අඹ යාලුවෝ

Saturday, December 3, 2011

පූසන්ගෙන් රජ බොජුන්


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු පුරුපුරු බ්ලොග්අවකාශෙට ගොඩ වැදුනා. දන්නෙම නැතුව පෝස්ට් එකක් නොදා මාස දෙකකටත් වැඩියෙන් කල් ගතවෙලා. කොහොම වුණත් දැන්නං විභාග කටයුතු ඔක්කොම අහවර නිසා දිගටම ලියන්න පුලුවන් වේවි. ඒ වගේම පහුගිය දවස්වල බ්ලොග් එකේ ලිපියක් නොලිවීම ගැන කොමෙන්ට් වලින්, චැට් කරලා වගේම මැසේජ් එවලා විමසීම් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි. පහුගිය දවස්වල අපේ පුරුපුරුට මෑන්ස්ගෙ ජීවිතේ මංගල රස්සාව හම්බවුණා. දැන් අපේ පූසා ගුරුවරයෙක්. ඒ වගේම බ්ලොග්අවකාසෙ කීප දෙනෙකුත් පූසාගෙන් ඉගෙන ගන්නවා.

කොහොමහරි ඉතිං ඔය ඔක්කොම වැඩ හින්දා පූසාට පහුගිය දොහේ බ්ලොග් කියවිල්ලට වෙලාවක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර දැක්ක දේවල් වලින් තේරුනේ මේ දවස්වල බ්ලොග් අවකාශෙ ට්‍රෙන්ඩ් එක කෑම හදන හැටි ගැන ලියන එක කියලා. විශේෂයෙන්ම අපේ මාරයා එහෙම වැඩේට මූලිකත්වය අරගෙන මූණුපොතේ පවා අනිත් කස්ටියව ප්‍රකෝප කරන පින්තූර දාලා තිබුනා. තමන් බ්ලොග් ලෝකෙ ඉන්න හොඳම චෙෆ් කියලා මාරයා හිතාගෙන හිටියාට ඊට වඩා හොඳ කෝකියො සෙට් එකක් බ්ලොග් අවකාශෙ ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපේ පූසො සෙට් එක. ඉතිං අද මම ඔයාලාට කියන්න යන්නෙ පූසො එකතුවෙලා රසවත් කෑමක් හදපු කතන්දරයක්.

මේ සිද්දිය වුණේ අපේ යාලුවො සෙට් එක 13 වසරෙ ඉන්නකොට. එතකොට ඒ ලෙවල් විභාගෙ ලියන්නත් මාස කීපයයි ඉතුරුවෙලා තිබුනෙ. ඉතිං විභාගෙ හොඳට ගොඩදාගන්න කියලා හිතාගෙන අපේ පූසො කට්ටිය තීරණය කළාලු එකට එකතුවෙලා පාඩම් කරන්න. මී කතුරායි, උපාසකයි ටිකක් දුරින් හිටපු නිසා ගොඩක් වෙලාවට කට්ටිය සෙට් වුණේ එක්කො පුරුපුරුලගෙ, මාලුකට්ටාගෙ හරි ඤාව්වාගෙ හරි ගෙවල් වලට. ගොඩක් වෙලාවට ඉතිං මේ වගේ අවස්ථාවලදි සිද්දවුණේ කට්ටිය පැය බාගයක් විතර පාඩම් කරලා ඉතුරුටික කයිවාරුවෙන් හිනාවෙවී කාලය ගතකරන එකලු.

ඒ දවස්වල ඉතිං කොල්ලො කට්ටියක් එකතුවුණාම කතාබහ කරන්න කොච්චරනං දේවල් තියෙනවද නේද? ඉතිං පූසො කට්ටියත් පාඩම් කරනවට වඩා කළේ ගෑනු ළමිස්සියො ගැනයි, ගන ගැනයි කතා කර කර හිටපු එකයි, ශිහාන් ලොක්කා සුපර්ස්ටාර් තරඟයෙන් කැපිලා යන්න කියලා ප්‍රාර්ථනා කර කර හිටපු එකයි. කොහොමවුණත් ගෙවල් වල අම්මලා පාඩම් කරන කොල්ලන්ට හොඳට කන්න බොන්න දෙන්න ඕනෙ කියලා විශ්වාස කරපු හින්දා, ඒ දවස්වල පූසන්ට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට කොටබාන්නනං චාන්ස් එක හම්බුනාලු.

