක් කරලා බලපු එක. ඉතිං ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ දේවල් පූසන්ගෙ ෆ්‍රයිඩ් රයිසුවට ඇඩ් වෙලා තිබුනා.

බටර්, කරපිංචා, රම්පේ, ලුණු වතුර, කරාබු නැටි, මිරිස් කුඩු, ගම්මිරිස් ටිකක්, කරඳමුංගු, හීනියට කපපු අල පෙති.

ඉතිං මේ ඔක්කොම දැම්මත් අපේ පුරුපුරුගෙ හිතට මදි. ඉතිං මෑන්ස් කළේ කුස්සියෙ ඉතුරුවෙලා තිබුන වැනිලා එසන්ස් ටිකකුයි, ලා කොළ පාට කලරින් ටිකකුයිත් මේකට දාපු එක. හැබැයි ඒ මී කතුරාගේ දැඩි විරෝධය මැද්දෙ. මී කතුරා කෑ ගැහුවේ ෆ්‍රයිඩ් රයිස් එක කාලා මෑන්ස්ට බඩේ අමාරුව හැදෙයි කියන බයට. ඉතිං මෑන්ස්ගෙ බය නැති කරන්න කුස්සියෙ තිබුන අසමෝදගම් කුප්පියෙන් ටිකක් බත් එකට දාන්නත් පුරුපුරු අමතක කළේ නෑ.

කොහොමහරි ඉතිං ගොඩක් වෙලා බත් එක ඉදෙන්න තිබ්බත්, බත් එක ඉදෙන පාටක් පේන්න තිබුනෙ නෑ. අඩුගානෙ බත්එකෙන් පොඩ්ඩක් දුම් දාන හැටියක්වත් පූසන්ට පෙනුනෙ නෑලු. ඉතිං අන්තිමට ඤාව්වා තීරණය කළාලු රයිස් කුකර් එකේ පියන ඇරලා බත් එක රත් නොවෙන්න හේතුව හොයලා බලන්න. මෙහෙම බලද්දි අපේ පූසන්ට දැකගන්න ලැබුනෙ අමුතුම දර්ශනයක්. 

බත් එකේ උඩින්ම බොහොම ශක්තිමක් බත් තට්ටුවක් බැඳිලා තිබුනා. ඒක හින්දා බත් එක අම්බානට රත් වුණත් ඇතුලෙ හිරවෙලා තිබුන දුමට එළියට එන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. ඉතිං ඤාව්වා කළේ බත් හැන්දේ මිටෙන් උඩින් තිබුන තට්ටුව හිල්වෙලා යන්න බත් එකට ඇන්න එක. එතකොටම අර ඇතුලෙ හිරවෙලා තිබුන දුම මෑන්ස්ගෙ කන ළඟින්ම එළියට විද්දෙ එක්දහස් අටසිට ගනං වල දුම් කෝච්චියක් වගේ. කොහොමහරි අන්තිමට බලද්දි බත් එකේ අඩියෙ හරිය හොඳටම රොස්වෙලා තිබුනලු.

කොච්චර රොස් වුණත් ඉතිං මහන්සියෙන් උයපු එක විසිකරන්නයැ නේද! ඉතිං පුරුපුරු කළේ බත් එක කොටස් පහකට වෙන් කරලා කට්ටියට බෙදලා දුන්න එක. ඒ එක්කම හැමෝටම බත් එක උඩින් තක්කලි පලුව ගානෙ තියලා දෙන්නත් මෑන්ස් අමතක කළේ නෑ. මොකද කෑමක් වුණාම රස වගේම ලස්සනත් තියෙන්න ඕනේ. කොහොමවුණත් මේ ෆ්‍රයිස් රයිස් එක අනාගෙන කන්න පුලුවන් තත්ත්වයෙ තිබුනෙ නෑ. මොකද මුලු බත් එකම කේක් ගෙඩියක් වගේ කෑලි කපන්න පුලුවන් තත්ත්වයෙ තමයි තිබුනේ. ඒ වගේම බත් එකෙන් බාගයක් රයිස් කුකර් එකේ පර්මනන්ට් විදිහට ඇලිලයි තිබුනේ.

