අඹ යාලුවෝ

Monday, November 19, 2012

උසස් අධ්‍යාපනයට ඉල්ලුම් කිරීම



සාමාන්‍යයෙන් බ්ලොග් ගඩොල් වල ලිපි ලියවෙන්නේ කාලය අනුපිළිවෙලට. ඒ අනුව බැලුවොත් අපි තවමත් ඉන්නේ 2007/2008 කාල පරිච්ඡේදයේ. ඒත් උසස් අධ්‍යාපන කටයුතු වලට ඉල්ලුම් කරන කාලය උදා වෙලා තියෙන හින්දත්, බ්ලොග් අවකාශයේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන කස්ටිය ගොඩක් ඉන්න බව මම දන්න හින්දත්, කාලය පොඩ්ඩක් ස්කිප් කරලා 2011 අවුරුද්දට එන්න තීරණය කළා. මගේ මේ ලිපි පෙළ ඒ අයට වගේම අධ්‍යාපන කටයුතු ගැන උනන්දු හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම කියන්න ඕනෙ මම විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුව කෙනෙක් විදිහට මේ ලිපි ලියවෙන්නේ විද්‍යා අංශයට සම්බන්ධව බව. ඒත් කළමණාකරන, කලා වගේ ඕනෙම ක්ෂේත්‍රයක නිරත වෙලා ඉන්න අයට මේ කරුනු කාරනා යම්තාක් දුරකට හරි පිටිවහලක් වෙයි.

මුලින්ම කියන්න ඕනෙ මෙතනදි උසස් අධ්‍යාපනය කියලා මම අදහස් කරන්නේ පශ්චාත් උපාධි, එහෙමත් නැත්තං කතන්දරකාරයාගේ භාෂාවෙන් කියනවනං පස්තාච්චි කුපාඩි ගැන. නැතුව මූලික උපාධියක් ලබාගැනීම ගැන නෙවෙයි.

කරනවාද නැද්ද?



ඕනෙම දෙයක් කරන්න කලින් වගේම උසස් අධ්‍යාපන කටයුතු කරන්න කලිනුත් ඔයාලා එක හිතින් තීරණය කරන්න ඕනෙ මූලිකම දේ තමයි උසස් අධ්‍යාපනය කරනවාද නැද්ද කියන එක. මේක සරල දෙයක් වගේ හිතුනත් ඔයාලා ජිවිතයේදී ගන්න සෑහෙන්න බැරෑරුම් තීරණයක්. ගොඩක් දෙනෙක් කරන ලොකු වැරැද්දක් තමයි තමන්ගෙ මූලික උපාධිය ඉවරවෙනකං, එහෙමත් නැත්තං උපාධියෙ අන්තිම අවුරුද්ද වෙනකං ඉන්නවා මේ තීරණය ගන්න. ඒත් පුරුපුරුගෙ මතයනං මේ තීරණය ගන්න ඕනෙ මූලික උපාධියෙ පළවෙනි අවුරුද්දේ, එහෙමත් නැත්තං දෙවෙනි අවුරුද්දෙ මුලදි බව. එතකොට තමයි තමන්ට කල්තියා ප්ලෑන් කරන්න පුලුවන් තමන් අවුරුදු හතරක උපාධියක් කරනවාද, එහෙමත් නැත්තං අවුරුදු තුනකින් උපාධිය ඉවරකරලා රස්සාවක් කරනවාද කියන එක.

ඊට අමතරව තමන් උසස් අධ්‍යාපනය හදාරනවාද නැද්ද කියලා තීරණය කරපු කෙනෙකුට කැම්පස් එකේදි හදාරන්න ඕනෙ පාඨමාලා ඒකක (course units) මොනවද කියලා තීරණය කරන එක හරිම පහසුයි. උදාහරණයක් විදිහට උසස් අධ්‍යාපනය හදාරන්නෙ නැතුව කෙලින්ම රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට කැම්පස් එකේදි ගොඩක් වෘත්තීයමය පැත්තට බරවෙච්ච පාඨමාලා ඒකක තෝරගන්න පුලුවන්. ඒ වගේම කැම්පස් එකේ ඉගෙනගන්න අතරෙම ලබාදෙන කාර්මික පුහුණුවලට (industrial training) සහභාගි වෙන එක මේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න බලාපොරොත්තු වෙන අය ගොඩක් දුරට විෂය කරුණු ගැඹුරින් ඉගැන්වෙන පාඨමාලා ඒකක තෝරගන්න එක ඇඟට ගුණයි. ඒ වගේම තමන්ට හැකි හැම ආකාරයෙන්ම පර්යේෂණ අත්දැකීම් (research experiences) ලබාගන්න එක මේ අය අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක්.

ඒ වගේම උසස් අධ්‍යාපන පාඨමාලා වලට ඇතුලත් වීමේදී සම්පූර්ණ කර තිබිය යුතු විවිධ විභාග තියෙනවා. (උදා :- GRE, IELTS, TOEFL ආදිය) ඉතිං ඔයාලා මූලික උපාධිය කරන අතරතුරේම මේ විභාගත් ඉවර කරලා තිබුනොත් මූලික උපාධිය අවසන් කරපු වහාම උසස් අධ්‍යාපන පාඨමාලා වලට ඇප්ලයි කරන්න ඔයාලාට පුලුවන්. ඉතිං මේකටත් උසස් අධ්‍යාපනය හදාරනවාද නැද්ද කියලා කලින්ම තීරණය කරන ඒක බොහොම වැදගත්.

