අඹ යාලුවෝ

Sunday, November 21, 2010

හොස්ටල් ට්‍රිප් - නුවරඑළියට පිස්සු හැදුන දවස


හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක? යන ලිපිය හා සම්බන්ධයි.

ඉතිං අපි කලින් ලිපියෙ කිව්ව විදිහටම ටික වෙලාවක් යද්දි අපේ පුරුපුරුටයි, ජුවාන්ටයි අම්බානට නින්ද ගිහින්.ඉතිං පැය ගානක් ගියාට පස්සෙ පොල්පොටු සහ සකයායි බොහොම මහන්සි පිට රූම් එකට ආවලු.බැලින්නං දෙන්නා ආපහු එන්න පාර හොයාගන්න බැරුව අතරමං වෙලා.ඊට පස්සෙ බොහොම අමාරුවෙන් තමයි ෆාම් එකට එන පාර හොයාගෙන තියෙන්නෙ.හැබැයි අපේ යාලුවො දෙන්නා ජයග්‍රාහී විදිහට කාල නාමපත්‍රයකුයි (black label), ධවල නාමපත්‍රයකුයි (white label) ගේන්න අමතක කරලා තිබුනෙ නෑ.

කට්ටිය ඉතිං පුරුපුරුවයි ජුවාන්වයි නැගිට්ටවන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් වැඩේ සාර්ථක වෙලා නෑ.දෙන්නම ගොරව ගොරවා නිදිලු.බෝතලේ වගේද නින්ද?ඊටපස්සෙ ඉතිං සකයයි, පොල්පොටුයි, සලායි, සංජුයි තීරණය කළාලු කට්ටිය එකතු වෙලා ඉක්මනට මතට තිත තියමු නේද කියලා.මොකද ඒ වෙද්දි එළිය වැටෙන්නත් ළගයි.ඉතිං කට්ටිය ෆාම් එකේ ඈත කෙළවරකට ගිහින් වැඩේට සෙට් වුණාලු.

කට්ටිය එකතුවෙලා මුලින්ම කාල නාමපත්‍රය ඉවර කළාලු.ඒ එක්කම ෂැන්ඩි ටිකත් ඉවර වුණාලු.දැන් ඉතිං කට්ටියට හොද ගනං.ඒ මදිවට ෂැන්ඩි නැතුව අනුමත වෙන්න සංජුයි, සලායි කැමති නෑ.ඉතිං ඒ දෙන්නා කළේ ආපහු රූම් එකට එන එක.ඒත් ධවල නාමපත්‍රයත් ඉවර නොකර ආපහු එන්න සකයායි පොල්පොටුයි කීයටවත් කැමති වුණේ නෑ.මොකද අතරමං වෙවී අමාරුවෙන් ගෙනාපු බෝතලේ නොවැ! කාටවුණත් ඕනෙම දෙයක් වටින්නෙ අමාරුවෙන් ලබාගත්තාම තමයි.

කොහොමහරි ඉතිං කට්ටිය එදා රෑ නිදාගෙන පහුවදා නැගිටලා බලද්දිත් සකයායි පොල්පොටුයි පේන්න හිටියෙ නෑ.ඊට පස්සෙ කලින් දවසෙ රෑ වෙච්ච දේවල් සංජු ඉදගෙන ජුවාන්ටයි පුරුපුරුටයි කිව්වා.ඉතිං මොකක්හරි අබ්ලික් කේස් එකක් වෙලා තමයි කියලා තේරෙන්න අපේ යාලුවන්ට වැඩි වෙලාවක් ගියෙ නැහැලු.කට්ටිය මේ දෙන්නාව හොයන්න යන්න හදද්දිම තමයි ප්‍රිෆෙක්ට් අයියලා දෙන්නෙක් සකයාවයි, පොල්පොට්වයි කනෙන් ඇදගෙන රූම් එකට අරගෙන ආවෙ.ඒ මදිවාට සකයාට ටවල් එකකුත් අන්දලා හිටියෙ.දැන් කට්ටිය ෆුල් හොල්මන්.

දෙන්නාව රූම් එක ඇතුලට දාලා අයියලා යන්න හදද්දි සකයා ඒ දෙන්නාට කුණුහරුපෙන් බැන්නා.ටිකක්වෙලා මෑන්ස් දිහා බලාගෙන හිටපු අයියලා, "වෙරි හිදුනාම තොට දෙන්නංකෝ" වගේ බැල්මක් දාලා ආපහු යන්න ගියා.ඉතිං පැයක් දෙකක් ගිහිල්ලා අපේ යාලුවො දෙන්නා පොඩ්ඩක් යථා තත්ත්වෙට ආවට පස්සෙ තමයි කට්ටියට සිද්ද වෙච්ච දේ දැනගන්න පුලුවන්කමක් ලැබුනෙ.බැලින්නං සිද්ද වෙලා තියෙන්න මෙන්න මේකයි.

දෙන්නා ධවල නාමපත්‍රයට තිත තිය තියා ඉන්නකොට දෙන්නාටම අම්බානට වැඩිවෙලා.ඊට පස්සෙ පොල්පොට් කරලා තියෙන්නෙ බයිට් එකට තිබුන කඩල ටික, ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කියලා එහාපැත්තෙ තිබුන කුණු කානුවට දාපු එක.මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච සකයා පොල්පොට් එක්ක රණ්ඩු වෙලා.දෙන්නටම මහන්සි වුණාට පස්සෙ පොල්පොට් එතනම නිදාගෙන.ඊටපස්සෙ සකයා දැක්කලු එතන එහාපැත්තෙ ලස්සන කලු කෙල්ලෙක් ඉන්නවා.

අපේ කට්ටියට ඉතිං කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතකයි නොවැ! ඉතිං අපේ සකයාත් ගිහිං ඒ කෙල්ලත් එක්ක ඩාන්ස් කරන්න.හැබැයි ඉතිං කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරද්දි ජෙන්ට්ල්මන් වගේ ඉන්න එපායැ! ඉතිං සකයාත් කරලා තියෙන්නෙ ඇදගෙන හිටපු මඩ ගෑවුණු කලිසම ගලවලා විසිකරලා කෙල්ලත් එක්ක නටන්න ගිය එක.හැබැයි මෑන්ස්ට අමතක වෙලා ඒ වෙලාවෙ යටට මොකුත් ඇදගෙන හිටියෙ නෑ කියලා.ඉතිං අවාසනාවන්ත විදිහට ඒ වෙලාවෙ එතනට ආපු ෆාම් එකේ මුරකාරයෙක්, සකයාව අල්ලගෙන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට බාර දීලා.

සකයා කියපු විදිහටනං කෙල්ල ලස්සන වුණාට කට ටිකක් ගදයිලු.දැන් ඉතිං මෑන්ස් කියන විස්තර අහලා අපේ යාලුවො සෙට් එකට සදමෝල් වගේලු.කට්ටියම දන්නවා ඔලුව හොද කෙල්ලෙක්නං කීයටවත් සකයාත් එක්ක ඩාන්ස් කරන්න එන්නෙ නෑයි කියලා.ඉතිං අපේ යාලුවො සෙට් එක ගියාලු කලින් දවසෙ රෑ කට්ටිය මතට තිත තිබ්බ තැනට.මෙන්න බොලේ කඩල ටික එහෙමම තියනවා කුණු කානුව ඇතුලේ.ටිකක් එහායින් තඩි කලු බල්ලෙක් බැදලා ඉන්නවා ගොරව ගොරව.ඌ දිහා දැක්කමත් බය හිතෙනවා.

