අඹ යාලුවෝ

Tuesday, December 18, 2012

බ්ලොග් පාඨකයන්ට, ගුරුවරුන්ට සහ සගයන්ට උපහාර


බ්ලොග් ගඩොල් පටන් ගත්තේ 2010 අවුරුද්දේ අප්‍රේල් මාසෙ දවසක. ඒ කියන්නේ දැන් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු තුනකටත් ළඟයි. මෙච්චර කල් කරගෙන යන්න කිසිම මූලික සැලසුමක් තිබුනෙ නැති මේ බ්ලොග් එක පටන් ගත්තේ අපේ යාලුවො කීප දෙනෙක් විනෝදෙන් ඉන්න වෙලාවක හදිස්සියෙ ආපු අයිඩියා එකක් විදිහට. ඒ වෙද්දිත් මම මුලින්ම බ්ලොග් එකක් කියවලා මාස කීපෙකට වඩා ගතවෙලා තිබුනෙ නෑ.

කොහොමහරි ඉතිං අපි තුන් දෙනත් (පුරුපුරු, ඤාව්වා සහ උපාසක) බොහොම ග්‍රෑන්ඩ් විදිහට බ්ලොග් එක පටන් ගත්තා. ඤාව්වා ලිපි නොලිව්වත් පුරුපුරු සහ උපාසක ලියපු ලිපි වල ගුණ දොස් විචාරලා, අලුත් කතා මතක් කරලා ලොකු සහයෝගයක් දුන්නා. මී කතුරාත් දුන්න සහයෝගය අමතක කරන්න බෑ. කොටින්ම අපිත් එක්ක විරසක වෙලා හිටපු මාලුකට්ටා පවා බ්ලොග් එක බලන්න එන්න අමතක කළේ නෑ.

බ්ලොග් ගඩොල් කියන්නේ තනිකරම අත්හදා බැලීමක්. මීට කලින් පුරුපුරුවත් උපාසකවත් කිසිම විදිහක ලේඛන කටයුත්තක යෙදිලා තිබුනෙ නෑ. ඒ හින්දා අපිට මුලින්ම තිබුන ලොකුම සැකය වුණේ පාඨකයො මේ බ්ලොග් එක කොහොම බාර ගනීවිද කියන එක. අපිට බ්ලොග් අවකාශෙ හරි සින්ඩිකේටර්වල හරි යාලුවො හිටියෙ නෑ. දැනට වුණත් ඉන්නෙ හිතවතුන් කීප දෙනෙක් විතරයි. ඒ හින්දා අපේ අත්දැකීම් කතා විදිහට කිසිම විදිහකට අඳුරන්නෙ නැති පාඨක පිරිසකට දෙන එක තමයි අපිට චැලේන්ජ් එක වුණේ. ඒ මදිවාට අපේ ලේඛන ශෛලිය සම්ප්‍රදායෙන් පිටයි. ඒක බ්ලොග් කියවන අයට එච්චර අල්ලයිද නැද්ද කියන සැකයත් අපිට තිබුනා.

කොහොමහරි බ්ලොග් එකේ පළවෙනි ලිපි කීපයෙන්ම සාර්ථක ප්‍රතිචාර ලබාගන්න අපිට පුලුවන්කම ලැබුනා. අපිටත් දෙයක් කැත නැතුව ලියන්න පුලුවන් වගේ හැඟිමක් ඇති වුණා. කොහොම වුණත් ඒකෙ ඇත්ත නැත්ත දන්නේ කියවන ඔයගොල්ලෝ තමයි. ඊටපස්සේ අපි තවත් ධෛර්යමත් වුණා. දිගින් දිගටම ලිව්වා. පස්සෙ කාලෙක උපාසක ගොඩක් කාර්යබහුල වුණාට පස්සෙ පුරුපුරුට බ්ලොග් එකේ වැඩි බරක් අදින්න වුණා. ඒත් උපාසකත් තමන්ට පුලුවන් විදිහට ලිපි ලිව්වා.

