අඹ යාලුවෝ

Saturday, September 17, 2011

ඔබත් නවක බ්ලොග්කරුවෙක්ද?


මේ දවස්වල බ්ලොග් අවකාශෙ උණුසුම්ම මාතෘකා තමයි නවක බ්ලොග්කරුවෝ, හිට්ස්, කොමෙන්ට්ස් සහ බ්ලොග්කරුවන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා. ඉතිං මටත් හිතුනා මේ ගැන ලිපියක් දාන්න ඕනෙ කියලා. ඇත්තටම මේ ගැන ගොඩක් දවස් ඉඳලා ලියන්න හිතාගෙන හිටියත්, පහුගිය දවස්වල තිබුන විභාග වැඩත් එක්ක මේ වැඩේ දවසින් දවස කල් ගියා. ඉතිං මේ සූදානම කලින් කියපු මාතෘකා ගැන මගේ දැනුම සහ අත්දැකීම් ඔයාලාත් එක්ක බෙදාගන්න.

එතකොට දැන් ඔයා මේ වගේ බරපතල මාතෘකාවක් ගැන කතා කරන්න තරම් “හෙන ඩයල්“ එකක්ද?

අපොයි නැහැ. මම බ්ලොග් අවකාශෙ ඉන්න දැවැන්ත චරිතයක් නෙවෙයි. ඒත් ඉතිං අවුරුදු එකහමාරක් තිස්සේ ලියලා ලියලා ලබාගත්ත අත්දැකීම් ටිකක් මට තියෙනවා. ඒ අත්දැකීම් අපේ නවක බ්ලොග්කරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් නිසා තමයි මේ ලිපිය ලියන්න ගත්තෙ.

අනික මේ තියෙන්නෙ බ්ලොග් ගඩොල්ගෙ පෞද්ගලික අදහස් විතරයි. මේ අදහස් පිළිගන්න එක නොපිළිගන්න එක කියවන ඔයාලාගේ වැඩක්.

හරි. එතකොට කවදාවත් නැතුව නවක බ්ලොග්කරුවො ගැන කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ ඇයි?

පහුගිය කාලෙ අලුත් බ්ලොග් ගොඩක් කෙටි කාලයක් ඇතුලත බිහිවුණා. ඒක තමයි හේතුව.

නවක ප්‍රවීණ විදිහට බ්ලොග්කරුවන් වෙන් කරන්නෙ කොහොමද? 

එහෙම සම්මත නිර්ණායකයක් නෑ. මෑත වකවාණුවෙ බ්ලොග්කරණයට ආපු බ්ලොග්කරුවන්ව තමයි මම නවක කියලා හැඳින්වුවේ.

බ්ලොග්කරුවෙක් බ්ලොග් එකක් පටන් ගන්නෙ ඇයි?

මම දකින විදිහට ඕනෙම බ්ලොග්කරුවෙක් බ්ලොග් එකක් පටන් ගන්නෙ ප්‍රධාන වශයෙන් පහත හේතු දෙකෙන් එකක් හින්දා

1. තමන්ගෙ හිතේ තියෙන අදහස් ලියලා හිත සැහැල්ලු කරගන්න.
2. තමන්ගෙ නිර්මාණශීලී හැකියාව අනිත් අය වෙත ගෙනියන්න මාධ්‍යයක් විදිහට.

ඔය මුලින් කියපු පිරිස කොහොමත් ජනප්‍රියත්වය ගැන එච්චරම තැකීමක් නෑ නොවැ! ඒත් දෙවෙනියට කියපු කට්ටියනං කැමතියි තමන්ගෙ බ්ලොග් එක අනිත් අය අතරෙ ජනප්‍රිය වෙනවාට. ඉතිං මෙතන ඉඳන් මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්නෙ මම දෙවෙනියට කියපු බ්ලොග්කරුවන්ට.

එතකොට බ්ලොග් එකක් පටන් ගන්න කලින් මොකද්ද කරන්න ඕනෙ?

මුලින්ම තමන් පටන් ගන්න යන්නේ මොන වගේ බ්ලොග් එකක්ද කියලා පැහැදිලි අදහසක් හිතේ තියාගන්න. සමහරවිට ඒ වින්දනාත්මක බ්ලොග් එකක් වෙන්න පුලුවන්. නැත්තං දේශපාලනික, අධ්‍යාපනික හෝ සමාජීය බ්ලොග් එකක් වෙන්න පුලුවන්. ඒත් එකම බ්ලොග් එකේ වින්දනාත්මක සහ දේශපාලනික ලිපි සාර්ථකව ලියවෙන අවස්ථාත් තියෙනවා.

හැබැයි වින්දනාත්මක බ්ලොග් එකක් පටන් ගත්තොත් නේද ගොඩක් කට්ටිය බලන්න එන්නෙ?

මමනං මේ කතාවට බොහෝදුරට එකඟ නෑ. වින්දනාත්මක බ්ලොග් එකකට අධ්‍යාපනික බ්ලොග් එකකට වඩා පාඨකයන් ඉන්න බව ඇත්ත. මොකද ගොඩක් කට්ටිය සයිබර් අවකාශෙට එන්නෙ අධ්‍යාපනයට වඩා වින්දනය ටාගට් කරගෙන. ඒත් සමාජීය හෝ දේශපාලනික බ්ලොග් එකක් හරියට කරනවානං වින්දනාත්මක බ්ලොග් එකකටත් වඩා පාඨකයො අතරට යන්න පුලුවන්. 

උදාහරණයක් විදිහට දැනට බිහිවෙච්ච හොඳම බ්ලොග් එක කියලා ගොඩදෙනෙක් සලකන ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් එක වින්දනාත්මක බ්ලොග් එකක් නෙවෙයි. (ලිපි කීපයක් ඇරුනාම)

බ්ලොග් එක පටන් ගත්තාට පස්සෙ මොකද කරන්න ඕනෙ?

මුලින්ම බ්ලොග් එකේ පෙනුම ගැන බලන්න. පහසුවෙන් ලෝඩ් වෙන ටෙම්ප්ලේට් එකක් දාන්න. අනික වැඩිපුර ගැජට් දාන එකත් පාඨකයන්ට ලොකු කරදරයක්. ඒ නිසා පුලුවන් තරම් අඩුවෙන්, අත්‍යාවශ්‍ය ගැජට් විතරක් දාන්න. බ්ලොග් එක තොරණක් වගේ හදාගන්න එක ගොඩක් නවක බ්ලොගේකරුවන්ගේ පුරුද්දක්. ඒත් ඒකෙන් බ්ලොග් එක කැත වෙනවා මිසක් ලස්සන වෙන්නේ නෑ. (මමත් ඉස්සර එහෙමයි)

එතකොට මොනවද ඔය කියන අවශ්‍ය ගැජට්?

1. පහුගිය ලිපි පෙන්වන ගැජට් එක

මේක නිසා අලුතින් බ්ලොග් එකට එන ඕන කෙනෙක්ට ඔයාලාගේ පරණ ලිපි කියවන්න යන්න පුලුවන්.

2. ඔයාලාගේ ප්‍රොෆයිල් එක.

මේකත් වැදගත්. බ්ලොග් එක ලියන්නෙ කවුද කියලා දැනගන්න පාඨකයො කැමතිනෙ. ඇත්ත නමින් නොවුණත් වෙනත් නමකින් හරි තමන්ගෙ ප්‍රොෆයිල් එක පාඨකයන්ට පේන්න තියෙන එක හොඳයි. මම මෙහෙම කියන්නෙ බ්ලොග් එක ලියන මනුස්පයා කවුද කියලා පෙන්නන්නෙත් නැති බ්ලොග් දැකලා තියෙන හින්දා. 

3. ෆලෝවර්ස්

ගූගල් රීඩර් එක පාවිච්චි කරන පාඨකයන්ට මේ ගැජට් එක ලොකු පහසුවක් වේවි.

4. හිට් කවුන්ටර් එකක්

මේකත් දාන එක හොඳයි. තමන්ගෙ බ්ලොග් එක කොච්චර පාඨකයො අතරට ගිහින්ද නැද්ද කියලා හැමෝටම දැනගන්න පුලුවන් මෙවලමක් නෙව.