එතකොට එතෙන්ට ආපු මුරකාරයෙක් අපේ යාලුවන්ට මෙහෙම කිව්වලු

මුරකාරයා :- බලන්න මහත්තයෝ, ඊයෙ රෑ කවුද පිස්සෙක් කලිසමත් ගලවගෙන මේ බල්ලත් එක්ක නට නටා හිටියනෙ.මහත්තයලට කියන්න, මූ වගේ සැර බල්ලෙක් ඒ යකාට හැපුවෙ නැත්තෙ ඇයි කියලා තමයි මම මේ දවසම කල්පනා කර කර හිටියෙ

බැලින්නං සකයාගේ පිස්සු හැසිරීම දැකපු බල්ලටත් මොංගල් ගහලා.

ප.ලි - සකයාගේ සහ පොල්පොට්ගේ වාසනාවට මේ සිද්දිය කොටියා සර්ගෙ කනට ගියෙ නෑ.හැබැයි ආපහු හොස්ටල් එකට ආවට පස්සෙ දෙන්නාටම ප්‍රිෆෙක්ට් අයියලාගෙන් අම්බානට කන්න වුණා.ආපහු මේ වගේ වැඩ කරන්නෙ නෑ කියලා, මාගලක් වගේ දිග ලියුමක් ලියන්නත් වුණා.

හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක?


ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නේ කුරුදුවත්ත හොස්ටල් එකේ නුවරඑළිය ට්‍රිප් එක ගැන.සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ළමයි අවුරුද්දකට ට්‍රිප් දෙකක් යනවා.එකක් තමයි "බ්‍රැබරි පළිහ" කියන වාර්ෂික රගර් මැච් එක බලන්න නුවර යන වන්ඩේ ට්‍රිප් එක.අනික තමයි ඊට පස්සෙ යන ටූ ඩේ ට්‍රිප් එක.සාමාන්‍යයෙන් මේ ටූ ඩේ ට්‍රිප් එක යන්නෙ එක්කො කතරගමට, අනුරාධපුරේට, නැත්තං නුවරඑළියට, අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙවී.ඉතිං එක තැනකට ගියාට පස්සෙ ආපහු ඒ තැනට යැවෙන්නෙ තවත් අවුරුදු තුනකින්.කොහොමහරි ඉතිං 2003 අවුරුද්දෙ, ඒ කියන්නෙ අපේ පූසො 11 වසරෙ ඉන්දැද්දි මේ ට්‍රිප් එක යන්න නියමිත වුණේ නුවරඑළියටලු.

හොස්ටල් එකේ ළමයි කොහොමත් කතරගමට, අනුරාධපුරේට වඩා නුවරඑළියට යන්න කොහොමත් කැමතියි.නුවරඑළිය ඉතිං සීතල පැත්ත නොවැ!ඒ හින්දා ට්‍රිප් එක එනවුන්ස් කරපු දවසෙ ඉදලා කට්ටියටම මේ ගැන තිබුනෙ පුදුම උනන්දුවක්.අනිත් කාරනේ ඒ අවුරුද්දෙ පුරුපුරුලා ට්‍රිප් එක යන්නෙ හොස්ටල් එකේ සීනියර් බැච් එක විදිහට.ඉතිං ඒ හින්දා ට්‍රිප් එකේ ෆුල් ෆන් එකක් ගන්නත් පුලුවන්.

සාමාන්‍යයෙන් 10 සහ 11 වසරවල් හොස්ටල් ට්‍රිප් එකට සහභාගි වෙන්නේ වෙනම ටී ෂර්ට් ඇදගෙනලු.ඒ කියන්නේ 10 වසර එක ටී ෂර්ට් එකකුත්, 11 වසර එක ටී ෂර්ට් එකකුත් ඇදගෙන.ඉතිං අපේ යාලුවො කට්ටිය මුලින්ම කළේ හොද ටී ෂර්ට් එකක් ඩිසයින් කරලා, ඒක ගහගත්ත එක.මොකද 11 වසරෙ අයියලා හැටියට 10 වසරෙ මල්ලිලාට සෙකන්ඩ් වෙන්න බැහැ නොවැ!කොහොමහරි ඉතිං ටී ෂර්ට් එක ඇත්තටම හොදට හැදිලා ඇවිත් තිබුනා.ටී ෂර්ට් එකේ පිටිපස්සෙ ලියලා තිබුන වාක්‍යය තමයි

Nothing more than Unity & Liberty

කියන එක.ඒ වාක්‍යය පුරුපුරු යෝජනා කළේ එකමුතුකමයි, ස්වාධීනත්වයයි ඇරුණුකොට ඊට වඩා වෙන යමක් නෑ කියන පිරිසිදු චේතනාවෙන්.ඒත් ටී ෂර්ට් එක හදලා අරගෙන ආවටත් පස්සෙ අසමජ්ජාති මාලුකට්ටා අහපි

"එතකොට මචං MC එක ???"

කියලා.එතකොට තමයි කට්ටියට මීටර් වුණේ Unity එකයි Liberty එකයි දෙකම කොළඹ තියන සාප්පු සංකීර්ණ නේද කියලා.අන්තිමට ඉතිං කොල්ලො කට්ටිය පුරුපුරුගෙ ගෙදර ඈයින්ට හචිං යවලා, 10 වසරෙ කොල්ලන්ට මේක මීටර් වෙන එකක් නෑ කියලා හිත හදාගත්තලු.

කොහොමහරි ඉතිං දවසින් දවස ගතවෙලා ට්‍රිප් එක යන දවසත් උදාවුණාලු.හොස්ටල් එකේ ළමයින්ගෙන් බහුතරයක් ට්‍රිප් එකට සහභාගි වෙන්න අමතක කරලා තිබුනෙත් නැහැ.ඒ වගේම කොටියා සර් ඇතුලු සර්ලාත් සුපුරුදු විදිහට ට්‍රිප් එකට සහභාගි වුණාලු.ඒ හින්දා මතක විදිහට බස් හතරක්ම ගෙන්නන්න සිද්ද වෙලා තිබුනා.මේ ඔක්කොම වැඩ ඕගනයිස් කෙරුවේ හොස්ටල් ප්‍රිෆෙක්ට් අයියලා.11 වසරෙ ළමයිනුත් ඉතිං ට්‍රිප් එක යන දවසෙ උදේම ලන්ච් පැකට් බදින්න එහෙම උදව් වුණාලු.අන්තිමට ඉතිං සුභ මොහොතින් කට්ටිය සාදුකාරයක් එහෙම දීලා නුවරඑළිය බලා පිටත් වුණාලු.

දැන් ඉතිං මග දිගට විස්තර කියන්න ගියොත් මේක ටුවරිසම් බ්ලොග් එකක් වෙනවා නොවැ! ඒක හින්දා ඒ වැඩේ අපේ අභීත ලොක්කාට බාර දීලා අපි කතාව ටිකක් ස්කිප් කරන්නම් නේද?