ඒ වෙද්දිත් අපිට හිට්ස්, කමෙන්ට්ස් සහ ෆලෝවර්ස්ලා සෑහෙන්න හිටියා. ඇත්තටම අපි ඒ දේවල්වලට ඉස්සර පට්ටම කැමතියි. (දැනුත් එහෙම තමයි) ලිපියක් ලිව්වට පස්සේ පැයෙන් පැයට ගිහින් බලන්නෙ කොච්චර කොමෙන්ට් ඇවිත්ද කියලා. කවුරු මොනවා කිව්වත් ඒ දේවල් තමයි බ්ලොග්කරුවෙක්ට තමන්ගේ රචනය වෙනුවෙන් ලැබෙන ඇගයීම. අනික ඉතිං මෙච්චර කරන්ට් බිල්, ඉන්ටර්නෙට් බිල්, කාලය, ශ්‍රමය ඔක්කොම වැය කරගෙන ලියලා ඒ වෙනුවෙන් කිසිම ඇගයීමක් බලාපොරොත්තු නොවෙන්න අපි රහත් වෙච්ච අය නෙවෙයි නොවැ! ඒ වගේම ලේසියි වගේ පෙනුනත් බ්ලොග් ගඩොල් වල ලිපියක් අපි පලකරන්නෙ ගොඩක් මහන්සි වෙලා. හරිහමං විදිහට අක්ෂර වින්‍යාසය හදන්න, ඡේද වෙන් කරන්න වගේ පොඩි දේවල් වලට පවා අපි ගොඩක් මහන්සි වෙනවා.

කොහොමහරි ඉතිං මමත් පට්ටම බිසී වෙනකං අපි හොඳට බ්ලොග් එක කරගෙන ගියා. ගොඩ දෙනෙක් අපේ ලිපි කියෙව්වා. රස වින්දා. ඒ දවස්වල බ්ලොග් ගඩොල් කිව්වාම බ්ලොග් ලියන ඕනෙ කෙනෙක් දන්න තත්ත්වයක් තිබුනා. බ්ලොග් එකේ කොමෙන්ට් කියවලා අපි අනේක සතුටක් වින්දා. ඒ හැමෝටම ස්තුති කරන්නත් මේ වෙලාවෙ අමතක කරන්න හොඳ නෑ. ඇත්තටම අපිට ලැබිච්ච එකම සහ ලොකුම ඇගයීම වුණේ පාඨකයන්ගෙ ප්‍රතිචාර තමයි. බ්ලොග් ගඩොල් තමන්ගේ ප්‍රියතම බ්ලොග් එක කියලා ගොඩක් දෙනෙක් විවිධ ලිපිවල කියලා තිබුනා. අපිට ඒක ලොකු දෙයක්. බොරු කියන්න ඕනෙ නෑනෙ.

ඒ වගේම ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න නිදහස හැමදාමත් මේ බ්ලොග් එකේ තිබුනා. ඇනෝ කොමෙන්ට් ඩිසේබල් කිරීම හරි කොමෙන්ට් මොඩරේට් කිරීම හරි කවදාවත් බ්ලොග් ගඩොල් වල සිද්දවුණේ නෑ. අසභ්‍ය වචන අඩංගු කොමෙන්ට් විතරයි අපි ඩිලීට් කළේ. 

කොහොමහරි ගිය අවුරුද්දේ අග ඉඳලා තමයි බ්ලොග් එකේ අයහපත් කාලෙ උදාවුණේ. බ්ලොග් එක පටන් ගනිද්දී පුරුපුරුත් උපාසකත් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෝ. ඒත් 2011 අගදී උපාසකට අමතරව පුරුපුරුත් ගොඩක් කාර්ය බහුල වුණා. පහුගිය අවුරුද්ද තමයි පුරුපුරුගෙ ජීවිතේ ගොඩක්ම සංසිද්දි වුණ අවුරුද්ද. මේ කාලෙ ඇතුලත පුරුපුරු උපාධිය ඉවර කළා. කැම්පස් එකේම රස්සාවක් පටන් ගත්තා. පරස්තාවකුත් කරගත්තා. රස්සාවෙන් අස් වුණා. ලංකාවෙනුත් යන්න වුණා. ඒ මදිවාට පස්තාච්චි කුපාඩියක් පටන් ගන්නත් වුණා. මේ වැඩ මැද්දේ 2012 අවුරුද්දේදි බ්ලොග් ගඩොල් පාලුවට ගියා.