කොහොමවුණත් මී කතුරා කැමතිවුණේ නෑ මේ රසවත් ආහාරය භුක්ති විඳින්න. මෑන්ස් හැදුවේ ටවුමට ගිහින් වෙනම කෑම එකක් ගේන්න. ඒත් ඉතිං අනිත් පූසන්ගෙ දැඩි ප්‍රතිරෝධය හමුවේ අන්තිමට මී කතුරාටත් සිද්ද වුණාලු ෆ්‍රයිස් රයිස් කන්න. ඒත් ටික වෙලාවකින් පූසන්ට තරු පෙනුනේ මී කතුරා අමාරුවෙන් බෙල්ල අල්ලගෙන 

කබර...යා...

කියලා කියද්දි. බැලින්නං මෑන්ස්ට කෑම එක අප්පිරියා වෙලා වමනෙ යන්න ඇවිත්. කොච්චර අප්පිරියා වෙලාද කියනවනං මෑන්ස්ට ගෙදරින් එළියට දුවනකංවත් කබරයා කොන්ට්‍රෝල් කරගන්න බැරිවුණාලු. 

ඕඕ......ක්ක්....

මී කතුරා එළියට දුවනගමන් කබරයා දැම්මේ හරියටම ඤාව්වාගෙ ගෙදර ඉස්සරහ දොර ගාව. කොහොමහරි ඉතිං පූසන්ගෙ අප්‍රතිහත ධෛර්යය හමුවේ පොඩි කාලයක් ඇතුලත මී කතුරාගේ කබරයා ටික අස් කරලා දාන්න කට්ටියට පුලුවන් වුණාලු. ඤාව්වාටනං වමනෙ ගිහින් තිබුනේ එදා හවස. කොහොමහරි ඉතිං පූසන්ගෙ පළවෙනි ඉවිල්ල ඔය විදිහට සාර්ථකව නිමා වුණාලු. හැබැයි අපේ ඤාව්වා කවදාවත් එදා හවස මෑන්ස්ගෙ අම්මා ගෙදර ආවාට පස්සෙ වෙච්ච දේ ගැන කතා කළේ නෑ. ඊට පස්සෙ දවසෙ ඤාව්වලාගෙ ගෙදර යද්දි අලුත් රයිස් කුකර් එකක් කුස්සියට ඇවිත් තියෙන හැටි විතරක් පූසො කට්ටිය නිරීක්ෂණය කළාලු.

ප.ලි - මෙවැනි කෑම හදන්නේ හොඳින් මේ සඳහා පුරුදුවුණ කෝකියන් විසිනි. එබැවින් මෙය නිවසේදී අත්හදා බැලීමට නොයන්න.




Thursday, September 29, 2011

පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය - 2


කලින් ලිපිය බැලුවෙ නැති අය මෙතනින් බලන්න 

මම කලින් ලිපියෙන් කිව්වේ අපේ පුරුපුරු මෝල්ලන්තයේ දූපතකට ගිය හැටි ගැන නොවැ! මේ පහළින් තියෙන්නෙ ඒ දූපතේ ෆොටෝ කීපයක්.


වැප්නි සාන්ත තුමාට ලෑස්ති කරපු කාමරේ ඉදිරිපස
සුන්දර මෝල් වෙරළ
සුන්දර මෝල් වෙරළ. මුහුද ඉතාම නොගැඹුරුයි
වෙරළේ ඇති ශාක
වැප්නි තුමාට ලෑස්ති කරපු කාමරය. පුරුපුරු නැවතුනෙත් මේකෙම තමයි
කාමරයේ ඇතුල
ඕනෙනං අව්ව තපින්නත් පුලුවන්
රිසෝර්ට් එකේ කෑම බිමනං උපරිම විදිහට තිබුනා. ඒක හින්දා වැප්නි තුමාට ලැබෙන කෑම බීම ගැනනං කිසිම ප්‍රශ්නයක් පුරුපුරුට ඇතිවුණේ නෑ. ඊටපස්සෙ පූසාට නියමිත වෙලා තිබුනෙ දූපත අවට මුහුදේ ආරක්ෂාව තහවුරු කරන වැඩේ. මේ වැඩේට පුරුපුරුට යන්න වුණේ බෝම්බ හොයන පූසා නැතුව. මොකද කකුල් හතරේ පූසෝ වතුරට බයයි නොවැ! ඒත් කලින් සූදානම් කරගත්තු කිමිදුම්කරුවෝ දෙන්නෙක් මේ වැඩේට අරගෙන එන්න පුරුපුරුට පුලුවන් වුණාලු.




