අඹ යාලුවෝ

Thursday, January 19, 2012

පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද?


අද සෑහෙන කා‍ලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස ලියන්න කියලා හිතාගෙන. ඒත් උදේ පාන්දර අපේ රත්ගමයා ලියලා තිබුන ලිපියක් සහ ඒකට ඇවිත් තිබුන කොමෙන්ට්ස් ටික දැකලා හිතුනා මමත් මේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළොත් හොඳයි කියලා. ඉතිං මේ ලිපියත් ප්‍රශ්න සහ පිළිතුරු ස්ටයිල් එකෙන් ඉදිරිපත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ  විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.   

දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න. 

ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මහා ලොකු මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ.

එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?

මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.

4) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)

මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.

5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ

මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.

6) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.

මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.

අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා). 

7) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?

රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්.

8) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?

නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.

9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.

සංවාදයට විවෘතයි.

Monday, January 2, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි - 2


ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ගිය හැටියි ගැන නොවැ! ඉතිං අද කියන්න යන්නේ එතන ඉඳලා වෙච්ච සිද්දිය.

කොහොමහරි ඉතිං ඔය කේස් එකෙන් පස්සේ පුරුපුරුගෙයි මාකට්ගෙයි අතර තිබුන යාලුකම යම් තරමකට හානි වුණා. මුල් දවස්වල දෙන්නා කතා නොකරම හිටියත්, පස්සෙ පස්සෙ මේ දෙන්නා කතාබහ කරන්න පටන් ගත්තා. ඒත් ඉස්සර තිබුන තරමේ පට්ටම ෆිට් එකක් මේ යාලුවො දෙන්නා අතරේ ආපහු ඇතිවුණේ නෑ. ඉතිං මේ කාලෙ අපේ පූස් සෙට් එකේ යම් තරමක මණ්ඩලේ කචල් සිටුවේෂන් එකක් තමයි තිබුනේ. හැබැයි ඔය හැම කේස් එකක්ම මැද්දෙ මාකට්ගෙයි චාටර්ගෙයි පෙම් කතාවනං නිවර්තන වැසි වනාන්තරයක හිටවපු ගහක් වගේ ලස්සනට දලුදාලා ජයටම ලියලලා ගියා.

මේ කාලෙ අපේ කපල් එකට දෙන්නාට දෙන්නා නැතුවම බෑ. කොටින්ම මේ දෙන්නා නොගිය පාලු පාරක්, ෆිල්ම් හෝල් එකක්, කෑම කඩයක් තියා පෙට්ටි කඩයක්වත් ගම්පහ නගරේ ඉතුරුවුණේ නෑ. ඒ දවස්වල ගම්පහ නිතර කරක්ගහන ඕනෙම මනුස්සයෙකුට අත්වැල් පටලගෙන තමන්ගෙ ලෝකෙ තනිවෙලා ඉබාගාතේ සැරිසරන මාලුකට්ටයි චාටර්මාලියි නුපුරුදු සීන් එකක් නෙවෙයි. ඒ වගේම දෙන්නට දෙන්නා කතා නොකර විනාඩි දහයක් හිටියත් මේ ජෝඩුවටම අප්සෙට්. ඒ හින්දා දවස තිස්සෙම ඇවිදලා ක්ලාස් එකට ආවට පස්සෙත් සර්ට හොරෙන් චාටර්මාලිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක මාකට්ගෙ පුරුද්දක්.

ඒ වගේම තමන්ගෙයි චාටර්මාලිගෙයි අතරෙ තිබුන එෆෙයාරුව ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න වෙන කාටවත්ම හංගන්න මාකට්ට අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඉතිං බයෝ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක වෙලාවෙ, ක්ලාස් එක ඇතුලෙ කෙල්ලො සිය ගානක් වාඩිවෙලා ඉන්න තැනට ගිහිං චාටර්මාලිත් එක්ක කතා කරන්න අපේ මාකට්ට කිසිම ලැජ්ජාවක් තිබුනේ නෑ. මේ වැඩේ හින්දා බයෝ සර් පවා වැඩි දවසක් නොගිහින් මේ කපල් එක ගැන දැනගත්තා. සාමාන්‍යයෙන් ක්ලාස් එක ඇතුලෙ ලව් කේස් වලට සර් කැමති නොවුනත්, මාකට්ගෙ තිබුන ෆෝවඩ් ගතිය නිසාද කොහෙද සර් මෑන්ස්ට කිසිම බාල්දියක් දැම්මේ නෑ. ඒ වෙනුවට සර් කළේ ඉගෙනගන්න කාලෙ අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා මාකට්ට අවවාද දුන්න එක.  ඒත් ඒ වෙලාවට “හ්ම් හ්ම්“ කියලා ඒවා අහගෙන හිටියත්, ආපහු චාටර්මාලිව දැකපු ගමන්ම සර් දුන්න අවවාද අපේ යාලුවාගේ හිතින් මැකිලා ගියේ ඉර දැක්ක පිණිබින්දු වගේ.