ඉතිං ඔය වගේ එක දවසක පූසො කට්ටිය පාඩමට සෙට් වුණේ අපේ ඤාව්වාගෙ ගෙදර. වෙනදා වගේම එදත් කාලෙ ගතවුණත්, ඤාව්වා ටික වෙලාවකින් ඇවිත් කිව්වෙ කිසිසේත්ම සුභ ආරංචියක් නෙවෙයි. මෑන්ස් කියපු විදිහට එදා උදේ ඉස්කෝලෙ ගිය ඤාව් මාතාව ඉස්කෝලෙ මොකද්ද වැඩක් හින්දා ආපහු ගෙදර එන්න පරක්කු වෙනවලු. ඒ වෙද්දි උදේ උයලා තිබුන කෑම ටිකටත් පූසො ගේම දීලයි තිබුනේ.

හෝම් සයන්ස් ටීචර් කෙනෙක් වෙච්ච ඤාව්වාගෙ අම්මගෙ මුළුතැන්ගෙදර ඕනතරං කෑමජාති තිබුනත්, පූසො කවුරුවත් ඒවා උයන විදි දැනගෙන හිටියෙ නෑ. මොකද ඉතිං ලංකාවෙ පිරිමි පාර්ශවේ සාමාන්‍යයෙන් කුස්සියට යන්නෙ කෑම කන වෙලාවට විතරයි නොවැ! ඉතිං අපේ යාලුවන්ට ඉතුරුවෙච්ච එකම විකල්පය තමයි කඩෙන් කෑම ගෙනත් කන එක. ඔය විදිහට කට්ටිය සල්ලි එකතු කරලා කෑම ගේන්න ඤාව්වාවයි, මාලුකට්ටාවයි කඩේ යවන්න හදද්දි තමයි අපේ පුරුපුරුගෙ ඔලුවට අලුත් අයිඩියා එකක් ආවෙ.

පුරුපුරු :- අපි මචං උයන්න පුරුදු වෙන්නත් එක්ක අද දවල්ට ෆ්‍රයිඩ් රයිස් හදමුද?

උපාසක :- එළකිරි! මමත් උයන්න ආසාවෙන් හිටියෙ. ඒ වුණාට උඹ චිකන් උයන්න දන්නවද?

පුරුපුරු :- චිකන් ඕනෙ නෑ බං! එග් රයිස් එකක් හදමු. ඒක ලේසියිනේ.

කොහොමවුණත් පුරුපුරුගෙ අයිඩියා එකට සපෝට් එක දුන්නෙ උපාසක විතරයි. අනිත් පූසො තුන්දෙනා මේ වැඩේ ගැන බැලුවෙ ෆුල් සැකමුසු විදිහට.

මී කතුරා :- මේ පුරු, උඹ උයන ඒවා කාලා අපිට මොනවා වෙයිද දන්නෙ නෑ. අපි කඩෙන් කෑම ගේමු බං?

උපාසක :- උඹ නිකං හිටපංකො කෑ ගහන්නැතුව. උයන්න හිතපු වෙලේ උයන්නම ඕනෙ.

කොහොමහරි අන්තිමට තීරණය වුණේ එදා දවල්ට කන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්න. ඉතිං අපේ පූසො පස්දෙනා සුභ මොහොතින් කුස්සියට ඇදුනලු වැඩේ පටන් ගන්න කියලා. කිව්වට මොකද, පූසො පස්දෙනාගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑලු ෆ්‍රයිඩ් රයිස් තියා නිකං බත් එකක්වත් උයාගන්න. පුරුපුරු දැනගෙන හිටියෙත් බත් උයද්දි වතුරට හාල් දානවා කියලා විතරයි. ඒත් පහුගිය දවසක කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මැඩම් කියපු දෙයක් නිසා පුරුපුරුට ලොකු විශ්වාසයක් තිබුනලු මේ උයන වැඩේ සාර්ථක වෙයි කියලා. මැඩම් කිව්වේ

