අඹ යාලුවෝ

Wednesday, April 13, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 3 (අවසන් කොටස)


අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බසුයි, කර්නලුයි කාමරේ ගඳගස්සන හින්දා, අපේ පුරුපුරුටයි, කිං බීජේටයි උන්ව ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඉතිං අපේ යාලුවො දෙන්නා අන්තිමට තීරණය කළාලු තවදුරටත් මේ ඉබ්බො දෙන්නාව රූම් එක ඇතුලෙ තියාගන්න බැහැයි කියලා. ඒත් ඉතිං ඉබ්බන්ව අයිතිකාරයන්ට ආපහු දෙන්න කියලයැ! අන්තිමට මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් යෝජනා කරන්න පුලුවන් වුණේ කිං බීජේට. ඒ යෝජනාව අනුව පුරුපුරුයි, කිංනුයි එදා හවසම ගියාලු රිචා සර් හම්බවෙන්න.

පුරුපුරු :- සර්, අපේ මේ ජූනියර් හොස්ටල් එක මීට වඩා ලස්සනට තිබුනොත් හොඳයි නේද?

රිචා සර් :- ඔව් ඔව්!! දැන් ඔය ළමයි මොකද්ද කරන්න යෝජනා කරන්නෙ?

කිං බී.ජේ :- සර්, අපි 9 වසර ඩෝම් එක එහාපැත්තෙ පොකුණක් හදමු. ඒ ඉ‍ඩ ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව නිකං අපතේ යනවනෙ.

පුරුපුරු :- ඔව් සර්, පොකුණ හදන එකේ සම්පූර්ණ වගකීම අපි කට්ටිය ගන්නම්.

රිචා සර් :- ආ...බොහොම හොඳ අදහසක්. එහෙනං ඔයගොල්ලො වැඩේ මූලිකත්වය අරගෙන කරන්න. ඔය 9 වස‍රෙ ළමයි නිකං ඉන්න එකේ ඒ කට්ටියට කියලාම වැඩේ කරගන්න පුලුවන්නෙ.

ඉතිං ඔය විදිහට ඉබ්බො දෙන්නාව කාමරෙන් පිටකරගන්න අපේ යාලුවො දෙන්නා ගහපු ප්ලෑන් එක තිතට වැඩ කළාලු. අවශ්‍ය වෙලා තිබුන ප්‍රධානම දේ, ඒ කියන්නෙ සර්ගෙ පර්මිෂන්, දැන් හම්බවෙලා ඉවරයි. තව තියෙන්නෙ මේ ගැන 9 වසරෙ ළමයින්ට දැනුම් දෙන්න විතරයි.

කොහොමහරි එදා ඩිනර් එකෙන් පස්සෙ මේ වැඩේ ගැන පුරුපුරුයි, කිංනුයි 9 වසරෙ ළමයින්ට දැනුම් දුන්නලු. පොකුණ හදන වැඩේට ඒ කට්ටියගෙන් ලැබුනෙ හිතපු නැති තරම් සාර්ථක ප්‍රතිචාරයක්. අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කට්ටිය ලව්වා පොඩි පොකුණක් හදවලා ඉබ්බො දෙන්නාව ඒකට දාන එක. ඒත් අන්තිමට බලද්දි 9 වසරෙ මල්ලිලා කට්ටිය සිමෙන්ති දාලා ලොකු පොකුණක් හදලා තිබුනලු. ඒ මදිවාට කට්ටිය එක එක ජාතියෙ මාලු එහෙමත් ගෙනල්ලා පොකුණට දාලා. වැඩේ ඇත්තටම ලස්සනයි.

ඉතිං පුරුපුරුලා කළේ පහුවදා දවල් වරුවෙ කැස්බස්වයි, කර්නල්වයි මේ පොකුණට ට්‍රාන්ස්ෆර් කරපු එක. දැන් මේ පොකුණ අංගසම්පූර්ණයි. එක එක ජාතියෙ ජලජ පැළෑටි, මාලු මදිවාට දැන් ඉබ්බො දෙන්නෙකුත් පොකුණෙ ඉන්නවා. පොකුණෙ ගොඩක් ඉඩ තියෙන හින්දා ඉබ්බන්ට ඕනතරම් පීනන්නත් පුලුවන්. ඉඳලා හිටලා ගප්පියෙක්ට දෙන්නෙක්ට වගකියන්නත් පුලුවන්. කෑම එහෙමත් ඕනතරම් 9 වසරෙ ළමයි කට්ටිය ගෙනත් දෙනවා. ඉතිං මේ විදිහට කැස්බසුයි, කර්නලුයි තමන්ගෙ ලයිෆ් එක ෆුල් එන්ජෝයි කර කර පොකුණෙ ජීවත් වුණාලු.

පුරුපුරු හොස්ටල් එකෙන් සිකුරාදාට ගෙදර ගිහින් ආපහු එන්නෙ සඳුදා උදේට. ඉතිං මේ වගේ හොස්ටල් එකට ආපු එක සඳුදා දවසක මෑන්ස්ට අහන්න ලැබුනෙ එච්චර සුභ ආරංචියක් නෙවෙයි. ඇඳුම් බෑග් එක තියලා, පොත් ටික අරගෙන ඉස්කෝලෙට යන්න එළියට බහිනකොටම පුරුපුරුව හම්බවෙන්න දුවගෙන ආවෙ 9 වසරෙ පොඩි එකෙක්.

පොඩි එකා :- පුරුපුරු අයියෙ! ඉබ්බො දෙන්නා පොකුණෙ නෑනෙ?

පුරුපුරු :- මොනවා? ඇයි ඔයාලා පොඩ්ඩක් හොයලා බැලුවෙ නැද්ද?

පොඩි එකා :- අපි හෙව්වා. ඒත් හම්බවුණේ නෑනෙ.

මේ ආරංචිය අහපු පුරුපුරු වහාම ගියෙ පොකුණ ළගට. බැලින්නං පොඩි එකා කියපු දේ ඇත්ත. කැස්බස්වත්, කර්නල්වත් පොකුණෙවත්, ඒ කිට්ටුවවත් පේන්න හිටියෙ නෑ. හැබැයි පොකුණෙ හිටපු මාලු ටිකනං කරදරයක් නැතුව හිටියා. මේ වෙද්දි ඉස්කෝලෙ පටන් ගන්න ළග හින්දා ඉබ්බන්ව හරියට හොයන්න වෙලාවක් තිබුනෙ නෑ. ඉතිං ඉස්කෝලෙ ඉවරවෙලා ඉබ්බන්ව හොයන්න හිතාගත්තු පුරුපුරු, පොත් ටිකත් අරගෙන ඉස්කෝලෙට ගියාලු.

