අඹ යාලුවෝ

Wednesday, August 31, 2011

සුදුපූසි 14 - මැර තර්ජන


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10

මම කලින් ලිපියෙ කිව්වෙ මලින්දගෙ බොරු ආරංචි වලින් සුදුපූසි කලබලයට පත්වෙච්ච හැටිනෙ. ඉතිං මේ කලබලේට හේතුවෙච්ච සුදුකුමාරි කියන ගෑනු ළමයා ආවෙත් පුරුපුරුලා ගියපු බයෝ ක්ලාස් එකටමයි. මේ වෙද්දි පුරුපුරු දැනගෙන හිටියෙ නෑ මලින්ද මෙහෙම ආරංචියක් පතුරවලයි කියලා.

කලිනුත් කිව්ව විදිහට මේ වෙද්දි ක්ලාස් ඉවරවෙලා හැමදාමත් පුරුපුරුයි, සුදුපූසියි බස්ටෑන්ඩ් එකට ගියෙ එකට කතා කර කර. ඒත් එක දවසක් පුරුපුරු එන්න කලින්ම සුදුපූසි බස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකේ වාඩි වෙලා හිටියා. “කමක් නෑ, එක දවසයිනේ“ කියලා පුරුපුරුත් ඉතිං වැඩිය ඒ ගැන හිතුවෙ නෑ. ඒ මේ සිද්දියම ඊට පස්සෙ සති දෙකෙත් සිද්ද වුණාලු. සුදුපූසි අපේ පූසා එක්ක අඩුම ගානෙ කතා කරන්නවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඉතිං මේ පත්තු වෙච්ච හෙන ගෙඩිය ගැන හාංකවිසියක් නොදන්න පුරුපුරු ෆුල් අප්සෙට් ගැහුවලු සුදුපූසිගෙ හැසිරීම දැකලා.

ඊට පස්සෙ තමයි මෑන්ස්ට හිතුනෙ මේ වෙන දේවල් වලට කොහෙන්හරි මලින්දගෙත් කනෙක්ෂන් එකක් ඇති කියලා. ඉතිං පූසා තීරණය කළාලු සිද්දිය ගැන පොඩි ඉන්වෙස්ටිගේෂන් පාරක් දාන්න. මේ වෙද්දි සුදුපූසි පුරුපුරුත් එක්ක හිත නොහොඳින් හිටපු හින්දා, මේ වැඩේ පැවරුනේ හැමදාමත් පූසා වෙනුවෙන් කටු කන ඉස්සාට. ඉතිං අනිත් දවසෙ ඉස්සා බස් එකේදි සුදුපූසිගෙන් ඇහුවලු පුරුපුරු සම්බන්දයෙන් දක්වන මේ හදිසි වෙනසට හේතුව.

මුලදි ඒ ගැන කියන්න සුදුපූසි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් ඉතිං කාන්තා පාර්ශවේ කාටද කට පියාගෙන ඉන්න පුලුවන් නේද? ටික වෙලාවක් යද්දි සුදුපූසිම ඉස්සාගෙන් ඒ වැදගත් ප්‍රශ්නෙ ඇහුවලු.

සුදුපූසි :- ඉස්සා, දැන් කොහොමද පුරුපුරු අලුත් ජීවිතේ?

ඉස්සා :- මොකද්ද ඔයා කියවන්නෙ? මොන ජීවිතයක්ද?

සුදුපූසි :- ඇයි දැන් එයා සුදුකුමාරි එක්ක යාලුයිනේ. ඔයා මට වඩා ඒ ගැන දන්නවා ඇතිනේ.

ඉස්සා :- ඔයාට විකාරද සුදුපූසි? පුරුපුරු එහෙම යාලුයිනං මම ඒ ගැන දැනගෙන ඉන්න එපායැ. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් නෑ කියලා.

සුදුපූසි :- මොනවා? එහෙනං මේ රසිකා කිව්වෙ හොඳටම විශ්වාසයි කියලා.

ඉස්සා :- හික් හික්!! එහෙනං මේක අනිවාර්යයෙන්ම මලින්දගෙ වැඩක් තමයි.

සුදුපූසි :- අනේ මටනං හිතාගන්නවත් බෑ මලින්ද මෙහෙම වැඩක් කරයි. මමත් අපරාදෙ පුරුපුරුත් එක්ක කතා නොකර හිටියනේ. අනිත් දවසේ මම එයත් එක්ක මේ ගැන කතා කරන්නම්.

කොහොමහරි ඉතිං එදාම ගෙදර ගිහින් සිද්ද වෙච්ච දේ ගැන පුරුපුරුට කෝල් කරලා කියන්න ඉස්සා අමතක කළේ නෑ. මේ වෙලාවෙනං පුරුපුරුට ආවෙ මලින්දගෙ බෙල්ල මිරිකන්න සයිස් කේන්තියක්. ඒත් ඉතිං වැඩි යහපත වෙනුවෙන් තවත් ඉවසන්න පූසා තීරණය කළාලු. කොහොමත් ඉතිං මෑන්ස් එක්ක වලියක් දාගත්තොත් ගුටිත් කාලා, කාඩ් එකත් කුඩු කරගන්න වෙන බව පුරුපුරු හොඳටම දැනගෙනයි හිටියේ.

ඉතිං ඊළඟ සතියේ ක්ලාස් ඉවර වෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු. වෙනදා සුදුපූසි එනකං ඉන්න තැන පහු කරගෙන, ඒ පැත්තවත් නොබලා තමයි පුරුපුරු යන්න ගියෙ. එහෙම කිව්වට මොකද, මෑන්ස්ගෙ දෘෂ්ටි පථයට අහුවුණාලු එදා සුදුපූසි කලින්ම ඇවිත් පුරුපුරු එනකං එතන නැවතිලා හිටියයි කියලා. ඒත් ඉතිං සති දෙක තුනක් තමන්ට ලොකු එක දුන්න එකේ දැන් ඉතිං පූසාත් පොඩ්ඩක් ලොකු එක දෙන්න එපායැ. ඉතිං ඒකයි පුරුපුරු සුදුපූසිව දැක්කෙ නෑ වගේ යන්න ගියෙ.

ටික වෙලාවකින් මෙන්න පිටිපස්සෙන් සද්දයක් එනවා “පුරුපුරු, පුරුපුරු“ කියලා. බැලින්නං සුදුපූසි පිටිපස්සෙන් ඇවිත් පූසාට කතා කරනවා.

සුදුපූසි :- සොරි පුරුපුරු, මම ඔයා එක්ක පහුගිය දවස්වල කතා නොකර හිටියාට. මලින්ද එවපු බොරු ආරංචියට මමත් රැවටුනා.

පුරුපුරු :- කමක් නෑ සුදුපූසි. ඒත් මට දුකයි මලින්ද වගේ කෙනෙක් එවන ආරංචි නිසා ඔයා මාත් එක්ක කතා නොකර හිටපු එක ගැන. අනික මලින්ද ඔතනින් නවතින එකක් නෑ. ඉස්සරහාට තවත් එක එක බොරු කියයි.

සුදුපූසි :- නෑ පුරුපුරු, මම මීට පස්සේ මලින්ද කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ.

කොහොමහරි එදා සුදුපූසිගෙයි පූසාගෙයි ටෝක ඉවරවුණේ මේ දෙන්නාගෙ යාලුකම තවත් වැඩි කරමින්. ඒත් පුරුපුරුට දුක තිබුනේ යාලුකමට එහා දෙයක් තවමත් වුණේ නැති එක ගැන.

ඊට පස්සෙත් පුරුපුරු කීප සැරයක්ම සුදුපූසිගෙන් යාලු වෙන්න ඇහුවත් එයා ළඟ තිබුනේ එකම උත්තරයයි. ඒ තමයි එදා පුරුපුරුට මුලින්ම දුන්න උත්තරේ. ඉතිං පූසාත් වැඩිය මේ ගැන අහලා සුදුපූසිව අප්සෙට් කරන්න උත්සාහ කළේ නෑ. මෑන්ස් දැනගෙන හිටියා තමන්ට සුදුපූසිත් එක්ක යාලුවෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ ඒ ලෙවල් කළායින් පස්සේ කියලා. ඉතිං පූසා සුපුරුදු ෆ්‍රෙන්ඩ්ෂිප් එකෙන්ම සුදුපූසිව දිගටම ආශ්‍රය කළාලු.

කොහොමහරි තමන් කොච්චර උප්පරවැට්ටි දැම්මත්, පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ තිබුන යාලුකම බිඳ වට්ටන්න බැරිවෙච්ච එක ගැන මලින්ද හිටයේ වෙඩි කාපු කොටියෙක් වගේ තරහින්. ඒත් කොච්චර තරහා තිබුනත් රසිකාට ආරංචි නොවෙන විදිහට පුරුපුරුට ගහන්න මෑන්ස්ට පුලුවන්කමක් තිබුනේ නෑ. මලින්ද කියන්නෙ සම්ප්‍රදායික මෙගාවල ඉන්නවා වගේ හැම අතින්ම කලු කැරැක්ටර් එකක් නෙවෙයි. මොන දේ වුණත් මෑන්ස් රසිකාට ඇත්තටම ආදරේ කළා. ඒ හින්දා තමන්ගෙයි රසිකාගෙයි එෆෙයාර් එකට ප්‍රශ්නයක් ඇතිවෙන කිසි දෙයක් මලින්ද අතින් සිද්ද වුණේ නෑ.

ඉතිං මලින්ද ඊටපස්සෙ කළේ කොල්ලො අතරේ තිබුන පුරුපුරුගෙ කාඩ් එක කුඩු කරන්න ට්‍රයි කරපු එක. මෑන්ස් කළේ පුරුපුරුට කවදාවත් සුදුපූසි වගේ ගෑනු ළමයෙක්ව යාලු කරගන්න බෑ කියලා හැම තැනම ප්‍රචාරය කරපු එක. ඒ වගේම පූසාට හැමදාමත් වෙන්නේ සුදුපූසිගෙ පස්සෙන් යන්න විතරයි කියලා කියන්නත් මලින්ද අමතක කළේ නෑ. එක දවසක් උපාසකව මුණගැහිච්ච වෙලාවකත් මලින්ද මේ ගැන කියලා උපාසකව බයිට් එකට අරගෙන තිබුනා.

මලින්ද :- මොනවද බං! කෝ උඹලගෙ අර පුරුපුරුවා? මිනිහා හැමදාම සුදුපූසිගෙ පස්සෙන් යනවා විතරයිනේ. කවද්ද දන්නෑ සුදුපූසිව දාගන්නෙ?

උපාසක :- මමනං දන්නෙ නෑ බං. ඒක අහන්න ඕනෙ පුරුපුරුගෙන් තමයි.

මලින්ද :- හික් හික්!! අනේ ඌට පුලුවන්ද බං සුදුපූසිව දාගන්න? මම ගම්පහ ටවුන් එකේ ඔලුවෙන් හිටගන්නවා මෑන්ස් සුදුපූසිත් එක්ක යාලු වුණොත්.

උපාසක :- හා හා. මම ඌට කියන්නංකෝ.

මලින්ද :- ඇත්තටම උඹලටත් ලැජ්ජ නැද්ද බං ඌත් එක්ක එක සෙට් එකේ ඉන්න?

උපාසක :- මටනං එහෙම ලැජ්ජාවක් නෑ බං. ඌට කෙල්ලො වැටුනත් නැතත් ඌ හැමදාමත් අපේ යාලුවෙක්.

ඔය විදිහට පුරුපුරුගෙ යාලුවො අතරේ මෑන්ස්ගෙ කාඩ් එක කුඩු කරන්න මලින්ද ට්‍රයි කළත් ඒ වැඩේ හරිගියෙත් නෑ. මොකද පූසො සෙට් එකේ හැමෝම නියම යාලුකම කියන්නෙ මොකද්ද කියලා දැනගෙන හිටියා.

එක දවසක් ඉස්කෝලෙදිත් විශේෂ සිද්දියක් වුණා. මලින්දගෙ සෙට් එකේ කුරුඳුවත්ත ඉස්කෝලෙ හිටපු නියෝජිතයෙක් පුරුපුරුව හම්බවෙන්න මෑන්ස්ගෙ පන්තියට ආවා. පොරට ඉස්කෝලෙ කිව්වේ බටු ඉෂාන් කියලා. මොකද මෑන්ස් බටු ගෙඩි දෙකක් විතර තමයි ඒ දවස්වල උස. බටු ඉෂාන් කියන්නේ ඉස්කෝලෙ පිළිගත් මැරයෙක් නෙවෙයි. ඒත් මෑන්ස්ට තිබුනෙ මැර චරිතයක් වෙන්න පුදුමාකාර උණක්. ඉස්සර පුරුපුරුත් එක්ක ඉෂාන් ගම්පහ ක්ලාස් ගිහින් තියෙන හින්දා මේ දෙන්නා හොඳට අඳුනනවා. ඉතිං ඉෂාන් තමන්ව හොයාගෙන පන්තියට ආපු එක පූසාට එච්චර අමුත්තක් වුණේ නෑ.

