අඹ යාලුවෝ

Monday, July 21, 2014

පූස් අතීතාවර්ජන



අවුරුදු දෙකකට පස්සෙ පොඩි නිවාඩුවකට පුරුපුරු ලංකාවට ආවා. උදේ පාන්දරින්ම අහස් යන්තරෙන් බැස්ස ගමං පූස්ගමට තමයි ගියේ. වටපිටාවෙ ගොඩක් දේවල් වෙනස් වෙලා. පූස්ගම එදාට වඩා දියුණුයි. ගෙදර ආපු හැටියෙම පොඩි වොෂ් එකක් දාලා පූස්ගම ටවුමට ගිය එක තමයි අපේ යාලුවා කළේ. වෙනදා ටවුමෙ ඉන්න යාලුවො, රස්තියාදුකාරයො, වෙළෙන්දෝ කවුරුත් පේන්න හිටියෙ නෑ. අලුත් සෙට් එකක් ඇවිත් ඒ හැමෝම රිප්ලේස් කරලා.  

පුරුපුරුට දවස් කීපයක්ම ගතවුණා දවල් රෑ මාරුවෙච්ච ගතිය ඇරගන්න. ඒ මදිවට හැතැක්ම, රාත්තල්, ගැලුම් වලට අමාරුවෙන් පුරුදුකරගෙන හිටපු ඔලුකට්ට ආපහු මෙට්‍රික් ක්‍රමයට ඇජස්ට් කරගන්න වුණා. දැන්නං ඒ වැඩ ටික හරි. පුරුපුරු ලංකාවට එන්න සති කීපෙකට කලින් උපාසක කාන්තාරෙ රටකට ගියා රස්සාවකට. ඤාව්වයි, මී කතුරයිත් ෆ්‍රී වෙන්නෙත් වීක්එන්ඩ් එකේ විතරයි. ඉතිං ඉස්සර වගේ හිතිච්ච වෙලාවට යාලුවො එක්ක සෙට් වෙන්න දැන් බැහැ. යාලුවන්ට බිසී වීමට අමතරව පුරුපුරුත් ඉතිං දැන් පවුල්කාරයා නෙව.

ඉස්සර පූසොත් එක්ක සෙට් වෙච්ච යාලුවො, වලි දාගත්තු හතුරො වැඩිදෙනෙක් පූස්ගම දැන් නෑ කියලා තමයි ඤාව්වා කිව්වේ. ඒ අය එක්කො රස්සාවලට හරි, කසාද බැඳලා හරි පූස්ගමින් යන්න ගිහිං. සමහරු රට ගිහිං. ඔය වෙලාවට තමයි ඉතිං හිතෙන්නෙ අඳුරන්නෙම නැති මිනිස්සු ඉන්නවට වඩා දන්න හතුරෙක් හරි හිටියනං හොඳයි කියලා.

දන්න යාලුවෙක් එක්ක සෙට් වුණත් කතාකෙරෙන මාතෘකා ඉස්සර කතා කරපුවා නෙවෙයි. වෙඩින් ගන්න ඒවා, වාහන, ඉන්ධන මිල ගණන් ගැන තමයි දැන් කට්ටියගෙ කතාව. ඉස්සර කරපු මගෝඩි වැඩ අතඇරලා කස්ටිය පිළිවෙළක් වෙලා වගේ තමයි පේන්නේ. කොහොම වුණත් පූසොත් එක්ක සෙට් වෙලා ඉස්සර ෆේස් කරපු අප්සට් සිද්දි තමයි පුරුපුරුට තවමත් වටින්නේ. ළඟදි මෑන්ස් දැක්කා බුකියෙ කවුද කියලා තියෙනවා කොච්චර පන්තිකාමරේ ඇතුලෙ ඉගෙනගත්තත් කවදාහරි මතකෙ රැඳෙන්නෙ ඉස්කෝලෙ කරපු දඟ වැඩ ටික තමයි කියලා. ඒ කතාවනං සහතික ඇත්ත.

පාරෙ ඇවිදිද්දි පරණ මතක ආපහු ඔලුවට එනවා. ගම්පහ ටවුන් එකත් දැන් වෙනස් කරලා. වොලිබෝල් පිළිමෙ පේන්න නෑ. පූසන්ගෙ මතක ගබඩාවක් වෙච්ච පරණ බස්ටෑන්ඩ් එකත් කඩලා තිබුනා. අලුත් බස්ටෑන්ඩ් එකේ දැන් ක්ලාස් යන ළමයි එයාලාගෙ මතක ගබඩා කරනවා. තව අවුරුදු ගානකින් එ් අයත් මෙහෙමම කියයි.

ටිකට් ගිනි ගනං වුණත් ලංකාවට ආපු එක ගැන පූසාට සතුටුයි. ඉස්සරහ දවස්ටිකේ යාලුවො එක්ක හොඳ ට්‍රිප් එකක් එහෙම ගිහිං ෆන් එකක් ගැනීම තමයි පූස් ප්ලෑන් එක. ඒ වගේම තුම්මුල්ල සක්වල තක්සලාව පැත්තෙ ගිහිං ගුරුවරු එහෙම වුණගැහෙන්නත් ඕනේ. කුරුඳුවත්ත ඉස්කෝලෙ පැත්තෙත් පුලුවන් වුණොත් යනවා. විශේෂයෙන් සතුටුයි ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්න ලැබීච්ච එක ගැන. පූසා අධ්‍යාපනයෙන් බිසී වෙද්දි බ්ලොග් ලිවිල්ල ජෝන් බාස්ට ගියා තමයි. ඒත් දැන්නං ඉස්සරට වඩා පොඩි කාලවේලාවක් ඉතුරු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඉතිං ඉස්සර වගේ දිගටම ලියන්න පුලුවන් වේවි.

එහෙනං හරිහමං ලිපියකින් ආපහු මුණගැහෙමු.

-පුරුපුරු (ඉස්සර බ්ලොග් ලිව්ව පූසෙක්)

Sunday, March 10, 2013

තෙක් අහස


ටික වෙලාවක ඉඳන් අමුතු සද්දයක් දදා හිටපු කොමියුනිකේෂන් එකේ ප්‍රින්ටරේ එකපාරටම නතරවුණේ පුරුපුරුගෙයි ආකාස්ගෙයි පපු බොයිල් වෙන ගානට රත් කරමිනුයි. 

“අයියෙ මේ වඳින්නං ඉක්මනට මගෙ ප්‍රින්ටවුට් ටික අරන් දියං බං“

ආකාස් ඒ අස්සෙ කොමියුනිකේෂන්කාරයාට පිංසෙන්ඩු වෙනවා.

“හරි හරි මල්ලි මට විනාඩි දහයක් දෙන්න. මම කොහොමහරි වැඩේ කරල දෙන්නං“

කොමියුනිකේෂන් අයියත් දැන් ටිකක් බයවෙලා. පැත්තක ඉන්න පුරුපුරුටත් අම්බානට බයයි වගේම ෆ්ලවර් ජම්ප් වෙලා ඉන්නේ. අවුරුද්දක් තිස්සෙ මහන්සි වෙලා කරපු වැඩ ටික ඔක්කොම වතුරෙ යයිද?

**********************************************************************************

පුරුපුරු සහ ආකාස් කියන්නෙ හොඳ යාලුවො දෙන්නෙක්. මේ දෙන්නම ඉගෙනගත්තෙ තුම්මුල්ල සක්වල තක්සලාවෙ හතරවෙනි අවුරුද්දෙ. ඒ වගේම මේ වෙද්දි මේ අය හිටියේ තමන්ගෙ උපාධියෙ අවසාන දවස් කීපය ගත කර කර. ඕනෙම විශේෂ උපාධියක වගේ අපේ යාලුවන්ගෙ උපාධියෙත් අවසාන අවුරුද්ද පුරාම දුවන ප්‍රොජෙක්ට් එකක් කරන්න තිබුනා. පුරුපුරුට තිබුනෙ එක්තරා නන්නාඳුනන ප්‍රෝටීනයක් සෛල ඇතුලෙ කරන්නෙ මොකද්ද කියලා හොයන්න. ආකාස්ට තිබුනේ ඒ ප්‍රෝටීනයම සෛල ඇතුලෙ තියෙන්නෙ මොන ඒරියා එකේද කියලා හොයන්න. ඉතිං මේ අවුරුද්ද පුරාවටම අපේ යාලුවො දෙන්නා බොහොම සහයෝගයෙන් එකට එකතු වෙලා තමයි තමන්ගෙ රිසර්ච් කළේ.

හැබැයි ඉතිං මේ අයට තිබුන අවුරුද්දක කාලෙ ඇතුලත, තිබුන පහසුකමුත් එක්ක මේ වැඩ දෙකෙන් එකක්වත් සම්පූර්ණ කරන්න පුලුවන්කම තිබුනෙ නෑ. ඒත් දෙන්නාටම පුලුවන් වුණා ඒ අවුරුද්ද ඇතුලත අලුතින් ලොකු වැඩ කොටසක් කරන්න. ඉතිං මේ කියන දවසෙ තමයි පුරුපුරුලාට තමන් කරපු රිසර්ච් එකට අදාල ව්‍යාපෘති වාර්තා බාර දෙන්න තිබුනේ. හැබැයි ඒ බාරගන්නෙ හවස තුනට කලින් බාරදෙන තීසිස් විතරයි. තුම්මුල්ල සක්වල තක්සලාවෙ පුරුපුරුලා හිටපු ඩිපාර්ට්මන්ට් එක වෙලාවට වැඩ කිරීම ගැන බොහොම සැලකිලිමත් තැනක්. ඉතිං අපේ යාලුවො දැනගෙන හිටියා හවස තුනයි එකට මේක බාරදුන්නත් ඩිපාර්ට්මන්ට් එකෙන් බාරගන්න එක බොරුයි කියලා.

ඒක හින්දා තමයි අන්තිම දවස් කීපෙම අපේ පුරුපුරු රෑට නිදාගන්නෙත් නැතුව මේ වාර්තාව හැදුවේ. කොහොමහරි ඉතිං අපේ පූසාට පුලුවන් වුණාලු නියමිත දවසෙ උදේ වෙද්දි වැඩේ ෆිනිෂ් කරන්න. මෑන්ස් ෆයිල් ටික පෙන් එකේ දාගෙන ප්‍රින්ටවුට් ගන්න යන්න හදද්දි තමයි ආකාස්ගෙන් කෝල් එකක් ආවේ.

“මචං පුරුපුරු, උඹ ප්‍රින්ටවුට් ගත්තද?“

“නෑ, මම මේ ගන්න හදන්නෙ. උඹ?“

“මමත් තාම ගත්තෙ නෑ. උඹ එහෙනං කොළඹ එන ගමන් මහරගමින් බැහැපන්. මෙහෙ ලාබෙට ප්‍රින්ටවුට් ගන්න තැනක් තියෙනවා“

“ආ.. එළකිරි..මම බැහැලා උඹට කෝල් එකක් දෙන්නං“

ඉතිං ඔය විදිහට පූස්ගමින් ප්‍රින්ටවුට් ගන්න අයිඩියා එක අතඇරපු පූසා මහරගම යන්න පිටත් වුණාලු.

මෑන්ස් මහරගමින් බහිනකොට වෙලාව උදේ එකොළහමාරට විතර. හිතුවට වඩා ටිකක් පරක්කුත් වෙලා. කොහොමහරි පුරුපුරු ආකාස් කියපු තැනට ඇවිත් ටික වෙලාවක් යද්දි ආකාසුත් එතනට ආවලු. ඊටපස්සෙ තිබුනෙ පුරුපුරුගෙ පිටු එකසිය ගානක් තිබ්බ වාර්තාව ප්‍රින්ට් කරන එක. ඒ වැඩෙත් ඉතිං පැය බාගයක් විතර යද්දි ඉවරවුණාලු. ඊටපස්සෙ තිබුනෙ ආකාස්ගෙ ප්‍රින්ටවුට් ටික ගන්න එක.

කොහොමහරි ඉතිං මේ රිපෝර්ට් දෙක බයින්ඩ් කරනකොට තමයි ආකාස් දැක්කෙ තමන්ගෙ පිටු කීපයක් තාමත් එඩිට් කරලා නැති බව. දෙලෝ රත්වෙච්ච ආකාස් කොමියුනිකේෂන් එකේ අයියගෙනුත් සමාව අරගෙන ආපහු පටන්ගත්තලු වාර්තාව එඩිට් කරන්න.

මොකක්හරි දෙයක් වැරදෙන්න ගත්තම ඒකට අදාල හැමදේම වරදින්න පටන්ගන්න බව සමහරවිට ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති. මෙතෙන්දි අපේ ආකාස්ට වුණෙත් ඒ වැඩේමයි. පොර ටයිප් කරන්න පටන්ගත්ත වෙලේ ඉඳන් “වර්ඩ්“ සොෆ්ට්වෙයාර් එකේ අවුලක්. කොහොමහරි මෑන්ස් අමාරුවෙන් වැඩේ ඉවරකරද්දි දෙකට විතර ඇති.

මේ වෙද්දිනං අපේ පූසාගේ හාර්ට් එක ෆුල් බීට් වෙවී තිබුනේ. තීසිස් එක බාර දෙන්න තව තියෙන්නේ පැයයි. උපාධි නිබන්දනය මත තමයි පුරුපුරු ඉගෙනගත්ත ෆීල්ඩ් එකේ ඉස්සරහට ගොඩක් දේවල් තීරණය වෙන්නේ. රස්සාවක් විතරක් නෙවෙයි, උසස් අධ්‍යාපනය ලබන්න වුණත් කරපු රිසර්ච් ප්‍රොජෙක්ට් එක ගොඩක් වැදගත්. මේ වෙද්දි පුරුපුරුගෙ වාර්තාව බයින්ඩ් කරලත් ඉවරයි. ඒත් හැමදාම එකට හිටපු යාලුවාව අසරණ වෙච්ච මොහොතේ තනිකරලා යන්නත් බෑ. ඉතිං ඔය විදිහට ආකාස්ගේ ප්‍රින්ටවුට් ටික ගන්නකොට තමයි ප්‍රින්ටර් එක වැඩ කරන්නෙ නැතුව ගියේ.

**********************************************************************************

දැන් අපේ යාලුවො දෙන්නා දෙලෝ රත්වෙලා ඉන්නේ. හොඳ වෙලාවට කොමියුනිකේෂන් අයියා දන්න දහංගැට ටිකක් දාලා, ප්‍රින්ටවුට් අරගෙන, බයින්ඩුත් කරලා ආකාස්ගෙ තීසිස් එක දුන්නත් මේ වෙද්දි වෙලාව හවස දෙකයි හතළිහයි. තව විනාඩි විස්සක් ඇතුලත වාර්තා දෙක බාරදුන්නෙ නැත්තං අපේ යාලුවො දෙන්නාට හුළං තමයි. බස් එකේ ගියොත් කොහොමත් වෙලාවට කැම්පස් එකට යන්න බෑ. විශේෂයෙන් ඒ වෙලාවට තියෙන ට්‍රැෆික් එකත් එක්ක බැලුවාම. ඉතිං අපේ යාලුවො දෙන්නට ඉතුරු වුණේ ත්‍රීවීල් එකක් අරගෙන යන ඔප්ෂන් එක විතරයි.

කොහොමහරි ඉතිං කඩේ ගාව ත්‍රීවීල් කීපයක්ම තිබුනත් විනාඩි විස්සෙන් තුම්මුල්ලට යන්න එකඟ වුණේ එක ත්‍රීවීල් එකක් විතරයි. ඒත් රුපියල් හත්සීයකට. වෙලාවෙ හැටියට සල්ලි ගැන වාද කර කර ඉන්න විදිහක් තිබුනෙ නැති හින්දා අපේ යාලුවො දෙන්නත් මොනවත් කියන්නෙ නැතුව වාහනේට ගොඩ වුණාලු. හැබැයි මොනවා වුණත්, කීප පාරක්ම හැප්පෙන්න ගියත්, ඒ ත්‍රීවීල් සහෝදරයානං දෙයියෙක්. නයිට් රයිඩර්ගේ බාප්පගෙ පුතා වගේ වීල් එක එළවපු මෑන්ස් ගානට දෙකයි පනස් නමයට කැම්පස් එකට ආවලු. මහාචාර්යවරු දෙන්නෙක්ගේ නවත්තලා තිබුන කාර් දෙකක් මැද්දෙන්ම ත්‍රීවීල් එක ඇවිත් නැවැත්තුවට පස්සේ එළියට බැස්ස අපේ යාලුවො දෙන්නා ඩිපාර්ට්මන්ට් එකට දිව්වේ කඟවේන්නු දෙන්නෙක් වගේ.

කොහොමහරි ඒ වෙද්දිත් තීසිස් බාරදෙන්න කට්ටිය පෝලිමේ. දෙයියො බැලුවා වගේ ප්‍රශ්නයක් නැතුව වැඩේ කෙරුනට පුරුපුරුගේ හිතට සතුටුයි. හිත සැනසිල්ලේ හති අරිද්දි තමයි ආකාස් පුරුපුරුට අමතක වෙච්ච දෙයක් කිව්වේ.

“අද ඩොක්ටර් චාමික වික්‍රමසූරියගෙ ලෙක්චර් එකට යන්නෙ නැද්ද?“

එතකොට තමයි පුරුපුරුට මතක්වුණේ ඒ ලෙක්චර් එක ගැන.

ආචාර්ය චාමික වික්‍රමසූරිය තුම්මුල්ල සක්වල තක්සලාවෙම ආදි ශිෂ්‍යයෙක්. එයා ඒ වෙද්දි අණුක ජීව විද්‍යාව සම්බන්ධයෙන් ඇමරිකාවෙ ඇති ප්‍රධානම විශ්ව විද්‍යාල දහයෙන් එකක සහකාර මහාචාර්යවරයෙක් විදිහට වැඩ කර කර හිටියේ. නිවාඩුවට ලංකාවට ඇවිත් හිටිය ආචාර්ය චාමික කැම්පස් එකට ඇවිත් ගෙස්ට් ලෙක්චර් එකක් කරන බව ළමයින්ට කලින් දැනුම් දීලයි තිබුනේ. ආචාර්ය චාමිකගෙ රිසර්ච් ගැන වගේම ඇමරිකාවෙ උසස් අධ්‍යාපන අවස්ථා ගැන දැනගන්න ආසාවෙන් හිටපු පුරුපුරු කොහොමත් මේ ලෙක්චර් එකට යන්නයි හිටියේ.