A good chemist is always a good cook

කියලා. ඒ කියමනට අනුව පුරුපුරු හොඳ කෝකියෙක් වෙන්න ඕනෙ. මොකද මේ කාලෙ අපේ පූසා රසායන විද්‍යාව පැත්තෙන් හොඳ හැකියාවක් පෙන්නුවා. ඉතිං පුරුපුරු උපාසකත් එක්ක එකතුවෙලා කල්පනා කළාලු එග් ෆ්‍රයිඩ් රයිස් එකක තියෙන්න ඕනෙ දේවල්. මේකෙ අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ දේවල් තමයි බත් සහ බිත්තර. ඊට අමතරව එළවළු, කරපිංචා, රම්පේ වගේ දේවල් තියෙන්නත් ඕනේ. ඉතිං කට්ටිය මුලින්ම කළේ රයිස් කුකර් එකට වතුර ටිකක් වක්කරලා රම්පෙ කරපිංචා කඩාගෙන එන්න ඤාව්වාව යවපු එක.

ඊටපස්සෙ අපේ පූසන්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි බත් එකට බිත්තර දාන්නෙ බත් ඉදුනට පස්සෙද? නැත්තං ඊට කලින්ද කියන එක. අන්තිමට කස්ටියගෙම ඒකමතික තීරණය වුණේ හාල් එක්කම බිත්තරත් රයිස් කුකර් එක ඇතුලට දාන්න ඕනෙ කියන එක. මේ වෙලාවෙ ඤාව්වලාගෙ ෆ්‍රිජ් එකේ බිත්තර හයක් තිබුනා. එක පූසාට එක බිත්තරේ ගානෙ ඕනෙ වෙන්නෙ බිත්තර පහයි. ඒත් ඉතිං එක බිත්තරයක් ඉතුරු කරලා වැඩක් නෑනෙ කියලා හිතපු මාලුකට්ටා ඔක්කොම බිත්තර ටික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තලු. ඊටපස්සෙ පුරුපුරු කළේ බිත්තර හයම කඩලා රයිස් කුකර් එක ඇතුලට දාපු එක. රයිස් කුකර් එකට හාල් දාලා බිත්තරයි හාලුයි කලවං කළේ ඊටත් පස්සේ.

මේ අතරේ මී කතුරා කළේ කැරට්, ලීක්ස් වගේ එළවළු කපපු එක. මාලුකට්ටායි උපාසකයි කළේ කුස්සියේ තිබුන නානාප්‍රකාර කෑම ජාති ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න පුලුවන් ඒවාද කියලා චෙක් කරලා බලපු එක. ඉතිං ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ දේවල් පූසන්ගෙ ෆ්‍රයිඩ් රයිසුවට ඇඩ් වෙලා තිබුනා.

බටර්, කරපිංචා, රම්පේ, ලුණු වතුර, කරාබු නැටි, මිරිස් කුඩු, ගම්මිරිස් ටිකක්, කරඳමුංගු, හීනියට කපපු අල පෙති.

ඉතිං මේ ඔක්කොම දැම්මත් අපේ පුරුපුරුගෙ හිතට මදි. ඉතිං මෑන්ස් කළේ කුස්සියෙ ඉතුරුවෙලා තිබුන වැනිලා එසන්ස් ටිකකුයි, ලා කොළ පාට කලරින් ටිකකුයිත් මේකට දාපු එක. හැබැයි ඒ මී කතුරාගේ දැඩි විරෝධය මැද්දෙ. මී කතුරා කෑ ගැහුවේ ෆ්‍රයිඩ් රයිස් එක කාලා මෑන්ස්ට බඩේ අමාරුව හැදෙයි කියන බයට. ඉතිං මෑන්ස්ගෙ බය නැති කරන්න කුස්සියෙ තිබුන අසමෝදගම් කුප්පියෙන් ටිකක් බත් එකට දාන්නත් පුරුපුරු අමතක කළේ නෑ.

කොහොමහරි ඉතිං ගොඩක් වෙලා බත් එක ඉදෙන්න තිබ්බත්, බත් එක ඉදෙන පාටක් පේන්න තිබුනෙ නෑ. අඩුගානෙ බත්එකෙන් පොඩ්ඩක් දුම් දාන හැටියක්වත් පූසන්ට පෙනුනෙ නෑලු. ඉතිං අන්තිමට ඤාව්වා තීරණය කළාලු රයිස් කුකර් එකේ පියන ඇරලා බත් එක රත් නොවෙන්න හේතුව හොයලා බලන්න. මෙහෙම බලද්දි අපේ පූසන්ට දැකගන්න ලැබුනෙ අමුතුම දර්ශනයක්. 