ඉෂාන් :- ආ...පූසා, උඹට පණිවිඩයක් කියන්න තියෙනවා. පොඩ්ඩක් එළියට වරෙන්කෝ.

පුරුපුරුත් ඉතිං බටු ඉෂාන් එක්ක පන්තියෙන් එළියට ගියාලු. ඉෂාන් පුරුපුරුව එක්ක ගියේ අපේ පිටස්තරයා හිටපු කඩ්ඩ මීඩියම් බයෝ පන්තිය ළඟට.

ඉෂාන් :- අඩෝ! උඹ මහ -- වැඩක් කරලා තියෙනවා කියලා මට ආරංචියි.

පුරුපුරු :- මොකක්? මම එහෙම කිසිම වැඩක් කරලා නෑ.

ඉෂාන් :- නෑ නෙවෙයි, උඹ අපේ මලින්ද යාලුවෙලා ඉන්න රසිකාගෙන් ඒකිගෙ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවා නේද?

පුරුපුරු :- උඹට පිස්සුද?

ඉෂාන් :- පිස්සු කාටද කියලා බලමුකො අනිත් දවසෙ ගම්පහ ආවම. උඹ ඒකිගෙන් කවදාවත් ෆෝන් නම්බර් එකක් ඉල්ලලා නෑ?

පුරුපුරු :- යකෝ ඒ නවය වසරෙදිනෙ. ඒකත් මම ඉල්ලගත්තෙ සුදුපූසිගෙ නම්බර් එක. අනික ඒ කාලෙ ඒකි මලින්දයෙක්ව දන්නෙත් නෑ.

එතකොටම තමයි පුරුපුරුට තේරුනේ සිද්දිය මොකද්ද කියලා. මේක පුරුපුරුත් එක්ක වලියක් දාගන්න මලින්ද ගහපු විශිෂ්ට ප්ලෑනක් වෙන්න ඕනේ. බොරු චෝදනාවක් එක්ක ඉෂාන්ව පුරුපුරුට සද්දයක් දාන්න එවලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි, පුරුපුරු ලව්වා ඉෂාන්ට ගුටිකන්න සලස්වන්න. එතකොට මලින්දට එක්ස්කියුස් එකක් තියෙනවා ගම්පහදි පුරුපුරුට හොඳ ගේමක් දෙන්න. ඒ එක්කම පුරුපුරු වලිබර පූසෙක් කියලා සුදුපූසිට ආරංචි වෙනවා. නැත්තං ඉෂානයා අර වගේ අඳබාල චෝදනාවක් කරයිද?

හැබැයි මේ වෙද්දි මලින්දගේ ප්ලෑන් එක සෑහෙන දුරට වැඩ කරලයි තිබුනේ. බටු ගෙඩි දෙකක් උස නැති බටු ඉෂාන් තමන්ට සද්දෙ දානකොට පූසාට හිතුනෙම මෑන්ස්ව උස්සලා එහා පැත්තෙ තිබුන ඩස්ට්බින් එකට විසිකරන්න. ඒත් මලින්දගේ ප්ලෑන් එක තේරිච්ච ගමන්ම පුරුපුරු තීරණය කළාලු මොන දේ වුණත් බටු ඉෂාන්ට නොගහා ඉන්න.

අන්තිමේදි තමන්ගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත හින්දා හරි, නැත්තං පුරුපුරු තමන්ට ගහන්නෙ නෑ කියලා තේරුම් ගත්ත හින්දා හරි බටු ඉෂාන් කළේ පුරුපුරුගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලපු එක. එතකොටම තමයි මේ සීන් එක කඩ්ඩ මීඩියම් පන්තියේ හිටපු අපේ කිං බීජේ දැක්කේ.

බටු ඉෂාන් පුරුපුරුගෙ කොලර් එකෙන් අල්ලගෙන ඉන්නවා දැක්ක කිං බීජේ දුවගෙන ආවලු ක්ලාස් එකෙන් එළියට.

කිං බීජේ :- ඇයි ඇයි!! පුරුවා මොකද කේස් එක? මොකාද මූ?

බැලින්නං මෑන්ස් බටු ඉෂාන්ව දන්නෙත් නෑ. කලිනුත් කිව්ව විදිහටම ඉෂාන් දිගටම මැරයෙක් වෙන්න උත්සාහ කළත් කවුරුවත් මෑන්ස්ව ගනන් ගත්තෙ නෑ.

ඊටපස්සෙ පුරුපුරු කිසිම උත්තරයක් දෙන්නත් ඉස්සරවෙලා බීජේ කළේ බටු ඉෂාන්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියකට හේත්තු කරපු එක. මේකෙන් වුණේ ඉෂාන් අම්බානට බය වෙච්ච එක. සමහරවිට මැර ඩයල් එකක් වෙන එක හිතන තරම් සුන්දර කැරියර් පාත් එකක් නොවෙන වග මෑන්ස්ට තේරෙන්න ඇති. 

පුරුපුරු :- කිං, ඔන්න ඕකාට යන්න දීපන්.

ඉතිං මෙහෙම කිව්වාම කිං බීජේ ඉෂාන්ව අතඇරියාලු. ඊටපස්සේ ඉෂාන් එතනින් ඌර්ධවපාතනය වුණේ විදුලි වේගෙන්. ඊටත් පස්සෙ තමයි පුරුපුරු කිං බීජේට සම්පූර්ණ සිද්දිය කිව්වේ. ඒත් එතකොට පරක්කු වැඩියි. ඒ වෙනකොටත් මලින්දගේ ප්‍රාර්ථනාව ඉෂ්ටවෙලා ඉවරයි. ඉතිං වෙච්ච වැඩේ ගැන බීජේත් දුක් වුණාලු.

අපේ පුරුපුරුට බය හිතුනේ මලින්දගේ සෙට් එකෙන් ගුටිකන එක ගැන නෙවෙයි, සුදුපූසි තමන් ගැන වැරදියට හිතයි කියලා. මොකද සුදුපූසිට වලි වලට යන කොල්ලන්ව පෙන්නන්න බෑ. කොහොමහරි ඉතිං අනිත් දවසේ පුරුපුරු ගම්පහ ක්ලාස් ගියේ ඕන දේකට ෆේස් කරනවා කියන හැඟීමෙන්.



Friday, August 26, 2011

සුදුපූසි 13 - ප්‍රශ්න පිට ප්‍රශ්න



සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12  
සුදුපූසි 3                        සුදුපූසි 8
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10

අපි කලින් කොටස නතර කළේ සුදුපූසි පුරුපුරුත් එක්ක යාලු වෙන්න බෑයි කියපු තැනින්නෙ. ඉතිං තමන් අවුරුදු ගානක් තිස්සේ දැකපු හීන ඔක්කොම චකබ්ලාස් වෙච්ච එක ගැන අපේ පූසා හිටියේ හරිම හිතේ අමාරුවෙන්. ඔය උඩ පින්තූරෙ ඉන්න කෙනා වගේ හැම තිස්සෙම අප්සෙට් මූඩ් එකේ තමයි මෑන්ස් ඒ දවස්වල හිටියේ. හැබැයි ඉතිං සුදුපූසි එක පාරක් බෑ කිව්වයි කියලා ගේම අතඅරින ජාතියෙ ඩයල් එකක් නෙවෙයි පුරුපුරු කියන්නේ. ඒ හින්දා මෑන්ස් හිතාගත්තලු ගිලෙන්න යන මිනිහා එල්ලිච්ච පිදුරු ගහ අතඅරින්නෙ නෑ වගේ, තමනුත් සුදුපූසිගෙන් ආදරේ ඉල්ලන එක ලේසියෙන් අතඅරින්නෙ නෑයි කියලා.

මේ කාලෙ පුරුපුරුට තිබුන අනිත් ලොකුම ප්‍රශ්නෙ තමයි විදූශා ගැන සුදුපූසිට කියන්නෙ කොහොමද කියන එක. දැන් ඉතිං සුදුපූසිගෙන් යාලුවෙන්නත් අහපු එකේ විදූශා එක්ක තිබ්බ එෆෙයාර් එක ගැන එයාට නොකියා බෑ. මොකද පුරුපුරුගෙන් නැතුව වෙන කෙනෙක්ගෙන් මේක ආරංචි වුණොත් සුදුපූසි හිතන්න පුලුවන් පූසා මේ සිද්දිය එයාගෙන් හංගන්න හැදුවයි කියලා. ඉතිං පුරුපුරු හිතාගත්තලු ඊළඟ සතියේ සුදුපූසිත් එක්ක කතා කරද්දි විදූශා ගැන ඔක්කොම විස්තර එයාට කියනවයි කියලා.

කොහොමහරි ඊළඟ සෙනසුරාදා දවසෙත් ක්ලාස් ඉවරවෙලා පුරුපුරු සුදුපූසිව මුණගැහුනලු. එදානං මේ දෙන්නා කතා කළේ වෙනදා වගේ අධ්‍යාපනික දේවල් නෙවෙයි. පුරුපුරු යාලුවෙන්න අහපු එකෙන් සුදුපූසි ගොඩක් ෂොක් වෙලා හිටියේ. එයා දිගටම කිව්වේ පුරුපුරු එයාගෙ හොඳම යාලුවෙක් විතරයි කියලා. ඒ වගේම ඒ ලෙවල් ඉවර වෙන්න ඉස්සරවෙලා කොල්ලෙක් ගැන නොහිතන බවත්, වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නැති බවත් සුදුපූසි පුරුපුරුට කිව්වලු.

පුරුපුරු ඊටපස්සෙ සුදුපූසිගෙන් ඇහුවේ වෙන කොල්ලෙක්ට කැමති වෙන්නෙත් නැත්තං, ඒ ලෙවල් ඉවරවෙලා හරි එයා පුරුපුරුත් එක්ක යාලු වෙනවාද කියලා. ඒත් සුදුපූසි ඒකටත් හරිහමං උත්තරයක් දුන්නෙ නෑ. ඊටපස්සේ තමයි මෑන්ස් විදූශා ගැන විස්තරේ සුදුපූසිට කිව්වේ. ඇත්ත දැනගත්තාට පස්සේ සුදුපූසි ගන්න ඕනෙම තීරණයකට එකඟ වෙන්න බලාගෙන තමයි පූසා ඒ සිද්දිය සුදුපූසිට කිව්වේ.

කොහොමහරි පුරුපුරු කියපු දෙයින් සුදුපූසි පොඩ්ඩක්වත් පුදුමෙට පත්වෙච්ච බවක් පෙනුනෙ නෑ. පුරුපුරුනං හිතුවෙ මේ ගැන දැනගත්ත ගමන් සුදුපූසිට තරහා ගිහින් මොකක් හරි රියැක්ෂන් එකක් දක්වයි කියලා. ඉතිං එහෙම නොවිච්ච එක ගැන පූසාට හරි පුදුමයි. අන්තිමේදි පුරුපුරුගෙ මූණ දිහා ටික වෙලාවක් බලාහිටපු සුදුපූසි මෙහෙම කිව්වලු.

සුදුපූසි :- මම ඔය සිද්දිය ගැන දන්නවා පුරුපුරු. ඒත් මම ඊයෙ පෙරේදා වෙනකම්ම මේ ගැන දැනගෙන හිටියෙ නෑ. මම බලාගෙන හිටියේ ඔයා මේක මට කියයිද නැද්ද කියලා. කොහොම වුණත් ඔයා මට ඇත්ත කියපු එක හොඳයි.

සුදුපූසි මෙහෙම කිව්වත් එයාගෙ මූණෙ තිබුනෙ කළකිරුණු පෙනුමක්. සමහරවිට සුදුපූසි කවදාවත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති පුරුපුරු වෙන ගෑනු ළමයෙක් එක්ක යාලුවෙයි කියලා. මේ වෙලාවෙ තමන් කරපු දේ ගැන අපේ පූසාටත් ඇතිවුණේ කියාගන්න බැරි තරමේ ලැජ්ජාවක්. හොඳ වෙලාවට මේක සුදුපූසිට කිව්වේ. නැත්තං කවදාහරි සුදුපූසි මේක පුරුපුරුගෙන් ඇහුවානං එහෙම හතර විළි ලැජ්ජාවයි. කොහොමහරි මේ සිද්දියෙන් පස්සේ වුණේ පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ තිබුන ෆ්‍රෙන්ඩ්ෂිප් එක තව තවත් වැඩි වෙච්ච එක.