ඉස්සරහටත් පුරුපුරුයි උපාසකයි තමන්ට වෙලාව තියෙන හැටියට බ්ලොග් එකේ ලිපි ලියයි. ඒත් හැමදාම නෙවෙයි. පාඨකයන්ට අපිව නීරස වේගෙන එනවා කියලා තේරුන දවසට මේ බ්ලොග් එක නතර කරලා දාන එකයි අපේ කැමැත්ත. අපිට ඕනෙ ඇඩම් ගිල්ක්‍රිස්ට්, හේඩ්න්, පොන්ටින් පන්නයේ සමුගැනීමක් විනා සනත් ජයසූරිය හරි අර්ජුන හරි සමුගත්ත විදිහට සමුගන්න නෙවෙයි. ඉතිං මෙච්චරකල් අපිත් එක්ක ඉඳපු, අපිව සතුටට පත් කරපු පාඨක ඔයාලාටයි අපේ පළමුවෙනි උපහාරය.

මගේ බ්ලොග් ජීවිතේ විවිධ තැන්වලදී, විවිධ මිනිස්සුන්ගෙන් විවිධ දේ ඉගෙනගෙන තියෙනවා. ඒත් මගේ ප්‍රධානම බ්ලොග් ගුරුවරුන් දෙන්නා වුණේ ටැබූ සහ කතන්දරයි. මේ මිනිස්සු දෙන්නාගෙන් මම ඉගෙනගත් දේවල් බොහෝමයි. කරන්න අවශ්‍ය දේවල් බොහොමයක් වගේම කරන්න නුසුදුසු සමහර දේවල් පවා මම ඉගෙන ගත්තේ මේ දෙන්නාගෙන් තමයි. අද බ්ලොග් ගඩොල් යම් තැනක ඉන්නවානං ඒකෙ ගෞරවය මගේ බ්ලොග් ගුරුවරුන්ටත් හිමිවෙන්න ඕනෙ. මේ ලිපියෙ පවා මාතෘකාවට ටැබූගෙ නමයි කතන්දරගෙ නමයි දැම්මනං අම්බානට හිට්ස් ලබාගන්න තිබුනා. මේක ඉගෙනගත්තෙත් මගේ බ්ලොග් ගුරුවරුන්ගෙන් තමයි. ඒත් ඒ ලබාගන්න හිට්ස් වලින් වැඩක් නෑ. මේක ඉගෙන ගත්තෙත් ඒ අයගෙන්ම තමයි.

වර්තමානෙදි තමන්ගෙ සුපුරුදු ආකර්ෂණීය ලේඛන රටාවෙන් අයින්වෙලා ඇනෝවරුත් එක්ක මොකද්ද විකාරයක් කරමින් ඉන්න කතන්දරට ආපහු ඉක්මනින්ම යථා තත්ත්වයට එන්න පුලුවන් වේවා කියලත් මෙතනදි ප්‍රාර්ථනා කරන්න කැමතියි. කොහොම වුණත් කකා කියන්නෙ සිංහල බ්ලොග්අවකාශයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් වගේම තමන්ට විරුද්ධ මත ඉවසන්න පුලුවන් මහත්මයෙක් විදිහට තමයි මමනං දකින්නේ. විශේෂයෙන් තමන්ගේ පඩිය ගැන පවා සඳහන් කරමින් පොර ටෝක් දෙන බ්ලොග්කරුවන් අතරේ කකා නිහතමානී චරිතයක්.

