අඹ යාලුවෝ

Tuesday, June 28, 2011

කිං බීජේ (King BJ)


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මම ආපහු බ්ලොග්කරණයට ආවා. ඇත්තටම පහුගිය දවස්වල පට්ටම බිසී එකේ තමයි හිටියෙ. කොටින්ම බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. දැන් වුණත් ඉතිං ලියන්න කියලා මහලොකු වෙලාවක් නෑ. ඒත් ඉතිං බ්ලොග් කාරයෙක්ට ලියන්නැතුව ඉන්නවා කියන්නෙ කොච්චරනං අමාරු දෙයක්ද කියලා කට්ටය දන්නවා ඇතිනෙ. ඇරත් පහුගිය දවස්වල අපේ යාලුවො සමහරු බ්ලොග් එකට ඇවිත් අපිට මක්ක වුනාද කියලා හොයලත් තිබුණා. ඉතිං මම අන්තිමට කීරණය කලා ඕන මගුලක් කියලා ආපහු බ්ලොග් කෙරුවාව පටන් ගන්න. දැන් ඔන්න තමන්ගෙ බ්ලොග්වල අපිට දාල තිබ්බ ලින්ක් ඩිලීට් කරපු යාලුවන්ට ආපහු ඒවා දාන්න චාන්ස් එක තියනවා හොඳේ!


අපි ඉතිං අන්තිම කාලෙ කිය කියා හිටියෙ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං මෑන්ස් එක්ක හිටපු අනිත් ප්‍රිෆෙක්ට් යාලුවො තමයි කී බිජේ, හාරිස්, ජුවාන්, පොල්පොට්, තාරබාසු, කංජිනාත් සහ සෝමෙ අයියා. මේ කට්ටිය අතරින් ගොඩක් විශේෂ කෙනෙක් තමයි කිං බීජේ කියන්නෙ. ඔන්න දැන් BJ කිව්වම කැත විදිහට එහෙම හිතනවා නෙවෙයි හොඳේ? කිං BJ කියලා කිව්වෙ  බඩජාරි රජා කියන එකට. දැන් ඉතිං කියන්නත් කලින් කට්ටියට හිතාගන්න පුලුවන්නෙ කිංගෙ ආහාර රටාව ගැන?




ඇත්තටම ඉස්සර ඉඳන් පුරුපුරු පාසල් ජීවිතේ ෆේස් කරපු ප්‍රධානම ගැටලුවක් තමයි කිං එක්ක කෑම කන්න වෙච්ච එක. මොකද බත් මුලක් එහෙම ගෙනාවොත් ඒක දිගඅරින්නත් ඉස්සරවෙලා ඇතුලෙ තියෙන ප්‍රෝටීන් ආහාරය අතුරුදහන් වෙලා ඉවරයි. ඕනනං වැඩිම වුණොත් ප්‍රෝටීන් ආහාරයෙ නෂ්ඨාවශේෂ කිංගෙ කට ඇතුලෙ තත්ත්පරයක් දෙකක් යනකං පෙනෙයි. ඉතිං ඔය විදිහට අවුරුදු ගානක් තිස්සෙ ක්ලාස් එකේම ළමයින්ගෙ බත්මුල් වලට විදලා විදලා, අන්තිමට කිං බිජේ හිටියෙ පල්ලියෙ මංගල්ලෙට කලින් හොඳට කන්න බොන්න දීලා හදපු සූකරයෙක් ගානට.


කොහොමහරි ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය ඒ ලෙවල් කරන්න හොස්ටල් එකට එන්ටර් වුණා කියමුකො. දැන් ඉතිං උදාවෙලා තියෙන්නෙ අපේ සෙට් එක හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩකරන පළවෙනිම දවසෙ ඩිනර් එකලු. සාමාන්‍යයෙන් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා කරන්නෙ ටිකක් පරක්කු වෙලා කන්න පටන් අරගෙන අනිත් ළමයි හැමෝම කාලා ඉවරවෙලා යනකං ඉන්න එක. මේ බව අපේ යාලුවො කිං බීජේට කලින්ම කියලා තිබුනෙ කිංගෙ ආහාර ස්වභාවය මුලු කුරුඳුවත්ත ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද රහසක් වෙලා තිබුන හින්දා. ඒත් ඉතිං අවාසනාවක මහත! එදාට තමයි ඒ සතියෙ තිබුන ස්පෙෂල් ඩිනර් එක යෙදිලා තිබුනෙ.


සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ස්පෙෂල් ඩිනර් එකට ප්‍රින්සිපලුයි, හොස්ටල් වෝර්ඩ්නුයි සහභාගි වෙන එක කාලයක් තිස්සෙ පැවතගෙන ආපු සම්ප්‍රදායක්.ඉතිං සුපුරුදු විදිහට මේ කියන දවසෙත් ඒ දෙන්නා ඩිනර් එකට සහභාගි වෙන්න ඇවිත් හිටියලු. සාමාන්‍යයෙන් සර්ලා සහ ප්‍රිෆෙක්ට්ස්ලා වාඩිවෙන්නෙ ඩයිනිං හෝල් එකේ ඉස්සරහා තිබුන හෙඩ් ටේබල් එකේ. දැන් ඉතිං අපේ යාලුවො කට්ටියත් බොහොම පිළිවෙලට හෙඩ් ටේබල් එකේ වාඩිවෙලා ඉන්නවලු. ඊට පස්සෙ නියමිත වෙලා තිබුනෙ කට්ටිය කෑම බෙදාගන්න වැඩේ.


සුපුරුදු විදිහට මුලින්ම කෑම බෙදාගත්තෙ ප්‍රින්සිපල් ඇතුලු සර්ලා කට්ටිය. ඊටපස්සෙ හරිනං බෙදාගන්න තිබුනෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච පොල්පොට්ට. ඒත් ඉතිං මේ වෙද්දි ඩිනර් එකට තිබුන ලොකු චිකන් කෑලි, කට්ලට්ස් වගේ ප්‍රෝටීන් ආහාර දැකලා අපේ කිං බීජේට තමන් ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලයි තිබුනෙ. ඉතිං මෑන්ස් කළේ වහාම ක්‍රියාත්මක වෙලා ඔක්කොටම කලින් චිකන් කෑලි තුනකුයි, කට්ලට් තුනකුයි එක්ක අනිත් මාලුපිනිත් බෙදාගත්ත එක. දැන් මෑන්ස්ගෙ බත් එකේ සයිස් එක දැකලා ප්‍රින්සිපල් සර්ත් ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ. ඒ මදිවට ටේබල් එකේ කොනකින් වාඩිවෙලා හිටපු ජුවාන්ටයි, සෝමෙ අයියටයි කෑම මදිවෙලා අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. මේ දෙන්නා දැන් කිං දිහා බල බලා දත් මිටි කනවා.


හැබැයි ඉතිං හොඳම සිද්දිය වුණේ කෑම කන්න පටන් ගත්තට පස්සෙ. මොකද අපේ කිං බිජේ පන්තියෙ ළමයින්ගෙ බත් මුල් කාලා කාලා, කවදාවත් මෑන්ස්ට හිමින් කන පුරුද්දක් තිබුනෙ නෑලු. ඉතිං කට්ටියම එකට කන්න පටන් ගත්තට, අනිත් අය කටවල් දෙකක් කන්නත් ඉස්සරවෙලා අපේ මෑන්ස් මුලු බත් එකම කාලා ආපහු බෙදාගෙනත් ඉවරයි. දැන් ඉතිං අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා කට්ටියට ෆුල් හොල්මන්. ඒ මදිවට ප්‍රින්සිපලුයි, වෝර්ඩනුයිත් ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා. පස්සෙ තමයි කිංට තේරුණේ මේක ඉස්කෝලෙ පන්තිය නොවෙන වග. ඒත් ඉතිං එතකොට මෑන්ස් පරක්කුවෙලා වැඩියි.


**********************************************************************************


ඔය කෑමත් එක්කම අපේ කිං බීජේ ප්‍රිය කරපු අනිත් දේ තමයි බීම. ටිකක් අනුමත වෙන්න තිබුනොත් ඉතිං ඒ වෙනුවෙන් ඕනෙ කැපකිරීමක් කරන්න මෑන්ස් සූදානම්. මේ කියන්න යන්නෙ බීම හින්දා අපේ යාලුවාට වෙච්ච වැඩක් ගැන.