5. බ්ලොග් ලිස්ට් එකක්

තමන්ගෙ බ්ලොග් අඩවිය හරහා අනිත් සහෘද බ්ලොග්කරුවන්ට යම්කිසි ප්‍රචාරයක් ලබාදෙන එක හොඳ වැඩක්. එතකොට ඒ අයත් ඔයාලාගෙ බ්ලොග් එක ප්‍රචාරය කරන්න උදව් වෙයි.

දැන් ඔයාලා බ්ලොග් එක හදලා ඉවරයි. ඊටපස්සෙ තියෙන්නෙ බ්ලොගේ සින්ඩිකේටර් වලට ඇතුල් කරන එක. කවුරු මොනවා කිව්වත් තවමත් ඕනෙම බ්ලොග් එකකට වැඩිපුරම පාඨක පිරිසක් එන්නේ සින්ඩිකේටර් හරහා.

එතකොට වැඩිපුර පාඨක පිරිසක් අතරට යන්න ලිපි ලියන්න ඕනෙ කොහොමද?

ඔයාලා ලියන ලිපිය ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න. ලිපියක් ලිව්වාට පස්සෙ පළ කරන්න කලින් තව පාරක් ඒක කියවලා බලන්න. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස අප්සෙට් තියේනං ඒවා හදන්න.

ඒ වගේම ලියන දේට අවංක වෙන්න. තමන්ට මෙලෝ රහක් නැති ලිපියක් අනිත් මිනිස්සුන්ටත් එහෙමම තමයි. ඒ හින්දා මුලින්ම තමන්ට රසවත් වෙන විදිහට ලිපිය ලියන්න. කැමති කට්ටිය කියවන්නෙ නැතෑ.

මම ඔය විදිහට තමයි කරන්නේ. ඒත් මගෙ ලිපි වලට කොමෙන්ට් නැහැනේ.

අලුත් බ්ලොග්කරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. කොමෙන්ට් කියන දේ අපිට බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. බ්ලොග් එකක මුල් කාලෙ කොහොමත් කොමෙන්ට් එන්නෙ අඩුවෙන්. ඒ නිසා කොමෙන්ට් ගැන වද නොවී තමන්ගෙ ගමන යන්න. කාලයත් එක්ක අනිවාර්යයෙන්ම තමන්ගෙ බ්ලොග් එකට ලැබෙන කොමෙන්ට් ගාන වැඩි වෙයි. ඒ එක්කම වෙන බ්ලොග් වලට ගිහින් ඒ අයගේ ලිපි වලට කොමෙන්ට් කරන එකත් තමන්ගෙ කොමෙන්ට් වැඩි වෙන්න හේතුවක් වෙයි.

කවදාවත් විශේෂම හේතුවක් නෙවෙයිනං කාටවත් බල කරන්න එපා තමන්ගෙ බ්ලොග් එකට කොමෙන්ට් දාන්න කියලා.

එතකොට හිට්ස්, ෆලෝවර්ස්ලා?

ඒ ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි. හැබැයි මම කලින් කිව්වා වගේ හොර බොරු කරන්නෙ නැතුව බ්ලොග් ලියන්න ඕනෙ.

එතකොට ගඩොල් කියන්නෙ හිට්ස් කොමෙන්ට්ස් බලාගෙන බ්ලොග් ලියන්න එපා කියලාද?

හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්...

මේ දේවල් බ්ලොග්කරුවෙක්ට ඉතාම වටිනවා. මම වුණත් බ්ලොග් එකට ලැබෙන හිට්ස්, කොමෙන්ට්ස් ගැන ගොඩක් සැලකිලිමත්. ඒත් මේවා අඩුවුණයි කියලා මම බ්ලොග් ලියන එක නතර කරන්නෙ නෑ.

හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා බලාපොරොත්තු නොවී ලියන්න කියන්නෙ හරියට පඩි නැතුව රස්සාවක් කරන්න කියනවා වගේ වැඩක්. පෘතග්ජන මිනිස්සු හැටියට අපි කවුරුත් මේ දේවල් වලට කැමතියි. තමන් පාඨකයන්ට රස විඳින්න යමක් ලියනතාක් හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා බලාපොරොත්තු වීම වැරැද්දක් විදිහට මම දකින්නෙ නෑ. මොකද බ්ලොග්කරුවෙක් බ්ලොග් එකක් ලියන්නෙ තමන්ගෙ ශ්‍රමය, කාලය, මුදල් ඔක්කොම වැය කරලා. ඉතිං එහෙම එකේ මේ දේවල් දැකලා අහිංසක සතුටක් ලැබුවාම තියෙන වැරැද්ද මොකද්ද?

හැබැයි හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා බලාපොරොත්තුවෙන් විතරක්ම බ්ලොග් ලියන එකනං අන්තිම නරක වැඩක්.

ඒ මොකද්ද ඒ හරුපේ?

ඒ කියන්නෙ පාඨකයන්ව රවට්ටලා හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි කරගන්න එකට. මෙතනදි බ්ලොග්කරුවා උත්සාහ කරන්නෙ වැදගත් කිසිම දෙයක් පාඨකයාට නොදී, තමන්ගෙ බ්ලොග් එකේ ජනප්‍රියත්වය වැඩි කරගන්න. ඒත් මේ දේවල් තාවකාලිකයි.

උදාහරණ කිව්වොත්?

සමහර බ්ලොග් ලිපි වල මාතෘකාව ඉතාම ආකර්ෂණීයයි. ඒත් කියවන්න ගියාම ලියලා තියෙන්නෙ වෙන මොකක්හරි දෙයක් ගැන. සමහරුන්ගෙ ලිපි වල තියෙන මාතෘකාවමයි අන්තර්ගතයටත් තියෙන්නෙ. තව සමහර බ්ලොග්කරුවො අනිත් අයගෙ ලිපි ගෙඩි පිටින් උස්සලා තමන්ගෙ බ්ලොග් එකේ දාගන්නවා. තවත් සමහරු කරන්නෙ අනිත් බ්ලොග්වල කුණුහරුප කොමෙන්ට් දදා යන එක. ඒත් ඒ අයගෙ බ්ලොග් වලට ගිහින් බැලුවාම තියෙන්නෙ බොහොම හර බර ලිපි. තව සමහරු විරුද්ධ ලිංගිකයන්ව කඩේ යවනවා.

මේ වගේ ලාබ ජනප්‍රියත්වය බලාගෙනම කරන පහත් වැඩ තමයි නවක බ්ලොග්කරුවො වශයෙන් ඔයාලා නොකර ඉන්න ඕනේ. මොකද තමන් වංචාකාරයෙක් කියලා පාඨකයන්ට තේරුනාට පස්සේ ආපහු කවදාවත් ඒ අය ඔයාලාගේ බ්ලොග් එක පැත්තෙ එන්නෙ නෑ.

එතකොට හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා ගානෙන් කියන්න පුලුවන්ද මගෙ දක්ෂතාවය ගැන?

කොහෙත්ම බෑ. සමහර දක්ෂ බ්ලොග්කරුවන් ඉන්නවා අවාසනාවට මේ දේවල් ලැබුනෙ නැති.

හිට්ස්, කොමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා ගානෙන් කියන්න පුලුවන්ද මගෙ ජනප්‍රියත්වය ගැන?

යම් දුරකට. එතනදි හිට්ස් කියන එක නැතුව හිට්ස් සාමාන්‍යය, කොමෙන්ට් කියන එක නැතුව එක ලිපියකට කොමෙන්ට් කරපු බාහිර පුද්ගලයන් ගනන වගේ මිනුම් දඬු යොදා ගත්තොත් වැඩි නිවැරදිතාවයකින් යුතු අදහසකට එන්න පුලුවන්. ඒත් ඒකත් හරියටම හරි නෑ. ඉතිං මගෙ මතය මේ දේවල් ගැන වැඩිය වද වෙන්නෙ නැතිව, ඒ කාලයත් බ්ලොග් ලියන්න වැය කරනවානං වටිනවයි කියන එක.