මේ වෙද්දි ඉබ්බන්ට මොකක්හරි කරදරයක් වෙලා කියලා සැකයක් මෑන්ස්ට ඇතිවෙලයි තිබුනේ. මොකද සාමාන්‍යයෙන් ඒ දෙන්නාගෙන් එකෙක්වත් වැඩිය ඇවිදින්න යන ජාතියෙ ඉබ්බො නෙවෙයි. ඉතිං අපේ පූසා කළේ ඉස්කෝලෙ ඉවරවෙච්ච හැටියෙම අනිත් ප්‍රිෆෙක්ට්ලා කට්ටියත් ලෑස්ති කරගෙන "සේවින්ග් ඉක්බාල්" මෙහෙයුම පටන් ගත්ත එක. ප්‍රිෆෙක්ට්ලා වගේම 9 වසරෙ ළමයි සෙට් එකත් මේ මෙහෙයුමට දායක වුණාලු.

ළමයි කියපු විදිහට ඉබ්බො දෙන්නාම ඉරිදා හවස පොකුණෙ ඉඳලා තියෙනවා. ඒත් සඳුදා උදේ වෙද්දි තමයි දෙන්නා අතුරුදහන් වෙලා තියෙන්නෙ. කවුරුහරි මේ දෙන්නාව කන්න අරගෙන යයි කියලා හිතන්නත් අමාරුයි. මොකද කැස්බසුයි, කර්නලුයි දෙන්නාම පොඩි හින්දා කන්න තරම් මස් උන්ගෙ ඇඟේ තිබුනෙ නෑ. මෙහෙම හිත හිතා කට්ටිය ඉබ්බන්ව හොයද්දි තමයි එක ළමයෙක් බොහොම ශෝකජනක දර්ශනයක් දැක්කෙ. ඒ තමයි පඳුරක් අස්සෙ තිබුන ඉබි කට්ටක්.

ඉබි කට්ටෙ සයිස් එ‍ක අනුව ඒ කර්නල්ගෙ කටුව කියලා අඳුරගන්න කට්ටියට වැඩි වෙලා ගතවු‍ණේ නෑ. බැලින්නං කවුරුහරි කර්නල් ඉක්බාල්ව මරාගෙන කාලා. හොස්ටල් එකේ කවුරුවත් මේ වැඩේ නොකරපු බව තමයි හැමෝගෙම අයිඩියා එක වුණේ. එහෙනං මේ අමන වැඩේ කළේ කවුද? එතකොටම තමයි පුරුපුරුට මොකද්ද වෙන්න ඇත්තෙ කියලා ක්ලික් වුණේ.


කුරුඳුවත්ත හොස්ටල් එක ගැන දන්න කට්ටිය දන්නවා ඇති ජූනියර් හොස්ටල් එකේ තියෙන කහපාට ගාපු ලොකු බිල්ඩින් එක. මේ බිල්ඩින් එක හද හදා තිබුනෙ මේ සිද්දි ටික වෙච්ච කාලෙදිලු. ඉතිං බිල්ඩින් එකේ වැඩ කරන්න ආපු මේසන් බාස්ලත් නැවතිලා හිටියෙ හොස්ටල් එක ඇතුලෙම හදාගත්තු තාවකාලික මඩුවක. මේ අය දවල්ට වැඩ කරලා රෑට අම්බානට අනුමත වෙන ජාතියෙ කට්ටිය. ඉතිං මේ බාස්ලා බයිට් එකක් නැතුව ඉන්න වෙලාවෙ ඉබ්බන්ව දැකලා, උන්ට පෝරියල් එක දෙන්න ඇති කියන එක තමයි අපේ පූසාගෙ අයිඩියා එක වුණේ.

ඊටපස්සෙ අපේ යාලුවො කට්ටිය කළේ කෝකටත් කියලා බාස්ලා පදිංචි වෙලා හිටපු මඩුව කිට්ටුව පොඩි සර්ච් එකක් දාපු එක. බැලින්නං පුරුපුරු හිතුවා හරි. මඩුවෙ ඉඳලා ටික දුරක් වෙන්න තිබුන ගඩොල් ගොඩක් අස්සෙ තිබිලා කට්ටියට පුලුවන් වුණා කැස්බස්ගෙ කට්ටත් හොයාගන්න. අන්තිමට බලද්දි ඒ පවුකාරයෝ කැස්බස්වයි, කර්නල්වයි මරලා බයිට් එකට අරගෙන. දැන් ඉතිං අපේ යාලුවන්ට බාස්ලාව ඌර්ධවපාතනය කරන්න තරම් ෆ්ලවර් ජම්ප් වෙලා. ඒත් ඉතිං මේ වැඩේ බාස්ලා කරපු එකක්ම කියලා හරියටම කියන්නෙ කොහොමද?

ඔන්න ඔතනදි තමයි පුරුපුරු ඇතුලු අපේ යාලුවො කට්ටිය අසරණ වුණේ. බාස්ලා කැස්බස්වයි, කර්නල්වයි මරපු බවට ඔප්පු කරන්න විදිහක් මේ කට්ටියට තිබුනෙ නෑ. ඉතිං හොස්ටල් එකේ වගකිවයුතු පිරිසක් විදිහට, ඔප්පු කරන්න බැරි කාරනයක් වෙනුවෙන් බාස්ලා එක්ක වලියක් දාගන්න විදිහක් අපේ යාලුවන්ට තිබුනෙ නෑ.

අන්තිමට පුරුපුරුයි, කිං බීජේයි වගේම 9 වසරෙ ළමයි කට්ටියත් බොහොම දුකෙන් ඒ දවස් කීපය ගතකළාලු. කැස්බස්ගෙයි, කර්නල්ගෙයි මරණ ඉතිහාසයට එකතු වුණේ හඳුනා නොගත්තු අභිරහස් ඝාතන විදිහට. එදායින් පස්සෙ කවදාවත් අපේ යාලුවො හොස්ටල් එකේ සුරතල් සත්තු ඇතිකළෙත් නෑ. ඉබ්බන්ට ගේම දුන්න මේසන් බාස්ලාටත් මොනවා වුණාද දන්නෙත් නෑ. අන්තිමට ඉතුරුවුණේ කුරුඳුවත්ත හොස්ටල් එකට අලුත් බිල්ඩින් එකක් විතරයි.