“යමු යමු. තව ටිකකින් ලෙක්චර් එක පටන් ගන්නවා“

පුරුපුරු ආකාස්ට උත්තර දුන්නලු.

දෙවන කොටස බලාපොරොත්තුවන්න.

Friday, December 28, 2012

සම්බන්දෙ ගැන ගෙදරට කියන විදිහ


අපි කලින් ලිපියෙ කිව්වෙ පුරුපුරු තමන්ගෙ පෙම්වතිය වෙච්ච සුදුපූසිගෙ ගෙදර ගිය හැටි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඒ විදිහට අපේ පූසාගෙ එෆෙයාර් එකට සුදුපූසිගෙ පැත්තෙන් කොළ එළිය වැටුනලු. ඒත් ඒ වෙද්දි පුරුපුරුගෙ පැත්තෙන් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.

පුරුපුරු කියන්නෙ පවුලේ බාලයා. ඒ වගේම හොඳ ලැජ්ජ බයට හැදිච්ච පූසෙක්. අනික මේ වෙද්දි මෑන්ස්ගෙ වයස අවුරුදු විසි එකක් විතර වුණේ. ඒ හින්දා තමන්ගෙ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න අවශ්‍ය පූස් ගට පුරුපුරුට තිබුනෙ නෑ. කටේ කිරි සුවඳ නොගිය තමන්ගෙ පූස් පුතා ආදර සම්බන්දයක් පටන් අරගෙන කියලා ආරංචි වුණොත් දෙමව්පියො මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැනත් පුරුපුරුට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ. ඉතිං ඒ හින්දා දැනට මේ සම්බන්දෙ ගැන ගෙදරට නොකියා ඉන්න පූසා තීරණය කළාලු.

මේ වෙද්දි එෆෙයාර් එකට පෙම්වතියගෙ පැත්තෙන් කැමැත්ත තිබුන හින්දා සමහර වීක් එන්ඩ් වලදි සුදුපූසිගෙ ගෙදර ගිහිං එයාව බලන්න පුරුපුරුට පර්මිෂන් තිබුනලු. සුදුපූසි කැම්පස් එකේම නැවතිච්ච දවස්වලට පුරුපුරු කරන්නේ නුවර ගිහිං එයාව මුණගැහෙන එක. එහෙමත් නැත්තං උපාසකයි ඤාව්වයි එක්ක පිස්සු කෙලින එක. කොහොම වුණත් පුරුපුරු මේ සම්බන්දෙ ගැන ගෙදරට කියපු නැති එක ගැන සුදුපූසිගෙ ගෙදර උදවිය එච්චර කැමැත්තක් දැක්වුවෙ නැහැ. විශේෂයෙන් පූසා නිතරම තමන්ගෙ ගෙදර යන එන වාතාවරණයක් තියෙද්දි ඒ ගැන පුරුපුරුගෙ ගෙදරින් දැනගෙන ඉන්න ඕනෙ කියන මතයෙ තමයි සුදුපූසිගෙ ගෙදර වැඩිහිටියො හිටියෙ.

“දැන් පුරුපුරු පුතා අපේ දුව ගැන ගෙදරට කියලද තියෙන්නෙ?“

“මේ ගැන ගෙදරට කියලා හිටියනං නේද හොඳ?“

“පුතාලගෙ ගෙදර කට්ටිය මේ ගැන දැනගත්තොත් අපිටත් බැනුම් අහන්න තමයි වෙන්නෙ“

දැන් මේ වගේ කම්ප්ලේන් කෝටියයි. පුරුපුරුත් දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ සිටුවේෂන් එක ගැන. ඇයි දෙයියනේ අම්මා කාමරේට ඇවිත් බත් කවද්දි එයාට කියන්න පුලුවන්ද පුරුපුරුට කෙල්ලෙක් ඉන්නවා, ඒ මදිවාට එහෙ ගිහිල්ලත් තියෙනවා කියලා? කොහොමහරි ඉතිං අපේ පූසා මේ ගැන හිත හිතා පසුතැවෙද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන වීක් එන්ඩ් එකේ සුදුපූසි ගෙදර ආවෙ නෑ. එයා හොස්ටල් එකේ නැවතිලයි හිටියේ. ඉතිං පුරුපුරුට ඉහළින් නියෝග ලැබුනලු සෙනසුරාදට නුවර එන්නයි කියලා.

“මොකද්ද අනේ ඔයා දැන් ගොඩක් දවසකින් නුවර ආවෙ නෑ මාව බලන්න. මේ සතියෙත් ආවෙ නැත්තං මම ඔයත් එක්ක තරහම තරහයි. “

දැන් ඉතිං නුවර පලයංකො බස් එකේ පැය ගානක් බඩගාගෙන. ඇත්තටම බස් එකේ නුවර යන එක මහ එපා කරපු වැඩක්. ඒත් ඉතිං කට්ට කාගෙන හරි සුදුපූසිව බලන්න යන්න ඕනෙ හින්දා පුරුපුරුත් නුවරට යනවා. ඔය විදිහට ඉතිං පහුවදා උදේම ලෑස්ති වෙච්ච පුරුපුරු හිමිදිරි පාන්දර ගෙදරින් පිටත් වුණාලු සුදුපූසිව බලන්න යන්න.

බස් එක ගලහ හන්දියට එනකොට දවල් දොළහටත් කිට්ටුයි. එතකොටත් සුදුපූසි හන්දියට ඇවිල්ලයි හිටියේ. කොහොමහරි ඉතිං දෙන්නා කැම්පස් එක ඇතුලේ රවුම් ගහලා, ලන්ච් එකත් අරගෙන, ඊටපස්සෙ ඒ කිට්ටුව තිබුන උද්භිද උද්‍යානයෙත් ඇවිද්දලු. අන්තිමට පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ හවස හතරට තියෙන හොරණ බස් එක අල්ලගන්න බලාගෙන. මොකද ඒ බස් එකේ ගාස්තුව වැඩි වුණත් පූස්ගම හරහා යන හින්දා පුරුපුරුට ගේ ගාවින්ම බහින්න පුලුවන්කම තිබුනා. හොඳ වෙලාවට එදා පුරුපුරු බස් එක යන්න කලින් හෝල්ට් එකට ඇවිත් තිබුනා. බස් එකට නැග්ග පූසා හොඳ නින්දක් දාලා හවස හයහමාරට විතර පූස්ගමින්ම බැස්සා.

එදා හවස ගෙදර ආපු පුරුපුරුට සෑහෙන ගමන් මහන්සියක් තිබුනලු. ඒ හින්දා මෑන්ස් කළේ ඇඳුම් ටික පැත්තකින් දාලා හොඳට නිදාගත්ත එක. පැයක දෙකක නින්දකින් පස්සේ අපේ පූසා නැගිට්ටේ අම්මගේ කට හඬ ඇහිලා.

අම්මා :- පුතා, අද කොහෙද ඔයා ගියෙ?

අම්මා ප්‍රශ්නෙ අහපු විදිහටම මොකක්හරි වැඩක් ජෝන් බාස්ට ගිහිං තියෙන වග පූසාට ඉවෙන් වගේ තේරුණාලු.

පුරුපුරු :- ම්...ම්...මම මේ කන්දෙ කැම්පස් එකට ගියෙ අම්මෙ මී කතුරා හම්බවෙන්නත් එක්ක.

අම්මා :- එතකොට මේ ෂර්ට් එකේ සාක්කුවෙ උද්භිද උද්‍යානෙට ගත්තු ටිකට් දෙකක් තියෙන්නෙ?

කෙලියා තාප්පෙටම!!! බැලින්නං අපේ පුරුපුරුට පාක් එකට යන්න ගත්ත ටිකට් දෙක විසි කරන්න අමතක වෙලා. මෑන්ස්ගෙ අම්මා ඇඳුම් ටික හෝදන්න දාන්න හදනකොට තමයි සාක්කුවෙ තිබුන ටිකට් දෙක අහුවෙලා තියෙන්නෙ. දැන් ඉතිං නිදහසට මොනවා හරි කියන්නත් ඕනෙ. ඒත් වැඩි වෙලා හිත හිතා ඉන්නත් බෑ. ඉතිං පුරුපුරු කළේ ඒ වෙලාවෙ කටට ආපු උත්තරයක් කියලා දාපු එක.

පුරුපුරු :- මේ...මේ...ඒක මී කතුරගෙ වෙන්න ඇති අම්මේ...මම දන්නෙ නෑ.

අම්මා :- ආ ඇත්තද?

මෙහෙම කියපු පුරුපුරුගෙ අම්මා වෙන මොනවත් අහන්නෙ නැතුව එතනින් යන්න ගියාලු. දැන්නං අපේ පූසාට දාඩියත් දාලා. කම්මුල් රත් වෙලා. බඩ හීතල වෙලා. මෑන්ස් දන්නවා අම්මා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේට සුදුපූසිගෙ අම්මගෙ මොන්ටිසෝරියට යන පොඩි එකෙක්වත් රැවටෙන්නෙ නැති වග. ඒ වගේම මී කතුරා එක්ක පාක් ගියා කියලා කිව්ව එකෙන් පුරුපුරු ගේ කුරුල්ලෙක් කියලා ගෙදර මිනිස්සු හිතන්නත් පුලුවන්.

අනික සමහරවිට මේ වෙච්ච වැඩේ වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වෙන්නත් පුලුවන්. මොකද මේක අම්මාට සුදුපූසි ගැන කියන්න ලැබිච්ච හොඳ චාන්ස් එකක්. වැඩිය මහන්සි වෙන්නෙ නැතුව අනිත් ටිකට් එකේ හිමිකාරිය සුදුපූසියි කියලා විතරයි කියන්න ඕනෙ. ඉතිං පූසා ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මෑන්ස්ගෙ අම්මා ආපහු පාරක් කාමරේට ආවේ. මේ වෙලාවෙනං අම්මා කටක්වත් අරින්න කලින්න අපේ පුරුපුරු කතාව පටන් ගත්තලු.

පුරුපුරු :- අම්මේ...මේ...මේ...අර ටිකට් දෙක....

අම්මා :- ඔව් ඉතිං?

පුරුපුරු :- ඒ දෙක මී කතුරාගෙ නෙවෙයි, මගේ....මේ...මේ...මම....

දැන් පූසාට එතනින් එහාට මොනවත් කියාගන්න බැරුව වචන ගොත ගගහා ඉන්නවා. මේ වෙලාවේ තමයි අම්මා පුරුපුරුගෙ පිහිටට ආවේ.

අම්මා :- ඔයා සුදුපූසිව බලන්න නේද ගියෙ?

අම්මා පුරුපුරුට වන් ෂොට් නොකවුට් ප්‍රශ්නය කෙළින්ම යොමු කළා. මේ වෙද්දිත් පුරුපුරුගෙ අම්මා දන්නවා පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො කියලා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකම පන්තියේ ඉගෙන ගන්න කාලෙත් පුරුපුරුගෙ අම්මා සුදුපූසිට හරිම කැමතියි. සුදුපූසි දැන් ඉන්නේ කන්දෙ කැම්පස් එකේ බවත් අම්මා දැනගෙන හිටියා. ඒ හින්දා පූසා නුවර ගියේ කෙල්ලෙක් බලන්නනම් ඒ කෙල්ල වෙන්න ලොකුම ප්‍රොබබිලිටිය තියෙන්නේ සුදුපූසි බව පුරුපුරුගෙ අම්මා ගෙස් කරන්න ඇති. කොහොමහරි ඔයින් මෙයින් වැඩේ පූසා හිතුවාටත් වඩා පහසු වුණා.

පුරුපුරු :- හ්ම්...

අනිත් පැත්ත හැරිච්ච පුරුපුරු ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගත්තා.

අම්මා :-  මේ ගැන අපිට කියපු එක හොඳයි.

මෙහෙම කියපු අම්මත් කාමරෙන් යන්න ගියා. කොහොමහරි ඉතිං මේ සම්බන්දයෙන් පුරුපුරුගෙ පැත්තෙනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑලු. ඉතිං මෑන්ස්ට ඊටපස්සෙ සුදුපූසිගෙ ගෙදර ගියාම ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න සිද්ද වුණෙත් නෑලු.

දැන් මේ කතාව කියෙව්වට පස්සෙ තමන්ගෙ ආදර සම්බන්දෙ ගැන ගෙදරට කියාගන්න බැරුව ලතවෙන කස්ටියට තේරෙනවනෙ නේද මොකද්ද කරන්න ඕනෙ කියලා? විසඳුම හරි සරලයි. අවශ්‍ය කරන්නේ ටිකට් දෙකක් විතරයි. මේ ක්‍රමය අනුගමනය කළාම තමන් ප්‍රශ්නෙ වෙත යන්නෙ නැතුව ප්‍රශ්නෙ තමන් වෙතට ගෙන්න ගන්න පුලුවනි. හැබැයි ඊටපස්සෙ වෙන දේවල් වලට බ්ලොග් ගඩොල් වග කියනු නොලැබේ.

Tuesday, December 25, 2012

පෙම්වතියගේ ගෙදර ගිහින් තියෙනවාද?


අපේ පුරුපුරුගෙ ආදර අන්දරය, ඒ කියන්නෙ සුදුපූසි ගැන බ්ලොග් ගඩොල් කියවපු ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං අපි ඒ කතාවෙ කිව්වෙ පූසයි, සුදුපූසියි යාලු වෙච්ච තැනට යනකං විතරයි. ඊටපස්සෙ කොයි ආදර කතාවත් වගේ අපේ පූස් ලව් එකත් කාලයක් ජයටම නැගලා ගියා. ඔය අතරේ තමයිලු ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල ආවේ.

අපි කලිනුත් කිව්වා වගේ විභාගෙන් පුරුපුරුට සතුටුදායක අන්දමේ ප්‍රථිවලයක් ඇවිත් තිබුනා. මෑන්ස් යන්න ආසාවෙන් හිටපු ඩිග්‍රියට යන්න ඒ රිසාල්ට් හොඳටම ඇති. සුදුපූසිත් කැම්පස් යන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල අරගෙන තිබුනා. ඉතිං මේ දෙන්නාම තීරණය කළාලු දෙවෙනි පාර විභාගෙට ඉන්නෙ නැතිව කැම්පස් යන්න. හැබැයි පොඩි කොස්සකට තිබුනෙ මේ දෙන්නට වෙන වෙනම කැම්පස් දෙකකට යන්න වෙච්ච එක.

පුරුපුරු ඇතුලත් වෙච්ච අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාව තිබුනේ තුම්මුල්ල සක්වල තක්සලාවෙ විතරයි. ඉතිං මෑන්ස්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න පුලුවන් වුණේ තුම්මුල්ල කැම්පස් එකට විතරයි. සුදුපූසිව තේරුණේ ජෛවීය විද්‍යාව උපාධියට. තුම්මුල්ලෙත් ඒ උපාධිය තිබුනත් සුදුපූසිව තේරුණේ කන්දෙ සක්වල තක්සලාවට. කොහොමහරි ඉතිං අපේ දයියේ මෙච්චර කූරු ඇයි කියලා දුක්වුණ පූස් කපල් එක එකිනෙකින් සෑහෙන දුරින් තිබුන මේ කැම්පස් දෙකට ඇතුල් වුණාලු.

මේ වෙද්දිත් මේ දෙන්නගෙ එෆෙයාර් එක ගෙවල් දෙකටම හොර රහසින් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වගේම දෙන්නා කිලෝමීටර් සීයකින් විතර වෙන් වෙලා හිටපු හින්දා නිතරම මුණගැහෙන්න පුලුවන්කමක් තිබුනෙත් නෑ. මුණගැහුනත් එක්කෝ පුරුපුරු කන්ද උඩරටට ගිය වෙලාවක හරි, සුදුපූසි ගෙදර ඇවිත් ගම්පහ ආපු වෙලාවක හරි වගේ බොහොම කලාතුරකින් උදාවෙන අවස්ථාවක තමයි. ඒ හින්දා අපේ පූස් කපල් එකගේ සන්නිවේදනය බොහෝ දුරට සිද්ද වුණේ ජංගම දුරකතනයට පිං සිද්ද වෙන්න.

ඉතිං ඔය අතරේ තමයි සුදුපූසිට වෛරස් උණක් හැදිලා ලෙඩ වුණේ. ඉතිං සුදුපූසි කළේ ගෙදර නතරවෙලා ප්‍රතිකාර ගත්ත එක. පුරුපුරුට සුදුපූසිව බලන්න එන්න ඕනෙ වුණත් ගෙදරට ඇවිත් එයාව බලන්න තරම් පූස් ගටක් තිබුනේ නෑ. ඔහොම දවසක් දෙකක් ඉන්නකොටනං හැබැයි අපේ පූසාට තවදුරටත් ඉවසාගෙන ඉන්න බැරිවුණා. දැන් මෑන්ස්ට ඕනෙ කොහොමහරි ගිහිං සුදුපූසිව බලන්න. ඉතිං පූසා තමන්ගෙ පෙම්වතියට ගත්තලු කෝල් එකක්.

පුරුපුරු :- මේ, මම ඔයාලගෙ ගෙදර එනවා හෙට, ඔයාව බලන්න.

සුදුපූසි :- ඈ! අනේ අපේ තාත්තා අහයි ඔයා කවුද කියලා. එනවනං කවුරුහරි යාලුවෙක් එක්ක එන්න.

පුරුපුරු :- හරි හරි, තාත්තට කියන්න මම ඔයාගෙ හොඳ යාලුවෙක් කියලා.

සුදුපූසි :- හ්ම්...

මේ කියන දවස්වල පුරුපුරු එක්ක මෑන්ස්ගෙ බෝඩින් සගයා වෙච්ච කොළොම්බාසුත් නැවතිලා හිටියා. බෝඩින් සගයා කිව්වට කොළොම්බාස්ට අයිති ගෙදර තමයි පුරුපුරුවත් නවත්තගෙන හිටියේ. ඉතිං පූසා වීක් එන්ඩ් එකේ නිවාඩුවට ගෙදර එනකොට කොළොම්බාස්වත් ඇදගෙන ඇවිත් තිබුනා. කොහොමහරි ඉතිං මෑන්ස්ට මේ බරපතල මිෂන් එක ගැන කිව්වාම කොළොම්බාසුත් එක පයින්ම වැඩේට කැමති වුණාලු.