එතකොට දැන් ඉන්න නවක බ්ලොග්කරුවන්ට ජනප්‍රිය වෙන්න අමාරුද?

අපි බ්ලොග් ලියන්න ආපු කාලෙට වඩා දැන් ගොඩක් බ්ලොග් තියෙනවා. ඒක හින්දා දැන් ජනප්‍රිය වෙන්න, ඉස්සරට සාපේක්ෂව ටිකක් අමාරු වෙන්න පුලුවන්. කතාව යම් දුරකට ඇත්ත.

නවක බ්ලොග්කරුවන්ට ජනප්‍රිය වෙන්න ප්‍රවීන බ්ලොග්කරුවන්ගෙ සහයෝගය අත්‍යාවශ්‍යද?

නැහැ. තමන් හොඳ දෙයක් ලියනවානං පාඨකයො අනිවාර්යයෙන්ම තමන්ගෙ බ්ලොග් එකට ඇදිලා එයි. 

ප්‍රවීන බ්ලොග්කරුවෙක් ඇවිත් මගෙ බ්ලොග් එකේ කොමෙන්ට් කරන එක කොච්චර දෙයක්ද නේද?

වෙන්න පුලුවන්. ඒත් තමන්ගෙ බ්ලොග් එකට එන හැම පාඨකයාටම එක විදිහට සලකන්න උත්සාහ ගන්න.

මගෙ බ්ලොග් එකේ මම ලියන්නෙ මට ඕනෙ දේවල්. ඒ ගැන උපදෙස් දෙන්න කාටවත් අයිතියක් නෑ

අනේ සමාවෙන්න. තමන්ගෙ බ්ලොග් එක වැඩි පිරිසක් අතරට යනවා දකින්න කැමති කට්ටිය වෙනුවෙන් විතරයි මේ උපදෙස් ටික ලබාදුන්නේ. එහෙම අදහසක් නැත්තං ඔය කතාව හරියටම හරි.

හරි, දැන් ඔය ඔක්කොම කළයි කියමුකෝ! මගෙ බ්ලොග් එක පාඨකයො අතරට යයි කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද?

ඒක රඳා පවතින්නෙ තමන් ලියන දේ ටාර්ගට් කරන පිරිස අනුව. ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නෙ බ්ලොග් අවකාශය කියන්නෙ බ්ලොග්කරුවන්ට කියලා. ඒත් ඇත්තටම බ්ලොග්අවකාශය කියලා කියන්නෙ බ්ලොග්කරුවන් සහ බ්ලොග් පාඨකයන්ගේ එකතුවට. විශේෂයෙන්ම බ්ලොග් පාඨකයන්ගෙන් අති බහුතරය ඉන්නෙත් නිහඬ පාඨකයො විදිහට.

මම හිතන්නේ කිසිම කෙනෙක් මේ ගණන හරියටම දන්නෙ නැහැ. බ්ලොග්කරුවන් සහ නිතර කොමෙන්ට් කරන පාඨකයන් මම හිතන්නෙ 500ක් විතර තමයි ඉන්නේ. ඒත් මගෙ අත්දැකීම් අනුව බ්ලොග් කියවීම විතරක් කරන පිරිස මේ වගේ දහ ගුණයක්වත් අඩුම ගානෙ ඉන්නවා. ඉතිං තමන්ගෙ ලිපිවලින් ආමන්ත්‍රණය වෙන පිරිස අනුව තමන්ගෙ බ්ලොග් එක පාඨකයා අතරට යයි.

ඉතිං බ්ලොග්කරුවන්ට වගේම බ්ලොග් පාඨකයන්ටත් රස විඳින්න පුලුවන් විදිහට ලියන්න පුලුවන්නම් තමයි වැඩිය හොඳ.

මමත් කැමතියි බ්ලොග් එකක් පටන් ගන්න. ඒත් මට එච්චර හොඳ ලේඛන හැකියාවක් නෑ නොවැ!

ලේඛන හැකියාවයි, බ්ලොග්කරණයයි අතර ඍජු සම්බන්ධයක් නෑ. ලේඛන හැකියාව නැතුව ජනප්‍රිය වෙච්ච බ්ලොග්කරුවො වගේම ලේඛන හැකියාව ඇතුව ජනප්‍රිය නොවුන බ්ලොග්කරුවොත් ඕනෙතරම් ඉන්නවා. මෙතනට ආවට පස්සෙ තමයි ඔයාලාගේ ගමන තීරණය වෙන්නේ. ඒ හින්දා බ්ලොග් එකක් පටන් අරගෙන බලන්න. සමහරවිට ඔයාලා හීනෙන්වත් නොහිතුව මට්ටමේ ජනප්‍රිය බ්ලොග්කරුවෙක් වෙන්න ඔයාලාට පුලුවන් වෙයි.

මම තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය වගේ දේවල් ගැන දන්නෙ නැහැ. මේක මගෙ බ්ලොග්කරණයට ප්‍රශ්නයක් වෙයිද?

අපොයි නැහැ. එහෙම වුණානං මට කවදාවත් බ්ලොග්කරුවෙක් වෙන්න ලැබෙන්නෙ නැහැ.

එතකොට කොච්චර වේගෙන් බ්ලොග් එකේ ලිපි පළකරන්න ඕනෙද?
තනිකරම ලිපිවල ගුණාත්මකභාවය නිසා සාර්ථක වුණ  බ්ලොග්කරුවන් හිටියත්, මගේ පුද්ගලික මතයනං බ්ලොග් එකේ ලිපි පළකරන වේගයත් බ්ලොග් එකේ සාර්ථකත්වයට සෑහෙන දුරකට හේතු වෙනවයි කියලා.

ඇයි බ්ලොග් ගඩොල් මෙච්චර මහන්සි වෙලා නවක බ්ලොග්කරුවො වෙනුවෙන් ලිපියක් ලිව්වෙ? කතන්දරයක් දෙකක් ලියාගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න තිබුනානෙ?

ඇත්තටම මට ගොඩක් සතුටුයි නවක බ්ලොග්කරුවො ගොඩක් දෙනෙක් බ්ලොග්කරණයට ඇවිත් ඉන්න එක ගැන. පහුගිය කාලෙ සිංහල බ්ලොග්අවකාශය වල පල්ලට යමින් තිබුනෙ. ඒත් දැන් නවක ඔයාලාට පින් සිද්ද වෙන්න ආපහු බ්ලොග්අවකාශෙ හොඳ දිශාවකට හැරෙමින් තියෙනවා. ඉතිං බ්ලොග්කරණය හින්දා ජීවිතයට සෑහෙන යමක් එකතු කරගත්තු මනුස්සයෙක් විදිහට මට ඒ ගැන ගොඩක් සතුටුයි.

අනික බ්ලොග් ගඩොල්  කියවලා බ්ලොග්කරණයට ආපු නවක බ්ලොග්කරුවො සෙට් එකකුත් ඉන්න නිසා මේ වැඩෙන් අඩුගානෙ ඒ අයට හරි යහපතක් වෙයි කියලා හිතුනා.

මූ හරියට ටෝක්ස් දෙන්නෙ හෙන ජනප්‍රිය බ්ලොග්කරුවෙක් වගේනේ

අපොයි නෑ. මම මේ බ්ලොග්අවකාශෙ ඉන්න ජනප්‍රිය තරු වලින් එකක් නෙවෙයි. මම සාමාන්‍ය බ්ලොග්කරුවෙක් විතරයි.

ප්‍රවීණ බ්ලොග්කරුවන්ට යමක් කියන්න තියෙනවාද?
මගෙ අදහස් වල වැරදි තියේනං නාමිකව හරි ඇනෝ ඇවිත් හරි ඒවා පෙන්නලා දෙන්න ඔයාලාට පුලුවන්. 

මගේ කතාව මින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

ප.ලි - බ්ලොග් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්න කට්ටියට මේ ලින්ක් එකෙන් ගිහින් වැදගත් කරුණු ගොඩක් දැනගන්න පුලුවන් වෙයි.