Sunday, April 10, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 2


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බස්ව හොස්ටල් එකට ගෙනාපු හැටි. දැන් ඉතිං මූ පුරුපුරුලගෙ කාමරේට වෙලා පට්ට ආතල් එකේ ඉන්නවා. පීනන්න වතුරද, කෑමද හැම එකක්ම ඉතිං ළගටම හම්බවෙනවා නොවැ! ඉතිං ඔහොම දවස් දෙක තුනක් ඉන්නකොට තමයි ඊළග තීරණාත්මක දවස උදාවුණේ.

මේ වෙද්දි පුරුපුරු තමන්ගෙ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක් ඇති කරනවයි කියන ආරංචිය ගොඩක් දෙනෙක් අතරෙ පැතිරිලා තිබුනා. ඉතිං මේක ආරංචි වෙච්ච මෑන්ස්ගෙ එහා පන්තියෙ හිටපු ‍යාලුවෙක් එක දවසක් හදිසියෙම පුරුපුරුව මුණගැහෙන්න ආවා. බැලින්නං මෑන්ස්ගෙ ගෙදරත් ඉබි පැටියෙක් ඉන්නවලු. ඒත් ගෙදර කට්ටියගෙ බරබරේ හින්දා දැන් පොරත් මේ ඉබ්බාව දෙන්න කවුරුහරි හොය හොයා තමයි ඉන්නේ.

යාලුවා :- මචං පුරුපුරු, උඹ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක්ව හදනවලු නේද?

පුරුපුරු :- ආ...ඔව් මචං! ඇයි මොකද්ද කේස් එක?

යාලුවා :- මේ...මං ගාවත් ඉබ්බෙක් ඉන්නවා බං. උඹට කරදරයක් නැත්තං මම ඌවත් උඹට දෙන්නද?

පුරුපුරු :- කරදරයක්නං ඉතිං නැත්තෙත් නෑ බං. හාරිස් කාරයත් මැරෙන්න හදනවා රූම් එකේ ඉබ්බෙක් ඉන්නවා කියලා. හැබැයි ඉතිං කැස්බස් තනියම ඉන්න එකේ ඌට යාලුවෙකුත් හිටියනං හොඳයි තමයි. කමක් නෑ හෙට ඌව ගෙනෙන්කෝ.

යාලුවා :- එල එල!! තෑන්ක්ස් මචං! මම හෙටම ගේන්නං. මේකනං ලොකුම උදව්වක් බං!

පුරුපුරු :- අවුලක් නෑ මචං! හැබැයි ඌ වැඩිය ලොකු නෑනෙ?

යාලුවා :- නෑ නෑ! ඌත් පොඩි එකෙක් තාම

ඉතිං කියපු විදිහටම යාලුවා පහුවදා ඉබි පැටියාව ගෙනාවලු. බැලින්නං ඌ කැස්බස් තරම්ම පොඩි ඉබ්බෙක් නෙවෙයි. කැස්බස් අල්ලකින් බාගයක් විතර සයිස් ඉබ්බෙක්. ඒත් මේ අලුත් ඉබ්බා අල්ලක් විතර ලොකුයි. පුරුපුරුලාට කැස්බස්ව ගෙනත් දුන්න "ඉක්බාල්"ගෙ තාත්තා ආමි එකේ කර්නල් කෙනෙක්. ඉතිං අපේ යාලුවො තීරණය කළාලු මේ අලුතින් ගෙනාපු ඉබ්බාට "කර්නල් ඉක්බාල්" කියලා නම තියන්න. මොකද කැස්බස් එක්ක ඉන්නකොට ඌගෙ තාත්තා වගේ ලුක් එකක් තමයි කර්නල්ට තිබ්බේ.

කොහොමහරි කර්නල්ව රූම් එකට ගේද්දි ඒ බව දැනගෙන හිටියේ පුරුපුරුයි, කිං බීජේයි විතරයි. හාරිස් මේ ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ. ඉතිං එදා හවස රූම් එකේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

හාරිස් :- ඒයි පුරුපුරු, මෙන්න ඒ ගමන රූම් එකේ තව ගල් ඉබ්බෙක්. මූ කොහෙන්ද මෙතෙන්ට පාත් වුණේ?

පුරුපුරු :- මේ...මේ... මේකනෙ බං, කැස්බස් තනියමනෙ බං ඉන්නෙ, ඉතිං ඌට යාලුවෙකුත් නැති එකේ අපි තව ඉබ්බෙක් ගෙනාවා.

හාරිස් :- අපි?

කිං බී.ජේ :- ඔව් බං! ඔන්න ඔහෙ හිටපුදෙන්. පව් අහිංසක සත්තු

හාරිස් :- අහිංසක සත්තු තමයි ***, ඒ වුණාට ඉබ්බො දෙන්නෙක් එක්ක මම මේ කාමරේ ඉන්නෙ කොහොමද? දැනට උඹලා දෙන්නා එක්ක මම මේකෙ ඉන්නෙත් අමාරුවෙන්.

දැන් හාරිස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා කියවගෙන කියවගෙන යනවා. අන්තිමට බොහොම අමාරුවෙන් තමයි පුරුපුරුලා මෑන්ස්ව යථා තත්ත්වයට අරගෙන ආවේ. කොහොම වුණත් කැස්බස් ගැනයි, කර්නල් ගැනයි හාරිස්ගේ හිතේ තිබුන අප්‍රසාදය අඩුවුණේම නෑ.

අන්තිමට තමන් කරගත්තෙ කොයිවගේ ගොංකමක්ද කියලා පුරුපුරුයි, කිං බීජේයි තේරුම් ගනිද්දි තවත් මාසයක් විතර ගතවෙලා තිබුනා. මොකද ඉබ්බො දෙන්නෙක් බේසමේ ඉන්නකොට බේසමේ වතුර එක දවසින් පල් වෙනවා. අනික ඉබ්බන්ගෙ මුත්‍රා පට්ටම ගඳයි. ඉතිං බේසමේ වතුර පල් වුණාට පස්සෙ ආයි කාමරේ ඇතුලෙ ඉන්නවා බොරු.