පස්සේ ආරංචි වෙච්ච විදිහට රසිකා එක්ක යාලුවෙලා හිටපු මලින්ද තමයි මේ කේලම රසිකා හරහා සුදුපූසිගෙ කනට යවලා තියෙන්නේ. මෑන්ස් කොහොමත් ඉස්සර ඉඳන්ම පුරුපුරු එක්ක ටිකක් හිත නොහොඳින් තමයි හිටියේ. පුරුපුරුත් එහෙමයි. මොකද ඉස්සර මැක්නාත් රසිකාට ට්‍රයි කරන දවස්වල, මැක්නාත්ගෙන්ම රසිකාගේ විස්තර අහගෙන තමයි මලින්ද ගේම් එකට එන්ටර් වෙලා තියෙන්නේ. අන්තිමට මෑන්ස් රසිකා එක්ක යාලු වෙනකම්ම කොල්ලො කවුරුවත් දැනගෙන හිටියේ නැහැ අඩුගානෙ පොර රසිකාට ට්‍රයි කළා කියලාවත්.

පස්සේ තමයි අපේ යාලුවන්ට ආරංචි වුණේ මලින්ද මැක්නාත්ගෙ යාලුවෙක් විදිහට ඉන්න අතරතුරේම, කාලයක් තිස්සේ හීන් නූලෙන් රසිකාට ට්‍රයි කරලා තිබුන වග. ඉතිං මේ කරපු මිත්‍රද්‍රෝහී වැඩේ හින්දාම මැක්නාතුයි මලින්දයි මේ දවස්වල හිටියේ නයයි මුගටියයි වගේලු. පුරුපුරු හිතුවේ තමන් මැක්නාත්ගෙ හොඳම යාලුවෙක් හින්දා, තමන්ගෙන් පළිගන්න මලින්ද විදූශා ගැන සුදුපූසිට දන්වන්න ඇති කියලා. ඒත් තවත් ටික දවසකින් තමයි පූසාට ආරංචි වුණේ මලින්ද සුදුපූසිට නිව්ස් එක යවන්න එකම හේතුව ඒක නෙවෙයි කියලා.

පුරුපුරු ඇතුලු යාලුවන්ට මේ සිද්දියෙන් ටික දවසකට පස්සේ ආරංචි වුණාලු මලින්දගෙ සෙට් එකේ ලානන්දෙට ගිය කොල්ලෙක් සුදුපූසිට රේඩාර් පාර දාගෙන ඉන්නවයි කියලා. බැලින්නං මලින්දගෙ ට්‍රයි එක තමන්ගෙ යාලුවාට සුදුපූසිව සෙට් කරලා දෙන එක. ඉතිං මේක ආරංචි වෙච්ච අපේ පුරුපුරුට දෙලෝ රත්වෙලා කන් දෙකෙන් දුම් දාන්න පටන් ගත්තලු.

කලින් අපේ පූසො දාගත්ත වලි වගේ නෙවෙයි, මලින්දත් එක්ක වලියක් දාගන්න එක කොහොමටවත් නුවණට හුරු වැඩක් වුණේ නෑ. මොකද මලින්ද මරියකඩේට ඉස්කෝලෙ ගියත් මෑන්ස්ට ගම්පහත් හෙන සෙට් එකක් හිටියා. මලින්දගෙ තාත්තා දේශපාලකයෙක්. මෑන්ස්ට හොඳට සල්ලි බාගෙ එහෙමත් තිබුනලු. ඉතිං අත දිගඇරලා වියදම් කරන මලින්දගෙ වටේට කොළඹ, ගම්පහ ඉස්කෝලවලට යන කොල්ලො විතරක් නෙවෙයි, කප් ගහපු අන්ඩර්වර්ල්ඩ් මදාවියො පවා පිරිලා හිටියලු.

මේ හේතුව හින්දා මලින්දත් එක්ක වලියක් දාගන්න එක රජ කෑමක් කියලා පුරුපුරුට කවුරුවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ වුණේ නෑ. ඒ වෙද්දි වුණත් මලින්ද පුරුපුරුලාට නොගහා හිටියේ ඒක රසිකාට ආරංචි වුණොත් මෑන්ස්ගෙ කාඩ් එකට හොඳ මදි හින්දා. කොහොමත් තමන් වලි වලට යන පූසෙක් කියලා සුදුපූසි දැනගත්තොත් එයා කවදාවත් තමන්ට කැමති නොවෙන බව පුරුපුරුත් හොඳටම දැනගෙන හිටියා. ඉතිං අපේ පූසා අන්තිමට තීරණය කළාලු මේ ප්‍රශ්නෙට මොළේ කල්පනා කරලා විසඳුමක් හොයන්න.

සුදුපූසිට මලින්දගෙ යාලුවා ට්‍රයි කරන බව දැනගත්ත දවසේ ඉඳලා, පුරුපුරු කවදාවත් සුදුපූසිට ක්ලාස් ඉවරවෙලා තනියම යන්න ඉඩ තිබ්බේ නෑ. මෑන්ස් හැමදාමත් කළේ ක්ලාස් ඉවරවෙලා සුදුපූසිත් එක්ක බස්ටෑන්ඩ් එකටම ගිය එක. බස් එක ඇතුලෙදි සුදුපූසිගෙ ආරක්ෂාව බාරවෙලා තිබුනේ ඉස්සාටයි, මැක්නාත්ටයි. ඒ වගේම කලාතුරකින් දවසක පුරුපුරුත් ඒ බස් එකේම රෙදිගොඩට යන්නත් පුරුදු වුණාලු. රෙදිගොඩ ඉඳලා ආපහු පූස්ගම බස් එකක නැගලා ගෙදර යන එක මහා එපාකරපු වැඩක්. ඒත් අපේ පූසාට ඒ ඇරෙන්න වෙන විකල්පයක් ඉතුරුවෙලා තිබුනේ නෑ.

අන්තිමට ඔය වැඩෙන් වුණේ මලින්දටවත්, මෑන්ස්ගෙ යාලුවාටවත් සුදුපූසිට කිට්ටු වෙන්න චාන්ස් එකක් ලැබුනෙ නැති එක. කොහොමත් මලින්දගෙ යාලුවාට සුදුපූසිත් එච්චර කැමැත්තක් දැක්වුවෙ නෑලු. ඉතිං තමන්ගෙ කාඩ් එක රසිකා ඉස්සරහා පරිස්සම් කරගන්න ඕනෙ හින්දා මලින්දත් පුරුපුරුට ගේමක් දෙන එකෙන් වැලකිලා හිටියලු. මොකද මලින්ද රසිකා ඉස්සරහා මවලා තිබුනෙ මෑන්ස් නොම්මර එකේ උපාසකයෙක් කියන ඉමේජ් එක. ඉතිං ඒක හින්දා මලින්දත් කළේ තමන්ගෙ මොළේ පාවිච්චි කරලා පුරුපුරුට ගේම් දෙන්න පටන් ගත්තු එක.

ඇත්තටම පුරුපුරුනං සමහර වෙලාවට හිතුවලු මලින්ද ඇවිත් තමන්ට ගහනවානං ඒක කොච්චර දෙයක්ද කියලා. මොකද තමන්ගෙ පැත්තට නැමෙන්නෙ නැතුව තිබුන සුදුපූසිගෙ හිත, තමන් මලින්දගෙන් ගුටිකාලා ඉන්නවා දැක්කහමවත් තමන්ගෙ පැත්තට නැමෙයි කියලයි අපේ පූසා හිතුවේ.

කොහොමහරි මලින්ද කියන්නේ දේශපාලකයෙක්ගෙ පුතෙක් කියලා මම කලින් කිව්වනේ. ඒ කියන්නේ මෑන්ස් උපතින්ම හොඳ ගේම් කාරයෙක්. ඉතිං රසිකා නිතරම සුදුපූසිත් එක්ක හිටපු හින්දා, රසිකා හරහා පුරුපුරු ගැන බොරු ආරංචි සුදුපූසිට යවන එක මලින්දට මහලොකු අමාරු වැඩක් වුණේ නෑලු. සුදුපූසිත් පුරුපුරු ගැන කොච්චර හොඳට දැනගෙන හිටියත්, තමන්ගෙ හොඳම යාලුවා ගේන පණිවිඩ නොසලකා ඉන්න එයාටත් පුලුවන්කමක් තිබුනේ නෑ. ඉතිං ඒ හින්දා මේ වෙද්දි සුදුපූසිත් හිටියේ ෆුල් කොන්ෆියුස් වෙලා.

මලින්ද කියන්නෙ බොරුයි කියලා සුදුපූසිට ඒත්තුගන්නන එකත් පහසු වැඩක් වුණේ නෑ. මොකද රසිකා මෑන්ස්ව දෙවියෙක් වගේ අදහද්දි සුදුපූසිත් හිතුවේ මලින්ද හොඳ කෙනෙක් කියලා.

මලින්ද ඔය අතරේ තමයි සුදුපූසිට ආරංචියක් එව්වේ පුරුපුරු සුදුකුමාරි කියන ගෑනු ළමයත් එක්ක යාලුයි කියලා. සුදුකුමාරි කියන්නේ පුරුපුරු පොඩි කාලෙ ඉඳන්ම අඳුරන හොඳ යෙහෙළියක්. එයා ගියෙත් පුරුපුරු ගියපු රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙටමයි. ඒ වගේම එයා හිටියෙත් පුරුපුරුයි සුදුපූසියි එක්ක එකම පන්තියේ. අනික සුදුකුමාරි පදිංචිවෙලා හිටියේ පුරුපුරුලාගෙ ගෙදරට ගෙවල් කීපයක් එහායින්.

ඒ දවස්වල සුදුකුමාරි පුරුපුරුට කැමැත්තෙන් හිටියයි කියලා රාවයක් පැතිරිලා තිබුනා. පූසානං ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ. හැබැයි සුදුකුමාරිත් තමන්ට කැමැත්තෙන් හිටපු කිසිම කොල්ලෙක් එක්ක යාලු වුණේ නෑ. ඉතිං පුරුපුරුගෙයි සුදුකුමාරිගෙයි පොඩිකාලෙ ඉඳන් තිබුන ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන දැනගෙන හිටපු සුදුපූසි, මේ ආරංචිය අහලා සෑහෙන්න කලබල වුණාලු. ඇත්තටම සුදුපූසි තමන්ට කැමතිත් නැත්තං එහෙම කලබල වෙන්නෙ ඇයි කියන එක අපේ පූසාට ඒ දවස්වල තිබුන ලොකු ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් මේ ආරංචියෙන් වුණේ සුදුපූසි අම්බානට අප්සට් ගහපු එක.

ප.ලි - බ්ලොග් එකේ ෆීඩ් එක හදාගන්න උපදෙස් ලබාදීපු සඳරු සහ චම්මාට මගේ ෆුල් ස්තුතිය.

Wednesday, August 24, 2011

සුදුපූසි 12 - ඇසීම


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7
සුදුපූසි 3                        සුදුපූසි 8
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10 

ඉතිං දැන් අපේ පුරුපුරු උදේ හවා කල්පනා කරන්නේ කොහොමද සුදුපූසිගෙන් යාලුවෙන්න අහන්නේ කියලා. කට්ටිය දන්නවනෙ ඉතිං ගෑනු ළමයෙක්ගෙන් යාලුවෙන්න අහන්න කොච්චරනං ක්‍රම තියෙනවද කියලා. එක්කො කෙලින්ම ගිහින් මූණටම අහන්න පුලුවන්. නැත්තං වෙන කෙනෙක් හරහා අහන්න පුලුවන්. එහෙමත් නැත්තං ලියුමක් ලියලා අහන්න පුලුවන්. සමහර වෙලාවට ඔය ක්‍රම වලින් කීපයක් කොම්බයින් කරලා වැඩේ කරන්නත් පුලුවන්. ඉතිං පූසා හොඳට කල්පනා කරලා අන්තිමට තීරණය කළේ ඔය කිව්ව අන්තිම ඇප්‍රෝච් එක ක්‍රියාත්මක කරන්නලු.

ඒ කිව්වේ මෑන්ස්ගෙ අයිඩියා එක වුණේ මුලින් ලියුමක් දීලා ඊට පස්සෙ මූණටම අහන එක. ලියුමත් හැබැයි ලියුමක් කිව්වට පොඩි පොයම් එකක්. මොකද පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසි සාහිත්‍ය පැත්තට ගොඩක් කැමතියි කියලා. ඉතිං පුරුපුරු සුභ මොහොතින් ලස්සන කොලේකුයි ජෙල් පෑනකුයි අරගෙන පොයම් එක ලියන්න පටන් ගත්තලු.

In the garden of roses
There was a red rose...........