කිමිදුම්කරුවන් මුහුද පරීක්ෂා කරමින්
මුහුදේ මීටර් දෙසීයක් විතර ඈතට යන්න පුලුවන්
ලස්සන මෝල් වෙරළ
කාමරේ ඉස්සරහා
වැප්නි තුමා එන ආරංචිය අහලා එදාම අලුතින් ස්විමින් පූල් එකක් හදන්න පටන් ගත්තා
මුහුදේ ආරක්ෂාව තර කරන පුරුපුරු සහ කිමිදුම්කරුවෙක්
අන්තිමට දූපත අවට දිය යට බෝම්බ අටවන්න පුලුවන් තැන් ඔක්කොම නිශ්ක්‍රීය කළාට පස්සෙ තමයි පූසාගෙ ඒ දුපතේ රාජකාරිය අහවර වුණේ. ඒත් ඒ වෙද්දි රෑ බෝවෙලා තිබුන හින්දා පුරුපුරුට සිද්ද වුණාලු එදා රෑ දූපතේ ගත කරන්න.


රාජකාරිය අහවර වී විවේක සුවයෙන් පසුවෙන පූසා
හඳපානේ...හඳපානේ...හඳපානේ...රෑ යාමේ
ගස් අතරින් සඳ එළිය
දූපතේ හිටපු මැනේජර් බුවා ලංකාවෙ කොල්ලෙක්. මෑන්ස්ගෙනුත් පුරුපුරුට හොඳ සහයෝගයක් ලැබුනා. ඇත්තටම මෝල්ලන්තෙට ආවට පස්සේ පූසාට වැඩි ආගන්තුක බවක් දැනුනෙ නෑ. මොකද මේ රටේ කොහෙගියත් නිතරම සිංහල වචන ඇහෙනවා. ඒ වගේම සිංහල අකුරු නිතරම පේනවා. පුරුපුරුට හිතුනෙ ලංකාවෙ මිනිස්සු ගොඩ දෙනෙක් මෝල්ලන්තෙ ඉන්න නිසා එහෙම වෙලා ඇති කියලා. කොහොමවුණත් මෝල්ලන්තෙ මිනිස්සු පාවිච්චි කරන “දිවෙහි“ කියන භාෂාවෙ පවා සෑහෙන්න සිංහලෙන් බිඳී ආපු වචන තියෙනවා. භාෂාව නොතේරුනත් මිනිස්සු කියන දේවල් වල තේරුම යන්තම් අල්ලගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.



මෝල්ලන්තයට ඉර පායන හැටි
මෝල්ලන්තයට ඉර පායන හැටි
උදේ පාන්දර රාජකාරියට ලෑස්ති වූ පුරුපුරු
ආපහු යන අතරේ
කුරුස් නැවකුත් පහු කරගෙන ගියා
අගනුවරට ළඟා වීම
පහුවදා උදේම නැගිටපු පුරුපුරු, ස්පීඩ් බෝට්ටුවකට නැගලා ආපහු අගනුවරට ආවලු. ඊට පස්සේ මෑන්ස් කළේ අගනුවර ඇවිදලා ආරක්ෂක තත්ත්වය ගැන හොයලා බලපු එක. ඇත්තටම මාලේ නුවර කියන්නෙ බොහොම පොඩි දූපතක්. මුලු දූපත වටේම ඇවිදින්න පුලුවන් පැය දෙක තුනකින්. ඉතිං අපේ පූසාට පුලුවන් වුණාලු තමන්ගෙ රාජකාරිය බොහොම ඉක්මනට ඉවර කරන්න.
මාලේ නුවර සිරි
සැමදා වසා ඇති මෝල් කෞතුකාගාරය
මාලේ වැසියන්ට විනෝද වෙන්න තනා ඇති කෘත්‍රිම මුහුදු වෙරළ
අගනුවර වෙරළ ඛාදනය වැළැක්වීමට මෝල් වැසියන් කටයුතු කර ඇති ආකාරය
 මේ ගමනෙදි මෝල්ලන්ත ජනපති මැදුර සහ පාර්ලිමේන්තුව බලන්න යන්නත් අපේ පූසා අමතක කළේ නෑ. මෙතනදි තමයි පුරුපුරුට තරු විසිවුණේ. ජනපති මැදුරෙයි, පාර්ලිමේන්තුවෙයි ආරක්ෂාවට බල්ලෙක්වත් නෑ. (ආ...බල්ලො කොහොමත් නෑ නොවැ!) මේ නිකං හුදී ජනයා ඒ ගොඩනැගිලි ගාවින් කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙට මෙහෙට යනවා.