කොහොමහරි ඉතිං එදා හවස්වෙද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණා නුවරඑළියට එන්න.ඉතිං ඊට පස්සෙ තිබුනෙ නවාතැනට යන එක.ළමයි දෙසිය පනහකට විතර නවතින්න පුලුවන් තැන් නුවරඑළියෙ අඩු නිසා සාමාන්‍යයෙන් හොස්ටල් ට්‍රිප් වලදි නවතින්න තෝරගත්තෙ නස්රත් ෆාම් කියලා ප්ලේස් එකක්.මේ ෆාම් එක මැද්දෙ තියෙන ලොකු බිල්ඩින් එකේ ගොඩක් කට්ටියට නවතින්න පුලුවන්.

ප්‍රිෆකේට්ලා ඇවිත් ළමයින්ව කාමර වගට දැම්මට පස්සෙ 11 වසරෙ ළමයින්ටත් වෙනම රූම් එකක් හම්බවුණා.හැබැයි ඉතිං රූම් එකේ ටිකක් ඉඩ මදි.ඒක හින්දා පුරුපුරු ඇතුලු සෙට් එකක් පොඩි සංචාරයක් දාන්න එළියට ගියාලු.රෑ වෙලා තිබුන හින්දා එළියෙ හොදටම සීතලයි.කට කට ගාලා කට්ටියම ගැහෙනවා.ඉතිං ඔය වෙලාවෙ තමයි ඔතන හිටපු සලාට මරු අයිඩියා එකක් ආවෙ.

සලා :- මචං, අම්බානට සීතලයි.නරකද පොඩ්ඩක් අරවා ටිකක් ගෙනාවොත් එහෙම?

දැන් සලා මේ යෝජනා කරන්නෙ මතට තිත තියන්න.වෙලාවෙ හැටියට නරකම අයිඩියා එකකුත් නෙවෙයි.සකයාත් එක පයින්ම මේ යෝජනාවට කැමති වුණා.ඉතිං කට්ටිය ආපහු ගිහින් අනුමත වෙන්න කැමති කට්ටියගෙන් සල්ලි එකතු කරන්න ගත්තලු.මොනවා වුණත් ට්‍රිප් එකේදි බොන එක සෑහෙන ඩේන්ජරස් වැඩක්.හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ට මාට්ටු වුණොත් අම්බානට කන්න වෙනවා.කොටියා සර්ට මාට්ටු වුණොත් හොස්ටල් එකෙන් අස්වෙන්න පවා සිද්ද වෙන්න පුලුවන්.ඒත් ඉතිං "ඩේන්ජර් ඉස් මයි බිස්නස්" කියලා මතට තිත තියන්න කොල්ලො කීප දෙනෙක් සලාටයි, සකයාටයි එකතු වුණාලු.

අන්තිමට මතට තිත තියන්න එකතු වුණේ සලා, සකයා, පුරුපුරු, ජුවාන්, සංජු සහ පොල්පොට් කියන කට්ටිය.දැන් ඉතිං ප්‍රශ්නෙ බොන්නෙ මොන ජාතියද? කියන එකට වඩා, බෝතල් ගේන්නෙ කොහෙන්ද? කියන එක.දැන් අපේ කට්ටියට ෆාම් එකට ආපු පාර මතකත් නෑ.ඒ මදිවට බෝතල් ගේන්න නුවරඑළිය ටවුන් එක පැත්තට යන්න වෙනවා.ඉතිං මේ වෙලාවෙ වීර පුරුෂයො වගේ මේ වැඩේට ඉදිරිපත් වුණේ පොල්පොට් සහ සකයා.ඒ දෙන්නා "අරවා" ගේනකං පොඩි රෙස්ට් එකක් ගන්න කියලා අනිත් හතරදෙනා ආපහු රූම් එකට ගියාලු.

හැබැයි ඉතිං ඔහොම තත්පර, විනාඩි ගෙවිලා ගිහිං පැය දෙක තුනක් ගෙවිලා ගියත් පොල්පොටුයි සකයායි ආපහු ආවෙ නෑ.පුරුපුරුටයි ජුවාන්ටයි මහන්සි නිසා එහෙම්ම නින්ද ගියාලු.ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි වෙනම පෝස්ට් එකකින් කියන්නම්.මොකද නැත්තං මේ ලිපිය දිග වැඩි වෙනවා.මොකද වුණේ කියලා බලන්න පහළ ලින්ක් එකෙන් යන්නකෝ!

හොස්ටල් ලයිෆ් - නුවරඑළියට පිස්සු හැදුන දවස

Wednesday, November 17, 2010

හොස්ටල් ලයිෆ් - කොයින් බොක්ස් එක (The Coin Box)

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි මීට මාසෙකට දෙකකට කලින් ලියපු "දිලූශා සහ හංසිනී" කියන සීරීස් එක.ඒකෙ කතාව කෙටියෙන් කිව්වොත්, අපේ මාලුකට්ටා දිලූශායි හංසිනීයි කියලා දැරිවියො දෙන්නෙක් එක්ක ෆිට් වෙලා දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න බැරුව ඉන්නවා.පස්සෙ මෑන්ස් කොහොමහරි දිලූශාගෙන් යාලුවෙන්න යාලුවෙන්න අහනවා.ඒත් මාලුකට්ටා එක්ක යාලුවෙන්න බලාගෙන ඉදලා තියෙන්නෙ හංසිනී හින්දා වැඩේ අප්සට් ගිහින් මෑන්ස්ට අන්තිමට කෙල්ලො දෙන්නම නැතිවෙනවා.ඔන්න කියවලා නැති යාලුවන්ට ගිහින් ටක් ගාලා කියවලා සීරීස් එකම කියවලා එන්න පුලුවන්.

දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දිලූශා සහ හංසිනී 3

කොහොමහරි ඉතින් ඔය වෙච්ච සිද්දියෙන් පස්සෙ අපේ මාලුකට්ටා අම්බානට අප්සට් එකේ හිටියෙ.අපරාද කේස් එකක් නොවැ වුණේ.මාලුකට්ටාට කැමති හංසිනී කියලා දැනගෙන හිටියනං කෙලින්ම ගිහින් හංසිනීගෙන්ම අහන්න තිබුනනෙ.කොහොමහරි ඔය සිද්දිය ගැන මෑන්ස් ලතවෙවී ඉන්න කාලෙක තමයි වේයන්ගොඩ ඉස්කෝලෙ 11 වසර ට්‍රිප් එක යන්න යෙදුනෙ.දුකින් තැවි තැවී හිටපු මාලුකට්ටත් ඔය ට්‍රිප් එකට සෙට් වෙන්න ට්‍රයි එකක් දුන්නත්, කුරුදුවත්තෙ පෝරිසාදයෙක්ව තමන්ගෙ බස් එකක දාගෙන යන්න වේයන්ගොඩ කොල්ලො සෙට් එක කැමති වුණේ නෑලු.

අන්තිමට ඉතිං මෑන්ස්ට සිද්ද වුණේ දිලූශාගෙයි හංසිනිගෙයි ආරක්ෂාව අපේ වේයන්ගොඩයටයි, චාමරටයි බාරදීලා පැත්තකට වෙලා ඉන්න.මාලුකට්ටා කෙසේවෙතත් පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයිනං බයේ හිටියෙ පොල් අරක්කු බෝතලේ දාලා බියර් ගෙනාපු වේයන්ගොඩයා කෙල්ලො දෙන්නට මොනවා කරයිද කියන එක ගැන.කොහොමහරි ඉතිං නියමිත දවසෙ කට්ටිය ට්‍රිප් එක පිටත් වෙලා තිබුනලු.දැන් සෙනසුරාදා වෙනකං මාලුකට්ටාට ඉවසිල්ලක් නෑ.ට්‍රිප් එකේ සිද්ද වුණේ මොකද්ද? දිලූශායි හංසිනියි පොරව මතක් කළාද නැද්ද? වගේ දැනගන්න දේවල් ගොඩාරියයි.