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

ලින්ක් එක ගැන මට දන්වපු සහ ඒක මට ඊමේල් කරන්න තරම් කාරුණික වෙච්ච හා පැටික්කිට බොහොම ස්තුතියි.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක බලන්න ක්‍රමයක් හොයලා දුන්න අපේ මකර අධිරාජයාටත් ගොඩක් ස්තුතියි.

89 comments:

  1. කාලයක් තිස්සේ බ්ලොග් කියවනවා වුනාට මං බ්ලොග් අවකාශෙට ගොඩාක්ම ආධුනික කෙනෙක්. අපි වගේ අලුතින් බ්ලොග් ලියන අයට මේක ගොඩක් වැදගත් ලිපියක් . වැදගත් කරුණු ගොඩක් පෙලගස්සලා තියෙනවා. මේ වගේ පෝස්ට් එකකින් අපිව දැනුවත් කලාට ගොඩක් ස්තූතියි අයියා.

    (මං නම් අයිති වෙන්නේ මුලින් කියපු පලවෙනි පිරිසට.)

    ජය වේවා........!!!!

    ReplyDelete
  2. මම ගොඩක් කල් බ්ලොග් කියවල කියවල තමා අන්තිමට මමත් එකක් පටන් ගන්න තීරණය කලේ. මගේ බ්ලොග් එකේ පලවෙනි කොමෙන්ට් එක ආවෙ පූසන්ගෙන් :)

    ReplyDelete
  3. වැදගත් කියමන් ටිකක් ... !!! ස්තූතියි බෙදා ගත්තට...

    මම හිතන්නේ මම තමයි අඩුම හිට්ස් සහ කොමෙන්ටු සහිතව ඉන්න පැරණිම බ්ලොග් කරුවා... :(
    මේකට බලපාපු හේතුවක් මම එකතු කරන්න කැමතියි ඔබේ ලිපියට...

    කවදාවත් බ්ලොග් එකේ ලිපිනය හෝ සේවා සපයන්නා.. (බ්ලොගර් , වර්ඩ් ප්‍රෙස් ආදී) මාරු කරන්න යන්න එපා....
    පරණ සටහන් මකල දාන්නත් එපා...

    අනික දීර්ඝ කාලීනව බ්ලොග් එක අත ඇරල දාල යන්නත් එපා....

    මට වැරදුනු තැන් ටික තමයි ඒ...

    ReplyDelete
  4. ඉතාමත් හොඳ ලිපියක්..නවක බ්ලොග් කරුවණට හරි ප්‍රයෝජනවත් වේවි. පරණ අයට තමන්ගේ අඩුපාඩු හදාගන්නත් උදව් වේවි...

    ReplyDelete
  5. එළ එළ.. දැන් කවුද මේ හරබර පුරස්න අසමින් මේ වැදගත් සාකච්ඡාව මෙහෙයුවේ.. :))

    ReplyDelete
  6. නියමයිනේ....නවක ,ප්‍රවීන, බාල, මහලු, නෝනට , මහත්තයට, නOගිට, මල්ලිට, ඔක්කොටම හරියන්න ලියලා තියෙනවා නෙව...

    ReplyDelete
  7. ඇත්තටම වටින ලිපියක්..නවක ආධුනික බ්ලොග් කරුවෙක් විදියට මගෙ බ්ලොග් එකේ තියෙන අඩු පාඩු ගොඩාක් තෙරුම් ගත්තා..ඒ ටික හදා ගන්න ඕනි..

    ReplyDelete
  8. හරි වටිනව. බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම් බෙදා ගත්තාට !!

    ReplyDelete
  9. දාන්න පහක් ....එකඟයි .(හැබැයි පුතෝ මගේත් ප්‍රොෆයිලයක් නැ , හිට් කවුන්ටරයක්ත් නැ , කාටත් හොරෙන් හිට්ස් ගාන බලන් ඉන්නයි වැඩිය කැමති , ඒ ඇයි කියල පස්සෙ වෙලාවක කියන්නම් :D )

    ReplyDelete
  10. බ්ලොග් සටහන් ලියන්න පටන් ගත්ත කාලය වගේම බ්ලොග් කියවන්න පටන් ගත්ත කාලය අනුව මම ඇවිල්ලා නවක බ්ලොග්කරුවෙක් තමයි. බ්ලොග් ගඩොල් කියන්නෙ මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක්. ඇත්තටම කිවුවොත් මටත් ලියන්න ආසාව ඇති වුණේ මේ බ්ලොග් අඩවි හරහා තමයි.

    සිංහල බ්ලොග් ලියන කියවන සමාජයට ඔබේ මේ අදහස් ගොඩක් වටිනවා. ජය වේවා!

    ReplyDelete
  11. හොඳ උපදෙස් ටිකක් . අත්දැකීමෙන් කියන්නේ ඔය දේවල් ඇත්ත

    ReplyDelete
  12. ප්‍රවීණයෙක් විදිහට මේ ලිපියට එක හෙලා විරුද්ධයි ...

    මේවා බලලා අලුතෙන් එන හිච්චි පැච්චෝ ..අපිවත් පහු කරන් යයි ...
    මේ ලිපිය අයින් කරන්න වාහාම ...

    මේක අයින් කරන්න
    මේක තිබ්බොත් අපිට ගොඩ ඒමක් නැහැ

    හික්හික් හික්

    ReplyDelete
  13. අඩේ මාත් ඔය ලෙඛන කලාව දන්න එකෙක් නෙමේ. ඒ කියන්නේ දක්ෂ ලෙඛකයෙක් නෙමේ. ලියන්න ආසාවක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඔහේ ලියනවා.

    ආහ් වර්ඩ් වෙරිෆිකේශන් ගැනත් කිව්වනම් හරි. අම්මෝ කමෙන්ට් කරන්න ගියාම අපි මැරෙනවා. මොකද ගැජට් ගොඩක් තියෙන බ්ලොග් එකක් දෙපාරක්ම ලෝඩ් වෙන්න එපැයි.

    ReplyDelete
  14. ඇත්තටම හොඳ ලිපියක්

    ReplyDelete
  15. වටින උපදෙස් ටිකක් ගොඩොල්

    ReplyDelete
  16. ආපහු ආචේ මෙතන සඳහන් නොවෙන මං හිතන විදියට වැදගත් කරුණක් කියන්නයි.

    අළුතින් එන බ්ලොග්කරුවන්ට පුළුවන් අළුත් බ්ලොග් කියවන්නන් පිරිසකුත් අරං එන්න.

    මේ සඳහා කළ යුත්තේ තමන් දන්න අඳුණන හැමෝටම තමන් ගේ බ්ලොග් එක ගැනත්, බ්ලොග් සින්ඩිකේට්ර ගැනත්, කියන එකයි.

    විසිටින් කාඩ් පවා පාවිච්චි කරන්න පුළුවනි.

    තමන්ගේ ඊමේල් අගින් බ්ලොග් ලිපිනය දාන්න.

    බ්ලොග් එකේ බ්ලොග් රෝල එක්කම සින්ඩි වලටත් ලින්ක්ස් දාන්න.

    ෆේස් බුකියේ, බස් එකේ, ප්ල්ස් එකේ ප්‍රචාරය කරන්න අමතක කරන්නත් එපා.

    මං නං සති දෙකතුනකට පාරක් පොදු උත්සව වලට යනකොට මගේ බ්ලොග් ටි ෂර්ට් එකක් ඇඳන් යනවාමයි.

    http://kathandara.blogspot.com/2010/04/sbu-fashion-parade-kk-bm6.html

    ReplyDelete
  17. හැමෝටම - බොහොම ස්තුතියි හැම දෙනාටම. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම හිතුවෙ නෑ මේ ලිපිය ඔයාලා මේ තරම් පිළිගනියි කියලා. මටත් කියන්න බැරිවුණ තව කරුණක් මතක් වුණා. හැබැයි මේක වැදි බණක්.