මෝල්ලන්ත ජනපති මැදුර
මෝල් පාර්ලිමේන්තුව
මේක දැකලානං අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණා. තමන්ගෙ ජනාධිපති මන්දිරයටයි, පාර්ලිමේන්තුවටයි ආරක්ෂාව හරියට දෙන්න බැරි මිනිස්සු කොහොමද වැප්නි සාන්ත තුමාගෙ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්නෙ? ඉතිං පුරුපුරු කළේ වහාම දුරකතනයෙන් වැප්නි මහතාව අමතලා මේ සංචාරය කැන්සල් කරන්න කියලා උපදෙස් දුන්න එක. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වැප්නි තුමා තීරණය කළාලු මේ සංචාරය දින නියමයක් නැතුව කල් දාන්න.

ඊටපස්සෙ ඉතිං තව දවස් දෙකකට වීසා තිබුන හින්දා පුරුපුරු ගියාලු තව ටිකක් රට තොට බලාගන්න. මෑන්ස් ඊටපස්සෙ ගියේ මාලේ නුවරට කිට්ටුවෙන් තිබුන විලින්ගිලි කියන දූපතට. මේ දූපතේනම් හැබැයි අගනුවර වගේ සාඩින් පැක් කරලා වගේ බිල්ඩින් ගහලා තිබුනෙ නෑ. කලබලකාරී ගතිය වුණත් සෑහෙන්න අඩුවෙන් තිබුනේ. ඒ වගේම විලින්ගිලි දූපත ප්‍රමානයෙනුත් මාලේට වඩා ලොකුයි. ඉතිං අපේ පූසා කළේ මේ දූපතේ මුහුදෙනුත් හිතේ හැටියට නාගත්ත එක.



විලින්ගිලි දූපත
විලින්ගිලි දූපත. ඈතින් පේන්නේ මාලේ අගනුවරයි.

විලින්ගිලි දූපත
මෝල්ලන්තෙ ඉන්න පිරිමි පාර්ශවයේ කට්ටිය කුඩ්ඩො වගේ වුණත් කාන්තා පාර්ශවයේ කට්ටියනං බොහොම සුන්දර විදිහට ඉන්නවා. අර “ඉඟ සුඟ ගත හැක මිටින“ ටයිප් කස්ටිය තමයි ගොඩක් ඉන්නේ. මේ ගැන පුරුපුරු වැඩිය කියන්න යන්නෙ නෑ. මොකද බ්ලොග් එකේ මේවා කියන්න ගිහින් පූසා මල්ටි බැරල් ප්‍රහාරයකට ලක් වෙන්න පවා ඉඩ තියෙනවා. කොහොමවුණත් ලංකාවෙ ඉඳගෙන කරවෙන අපේ කොල්ලො කස්ටිය මෝල්ලන්තෙ පැත්තෙ ගියොත් පාඩුවක් වෙන එකක්නං නෑ.

ඔය විදිහට අන්තිමට පූසා ගියෙ මෝල්ලන්තෙ වෙළඳ කටයුතු ගැන අවබෝධයක් ලබා ගන්න. එහේ බඩු මුට්ටුනං සෑහෙන ගනං. ඒත් රටේ ඉන්න මිනිස්සු ගොඩක් පොහොසත් නිසා ඒ අයට ඒවා ගානක් නෑ. පුරුපුරුත් ඉතිං අතේ මිටේ තිබුන හැටියට සුදුපූසිටයි, යාලුවන්ටයි අයිටම්ස් කීපයක් මිලදී ගත්තලු. ඊටපස්සෙ මෑන්ස් කළේ මාලු මාකට් එක පැත්තෙ සංචාරයක් දාපු එක.