පුරුපුරුලාගෙ ඉස්කෝලෙ සමහර අවුරුදුවල තියෙනවා ලොකු පැරේඩ් එකක්. ඒ කියන්නෙ ඉස්කෝලෙ හැම ස්පෝර්ට් එකක්ම, හැම සොසයිටි එකක්ම, හැම ක්ලාස් එකක්ම නියෝජනය කරලා ලොකු වෝක් එකක් යනවා කොළඹ වටේ රවුමක්. ඉතිං මෙහෙම යනකොට නිකම්ම ඇවිදගෙන යන්නෙත් නෑ, තමන්‍ නියෝජනය කරන දේ අනුව පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් දීගෙන තමයි යන්නෙ. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට, ඇග්‍රිකචල් සොසයිටියෙ කට්ටිය යන්නෙ ගොවියො, වට්ටක්කා ගෙඩි වගේ ඇඳගෙන. ක්‍රිකට් ගහන කට්ටිය යන්නෙ බැට්, බෝල එහෙම අරගෙන ක්‍රිකට් ඇඳුම් දාගෙන.


ඉතිං ඔය විදිහට අපේ කිං බීජේ නිරතවෙලා හිටියෙ චීනෙන් ලංකාවට හඳුන්වලා දීපු මාෂල් ආර්ට් එකක. පුරුපුරුත් ඒකම කළත් මේ වෙද්දි මෑන්ස් ප්‍රැක්ටිස් යන්න පටන් අ‍රගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනෙ නෑ. ඒත් කිං බීජේ කියන්නෙ ඉස්කෝලෙ මේ ක්‍රීඩාව නියෝජනය කරපු ටීම් එකේ ප්‍රවීන සාමාජිකයෙක්. ඉතිං පැරේඩ් එක යද්දි මග දිගට පොඩි පොඩි මාෂල් ආර්ට් ඇඩ් ටිකක් දාන්න, එක්ස්පීරියන්ස්ඩ් ප්ලේයර්ස්ලා ටිකක් ටීම් එක බාර සර් විසින් යොදවලා තිබුනලු. ඒ එක ප්ලේයර් කෙනෙක් තමයිලු අපේ කිං බිජේ. (තවත් එක ප්ලේයර් කෙනෙක්නං දැන් ප්‍රසිද්ද බ්ලොග්කරුවෙක් වෙලයි ඉන්නේ.)


ඉතිං ඔය විදිහට කුරුඳුවත්ත පැරේඩ් එක තිබුන දවසත් උදාවුණාලු. දැන් පැරේඩ් එක පටන්ගන්න තව තියෙන්නෙ පැය කීපයයි. ඔය අතරෙ තමයි අපේ කිංට යාලුවො සෙට් එකකින් සිත වශීකරනසුලු ආරාධනාවක් හම්බවුණේ. ඉතිං මේ ආරාධනාව පිළිගන්න කිං බීජේ දෙපාරක් හිත හිතා හිටියෙ නෑ. මොකද ඉතිං අමෘතය පානය කරන්න කවුරුත් හිත හිතා ඉන්නෙ නෑ නොවැ!


කිං :- මචං පුරු, මට අරුන් කට්ටිය සෙට් වෙන්න කතා කළා මචං! මම යනවා. කවුරුහරි මාව හෙව්වොත් කියපං පැරේඩ් එක පටන් ගන්න කලින් මම ආපහු එනවයි කියලා.


පුරුපුරු :- උඹට පිස්සුද යකෝ? උඹට දැන් පැරේඩ් එකේ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා නේද?


කිං :- හරි හරි බං! දෙහි සුරා බෝතලේකුයි*, වියළි සුරා බෝතලේකුයි** දෙකක්ම තියෙනවලු. මම කොහොමද නොගිහිං ඉන්නෙ?


පුරුපුරු :- උඹ එතකොට බැලන්ස් නැතුව කරනම් ගහන්නෙ කොහොමද?


කිං :- හික් හික්!! අපිට කවද්ද මල්ලි බැලන්ස් නැතිවුණේ?