    කොමෙන්ට් වලට උත්තර දෙනකොට හැමෝටම උත්තර දෙන්න. අවාසනාවට මට මේ දවස්වල ඔය වැඩේට වෙලාවක් නෑ. ඒත් ඉදිරියට කාර්යබහුල බව අඩු වුණාම මමත් ඒක කරන්න පටන් ගන්න ඕනෙ. නැවතත් ස්තුතියි...

    ReplyDelete
  18. අදහස් වලට ගරු කරනවා...

    ReplyDelete
  19. වැප් - සභාපතිතුමා කියනවනං ඉතිං නොකරත් බෑ. අනේ මන්දා :)

    බුරා - ඒ ඇනෝ නිවේදකයෙක් මචෝ :)

    ReplyDelete
  20. අයියේ පොඩි ප්‍රශ්ණයක් තිනවා

    ඔය හැම බ්ලොග් එකක්ම එක ක්‍රමයකට තිබිය යුතුමද? ලියන්නාට කැමති පරිදි එය සංශොදනය කිරිම , නිදහස් දෙයක් ලිවිම වැනි කරුණු...

    ReplyDelete
  21. රහස් - හපොයි නෑ සහෝ. වැදගත්ම දෙයක් තමයි තමන්ගේ බ්ලොග් එකට අනන්‍යතාවයක් ගොඩ නගාගන්න එක. ටික දවසක් බ්ලොග් එක කරද්දි අවබෝධ වෙයි තමන් අනුගමනය කරන ක්‍රමය සාර්ථකද නැද්ද කියන එක ගැන. එහෙම සාර්ථකනං අනුගමනය කරන ක්‍රමය වෙනස් කරන්න ඕනෙ වෙන්නෙ නෑ.

    සාර්ථක නැත්තං ක්‍රමයට පොඩි පොඩි මොඩිෆිකේෂන් කරලා සාර්ථකත්වයට ළඟා වෙන්න පුලුවනි. ස්තුතියි මට කියන්න බැරිවුණ දෙයක් මතක් කළාට.

    ReplyDelete
  22. නියමයි මල්ලි ඔයා දක්‍ෂයෙක් වගේම හොද කෙනක් කියන එක මේ ලිපියෙන් වැටහෙනවා.ඔයාගේ බ්ලොග් එකේ තියෙන ඕනෑම කාලයකට වටිනා සුදුසු ලිපිය තමයි මේක.මේ ලිපිය කවදාවත් මකන්න එපා.අනිත් අයත් බ්ලොග් ගඩොල්ගේ විදියට හිතනවානම් කටයුතු කරනවා නම් හරිම වටිනවා.පාසැල් සිසුවාගේ සිට මහල්ලා දක්වා සියළු බ්ලොග් කරුවන් කියවිය යුතු ලිපියක්.
    වෙන කිසිම තැනක ලියපු නැති දෙයක් මෙතන ලියනවා.ඇත්තටම ඒ දැනුවත්වීම ඇති කලේ ඔබයි.ජ්‍යොතිෂය ගැන ලිවීමේදී මා මුල් අවදියේදී ජ්‍යොතිෂය පරම සත්‍යයක් ලෙස හුවා දැක්වීමක් හා ජ්‍යොතිෂය අන් අයට බලෙන් ඇඟේ ගැහීමට උත්සාහ කිරීමක් සිදුකර ඇති බව වැටහී ගියා.එවැන්නකදී ආධුනිකයන්ට ජ්‍යොතිෂය තවත් එපා වීමක් වක්‍රව සිදු වන බව මා හට වැටහී ගියා.මගේ බ්ලොගයේ වටිනාකම අඩුවීමක් ඉන් සිදුවී ඇති බව වැටහුනා. වයසින් බාලයකු වුවත් මගේ සිත නොරිදා වැඩිහිටියකු මෙන් මා දැනුවත් කල ඔබට ස්තූතියි.මෙය ලිව්වේ ඔබට ගරු කිරීමක් වශයෙනි.එසේ නොමැතිව තමන්ගේ බල පුළුවන්කාරකම් උඩඟකම් පෙන්වා "ජ්‍යොතිෂය මිත්‍යාවක්.එවැනි දේ ගැන ලියන එක නවත්තපන්" කියලා මගේ බ්ලොගයට කඩා පැන තර්ජනාත්මකව කමෙන්ට් කල උඩගු මිනිසුන්ගේ අදහස් වලට නතුවූ බව පැවසීමට නොවේ.

    ReplyDelete
  23. එල එල.... උබ නියම වැඩක් කරල තියෙන්නේ.. තම්බ්ස් අප් කිව්වා.... අපිට ඔහොම උපදෙස් දෙන්න කෙනෙක් හිටියෙ නෑ නොවැ.. මේ අලුත් එවුන්ට කියන්නේ... හැදියල්ලා බොලව්..


    ජය..

    ReplyDelete
  24. @ කතන්දර
    මම හරිම කැමතියි ඔබේ ඔය අවංක කතාවට . මමත් යම් රස වින්දනයක් ඇති යාලුවන්ට බ්ලොග් එක ගැන කියනවා . බ්ලොග් කියන්නේ මොකක්ද කියල කියන්න වෙනවා හුඟ දෙනෙක්ට . මොකද අපේ කෙල්ලෝ බැඳලා දරු මල්ලෝ හෙම හදාගෙන යහපත් ගෘහණියෝ වෙලානේ . එහෙමත් එකෙක් තමයි තවම යමක් කියවන්න කැමති . තව යාළුවො දෙන්නෙක්ම බ්ලොග් ලියන්න පටන් ගත්තා මන් නිසා . තව එක එක එක්කෙනාගේ රස වින්දනය අනුව ඒ ඒ පෝස්ට් මුණු පොතේ බෙදා දෙන්නත් අමතක කරන්නේ නැහැ . මන් නිසා වෙනත් බ්ලොග් වලටත් පාටකයෝ ගොඩක් ආවා . ගොඩක් දෙනා කමෙන්ට් කරන්නේ නැහැ . එකක් වැඩ වැඩි කම . අනික සිංහල අකුරු නුහුරු වීම .

    ReplyDelete
  25. වැදගත් ලිපියක්.

    ReplyDelete
  26. කකා - බොහොම ස්තුතියි ඔබේ දැනුම මමත් ඇතුලු සියලු දෙනා එක්ක බෙදාගැනීම ගැන. මටනං ඉතිං බ්ලොග් ටී ෂර්ට් නැහැ. විසිටින් කාඩ් ප්‍රින්ට් කරන්න මුදලුත් නෑ. රස්සාවක් කරන කාලෙකවත් කරන්න වටින වැඩක්.

    ජෝතිෂ ලංකා - බොහොම ස්තුතියි අයියේ. මට ගොඩක් සතුටුයි. ජෝතිෂය ගැන මගේ අදහස මොනවා වුණත් මම ඔයාව හැමදාමත් සලකන්නේ සහෘද බ්ලොග්කරුවෙක් විදිහටයි

    ReplyDelete
  27. ප්‍රසන්න
    බින්දි
    සිංහයා
    ඉන්දික
    චම්මා
    නදී
    චාමි
    සාටර්
    මධුරංග
    විසිතුරු
    ඔබා මාමා
    බුවා
    රසික
    වෙනි
    මයියා
    ගිම්හානි
    නදුන්
    සුදු මැණිකේ
    මුහුදු

    ඔය හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි යාලුවනේ.

    ReplyDelete
  28. @ BOLG
    මේ උපදෙස් නවක බ්ලොග් කරුවන්ටනේ. ඔයා මොකටද විසිටින් කාඩ්, ටී ෂර්ට ගැන කියන්නේ.....????

    ඔබ කුමන පුසා දැයි නොදනිමි. ඒත් අර පූසියෝ එක්ක බත් කන්න අයිස් ක්‍රීම් කන්න යනකොට නං සල්ලි ප්‍රශ්ණ තිබුනේ නෑ නේද?

    මගේ ටී ෂර්ට් එකකට ගියේ රුපියල් 600 කි. ඒ ගාන වැඩිද?