ඉතිං මේ තීරණය ගනිද්දී ඕනෑම කෙනෙක් සැලකිල්ලට ගන්න ඕනෙ උසස් අධ්‍යාපනය ලැබීමේ වාසි සහ අවාසි. වාසි විදිහට මටනං මේ වෙලාවේ මතක් වෙන්නේ මේ කරුණු. හොඳ රැකියාවක් පහසුවෙන් සොයාගැනීමේ හැකියාව, කථිකාචාර්යවරයෙක්/ පර්යේෂකයෙක් වීමේ හැකියාව, සමාජෙය් ඉහළ පිලිගැනීමක් ලැබීම, මහත් දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙක් වීම වගේ දේවල් තමයි වාසි විදිහට ගන්න පුලුවන්. අවාසි ගැන කතා කරනවානං උසස් අධ්‍යාපනය ලබන කාල සීමාවේ අඩු වැටුපක් ලැබීම/ වැටුප් නොලැබීම, තමාගේ තරුණ කාලය අධ්‍යාපනය වෙනුවෙන් කැප කිරීමට සිදුවීම, අධික ශාරීරික සහ මානසික වෙහෙස, අධික කාර්යබහුලතාවය වගේ දේවල් ගන්න පුලුවන්. ඉතිං මේ තීරණය තනිකරම හිතට එකඟව ඔයාලා විසින්ම ගන්න ඕනෙ තීරණයක්. නැතුව ගෙදර මිනිස්සුවත්, ගුරුවරුවත් ගන්න ඕනෙ තීරණයක් නෙවෙයි.

ලබාගන්න පුලුවන් උපාධි


උසස් අධ්‍යාපන පාඨමාලා වලින් පශ්චාත් උපාධි සහතිකපත්, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදියට අමතරව ලබාගන්න පුලුවන් උපාධි විදිහට ශාස්ත්‍රපති (M.A/M.Sc), දර්ශනපති (M.Phil.), ආචාර්ය උපාධි (Ph.D.) ආදිය සදහන් කරන්න පුලුවන්. ඉතිං තමන්ගේ අනාගත බලාපොරොත්තු වලට ගැලෙපන විදිහට, ඒ වගේම තමන්ගේ වර්තමාන අධ්‍යාපන සුදුසුකම් වලට අනුව තමන්ට වඩාත්ම ගැලපෙන උපාධිය තෝරාගන්න එක ඔයාලාට බාරයි.

උදාහරණයක් විදිහට පශ්චාත් උපාධියෙන් පස්සේ කාර්මික අංශයේ රස්සාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අවුරුදු පහකින්වත් ඉවර කරන්න අමාරු ආචාර්ය උපාධියක් කරනවාට වඩා, අවුරුදු දෙකකින් ඉවර කරන්න පුලුවන් ශාස්ත්‍රපති උපාධියක් කරලා රස්සාවට යන්න කැමති වෙන්න පුලුවන්. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරෙයක්, පර්යේෂකයෙක්, විද්‍යාඥයෙක් වෙන්න ඕනෙ අයට හොඳම ඔප්ෂන් එක තමයි ආචාර්ය උපාධිය. ඒ වගේම තමන්ගේ මූලික උපාධියේ ප්‍රථිඵල එච්චරම හොඳට නැත්තං සහ තමන්ට ආචාර්ය උපාධියක් කරන්න ඕනෙනං වඩාත්ම යථාර්ථවාදී ක්‍රමය තමයි මුලින් ශාස්ත්‍රපති හරි දර්ශනපති හරි උපාධියක් කරලා පස්සේ ආචාර්ය උපාධියකට යන එක.  තවත් සමහරුන්ට තියෙන අවශ්‍යතාවයක් තමයි විදේශ රටක ප්‍රසිද්ද විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගන්න එක. ඉතිං ඒ වගේ කට්ටියට පුලුවන් මුලින්ම ඒ රටේ සාමාන්‍ය විශ්ව විද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධියක් කරලා ඊට පස්සේ ප්‍රසිද්ද විශ්ව විද්‍යාලයකට ඇප්ලයි කරන්න. මොකද ලංකාවේ මූලික උපාධියකින් විදේශ රටක ගොඩක් ලොකු කැම්පස් එකකට යන එකට වඩා ඒ ක්‍රමය ලේසියි.

උසස් අධ්‍යාපනය ලබන්නේ කොහෙද?

දැන් අපි බලමු උසස් අධ්‍යාපනය ලබාගන්න ඔයාලා තෝරගන්නේ කොහෙද කියන එක. මේ කාරනේදි ඔයාලාට ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි එක ලංකාවේ ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන එක. දෙවෙනි එක ලංකාවෙන් එළියට ගිහින් උසස් අධ්‍යාපනය හදාරන එක. ඉතිං අපි බලමු මේ ඔප්ෂන් දෙකේ තියෙන වාසි සහ අවාසි.