හැමදාම රෑට හාරිස් පුරුපුරුගෙයි, කිංගෙයි හත්මුතු පරම්පරාවම මතක් කරනවා. ඉතිං හැම රෑකම හොස්ටල් එකේ පොඩි එවුනුයි, රිචා සරුයි නිදාගන්නකං ඉඳලා ඉබ්බන්ගෙ බේසම අස් කරන්න අපේ යාලුවො දෙන්නාට සිද්ද වෙනවා. බේසමේ වතුර අස් කරන්න බේසම උස්සගෙන පල්ලෙහා තට්ටුවට බැහැලා එළියට යන්න ඕනෙ. ඒකයි ඒ වැඩේට හැමෝම නිදාගන්නකං ඉන්න වුණේ. අස් කළාට පස්සෙ අලුත් වතුර එකක් බේසමට දාගෙන ආපහු උඩට නගින්නත් ඕනෙ. ඉතිං ඔය වැඩ කරලායි, හාරිස්ගෙන් බැනුම් අහලායි පුරුපුරුටයි, කිංටයි මාසයක් විතර යද්දි එපා වෙලයි තිබුනේ.

ඒ මදිවාට සමහර දවස්වලට කැස්බස් හරි කර්නල් හරි නැතිවෙනවා. ඊටපස්සෙ උන්ව හොයන්නත් ගොඩක් වෙලා ගතවෙනවා. මොකද කාමරේ බඩු තිබුන අපිළිවෙළ අනුව අලි කොටි හිටියත් ලේසියෙන් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පැයක් දෙකක් හෙව්වට පස්සේ, කොහෙහරි මුල්ලක හිරවෙලා ඉඳලා තමයි ඉබ්බාව අන්තිමට හම්බවෙන්නේ.

ඒ මොන අඩුපාඩු තිබුනත් කැස්බසුයි, කර්නලුයි හින්දා අපේ යාලුවො ඒ දවස්වල හොඳ ෆන් එකක් ගත්තා. පුරුපුරුලාගෙ රූම් එක ති‍බුනෙ කුරුඳුවත්ත විද්‍යාලයයි, තුම්මුල්ල විද්‍යාලයයි වෙන් කරන සීමාවෙ තාප්පෙ අයිනෙමයි. ඉතිං තුම්මුල්ල විද්‍යාලෙ බයෝ ක්ලාස් එකකට පුරුපුරුලාගෙ රූම් එකේ ඉඳලා තිබුනෙ අඩි කීපයක් විතරයි. ඔය ක්ලාස් එකේ තමයි අපේ කලින් කතාවල හම්බවුණ සව්සිරි ඇතුලු ගම්පහ යාලුවො කීපදෙනෙක්ම හිටියෙ. ඉතිං ඉස්කෝලෙ යන්නෙ නැති දවස්වලට පුරුපුරුයි, කිං බීජේයි රූම් එකේ ජනේලෙ ඇරලා සව්සිරිලාට පේන්න ඉබ්බො දෙන්නා අතේ තියාගෙන ඉන්නවා. සව්සිරිලාත් ඉතිං පුරුපුරුලාට එක එක හස්ත සංඥා දක්වනවා.

හාරිස් කියන්නෙ ඒ දවස්වල බොහොම රිලීජස් පොරක්. පොරගෙ වැඩේම භාවනා කරන එකයි, ධර්මය සහ ධනාත්මක චින්තනය ගැන ලියවුණ පොත් පත් කියවන එකයි. කොටින්ම මෑන්ස් තමන්ගෙ වැකේෂන් එක ගතකළේ රටේ ප්‍රසිද්ද හාමුදුරු නමකගෙ ආරණ්‍යයෙ භාවනා කර කර. පොරට හාරිස් කියලා නම වැටෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා. ඉතිං මේ ඉබ්බන්ගෙ ගඳ හින්දා හාරිස්ට බැරිවුණාලු හිත එක්තැන් කරගෙන භාවනා කරන්න. අන්තිමට අවාසනාවන්ත විදිහට මෑන්ස් තීරණය කළේ වෙන රූම් එකකට පදිංචියට යන්න.

හාරිස් ගියාට පස්සෙ රූම් එකේ මීයො සහ කැරපොත්තො ඇරුනම ඉතුරුවුණේ පුරුපුරුයි, කිං බීජේයි, කැස්බසුයි, කර්නලුයි විතරයි. මේ වෙද්දි අපේ යාලුවො දෙන්නා ඉබ්බො නිසා සෑහෙන අපහසුතාවයට පත්වෙලයි තිබුනේ. ඉතිං ටික දවසක් ගියාට පස්සෙ පුරුපුරුයි, කිංනුයි තීරණය කළාලු තවදුරටත් ඉබ්බන්ව රූම් එකේ තියාගෙන ඉන්න වැඩේ කරන්න බෑ කියලා.

අන්තිමට කැස්බස් ඉක්බාල්ටයි, කර්නල් ඉක්බාල්ටයි මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු නේද?

Saturday, April 9, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල්


ඉතිං යාලුවනේ අපි කලින් කිව්වනේ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි. මෙහෙම ඇවිත් ටික කාලෙකින් කොටියා සර් හොස්ටල් වෝඩ්න් තනතුරෙන් විශ්‍රාම ගත්තලු. ඊටපස්සෙ ඒ තනතුරට පත්වුණේ ටොයියා සර්. ඉතිං ටොයියා සර් නව සංකල්පයක් යටතේ තීරණය කළාලු ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ප්‍රිෆෙක්ට්ලා සංඛ්‍යාව වැඩිකරන්න. ඒ හින්දා මෙච්චර කල් සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරුටයි, හාරිස්ටයි සිද්දවුණා පිට්ටනියෙන් එහාපැත්තෙ තිබුන ජූනියර් හොස්ටල් එකට යන්න.

ජූනියර් හොස්ටල් එකේදි අපේ පූසාට නවතින්න සිද්දවුණේ 7 වසරෙ ඩෝම් එක එහාපැත්තෙ තිබුන රූම් එකක. හැබැයි ඒ තනියමනං නෙවෙයි, හාරිසුයි, කිං බී.ජේයි එක්ක. මේ දෙන්නත් පුරුපුරු වගේම බයෝ කරපු හින්දා එකට පාඩම් කරන්න බලාගෙන තමයි තුන්දෙනා තීරණය කළේ එක රූම් එකක නවතින්න. ඒ වගේම මුල් දවස් කීපය හිතුවා වගේම හොඳින් ගතකරන්නත් අපේ යාලුවන්ට පුලුවන් වුණා. හැබැයි ඊටපස්සෙ තමයි රූම් මේට්ලා අතර පොඩි පොඩි ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තේ.