ඉතිං සෙනසුරාදා ලිට් ක්ලාස් එකේ සෙට් වුණාම අපේ යාලුවා මුලින්ම කළේ වේයන්ගොඩයව අල්ලගෙන ට්‍රිප් එක ගැන ඉන්ෆො ගත්තු එක.ඒත් වේයන්ගොඩයානං ට්‍රිප් එකේ සිද්ද වුණ දේවල් ගැන කියන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ.අන්තිමට පූසො කට්ටිය මෑන්ස්ගෙ කනෙං ඇදලා ඇහුවට පස්සෙ තමයි වේයන්ගොඩයා ට්‍රිප් එකේ සිද්ද වුණ දේ ගැන කිව්වෙ.

බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.ඔය දිලූශායි හංසිනීයි කියන්නෙ සාමාන්‍යයෙන් ඉස්කෝලෙ අනිත් ළමයින්ට ලොකු එක දීගෙන ඉන්න ඩයල් දෙකක්ලු.ඉතිං ඉස්කෝලෙ කොල්ලො සෙට් එකට කාලෙක ඉදලා ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා මේ දෙන්නට ගේමක් දෙන්න.විශේෂයෙන්ම මාලුකට්ටා ට්‍රිප් එකේදි ගෑනු ළමයි දෙන්නව බලාගන්න කියපු චාමරයි, වේයන්ගොඩයයිත් මේ දෙන්නා එක්ක අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා තමයි ඉදලා තියෙන්නෙ.ඉතිං ට්‍රිප් එක වෙලාවෙ වේයන්ගොඩයාට මේ දෙන්නට ගේමක් දෙන්න මරු අයිඩියා එකක් පහළ වෙලා.

සාමාන්‍යයෙන් ඉතිං කවුරු වුණත් ට්‍රිප් එකක් යද්දි අත් දෙක වන වනා එන්නෙ නෑ නොවැ! දිලූශායි හංසිනීයිත් ඉතිං ඔය ට්‍රිප් එකේදි බොන්න කියලා කොකාකෝලා බෝතලයක් ගෙනල්ලා.ඕක දැක්ක වේයන්ගොඩයා කරලා තියෙන්නෙ කෙල්ලො දෙන්නා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉදලා බෝතලේ උස්සපු එක.හැබැයි මෑන්ස් බෝතලේ අරගෙන නිකං ඉදලා නැහැ.බෝතලේ තිබුන කෝක් වලින් කාලක් විතර බීපු වේයන්ගොඩයා කරලා තියෙන්නෙ, ට්‍රිප් එකේදි අනුමත වෙන්න කොල්ලො ගෙනාපු අරක්කු බෝතලේකින් ටිකක් කෝක් බෝතලේට පුරවලා, ආපහු තිබුන තැනින්ම තියපු එක.ඇත්තටම මත්පැන් කලවම් කිරීම සම්බන්දෙන් මෑන්ස්ට තියෙන අත්දැකීම් සහ ඉතිහාසය බැලුවම කවදාහරි පොර නතර වෙන්නෙ හොර අරක්කු මුදලාලි කෙනෙක් වෙලා තමයි.

කොහොමහරි ඊටපස්සෙ තමයි හොදම හරිය වෙලා තියෙන්නෙ.වටේ පිටේ හිටපු කෙල්ලන්ටත් පොඩ්ඩ පොඩ්ඩ දුන්නට පස්සෙ දිලූශායි හංසිනීයි තමයි කෝක් බෝතලේ වැඩි හරියකට වග කියලා තියෙන්නෙ.අලුතින් මාකට් එකට එන කෝක් පරණ එව්වාට වඩා රහයි කියලත් දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු.ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ ගෑනු ළමයි දෙන්නටම හොද පදමට ගණංලු.වේයන්ගොඩයා කියපු හැටියට ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දිලූශා, හංසිනීගෙ යම් කිසි ශරීර ප්‍රදේශයක් අනවශ්‍ය විදිහට ස්පර්ශ කරපු එක.අපේ ටැබූගෙ භාෂාවෙන් කියනවනං පොඩි සමරිසි පාර්ට් එකක් දාලා.පොඩි පාර්ට් එකක් වුණත් ඉතිං අපේ අයියලාට ඕකත් ඇති නොවැ!

කොහොමහරි ඉතිං වේයන්ගොඩයාගෙ මිෂන් එක නියමෙට එකම්ප්ලිෂ් වුණා.හැබැයි මේ සිද්දියෙන් මාලුකට්ටගෙ හිත රිදෙනවා නේද කියලා මෑන්ස්ට මතක් වුණේ සිද්දිය වෙලා ඉවර වුණාට පස්සෙ.ඉතිං සිද්දිය අහපු මාලුකට්ටා වෙයන්ගොඩයාව පණපිටින් අනුභව කළේ නැති ටික විතරයි.කොහොමහරි අන්තිමට වුණේ මාලුකට්ටාගෙ හිතේ දිලූශා ගැන තිබුන ආදරේ වෛරයකට හැරුණ එක.දැන් මෑන්ස් උදේ හවස ප්ලෑන් කරන්නෙ දිලූශාට ගේමක් දෙන හැටිලු.ඔය සිද්දිය වෙරි වෙලා හිටපු වෙලාවක සිද්දවුණ පොඩි දෙයක්නෙ කියලා මාලුකට්ටාගෙ හිත හදන්න අනිත් පූසො ට්‍රයි කළත් දවසින් දවස මෑන්ස්ගෙ තරහා වැඩි මිසක් අඩු වුණේ නෑ.

අන්තිමට මාලුකට්ටා තීරණය කළේ දිලූශාට කෝල් එකක් දීලා ඇනෝනිමස් විදිහට බනින්න.ඉතිං පූසන්ගෙ කටහඩවල් දිලූශා අදුනන නිසයි, වැඩේට සුදුසු බෙස්ට් පුද්ගලයා තාරබාසු නිසයි, කෝල් කිරීම තාරබාසුටම පවරන්න මාලුකට්ටා තීරණය කළා.වැඩේට තෝරගත්තෙ පිං කොයින් බොක්ස් එක."පිං" කිව්වෙ පිනට කෝල් කරන්න දුන්න නිසානං නෙවෙයි, ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එක ළග බොක්ස් එක තිබුන නිසා.ඉතිං හවස් වරුවෙ තාරබාසුට හොදට කන්න බොන්න අරන් දුන්න පුරුපුරුයි මාලුකට්ටයි, ඩිනර් එකෙන් පස්සෙ මෑන්ස්ව ඇදගෙන කොයින් බොක්ස් එක ලගට ගියාලු.