ලංකාව ඇතුලේ උසස් අධ්‍යාපනය හැදෑරුවොත් තමන්ට තමන්ගේ පවුලේ සාමාජිකයෝ, ඒ වගේම පෙම්වතිය/පෙම්වතා/සහකරු/සහකාරිය සමග කල් ගතකරමින්ම උසස් අධ්‍යාපනය ලබන්න පුලුවන්. ඒ වගේම ලංකාව කියන්නේ තමන් ඉපදුන රට. පරිසරය සහ සමාජය තමන්ට හුරු පුරුදුයි. සමාජය ගැන අමුතුවෙන් ඉගෙනගන්න ඕනෙ දේවල් ඇත්තේම නැති තරම්. දෙමව්පියන්ට සලකන්න ලේසියි. මේ වගේ වාසි කීපයක් තියෙනවා.

ඒත් ලංකාව ඇතුලේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවාසිත් ගොඩක් තියෙනවා. ඉතාම අඩු වැටුප (සාමාන්‍යයෙන් මාසිකව රු. 25000ක් පමණ), අඩු තාක්ෂණය, නවීන දැනුම ලබාගැනීමේ අඩුපාඩුකම්, විශ්ව විද්‍යාලවල ප්‍රශ්න, විද්‍යාගාරවල පහසුකම් හිඟය, විද්‍යාගාරවල ඉඩකඩ අඩු වීම, විද්‍යාගාර වල වැඩ කිරීමට කාල සීමාවක් තිබීම, ආචාර්යවරුන් අධික කාර්යබහුල පුද්ගලයන් වීම වගේ කරුණු ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවාසි විදිහට සලකන්න පුලුවන්. මේ සම්බන්ධව මම වෙනම ලිපියක් ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න නිසා වැඩිපුර මේ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒත් ලංකාව ඇතුලේ විද්‍යාත්මක පර්යේෂණ කරන එක ඉතාම අමාරු වැඩක් බව කියන්න ඕනෑ. ඒ වගේම සමාජයේ විද්‍යාවට ලබා දී ඇති පහත් තත්ත්වය නිසා ලංකාවේ විද්‍යාඥයින්ට හිතකර පර්යේෂණ සංස්කෘතියක් නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිළධාරීන් පිටසක්වල ප්‍රහාර ගැන ප්‍රකාශ නිකුත් කිරීමෙන්ම වර්තමානයේ සමාජයේ විද්‍යාවට අත්වී තියෙන ඉරණම පේනවා.

පිටරටක උසස් අධ්‍යාපනය ලැබීමෙන් මම කලින් ලංකාවේ උසස් අධ්‍යාපනය ගැන සඳහන් කරපු අඩුපාඩු සියල්ලම මගහරවා ගන්න පුලුවන්. ඊට අමතරව පිටරටක රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවනං පිටරටකම උසස් අධ්‍යාපනය ලැබීම අතිශයින්ම වාසි සහගතයි. ඒත් වෙනත් රටක උසස් අධ්‍යාපනය ලැබීමේ අවාසිත් සෑහෙන තියෙනවා. ඒ තමයි කලින් ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමේදී අත් වෙනවයි කියපු වාසි නොලැබීම. ඊට අමතරව විදෙස් අධ්‍යාපනය ලැබීම ඉතාම මිල අධික වැඩක්. විශේෂයෙන්ම පාඨමාලා ගාස්තු සහ ජීවන වියදම ඉතාම ඉහළයි. ඉතිං විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක්ගේ මූලිකම බලාපොරොත්තුව ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගැනීම. එතකොට අදාල කැම්පස් එකෙන් තමන්ට සල්ලි ගෙවන අතර මාසිකව සැලකිය යුතු මුදලක් ඉතුරු කරන්නත් පුලුවන්.

අවශ්‍ය සුදුසුකම්


මූලිකම සුදුසුකම තමයි මූලික උපාධියක් තිබීම. ඒ වගේම අදාල උපාධියේදී තමන් ඉගෙනගත් විෂය කරුණු ඉතාම වැදගත්. ජීව විද්‍යාවෙන් උසස් අධ්‍යාපනය ලබනවානං යම් තාක් දුරකට ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව එහෙමත් ඉගෙනගෙන තිබුනොත් ගොඩක් ප්‍රයෝජනවත්. මීට අමතරව ඔයාලා ඇප්ලයි කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටනං උපාධියේ කාල සීමාව අවුරුදු හතරක් වීම ඉතාම වැදගත්. නැත්තං මූලික උපාධියට අමතරව ශාස්ත්‍රපති උපාධියකුත් තියෙන්න ඕනේ. බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව වගේ රටවලට මුදල් ගෙවලා පශ්චාත් උපාධියක් කරන්න යන්න අවුරුද තුනක උපාධියක් තිබුනාම ඇති. ඒත් ඒ රටවල ශිෂ්‍යත්වයක් ලබාගන්න අවුරුදු තුනක උපාධියකින් පුලුවන්ද කියලා මම දන්නේ නෑ. දන්න කෙනෙක් මේ ගැන දැනුවොත් කළොත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. ලංකාව ඇතුලේ උසස් අධ්‍යාපනය ලබන්නනං අවුරුදු තුනක උපාධියක් ප්‍රමාණවත්.