ඒ වගේම මට අනුවනං සිංහල බ්ලොග්අවකාශය තුළ පහළ වෙච්ච දක්ෂම, වඩාත්ම දුර දැක්මක් සහිත වෙච්ච  ලේඛකයා ටැබූ වගේම, සිංහල බ්ලොග්අවකාශය තුළ තිබුන ලොකුම බලපෑමක් සහිත බ්ලොග් එක තමයි ඔහු ලිව්ව ටැබූ සබ්ජෙක්ට්ස්. අවාසනාවට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක පස්සෙ කාලෙකදි අපිට නැති වුණා. ඒකට හේතුව මම හරියටම දන්නෙ නැති වුණත් ඒකෙන් බ්ලොග්අවකාශෙට වෙච්ච පාඩුව ගොඩක් විශාලයි කියලා ටැබූගේ විරුද්දවාදීන් වුණත් පිළිගනීවි. විශේෂයෙන් ටැබූගෙ නික්ම යාමෙන් ඇතිවෙච්ච නායකත්වයේ රික්තය පුරවන්න උත්සාහ කරපු සමහර බ්ලොග්කරුවන් හින්දා බ්ලොග්අවකාශයේ සාහිත්‍යමය පැත්තට වෙච්ච හානිය සුළුපටු නෑ. කොහොම වුණත් මගේ ඊළඟ උපහාරය මගේ බ්ලොග් ගුරුවරුන් දෙන්නාටයි.
මීට කාලෙකට ඉස්සර වෙලා බලන්න සෑහෙන්න වටින සමාජීය සහ දේශපාලනික බ්ලොග් ගොඩක් තිබුනා. ටැබූ සබ්ජෙක්ට්ස්, පෙරමුණේ රාළගේ අටුවාව, බියෝන්ඩ් ෆ්‍රේම්, පුලස්තිගෙ සටහන ඒ අතරින් කීපයක්. ඒත් දැන් ඒ ගොඩක් බ්ලොග් සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දැන් ඒ අඩුව පුරවන්න ඉන්නේ බුවාගේ සිතුවිලි, ඇල්කෙමියාගේ දිනපොත, රියර් ගේට්, මාතලන්, (දැන් ටික කාලෙකින් මොනවත් ලියවිලා නැති වුණත්) වර්ගපූර්ණිකාව වගේ බ්ලොග්. ඉතිං පුරවන්න අමාරු රික්තයක් පුරවන්න උත්සාහ කරන, ඒ උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගත්තු, හැමදාම ඉන්ටර්නෙට් එන අපිට අලුතින් හිතන්න යමක් ලියන මේ බ්ලොග්කරුවන්ටත් මගේ උපහාරය පුද කරන්න කැමතියි. ඒ වගේම නම් සඳහන් කරන්න අමතක වෙච්ච අයට කණගාටුව පළ කරන්නත් ඕනේ.

වින්දනාත්මක බ්ලොග් ගැන කතාකරන්න ගියොත්නං වෙනම දිග ලිස්ට් එකක් ලියන්න වෙනවා. ඒ හින්දා මම හිතන්නේ දැනට මේ ඇති. ඒ වගේම එදා මෙදා තුර මාව වචනයකින් හරි දිරිමත් කරපු, වැරදි හදාගන්න බ්ලොග් ගඩොල් විවේචනය කරපු හැම බ්ලොග්කරුවෙක්ටම, බ්ලොග් පාඨකයෙක්ටමත් නැවතත් ස්තුති කරන්න ඕනේ.

ප.ලි - දැනට බ්ලොග් අවකාශයේ ඉන්න බ්ලොග්කරුවන්ගෙන් මම මුණගැහෙන්න කැමතිම බ්ලොග්කරුවා බුවාගේ සිතුවිලි ලියන බුවාවයි. මොකද බුවාගේත් මගේත් සිතුවිලි මොකක්හරි හේතුවක් නිසා හැම අතින්ම සමානයි. දේශපාලනික බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන හිටියත් මට ලියන්න ඕනෙ හැම දෙයක්ම මෑන් ලියන හින්දා මම අදහස අතඇරලා දැම්මා.

ප.ප.ලි - චමින්ද වාස්ගේ පින්තූරයක් දැම්මේ හිතාමතාම බව කරුණාවෙන් සලකන්න. :)

63 comments:

  1. මේ ආව වගේ ම තව කාලයක් කරගෙන යමු.
    ජයෙන් ජය.....

    ReplyDelete
  2. දේශපාලනික බ්ලොග් එකක් නැතුව ඕන එකක් පටන් ගනිං අපි බලන්නං. දේශපාලනය ලියල ඉවරවෙලා ආපහු හැරිල බැලුවම. ලියපු එකාට ඇති වෙච්ච සෙතකුත් නෑ. කියවපු එකාට ඇතිවෙච්ච සෙතකුත් නෑ. දේනනටම බින්දුව. අනේ පුරුදු විදිහට ලියපං ඉඳල හිටල හරි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමා.. :)