බත් එකේ උඩින්ම බොහොම ශක්තිමක් බත් තට්ටුවක් බැඳිලා තිබුනා. ඒක හින්දා බත් එක අම්බානට රත් වුණත් ඇතුලෙ හිරවෙලා තිබුන දුමට එළියට එන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. ඉතිං ඤාව්වා කළේ බත් හැන්දේ මිටෙන් උඩින් තිබුන තට්ටුව හිල්වෙලා යන්න බත් එකට ඇන්න එක. එතකොටම අර ඇතුලෙ හිරවෙලා තිබුන දුම මෑන්ස්ගෙ කන ළඟින්ම එළියට විද්දෙ එක්දහස් අටසිට ගනං වල දුම් කෝච්චියක් වගේ. කොහොමහරි අන්තිමට බලද්දි බත් එකේ අඩියෙ හරිය හොඳටම රොස්වෙලා තිබුනලු.

කොච්චර රොස් වුණත් ඉතිං මහන්සියෙන් උයපු එක විසිකරන්නයැ නේද! ඉතිං පුරුපුරු කළේ බත් එක කොටස් පහකට වෙන් කරලා කට්ටියට බෙදලා දුන්න එක. ඒ එක්කම හැමෝටම බත් එක උඩින් තක්කලි පලුව ගානෙ තියලා දෙන්නත් මෑන්ස් අමතක කළේ නෑ. මොකද කෑමක් වුණාම රස වගේම ලස්සනත් තියෙන්න ඕනේ. කොහොමවුණත් මේ ෆ්‍රයිස් රයිස් එක අනාගෙන කන්න පුලුවන් තත්ත්වයෙ තිබුනෙ නෑ. මොකද මුලු බත් එකම කේක් ගෙඩියක් වගේ කෑලි කපන්න පුලුවන් තත්ත්වයෙ තමයි තිබුනේ. ඒ වගේම බත් එකෙන් බාගයක් රයිස් කුකර් එකේ පර්මනන්ට් විදිහට ඇලිලයි තිබුනේ.

කොහොමවුණත් මී කතුරා කැමතිවුණේ නෑ මේ රසවත් ආහාරය භුක්ති විඳින්න. මෑන්ස් හැදුවේ ටවුමට ගිහින් වෙනම කෑම එකක් ගේන්න. ඒත් ඉතිං අනිත් පූසන්ගෙ දැඩි ප්‍රතිරෝධය හමුවේ අන්තිමට මී කතුරාටත් සිද්ද වුණාලු ෆ්‍රයිස් රයිස් කන්න. ඒත් ටික වෙලාවකින් පූසන්ට තරු පෙනුනේ මී කතුරා අමාරුවෙන් බෙල්ල අල්ලගෙන 

කබර...යා...

කියලා කියද්දි. බැලින්නං මෑන්ස්ට කෑම එක අප්පිරියා වෙලා වමනෙ යන්න ඇවිත්. කොච්චර අප්පිරියා වෙලාද කියනවනං මෑන්ස්ට ගෙදරින් එළියට දුවනකංවත් කබරයා කොන්ට්‍රෝල් කරගන්න බැරිවුණාලු. 

ඕඕ......ක්ක්....

මී කතුරා එළියට දුවනගමන් කබරයා දැම්මේ හරියටම ඤාව්වාගෙ ගෙදර ඉස්සරහ දොර ගාව. කොහොමහරි ඉතිං පූසන්ගෙ අප්‍රතිහත ධෛර්යය හමුවේ පොඩි කාලයක් ඇතුලත මී කතුරාගේ කබරයා ටික අස් කරලා දාන්න කට්ටියට පුලුවන් වුණාලු. ඤාව්වාටනං වමනෙ ගිහින් තිබුනේ එදා හවස. කොහොමහරි ඉතිං පූසන්ගෙ පළවෙනි ඉවිල්ල ඔය විදිහට සාර්ථකව නිමා වුණාලු. හැබැයි අපේ ඤාව්වා කවදාවත් එදා හවස මෑන්ස්ගෙ අම්මා ගෙදර ආවාට පස්සෙ වෙච්ච දේ ගැන කතා කළේ නෑ. ඊට පස්සෙ දවසෙ ඤාව්වලාගෙ ගෙදර යද්දි අලුත් රයිස් කුකර් එකක් කුස්සියට ඇවිත් තියෙන හැටි විතරක් පූසො කට්ටිය නිරීක්ෂණය කළාලු.