    ReplyDelete
  29. අලුත් අපිට ලොකු හයියක් ආපු ලිපියක් මට තිබුන ගැටලු කිපයකටම ඔබ පිලිතුරු දිලා තියනවා.අලුතෙන් එන අපි වගේ අයට වටිනා ලිපියක්,දිගටම ලියන්න ඔබට සුබ පතනවා සොයුර.................

    ReplyDelete
  30. කකා - මම පුරුපුරු. අන්දරේටත් ඉතිං කිරි පැණි කන්න බඩේ ඉඩ තිබුනනේ කකා. :) ඔව්. උවමනාව තියේනං කරන්න බැරි වැඩක් නෙවෙයි. මටත් පස්සෙ ඒක කල්පනාවට ආවෙ. බොහොම ස්තුතියි.

    ටී ෂර්ට් එක ලාබයි. ආපහු පාරක් ටී ෂර්ට් ප්‍රින්ට් කරන එක හොද වැඩක් වෙයි.

    නලින්ද - බොහොම ස්තුතියි සහෝ!

    ReplyDelete
  31. ඔය තියෙන්නෙ පුරු පුරු.. ජයවේවා... !!! ඔය ටිකෙන් බාගයක් විතර පුරු පුරු මට දවසක් බුකියෙ රෑ දෙගොඩහරියෙ චැට් එකේදිත් කිවුවනේ... පුරු පුරු පොරක් නොවුනට ඔය බ්ලොග් අවකාශෙ පොරවල් ඇවිත් වැඩේට ෆුල් එක දීල තියෙන්නෙ...

    වැඩේ නියමයි.. ස්තූතියි පුරු පුරු..!!!

    ReplyDelete
  32. ඇත්තටම සිරා....ගොඩක් කල් මේකෙ ඉන්න කෙනෙක්ගෙන් නැතුව වෙන කාගෙන් අහගන්නද මෙව්වා....

    ReplyDelete
  33. මමත් බ්ලොග් කලාව ට අළුත් කෙනෙක්, ලිවීමේ හැකියාව ටිකක් තියෙනවා...
    ඔයාගේ උපදෙස් ටික නම් ගොඩක් වටිනවා. තව ඉදිරියටත් ඔබට මේ වගේ පුණ්‍යකර්ම කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!! :D :D

    ReplyDelete
  34. මේකත් ප්‍රින්ට් කරල මේල් එකක් හැටියට සර්කියුලේට් කරන්න වටින ලිපියක්!

    ReplyDelete
  35. සුපිරි වැඩක් මලයා... මම දැක්ක බ්ලොග් කීපයකම කමෙන්ට්ස්, හිට්ස් නැති වීම ගැන මැසිවිලි නගල තිබුනා... මාරය අයියත් ලිපියක් දාල තිබුන ඔය සම්බන්ධයෙන්.... නවක බ්ලොග් කරුවන්ට හොඳ උපදෙස් ටිකක්.

    ReplyDelete
  36. නියමයි සහෝ...!!! මමත් බ්ලොග් කලාවට අලුත්... ඔය වගේ හුග දෙන්ක් දුන්නු උපදෙස් නිසා අද මම තරමක ගමනක් ඇවිත් තියෙනවා... ඒ කිව්වෙ මම බලාපොරොත්තුනොවුනු තරමේ පිරිසක් මගේ වටේ ඉන්නවා කියලා දැනෙනවා. හුගක් සතුටුයි..

    මේ ලිපියෙ ගන්න හුගාක් වටින දේවල් තිබ්බා.. ස්තූතියි හුගාක්ම..:)

    ReplyDelete
  37. සුදුපූසි 13 න් පස්සෙ BLOG ගඩොල් feed reader එකේ update උනේ නෑ...

    වැප්නි සාන්ත මහතා වෙන්ටැ පුරුපුරුගෙන් මේ හරවත් ප්‍රශ්න ඇහුවෙ...
    අපිට කතාබස්වලින් පුරුපුරුගෙ කටහඬත් අහන්න ඕනෙ වැප්නි මාමේ!
    -පැතුම් හර්ෂණ

    ReplyDelete
  38. මේක නම් අදහන්න වටින ලිපියක්.
    මම නම් අදටත් කොමන්ට් දාන්නේ එහෙමත් වෙලාවක් තමයි. ඒත් මම කැමති ලිපියක් කොහෙන් හරි දැක්කොත් කියවනවා. පස්සෙන් යනවා. මම බ්ලොග් ලියන්නෙකුත් නෙමෙයි. සමහර වෙලාවට මේ දේවල් හින්දා ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. මම හිතන දේ කියන හින්දා.

    ReplyDelete
  39. වැදගත් ලිපියක් සහෝදරයා . අලුත් බ්ලොග් ලියන්න එන ගොඩ දෙනෙකුට ඇතිවෙන ගැටළු සේරම වාගේ මෙතනින් නිරාකරණය කරගන්න පුලුවන් වේවි . සමහරු බ්ලොග් පටන්ගන්නවා ඒත් සින්ඩි ගැන දන්නෑ .

    ඔය කීවා වගේ සමහරු ජාවා ස්ක්‍රිප්ට් තොගයක් බ්ලොග් එකට දාගන්නවා ඒවා දැම්මාම සාමාන්‍ය පරිගණයක් හිමි කෙනෙකුට ඒ බ්ලොග් එක බලන්න අමාරුයි ස්ලෝ වෙලා යනවා

    කතන්දර කීවා වගේ අපි බලන්න ඕන තව තව මේ සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනියන්න . මගේ බොහෝමයක් යාලුවෝ සිංහල බ්ලොග් අහලාවත් නෑ මමත් දැනගත්තේ අහම්බෙන් . ඉන්ටර් නෙට් තියෙන්නේ සින්දුවක් අහලා ෆේස් බුක් පාරක් දාලා ඉන්න පුලුවන් වර්ගයේ දෙයක් කියලා විතරක් හිතාගෙන ඉන්න අයත් අපේ පලාත්වල නම් ඕන තරම් .

    බ්ලොග් ගඩොල් කියන්නේ මම ඒකාලේ ඉඳන් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් . ජය වේවා මේ ලිපියට ..

    ReplyDelete
  40. තමන් අනුන්ගෙන් හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝ බලාපොරොත්තු වෙනවනම් අනුන්ටත් හිට්ස් , කොමෙන්ට්ස් ෆලෝ දෙන්න ලෝබ වෙන්න එපා. අපි අපිම අපේ පිටවල් කහ ගමු :)

    ReplyDelete
  41. ගඩොල් අයියේ ඔයාගෙ ගඩොල් ලිපිය ගොඩක් හොඳයි.
    කියල තියන එව්වා හොඳයි.
    මේකයි ගඩොල් අයියේ,
    මගෙ බොලොග් එක ගැන නම් කියන්න තියන්නෙ මගෙ බොලොග් එක මිනිස්සු බලන්න ආස මාතෘකාවක් ගැන නෙවේ,
    ඒත් මං හොඳටම දන්නවා මේක බලන් එක මිනිස්සුන්ට සහ රටට වැදගත් කියලා,
    ඒ නිසා මට ඕන කොහෝම හරි මේක් මිනිසුන්ට පෙන්නන්න.
    නැත්තං මගේ මහන්සියෙන් වැඩක් නෑ.
    ඔන්න මං ජනප්‍රිය බොලොග් එකක කමෙන්ට් කරා.
    ( ඒත් මට නං එහෙම කරලා එකතු කරගන්න එක හරි නෑ වගේ.)
    කොහොම වුනත් ඔයත් මගෙ බොලොග් එක පැත්තෙ එන්න.

    ReplyDelete
  42. හරි.මාත් අළුත් එකෙක්.මම හිතන්නෙත් විනෝදාත්මක පෝස්ට් එකකට වැටෙන හිට්ස් ගාන වැඩියි.ඔය දෙකම ඕන.
    අවාසනාවකට වගේ මට ටැබූ සබ්‍‍ජෙක්ට්ස් එකම ලිපියක්වත් කියවන්න ලැබුනෙ නෑ.ඒවා කියවන්න පුළුවන් සයිට් එකක් තියනවද?