ඔය විදිහට තමයි පූසා පොයම් එක පටන් ගත්තේ. හැබැයි දැන්නං මෑන්ස්ට ඒකෙ ඉතුරු ටික මතක නැහැ. කොහොමහරි ඉතිං අන්තිමට බලද්දි ලස්සනට පොයම් එක ලියවිලා තිබුනලු. ඒත් ඉතිං තවමත් ලියපු එක ගැන පුරුපුරුගෙ හිතට හරි නෑ. මොකද ඉතිං දෙන පොයම් එක උපරිම ලස්සනට ලියලා දෙන්න ඕනෙ නොවැ! ඉතිං මෑන්ස් අනිත් දවසෙ ඉස්කෝලෙ යද්දි මේකත් අරගෙන ගියාලු රාජුට කියලා අඩුපාඩු හදාගන්න. මොකද රාජු තමයි ඉස්කෝලෙ හිටපු ඉංග්‍රීසි සාහිත්‍යයට වැඩිම ටැලන්ට් එකක් තිබුන ඩයල් එක.

පොයම් එක බලපු රාජුගෙ අදහස වුණේ ගෑනු ළමයෙක්ට දෙන්න සුදුසු තත්ත්වෙ ඒක තියෙනවයි තියලා. ඉතිං අන්තිමට පුරුපුරු තීරණය කළාලු මේ ලියපු විදිහටම සුදුපූසිට පොයම් එක දෙන්න.

ඊළඟ සෙනසුරාදා දවස උදාවුණේ අපේ පූසාගේ හදගැස්ම ඩබල් ට්‍රිපල් කරමින්. මොකද මේ අවුරුදු ගාන පුරාවටම දැක දැක හිටපු හීනෙ සුදුපූසිගෙ එක වචනෙකින් එදා දවසෙ නැතිවෙන්න පුලුවන්. අනික පුරුපුරුයි සුදුපූසියි අතර අවුරුදු ගානක් තිබුන ෆ්‍රෙන්ඩ්ෂිප් එක පවා නැතිවෙන්න පුලුවන් දවසක් ඒ. ඉතිං ඔය විදිහට අපේ පුරුපුරු අරගෙන තිබුනේ සෑහෙන රිස්ක් එකක්.

සුදුපූසි හැමතැනම ප්‍රසිද්ද වෙලා තිබුනෙ ඉගෙනගන්න එක ගැන විතරක් උනන්දු, කොල්ලො එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක් විදිහට. ක්ලාස් එකේදි වුණත් අනිත් කොල්ලො පුරුපුරුට විහිලු කළේ සුදුපූසි කසාද බැන්දට පස්සෙ කෑමට ලුණු ඇඹුල් දාන්නෙ පිපෙට්ටුවෙන් කියලා. ඉතිං පූසො කට්ටිය ඇතුලු පුරුපුරුගෙ යාලුවො බයේ හිටියේ පුරුපුරු යාලුවෙන්න ඇහුවාට පස්සේ සුදුපූසි මෑන්ස්ව උස්සලා උඩින් විසිකරයි කියලා. ඒත් පූසානං දැනගෙන හිටියා යාලුවෙන්න බෑ කිව්වත් සුදුපූසි කවදාවත් තමන්ට බනින එකක් නෑ කියලා.

කොහොමහරි ඉතිං එදා ක්ලාස් ඉවරවෙලා බස්ටෑන්ඩ් එකට යද්දි සුපුරුදු විදිහට පුරුපුරුයි, සුදුපූසියි කතා කර කර ආවලු. වෙනදා වගේම ඔය කෙමිස්ට්‍රි, ෆිසික්ස් වගේ මාතෘකා තමයි මේ දෙන්නා අතරේ කතා කෙරුනේ. හැබැයි අපේ පූසා නොඉවසිල්ලෙන් හිටියේ කතාවෙ ටොපික් එක මාරු කරන්න පුලුවන් තැනක් එනකං. ඒත් අවාසනාවට රෙදිගොඩ බස් එකට කිට්ටු වෙනකංම සුදුපූසි කියව කියවා හිටියේ අධ්‍යාපනේ ගැනමයි.

ඉතිං පුරුපුරුට තේරුම් ගියාලු මෙහෙම ගියොත්නං අද මේ පොයම් එක සුදුපූසිට දෙන්න වෙන්නෙ නෑයි කියලා. ඒත් ඉතිං මෙච්චර අමාරුවෙන් මහන්සියෙන් ලියපු එක ආපහු ගෙදර අරගෙන යන්න කියලයැ! පූසා අන්තිමට හිතාගත්තලු බෙල්ල ගහලා ගියත් කමක් නෑ සුදුපූසිට පොයම් එක කොහොමහරි දෙන්න ඕනෙයි කියලා. ඉතිං මෑන්ස් අමාරුවෙන් ගේම් එකට එන්ටර් වුණාලු.

පුරුපුරු :- සුදුපූසි, නෙක්ස්ට් වීක් ඔයා ක්ලාස් එනවාද?

සුදුපූසි :- ම්ම්...ඔව්, එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ඇයි මොකද පුරුපුරු?

දැන් ඉතිං පූසා මාලුවෙක් වගේ ගැහෙනවා...

පුරුපුරු :- මේ...මේකයි, මට නෙක්ස්ට් වීක් ඔයාත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනෙ.

සුදුපූසි :- වැදගත් දෙයක්? කමක් නෑ...දැන්ම කියන්න. බස් එක යන්නත් තව ටික වෙලාවක් තියෙනවනේ.

දැන්නං පූසා අන්තෙටම කොර වෙලා ඉන්නේ...

පුරුපුරු :- ම්ම්...නෑ නෑ. අපි ලබන සතියෙම කතා කරමු. ඊට කලින් ඔයා මේ පොයම් එක කියවලා ඉන්නකෝ.

සුදුපූසි :- පොයම් එකක්? මොකක් ගැනද?

පුරුපුරු :- ඔයා කියවලාම බලන්නකෝ. මට පරක්කු වෙනවා. මම එහෙනං යන්නං සුදුපූසි..

සුදුපූසි වචනයක්වත් කියන්න කලින් පුරුපුරු එතනින් ඌර්ධවපාතනය වුණේ ආලෝකයේ ප්රවේගයෙන්.

ඉතිං අපේ පූසා ගෙදර ගිය වෙලාවෙ ඉඳලා කල්පනා කළේ සුදුපූසිගෙ රියැක්ෂන් එක මොකක් වෙයිද කියන එක ගැන. කොටින්ම ඒ සතියෙම පූසාට හරිහැටි කෑමක්, බීමක්, නින්දක් නෑ. පුරුපුරු කළේ ඔහේ උඩ බලාගෙන කල්පනා කර කර හිටපු එක විතරයි. වෙනදා බොහොම ඉක්මනට ගතවෙන සතිය, පුරුපුරු සුදුපූසිට පොයම් එක දුන්න දවසේ ඉඳලා ගතවුණේ ගොලුබෙලි ස්පීඩ් එකෙන්. අන්තිමට ඉතිං සතිය ගෙවිලා ඉවර වෙනකොට පූසා හිටියේ මාසයක් ඩෙංගු හැදිලා හිටපු ගානට වැහැරිලා.

ඊළඟ සෙනසුරාදා පුරුපුරු ලස්සනට ලෑස්ති වෙලා ක්ලාස් එකට ගියත් මෑන්ස්ගෙ හිත තිබුනේ යකාගෙ කම්මල වගේ. වෙනදා වගේ බයෝ සර් උගන්නපු පාඩම් වලට අවධානය යොමු කරන්නත් පුරුපුරුට උවමනාවක් තිබුනේ නෑ. කොහොමහරි ඉතිං අන්තිමේදි පූසා බයෙන් හිටපු මොහොත උදා වුණාලු. ඒ තමයි ක්ලාස් ඉවර වෙලා සුදුපූසිව මුණගැහෙන මොහොත.

ඈතින් ආපු සුදුපූසි පුරුපුරුව දැකලා මෑන්ස් එක්ක හිනා වුණේ වෙනදා වගේම විශේෂත්වයක් පෙන්නන්නෙ නැතුව. ඉතිං සුදුපූසි තමන් එක්ක ෆ්ලවර් ජම්ප් වෙලා නෑ කියලා තේරුම් ගත්තු පුරුපුරුගෙ හිත සෑහෙන දුරට සැහැල්ලු වුණාලු. මුලින්ම කතාව පටන් ගත්තෙත් සුදුපූසිමයි.

සුදුපූසි :- පුරුපුරු, ඔයානං බොහොම හොඳ පොයට් කෙනෙක්. මම කවදාවත් හිතුවෙ නෑ ඔයාට මේ වගේ ලස්සනට ලියන්න පුලුවන් කියලා.

සුදුපූසි මෙහෙම කියද්දි අපේ පූසා ලැජ්ජාවෙන් රතු වුණාලු.

පුරුපුරු :- හික් හික්...බොරු කියන්න එපා. මට එච්චර ලස්සනට ලියන්න බෑ අනේ.

සුදුපූසි :- නෑ නෑ!! ඇත්තටම ඒක ලස්සනයි.

දැන් සුදුපූසි පොයම් එක ගැන කියව කියවා ඉන්නවා මිසක් පොයම් එක දෙන්න හේතුව පුරුපුරුගෙන් අහන්නෙ නෑ. ඉතිං පූසාට සිද්දවුණාලු තමන්ම ඒ කතාබහ පටන් ගන්න.

පුරුපුරු :- ඔයා දන්නවාද, මම ඒ පොයම් එකෙන් ලිව්වේ ඔයා ගැන?

සුදුපූසි :- ආ... ඇත්තද?     

තමන් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ වගේ සුදුපූසි කිව්වලු. ඒ වෙලාවෙ තමයි හිනාවෙන් පිරිලා තිබුන සුදුපූසිගෙ මූණට සීරියස් පෙනුමක් ආවෙ. දැන් ඉතිං උදාවෙලා තියෙන්නෙ ඒ තීරණාත්මක මොහොත. අවුරුදු ගානක් තිස්සේ පුරුපුරු බලාපොරොත්තුවෙන් හිටපු මොහොත.

පුරුපුරු :- ඔව් සුදුපූසි...මම ඔයාට කැමතියි. අද ඊයෙ ඉඳලා නෙවෙයි, ඔයාව දෙක වසරෙදි මුලින්ම දැකපු දවසෙ ඉඳලාම මම ඔයාට කැමතියි. මට මෙච්චර දවසක් මේක ඔයාට කියාගන්න බැරුව හිටියේ. මම ඇත්තටම ඔයාට කැමතියි.

සුදුපූසි හිටියේ හෙනයක් ගහපු පොල් ගහක් වගේ ෂොක් වෙලා. එයා කතා කරන්න උත්සාහ කළත් කටින් කිසිම වචනයක් පිටවුණේ නෑ. පුරුපුරුත් මොනවත් කිව්වේ නැහැ. දෙන්නා අතරෙ ඇතිවෙච්ච සයිලන්ස් එක ටික ටික දික්වෙනකොට අපේ පූසාට දැනුනෙ පුදුම අපහසුවක්. දෙයියනේ! මොකද්ද මම මේ කළේ? පුරුපුරුට මෙහෙම හිතුනලු.

තවත් ටික වෙලාවක් ගිහින් තමයි සුදුපූසි එයාගෙ කටහඬ අවදි කළේ.

සුදුපූසි :- පුරුපුරු.....මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා. ඔයා මගෙ හොඳම යාලුවෙක්. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒත් මෙච්චර ගෑනු ළමයි ඉන්දැද්දි ඇයි ඔයා මගෙන්ම යාලු වෙන්න ඇහුවේ?   

සුදුපූසි බොහොම අමාරුවෙන් හීන් හඬින් ඇහුවලු. දැන් ඉතිං දීපල්ලකො උත්තර!

පුරුපුරු :- මට වෙන ගෑනු ළමයි ඕනෙ නෑ සුදුපූසි. මම ඔයා ගැන පොඩි කාලෙ ඉඳලාම දන්නවා. මම කැමති ඔයාගෙ ලස්සනටත් වඩා ගතිගුණ වලට.

කොහෙ තිබිලද මන්දා පුරුපුරුගෙ කටට වචන ගලාගෙන ආවා. මෑන්ස් ඒවා පාවිච්චි කරලා සුදුපූසිට ගොඩක් වෙලා ටෝකක් දුන්නා. ඒත් මේ ඔක්කොම අහගෙන හිටපු සුදුපූසි අන්තිමේදි කිව්වේ මේ ටික.

සුදුපූසි :- අනේ සොරි පුරුපුරු. ඔයා මගෙ හොඳම යාලුවෙක්. මට ඔයා අහපු දේට හා කියන්න බෑ. මට ඔය වැඩ එක්ක ඉගෙන ගන්න එක කරන්න බෑ. ඔයාටනං එහෙම පුලුවන් ඇති. ඒත් මට එහෙම කරන්න බෑ. මට හොඳට ඉගෙන ගන්න ඕනෙ. අපි දිගටම යාලුවො විදිහට ඉමු. අනේ මාත් එක්ක තරහා වෙන්නනං එපා.