ප.ලි - මෙවැනි කෑම හදන්නේ හොඳින් මේ සඳහා පුරුදුවුණ කෝකියන් විසිනි. එබැවින් මෙය නිවසේදී අත්හදා බැලීමට නොයන්න.




52 comments:

  1. හික්ස්.. එළස්ය.. ඇති යාන්තං ආයෙමත් ලියන්ට පට්ටාං ගත්තා.. පූස් සෙට් එක හොඳින් ඇත කියා සිතමි.. :D

    ReplyDelete
  2. මල්ලිගේ අලුත් රැකියාවට සුභ පතනවා. ඒ අතරම පොඩි අවවාදයකුත් දෙන්න කැමතියි. එනම් නොකඩවා ඉගෙන ගන්න. නවත්වන්න එපා. ඔය තනතුර ස්ථිර වෙන්නත් ඒක බලපානවා. අපිට හොඳ කථාත් නිතර ලියන්න. කවද හරි මහාචාර්‍යවරයෙක් වෙන්න.

    ReplyDelete
  3. මරු මරු... එල කෑම වේල...

    පුරුපුරුට සුභ පැතුම්....!

    ReplyDelete
  4. ගොඩ කාලෙකට පස්සේ පූසා ලියන්න ඇවිත්

    ReplyDelete
  5. සුබ පැතුම් පුරු පුරු!

    ReplyDelete
  6. එල එල... අපේ පූස් ගුරුතුමාට උණුසුම් සුබ පැතුම් මංගල රැකියාවට.
    කෑමත් ගින්දර.... පුසොන්ගේ රජ වැඩ දිගටම කියවන්න බලන් ඉන්නවා..
    ජය වේවා.

    ReplyDelete
  7. සෑහෙන කාලෙක්ට පස්සේ ඇවිත් තියෙන්නේ ලොවෙත් නැති ෆ්‍රයිඩ් රයිස් එකකුත් අරගෙන! :D

    ReplyDelete
  8. // රයිස් කුකර් එකට හාල් දාලා බිත්තරයි හාලුයි කලවං කළේ ඊටත් පස්සේ.//
    මේක තමා ෆස්ට ම සීන් එක... මේ පූසන්ට මීයෙක්ගෙ තරම් වත් මොළයක් නැද්ද යකෝ..

    ReplyDelete
  9. A good chemist is always a good cook

    කතාවෙ හැටියට මේක උඩිම්ම වැරදිලා වගේ ............... අයියෝ........ කෙලියාාාායි!

    ReplyDelete
  10. හුඟකාලේකට පස්සෙ....වෙල්කම් පූස් මලේ...අලුත් ගුරු පත්වීමටත් මගේ සුබ පැතුම්...රස්සාව හරියට කරපං...ජය..කොහේද හැබැවට දැන් උගන්වන්නේ...

    ReplyDelete
  11. බුරා
    ගෝල්ඩ් ෆිෂ්
    මධුරංග
    පූසා
    පැණි දොඩම්

    බොහොම ස්තුතියි සහෝදරවරුනි. දැන් තමයි මාස දෙකකට පස්සෙ හරියට ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙන්නෙ. දැන්නං බ්ලොග්කරණයට ටෝටලි ඇඩික්ටඩ්ය :)

    ReplyDelete
  12. Demo position එකක් සෙට් උනාද? එල එල
    දැන් ඊලග අවුරුද්දේ PhD කරන්න යනවද?

    ReplyDelete
  13. රාජ් - සක්වල තක්සලාවෙම තමයි අයියේ. බොහොම ස්තුතියි

    අලියා - කතාව හරි බං. මම හිතන්නේ මම කෙමිස්ට්‍රි වලට එච්චර දක්ෂ නෑ වෙන්න ඇති. ඒ ලෙවල් වලටත් බී එකක් තිබ්බේ

    ලයනෝ - තෑන්ක්ස් මචං! උඹ කැම්පස් එක පැත්තෙ එද්දි කියපං

    විසිතුරු - බොහොම ස්තුතියි සහෝ

    මහ වෙදනා - බොහොම ස්තුතියි අයියේ උපදෙස් වලට. මම ඉගෙනගන්න එක දිගටම කරනවා. ඇත්තටම පහුගිය මාස එකහමාරම ගෙවුනෙ ඒකට අදාල විභාග දෙකක් කරන්න තමයි. දැන් ප්‍රතිඵල එනකං ඉන්නෙ.