      Delete
    2. දේශපාලනය නම් ලියන්නෙ නැති තරමට හොඳයි... මමත් දේශපාලනය ලියන එක පැත්තකට දැම්මෙ තේරුමක් නැති නිසා... ඊට වැඩිය හොඳයි දන්න දෙයක් බෙදා හදාගෙන ඉන්න එක...
      දයියා කියපු කතාවට මම 200% ක් එකඟයි...
      අපි ලිවුවයි කියලා මේ ක්‍රමය වෙනස් කරන්න බෑ,. ඒත් එහෙම වුනයි කියලා අපි ඒ රැල්ලට යා යුතුත් නැහැ...
      පුළු පුළුවන් විදියට ලියන්න... මම දන්නවා ඉස්සරහට ඔබ කාර්ය බහුල වෙන අන්දම... හැම දේම සමබරව කරගෙන යන්න...

      සුභ පැතුම් - ජය !

      Delete
    3. බොහොම ස්තුතියි ඇල්කෙමි අයියාට. අයියා කියන කතාව ඇත්ත. ඒත් මේ වෙන දේවල් දැක්කාම අත නළියනවා වගේ මොනවා හරි ලියන්න. :)

      Delete
  3. අවුරුදු 3 ට සුබ පැතුම්....මමත් ආසාවෙන් කියවන බ්ලොග් එකක්...දිගටම පුලුපුලුවන් විදිහට ලියන්න...නවත්වන්න ඒපා.....ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ! ලැබෙන වෙලාව අනුව අපි දිගටම පුලුවන් විදියට ලියනවා...

      Delete
  4. සමනල විප්ලවය කියවලා නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. හුටා!!! අමතක උනා නේන්නං

      Delete
  5. මාලුකට්ටා කියන එකා දන්නවද සනත් ජයසූරිය ගැන?

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා දන්නවා ඇති! :)

      Delete
  6. සුභ පැතුම පුසෝ ඔක්කොටම,

    මත් ආසාවෙන් කියෙව්ව බ්ලොග් එකක්, දිගටම පුළු පුළු වන් වෙලාවට ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ! ලැබෙන වෙලාව අනුව අපි දිගටම පුලුවන් විදියට ලියනවා...

      Delete
  7. අවුරුදු තුනට සුබ පැතුම්.

    ඉස්සෙල්ල වගේම රසවත්ව නැවත ලියන්න හැකියාව ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න. මම හිතන්නේ ඔයා තරම් මේ බ්ලොග් එකේ කොමෙන්ට් කරපු කෙනෙක් තවත් නැති තරම්. අපේ ආචාරය පිළිගන්න.

      Delete
  8. මම නම් blog ගඩොල් කියවන්න පටන් අරන් අවුරුද්දක් විතර ඇති.එක පෝස්ටුවක් නෑර bookmark දාගෙන කියවලා තියනවා.
    දිගටම ලියපo අයියේ අපි බලන් ඉන්නවා.
    ජය වෙවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එදිරි

      Delete
  9. මේ ලිපිය ලියන්න තිබුණේ 2013 අප්‍රියෙල්වල නේද! එදාට ලියන්න හිටියා නං මං ගැන වෙනස් දෙයක් ලියවෙන්නත් ඉඩ තිබුණා!

    එදාට එළැඹෙන තුන්වන සංවත්සරය ජයට ගම්මු.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා. ඇත්තටම මේ ලිපිය ලිව්වේ සංවත්සරයක් සමරන්න නෙවෙයි. වෙනත් පුද්ගලික කරුණු කීපයක් මත. අපි සාමාන්‍යයෙන් සෙලිබ්‍රේට් පන්නයේ ලිපි ලියන්නේ ලිපි 50කට වරක් විතරයි. මොකද්ද ඇත්තටම මේ කතන්දර බ්ලොග් එකේ වෙන්න යන වෙනස?

      Delete
  10. වසර තුනේ සැමරුමට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලියන්නානෙනි :)

      Delete
  11. මම මුලින්ම මෙහෙට ආවේ අද ,හරියට අවු :3ට සුභ පතන්නම වගේ :) සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහ සාදරයෙන් පිළිගනිමු රෙහානි

      Delete
  12. සුභ පැතුම්...ටැබූ නැතිවීම ලොතු අඩුවක් තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා. මේ දවස්වල ලියන්නෙ නැද්ද?

