
සාමාන්‍යයෙන් හොස්ටල් එකේ එක වසරක ළමයි 45 දෙනෙක් ඉන්නවා.ඒත් 9 වසර ඉවර වෙද්දි පුරුපුරුල අයිතිවෙන 2003 O/L බැච් එකේ ඉතුරු වෙලා හිටියෙ ළමයි 25ක් විතරයි.ඉතිං පාලනාධිකාරිය තීරණය කළා බස්නාහිර පළාතෙ ටිකක් දුර පැතිවල ළමයින්වත් හොස්ටල් එකට ගන්න.ඉතිං ඔය අවස්ථාව ප්‍රයෝජනේට ගත්තු පුරුපුරුයි තව ළමයෙකුයි හොස්ටල් එකට ආවා.එහෙ හිටපු ගොඩක් ළමයින්ව පුරුපුරු හොදට අදුරනවා.ඉතිං හොස්ටල් එකට යාම ගැන මෑන්ස්ට ආයි දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.
ආපු එකේ වාසි ගොඩයි!හොස්ටල් එක තියෙන්නෙ ඉස්කෝලෙ ඇතුළෙමයි.ඉතිං ස්කූල් වෑන් එකේ යනකොට වගේ ගමන් මහන්සියක් හොස්ටල් එකේ ඉන්නකොට දැනෙන්නෙ නෑ.හොස්ටල් එකේ ගාස්තුවත් වෑන් එකට සාපේක්ෂව ගොඩක් ලාභදායකයි.වෙලාව ගොඩක් ඉතුරුයි.ස්පෝට්ස් කරන්නයි පාඩම් කරන්නයි ඕන තරං වෙලාව තියෙනවා.දන්නැති පාඩම් යාළුවන්ගෙන් අහගන්න පුළුවන්.මේ වගේ එකී මෙකී නොකී ගොඩක් වාසි හොස්ටල් එකට ආපු එකෙන් පුරුපුරුට ලැබුණලු.හොස්ටල් එකට ආපු එකේ අවාසිනං මෙතන කතා කොරන්ට බලාපොරොත්තුවක් නෑ.ඒවා අපි ඉස්සරහට දාන ලිපි කියෙව්වම ඔයාලටම තේරෙයි.
නේවාසිකාගාර පාලක තමයි කොටියා සර්.හොස්ටල් වෝඩන් නොකියා ඒ නම පාවිච්චි කළේ සර් නියම සිංහල ගුරුවරයෙක් හින්දා.ඇත්තටම පුරුපුරුට මෙච්චර කල් මුණගැහිල තියෙන ගුරුවරු අතරෙ කොටියා සර් අමරණීය කැරැක්ටර් එකක්.සර් නියම දක්ෂයෙක්.(හික් හික්!! නැත්තං කොහොමද රාස්ස පැටව් ඉන්න හොස්ටල් එකක් අවුරුදු ගාණක් පාලනේ කරන්නෙ?එතුමා ගැන වෙනම ලිපියකින් කතා කරමුකො නේද?)
කොටිය සර් හොදයි වගේම බොහොම සැර, ඩිසිප්ලින් තදින්ම බලපු පාලකයෙක්.කේ.එච්. කියන්නෙ එයාගෙ ඇත්ත නමේ මුල් අකුරු.හොස්ටල් එකේ කොල්ලො ඕක හැදින්නුවෙ "කොටි හපු" කියල.උන් කොච්චර සම්මා දිට්ටියක් තියෙන ඈයොද කියල අපේ පූසට මීටර් වුණේ ටික දවසක් ගියාට පස්සෙ.ඉස්කෝලෙදි පුරුපුරුලට සිංහල සාහිත්‍ය උගන්නනකොට බොහොම විනෝදකාමී විදිහට ඉන්න කොටිය සර්, හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සෙ තමන්ට දාල තිබුණ නමට ගැලපෙන විදිහට තමයි හැසිරෙන්නෙ.කොටිය සර් ජීවත් වුණේ සීනියර් හොස්ටල් එකේ තිබුණ නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.
හොස්ටල් එකේ ඊළග ප්‍රධානියා තමයි රිච් සර්.එයා පී.ටී සර් කෙනෙක්.තරුණ කාලෙ ජාතික මට්ටමේ හෙල්ල විසිකිරිමේ ඩයල් එකක්.සර් නැවතිලා හිටියෙ ජූනියර් හොස්ටල් එකේ තිබුණ උප නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.සැර අතින්නං දෙන්නගෙන් එක්කෙනෙක්වත් අනිත් මනුස්සයට සෙකන්ඩ් වුණේ නෑ.
ඊළගට ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා.ඒ කියන්නෙ හොස්ටල් එකේ නැවතිලා හිටපු ඒ ලෙවල් ළමයි.ඒ ලෙවල් කරන්න හොස්ටල් එකට ගන්නෙ ඕ ලෙවල් බැච් එකේ හිටපු හතළිස් ගානෙන් 8 දෙනයි.ඉතිං කොලිෆයි වෙන්නනං, ඕ ලෙවල් කාලෙ හොද කාඩ් එකක් තියාගෙන හිටපු කොල්ලෙක්ම වෙන්න ඕනෙ.මේ කට්ටිය තමයි හොස්ටල් එකේ පරිපාලනේ හිටපු ගොඩක්ම වැදගත් අය.මොකද පොඩි ළමයින්ගෙ විනය, අධ්‍යාපනය, එක එක පොඩි ප්‍රශ්න ගැන ටච් එකේ ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා.ඒ අයට විසදන්න බැරි ප්‍රශ්න තමයි කොටියා සර් ළගට යන්නෙ.ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හොස්ටල් එක ඇතුළෙ තිබුණෙ ලොකු පවර් එකක්.(ගුරුවරු දෙන්නෙකුට ළමයි තුන්සිය ගාණක් කන්ට්‍රෝල් කරන්න අමාරු නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තෙ)
අනිත් එක්කෙනා තමයි "බොග පාලක" රත්තිපාල අංකල්.එයා තමයි හොස්ටල් එකේ සනීපාරක්ෂාව භාරව කටයුතු කළේ.සේවකයෙක් වුණාට රත්තිට තිබුණෙ පාලකයෙකුටත් වඩා පවර් එකක්.මොකද කොටිය සර්, රිච් සර්, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා, මේ කවුරුවත් නැතුව හොස්ටල් එක දවස් කීපයක් හරි ගෙනියන්න පුළුවන්.ඒත් ඉතිං රත්ති අංකල් නැතුව හොස්ටල් එක එක පැයක්වත් ගෙනියන්න බෑ නොවැ!.කොටින්ම ප්‍රිෆෙක්ට්ස්ලා හිටං රත්ති අංකල් එක්ක ෆුල් ෂේප් එකේ හිටියෙ.
ඔන්න ඔහොම තමයි හොස්ටල් එකේ මැනේජ්මන්ට් එක තිබුණෙ.ඉතිං එහෙ තිබුණ නීති ගැන, කෑම ගැන, හිටපු කට්ටිය ගැන තව විස්තර පස්සෙ කියන්නංකො....
ප.ලි. -
හොස්ටල් එකේදි සිද්ධ වුණ ආතල් සීන් වැහි වැහැලා.ඒත් ඒව පටන් ගන්න කලිං හොස්ටල් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නයි අපිට ඕනෙ වුණේ.අයිඩියා එකක් නොදී කෙළින්ම ෆන් සිද්ධි වලට බහින්න ඕනෙනං කියන්න හොදේ!