මාලුවෙක් කපන එක මහ වැඩක් නෙවෙයි
බලයොයි, කෙළවල්ලොයි තමයි වැඩිපුර ඉන්නෙ
මහා පරිමාණයෙන් මාලු කැපීම


මාලු මාකට් එකට ගිය පූසා
මෝල්ලන්තෙ මාලු ගැනනං ඉතිං කතා කරලා වැඩක් නෑ. ඉන්න ඔක්කොම මාලු ෆුල් ෆ්‍රෙෂ් පිට තමයි ඉන්නේ. මුහුදෙන් අරගෙන එන මාලු කෙලින්ම යන්නේ මාකට් එකට. අතරමැදියෝ නැහැ. හාල්මැස්සෝ එහෙමනං පණපිටින් විකුණන්නේ. ඒ වගේම ලංකාවේ වගේ මාලුන්ගෙ අස් කොන් කන සිරිතක් එහේ නැහැ. මෝල් වැසියෝ කන්නෙ මාලුන්ගෙ හොඳ මස් තියන හරිය විතරයි.


හාල්මැස්සන්ට තවමත් පණ තියෙනවා
මාලු මාකට් එකට එහා පැත්තෙන් තියෙන්නෙ කරවල මාකට් එක. කරවල මාකට් එකට ගිය පුරුපුරුට දැනුනෙ ගෙදර ගියා වගේ. මොකද කරවල මාකට් එකේ ලංකාවේ වෙළෙන්දෝ නැති වුණත් ඔක්කොම බිස්නස් කෙරෙන්නේ සිංහල මීඩියම් එකෙන්.  පස්සේ හොයලා බැලින්නං ආරංචි වුණේ මුලු ලෝකෙන්ම කරවල කන්නේ ලංකාවෙ මිනිස්සු විතරයි කියලා. මේ කතාවෙ ඇත්ත නැත්තනං හැබැයි පුරුපුරු දන්නෙ නැහැ.

සිංහල තමයි කරවල මාකට් එකේ පාවිච්චි වෙන භාෂාව
ඉස්තරම් කරවල
සිංහලෙන් කරවල විකුණන බංග්ලාදේශ ජාතිකයෙක්
අව්වේ වෙළපු තෝර කරවල
කොහොමහරි ඉතිං තමන්ගෙ රාජකාරි ඉවර වෙච්ච හින්දා පූසා පහුවදාම ආපහු ලංකාවට ආවලු. මෑන්ස්ගෙ යාලුවොනං කිව්වේ පුරුපුරු හිටියට වඩා දෙගුණයක් විතර කලු වෙලයි කියලා. ඒ කතාවනං ඇත්ත තමයි. මොකද මෝල්ලන්තය ලංකාවටත් වඩා සමකයට කිට්ටු හින්දා එහෙට වැටෙන අව්ව ගොඩක් සැරයි.

අන්තිමේදි ඉතිං පුරුපුරුට පුලුවන් වුණාලු තමන්ට පැවරිච්ච රාජකාරිය හරියට ඉෂ්ට කරන්න. දැන් ඉතිං වැප්නි සාන්ත තුමා තමයි තීරණය කරන්න ඕනෙ මෝල්ලන්තෙට යනවද නැද්ද කියලා.

ප.ලි - මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය

අපේ බ්ලොග් ලියන කට්ටිය සෑහෙන දෙනෙක් නිතර ගැවසෙන තැනක් තමයි ගූගල් බස් එක කියන්නේ. ඔය බස් පදින කට්ටිය එකතු වෙලා ගූගල් බස් සංගමය කියලා සංගමයක් පවා පිහිටුවාගෙන ඉන්න බව ගොඩ දෙනෙක් දන්නවානේ. ඉතිං ඔය සංගමයේ සභාපති තනතුර දරන්නේ අපේ වැප්නි සාන්ත තුමා කියන එකත් බ්ලොග්කරුවන්ට රහසක් නෙවෙයි. (මම මේ දේවල් කියන්නේ ගූගල් බස් එක ආගන්තුක කට්ටියට හොඳේ!).