      Delete
  13. යන්තම් මේක කියවන්න පටන් ගත්ත විතරයි නවත්තන්න කතාකරනව. පිස්සු නම් කෙලින්න එපෝ..

    ඔය හැමෝම කියන :ටැබූ" කවුද ඇත්තට ? මං දන්නෙ නෑ. සමහරු බනිනවා.සමහරු හොඳ කියනවා

    ReplyDelete
    Replies
    1. ටැබූගෙ බ්ලොග් එක දැන් වහලා හෝ වැහිලා තියෙන්නේ. ලින්ක් එකක් තිබුනා පරණ ලිපි වලට යන්න. ඒත් දැන් ඒකත් වැඩ කරන්නෙ නෑ

      Delete
  14. අවුරුදු 3ට නියමිත දවසට සුභ පතන්නම් ! . මගේ බ්ලොග් එක ගැන සඳහන් කලාට බොහොම ස්තුතියි . ටැබූ කියන්නේ මාත් බ්ලොග් ලියන්න පටන් ගත්ත හේතුව . අති දක්ෂ ලේඛකයෙක් (මම සියලුම අදහස් වලට එකඟ නැතත් ) . කතන්දර කියන්නෙත් සිංහල බ්ලොග් අවකාශය ඉතා විශාල පිරිසක් අතරට ගෙන ගිය කෙනෙක් . මම පෞද්ගලිකව දන්න ගොඩ දෙනෙක් ඉන්නවා කතන්දරගේ බ්ලොගය නිසා බ්ලොග් කියවන්න ගත්ත . මේ දවස්වල කතන්දර ලොක්කගේ තට්ටෙට පොල් ගෙඩියක් වැටිලාද කොහෙද ,ටික දවසකින් හරියයි . දේශපාලනික සමාජීය දේවල් ලියවෙන බ්ලොග් සැහෙන්න තව තියෙයි , මාතලන් මේවා හඳුන්වාදෙන නිසා තමයි මාත් දන්නේ . දැනට කියවලා නැත්නම් අරුණි සහ උදිතගේ බ්ලොග් දෙක නිර්දේශ කරන්න කැමතියි .

    දේශපාලනිකව සමාන අදහස් දරන කෙනෙක් අඳුනගන්න කැමතියි මාත් .පුලුවන් නම් ඊමේල් එක මගේ මාසයක් විතර පරණ පෝස්ට් එකක දාන්න (පරණ පෝස්ට් වල කමෙන්ට් මොඩරේට් වෙන්න දාල තියෙන්නේ )

    ReplyDelete
    Replies
    1. අයි විල් මචං!!! අරුණිගේ බ්ලොග් එක කියවනවා. මට ඒ ගැන සඳහන් කරන්න බැරි වුණා.

      Delete
  15. සමුගැනීමට නොව නැවත ඇරඹුමටයි මේ කාලය :)

    ReplyDelete
  16. මේ මොකෝ මේ? දැන්මම ස්තුති කතාව කරන්නේ? වහාම ඉල්ලා අස් කොරගනින් මේක. මාසෙකට එකක්වත් දෙන්න බැරිවෙන එකක් නෑ උත්සාහ කලොත්. ඒ නැතත් අපි එනවා කණාවට හරි වැටෙන එකක් බලන්න. හැබැයි මේ වගේ පෝස්ට් ඇර.

    තව මාස හතරකින් සුභ පතන්න එන්නම්. එතකන් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එතකම් කියලා කිව්වේ මේ මාස හතරට විතරක් කියන එක නෙවෙයි. ඒ වචනේ අගට කොමාවක් දාලා තේරුම බලන්න.

      (කටින් කියනවා වගේ නෙවෙයි, අදහස් පිට කරන්න ගොඩක් අමාරුයි ලියනකොට.
      eg: ඇයි රත්තරං, ඔච්චර ගණන්.
      ඇයි, රත්තරං ඔච්චර ගණන්.

      සුදු, චෝක් එකක් ගෙන්න.
      සුදු චෝක් එකක් ගෙන්න.)