මෙහෙම කියපු කිං, පුරුපුරු ආපහු මොනවත් කියන්නත් කලින්ම අනුමත වෙන්න යන්න ගියාලු. කොහොමහරි මෑන්ස් ආපහු ආවෙ පැරේඩ් එක පටන් ගන්න විනාඩි කීපයක් තියෙද්දි. පුරුපුරු බයේ හිටියෙ කිංට වෙරි වෙලා ඩිමොන්ස්ට්‍රේෂන් එක කරගන්න බැරිවෙයිද කියලා. ඒත් ඉතිං දෙයියන්ගෙ පිහිටෙන් මෑන්ස් ගියා වගේම කෙලින් ආපහු ආවලු.


දැන් ඉතිං අපේ යාලුවො කට්ටිය පැරේඩ් එකේ ඇවිදගෙන යනවලු. පුරුපුරු, කිං බීජේ, හාරිස්, ඒ වගේම අර බ්ලොග්කරුවා කට්ටියම දැන් වැඩ දදා යනවලු. පාර දෙපැත්තෙ මිනිස්සු පෝලිම් ගැහිලා අපේ යාලුවන්ගෙ වැඩ කිඩ බලනවලු. ඉතිං ඔය විදිහට මුලින්ම ඩිමොන්ස්ට්‍රේෂන් කරපු කට්ටිය බොහොම ලස්සනට මේ වැඩේ කරගෙන ගියාලු. ඊළගට තිබුනෙ අපේ කිං බීජේගෙ වාරෙ. මෑන්ස්ට කඩු, පොලු වලින් කිසි දෙයක් කරන්න නියමිත වෙලා තිබුනෙ නැතත්, ටිකක් සංකීර්ණ  කරනම් කීපයක් ගහන්නනං නියමිත වෙලා තිබුනලු. ඒ වගේම කිංගෙ වෙලාවට මෑන්ස්ට ඩිමොන්ස්ට්‍රේෂන් එක කරන්න සෙට්වුණේ මෑන්ස් ට්‍රයි කරපු ගෑනු ළමයාගෙ ඉස්කෝලෙ ඉස්සරහමයි.


දැන් ඉතිං කෙල්ලො එකසිය ගානට ඉස්කෝලෙ තාප්පෙ ගාවට වෙලා කට්ටියගෙ පැරේඩ් එක බලනවා. ඉතිං කිංටත් හෙන සතුටුයි. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියනවා වගේ මෑන්ස් කළේ දුවගෙන දුවගෙන ගිහිං එකපාරටම ලොකු කරනමක් ගහපු එක.


දඩාස්..................


එකපාරටම ලොකු සද්දෙකුත් එක්ක ගෙම්බෙක් පොළොවෙ ගැහුවා වගේ සීන් එකක් කට්ටියට දකින්න හම්බවුණාලු. පුරුපුරු අර ඉස්කෝලෙ කෙල්ලන්ගෙ හිනා සද්දෙ මැදින් සෝදිසි කරලා බැලින්නං අපේ කිං බිම වැතිරිලා ඉන්න දර්ශනේ තමයි පූසාට දකින්න ලැබුනෙ. බැලින්නං මෑන්ස්ට නැගිටින්න බැරි ගානට අනුමත වෙලා. අන්තිමට වුණේ එතිල් ඇල්කොහොල් වල බලපෑම හින්දා අපේ යාලුවාට මාස ගානක් යනකං කොල්ලන්ගෙන් බයිට් වෙන්න වෙච්ච එක. ඒත් ඉතිං කිංනම් තමන්ගෙ ඇල්කොහොල් පිළිබඳ තිබුන ලැදියාව පොඩ්ඩක්වත් අඩු කරගත්තෙ නෑ.


දැන් කිං බීජේයි, හාරිසුයි දෙන්නම වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ගිහින් සිංහපුරේ තමයි නතර වෙලා ඉන්නේ. හාරිස්නං මේ බ්ලොග් එක කියවන බව මම දන්නවා. ඔන්න පුතෝ, මේක කිං බීජේට එහෙම පෙන්නනවා නෙවෙයි ඕං!


* lemon gin   ** dry gin