ඉතිං ඇමරිකාවෙ ජනාධිපති ලෝකෙ බලවත්ම පුද්ගලයා වගේ ලංකාවෙ අන්තර්ජාලයේ බලවත්ම පුදගලයා තමයි වැප්නි සාන්ත. කොටින්ම සිංහල සයිබර් අවකාශය යන්න ඕනෙ මොන දිශාවටද කියලා තීරණය කරන්නෙ පවා වැප්නි තුමා බව සමහරවිට ඔය කස්ටිය නොදන්නවා ඇති. ඉතිං ඒකෙන්ම හිතාගන්න පුලුවන් නොවැ එතුමාගේ බල පරාක්‍රමය. කොහොමහරි ඉතිං බලවත් පුද්ගලයො ඔක්කොටම තියෙනවා වගේ වැප්නි තුමාටත් තමන්ගෙ ආරක්ෂාව පිළිබඳ බරපතල තර්ජන තියෙනවා.

සිංහල සයිබර් අවකාශයේ විශේෂ රහස් ඔත්තු සේවය වෙන මාෆිලා දෙපාර්තමේන්තුව තමයි මේ වගේ වැදගත් පුද්ගලයන්ගෙ ආරක්ෂාව භාරව ඉන්නේ. ඒ ගැන දන්නෙ නැති අයට මෙතනින් දෙපාර්තමේන්තුවෙ නිල බ්ලොග් අඩවියට යන්න පුලුවනි. ඔයාලා ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට අපේ පුරුපුරුත් මේ දෙපාර්තමේන්තුවේ බොහොම ඉහළ නිළයක් දරන පූසෙක්. ඔන්න මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නේ.

පහුගිය දවසක වැප්නි සාන්ත තුමාට මෝල්ලන්ත රජයෙන් විශේෂ ආරාධනාවක් ලැබුනා මෝල්ලන්තයේ නිල සංචාරයකට එක් වෙන්න කියලා. ඒ වෙන මොකටවත් නෙවෙයි, මෝල්ලන්තයේ බ්ලොග්කරණය සහ බස්කරණය නගාසිටුවීමේ විශේෂ වැඩපිළිවෙලකට උපදෙස් ගන්න. ඇත්තටම ඉතිං මෝල්ලන්තෙ වගේ ජනගහනය ලක්ෂ තුනහමාරක් වෙන රටක මේ වගේ වැඩක් කරන එක හරිම අමාරු දෙයක්. ඒත් අන්තිමේදි වැප්නි තුමා තීරණය කළාලු නොසැලී වැඩේ බාරගන්න.

ඒත් ඉතිං මේ වගේ වැදගත් පුද්ගලයෙක් නිල සංචාරයකට යන්න කලින් ඒ රටේ ආරක්ෂාව පිළිබඳව හොඳ වැටහීමක් සහ වගකීම් සහතිකයක් ලබාගන්න ඕනේ. මෝල්ලන්තය ඇතුලෙ මාෆිලා දෙපාර්තමේන්තුවෙ විශේෂ නියෝජිතයො හිටියත්, වැප්නි තුමාගෙ ආරක්ෂාව කියන්නෙ බොහොම බරපතල කාරණාවක් හින්දා අන්තිමේදි පුරුපුරු තීරණය කළාලු පෞද්ගලිකවම මෝල්ලන්තයට ගිහින්, එහෙ ආරක්ෂක තත්ත්වය ගැන හොයලා බලන්න. සියලු වියදම් දෙපාර්තමේන්තුව ගානෙ හින්දා පුරුපුරුට තිබුනෙ ගිහින් ආරක්ෂාව ගැන හොයලා බලන වැඩේ විතරයි. ඇත්තටම පහුගිය දවස් ටිකේ පුරුපුරු වැඩිය පේන්න හිටියෙ නැත්තෙත් මේ වැඩේ හින්දා. 

ඉතිං නියමිත දවසේ ප්ලේන් එකට නැග්ග අපේ පූසා කෙලින්ම ගිහින් ගොඩ බැස්සේ මෝල්ලන්ත ගුවන් තොටුපොළේ. ඇත්තටම මේ එයාර්පෝට් එක තිබුනෙ වෙනම පොඩි දූපතක. මුලු දූපතටම තිබුනෙත් එයාර්පෝට් එක විතරයි. කොටින්ම ඒ දූපතට කියන්නෙත් එයාර්පෝට් අයිලන්ඩ් කියලා. ඉතිං පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් ප්ලේන් එක බාන්න වෙන්නේ කෙලින්ම මුහුදේ. මේක වැප්නි තුමාගෙ ආක්ෂාවට තර්ජනයක් හින්දා එතනින්ම මෝල්ලන්තයට ඍණ ලකුණක් වැටුනා.