ඒ දවස්වල ඉතිං වැඩිපුර මොබයිල් ෆෝන් තිබුනෙ නෑ නොවැ! තිබුනනං දිලූශාට කෙලින්ම කතා කරලා බනින්න තිබුනා.ඉතිං දිලූශාම ඇවිත් කතා කරයි කියන බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් වුණත් කතා කරන්න සිද්ද වුණේ දිලූශාගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට.අපේ යාලුවොත් ඉතිං පහේ කාසි තුනක් දාලා, නම්බර් එක ඩයල් කරලා වැඩේ පටන් ගත්තා.දැන් තාරබාසු අතේ තමයි රිසීවර් එක තියෙන්නෙ.කීප පාරක් රිංග්ස් ගියාට පස්සෙ අවාසනාවට වගේ එහා පැත්තෙන් කතා කළේ පිරිමියෙක්.ගොරෝසු වොයිස් එකෙන් ඒ කතා කරන්නෙ ඊයෙ පෙරේදා රට ඉදලා ආපු දිලූශාගෙ තාත්තා කියල හිතාගන්න පූසන්ට අමාරු වුණේ නෑ.

තාරබාසු :- හෙලෝ, දිලූශා ඉන්නවද?

දිලූශාගෙ තාත්තා :- May I know who's speaking there?

මහරෑ දෙගොඩහරියෙ තමන්ගෙ දුවට කෝල් කරන්නෙ මොකෙක් හරි නසරාණියෙක් වෙන්න ඇති කියලා දිලූශාගෙ තාත්තාට තේරුණාලු.පුරුපුරුගෙ අයිඩියා එක වුණේනං තාත්තා එක්ක කතාවට යන්නෙ නැතුව එතනින් ෂේප් වෙලා යන එක හොදයි කියලා.ඒ වුණාට රාජකාරියට අවංක තාරබාසු වගේ ඩයල් එකක්, බාරගත්ත ජොබ් එක ඉවර කරලා මිසක් පස්ස බලන්නෙ නෑ.ඉතිං මෑන්සුත් දන්න කියන කඩු වචන ටික දාලා ටෝකට එන්ටර් වුණාලු.

තාරබාසු :- I want to speak with Dilusha, right now

දිලූශාගෙ තාත්තා :- You bastard, who the hell do you think you are? @$#@%#$&*(*()^#@@!$~^*Q@$#@^#$

මෙහෙම පටන් ගත්ත අංකල්ගෙ කඩු කුණුහරුප ප්‍රහාරය හමුවේ සිද්ද වුණේ තාරබාසු ඇඹරිලා ගිය එක.ඒත් පටන් ගත්තු වැඩේ ඉවර කරලා ඉන්නත් එපායැ!

තාරබාසු :- f--- you, suck my d---

දැන් තාරබාසුත් තමන් දන්න කියන ඉංගිරිසි කුණුහරුප ටික කට පාඩමෙන් වගේ කියාගෙන යනවලු.ඒත් ඒ කියවිල්ලෙ කිසි ගෝ එකක් නෑ.අංකල්ගෙ ප්‍රහාරය සැර වැඩියි.තාරබාසු එකක් කියනකොට අංකල් කාරයා දහයක් විතර කියනවා.මාලුකට්ටයි පුරුපුරුයි මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නවා.ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි අපේ තාරබාසුගෙත් ඉවසීමේ රතුකට්ට පැන්නලු.අංකල්ට කන් දෙකේ ඇගිලි ගහගන්න වෙන තරං හයියෙන් කෑ ගහලා මෑන්ස් කිව්වෙ මෙන්න මෙහෙම

I say, tell your daughter not to hit hoppers..........!!!

මේ කතාව කිව්වා විතරයි, එ‍හාපැත්තෙන් "දඩස්" ගාලා ෆෝන් එක තියනවා ඇහුනා. ඒ වගේම මාලුකට්ටාගෙ හිතේ තිබුන ආවේගයත් එවලෙම නැතිවෙලා ගියා.කොහොමහරි එදා ඉදන් අද දක්වාම දිලූශායි හංසිනීයි පූසො එක්ක කිසි ගනුදෙනුවක් නැහැලු.

ප.ලි - පස්සෙ පුස්ගම කෙල්ලො කොල්ලො අතරෙ ආරංචිය පැතිරුණේ පුරුපුරු කියන පෝරිසාදයා හොස්ටල් එකේ ඉදන් දිලූශාගෙ තාත්තාට කුණුහරුපෙන් බැනලා කෝල් කරලයි කියලා.ඒ මදිවට පුරුපුරු, අහිංසක මාලුකට්ටාවත් මේකට පටළවගෙන කියලා දූෂමාණ ආරංචියක් ගියාලු.

Saturday, November 13, 2010

කලුකුමාරි RELOADED - මාලුකට්ටේය අභිමානය


ඔන්න යාලුවනේ සතියකින් පස්සෙ අපි ආපහු ආවා.අපි එදා කිව්වෙ තට්ටයා ඤාව්වට ගහපු නිසා පුරුපුරු ගිහින් මෑන්ස් එක්ක වලියක් දාගත්ත හැටියි, පස්සෙ රෝහණදීරට පූසො වෙනුවෙන් වලියට බහින්න බැහැයි කියපු නිසා පුරුපුරු අසරණ වෙච්ච හැටියි ගැනනෙ.ඉතිං කලුකුමාරි ගැන ලියවුණු අපේ පරණ ලිපි කියවපු නැති යාලුවො මෙතනින් ගිහින් බලලා එන්නකෝ.

කොහොමහරි ඉතිං පුරුපුරු ගිහිං අනිත් පුසන්ට මේ සිද්දිය කිව්වම මුලු පූසො සෙට් එකම හෝදලා ගියා.කට්ටිය දැන් එක එක අතවල් බලාගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා.තට්ටයා වගේ නමගිය මැර ඩයල් එකක් එක්ක වලියක් දාගෙන ලේසියෙන් ෂේප් වෙන්න බැහැ.එහෙම ෂේප් වෙන්න හරි ගහන්න හරි ඕනෙනං රෝහණදීර වගේ ඊටත් වඩා ලොකු මැරයෙක්ව කන්ටෑක්ට් කරන්න ඕනෙ.ඒත් ඉතිං රෝහණදීරත් බෑ කිව්වට පස්සෙ පූසො කියල මක් කොරන්නද හැබෑට?

අන්තිමට පුරුපුරුගෙයි උපාසකගෙයි අයිඩියා එක වුණේ ඊළග සතියෙ පුස්ගම ටවුන් එකට යන්නෙ නැතුව වෙන ෂෝට් කට් එකකින් ගෙදර යන්න.හැබැයි ඉතිං තට්ටයාට චැලේන්ජ් කරලා, ඊට පස්සෙ වලියට යන්නෙ නැතුව, ඊටත් පස්සෙ ඒ පැත්තෙ කොල්ලො ටික සිද්දිය දැනගත්තම පූසන්ගෙ සායමේ අන්තිම බිංදුවත් හෝදල යන එක නවත්තන්න කාටවත් බෑ.ඒත් ඉතිං එහෙමයි කියලා කාටද අම්බානට ගුටිකන්න පුලුවන්?ඉතිං සතියම ප්ලෑන් කළත් වෙන හොද ඔප්ෂන් එකක් හොයාගන්න අපේ පූසො සෙට් එකට බැරිවුණාලු.රැවුලයි කැදයි දෙකම බේරගන්න බෑ නොවැ!

හැබැයි උපාසකයි පුරුපුරුයි මොනවා කිව්වත් මාලුකට්ටගෙනං කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ සතුරා හමුවේ පසුබහින්න.මෑන්ස් කිව්වෙම ගුටිකෑවත් කමක් නෑ, පූසො ටික තට්ටයා එක්ක වලියට යන්න ඕනෙමයි කියලා.තමන්ගෙ පරම්පරාවෙ කවුරුවත් කවදාවත් කාටවත් බයේ පැනලා ගිහිල්ලා නෑ කියලා තමයි මාලුකට්ටා පොරටෝක්ස් දුන්නෙ.අන්තිමට මෑන්ස් තීරණ‍ය කළේ අනිත් පූසෝ ආවෙ නැතත් තමන් තනියෙන් හරි මේ ගමන යනවයි කියලා.