ඒ වගේම ලංකාවෙන් එළියේ  උසස් අධ්‍යාපනය ලබන්න මූලික උපාධියේ පංති සාමාර්ථය එච්චරම බලපාන්නේ නෑ. උදාහරණයක් විදිහට GPA එක 3.49 (දෙවෙනි පන්තියේ උසස් සාමාර්ථය) සහ 3.50 (පළමු පන්ති සාමාර්ථය) ලබාගත්ත සිසුන් දෙන්නෙක්ට පිටරට විශ්ව විද්‍යාලයකින් ලැබෙන්නේ එක වගේ පිළිගැනීමක්. ඒ වගේම උපාධිය ලබාගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද, පුද්ගලික විශ්ව විද්‍යාලයකින්ද කියන එකත් විදේශ අධ්‍යාපනය ලැබීමේදී බලපාන්නේ නෑ.

ඊලඟට වැදගත් දේ තමයි තමන්ට ඇති පර්යේෂණ අත්දැකීම් ප්‍රමාණය. බොහෝ රටවල වගේම ලංකාවේ ආචාර්ය උපාධියක් හදාරන්නත් තමන්ට අවුරුද්දකවත් පර්යේෂණ අත්දැකිම් තියෙන්න ඕනේ. ශාස්ත්‍රපති උපාධියකට වුණත් ඇප්ලයි කරනකොට වැඩියෙන් පර්යේෂණ අත්දැකීම් තියෙන අයදුම්කරුවන්ට තමයි ප්‍රමුඛතාවට හම්බවෙන්නේ. ජීව විද්‍යාව, රසායන විද්‍යාව වගේ ක්ෂේත්‍රවලට මේ කාරණේ පොදු වුණත් පරිඝණක විද්‍යාව වගේ විෂයයන් වලදීනං මම දන්න විදිහට ගොඩක් දුරට සැලකිල්ලට ගන්නේ කාර්මික අංශයේ අත්දැකීම්. කොහොම වුණත් සිව් අවුරුදු උපාධිවල අන්තිම අවුරුද්දේ ඇති පර්යේෂණ හෝ කාර්මික ව්‍යාපෘතිය හින්දා ගොඩක් දෙනෙක් මූලික උපාධිය අවසන් කරද්දිම මේ සුදුසුකම සම්පූර්ණ කරගෙන ඉවරයි.

ඊළඟට අදාල කැම්පස් එකට තමන් ලිපියක් මගින් දැනුම් දෙන්න ඕනෙ තමන් ඇයි ඒ කැම්පස් එකේ අදාල පාඨමාලාව හදාරන්න කැමති කියලා. මේකට කියන්නේ “අරමුණු සඳහන් ප්‍රකාශය (Statement of Purpose)“ කියලා. මේ ලියුම ගොඩක් වැදගත්. මේකෙන් තමයි කැම්පස් එකේ නිළධාරීන්ට අපි ඒත්තු ගන්වන්නේ ඒ අයගේ කැම්පස් එකට එන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ, අපිට අහවල් සුදුසුකම් සහ හැකියාවල් තියෙනවා, ඒ නිසා අපිව කැම්පස් එකට ගන්න කියලා. ඒ එක්කම අපේ ජීවදත්ත සටහනක් යවන්නත් ඕනේ.

මේ අතරේ ඔයාලාට සිද්දවෙනවා කලින් ඉගෙනගත්ත කැම්පස් එකෙන් නිර්දේශාත්මක ලිපි (Recommendation Letters) ලබා ගන්න. මේ ලිපි ලබාගන්න ඕනෙ තමන් ගැන හොඳින් දන්න ආචාර්යවරුන්ගෙන්. විශේෂයෙන්ම තමන්ගේ පර්යේෂණ ව්‍යාපෘතිය භාරව හිටපු ආචාර්යවරයාගේ ලියුම ගොඩක් වැදගත්. මේ ලියුම් හරියට චරිත සහතික වගේ. තමන් ඇප්ලයි කරපු කැම්පස් එකෙන් තමන් මොන විදිහේ මනුස්සයෙක්ද කියලා අවබෝධයක් ලබාගන්නේ මේ ලියුම් වලින් තමයි. ඒ  වගේම මේ ලියුම් වල තමන් ගැන තියෙන්නේ මොනවද කියලා බලන්න ඔයාලාට හැකියාවක් නෑ. ඉතිං ඒ හින්දා තමන් එක්ක හිත හොඳ ආචාර්යවරුන්ගෙන් මේ ලිපි ලබාගන්න එක ඇඟට ගුණයි. සාමාන්‍යයෙන් ආචාර්ය උපාධි ඇප්ලිකේෂන් එකකදී ආචාර්යවරු තුන් දෙනෙකුගෙන්වත් නිර්දේශාත්මක ලිපි ලබා ගන්න ඕනේ.