    ReplyDelete
  14. ඇනෝ - බොහොම ස්තුතියි සහෝදරයා/දරිය. Demo සෙට් වුණා. ඒත් තවම පී.ඇච්.ඩීයට ඇප්ලයි කළේ නෑ

    ReplyDelete
  15. හි හී... නියම කෑම වට්ටෝරුව... :D :D

    ආයෙත් ආපු එක ලොකු දෙයක්. දිගටම ලියන්න....

    ReplyDelete
  16. මගේ අම්මියෝ සෑර්ගෙ කුකරි නම් මරු!!!! :D

    ReplyDelete
  17. kalekin! puusa koheeda ara mool lanthee gihin aawata passe dan thamai liyanne! :D :D aruu kabaraya daala neeruna athi! mona puusoda bolaw idena bath ekata bithtaree danne :D :D :D ubala fride rise nemei kaala thiyenne! :D :D

    aaye aapu eka gana sathutui! aluth JOB 1ta suba pathum!

    ReplyDelete
  18. මාධව - බොහොම ස්තුතියි මචං. මට ඒ පැත්තෙ එන්නත් බැරිවුණා කාලෙකින්

    මහි - බොහොම ස්තුතියි සහෝදරී

    ශේන්යා සහ නුවි - මට දැන් ඔය දෙන්නා එකතුවෙලා කඹයක් ගෙනත් දෙන්නකෝ එල්ලිලා මැරෙන්න. හපොයි :D

    ReplyDelete
  19. කාලෙකින් පූස් අයියාව දකින්න ලැබීම් ලොකු සතුටක්....:)
    අයියගේ ඉදිරි වැඩ කටයුතු ඔක්කොටම සුභ පතනවා............!!

    ප.ලි. - අයියා උගන්නන්නේ කන්ද උඩරට ට ලග තැනකද?

    ReplyDelete
  20. අපරාදෙ කියන්න බෑ නියමෙට ෆ්‍රයිඩ් රයිස් එක හදලා තියෙනවනෙ !

    ReplyDelete
  21. හික් හික් පුරුපුරු කාලෙකින් ඇවිත්

    අලුත් රස්සාවට සුබ පැතුම්,,

    ෆ්‍රයිඩ් රයිස්නම් එපා වගේ :D

    ReplyDelete
  22. අපොයි නියම බත් එක.වතුර දාන්න ඇති එහෙනම් වැඩියත් එක්ක.පව් මී කතුරා කන්න බෑ කියපු වෙලාවෙම කෑම එකක් ගේන්න යන්න දෙන්න තිබුනානෙ.

    ReplyDelete
  23. බතක් උයල පොල් ටිකක් ගා ගත්ත නම් ඔයිට වඩා හොඳයි..........ජොබ් එකට සු'පැතුම්..!!

    ReplyDelete
  24. අඩේ . . අලුත් ජොබට සුභ පැතුම් මචං . . . .
    මගෙ මලයත් වතාවක් හැදුව ඔය වගේ සුපිරි කෑමක් . . . කෑම ජාතියෙ නම මොකද්ද කියල ඌ දන්නෙත් නෑ . . . .මූ මට කියනව අයියෙ බේකිං පවුඩර් චුට්ටක් දැම්ම ඒක පොඩ්ඩක් අවුල් ගියා කියල . . බලද්දි මූ දාල තියෙන්නෙ රෙදි හෝදන කුඩු . . . .

    ReplyDelete
  25. හැබැයි ඉතිං පිට රටකට යන්න අදහසක් තියෙනව නං දැන්ම කුකරි ක්ලාස් එකකට ගියොත් හොඳයි...
    තවම ඇප්ලයි කලේ නැද්ද පූසෝ.... සමහර විට වැඩේ පරක්කු වුනොත් දෙල් වෙයි...ජනවාරි වලට ඉස්සර මුල කෑලි ටික වත් යවන්න..

    ඇල්කෙමියා

    ReplyDelete
  26. පුසා රිටර්න්ස් !!!