මේ වෙද්දි පුරුපුරු සුදුපූසිගෙ ගෙදර තියෙන තැන දැනගෙන හිටියා. ඒ වගේම මේ දෙන්නා පොඩි කාලෙ එකට ඉස්කෝලෙ ගිය හින්දා සුදුපූසිගෙ අම්මත් පුරුපුරුව ටිකක් අඳුරනවා. ඒත් තමන්ගෙ අනාගත මාමණ්ඩිනං මොන ටයිප් එකේ ඩයල් එකක්ද කියලා පූසා මේ වෙද්දිත් දැනගෙන හිටියෙ නෑ. ඒත් ඉතිං ආදරෙන් අන්ධ වෙච්ච පූසෙක්ට අනාගතේ ඇතිවෙන්න පුලුවන් භයානක ප්‍රතිවිපාක වර්තමානෙදි පේන්නෙ නැහැයිලුනේ. ඒ හින්දා ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතපු අපේ යාලුවො දෙන්නත් වැඩේට බරට සූදානම් වුණාලු.

මේ වෙද්දි පුරුපුරු අමාරුවෙන් ඉතුරු කරපු පොකට් මනි වගයක් මෑන්ස් ගාව තිබුනා. ඉතිං ගෙදර ළඟ තිබුන කඩේකට ගොඩ වැදිච්ච පුරුපුරුයි කොළොම්බාසුයි කළේ සල්ලි ටික ඔක්කොම ඉවරවෙනකං සුදුපූසිට එක එක ඒවා ගත්ත එක. චොක්ලට් බිස්කට්, චොක්ලට් කේක්, චොක්ලට් රෝල්, චොක්ලට් බෝල, ඔරිමජිනල් චොක්ලට් වගේ චොක්ලට් නිෂ්පාදනම තමයි පූසා මිලදී ගත්තේ. මොකද සුදුපූසි චොක්ලට් වලට බොහොම මනාපයි.

“මොකද්ද යකෝ ඔක්කොම චොක්ලට් බඩු ගන්නේ? උඹ කැන්ඩොස් එකට මොකක්හරි ණයක් තියෙනවද?“

කොළොම්බාස් මෙහෙම අහලා කින්ඩිය දාපු හින්දා තව දොඩම් ටිකකුයි ඇපල් ටිකකුයි ගන්නත් අපේ පුරුපුරුට සිද්ද වුණාලු. ඔක්කොම බඩු ටික අරගෙන පුරුපුරු ඒ ටික කොළොම්බාස්ගෙ බෑග් එකට පැටෙව්වෙ ආපහු ගෙදර යද්දි ගෙදර කට්ටියට තෑගි ටික අහුවෙන්න තියෙන සම්භාවිතාව අවම කරන්න.

කොහොමහරි ඉතිං පහුවදා අපේ යාලුවො දෙන්නා ආපහු බෝඩිමට යන ගමන් සුදුපූගෙ ගෙදර ළඟ තිබුන බස් හෝල්ට් එකෙන් බැස්සලු. දැන් ඉතිං බරට බරේ තෑගි උස්සගත්තු අපේ යාලුවො දෙන්නා සුදුපූසිගෙ ගේ දොරකඩටම ඇවිත් ඉන්නේ. කලින් නිර්භීත වෙලා තීරණ ගත්තට මොකද, දැන්නං අපේ පූසාගේ කකුල් දෙක මැන්ඩලින් ගහන සයිස් එකෙන් තියෙන්නේ. ඒ අස්සේ මොකද්දෝ කුජීත හැඟීමක් කොහේදෝ තිබිලා හිතට එනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො දෙන්නත් ගෙදර දොරකඩටම ඇදුනලු. මේ වෙද්දි පුරුපුරු සුදුපූසිට කෝල් කරලා තමන් එන බව දන්වලා තිබුනේ. මෑන්ස්ට පෙනිච්ච විදිහට සුදුපූසි ඒ වෙද්දිත් ගෙදර කට්ටියට පණිවිඩේ කියලා වගේ. මොකද අපේ යාලුවො දෙන්නා දොරකඩට එද්දිම අනාගත නැන්දම්මා ඇවිත් මේ දෙන්නව බොහොම හොඳින් පිළිගත්තලු.

“ආ..එන්න පුතාලා, වාඩි වෙන්න.“

“පුරුපුරු පුතානං පොඩි කාලෙට වඩා ටිකක් කෙට්ටු වෙලාද කොහෙද?“

ඔය විදිහට සුහදව කතා කරපු නැන්දම්මා සහ සුදුපුසිගෙ අක්කා යාලුවො දෙන්නටම හොඳ තේ පැන් සංග්‍රහයක් කළාලු. සුදුපුසිත් සභාවට එකතු වුණේ ඔය අතරේ. හැබැයි හොඳ වෙලාවට මාමණ්ඩිනං පේන්න හිටියේ නෑ. පස්සෙ හොයලා බැලින්නං එයා සුදුපූසිගෙ මල්ලි එක්ක ළඟ ගෙදරකට ගිහින්. මාමණ්ඩියි මස්සිනයි ගෙදර ආවේ තවත් ටිකක් වෙලා ගියාට පස්සේ. හැබැයි මෑන්ස් වුණත් හිතපු තරමේ අප්සට් ගතියක් පේන්න තිබුනේ නෑ.

ඊටපස්සෙ උදාවුණේ පුරුපුරු ජීවිතේ ෆේස් කරපු ටෆ්ම ඉන්ටර්වීව් එකක්. පුද්ගලික තොරතුරු, ඉස්කෝලෙ තොරතුරු, අනාගත බලාපොරොත්තු, ගමේ විස්තර, දෙමව්පියන්ගෙ විස්තර, දෙමව්පියන්ගෙ ගම්, රස්සා, දේශපාලනය, ආර්ථිකය, දේශප්‍රේමය, භෞමික අඛණ්ඩතාවය වගේ එකී මෙකී නොකී හැම ක්ෂේත්‍රයකම තොරතුරු ගැන මාමණ්ඩිත් එක්ක හොඳ විවරණයක යෙදෙන්න චාන්ස් එකක් අපේ පූසාට හම්බවුණාලු. මේ වෙද්දිත් සුදුපූසි, පුරුපුරු තමන්ගෙ යාලුවෙක් විතරක් බව ගෙදරට කියලා තිබුනත් ගෙදර මිනිස්සුන්ට මේ දෙන්නගෙ සම්බන්දෙ දිග පළල ගැන සැකයක් තිබුන බවයි මාමණ්ඩිගේ ඉන්ටර්වීව් එකේදි පුරුපුරුට තේරුණේ. අනිත් එක පුරුපුරු තමන්ගෙ දුවගේ පෙම්වතා බව තවමත් ඔප්පුවෙලා නොතිබුනු නිසා ඉන්ටර්වීව් එක ඔෆිෂියල් තත්ත්වයෙන් නැතුව සුහදතාවයෙන් පවත්වාගෙන යන්නත් මාමණ්ඩි පියවර ගත්තා.

මාමණ්ඩි :- පුරුපුරු පුතා එතකොට ඉස්කෝලෙ ගියෙ එහෙම කොහෙද?

පුරුපුරු :- කුරුඳුවත්තට අංකල්.

මාමණ්ඩි :- ආ...බොහොම හොඳයි. මමත් මරියකඩේට තමයි ගියෙ.

ඔන්න ඔය විදිහට බොහොම ෂේප් එකේ තමයි මාමණ්ඩි පුරුපුරුගෙන් තොරතුරු උකහා ගත්තේ. මේ වගේ වැදගත් ගමනක් ආවම වැඩිපුරම කතා කරන්න හොඳ නෑ. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණයට කතා බහ කරන්නත් මතක තියා ගන්න ඕනේ. හැම දෙයක්ම ෆුල් ඩිප්ලොමැටික් විදිහට තමයි කරන්න ඕනේ. කොහොමහරි ඉතිං පැය දෙකක් විතර පුරා තිබුන ඉන්ටර්වීව් එකෙන් පස්සේ සුදුපූසිගෙ දුක සැපත් බලලා ආපහු එන්න අපේ යාලුවන්ට පුලුවන් වුණාලු. මේ වෙද්දිත් පුරුපුරුට තේරිලා තිබුනේ තමන් ඉන්ටර්වීව් එකට සාර්ථකව ෆේස් කළයි කියලා. කොළොම්බාසුත් ඒ බව පූසාට තහවුරු කළා.

කොහොමහරි ඉතිං පූසාගේ ආගමනයෙන් පස්සේ ගෙදර කට්ටිය, විශේෂයෙන් අක්කා සහ මල්ලි සුදුපූසිට එක එක හින්ට් පාස් කරලා තියෙනවා.

“ඒ ළමයා කොහොමද දන්නෙ තමුසෙ චොක්ලට් වලට ඔච්චරම කැමතියි කියලා“

“පුරුපුරු අයියා ආවට පස්සෙ මෙයාගෙ ලෙඩෙත් නිකම්ම සනීපයි වගේ“

මේ වගේ කඩ කැඩිච්ච කතා තමයි ඒ අය කියලා තියෙන්නේ. කොහොමහරි නැන්දම්මටයි, මාමණ්ඩිටයිත් පූසාව හොඳිට හිතට අල්ලලා ගිහින් කියලා තමයි ආරංචි වුණේ.

නැන්දම්මා :- අනේ හරිම නිවිච්ච ළමයෙක්. වැදගත් විදිහට හැදිලා තියෙන බව කතා බහ කරද්දිම තේරෙනවා.

මාමණ්ඩි :- ඔව් ඔව්!! හරිම ගුණ යහපත් ළමයෙක්. ඉගෙනීමටම තමයි කැප වෙලා ඉන්නේ.

අක්කා :- කුරුඳුවත්තෙ හොස්ටල් එකේ හිටියයි කිව්වා නේද? එහෙනං ඔය කියන තරං උපාසකයෙක් වෙන්න බෑ. (සුදුපූසිගෙ අක්කා වජිර පාරෙ බාලිකාවට ගිය හින්දා ගෙදර අනිත් කට්ටියට වඩා කුරුඳුවත්තෙ හොස්ටල් එක ගැන දන්නවා ඇති)

නැන්දම්මා :- අනේ ඒ ළමයානං එහෙම දඟ වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ඉතිං ඔය වගේ සාර්ථක ප්‍රතිචාර තමයි සුදුපූසිගෙ ගෙදරින් පුරුපුරුට හම්බවෙලා තිබුනේ. ඉතිං වැඩි දවසක් නොගිහින්ම සුදුපූසි ඔෆිෂියල් විදිහට ගෙදරට දැනුම් දුන්නලු තමන්ට පුරුපුරුත් එක්ක සම්බන්ධයක් තියෙන බව. ගෙදරිනුත් ඒකට විරුද්ද වෙන්න කිසිම හේතුවක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දිත් පුරුපුරුගෙයි සුදුපූසිගෙයි සම්බන්දෙ ගැන පූසාගේ ගෙදරින් හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඒ පැත්තෙන් මොකද වුණේ කියලා ඊළඟ ලිපියෙන් බලමු.

Thursday, December 20, 2012

අවිද්‍යාව, ජ්‍යෝතිෂය සහ ලාංකික සමාජය


මෑත කාලීනව ලංකාවේ සිදුවූ විවිධ සිදුවීම් දකින, කියවන විට බොහෝ දෙනෙක්ගේ සිතට එක්වරම නැගෙන්නේ එකම ප්‍රශ්නයකි.

“ලංකාවට මොකද්ද මේ වේගෙන එන්නේ?“

එක පැත්තකින් ලංකාව පුරාම අද්භූත එළිය. තවත් පැත්තකින් ජෙලි වැසිය. ඒ මදිවාට සමහර ප්‍රදේශ වල වතුරත් රතු පාටට හැරී ඇත. ඒ නාසා ආයතනය මගින් ලංකාවට එල්ල කරන ලද ජීව රසායනික ප්‍රහාරයක් ලෙස තවත් සමහරු අර්ථ දක්වති. මේ සියල්ල අස්සේ බල්ලන් සමූහ වශයෙන් මිය යාම්, භූමිකම්පා, දකුණින් ඉර පෑයීම, මුහුදු නයි මතුවීම ආදියද අසන්නට ලැබේ.

මේ වාර්තා දැකීමේදී කැපී පෙනුන ප්‍රධාන දෙයක් වූයේ මේ සිද්දි සම්බන්දව ලාංකික ජනතාව සහ මාධ්‍ය දැක්වූ ප්‍රතිචාරයයි. සමහර සිද්දි වල සොයා බැලිය යුතු තරමේ අද්භූතජනක බවක් තිබුනද බොහෝ අවස්ථාවලදී ඇත්තටම සිදුවී තිබුනේ සාමාන්‍ය විද්‍යාත්මක සංසිද්ධි හරහා පැහැදිලි කළ හැකි ආකාරයේ සිදුවීම්ය. එහෙත් බොහෝ දෙනෙක් ඉහත කී සිද්දි විස්තර කළේ එක්කෝ 21 වනදා සිදුවීමට නියමිත ලෝක විනාශයේ පෙරනිමිති ලෙසය. නැතහොත් පෘථිවියට එල්ලවීමට ආසන්න පිටසක්වල ප්‍රහාරයක පෙරනිමිති ලෙසය. එහෙමත් නැත්නම් මේ අනාවැකි දෙකම එක්කර ගොතාගත් විස්තර කිරීමකි.

අද්භූත එළි දර්ශනය වීම ගැන තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් කිසිවෙකුත් කර නැත. කෙසේ වෙතත් මෙම එළි පිටසක්වල යානා නොවීමට බොහෝ හැකියාවක් ඇත. මන්ද යත් අහසේ පෙනෙන ආකාශ වස්තු නොවන හැම දෙයක්ම පිටසක්වල යානා නොවන බැවිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් විවිධ අදහස් දැක්වීමද ජනතාව තුළ පැවති බය සහ කලබලය වැඩි කිරීමට හේතු විය. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වා මේ ගැන පැහැදිලි කිරීම තාරකා භෞතික විද්‍යාව පිළිබඳ පර්යේෂකයන්ගේ වගකීමයි. තාරකා විද්‍යාව අතින් සීඝ්‍ර දියුණුවක් ලබමින් පවතින ශ්‍රී ලංකාවේ රජයට අදාල පර්යේෂකයන්ට ඒ සඳහා අදාල පහසුකම් ලබාදීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත.

ජෙලි වැස්සද මේ ආකාරයේ සිදුවීමකි. සාමාන්‍ය වර්ෂාවක වුවද ජලයට අමතරව වායුගෝලයේ පවතින තවත් දේවල් අඩංගු වන බව සාමාන්‍ය පෙළ දක්වා හෝ විද්‍යා විෂය හැදෑරූ ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. වැසි ජලයේ දියවී ඇති දේ අනුව එහි භෞතික සහ රසායනික ගුණ තීරණය වේ. ජෙලි වැස්ස මෙන්ම කහ වැස්සද එකී සංසිද්ධිවල ප්‍රථිපලය. ඇතැම් පැලෑටි වලින් නිස්සාරන කරන ලද කාබෝහයිට්‍රේට ජෙලි වශයෙන් මිදෙන්නට හැකියාවක් පවතී. එවැනි සංයෝගයක් අවකාශයේදී සිදු කළ භෞතික හෝ රසායනික ප්‍රතික්‍රියාවක ඵල ලෙස මේ ජෙලි වැස්ස වැටෙන්නට ඇත. කෙසේවෙතත් මේ පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ සිදුකර මෙම අමුතු වැසි වල සංඝටක හඳුනාගැනීමට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඕනෑ තරම් පවතී.

ජල උල්පත් වල වතුර රතු වීමද බොහෝවිට ජලය තුළ වර්ධනය වූ ඇල්ගී වර්ගයක හෝ ක්ෂුද්‍ර ජීවී විශේෂයක ප්‍රතිඵලයක් විය හැක. එසේ නැතිව ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු පහරදීමක් වීමේ සම්භාවිතාව ඇත්තේ ඉතා අඩු වශයෙනි. බැක්ටීරියාවක් මගින් තවත් ජීවී විශේෂයකට එල්ලකළ හැකි බලපෑම පරික්ෂා කිරීමට ඉතා නූතන මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද ඇමරිකාව සතුව ඇත. ඇරත් මාධ්‍ය වාර්තා කළ ආකාරයට ලාංකීය ජනයාට හොරෙන් පර්යේෂණ කිරීමට, වතුරේ වර්ධනය වන විට රතුපාට වී ජනතාව කලබල කරන ආකාරයේ ක්ෂුද්‍ර ජීවී විශේෂයක්ම යොදාගත්තේ ඇයිද යන්න ගැටලුවකි. ඊට අමතරව ලංකාවට මෙවන් ජීව විද්‍යාත්මක පහරදීමක් සිදුකිරීමට නාසා ආයතනය  පියවර ගනීයැයි විශ්වාස කිරීමට අසීරුය. මෙවන් වාර්තා සිංහලෙන් පමණක් පළ වීම මහත් භාග්‍යයක් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූවානම් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය විහිලුවක් වීම නොවැලැක්විය හැකි වනු ඇත.

බල්ලන් මිය යාමට හේතුවද මරණ පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට හැක. මාධ්‍යවල වාර්තා වූ ආකාරයට සිද්දියේ සැකය එල්ල වී තිබුනේ අදාල ප්‍රදේශයට පතිත වූ උල්කාෂ්මයක් වෙතටයි. නමුත් බොහෝදුරට සමාන ජාන සැකැස්මක් සහිත එම ප්‍රදේශයේ සිටින අනෙක් ක්ෂීරපායී සතුන්ට කිසිම හානියක් සිදු නොවීම නිසා ලේඛකයා විශ්වාස කරන්නේ මරණ වලට හේතුව උල්කාෂ්මය නොව සුනඛයන්ට පමණක් වැළඳෙන රෝගයක් විය යුතු බවයි. කෙසේ හෝ වැඩිදුර පරීක්ෂණ වලින් තොරව මේ සම්බන්ධව කල්පිත ගොඩනැගීම පල රහිත කරුණකි. එමෙන්ම මුහුදු නයි මතුවීමද මේ ආකාරයේ ස්වභාවික සංසිද්ධියකි.