ඔයාලා ඇප්ලයි කරන්නේ ඉංග්‍රීසි කතාකරන රටකරනං ඒ අයට ඔයාලාගේ ඉංග්‍රීසි හැකියාව ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. ඒකට ඉංග්‍රීසි හැකියා විභාගයකින් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් අරගෙන පෙන්නන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ සඳහා කරන්න ඕනේ එක්කෝ TOEFL (Test of English as a Foreign Language) හරි IELTS (International English Language Testing System) කියන විභාග දෙකෙන් එකක්. ඇමරිකාව TOEFL විභාගය ගොඩක් පිළිගන්න අතරේ බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගොඩක් කැමති IELTS විභාගයට. නමුත් වර්තමානයේ බහුතරයක් විශ්ව විද්‍යාල මේ විභාග දෙකම පිලිගන්නවා.

ඊටපස්සේ තියෙන්නේ ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇප්ලයි කරනවානං ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ GRE (Graduate Record Examination) කියන විභාගයයි. ඇමරිකානු විශ්ව විද්‍යාල ජාත්‍යන්තර සිසුන්ගේ සුදුසුකම් වලින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මේ විභාගයේ ලකණු වලටයි. ඒ නිසා සෑහෙන්න මහන්සි වෙලා GRE විභාගයට හොඳ ලකුණක් ලබාගන්න එක ඇමරිකාවට යන්න බලාපොරොත්තු වෙන හැම සිසුවාගේම ඇඟට ගුණයි. මේ විභාගයේදී ටෙස්ට් කරන්නේ ඔයාලාගේ ගණිතය, ඉංග්‍රීසි සහ විශ්ලේෂණාත්මක රචනා හැකියාවනුයි. මේවායින් ගණිත කොටස ශ්‍රී ලාංකික සිසුන්ට ලේසි වුණත් ඉංග්‍රීසි කොටස බොහෝ අමාරු බවයි වැඩි දෙනෙක්ගේ මතය.

වියදම් පියවාගැනීම

විදෙස් අධ්‍යාපනය ලබන/ ලබන්න බලාපොරොත්තු වෙන හැම දෙනාටම තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පාඨමාලා ගාස්තු සහ ජීවන වියදම අධික වීම. මේ සඳහා හොඳම විසඳුම තමයි අදාල කැම්පස් එකෙන් ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න එක. ඇමරිකාවේනං බොහෝදුරට පශ්චාත් උපාධි හදාරන සිසුන්ට කලින් සඳහන් කරපු ආකාර දෙකෙන් මුදල් ආධාර ලබා දෙනවා. කොහොමවුණත් ශිෂ්‍යත්වයක් ලබාගන්න එක අපහසු වගේම ඉතාම තරඟකාරී කටයුත්තක්. ඒ හින්දා ගොඩක් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන්නේ සහකාර තනතුරු. ශිෂ්‍යත්වයක් සහ සහකාර තනතුරක් අතර වෙනස තමයි ශිෂ්‍යත්වයකදී සිසුවාට කිසිම ශ්‍රමය වැය කිරීමකින් තොරව මුදල් ලැබෙන එක සහ සහකාර තනතුරකදී සිසුවාට ශ්‍රමය වැය කිරීමෙන් මුදල් උපයන්නට සිදුවීම. ඉගැන්වීම් සහකාර තනතුරකදී සිසුවාට නියමිත වෙන්නේ අදාල කැම්පස් එකේ මූලික උපාධි සිසුන්ට නිබන්ධන උගන්වන එක. පර්යේෂණ සහකාර තනතුරකදී සිද්ද වෙන්නේ අදාල කැම්පස් එකේ විද්‍යාගාරවල පර්යේෂණ කටයුතු වල නිරත වෙන එක.

මේ වගේ ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න සිසුන්ට කැම්පස් එකේ පාඨමාලා ගාස්තු ගෙවන්න ඕනෙ වෙන්නේ නෑ. ඒ වගේම අතටත් සෑහෙන්න ගානක් හම්බ වෙනවා. වෛද්‍ය රක්ෂණ, ජීවිත රක්ෂණ ලැබෙනවා. මේ නිසා සෑහෙන ගානක් මාසිකව ඉතුරු කරන්න පුලුවන්. ඒත් තමන්ට ශිෂ්‍යත්වයක්, සහකාර තනතුරක් ලැබුනේ නැතත් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න සමහර රටවල්වලදී පුලුවන්. කොහොම වුණත් නිකං ඉඳගෙනත් කරන්න අමාරු පශ්චාත් උපාධියක් රස්සාවකුත් එක්ක කරන එක තවත් අමාරුයි. ඒ වගේම සමහර රටවල ශිෂ්‍ය වීසා සහිත පුද්ගලයන්ට රැකියා කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ හින්දා ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න උත්සාහ කරන එක උසස් අධ්‍යාපන කටයුතු වලට විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙන හැම සිසුවාම හිතට ගන්න ඕනෙ කාරණයක්.

මීළඟ ලිපි වලින් තවත් විස්තර බලාපොරොත්තු වන්න.