      Delete
    2. බොහොම ස්තුතියි සහෝ! ඇයි මරන්න එපා සමාව දෙන්න
      මරන්න, එපා සමාව දෙන්න

      Delete
  17. පුළු පුළුවන් විදියට ලියන් යමු නේ මලේ... අපි උබල ඔක්කොම එක කාලෙ බ්ලොග් පටන් ගනිපු උදවියනේ... කාලෙත් එක්ක වගකීම් එක්ක බැඳීම් එක්ක අපි කාර්ය බහුල වෙලා...

    සුබ පැතුම් හැම දේකටම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා. පළාමල්ලත් ඉස්සර වගේම ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා ඉස්සරහට

      Delete
  18. දිගටම කරන් යමු බං අයියේ ..... මට මගේ බ්ලොග් එක පටන් ගන්න ගැම්ම ආපු බ්ලොග් කීපයෙන් එකක් තමයි මේක...... ඒ නිසා නවතිනවට නම් කිසිම කැමත්තක් නෑ හොඳද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ. අහන්නත් සතුටුයි. උඹේ බ්ලොග් එක මම පහුගිය විභාගේ තිබුන කාලෙත් බිසී කියලා බලන්නෙ නැතුව ඔක්කොම ලිපි කියෙව්වා. මම හරිම ආස බ්ලොග් එකක්.

      Delete
  19. මට නම් හිතෙන්නේ නිතරම කවර හෝ සංවස්තරයක් / අවස්ථාවක් යොදාගෙන තමන්ට අනෙකුන් ලවා සුභපතා ගන්නා ආකාරයේ පෝස්ට් ලිවීම වැරදි බවයි. ඒක බ්ලොග් එකට හානියක්. ඔබ කිහිප වතාවක්ම එය කර තියෙනවා දුටු නිසයි ලීවේ.

    ReplyDelete
    Replies
    1. මම කකාට කෙටුව කොමෙන්ට් එකෙන් කෑල්ලක් මෙතනටත් දාන්නං.

      “ඇත්තටම මේ ලිපිය ලිව්වේ සංවත්සරයක් සමරන්න නෙවෙයි. වෙනත් පුද්ගලික කරුණු කීපයක් මත. අපි සාමාන්‍යයෙන් සෙලිබ්‍රේට් පන්නයේ ලිපි ලියන්නේ ලිපි 50කට වරක් විතරයි.“

      මේ ලිපිය පොඩ්ඩකට අමතක කළොත් මම හිතන්නේ ලිපි 50කට විතර වතාවක් තමන්ගෙ බ්ලොග් එක ගැන සමාලෝචනයක යෙදෙන එක වරදක් නෑ. මොකද කලින් ලිපි 49 හොඳට ලියලා තියෙනවනං තමයි මිනිස්සුන්ගෙ සුභපැතුම් හිමි වෙන්නේ. විශේෂයෙන් දිනපතා ලිපි නොලියවෙන මේ වගේ බ්ලොග් එකකට 50 කියන ගාන ගැලපෙනවා මම හිතන්නෙ. ඒත් දිනපතා ලිපි වැටෙන කතන්දර හෝ මාරයාගේ හෝරාව වගේ බ්ලොග් එකකටනං ගැලපෙනවා අඩු ඇති.

      කොහොම නමුත් ඔබ හිතපු ආකාරයත් අසාධාරණයි කියන්න බෑ. බොහොමත්ම ස්තුතියි. අනාගතයේදී බ්ලොග් එකේ ලිපි පලකරනකොට ඔබේ අදහස මතකයේ තියාගන්නං

      Delete
  20. අපිත් පුව පුවවන් වෙලාවට ඇවිත් යනවා . දිගටම ලියමු

    ReplyDelete
  21. මේ කලින් සැලබ්‍රේට් කිරීමක් නේ.... ගොඳ ළිපි ලියන අය නෑ කියන එක බොරු කතාවක්. ඕක අපේ නරක පුරුද්දක්. හැම ක්ෂේත්‍රයක වගේම බ්ලොග් ලොවටත් ආදේෂ කිරීම මම අනුමත කරන්නේ නෑ. මගේ සින්ඩියේ මම කියවන්න ඕන බ්ලොග් පෙන්වා දෙන්න සෑහෙන උත්සාහයක් කරනවා. ටැබූටත් වඩා දක්ෂ බ්ලොග් ලියන්නන් ඉන්නවා. නම් සඳහන් කරන්න ඕන නෑ. මගේ සින්ඩිය බැලුවනම් තේරෙයි. මගේ නවතම හඳුන්වා දීම. ඉතා විශිෂ්ඨයි. ඇයට පැහැදිලි අනාගතයක් තියෙනවා. බුවා කිව්වට කතා වෙන ඒවා ලියන නිසා අවුලක් නෑ. Uබත් මම ඉස්සර ඉඳලා දන්න කෙනෙක්. නමුත් ඉඳල හිටලා නේද ලියන්නේ. කොහොම හරි අපි සමහර වෙලාවට බිසි වෙනවා. ඒත් මේක ඇදගෙන යමු....