මාකට් තමන්ට බස් එකේදි බැන්නත් ඇත්තටම කැපවෙලා ආදරය කරන තමන්ගේ යාලුවා ගැන පුරුපුරුගෙ හිතේ තරහක් තිබුනේ නෑ. ඇත්තටම මාලුකට්ටා කියන්නේ අති විශිෂ්ට පෙම්වතෙක්. තමන්ගෙ පොකට් මනි ඔක්කොම රී ලෝඩ් දාන්නයි, චාටර්මාලිට තෑගි අරන් දෙන්නයි වියදම් වුණත්, නොකා නොබී හරි ඒ දේවල්ම කිරීම මිසක් තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන එක නෙවෙයි මාකට්ගෙ ප්‍රතිපත්තිය වුණේ. අන්ත දුප්පත් පවුලක ඉපදිච්ච චාටර්මාලිගේ ආර්ථික තත්ත්වය පවා මාකට්ගෙ හිතේ චාටර්මාලි ගැන තිබුන ආදරේ වැඩි කරන්න හේතු වුණා මිසක් අඩු කරන්න හේතු වුණේ නෑ.

මේ කාලෙ පූසන්ගෙන් මාකට් වැඩිපුරම සම්බන්ද වෙලා හිටියේ උපාසකයි, මී කතුරායි, ඤාව්වායි එක්ක. මොකද මෑන්ස් පුරුපුරුව දැක්කේ ආදරය ආගමක්නං ඒ ආගමට විරුද්ධ සාතන් කෙනෙක් හැටියට. මේකට හේතුවුණේ ආපහු කවදාවත් සීරියස් රිලේෂන්ශිප් එකකට යන්නෙ නෑයි කියලා පුරුපුරු වටේ හිටපු හැමෝටම කිය කියා ගිය එකලු.

මේ අතරෙ තමයි ඒ විශේෂ දවස උදාවුණේ. එදා උදේ පුරුපුරු ගම්පහට යද්දි උපාසකයි, ඤාව්වායි, මී කතුරායි එක්ක මාකට් සීරියස් කතාවක්. සෑහෙන කාලෙකින් චාටර්මාලිගෙන් තොරව මාකට්ව දැකගන්න ලැබුන හින්දා පුරුපුරුත් බොහොම උනන්දුවෙන් ඒ පැත්තට ඇදුනලු. තවත් ටිකක් කිට්ටු වෙද්දියි අපේ පූසා දැක්කේ මාකට්ගේ ඇස්වල කඳුලු පිරිලා තිබුන වග. ඇත්තටම පුරුපුරු දිහා කෙලින් බලන්නවත් බැරි තත්ත්වයක තමයි මෑන්ස් හිටියේ. ඉතිං අපේ උපාසක පටන් ගත්තලු වෙලා තියෙන සිද්දිය පුරුපුරුට පැහැදිලි කරලා දෙන්න.

බැලින්නං සිද්දවෙලා තිබුනේ කවුරුත් නොහිතපු දෙයක්. චාටර්මාලිට මාකට් එක්ක යාලුවෙන්න කලින් වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි චාටර්මාලිගේ ෆස්ට් ලව් එක. පස්සෙ කාලෙක ඒ කොල්ලා චාටර්මාලිට බූට් එක තිබ්බත් තමන්ගෙ පළවෙනි ආදරේ අමතක කරන එක එයාට ලේසි වැඩක් වෙලා නැහැ. ඉතිං ඔය අතරේ තමයි අපේ මාකට් චාටර්මාලිගෙ ලයිෆ් එකට එන්ටර් වෙන්නේ. ඉතිං දුක්වෙවී හිටපු චාටර්මාලිට මාලුකට්ටාගේ ආදරේ තදින් දැනුන හින්දා වෙන්නැති ඊටපස්සේ සිද්දවුණේ අපි කවුරුත් දන්න මේ දෙන්නගේ යාලුවීම. ඊටත් පස්සේ මේ දෙන්නගෙ ලව් එක නැගලා ගිය හැටි අපි ඉතිං කලින් කිව්වනේ.

කොහොමහරි ඉතිං පැණිවරකා ගහටත් හෙන ගහනවා කියන්නා වගේ ඔය අතරේ තමයි අවාසනාවන්ත දෙයක් සිද්දවෙලා තිබුනේ. ඒ තමයි චාටර්මාලි තවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියන ආරංචිය එයාගේ කලින් පෙම්වතාගෙ කනේ වැටිච්ච එක. අපේ ගොඩක් කට්ටියට වගේ ඉතිං මෑන්ස්ටත් තමන්ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අගේ දැනුනේ එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවුණාට පස්සෙලු. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මෑන්ස් ආපහු චාටර්මාලිව තමන්ගේ කරගන්න ප්ලෑන් ගහන්න පටන් ගත්තේ.