    සුභ පැතුම් පුරු පුරුවෝ

    ReplyDelete
  27. කාලෙකට පස්සෙ පූසො ටික බැහැල තියෙන්නෙ.
    මංගල රස්සාවට සුබ පැතුම්.
    කවුද යකෝ බත් උයන්න ඉස්සෙල්ල බිත්තර දාන්නෙ. කබරය දාල විතරක් බේරුනේ අසමෝදගම් දාපු හින්ද වෙන්න ඇති.

    ReplyDelete
  28. හම්මෝ.. පූසො ටිකට අයෙත් බ්ලොග් එක මතක් ව්එලා. මම කමෙන්ට්ස් නොදැම්මට හැම එකටම මේ ලගදි මම ඔක්කොම කතා කියෙව්වා. හිනා වෙලා පණ යනවා හෆ්ෆා.. හරිම ජොලි...


    හික්ස්ස්ස්ස්ස්.... හනේ දෙයියනේ!!! මෙහෙමත් කෑම හැදිල්ලක්..:D කබරයා දාලා බේරුනා මැදැයි

    ReplyDelete
  29. අලුත් ජොබ් එකට මුලු හදින්ම සුබපැතුම් !!

    එල කතාව මම නම් කවදාකවත් කුස්සියේ තේකක්වත් හදන්න උත්සහ කරලා නෑ ..කුංකිං නම් බින්දුවයි අප්පා

    ReplyDelete
  30. අලුත් ජොබට සුභ පතනවා ...බඩ ගියේ නෑද බන්ස් ලා මේක කාලා

    ReplyDelete
  31. මේ පැත්තේ කලින් ඇවිත් නෑ. අලුත් ජොබ් එකක් හම්බ උනු කතාවකුත් ඇහෙනවා. පොඩ්ඩිගෙනුත් සුබ පැතුම්.

    ෆ්‍රයිඩ් රයිස් රෙසිපි එක අමතක වෙන්ට කලින් ලියා ගත්තා...:D

    //A good chemist is always a good cook//
    මොන තරම් ඇත්ත කතාවක්ද? :D:D

    ReplyDelete
  32. අළුත් ජොබට සුබ පැතුම...........

    ඇති යන්තන් ලියනවා අපහු..
    ජයවේවා...........

    ReplyDelete
  33. අලුත් ජොබට මගෙනුත් සුබ පැතුම්.. රෙසපියයි හදන විදියයි නම් එලටම තියෙනවා. ලොකු දෙයක් කබරයගෙන් විතරක් බේරෙන්න පුළුවන් උන එක බඩේ අමාරුවක් එහෙම හැදුනනම් බලන්න තිබ්බා කතාව ලියවෙන ලස්සන..

    ReplyDelete
  34. වමනේ ගිහින් බේරුනා ඇති . . හි හි හී

    ReplyDelete
  35. අඩේ ඒක පට්ටම රෙසිපියක් නෙ... ඔයින් ගිය මදැයි... හපොයි..

    සුබ පතනව මලයෝ අලුත් රැකියාවට.... වෙද ගෙදර අයිය කිව්ව වගේ ඉගෙන ගැනිල්ල දිගටම කරපන්... ජය සෙට් එකටම

    ReplyDelete
  36. අම්මෝ කාලෙකින් පූස්... අලුත් රස්සාවට සුභ පැතුම් මලයා. මාත් ඔය රස්සාවම තමා මේ දවස් වල.

    ReplyDelete
  37. වෙනි
    හසී
    නිසූපා
    වින්චැට් කිරිල්ලී
    චම්මා
    ප්‍රසන්න

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් දැක්වීම ගැන

    ReplyDelete
  38. ඕනයා - හික් හික්!! මදෑ බං මෑන්ස් ඔතනින් බේරුන එක. තව පොඩ්ඩෙන් වන විනාසයක් වෙන්නෙ

    ඇල්කෙමියා - බොහොම ස්තුතියි අයියේ. දැන්නම් ඉස්සරට වඩා පොඩ්ඩක් විතර උයන්න පුලුවන්. මම ලබන සතියෙම ඇප්ලයි කරන වැඩේට බහිනවා. මේ දවස් ටිකෙත් ඒකට අදාල වැඩ කර කරයි හිටියේ.