කොහොමහරි මාලුකට්ටගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන අනිත් පූසන්ටත් ඊළග සෙනසුරාදා තට්ටයාගෙන් ගුටිකන්න යන ගමනට යන්න එකග වෙන්න සිද්දවුණාලු.අනිත් පූසො මාලුකට්ටාට දාපු එකම කොන්දේසිය තමයි අර ඇටබෝල තුවක්කුව මේ වලියට ගේන්න බැරි වග.

ඉතිං තීරණාත්මක සෙනසුරාදා දවස උදා වුණේ ඇහිපිය ගහන වේගෙන්.එදා උදේ අර පූසො බියර් බීපු ලිට් ක්ලාස් එක ඉවර වෙලා අපේ පූසො සෙට් එක එළියට බැස්සෙ ගැහි ගැහි වාගෙ.දැන් ඉතිං තට්ටයාගෙ හෝරාව උදා වෙලයි තියෙන්නෙ.ඉතිං අපේ යාලුවො කට්ටිය හිමින් සීරුවෙ පූස්ගම ටවුන් එක පැත්තට ඇදුනලු.ගිහින් බැලින්නං තට්ටයා පේන්න නෑ.මේකා බැරිවෙලාවත් පුසන්ට බයේ ටවුන් එකට ඇවිත් නැද්ද? අපේ මාලුකට්ටගෙ අදහස වුණේනං ඒකයි.ඉතිං අපේ පූසන්ගෙ බයත් පොඩ්ඩ පොඩ්ඩ ඇරිල යන්න පටන් ගත්තලු.

කට්ටිය ටවුන් එකට වෙලා හිනා වෙවී ඉන්න අතරෙ පුරුපුරු දැක්කා ඤාව්වගෙ හිනා මූණ එකපාරටම විකෘති වෙලා යන හැටි.ඤාව්වා බලාගෙන හිටපු පැත්ත දිහා බලපු පුරුපුරුගෙ මූණත් ඒ වගේම විකෘති වුණාලු.බැලින්නං බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් තට්ටයාගෙ තට්ට ඔලුව මතුවෙලා.ටික ටික මෑන්ස්ගෙ ඔලුව පිටිපස්සෙන් තව තව ඔලු මතුවෙන්න පටන් ගත්තලු.මෙන්න බොලේ තට්ටයා පූසන්ට පහර දෙන්න පනහක විතර සෙට් එකක් අරන් ඇවිල්ලා.මෑන්ස්ගෙ පස්සෙන් මෙරු මතුවෙනවා වගේ තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොල්ලො සෙට් එකක් මතුවුණේ.දැන් ඉතිං පූසො හතරදෙනා ෆුල් නස්තාර්.කට්ටියගෙම ඇස් ඉබේම හැරුණෙ වීර මාලුකට්ටා හිටපු පැත්තට.

මෙන්න බොලේ අපේ මාලුකට්ටා තට්ටයාව දැකලා කට කට ගාලා ගැහෙනවා.මූණත් රතුවෙලා.

මාලුකට්ටා:- මචං, අදනං ගහගන්න බෑ වගේ.අපි ලබන සතියෙ මුන්ට ඇටෑක් එකක් දෙමු

මෙහෙම කියපු අපේ පූසා අනිත් යාලුවන්ගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් අනිත් පැත්ත හැරිලා දුවන්න පටන් ගත්තලු.එතකොටම තමයි බස්ටෑන්ඩ් එකට ආපු බස් එකක් නිසා තට්ටයාට පූසන්ගෙ දර්ශන පථය ඇහිරුණේ.දැන් පුරුපුරුටයි, උපාසකටයි, ඤාව්වටයි උදාවෙලා තියෙන්නෙ "නව් ඕර් නෙවෙර්" ආකාරයෙ අවස්ථාවක්.කරන දෙයක් දැන්ම තීරණේ කරන්න ඕනෙ.නැත්තං බස් එක එතනින් ගිය හැටියෙ තට්ට සෙට් එක ඇවිත් පූසන්ට අම්බානට නෙලනවා.

ඤාව්වා:- මචං, මාලුකට්ටා කියපු හින්දනෙ අපි මෙතෙන්ට ආවෙ.දැන් ඌත් දුවපු එකේ අපිත් දුවලා බේරේමු

මෙහෙම කියපු ඤාව්වත් ආපහු හැරිලා දුවන්න ගත්තලු.මාලුකට්ටයි ඤාව්වයි දුවනවා බලන් හිටපු පුරුපුරුයි උපාසකයි කළේ හිත හිතා ඉන්නෙ නැතුන යාලුවො දෙන්නා පස්සෙන් දුවපු එක.කොහොමහරි බස්එක එතනින් අහකට ගන්නකොට පූසො කවුරුවත් එතන හිටියෙ නෑ.පස්සෙ ආරංචි වෙච්ච හැටියට තට්ටයා ඇතුලු සෙට් එක පැය කාලක් විතර පූසො හොය හොයා ඒරියා එකම සර්ච් කරලා, පස්සෙ හොයාගන්න බැරිවුණ තැන ආපහු යන්න ගිහින්.

අන්තිමට ඉතිං ඔයින් මෙයින් සිද්දවුණේ අපේ පුසන්ට ටික දවසක් යනකං කලිසම් ඇදගෙන එළියට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වුණ එකයි, වීර මාලුකට්ටාගෙ පරම්පරාවෙ සාමාජිකයෙක් "මුලින්ම" බයේ දුවපු එකයි විතරයි.පස්සෙ ටික දවසක් යනකං පූසන්ව හොයපු තට්ටයා අන්තිමට වැඩේ අතඇරලා දැම්මලු.

ප.ලි - පස්සෙ ඒ ලෙවල් කාලෙ දවසක පුරුපුරු ටවුන් එක මැදින් යනකොට මෙන්න බොලේ තට්ටයයි ඤාව්වයි කඩේකට වෙලා ප්ලේන්ටි බිබී ඉන්නවා.ඔන්න ඔහෙමයි මිනිස්සු වෙනස් වෙන්නෙ.හික් හික්!!

Saturday, November 6, 2010

කලුකුමාරි RELOADED - තට්ටයාගේ හෝරාව


ඔන්න යාලුවනේ හා හා පුරා කියලා නොවැම්බර් මාසෙ බ්ලොග් කටයුතු පටන්ගන්නයි යන්නෙ.තව දවසක් දෙකක් පරක්කු වෙලා ලියන්න හිතුවත් ටැබූ ගොයියා වගේ බ්ලොග්අවකාශෙ පතාක යෝධයෙක්ගෙන් රෙකමදාරුවක් ලැබුනට පස්සෙ අදම මේ ලිපිය ලියන්න ඕනෙයි කියලා හිතුනා.හික් හික්!!හැබැයි ඉතිං වැඩිපුරම සතුටු හිතුනෙ මෑන්ස් මාව "යොවුන්" කියන කැටගරියට ඔබලා තියනවා දැක්කට පස්සෙ.