ඉර දකුණින් පෑයීමේ සිද්දියනම් අමු කෙප්පයක් විය යුතුය. ඉර යනු ලංකාවට පමණක් පායන ආකාශ වස්තුවක් නොවේ. එබැවින් ඉර දකුණු දිශාවෙන් පෑයුවානම් මුලු ලොවටම එය දර්ශනය විය යුතුය. අනෙක් අතට සූර්යයා සෑම කාලයේදීම එකම තැනින් පායන්නේ නැත. පෘථිවියේ භ්‍රමණය අනුව එය කාලයෙන් කාලයට පායන සහ බැසයන ස්ථාන වෙනස් කරයි. එමෙන්ම පායන සහ බැසයන වේලාවන්ද වෙනස් කරයි. මෙය කවුරුත් දන්නා දෙයක් බැවින් කලබල විය යුතු නැත.

ඉහත කී සිද්දි සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරුණු ආකාරය අනුමත කළ නොහැක. රටේ පවතින සැබෑ ප්‍රශ්න අමතක වන ලෙස ඉහත ආකාරයේ සිද්දි වවාගෙන කන්නේ මාධ්‍ය විසිනි. එමෙන්ම එකී වාර්තා කිරීම් තුළ ඉහත ඇතැම් සරල සංසිද්ධි වලට පවා කෘත්‍රිම අද්භූත ස්වභාවයක් ආරෝපණය කර ඇති ආකාරය දැකගත හැකි විය. ජනතාව මේ සම්බන්ධව දැක්වූ අනවශ්‍ය කලබලය සහ මාධ්‍ය මගින් මේවා වාර්තා කළ ආකාරය දුටු විට ලේඛකයාගේ සිතට නිතැතින්ම නැගුනු නිගමන කිහිපයක් විය.

ලාංකික සමාජය විද්‍යා අධ්‍යාපනය අතින් බොහෝ පිටුපසට ගොස් ඇත. තමාට තේරුම් ගැනීමට නොහැකි සංසිද්ධි සමාජය පැහැදිලි කරගැනීමට යොදාගන්නේ අවිද්‍යාත්මක සංකල්පය. එමෙන්ම විද්‍යාව සමාජය තුළ අත්පත් කරගත යුතු ස්ථානය ජ්‍යෝතිෂය සහ අනෙකුත් විකල්ප විෂයයන් විසින් හිමි කරගෙන ඇත. මේ තත්ත්වයට මාධ්‍ය, රජය මෙන්ම ලාංකීය විශ්ව විද්‍යාලද වගකීම බාර ගත යුතුය. ඉහත කී සිදුවීම් එක්තරා හුදකලා සිදුවීම් මාලාවක් නොවේ. මෙය බොහෝ කාලයක් තිස්සේ ලාංකීය සමාජය අවිද්‍යාවේ ගැලී සිටීමේ ප්‍රතිඵලයකි.

ලාංකීය සමාජය තුළ විද්‍යාවට නියමිත ස්ථානය ලැබී නැත. සමාජගතකර ඇත්තේ “විද්‍යාව නරකයි“ වැනි මතයකි. ඇතමෙකුගේ ආකල්පය වන්නේ විද්‍යාව යනු බටහිර නිර්මාණයක් බවත් පෙරදිග අපට බටහිර විද්‍යාව කැප නැති බවත්ය. ඒත් ඒ සියලුම දෙනා “බටහිර“ විද්‍යාවට ගරහන අතරේ විද්‍යාවේ මහිමයෙන් ලොවට බිහිවූ නිෂ්පාදන නොපැකිල පරිහරණය කරති. අපේ මිනිස්සු ජාන වෙනස්කළ ආහාර වලට බිය වෙති. නමුත් ජාන කියන්නේ මොනවාද කියාවත් දන්නේ නැත. ජාන තාක්ෂණයේ ප්‍රයෝජන ගැන දන්නේද නැත. රසායනික කියන නමටද බිය වෙති. රසායනික ද්‍රව්‍ය වලින් ලබාගත හැකි ප්‍රයෝජන ගැන සිතන්නේ නැත. “න්‍යෂ්ටික“ කියූවිට මතක් වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයයි. “විකිරණ“ යනුද භයානක වචනයකි. 

සමාජයේ වගකිවයුත්තන්ද හැසිරෙන්නේ විද්‍යාව අරහං ගානටය. ටික කලකට පෙර සොරෙක් අත්අඩංගුවට ගැනීමට කනප්පුවක පිහිට පැතූ පොලිස් නිළධාරීන් පිරිසක් ගැන අසන්නට ලැබුනි. ප්‍රධාන දේශපාලකයන් සියල්ල පෝලිමේ යන්නේ දේවාල වලටය. සාස්තර අසන්නටය. ඇතැම් දේශපාලකයන්ට පුද්ගලික වෛද්‍යවරු මෙන්ම පුද්ගලික ජ්‍යෝතිෂවේදීන්ද සිටිති. රටේ ලොක්කන් ප්‍රසිද්දියේ අවිද්‍යාවේ යෙදෙන විට රටවැසියාද ඊට නොදෙවෙනි ආකාරයට අවිද්‍යාවේම ගැලෙති. ලෙඩ රෝග සුව කරන්නට තොවිල් පවිල් කරති. දෙවියන්ට යාඥා කරති. එවිට කපුවන් සහ පූජකයන් අතින් රෝගීහු මියයති. උදේ පාන්දරම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් අපට ලැබෙන්නේ ලග්න පලාපලයි. මාධයවල වැඩිපුරම දැන්වීම් පළකරන්නේ ජ්‍යෝතිෂකරුවන්ය. වශී ගුරුකම් කරන කට්ටඩියෝ මාධ්‍යවල රජ කරති. විද්‍යාව වෙනුවෙන් තත්ත්පරයක් වෙන් නොකරන රූපවාහිනී නාලිකාවල පැය ගනන් පෙන්නන්නේ ජ්‍යෝතිෂවේදීන්ය.

මෙවන් සමාජ තත්ත්වයක් තුළ ජනතාවගේ දැනුම සහ විචාර බුද්ධිය වර්ධනය වේ යැයි සිතිය නොහැක. විද්‍යාව හැදෑරීමෙන් ලැබෙන්නේ විද්‍යාත්මක දැනුම පමණක් නොවේ. ඕනෑම දෙයක් මනාව විග්‍රහ කර බුද්ධිමත්ව ඒ පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව විද්‍යාව හැදෑරූ අයෙකු සතුය. ඇතැම් ක්ෂේත්‍රවල විද්‍යාව හැදෑරූ සිසුන් අනෙක් සිසුන්ට වඩා දස්කම් දක්වන්නේ එනිසාය. එමනිසා රටේ මිනිසුන්ගේ ආකල්ප දියුණු කිරීමටත්, රට ආසියාවේ ආශ්චර්යය කිරීමටත් අවශ්‍යනම් කළ යුත්තේ රටේ ජනතාවට මනා විද්‍යාත්මක දැනුමක් ලබාගැනීමේ ඉඩකඩ පුලුල් කිරීමයි. විද්‍යාව සම්බන්ධයෙන් රටේ දැනට ඇති ආකල්පය වෙනස් කිරීමයි.

ජ්‍යෝතිෂය යනු සත්‍යයක්ද, අසත්‍යයක්ද, එය විද්‍යාවක්ද නැද්ද යනු බ්ලොග්අවකාශයේ පවා විශාල විවාදයක් ඇතිකළ මාතෘකාවකි. මෙම ලිපියේ ඒ සම්බන්දව සාකච්ඡා කිරීමට අදහස් නොකරන නමුත් ජ්‍යෝතිෂය විසින් ලාංකික සමාජයට සිදුකර ඇති ආකල්පමය හානිය අතිමහත් බව සඳහන් කළ යුතුමය. මන්දයත් ජ්‍යෝතිෂය විසින් සමාජයේ විද්‍යාවට ලැබිය යුතු ස්ථානය පැහැරගෙන ඇති බැවිනි. විද්‍යාත්මක මනසකින් යුත් පුද්ගලයන් බිහිවීමට ජ්‍යෝතිෂය සහ අනෙකුත් විකල්ප විෂයයන් ඉඩ ලබා නොදෙන බැවිනි. එබැවින් සමාජයේ විකල්ප විශ්වාස විද්‍යාත්මක සිතුවිලි මගින් ඉවත් කිරීමට රජය සහ මාධ්‍ය පෙරමුණ ගත යුතුය. නමුත් තමන්ට මහත් ලාබයක් ගෙන දෙන ජ්‍යෝතිෂය සමාජයෙන් ඉවත් වනවාට මාධ්‍ය හෝ, විචාරශීලී පුරවැසියන් බිහිකරන විද්‍යාව සමාජගත වනවාට දේශපාලකයන් හෝ කැමති වෙතියි සිතීම ඵල රහිතය. එබැවින් විද්‍යාව සමාජගත කිරීමේ වගකීම විද්‍යාවට සහ රටට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.

ප.ලි  -  මෙම ලිපිය සැකසීමේදී ගොසිප් 9 අඩවියේ පළවූ

දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකිය හා පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්

ලිපියේ තොරතුරු ඇසුරු කර ගැනුනි.

Tuesday, December 18, 2012

බ්ලොග් පාඨකයන්ට, ගුරුවරුන්ට සහ සගයන්ට උපහාර


බ්ලොග් ගඩොල් පටන් ගත්තේ 2010 අවුරුද්දේ අප්‍රේල් මාසෙ දවසක. ඒ කියන්නේ දැන් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු තුනකටත් ළඟයි. මෙච්චර කල් කරගෙන යන්න කිසිම මූලික සැලසුමක් තිබුනෙ නැති මේ බ්ලොග් එක පටන් ගත්තේ අපේ යාලුවො කීප දෙනෙක් විනෝදෙන් ඉන්න වෙලාවක හදිස්සියෙ ආපු අයිඩියා එකක් විදිහට. ඒ වෙද්දිත් මම මුලින්ම බ්ලොග් එකක් කියවලා මාස කීපෙකට වඩා ගතවෙලා තිබුනෙ නෑ.

කොහොමහරි ඉතිං අපි තුන් දෙනත් (පුරුපුරු, ඤාව්වා සහ උපාසක) බොහොම ග්‍රෑන්ඩ් විදිහට බ්ලොග් එක පටන් ගත්තා. ඤාව්වා ලිපි නොලිව්වත් පුරුපුරු සහ උපාසක ලියපු ලිපි වල ගුණ දොස් විචාරලා, අලුත් කතා මතක් කරලා ලොකු සහයෝගයක් දුන්නා. මී කතුරාත් දුන්න සහයෝගය අමතක කරන්න බෑ. කොටින්ම අපිත් එක්ක විරසක වෙලා හිටපු මාලුකට්ටා පවා බ්ලොග් එක බලන්න එන්න අමතක කළේ නෑ.

බ්ලොග් ගඩොල් කියන්නේ තනිකරම අත්හදා බැලීමක්. මීට කලින් පුරුපුරුවත් උපාසකවත් කිසිම විදිහක ලේඛන කටයුත්තක යෙදිලා තිබුනෙ නෑ. ඒ හින්දා අපිට මුලින්ම තිබුන ලොකුම සැකය වුණේ පාඨකයො මේ බ්ලොග් එක කොහොම බාර ගනීවිද කියන එක. අපිට බ්ලොග් අවකාශෙ හරි සින්ඩිකේටර්වල හරි යාලුවො හිටියෙ නෑ. දැනට වුණත් ඉන්නෙ හිතවතුන් කීප දෙනෙක් විතරයි. ඒ හින්දා අපේ අත්දැකීම් කතා විදිහට කිසිම විදිහකට අඳුරන්නෙ නැති පාඨක පිරිසකට දෙන එක තමයි අපිට චැලේන්ජ් එක වුණේ. ඒ මදිවාට අපේ ලේඛන ශෛලිය සම්ප්‍රදායෙන් පිටයි. ඒක බ්ලොග් කියවන අයට එච්චර අල්ලයිද නැද්ද කියන සැකයත් අපිට තිබුනා.

කොහොමහරි බ්ලොග් එකේ පළවෙනි ලිපි කීපයෙන්ම සාර්ථක ප්‍රතිචාර ලබාගන්න අපිට පුලුවන්කම ලැබුනා. අපිටත් දෙයක් කැත නැතුව ලියන්න පුලුවන් වගේ හැඟිමක් ඇති වුණා. කොහොම වුණත් ඒකෙ ඇත්ත නැත්ත දන්නේ කියවන ඔයගොල්ලෝ තමයි. ඊටපස්සේ අපි තවත් ධෛර්යමත් වුණා. දිගින් දිගටම ලිව්වා. පස්සෙ කාලෙක උපාසක ගොඩක් කාර්යබහුල වුණාට පස්සෙ පුරුපුරුට බ්ලොග් එකේ වැඩි බරක් අදින්න වුණා. ඒත් උපාසකත් තමන්ට පුලුවන් විදිහට ලිපි ලිව්වා.

ඒ වෙද්දිත් අපිට හිට්ස්, කමෙන්ට්ස් සහ ෆලෝවර්ස්ලා සෑහෙන්න හිටියා. ඇත්තටම අපි ඒ දේවල්වලට ඉස්සර පට්ටම කැමතියි. (දැනුත් එහෙම තමයි) ලිපියක් ලිව්වට පස්සේ පැයෙන් පැයට ගිහින් බලන්නෙ කොච්චර කොමෙන්ට් ඇවිත්ද කියලා. කවුරු මොනවා කිව්වත් ඒ දේවල් තමයි බ්ලොග්කරුවෙක්ට තමන්ගේ රචනය වෙනුවෙන් ලැබෙන ඇගයීම. අනික ඉතිං මෙච්චර කරන්ට් බිල්, ඉන්ටර්නෙට් බිල්, කාලය, ශ්‍රමය ඔක්කොම වැය කරගෙන ලියලා ඒ වෙනුවෙන් කිසිම ඇගයීමක් බලාපොරොත්තු නොවෙන්න අපි රහත් වෙච්ච අය නෙවෙයි නොවැ! ඒ වගේම ලේසියි වගේ පෙනුනත් බ්ලොග් ගඩොල් වල ලිපියක් අපි පලකරන්නෙ ගොඩක් මහන්සි වෙලා. හරිහමං විදිහට අක්ෂර වින්‍යාසය හදන්න, ඡේද වෙන් කරන්න වගේ පොඩි දේවල් වලට පවා අපි ගොඩක් මහන්සි වෙනවා.

කොහොමහරි ඉතිං මමත් පට්ටම බිසී වෙනකං අපි හොඳට බ්ලොග් එක කරගෙන ගියා. ගොඩ දෙනෙක් අපේ ලිපි කියෙව්වා. රස වින්දා. ඒ දවස්වල බ්ලොග් ගඩොල් කිව්වාම බ්ලොග් ලියන ඕනෙ කෙනෙක් දන්න තත්ත්වයක් තිබුනා. බ්ලොග් එකේ කොමෙන්ට් කියවලා අපි අනේක සතුටක් වින්දා. ඒ හැමෝටම ස්තුති කරන්නත් මේ වෙලාවෙ අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම අපිට ලැබිච්ච එකම සහ ලොකුම ඇගයීම වුණේ පාඨකයන්ගෙ ප්‍රතිචාර තමයි. බ්ලොග් ගඩොල් තමන්ගේ ප්‍රියතම බ්ලොග් එක කියලා ගොඩක් දෙනෙක් විවිධ ලිපිවල කියලා තිබුනා. අපිට ඒක ලොකු දෙයක්. බොරු කියන්න ඕනෙ නෑනෙ.

ඒ වගේම ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න නිදහස හැමදාමත් මේ බ්ලොග් එකේ තිබුනා. ඇනෝ කොමෙන්ට් ඩිසේබල් කිරීම හරි කොමෙන්ට් මොඩරේට් කිරීම හරි කවදාවත් බ්ලොග් ගඩොල් වල සිද්දවුණේ නෑ. අසභ්‍ය වචන අඩංගු කොමෙන්ට් විතරයි අපි ඩිලීට් කළේ. 

කොහොමහරි ගිය අවුරුද්දේ අග ඉඳලා තමයි බ්ලොග් එකේ අයහපත් කාලෙ උදාවුණේ. බ්ලොග් එක පටන් ගනිද්දී පුරුපුරුත් උපාසකත් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෝ. ඒත් 2011 අගදී උපාසකට අමතරව පුරුපුරුත් ගොඩක් කාර්ය බහුල වුණා. පහුගිය අවුරුද්ද තමයි පුරුපුරුගෙ ජීවිතේ ගොඩක්ම සංසිද්දි වුණ අවුරුද්ද. මේ කාලෙ ඇතුලත පුරුපුරු උපාධිය ඉවර කළා. කැම්පස් එකේම රස්සාවක් පටන් ගත්තා. පරස්තාවකුත් කරගත්තා. රස්සාවෙන් අස් වුණා. ලංකාවෙනුත් යන්න වුණා. ඒ මදිවාට පස්තාච්චි කුපාඩියක් පටන් ගන්නත් වුණා. මේ වැඩ මැද්දේ 2012 අවුරුද්දේදි බ්ලොග් ගඩොල් පාලුවට ගියා.

ඉස්සරහටත් පුරුපුරුයි උපාසකයි තමන්ට වෙලාව තියෙන හැටියට බ්ලොග් එකේ ලිපි ලියයි. ඒත් හැමදාම නෙවෙයි. පාඨකයන්ට අපිව නීරස වේගෙන එනවා කියලා තේරුන දවසට මේ බ්ලොග් එක නතර කරලා දාන එකයි අපේ කැමැත්ත. අපිට ඕනෙ ඇඩම් ගිල්ක්‍රිස්ට්, හේඩ්න්, පොන්ටින් පන්නයේ සමුගැනීමක් විනා සනත් ජයසූරිය හරි අර්ජුන හරි සමුගත්ත විදිහට සමුගන්න නෙවෙයි. ඉතිං මෙච්චරකල් අපිත් එක්ක ඉඳපු, අපිව සතුටට පත් කරපු පාඨක ඔයාලාටයි අපේ පළමුවෙනි උපහාරය.