    හිතුවක්කාරි
    සඳරු
    ඩිලාන්

    බොහොම ස්තුතියි යාලුවනේ. හික් හික්!! බඩ ගියේ නෑ, කබරයා දැම්මා විතරයි.

    ReplyDelete
  39. නිශ්
    ගයාන්
    දුකා
    පිස්සා

    ගොඩක් ස්තුතියි යාලුවනේ. ආපහු මේ වගේ වැඩක් කරන්න තිබ්බනං හොඳයි කියලා හිතෙනවා. හික්ස්

    පොඩ්ඩි - සාදරයෙන් පිළිගන්නවා පොඩ්ඩිව ගඩොල් පෝරණුවට. හැබැයි ඉතිං වලව්වල වගේ මෙහේ සැප පහසුකම් නෑ හොඳේ. පොඩ්ඩිත් කෙමිස්ට්‍රි වලට සම්බන්ධයක් තියෙනවා වගේ.

    ReplyDelete
  40. පොඩි මෑන් - හික් හික්!! පූස් ඔම්ලට් හදපු හැටිත් දවසක කියන්නංකෝ බං

    පිණිබිඳු - දැන්ගන්න ලැබීම සතුටුයි සහෝදරී. ඔයාටත් උණුසුම් සුභපැතුම්

    ReplyDelete
  41. අලුත් ජොබ් එකට සුභ පැතුම්....!

    මමත් රෙසපි එකනම් ලියාගත්තා...
    මගෙත් එක්ක හිතහොඳ නැති එව්වෝ කීප දෙනෙක්ව මතක්වෙලා :))

    ReplyDelete
  42. කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩ උනේ!සුභ පැතුම් මචො!

    ReplyDelete
  43. හත්වලාමයි සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. සෑහෙන්න වෙනස්කරලනේ පූස් ලොක්කා.

    ReplyDelete
  44. අපිත් ඔය වගේ කෑමක් හැදුවා.හැබැයි ඔච්චරම වැඩේ වල් උනේ නෑ.කෑ හැකි තත්වයේ තිබ්බා

    ReplyDelete
  45. මමනං කියන්නේ උත්සාහය වටිනවා කියලයි!! මාත් ඉව්ව දවසක් ෆ්‍රයිඩ් රයිස්,කිසි අවුලක්නං ගියේ නෑ.රස පොඩ්ඩක් එහෙ මෙහෙ ගියා,එච්චරයි!! :))) [ සෝස් තියෙන්නේ අපි වගේ කුක්ලාගේ රස එහෙ මෙහෙ කරන්න තමයි ;))) ]

    ReplyDelete
  46. වරෙල්ලකෝ උබලය කුකින් කියන්නේ මොනාද කියල කියල දෙන්න ,, මටත් පුළුවන් බොලව පපඩම් බදින්න , බිත්තර තම්බන්න

    ReplyDelete
  47. වෙල්කම් බැක් පූස්...

    අර ෆ්‍රයිඩ් රයිස් ටිකක් තිබ්බනම් සෑහෙන්න මීයො අල්ලගන්න තිබ්බා...

    ReplyDelete
  48. එළ එළ... ඔන්න මගෙනුත් සුභ පැතුම්... කොහෙද සෙට් උනේ??
    ඔය කෑම එක හදපු දවස් වල ගත්තු පොටෝ වගයකුත් තිබ්බා....

    ReplyDelete
  49. ලොකු පුතා
    සබිත්
    සාජන් මහත්තයා
    දිනුක
    ජංජාල
    ගින්නා
    තාරක

    බොහොමත්ම ස්තුතියි යාලුවනේ.

    මාලුකට්ටා - තෑන්ක්ස් මචං. කැම්පස් එකේම සෙට් වුණේ. ඒත් පර්මනන්ට් නැහැ. උඹ ගාව ෆොටෝ ටික තියෙනවනං මට එවපං

    ReplyDelete
  50. එල එල... කැම්පස් ලෙක්චරින් සිරා... කොහොමහරි පමනන්ට් වෙනකන් ඇදගන්නයි ඔනි. අපෙත් කොන්වොකේශන් එක ලබන පෙබරවාරි වල වගේ තියෙයි.
    මම නත්තලට ගෙදර ගියම අරන් ඇවිත් ස්කෑන් කරල එවන්නම්...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???