    ReplyDelete
    Replies
    1. // බුවා කිව්වට කතා වෙන ඒවා ලියන නිසා අවුලක් නෑ // ?????

      Delete
    2. // බුවා කිව්වට කතා වෙන ඒවා ලියන නිසා අවුලක් නෑ // ?????

      මටත් මේකනං තේරුනේ නෑ මාතලන්. ටැබූට වඩා දක්ෂ ලේඛකයෝ බිහිවෙන්න පුලුවන්. මමත් ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන සංකල්පයේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒත් ඒ ජාතියේ විවාදාත්මක, සංවාදයේ යෙදෙන්න පුලුවන් ලිපි දැන් පළවෙනවා අඩුයි වගේ මටනං පේන්නේ. මොකද සින්ඩිකේටරයකට ගියාට පස්සේ කියවන්න තියෙන දේවල් ඉස්සරට වඩා අඩුයි වගේ මට පේන්නේ. හැබැයි මේ තත්ත්වය වෙනස් වෙලා කලින් පරම්පරාවට වඩා දක්ෂ ලේඛකයෝ බිහිවෙනවනං මම ඉතාම කැමතියි.

      මාතලන් හඳුන්වලා දීපු අලුත්ම බ්ලොග් රචිකාවිය ඉතාම දක්ෂයි. කොමෙන්ට් කරන්න බැරි වුනත් මම ඒ ලිපිය කියෙව්වා. ඒ වගේම සමනල විප්ලවයත් අති විශිෂ්ට බ්ලොග් එකක්. බොහොම ස්තුතියි.

      Delete
  22. "ඒ මදිවට අපි ලේඛණ ශෛලිය සම්ප්‍රදයෙන් පිටයි" - මේකනම් බොරු මේ බ්ලොග් එකේ තියෙන්නේත් අනිත්‍ ඒවා වාගේම තමා කිසිම වෙනසක් නැ....

    ReplyDelete
    Replies
    1. ඔව්! වර්තමානය බැලුවාමනං ඒක ඇත්ත. ඒත් 2010දි අපි මේක පටන් ගන්නකොට ගොඩක් ජනප්‍රිය බ්ලොග් ලියවුණේ සම්ප්‍රදායික ලේඛන ශෛලියෙන්. මේ ශෛලියේ බ්ලොග් තිබුනත් ඒවා ඒ තරම් ප්‍රචලිත වෙලා තිබුනේ නෑ.

      Delete
  23. එල එල ....තව කාලාන්තරයක් ලියන්නට ශක්තිය ලැබේවා !!!
    ජයම වේවා !!!!

    ReplyDelete
  24. අවුරුදු 3ට මගෙන් සුභ පැතුම්, උබලගේ බ්ලොග් එකට සමාන කරන්න තාම මම කිසිම බ්ලොග් එකක් දැක්කේ නෑ,,මාවත් මේ බ්ලොග් අවකාශයට ඇබ්බැහි වෙන්න මේ බ්ලොග් ගඩොල් බලපෑවා

    ReplyDelete
    Replies
    1. හික් හික්!! බ්ලොග් අවකාශෙට ඇබ්බැහි වෙච්ච එකෙන් උඹට ඉතිං නරකක් වුණේ නෑ නොවැ! අපිටත් ආඩම්බරයි ඒ ගැන.

      Delete
  25. ela... jaya weva !!!

    ReplyDelete
  26. පට්ට බ්ලොග් එක. එකම අවුලකට තියෙන්නේ කියවන්ඩ ගත්තම මේ බ්ලොග් එකට ඇබ්බැහි වෙලා යන එක...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???