හාරිස් කියන්නේ නියම පිළිවෙළට තමන්ගෙ ජීවිතේ ගතකරපු කොල්ලෙක්. මෑන්ස්ට රූම් එක හොඳට අතුගාලා, අස්කරලා, පිළිවෙළට තියෙන්න ඕනේ. පොත්පත් ගානට අස්කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මෑන්ස්ට භාවනා කරන්න කරදරයි කියලා රූම් එකේ වැඩිය සද්ද බද්ද තියෙන්නත් බෑ.

කිං බීජේ කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. මෑන්ස්ගෙ කිසිම පිළිවෙළක් නෑ. ඇඳුම්, පොත්පත් හැමතැනම. ඒ මදිවට පොරට නිකන් ඉන්න ගමන් හාඩ් රොක් සින්දු අහ අහා ඉන්නත් ඕනෙ. පුරුපුරුට තිබුනෙ මේ දෙන්නගෙම පුරුදුවල අතරමැදි ලක්ෂණ. ඉතිං හාරිස් අමාරුවෙන් අස්කරන රූම් එක කිං බීජේ ඇවිත් වනසනවලු. ඊටපස්සෙ මේ දෙන්නා කරන්නෙ රණ්ඩුවෙන එක. පුරුපුරු ඇවිත් රණ්ඩුව බේරුවාට පස්සෙ තමයි දෙන්නා ආපහු ශේප් වෙන්නේ. ඒත් ඉතිං හොස්ටල් එකෙන්, කඩ්ඩ මීඩියම් බයෝ කළේ මේ දෙන්නා විතරක් හින්දා දෙන්නාටම දෙන්නා නැතුවත් බෑ.

මේ අතරෙ තමයි පුරුපුරුට ඇතිකරන්න අලුත් සුරතලෙක් හම්බවුණේ.

පුරුපුරුලගෙ පන්තියෙ හිටපු මෑන්ස්ගෙ හොඳ යාලුවෙක් තමයි ඉක්බාල් කියන්නෙ. හැබැයි පොරට ඉක්බාල් කිව්වට මෑන්ස්ගෙ ඇත්ත නම ඒක නෙවෙයි. මෑන්ස්ට ඉස්සර ඉඳලාම කිව්වේ "ඉබ්බා" කියලා. පස්සෙ ඒ ලෙවල් කරන්න ගත්තාම "ඉබ්බා" කියන නම පොෂ් වෙලා, "ඉක්බාල්" කියලා ඒ නම වෙනස් වුණා.

හැබැයි ඉක්බාල්ගෙ ගෙදර ඇත්තටමත් ඉබි පැටියෙක් ඉඳලා. මේ වෙද්දි ඌව ගෙදර හදන්න කරදරයි කියලා පොරගෙ අම්මා මෑන්ස්ට බර බරේ දදා තමයි ඉඳලා තියෙන්නෙ. අන්තිමේදි ඉතිං ඉක්බාල් තීරණය කළාලු මේ ඉබි පැටියාව කාට හරි හදාගන්න දෙන්න තීරණය කරන්න. කොහොමහරි අපේ පුරුපුරුත් ඉස්සර ඉඳලා ගොඩක් ආසාවෙන් හිටියේ ඉබ්බෙක්ව ඇතිකරන්න. ඉතිං මේ නිව්ස් එක ඇහුණා විතරයි, අපේ පූසාගෙ ඉහේ මලක් පිපුණා වගේ වුණාලු.

පුරුපුරු :- මචං ඉක්බාල්, උඹ ගාව කාටහරි දෙන්න ඉබ්බෙක් ඉන්නවයි කියන්නෙ ඇත්තද?

ඉක්බාල් :- ආ... ඔව් ඔව් මචං! උඹට ඌව ඕනෙද? මම හෙටම ගෙනත් දෙන්නං. හැබැයි උඹට ඌව ගෙදර අරන් යන්න ගියාම තමයි හෙන කට්ටක් කන්න වෙන්නෙ.

පුරුපුරු :- ගෙදර අරන් යන්න? කවුද කිව්වෙ ඌව ගෙදර අරන් යනවයි කියලා? මම ඌව හොස්ටල් එකේ හදන්නෙ.

ඉක්බාල් :- උඹට පිස්සුද? හොස්ටල් එකේ කොහොමද බං ඉබ්බො හදන්නෙ?

පුරුපුරු :- හරි හරි!! උඹ හෙට ඌව ගෙනෙන්කො. මම කොහොමහරි ඌව හදන්නං.

අන්තිමට ඉතිං ඉක්බාල් කැමති වුණාලු මෑන්ස්ගෙ ඉබි පැටියාව පුරුපුරුට හදාගන්න දෙන්න. හැබැයි ඊටපස්සෙ තමයි වැඩේ අමාරු හරිය තිබුනෙ. දැන් ඉතිං ගිහින් රූම් එකේ ඉබ්බෙක්ව හදන්න හාරිස්ගෙන් පර්මිෂන් ගන්න ඕනෙ. කිං බීජේනං මේ වැඩේට උඩින්ම කැමති වෙන බව ෂුවර්. හැබැයි ඉතිං රූම් එක පිළිවෙළට තියාගන්න කැමති හාරිස් මේ වැඩේට කැමති වෙයි කියලා හිතන්න බෑ.

අන්තිමට ඉතිං හිතපු විදිහටම කිං වැඩේට කැමතිවෙලා, හාරිස් වැඩේට බර බරේ දැම්මා. කොහොමහරි කිංටයි පුරුපුරුටයි පැය ගානක් අඬලා අඬලා පුලුවන් වුණා මෑන්ස්ව ඉබ්බා අරන් එන එකට කැමති කරවාගන්න. හැබැයි ඒ ඉබ්බා‍ අතින් රූම් එකට වෙන හැම හානියක් ගැනම පුරුපුරුයි, කිං බීජේයි වගකියනවා කියලා පොරොන්දු වුණාට පස්සෙ.

ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම පහුවදා ඉක්බාල් තමන්ගෙ ඉබි පැටියාව ඉස්කෝලෙට ගෙනාවා. බැලින්නං ඌ හරිම හුරුබුහුටි, පොඩි ගල් ඉබි පැටියෙක්. පන්තියෙ යාලුවොත් ඉබ්බාව දැකලා ඌට සෑහෙන ආදරේ හිතිලා. කොහොමහරි ඉතිං පුරුපුරුයි, කිංනුයි ඉස්කෝලෙ ඉන්ටර්වල් එක වෙලාවෙ මූව ගෙනිහින් හොස්ටල් රූම් එකෙන් දැම්මා.

ඒ වෙද්දිත් අපේ යාලුවො දෙන්නා ඉබි පැටියාට ඉන්න ලස්සන ගෙයක් හදලයි තිබුනේ. ඒ මේසයක් උඩින් තියපු වතුර පුරවපු බේසමක්. බේසමේ ලී කොටයක්, ගල් කීපයක්, කං කුං දඬු එහෙමත් දාලයි තිබුනේ. ඉබ්බාත් ඉතිං දියට දැම්මාම ඇන්නෑවේ කියලා, බේසමට දාපු ගමන් බොහොම සතුටින් පීනන්න පටන් ගත්තා. හවස් වෙද්දි ජුවාන්, තාරබාසු, පොල්පොට් ඇතුලු අනිත් යාලුවොත් කෑම අරගෙන ආවලු ඉබ්බාව බලන්න. බැලින්නං මූ බත්, පාන්, බනිස් වගේ ඕනෙ කෑමක් කනවා. අන්තිමට ඉතිං කට්ටිය තීරණය කළාලු මේ ඉබි පැටියාට "කැස්බස් ඉක්බාල්" කියලා නම් තියන්න.

ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු.

Thursday, April 7, 2011

පිකිස් - phycis



ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ගඩොල් බාන්න සෙට් වුණා. මුලින්ම අපේ අභීත මහත්තයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කෝල් එකක් දීලා කියලත් සයිබර් බක්මහ උළෙලට එන්න බැරිවෙච්ච එක ගැන. අපිත් ගොඩක් ආසාවෙන් හිටියේ අවුරුදු උත්සවේට එන්න. ඒත් හිතපු නැති විදිහට අපිට එන්න බැරිවුණා. ආපු යාලුවො සිරා ෆන් එකක් අරගෙන තියෙන හැටි ෆොටෝ වලින් දැක්කා. ඊළග එකටනං කොහොමහරි අපිත් එනවා එනවාමයි.


ඒ වගේම අපේ බ්ලොග් එකේ යාවජීව මිතුරෙකුයි, මිතුරියෙකුයි ගොඩ ගිහින් කියලා දැනගන්න ලැබුනා. ඒ තමයි අපේ හසියායි, හා පැටික්කියි. ඉතිං ඒ යුවලටත් සුභම සුභ මංගලම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ( මොකද දැන් කැන්දගෙන ගිහින් ඉවරයිනෙ. හික් හික්!! ). එහෙනං දැන් ඉතිං අපි කතාවට එමුකො නේද?


**********************************************************************************


අපේ පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් ගත්ත හැටි ගැන අපි කලින් කිව්වා නොවැ! ඒ අතරෙ අපි රොබට් ලියනගම සර්ගෙ පිකිස් පන්තිය ගැනත් වෙනම ලිපියක් ලිව්වනෙ. ඉතිං අද අපි කියන්නෙ ඊට පස්සෙ අපේ පුරුපුරුගෙ පිකිස් ජීවිතේට මොකද වුණේ කියන එක.


අපි අර කලිනුත් කිව්වා වගේ රොබට් සර්ගෙ ක්ලාස් එකේ දිගටම රැඳිලා ඉන්නවයි කියන එක හරිම අමාරු වැඩක්. ඉතිං ටික දවසක් යනකොට අපේ යාලුවන්ගෙන් ක්ලාස් එකේ ඉතුරු වුණේ පුරුපුරුයි, ඤාව්වායි විතරයි. උපාසක බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියටත්, මාලුකට්ටා හිස්සැල්ල සර්ගෙ පන්තියටත් යන්න පටන් ගත්තා. ඇත්තටම පුරුපුරුයි, ඤාව්වායි දිගටම රොබට් සර්ගෙ පන්තියේ හිටියේ ඉගෙන ගන්නත් වඩා සර් කියන එක එක කතා වලට හිනා වෙන්න. සර් එක එක මිනිස්සුන්ට බනිද්දි අහගෙන ඉන්න ගොඩක් ළමයි මාර ආසයි.


ඒත් ඉතිං මාස කීපයක් යද්දි සර් බනින එක අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තලු. එතකොට තමයි අපේ පුරුපුරුටයි, ඤාව්වාටයි ක්ලාස් එක එපාවුණේ. ඉතිං මේ යාලුවො දෙන්නා තීරණය කළාලු රොබට් සර්ගෙ ක්ලාස් එකට සමුදෙන්න. ඊටපස්සෙ ඤාව්වාත් කළේ උපාසක එක්ක ගම්පහ බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියට යන්න. මේ අතරෙ තමයි අපේ පුරුපුරු ආපහු හොස්ටල් එකට යන්නෙ.


හොස්ටල් එකේ හිටපු සෙට් එකෙන් හතර දෙනෙක් ගියෙ හිස්සැල්ල සර්ගෙ නුගේගොඩ තිබුන ගෲප් ක්ලාස් එකට. සෝමෙ අයියා ගියෙ බටපැදි සර්ගෙ පිකිස් පන්තියට. හාරිසුයි, කිං බීජේයි කඩු මීඩියම් කරපු නිසා ගියෙ වෙනම ක්ලාස් එකකට. මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ක්ලාස් එක ගැන යාලුවන්ගෙන් අහලා තිබුනු පුරුපුරු කැමති වුණේ නෑ ඒ පන්තියට යන්න. මොකද මෑන්ස්ට ආරංචි වෙච්ච හැටියට හිස්සැල්ල සර් හරිම සැරයිලු. ළමයින්ට වේවැල් වලින් ගහනවලු. ඉතිං අපේ යාලුවා අන්තිමට තීරණය කළාලු සෝමෙත් එක්ක බටපැදි සර්ගෙ පන්තියට යන්න.