එයාර්පෝට් දූපත

පුරුපුරු එදා නැවතුනේ මෝල්ලන්ත අගනගරය වෙච්ච මාලේ නුවර. ඒ දූපතට යන්න එයාර්පෝට් දූපතේ ඉඳලා බෝට්ටුවක යන්න ඕනේ. ලංකාවේ ප්‍රයිවට් බස් වගේ මෝල්ලන්තයේ තියෙන්නෙ ප්‍රයිවට් බෝට්ටු. ලංකාවෙ බස්පලුවො වගේ මෝල්ලන්තෙ ඉන්නෙ බෝට්ටුපලුවො. දෙගොල්ලොම හැබැයි පෙනුමෙන්නං එකම වගේ. ඇත්තටම ලංකාවෙ මිනිස්සුයි, මෝල්ලන්තෙ මිනිස්සුයි පෙනුමෙන් වෙන් කරලා අඳුරගන්න එක බොහොම අමාරු වැඩක්.

 

බෝටුටව ඇතුලේ ඉදිරිපස පෙනුම
බෝටුටව ඇතුලේ පිටුපස පෙනුම
ඈතින් පෙනෙන මෝල්ලන්ත අගනුවර

කොහොමහරි ඉතිං අපේ පූසා එදා රෑ මෝලලන්ත අගනුවර ගත කළාලු. මෝල්ලන්තයට ආපු වෙලාවෙ ඉඳලා අපේ පූසාගෙ කනට වැටුනෙ ඇහුවාම මෝල්වෙන ජාතියෙ නීති රීති ගැන. මෝල්ලන්තෙ ඉන්න මිනිස්සුන්ට ඇල්කොහොල් බොන්න තහනම්. බැරිවෙලාහරි අපේ රටේ ඔය නීතිය දැම්මනං හැබැයි කස්ටිය දවසක් ඇතුලත ආණ්ඩුව පෙරලනවා. ඒත් ඉතිං මෝල්ලන්තෙ මුස්ලිම් රටක් හින්දා මොන ආණ්ඩුව ආවත් ඔය නීතිය වෙනස් වෙන්නෙ නෑ. ඒ වගේම මෝල්ලන්තෙ මිනිස්සුන්ට බල්ලො ඇති කරන්න තහනම්. ඒකත් ඉස්ලාම් ආගමේ නීති රීති අනුව වෙච්ච දෙයක් කියලා තමයි ආරංචි වුණේ.

ඉතිං පුරුපුරු හිතුවේ මේ රටේ ඉන්නේ බොහොම හැදිච්ච ගුණයහපත් මිනිස්සු කියලා. ඒත් අගනුවරට ගියාට පස්සෙ තමයි තේරුනේ මෝල්ලන්තෙ ඉන්න මිනිස්සුන්ට ඇත්තටම මෝල් කියලා. ඇල්කොහොල් තහනම් වෙච්ච රටේ හැම එකාගෙම වගේ කටේ සිගරට් එකක්. ඒ වගේම ඉන්න කොල්ලන්ගෙන් සියේට හැත්තැපහකටත් වඩා කුඩ්ඩො ඉන්නේ. ඉතිං වැප්නි සාන්ත වගේ වැදගත් මහත්මයෙකුට එන්න මේ රට සුදුසුද කියන ප්‍රශ්නාර්ථය පුරුපුරුගෙ හිතට නැගුනා.

හොඳින් පැක් කළ සාඩින් ටින් ගොඩක් වැනි මාලේ නගරය
නගරයේ ඇතුලත දර්ශනයක්
පහුවදා තමයි පුරුපුරුට තමන්ගෙ රාජකාරි පටන් ගන්න තිබුනේ. මේ වගේ අන්ඩර්කවර් වැඩක් හැමෝටම පේන්න කරන්න බැරි නිසා පූසා මුලින්ම කළේ කාටත් අඳුරගන්න බැරි විදිහට වෙස් මාරු කරගත්තු එක. 