    ReplyDelete
  43. වටිනා දැනුවත් කිරීමක්.

    ReplyDelete
  44. නියමයි අපි වගේ කට්ටියට හොදටම හොදයි..............ජය වෙවා !!

    ReplyDelete
  45. තරිඳු
    උදාර
    ගෝඩෝනියා
    මකරා
    Il mondo di una povera pazza
    සඳරු
    හිතුවක්කාරි
    පිස්සා
    ඉන්දික
    වැම්පි
    මහි
    දිනුක
    සෝරෝ
    පොඩි මෑන්
    මන්තරකාරි

    බොහොම ස්තුතියි හැම දෙනාටම...!

    ReplyDelete
  46. පැතුම් - මම ඒ ගැටලුව ගැන හොයා බලන්නම් සහෝ! බොහොම ස්තුතියි දැනුවත් කළාට

    රාජ් - මමනං ඒ ගැන තවමත් දරන්නෙ ලිපියෙ කියලා තියෙන මතය සහෝ. ඔයා ටැබූ සබ්ජෙක්ට්ස් කියවලා නැති එක කණගාටුවට කරුනක්. මමත් දන්නෙ නැහැ ටැබූගෙ ලිපි දැන් කවුරුහරි ළඟ තියෙනවද කියලා.

    ටැබූගේ ලිපි ළඟ ඇති කවුරුන් හෝ සිටීනම් කරුණාකර දැනුම් දෙන්න.

    ReplyDelete
  47. සිරා ලිපිය මචෝ . . . . .

    ReplyDelete
  48. හරිම වැදගත් හැමෝම කියවන්න ඕන ලිපියක්.

    ReplyDelete
  49. ගොඩාක් ස්තූතියි අය්යේ. මමත් බ්ලොග් අවකාශෙට අලුත් කෙනෙක්.මෙච්චරකල් බ්ලොග් ගඩොල් වල නිහඩ පාඨකයෙක්.
    මමත් බ්ලොග් එකක් පටන්ගත්තා.ඉස්සෙල්ලම අය්ය ලියපු ලිපිය කියවලා තමා මගේ බ්ලොග් එක කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කලේ.
    ආයෙත් ගොඩාක් ස්තූතියි. :)

    ReplyDelete
  50. පොහෝම වැදගත් ලිපියක් අයි‍යේ!ඒ වගේම නවක බ්ලොග් කරුවෙක් විදිහට මගේ ස්තූතියත් පළ කරනවා!මේ දවස්වල විභාග කටයුතු නිසා මගේ බ්ලොග් එකත් පාලුවට ගිහින්.ඒත් ආයෙත් ලියන්න පටන් ගත්තම මේ උපදෙස් හුගක් වැදගත් වේවි කියලා හිතනවා.

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.බ්ලොග් රචකයෙක් තමන්ගේ බ්ලොග් එක පටන් අරගෙන කෙටි කාලයකදි වුණත් බ්ලොග් එකේ නම,කමන්ගෙ අන්වර්ථ නාමය වගේ කරුණු කිහිපයක් වෙනස් කළොත් ඒක පාඨකයින්ට ලොකු බලපෑමක් ඇති කරයි ද?

    ReplyDelete
  51. "ඒත් මගෙ අත්දැකීම් අනුව බ්ලොග් කියවීම විතරක් කරන පිරිස මේ වගේ දහ ගුණයක්වත් අඩුම ගානෙ ඉන්නවා"මම හිතන්නේ මාත් එ වර්ගයේ කෙනෙක් මාත් ගොඩක් බ්ලොග් කියවලා තිබුනට කමේන්ට් කරලා නැ ,,,මාත් හිතන්නේ නිහඬ පාඨකයො වඩියි කියලා....මේ පොස්ට් 1ක මටත් ගොඩක් වැදගත් 1කක් උනා,,,,

    ReplyDelete
  52. වැප් අයියා

    අර මොකක්ද තන්හාවද දැන්????? හික්ස්.......

    පුරු පුරු අයියා

    මාත් ඉස්සර එල්ලන් හිටි ගැජට් අයින් කරානේ මාරයියාගේ උපදෙස් මත. මං හිතනවා මගේ එකේ අවුලක් නෑ කියලා.
    මොකද ස්ලෝ වුනාම කට්ටිය එන එක නවත්තනවා මිසක් කියනවා බොහොම අඩුයි. ඒ නිසා මම හිතනවා යන එන අය ඒ පිළිබඳ දැනුවත් කරනවනම් නවකයන්ටත් පහසුයි කියලා.

    ලිපිය නම් බොහොම හොඳයි. මාත් ඔය මෙලෝ දෙයක් දැනගෙන නෙමෙයි තට්ට තනියම අර හා ගුල අමුණ ගත්තේ. ඒ නිසා අළුත් අයට උනත් පොඩ්ඩක් කරක් ගහලා බැලුවොත් හදාගත හැකි.

    පුලුවන් නම් මේ ලිපියටම අර බ්ලොග් එකක් හදන හැටි තියන සබැඳි 2ක එකතු කරන්ට. හිතෙන් හිතන් ඉන්න නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි.

    ReplyDelete
  53. වැදගත් ලිපියක් අයියා!ලියන දේවල් රසවත් නම් ඕන තරම් අය එනවා කියවන්න..ඒ නිසා හිට්ස් මත්තෙ මැරෙන්න යන එක නම් බොරු වැඩක් තමා

    ReplyDelete
  54. @ පුරු පුරු - පට්ටය

    @ ක.සූ - +++++++++++

    @ මකරා - +++++++++++++

    @ ගරු සබාපති වැප්නි සාන්තයන් - තණ්හාව විනාසයට මුල වේ... :D

    ReplyDelete
  55. බොහොම ස්තූතියි අයියෙ.....!!!

    ReplyDelete
  56. පොඩි එකෙක්September 18, 2011 at 10:51 PM

    වටිනවනෙ...ස්තූතියි. බ්ලොග් එකක් බලන්න නෙවෙයි ආවෙ. කාලෙ පොඩ්ඩක් ගෙවල යන්න. මාර දුකෙන් ඉන්නෙ,ඒකයි. අන්තිමට බ්ලොග් ගොඩක් කියවල තමයි නතර උනේ. අහ්, එතනින් නතර උනේ නෑ, කොමෙන්ට් එකකුත් දැම්මා. මට හරියට කොමෙන්ට් එකක් වත් දාන්න තේරෙන්නෙ නෑනෙ...අද තමයි වැඩිපුරම බ්ලොග් කියෙව්වෙ, නියම බ්ලොග් එක පලවෙනි දවසෙම සෙට් උනේ, මටත් හිතෙනව බ්ලොග් එකක් ලියන්න...ලේඛන කලාව නම් බෑ,කමක් නෑ මටත් හිත සැහල්ලු කරගන්න ඕන...ලිපිය ලොකු උදව්වක්...ආයෙත් ඔන්න ස්තූති කලා එහෙනම්...

    ReplyDelete
  57. නියම..වැඩක් මලේ...." කොහොමද විභාහගේ හොඳට කලාද....."

    ReplyDelete
  58. වැදගත් ලිපියක් , හැමෝටම ...

    ReplyDelete
  59. mama hoya hoya hitiye mehema lipiyak....
    thanks

    ReplyDelete
  60. බොහොම ප්‍රයෝජනවත් ලිපියක්. හොඳ අන්තර්ගතයක් තිබුණු පමණින් බ්ලොග් එකක් ජනප්‍රිය වෙන්නේ නෑ. ඒ වගේම හිට්ස් ප්‍රමාණයෙන්, කමෙන්ට්ස් ප්‍රමාණයෙන්, ෆලෝවර්ස්ලා ප්‍රමාණයෙන් බ්ලොගයක සාර්ථක බව තීරණය කරන්නත් බෑ. හැබැයි මං දැකපු එක දෙයක් තියෙනවා. මං හරිද දන්නෑ. තමන්ගේ නමින්ම පෙනී ඉන්න කතුවරුන්ට වඩා ආරූඬ නමකින් පෙනී ඉන්න කතුවරුන් ජනප්‍රිය වැඩියි කියන එක.