30 comments:

  1. නියමයි.... දිගටම මේ ගැන ලියන්න.... එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රයෝජනයක් ගත්තත් කවුරු හරි ගොඩ යනවනෙ...
    හොඳට විස්තර කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා. අයියා මට කරපු උදව් කවදාවත් අමතක වෙන්නෙ නෑ

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ""ඒ වගේම ලංකාවෙන් එළියේ උසස් අධ්‍යාපනය ලබන්න මූලික උපාධියේ පංති සාමාර්ථය එච්චරම බලපාන්නේ නෑ. උදාහරණයක් විදිහට GPA එක 3.49 (දෙවෙනි පන්තියේ උසස් සාමාර්ථය) සහ 3.50 (පළමු පන්ති සාමාර්ථය) ලබාගත්ත සිසුන් දෙන්නෙක්ට පිටරට විශ්ව විද්‍යාලයකින් ලැබෙන්නේ එක වගේ පිළිගැනීමක්. ඒ වගේම උපාධිය ලබාගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද, පුද්ගලික විශ්ව විද්‍යාලයකින්ද කියන එකත් විදේශ අධ්‍යාපනය ලැබීමේදී බලපාන්නේ නෑ.""

    හොඳ ලිපියක්. ඒත් ඉහතින් දක්වලා තියෙන කාරණා දෙකටනම් මම එතරම් එකඟ නැහැ. ශිෂ්‍යත්වයක් ගන්න නම් ප්‍රථම උපාධියේ පන්ති සාමාර්ඨය, ලබා ගත් විශ්ව විද්‍යාලයේ පිළිගැනීම, පර්යෙෂණ පත්‍රිකා ගණන සහ ඉතා විශේෂයෙන් රෙකමන්ඩේශන් ලෙටර්ස් බලපාන බවනම් මට තහවුරු කරලා කියන්න පුළුවන්. මෙයින් අපගමනය වුනු අවස්ථා තියෙන්න පුළුවන්. මම මේ කතාකරන්නේ සමස්ථය ගැන.

    කොහොම වුනත් හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාලන්. අදාල රට සහ ශිෂ්‍යත්වයේ ස්වභාවය අනුව එහෙම වෙන්න පුලුවන්. නමුත් ඇමරිකාව වගේ පන්ති සාමාර්ථ ක්‍රමයක් නැති රටකනං පන්ති සාමාර්ථය ගැන සලකන්නේ නෑ. ඔවුන් සලකන්නේ GPA එක ගැන විතරයි මගේ දැනුමේ හැටියට. පර්යේෂණ පත්‍රිකා ගැන මට ලියන්න අමතක වුණා. පර්යේෂණ පත්‍රිකා තිබීම තමන්ගේ පර්යේෂණ අත්දැකීම් වඩාත් හොඳින් ඔප්පු කරන්න පුලුවන් මාර්ගයක් වගේම පහසුවෙන් ශිෂ්‍යත්වයක් හරි සහකාර තනතුරක් හරි ලබාගන්න හැකියාව ලබාදෙන මාර්ගයක්.

      Delete
    2. ඇමරිකාව පන්ති සාමර්ත නොසකලනවා කියනවට වඩා ඒ අය GRE ස්කෝර් එක ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා කිව්වොත් හරි මම හිතන්නේ.

      මූලික සුදුසුකම් සපුරපු කෙනෙක්ට මහාචාර්යවරුන් සමඟ සම්බන්ධතා [contacts] වලිනුත් ඔබ කියපු සහකාර පර්යේෂණ සහකාර තනතුරක ලබාගන්න හරි ශිෂ්‍යත්වයක් හරි දිනා ගන්න පුළුවන්. හැබැයි විදේශික මාහාචාර්යවරයෙක්ට තමන් වැඩ කරුවෙක් කියලා පෙන්වන එකනම් එතරම් ලේසී වැඩක් නෙමෙයි. ඒත් ඒක තමයි මම හිතන්නේ හරි ගියොත් ලේසිම ක්‍රමය.

      ඉදිරි ලිපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..!

      Delete
    3. ඇත්තටම ඇමරිකාවනං හැම දේටම වඩා GRE ස්කෝර් එක තමයි බලන්නේ. ඔබ කියන් දේ ගැන එකඟයි. තවත් විස්තර ඊළඟ ලිපියෙන් කියන්නම්.

      Delete
    4. Blog Gadol is right. FOr USA the class doesn't matter since there are no classes here. What matters is the GPA. and if you have research papers that's even better.
      If you think your GPA is not enough there are 3'rd party agencies that convert your transcript to USA standards. It's cost you around $50-$100, but in most case your GPA will go up. SO that might be a good investment. Here is one agency that I used. http://trustfortecorp.com/
      But first check if the agency is reputable and if your university will accept it.

      Delete
  3. බොහොම ස්තුතියි ඔලුවේ තිබ්බ ප්‍රශ්න ගොඩකට විසදුම් ආව , එක නෙමෙයි කැම්පස් යන්න කලින් තියෙන aptitude ටෙස්ට් ගැනත් කරුණු ටිකක් මේකේ add කලා නම් හොදයි , මාත් aptitude ටෙස්ට් ගැන නොදැනුවත් කම නිසා කැම්පස් යාගන්න බැරුව (first shy result වලින් ) ප්‍රශ්න ගොඩකට හිර වෙලා ඉන්නේ ,( අදාළ දිනයට කලින් ටෙස්ට් එකට අයදුම් නොකිරීම ) මේ ටෙස්ට් ගැන UGC එකෙන් දෙන hand book එකේ වත් නෑ.....