පුරුපුරුට මේ වචන ඇහෙද්දි දැනුනෙ තමන්ගෙ මුලු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ. අවුරුදු ගානක් තිස්සෙ ගොඩනගපු හීන මාළිගා තත්පර ගානෙන් ඉවරයි. ඇස් වලින් කඳුලු එළියට පනින්න වගේ ආවත් පුරුපුරු තමන්ගෙ හිත දැඩි කරගත්තලු. ඒ අමාරුවෙන් තමන්ගෙ මූණෙ හිනාවක් ඇති කරගෙන.

පුරුපුරු :- අපෝ නෑ සුදුපූසි! මම මොකටද ඔයත් එක්ක තරහා වෙන්නෙ. ඔයා සමාව ඉල්ලන්න ඕනෙ නෑ. මම යන්නං.

පුරුපුරු මෙහෙම කියලා හැරුනෙ ආපහු යන්න. එතකොටම තමයි සුදුපූසි ආපහු තමන්ගෙ කටහඬ අවදි කළේ.

සුදුපූසි :- පුරුපුරු, මම වෙන කවුරුවත් එක්ක යාලු වෙන්නෙත් නෑ.

සුදුපූසි එහෙම කිව්වලු. පුරුපුරු කළේ හිනාවෙලා සුදුපූසිගෙන් සමු අරගෙන ආපහු ගිය එක.

මතු සම්බන්ධයි...

Tuesday, August 23, 2011

සුදුපූසි 11 - වෙසක් කාඩ් එක


සුදුපූසි 1                                       සුදුපූසි 6
සුදුපූසි 2                                       සුදුපූසි 7
සුදුපූසි 3                                       සුදුපූසි 8
සුදුපූසි 4                                       සුදුපූසි 9
සුදුපූසි 5                                       සුදුපූසි 10

ඉතිං යාලුවනේ මම කලින් ලිපියෙ කියපු විදිහටම පුරුපුරු තීරණය කළාලු සුදුපූසිට ට්‍රයි කරන්න. පුරුපුරු ටිකක් හොයලා බැලුවත් සුදුපූසිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බවට කිසිම සාක්කියක් හම්බවුණේ නෑ. ඉතිං අපේ පූසාට ගේම් එකට ඇප්‍රෝච් වෙන්න කිසිම බාධකයක් තිබුනෙත් නෑලු.

මේ වෙද්දි පුරුපුරුට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි කොහොමද විදූශාගෙ සීන් එක සුදුපූසිට කියන්නෙ කියන එක. මොකද නිකම්ම ගිහින් ඔය කේස් එක කිව්වොත් එහෙම සුදුපූසි හිතයි පුරුපුරුට පිස්සු කියලා. ඊටත් වඩා අන්තයි “ඉතිං මට මොකද?“ වගේ දෙයක් කිව්වොත්. ඉතිං අන්තිමට පූසා තීරණය කළාලු සුදුපූසිගෙන් යාලුවෙන්න අහලා, ඊටපස්සෙ විදූශා ගැන එයාට කියන්න. ඒත් ඔය යාලුවෙන්න අහන එකත් ගහෙන් ගෙඩි එන්නා වගේ කඩිමුඩියෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නොවැ! ඉතිං ඒ වැඩේ ස්ටෙප් බයි ස්ටෙප් කරන එක තමයි පුරුපුරුගෙ අදහස වුණේ.

මේ වෙද්දි උදාවෙලා තිබුනෙ වෙසක් කාලෙ. ඉතිං හැමතැනම කඩවල් වල වෙසක් කාඩ් වැහි වැහැලා. කොල්ලො කෙල්ලො තරඟෙට වගේ වෙසක් කාඩ් තෝරනවා. ඉතිං මේ සිද්දිය දැක්ක අපේ පුරුපුරුටත් හිතුනලු සුදුපූසිට වෙසක් කාඩ් එකක් දීලාම මේ සුභ කටයුත්තට අත ගහනවා කියලා. ඉතිං මෑන්ස් කළේ එක දවසක් පූස්ගමට කට්ටිය සෙට් වෙච්ච වෙලාවක උපාසක එක්ක කඩේකට ගිහින් වෙසක් කාඩ් තෝරපු එක. හිතට හරියන වෙසක් කාඩ් එකක් අන්තිමට සෙට් වුණත් ඒක මහ අස්ප ගනං. ඒත් ඉතිං මේ වගේ වැඩවලට සල්ලි සල්ලි කියලා බලන්න බෑ නොවැ! අන්තිමට ඉතිං පුරුපුරු අර ලස්සන වෙසක් කාඩ් එක සල්ලි වලට ගත්තලු.

ඒත් ඊටපස්සෙ තවත් ප්‍රශ්නයක්. සුදුපූසියි රසිකායි හැමතිස්සෙම එකටමයි ඉන්නේ. ඉතිං රසිකාට නොදී සුදුපූසිට විතරක් වෙසක් කාඩ් එකක් දෙන එක එච්චර ඇඟට ගුණ නෑ. මොකද රසිකා කියන්නෙ පුරුපුරුගෙ යෙහෙළියක් විතරක් නෙවෙයි, අනාගත සපෝටර් කෙනෙක්. ඉතිං රසිකාවත් ශේප් එකේ තියාගන්න වෙනවා. මෙහෙම කල්පනා කරපු පූසාට සිද්ද වුණාලු රසිකාට කියලා තවත් වෙසක් කාඩ් එකක් ගන්න. හැබැයි ඒක සුදුපූසිට ගත්තු එක තරම් ලස්සන  වුණේ නෑ.

ඊටපස්සෙ පුරුපුරු කළේ සුදුපූසිට ගත්තු කාඩ් එකේ ලස්සන ධාර්මික වැකි, එක එක වැල් වටාරම් එහෙම ලියලා ඒක ලස්සන කරපු එක. රසිකාගෙ කාඩ් එකේනං ලිව්වේ “පුරුපුරු විසින් රසිකා වෙත“ කියලා විතරයි. කොහොමහරි ඊටපස්සෙ තිබුනෙ මේ වෙසක් කාඩ් දෙක යාලුවො දෙන්නාට දෙන වැඩේ. ඉතිං ඊළඟ සෙනසුරාදා බයෝ ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු බලාගෙන හිටියලු සුදුපූසියි රසිකායි එනකං. මේ ක්ලාස්වල ඉන්න ළමයි තොගේ හැටියට එකම ක්ලාස් එකේ ළමයෙක්ව වුණත් අල්ලගන්න එක හරිම අමාරු වැඩක්. ඉතිං පුරුපුරු ගොඩක් වෙලා බැලුවත් අවාසනාවට මේ දෙන්නාව හම්බවුණේ නෑලු.

බැලින්නං එදා පූසාට මේ දෙන්නාව මග ඇරිලා. ටික වෙලාවකින් ඉස්සා තමයි කිව්වේ ගෑනු ළමයි දෙන්නා රෙදිගොඩ බස් එකේ නැගලා ඉන්නවයි කියලා. ඉතිං පුරුපුරු ඉක්මන් ගමනින් බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු. බැලින්නං කතාව ඇත්ත. සුදුපූසියි රසිකායි බස් එකේ වාඩිවෙලා ඉන්නවා. දැන් ඕනෙනං ගිහින් වෙසක් කාඩ් දෙක දෙන්න පුලුවන්. ඒත් බස් එකේ හිටපු සෙනග ඉස්සරහා එහෙම ඇඩ් එකක් වෙන්න පුරුපුරුට තිබුනේ ලොකු ලැජ්ජාවක්. අනිත් අතට මේ සතියෙ දුන්නෙ නැත්තං කාඩ් දෙකෙන් වැඩකුත් නෑ. ඉතිං අන්තිමට වෙසක් කාඩ් එක සුදුපූසිට දෙන්න පූසාට ඉතුරුවුණේ එක ක්‍රමයයි.

පුරුපුරු කළේ වෙසක් කාඩ් දෙක ඉස්සාටයි මැක්නාත්ටයි දුන්න එක. මේ දෙන්නාත් යන්නෙ රෙදිගොඩ බස් එකේ නිසා ශේප් එකේ වෙසක් කාඩ් දෙක ගෑනු ළමයි දෙන්නාට දීගන්න පුලුවන්. ඉතිං කොල්ලො දෙන්නාත් පුරුපුරු තමන්ට පැවරුව වැඩේ උඩින්ම බාරගත්තලු. ඊටපස්සේ බස් එක යන්න පටන් ගන්නකොටම ඉස්සායි මැක්නාතුයි ගිහින් බස් එකට නැග්ගලු. පූසාගේ අවාසනාවට සුදුපූසි ඒ වෙලාවෙවත් පුරුපුරුව දැක්කෙ නෑ.

පහුවදා ඉරිදා දවසෙ උදේම තිබුනෙ රොබට් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් එක. ඔය ක්ලාස් එකට පුරුපුරු වගේම මැක්නාතුත් සහභාගි වෙනවා. ඉතිං පහුවදා උදේ අපේ පූසා ක්ලාස් එකට ගියෙ කලින් දවසෙ මොකද වුණේ කියලා දැනගන්න බොහොම නොඉවසිල්ලෙන්. කොහොමහරි හොඳ වෙලාවට රොබට් සර් එන්න කලින් මැක්නාත් පන්තියට ආවලු. ඒ හින්දා පුරුපුරුට චාන්ස් එක හම්බවුණාලු සුදුපූසිලා වෙසක් කාඩ් දෙක ගත්තු විදිහ ගැන සවිස්තරාත්මක වාර්තාවක් මැක්නාත්ගෙන් අහගන්න.

කොහොමහරි පුරුපුරු වෙච්ච දේ ඇහුවත් මැක්නාත් ඒ ගැන කිසිම දෙයක් කිව්වෙ නැහැ. මෑන්ස් කළේ කට කජුලෙල්ල වගේ හදාගෙන මොනවත් නොකියා හිටපු එක. ඊටත් පස්සෙ මෑන්ස් කළේ බෑග් එක ඇතුලට අත දාලා ලියුම් කවර දෙකක් එළියට ගත්තු එක. බැලින්නං ඒ පුරුපුරු සුදුපූසිටයි රසිකාටයි දෙන්න කියලා දුන්න වෙසක් කාඩ් දෙක. ඉතිං මේ දර්ශනේ දැක්ක ගමන් මොකක්හරි ජෝන්බාස් කේස් එකක් වෙලා කියලා තේරුම් ගන්න පුරුපුරුට කිසිම අපහසුවක් වුණේ නෑ. පස්සෙ බලකරලා මොකද වුණේ කියලා අහද්දි මැක්නාත් කිව්වෙ මෙහෙම දෙයක්.

ඉස්සා බස් එකෙන් බැස්සාට පස්සෙ මැක්නාත් වෙසක් කාඩ් දෙක අරගෙන සුදුපූසිටයි රසිකාටයි දීලා. ඒත් සිද්දවෙලා තියෙන්නෙ මෑන්ස් නොහිතපු දෙයක්.

“පුරුපුරුට මට වෙසක් කාඩ් එකක් දෙන්න ඕනෙනං ඒක එයාම දෙන්න එපායැ. ඇයි වෙන අය අතේ එවන්නෙ? දෙන්න ඕනෙනං එයාටම ඇවිත් දෙන්න කියන්න“

සුදුපූසි පොල්ලෙන් ගහන්නා වගේ මැක්නාත්ට මෙහෙම කිව්වලු. ඉතිං අසරණ මැක්නාත්ට සිද්දවෙලා තියෙන්නෙ වෙසක් කාඩ් දෙකත් ආපහු අරගෙන ගෙදර යන්න. කොහොමහරි ඔය සිද්දිය මැක්නාත් පුරුපුරුට කිව්වාට පස්සෙ පුරුපුරුට ජම්ප් වුණේ නොසෑහෙන ෆ්ලවර් එකක්. ඒ වගේම මෑන්ස්ගෙ හිතට දැනුනේ සුලුපටු වේදනාවක් නෙවෙයි.

“හුහ්! සුදුපූසිගෙ තියෙන ආඩම්බර!!! මෙහෙම එක්කෙනෙක්ට ට්‍රයි කරලා හරියන්නෙ නෑ. අනිත් දවසෙ මම හොඳවයින් දෙකක් කියන්නංකෝ...

පුරුපුරු මෙහෙම හිතුවලු. ඉතිං ඊළඟ සතියේ බයෝ ක්ලාස් එක ඉවරවෙලා රැකගෙන හිටපු පූසා, සුදුපූසියි රසිකායි එද්දි ඒ දෙන්නාට කතා කළාලු.