පහුගිය දවස්වල ගොඩක් හොස්ටල් කතා ලිව්ව හින්දා අපේ උපාසකයි ඤාව්වයි ගැන වැඩිය ලියන්න බැරිවුණා.මොකද පූසන්ගෙන් හොස්ටල් එකේ හිටියෙ පුරුපුරුයි මාලුකට්ටයි විතරයි නොවැ!ඉතිං අද අපි ලියන්නෙ පූසො සෙට් එකේ ආතල් කතාවක්.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි කලුකුමාරි ගැන ලියපු සීරීස් එක? කියවපු නැති අය කැමතිනං ගිහිං කියවලා එන්නකෝ.අපේ අවසරයක් නැතුව එළකිරි අඩවියෙත් පළවෙච්ච සීරීස් එකක් තමයි ඔය

කලුකුමාරි 1
කලුකුමාරි 2
කලුකුමාරි 3
කලුකුමාරි 4

ඉතිං මේ සිද්දිය වුණෙත් ඔය කලුකුමාරිගෙ කේස් එක වෙලා ටික දවසකට පස්සෙ.කලුකුමාරි වෙනුවෙන් සෙට් එකක් එක්ක ඇවිත් ඤාව්වාට සද්ද දාලා, පුරුපුරුට ගහපු දිගා ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොලුවෙක් නොවැ!ඉතිං මෑන්ස් ඊට පස්සෙ රෝහණදීරගෙන් ගුටිකෑවටම ඒ ඉස්කෝලෙ කොල්ලන්ගෙ හිත් සෑහෙන්න රිදුනා.ඒත් එහෙම කියලා රෝහණදීරට තඩිබාන්නයැ!ඉතිං පූස්ගම හිටපු ගම්පහ පිරිමි ඉස්කෝලෙට ගිය කොල්ලො සෙට් එක ඇගිලි ගැන ගැන හිටියෙ පූසන්ට ගේමක් දෙන්නෙ කොහොමද, කවදද කියලා.ඔහොම සති දෙක තුනක් ගියත් කාගෙන්වත් පූසන්ට කිසිම තර්ජනයක් එල්ල වුණේ නෑ.ඉතිං අපේ පූසො සෙට් එකත් හිතාගත්තලු දෙයියන්ගෙ පිහිටෙන් ඒ සිද්දියත් එතනින් ඉවරයි කියලා.

කියන්න ලැජ්ජ වුණත් ඒ දවස්වල ඕ ලෙවල් කිට්ටු නිසා ඤාව්වයි මාලුකට්ටයි සිංහල පන්තියකට ගියා.ඒ පන්තියත් අර කලුකුමාරි කතාවෙ සමාජ අධ්‍යයනය පන්තිය වගේම බොහොම පොඩි ක්ලාස් එකක්.ඉතිං ඔය පන්තියට ගම්පහ පිරිමි ඉස්කෝලෙ ළමයි කීප දෙනෙකුත් ආවලු.ගොඩක් වෙලාවට ඔය කොල්ලො සෙට් එක පන්තියට එන්නෙ හොදට අනුමත වුණාට පස්සෙලු.සර්රුත් එච්චර අවුලක් නැති නිසා බීමත්ව අධ්‍යාපනයේ යෙදීම ගැන කිසිම ප්‍රශ්නයක් ඒ අයට ඇතිවුණේ නෑ.මේ සෙට් එක ලීඩ් කළේ "තට්ටයා" කියලා හදුන්වපු කොන්ඩෙ කොටටම කපපු කොල්ලෙක්.

ඔන්න එක දවසක් පන්තිය පටන් අරන් පැය බාගයක් විතර ගියාට පස්සෙ මේ කොල්ලො සෙට් එක පන්තියට ආවලු.බැලින්නං යාලුවො සෙට් එක කන් පාත් වෙන්න බීලා.ඉතිං ටිකක් වෙලා ගිහිං ක්ලාස් එකේ ඉන්ටර්වල් එකත් දුන්නලු.දැන් කට්ටිය වතුර බොන්න ටැප් එක පැත්තට යන වෙලාව.අපේ ගම්පහ කොල්ලො සෙට් එකත් පූසො දෙන්නත් එක්ක වැනි වැනී ඒ පැත්තට යනවලු.ඔය වෙලාවෙ තමයි තට්ටයයි ඤාව්වයි අතරෙ මෙහෙම කතාවක් ඇතිවුණේ

තට්ටයා :- අඩෝ ඤාව්වා, ඉස්සරහ කඩේට ගිහිං අපිට ටොපි අරන් වරෙන්.......

ඤාව්වට තේරුණා තට්ටයා එන්නෙ හොදකට නෙවෙයි කියලා.තට්ටයා ඒ දවස්වල ඒ පැත්තෙ ප්‍රසිද්ද මැර ඩයල් එකක්.ඒ හින්දා මෑන්ස් එක්ක පැටලෙන්න යන එක කොහෙත්ම නුවණට හුරු නෑ.රෝහණදීරට හැමතිස්සෙම වලි වලට කතා කරන්නත් බෑ නොවැ!අනික එතන පූසන්ට හිටියෙ ඤාව්වයි මාලුකට්ටයි විතරයි.ඉතිං ඒ කොල්ලොත් එක්ක ගහගන්න එකයි, මාලුකට්ටාව පරිස්සං කරන එකයි ඤාව්වට එකට කරන්න පුලුවන්යැ.ඇරත් බීල සිහි විකල් වෙලා ඉන්න තට්ට සෙට් එක මොනවගේ දෙයක් කරයිද කවුද දන්නෙ?ඒක හින්දා පොඩ්ඩක් ෂේප් එකේ උත්තර දෙන්න ඤාව්වා තීරණය කළාලු.

ඤාව්වා :- මම වතුර බොන්න යනවා මචං.උඹලම ගිහි අරං වරෙං වෙරි හිදෙන්නත් එක්ක

ඒත් ඉතිං කොක්කක් දාගන්න උවමනාව තියනවනං ඇවිත් තමන්ට වැන්දත් ඒ ටික ඇති නොවැ!ඒ නිසා ඤාව්වා තමන්ට කියපු දේ වලියක් දාගන්න ඕනෑවටත් වඩා වැඩියි කියලා තට්ටයා හිතුවලු.

තට්ටයා :- අඩෝ! උඹ හිතුවෙ රෝහණදීර අයියා ලව්ව දිගාට ගැස්සුවාම උඹ හෙන පොරක් කියලද? උඹ දැනගනිං මට තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ තට්ටයා කියන්නෙ.උඹ මට අපහාස කරල බේරිලා යන්නද හිතන් ඉන්නෙ?

මෙහෙම කියපු තට්ටයා ඇතුලු සෙට් එක වෙන පැත්තකට ගියාලු.කොහොමහරි එදා පන්තියෙ ඉතුරු වෙලාව ඤාව්වයි මාලුකට්ටයි ගතකළේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.පුරුපුරුටයි උපාසකටයි සිද්දිය කියන්න විදිහකුත් නෑ.මොකද ඒ දවස්වල මොබයිල් ෆෝන් එකක් කියන්නෙ ලේසියෙන් දැකගන්න ලැබෙන වස්තුවක් නෙවෙයිනෙ.කොහොමහරි පන්තිය ඉවරවෙලා ටික දුරක් ඇවිදගෙන යද්දි ඤාව්වව වට කරගත්තු තට්ට සෙට් එක මෑන්ස්ට අම්බානට නෙලුවලු.ඇති යාන්තම් මාලුකට්ටාට මොනවත් කරලා තිබුනෙ නෑ.මොකද ඒ දවස්වල මාලුකට්ටා, නිකං රුවන්ඩාවෙන් ගෙනාපු බෝංචි කරල වගේ හොද පෘෂ්ටිමත් පූසෙක්.