මගේ බ්ලොග් ජීවිතේ විවිධ තැන්වලදී, විවිධ මිනිස්සුන්ගෙන් විවිධ දේ ඉගෙනගෙන තියෙනවා. ඒත් මගේ ප්‍රධානම බ්ලොග් ගුරුවරුන් දෙන්නා වුණේ ටැබූ සහ කතන්දරයි. මේ මිනිස්සු දෙන්නාගෙන් මම ඉගෙනගත් දේවල් බොහෝමයි. කරන්න අවශ්‍ය දේවල් බොහොමයක් වගේම කරන්න නුසුදුසු සමහර දේවල් පවා මම ඉගෙන ගත්තේ මේ දෙන්නාගෙන් තමයි. අද බ්ලොග් ගඩොල් යම් තැනක ඉන්නවානං ඒකෙ ගෞරවය මගේ බ්ලොග් ගුරුවරුන්ටත් හිමිවෙන්න ඕනෙ. මේ ලිපියෙ පවා මාතෘකාවට ටැබූගෙ නමයි කතන්දරගෙ නමයි දැම්මනං අම්බානට හිට්ස් ලබාගන්න තිබුනා. මේක ඉගෙනගත්තෙත් මගේ බ්ලොග් ගුරුවරුන්ගෙන් තමයි. ඒත් ඒ ලබාගන්න හිට්ස් වලින් වැඩක් නෑ. මේක ඉගෙන ගත්තෙත් ඒ අයගෙන්ම තමයි.

වර්තමානෙදි තමන්ගෙ සුපුරුදු ආකර්ෂණීය ලේඛන රටාවෙන් අයින්වෙලා ඇනෝවරුත් එක්ක මොකද්ද විකාරයක් කරමින් ඉන්න කතන්දරට ආපහු ඉක්මනින්ම යථා තත්ත්වයට එන්න පුලුවන් වේවා කියලත් මෙතනදි ප්‍රාර්ථනා කරන්න කැමතියි. කොහොම වුණත් කකා කියන්නෙ සිංහල බ්ලොග්අවකාශයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් වගේම තමන්ට විරුද්ධ මත ඉවසන්න පුලුවන් මහත්මයෙක් විදිහට තමයි මමනං දකින්නේ. විශේෂයෙන් තමන්ගේ පඩිය ගැන පවා සඳහන් කරමින් පොර ටෝක් දෙන බ්ලොග්කරුවන් අතරේ කකා නිහතමානී චරිතයක්.

ඒ වගේම මට අනුවනං සිංහල බ්ලොග්අවකාශය තුළ පහළ වෙච්ච දක්ෂම, වඩාත්ම දුර දැක්මක් සහිත වෙච්ච  ලේඛකයා ටැබූ වගේම, සිංහල බ්ලොග්අවකාශය තුළ තිබුන ලොකුම බලපෑමක් සහිත බ්ලොග් එක තමයි ඔහු ලිව්ව ටැබූ සබ්ජෙක්ට්ස්. අවාසනාවට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක පස්සෙ කාලෙකදි අපිට නැති වුණා. ඒකට හේතුව මම හරියටම දන්නෙ නැති වුණත් ඒකෙන් බ්ලොග්අවකාශෙට වෙච්ච පාඩුව ගොඩක් විශාලයි කියලා ටැබූගේ විරුද්දවාදීන් වුණත් පිළිගනීවි. විශේෂයෙන් ටැබූගෙ නික්ම යාමෙන් ඇතිවෙච්ච නායකත්වයේ රික්තය පුරවන්න උත්සාහ කරපු සමහර බ්ලොග්කරුවන් හින්දා බ්ලොග්අවකාශයේ සාහිත්‍යමය පැත්තට වෙච්ච හානිය සුළුපටු නෑ. කොහොම වුණත් මගේ ඊළඟ උපහාරය මගේ බ්ලොග් ගුරුවරුන් දෙන්නාටයි.
මීට කාලෙකට ඉස්සර වෙලා බලන්න සෑහෙන්න වටින සමාජීය සහ දේශපාලනික බ්ලොග් ගොඩක් තිබුනා. ටැබූ සබ්ජෙක්ට්ස්, පෙරමුණේ රාළගේ අටුවාව, බියෝන්ඩ් ෆ්‍රේම්, පුලස්තිගෙ සටහන ඒ අතරින් කීපයක්. ඒත් දැන් ඒ ගොඩක් බ්ලොග් සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දැන් ඒ අඩුව පුරවන්න ඉන්නේ බුවාගේ සිතුවිලි, ඇල්කෙමියාගේ දිනපොත, රියර් ගේට්, මාතලන්, (දැන් ටික කාලෙකින් මොනවත් ලියවිලා නැති වුණත්) වර්ගපූර්ණිකාව වගේ බ්ලොග්. ඉතිං පුරවන්න අමාරු රික්තයක් පුරවන්න උත්සාහ කරන, ඒ උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගත්තු, හැමදාම ඉන්ටර්නෙට් එන අපිට අලුතින් හිතන්න යමක් ලියන මේ බ්ලොග්කරුවන්ටත් මගේ උපහාරය පුද කරන්න කැමතියි. ඒ වගේම නම් සඳහන් කරන්න අමතක වෙච්ච අයට කණගාටුව පළ කරන්නත් ඕනේ.

වින්දනාත්මක බ්ලොග් ගැන කතාකරන්න ගියොත්නං වෙනම දිග ලිස්ට් එකක් ලියන්න වෙනවා. ඒ හින්දා මම හිතන්නේ දැනට මේ ඇති. ඒ වගේම එදා මෙදා තුර මාව වචනයකින් හරි දිරිමත් කරපු, වැරදි හදාගන්න බ්ලොග් ගඩොල් විවේචනය කරපු හැම බ්ලොග්කරුවෙක්ටම, බ්ලොග් පාඨකයෙක්ටමත් නැවතත් ස්තුති කරන්න ඕනේ.

ප.ලි - දැනට බ්ලොග් අවකාශයේ ඉන්න බ්ලොග්කරුවන්ගෙන් මම මුණගැහෙන්න කැමතිම බ්ලොග්කරුවා බුවාගේ සිතුවිලි ලියන බුවාවයි. මොකද බුවාගේත් මගේත් සිතුවිලි මොකක්හරි හේතුවක් නිසා හැම අතින්ම සමානයි. දේශපාලනික බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන හිටියත් මට ලියන්න ඕනෙ හැම දෙයක්ම මෑන් ලියන හින්දා මම අදහස අතඇරලා දැම්මා.

ප.ප.ලි - චමින්ද වාස්ගේ පින්තූරයක් දැම්මේ හිතාමතාම බව කරුණාවෙන් සලකන්න. :)

Monday, December 10, 2012

හුංගා

හුංගෙක් - උපුටා ගැනීම http://www.srilankantravellers.com/animals/2011/12/31/

ගෙදර මාලු ටැංකියක් තියාගෙන සුරතල් මාලු ඇතිකරන එක ගොඩක් කොල්ලන්ගෙ පුරුද්දක්. ඉතිං අපේ පූසො සෙට් එකේ පුරුපුරු, ඤාව්වා සහ උපාසකත් මේ විදිහට මාලු ඇති කරන්න ඇබ්බැහි වෙලා හිටපු තුන් දෙනෙක් තමයි. ඉතිං මේ අයගේ ටැංකිවල ගෝල්ඩ් ෆිෂ්ලා, කාෆ්ලා, ඒන්ජල්ලා වගේ රට මාලු වගේම නළහඳයි, ගප්පි, පෙතියො, වැලිගොව්වෝ වගේ දේශීය මාලුත් හිටියලු. ඇත්තටම පුරුපුරුනං රට මාලුන්ටත් වඩා කැමති වුණේ අර අන්තිමට කියපු වෙල් මාලුන්ට තමයි. මොකද වීදුරු ටැංකියකට දැම්මාට පස්සෙ වෙල් මාලුන්ගෙන් පේන ලස්සන රට මාලුන්ටත් වඩා වැඩියි.

ඉතිං මේ සිද්දිය වුණේ අපේ පූසො ඒ ලෙවල් කරලා ගෙදර හිටපු දවස්වල. මේ දවස්වල තමයි අධ්‍යාපන කටයුතු හින්දා කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුන මාලු හැදිල්ල ආපහු නග්ගලා ගන්න පූසො තීරණයක් ගත්තේ. ඉතිං කට්ටිය තීරණය කළාලු ලස්සන වෙල් මාලු ටිකක් අල්ලගෙන තමන්ගෙ මාලු ටැංකි ලස්සන කරගන්න. මේ වැඩේට අපේ පූසො සෙට් එක තෝරගත්තේ පුරුපුරුලාගෙ ගෙදර පල්ලෙහා තිබුන වෙල අයිනෙන් ගලාගෙන ගිය පොඩි ඇළ.

ඔය විදිහට ඉතිං නියමිත දවසේ පූසො තුන්දෙනා සුබ නැකතින් වෙලට බැස්සලු මාලු අල්ලන්න ඕනෙ කරන ආම්පන්න ටිකත් අරගෙන. ආම්පන්න තමයි ඉතිං මාලුන්ව අල්ලන්න හදාගත්තු රෙදි ගොටු ටිකයි, ලොකු රෙද්දකුයි, අල්ලගත්ත මාලුන්ව ආපහු ගෙනියන්න ගෙනාපු ෂොපින් කවර ටිකයි. ඔය විදිහට ආම්පන්න වලින් සන්නද්ද වෙච්ච අපේ යාලුවො මුලින්ම ගියේ ඇළේ මාලු ගහනය වැඩියි කියලා කලින් මීටර් කරගෙන තිබුන ඒරියා එකකට.

දැන් ඉතිං අපේ කස්ටිය රෙදි එළලා, ගොටු ගහලා ලෑස්තිය මාලු ටිකක් අල්ලගන්න. කිව්වත් වගේ එතන  හිටියේ ජනගහන වේගය පාලනය කරගන්න බැරිවෙච්ච මාලු සෙට් එකක්. හැබැයි ඉතිං උං ඔක්කොම ගප්පියෝ. ඉතිං බොහොම කෙටි කාලයක් ඇතුලත ෂොපින් උරයක් පිරෙන්න ගප්පි අල්ලගන්න අපේ පූසන්ට පුලවන්කම ලැබුනලු. තව ටිකක් එහාට ගිහින් ටිකක් මහන්සි වුණාට පස්සේ පෙතියෝ සෙට් එකකුයි, වැලිගොව්වෝ කීප දෙනෙකුයි අල්ලගන්නත් කට්ටියට චාන්ස් එක හම්බවුණාලු. දැන් ඉතිං තුන්දෙනාටම ටැංකිවලට දාන්න තරම් කට්ටිය මාලු අල්ලගෙනයි ඉන්නේ. ඒ හින්දා පුරුපුරුටයි, උපාසකටයි ඕනෙ වුණේ ආපහු ඉක්මනට ගෙවල් වලට යන්න.

ඒත් ඤාව්වාටනං ආපහු යන්න කිසිම කැමැත්තක් තිබුනේ නෑ. මොකද මෑන්ස්ගේ ප්‍රධාන ගෝල් එක ඇචීව් කොරගන්න ඤාව්වාට ඒ වෙද්දිත් පුලුවන්කමක් ලැබිලා තිබුනේ නෑ. ඇත්තටම එදා දවසේ අපේ ඤාව්වාට ගොඩක්ම ඕනෙකම තිබුනේ හුංගෙක්ව අල්ලගන්න. ඉතිං මෑන්ස් පුරුපුරුගෙන් මේ ගැන කලින් දවසේ ඇහුවාම පුරුපුරුත් ඤාව්වාට කිව්වලු ඇළේ හුංගො ගොඩක් ඉන්නවයි කියලා. ඇත්තටම මේ පොඩි ඇළේ හුංගො ඉන්නබව පුරුපුරු කලින් එකපාරක් අහලා තිබුනත් පෑවිල්ල හින්දා ඇළේ වතුර ගොඩක් අඩු වෙලයි තිබුනේ. ඒ හින්දා පුරුපුරු ඇත්තටම විස්වාස කළේ නෑ ඤාව්වාට හුංගෙක් අල්ලගන්න ලැබෙයි කියලා. ඒත් ඉතිං කම්මැලි ඤාව්වාව එදා දවසේ ගෙන්නගන්න ඕනෙ හින්දම පුරුපුරු මෑන්ස්ට කිව්වලු ෂුවර් එකට හුංගෙක්ව අල්ලගන්න පුලුවන් වෙයි කියලා.

දැන් ඉතිං හුංගෙක්ව අල්ලගන්න බැරිවෙච්ච එකට ඤාව්වාට පට්ට අප්සෙට්. ඒ මදිවාට මෑන්ස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා.

“මොකද්ද බං උඹලා හුංගෙක්ව අල්ලලා දෙනවා කියලනෙ මට එන්ඩ කිව්වෙ. කිව්වනං දැන් අල්ලල දීපං. නැත්තං මම එන්නෙ නෑ ආපහු යන්ඩ“

දැන් ඤාව්වා වෙල මැද්දෙ පුරුපුරුටයි, උපාසකටයි සද්දෙ දානවා. වෙලේ ඉන්න අසමජ්ජාති මී හරක් රංචුවේ හැටි දන්න හින්දා මෑන්ස්ව තනියෙන් දාලා යන්නත් බයයි වගේ. ඉතිං අන්තිමට පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු ඤාව්වාට කොහොමහරි හුංගෙක් අල්ලලා දීලා මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න. ඒත් ඉතිං මෙච්චර වෙලා හම්බ නොවිච්ච හුංගො දැන් කොහෙන් හොයන්නද? 

මේ අතරෙ තමයි උපාසක මෙහෙම යෝජනාවක් කළේ.

“මචංලා අපි අර කැළෑව හරියට යමු බලන්න. ඒ හරියෙ ඇළේ සමහරවිට හුංගො ඉන්න පුලුවන්“

ඉතිං මේ යෝජනාවට එකඟ වෙච්ච පූසො සෙට් එකම ඈතින් තියෙන කැළෑව පැත්තට ගියාලු. ඇත්තටම මේක කැළෑවක් කිව්වට කැළෑ බඩියක්. එහෙම නැත්තං බඩවැටියක්. ඒ හරියෙ වෙල වුණත් ගොයම් වවලා නැතුව පුරන් වෙලයි තිබුනේ. ඉතිං මුලු ඒරියා එකේම තිබුනේ පාලු ස්වභාවයක්. කොහොමහරි ඉතිං අපේ යාලුවො තුන් දෙනාම දැන් ඇළ දිගේ ඇවිදගෙනම ඉස්සරහට යනවලු. බඩවැටිය හරියට ආවට පස්සෙ ඇළත් වහගෙනම වගේ කැළේ වැවිලයි තිබුනේ. ඉතිං තමන්ට අඩි දෙකතුනකට වඩා ඉස්සරහා තිබුන දේවල් පූසන්ට පෙනුනේ නෑ.

ඔය අතරේ තමයි ඤාව්වා එකපාරටම කෑ ගහන්න ගත්තේ.

“අන්න හුංගෙක්. හුංගෙක්. අල්ලපන් ඕකාව“

කලබල වෙච්ච පාර උපාසකයි, පුරුපුරුයිත් ඒ පැත්ත බැලුවත් දෙන්නම කිසිම හුංගෙක් දැක්කෙ නෑ. ඒත් ඇළේ හුංගෙක් හිටපු බව ඤාව්වාට හොඳටම ෂුවර්. දැන් මෑන්ස්ගෙ ලෑස්තිය ඇළේ බඩගාලා හුංගාව හොයන එක. ඒත් හුංගො කියන්නෙ එසේ මෙසේ මාලු ජාතියක් නෙවෙයි. උන් විද්දොත් සෑහෙන්න අමාරු වෙන්න පුලුවන් කියලයි පුරුපුරුනං අහලා තියෙන්නෙ. ඉතිං මෑන්ස් ඤාව්වාට ඇළට බහින්න දුන්නේ නෑ. ඒ වෙනුවට කට්ටියම කළේ හුංගාව අල්ලන්න සෝදිසි මෙහෙයුමක් දියත් කරලා තවත් ටිකක් ඉස්සරහට ගිය එක.

මෙහෙම යද්දි තමයි අපේ යාලුවො කට්ටියට එකපාරටම ඇළ අයිනේ තිබුන බැරල් එකක් හම්බවුණේ. මේ බැරල් එක ගනට වැවිච්ච පඳුරු අස්සේ හැංගිලා තිබුන හින්දා පූසො ඒක ඇඟේ වදින ගානට ළං වෙනකං දැක්කේ නෑ. ඒ වගේම බැරල් එක හින්දා පූසන්ගේ ඉදිරි ගමන අවහිර වෙලා තිබුනේ. ඉතිං උපාසක කළේ බැරල් එක ඇළට පෙරලලා දාන්න ට්‍රයි කරපු එක. ඒත් ගොඩක් බර ඒ බැරල් එක තල්ලු කරන එක පූසාට හිතපු තරං ලේසි වුණේ නෑ. අන්තිමට පූසො තුන් දෙනාම එකතුවෙලා තමයි බැරල් එක ඇළට තල්ලු කළේ. ඇළට වැටිච්ච බැරල් එක ඇතුලේ තිබුන දියරයක් “ගොජ ගොජ“ සද්දෙන් ඇළට එකතු වෙන්න ගත්තේ එතකොට.

එතකොට තමයි පූසන්ට මීටර් වුණේ මේ බැරල් එකේ තිබුනේ මොනවාද කියලා. ඒ තමයි වෙල් ෆැන්ටා, මුල්ල පටස්, කෂියා වගේ විවිධ නම් වලින් හඳුන්වන හෙළයන්ගේ ජනප්‍රිය පානය. දැන් ඉතිං මේක මහන්සියෙන් පෙරපු එකා වැඩේ දැක්කොත් පූසන්ට අබ සරණයි. ඉතිං හුංගො හෙවිල්ල පැත්තකින් තියපු පූසො කළේ අල්ලගත්තු මාලු ටිකත් උස්සගෙන පණ කඩාගෙන ආපහු දුවපු එක. දුවලා ගිහින් වෙලෙන් එගොඩ වෙනකංම අපේ යාලුවො නෙවෙයි ආපහු පිටිපස්ස හැරිලාවත් බැලුවේ.