පුරුපුරු :- සුදුපූසි, ඔයා ඇයි මම දුන්න වෙසක් කාඩ් එක ගත්තෙ නැත්තෙ? ඔයා හරි ආඩම්බරයිනෙ.

සුදුපූසි :- අනේ නෑ පුරුපුරු, ඔයා ඇයි මැක්නාත් අතේ ඒක එච්වෙ? අපි මැක්නාත් එක්ක තරහයිනෙ. ඒකයි වෙසක් කාඩ් දෙක ගත්තෙ නැත්තෙ.

පුරුපුරු :- ඇයි ඔයාලා මැක්නාත් එක්ක තරහා?

ඊටපස්සෙ තමයි සුදුපූසියි රසිකායි පුරුපුරුට මැක්නාත් එක්ක තරහ වෙච්ච කාරණේ කිව්වේ. ඉස්සර ඕ ලෙවල් කාලෙ රසිකායි මැකුයි ගිහින් තියෙන්නෙ එකම විද්‍යාව පන්තියකට. ඒ දවස්වල මැක්නාත් නිතරම රසිකාව අනවශ්‍ය විදිහට බයිට් කරනවලු. ඉතිං රසිකා මැක් ගැන හිතාගෙන ඉඳලා තියෙන්නෙ මහා අසමජ්ජාතියෙක් විදිහට. ඒ මදිවාට සුදුපූසිටත් ඔය සිද්දිය කියලා. ඉතිං අන්තිමට සුදුපූසිගෙ හිතෙත් මැක්නාත් ගැන තිබිලා තියෙන්නේ බොහොම නරක හැඟීමක්. ඒකයි මේ දෙන්නා මැක්නාත් ගෙනත් දුන්න වෙසක් කාඩ් අරගෙන නැත්තෙ.

මේ කාරණේ කියපු සුදුපූසි ආපහු තමන්ගෙ කටහඬ අවදි කළාලු.

සුදුපූසි :- පුරුපුරු, සොරි ඔයාගෙ වෙසක් කාඩ් එක ගත්තෙ නැතුවාට. මමත් ඔයාට වෙසක් කාඩ් එකක් ගෙනාවා.

මෙහෙම කියපු සුදුපූසි, ලියුම් කවරෙක දාපු වෙසක් කාඩ් එකක් පුරුපුරුට දුන්නාලු. පුරුපුරුත් ඉතිං මැක්නාත් අතේ ආපහු එවපු වෙසක් කාඩ් එක සුදුපූසිට ආපහු දුන්නාලු. මෑන්ස් ආපහු ගිහින් කවරේ ඇරලා බලද්දි ඇතුලෙ තිබුනේ ලස්සනම ලස්සන වෙසක් කාඩ් එකක්. ඉතිං මේක දැකපු අපේ පුරුපුරුගෙ හිතේ තිබුන දුක, තරහා ඔක්කොම හැඟීම් නැතිවෙලා ගිහින් හිත සතුටින් පිරෙන්න ගතවුණේ තත්පරෙන් දාහෙන් පංගුවයි.

පස්සෙ කාඩ් එක ඇරලා බැලින්නං සුදුපූසි වැඩිය මොනවත් ලියලා තිබුනෙ නෑ. ඒත් වෙසක් කාඩ් එකක ලියන්න ඕනෙ අත්‍යාවශ්‍යම දේවල් ඒකෙ ලියලා තිබුනා. දැනට ඉතිං ඒකත් මදෑ...එහෙම හිතපු පුරුපුරු හිත හදාගත්තලු. මෑන්ස්ගෙ සතුට දෙගුණ තෙගුණ වුණේ රසිකා පුරුපුරුට වෙසක් කාඩ් එකක් නොදුන්න නිසා. පූසා හිතුවේ සුදුපූසිගෙ හිතේ තමන් ගැන විශේෂයක් තියෙන බව ඒකෙන් ඔප්පු වෙනවයි කියලා.

ඔය විදිහට තවත් ටික කාලයක් ගතවුණේ එච්චරම විශේෂ දෙයක් පුරුපුරුගෙ ජීවිතේ ඇති නොකරමින්. මේ කාලෙ හැමදාම බයෝ ක්ලාස් ඉවරවෙලා සුදුපූසිත් එක්ක කතා කරන එක පුරුපුරු පුරුද්දක් කරගෙන තිබුනේ. ඒත් ඒ කතාබහ යාලුකමේ ලිමිට් එකෙන් එහාට ගෙනියන්න මෑන්ස්ට පුලුවන්කමක් ලැබුනෙ නෑ.

ඔය අතරේ තමයි රසිකා මලින්ද කියලා කොල්ලෙක් එක්ක යාලු වුණේ. මෑන්ස් මරියකඩේ ඉස්කෝලෙට ගිය පුරුපුරුලාගෙ වයසෙම කොල්ලෙක්. ඉතිං මේ වැඩෙන් වුණේ ක්ලාස් ඉවරවෙලා පුරුපුරුට සුදුපූසිව තනියම අල්ලගන්න චාන්ස් එක ලැබිච්ච එක. මොකද ගොඩගියාට පස්සේ රසිකා ක්ලාස් ඉවරවෙලා සුදුපූසිත් එක්ක යන්නේ නැතුව මලින්දත් එක්ක යන්න පුරුදු වුණාලු. ඉතිං මේ වැඩෙන් අපේ පුරුපුරුට වුණේ කියාගන්න බැරිතරමේ වාසියක්ලු.

ඉස්සර රසිකාත් හිටපු කාලෙ පූසාට සුදුපූසි එක්ක කතා කරන්න සිද්ද වුණේ බොහොම රාජකාරි මට්ටමින්. ඒත් දැන් ඉස්සර වගේ නෙවෙයි, පුරුපුරුට සුදුපූසි එක්ක ඕනෙ දෙයක් නිදහසේ කතා බහ කරන්න පුලුවන්. මේ වෙද්දි 2005 අවුරුද්දත් උදාවෙලයි තිබුනේ. ඉතිං අන්තිමට, අවුරුදු එකොළහකට පස්සේ පුරුපුරු තීරණය කළාලු සුදුපූසිගෙන් යාලුවෙන්න අහන්න.

Monday, August 22, 2011

සුදුපූසි 10 - නැවත හමුවීම



සුදුපූසි 1                                       සුදුපූසි 6
සුදුපූසි 2                                       සුදුපූසි 7
සුදුපූසි 3                                       සුදුපූසි 8
සුදුපූසි 4                                       සුදුපූසි 9
සුදුපූසි 5

දැන් මම මේ කියන සිද්ද ටික සිද්ද වෙන්නෙ කලින් කියපු විදූශාගෙ කේස් එකෙන් පස්සෙ. මේ වෙද්දි අපේ පුරුපුරු විදූශා තමන්ට දුන්න සුපිරි ගේම් එක හින්දා ෆුල් අප්සෙට් එකේ හිටියෙ. කොටින්ම මේ වෙනකොට පූසාගේ අධ්‍යාපන කටයුතු පවා සැලකිය යුතු මට්ටමකින් ඩවුන් වෙලයි තිබුනේ. මොකද කොච්චර නොහිතා ඉන්න උත්සාහ කළත්, විදූශා ගැන ජම්ප් වෙන ෆ්ලවර් එකෙන් නිතරම පුරුපුරුගෙ හිත පිරෙමින් තිබුනු කාලයක් ඒක.


ඉතිං ඔය විදිහට තවත් සෙනසුරාදා දවසක් උදාවුණේ විදූශාගේ කේස් එක වෙලා සති කීපයක් ගතවුණාට පස්සේ. සෙනසුරාදා කියන්නෙ කොහොමත් ඒ ලෙවල් ළමයින්ට බිසී දවසක් නොවැ! ඉතිං අපේ පුරුපුරුටත් එදා උදේ කෙමිස්ට්‍රි ක්ලාස් එකකුයි, හවස බයෝ ක්ලාස් එකකුයි තිබුනලු. සාමාන්‍යෙයන් කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වෙලා බයෝ එක පටන් ගන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා. ඉතිං ලන්ච් එක අරගෙන ඉවරවෙලා පොඩි රස්තියාදු පාරක් දාන්නත් පුරුපුරුලා අමතක කරන්නෙ නෑ.


ඔය බයෝ ක්ලාස් එකට පූසන්ගෙන් ගියෙ පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි විතරයි. මොකද ඤාව්වායි, උපාසකයි කළේ මැත්ස්නෙ. එදා කොහොමහරි මී කතුරා ක්ලාස් ආවෙ නෑ. මේ වෙද්දි චාටර්මාලිට හනී රෝඩ් එක දැමීම පුරුද්දක් කරගත්තු මාලුකට්ටා අල්ලන එක කොහොමත් පොසිබල් වැඩක් වුණේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු කරන්නත් හරිහමං වැඩක් හිතාගන්න බැරුව ඕහේ බයෝ ක්ලාස් එක පැත්තට ඇදුනාලු.


බයෝ ක්ලාස් එකට යද්දි තමයි හම්බවෙන්නෙ සුප්‍රසිද්ද ගම්පහ මගී පාලම. එකෙන් තමයි ස්ටේෂන් එකේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු වෙන්නේ. ගම්පහ කොල්ලො කෙල්ලො ඕකට කිව්වෙ ගාඩර් එක කියලා. ඉතිං කරන්නත් වැඩක් නැති එකේ පූසා කළේ ගාඩර් එක උඩට වෙලා රේල් පාර දිහා බලාගෙන හිටපු එක. ගාඩර් එක උඩින් හැමතිස්සෙම කපල් ගොඩක් එහා මෙහා යනවා. ඒ හැමෝම වගේ ගම්පහ ක්ලාස් එන ටියුෂන් ළමයි. ඉතිං හැමදාම දැකලා පුරුදු මේ දර්ශනේ දිහා පුරුපුරු වැඩිය උනන්දුවෙන් බැලුවෙ නෑ.


ඊටපස්සෙ අපේ පූසා බයෝ ක්ලාස් එකට යන්න හදද්දි තමයි එකපාරටම දැකලා පුරුදු මූණු දෙකක් මෑන්ස්ට මීටර් වුණේ. ටිකක් හොඳට බලද්දි තමයි පුරුපුරුට මීටර් වුණේ එක මූණක අයිතිකාරි රසිකා කියලා. ඒ එක්කම පූසාට මීටර් වුණාලු රසිකා එක්ක හිටපු අනිත් කෙනාගෙ මූණත්. දෙයියනේ! සුදුපූසි...


අවුරුදු හයක් නොදැක හිටියත් පුරුපුරුට සුදුපූසිව අඳුරගන්න තත්පර හයක්වත් ගතවුණේ නෑ. පුරුපුරු කවදාවත් හිතුවෙ නෑ ගම්පහ ගාඩර් එක උඩදී තමන්ට සුදුපූසිව ආපහු මේ විදිහට හම්බවෙයි කියලා. ඒ තියා සුදුපූසිව ජීවිතේටම ආපහු දැකගන්න පුලුවන් වෙයි කියලාවත් පුරුපුරු කවදාවත් හිතුවේ නෑ. ඉතිං මේ බලාපොරොත්තු විරහිත හමුවීමෙන් අපේ පූසා එකතැනම ගල්ගැහුනලු.


සුදුපූසි ඉස්සර වගේම ලස්සනයි. ඉස්සරටත් වඩා සුදුයිද කොහෙද. කැපී පෙනෙන වෙනසකට සිද්දවෙලා තිබුනෙ සුදුපූසිගෙ ලස්සන ඇස් වලට උඩින් ලස්සන ස්පෙක්ස් දෙකක් ඇවිත් තිබුන එක.


දැන් පුරුපුරුට හිතාගන්න බෑ මොනවද කරන්න ඕනෙ කියලා. මෑන්ස්ට ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නත් ඕනෙ. ඒත් හිත හදාගෙන කතා කරන්නත් බෑ. මොකද මේ වෙද්දි පුරුපුරු වෙන ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා ඒ සම්බන්දෙත් ජෝන් බාස්ට යවාගත්තු අසාර්ථක පූසෙක්. ෂුවර් එකටම සුදුපූසි ඒ ගැන දන්නෙ නැතුව ඇති. ඒත් රෙද්දක් ඇඳගෙන ගිහින් සුදුපූසිත් එක්ක කතා කරන්නෙ කොහොමද?


මෙහෙම කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු සුදුපූසියි රසිකායි තමන්ව දකින්න කලින් එතනින් ශේප් වෙන්න. ඇත්තටම මෑන්ස්ට පොඩි හරි බයක් තිබුනේ රසිකා තමන්ව අඳුරගනියි කියලා. මොකද අවුරුදු හයකින් තමන්ව නොදැක්ක සුදුපූසිට, තමන්ව අඳුරගන්න පුලුවන් වෙයි කියලා අපේ පූසා කොහොමටවත් හිතුවේ නෑ. කොහොමහරි එතකොට තමයි පුරුපුරුට තේරුණේ තීරණය ක්‍රියාත්මක කරන්න තමන් පරක්කු වැඩියි කියලා. මොකද ඒ වෙනකොටත් සුදුපූසියි රසිකායි මෑන්ස්ගෙ ළඟටම ඇවිල්ලා.