මේ පිකිස් පන්තිය තිබුනෙ බම්බලපිටිය පැත්තෙ. එදා තමයි අපේ පුරුපුරු මුලින්ම ගෲප් ක්ලාස් එකකට ගියෙ. අම්මියෝ! ගෲප් ක්ලාස් එකක් කිව්වට ළමයි තුන් හාරසීයක් ඉන්නවා. හැබැයි ක්ලාස් එක ඒසී කරලා හොඳට තිබුනා. සර්ගෙ ඉගැන්නිල්ලත් නරක නෑ. ඒත් ඉතිං උදේ 8 ඉඳලා හවස 2 වෙනකං ඉස්කෝලෙ ඉඳලා, ඊටත්පස්සෙ ආපහු හවස පිකිස් ක්ලාස් එකට යනවයි කියන්නෙ හරිම අමාරු වැඩක්. ඉතිං ඊළග දවසෙ කට්ටියගෙ ක්ලාස් වෙලාව ගතවුණේ බම්බා බීච් එකේ ඇවිදින්නයි, කෝච්චි යද්දි රේල් පීලි උඩ කාසි තියලා ඒවා කෝච්චිය ලව්වා තලවන්නයි විතරයි.


කොහොමහරි අන්තිමට පුරුපුරුයි, සෝමෙ අයියායි දෙන්නාම බටපැදි සර්ගෙ ක්ලාස් එකට ආයුබෝවන් කිව්වා. මේ වෙද්දි පුරුපුරුලාට ආලෝකය පාඩමේ සෑහෙන කොටසක් මිස් වෙලයි තිබුනේ. ඉතිං අන්තිමට අකමැත්තෙන් වුණත් පුරුපුරුටයි, සෝමෙටයිත් සිද්ද වුණාලු අනිත් යාලුවොත් එක්ක හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියට යන්න.


මේ පන්තිය තිබුනෙත් සතියෙ දවසක හවස් වරුවෙමයි. ඒකත් ගෲප් ක්ලාස් එකක් කියලා තමයි කට්ටිය කිව්වේ. ඒ වුණාට ළමයි හයසීයකට වැඩියෙන් ක්ලාස් එකේ හිටියලු. පුරුපුරුලා හිටියෙ ක්ලාස් එකේ පිටිපස්සෙම තිබුන ස්ටේජ් එකක් වගේ හරියක. මේ ඒරියා එකේ තනිකරම හිටියෙ කුරුඳුවත්තෙයි, මරියකඩෙයි කොල්ලො විතරයි. හිස්සැල්ල සර් වුණත් ක්ලාස් එක වටේම ඇවිද්දත් මේ ස්ටේජ් එකට ආවෙ බොහොම කලාතුරකින්.


ක්ලාස් එකට යන්න කලින් පුරුපුරුට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි හිස්සැල්ල සර්ට ‍මොනවාහරි බයිට් එකක් දාද්දි ක්ලාස් එකට යන ගෑනු ළමයින්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙන්නෙ මොකද කියන එක. ක්ලාස් එකට ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුම් ගියෙ මොකද්ද කේස් එක කියලා. හිස්සැල්ල සර් හෙන හැන්ඩි ඩයල් එකක්. ඉතිං ඉගෙන ගන්න චේතනාවෙන් ක්ලාස් එන කෙල්ලො වගේම සර්ට පැනි පාර දාන්න බලාගෙන, පාර්ට් ටයිම් ඉගෙන ගන්න කෙල්ලොත් ක්ලාස් එකේ ඉන්නවා.


ඒ වගේම හිස්සැල්ල සර්ගෙ පන්තියෙ තිබුනෙ දැඩි විනය නීති. අඩුගානෙ ළමයෙක්ට නිකටට අත තියාගෙන ඉන්න එකවත් තහනම්. හැම තිස්සෙම බෝඩ් එක දිහා බලාගෙන ඉන්නත් ඕනෙ. ඒ වගේම අනිත් ළමයි එක්ක කතා කරන්නත් බෑ. පුරුපුරුට අදටත් හිතාගන්න බෑ ඔය නීති වලට යටත් වෙලා ළමයි ටික කොහොම ක්ලාස් එකේ හිටියද කියන එක. හැබැයි සමහර වෙලාවටනං සර්ගෙ නීතී රීති ටිකක් ලිහිල් වෙන අවස්ථාත් තිබුනෙ නැතුවාම නෙවෙයි.


මේ ඔක්කොටමත් වඩා පුරුපුරුට ඇල්ලුවෙ නැත්තෙ ක්ලාස් එකේ තිබුන ධනාත්මක චින්තන වැඩ පිළිවෙළ. හැමදාම ක්ලාස් එක ඉවරවෙන්න කලින් අධිෂ්ටාන වාක්‍ය වගයක් කියවන්න ඕනෙ. ඊටපස්සෙ ඒ සතිය ඇතුලත තමන් කරන්න ප්ලෑන් කරලා තියෙන වැඩ ඇතුලත් ටයිම් ටේබල් එකක් හදලා තියෙන්න ඕනෙ. ඊටපස්සෙ ටයිම් ටේබල් එක කෝ කියලා සර් ඇහුවාම ඒක උඩට උස්සලා පෙන්නන්නත් ඕනෙ. පුරුපුරුනං කළේ සර්ට එච්චර දුර පේන්නෙ නැති නිසා කටුවැඩ කරන හෑන්ඩ් බිල් එකක් උඩට උස්සලා පෙන්නපු එක.


මොනවා වුණත් හිස්සැල්ල සර් ඉතාම දක්ෂ ගුරුතුමෙක්. ඒ වගේම සර් ක්ලාස් එකේ ළමයි වැඩ කරනවද නැද්ද කියලා හොඳට හොයලා බලනවා. ඇත්තටම ඒ ක්ලාස් එකෙන් පුරුපුරු සමුගන්න හේතුව වුණෙත් ඒකමයි. සර් හැමදාම වේවැලක් තියාගෙන ගෙදරවැඩ නොකර ආපු ළමයින්ට ඒකෙන් තලනවා. පුරුපුරු දවස් තුන හතරක්ම අමාරුවෙන් ගුටිකෑමෙන් බේරුනත්, මෑන්ස් තේරුම් ගත්තා මේක හැමදාම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කියලා. ඉතිං මෑන්ස් කළේ ගෙදරවැඩ කරන එක පැත්තකින් තියෙද්දි ක්ලාස් එකට සමුදෙන ඔප්ෂන් එකට එළඹෙන්න.