ඔය දවස්වල තමයි අර “මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා“ කියන සිංදුව ආවේ. ඉතිං අර කොල්ලා (සමීර කියමුකෝ) කළේ ඔය සින්දුව ඇතුලත් කැසට් එකකුත් අරගෙන ගිහින් බස් එකේදී චාටර්මාලිව මීට් වෙච්ච එක. ඒ දවස්වල මාකට් නැතුව චාටර්මාලි විතරක් තනියම බස් එකේ යන්නේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා කලාතුරකින්. ඒත් ඒ කලාතුරකින් හම්බවෙන අවස්ථාව නියමෙට එක්ස්ප්ලොයිට් කරන්න තරම් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් සමීර දක්ෂයෙක් වුණාලු. ඉතිං මෑන්ස් කළේ චාටර්මාලිට ඇඬෙන ටෝක්ස් එකක් දීලා කැසට් එකේ තිබුන සිංදුව අහන්නයි කියපු එක.

කොහොමහරි සමීරගේ සහ චාමර වීරසිංහගේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට සිද්දවුණේ අපේ මාලුකට්ටාගේ අවුරුද්දකටත් වැඩි ලව් එකට පයින් ගහලා චාටර්මාලි සමීරව තෝරගත්තු එක. ඒත් තමන් ජීවිතේම කැපකරලා ආදරේ කළාට පස්සේ චාටර්මාලි එයාට බූට් එකක් තියන්න තරම් කෘෘර වෙච්ච ඩයල් එකක් එක්ක යාලුවෙච්ච එක අපේ මාලුකට්ටාට දරාගන්න පුලුවන් වුණේ නෑ. අන්තිමේදි මාකට් පුරුපුරු එක්ක කතා කරන්න ගත්තේ මාස කීපයක් තිස්සේ පලුදු වෙලා තිබුන යාලුකම ආපහු යථා තත්ත්වයට ගෙනත්.

මාකට් :- පුරුපුරු, මට සමාවෙයං මචං! මම චාටර්මාලි හින්දා අවුරුදු ගානක් මාත් එක්ක හිටපු උඹට බැන්නා. මට ඒ ගැන ලැජ්ජයි මචං.

මෙහෙම කියපු මාලුකට්ටා පුරුපුරුව බදාගෙන අඬන්න පටන් ගත්තලු. පුරුපුරුගේ විතරක් නෙවෙයි, පූසො හැමෝගෙම ඇස්වල කඳුලු. කොහොමහරි අන්තිමට හැමෝගෙම තීරණය වුණේ චාටර්මාලි කරපු අපරාධය වෙනුවෙන් එයා වන්දි ගෙවන්න ඕනෙයි කියන එක. ආදරය වෛරයට හැරෙන්න ගතවෙන්නේ නැනෝ තත්පරයයි. ඉතිං මේ වෙද්දි අපේ මාකට් හිටියෙත් චාටර්මාලි ගැන කියන්න බැරි තරම් වෛරයක් හිතේ තියාගෙන. කොහොම වුණත් මේ වෙද්දි චාටර්මාලිට කරන්න ඕනෙ මොනවාද, ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ මාලුකට්ටාව මගඅරිමින් කට්ටි පැනපු, ෆෝන් කෝල් එකකටවත් ආන්ස්වර් නොකර හිටපු චාටර්මාලිව කොටු කරගන්නෙ කොහොමද, චාටර්මාලි සමීර එක්ක හිටියොත් මොකද කරන්නේ වගේ ප්‍රශ්න වලට අපේ යාලුවො කට්ටිය උත්තර හොයාගෙන තිබුනේ නෑ.
 
මේ වෙද්දි ගතවුණේ 2006 අවුරුද්දෙ වෙසක් කාලෙ. ඒ වෙද්දි ඒ ලෙවල් විභාගෙට තව ඉතුරුවෙලා තිබුනේ මාසෙක වගේ කාලයක්. ඉතිං කට්ටිය ගම්පහ ක්ලාස් එන අන්තිම දවස් කීපය තමයි මේ වෙද්දි උදාවෙලා. ඒ හින්දා චාටර්මාලිව අල්ලගන්නවානං අල්ලගන්න පූසන්ට ඉතුරුවෙලා තිබුනෙත් තව දවස් කීපයයි. ඉතිං අන්තිමට අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු ඊළඟ සතියේ චාටර්මාලි ක්ලාස් ආවාම එයාව අල්ලගන්න. ඒ ඊළඟ සතියේ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එයි කියලා කලුකුමාරිගෙන් ලැබුන ඔත්තුවකට අනුව. කොටින්ම මේ වෙද්දි මාකටුයි, චාටර්මාලියි යාලු කරන්න මුල්වුණ කලුකුමාරිට පවා චාටර්මාලිව අල්ලගන්න බැරි සිටුවේෂන් එකකුයි තිබුනේ.

ඉතිං ඊළඟ සතියේ මොකද වුණේ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු නේද?