ඤාව්වා ගුටිකෑවයි කියලා පුරුපුරුටයි උපාසකටයි ආරංචි වුණේ පහුවදා උදේලු.දෙයියන්ගෙ පිහිටෙන් ඤාව්වාට ගුටිකාලා ලොකු අමාරුවක් වෙලා තිබුනෙ නෑ.ඉතිං දැන් අපේ පූසො කට්ටිය ප්ලෑන් කරනවා මොකද්ද ඊළගට කරන්න ඕනෙ කියලා.ඤාව්වා ගුටි කාපු නිසා අනිවා රිටර්න් එකක් දෙන්නම ඕනෙ.ඔය තට්ටයා කියන්නෙ එච්චරම උස මහත කොල්ලෙක් නෙවෙයි.අනික මෑන්ස් ගැන අපේ පූසො එච්චර විස්තර දැනගෙන හිටියෙත් නෑ.පුරුපුරුනං මෑන්ස්ව දැකලවත් තිබුනෙ නෑ.ඒක නිසා තට්ටයා ගැන වහාම හොයලා බලන්නයි, මේ සිද්දිය ගැන රෝහණදීරට දැනුම් දෙන්නයි කට්ටිය අන්තිමට තීරණය කළාලු.

ඉතිං පහුවදා හවස පුරුපුරු ගියාලු රෝහණදීරව හම්බවෙන්න.මෑන්ස් නිතරම ඉන්න කඩේ ළගට යනකොට, අතරමගදි මෙන්න බොලේ කො‍ල්ලො සෙට් එකක් පුරුපුරු දිහා බලන් ඉන්නවා කින්ඩියට හිනාවකුත් දාගෙන.කට්ටිය ස්කූල් යුනිෆෝම් එකත් ඇදගෙන තමයි හිටියේ.යුනිෆෝම් එකේ තිබුන ගම්පහ පිරිමි ඉස්කෝලෙ බැජ් එකෙනුයි, කොටටම කපලා තිබුන කොන්ඩෙනුයි, එතන ඩයල් එක වගේ හිටපු කොල්ලා තට්ටයා වෙන්න ඇති කියලා හිතාගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.

"චික් විතරක්!රෝහණදීරයා දැන් මෙතන හිටියනං මුං සෙට් එකටම නෙලන්න තිබුනනෙ.කමක් නෑ, දැන් මුන්ට සද්දයක් දාලා ගිහින් රෝහණදීරව එක්කගෙන ඇවිත් තව ටිකකින් මුන්ට නෙලනවා"

පුරුපුරු හිතුවලු.ඉතිං අපේ පූසා කළේ වහාම හිනාව දාපු කොල්ලො සෙට් එක ළගට ගිය එක

පුරුපුරු :- උඹ නේද තට්ටයා කියන්නෙ?

තට්ටයා :- ඔව්! මමනං දන්නවා උඹ පුරුපුරු කියලා.කොහොමද උඹලගෙ ඤාව්වා සනීපෙන් ඉන්නවද?

පුරුපුරු :- ඔව් ඔව්!! උඹටත් අපි ඒ සනීපෙම දෙන්නංකො.ටිකක් ඉවසලා හිටපං

තට්ටයා :- උඹ කුරුදුවත්තෙ ඉස්කෝලෙ ගියා කියලා හෙන පොර කියලද හිතන් ඉන්නෙ? උඹට අපි දැන් ගහන්නෙ නෑ.ලබන සෙනසුරාදා ගුටිකන්න බලාගෙන පූස්ගම ටවුන් එකට වරෙන්

පුරුපුරු :-උඹත් ගුටිකන්න බලාගෙනම ටවුන් එකට වරෙන්

පුරුපුරු කිව්වා.ටවුන් එක මැද්දෙ හිටපු නිසා එතන වලියක් දාගන්න තට්ට සෙට් එක කරමති වුණේ නෑ.අනික් අතට පුරුපුරුව එතනින් එහාට අරගෙන යන්න තරං හැකියාවක් එතන හිටපු කට්ටියට තිබුනෙ නෑ.ඒක හින්දා ඒ වෙලාවෙ ගුටිකන්නෙ නැතුව බේරෙන්න පුරුපුරුට පුලුවන් වුණාලු.මෑන්ස් ඊට පස්සෙ වහාම ගියෙ රෝහණදීරව හම්බවෙන්න.ලබන සෙනසුරාදා රෝහණදීර ලව්ව තට්ටයාගෙ තට්ටෙ පලන්න පුරුපුරුට තිබුනෙ ලොකු අධිෂ්ඨානයක්.පුරුපුරු යනකොට රෝහණදීර ඉන්නවා ප්ලේන්ටියක් බිබී කඩේ ඇතුලෙ.

රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, එන්න එන්න, මොකෝ මේ හදිස්සියෙ අපිව මතක්වෙලා තියෙන්නෙ? ඤාව්වා ගුටිකාපු එක කියන්නද?

හතර විලි ලැජ්ජාවයි.මේ යකා ගුටිකාපු එක මුලු පූස්ගමම දන්නවද කොහෙද? ඒත් රෝහණදීර මේ බවක් දැනගෙනත් නිකමටවත් කලින් අහල බැලුවෙ නෑ නොවැ! සාමාන්‍යයෙන්නං මෑන්ස්ට වලියක් ගැන කියන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.රෝහණදීර කියන්නෙ වලි හොයාගෙන එන ජාතියෙ බුවෙක්.මේ වෙච්ච සිද්දියෙන් තක්බිරිෆයිඩ් වුණ පූසා රෝහණදීරගෙන් මෙහෙම ඇහුවලු

පුරුපුරු :- ඇයි අයියා සිද්දිය දන්නවද?

රෝහණදීර :- හික් හික්...අපි නොදන්න වලියක් මේ පූස්ගම කියනවද මල්ලි?ඒත් මේ කේස් එකටනං මට අතදාන්න බෑ.මොකද තට්ටයා කියන්නෙ මගෙ නෑදෑ මල්ලි කෙනෙක්.උඹලට මම ගහන්නෙ නැතිව ඉන්න එක තමයි මේ සිද්දියෙදි මට කරන්න පුලුවන් ලොකුම උදව්ව.වෙන ඕන කේස් එකක් කියපං, දන්නවනෙ ඉතිං මම අනිවා එතන!

මළ කෙලියයි! මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.බැලින්නං තට්ටයා කියන්නෙ රෝහණදීරගෙ නැන්දා කෙනෙක්ගෙ පුත්තරයෙක්.දැන් ඉතිං ලබන සෙනසුරාදා අරුන් තිස්පහක් හතලිහක් විතර එක්ක, දහ පහළොස් දෙනෙක් අරන් ගිහින් තමයි ගහගන්න වෙන්නෙ.පුරුපුරුත් පත්වුණේ බැට් එක නැතිවෙච්ච මාලිංගගෙ තත්ත්වෙට.

ලබන සෙනසුරාදා මොකද වුණේ කියලා ඊළග ලිපියෙන් බලමු නේද?
(මෙගා නාට්‍යයක් නෙවෙයි.ඊලග කොටසින් කතාව ඉවරයි)