පස්සේ වෙන දවසක උපාසකලගෙ ගෙවල් ගාව වෙලෙන් පොඩි හුංගෙක්ව අල්ලගන්න ඤාව්වාට පුලුවන්කම ලැබුනලු. ඔහොම සතියක් දෙකක් යද්දි තමයි පුරුපුරුට හද සලිතවෙන ජාතියෙ නිව්ස් එකක් ලැබුනේ. ගමේ හිටපු පුරුපුරුගෙ යාලුවෙක් එක දවසක් මෑන්ස්ව හම්බවෙච්ච වෙලාවක පුරුපුරුට මෙහෙම කිව්වලු.

යාලුවා :- මොකද්ද බං මේ උඹ කසිප්පු පෙරන කතාව?

පුරුපුරු :- හෑ!!! මොකක්? @$$*(*%$#%#@%@

යාලුවා :- නෑ බං අපේ අම්මට අර අල්ලපු ගෙදර ඇසිලින් ඇන්ටි කියලා තියෙනවා උඹ විබාගෙ ෆේල් වෙලා කොළඹ යාලුවොත් එක්ක ගමේ හොරෙන් කසිප්පු පෙරනවයි කියලා.

බැලින්නං එදා අපේ පූසෝ හුංගො හොයන්න ගිය ඒරියා එක ගමේ කෂියා පෙරන්න ප්‍රසිද්ද වෙච්ච තැනක්ලු. ඉතිං පුරුපුරු අනිත් පූසොත් එක්ක ඔය ඒරියා එකේ බඩවැටි අස්සෙ රිංග රිංග ඉන්නකොට ඕක දැකපු ගමේ ඩයල් එකක් තමයි මෑන්ස් ගැන ඔය නිගමනයට ඇවිත් ඉන්නේ. එදා තමයි අපේ පූසා දැනගත්තේ ගමේ රහස් ඔත්තු ජාලය සී.අයි.ඒ එකටත් වඩා කොච්චර ප්‍රබලද කියලා.

උපාසක තිප්පිලියෙක් සම


Saturday, December 8, 2012

හයවෙනි ඉන්ද්‍රිය


ඔයාලා දන්නවද හයවන ඉන්ද්‍රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක් තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි ඉන්ද්‍රියට දැනෙනවලු.

ඔන්න ඉතිං අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරමිනුයි හිටියෙ. ඉතිං මාසෙකට දෙවතාවක් විතර සති අන්තයෙ තමයි මෑන්ස් ගෙදර ආවෙ.

මෙහෙම සෙනසුරාදා දවස් කීපයකදිම ගෙදර එද්දි ගම්පහ ස්ටේසමේදි උපාසකගෙ රේඩාර් එකට අහුවුනු ගෑනු ළමිස්සියෙක් හිටියා. සුදු පොඩි බෝලයක් වගේ ගෑනු ළමයෙක්ලු ඉතිං. ගම්පහ ස්ටේසමේ ඇතුලෙ තියෙනවලු එක ප්ලැට්ෆෝර්ම් එකක ඉඳලා අනිකට මාරු වෙන්න හදපු පඩිපෙලක්. ඔය පඩිපෙලේ කොළඹට කෝච්චි යන පැත්තෙ පාමුල තියෙනවලු ටැප් එකක්. ඉතිං ඔන්න ඔතනම තියෙන බංකුවෙ තමා මේ ගෑනු ළමයා හැමදාමත් වාඩිවෙලා හිටියේ. අපේ උපාසකත් ඉතිං කරන්නෙ කොළඹ ඉඳන් එන ට්‍රේන් එකේ ඇවිත් අදාල ප්ලැට්ෆෝර්ම් එකෙන් බහින්නෙ නැතුව අනිත් පැත්තෙන් කෝච්චි පාරට පැනලා අර ගෑනු ළමයා ඉන්න හරියෙන් ගොඩවෙන එකයි.

මෙහෙම ඉතිං සති කීපයක් ගෙවිලා ගියාලු. කෝස් වර්ක් එක්ක අම්බානට බිසී හින්දා ඉස්සර චංචලාට ට්‍රයි කරන කාලෙ වගේ ගෑනු ළමයාගෙ විස්තර හොය හොයා කාලයක් තිබුනෙත් නැහැලු අපේ උපාසකට. ඒ නිසා උපාසක තීරනය කළාලු ඉක්මණින්ම වැඩේට එන්ටර් වෙන්න.

ඔන්න ඉතිං ඊළඟ සෙනසුරාදා දවසත්  උදා වුණාලු. උපාසකත් දැන් කොළඹ ඉඳන් කෝච්චියෙ ආවලු. ඇවිත් ගම්පහ නැවැත්තුවට පස්සෙ වෙනදා වගේ රේල පාරට පනින්නෙත් නැතුව, පූසා හෙමීට අහිංසක විදියට පඩිපෙල දිගේ නැගලා එහා පැත්තට සැපත් වුනාලු. සැපත් වෙලා බැලින්නම් මෙන්න වෙනදා වගේම ඉන්නවලු අර ගැනු ළමයත්. මියෙම්වා ‍රැකෙම්වා කියලා හිතට පූස් ධෛර්යය අරගත්තු අපේ පූසා කෙලින්ම ගිහින් වාඩි වුණාලු අර ගෑනු ළමයා ගාවින්. අනේ මේ කෙල්ලත් ඉතිං ඔලුව උස්සල බලලා උපාසකට ලාවට හිනාවකුත් දැම්මලු. උපාසකත් ඉතිං පොඩි හිනාවක් එහෙම දාලා කතාවට එන්ටර් වුනාලු.

මේ ගෑනු ළමයා උපාසකට කලින් දැකලා පුරුදු ගතියකුත් තිබුන හින්දම,

උපාසක :- හායි, ඔයා 2006ද ඒලෙවල් කලේ? මට ටිකක් දැකලා පුරුදුයි වගේ ඒකයි ඇහුවෙ.

ගැනු ළමයා :- ඔව්! මම සයන්ස් කළේ, මට මතකයි ඔයා බ්ලැක් ඔෆිසර් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් ආවා.

උපාසක :- (හුටා මාව දන්නවත් වගේ!!! තව මොනව දන්නවද දන්නෙ නෑ.)
 
"ආ...ඔව් ඔව්!! ආවා නේන්නං! එහෙනං ඒක තමා මටත් ඔයාව මීටර් වෙලා තිබුනෙ. මම මැත්ස් කළේ.

ගෑනු ළමයා :- ආ... ඒක තමයි ඔයාව අනිත් ක්ලාස් වලදි දැකලා නැත්තෙ.

(දකින්න ඉතිං මේ ළමයා දන්නෙ නෑ නොවැ අපේ උපාසක ක්ලාස් ගිය හැටි :) )

උපාසක :- ඉතිං මොකක්ද ඔයාගෙ නම? මමනං උපාසක.

ගෑනු ළමයා- මම නිසූපා.

උපාසක- නිසූපා? හ්ම්ම්... නිසූපා ඔයා හැමදාම මේ වෙලාවට මෙතන ඉන්නවා නේද? මොනාහරි ක්ලාස් එකකටවත් යනවද?

නිසූපා - මම යක්කල ආයූර්වේදෙ ඉගෙන ගන්නව අනේ. සෙනසුරාදාට ඉක්මනට ගෙදර එනවා.

උපාසක- ආ... වෙද නෝනා කෙනෙක්නෙ, ඒක හොඳයි හදිස්සියකට ලෙඩකටවත් බේත් ගන්න බැරියැ!!

(අපේ පූසාට තියෙන පික්සුවට තාම බේත් ලොවෙත් නෑලු)

ඔහොම ඉතිං  උපාසක ටෝක් එක ඉතාම සාර්ථක විදිහට ඉස්සරහට අරගෙන ගියාලු. වාසනාවට වගේ ස්ටේශන් එකේ අංකලුත් කෑගහලා කිව්වලු කොළඹ පැත්තට යන කෝච්චිය ලේට් කියලත්. දැන් ඉතිං අපේ මෑන්ස්ට මල් හතයි. දෙන්න ඔහොම පැයක් විතර අනං මනං ඕප දූප කියෝ කියෝ හිටියලු. ඔහොම කතාවෙන් කතාවෙන් උපාසක ඩේටා බේස් එකට දාගත්තු විස්තර තමා මෙව්වා.

නම - නිසූපා.
ඉන්නෙ - ගම්පහයි කොළඹයි අතරේ.
වයස - උපාසකලගෙ වයසේමයි.
අධ්‍යාපනය - යක්කල ආයුර්වේද ආයතනයේ ඉගෙන ගන්නවා.
පවුලේ තොරතුරු - මල්ලියෙක් ඉන්නවා
මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් - දෙන්නම අඳුරන යාලුවොත් ගොඩක් ඉන්නවා.

ඉතිං මෙහෙම කතා කර කර ඉද්දි තමයි තවත් දන්න අඳුරන ඩයල් එකක් ඒ පැත්තට ඇවිදගෙන එනවා උපාසක දැක්කේ. බැලින්නං මෙන්න බොලේ රෝහණදීර කට කනේ හිනාවක් දාගෙන පූසා ඉන්න පැත්තට එනවලු. ඔයාලා දිගටම බ්ලොග් ගඩොල් බැලුවනං රෝහණදීරව අමතක වෙන්න කොහෙත්ම පුලුවන්කමක් නෑ නොවැ! මතකනෙ අර පූස්ගම හොල්ලගෙන හිටපු චණ්ඩියා?

ඔය විදිහට උපාසකව දැක්ක රෝහණදීරත් ඉතිං එතනට ආවලු හිනාවත් දාගෙනම. උපාසකත් ඉතිං රෝහණදීරත් එක්ක කතා කළාලු. හැබැයි මෙහෙම ටික වෙලාවක් කතා කරගෙන යද්දි උපාසකගෙ හයවන ඉන්ද්‍රියට නිකන් අවුල් අවුල් වගේලු.

රෝහණදීර :- ආ මලයා කොහොමද ඉතිං? මොකද මේ පැත්තෙ?

උපාසක :- ඔහෙ ඉන්නවා රෝහණදීර අයියා, මේ බෝඩිමේ ඉඳලා ගෙදර යන ගමන් යාලුවෙක්ව හම්බ වුණා.

රෝහණදීර :- ඉතිං ඉතිං තාම ස්ටඩීස් එහෙම ඉවර නැද්ද? කෝ පූසො සෙට් එක එහෙම? කස්ටිය දැක්කෙවත් නෑ කාලෙකින්.

රෝහණදීර මෙන්න මෙහෙම උපාසකගෙන් ප්‍රශ්න පත්තරයක්ම අහන්න ගත්තලු. උපාසකත් ඉතිං ඒවාට උත්තර දුන්නට පස්සෙ රෝහණදීර එකපාරටම නිසූපා පැත්තට හැරිලා මෙහෙම ඇහුවලු.

රෝහණදීර :- අද කෝච්චි පරක්කුයි වගේ නේද නංගි?

නිසූපා :- ඔව් අයියේ! අද ගොඩක් පරක්කුයි වගේ.

ඔන්න එතකොටයි උපාසකට තේරුනේ මේ දෙන්නත් අදුරන දෙන්නෙක් බව. ඒත් ඉතිං අවුලක් නෑනෙ කියලා හිත හදාගත්තු උපාසක දිගටම රෝහණදීර එක්ක කතාව කරගෙන ගියාලු.

දැන් උපාසකයි, නිසූපයි එක ළඟ වාඩි වෙලා ඉන්නවා, රෝහණදීර ඉස්සරහින් හිටගෙන කතා කරනවා. උපාසකගෙ හයවන ඉන්ද්‍රියත් දිගට හරහට මෑන්ස්ට මැසේජ් එවනවා මොකක්හරි අවුලක් කියලා. මේ වෙද්දිනං අපේ උපාසකට උපරිම ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ. ඇයි දෙයියනේ නිදහසේ වැඩක් කිරරගන්න හදද්දිම කොහෙවත් හිටපු රෝහණදීරයෙක් ආවා නොවැ උදැල්ල දාන්න. ඉතිං අන්තිමේදි පූසා තීරණය කළාලු රෝහණදීරව වහාම එතනින් පිටමං කළේ නැත්තං තමන්ගෙ මිෂන් එක ගොඩදාගන්න තියෙන සම්භාවිතාව එකට පනස්දාහට බහිනවයි කියලා. අන්තිමේදි උපාසක නැගිටලා රෝහණදීරට පැත්තකට අඬගැහුවලු.

උපාසක :- මේ රෝහණදීර අයියේ, පොඩ්ඩක් මෙහාට එන්නකෝ

රෝහණදීරත් ඉතිං උපාසකත් එක්ක ටිකක් එහාට ගියාලු. මේ වෙද්දි ඉතිං නිසූපාටත් ටිකක් මීටර් වෙලයි තිබුනේ මොකක්හරි අබ්ලික් කේස් එකක් එතන ක්‍රියාත්මක වෙමින් තිබුන බව.

උපාසක :- මේ රෝහණදීර අයියේ උඹට වෙන වැඩක් නැද්ද බං? මම මේ පොඩි සීන් එකක උච්ඡතම අවස්තාවෙ ඉන්නේ, ඒක කරගන්න දීලා මෙතනින් කැපියන්කො තරහ නැතුව.

රෝහණදීර :- කැපෙන්නෙ? කැපෙන්න නෙවේ #%!#$!# මගෙන් අහගන්නෙ නැතුව පලයන් මෙතනිං. මේ මගෙ කෑල්ල යකෝ. සතියකට සැරයයි ඒකිව මට හම්බවෙන්නෙ. ඒකටත් ‍හැමදාම ‍තෝ වගේ ගෝතයෙක් පාත් වෙනවනෙ!!!

ඔන්න එතකොට තමයි අපේ උපාසකට තරු පේන්න ගත්තේ. මොනවා කරන්නද ඉතිං, අර ගිය මොකක්ද එක ආයෙ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කතාවක් තියෙනවා නොවැ! ඉතිං උපාසක රෝහණදීරට පොඩි බටර් පාරක් ගාලා ෂේප් කරගෙන, වැඩිය චාටර් නෑ කියලා හිත හදාගෙන ඒ වෙලාවෙම ගෙදර ආවලු. රෝහණදීර පූසො සෙට් එකත් එක්ක ‍ෆිට් බුවා නිසා හොඳයි ඉතිං. නැත්නං එදා උපාසකට ගෙදර එන්න වෙන්නෙ කොටස් වශයෙන්ලු.

ප:ලි:- එදා ඉඳලා ඉතිං උපාසක එක්ක රෝහණදීර වගේම නිසූපාත් සෑහෙන්න ‍ෆිට් වුණාලු. හැබැයි ඉතිං උපාසකනං නිසූපා එක්ක කතා කළේ මූණටම හම්බවුණොත් විතරයි. නැත්තං මෑන්ස් කළේ නිසූපාව දැක්කාම හිමීට එතනින් ඌර්ධවපාතනය වෙලා යන එක. ඇයි ඉතිං වෙච්ච දේ හැටියට හිත හදාගෙන එයාට ෆේස් කරන්නේ කොහොමද? ඒ වගේම දැන්නං හැබයි රෝහණදීරගෙයි නිසූපාගෙයි මෙව්වා එක නැහැ කියලා තමයි ආරංචි.

Monday, November 19, 2012

උසස් අධ්‍යාපනයට ඉල්ලුම් කිරීම



සාමාන්‍යයෙන් බ්ලොග් ගඩොල් වල ලිපි ලියවෙන්නේ කාලය අනුපිළිවෙලට. ඒ අනුව බැලුවොත් අපි තවමත් ඉන්නේ 2007/2008 කාල පරිච්ඡේදයේ. ඒත් උසස් අධ්‍යාපන කටයුතු වලට ඉල්ලුම් කරන කාලය උදා වෙලා තියෙන හින්දත්, බ්ලොග් අවකාශයේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන කස්ටිය ගොඩක් ඉන්න බව මම දන්න හින්දත්, කාලය පොඩ්ඩක් ස්කිප් කරලා 2011 අවුරුද්දට එන්න තීරණය කළා. මගේ මේ ලිපි පෙළ ඒ අයට වගේම අධ්‍යාපන කටයුතු ගැන උනන්දු හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම කියන්න ඕනෙ මම විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුව කෙනෙක් විදිහට මේ ලිපි ලියවෙන්නේ විද්‍යා අංශයට සම්බන්ධව බව. ඒත් කළමණාකරන, කලා වගේ ඕනෙම ක්ෂේත්‍රයක නිරත වෙලා ඉන්න අයට මේ කරුනු කාරනා යම්තාක් දුරකට හරි පිටිවහලක් වෙයි.

මුලින්ම කියන්න ඕනෙ මෙතනදි උසස් අධ්‍යාපනය කියලා මම අදහස් කරන්නේ පශ්චාත් උපාධි, එහෙමත් නැත්තං කතන්දරකාරයාගේ භාෂාවෙන් කියනවනං පස්තාච්චි කුපාඩි ගැන. නැතුව මූලික උපාධියක් ලබාගැනීම ගැන නෙවෙයි.

කරනවාද නැද්ද?



ඕනෙම දෙයක් කරන්න කලින් වගේම උසස් අධ්‍යාපන කටයුතු කරන්න කලිනුත් ඔයාලා එක හිතින් තීරණය කරන්න ඕනෙ මූලිකම දේ තමයි උසස් අධ්‍යාපනය කරනවාද නැද්ද කියන එක. මේක සරල දෙයක් වගේ හිතුනත් ඔයාලා ජිවිතයේදී ගන්න සෑහෙන්න බැරෑරුම් තීරණයක්. ගොඩක් දෙනෙක් කරන ලොකු වැරැද්දක් තමයි තමන්ගෙ මූලික උපාධිය ඉවරවෙනකං, එහෙමත් නැත්තං උපාධියෙ අන්තිම අවුරුද්ද වෙනකං ඉන්නවා මේ තීරණය ගන්න. ඒත් පුරුපුරුගෙ මතයනං මේ තීරණය ගන්න ඕනෙ මූලික උපාධියෙ පළවෙනි අවුරුද්දේ, එහෙමත් නැත්තං දෙවෙනි අවුරුද්දෙ මුලදි බව. එතකොට තමයි තමන්ට කල්තියා ප්ලෑන් කරන්න පුලුවන් තමන් අවුරුදු හතරක උපාධියක් කරනවාද, එහෙමත් නැත්තං අවුරුදු තුනකින් උපාධිය ඉවරකරලා රස්සාවක් කරනවාද කියන එක.