    ReplyDelete
    Replies
    1. aptitude ටෙස්ට් ගැනනං මම එච්චර දන්නෑ සහෝ. බොහොම ස්තුතියි. දැනට කැම්පස් එකක ඉන්න aptitude ටෙස්ට් එරපු කෙනෙක් ඉමල්කට උත්තර දෙන්න පුලුවන්නං හොඳයි.

      Delete
    2. ඔයාගේ සක්වල තක්සලාවයි පීඨයයි කිව්වොත් මට පුලුවන් වෙවි උදවු කරන්න විද්යුත් තැපෑල හරහා.

      ගිරවි

      Delete
  4. Correct terminology

    ශ්‍රාස්ත්‍රවේදී = Bachelor of Arts
    විද්‍යාවේදී = Bachelor of Science
    ශ්‍රාස්ත්‍රපති = Master of Arts
    විද්‍යාපති = Master of Science

    etc.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා.

      Delete
    2. දර්ශනවේදී = MPhil
      දර්ශනපති = PhD

      ගිරවි

      Delete
  5. උසස් අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියලා විශ්ව විද්‍යාලේ ඉන්න අයවත් හරියට දන්නෙ නෑ. එතනින් ඉදිරියට තියෙන ළෝකය දන්නෙත් නෑ. උපාධි සහතිකයක් අරගෙන ආන්ඩුවේ අයිස් ගහන ජොබ් එකකට රිංගලා පෙන්ෂන් එකක් ගන්න තමයි වැඩි දෙනාගේ බලාපොරොත්තුව. අනික මේ ගැන යමක් දන්න කෙනා. අනිත් කෙනෙකුට ඒ දේ කියලා දෙන්නේ නෑ. මුදල් තියෙන කෙනෙක් උනත්, තියෙන අවස්ථාවන් දන්නෙ නෑ. ඒ අතින් බැලුවම් ඔබේ මේ ළිපිය විශාල සමාජ සත්කාරයක්. ඔබට පින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්. ඉදිරියේදී තවත් ලිපි මේ ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා

      Delete
  6. නියමම ලිපියක්... එකෙක් ප්‍රයෝජනය ගත්තානම් ප්‍රමානවත්...

    ReplyDelete
  7. කවුරුහරි ලිවියයුතුව තිබුනු වැදගත් ලිපියක් ලිවීම ගැන ස්තුතියි. IELTS වගේ විභාග ලකුනුවලට වලන්ගු කාලයක් තියන බවත් එකතු විය යුතුයි කියලා හිතනවා.

    මාලන් කියලා තිබුනා වගේ විදේශීය මහාචාර්යවරයෙක් කෙලින්ම සම්බන්ද කරගෙන අදාල විශ්වවිද්යාලයට ඇතුල්වෙන එක හැම අතින්ම හොඳයි. Placement එකක් ගන්න එක අවශ්ය සුදුසුකම් තියනවනම් එච්චර අමාරු නැහැ. නමුත් Funds හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක්. ලන්කාවෙ විදේශීය රටවල් වල embassy වලින් අවුරුදු පතා දෙන ශිශ්යත්ව ගැනත් දැනුවත් වෙන එක හොඳයි. AIT වගේ ඒවා හුඟක් වෙලාවට 50% ~ 75% වගේ ගානක් tuition exemptions දුන්නා වසර කිහිපයකට කලින් නම්. දැන් කොහොමද දන්නෙ නෑ.

    මම ඉගෙන ගන්නේ ජපානයේ. පන්ති සාමාර්තය මගෙ අත්දැකීමේ හැටියට නම් මෙහේ සතපහකට වැඩක් නැහැ (ආපහු ඇවිත් ලන්කාවෙ වි.වි කට ආචාර්ය වරයෙක් විදිහට සම්බන්ධ වෙන්න නම් first, second upper තියන එක වැදගත් ). අවුරුදු තුනද හතරද කියන එකත් දන්න තරමින් බලන්නෙ නෑ. නමුත් ආචාර්ය උපාධියට යන්න නම් masters කරලා ඉන්න වෙනවා (සැ. යු. දුලභ නමුත් loopholes ඇත). තව ජපානයේ Research Student කියලා category එකක් තියනවා. ජපන් රජයේ ශිශ්යත්වය (Monbukagakusho) අරන් එන සිසුන් මාස 6 සිට අවුරුද්දක් දක්වා කාලයක් research student ලෙස සිටීම බොහෝවිට අනිවාර්ය වෙනවා. Australia වලනම් ලන්කාවේ අවුරුදු 4 උපාදියට direct Ph.D placements ගන්න පුලුවන්. හැබැයි scholarships ගන්න එක දන්න විදිහට ලේසි නෑ.

    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. I think TOEFL is valid for 5 years and GRE for 3 years.

      Delete
    2. GRE is valid for 5 years and both TOEFL/IELTS are valid for 2 years

      Delete
  8. ඉස්සරම හිතුනා පලවෙනි උපාධිය ඉඔවර උනාම මාස්ටර්ස් කරනවා කියලා. ඒත් රස්සාවට ආවම තමා තේරෙන්නේ රස්සාවත් එක්ක මාස්ටර්ස් කරන්ඩ තියෙන අමාරුව !
    වටින ලිපියක්.