ඊටපස්සේ පුරුපුරුට සිද්දවුණේ මොනවත් හිතාගන්න බැරුව හිටිය තැනම නවතින්නලු. එතකොටත් සෑහෙන්න සම්භාවිතාවක් තිබුනේ ගෑනු ළමයි දෙන්නා පූසාව අඳුරගන්නෙ නැතුව මෑන්ස්ව පාස් කරලා යන වැඩේට. ඒත් හිතපු නැති විදිහට පුරුපුරු ළඟින් යද්දි සුදුපූසි මෑන්ස් හිටපු පැත්ත බැලුවලු. එතකොට තමයි පූසා කවදාවත් හිතපු නැති විදිහට සුදුපූසි එකතැනම නතර වුණේ. බැලින්නං සුදුපූසිත් පුරුපුරුව එකපාරටම අඳුරගෙන.


සුදුපූසි :- පුරුපුරු!!! ඔයා පුරුපුරු නේද? (එහෙම ඇහුවත් මේ වෙද්දි අඳුරගෙන ඉවරයි)


පුරුපුරු :- සුදුපූසි!!! ඔයාව දැකපු කල්!!! කොහොමද ඉතිං? අවුරුදු ගානකට පස්සෙනෙ ඔයාව දැක්කෙ.


සුදුපූසි :- වරදක් නෑ පුරුපුරු. මට ඔයාගෙ ඕ ලෙවල් රිසාල්ට් එහෙමත් ආරංචි වුණා. ඔයාට කොහොමද? කොහෙද ක්ලාස් යන්නෙ?

පුරුපුරු :- මම මේ උපාලිස් සර්ගෙ ක්ලාස් එකට යන ගමන්. ඔයාලා?

සුදුපූසි :- ආනේ...අපිත් මේ ඒ ක්ලාස් එකට තමයි යන්නේ. අද තමයි මුලින්ම ක්ලාස් එකට යන්නේ. ක්ලාස් එක තියෙන තැන හරියට දන්නෙත් නෑ අපි.


පුරුපුරු :- ආ..ඇත්තද? එන්න මම ඔයාලාව එක්කගෙන යන්නං.

මෙහෙම කියපු පූසා සුදුපූසිවයි, රසිකාවයි එක්කගෙන බයෝ ක්ලාස් එකට ගියාලු. ඒ යන අතරමගදි වෙලාව ලැබුන විදිහට ආගිය තොරතුරු, සැප සනීප, අධ්‍යාපනික තොරතුරු වගේ බේසික් ඉන්ෆොමේෂන් ටිකක් හුවමාරු කරගන්නත් කට්ටියට පුලුවන් වුණාලු. හොඳ වෙලාවට මේ වෙද්දි සුදුපූසි, අර පුරුපුරු පොල්ල තිබ්බ වැඩේ සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුනේ. ඒ වගේම හොඳ වෙලාවට සුදුපූසි විදූශාගෙ සීන් එක දන්න බවක් පෙනුනෙත් නෑ.

කොහොමහරි එදා ක්ලාස් එකේදි අපේ පූසා හිටියේ සෑහෙන්න අවුල් වෙච්ච හිතකින්. සුදුපූසිව දැක්ක මොහොතේම පුරුපුරුගෙ හිතේ යටපත් වෙලා තිබුන හැඟීම් ඔක්කොම බෝම්බයක් පිපිරුවා වගේ එළියට ආපු බවට මෑන්ස්ට කිසිම සැකයක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දි පරක්කු වැඩියි. පූසා විදූශා එක්ක යාලුවෙලා හිටපු බව දැනගත්තොත් සුදුපූසි කවදාවත් මෑන්ස් එක්ක යාලුවෙන එකක් නෑ. ඇරත් මේ වෙද්දි සුදුපූසිටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියලා දන්නෙත් නෑ නොවැ!

අනික මේ ක්ලාස් එකේදි සුදුපූසිට විදූශා ගැන දැනගන්න තියෙන හැකියාව සෑහෙන්න වැඩියි. මොකද විදූශා බයෝ වලට ආවෙත් මේ ක්ලාස් එකට. ඒ හින්දා පුරුපුරු මේ වෙද්දි හිටියෙ ක්ලාස් එක පෙන්නන්න බැරුව. ඉතිං සුදුපූසිට ට්‍රයි කරන වැඩේ ආපහු පටන් එක එච්චර නුවණට හුරු නැති වැඩක් විදිහට තමයි පූසාට පෙනුනෙ. ඒත් ඉතිං ලව් කරන්න ඕනෙ වුණාම කොහේද බ්‍රේක් නේද? ඉතිං එදා හවස ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එකට ගියෙ සුදුපූසියි රසිකායි එක්ක පොඩි චැට් එකක් දාගෙන.

ගම්පහ ප්‍රධාන බස්ටෑන්ඩ් එකේ පූස්ගම බසුයි, රෙදිගොඩ බසුයි නවත්තන්නේ එක ළඟ. ඉතිං පුරුපුරුට චාන්ස් එක ලැබුනාලු බස් එක ළඟට යනකංම සුදුපූසිත් එක්ක කතා කර කර යන්න. හැබැයි ඉතිං පොඩිකාලෙ වගේ නෙවෙයි, ඒ වෙද්දිනං සුදුපූසි ගොඩක් ලැජ්ජාවෙන් තමයි පුරුපුරු එක්ක කතා කළේ. ඉස්සර කතුර වගේ ක්‍රියාත්මක වෙච්ච සුදුපූසිගෙ කට මේ වෙද්දි හිතාගන්නවත් අමාරු විදිහට කොන්ට්‍රෝල්පිට තිබුනේ.


කොහොමහරි එදා ගෙදර යද්දි අපේ පුරුපුරු තීරණය කරලා ඉවරයි ආපහු සුදුපූසිට ට්‍රයි කරන්න. හැබැයි ඒ සුදුපූසිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තං විතරයි.

Saturday, August 20, 2011

සුදුපූසි 9 - අපරාධය සහ දඬුවම


සුදුපූසි 1                                       සුදුපූසි 5
සුදුපූසි 2                                       සුදුපූසි 6
සුදුපූසි 3                                       සුදුපූසි 7
සුදුපූසි 4                                       සුදුපූසි 8
මේ කතාව පල කරන්න හිටියේ ඊයේ රෑ වුණත් මගේ ඉන්ටර්නෙට් කොනෙක්සනය අමානුෂික ලෙස කපා හැරීම නිසා කතාව පල කරන එක පැය ගානක් පරක්කු වුණා. එහෙනං යාලුවනේ අපි කෙලින්ම කතාවට යමු නේද?

ඉතිං අපි කිව්වා නොවැ බස් එකේදි පුරුපුරුට රසිකාව හම්බවෙච්ච හැටි. මේ වෙද්දි පුරුපුරු අන්තිම වතාවට රසිකාව දැකලා අවුරුදු කීපයක් වෙනවා. රසිකාත් එහෙමයි. රසිකා දැන් ඉස්සර හිටිය පොඩි දැරිවි නෙවෙයි. ඉතිං ඒ හින්දා අපේ පූසාට රසිකාව අඳුරගන්න ටිකක් වෙලා ගියා. ඒත් සුදුපූසි ගැන ඉන්ටෙල් දැනගන්න තියෙන හොඳම මාර්ගය රසිකා කියලා ක්ලික් වෙච්ච ගමන්ම එයාත් එක්ක කතා කරන්න පුරුපුරු පසුබට වුණේ නෑලු.

පුරුපුරු :- ආ...රසිකා කොහොමද? ක්ලාස් යනවද?

රසිකා :- ආනේ...පුරුපුරු...කොච්චර කාලෙකින්ද? කොහොමද ඔයාට? මම ගම්පහ ක්ලාස් යනවා. ඔයත් ක්ලාස් නේද?

පුරුපුරු :- ඔව්... මමත් ගම්පහ තමයි යන්නේ. ඉතිං කොහොමද අලුත් තොරතුරු?

ඉතිං මෙහෙම පටන්ගත්ත පුරුපුරුගෙයි රසිකාගෙයි කතා බහ දිගට ඇදිලා යන්න පටන් ගත්තලු. දෙන්නාගේ අලුත් තොරතුරු, ඉස්කෝලවල තොරතුරු, බයිට් කිරීම් වලින් එහෙම පස්සේ අපේ පූසාට පුලුවන් වුණාලු කතාබහ තමන්ගේ බලාපොරොත්තු සහගත ටොපික් එකට මාරු කරන්න.

ඊටපස්සේ ඉතිං දෙන්නා කතා කළේ සුදුපූසි ගැන. ඇත්තටම ඉස්සාගෙන් අවුරුදු ගානක් තිස්සේ දැනගන්න බැරිවුණු තොරතුරු ගොඩක් පුරුපුරුට දැනගන්න පුලුවන් වුණේ රසිකාගෙන්. රසිකා කියපු විදිහට සුදුපූසි හය වසරේ ඉස්කෝලෙට ගියදා ඉඳන්ම නැවතිලා ඉඳලා තියෙන්නේ ඉස්කෝලෙ හොස්ටල් එකේ. මේ කාලෙට අවුරුද්දකට විතර කලින් සුදුපූසිට අසනීප වෙලා හොස්පිට්ල් එකේ නවත්තලත් හිටියලු. කොහෙද ඉතිං? ඒ කාලෙ දැනගත්තනං බලන්න යන්න හරි තිබුනා නොවැ!

අන්තිමට ඉතිං බහින්න කිට්ටු වෙලා අපේ පුරුපුරු රසිකාගෙන් ඉල්ලුවලු සුදුපූසිගෙ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක. ඒ කාලෙ ඉතිං දැන් වගේ මොබයිල් ෆෝන්, මූණුපොත වගේ දේවල් තිබ්බනං මෙච්චර කට්ටක් කන්න ඕනෙ වෙන්නෙ නෑ. ඒත් ඉතිං ඒ කාලෙ හැටියට ලෑන්ඩ් ෆෝන් එක කියන්නෙත් දියුණු සන්නිවේදන උපකරණයක්නෙ. කොහොමහරි ඉතිං රසිකා හොඳට කල්පනා කරලා, හිතලා මතලා අන්තිමට තීරණය කළාලු පුරුපුරුට සුදුපූසිගෙ නොම්මරේ දෙන්න.

ඒ වගේම සතියෙ දවස්වල නැතුව වීක් එන්ඩ් එකේ විතරක් සුදුපූසිට කෝල් කරන්න කියන්නත් රසිකා අමතක කළේ නෑ. මොකද සුදුපූසි කලාතුරකින් හරි ගෙදර එනවනං එන්නේ වීක් එන්ඩ් එකේ තමයි. කොහොමහරි ඉතිං එදා අපේ පූසාට රජ මගුල් වගේලු. ඇයි ඉතිං මෑන්ස්ට කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු වටිනා සම්පතක් ලැබුනා නොවැ! ඔය විදිහට ඊළඟ සෙනසුරාදා වෙනකං අපේ පූසා කල් ගතකළේ බොහොම නොඉවසිල්ලෙන්. ඒ වෙන මොකටවත් නෙවෙයි, සුදුපූසිට කෝල් එකක් දෙන්න.

කොහොමහරි ඉතිං ඔය විදිහට සෙනසුරාදා දවසත් උදා වුණාලු. ගෙදර කවුරුවත් නැති වෙලාවක් බලලා අපේ පූසා හොර පූසෙක් වගේ ගෙදර ෆෝන් එක ළඟටත් ගියාලු. ඒත් මෑන්ස්ට බයේ බෑ සුදුපූසිගෙ ගෙදරට කෝල් එකක් දෙන්න. හැබැයි කෝල් එකක් දුන්නෙ නැත්තං පුරුපුරුට සුදුපූසිත් එක්ක කතා කරන්න වෙන්නෙ නෑ. ඉතිං බයෙන් වුණත් අන්තිමට පූසා තීරණය කළාලු මේ කෝල් එක ගන්න. ඊටපස්සෙ ෆෝන් එකේ රිංග්ස් යද්දිනං මෑන්ස් හිටියෙ ෆුල් නස්තාර් වෙලා. 