ඔය විදිහට හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියෙන් සමුගත්තාට පස්සෙ පුරුපුරු මාස ගානක් යනකං වෙන පිකිස් පන්තියකට ගියෙ නෑලු. ඉස්කෝලෙන් කෙරුන පාඩම් ටිකෙන් තමයි මෑන්ස් යන්තං සබ්ජෙක්ට් එක අල්ලගෙන හිටියේ. ඇත්තටම මේ වෙද්දි පුරුපුරුට තාපය පාඩමෙන් පටන් අරගෙන, ‍පාඩම් ගානක් මිස් වෙලා තිබුනා. මේකට ප්‍රධානම හේතුව වුණේ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයේ තිබුන ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි.


හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ රූම් එකකට කිසිම බාහිර පුද්ගලයෙක්ට ඇතුල් වෙන්න තහනම්. කොටින්ම හොස්ටල් වෝඩ්න් පවා මේ රූම් වලට එන්නෙ නෑ. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රිෆෙක්ට් රූම් තිබුනෙ මිහිපිට අපායවල් වගේ. පොඩි ළමයින්ට තමන්ගෙ ඩෝම් එක පොඩ්ඩක් අතුගාන්න බැරිවුණත් දඬුවම් දෙන ප්‍රිෆෙක්ට් අයියලා තමන්ගෙ රූම් තියාගෙන හිටියේ ඊටත් වඩා සිය ගුණයක් කිලුටු විදිහට. ඒ මදිවාට මේ රූම් ඇතුලේ සීඩී කඳු පිටින් තමයි තියෙන්නේ. ගන සීඩී, ‍ෆිල්ම් සීඩී, රෙස්ලිං සීඩී ඕන එකක්. ඉතිං ටීවී, ඩීවීඩී ප්ලේයර්, බලන්න සීඩී, ඩීවීඩී තියෙනකොට කාටද ක්ලාස් යන්න හිතෙන්නෙ?


කොහොමවුණත් ටික දවසක් යද්දිම අපේ පූසාට තේරුම් ගියාලු මෙහෙම ගියොත් තමන්ගෙ පිකිස් විෂය ජෝන්බාස්ට යනවයි කියලා. ඉතිං මෑන්ස් කළේ ඒ වෙනකොට තමන්ට තිබුන එකම විකල්පය වෙච්ච බ්ලැක් ඔෆිසර්ගෙ ක්ලාස් එකට ඇතුලත් වෙච්ච එක.


ඇත්තටම ඒ පන්තිය හිස්සැල්ල සර්ගෙ වගේ බයෙන් සැකෙන් ඉන්න ඕන ක්ලාස් එකක් නෙවෙයි. ක්ලාස් එකේ ළමයි ගානත් අඩුයි, ඒ වගේම ළමයි රිලැක්ස් එකේ ඉන්නවා. ඕන කට්ටියට ඉගෙන ගන්න පුලුවන්, අනිත් අයට වලට යන්න පුලුවන්. අනික බ්ලැක්ඔෆිසර් උගන්නනවත් හොඳයි. හැබැයි ඉතිං මේ පන්තියෙත් අඩුපාඩු තිබුනා. මේ ක්ලාස් එකේ ළමයි ඉන්නේ හූ කියාගත්ත ගමන්මයි. අනික බ්ලැක් ඔෆිසර් ක්ලාස් එකේ වෙලාවෙන් බාගයක් විතර වැය කරන්නෙ හිස්සැල්ලට බනින්න. කොහොම වුණත් පුරුපුරු මේ ක්ලාස් එකටනං මාස ගානක් ගියා. හැබැයි විභාගෙට ගොඩක් කල් ඉතුරු වෙලා තියෙද්දි බ්ලැක්ඔ‍ෆිසර්ගෙ ක්ලාස් එකටත් සමුදුන්නා.


ඊටපස්සෙ මෑන්ස් ආපහු පිකිස් ක්ලාස් එකකට ගියෙ ඒ ලෙවල් වලට මාසයක් විතර තියලා. ඒ ක්ලාස් එක අපේ පූසො පස්දෙනා විතරක් සහභාගි වුණ පාස්ට් පේපර් ක්ලාස් එකක්. ක්ලාස් එක කළේ පුරුපුරුලාට අවුරුද්දක් වැඩිමල්, කුරුඳුවත්ත ඉස්කෝලෙටම ගිය යාලුවෙක්. ඇත්තටම ඒ වෙද්දි ඒ යාලුවා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා, මෙඩිකල් ෆැකල්ටි එකට තේරිලා, කැම්පස් පටන්ගන්නකං හිටපු කෙනෙක්. මෑන්ස්ට ගෙදර නිකං ඉන්න කම්මැලියි කියලා තමයි ක්ලාස් එක කළේ. කොටින්ම අපේ පූසන්ගෙන් සල්ලි ගත්තෙවත් නෑ.


ඇත්තටම ඒ පිකිස් ක්ලාස් එක තමයි අපේ පූසො ගිය විශිෂ්ටම පිකිස් ක්ලාස් එක. උගන්නන්න උපන් හපන්කමක් තමයි මෑන්ස්ට තිබුනෙ. කොටින්ම අපේ යාලුවාගෙ විශිෂ්ට ඉගැන්වීම නිසා පිකිස් ෆේල් වෙන්න හිටපු අපේ පූසො කට්ටිය බොහොම හොඳට සබ්ජෙක්ට් එක ගොඩදාගත්තලු. පස්සෙ මෑන්ස්ට පොඩි පාටි එකක් එහෙමත් දෙන්න අපේ පූසො අමතක කළේ නෑ. දැන්නං ඒ යාලුවා වෛද්‍ය විද්‍යාලයේ අන්තිම අවුරුද්දෙ ඉන්න අනාගත වෛද්‍යවරයෙක්.


දැන් ඉතිං ඒ ලෙවල් කරන ළමයි මේක කියවනවනං හිතට ගන්න ඕනෙ කිසිම සබ්ජෙක්ට් එකක් අතපසු කරගන්නෙ නැතුව හොඳට පාඩම් වැඩ කරන්න. මොකද හැම තිස්සෙම වාසනාව තමන් එක්ක රැඳිලා ඉන්නෙ නෑ