    ReplyDelete
  9. අපේ පාර සම්පූර්ණයෙන්ම වගේ වෙනස් නෙව.මොනවා උනත් වැදගත් ලිපියක්.

    ReplyDelete
  10. ගොඩක් හොඳ වැඩක් කරලා තියෙන්නේ :) මේ ගැන උනන්දු අයට සැහෙන්න ප්‍රයෝජනවත් වේවි මන් හිතන්නේ.

    ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධි සම්බන්ධව චුට්ටක් කියන්න හිතුව මේ ලිපියට ඇමුණුමක් විදිහට.
    සාමන්යෙන් ඕස්ට්‍රේලියන් PhD උපාධියකට ලංකාවේ අවුරුදු 4 උපාධිය සහ second upper එකක් ඕනේ. full scholarship එකක් ගන්න බැරිකමක් නැහැ first class එකක් තියෙනවනම්. හැබැයි තමන් කරන්න යන රිසර්ච් එක ගැන පොඩි අදහසක් අරන් research proposal එක ක් ලියන්න වෙනවා. මේක ලොකු දෙයක් නෙවෙයි. පිටුවක් දෙකක් ඇති. ඒ ගැන වචන ගැන එහෙම අදාළ විශ්ව විද්‍යාලෙන් විදාය්ලේට වෙනස්.
    මට මතක තරමින් අවුරුද්දේ ඕනෙම කාලෙකදී PhD සඳහා අයදුම් කරන්න පුළුවන් උනත් ශිෂ්‍යත්ව වලට අයදුම් භාරගන්නේ ඔක්තෝම්බර් වලද කොහෙද...

    ReplyDelete
  11. To apply for a scholarship in the UK you don't need 4 yrs degree because, almost all the universities in the UK have 3 yrs first degree including oxbridge. And UK universities rarely give fully funded PhD scholarships for Sri Lankan degrees, not like US universities.

    ReplyDelete
  12. ප්‍රයෝජනවත් ලිපියක්...සිරාගෙ විෂයට අදාළව ලංකාවෙ හදාරන්න උපාධියක් තිබුනෙ නැති නිසාම විදේශගතව හෝ එය හදාරන්න තමයි හිතාගෙන ඉන්නෙ...

    ReplyDelete
  13. මම නම් අලුත් ඔයගෙ ලිපි සෙරම වගෙ කියෙව්ව book mark දාගෙනම.ඒත් දාන පලවෙනි comment එක.නියම ලිපියක් දිගටම ලියන්න.

    ReplyDelete
  14. විදෙශීය මහචාර්යවරයෙක් අතිශය වැදගත් වෙන්නේ MPhil, PhD, Post doc උපාධි වලට කියලා පැහැදිලිවම දන්නවා. මොකද ඒ ඒ උපාධියේ වැදගත්ම කොටස තමා පර්යේෂණ නිබන්ධනය. සින්හලෙන් කිව්වොත් thesis එක. එතකොට තමන් කරන්න යන පර්යේශනයට අදාල ගුරු භවතෙක් සිටීමත් එමගින් තමාගේ වෘත්තීය ජීවිතයට වන ගැලපීමත් ඉතා වැදගත්. තමන්ගේ වර්තමාන රැකියාවේ ඊලඟ කඩයිමට ඕන කරන දේ නොකර ශිෂ්‍යත්වය සහ රට යාම ගෙන විතරක් හිතුවොත් ගෙවපු කාලේ ගැන දුක් වෙන්න වෙයි. අනික් වැදගත් දේ තමයි ඉහලට යන සෑම උපාධියක් වෙනුවෙන්ම තමන්ට කරන්න වෙන කැපකිරීම වැඩි වෙනවා කියන එක. සමහර විත තමන් කවදාවත් නොසිතූ නොපැතූ දේ පවා ඉගෙන ගන්න වේවි. කොටින්ම තෝරා ලියන ප්‍රශ්න පත්තර වෙනුවට සියල්ලටම ලියන්න වෙන ප්‍රශ්න පත්තර තමා ලැබෙන්නෙ.

    ගිරවි

    ReplyDelete
  15. තවද, technical / non academic job කරන කෙනෙක් නම් අධ්‍යාපනික සුදුසුකම් වලට සමගාමීව වෘත්තීය පලපුරුද්ද වැඩි කර ගැනීමත් ඉතා වැදගත්. නැත්නම් රස්සා හොයනව බොරු. අනික ඉගෙන ගන්න දෙයක් උනත් තමන්ට හුරුබුහුටි විදියට දැනෙන්නේ ඒ ගැන තමන්ට තියෙන වෘත්තීමය පලපුරුද්ද මත. නැත්නම් ගොඩ ඉඳන් පීනන්න උගන්නනවා වගේ.

    ගිරවි

    ReplyDelete
  16. හොදයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා scholarship වලට ඇප්ලයි කරන හැටිත් ලියන්න පුලුවන් නම් වටිනවා.
    scholarship හොයා ගන්න හැටි එහෙම.

    ReplyDelete
    Replies
    1. උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ නිල වෙබ් අඩවියට යන්න schol ගැන තියනවා

      Delete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???