වෙස් මාරුකළ පුරුපුරු

ඊටපස්සෙ මෑන්ස්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි බෝම්බ හොයන්න බල්ලෙක්ව ලබා ගැනීමේ කේස් එක. මොකද මෝල්ලන්තෙ බල්ලො ඉන්න තහනම් හින්දා ඉව අල්ලලා බෝම්බ හොයන්න පුලුවන් බල්ලෙක්ව එහෙට ගේන්න පුලුවන්කමක් තිබුනේ නෑ. ඒත් පුරුපුරුලාව දෙපාර්තමේන්තුවෙන් පුහුණු කරලා තියෙන්නෙ අවට තියෙන සම්පත් යොදාගෙන තමන්ගෙ රාජකාරිය කරන්න හින්දා මේ ප්‍රශ්නෙ ගැන පූසා කලබල වුණේ නෑ. ටිකක් සෝදිසි කළාම පුරුපුරුට පුලුවන් වුණා බෝම්බ හොයන්න පුලුවන් පූසෙක්ව හොයාගන්න. 

බෝම්බ හොයන පූසා

තමන්ගෙම ජාතියෙ කෙනෙක් හින්දා පුරුපුරුට සහයෝගය දෙන්න ඒ පූසාත් කැමති වුණාලු. ඉතිං ඒ පූසාව කූඩුවක දාගෙන තමන් යන යන තැන අරන් යන්න පුරුපුරුට සිද්ද වුණාලු.

පුරුපුරු සහ බෝම්බ හොයන පුසා අතරමගදී හමුවූ ශ්‍රී ලාංකික සංචාරක යුවලක් සමග

මුලින්ම පුරුපුරු ගියේ වැප්නි සාන්ත තුමාට නවතින්න තැනක් බලන්න. දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබුනේ ඒ වෙනුවෙන් වෙනම දූපතක් වෙන් කරන්න. මොකද එතකොට වැප්නි තුමාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නෙත් නෑ නොවැ! ඉතිං අපේ පූසා අර බෝම්බ හොයන පූසාවත් අරගෙන ගියාලු වැප්නි තුමාට නවතින්න දූපතක් හොයන්න. මේ වැඩේට බලපු දූපත් අතරින් පුරුපුරුගෙ හිත ගත්තෙ අගනුවර ඉඳලා පැයක ගමනක් තිබුන “එරියාදු“ කියන දූපත. පැයක ගමනක් කිව්වාට ඒක අගනුවර ඉඳලා සෑහෙන දුරක්. මොකද මේ ගමන යන්න පුරුපුරු තෝරගත්තෙ පැයට කිලෝමීටර් හැත්තෑවක අසූවක වේගෙන් යන ස්පීඩ් බෝට් එකක්.

ජැටියෙන් පිටවෙන ස්පීඩ් බෝට්ටුවක්
පුරුපුරු රැගත් බෝට්ටුව අගනුවරින් නික්මෙද්දී
මුහුද දෙබෑ කරගෙන යන ස්පීඩ් බෝට්ටුව. ඈතින් පේන්නේ මාලේ නුවරයි
අතරමගදී කලබල වූ බෝම්බ පූසා
අතරමගදී හමුවූ වෙනත් දූපතක්. ඒ දූපතේ මුහුද දිහාට වෙන්න හදපු කුටි ඇත

කොහොමහරි ඉතිං අන්තිමට පැයක ගමනකින් පස්සේ පූසාට පුලුවන් වුණාලු ඔය දූපතට ළඟා වෙන්න.

ඇත්තටම මෝල්ලන්තෙ මිනිස්සුන්ට මෝල් වුණත් මේ දූපතනං හරිම ලස්සනයි. ඒ වගේම බොහොම පොඩියි. මේ දූපත මීටර් තුන්සීයක් විතර දිග, මීටර් සීයක් විතර පළල බොහොම පොඩි දූපතක්. මෝල්ලන්තෙ තියෙන දූපත් දෙදාස් ගානෙන් බහුතරයක් තියෙන්නෙ ඒ වගේ රිසෝර්ට් විදිහටලු.

මේ දූපත සංචාරක පාරාදීසයක්
දූපත වටේටම තියෙන්නෙ නොගැඹුරු මුහුද
සුදු වැලි සහිත දූපත් වෙරළ
පුරුපුරු රාජකාරිය අතරතුර

ඊට පස්සෙ වෙච්ච දේ බලන්න මේ ලිපියට යන්න.

ප.ලි - මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.