ඔය විදිහට හත් අට පාරක් රිංග්ස් යද්දි එහා පැත්තෙන් ෆෝන් එක ඉස්සුවලු. මේ වෙද්දි පුරුපුරු දෙයියන්ට කිය කියා හිටියේ අනේ සුදුපූසිම ෆෝන් එක ගන්න කියලා. ඒත් දෙවියෝ අපේ පූසාගේ කන්නලව්වට ඇහුම්කන් දුන්නේ නෑ. අන්තිමේදි රිසීවර් එක ඉස්සුවේ මහා ගොරහැඩි කටහඬක් තියෙන පිරිමියෙක්. 

හෙලෝව්...

පුරුපුරුට හිතුනලු මේ නම් සුදුපූසිගෙ තාත්තා වෙන්න ඕනෙ කියලා. ඉතිං අනාගත මාමණ්ඩි කෝල් එක ආන්සර් කරපු හින්දයි, මෑන්ස්ගෙ තිබ්බ ගොරහැඩි වොයිස් එක හින්දයි අපේ පූසාගේ කකුල් දෙක මැන්ඩලීන් ගහන්න පටන් ගත්තලු. බයේ කරන්න දෙයක් හිතාගන්න බැරිවුණ පුරුපුරු කළේ වහාම කෝල් එක කට් කරපු එක. ඇයි ඉතිං මෑන්ස් කටහඬ වගේම සැර වස නපුරෙක්නං එහෙම?

පුරුපුරු කෝල් එක කට් කරපු මොහොතේ ඉඳලා හිටියේ බොහොම හිත් අවුලෙන්. දැන් මෑන්ස්ට සුදුපූසිට කතා කරන්නත් ඕනෙ. ඒත් කෝල් එක ආන්සර් කරන්නේ සුදුපූසිගෙ තාත්තා. ඉතිං ඔය විදිහට ඊට පස්සෙත් වීක් එන්ඩ් කීපයකම පුරුපුරු සුදුපූසිගෙ ගෙදරට කෝල් කළත් සිද්දවුණේ අර කලින් කියපු සිද්දියමයි. කොහොමත් මේ වෙද්දි පුරුපුරුට තේරුම් ගිහින් තිබුනේ සුදුපූසි කෝල් එක ආන්සර් කළත් එයාට කතා කරන්න වෙන්නේ ගෙදර කට්ටිය ඉස්සරහා කියලා. එහෙම වුණොත් පුරුපුරුටත් වඩා අපහසුතාවයට පත් වෙන්නේ සුදුපූසිව. ඉතිං අන්තිමට පුරුපුරු තීරණය කළාලු සුදුපූසිට කෝල් නොකර ඉන්න. 

දැන් කියවන යාලුවන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඇයි මේ පූසාට කෙලින්ම සුදුපූසිගෙ තාත්තාත් එක්ක කතා කරලා සුදුපූසිට ෆෝන් එක දෙන්න කියන්න බැරිවුණේ කියලා. මතක තියාගන්න තවම අපේ පුරුපුරු ඉන්නේ නවය වසරේ. ඉතිං ඒ වගේ නිර්භීත වැඩක් කරන්න තරම් ගටක් ඒ වෙද්දි මෑන්ස්ට තිබුනෙ නෑ.

කොහොමහරි ඉතිං ඊළඟ අවුරුද්දත් පූසා ගෙවලා දැම්මේ සුදුපූසි ගැන හොයන්න ගත්තු අසාර්ථක උත්සාහයන් කීපයක් එක්ක. මේ වෙද්දි පුරුපුරු හිටියේ හොස්ටල් එකට ඇතුල්වෙලා. අපේ හොස්ටල් කතා කියවපු යාලුවො දන්නවා ඇතිනෙ තාරබාසුව. ඉතිං මේ තාරබාසු නිසා තමයි පුරුපුරුට සුදුපූසි එක්ක කතා කරන්න ඊළඟ චාන්ස් එක ආවෙ.

තාරබාසු කියන්නෙ රුවන්පුරේ කොල්ලෙක්. ඉතිං මෑන්ස්ට සුදුපූසිගෙ ඉස්කෝලෙ ගොඩක් යෙහෙළියො හිටියා. කොටින්ම මෑන්ස් ඉස්සර යාලු වෙලා හිටපු ගෑනු ළමයාත්, ඒ වෙද්දි යාලු වෙලා හිටපු ගෑනු ළමයාත් දෙන්නාම හිටියේ ඒ ඉස්කෝලෙ. ඉතිං අපේ පූසා තීරණය කළාලු සුදුපූසි ගැන තොරතුරු දැනගන්න තාරබාසුගෙන් විදේශ ආධාර ගන්න. තාරබාසුත් ඉතිං මේ වගේ වැඩවලට ෆුල් සප් එක දෙන ඩයල් එකක්. මෑන්සුත් ඉතිං උඩින්ම කැමති වුණාලු පුරුපුරුට ආධාර කරන්න.

ඊට දවස් කීපෙකට පස්සෙ තාරබාසු පූසාට කිව්වේ කනට මී පැණි වක්කරනවා වගේ කතාවක්. බැලින්නං සුදුපූසි තාරබාසුගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ හොඳම යාලුවෙක්ලු. ඔය විදිහට තමයි අන්තිමේදි පුරුපුරුට සුදුපූසිත් එක්ක කොමියුනිකේට් කරන්න මාර්ගයක් පෑදුනේ.

අන්තිමේදි ඉතිං අවුරුදු ගානක උත්සාහයකින් පස්සෙ පුරුපුරුයි සුදුපූසියි පණිවිඩ හුවමාරු කරන්න පටන් ගත්තලු. අවුරුදු ගානකට පස්සේ අන්තිමට පුරුපුරුගෙ හිතට සැනසීමක් දැනුනලු. ඔය පණිවිඩේ හුවමාරු වුණේ මෙහෙමයි. පුරුපුරු මෑන්ස්ට කියන්න ඕනෙ දේ තාරබාසුට කියනවා. තාරබාසු ඒක මෑන්ස්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් අන්තිමට ඒක සුදුපූසිට කියනවා. ආපහු පණිවිඩේ එන්නෙත් ඒ රූට් එකේමයි.

මේ පණිවිඩේ යවද්දි ලියුම් වල ලියලා යවන්න ඕනෙ කියලා අපේ පූසාට අනන්තවත් හිතුනත්, සුදුපූසි වැරදියට(හරියට) තේරුම් ගනී කියලා පුරුපුරු එහෙම කළේ නෑ. මොකද මෑන්ස්ට ඕනෙ වුණේ මුලින්ම අවුරුදු ගානක් තිස්සෙ නැවතිලා තිබුණ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ආපහු ගොඩගන්න. ඊටපස්සෙ තමන්ගෙ හිතේ තියෙන දේ සුදුපූසිට කියන්න තමයි පුරුපුරුට ඕනෙ වුණේ. නැත්තං ගහෙන් ගෙඩි එන්නා වගේ මුලින්ම තමන්ගෙ කැමැත්ත සුදුපූසිට ඇඟෙව්වොත්, සුදුපූසිගෙ හිතේ තමන්ට කැමැත්තක් නැත්තං එහෙම දෙන්නා අතරෙ තියෙන යාලුකම පවා නැතිවෙනවායි කියලා මෑන්ස් තේරුම් අරගෙන හිටියේ.

ඉතිං ඔය විදිහට ටික දවසක් පණිවිඩ යැව්වට පස්සෙ තමයි පුරුපුරු සුදුපූසිට කිව්වේ, මෑන්ස්ට සුදුපූසිට කෝල් කරන්න ඕනෙයි කියලා. ඒත් සුදුපූසි කැමතිවුණේ නෑ එයාගෙ ගෙදරට පුරුපුරු කෝල් කරන එකට. ඉතිං තමන්ගෙ නම්බර් එක දෙන්න බෑ කියලා පණිවිඩයක් එවපු සුදුපූසි, ඒ වෙනුවට පුරුපුරුගෙ ගෙදර නම්බර් එක ඉල්ලලා තිබුනා කෝල් එකක් දෙන්න. මේ වෙද්දි රසිකාගෙන් සුදුපූසිගෙ නම්බර් එක ඉල්ලගත්තු වග පුරුපුරු වගේම රසිකාත් සුදුපූසිට කියලා තිබුනේ නෑ.

ඉතිං පුරුපුරුත් තමන්ගෙ ගෙදර නම්බර් එක තාරබාසු අතේ සුදුපූසිට යවලා කිව්වලු සෙනසුරාදාට කෝල් එකක් දෙන්න කියලා. ඒ සෙනසුරාදා දවසම ගෙදර ෆෝන් එක මුරකරන අදහස හිතේ තියාගෙන. ඒත් ඊටපස්සෙ සිද්දවුණේ අවාසානාවන්ත වැඩක්. මේ වෙද්දි අපේ පූසා හිටියේ එකොළහ වසරේ මැද. ඉතිං හොස්ටල් එකේ තිබුන වැඩකට හරි, ක්ලාස් එකක වැඩකට හරි මොකක් හරි අත්‍යාවශ්‍ය වැඩකට අපේ පූසාට ඒ සතියෙ ගෙදර නොගිහින් හොස්ටල් එකේ නවතින්න සිද්ද වුණාලු. වැඩේ මොකද්ද කියලානං පුරුපුරුට හරියටම දැන් මතක නෑ. ඒත් එකෙන් වුණේ සුදුපූසි කෝල් කරද්දි ඒක ආන්සර් කරන්න පුරුපුරුට ගෙදර යන්න බැරිවෙච්ච එක.

පස්සෙ ආරංචි වෙච්ච විදිහට කලින් කියපු විදිහටම සුදුපූසි එදා පුරුපුරුලාගේ ගෙදරට කතා කරලා. ෆෝන් එක ආන්සර් කරලා තියෙන්නේ පුරුපුරුගෙ තාත්තා. ඉතිං කවුද කතා කරන්නේ කියලා පූසාගේ පියා ඇහුවාට පස්සේ පුරුපුරු අර කලින් බයවුණා වගේම සුදුපූසිත් හොඳටම බයවෙලා. ඊටපස්සේ එයා කතා කරන්නැතුව ෆෝන් එක තියලා. පස්සෙ සුදුපූසිට ආරංචි වෙලා පුරුපුරු එදා ගෙදර යන්නෙ නැතුව හොස්ටල් එකට වෙලා හිටියයි කියලා.

ඊටපස්සෙ සුදුපූසි හිටියේ පුරුපුරු එක්ක තරහා වෙලා වගේ. පුරුපුරු යවන පණිවිඩ වලටවත් සුදුපූසි රිප්ලයි කළේ නෑ. ඒ පූසා තමන්ට පොල්ල තිබ්බ නිසා වෙන්න ඇති. කොහොමහරි ඉතිං ඔය සිද්දියෙන් පස්සෙ පුරුපුරු කොච්චර ට්‍රයි කළත් සුදුපූසිව ආපහු යාලු කරගන්න පුලුවන් වුණේ නෑලු. අන්තිමේදි පුරුපුරු තේරුම් ගත්තලු තමන්ට සුදුපූසිත් එක්ක යාලුවෙන්න තිබුන අන්තිම චාන්ස් එකත් තමන්ගෙම වැරැද්ද නිසා තමන්ට නැතිවුණයි කියලා. ඒ වගේම තමන්ට ආපහු කවදාවත් සුදුපූසි එක්ක යාලුවෙක් විදිහටවත් ආශ්‍රය කරන්න පුලුවන් වෙයිද කියන එක ගැන මෑන්ස්ට කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ.



ඊටපස්සෙ මාස කීපය ගතවුණේ ඕ ලෙවල් විභාගෙ වෙනුවෙන්. ඒ වගේම ඔය කාලෙ තමයි පුරුපුරුට විදූශාව මුණගැහුනේ. මේක සුන්දර නවකතාවක් වුණානං පුරුපුරුට විදූශාව කවදාවත් මුණගැහෙන්නෙ නෑ. ඒත් ඉතිං මේ රියල් ලයිෆ් එක නොවැ! ඒ හින්දා පුරුපුරුට විදූශාව මුණගැහුනා. ඉතිං ඊටපස්සෙ වෙච්ච දේවල් බ්ලොග් ගඩොල් කියවපු ඔයාලාට රහසක් නෙවෙයිනේ. ඔන්න තවමත් විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය කියවපු නැති කට්ටිය පහළ ලින්ක් එකෙන් වලින් ගිහින් බලන්නකෝ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9 

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10 
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11

එහෙනං ඊළඟ සුදුපූසි එපිසෝඩ් එක පල කරනකං (අද රෑ බොහෝවිට) ඔයාලා ගිහින් මුල ඉඳන් විදූශා කියවලා එන්නකෝ. මොකද විදූශා සහ පුරුපුරු අතරෙ වෙච්ච සිද්දිය කියෙව්වාම ඔයාලාට සුදුපූසි සීරීස් එකත් වඩාත් රසවත්ව කියවන්න පුලුවන් වෙයි.