ඊට අමතරව තමන් උසස් අධ්‍යාපනය හදාරනවාද නැද්ද කියලා තීරණය කරපු කෙනෙකුට කැම්පස් එකේදි හදාරන්න ඕනෙ පාඨමාලා ඒකක (course units) මොනවද කියලා තීරණය කරන එක හරිම පහසුයි. උදාහරණයක් විදිහට උසස් අධ්‍යාපනය හදාරන්නෙ නැතුව කෙලින්ම රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට කැම්පස් එකේදි ගොඩක් වෘත්තීයමය පැත්තට බරවෙච්ච පාඨමාලා ඒකක තෝරගන්න පුලුවන්. ඒ වගේම කැම්පස් එකේ ඉගෙනගන්න අතරෙම ලබාදෙන කාර්මික පුහුණුවලට (industrial training) සහභාගි වෙන එක මේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න බලාපොරොත්තු වෙන අය ගොඩක් දුරට විෂය කරුණු ගැඹුරින් ඉගැන්වෙන පාඨමාලා ඒකක තෝරගන්න එක ඇඟට ගුණයි. ඒ වගේම තමන්ට හැකි හැම ආකාරයෙන්ම පර්යේෂණ අත්දැකීම් (research experiences) ලබාගන්න එක මේ අය අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක්.

ඒ වගේම උසස් අධ්‍යාපන පාඨමාලා වලට ඇතුලත් වීමේදී සම්පූර්ණ කර තිබිය යුතු විවිධ විභාග තියෙනවා. (උදා :- GRE, IELTS, TOEFL ආදිය) ඉතිං ඔයාලා මූලික උපාධිය කරන අතරතුරේම මේ විභාගත් ඉවර කරලා තිබුනොත් මූලික උපාධිය අවසන් කරපු වහාම උසස් අධ්‍යාපන පාඨමාලා වලට ඇප්ලයි කරන්න ඔයාලාට පුලුවන්. ඉතිං මේකටත් උසස් අධ්‍යාපනය හදාරනවාද නැද්ද කියලා කලින්ම තීරණය කරන ඒක බොහොම වැදගත්.

ඉතිං මේ තීරණය ගනිද්දී ඕනෑම කෙනෙක් සැලකිල්ලට ගන්න ඕනෙ උසස් අධ්‍යාපනය ලැබීමේ වාසි සහ අවාසි. වාසි විදිහට මටනං මේ වෙලාවේ මතක් වෙන්නේ මේ කරුණු. හොඳ රැකියාවක් පහසුවෙන් සොයාගැනීමේ හැකියාව, කථිකාචාර්යවරයෙක්/ පර්යේෂකයෙක් වීමේ හැකියාව, සමාජෙය් ඉහළ පිලිගැනීමක් ලැබීම, මහත් දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙක් වීම වගේ දේවල් තමයි වාසි විදිහට ගන්න පුලුවන්. අවාසි ගැන කතා කරනවානං උසස් අධ්‍යාපනය ලබන කාල සීමාවේ අඩු වැටුපක් ලැබීම/ වැටුප් නොලැබීම, තමාගේ තරුණ කාලය අධ්‍යාපනය වෙනුවෙන් කැප කිරීමට සිදුවීම, අධික ශාරීරික සහ මානසික වෙහෙස, අධික කාර්යබහුලතාවය වගේ දේවල් ගන්න පුලුවන්. ඉතිං මේ තීරණය තනිකරම හිතට එකඟව ඔයාලා විසින්ම ගන්න ඕනෙ තීරණයක්. නැතුව ගෙදර මිනිස්සුවත්, ගුරුවරුවත් ගන්න ඕනෙ තීරණයක් නෙවෙයි.

ලබාගන්න පුලුවන් උපාධි


උසස් අධ්‍යාපන පාඨමාලා වලින් පශ්චාත් උපාධි සහතිකපත්, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදියට අමතරව ලබාගන්න පුලුවන් උපාධි විදිහට ශාස්ත්‍රපති (M.A/M.Sc), දර්ශනපති (M.Phil.), ආචාර්ය උපාධි (Ph.D.) ආදිය සදහන් කරන්න පුලුවන්. ඉතිං තමන්ගේ අනාගත බලාපොරොත්තු වලට ගැලෙපන විදිහට, ඒ වගේම තමන්ගේ වර්තමාන අධ්‍යාපන සුදුසුකම් වලට අනුව තමන්ට වඩාත්ම ගැලපෙන උපාධිය තෝරාගන්න එක ඔයාලාට බාරයි.

උදාහරණයක් විදිහට පශ්චාත් උපාධියෙන් පස්සේ කාර්මික අංශයේ රස්සාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අවුරුදු පහකින්වත් ඉවර කරන්න අමාරු ආචාර්ය උපාධියක් කරනවාට වඩා, අවුරුදු දෙකකින් ඉවර කරන්න පුලුවන් ශාස්ත්‍රපති උපාධියක් කරලා රස්සාවට යන්න කැමති වෙන්න පුලුවන්. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරෙයක්, පර්යේෂකයෙක්, විද්‍යාඥයෙක් වෙන්න ඕනෙ අයට හොඳම ඔප්ෂන් එක තමයි ආචාර්ය උපාධිය. ඒ වගේම තමන්ගේ මූලික උපාධියේ ප්‍රථිඵල එච්චරම හොඳට නැත්තං සහ තමන්ට ආචාර්ය උපාධියක් කරන්න ඕනෙනං වඩාත්ම යථාර්ථවාදී ක්‍රමය තමයි මුලින් ශාස්ත්‍රපති හරි දර්ශනපති හරි උපාධියක් කරලා පස්සේ ආචාර්ය උපාධියකට යන එක.  තවත් සමහරුන්ට තියෙන අවශ්‍යතාවයක් තමයි විදේශ රටක ප්‍රසිද්ද විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගන්න එක. ඉතිං ඒ වගේ කට්ටියට පුලුවන් මුලින්ම ඒ රටේ සාමාන්‍ය විශ්ව විද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධියක් කරලා ඊට පස්සේ ප්‍රසිද්ද විශ්ව විද්‍යාලයකට ඇප්ලයි කරන්න. මොකද ලංකාවේ මූලික උපාධියකින් විදේශ රටක ගොඩක් ලොකු කැම්පස් එකකට යන එකට වඩා ඒ ක්‍රමය ලේසියි.

උසස් අධ්‍යාපනය ලබන්නේ කොහෙද?

දැන් අපි බලමු උසස් අධ්‍යාපනය ලබාගන්න ඔයාලා තෝරගන්නේ කොහෙද කියන එක. මේ කාරනේදි ඔයාලාට ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි එක ලංකාවේ ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන එක. දෙවෙනි එක ලංකාවෙන් එළියට ගිහින් උසස් අධ්‍යාපනය හදාරන එක. ඉතිං අපි බලමු මේ ඔප්ෂන් දෙකේ තියෙන වාසි සහ අවාසි.

ලංකාව ඇතුලේ උසස් අධ්‍යාපනය හැදෑරුවොත් තමන්ට තමන්ගේ පවුලේ සාමාජිකයෝ, ඒ වගේම පෙම්වතිය/පෙම්වතා/සහකරු/සහකාරිය සමග කල් ගතකරමින්ම උසස් අධ්‍යාපනය ලබන්න පුලුවන්. ඒ වගේම ලංකාව කියන්නේ තමන් ඉපදුන රට. පරිසරය සහ සමාජය තමන්ට හුරු පුරුදුයි. සමාජය ගැන අමුතුවෙන් ඉගෙනගන්න ඕනෙ දේවල් ඇත්තේම නැති තරම්. දෙමව්පියන්ට සලකන්න ලේසියි. මේ වගේ වාසි කීපයක් තියෙනවා.

ඒත් ලංකාව ඇතුලේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවාසිත් ගොඩක් තියෙනවා. ඉතාම අඩු වැටුප (සාමාන්‍යයෙන් මාසිකව රු. 25000ක් පමණ), අඩු තාක්ෂණය, නවීන දැනුම ලබාගැනීමේ අඩුපාඩුකම්, විශ්ව විද්‍යාලවල ප්‍රශ්න, විද්‍යාගාරවල පහසුකම් හිඟය, විද්‍යාගාරවල ඉඩකඩ අඩු වීම, විද්‍යාගාර වල වැඩ කිරීමට කාල සීමාවක් තිබීම, ආචාර්යවරුන් අධික කාර්යබහුල පුද්ගලයන් වීම වගේ කරුණු ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවාසි විදිහට සලකන්න පුලුවන්. මේ සම්බන්ධව මම වෙනම ලිපියක් ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න නිසා වැඩිපුර මේ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒත් ලංකාව ඇතුලේ විද්‍යාත්මක පර්යේෂණ කරන එක ඉතාම අමාරු වැඩක් බව කියන්න ඕනෑ. ඒ වගේම සමාජයේ විද්‍යාවට ලබා දී ඇති පහත් තත්ත්වය නිසා ලංකාවේ විද්‍යාඥයින්ට හිතකර පර්යේෂණ සංස්කෘතියක් නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිළධාරීන් පිටසක්වල ප්‍රහාර ගැන ප්‍රකාශ නිකුත් කිරීමෙන්ම වර්තමානයේ සමාජයේ විද්‍යාවට අත්වී තියෙන ඉරණම පේනවා.

පිටරටක උසස් අධ්‍යාපනය ලැබීමෙන් මම කලින් ලංකාවේ උසස් අධ්‍යාපනය ගැන සඳහන් කරපු අඩුපාඩු සියල්ලම මගහරවා ගන්න පුලුවන්. ඊට අමතරව පිටරටක රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවනං පිටරටකම උසස් අධ්‍යාපනය ලැබීම අතිශයින්ම වාසි සහගතයි. ඒත් වෙනත් රටක උසස් අධ්‍යාපනය ලැබීමේ අවාසිත් සෑහෙන තියෙනවා. ඒ තමයි කලින් ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමේදී අත් වෙනවයි කියපු වාසි නොලැබීම. ඊට අමතරව විදෙස් අධ්‍යාපනය ලැබීම ඉතාම මිල අධික වැඩක්. විශේෂයෙන්ම පාඨමාලා ගාස්තු සහ ජීවන වියදම ඉතාම ඉහළයි. ඉතිං විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක්ගේ මූලිකම බලාපොරොත්තුව ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගැනීම. එතකොට අදාල කැම්පස් එකෙන් තමන්ට සල්ලි ගෙවන අතර මාසිකව සැලකිය යුතු මුදලක් ඉතුරු කරන්නත් පුලුවන්.

අවශ්‍ය සුදුසුකම්


මූලිකම සුදුසුකම තමයි මූලික උපාධියක් තිබීම. ඒ වගේම අදාල උපාධියේදී තමන් ඉගෙනගත් විෂය කරුණු ඉතාම වැදගත්. ජීව විද්‍යාවෙන් උසස් අධ්‍යාපනය ලබනවානං යම් තාක් දුරකට ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව එහෙමත් ඉගෙනගෙන තිබුනොත් ගොඩක් ප්‍රයෝජනවත්. මීට අමතරව ඔයාලා ඇප්ලයි කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටනං උපාධියේ කාල සීමාව අවුරුදු හතරක් වීම ඉතාම වැදගත්. නැත්තං මූලික උපාධියට අමතරව ශාස්ත්‍රපති උපාධියකුත් තියෙන්න ඕනේ. බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව වගේ රටවලට මුදල් ගෙවලා පශ්චාත් උපාධියක් කරන්න යන්න අවුරුද තුනක උපාධියක් තිබුනාම ඇති. ඒත් ඒ රටවල ශිෂ්‍යත්වයක් ලබාගන්න අවුරුදු තුනක උපාධියකින් පුලුවන්ද කියලා මම දන්නේ නෑ. දන්න කෙනෙක් මේ ගැන දැනුවොත් කළොත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. ලංකාව ඇතුලේ උසස් අධ්‍යාපනය ලබන්නනං අවුරුදු තුනක උපාධියක් ප්‍රමාණවත්.

ඒ වගේම ලංකාවෙන් එළියේ  උසස් අධ්‍යාපනය ලබන්න මූලික උපාධියේ පංති සාමාර්ථය එච්චරම බලපාන්නේ නෑ. උදාහරණයක් විදිහට GPA එක 3.49 (දෙවෙනි පන්තියේ උසස් සාමාර්ථය) සහ 3.50 (පළමු පන්ති සාමාර්ථය) ලබාගත්ත සිසුන් දෙන්නෙක්ට පිටරට විශ්ව විද්‍යාලයකින් ලැබෙන්නේ එක වගේ පිළිගැනීමක්. ඒ වගේම උපාධිය ලබාගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද, පුද්ගලික විශ්ව විද්‍යාලයකින්ද කියන එකත් විදේශ අධ්‍යාපනය ලැබීමේදී බලපාන්නේ නෑ.

ඊලඟට වැදගත් දේ තමයි තමන්ට ඇති පර්යේෂණ අත්දැකීම් ප්‍රමාණය. බොහෝ රටවල වගේම ලංකාවේ ආචාර්ය උපාධියක් හදාරන්නත් තමන්ට අවුරුද්දකවත් පර්යේෂණ අත්දැකිම් තියෙන්න ඕනේ. ශාස්ත්‍රපති උපාධියකට වුණත් ඇප්ලයි කරනකොට වැඩියෙන් පර්යේෂණ අත්දැකීම් තියෙන අයදුම්කරුවන්ට තමයි ප්‍රමුඛතාවට හම්බවෙන්නේ. ජීව විද්‍යාව, රසායන විද්‍යාව වගේ ක්ෂේත්‍රවලට මේ කාරණේ පොදු වුණත් පරිඝණක විද්‍යාව වගේ විෂයයන් වලදීනං මම දන්න විදිහට ගොඩක් දුරට සැලකිල්ලට ගන්නේ කාර්මික අංශයේ අත්දැකීම්. කොහොම වුණත් සිව් අවුරුදු උපාධිවල අන්තිම අවුරුද්දේ ඇති පර්යේෂණ හෝ කාර්මික ව්‍යාපෘතිය හින්දා ගොඩක් දෙනෙක් මූලික උපාධිය අවසන් කරද්දිම මේ සුදුසුකම සම්පූර්ණ කරගෙන ඉවරයි.

ඊළඟට අදාල කැම්පස් එකට තමන් ලිපියක් මගින් දැනුම් දෙන්න ඕනෙ තමන් ඇයි ඒ කැම්පස් එකේ අදාල පාඨමාලාව හදාරන්න කැමති කියලා. මේකට කියන්නේ “අරමුණු සඳහන් ප්‍රකාශය (Statement of Purpose)“ කියලා. මේ ලියුම ගොඩක් වැදගත්. මේකෙන් තමයි කැම්පස් එකේ නිළධාරීන්ට අපි ඒත්තු ගන්වන්නේ ඒ අයගේ කැම්පස් එකට එන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ, අපිට අහවල් සුදුසුකම් සහ හැකියාවල් තියෙනවා, ඒ නිසා අපිව කැම්පස් එකට ගන්න කියලා. ඒ එක්කම අපේ ජීවදත්ත සටහනක් යවන්නත් ඕනේ.

මේ අතරේ ඔයාලාට සිද්දවෙනවා කලින් ඉගෙනගත්ත කැම්පස් එකෙන් නිර්දේශාත්මක ලිපි (Recommendation Letters) ලබා ගන්න. මේ ලිපි ලබාගන්න ඕනෙ තමන් ගැන හොඳින් දන්න ආචාර්යවරුන්ගෙන්. විශේෂයෙන්ම තමන්ගේ පර්යේෂණ ව්‍යාපෘතිය භාරව හිටපු ආචාර්යවරයාගේ ලියුම ගොඩක් වැදගත්. මේ ලියුම් හරියට චරිත සහතික වගේ. තමන් ඇප්ලයි කරපු කැම්පස් එකෙන් තමන් මොන විදිහේ මනුස්සයෙක්ද කියලා අවබෝධයක් ලබාගන්නේ මේ ලියුම් වලින් තමයි. ඒ  වගේම මේ ලියුම් වල තමන් ගැන තියෙන්නේ මොනවද කියලා බලන්න ඔයාලාට හැකියාවක් නෑ. ඉතිං ඒ හින්දා තමන් එක්ක හිත හොඳ ආචාර්යවරුන්ගෙන් මේ ලිපි ලබාගන්න එක ඇඟට ගුණයි. සාමාන්‍යයෙන් ආචාර්ය උපාධි ඇප්ලිකේෂන් එකකදී ආචාර්යවරු තුන් දෙනෙකුගෙන්වත් නිර්දේශාත්මක ලිපි ලබා ගන්න ඕනේ.

ඔයාලා ඇප්ලයි කරන්නේ ඉංග්‍රීසි කතාකරන රටකරනං ඒ අයට ඔයාලාගේ ඉංග්‍රීසි හැකියාව ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. ඒකට ඉංග්‍රීසි හැකියා විභාගයකින් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් අරගෙන පෙන්නන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ සඳහා කරන්න ඕනේ එක්කෝ TOEFL (Test of English as a Foreign Language) හරි IELTS (International English Language Testing System) කියන විභාග දෙකෙන් එකක්. ඇමරිකාව TOEFL විභාගය ගොඩක් පිළිගන්න අතරේ බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගොඩක් කැමති IELTS විභාගයට. නමුත් වර්තමානයේ බහුතරයක් විශ්ව විද්‍යාල මේ විභාග දෙකම පිලිගන්නවා.