    කොහොම වෙතත් තමන් ලියන දේ අවංකව ලියන්න කියලා මල්ලී දීලා තියන උපදේසය නං පංකාදුයි. එහෙම නැතුව කියවන අයව රවට්ටන එක හරි නෑ නොවැ. ඒත් මාතෘකාව හින්දා ලිපි බලන්න එන අයත් ඉන්න බව අපි මතක තියාගෙන තමයි මාතෘකාව දාන්න ඕනැ.

    තව එකක් සතියකට සැරයක් විතර ලිපියක් දාන්න පුළුවන්නං හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. (ඒත් මම නං දාන්නේ මාසෙකට එකක් විතර තමයි.)

    ReplyDelete
  61. උමා
    මහේෂ්
    පිසාචයා
    පොඩි එකෙක්
    අලුත්
    හිම කුමාරි
    කඩේ හාමිනේ
    ඇනෝ
    මීදුම
    දයියා

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් දැක්වීම ගැන

    ReplyDelete
  62. ඕනයා
    මැජික්

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් දැක්වීම ගැන

    ReplyDelete
  63. රාජ් - අද තමයි විභාගෙ ඉවර වුණේ අයියේ. ෆයිනල් එග්සෑම් එක ඉතිං කොහොමත් අල වෙන එකනේ :)

    චතුර - මමත් දැකලා තියෙන නිරීක්සණයක් තමයි ඒක සහෝ. ස්තුතියි පෙන්නලා දුන්නාට.

    මාතෘකාව ආකර්ෂණීය එකක් වෙන තරමට හොඳයි. ඒත් ඒක පොඩ්ඩක් හරි ලිපියට අදාලනං තමයි නේද හොඳ?

    ඔව්, දවස් තුන හතරකට සැරයක් දාන්න පුලුවන්නං තවත් වැඩියෙන් හොඳයි

    ReplyDelete
  64. කතා මල්ලි - පටන් අරගෙන ඉතා කෙටි කාලෙකින්නං අවුලක් වෙන්න විදිහක් නෑ සහෝ! ඒත් ප්‍රසිද්ද වුණාට පස්සෙ නම වෙනස් කළොත්නං ඒකෙන් ඍණාත්මක බලපෑමක් එන්න ඉඩ තියෙනවා කියලා තමයි මට හිතෙන්නෙ.

    හාවි - ඒ මොනවද හා නංගි? මමනං එහෙම සබැඳියක් ගැන දන්නෑ

    මකරා - බොහෝම පින් මකරෝ ලින්ක් එකට. බොහොමත්ම ස්තුතියි

    ReplyDelete
  65. මත් දැන් අවුරුදු එක හමාරක ඉදන් ලියනවා එත් මගේ ලෝකයට කවුරුත් කමෙන්ට් එකක් දැන්මේ නෑ ..ඊට පස්සේ සයිබර් එකේ තියන අනම් මනම් දැන්මා එත් නැ..අරෙහෙන් මෙහෙන් ලිපි අරන් දැන්මා එත් නැ එත් දැන්.......... මගේ පාඩුවේ හිතුන දෙයක් ලියාගෙන තනියම ඉන්නවා

    ReplyDelete
  66. මමත් ඔය පූසා කියනව වගෙ අනිත් කට්ටිය ගෙන් කෙනෙක් තමයි කියවල යනවා. ඔන්න අදත් කියෙව්ව මට එච්චරම අදාල නෑති උනත්. අලුතින් ලියන්න පටන්ගන්න අයට ජය වේවා. එවත් කියවනව අනිවා!

    ReplyDelete
  67. බොහොම තුති ඔවදන් වලට

    ReplyDelete
  68. හා හා පුරා කියලා මගේ පුංචි බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාන්න හදද්දිම කියවන්න ලැබුණේ බොහෝම වැදගත් ලිපියක්.බොහෝම ස්තූතියි අයියේ.අයියගේ ජීනිස් බ්ලොග් එකත් නියමයි.ඒකෙ පාඩම් මටනම් හොදට වදිනවා.

    ඇත්තටම බ්ලොග් කලාවට එන්ටර් වෙද්දිම මේ වගේ ලිපියක් කියවන්න ලැබුණු එක මගේ වාසනාවක් ද කොහෙ ද!ආයෙත් පාරක් ස්තූතී.

    ReplyDelete
  69. මේ ලිපිය මම වගේ නවක බ්ලොග්කරුවන්ට බෝහෝම වැදගත් ලිපියක් අයියා..මේ තොරතුරු අපිට කියලා දුන්නට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  70. මහේෂ්
    අංජන
    ඇනෝ
    චිරාන් මල්ලි
    රිෂාන්

    බොහොම ස්තුතියි යාලුවනේ. ඔයාලාට මේ ලිපිය වැදගත් වෙන බව දැනගැනීම මට ෆුල් හැපියට කාරණාවක්.

    ReplyDelete
  71. මම නම් බ්ලොග් ලියන්න පටන් අරන් දැන් අවුරුද්දකට වැඩියි! ඒත් මමත් ගොඩක් දේවල් දැන ගත්තා! ස්තූතියි පුරු පුරු ඇතුලු බ්ලොග් ගඩෝල් වලට! ඒ වගේම ටැබූගේ බ්ලොග් එක බලන්න මං ආසාවෙන් හිටියේ! ඒකට ලින්ක් එකක් දුන්න‍ට ස්තූතියි!

    ReplyDelete
  72. ගොඩාක්ම වටින ලිපියක් අයියේ, මාත් බ්ලොග් එකක් පටන් අරගෙන මාස 5ක්වත් නෑ. යන්න පුළුවන් හොඳම විදියට මම මගේ ගමන යනවා, අපි වගේ අයට මේ වගේ ලිපියක් ගොඩාක් වැදගත්.. ගොඩාක්ම ස්තූතියි අයියේ,.

    ReplyDelete
  73. එළ එළ නියම ලිපියක්.ඉගෙන ගන්න බොහොමයක් දේවල් තියෙනවා ..........:D

    ReplyDelete
  74. This comment has been removed by the author.

    ReplyDelete
  75. මමත් අලුතින් බ්ලොග් එකක් පටන් ගතට , ඔයාගේ මේ ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්ත ,, වෙලාවක් තිබුනොත් මගේ මකර ගුහාව පැත්තේ ඇවිල්ල අඩුපාඩුවක් ඇතොත් පෙන්නලා දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා

    ReplyDelete
  76. හොඳ පොස්ට් එකක් මටත් ගොඩක් වැදගත් උනා මාත් තවම අලුත් .ජයවේවා!!

    ReplyDelete
  77. මෙක නමි නියමයි ....සහෝදරයා

    ReplyDelete
  78. බොහොමත්ම ස්තුතියි.. මම අලුත්ම අලුත් බ්ලොග් කරුවෙක්.. ඔය පෙන්නලා දුන්න වැරදි ගොඩක් මමත් කරලා තියෙනවා මම හිතන්නේ. මට ඒ වැරදි හදාගෙන මගේ බ්ලොග් එක කරගෙන යන්න මේ උපදෙස් ටික ගොඩක් වැදගත් වේවි. මට මේ ලින්ක් එක දීපු රූ සිරිනි ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. මට බ්ලොග් එකක් හදන්න මුලින්ම කියල දීපු සිත්තරී මං ටත් මම හිස නවා ආචාර කරනවා.. මගේ බ්ලොග් එක සාර්ථක වීම පිටිපස්සේ අනිවාර්යෙන්ම බ්ලොග් ගඩොල්ගේ නමත් කියවෙයි හැමදාම.. ආයිත් පාරක් ඔබට මම මගේ හිස නවා ආචාර කරනවා මේ දීපු උපදෙස් වලට.

    ReplyDelete
  79. මට දැන ගන්න ඔනා කොහොමද Google surch engine එකට මගේ බොලොග් එක එකතු කරන්නේ කොහොමද කියලා

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???