ඊටපස්සේ තියෙන්නේ ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇප්ලයි කරනවානං ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ GRE (Graduate Record Examination) කියන විභාගයයි. ඇමරිකානු විශ්ව විද්‍යාල ජාත්‍යන්තර සිසුන්ගේ සුදුසුකම් වලින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මේ විභාගයේ ලකණු වලටයි. ඒ නිසා සෑහෙන්න මහන්සි වෙලා GRE විභාගයට හොඳ ලකුණක් ලබාගන්න එක ඇමරිකාවට යන්න බලාපොරොත්තු වෙන හැම සිසුවාගේම ඇඟට ගුණයි. මේ විභාගයේදී ටෙස්ට් කරන්නේ ඔයාලාගේ ගණිතය, ඉංග්‍රීසි සහ විශ්ලේෂණාත්මක රචනා හැකියාවනුයි. මේවායින් ගණිත කොටස ශ්‍රී ලාංකික සිසුන්ට ලේසි වුණත් ඉංග්‍රීසි කොටස බොහෝ අමාරු බවයි වැඩි දෙනෙක්ගේ මතය.

වියදම් පියවාගැනීම

විදෙස් අධ්‍යාපනය ලබන/ ලබන්න බලාපොරොත්තු වෙන හැම දෙනාටම තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පාඨමාලා ගාස්තු සහ ජීවන වියදම අධික වීම. මේ සඳහා හොඳම විසඳුම තමයි අදාල කැම්පස් එකෙන් ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න එක. ඇමරිකාවේනං බොහෝදුරට පශ්චාත් උපාධි හදාරන සිසුන්ට කලින් සඳහන් කරපු ආකාර දෙකෙන් මුදල් ආධාර ලබා දෙනවා. කොහොමවුණත් ශිෂ්‍යත්වයක් ලබාගන්න එක අපහසු වගේම ඉතාම තරඟකාරී කටයුත්තක්. ඒ හින්දා ගොඩක් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන්නේ සහකාර තනතුරු. ශිෂ්‍යත්වයක් සහ සහකාර තනතුරක් අතර වෙනස තමයි ශිෂ්‍යත්වයකදී සිසුවාට කිසිම ශ්‍රමය වැය කිරීමකින් තොරව මුදල් ලැබෙන එක සහ සහකාර තනතුරකදී සිසුවාට ශ්‍රමය වැය කිරීමෙන් මුදල් උපයන්නට සිදුවීම. ඉගැන්වීම් සහකාර තනතුරකදී සිසුවාට නියමිත වෙන්නේ අදාල කැම්පස් එකේ මූලික උපාධි සිසුන්ට නිබන්ධන උගන්වන එක. පර්යේෂණ සහකාර තනතුරකදී සිද්ද වෙන්නේ අදාල කැම්පස් එකේ විද්‍යාගාරවල පර්යේෂණ කටයුතු වල නිරත වෙන එක.

මේ වගේ ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න සිසුන්ට කැම්පස් එකේ පාඨමාලා ගාස්තු ගෙවන්න ඕනෙ වෙන්නේ නෑ. ඒ වගේම අතටත් සෑහෙන්න ගානක් හම්බ වෙනවා. වෛද්‍ය රක්ෂණ, ජීවිත රක්ෂණ ලැබෙනවා. මේ නිසා සෑහෙන ගානක් මාසිකව ඉතුරු කරන්න පුලුවන්. ඒත් තමන්ට ශිෂ්‍යත්වයක්, සහකාර තනතුරක් ලැබුනේ නැතත් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න සමහර රටවල්වලදී පුලුවන්. කොහොම වුණත් නිකං ඉඳගෙනත් කරන්න අමාරු පශ්චාත් උපාධියක් රස්සාවකුත් එක්ක කරන එක තවත් අමාරුයි. ඒ වගේම සමහර රටවල ශිෂ්‍ය වීසා සහිත පුද්ගලයන්ට රැකියා කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ හින්දා ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න උත්සාහ කරන එක උසස් අධ්‍යාපන කටයුතු වලට විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙන හැම සිසුවාම හිතට ගන්න ඕනෙ කාරණයක්.

මීළඟ ලිපි වලින් තවත් විස්තර බලාපොරොත්තු වන්න.

Tuesday, September 18, 2012

ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය - 2 (අවසානය)



අපි කලින් දවසේ කතාව නතර කළේ අපේ මාලුකට්ටායි, නිසංසලායි හොඳම යාලුවො වෙච්ච තැනින් නොවැ! හැබැයි ඒ නිසංසලාට රයන් කියලා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්දැද්දිමයි. කොහොමහරි ඉතිං ඔය දවස්වල මාලුකට්ටා තමයි රයන්ටත් වඩා නිසංසලාට කිට්ටුවෙන් හිටියේ. කොටින්ම රයන් එක්ක වලියක් දාගත්තමත් නිසංසලා කෝල් කරලා දුක කියන්නේ මාකට්ට. මාකටුත් ඉතිං රයන්ටත් වඩා හොඳට නිසංසලාව නලවලා සනසනවාලු. ඔය විදිහට වැඩේ ලෙසටම නැගලා යද්දි තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

මේ කියන දවසේ අපේ පූසො කට්ටිය පුරුපුරුලාගෙ ගෙදරට සෙට් වෙලා ෆිල්ම් එකක් බල බලා හිටියේ. එක පාරටම මාකට්ගෙ ෆෝන් එක රිංග් වුණේ අනිත් පූසන්ට අම්බානට ෆ්ලවර් ජම්ප් කරලා. මොකද මේ වෙද්දි කට්ටිය සෙට් වෙලා මොකක් හරි වැඩක් කරද්දි මාකට්ට නිතරම නිසංසලාගෙන් කෝල් එන එක අනිත් පූසන්ට වදයක් වෙලයි තිබුනේ. කොහොමහරි ඉතිං අනිත් පූසන්ගේ ඇනුම්පද මැද්දෙන් කෝල් එක ආන්සර් කරපු මාලුකට්ටාගෙ මූණෙ පෙම් පාට වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඉතිං මෑන්ස් මොකක්හරි ජලබරි කේස් එකකට ෆේස් කරලා ඉන්න වග අනිත් පූසෝ තේරුම් ගත්තලු. පස්සෙ බැලින්නං මෑන්ස්ට ඇවිත් තිබුනේ මේ වගේ කෝල් එකක්. හැබැයි ඒ නිසංසලාගෙන්නම් නෙවෙයි.

අමුත්තා :- මේ මිස්ටර් මාලුකට්ටාද කතා කරන්නේ?

මාකට් :- ඔව්! මාලුකට්ටා තමයි. කවුද මේ කතා කරන්නේ?

අමුත්තා :- මම මේ අහවල් දිස්ත්‍රික්කය බාර එස්. එස්. පී කතා කරන්නේ. මට තමාගෙන් වැදගත් තොරතුරු වගයක් දැනගන්න තියෙනවා.

මාකට් :- හික් හික්!! මේ ***, විහිලු නොකර කියපං උඹ කවුද කතා කරන්නේ කියලා. ඇත්ත කියපං, උඹ වේයන්ගොඩයා නේද?

අමුත්තා :- තමුසෙට මේක විහිලුවක් වගේද තේරෙන්නෙ? වැඩිය ආවොත් මම තමාව දානවා කූඩුවෙ!!!

මාකට් :- (අම්බානට බයවී) මොනවද මගෙන් දැනගන්න ඕනෙ?

අමුත්තා :- තමන් නිසංසලා දිසානායක කියන තරුණියව අඳුරනවා නේද?

මාකට් :- (තවත් පුදුම වී) ඔව්! ඇයි නිසංසලාට කරදරයක්ද?

අමුත්තා :- කරදරයක්ද? තමා වහාම නිසංසලාව තියන් ඉන්න තැනකින් පොලිසියට එක්ක එනවා හොඳයි.

මාකට් :- මොකක්? මම දන්නෙ නෑ නිසංසලා ඉන්න තැන. එයා මගෙ යාලුවෙක් විතරයි.

අමුත්තා :- එතකොට ඊයෙ හවස හයයි තිහට නිසංසලා තමාට කෝල් එකක් ගත්තෙ නැද්ද?

මාකට් :- ගත්තා. ඒත් ඊට පස්සෙනං එයා මට කෝල් කළේ නෑ.

අමුත්තා :- හොඳයි අපි ඒකෙ ඇත්ත නැත්ත දැනගන්නං. අද හවස පූස්ගම පොලිසියට ඇවිත් මාව මීට් වෙන්න. මම අද පූස්ගමට එන්නං තමාව මුණගැහෙන්න.

කොහොමහරි ඉතිං කෝල් එක ඉවර වෙද්දි අපේ මාකට්ගෙ කකුල් දෙක මැන්ඩලින් ගහන ගානට වෙව්ලනවා. ඇයි දෙයියනේ මේ කොහෙන් කඩා පාත් වෙච්ච මරාලයක්ද? ඒ  වගේම මේ වෙද්දි අපේ යාලුවො කස්ටියත් නොඉවසිල්ලෙන් උන්නේ මාකට්ගෙන් සිද්ද වෙච්ච දේ ගැන දැනගන්න. ඉතිං මැන්ස්ට සිද්ද වුණාලු වෙච්ච දේ අනිත් පූසන්ටත් එවේලෙම කියන්න. 

මේ වෙද්දි අපේ සෙට් එකේ කාටවත් පුලුවන්කමක් තිබුනේ නෑ සිද්ද වෙලා තියෙන දේ හරියටම පැහැදිලි කරන්න. මාකට් දිගින් දිගටම නිසංසලාගෙ ෆෝන් එකට කෝල් ගන්න හැදුවත් ඒ ෆෝන් එක ඕෆ් කරලයි තිබුනේ. කොහොමහරි අන්තිමට අපේ යාලුවන්ට තේරුම් ගියේ නිසංසලා ගෙදර නැති බවත්, ඒ වගකීම ගිහින් තියෙන්නේ මාලුකට්ටාගෙ පිටින් වගත්. කොහොම වුණත් මාකට් දිගින් දිගටම කිව්වේ නිංසසලා මේ මොහොතේ ඉන්නෙ කොහෙද කියලා මෑන්ස් දන්නෙ නෑ කියලා.

ඔය විදිහට තවත් පැය බාගයක් ඇතුලත මාකට්ට තවත් ෆෝන් කෝල්ස් කීපයක්ම ලැබුනලු. එක කෝල් එකක් ආවෙ සී.අයි.ඩී එකෙන්. තව කෝල් එකක් ආවෙ පූස්ගම ඕ.අයි.සී ගෙන්. කොහොමහරි මේ කෝල් වලින් කියවුණේ මාකට්ට පොලිසියට එන්න අවශ්‍ය නැති බවයි, පහුවදා පොලිසියෙන් ඇවිත් ගම්පහදි මාකට්ව හම්බවෙන බවයිලු. ඒ වගේම මේ ඇමතුම් වලින් පූසන්ට ලැබුනු තොරතුරු වලට අනුව නිසංසලා කොල්ලෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින්. ඒ වගේම එයා පැනලා යන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නෙත් මාකට්ට. ඒක තමයි පොලිසිය අපේ පූසාව මේ ගැන මුලින්ම සැක කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ ආරංචි වෙලා තියෙනවා නිසංසලා පැනලා ගිහින් තියෙන්නේ රයන් එක්ක කියලා.

ඉතිං තමන්ව සීන් එකට සැක නෑ කියලා දැනගත්තාට පස්සේ තමයි මාකට්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒත් මේ සිද්දිය ගැන පුරුපුරුටයි, ඤාව්වාටයි, උපාසකටයි තිබුනේ බරපතල සැකයක්. මොකද මේ වගේ චූටි කේස් එකකට පොලිසියේ උසස් තැන් වලින් බැහැපු එකයි, සිද්දිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වල තිබුන කාර්යක්ෂම බවයි සාමාන්‍යයෙන් අපිට ලංකාවෙදි දැකගන්න අමාරු දේවල්. ඉතිං අපේ පූසන්ට කුතුහලයක් ඇතිවුණාලු නිසංසලා කාගෙ කවුද කියලා මාකට්ගෙන් දැනගන්න.

පුරුපුරු :- යකෝ සාමාන්‍ය පවුලක කෙල්ලෙක් පැනලා ගියානං පැය විසිහතරක් විතර ගිහින් තමයි හොයන්න ගන්නේ. ඇත්ත කියපං මාකට්, කවුද මේ නිසංසලා? 

උපාසක :- ඒක තමයි, ඈ බොල උඹ මැණික් මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද ගියෙ, නැත්තං ඇමති කෙනෙක්ගෙ දුවෙක් පස්සෙන්ද?

මාකට් :- මම දන්නෙ නෑ බං. අපි කවදාවත් ඒකිගෙ පවුලෙ විස්තර ගැන කතාබහ කරලා නෑ. මට තරහා මේකිට මට නිකංවත් කියන්න බැරිවුණානෙ පැනලා යන්න ඉන්නෙ කියලා. නැත්තං මම උදව් නොකර ඉන්නෙ නෑනෙ.

මී කතුරා :- පලයං *** යන්න. තෝ එහෙනං පැනලා යන්න උදව් කරන්න ගිහින් මෙලහට පොලිස් කූඩුවෙ.

කොහොමහරි ඉතිං මාකට් පහුවදා ගම්පහ ක්ලාස් ගිහින් එනගමන් පොලිස් නිළධාරියාවත් මුණගැහිලා තිබුනලු. ඒ වගේම නිසංසලාගෙ අයියත් එතනට ඇවිත් තිබුනලු. බලාගෙන යද්දි පොලිස් නිළධාරියා අයියගේ හොඳ යාලුවෙක්. ඉතිං එදා හවස මාකට් එනකං අනිත් පූසො නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ විස්තරේ දැනගන්න.

මාකට් :- මචංලා උඹලා දන්නවද නිශාන් දිසානායක කියලා ක්‍රිකටර් කෙනෙක්ව? එහෙම එකෙක් ගැන මමනං අහලා නෑ.

මේක ඇහිච්ච ගමන් උපාසකගේ කටින් පිටවුණේ අසභ්‍ය වචන මාලාවක්. මොකද නිශාන් දිසානායක කියන්නේ ඒ වෙද්දි සිලෝන් ටීම් ගහපු ප්‍රබල ක්‍රීඩකයෙක්. කොහොම වුණත් අරවින්ද ද සිල්වා කියන්නේ කවුද කියලා නොදැන හිටපු මාකට් නිශාන් දිසානායක ගැන දැන නොහිටිය එක ගැන පුරුපුරුනං පුදුම වුණේ නෑ. බැලින්නං නිශාන් දිසානායක තමයි නිසංසලාගේ අයියා.

මේ වෙද්දිත් නිසංසලාව කාටවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං නිශානුත් ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා තමන්ගෙ නංගිව හොයන්න ෆුල්ම විදිහට ගේමට බැහැලා හිටියේ. ගොඩක් දුරට මේ හෙවිල්ල ෆෝකස් වෙලා තිබුනේ රයන්ගෙ ගෙවල් තියෙන බවට නිසංසලා මාකට්ට කියලා තිබුනු නුගේගොඩ පැත්තෙලු. කොහොමහරි ඉතිං නිසංසලාව හොයන වැඩේට මාකට්ටත් එන්නයි කියලා නිශාන් දිසානායක ආරාධනා කරලා තිබුනලු. මාලුකට්ටාත් ඒ ඉන්විටේෂන් එක බාර අරගෙන තිබුනේ ඉතසිතින්. මේ කතාව අහපු ඤාව්වාටයි, පුරුපුරුටයිත් වැඩේට ජොයින් වෙන්න ඕනෙ වුණත් නිශාන් මාකට්ට කියලා තිබුනේ මේ සිද්දිය ගැන කාටවත් කියන්න එපා කියලා.

කොහොමහරි ඉතිං අන්තිමට දවස් කීපෙකට පස්සේ නිසංසලා ඉන්න තැන නිශාන් හොයාගෙන තිබුනා. මෑන්ස් ඊටපස්සෙ කරලා තිබුනේ පොලිසියත් එක්ක ගිහින් නිසංසලාව ගෙදර එක්කගෙන එන එක. මේ ගමනට සහභාගි වෙන්න අපේ මාලුකට්ටාත් අමතක කළේ නෑ. බලාගෙන යද්දි නිසංසලා රයන් එක්ක පැනලා ගිහින් තියෙන්නේ අනුරාධපුරේටත් එහා තියෙන දුෂ්කර ගමකට. මොකද බැලින්නං රයන්ගේ ගම නුගේගොඩ නෙවෙයි, අනුරාධපුරේ පැත්තෙලු. ඒ වගේම රයන් කියන නමත් බොරු නමක් කියලයි පස්සේ ආරංචි වුණේ.

කොහොමහරි ඉතිං මේ සිද්දියෙදි මාකට් දක්වපු සහය වෙනුවෙන් නිශාන් දිසානායක මාකට්ට සෑහෙන්න ස්තුති කරලා තිබුනා. මාකට්නං කිව්වේ නිශාන්ගෙ සැප වාහනේ යන්න ලැබිච්ච එකම මෑන්ස්ට සැහෙන දෙයක් කියලා. නිශාන් මාකට්ට කියපු අන්තිම වාක්‍යය මතක් කර කර අපේ පූසො සෙට් එක සෑහෙන කල් හිනා වුණා.

“මේකිට පිස්සුද කොහෙද මල්ලි! අනුරාධපුරේ කොහෙද රයන්ලා?“

කොහොමහරි ඊටපස්සෙ මාලුකට්ටාගෙයි නිසංසලාගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් එහෙමම නතරවුණා. ඒ වගේම මාකට් අලුත් පුරුද්දකට ඇබ්බැහි වුණා. ඒ තමයි රී ලෝඩ් පොත්වල ෆොටෝ ගහගෙන ඇවිත් ඒවයෙ තියෙන ෆෝන් නම්බර් වලට කෝල් කරන එක. මේ ගොඩක් කෝල් අසාර්ථක වුණත් මෑන්ස්ට වැඩේ වැඩකරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි. ඉතිං ඔය විදිහට තමයි අපේ මාකට් මෑන්ස් වැටෙන්න ගිය ලෝක අමාරුවකින් නූලෙන් බේරුනේ.

ප.ලි - නිශාන් දිසානායක යනු බොරු නමකි.
ප.ප.ලි - නෝ ඔෆෙන්ස් ටු අනුරාධපුර කස්ටියට